Sunday, August 21, 2016

අතීතකාමය වෙනුවට නිර්-ඓතිහාසිකකරණය: ටැරන්ටිනෝගේ Inglourious Basterds කියවීමක්

ෂෙල් සිල්වෙර්ස්ටින් (Shel Silverstein) නම් අතිශය ජනප්‍රිය ඇමෙරිකානු කාටුන් ශිල්පියාගේ Light in the Attic (1981) නම් කාටුන් කවි එකතුවේ එන කාටූනයකින් උපුටා ගන්නා ලදී . 
          
'යමක් විසින් උවමනාවට වඩා  ක්ෂිතියක් ජනනය කරයි හෝ ප්‍රචණ්ඩ වේ නම් එය අපගේ යථාර්තයේ ඛණ්ඩාංක සොලවනු ලබයි. එමනිසා අප එම ක්ෂිතිමය යථාර්තය ප්‍රබන්ධ කළ යුතු වෙමු' (ස්ලෙවොයි ජිජැක්- The Pervert's Guide to Cinema).  

පසුගිය කාලයේ ලාංකික සිනමාව තුල සිදු වූ එක් වැදගත් නැඹුරුවක් වුයේ ගෝත්‍රික වැඩවසම් රජුන්ගේ ඉතිහාසය උත්කර්ෂයට නැගීමයි.  එම ඓතිහාසිකමය බව තුලින් අද දවස නම් පසු-ධනවාදී පියා මියගිය ලෝකයේ සැඟවුනු පීතෘ වරයෙක් (වැඩවසම් රජෙක්) සොයා ගිය සිනමාකරුවන්ට එම පීතෘ රූපය මැදමුලනෙන් සොයා ගැනීමට හැකිවිය (සම්ප්‍රදාය සහ පසු නුතන ලෝකය අතර රෝගී සම්භන්දය).  එම උත්කර්ෂික පීතෘවරයා පෙරළා අදාල සිනමාකරුවන් විසින් සහ තවත් බොහෝ අය විසින් ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට දැන් කටයුතු කරන සමයයි මේ.  කෙසේ වුවද නුතනත්වය තුල විද්‍යාවේ හා හේතුවේ (reason) ආධිපත්‍යයන්ට එරෙහිව කේන්ද්‍රයේ මෙන්ම පරිධියේ රාජ්‍යයන් වලත් මතු වන එක් ප්‍රධානතම ප්‍රපංචයක් ලෙස පුර්ව-නුතන, ශුද්ධ, දේශීය ඥාණය හා ඉතිහාසය බල සම්බන්දයක් ලෙස නැවත සකස්විම මතුව එමින් තිබේ. මෙයට ආගමික මුහුණුවරක්ද එකතු වෙමින් අද දවසේ මුලධර්මාදය ලෙස අප ඉදිරියේ ඇත.  ඉක්මගිය මහින්ද රාජපක්ෂ ජනප්‍රිය දේශපාලනය යනු මෙම දෘෂ්ඨිමය ලෙස නුතනත්ව විරෝධී නිර්-හේතුක මුලධාර්මික අතීතකාමී ආගමනයේ කූටප්‍රාප්ත්‍රිය වේ.  90 දශකයේ නලින් ද සිල්වා හා අමරසේකර දේශපාලනය විසින් ලාංකීක පොලොව මත ඇති කරන ලද මෙම මුලධාර්මික න්‍යායගත කිරීමේ ප්‍රධාන කතිකයින් දෙදෙනෙක් වු වීරවංශ හා චම්පික අද මහින්ද රාජපක්ෂ විසින් වරප්‍රසාධක තත්වයට පත් කරන ලැබ ඇත.  අතීතකාමී වැඩවසම් ලාංකීකයින් අද දවසේ තමා පෙළන ධනේශ්වර දේශපාලනය එසේම පවතින්නට හැරීම (දුක) හෝ එය දිශාවකින් තොරව ඔහේ වෙනස් කිරීමෙන් ලබන විපරිත  'සතුට' සත්‍ය පැවැත්මේ නිර්මාණශීලි බව වෙනුවට තෝරා ගෙන ඇත.

ඉතිහාසය හා එයට අප දක්වන පරිකල්පනීය ආශක්ත බව වෙනුවට ඉතිහාසයයෙන් ඛන්ඩනය වීම නැතහොත් ඉතිහාසය නැවත ෆැන්ටසිමය (ෆැන්ටස්මික) ආකාරයකින් ඉස්මතු කරන චිත්‍රපටියක් ලෙස ක්වන්ටින් ටැරන්ටිනෝගේ Inglourious Basterds (2009) අපට හඳුන්වා දිය හැකිය.  ඉතිහාසය ප්‍රතික්ෂේප කරමින් ඒ සමඟ ෆැන්ටසි සෙල්ලමක යෙදෙන ටැරුන්ටිනෝගේ මෙම චිත්‍රපටය ජර්මානුවා ට එරෙහිව යුදෙව් වෛරය අශ්ශීල අයුරකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන පශ්චාත්-නුතන ඔම්ලටයකි (omelet). ප්ලාස්ටික් ඉතිහාසයක් වෙත නැවත යන ටරන්ටිනෝ එම ප්ලාස්ටික් ඉතිහාසය ගිනිතබා පුර්ණ වශයෙන් විනාශ කරන්නේ එම ඉතිහාසය නැවත ප්‍රති නිර්මාණය කරමින් සහ එම ප්‍රති නිර්මනය ම නැවත අර්ථකතනය කරමින් වීම විශේෂයකි.  එම අර්ථ කතනයද සමග සියලු සමස්තය ඔහු පුර්ණ වශයෙන් දවා හළුකර දමනු ලබන්නේ නව අනාගතයකට ඉඩකඩ විදාරණය කරමින් වීම විශේෂයකි. ක්ෂිතිමය සත්‍ය ඉතිහාසය වෙනුවට විකල්ප ඉතිහාසයක් (alternative history) ගොඩනගන ටරන්ටිනෝ එම විකල්ප ඉතිහාසය තුළ සත්‍ය ඉතිහාසයේ පිඩකයා ක්ෂිතියට පත් කරයි. එම අව්‍යාජ පලිගැනීම තුල ඉතිහාසයේ සත්‍ය මර්ධනයට ලක්වූ ජන කොටස හෝ පුද්ගලයින් තම වෛරය පිරිමසා ගනිමින් අනාගතය වෙත පියමන් කරයි. එම පලිගැනීම නොමැතිව ඔවුනට අනාගතයක් නැතිවාක් මෙන් එම පිඩිත කොටසද පලිගැනීම සඳහා 'ව්‍යාජ වරදකරිත්වයකින්' තොරව එම ක්‍රියාවට හවුල් වේ. ස්පිල්බර්ග් ගේ Munich (2005) චිත්‍රපටයේ තත්වය මෙයට වෙනස් බව ජිජැක් සිය In Defense of Lost Causes කෘතියේ පෙන්වා දෙයි.         

ජර්මාණු සෙබලුන් විසින් ප්‍රංශයේ (1941) ගොවිපලක කරන සෝදිසි මෙහෙයුමකින් යුදෙව් පවුලක් මරා දමයි.  එම සාමුහික ඝාතනයෙන් පැනයන ෂොෂානා පසුව පැරිසියේ සිනමාහලක හිමිකාරිණියක් වේ.  මේ අතර නාසි ජර්මනියේ දෙවැනියා වු ගේබල්ස් තම නාසි ප්‍රචාරක චිත්‍රපටියක් වු The Nation’s Pride ප්‍රංශයේ  ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් බලමින් සිටින විට ෂොෂානාගේ චිත්‍රපට ශාලාව හමුවේ.  තම පවුල ඝාතනය කරන ලද නාසීන්ගේ පලිගැනීමට අවස්ථාවක් ලැබු ෂොෂානා සියලු නාසි ඉහල නිලධාරීන්ද, ගේබල්ස්, බාමන් හා හිටිලර් ද ඇතුලු සියල්ලෝම චිත්‍රපට ශාලාව තුල සිරකර- අඟුඵ දමා තමා ද ස්වයං-ඝාතනයකට ලක්වීමට කුමන්ත්‍රණය කරයි.  මේ අතරම අමෙරිකානු යුදෙව්වන් කණ්ඩායමක් වන Bearer Jew නම් පිරිසක් ප්‍රංශයට විත් නාසීන් කුඩා කණ්ඩායම් වශයෙන් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු විකෘති කරමින් හණ ගසමින් යුදෙව් වෛරය හා පළිගැනීම කුඵගන්වමින් නාසීන් භීතියට හා ත්‍රාසයට පත් කරයි.  දෛව ස්ත්‍රී ෂොෂානාගේ සැලසුම සාර්ථක වන අතර ඊට සමාන්තරව මෙම යුදෙව් කණ්ඩායමද සිනමා ශාලාව පුපුරුවා දැමීමට උදව් වේ.  ෂොෂානාගේ පවුල මරා දැමීමට උපකාරී වු යුදෙව් දඩයක්කරුවකු වු ලන්ඩා නම් නාසි නිලධාරියා අමෙරිකාවට පලා යෑමට පෙර නාසි ස්වස්ථික ලකුණ නලලේ හණ ගසා අත්හරිනු ලබයි.  මෙම ක්වන්ටිනියානු ප්‍රති-ඓතිහාසික ෆැන්ටස්මික චිත්‍රපටය, වෛරය, ත්‍රාසය, ක්ෂිතිය මෙන්ම 'ප්ලාස්ටික සෞන්දර්ය' (aesthetic plasticity) දෙවැනි ලෝක යුධ සිනමා ෂොනරය තුල පශ්චාත් නුතන අයුරකින් ඉස්මතු කර ඇත. ටැරන්ටිනෝගේ ම Django Unchanged (2012) යනු ද මෙයට සමාන ෆැන්ටස්මික චිත්‍රපටයකි.

