Wednesday, February 22, 2017

(නො)කළ යුත්තේ කුමක්ද?

ප්‍රබුද්ධ උරුමයෙන් බොහෝ කලකට පෙර ඈත්වුන ලාංකික වම ප්‍රචණ්ඩ අමානුෂික බව වෙත පහසුවෙන් ඇදී යන අතර එම ප්‍රචණ්ඩ බව හරහා සමාජයට දිනා දුන් දෙයක්ද නැත.  සංකේතීය කිසිවක් ඔවුන්ට සමාජය ට ශේෂ කර දිය නොහැකි විය. විශේෂයෙන් විජේවීර විසින් පටන් ගත් තරුණ නිර්ධන (සුළු ධනේශ්වර ගොවි) පන්ති බල මුළු ගැන්වීම අවසන් වුයේ වර්ගවාදයකිනි. අනන්‍යතා දේශපාලනයකිනි. රැඩිකල් බව නිස්සාර ජාතිවාදයක් බවට පත්කිරිමෙනි....සුළු ධනේශ්වර පන්තිය ම එකිනෙකා මරාගැනිමෙනි. විජේවීරගේ රැඩිකල් වමට කළහැකි වුයේ එක් දෙයක් පමණි. මිනිසුන් මරා  ඔවුන්ගේ ඔළු ලී රිටක ගසා පාරේ හැමෝටම පෙනෙන්න තබන විට, මිනිසුන් නිරුවත් කර පාරේ හිටගෙන සිටින ලෙස දේශප්‍රේමින් අණකරන විට, තමන්ට විරුද්ද මාධ්‍යවේදීන් ඝාතනය කරන විට, මිනිසුන්ගේ හැදුනුම් පත් එකතු කරන විට, අද දවසේ වධකාගාර පවත්වා ගෙන යන විට පවා ඔවුන් ලෝකයට පෙන්වා දෙන්නේ එක දෙයකි. ඒ මිනිස් ජීවිතවල ට තමා කිසිදු වටිනාකමක් නොදෙන බවයි. දැන් සිදුවන්නේද එදා සිදුවූ දෙයමය. අද දවසේ විජේවීර ගේ අවතාරය විජේවිරටත් හොරෙන් (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මෙන්) නැවත සැරිසැරීම ට පටන් ගෙන ඇත (විජේවීර පැළඳි ලොකු කණ්නාඩි වෙනුවට අද එම නායකයන් සන්ග්ලාස් දාගෙන ඇත. වෙනස එයයි. බටහිර නිල් චිත්‍රපට වල ඇති දෑ වදකාගාරයේ ප්‍රයෝගිකව කරන විට මෙම ක්‍රමය හා වඩාත් ආශාක්ත වී සිටින්නේ කවුද යන්න හැමෝට ම මනෝ විශ්ලේෂණය තුල පැහැදිළි විය යුතුය). ඉහත වධකාගාර හරහා නැවතත් ඉතිහාසය පුනර්වාචි වීම ආරම්භ වී ඇත. තවත් එවන් වමක් ඇතිකිරීම වෙනුවෙන් අපගේ අදහස් සෘජුව හෝ වක්‍රව සේවය කරන්නේ නම් එවිට එම අදහස් දැක්වීම පවා පලක් නොවේ. එවිට කලයුතු වඩාත් රැඩිකල් දෙය වන්නේ නිශ්ශබ්ද වීමයි! 
"Noise does not cancel out noise, silence does".
අවසන් වශයෙන් කිව යුත්තේ මේ මොහොතේ 'කළ යුත්තේ කුමක්ද' යන ප්‍රශ්නයට කිසිවකුට පිළිතුරු නැති බවයි. අප විශ්වාස කරන පරමාදර්ශ වෙනුවෙන් තවමත් සෘජුව පෙනී සිටින්නේ 'ලංකා ඊ නිව්ස්' (lankaenews) පමණක් දැයි සිතෙන තරමට අනෙක් මාධ්‍ය මෙම මුලධර්මවාදය විවේචනය නොකිරීම ට අදිටන් කරගෙන ඇත. මෙම නොසැලකිලිමත් බවේ වන්දිය (price for ignorance) කොතෙක්ද යන්න ගැන කාටවත් වගේ වගක් නැත. සිහිපත් කලයුතු දෙය වන්නේ මෙවන් කුඩා රැඩිකල් සමාජ තීරුවක් විසින් ඊජිප්තුවේ මුබාරක් සහ ලිබියාවේ ගඩාෆි ගෙදර යැවූ බවය. ආපතික දේවල් සිදුවීමට මහා වෙලාවක් යන්නේ ද නැත. ඒ සඳහා ගොඩක් අය වුවමනාද නොවේ. කුඩා නියඟයකට මුහුණ දීමට නොසුදානම් ආණ්ඩුවකට එක්වර සිදුවන තරුණ නැගිටීමක් යටපත් කල හැකිවේද? උතුරේ ජාතිවාදය තුල කල දේ දකුණේ එසේම කල හැකිද? යම් මොහොතක සිදුවීමට නියමිත පරස්පරතා හි මුණගැසීම් (වම සහ ජාතිවාදය) ගැන මෛත්‍රී පාලනයට අදහසක් ඇත්ද? වමේ පක්ෂ එවිට කරන්නේ කුමක්ද? මෙම වෛරී දේශපාලනයෙන් මිදී ප්‍රබුද්ධ, මිනිස් බුද්ධිය සහ විශ්වීය වටිනාකම් මුල් කරගත් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින ඕනෙම අයෙක් විසින් කල යුතු දෙය නම් මෙම මුලධාර්මික, නොමිනිස්, ප්‍රාථමික බව පරාජය කිරීමයි.  අද දවසේ වධකයන් හෙට අපව පාලනය කරන්නේ නම් එවිට? 

විසිවන සියවසේ දී වුව ද මිනිසා සතුටින් තැබීමට 'බටහිර' ධනවාදය නිෂ්පාදනය කරන භාණ්ඩ වලට (වධකාගාරයේ අත්හදා බලන ව්‍යග්‍රා ඖෂධ මෙන්ම) නොහැකි බව පැවසුවේ මහත්මා ගාන්ධි ය. ඉතින් විසි එක්වන සියවස ගැන කුමන කතාද! 'බොහෝ දුර ඇවිද ගොස් ඔබ නැවතුන විට නැවතත් ඔබ ආරම්භ කළ තැනට ම පැමිණ ඇත්නම් එවිට...' (මහත්මා ගාන්ධි).

වධකාගාරයේදී නවකයන්ට සිසුවියන්ගේ මුත්‍රා පොවලා...  http://www.lankaenews.com/news/5351/si

නවක වදය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි .http://yukthiya.lk/5277-2/

Tuesday, February 21, 2017

සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවුන පේරාදෙණි නවක සිසුන්ට වධ දීලා...

ලංකා ඊ නිව්ස් විසින් පළකර ඇති පහත ප්‍රවුර්තිය මගින් ජිජැක් සඳහන් කරන 'නව මෘගකරණය' (new brutalization) නම් පසු ධනවාදී තත්වය පිළිබද අදහසක් ලබාදේ. පොදු අවකාශය අර්බුදයට යවමින් ඩිජිටල් අවකාශය තුළ අපට නිතර පෙනෙන මෙම 'නව වහල්භාවය' (new servitude) තුළ පීඩා කිරීම (torture) සහ වේදනාවට (pain) භාජනය වීම මානසික තත්වයක් ලෙස ලොව පුරා මුලධාර්මික දේශපාලනය තුළ ඉස්මතුව ඇත.  මෙය ශිෂ්‍ය දේශපාලනය නොවේ. මේ අප අත්දුටු 1988-89 කෙමෙර්රූජ් පාලනය මෘග ලෙස නැවත ඉස්මතු වීමකි. මේ 'නව මෘගකරණීය සමාජානුයෝජනය' (brutal socialization) සඳහා අන්තරය යනුවෙන් හඳුන්වන ශිෂ්‍ය පිරිස සෘජුවම මැදිහත් වන අතර අන්තරය පාලනය වන්නේ පෙරටුගාමී සමාජවාදීන් ගේ අනුදැනුම ඇතිවය. විශ්ව විද්‍යාල වල ගුරුවරුන් බහුතරය මේ තත්වය ගැන ඉන්නේ දැඩි කලකිරීමෙන් වන අතර ඉහත තත්වය නිසා අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන් බිඳවැටී ඇත. ජිජැක් සඳහන් කරන 'අවම මතුපිට සදාචාරය' (appearance) හෝ මෙම සිසුන් ආරක්ෂා කරන්නේ නැත.  කණගාටුවට කරුණ නම් පෙරටුගාමීන් සහ අන්තරය එකතුව නිර්මාණය කරන දේශපාලන වේදිකාවල ට යම් ප්‍රබුද්ධ පසුබිමක් ඇති දේශපාලන සංවිධාන වල නියෝජිතයින් සහභාගී වීමයි. එම සහභාගී වීම මගින් ඔවුන්ගේ අරගලය නෛතිකරණය කිරීමයි.  ජ. වී. පෙ. විසින් 'ද්‍රෝහීන්' ලෙස අතීතයේ (1988-89) කළ නම්කිරීමට අප මේ වර්තමානයේ බියවන්නේ ඇයි? ප්‍රබුද්ධ බව තුළ ද්‍රෝහීන් වුවත් ඇති වරද කුමක්ද? අප දෙස අතීතය බලා සිටින්නේ නැත!  
-----------------------------------

සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට සහභාගී නොවුනැයි පේරාදෙනිය සරසවියේ නවක සිසුන් 8 දෙනෙකු බලහත්කාරයෙන් සරසවි භූමියෙන් පැහැරගෙන තාවකාලික කුලී නිවසකට ගෙන ගොස් රාත්‍රියක් පුරා වධ දෙමින් සිටියදී පේරාදෙණිය පොලිසිය කරන ලද වැටලීමකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වධකයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
ඒ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය දුන් නියෝගයක් අනුව ය.
වධයට ලක්වූ සිසුන් සිසුන් 8 දෙනා පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ  සිසුන් වන අතර  වධ දුන් වධක සිසුන් දෙවැනි වසරේ සිසුන් යැයි කියන නමුත් පිට පුද්ගලයන් ද ඒ අතර වෙතැයි පොලිසිය සැක කරන බැවින් ඔවුන් නිසැකවම සරසවි සිසුන් දැයි දැන ගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් සහතිකයක් ඉල්ලා තිබේ. 
සයිටම් විරෝධතා වලට අඩුවෙන්ම සහභාගී ඇත්තේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් වන අතර අන්තරේ වධකයන් සිසුන් 20 ක් පමණ දෙනා සොයමින් සිට ඇත.  
මෙම සිසුන් පැහැරගෙන ගොස් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පේරාදෙණිය පොලිසිය වැටලීම කරද්දී පාන්දර 2 ට පමණ වන අතර ඒ වන විටත් අන්තරේ ජ්‍යෙෂ්ඨයෝ නවක සිසුන් 8 දෙනා වධ බන්ධනයට ලක් කරමින් සිටියහ.
පේරාදෙණිය හිඳගල මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම නිවස කුලියට ගෙන ඇත්තේ ද මාස දෙකකට පමණි. සරසවි සිසුන් නිවසක් කුලියට ගන්නවා නම් අඩුම වශයෙන් වසරක කාලයකට කුලියට ගන්නා බැවින් මෙම ස්ථානය  සරසවි සිසුන්ගේ නවාතැනක් විය නොහැකි යයිද මෙය අන්තරේ නීති විරෝධී මාෆියා ක්‍රියා සඳහාම තාවකාලිකව කුලියට ගත් ස්ථානයක් බව පෙනී යන්නේ යයි පොලිසිය පවසයි.  
වධයට ලක්වූ සිසුන්ට අමානුෂික ලෙස පහර දී තිබෙන අතර ඔවුන් රෝහල් ගත කර ඇත. දෙදෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. 
මෙය නවක වධ සිද්ධියක් යැයි කියා යටපත් කිරීමට උත්සාහ කළද සරසවි ආරම්භ කර මේ වන විට මාස 2 ක් පමණ වී ඇති බැවින් මෙය නවක වධය දීමක් නොව පළිගැනීමක් බව පෙනී යන නමුත් වධයට ලක්වූ සිසුන් බියට ඒ බව පොලිසියට පවසා නැතැයි පොලිසිය කියයි. 
මෙදිනම සිසුවියන් දෙදෙනෙකු ද වධයට ලක් කර ඇති අතර ඔවුන් දණහිසෙන් ඇවිද්දවීම හේතුවෙන් දණහිස් තුවාල වී තිබේ. එම සිසුවියන් හෝ දෙමාපියන් හෝ බියට පොලිසියට පැමිණිලි නොකරති.
මේ අතර උද්ඝෝෂන වලදී අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් වන අන්තරේ සිසුන් වෙනුවෙන් රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ගෙවන බවත්, සිසුවියන්ට වැඩියෙන් ගෙවන බවත් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අන්තරේ කැඳවුම්කරුවාට එක් රිමාන්ඩ් වීමක් සඳහා රුපියල් ලක්ෂ 10 ක් ගෙවා තිබෙන බවත් ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කෙළේය.

