Wednesday, March 29, 2017

මුහුණක් නැති මුහුණ... (Faceless Face): රොහාන් පෙරේරා

කොළඹ දී සාමාන්‍යයෙන් පවත් වන සාහිත්‍ය-දේශපාලන සමාජවල කතිකා අවකාශයට මම අලුත්. ඒ නිසා ඒවායේ කතාවෙන දේවල් වලටත් මම අලුත්. මෑතකදී මට ඇහුන බොහෝ කතාබහ ඇතුලේ මට දැනුනු එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ පරම්පරාව ට (විශේෂයෙන් 70 දශකයේ ඉපදුන සහ 88-89 කැරළි අත්දුටුව) මොනවා හරි 'නුතනත්වයට පසු' දැනුමක් ලැබුණානම් ඒ ලැබීම පිටුපස රොහාන් පෙරේරා කියල (මම ඇත්තට ම නොදන්නා) චරිතයක් ඉදල තියෙනව කියන එක. බටහිර තියෙන්නේ සමාජ ව්‍යාපාර සහ ඒ ඔස්සේ එන ගුරුකුල. ඒ ඔස්සේ සුවිශේෂ බිහිවෙනවා. එම සුවිශේෂ විසින් ඔවුන්ව නිෂ්පාදනය කල සමාජ ව්‍යාපාරය එක්කෝ පොහොසත් කරනවා නැත්නම් එය ම අභියෝගයට ලක්කරනවා. නමුත් රොහාන් කියන්නේ සමාජ ව්‍යාපාර (විශේෂයෙන් ජ. වි. පෙ.) මියගියාට පසු ආපු කෙනෙක්. සියලු සමාජීය බලාපොරොත්තු 'අහිමි' (loss) වුනාට පස්සේ ආපු කෙනෙක්. නමුත් ඔහු එම දැවැන්ත අහිමි විම ඇතුලෙ ම යමක් කරන එක අත් ඇරියේ නැහැ කියල තේරෙනවා ඔහු නිෂ්පාදනය කරපු පුද්ගල චරිත දිහා බලපුවම. එම මියයාමෙන් පසු පැමිණෙන ඔහු සුවිශේෂ චරිතයක් වැඩිය එලියට නොඑන. ටිකක් ගුප්ත (mysterious) බවක් තියෙනවා ඔහුගේ අභිනය ඇතුලේ. සමහර විට එම ලාංකික 'අහිමි වීම' ඔහුට බලපාපු හැටි වෙන්න ඇති. නමුත් වැදගත් වෙන්නේ එම සංහාරයට පසු (after the Event) ඔහු කරපු දේ. එලියට ආවේ නැති වුනාට ඔහු විසින් ලංකාවේ සුවිශේෂ ගොඩක් මිනිස්සු මේ විදියට (ගුප්ත) අඳුර ඇතුලෙ ම බිහිකරලා තියෙනවා. ඒ අය සමාජයේ ලොකු සංකේතිය බලයක් එක්ක අද දවසේ වැඩකරනවා. ඒ හුගක් අය ජාතිවාදයට විරුද්ධව වැඩ කරන චරිත. ඒ කියන්නේ අඩු තරමේ යන්තම් හරි ඒ අයට සමාජීය වෙන්න පාර කියල දීල තියෙනවා රොහාන් විසින්. ඒක ඉතාම වැදගත් දෙයක් අද අපි කියල යමක් බිහිවෙන්න සහ අපේ පරම්පරාව ට ජාතිවාදයෙන් ගොඩ එන්න. ඔහුගේ බලපෑම අපේ පරම්පරාව ට අතිශයින් වැදගත් වෙලා තියෙනවා බටහිර ට ගිහින් ඉංග්‍රීසියෙන් දර්ශන වාද හදාරලා ආව අයට වඩා. සමාජ ව්‍යාපාර පැත්තෙන් ඒක ටිකක් අමුතු දෙයක්. ගවේෂණය කලයුතු දෙයක් සහ අපේ පරම්පරාව අමතක නොකළ යුතු දෙයක් හැටියටයි මම දකින්නේ. 