සාමය-සහජිවනය යන්න සිවිල් බුර්ෂුවා කතිකාව තුල අධිනිශ්චය වී තිබුණ ද නුතන ශිෂ්ටාචාර ගොඩනැංවීම තුල සැබෑ ලෙස බලපවත්නේ වෛරය හා පසමිතුරුතාව බව මෙම චිත්‍රපටය නැවතත් අපට සිහිපත් කර දෙයි.  සාමය යන්න බුර්ෂුවා මාධ්‍ය, අධ්‍යාපනය හා වෙනත් කතිකා තුල පුනර්වාචී වුව ද මිනිසා මෙහෙයවනු ලබන්නේ සැබෑ ලෙසම අශ්ශිල බව විසින් හා වෛරය විසිනි.  අද දවසේ ලාංකීක දේශපානය සිවිල් බවෙන් ශිෂ්ට සම්බන්න බවෙන් සම්පුර්ණයෙන් මිදී නිරුවත් ලෙස වෛරී අශ්ශිල බව ඉස්මත්තට ගෙන ඇත.  විරුද්ධවාදීන්ට මඩ ගැසීමේ සිට ඔවුන් අත්අඩංගුවට ගෙන චෝදනා හෝ නඩු නැතුව දිර්ඝ කාලීනව සිර ගත කිරීම දක්වා ඇත්තේ මෙම වෛරය නොවේදචිත්‍රපටය තුල ද යුදෙව්වන් ක්‍රියාකරන්නේ තනිකරම වෛරය හා පලිගැනීම හරහායි.  මල සිරුරු විකෘති කිරිම, ඔවුන් හණ ගැසීමල සාමුහික ඝාතනය හරහා නාසි යුධ යාන්ත්‍රණය ක්ෂිතිමය බවකට රැගෙන යාමට යුදෙව්වන් උත්සාහ කරයි.  පසුගමනය තුල මේ සඳහා ඔවුන් උපයෝගී කර ගන්නේ පැරණි තෙස්තමේන්තුවේ ඇති දතට දත-ඇහැට ඇහැ නම් ආගමික මුලධාර්මික වෛරී ආදර්ශනයයි.

ශිෂ්ටත්වය, විද්‍යාව හා හේතුව පෙරදැරි කර ගත් නුතන ව්‍යාපෘතිය(modern project) තුල මෙතරම් නිර්-හේතුක මුලධාර්මික වෛරයක් බල පවත්නේ කෙසේ දමෙම ප්‍රශ්නයට උත්තර දීමට ෆැන්ක්ෆර්ට් ගුරුකුලය උත්සාහ කල අතර ඔවුන් තේරුම් ගත්තේ මෙය නුතන ව්‍යාපෘතියේ ම ඇති විරුද්ධාභාෂයක් නැත්නම් අර්බුදයක් ලෙසයි.  නමුත් යර්ගන් හබර්මාස් ගේ මතය වන්නේ මෙය විරුද්ධාභාෂයකට වඩා නුතන ව්‍යාපෘතිය තවමක් නො-අවසන්' (modernity as an unfinished project)  නිසා හටගත් තත්වයක් බවයි.  එනිසා එයට තවමත් නුතනත්වයේ ආතතිය සමහන් කිරීමට පුර්ණ වශයෙන් නොහැකිව ඇත.  නුතනත්වය හා ලෞකිකත්වය විසින් මිනිසා අතීතයෙන් හා සම්ප්‍රදායික සමාජයෙන් කඩා දමයි.  එම ඛන්ඩණයෙන් හට ගන්නා ආතතිය සමනය කිරීමට අවශ්‍ය ශිෂ්ටත්වයේ ආයතන පරිධියේ රටවල ස්ථාපනය වී නැත.  නුතනත්වයේ ලෞකික බවට එරෙහි වීමට ඇති එකම දෘෂ්ඨිමය අන්තය ඇත්තේ පුර්ව-නුතන, අතීතකාමී මුලධාර්මික, නිර්-හේතුක, නිර්-භාෂණය තුලයි.  එනම් මුලධාර්මික මතයක් පිටුදැකීම සඳහා නුතන භාෂාවක් නැත.  ඇත්තේ භාෂාවකින් තොර ත්‍රස්තය හෝ වෛරී අශිෂ්ට භාෂණයයි.  චිත්‍රපටය පුරාවට දක්නට ඇත්තේ ද මෙම වෛරී ත්‍රස්තයයි. ජර්මානුවන් පැත්තෙන් ගත්විට කර්නල් න්දා ඒ වෙනුවෙන් මිනීමැරීම දාර්ශනික කරණය කරයි (ජාතිවාදය සහ පුර්ව-නුතන පිතෘමුලිකය දාර්ශනික සහ නෛතිකකරණය කරන ලාංකික බුද්ධිමතුන් මෙන්). භාෂා ක්‍රීඩාව තුළ කරන එම දාර්ශනිකකරණය ඔස්සේ අනෙකාගේ ආචාර ධාර්මික විශ්වය අසමතුලිත (නැත්නම් සංශයට භාජනය) කරයි. ඔහු අසන්නේ ලේනා සහ මීයා එක සමාන ලක්ෂණ විද්‍යමාන කලත් අප මීයාට වඩාත් වෛර කරන්නේ ඇයිද යන සරළ ප්‍රශ්නයයි. ඔහු කියන්නේ එසේ වන්නේ ඇයිද යන්න අපම නොදන්නා බවයි. ඉතින් 'අප මීයන් අනුකම්පා විරහිතව මරා දමමු'.  

ඉතිහාසය සම්භන්ද ටැරන්ටිනෝ ගේ මතය තරමක් රැඩිකල් එකකි. මිනිසා ඉතිහාසයට දක්වන පරිකල්පනීය සම්බන්ධය වෙනුවට ටැරුන්ටිනෝ ගෙන එන්නේ ඉතිහාසය නැවත ෆැන්ටසිකරණය යි (ෆැන්ටසි ප්‍රන්ධකරණයයි).  සැබෑ නාසි ඉතිහාසය හා හිට්ලර්ගේ මරණය වෙනුවට ඔවුන්ගේ අවසානය සත්‍යයෙන් විනර්මුක්ත ෆැන්ටසියක් පමණක් බවට රූපාන්තරණය කිරීමයි.  Inglourious Basterds හිදී පමණක් නොව Django Unchanged චිත්‍රපටය තුලදීද ඉතිහාසය සමඟ ටැරන්ටිනෝ කරන්නාවූ මෙම හිතුවක්කාරී ෆැන්ටසි සෙල්ලම නිර්වචනය සඳහා අවශ්‍ය නම් එය 'ටැරන්ටිනියානු සින්තෝමය' (Tarantinyan sinthome) ලෙස  හැඳින්විය හැක. එවිට ද්‍රව්‍යමය ඉතිහාසයක ට මිනිසා දක්වන ආශාව හා එය වෙනස් කිරීම  මත අනාගතය තීරණය කිරීම මේ නිසා විඥානවාදී අයුරකින් අභියෝගයට ලක් වේ.  ඇත්ත වශයෙන් අවශ්‍ය අනාගතය මිස අප නැවත සොයායෑමට වලිකන අතීතය නොවන බැවින් එක්තරා දුරකට ටැරුන්ටිනෝ නිවැරදි යැයි කිව හැකිය.  නමුත් මෙම නිර්-ඓතිහාසික ෆැන්ටසිය සෞන්දර්යකරණයෙන් පමණක් අනාගතය පිලිබඳ සුභ සිහින දැකිය හැකි ද?

ජර්මාණු විඥාණවාදී දාර්ශනිකයෙකු වු ෂෙලින්ට අනුව අතීතයෙන් ඛන්ඩනය නොවු කිසිවකුට වර්තමානයක් හෝ අනාගතයක් නැතැයි' යන්න සැලකිල්ලට ගත හොත් ටැරුන්ටිනෝගේ මෙම උත්සාහය සාධාරණීකරණය කල හැකිය.  නමුත් රෝගී විපරීත බව හෝ වෛරී හෝ අතීතකාමී මුලධාර්මික බව අප අනාගත ලෝකය ගොඩනැංවීමේ ක්‍රියාව තුල පුර්ණ ලෙස අවලංගු කල යුතු වෙමු.  ඉතිහාසය පුනර්වාචී නොවේ නම් ටැරුන්ටිනෝගේ නිර්-ඓතිහාසිකය තවදුරටත් වලංගු වේ.  ඉතිහාසයේ තිබු සශ්‍රීක, ඒකීය පීතෘමුලික පරම සමාජය පිළිබඳ ශුද්ධ ෆැන්ටසි ස්වර්ග රාජ්‍යය මත සිට වර්තමාන පීඩිත, ආන්තිකල වාර්ගික ජනතාවගේ අයිතීන් තවදුරටත් උදුරා ගන්නේ නම්, එම අයිතින් ලබා දීම නිෂ්ප්‍රභා කරන්නේ නම්, මර්ධනය කරන්නේ නම් එම ඉතිහාසයෙන් අපට වැඩක් නැත.  එම ඉතිහාසය පිළිබඳ බල කතිකාවෙන් වර්තමාන ජනකොටස් බහිස්කරණය කරන්නේ නම් හා ඒ ආධාරයෙන් තව ජනකොටස් අභ්‍යන්තරකරණය කරන්නේ නම් එම ඉතිහාසය නැවත පුනර්වාචීවිමේ තේරුමක් ඇද්ද? කොතරම් ආතතිමය තත්වයක් යටතේ වුව ද අප ඉතිහාසයෙන් ඛන්ඩනය වී (නිර්-ඓතිහාසිකකරණය වී = dehistorize) නුතන ලෞකිකකරණය දෙසට දිශානත විය යුතු වෙමු.  එවිට පමණක් අපට ඉතිහාසයක් ඇති ජාතියක් බවට පත්විය හැකි වේ. 


(රාජපක්ෂ පාලන රෙජීමය උත්කර්ෂයට පත්ව තිබු යුගයේ ලියන ලදී. 'රාවය' පුවත්පත වෙත යොමු කළද පළ කල බවක් මතක නැත). 


මහේෂ් හපුගොඩ
2009. 07. 03.


Monday, August 15, 2016

‘අපේ ගම’ නම් ශූද්ධ ෆැන්ටසිය තුලින් මතුවූ නො-කප්පාදු අශූද්ධ අවතාරය : ‘ඹබර වලල්ල’

නුතන ලෝකයේ ශිෂ්ටත්ව මනෝරාජිකය  තුළින් ඉස්මතු වූ ආපතික බව වනාහි නාසිවාදය සහ ස්ටාලින්වාදයයි.  