Lankaenews

Monday, February 20, 2017

ඔබට අවශ්‍ය කුමක්ද?

* 'ඔබ ට අවශ්‍ය කුමක්ද' (What do you want?) යන ප්‍රශ්නය ට කෙලින් පිළිතුරක් ඔබ ට තිබේද?
* 'ගෝලීය වම ට අවශ්‍ය කුමක්ද' යන්න ට ඔවුන්ට පිළිතුරක් තිබේද?
* කිසිදු ගෝලීය වමේ පක්ෂයක ට තමා  බලය ලැබුණ පසු කරන්නේ  කුමක්ද යන්න කෙටියෙන් කිව හැකිද?
* ඊජිප්තු අරගල වලින් පසු සිදුවන්නේ කුමක්ද? 
* පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර ශරීර වියදම් කරමින් ඉල්ලන්නේ  කුමක්ද යන්න ඔවුන්වත් දන්නවාද? 
* 'නව අමානුෂික සමාජානුයෝජනය' (new brutal socialization) ගැන  අද්‍යතන වම ට ඇති ආචාරවාදී නිර්වචනය කුමක්ද? 
* ඩිජිටල් අවකාශය තුළ කාන්ටියානු 'පොදු අවකාශයට' (public space) කුමක් සිදුවේද යන්න වම්මු දන්නවාද?  දැන ගත්තත් සද්ද නැතුව ඉන්නවාද? 
උල්කාවක් අප මතට ඇද වැටී අප විනාශ වනවා යන්න අප ට වහාම උපකල්පණය කළ හැකි වුවත් මෙම ධනවාදී ක්‍රමය වෙනස් කල හැකි යැයි කිසිවෙක් කල්පනා කරන්නේද? ඒ තරම් ම අප මෙම ක්‍රමයට ආශා නොකරන්නේද? 

ඉතින් ජිජැක් ගේ පහත දේශනයට සවන් දෙන්න...






Sunday, February 19, 2017

මහපොළින් ජීවත් වන සිසුන්ට වාහන පෙළපාලි එන්න මුදල් කාගෙන්ද? රනිල් අසයි...

අධිකරණය දුන් සාධාරණ තීන්දුව වලටත් හිස නොනමා පරාජිත චෞරයන්ගේ සංධානගතවීම් හරහා බිහිවෙමින් පවතින අසාධාරණ උද්ඝෝෂණ පැහැදිලිවම ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණයක් බව තහවුරු වෙද්දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙතෙක් දැරූ නිහඬ බව බිඳිමින් ඊට ප්‍රතිචාර දක්වා තිබේ. 
“මේ කුඩා ප්‍රමාණයේ උද්ඝෝෂණ වාගේ නොව  අපේ තරුණ කැල එකට එකතු වී ඊට වඩා බලවේගයක් ඇති කළොත් කුමක් සිදුවේවිදැයි මා කියන්නට අවශ්‍ය නැහැ. අපි සූදානම් රැකියා ලබාදෙන්න, ආදායම් මාර්ග ලබාදෙන්න, යහපත් අනාගතයක් ලබාදෙන්න. මෙයට කවුරු හෝ අකුල් හෙලූවොත් එයටද පිළිතුරු ලබා දෙන්න අපි සූදානම්.“  අගමැතිවරයා ඊයේ හෙම්මාතගම දී දැවැන්ත ජන හමුවක් අමතමින් පැවසීය.
 
සයිටම් හරහා ඇතිකරමින් තිබෙන උද්ඝෝෂණ පැහැදිලිවම කුමන්ත්‍රණයක් බව හෙළිවන ආසන්නතම සිදුවීම මෙසේය.
අධ්‍යාපනය ලැබීමට මුදල් නැති කම නිසා මහජනතාවගේ මුදල් වූ මහපොල ශිෂ්‍යත්ව ආධාරයෙන් ‘ජීවත් වන‘ (අධ්‍යාපනයට මුදල් අය නොකරන නිසා) සරසවි සිසුන්ට දින 3 ක් පුරා වාහන වලින් කොළඹ ඒමට මුදල් වියදම් කෙළේ කව්දැයි බරපතල ප්‍රශ්නයකි.
අතේ සතේ නැති මේ සිසුන් මෝටර් සයිකල් ත්‍රීවීල් රථ වෑන් ට්‍රක් රථ තබා ෆුට් සයිකලයකවත් හිමිකරුවන් නොවේ. ඔවුන් බස් රථයක ටිකට් එකකට වියදම් කරන්නේ ද අමාරුවෙනි. එවැනි සිසුන් පිරිසකට එක් වරම මෝටර් සයිකල් ත්‍රීවීල් වෑන් ට්‍රක් ලැබුනේ කෙසේදැයි ප්‍රශ්නයකි. දවසේ කුලියට මේවා ලබා ගත්තා විය යුතුය. උදාහරණයක් ලෙස එක ත්‍රීවීලර් රථයක් මෙවැනි දිගු හයර් එකක් සඳහා කුලියට ලබා ගැනීමට සහ ඉන්ධන ආහාර පාන සඳහා සාමාන්‍යයෙන් අද දිනකට රු.6000 ක් පමණ වියදම් වේ. ත්‍රීවීලර් රථ 50 ක් ආවේ නම් ත්‍රීවීලර් රථ වලට පමණක් දිනකට ලක්ෂ 3 ක් වියදම් කළ යුතුය. ඒ එක් මාර්ගයකින් පමණය. මාර්ග 5 කින් දින 3 ක් පුරා ආහ. එනම් ත්‍රීවීලර් සඳහා පමණක් ලක්ෂ 45 ක් අවශ්‍යය. මහපොල ශිෂ්‍යත්වයෙන් ජීවත්වන සිසුන්ට මේ සා වියදමක් දැරිය නොහැකිය. ආණ්ඩු පෙරලා හිරේ විලංගුවේ වැටී නොසිටීමටත් පැරණි ජාවාරම් තවදුරටත් පවත්වා ගැනීමටත් බලාපොරොත්තුව සිටින දුෂ්ඨ බලවේග සිසුන් දඩ මීමා කර ගනිමින් ලෝස් නැතිව මුදල් වියදම් කරන බවට වෙනත් සාක්කි අවශ්‍ය නැත. 
තවත් එක් උදාහරණයක් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාව තුල බිහිවනවාට විරුද්ධ එක් බලවේගයක් වන පිටරට ලමුන් යවන ඒජන්තයන් ද සයිටම් විරෝධයට පාරට බසින සරසවි සිසුන් දඩ මීමා කරගෙන සිටිති. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට උද්ඝෝෂන කර පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් වන සිසුවෙකුට රු. ලක්ෂයේ සිට ලක්ෂ 2 දක්වා මුදලක් ගෙවනු ලැබේ. වැඩි ගණන සිසුවියන්ට ය. රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අන්තරේ කැඳවුම්කරුවාට එක් රිමාන්ඩ් වීමක් සඳහා රුපියල් ලක්ෂ 10 ක් ගෙවා තිබේ. මුළු මුදලම සිසුවාට නොලැබී වෙනත් අතරමැද පක්ෂ නායකයෙකු ගසා කෑවාදැයි නොදනී. කෙසේ වෙතත් මෙම මුදල් ලබා ගෙන ඇත්තේ නීති කටයුතු සඳහා යැයි කියමිනි.

මේ උද්ඝෝෂන සඳහා බහුතර සරසවි සිසුන්ද නැත. බහුතර වෛද්‍යවරුන්ද නැත. බහුතර ජනතාවද නැත. 

මෙවැනි පසුබිමක් යටතේ මෙකී උද්ඝෝෂණ සිසු ඉල්ලීම් අභිබවා කුජීතගත බලවේගයන්ගේ ආණ්ඩු පෙරලීමේ සිහිනයක් දක්වා යද්දී අගමැතිවරයාගේ ඊයේ ප්‍රතිචාරය වැදගත්ය.
නෙදර්ලන්ත ආණ්ඩුවේ ධන පරිත්‍යාගයෙන් ලක්ෂ දෙකක් වූහෙම්මාතගත ජනතාවට ජලය ලබාදෙන ජන නල ව්‍යාපෘතියක් විවෘත කරමින් ඊයේ අගමැතිවරයා මෙසේද කීය.
“කබීර් හෂීම් ඇමැතිතුමා පැවසුවා හෙම්මාතගමට මුල්ගල් තිබ්බත් ජලය ලැබුණේ නැහැ කියලා. 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව රජ පවුල සම්පූර්ණයෙන් මුලින්උපුටා පැත්තකට දැම්මා. ඒ නිසා අද හෙම්මාතගමට ජලය ලැබුණා. 
ඇත්ත වශයෙන්ම මේ හෙම්මාතගම ජලනල යෝජනාව ක්‍රියාත්මක කරන්නේ නෙදර්ලන්ත රජතුමාගේ ආණ්ඩුවේ ආධාර නිසයි. ඒ නිසා පළමුවෙන්ම නෙදර්ලන්ත ආණ්ඩුවට ස්තූති වන්ත විය යුතුයි. දැන් ලක්‍ෂ දෙකක ආසන්න ජනතාවට ජලය ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ රවුෆ් හකීම් ඇමැතිතුමායි.  එක්සත් ජාතික පෙරමුණේ නායකයෙක් හැටියට මේ රටේ ජනතාව එකතු කරන්න, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කරන්න එතුමා විශාල සේවයක් ඉටුකරනවා. 
කබීර් හෂීම් ඇමැතිතුමා ගැන මට අළුතින් කියන්න අවශ්‍ය නැහැ. එයට හේතුව එතුමා මේ මාවනැල්ලට වෙන් කරලා තියන මුදල් ගැන හිතුවම මම පුදුම වුණා. මාවනැල්ල, අරණායක, රඹුක්කන ප්‍රදේශ තව අපි දියුණු කළ යුතුයි.

මේ රට තියෙන තැනෙන් ආයේ ගොඩගන්න එකත් භාරදූර වගකීමක්. හිටපු ජනාධිපතිතුමා මේ රට දාලා දිව්වා. එයට හේතුව මේ ආර්ථිකය හදන්න බැරි බවත්, බඩුමිල වැඩි කරන්න සිදුවන බවත්, ලබාගත් ණය ගෙවන්න බැරි බවත් දැනගත් නිසා හිටපු ජනාධිපතිතුමා පසුව ඡන්දයකට ගියා. 
විපක්‍ෂය බෙදී ඇති නිසා ඡන්දය පවත්වා ජයග්‍රහණය කර බඩු මිල වැඩිකර, බදු වැඩි කරන්න. ඒ අය රතුපස්සල වගේ පුරුදුවෙලා සිටියේ උණ්ඩුයෙන් පිළිතුරු දෙන්න. නමුත් උණ්ඩයෙන් පිළිතුරු දෙන්න ඒ අයට බැරි වුණා. ජනතාව ඡන්දය භාවිත කරලා උණ්ඩය නැති කළා.