1990 දශකයේ හරියට ම අගදී මම එතකොට උයන්ගොඩ ල කරපු 'ප්‍රවාද' කියවනවා. ඒ කියවන කොට මට මිෂෙල් ෆුකෝ ගැන කියවන්න ලැබෙනවා. මම ඒ කාලේ මගේ ගුරවරයෙකු ගෙන් ෆුකෝ කියවනවද කියල අහපුවම මට ලැබුන පිළිතුර 'නැහැ' කියන එක. එතකොට පිටරට ගිය අයගේ තත්වය ඕක. ඒ අයට අපිට ඇත්තටම 'උසස් දැනුම' දෙන්න ඕනි උනේ නැහැ. තියෙන තැනක් වත් කිව්වේ නැහැ.  මෙම සන්ධර්භය තුල රොහාන් කියන්නේ ෆුකෝ කියවල අනෙක් අයටත් ඒක කියවන්න කියල කිව්ව කෙනෙක්. ඒක වෙනස් 'ආසියාතික' තත්වයක්. ආසියාතික ආත්මය ප්‍රති-ජීවනය කිරීමක්. එම ආත්මය උසස් තත්වයට ගෙන ඒමක්. එකෙන් තමයි අද දවසේ අපේ පරම්පරාවේ සද්භාවය (ontology) උපදින්නේ කියල මට හිතෙන්නේ. නමුත් අද ස්ත්‍රීවාදය ගැන එක එක 'අඩවි' වල ලියන කිසිවෙක් රොහාන් ගේ නම කියන්නේ නැහැ. ඔහුගේ "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරිඩාව විසංයෝජනය කළ විට..." (ප්‍රවාද 1995: පිටු 97-118) මඟ හැරලා ලංකාවේ ස්ත්‍රීවාදය ප්‍රවාද ගත කරන්න බැහැ අදටත් (ඔහුගේ ලිපියෙන් අවධාරණය කරන බරපතල දෙය නම් 'මානුෂික වෙන්න' කියන එක). ඕනිම කෙනෙකුට බැලූ බැල්මට කියන්න පුළුවන් දෙයක් තමයි රොහාන්ගේ ඉහත 'ස්ත්‍රී පාරභෞතිකය' නම් ලියමන ලංකාවේ මුල් කෘතියක් (original) කියන එක. ඒක කොපියක් නෙවි. විප්ලවවාදීන් විදියට අප පුරුදු වෙන්න ඕනි එවන් දේවලට ගරු කරන්න. ඒවා නැවත නිර්වචනය කරන්න සහ ඒවාට හිමි ගෞරවය දෙන්න. ඒක විප්ලවීය ආචාර ධර්මයක් (කොහොමත් ජුඩිත් බට්ලර් රොහාන් ගැන ලියන එකක් නැති හින්ද හුගක් ලංකාවේ 'අලුත් ස්ත්‍රීවාදීන්ට' රොහාන්ව කවදාවත් මුණ ගැසෙන එකක් නැහැ. පරණ අයටත් ඕනි රොහාන්ව අමතක කරලා දමන්න නිසා මේ අලුත් ස්ත්‍රීවාදී පරම්පරාවට පරණ අය විසින් රොහාන් කියල කෙනෙක් ගැන ඇත්තටම උගන්වන්නේ නැහැ). අමානුෂික විදියට අපි රොහාන් අමතක කරන්නේ අද දවසේ අපේ ගේමට ඔහු අවශ්‍ය නැති නිසා. රොහාන් මේ සියලු දේවල් වෙද්දී නිශ්ශබ්දව ඉන්නවා. ඒ 'නිශ්ශබ්ද බව' වඩාත් විප්ලවීයයි (හරියට එක් වරක් ගාන්ධි කළා වගේ). නමුත් අපි බලන්නේ ජුඩිත් බට්ලර් හරි ජිජැක් හරි මාට්ටු කරගෙන මොනවා හරි ටිකක් කියල ඉස්සරහට යන්න. මේ වැඩේට ආයුෂ නැහැ.  මොකද අපි එතකොට ඉන්නේ සත්‍යයට විරුද්ධ දිශාවේ. ඉතිහාසය අපිට කියල දෙනවා ඇත්ත මනුෂ්‍ය ගුණධර්ම නැතුව මොන දේශපාලනයක් කලත් වැඩක් වෙන්නේ නැහැ කියන ටික. ලංකාවේ මුල්වතාවට බටහිර ෆ්‍රොයිඩියානු උපගමනය ට ප්‍රතිපක්ෂව ස්ත්‍රිය සම්බන්දයෙන් වූ ඒ 'මනුෂ්‍ය බව' ගැන කතාකරපු, ස්ත්‍රිය තුලින් 'ආසියාතික බව' නැවත තේරුම් ගන්න හදපු, ආසියාතික අධ්‍යාත්මය නැවත අලුත් අර්ථයකින් තේරුම් ගන්න හදපු රොහාන් පෙරේරා ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඔහු ක්ෂිතියක්. අද දවසේ ලාබ ස්ත්‍රීවාදයට ඔහුව තරණය කරන්න බැහැ. ඒකයි... 