1977 න් පසු ලංකාවේ කළු පාතාල ආර්ථිකයට ග‍්‍රාමීය තරුණයින් අවශෝෂණය කර ගන්නා වූ ක්ෂිතිමය  අවකාශය පිළිබදව හා එම තරුණයින්ට තම පැවැත්ම සාක්ෂාත් කර ගැනීමෙහි ලා අනන්‍යවීමට සිදුවන  නපුර  පිළිබද නිර්-දෘෂ්ඨික (de-ideologized) කියවීමක් ලෙස අතුල ලියන්ගේ විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මිට වසර කිහිපයකට පෙර තිරගත වූ  බඹර වලල්ල’ චිත‍්‍රපටය හදුන්වා දිය හැකිය.  මානවීය සමාජයක් බිහිකර ගැනීමට අපොහොසත් වූ පශ්චාත්-නිදහස් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය තරුණයින් නියෝජනය කරන සංක‍්‍රාන්තික පංතිය ලාංකික සමාජය කොතරම් ත‍්‍රස්ත කරමින් පවතී ද යන්න පිළිබදව මනා හැගවුම්කාරකයක් ලෙස ද මෙම චිත‍්‍රපටය අපට කියවිය හැක.  ග‍්‍රාමීය පදනම් වලින් මතුවූ මෙම ජන කොටසේ තරුණ කොටස් කළු පාතාලය හරහා ද තරුණිය වසගය හරහාද ලාංකික සමාජය මත ඇති කර ඇති ක්ෂිතිමය-ත‍්‍රස්තයේ (traumatic terror)  පුරුෂ අර්ධය මෙම චිත‍්‍රපටයේ කථනයට හසුවේ (ටැරන්ටිනෝගේ චිත්‍රපට වල මෙන් අනෙක් අර්ධය අවශ්‍ය නම් භාෂි මධුභාෂිනී ට වේදිකා ගත කළ හැකිය). ඉතාම කෙටියෙන් කිවහොත් ලාංකික පුරුෂ-වීපරීත-මර්වියානුකරණයේ ද්‍රව්‍යමය පසුබිම පිළිබද දළ අදහසක් මේ චිත‍්‍රපටය තුලින් පේ‍්‍රක්‍ෂකයාට දැක ගත හැක. වඩාත් අනුභූතිකව ගතහොත් පියාගේ පලිය ගැනීම සඳහා නම් වූ අශ්ශීල වස්තුව (object a) උකසට තබා  හිරුණිකා ට මේ පුරුෂ රූපකය වේදිකා ගත කළ හැකිය (ඕනෙම ප්‍රශ්නයකදී ඇය ඉස්මත්තට රැගෙන එන්නේ මෙම පියාගේ 'කතා වස්තුවයි'). මන්ද හැමෝම තමා ට කුඩාකාලයේ සිදුවූ පුද්ගලික අසාධාරණයක් මේ දිනවල චරිතාපදාන ලෙස ඉදිරිපත් කරමින්, උත්කෘෂ්ට කරමින් ඇති නිසා ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවක් සඳහා වූ 'නෛතිකකරණය' (legitimacy) ඒ ඔස්සේ ලබාගැනීම මේ යුගයේ ජයට ම සිදුකරමින් පවතී.  

ප‍්‍රථම කොටම චිත‍්‍රපටයේ තේමාව වන අමුඩයෙන් ඩෙනිමටයන පැරණි X කණ්ඩායමේ තේමාව හරහා චිත‍්‍රපටය ෆැන්ටසිකරණය කරන්නා හට හමුවන්නේ ඩෙනිම් හැද මොඞ් වූ ඩිජිටල් තාරුණ්‍යය නොව අමු අමුවේ අශ්ශීල ඝාතනය හා සම්බන්ධ වූ ක්ෂිතිමය යථකි. ඒ අනුව X විනෝදයෙන් චිත‍්‍රපටය බැලීමට එන කෙනාගේ විනෝදය අහිමි කරයි (හිටපු X සාමාජිකයින් ඩෙනිමෙන් අමුඩය ට අපගමනය වනවිට-ජාතිවාදය දිශාව ට මෙන්ම පසුගාමී වාමවාදය දෙසට විතැන් වන විට).  මේ චිත‍්‍රපටය යම් දුරකට විචාරක බැටකෑමට හේතුවත් එයයි. චිත‍්‍රපටය තුල ග‍්‍රාමීය අමුඩය ද නාගරීක ඩෙනිම ද යන දෙකම නිශ්චිත හැගවුම් පේ‍්‍රක්‍ෂකයා තුල ජනනය නොකළ ද (ඇත්තේ කැසපට ගැසූ සරම හා නිකම් කලිසමකි) ගමෙන් නගරයට සංක‍්‍රමණය වීම යන කරුණ චිත‍්‍රපට කරුවා සම්බන්ද කරන්නේ ඉතාම යතාර්ථවාදී අරමුණක් සහිතවය.  නැතහොත් සෞන්දර්යකරණය වූ ආකාරයට නොවේ.  පිළිවෙලක් නැත.  ඔහු පොඩි එකා කොළඹ යවනවා වෙනුවට ඇඹිලිපිටියට ආසන්නයේ උප නගර කිහිපයක සංක‍්‍රමණය කරවයි.  ඇඹිලිපිටිය, දඹුල්ල, මොනරාගල වැනි තැන් කොළඹ කලූ සේවා ආර්ථිකයට ශ‍්‍රමිකයන් හා ද්‍රව්‍යමය භාණ්ඩ (ගංජා, උතුර හා නැගෙනහිරින්  ගිණි අවි වැනි) සපයන ප‍්‍රධානම මංසන්ධි වේ.  ඒ අනුව පොඩි එකා ට ඊළඟට සංක‍්‍රමණය වීමට ඇත්තේ කැළණිය ට නැතහොත් මාලිගාවත්තටයි.  චිත‍්‍රපටය තුළ අප දෘෂ්ටිමය වශයෙන් සැලකිල්ලට ලක් කළ යුත්තේ ලාංකික සන්දර්භය තුල මේ සංක‍්‍රාන්ති තරුණයින් තම පැවැත්ම සදහා 'නපුර' සමග අනන්‍යවන්නේ ඇයි යන්න ගැන නොව එසේ වන්නේ කුමන ආකාරයකින් ද යන්නයි.   කෙසේ වුව ද චිත‍්‍රපටය තුලින් මතුවන ලාංකීක යථාර්තයන් කවරේ ද යන්න මතුකර ගැනීම තුලින් යම් දේශපාලන අර්ථයක් චිත‍්‍රපටයට ලබා දීම හැකිවේ.  එය අද දවසේ දිග හැරෙන අසාධාරණ ක‍්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ද්‍රව්‍යමය හා මතවාදී සාධක සමග ගලපා ගැනීමට හැකිවූවොත් පමණක් අතුලගේ ව්‍යායාමය ප‍්‍රයෝජනවත් විය හැකිය.

පියෙක් නැති, අශිෂ්ඨ බාප්පා කෙනෙකුගේ ලිංගිකත්වය හරහා ක්‍ෂිතිමය ස්මෘතියක් දල අහිමිවු ළමා කාලය සිරගෙදර දක්වා ගමන් කරවූ බාප්පාගේ මරණයේ ඝාතන ආශය (killer drive) හා සම්බන්ධ  තත්භාවී-නපුර ද (Id-Evil)  සමග  සංකේතීිය නොවූ අසංස්කෘතික ග‍්‍රාමීය විශ්වයක සැරිසරන පොඩි එකා චිත‍්‍රපටය මුල් භාගයේ දී අපට පෙන්වන්නේ තනිකරම සත්ව ආශය (animal drive)  හා අනන්‍ය වෙමිනි.  ඔහුව ශික්‍ෂණය කිරීමට මවක්, සංකේතීය පියෙක්, අධ්‍යාපන-ශික්‍ෂණ ආයතනයන් හෝ අවම වශයෙන් ආදරයේ භාෂාව හසුරුවන ස්ත‍්‍රීයක් හෝ හමු නොවේ.  පොඩි එකා 'ලොකු කිරීමට' අවශ්‍ය භාෂා විශ්වය හා සංකේතනය ඔහුට අහිමි වී යයි.  මෙතන දී විශාල කාර්යයක් කළ හැකි ශිෂ්ටකරණ ආයතන ලංකාවේ කොතරම් දුර්වල ද යන්න පිළිබ`ද මනා අවබෝධයක් සිනමාකරු අපවෙත ගෙන එන්නේ පොඩි එකා සම්පුර්ණයෙන්ම අම්බරුවන් සමඟ එකට තබමිණි.  මේ අනුව පොඩි එකා ස්වභාවධර්මයෙන් හා එහි අනිවාර්යය නපුරෙන් භාෂාමය සංකේතනයක් හරහා ඛන්ඩනය වන්නේ නැත.  ඒ නිසා ඔහු නිීතියේ සංකේතනය නොහොත් මහා අනෙකා පිළිබද අවබෝධයක් නැත්තෙකු බවට පත්වෙයි (මර්වියානුකරණය).  මෙහි දී නීතිය යනුවෙන් අදහස් කරන්නේ ස්වභාවධර්මය හික්මවීම සදහා ඇති යමකට වඩා ස්වභාවධර්මයේ සිට සංස්කෘතියට මිනිසා ගමන් කරවීමේ දී ඇති ස්වභාවධර්මයේ නපුරේ අතිරික්තය (excess of evil) හික්මවීමට ඇති අවියක් ලෙසයි.  එනම් මිනිසා තුල ස්වභාවිකවම ඇති තත්භාවී-නපුර විසින් ශිෂ්ටකරණයේ නීතිරීති (පියාගේ නීතිය) ඉක්මවා යෑමට නොදීමයි.  නැතහොත් මිනිසාගේ සත්ව ආශය (ප‍්‍රමෝදය) සීමා කිරීමයි (සංකේතීය කප්පාදුව symbolic castration) අධ්‍යාපන ශිෂ්ටකරණයේ (නීතියේ) අරමුණ මෙම රැඩිකල් නොහික්මුණ බව (radical unruliness) හික්මවා සමාජයේ සමස්ත එකගතාවයන් හා සම්මුති ලෝකයට මිනිසා අනුගත කර ඔහුට සතුට/තෘප්තිය ලැබිය හැකි ජීවියෙක් බවට පත් කිරීමයි.  එසේ සත්ව සහජයේ ඛන්ඩනයක් සිදු නොවුනොත් අනිවාර්යය ලෙස මිනිසා ස්වයං-විනාශකාරී (self-annihilation) මරණ ආශයක් දෙසට ගමන් කරයි.  ලාංකික සංක‍්‍රාන්තික පංතිය මේ මොහොතේ ගමන් කරන්නේ මෙම ස්වයං-විනාශය දෙසට නොවෙද?