නමුත් පසුව ඔවුන්, මමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මේ රට ගෙනියන්නේ කොහොමදැයි බලා සිටියා. හිටපු ජනාධිපති ඇතුළු කණ්ඩායම ආණ්ඩුව වැටේ යැයි බලා සිටියා. ජනවාරි මාසයේ ආණ්ඩුව ඔවුන් අතට ගන්නා බව පැවසුවා. මම සතියක් විදේශ සංචාරයේ නිරත වෙන බැවින් හැකි නම් ආණ්ඩුව අරගන්නැයි මා අභියෝග කළා. මම දැන් දෙවතාවක් රට ගිහින් ආවා. නමුත් කිසිදෙයක් ඒ අයට කරගන්න බැරිවුණා. අපි බලයට ඇවිල්ලා රජයේ සේවකයන්ගේ පඩි රු. 10,000 කින් වැඩි කළා. පුද්ගලික අංශයේ 2500 ක් වැඩි කළා. විශ්‍රාමිකයන්ට රු 1000ක් වැඩි කළා. ඒවගේම ලෝකයේ මිල අනුව තමයි ආහාර ද්‍රව්‍ය හා බඩු භාණ්ඩ අපි ජනතාවට දෙන බව පැවසුවා. අපි මේවායින් හම්බකරන්නේ නැහැ. ඒවගේම ණය ගෙවන්න භාවිත කරනවා. කිරිපිටි රු. 61 කින්, පාන් පිටි රු. 12.50 කින්, සිනි රු. 10 කින්, මුංඇට රු. 40 කින්, හාල් මැස්සන් රු. 15 කින්, සස්ටජන් රු. 100 කින්, ටින් මාළු රු 60 කින්, සහ පෙට්‍රල් රු. 33 කින්, ඩීසල් රු. 15 කින්, භූමිතෙල් රු. 32 කින් මිල අඩු කරලා දුන්නා. 
සහල් ගැන කතා කළොත් දැන් නියඟය නිසා දැන් ලංකාවේ සහල් නිෂ්පාදනය 30%ක් පමණයි. ඒ නිසා ඒ අඩුව පුරවන්න පිටරටින් හාල් ගෙන්වන්න අපි අවස්ථාව ලබාදී තිබෙනවා. හාල් ආනයනය කරන්න තිබුණ සියලූම බදු අපි ඉවත් කර තිබෙනවා. සිංහල අලූත් අවුරුද්ද එනකොට අඩුවක් නැතිව හාල් ගන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරනවා කියලා කියන්න කැමැතියි. ගෑස් රු. 300 කින් අඩු කළේ කෙසේ දැයි ඔවුන් මගෙන් අහනවා. මේ නියඟය නිසා අපේ ජල විදුලි බලය ක්‍රියාත්මක වන්නේ නැහැ. අපට ඒ නිසා ඉන්ධන ගන්න තියෙනවා. අපට ලංකාවේ හාල් නිෂ්පාදන අඩු වුණ නිසා හාල් ලබාගැනීමට විදේශ විනිමය අවශ්‍ය වී තිබෙනවා. මේ සියලූ ගැටලූ පැවැතියත් හාල්වලට ඇති තීරු බදු සියල්ල ඉවත් කර ආනයනය කිරීමට අවස්ථාව උදාකර දී තිබෙනවා. 
අපි මිනිස්සු හාමතේ තියන්නේ නැහැ. අවශ්‍ය තරම් හාල් දැන් රට තුළ තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා. මීළඟ කන්නයේදී වැසි වසී කියලා වැස් නොමැති වුවහොත් ඒ කන්නයටත් හාල් ආනයනය කිරීමට සැලසුම් සූදානම් කර පවතින බව ප්‍රකාශ කරන්නට කැමැතියි. 
මේ රටේ ජනතාව අපිට ඡන්දය දුන්නේ බලාපොරොත්තු ඇතිවයි. ඒ ජනතාවත් එක්සත් ජාතික පාක්‍ෂිකයිනුත් අපි රැකගත යුතුයි. අද මේ ආණ්ඩුව නොතිබුණානම් එක්සත් ජාතික පාක්‍ෂිකයින් සිටින්නේ කොහෙද? 2014 දී පෙර ආණ්ඩුව පරාජයට පත්වන බව කළ මාගේ ප්‍රකාශය කී දෙනෙක් පිළිගත්තා ද? අපි මුලින්ම මේ රටේ ජීවන වියදම අඩුකරනවා, අපි ලෝකයේ මිලට බඩු භාණ්ඩ ලබාදෙන බව පොරොන්දු වුණා. ලෝකයේ භාණ්ඩ මිල අඩු වෙනවා නම් අපි අඩු කරනවා. අපි කිසිම විටක ලාභයන් ලභාගන්න යන්නේ නැහැ. ඒ සියල්ල අපි ළඟා කර දුන්නා. මීළඟට පැන නැගුණ ගැටළුව තමයි මේ පාර ඇති වුණු නියඟය. එහෙම වුණත් අපි ඔබට මඤ්ඤොක්කා කන්න කියා හෝ ආහාර නැති බව හෝ අපි ප්‍රකාශ කළේ නැහැ.
මීළඟට මේ රටේ ණය ගෙවන එකයි අපට තියෙන්නේ. රාජපක්‍ෂ රෙජිමය මේ ණය ලබාගත්තා. අපි ඒ ණය ගෙවන්න බදු වැඩිකළේ නැහැ. අපි කළේ භාණ්ඩ මිල අඩුකර ණය බරත් අඩු කළා. තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේවැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. ඒසඳහා අලූත් කර්මාන්ත, අලූත් සංචාරක ව්‍යාපාර, අලූත් වෙනත් ව්‍යාපාර ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. මේ කලාපයට පොදුවේ අපි කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට අපි සාකච්ඡාවන් පවත්වාගෙන යන බව කියන්නට කැමැතියි. දැන් අපි මේ ගමන ඉදිරියට යනකොට ඒ සියල්ලටම බාධා ඇති කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. හම්බන්තොට වරාය දෙස බලන්න. එදා හම්බන්තොට වරාය කියන්නේ ලෝකයේ ලොකුම පිහිණුම් තටාංගනයයි. නැව් පැමිණෙන්නේ නැහැ. විශාල ණයක් ලබා තිබුණත් ඒවා ලබාගෙන තිබුණේ නැවත ගෙවන්නයි. 
හම්බන්තොට වරාය ආරම්භ කිරීමට ඩොලර් කෝටි 130 ක ණය ලබාගෙන තිබෙනවා. නැවත එම ණය ගෙවන්න 2017 දී ආරම්භ වනවා. මේ ණය අපි ගෙවනවා  නම් රටේ සෑම පුරවැසියෙක්ම රු. 12,000 ක් ගෙවිය යුතුයි. නමුත් අපි එය වෙනස් කළා. අපි එයට ගෙවන්න වෙන විදිහකට මුදල් හොයාගත්තා. ඒ වරාය අධිකාරියයි චීන සමාගමයි එකට එකතු වෙලා ඒකාබද්ධ සමාගමක් පිහිටුවාගත්තා. චයිනා මර්චන්ටි සමාගම අපට පොරොන්දු වුණා ඩොලර් කෝටි 110 ක් ලබා දෙන්න. අපට ණය විදිහට ඩොලර් කෝටි 130 ක් සම්පූර්ණයෙන් ගෙවන්න තියෙනවා. අපිට දැන් ගෙවන්න තියෙන්නේ ඩොලර් කෝටි 20 ක් පමණයි. එහෙම නැතුව රාජපක්‍ෂ ක්‍රමයට ගියානම් සෑම පුරවැසියකුටම රු. 12,000 බැගින් ගෙවීමට තිබුණා. හම්බන්තොටට කර්මාන්ත ශාලා 200 ක් – 300 ක් ගේන්නත් සැලසුම්කර තිබෙනවා. පළමු අවුරුද්ද තුළදී රැකියා 10,000 ක් ලබා දෙනවා. 
ඊට අමතරව කෑගල්ල, රඹුක්කන පැත්තේ තව වෙළඳ කලාපයක්, නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රදේශයේ තවත් වෙළඳ කලාපයක්, මාදම්පේ හලාවත ආසනයේ තව සංචාරක වෙළඳ කලාපයක්, යාපහුව තව කර්මාන්ත කලාපයක්, අවිස්සාවේල්ල කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්ත කලාපයන් තවත් ඇති කිරීමට කටයුතු කරනවා.  
ඕනෑම කෙනෙකුට මෙහි සේවය කරන්න පුළුවන් විදිහට අපි නිර්මාණය කරනවා. නුවරත් මහා සංචාරක කලාපයන් අපි ආරම්භ කරනවා. මෙවැනි තවත් වැඩකටයුතු ගණනාවක් තියෙනවා. නමුත් රජතුමාගේ අය කිව්වේ මේ වැඩ කොටස පටන් ගත්තොත් අපි කපෝති යනුවෙනි. ඒ නිසා මෙම වැඩ කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරනවා. දැනටමත් හම්බන්තොට වරායට කොළඹවරායේ ආදායමෙන් ගෙවීම් කර තිබෙනවා. දැන් මෙය නතර කර හමාරයි. 
වාසුදේව නානායක්කාර මහතා නඩුවක් දමා තිබෙනවා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ නඩුව දමා ඇත්තේ මේ රටේ සියලූම පුරවැසියන්ගෙන් රු. 12,000 බැගින් ණය ලබාගන්නා ලෙසටයි. වාසුදේව මන්ත්‍රීතුමා ඇතුළු සමස්ත ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන්නේ තරුණයින්ට ලබා දෙන රැකියා සහ සංවර්ධනයන් නැවැත්වීමටයි. රැකියා ඇති කිරීමට කටයුතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණ අණුඩුවයි, ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. රැකියා නැති කරන්නේ රාජපක්‍ෂ රෙජිමයයි. 
රාජපක්‍ෂ රෙජිමය පවසන්නේ තමන්ග් අනාගතය නැති කළ නිසා තරුණ තරුණියන්ගේ අනාගතය ද විනාශ කරන බවයි. මම නම් කියන්නේ මේ රටේ ජනතාව එදා කුණු කූඩයට දැම්මා කියලයි. අප ඒ කුණු කූඩය පිරිසිදු කර පියනකින් වසා දැමිය යුතුයි. 
තරුණයෝ ගණනාවක් අද අපට කතා කරලා තිබෙනවා. තරුණ ද්‍රෝහීන් ලෙස කටයුතු කරන රෙජිමයට විරුද්ධව අපි අපේ උද්ඝෝෂණ පටන් ගන්නා බවත් රැකියා ලබාදීමට එරෙහිව කටයුතු කළොත් කොළඹට පැමිණ උද්ඝෝෂණ කිරීමටත් සූදානම් බව ප්‍රකාශ කරලා තියෙනවා. 
ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේ සහයෝගය ලබා දෙන බවත් අපි කියන්න කැමැතියි. රැකියා බිහි කිරීමේදී බාධක ඇත්නම් අපි ඒවා ඉවත් කළ යුතුයි. මීළඟ මාසය අවසන් වීමට පෙර අපි හම්බන්තොට වැඩ ආරම්භ කිරීමට කටයුතු කරනවා. මේ කිසි දෙයක් 2020 වනතුරු කාටවත් වෙනස් කළ නොහැකියි මේ ජාතික ආණ්ඩුව පවතින තුරු. මේ කුඩා ප්‍රමාණයේ උද්ඝෝෂණ වාගේ නොව  අපේ තරුණ කැල එකට එකතු වුවහොත් එයට වඩා බලවේගයක් ඇති කළොත් කුමක් සිදුවේවිදැයි අපි කියන්නට අවශ්‍ය නැහැ. 
අපි සූදානම් රැකියා ලබාදෙන්න, ආදායම් මාර්ග ලබාදෙන්න, යහපත් අනාගතයක් ලබාදෙන්න. මෙයට කවුරු හෝ අකුල් හෙලූවොත් එයටද පිළිතුරු ලබා දෙන්න අපි සූදානම්.  
Lankaenews 