ස්ත්‍රී පාරභෞතික බව නම් රොහාන් පෙරේරා ගේ 'ප්‍රවාද' 1995 ලිපිය කියවන්න 

පසුව ලියමි : මා මේ සදහන් කරන්නේ පුදුම දෙයක්. ඒ පුදුම දෙය නම් මෙච්චර ස්ත්‍රීවාදීන් වැහි වැහැල ඉන්න රටේ රොහාන් පෙරේරා විසින් ලියන ලද "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරිඩාව විසංයෝජනය කළ විට..." නම් ලියවිල්ල අන්තර්ජාලයේ කිසිම තැනක උපුටා දක්වල නැහැ (ගූගල් සෙවුම් යන්ත්‍රයට අනුව) මෙම බ්ලොග් අඩවිය විසින් එය සදහන් කරන තෙක්ම (නමුත් එවකට 'මාතොට' සඟරාව නම් බොහෝ අවස්ථාවල එම ලිපිය උපුටා දක්වල තියෙනව මම දැකල තියෙනව). සිංහල භාෂාවෙන් අන්තර් ජාලය පුරා ඇත්තේ රොහාන් පෙරේරා කියන නම ඔහේ කියලා දාල විතරයි. ඔහුගේ කතිකාව කවුරුවත් බරපතලව විචාරය කරලා නැහැ (එහෙම නැති තාක් කල් අපිට ඔහුගෙන් ගැලවීමක් නැහැ). ඒ හැම තැනකම තියෙන්නේ ඔහුගේ දේශපාලනය පරණයි, ඒක දැන් ඉවරයි වගේ දේවල්. මෑත කාලයේ කේ. කේ. සමන් කුමාර විසින් කිහිප තැනකදී ඔහු ට හිමි ඓතිහාසික තැන සදහන් කළා පොදු අවකාශය ඇතුලේ. මට පවා ඔහු ගැන නැවත හිතන්න බල කරේ එය විසින්. මට තිබුණ තොරතුරු මත මමත් හිතුවේ ඔහු ඉවර ඇති කියල. නමුත් ඔහු විසින් මෙපමණ චරිත ගණනක් සෘජු ව හෝ වක්‍ර ව නිෂ්පාදනය කළා කියල මම දැනගෙන හිටියේ නැහැ. නමුත් දේශපාලනයෙදී මට ඒ ගැන හොයල බලන්න තිබුණා. මම උනත් හොයල නැත්තේ නරුම තැනකින්. ඒ කියන්නේ අපි දන්නවා එත් නොදන්නවා වගේ ඉන්නවා. 

"මිනිස්සු පාරේ නිදාගෙන ඇවිදිනවා ...අවදියෙන් ඇවිදින්න" 
"කුණු කාණුවෙන් කවුරුවත් වතුර බොන්නේ නැහැ වගේ පහත් සදාචාරයක් (ලෙනින්) දේශනාකලා"
"ගෙදර තියෙනකල් ස්ත්‍රී සිතුවිලි සිරිකතක් වගේ යහපත්" 
"ගෙදර සංකීර්ණ ගැහැණු පාරේදී මළමිනී වගේ"
"දර්ශනවාදය පවතින්න පවුල අනිවාර්යයක් නම් දර්ශන වාදය පවතින්න හිස්ටිරියාව අනිවාර්යයක්" (රොහාන් පෙරේරා).