සංකේතනය අහිමි වූ පොඩි එකා අපට මුණ ගැසෙන්නේ මෙම ස්වයං-විනාශකාරී සත්ව සහජය සමඟය.  නැතහොත් පොඩි එකා යනු සංස්කෘතිකකරණය මඟහැරුණු ස්වභාවධර්මයෙහි නෛසර්ගික නපුර හා යථ සමයි.  ලාංකික යතාර්ථයක් තුල සංස්කෘතිකරණය කරන අතරමැදියා අතුරුදහන් (vanishing mediator) වී ඇති බැවින් හා ඇතැම් ශිෂ්ටකරණ ආයතන එහි සැබෑ අර්ථයෙන් බිහි වී නැති බැවින් මෙම පොඩි එකාගේ පැවැත්ම පේ‍්‍රක්‍ෂකයාට යථක් බවට මෙන්ම ක්ෂිතියක් බවට පත්වේ.  ඔහු ගමන් කරවන සත්ව ආශය තුලින් සමාජය ත‍්‍රස්තකරණය කරයි. පශ්චාත් 1977  යුගය නිර්-සම්ප‍්‍රදායිකකරණයේ (de-traditionalization) අනිවාර්ය අංගයක් වන විට මිනිසා නව ද්‍රව්‍යමය තත්වයට සද්භාවි ලෙස අනුවර්තනය (ontological adaptation) කල යුතුවූ අතර සම්ප‍්‍රදායික මිනිසාගේ අභ්‍යන්තර ස්වභාවය (inner nature) වඩා ආචාරධාර්මික (moralize) කිරීම සදහා මහා සාමාජීය සහතිකවිමක් (meta-social guarantee) තිබිය යුතු වුවත් අපගේ ඌණ සංවර්ධිත ලෞකික ආයතන එයට සමත් නොවීය. ආගම තුලින් කරනු ලබන්නේ මිනිසා යථාර්ථ යෙන් දුරස් කර තැබීමයි.

මෙම ක්‍ෂිතිමය යථ සමාජය මත ජනිත කරණ අනෙක් චරිතය නම් පොඩි එකාගේ මවයි.  තමාව විනාශ කල, තමාට ආදරය අහිමිකල, තම දරුවන් විනාශ කළ පුරුෂ සමාජය පුරා කතිර අදිමින් (කතිරය = වධය) ඇයගේ දුක්ඛිත පැවැත්ම පිළිබද අප තුල ක්ෂිතියක් ජනනය කරයි.  ගෙයි බිත්තියෙන් පටන් ගන්නා ඇය තම කතිරය පාලම්, බොක්කු, මහපාර පුරා අදිමින් තම විනාශය සාමාජීයව සංකේතවත් කරයි.  මිනිසුන් පාර පුරා ඇය කතිර අදින අයුරු බලා සිටින්නේ තම සමාජීය වරදකාරීත්ව ද දරා සිටිමිනි.  ඒ ගැන ද හෘද සාක්‍ෂියක්, ලාංකිකයාට ඇත් ද යන්න වෙනම ගැටඵවකි.  වඩා හොද ලෝකයක් ගැහැණියට උරුම කිරීමට නොහැකි වූ කාලකණ්ණි පිරිමි සමාජය ඇය අවිඥාණිකව භ‍්‍රාන්ත කරන්නේ  ඒ අයුරිනි.  ඇතැම් විචාරක විචාරිකාවන් නීටා ප‍්‍රනාන්දු මව ලෙස රගපාන චරිතයේ තාක්‍ෂණික දෝෂ මත එල්ලීගෙන සිටිය ද වැදගත් වනුයේ ඒ චරිතය තුලින් මතු කරවන සමාජීය හැගවුමයි.

තවදුරටත් අපේ ගම තුලින් නිෂ්පාදනය වන්නේ සුන්දර, අහිංසක, නිර්මල රොමැන්තික ගැමි කමක් නොව එහි නෛසර්ගික නපුරේ සැබෑ ම ත‍්‍රස්ත‍්‍රකරණීය ශරීරයයි. අපේ ගමනම් සුසාංග‍්‍රහිත සමස්තකරණය (harmonious totality)  සාමාන්‍යකරණය  කරන්නේ  එයින් අශිෂ්ට අර්ධය බාහිරකරණය කරමිනි. බාහිරකරණය කරණ ලදල පැවැත්ම අවලංගු කළ වස්තුව අවතාරමය පැවැත්මකින් යුතුව  නැවත ප‍්‍රාදුර්භූතවීම චිත‍්‍රපටයේ කතිකාවයි.  ශූද්ධ ෆැන්ටසිමය (Fantasy 1) හා පරිකල්පනීය අපේ ගම කතිකාව තුල භාෂණය නොවන, මර්ධිත, බහිස්කරණීය කොටස වන එහි කළු - කැත අර්ධය ද (අශිෂ්ඨ බාප්පා, පිස්සු මව, ලොකු නොවන පොඩි එකා) ඇතුලත් වන  සමස්තය අපේ ගම පිළිබඳ පරිකල්පනීය ගොඩනැංවිම් ඉක්මවා ගොස් ඒ පිලිබඳ භෞතික අවබෝධයක් ලබා ගැනීමට වඩා ඉවහල් විය හැකි වන බව දැක්විය හැකිය. 

ෆැන්ටසිය දෘෂ්ඨිමය තත්වයක් යටතේ ක්‍රියාත්මක වන්නේ සැබෑ තත්වය තුල පවතින සංත්‍රාසය (horror) නොපැහැදිලි කරමිනි. එය අප සමාජය තුල පවතින ප්‍රතිවිරෝධතා පිළිබඳ සත්‍ය විස්තරයක් රැගෙන එනවා වෙනුවට ඒකමතිකත්වයේ හා සහයෝගයේ බලවේග කරන කොටගෙන එක්සත්භාවයක් ලෙස පවතින ඓන්ද්‍රීය සමස්තයක් වශයෙන් සමාජය පිළිබඳ සංජානනයක් අප වෙත රැගෙන එනු ලබන්නේ ගම නම් ෆැන්ටසිය තුලම දිගු කලක් පැවති මහින්ද රාජපක්ෂ වැන්නෙකුගේ සත්‍ය පැවැත්ම මකා දමමිනි. මෙම තත්වය ජිජැකියානු අර්ථයකින් හැඳින්වුවහොත් එය 'ප්‍රතිඝතාවයේ ගුප්ත ප්‍රබන්ධය' (The Narrative Occlusion of Antagonism) ලෙස අපට දැක්විය හැකිය. එහිදි ෆැන්ටසි ප්‍රභන්ධය විසින් ප්‍රතිඝතාවය නොහොත් සත්‍ය පසමිතුරුතාව අවහිර කරනු ලබයි (සුළු ධනේශ්වර මැද පන්තික). උදාහරණ වශයෙන් බඹර වලල්ල’ චිත්‍රපටය විසංයෝජනය කරන්නේ ගම පිළිබඳව අප තුල ඇති ශුද්ධ වු පරිකල්පනයයි. නැතිනම් ඒ පිළිබඳව ඇති පොදු කතිකාව විසින් ඉස්මතු නොකරන ගම තුලම ඇති අශ්ශිල බිම්ගත පැවැත්මයි. මෙතනදී ගම පිළිබඳ ලස්සන කතිකාව මෙන්ම එහි අශ්ශීල අර්ධයද පැහැදිලිව විද්‍යාමාන විය යුතුව තිබුණ ද ඇත්ත වශයෙන් පසුගිය දශක දෙකක් පමණ කාලය තුල ඉස්මතු වු ගම මුල්කරගත් නොස්ටැල්ජික අතීතකාමය නම් කතිකාව තුල ඉස්මතු වුයේ එක් අර්ධයක් පමණි.

මීලග වැදගත් චරිතය නම් මැල් මහත්තයාගේ ශිෂ්ට හා අශ්ශීල දයලෙක්තික පැවැත්මයි.  වැදගත් බිස්නස්කාර මහත්මයෙක් ලෙසට ලොවට පෙනෙන ඔහු තුල සමාජ-විරෝධී (anti-social) වෛරී මෙන්ම කෲර පලිගන්නා ස්වභාවය ඇතුලත් ඔහුගේ අ`දුරු පැවැත්ම තම සමීපතමයන් තුල පමණක් ඇති දැනුමක් ලෙස චිත‍්‍රපටකරුවා අප වෙත ගෙන එයි.  ස්ලෙවොජ් ජිජැක් නම් මනෝ විශ්ලේෂකයා මෙම දයලෙක්තික පැවැත්ම මිනිසාගේ හා ශිෂ්ටාචාරයේ සමස්තය නිර්මාණය වී ඇති දයලෙක්තික අන්ත දෙක බවට නිර්වචනය කරයි.  එනම් මැල් මහත්තයා තමා බාහිර ලෝකයට පෙනීමට සලස්වා ඇති ශිෂ්ට රූපය නම් ප‍්‍රථම පෙල ෆැන්ටසිය (F1) පවත්වා ගෙන යෑම සදහා ඔහුගේ කැත-අශිෂ්ඨ-අශ්ශීල දෙවන පෙල ෆැන්ටසියට (F2) ද්‍රව්‍යමය ලෙස වන්දි ගෙවීමට සිදු වේ.  මෙම අශ්ශීල, කැත පැවැත්මහි ද්‍රව්‍යමය වන්දිය (material compensation) විසින් පවත්වා ගෙන යන ශිලාචාර ප‍්‍රථම ෆැන්ටසිය පිළිබද වැදගත් අවස්ථාවකි The Silence of the Lambs චිත‍්‍රපටයේ එන හැනිබල් චරිතය.