Friday, February 17, 2017

විජය කුමාරණතුංග : 'සිහින ලොව කුමරා' ගේ හිසට වෙඩි තැබීම


අද්‍යතන ලාංකික වාමවාදී දේශපාලනය සිරගත වී ඇති අධි-ප්‍රායෝගිකත්වයේ සහ අධි-ක්‍රියාකාරී නිස්සාර 'ආත්ම-කේන්ද්‍රීය උගුලෙන්' (egocentric trap) ගැලවීම පිණිස යම් ආකර්ශනීය මෙන්ම සාමාන්‍ය ජනයාට විශ්වාස කළහැකි ශරීර දේශපාලනයක් අන් කවදාටත් වඩා අවශ්‍ය වී ඇති මේ නිමේෂයේ විජය වැන්නෙකුගේ වටිනාකම ඉස්මතු කිරීම පිණිස ජයදේව උයන්ගොඩ විසින් රචිත මෙම ලිපිය උපුටා දක්වමි. 
------------------------------------------------------------------------------
ක් දහස් නවසිය අසූ අටේ පෙබරවාරි 16 වැනිදා කොළඹ පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංග වෙඩිතබා ඝාතනය කළ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ යැයි කියන කට උත්තරයට අනුව, විජය මරාදැමිය යුත්තේ මන්දැයි ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිසාව භාර සන්නද්ධ අංශ නායකයාගෙන් විමසා තිබිණ. ඒ, විජය ඝාතනයට සති කිහිපයකට පෙර, ඒ පිළිබඳ සැළසුම් සාකච්ඡා කිරීමට පිළියන්දල ලැගුම්හලක පැවැති රහසිගත සාකච්ඡාවකදී ය. පිළිතුරු වශයෙන් සන්නද්ධ අංශ නායකයා මෙසේ ප්‍රකාශ කළේ යැයි ටාසන් වීරසිංහ කියයි:
"හේතු කිහිපයක්‌ තියෙනවා......ඉන්දු ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්‌ක ජේ. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්‌. ඊළඟට පළාත් සභා ක්‍රමයටත් විජය පක්‍ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක්‌ නිසා තරුණ පරම්පරාව ඒ රැස්‌වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යෑමයි. මේ ඔක්‌කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චි වෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත් වෙලා තිබෙන වමේ පක්‍ෂ විජයගේ මහජන පක්‍ෂයත් එක්‌ක සන්ධානගත වෙලා ඉන්නවා. ජනතා විමුක්‌ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි......අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ.........ඒ නිසා විජය මරන්නම ඕනෑ...."
විජය ඝාතනය කෙරුණේ ඉන් පසුව ය. "මම සයිකලයේ සිටියදීම තුවක්‌කුව ගෙන විජයට දෙවරක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු සිටියේ අපට පිටුපා ය. වෙඩි කෑ විජය බිම වැටුණු අතර ඔහු අත වූ ලිපිගොනුවක්‌ විසිරෙනු මම දුටුවෙමි. ඉන්පසු මම සයිකලයෙන් බැස විජය වැටී සිටි තැනට ගොස්‌ ඔහුගේ හිසට කිහිප වාරයක්‌ වෙඩි තැබුවෙමි,"යි ඒ කට උත්තරයේ කියා තිබිණ. ඉක්බිති දහස් සංඛ්‍යාත අතුරුදහන්වූවන් අතරට එක් වූ ටාසන් වීරසිංහ ද සළකුණකුදු නොතබා මැකී ගියේය.‍ෙ
විජය නැති ලංකාව දැන් වෙනත් ග්‍රහ ලෝකයකි. ඒ ලෝකයේ පළාත් සභා තව දුරටත් යථාර්ථයකි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන තරුණ දේශපාලකයෝ එ් පළාත් සභාවන් සඳහා මහජන ඡන්දයෙන් පත් වූ උද්‍යෝගීමත් ජනතා නියෝජිතයන් ලෙස ක්‍රියා කරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල් වගුර කළඹා විජයගේ නායකත්වයෙන් නැගී ආ ශ්‍රී ලංකා මහජන පක්ෂය දශකයක් ඇතුළත ඒ වගුරේම ගිළී ගියේය. විජයගේ දේශපාලන උරුමය පෙරට ගෙනයන්නට විජයගේ දේහය ඉදිරිපිට ශපථ කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පළමුව සන්නද්ධ හමුදාවන්ගේ සේනාධිනායක ධූරයටත්, දෙවනුව ජාතික ඒකාබද්ධතා හා සංහිඳියා කාර්යාංශයේ ප්‍රධානී ධුරයටත් පත් කෙරුණි. විජයගේ නායකත්වයෙන් එක්සත් සමාජවාදී සන්ධානය ගොඩනංවන්නට සැළසුම් කළ ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මුල්ලිවයික්කාල්හි දී කූටප්‍රාප්තියට පත් දෙමළ විරෝධී සමූල සංහාරක යුද්ධයේ ලේ වැකි පරිච්ඡේදයන් ලියනු වස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමග හරි හරියට දායක වූහ. විජය වෙනුවෙන් රැඩිකල් ගී  පබැඳූ මහාචාර්ය සුනිල් ආරියරත්න 'පත්තිනි' දෙවියන් සිනමාවට ගෙන ආ අතර,  විජය රජැයූ සිංහල සිනමාව දැන් අවතාරයක් බවට පෙරළී මහාවංශ පිටු අතර වල්මත්ව සැරි සරයි.
විජය පිළිබඳ මතකය ලිත් වතාවතක් සේ වසරක් පාසා මතු වී යළි මැකී යයි. දශක දෙක හමාරකට පසු විජය කුමාරණතුංග තවදුරටත් දුරවබෝධී සමාජ-දේශපාලන ප්‍රපංචයක් ලෙසම පවතී. 1988 ජූනි මාසයේ දී පුරෝගාමී සිනමා විචාරක සිරිල් බී. පෙරේරා විසින් 'විචිත්‍ර රේඛා' සඟරාවට 'විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?' මැයෙන් ලියන ලද සන්ධිස්ථානීය ලිපිය හැරුණු විට, ඔහු සම්බන්ධයෙන් තත්කාලීනව ලියැවුණු වැදගත්ම ලියැවිල්ල සම්පාදනය කරන ලද්දේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි. විජයගේ මරණය පසුබිම්කොට ලියන ලදුව කුඩා පුස්තිකාවක් සේ මුද්‍රණයෙන් පළ කෙරුණු එම ලිපිය කියවා මතකයේ රඳවාගත්තෝ කී දෙනෙක් වෙත්ද? විසි අට වසරකට පසු එය යළිත් මෙසේ උපුටා පළ කරන්නේ එහෙයිනි. (මෙම ලිපියට යොදා ඇති මැය මුල් ලියැවිල්ලේ මාතෘකාව නොවන බැව් සළකන්න.)
සුරැකිව තබාගත් මේ දුලබ ලියැවිල්ල යළි පළකරනු වස් අප වෙත ලබාදුන් දර්ශන කාහිංගල සහෝදරයාට ස්තූතියි.
සංස්කාරක කමිටුව (JDS)
පෙබරවාරි 16 දා විජය කුමාරණතුංග මරා දමනු ලැබුවේ ඉතා  ඛේදජනක සහ අනපේක්ෂිත ආකාරයකිනි. ඔහුගේ ක්‍ෂණික සහ  සිත් කම්පා කළ  ජීවිතාවසානය, වසර දහයක් පමණ දිග ඔහුගේ දේශපාලන ජීවිතයත්, ඊටත් වඩා ඈතට පැතිරුණු  ඔහුගේ කලා ජීවිතයත් තරම්ම වර්තමාන ලාංකීය   සමාජයේ දේශපාලන මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන් සහ ප්‍රතිවිරෝධතාවයන් සංකේතවත් කරයි. මිය යන විට විජය කුමාරණතුංග ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා මෙන්ම  ජනප්‍රියම වාමාංශික, නැතහොත්  වාමාංශික නැඹුරුවක්  ඇති, දේශපාලන නායකයා ද වුයේය. ලංකාවේ පොදු ජන සහ දේශපාලන සංස්කෘතීන්ගේ පවතින සුවිශේෂත්වයන් කෙබඳු ද යත්, එකම පුද්ගලයෙකු වඩාත්ම ජනප්‍රිය නළුවා වීමත්, ඒ සමගම ජනප්‍රියම  වාමාංශික නායකයෙකු වීමත්  එකිනෙකට පරස්පර විරෝධී ජයග්‍රහණයන් දෙකකි. මන්දයත්, එම ජයග්‍රහණයන් දෙකම සාමාන්‍යයෙන් පදනම් වන්නේ එකිනෙක සමග සංවාදයක් නොපවත්වන එකිනෙකින් යම් තරමකට ඈත් වූ සමාජ කොටස් දෙකක්  වීමයි.
විජය කුමාරණතුංග රඟ පෑ බොහෝ චිත්‍රපට කිසි කලාත්මක ගුණයක් නැති ඒවා වූ අතර, ඒවා මගින් ඔහුට ඇති වුණු මහත් ජනප්‍රියභාවය සමාජමය වශයෙන් පැමිණියේ නාගරික, අර්ධ නාගරික මෙන්ම ග්‍රාමීය සමාජයේ ද ජනප්‍රිය  සංස්කෘතියට හිමිකම් කියන පහල මධ්‍යම පාන්තික සහ කම්කරු පාන්තික  ස්ථරයන් වෙතිනි. මේ අතර දේශපාලන වශයෙන් ඔහු වඩාත් කිට්ටු වෙමින් සිටියේ සංස්කෘතික සහ බුද්ධිමය වශයෙන් පෙර කී සමාජ ස්ථරවල සන්නිවේදනයන් සහ රසාඥාතාවයන් පැහැදිලිවම බැහැර කළා වුත් විදග්ධ සංස්කෘතික භාවිතයන්ට හා මිනුම් දඬුවලට දැඩි  රුචියක් දැක්වුවා වුත් සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය වෙතට ය. මෙම ප්‍රතිවිරෝධතාවයම තවත් අකාරයකින් ප්‍රකාශ කළහොත් විජය කුමාරණතුංග සංස්කෘතික වීරයෙකු ලෙස අභිනන්දනයට පත් වුයේ ඔහුට මාස කිහිපයකට පෙර මිය ගිය ගායක එච්. ආර්. ජෝතිපාල සංස්කෘතික වීරයෙකු ලෙස සැළකූ සමාජ කොටස් අතර ය. එහෙත් ඔහු දේශපාලන වශයෙන් ළං වුයේ බීතෝවාන්, චයිකොව්ස්කි, අමරදේව සහ නන්දා මාලනී අගය කරන බුද්ධිමය සංස්කෘතියක් හුවා දක්වන නායකත්වයක් වෙත ය. මේ අතර විජය කුමාරණතුංග සංකේතවත් කළ ජයග්‍රහණය නම් එම සමාජමය සහ සංස්කෘතික ප්‍රතිවිරෝධතාවය අභිබවා යා යුතු සහ යා හැකි බවත්, එසේ කළ හැක්කේ ඒ සියල්ලන් ම එක්ව සහභාගී විය හැකි දේශපාලන දර්ශන පථයක් තුළ බවත් ය. ලාංකික සමාජයේ ඓතිහාසික අර්බුදය විසින් ඉදිරිපත් කරන ලද සහ විජය කුමාරණතුංග විසින් මැනවින් ග්‍රහණය කරගන්නා ලද එම දේශපාලන දර්ශන පථය වූ කලී ජාතික සමගිය පිළිබඳ බලාපොරොත්තුවයි. නළුවකු වශයෙන් ජනාදරයට පත් වී දේශපාලනඥයෙකු නිසා ශෝකජනක ලෙස මරා දමනු ලැබූ විජය කුමාර‍ණතුංගගේ ජීවිතයේ එක් අර්ථයක් වුයේ එයයි. මේ නිසාම, මෙරට පොදුජන සංස්කෘතියත්, දේශපාලනයත් පිළිබඳව බැරෑරුම් ලෙස සිතන්නවුන්ට, විජය කුමාරණතුංග සුවිශේෂ සමාජ ප්‍රපංචයක් මිස ඊට අඩුවෙන් සලකන්නට නොහැකි ය.