අපි කරන්න ඕනි රොහාන් ව ප්‍රතික්ෂේප කරලා ඉදිරියට යන එක නෙවි. රොහාන්ගේ උරුමයත් අරගෙන ඒක පෝෂණය කරමින් ඉදිරියට යන එක. ඔහුගේ කතිකාව ප්‍රතික්ෂේප කරන්නේ කුමන න්‍යායික කරුණු මතද? ප්‍රතික්ෂේප කරන්න කිසිවක් ඔහු ලියලා නැහැ. විශේෂයෙන් ඔහුගේ උරුමය එක්ක යන විමුක්ති ව්‍යාපාරයක ට ස්ත්‍රීවාදය සම්බන්දයෙන් වරදින්න හේතුවක් නැහැ. ඔහු ඒක රැඩිකල් විදියට කතා කරලා තියෙනවා බටහිර අය කතාකරනවට වඩා අපේ භූමියට අදාල විදියට. ඔහු බටහිර ස්ත්‍රිය සම්බන්ද කතිකාව ඇත්තටම පෙරදිග අර්ථයෙන් විසංයෝජනය කරනවා.  හරියට බැලුවොත් ඒක නව මාවෝ වාදයකට පාර කපනවා ද විය හැකියි.  ඒ සඳහා අර්ථකතනවේදය වෙත නැවත ගැඹුරින් යා යුතු වෙනවා. කරන්න ඕනි ඒ වගේ වැඩ මිසක් නිකම් කවුරුවත් කියන හින්ද ෆ්‍රොයිඩ් ගේ 'මෙලන්කොලියාව' පට්ට ගහන එක නෙවෙයි (එක චැනල් එකක සද්දේ වැඩිනම් තව චැනල් එකක් ටියුන් කරන එක වගේ 'විමුක්ති ක්‍රියාමාර්ග' හොඳයි එදා වේල ගොඩදාගන්න). ඒ වගේ බරපතල වැඩ කරන්නේ නැතුව නිකම් ජුඩිත් බට්ලර් ගේ පස්ස පැත්තේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ 'ඔරිජිනල්' වැඩ කරන එකයි රොහාන් ගේ සත්‍ය උරුමය...  

(මහේෂ් හපුගොඩ)

Sunday, March 19, 2017

'චක් බෙරි' : අමරණීයත්වය වෙනුවට යොදන තවත් නමක් වියහැක





Chuck Berry ඔබට සමුදීමට වීම ඇත්තට ම දුකකි. රොක් ඇන්ඩ් රෝල් ඉතිහාසය තුල ඔබ සැබවින්ම අමරණීය ය ....පැවති වික්ටෝරියානු සිරගෙයින් පිටතට ආ ඔබ 'වොයේජ් 1' (Voyage 1) යානයෙන් සමස්ථ විශ්වය දක්වාම ගමනක් ගොස් ඇත Golden Record (Voyager 1). රොක් සංගීතයට ආදරය කරන අපට එයම සතුට ට කරුණකි. ඔබේ සාර්ථකත්වය රැදී පැවතුණේ ඔබෙගේ ම නව නිර්මාණ (originals) කෙරෙහි විශ්වාසය තැබූ හෙයින් වන අතර ඒවා පැරණි දෙයින් ඛණ්ඩනය විම තුලය. කිසිවෙක් කොපි නොකළ ඔබට දීර්ඝ ගමනක් තිබුණි. 'දේවල් වෙනස් කරනු වෙනුවට' ඔබ දේවල් කුඩු පට්ටම් කළේය (Chuck Berry did not just cross barriers, he obliterated them යනුවෙන් CNN සේවය ප්‍රකාශ කලේ එබැවින් විය යුතුය) CNN Report.   

Monday, March 13, 2017

වික්ටර් රත්නායක පැවැත්ම සහ අධ්‍යාත්මය අතර (ප්‍රති)ස්ථාපනය කිරීම...