උදාහරණ ලෙස සාමයේ ෆැන්ටසිය පවත්වා ගෙන යෑම සදහා යුද්ධය අත්‍යවශ්‍ය වේ.  ලාංකික සමාජයේ සුසාංග‍්‍රාහික සමස්තකරණ ක‍්‍රියාව සදහා ද්‍රවිඩ බාහිර සතුරා මත ප‍්‍රචණ්ඩත්වය පවත්වා ගෙන යෑම අනිවාර්යයක් වේ.  මෙහි දී මැල් මහත්තයාගේ අශ්ශීල දෙවන පෙල ෆැන්ටසියේ ද්‍රව්‍යමය ගොදුර බවට කුමාරි, පොඩි එකා, රළහාමි යන අය පත්ව සිටී.  ඔහුගේ මෙම ශිෂ්ට අර්ධය පාවිච්චි කරමින් පොඩි එකාගේ ස්වාමි හැගවුම්කාරණය වීමට මැල් සමත් වේ.  මැල් මහත්තයා හිත හො`ද මිනිසා යැයි තේරුම් ගන්නා පොඩි එකා ස්වාමි-සේවක සම්බන්ධයක් තුල ඝාතන වැලකට සම්බන්ද වේ.  නමුත් ඔහුගේ අශ්ශිල ජීවිතය හරහා පොඩි එකාට නැවත මෙම සම්බන්දය දෙස හැරී බැලීමට  හා තමා ද කවදා හෝ මරා දමන බවට ඔහු තේරුම් ගැනීමට පේ‍්‍රරණය කුමාරි නම් ස්ත‍්‍රී ශරීරයයි.  මැල්ගේ යථපිළිබදව පොඩි එකාට හෙළිදරව් වන්නේ කුමාරි හරහා යි.  ඇය ගෙන එන මෙම දැනුම හරහා කුමාරි තුල ඇති සාරය (essence) කුමක්දැයි යන්න සෙවීම මෙම සම්බන්දයේ පදනමයි. කෙසේ වුව ද මැල් චරිතය ලාංකික ක`ඵ පාතාල ආර්ථිකයේ සත්ව සහජයේ පැවැත්ම පිළිබද දයලෙක්තික එළිදරව් කිරීමක් කිරීමට එක්තරා දුරකට අතුල සමත් වී ඇත.  මැල් ඉතා දක්ෂ ලෙස පොඩි එකාගේ ස්වයං-විනාශකාරී සහජය පාවිච්චි කරන අතර පොඩි එකා ඔහුගේ භාෂා විශ්වය තුලට ඇතුල් කර තම ක`ඵ ආර්ථිකයේ පැවැත්ම තහවුරු කර ගනී.  කෙසේ වුව ද තමා ද මෙම ක‍්‍රියාවලිය තුල මරණයට කැප වී සිටින බව පොඩි එකා ආනුභවිකව තේරුම් ගනී.  එහෙත් තම ස්වයං-විනාශකාරීත්වය තුල එයින් ගැලවීමට ආශාවක් ඔහු තුල දක්නට නොලැබේ.  අවසානයේ මැල් ඝාතනය වන්නේ රාළහාමි අතින් මිස පොඩි එකා අතින් නොවේ.

අනුරාධපුර පොලොන්නරුව හැරුණා ම මීලගට වඩාත්ම දුෂ්කර වඩාත්ම ග්‍රාමීය ප්‍රදේශය ලෙස මිට දශකය කට පමණ පෙර හදුනාගෙන තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්ක යයි. පලු වීර ගස් මැදින්- බෝවිටියා මාදන් ඇඹුල් පේර ගස් අතරින්-  නිල්වන් කුඹුරු යායෙන් ගලා එන කවි සීපද මැද්දෙන්- ඈතට දිස්වන පන්සලේ සිල් සුවද මැදින් ඝන්ටා රාවය අතරින් ඇසෙන දර්මස්කන්දය ඔස්සේ මැදමුලනින් ඉස්මතු වුවේ මහින්ද රාජපක්ෂ නම් අත්තනෝමතික පුර්ව නුතන ශරීරයයි. එමනිසා පළමු පෙළ ශිෂ්ට ෆැන්ටසිය (F1)අනුබල දුන්නේ සත්‍ය වශයෙන් එහි දෙවන පෙළ ෆැන්ටස්මතිකය හි (F2පැවැත්ම සාදනය කරනු පිණිස ය යන්න ලාංකික අනුභූතික උදාහරණය යිනව-නාසිවාදය මෙම ෆැන්ටස්මික අතීතකාමී අපගමනය තුළ මැනවින් අන්තර්ගතවී ඇති බවට තව උදාහරණ කුමටද? එය නුතනවාදයේ  විරුද්ධා භාශයක් ලෙස අප පශ්චාත් නුතන සන්දර්භයක සිට තේරුම් ගත යුතුය, නමුත් ඒ නිසාම නුතන ව්‍යාපෘතිය අප අතහැර දැමිය යුතු නැත.  දේශපාලන ව්‍යාපාර මේ පිලිබද වහ වහා  දැනුවත් විය යුතු අතර බටහිර මෙන්ම පෙරදිග ද සමාජ තුළ මුල්බැස ගෙන ඇති 'සමස්තතාවාදී ශක්‍යතා' (totalitarian potentials) තාමත් පුර්ණ වශයෙන් අවසන් වී නැත.    

ජේම්සන් (1986) සඳහන් කරන ආකාරයට තුන්වෙනි ලෝකය තම පුද්ගලික ජිවිතයෙන් විශාල ආයෝජනයක් ප්‍රතික්‍රියා දේශපාලනය වෙනුවෙන් කරනු ලබයි. නමුත් බටහිර ආත්මය විශාල වශයෙන් තම සාංදෘෂ්ටික පැවැත්ම ගැන වූ සාහිත්‍යක් වෙනුවෙන් වෙහෙසෙයි. මේ ලෝක දෙක අතර වෙනස අහස සහ පොලොව මෙනි. සංගීතය, චිත්‍රපට, දර්ශනය සහ ක්‍රීඩා ව වෙනුවෙන් ගතකරන ඔවුන්ගේ කාලය විසින් දියුණු පරිකල්පනීය මිනිසෙක් බිහිකරනු ලැබ ඇත. තුන්වැනි ලෝකයේ අප ඉතාම නොවැදගත් දෙය වෙනුවෙන් පවා ප්‍රතිචාර දක්වමින් අපගේ  ආත්මය නිර්මාණය කර ගැනීමට ඇති කාලය නිෂ්ප්‍රයෝජන දේශපාලනයක් වෙනුවෙන් කැපකරමින් සිටිමු.  අපගේ 'දිනපතා ජීවිතය' (ජේම්සන් ගේ සහ හබමාස් ගේ වචනය) කිසිදු තේරුමක් නැති ප්‍රතිචාර (reactions) වෙනුවෙන් වැයවෙයි. විශේෂයෙන් උසස් අධ්‍යාපනය රැඩිකල් වාමවාදීන් අතට පත්වූ මොහොතේ පටන් එය පුර්ණ වශයෙන් විනාශ වෙමින් යයි. එම අර්ථයෙන් පොඩිඑකා යනු පශ්චාත් යටත්විජිත 'අපොහොසත් භාවයේ' (failure) තාර්කික නිර්මාණයකි. "තුන්වන ලෝකයේ සමාජය එක් අතකින් සම්ප්‍රදායික ගෝත්‍රික සමාජය  සහ එම ආසියාතික නිෂ්පාදන මාදිලිය විසින්ද  අනෙක් අතින් අධිරාජ්‍යවාදයේ නිලධාරිවාදය විසින්ද ප්‍රාග්ධනය සහ ග්‍රෝතික වාදය අතර 'සන්ජෛවයක්' (symbiosis) ඇතිකර ඇත" යනුවෙන් ජේම්සන් නිර්වචනය කරයි (1986: 68).  මෙම ග්‍රෝතික නිලධාරිවාදය සඳහා හොඳම උදාහරණය ලෙස ලාංකික වෛද්‍ය වෘත්තිකයින් දැක්විය හැකි අතර නිෂ්පාදන මාදිලිය සඳහා රාජපක්ෂ පවුල්වාදය දැක්විය හැක. මෙම ද්විත්ව උගුල තුළ සිරවී සිටින අපට දිනපතා අත්දැකීමට ලැබෙන්නේ කුමක් හෝ නපුරක් අදිනිශ්චය වීම මතින් ජනප්‍රිය රුපවාහිනී තිර දෙවනත් කරමින් අප දිනපතා ජීවිතය ක්ෂිතිමය කරන්නාවූ පොඩිඑකා ලා පොඩිඑකී ලාය (කොන්ඩයා, පිස්තෝල නගරාධිපති, ඩිෆෙන්ඩර් හිරුණිකා...).

අධ්‍යාපනය මතු නොව අතට අහුවන ඕනෑම මගුලක් දේශපාලනීකරණය කරමින් ඇති ලාංකික වාමවාදීන්ට ඉතාම වැදගත් විය හැකි බරපතළ අදහසක් ජෙම්සන් මෙසේ සාරාංශ ගත කරයි, 'අතුපැලක ජිවත් වූ පමණින් ඒ ගැන ලජ්ජාවිමට හේතුවක් නොතිබුණද කිසිදා නාගරික ජිවිතයේ සංකීර්ණතා, කම්කටොළු සහ අපේක්ෂා භංගත්වයන් වලට මුහුණ දී නැතිවීම ආඩම්බර වීමට කරුණක්ද නොවේ. නමුත් නාගරිකත්වයේ බටහිර මිනිසා අත්දකින විකෙන්ද්‍රිය සහ ඛණ්ඩිත ස්වරුපය විසින් අවම වශයෙන් ජනනය කරන්නාවූ විගලිතභාවය ඔස්සේ නව සංස්කෘතියක් ගැන සිතීම ට අවකාශයක් හෝ ශේෂ කරයි. නාගරිකත්වය තුළ ජිවත් වෙමින් ලබාගන්නා වූ පුද්ගලික අත්දැකීම් මත පදනම් කරගත් සංස්කෘතික ඒත්තු ගැන්වීම් (cultural convictions) වල පුහුණු වී සිටින බටහිර මිනිසා ආර්ථික විද්‍යාවේ සහ දේශපාලන ගතිකයන් ගේ වියුක්ත භාවයෙන් අසමමේය වේ. මෙවන් තත්වයක් තුළ අපගේ නවකතාවක් මැදට දේශපාලනය පැමිණීම යනු, පුද්ගලික හා ප්‍රසිද්ධ ජීවිතය අතර රැඩිකල් ඛණ්ඩනයක් සලකුණු කළාවූ බටහිර ආත්මය සහභාගී වූ මියුරු සංගීත ප්‍රසංගයක් අතරතුර පිස්තෝල වෙඩිල්ලක් ඇසුනා හා සමානය' (ඉහත පිටු 67-69). දේශපාලනය විසින් විනාශ කළ සියලු සමාජ ආයතන විසින් අවසානයේ අපට ඉතිරි කර ඇත්තේ පොඩි එවුන්ය. අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය වැනි මේ සියළු ආයතන විනාශ වී පුර්ණ විගලිතභාවයකට යන්නේ නම් එවිට නව තත්වයක් ගැන සිතීමට අවකාශයක් හෝ විවර විය හැකිය. ආත්මාර්ථකාමී පුද්ගලභාවයන් සහ තමා  නිෂ්පාදනය කරන්නාවූ 'දෙය' (පොඩි එවුන් බිහිවන සන්ධර්භය) පිලිබද හැගීමක් නැති, මෙන්ම ගැඹුරු සංස්කෘතික ජිවිතයක් නැති- බත් ගෙඩි පිටින් ගිලින මෙම රාජ්‍ය සේවකයන් අප තව දුරටත් පවත්වා ගෙන යන්නේ ඇයි යන ප්‍රශ්නයට පැය විසි හතර ම සටන් කිරීමට සපථ කර ඇති වාමවාදීන් පිළිතුරු දිය යුතුව ඇත.   