විජය කුමාරණතුංගගේ ජීවිතයේ එක් අසාමාන්‍ය ලක්ෂණයක් වුයේ සමාජ දායක ස්ථරයන් කිහිපයක්ම වෙත තම ආකර්ශනය පවත්වාගෙන යාමට සමත්වීම ය. ඔහුගේ වඩාත් පළල්  සමාජ දායක ස්ථරය වුයේ හුදෙක් චිත්‍රපට නළුවෙකු ලෙසම ඔහු වීරත්වයෙන් සැළකු සහ සුලභ සිංහල චිත්‍රපටවලටත්, සිංහල සිනමා  පත්තරවලටත් වෙළඳ පොළ සපයන සාමාන්‍ය ජනතාවයි. විජයගේ අවමඟුලට සහභාගී වූ සහ ඔහුගේ දේහය නැරඹීමට දිවා රාත්‍රී පෝළිම් සැදී සිටි ලක්ෂ සංඛ්‍යාත ජනයාගෙන් අති බහුතරය සමන්විත වුයේ ඔවුන්ගෙනි. චිත්‍රපට මාධ්‍ය තුළින්ම විජය කුමාරණතුංග ගොඩනගා ගෙන සිටි තවත් සමාජ දායක ස්ථරයන් නම් කලාත්මක දේශීය චිත්‍රපටවලට උනන්දුව දක්වන, සප්‍රතිපන්න කලා විඥාණයක අවශ්‍යතාවය අවධාරණය කරන කලාකරුවන්, කලා රසිකයන් සහ උගතුන් ය. අති විශේෂ රංගන කුසලතාවයක් ඔහු  තුළ නොතිබුණත්, ප්‍රධාන වශයෙන්ම ධර්මසේන පතිරාජගේ චිත්‍රපටවල රඟපෑම තුළින් මෙම දායක කණ්ඩායම ගොඩනගා ගැනීමටත්, පවත්වා ගැනීමටත් විජයට හැකි විය. තෙවැනි සමාජ දායක ස්ථරය සංකලනයෙන්ම දේශපාලනමය එකකි. එහි ද මට්ටම්  දෙකක් තිබිණ. ඉන් පළමුවැන්න ඔහුගේ ආකර්ශනශීලි පෞරුෂයත් පොදු ජනයා අතර ඉතාම ජනප්‍රිය චිත්‍රපට නළුවා වීමත් නිසා නිරායාසයෙන්ම ඇතිවුණු  මහජන කැමැත්තයි. දෙවැනි, එහෙත් වඩා වැදගත් මට්ටම නම් අත්‍යන්තයෙන්ම විනාශකාරී ජනවාර්ගික යුද්ධයට එරෙහිව ජනවාර්ගික සාමයත්, රටේ  පවතින දේශපාලන හා සමාජ අර්බුදයට යම් කිසි ආකාරයක සමාජවාදී වැඩ පිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කරමින් ඔහු කියූ සහ කළ දේ ට හිතවත් බවකුත් සහයෝගයකුත් දැක්වූ සාමයට ලැදි, සමාජ සාධාරණත්වය අගයන සියලු ජනවාර්ගික හා ආගමික කොටස්වලට අයත්  ප්‍රබුද්ධ ජන කොටස් ය.    විජයගේ අනපේක්ෂිත සහ ප්‍රචණ්ඩ ජීවිතාවසානය නිසා  ඉහත කී  සෑම සමාජ  දායක කොටසක් විසින්ම ඔහු පිළිබඳව ගොඩනගනු  ලැබ තිබුණු ප්‍රතිරූපය තියුණු සහ උත්සන්න භාවයකට පත් වූ බව පෙනේ.
සමාජ ප්‍රතිරූපය
සමාජ දායක ස්ථරයන් ගණනාවක්ම මත තම වෘත්තීය සහ දේශපාලන ආකර්ෂණය පවත්වා ගෙන ගිය නිසාම විජය කුමාරණතුංග පිළිබඳව ගොඩ නැගී තිබුණු මුහුණුවර කිහිපයකින් සැදුනක් විය. විජයගේ අවමඟුල පිළිබඳව සමහර ජනයාත්, ඉරිදා ඉංග්‍රීසි සහ සිංහල  පුවත්පත්වල කතුවැකි ලියන්නනුත්, වාර්තාකරුවනුත් ඉදිරිපත් කළ විවිධ අදහස්වලින් පුද්ගල ප්‍රතිරූපයක සමාජමය පසුබිම්වල නැතහොත් පදනම්වල ඇති නිසර්ග සිද්ධි ප්‍රතිවිරෝධතාවයන් ඉතා තියුණු ලෙස  ප්‍රකාශයට පත්  විය. එය එසේ වුයේ  විජය කුමාරණතුංග කලාකරුවෙකු ද යන ප්‍රශ්නය ඔහුගේ අවමගුලේදී ම ගාමිණි ෆොන්සේකා විසිනුත්, ඊට පසුව ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි  පුවත්පත් ලේඛකයන් විසිනුත් මතු කිරීම මගිනි. ඇත්ත කාරණය නම්, විජය කුමාරණතුංග එකවරම කලාකරුවෙකුත්, දේශපාලන නායකයෙකුත් වීමයි. එමෙන්ම, ඔහුගේ මරණය සිදුවුයේ ඔහු හුදෙක් කලාකාරයෙකු  වූ  නිසා නොව, මුලික වශයෙන්ම ඔහු දේශපාලන නායකයෙකු වූ නිසා ය. ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී වෙන්වී මීට අවුරුදු  හතරකට පෙර පිහිටුවන ලද ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා  සහ ප්‍රධාන ප්‍රකාශකයා වුවා පමණක් නොව, ඔහුගේ අවමගුල් දිනය වූ පෙබරවාරි 21 දා නිල වශයෙන් පිහිටුවීමට නියමිතව තිබු එක්සත් සමාජවාදී සන්ධානයේ නායකයා වීමට ද නියමිතව තිබිණි. ඒ අතර ඔහු පෙබරවාරි 16  දා ඝාතනය කරන ලද්දේ, ඔහුගේම ඝාතකයන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබ ඇතැයි වාර්තා වී ඇති පරිදි ඔහුගේ යම් යම් දේශපාලන ක්‍රියාවන්ට "දඬුවම්"  පැමිණ වීමක්  වශයෙනි. ඒ  අනුව, දේශපාලන මරණයකට ගොදුරු වූවෙකුට දේශපාලන අවමඟුලක් ලබා දීමේ ඇත්තේ පහසුවෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි තර්කයකි. එතෙකුදු වුවත් එම අවමඟුලේ දේශපාලන ස්වරුපය සහ දේශපාලන අර්ථය ගර්හාවෙන් බැහැර කිරීමට ඇතැම් දෙනා පෙළඹීමේ ඇති අර්ථය ද පහසුවෙන් ඉවත දැමිය හැක්කක් නොවේ. සංකේතාත්මකව බලන විට, මෙම අවමඟුල ජන යාග කර්මයක් (public ritual) විය. එහිදී සිදුවූ  එක් වැදගත් දෙයක් නම් විජය කුමාරණතුංග පිළිබඳව ගොඩනගා ඇති සමාජමය ප්‍රතිරූප මාලාවක්ම එකිනෙක සමග ගැටෙමින් ප්‍රදර්ශනය වීමයි. මෙහි දී ප්‍රධානම ගැටුම ඇති වුයේ කලාකරුවාය යන ප්‍රතිමුර්තියත්, දේශපාලනඥයා යන ප්‍රතිමුර්තියත් අතර ය. එම ගැටුමේ හරය නම් කවරක්  විසින් කවරක් අභිබවනය කළ  යුතු ද යන්නයි.
ප්‍රතිමුර්ති අතර ගැටුමක්
මෙම ප්‍රතිමුර්තීන් අතර ගැටුමේ එක් විශේෂ දේශපාලනයක් තිබිණ. එනම්, විජය කුමාරණතුංගගේ ජීවිතයත්, මරණයත්, නිර්-දේශපාලනය කිරීමේ දේශපාලනයයි. එම  නිර්-දේශපාලනීකරණය සඳහා වූ ප්‍රයත්නය ගනු ලැබුවන්ගේ ප්‍රධාන කාර්යය වුයේ කලාකරුවෙකුගේ අවමඟුල දේශපාලන රඟ මඩලක්  කර ගැනීමෙන් මිය ගිය කලාකරුවාට විශේෂයෙනුත්, කලාවට පොදුවේත් අවමානයක් හා මදිකමක්  සිදු වුණිය යන්නයි. විජය හුදෙක් කලාකරුවෙකු සහ සිනමාවේ ආකර්ශනීය වීරයෙකු ලෙස පමණක් සැළකු අති  විශාල ජනකායක් ඔහුගේ අවමගුලට පැමිණි බව ඇත්ත ය. ඒ සමගම ඒ සියලු දෙනාම පාහේ දැන සිටි කරුණක් ද වන්නේ, තම සිහින ලොව වීරයාගේ  සුන්දර මුහුණ ද  කුඩු පට්ටම් වන සේ  වෙඩි තබා ඔහු මරනු ලැබුවේ සිනමා තිරයේ අනන්ත වාරයක් දිග හැරී ඇති පරිදි ඔහු රූමත් තරුණ ස්ත්‍රීන්ගේ  මුහුණ සිප  ගැනීමේ "වරදට" නම් නොවන බව ය. එම "වරද" තිබුණේ වෙනත් තලයක ය. එනම්, ලංකාවේ ජන වාර්ගික මිත්‍රත්වයේත්, සුහදතාවයේත් දේශපාලන පණිවුඩය එම මුහුණෙන් ඉතා දැඩි ලෙස සංකේතවත් වී  තිබුණේය යන කරුණ  තුළ ය. වර්ගවාදයෙන් හා ගතානුගතික සහ ප්‍රතිගාමී  ජාත්‍යෝන්මාදයෙන් නිදහස් වූ දේශපාලන සංවාදයක්, ප්‍රචණ්ඩත්වයෙන්  කැළඹී ගිය මෙරට දේශපාලන ජීවිතයට යළි හඳුන්වා දීමේ පණිවිඩය ඔහුගේ මුවින් පැතිරීමය යන කරුණ තුළ ය. තමන් නායකත්වය දුන් දේශපාලන පක්ෂයේ ධජයෙන් වැසුණු මෘත ක්ලේබරයේ බහා තිබුණු ඔහුගේ අප්‍රාණික සිරුරම ඔහු නියෝජනය කළ දේශපාලනයේත්, ඔහුට එදිරි වූ දේශපාලනයේත් තිබුණු සමනය කළ නොහෙන ප්‍රතිවිරෝධතාවයේ මහා සංකේතය විය. එහෙත් ඔහුගේ  කලාත්මක ප්‍රතිරූපය හුවා දැක්වීමට ඉදිරිපත් වුණු සෑම තර්කයකම ඇත්තේ මෙම දේශපාලන අර්ථය ප්‍රතික්ෂේප කිරීමේ උත්සහායකි.
සාමුහික ශාන්ති කර්මයක් 
කලාව පිළිබඳව ආචීර්ණ කල්පිත දෘෂ්ඨිවාදයේ දක්ෂිණාංශික ස්ථාවරය වෙතින් මෙම නිර්-දේශපාලනය සඳහා වූ තර්කය ඉදිරිපත් වී ඇති සැටි ද මෙහි  දී  කෙනෙකුට පෙනේ. කලාව දේශපාලනයෙන් ද, දේශපාලනය කලාවෙන් ද වෙන් කළ යුතුය යන්න සුපුරුදු ගතානුගතික තර්කයකි. එම තර්කයේ එක් පැත්තක් නම්, කලාව යනු අතිශය සුන්දර සහ පාරිශුද්ධ විෂය වස්තුවක් බවත්, බලලෝභය මුල්කරගත් දුෂිත දේශපාලනය ගාවා ගැනීමෙන් එය කිළිටි නොකළ යුතුය  යන්නත් ය.  මෙම තර්කය වූ කලී බැලු බැල්මටම ඇත්ත ලෙස පෙනෙන දෙයක් මත ගොඩනැගුනු මිථ්‍යාවකි. දේශපාලනය නිසර්ගයෙන්ම  දුෂිත එකකැයි   කියා   සිටීමත්, දුෂිත දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමත් එකක් නොව දෙකකි.  වරද ඇත්තේ  "දේශපාලනයේ" නොව, ජනයා  පීඩාවට, මර්ධනයට සහ සුරා කෑමට ගොදුරු කරන සහ අහිංසක ජනයා බිය ගන්වන දේශපාලනය තුළ ය. ජනයා මත හිංසාකාරි ආධිපත්‍යයක්  ලබා ගැනීමට තැත් දරන දේශපාලනය තුළ ය.  මෙතැන්හි දී කෙනෙකුට පෙනෙන දෙයක් නම්, කලාකරුවෙකු වශයෙනුත්,  දේශපාලනඥයෙකු වශයෙනුත් විජය කුමාරණතුංග වෙත ගොඩනැගී  තිබු  ප්‍රතිවිරෝධී  ප්‍රතිරූපයන් දෙක අතර සිදු වූ සම්මතයයි. සිංහල සිනමාවේ පවතින අවවර්ධනීය  තත්ත්වය තුළ  විජය කුමාරණතුංග පිළිබඳව  සමාජයේ  බහුතරය පිළිගෙන ඇති  ප්‍රතිරූපය නම්,  සමහර පෞද්ගලික බස් රථවල අලවා තිබුණු වර්ණ පෝස්ටරයකින් කදිමට  කියැවුණු  පරිදි  "සිහින ලොවේ කුමරා"  යන්නයි.  
පතිරාජගේ "අහස්  ගව්ව" නැතහොත් "පාර දිගේ"  වැනි කලාත්මක චිත්‍රපටයක විජය නිරුපනය කළ චරිත ආශ්‍රිත ප්‍රතිමුර්තියක් ඔහු පිළිබඳව ගොඩ නැගී  තිබුණු අතර, ඔහුගේ සිරුර පොල්හේන්ගොඩ සිට නිදහස් චතුරශ්‍රයට ගෙන ඒම අතර වූ දවස් හයක කාලය තුළ ඒ ගැන  පුවත්පත්වලින් කතා බහ කෙරු‍ණේ ද නැති තරම් ය.  මෙය ලාංකික සිනමාවේත්, මෙරට  බුද්ධිමය සංස්කෘතියේත්, කලාකරුවෙකු වශයෙන් විජය කුමාරණතුංගගේ තිබුණු දැඩි සීමාවන්  අනාවරණය කරන්නකි.  කෙසේ  වෙතත් කලාකරුවෙකු වශයෙන් පමණක් සඳහා විජයගේ අවමඟුල සිදු කරනු ලැබුයේ නම් එය ඔහුගේ අකල් මරණයෙන් හෘද කම්පාවට පත් දහස් ගණනක් ජනයා හඬවන භාවාතිශයෙන් ඉහවහා ගිය සාමුහික ශාන්ති කර්මයක තත්වයකට පත් වන්නට ඉඩ තිබිණි.  රමණි  බර්තලමියුස් සහ එච්. ආර් ජෝතිපාල යන කලාකරුවන් දෙදෙනාට පසුගිය අවුරුද්දේ (1987) ලබා දුන් අවමඟුල්වලින් එය වෙනස් විය නොහැකිව තිබිණි. ඇත්තටම  දේශපාලනයෙන් ඉවත් කරනු ලැබුවහොත් විජය කුමාරණතුංග සහ එච්.ආර්. ජෝතිපාල අතර කලාකාරයන් හැටියට දැඩි වෙනසක් නොපැවතීම, තරමක් අකාරුණික ලෙස පෙනුනද අප පිළිගත යුතු කරුණකි. අප ජීවත්වන සමාජයේම නිර්මාණයන් වන විජය කුමාරතුණංග නම් වූ  පුද්ගලයාත්, ඔහු  පිළිබඳව විවිධ ප්‍රතිරුපයන්වලින් නියෝජනය වුණු ප්‍රතිවිරෝධීතාව නිෂේධාත්මකව  බැහැර කළ යුතු යැයි ඉහත තර්කයෙන් මම අදහස් නොකරමි. මෙම ප්‍රතිවිරෝධයේ නිසර්ග  "සිද්ධි" ද්විඝට්ටනය  කෙබඳු ද යත් දේශපාලන අර්ථයකින්  බලන විට කදිම ජනනාත්මක විභවයක් එහි තිබුණු බව පෙනේ.   නොයෙකුත්  ආකාරවලින් දැකිය හැකි එය ඉදිරිපත් කළ හැකි එක් ආකාරයක්  මෙසේ ය:  විජය කුමාරණතුංගගේ  අතිශය ජනප්‍රියභාවයට හේතු වුණු චිත්‍රපට   සියල්ලම පාහේ කලාත්මක  ගුණයෙන් හීන, ප්‍රේක්ෂකයා මනරම් සිහින ලෝකයකට ගෙන යන ක්‍ෂණික‍ විනෝදාස්වාදය පමණක් සපයන "වට්ටෝරු" යන   විශේෂණයට සාකල්‍යයෙන්ම  ගැලපෙන ඒවා විය.  ඒ අතර ඔහු පෙනී සිටි දේශපාලන ස්ථාවරයන් වූ කලී සෑම සන්ධිස්ථානයකදීම වාමාංශයටත්, වාමාංශික දේශපාලනයෙන් හැඩ ගැසුණු බුද්ධිමය සංස්කෘතියටත් ලැජ්ජාවකින් තොරව  ළං  විය හැක්කේ විජය රඟපෑ  "ඔබටයි  ප්‍රියේ  ආදරේ" චිත්‍රපටවලට නොව බඹරු  ඇවිත්, අහස ගව්ව හා පාරදිගේ වැනි චිත්‍රපටවලට ය. එහෙත් ලාංකික ජන සංස්කෘතියේ තවමත් පවත්නා ස්වභාවය කෙබඳුද යත් දෙවනුව කී   චිත්‍රපටවලින් මෙරට ජන සමාජයේ බහුතරයක ආකර්ෂණය තමන් වෙත ලබාගැනීමට එම  චිත්‍රපට විජය කුමාරණතුංගට කිසිසේත්  උදව්වන්නේ නැත. මේ  අතර සර්ව ජන ජන්දය මත පවත්වන මැතිවරණ ක්‍රමයක් තුළ ඡන්ද දායකයන්ගේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරන කවර දේශපාලනඥයෙකුට හෝ   මෙරට සමාජයේ අති බහුතරය නියෝජනය කරන ග්‍රාමීය මෙන්ම නාගරික අතර මැද සහ කම්කරු  පාන්තික ජනයාගේ සහයෝගය අත්‍යාවශ්‍ය වෙයි. ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනඥයන් මෙම  ගැටළුවට මුහුණ  දුන්නේත්, මුහුණ දෙන්නේත් එක්කෝ ජනයාට බොරු පොරොන්දු දීමෙනි. නැතහොත් ජන සමාජයේ පවත්නා වාර්ගික, ආගමික හෝ ප්‍රාදේශික අගතීන්ට ඉතා අවස්ථාවාදීවත්, සමාජයේ ප්‍රගතියට හානිදායක ලෙසත් කළ ආයාචනයක් මගිනි. ජාතිප්‍රේමය හා ආගම්වාදය  සිංහල, දෙමල සහ මුස්ලිම් දේශපාලනඥයන් විසින් ජන සහයෝගය ලබාගනු වස්  යොදාගනු ලබන උපකරණයන් ය. තම දේශපාලනයේදී එවැනි ප්‍රතිගාමී උපක්‍රමයන් මගින් බහුජන සහයෝගය ලබාගැනීමට අවශ්‍යතාවයන් විජය කුමාරණතුංගට නොතිබීම, කලාකරුවෙකු  වශයෙන් ඔහු සතු වූ ඉතාම ප්‍රතිජනනාත්මක සමාජමය ශක්තිය වූ අතර, එම ශක්තියේ පදනම ද ඔහු දේශපාලනයට පිවිසීමටත් පෙර  ඔහු වෙත තිබුණා වූ චිත්‍රපටවලින් බිහිකරන ලද ජනප්‍රියභාවයයි.
ලංකාවේ ජනවාර්ගික සාමය හා සමගිය පිළිබඳව විජය ඔහුගේ  ජිවිතයේ අවසාන අවුරුදු  දෙක - තුන තුළ දී ඉදිරිපත් කළ ස්ථාවරයන් දෙස බලන විට පෙනෙන්නේ මෙරට සෑම ජන කොටසකටම අයත් පොදුජනයාට මහත් ආකර්ශනාත්මක ශක්තියක් ඇති එකම ප්‍රබුද්ධ දේශපාලනඥයා ඔහු වූ බව ය. මෙරට පොදු ජනයාත් ජාත්‍යෝන්මාදයෙන් සහ රණවාදයෙන් තොර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන ඉදිරි දර්ශනයකුත් අතර සජීවී පුරුක වන්නට අවශ්‍ය සමාජමය පදනම විජය කුමාරණතුංගට සපයන ලද්දේ  ඔහු රඟ පෑ  පොදු ජනයා අතර සිත් ගත් බාල සහ කලා හීන චිත්‍රපටවලින් වීම මෙරට  සංස්කෘතික  හා සමාජ විචාරකයන්ගේ අවධානය යොමු  විය යුතු ද්වෛධය (paradox) කි. 'ගැටලුවකි'.
මා ඉහත දැක්වූ කරුණ මෙරට වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් ද අදාළ වන්නකි. පාර්ලිමේන්තු දේශපාලනය සිය භාවිත උපක්‍රමය ලෙස පිළිගන්නා වුද, එය  ප්‍රතික්ෂේප කරන්නා වූ ද සෑම වාමාංශික දේශපාලන පක්ෂයක්ම මුහුණ දෙන තියුණු අභියෝගයක් වන්නේ, මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් සමන්විත වන "පොදු ජනතාව" යන පදයෙන් සාමන්‍යයෙන් හඳුන්වනු ලබන අතර මැද සමාජ පන්තිවල ජනයාට  සිය දේශපාලන පණිවිඩය සාර්ථක ලෙස ගෙනයාම පිළිබඳ  ප්‍රශ්නයයි. මෙරට වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයෙන් මේ පිළිබඳ තෙවැදෑරුම් අත් දැකීමක් අපට පෙනෙන්නට තිබේ. ඉන් එකක් නම්  නාගරික කම්කරු පන්තිය කේන්ද්‍ර කොටගත් දේශපාලන වැඩ පිළිවෙත් එම පන්තියෙන් පිටස්තර, එහෙත් මෙරට සමාජවාදී ව්‍යාපාරයට අත්‍යාවශයෙන් දායක විය යුතු, විශේෂයෙන්ම අර්ධ නාගරික සහ ග්‍රාමීය  ජනයා අතරට විනිවිද යෑමට අපොහොසත් වීමයි.
දෙවැන්න, එසේ විනිවිද යෑමේ උපක්‍රමයක් හැටියට මෙරට ගැමි ජනයා අතර නියත ආකර්ෂණයක් ඇති සිංහල - බෞද්ධ දේශපාලන හරයකින් යුත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාහනය කරගැනීමේ නිෂේධාත්මක අත්දැකීමයි.   
තෙවැන්න ජාත්‍යෝන්මාදය සහ පටු දේශප්‍රේමය මත සකස් වුණු සටන්කාමී ජාතිකවාදයට සපුරා අනුගත වීමයි. මේවාට පිටස්තර ක්‍රියාමාර්ගයක් හා භාවිතයක් තු‍‍‍‍‍‍‍‍‍ළ වාමාංශික දේශපාලනයක පණිවිඩය පොදු ජනයා අතරට ගෙන යාමේ අන් ආකාරයක් ගැබ්ව තිබුණේ විජය කුමාරණතුංගගේ පෞරුෂය තුළ වීම දේශපාලන හා සමාජ ප්‍රපංචයක් වශයෙන් ඔහු තුළ තිබුණු සුවිශේෂත්වය පෙන්නුම්  කරයි.
න්‍යායවාදියෙකු නොවීම
මෙම සුවිශේෂත්වයේ අනෙකුත් අගය නම් ඔහු එම පණිවිඩය ජනයා අතරට ගෙන ගිය ආකාරයයි. විජය කුමාරණතුංග කිසිසේත්ම වාමාංශික න්‍යායවාදියෙකු  නොවීය. වාමාංශික එක්සත් පෙරමුණේ නායකත්වය තුළ දේශපාලනය පිළිබඳ න්‍යායික දැනුමෙන් ඉතාම අඩු පුද්ගලයා ඔහු වී නම් එය අසත්‍යයක් නොවේ.  මේ අනුව නව වාමාංශික පක්ෂවලටත් එල්ල වන පොතේ ගුරුවාදය පිළිබඳ  විවේචනය  විජය  කුමාරණතුංගට නම් කිසිසේත් එල්ල කළ  නොහැකි විය. මේ අතර ලංකාවේ දේශපාලනය තුළ පැහැදිලිව දක්නට ලැබෙන දෙයක් නම් දැඩි මාක්ස්වාදී පුහුණුවකින් සහ න්‍යායික ශික්ෂණයකින් තොර සමාජවාදීන්, ජනතාවට වැටහෙන භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීම නම් වූ බොරු වලෙහි වැටීමෙන් වර්ගවාදය කරා පිරිහීමේ අනතුරයි. එසේ න්‍යායික පුහුණුවක් ලැබූ ලංකාවේ සම්භාව්‍ය වාමාංශික නායකත්වය පවා සිංහල ජාතිකවාදයට අනුගතවීමේ අනතුරට කලකට ඉහතදී හසුවීම, ලංකාවේ දේශපාලනයේ  ඇති එක් අනිවාර්ය ගැටළුවක තීව්‍රතාවය කියා පාන්නකි. ඇත්තටම ලාංකික සමාජය තුළ "ජනතාවගේ දේශපාලනය" කිරීමත් "ජනතාවට තේරෙන භාෂාවෙන්" සමාජවාදයේ පණිවිඩය දීමත් යන සුත්‍රයන් වූ කලී අතිශයෙන්ම ගැටළු සහගත ඒවා ය.
සිංහල ජාතිවාදයේ බලපෑමෙන් මිදී සමාජ සාධාරණත්වයේත්, සමාජවාදයේත් පණිවිඩය සෑම ජාතික කොටසකටම අයත් ජනයා අතරට ගෙන යා හැකි බව පෙන්වා දීම විජය කුමාරණතුංග තම ජීවිතයේ අවසාන කාලයේ ලබා ගත්  වැදගත්ම ජයග්‍රහණයයි. ලංකාවේ වමේ ව්‍යාපාරයට ඔහු එම ආදර්ශය දෙද්දී  මෙරට දේශපාලනය පත් වී තිබුණේ ඊට පෙර කිසිදාක නොතිබුණු තරමේ අර්බුදයක ය. 1983 වර්ෂයේදී උත්සන්න වුණු ජනවාර්ගික ප්‍රශ්නයේ පසුබිම තුළ සිංහල සහ ද්‍රවිඩ ජන කොටස් අතර වාර්ගික සහ දේශපාලන බෙදීම ඉතා තියුණු වී තිබුණු අතර, රණකාමී ජාතිකවාදය සමාජ හා දේශපාලන ජීවිතයේ බල සම්පන්නම බලවේගය බවට පත් වී තිබුණි. ප්‍රධාන ජාතීන් දෙක අතර පැතිරෙමින් තිබුණු අන්‍යෝන්‍ය අවිශ්වාසය, සමනය කළ නොහැකි දේශපාලන වෛරයක් බවට පත්කිරීමට කැසපට කවාගත් අන්ත ජාතිවාදී  බලවේගවල දෘෂ්ටිමය ආධිපත්‍යය පරාජය කිරීම හදිසි  කාර්යයක් වී තිබිණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය වූ දේශපාලන නිර්භීතභාවය සීමා වී තිබුණේ, වමේ ව්‍යාපාරයට කෙලින්ම සම්බන්ධ  නැති‍, එහෙත් වාමාංශික බුද්ධිමය සංස්කෘතියක්  තුළ ක්‍රියා කළ, සිංහල සහ ද්‍රවිඩ ජන කොටස්වලට අයත්, මානව හිතවාදී උගතුන් අතලොස්සටත්, සිංහල රැඩිකල් වාමාංශයේ කුඩා කණ්ඩායම්  කිහිපයකටත් පමණි. එසේ නමුත් අති බැරෑරුම් දේශපාලන අර්බුදයන් තුළ කළ යුතු වූ තීරණාත්මක මැදිහත් වීමක් සඳහා වූ ශක්තිය ඒ කිසිවෙකුටති තිබු‍ණේ නැත. එක් අතකින් රාජ්‍යයත්, පාලක පන්තියත් විසින් පෝෂණය කරනු ලැබූ සිංහල කේන්ද්‍රීය රණවාදයත්, ජාතිවාදී බුද්ධිමතුන් සහ ජනමාධ්‍ය කරුවන් විසින් පතුරුවනු ලැබූ ජාතික උමතුවත් හමුවේ වර්ගවාදයෙන් තොර දේශපාලන විසඳුමක් සඳහා වූ පණිවිඩය සිංහල මෙන්ම ද්‍රවිඩ ජනයා අතරටද ගෙනයාම අතිශයින්ම සංකීර්ණ වුත්, දේශපාලන වශයෙන් අනතුරුදායක වුත්, කාර්යයක් විය. සිංහල ජනයා ගේ ඡන්දය මත යැපෙන කිසිදු සිංහල දේශපාලන පක්ෂයකට සිතීමටවත් නොහැකි වූ එම "අති ධාවනකාරී" කාර්යයට අතගැසුවේ විජය කුමාරණතුංග ය.
සිංහල සමාජයෙන් එන දේශපාලන පණිවිඩවලට සැකයෙන් තොරව කන් දීමට ද්‍රවිඩ ජනයා එතරම් සුදානම් නොමැති මොහොතක ද්‍රවිඩ ජනයාගේත්, ද්‍රවිඩ සටන්කාමීන්ගේත්, විශ්වාසය දිනා ගැනීමට ඔහු කළ සමහර ක්‍රියා සිංහල දේශපාලනඥයන්ගේ අවමානයටත්,  ඊර්ෂ්‍යාවටත් ලක්  වුවද ඔහු තැබූ එම පියවරවල් සිංහල දේශපාලනඥයෙකු විසින් මෑත කාලයේදී ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් කරනු ලැබූ ඉතාම ඥානාන්විත මැදිහත් වීමක් බවට වර්ධනය විය, ඔහු එම පියවරවල්  ගත්තේ "සිංහල ජාතිය පාවා දීම" යන බැරෑරුම් චෝදනාවට ලක්වීමට දක්ෂිණාංශික මෙන්ම වාමාංශික සිංහල දේශපාලනඥයන් බිය පත්ව සිටියදී ය. ඔහුගේ ආදර්ශයේ අනෙක් වැදගත් පැත්ත නම්, ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්  අවශ්‍ය වේය යන පණිවිඩය සිංහල ජනතාවට තේරුම් කර දීම ය. සිංහල ජා‍ත්‍යෝන්මාදයේ  බොරු වළවල නොවැටී එම පණිවිඩය පතුරුවන්නට අවශ්‍ය දේශපාලන ප්‍රතිභා ශක්තිය විජය කුමාරණතුංගට තිබුණි. ඔහුගේ එම ආමන්ත්‍රණයට හසුවූයේ සිංහල සමාජයේ ප්‍රබුද්ධයන්ම නොවේ.  වාමාංශික උගතුන්ම නොවේ. බෞද්ධ මෙන්ම කතෝලික ආගමික පසුබිම්වලින් ආ පහළ මධ්‍යම පාන්තික සහ නාගරික කම්කරු පංති ජන කොටස් ය. මෙරට වාමාංශික දේශපාලනය තුළ සපුරාම ජනතාවාදී  සමාජ පදනමක සිය දේශපාලනය සකස් කරගත් දේශපාලනඥයෙකු වූ ඔහු සිංහල - බෞද්ධ ජාතිකවාදයේ සීමාවන් ඉක්මවා යාම සහ ජාතිකවාදයට අභියෝගයක් වීම, ලංකාවේ  දේශපාලන සංස්කෘතිය තුළ  ඔහු ලැබූ සුවිශේෂිත්වය ප්‍රකාශ කරන්නකි.☐
ජයදේව උයන්ගොඩ
JDS
(Courtesy of Sri Lanka Mirror)