ලාංකීය තරුණයා ශිෂ්ටකරණය කිරීමට මෙන් ම ඔහුට වඩා හොද ජීවිතයක් ලබා දීමට මෙම පශ්චාත් යටත්විජිත ධනේශ්වර පාලන ආකෘතිය සහ සමාජ මොඩලය (මෙන්ම වාමවාදී ප්‍රතිචාරාත්මක දේශපාලනය) අසමත් බවට වන තවත් එක් දේශපාලන හැගවුමකි 'ඹබර වලල්ල'.  ස්වභාවික මිනිසාගේ සත්ව ආශය ශිෂ්ඨකරණය කරනු වස් ලාංකික සන්දර්භය තුල පමණක් නොව ගෝලීයව ද සබුද්ධිකත්ව ව්‍යාපාරයක් තවදුරටත් අත්‍යවශ්‍ය බවට සාධක ලොව පුරාම අද  ඕනෑවටත් වඩා දක්නට ඇත.  නුතන ලෝකය තවදුරටත් වලංගු වන්නේත් එම ශිෂ්ටකරණ ව්‍යාපෘතිය අවසානය දක්වා රැගෙන ආයුතු වන්නෙත් පොඩි එකාට වඩා ප‍්‍රභල සත්ව ආශයක් ලොව පුරා ක‍්‍රියාත්මක වන හෙයිනි (ඉස්ලාමිය අන්තවාදය සහ අනෙකුත් ආගමික අන්තවාදයන්).  පවත්නා අධම ධනපති ක‍්‍රමය තම අදුරු පැවැත්ම (dark existence) තුල ට මිලියන ගණන් තරුණ තරුණියන් ගෝලීය ව අවශෝෂණය කර ගනිමින්, ඔවුන් පුර්ණ වශයෙන් විනාශ කරමින් තම පැවැත්ම තහවුරු කර ගනිමින් සිටී.  ධනවාදය ට තවදුරටත් ස්වකීය දුර්වල පිතෘ මුලිකත්වය තුළ ප්‍රබුද්ධවාදී ව්‍යාපෘතියක් එහි අවසානයක් කරා ගෙනයා නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අවම වශයෙන් අප සමාජය ට අවශ්‍ය ප්‍රබුද්ධ සාහිත්‍යය එයට සාන්දෘෂ්ටික අරුතකින් ගොඩනගා දිය හැකිද? සම්ප්‍රදාය සහ පසු-නුතන ගෝලීය ධනවාදය අතර 'අහිමි පාලම' එයට තනා දිය හැකිද? ජෙම්සන් ට අනුව යටත්විජිත රාජ්‍යන්ගේ මුලික 'අසමත්භාවය' එය යි. පොඩි එකා තමාට විනාශය අත්කර දුන් සමාජයෙන් පෙරළා 'පෙට්ටියක් අවශ්‍ය දැයි' අසයි.  මෙම දුර්දාන්ත මෙන්ම අසමත් ක‍්‍රමය ට මිනී පෙට්ටියක් අවශ්‍ය වුයේ මීට දශක ගණනකට ඉහත දී නොවේ ද?


ලිපිය සඳහා බොහෝ ආශ්‍රිත ග්‍රන්ථ තිබුණා වුවද පහත ළිපිය පමණක් කියවන්න.

Jameson, Fredrick (1986). Third World Literature in the Era of Multinational Capitalism. Duke University Press. (pp 65-88). http://www.jstor.org/stable/466493


මහේෂ් හපුගොඩ (මිට වසර කිහිපයක ට පෙර ත්‍රිමාණ පුවත් සඟරාව සඳහා ලියන ලදුව නැවත පළ කිරීමකි. මුල් ලිපිය ට යම් යම් එකතු කිරීම් කර ඇත)     

Thursday, August 11, 2016

'කතන්දරේ' නම් වූ කතාන්දරයක් අහිමි කතන්දරය...



කයිසර් නම් රැප් ගායකයා ගායනා කරන (ඉරාජ් විසින් නිෂ්පාදනය කළ) 'කතන්දරේ' නම් මියුසික් වීඩියෝ ව කොතරම් ජනප්‍රිය වුනත් ඇත්තටම ගීතය දිහා බලනකොට පෙනෙන දෙයක් තමයි ඒ තුළ කිසිම බරපතල දෙයක් දකින්න නැති කම. කතන්දරේ කියුවට ඇත්තටම කියන්න කතන්දරයක් නැති කම තමයි එහි රෝග ලක්ෂණය.  නමුත් එම නැතිකම ම තමයි එහි අන්තර්ගත අඩංගුව බවට පත්වන්නේ. අද සමාජය ඇත්තටම බයයි කිසිවක් අන්තර්ගත වී ඇත්නම්. මිනිස්සු බයෙන් ඉන්නේ තමන් ඉන්න හිස්බව අනාවරණය වෙයි කියල. ඒ අය තම ජිවිත පරිත්‍යාග යෙන් කැපවෙලා ඉන්නවා ඒ හිස් බව අනාවරණය කරන ඕනෙම කෙනෙක් මරාගෙන මැරෙන්න. හරියටම ජිජැක් කියනවා වගේ අර එක වතාවක් කොරියානු ගායකයෙක් විසින් ගායනා කළ ගැන්ග්නම් (Gangaman Style) ගීතය තුළ කිසිවක් අන්තර්ගත වී නැතිකම ට සමානයි. එක එතරම් ජනප්‍රිය වීමට එකම හේතුව නම් ඒ තුළ යම් විකාරරූපී රංගනයක් හැරුන කොට අන් කිසිවක් නැතිවීම. ඉරාජ් ගේ ගීතය තුළ උනත් අර අඩ නිරුවත් කාන්තා රුපය හැරුනම ගන්න කියල වෙන කිසිම් දෙයක් නෑ. ගොඩක් ඉල්ලා සිටින මේ යුගයේ ඇත්තටම ඉල්ලා සිටින්නේ ම අපිට කිසිවක් දෙන්න එපා කියන එක. හරියට උසස් අධ්‍යාපනය වගේ. ගොඩක් දේවල් ඉල්ලා සිටියට සමාජය ඇත්තටම විනිවිදින සුළු දැනුමක් කවුරුවත් ඉල්ලා සිටින්නේ නැහැ. ආචාර්යවරුන් ගේ කාර්ය භාරය උනත් මණින නිර්ණායක වල සමාජය වෙනස් කරන දැනුමක් සමාජගත කරන ළිපි ලේඛන ඇත්තට ම බරපතළ ලෙස මනිනු ලබන්නේ නැහැ. බලන්නේ පිටරට ශාස්ත්‍රීය සඟරා වල පළවූ දෙයක්ද යන්න පමණයි. විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ට වුනත් ඒ ගැන වැටහීමක් වත් ගණන් තැබීමක් වත් නැහැ. ඉතින් කොහොමද අධ්‍යාපනය දියුණු වෙන්නේ. විශේෂයෙන් සිංහලෙන් නම් ලියවිලා තියෙන්නේ එවැනි ලේඛනයක් ගණන් ගන්නෙම නෑ. ඒ විදියට ගත්තහම විද්‍යා ධාරවල මහාචාර්යවරු අධිනිශ්චය වූ මෙවැනි යුගයක වික්‍රමසිංහ ගේ නවකතාවක් වුනත් විමර්ශන වාර්තාවක් (review report) නැතුව ප්‍රතිපාදන කොමිෂම ගණන් ගන්න එකක් නැහැ. ඒ විදියට බලනකොට අපිට වඩ වඩාත් 'කතන්දරේ' වැනි කතන්දරයක් නැති කතන්දර උවමනා වෙලා තියෙන යුගයක් මේක.  නිකොටින් නැති සිගරට් වගේම තමයි සාරය අහිමි අන්තර්ගතය. සාන්දෘෂ්ටික බව නොමැති අමුතුම 'ගැන්ග්නම් සාන්දෘෂ්ටික' යුගයක් මේක. 