Thursday, February 9, 2017

දිව්‍යමය කඳුළු (Tears in Heaven)

ඔබ මෙලොවට විසිකර දමා ඇත. ඒ නිසා ඔබ පුර්ණ ලෙසම නිදහස්ය. එසේ වුවද ඔබ මෙලොවට පුර්ණ වශයෙන් අයිති නැත. එසේ පුර්ණ ලෙස මිනිසත් බව පැතිය නොහැක්කේ ඔබගේ භෞතික ශරීරය දිව්‍යමය වන්දියක් දරා සිටින බැවිණි. එනයින් ඔබ මෙලොවත් දිව්‍යමය බවත් අතර 'බහි- සංසේචිතව' පිහිටා  ඇත. එවන් දිව්‍යමය බව පතන්නාවූ මිනිසුන් අනෙක් මිනිසුන්ද පවත්නා කුසිත බවෙන් මුදවා ගැනීමට කටයුතු කරයි. ඒ දිව්‍යමය බව අනෙක් මිනිසුන් සඳහාද අත්කර දීමට කටයුතු කරයි. එය ඇතැමුන්ට පෙනෙන්නේ සාස්තෘ කෙනෙක් ගේ කාර්යයක් ලෙසය. එය එක් අතකින් නිවැරදිය. මන්ද එවන් අයෙක් අනෙකා ගේ යහපත වෙනුවෙන් දිව්‍යමය ප්‍රචණ්ඩත්වයක් දරා සිටින බැවිණි. පරමාදර්ශ සහ පුරුෂාර්ථ වෙනුවෙන් අරගල කරන්නාවූ ඔවුන්ගේ පැවැත්ම බොහෝ අයට නොවැටහීම එක් අතකට පුදුමවීමට කරුණක් නොවේ. ඔවුන් ජිවත් වන්නේ යහපත සඳහා වූ වේදනාවක (pain for universal good) හෙයින් අනෙකාගේ වේදනාව හොඳින් හඳුනයි. මනෝරාජිකයක් වාස්තවික කරගත හැකිවන තෙක් ඔවුන් වේදනාව තුළ ම ගමන් කරයි. මේ ලොවට පුර්ණ වශයෙන් අයිති නොවන පරිකල්පනීය යුතෝපීය මිනිසුන් තේරුම් ගැනීම කොහොමත් දුෂ්කරය. උදාහරණ ලෙස බොහෝ මිනිසුන් යේසුස් ට එරෙහි වුවේ ඇයි? ඒ යේසුස් වහන්සේ විසින් දේවල් ඇත්තට ම වෙනස් කරයි යනුවෙන් වූ බිය නිසාය. ඔහු විසින් ඇත්තට ම දේවල් වෙනස් කළේය. ඔහු ලෝකයට ආදරය ගෙන ආවේය. ලෝක ගෝලයේ කොනක ජිවත් වන අපට දීප්ති ගේ දේශපාලනය තේරුම් ගැනීම ට උපකාර වූ ස්ලෙවොයි ජිජැක් ගේ රැඩිකල් දර්ශනය වෙනුවෙන් මේ විප්ලවීය උපහාරය! ජිජැක් අපට හමු නොවුනානම් දීප්ති තේරුම් ගැනීම තවත් දශක ගණනාවක ට දුෂ්කර ව්‍යායාමයක් විය හැකිව තිබුණි. 