ගීතයේ තියෙන අරාජක හිස්බව වසාගන්න කයිසර් සහ ඉරාජ් හුගක් දේවල කරලා තියෙනවා හරියටම ගැන්ග්නම් ගීතයේ වගේ. ගැන්ග්නම් එකේදී කරන්නේ අමුතු නැටුමක් විසින් එම 'හිඩැස' පුරවන එක. මෙතනදී ඉරාජ් කරන්නේ ලිංගික සංඥා ටිකක් අර්ථය වෙනුවට ගෙනෙන එක. හරියටම 'මනුසතා' ගීතයේ දී වගේ. එතැනදී ඔහු කරන්නේ ජනප්‍රිය ජාතිකත්ව සහ ආගමික සංඥා කෙරෙහි විශ්වාසය තබන එක මහින්ද රාජපක්ෂ කළා වගේ (රාජපක්ෂ කියන්නේ 'හිස් බවේ උත්කෘෂ්ට වස්තුව' = the sublime object of emptiness). නමුත් අද දවසේ තාරුණ්‍යය ය කියන්නේ පශ්චාත්- හින්ද ප්‍රපංචයකට. ඒ කියන්නේ මොනව වුනත් දැනෙන්නේ නැති මිනිස්සු කොටසක් ඉන්න පශ්චාත්- ගෝලීය ධනවාදයේ තාරුණ්‍යයක් අත්දකින රටකට. හැම දෙයක් එක්කම ඒ ගොල්ලෝ සාන්දෘෂ්ටික දුරස්ථ බවක් නඩත්තු කරනවා. කිසි දෙයක් එක්ක සමීප වෙන්න බයයි. දේශපාලනය එක්ක නම් අධික දුරක් නඩත්තු කරනවා. නමුත් තත්‍යසමාන අවකාශයේ ගොඩක් ක්‍රියාකාරී සහ අති සමිප බවක් තියාගන්නවා.  ඒ එක්කම තමන්ගේ වැඩේ නියමෙට කරගන්නවා ආත්ම මුලික අර්ථයකින්. උදාහරණ වශයෙන් සමාජ හිනිමගේ ඉහලට නගින්න පුදුම ගේමක් දෙනවා මේ ගොල්ල බාහිර මිනිස් යථාර්තය සමඟ දුරස්ථ බව තියාගෙන (දෙමව්පියෝ උනත් කියන්නේ තමන්ගේ වැඩේ හොඳට කරගන්න කියල තමාගේ වටේ මොනවා උනත්). වෛද්‍යවරු, නීතිඥයෝ, ඉංජිනේරුවෝ වෙලා සුළු ධනේශ්වර පන්තියේ ඉඳල මැද පංතියට නගින්න මාර ගේමක් දෙනවා මේ අය විශ්ව විද්‍යාල වලට මොන විදියෙන් හරි රිංගලා. එහෙම නැත්නම් සුපර් ස්ටාර් කෙනෙක් වෙලා හරි ජනප්‍රිය වෙන්න එහෙම වෙලා සල්ලි ටිකක් හම්බ කරගන්න දෙන ගේම දැක්කම පුදුම හිතෙනවා (උඩට නගින එක නරක දෙයක් කියල නෙවේ මේ කියන්නේ. ඒකෙදි තියෙන අව-මානුෂික තත්වය තමයි අපි දකින්න ඕනි). ආශාව තුළට ඇද වැටෙන්න ඕනි ඒත් එක්කම ඒක සාර්වත්‍රික බව සමඟ සංසේචනය (intimated) වෙන්නත් ඕනි. නැත්නම් සියල්ල ආත්ම මුලිකත්වය කියන පතුලක් නොපෙනෙන සීතල වතුරේ ගිලිලා නොපෙනී යනවා (ටයිටැනික් එකේ ජැක්ගේ ශරීරය රෝස් ගේ ස්ව-කේන්ද්‍රීය ආත්මය තුලට ගිලිලා නොපෙනී ගියා වගේ). කයිසර් ගේ අනියම් ප්‍රේම රූපකය ඇතුලේ පෙනෙන්නේ ඒ වගේ ආත්ම මුලිකත්වයක්.  හැබැයි පිරිමියා 'හොල්ලන්න' නම් ඒ වගේ මාතෘ මුලික නොවන ප්‍රචණ්ඩ ගැහැනියක් ඉන්නත් ඕනි.   

එක පැත්තකින් 'රැවටුවේ නෑ' කියනව සහ අනෙක් පැත්තෙන් 'රෑ වැටුන වලේ දවලුත් වැටුණ' කියල චුරු චුරු ගාන තාරුණ්‍යයක් තමා ගීතය තුළ නිරුපණය වෙන්නේ. ටයිටැනික් එකේ එතකොට බොන් ජෝවී ගේ Bed of Roses  එකේ මේ වගේ විකාර නැහැ. 'තුවාල සහිතව මේ පැරණි පියානෝව ළඟ වාඩිවී මම ඒ සිතාගත නොහැකි මොහොත ගැන මෙනෙහි කරමි' කියල තමයි ජෝවී පටන් ගන්නේ.  'ඇය මා අතහැර ගියද, මා යකඩ ඇන සහිත සයනයක දිගාවී සිටියද මම ඇය රෝස මල් යහනාවක දිගාකළ යුතුය' කියල තමයි ගීතය අවසන් කරන්නේ. ඒ තරම් තමන්ගේ ආත්මය කේන්ද්‍රීය ලෙස ආශා වස්තුව සමඟ සමීප කරගන තියෙන්නේ බටහිර ආත්මය (වලේ වැටෙනවා කියල එකක් නෑ. එහෙම හිතෙන්නේ චන්දෙන් පැරදුණ මහින්ද රාජපක්ෂ, තව සල්ලි හොයන්න හදපු බැසිල් වගේ අයට). බටහිර ආත්මය දන්න රහස තමයි අහිමිවීම තුලින්  තමයි ආත්මය නිර්මාණය (කොගිටෝව) වෙන්නේ කියන එක. ඒ කියන්නේ විෂය ය අනෙකා සමඟ සම්භන්ද කරන 'විකාර සහගත වස්තුව' (a) සඳහා අර්ථයක් විෂය ය විසින් සපයනවා කියන එක. ඒ නිසා ඇය අහිමි වීම කියන්නෙම අර්ථයක්. මොකද තමා එම අර්ථය තුළ තවමත් ජිවත් වෙන නිසා. හුගක් අය යම්කිසි කෙනෙක් ගෙන් දුරස් වුණා කියන්නෙ ම  අදාළ තැනැත්තා එම අනෙකා ගෙන් වෙන් වුණා කියන එක මිසක් සාර්වත්‍රික අර්ථයකින් අදාළ අනෙකා ගියා ද නැත්ද කියන එක නොවෙයි.   


අන්තර් පුදගලභාවය ගොඩනැගෙන්නාවූ අර්ථකතනය කළ නොහැකි 'විකාර සහගත දෙය' නම් වූ (a) වස්තුව 
කොගිටෝමය සන්දර්භයක් ඇතුලේ 'අහිමිවීම' විසින් ආශාව සඳහා අලංකාරිකයක් සපයනවා. ඒ කියන්නේ ආශාවේ දිග් ගැස්සවීම මඟින් අප තවතවත් ආශා කිරීම සඳහා සහ ආශාව තුලම රඳවා ගැනීම 'අහිමිවීම' නම් තත්වයට කළ හැකි එක් වැදගත් ක්‍රියාවක්. උදාහරණයක් හැටියට අශෝක හඳගමගේ 'ඇගේ ඇස අග' චිත්‍රපටය තුළ නිරූපණය කරන යොවුන් ස්ත්‍රිය හමු නොවීම තුල ම ඇයට ආශා කිරීමේ යාන්ත්‍රණය දිගින් දිගටම පවත්වා ගෙන යා හැකියි.  මෙය අලංකාරික තත්වයක් වුනාට දිග්ගැස්සීම විසින් අපට එම හමුවීම තුලින් ම ඇතිවිය හැකි ක්ෂිතිමය මුණගැසීම මඟහරිනු ලබනවා. එම මඟ හැරීම නැත්නම්, යථ සමඟ පවත්වන දුරස්ථ බව සින්තෝමයක්, ඒ කියන්නේ 'තමා තුල නැති දෙය' අනෙකා තුල සෙවීමෙන් මිනිසාට අන්තර්-පුද්ගලභාවය (අන්තර්-විෂයමුලිකත්වය) ස්ථාපිත කර ගන්න පුළුවන්.  ඒක මඟහැරල අපි තුලම අපගේ නැති වු දෙය සෙවීමෙන් වෙන්නේ රෝගී ලෙස අප අප තුලට ම ගමන් කිරීමක් පමණයි.  උදාහරණ ලෙස කයිසර්ගේ ගීතයේ ‘ඇයට' අවශ්‍ය කුමක් ද? යනුවෙන් අප පෙළන විරුද්ධාභාෂී කුකුස සහ ඇය තුල නැති දෙය පුරවා දැමීමට පිරිමියා කරන උත්සාහ ය තුලම පමණි අන්තර්-පුද්ගල සම්බන්දතාවයක් පැවතිය හැක්කේ. එසේ නැතිව ඉන් පිටත සැරිසැරීමෙන් අලංකාරිකයක් (metonymy) ජනිත කරගත හැකි වුවත් සම්බන්දතා කලාපයක් ජනිත කරගත නොහැකියි.  ඉතින් අරවින්ද නම් චරිතයෙන් උගත හැකි පාඩම තමයි  'මඟ හැරීම' (escape) කියන්නෙ ම නාසිස්මික අපගමනයක් කියන එක. ගීතයේ කතාන්දරයක් නැතිවීමට එක හේතුවක් තමයි ඇය විසින් අසමතුලිත කරන ලෝකය සංකේතීය පිළිවෙල ඔස්සේ නැවත ලබා ගැනීමට පිරිමියා උත්සාහ නොකර සිදු වු දේ ආතල් එකක් බවට රූපාන්තරණය කර ගැනීම (දුරස්ත බවේ සමකාලීන ලාංකික රෝග ලක්ෂණය). 

හරියට ම කීවොත් ඇයගේ ක්ෂිතිමය හමුවීම සහ පෙළඹවීම විසින් පිරිමියාගේ එකතැන පල්වෙන ආත්මය සොලවා පොළොවේ ගසනවා. එසේ සෙලවුණ ලෝකය විසින් ඔහුව අසමතුලිත කරනවා.  ඊට පස්සේ එම අසමතුලිත බව විසින් වඩවඩාත් ශක්තිමත් අයුරකින් සංකේතීය පිළිවෙල තුලට පිරිමියා ඇතුලත් වෙනවා සහ ලෝකය වෙනස් කිරීමට උත්සුක වෙනවා යන්න මෙහිදී අර්ථවත් වෙනවා. එහෙම නැතුව ගැන්ග්නම් නැටුවාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ආපසු අතීතයට ගියාට වැඩකුත් නැහැ.  මේ මොහොතේ ක්ෂිතියෙන් මිදෙන්න ජාතිවාදයට ගියාට වැඩකුත් නැහැ. විගලිතභාවය ඇතිවෙන්නේ ම ආත්මය අනෙකා සමඟ ගොඩනඟා ගන්නා වු 'විකාරයක්' (nonsense) විසින්. ඒ කියන්නේ හිස්බව පුරවා දමන්නේ අප 'අර්ථවත් යැයි සිතනු ලබන එහෙත් ඇත්තටම අර්ථයක් නොමැති දෙයක්' (a වස්තුව) විසින්. ඒක නිසා ගැහැණිය කියනවා ඇත්තමට මම රැවටුවේ නැහැ කියල.  එතකොට පිරිමියා කියනව 'මගේ ජිවිතේ අර්ථය අවසන්' කියල.  ඇය ඉන්නේම පිරිමියාගේ හිස්බව පවතින තුරු විතරයි.  ඊට පස්සේ ඇයට පැවැත්මක් නැහැ. සත්‍ය වශයෙන්ම අභියෝගය නම් මේ දෙදෙනාටම එකඟ විය හැකි හැඟවුම්කාරකයක් මේ උභතකෝටිකය මතින් සොයා ගැනීම.  ඒ නිසා තමයි අර්ථකතනය සඳහා මෙපමණ ඉඩක් විවර වෙලා තියෙන්නේ. අර්ථයක් නැති කතන්දරයක් අර්ථවත් කරන එක තමයි අර්ථකතන වේදියාගේ කාර්යභාරය.

Note:
විකාර වස්තුව (a) සඳහා උදාහරණ වශයෙන් අප පනිට්ටුවක් අරන් දිය නෑමට යන අයෙක්ගෙන් 'නාන්නද යන්නේ' යනුවෙන් අසන අතාර්කික අවස්තාව සිහියට නගන්න. අතාර්කික මෙම නිමේෂය මඟින් තාර්කික කතාබහක් සඳහා අවශ්‍ය පසුබිම සකසයි. 

Sunday, August 7, 2016

'හම්බන්තොට මහින්ද... පොළොන්නරුවේ සිරිසේන' නම් වූ නරුමවාදය


'හම්බන්තොට මහින්ද පොළොන්නරුවේ සිරිසේන' නම් ගීතය පහල සහ මැද පන්තික කොටස් අතර මෙතරම් ජනප්‍රිය වන්නේ ඇයි යන්න විමසා බැලිය යුතු කරුණකි. 'පහල පන්ති සහ මැද පන්තික කොටස් අතර' යන්නෙහි අර්ථය එම පන්තීන් බහුලව සැරිසරන කලාප වල යන්නයි. බස්වල, හන්දිවල, කඩ පිල්, සුපර් මාර්කට් වල ආදී මෙකි නොකී හැම තැනම මේක දිගින් දිගට ප්‍රචාරය කරනවා යන්න මෙයින් ගම්‍ය වේ (සමහර බස් රථවල තුන් හතර වතාවක් දිගටම වාදනය කරයි). පශ්චාත් යටත්විජිත දේශපාලනයේ අශ්ලීල වස්තුව නැවත ආගමනය වී ඇත. ජිජැක් සඳහන් කරන ආකාරයට මෙය දෘෂ්ටිවාදයට දෙන්න පුළුවන් හොඳම උදාහරණය යනුවෙන් සැලකිය හැකියි. එයින් අදහස් කරන්නේ ගීතය තුලින් ලබාගන්නාවූ  දුරස්ථ බව විසින් අප යථාර්තයෙන් නරුමවාදී ලෙස වෙන් වෙන අතරේ ම එයට නැවත සම්බන්ද වෙනවා යන්නය. එයින් විරුද්ධාභාෂි ලෙස අදහස් වන්නේ අපේ විනෝදයේ කොටසක් ලෙස නැවත එම යථාර්තය පැවතීමට පටන් ගන්නවා යන්නයි. පවත්නා තත්වය 'මම දනිමි එහෙත්' (I know but...) යන තත්වය තුළ ප්‍රති-නිෂ්පාදනය වීමට පටන් ගනී යන්න මෙහි සරල අදහසයි.  මෙම ජරාජීර්ණ තත්වය හා දුරස්ථබාවය අපිට අර ගීතය හරහා පවත්වා ගන්න පුළුවන් වන්නේ එම තත්වයට නරුම විදියට නැවත සම්බන්ද වීම මගින් පමණකි. එවිට පමණක් අපි ඒ තුල හිදිමින්ම අපි ගැනම සිනාසිය හැකියි (පශ්චාත් යටත් විජිත දෛවය). ක්‍රමය බිංදුවක් වත් වෙනස් නොවී එසේම පවතින අයුරු අපට දැන් දැකිය හැකිය. ජිප්සීස් ගේ 'සිඥෝරේ', 'එහෙම වෙන්නේ ඇයි', මොහාන් රාජ් ගේ 'ආදරණිය වික්ටෝරියා', චුටි මල්ලි පොඩි මල්ලිගේ 'අපි නොදන්න Live', චිත්‍රාල් ගේ 'විල්පත්තුවේ', ලහිරු ගේ 'රම්බරී' සහ 'මොට්ටු',  ඉරාජ් ගේ 'මනුසතා' යන පශ්චාත් යටත්විජිත ප්‍රතිචාරාත්මක (reactionary postcolonial) මාවතේ ම අපට ඊළඟට මුණ ගැසෙන "කලාකෘතිය" නම් 'හම්බන්තොට මහින්ද පොළොන්නරුවේ සිරිසේන' යි.  මෙම තත්වය ප්‍රබුද්ධ අර්ථයකින් ඉතාම කණගාටුදායක මෙන්ම පසුගාමිය.  වහල් භාවයේම දිගුවකි නැත්නම් ප්‍රති නිෂ්පාදනයකි. බටහිර ස්වාමියා වෙත ප්‍රක්ෂේපනය කරන අපගේ අවින්ඥානික පැණය මෙවැන්නකි. යටත් විජිත අව-මානුෂික බව විසින් අවසානයේ ඔබ විසින් අපට කර ඇති අපරාධයක මහත. දැන් අපගේ මෙම දුක්ඛිත  බව දෙස බලනවිට ඔබට ක්ෂිතියක් ජනනය නොවේද ? 



මේ වනවිට ඇතිවෙමින් පවතින ආතතිමය, ක්ෂිතිමය දේශපාලන කලාපය නැතහොත් යහපාලන ආණ්ඩුවේ නොහැකියාව නම් තත්වය චිකිත්සක (therapeutic) අර්ථයකින් අප මඟ හරිනු ලබන්නේ එම යථාර්තය සමඟ දුරස්ථ සම්බන්දයක් නඩත්තු කිරීමෙනි. මෙම ගීතය එනයින් මානසික චිකිත්සක සහනයකි (මහින්ද ගේ කාලයේ මෙවැනි චිකිත්සක සහන දුන්නානම් ගැඹුරු මුහුද දෙසට සැනෙකින් අතුරුදහන් වෙන නමුත්). ඩිෆෙන්ඩර් හිරුනිකා, කොළඹ රනිල්, චම්පික, රාජිත විල්පත්තුවේ බද්රුදීන් සහ පොළොන්නරුවේ සිරිසේන වශයෙන් පුද්ගල බද්ධ ව පහසුවෙන් නම් කල හැකි මෙම බිඳවැටීමේ හේතුව (reason) මිට වඩා ඉතා ගැඹුරු තැනක ස්ථානගතවී ඇති එකකි. එය ඉහත පුද්ගල සාධක ඉක්මවා ගිය සමස්ත පශ්චාත් යටත්විජිත අසමත් භාවයකි. නමුත් මෙම බිඳවැටීම අප විපරීත ලෙස මඟ හරිමින් සුවිශේෂ පුද්ගල සාධක අරමුණු කරමින් සිටිමු. වෛද්‍ය වෘතිකයින් කරන්නාක් මෙන් මෙන් මෙම සමස්ත ගැටලුව ප්‍රතික්ෂේප කිරීම දැනුවත් නරුම වාදයකි (cynicism). රෝග ලක්ෂණයක් ලෙස අර්ථකතනය කෙරේ නම් මෙයට දිය හැකි වචනය 'අර්චනකාරී විපරීත බව' ය (fetishistic perversion). එහි අර්ථය නම් තමා මේ වනවිට අත්දකිමින් සිටින යථාර්තය ප්‍රතික්ෂේප කිරීමේ යාන්ත්‍රනය මානසිකව ගොඩනගා ගැනීමයි. මවට ෆැල්ලසයක් නැතිබව විෂය ය දන්නා නමුත් එය නොදන්නවා සේ සිටිමින් (disavow) එය නොමැති බව පරිපුරණය කිරීම සඳහා වෙනත් අනුපුරක (ආදේශක=substitute) අර්චන වස්තුන් සොයා යෑම මෙයට උදාහරණ වේ. 

මෙයටම තවත් උදාහරණයක් ගෙනෙන්නේ නම් ජ. වි. පෙ. ඇතුළු වාමාංශික ව්‍යාපාර තම සාමාජිකයින් නැවත ග්‍රාමීය ප්‍රදේශ වලට යවමින් (නාගරිකව කළහැකි බොහෝ රැකියා නිෂ්පාදන හා සේවා ආර්ථිකය තුළ තිබුනත්) එම ග්‍රාමීය ප්‍රදේශ වල ගොවි පළවල් නඩත්තු කිරීම,  ගොවිතැන් වැඩ කිරීම, හේන් වැඩ කිරීම,  ලී ඉරීම  වැනි නාගරිකත්වයෙන් පළා යමින් කරන්නාවූ අපගමනයන් විසින් නැවත වරක් අපගේ ග්‍රාමීය අනන්‍යතා වලට අතිරික්ත වටිනාකමක් දීම ඉහත මාතෘ මුලික අනුපුරක තත්ත්වයේම දිගුවක් වේ.  අප රනිල් දෙස බලා සිනාසුනද (ඔහුගේ සීමාකම් කොතෙක් වුවද) යම් දේශපාලනයක් කිසිවෙකු විසින් කරන්නේ නම් ඒ සඳහා ශක්‍යතාවය ඇත්තේ සහ අපව ම නිර්මාණය කරගැනීමේ විභවතාවය ඇත්තේ රනිල් ලා ජිවත් වන නාගරිකත්වය තුළ ම බව අප අවබෝද කර ගත යුතු වෙමු. අරුන්දතී රෝයි, සල්මන් රුෂ්දී වැනි ලේඛකයින් විසින් ද පවත්වා ගෙන යන මෙම නරුම දුරස්ථ බව (cynical distance) වෙනුවට අප එම සංකීර්ණ යථාර්තයට මුහුණ දිය යුතුය. එයින් පැන නොයා යුතුව ඇත. අනාගතය ඇත්තේ එම යථ හමුවීම තුලම ය.