නරුමයන්ට 'දිව්‍යමය බව' යන්න නොතේරෙන (තේරුනත් නොතේරුන සේ සිටින බැවින්) අතර වසලයන්ට සදාකාලික පරාජය අත්වේ. ලෝකය වෙනස් කළ සහ එසේ කිරීමට උත්සාහ කළ මිනිසුන් සදාකාලික වනු ඇත... 







Tears in Heaven Video

Wednesday, February 1, 2017

'පන්තිය වෙනුවෙන් පක්ෂය වෙනස් කිරීම'

අකරගම පස් කැපීමේ ජාවාරම රන්ජන්ගේ මැදිහත් වීමත් සමග නැවතිලා. එක රන්ජන්ගේ ජයග්‍රහණයක් හැටියට 'අද' වෙබ් අඩවිය සඳහන් කරලා මෙතනින් පිවිසෙන්න . ඒක ඇත්ත. රන්ජන් තමන්ගේ 'බොඩි' එක දාල ප්‍රශ්නේ අවධානය දිනා ගත්ත. ඒ වගේම පාලිත, රන්ජන් මැදිහත් වූනු මෑත කාලයේ සෑම දෙයකම වගේ ඒ ගොල්ලෝ දිනා ගත්තා (දිනා දුන්නා). නමුත් ජ. වී. පෙ. සහ පෙරටුගාමී සමාජවාදීන් මැදිහත් වුණ සෑම අරගලයක්ම පැරදුණා. ළඟම උදාහරණය 'සයිටම්' ප්‍රශ්නේ. එකෙන් කියවෙන්නේ කොච්චර දැගලුවත් පැරණි සමාජවාදීන්ට කිසිම නෛතිකභාවයක් (legitimacy) මේ පශ්චාත් ධනවාදී සමාජය තුළ නෑ කියන එක. රජයේ සේවකයෝ කොච්චර දුෂිත, විගලිත, එකතැන පල්වෙන, සමාජ ප්‍රගමනයට විරුද්ධ කාලකන්ණි ටිකක්ද කියන එක රන්ජන් තම හිස්ටරික කුළුගැන්වීම තුළින් පෙන්නුවා. ඒ වගේ අවධානයක් ගන්න බැහැ වමේ දේශපාලනඥයෙකුට කවදාවත්. මොකද මිනිස්සු විශ්වාස කරන්නේ නෑ ඔවුන්ගේ අවංක කම. කවුද ඔය කැලේ ඉදන් මිනිස්සුන්ට වෙඩි තිබ්බ, ඇඟිලි කැපුව, බෙලි කැපුව එවුන් විශ්වාස කරන්නේ? පිස්සුවක් ඇතැයි අපිට... දැන් නිකම් සන්ග්ලාස් දාල රැවුල පීරලා එනවා මෙතන මොකක්ද 'පන්තියක්' ගැන අපට කියල දෙන්න (තමන්ගේ පන්තියේ ම වුන්ගේ ඔළුවලට වෙඩි තියල, උන් ගස් බැඳලා, කොස් ගෙඩියක් හොරකම් කළා කියල ඒ කොස් ගෙඩි දෙකම බෙල්ලේ එල්ලලා හන්දියේ හිටගෙන ඉන්න කියල, දේශප්‍රේමී කියල ජාතිවාදය අවුස්සලා - මොන පුර්ව අවබෝධය; සවිඥානිකත්වය දීලද ඒ අයට දඬුවම් කළේ කියල දැන් පස්සෙන් යන ශිෂ්‍ය නායකයෝ අහනවද?) 'පන්තිය වෙනුවෙන් පක්ෂය' කියාගෙන ඒ 'නව න්‍යාය' යටතේ ඊයේ ඒ ගොල්ලෝ නැවත පක්ෂය ව්‍යුහගත කරපු නිමේශයේ ම පන්තිය ඔවුන් දෙස බලන හැටි නම් අපුරුයි...කමක් නෑ හෛඩගර් කියනවනේ 'අප දෙස කවුරුත් බලා නොසිටි කියල'... 

තමන්ගේ ගේම ගොඩ දාගන්න පාරවල් අවහිර කරගෙන කරන සටන් දෙස මිලියන ගණනක් මිනිස්සු වගේ වගක් නැතුව බලාගෙන ඉන්නේ කේන්තියෙන්. එකෙක්ගේ වීසා ගොඩ දාගන්න, වරායේ පඩි වැඩි කරගන්න, අතිකාල ගන්න, සේවය ස්ථිර කරගන්න, කාගෙහරි උසස් අධ්‍යාපන අවස්ථාවක් අහිමි කරන්න, වී ටික විකුණා ගන්න ඉතාම කුඩා සමාජ තීරුවක් (ගොවි ආත්මය, වෘත්තීය සමිතිවාදය සහ ශිෂ්‍ය දේශපාලනය) විප්ලවීයකරණය (radicalize) කළාට අනික් අයගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් අට්ටාල ගහගෙන පෙරටුගාමී එක අවුරුදු ගණන් අරගල කරයිද? ලංකාවේ වෘත්තීය සමිති වාදයේ මෙන්ම ශිෂ්‍ය දේශපාලනයේ තියෙන ආත්ම කේන්ද්‍රීය (egocentric approach) බව විසින්ම ඒවායේ තාර්කික අවසානයට ගෙනෙල්ල තියෙන්නේ. රනිල් විසින් ඉතුරු ටිකත් තව ටික කලකින් ඉවර කරලා දමයි. ඉහත වාමවාදී රික්තය (revolutionary vacuum) තුළ අනුන් වෙනුවෙන් නැත්නම් සාර්වත්‍රික ලෙස අනෙකා වෙනුවෙන් කතා කරන්නේ ජාතිකවාදය (big Other) නම් මහා අනෙකත්වය පමණයි. එසේත් නැත්නම් ආන්තික තත්වයක් තුළ රන්ජන්ලා පාලිත ල වගේ ලැකානියානු කුඩා වස්තු (object a) නම් හිස්ටරික අභිනයන් සහිත ආත්ම...ඒ සාර්වත්‍රික ඉඩ පුරවන්න හදනවා අසාර්ථක විදියට (පරිසර ප්‍රශ්නය වගේ ගෝලීය දෙයකට රන්ජන් වගේ කෙනෙකුට කළහැකි දෙයක් නැහැ). නිදහසින් පසු සහ තිස් අවුරුදු යුද්ධයට පසු ලංකාවේ ඇත්ත වමක ට ලොකු ඉඩක් (real space for an authentic Left) තියෙනවා නේද ඉහත මහා අනේකත්වය සහ කුඩා වස්තුව අතර රික්තය තුළ? එතැනදී රන්ජන්, පාලිත, විජය කුමාරණතුංග මතු නොව චේ ගෙවාරා මාදිලියේ ශරීර දේශපාලනයක් තියෙනවා වම විසින් කල යුතු  සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ  විශ්වාසය දිනා ගත යුතු. මාවෝ විසින් කළා සේම රට මුළුල්ලේ ම ගමන් කළ යුතු වෙනවා. බොරු වාමවාදීන් නිරාවරණය කල යුතුයි. නව ගෝලීය තත්වය ගැන මිනිසුන්ට කියා දිය යුතුයි. ආශාව ගැන කියාදිය යුතුයි. දැනුම සහ පරස්පරතා අවබෝධය හරහා ආසියාතික මෙලන්කොලියාවෙන් ඇහැරවිය යුතුයි.

ඇමෙරිකාවේ බර්නි සැන්ඩර්ස් වන්නෙකු ගෙන් උගත හැකි පාඩම කවරේද? එනම් යම්කිසි 'ආපතික ආරම්භයක්' (contingent beginning) ඔහු විසින් ඇමෙරිකාව තුල ම ගෙන ඇත. 'කොතනින් හරි පටන්ගත හැකි' බව ඔහු ඔප්පු කරමින් පවතී (ඔහු විසින් ලියන ලද Our Revolution ග්‍රන්ථය කියවන්න). 'ඇත්තටම යමක් සිදුවෙනවා ට' ධනවාදය තුළ දියබුං ගසන අප සැවෝම විරුද්ධය. සත්‍ය ලෙස ඇමෙරිකානු බුර්ෂුවා පන්තිය ට්‍රුම්ප් හට විරුද්ධ වුයේ ඔහු තවත් 'හිට්ලර්' කෙනෙක් වීමට ඉඩ තිබුන නිසා නොව ට්‍රුම්ප් විසින් සත්‍ය ලෙසම දේවල් වෙනස් කරනු ඇති බවට වූ බිය (fear) නිසාය යනුවෙන් ජිජැක් පවසන්නේ මෙම තත්වය මතය (රැඩිකල් ලෙස වෙනස් අදහස් දරන්නෙකුට බිය වන්නේ මන්ද යන්න තුල ගැබ්වෙන තර්කය නම් අපගේ එකතැන පල්වෙන බව ට ඇති අසීමිත ආශාවයි (මෙම තත්වය මෙලන්කොලියාව ලෙස අර්ථ දැක්විය හැක)). මිට සමාන්තරව ඇමෙරිකන් මධ්‍යම පන්තිය තුල දැවෙන සාන්දෘස්ටික ප්‍රශ්න තම අතට ගන්නේ කෙසේද යන්න සැන්ඩර්ස් අප ට නාගරික බව තුල ම පෙන්වා දෙයි. සමාජවාදය කිසිදා අත්නුදුටු සමාජයක ට එම අත්දැකීම කියාදීම දුෂ්කරය. එම දුෂ්කර කටයුත්ත සැන්ඩර්ස් විසින් කරමින් ඇත. ඓතිහාසික සුබසාධක රාජ්‍යයේ පරාජය ඔහු මෙලන්කොලියාවක් බවට පත්කර නොගැනීම වමේ දේශපාලනය පැත්තෙන් ඉතා වැදගත්ය. බුර්ෂුවා පන්තියේ පරාජය වෙතින් ට්‍රුම්ප් ගේ නැගීම යනු සැන්ඩර්ස් ගේ පසුබෑම වුවත් ගැටළු මුහුකුරා යාමත් සමග යම් කලකින් ඔහුට ඉදිරියට ඒමට හැකිවනු ඇත. එයින් කියවෙන්නේ මෙවැන්නකි. වාමවාදීන් ස්වකීය මනෝරාජික පරාජයේ මෙලන්කොලික බව තම ජනයාට සම්ප්‍රේෂණය නොකළ යුතුය. නමුත් ඇත්ත ගෝලීය යථාර්තය ජනයාගෙන් සැඟවිය යුතු ද නොවේ. පක්ෂය විසින් පන්තිය ට කලයුතු ලොකුම මෙහෙය එයයි.

වැඩිදුර කියවීම්:
Resisting Left Melancholy by Wendy Brown in https://muse.jhu.edu/article/3271

Left-Wing Melacholia by Enzo Traverso in 
https://cup.columbia.edu/book/left-wing-melancholia/9780231179423

ට්‍රුම්ප් යනු තවත් හිට්ලර් කෙනෙක්ද?  https://www.youtube.com/watch?v=08cNrNCAJkk