වික්ටර් රත්නායක නම් සංගීතඥයා ජිවත් වුයේ පරිවර්තනීය (transitional) සම්ප්‍රදායික සමාජයක් තුළ ය යන්න සත්‍යයක් වනවා සේම ඔහු තම 'කල්පනා ලෝකය' තුළ අනුදැක්කේ එම පරිවර්තනීය බව තුල ස්ථානගත වෙමින් ම පසුආවර්තිත ලෙස පරිකල්පනය කල සම්ප්‍රදායික මනෝරාජිකයකි යන්න ද එවිට ම සත්‍ය වේ. එම සම්ප්‍රදාය වනාහි පශ්චාත්- යටත්විජිත වටිනාකම් වල සෙවණැල්ල විසින් අප සමාජ වල ද්විත්ව බවක් (dual existence) නොඑසේනම් 'දෙගිඩියාවක්' (ambivalence) ඇති කර ඇති තත්වයක් බව හොමි කේ. බබා නිරීක්ෂණය කරයි (කියවන්න ඔහුගේ The Location of Culture කෘතිය). මෙහිදී සිදුවන්නේ සම්ප්‍රදාය සහ නුතනත්වය එකවිට ම පුද්ගල විෂය කෙරෙහි බලපෑම් සහගත වීමයි. වික්ටර් ගේ බොහෝ නිර්මාණ විකසිත වුයේද එවන් 'ද්විත්ව' බවක් සහිතව ය (බටහිර සහ පෙරදිග සංකලනය වැනි වචනයක් මේ සඳහා පාවිච්චි වේ). එම ද්විත්ව බව තුල ම ඔහු වඩාත් බර වුවේ සම්ප්‍රදායික සමාජයක් උත්කර්ෂ කිරීම මුලික කරගත් පරිකල්පනීය බවක් යථාර්තයක් වනු දැකීමට ය.  ඔහුගේ සීමිත දේශපාලනය අරමුණු කලේද එවන් සම්ප්‍රදායික වටිනාකම් උත්කර්ෂය පිණිස ය.  දෙරණේ  ඩෙල් ස්ටුඩියෝ හි සින්දු කියන විට ද මේ 'ද්විත්ව' (hybrid) සහ 'උත්කර්ෂ' ලක්ෂණ ගැබ්ව තිබුණි. ඔහුගේ දරුවන් පවා ස්ථානගත වී සිටියේ එම ද්විත්ව පරිවර්තනීය සම්ප්‍රදාය තුලම ය. එම නිසා ඔවුන්ද ඔවුන්ගේ ජිවන ලෝකය තීරණය කරනු ලැබුවේ එම පැරණි සංස්කෘතික සහ වික්ටෝරියානු වටිනාකම් තුළිනි යන්න අතීශයෝක්තියක් නොවේ (මේවා ඓතිහාසික තත්වයන් මිස පුද්ගලික ගැටළු නොවේ යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලික දේපළ පවා ඓතිහාසික නිර්මිතයන් ය යන්නය). ඉහත බබා සදහන් කරන්නේ නුතනත්වයට ගමන් කිරීමේදී 'ජාතිය' සහ 'ලිංගිකත්වය' යන ප්‍රපංච දෙකේදී පශ්චාත්- යටත්විජිත ජාතින් තුල මෙම දෙගිඩියාව පවතින බව ෆැනොන් මනෝ විශ්ලේෂණය තුල නිරීක්ෂණය කරන බවයි. 'සංස්කෘතිය සහ පන්තිය අතර හටගන්නා දැවැන්ත නොවිසදුනු පරස්පරතාවය' (unsolved contradiction between culture and class) නිසා යටත් විජිත ආත්මය තුල ගැඹුරු අර්ථයකින් සමාජ යථාර්තය යන්න විෂයයේ මනෝභාවය තුල නියෝජනය වීමේ දෙගිඩියා ගැටළුවක් මෙහිදී ඔහු නිර්ක්ෂණය කරයි. වික්ටර් යනු මෙම නියෝජනයේ පරස්පරතාවය ඓතිහාසිකව අප වෙත ගෙන ආ වැදගත් අවස්ථාවකි. 

ඔහුගේ 'පෞද්ගලික තීරණය' තුල 'අනේකත්වය' (otherness) යන්න එක්වරම විතැන් වන අතර (දරුවන් නම් ස්වභාවික බවෙන් බාහිර ලෝකයේ ගැහැණිය නම් සංස්කෘතික බව වෙත) ආර්ථික තත්වය (පන්තිය) ඉහල යාමත් සමග හුදකලාවෙන් 'වේදනාවේ සතුට වෙත' (pleasure in pain) තම ආත්මය යොමුකරයි. එම 'පෞද්ගලික බව' තුලට මෙතෙක් තම සංකේතිය වටිනාකම් සඳහා බලපෑ 'පොදු රසික අනේකත්වය' නොවැදගත් වෙයි. මා සිතන හැටියට ඔහුගේ 'සංකේතිය ප්‍රාග්ධනය' තුළට ඔහුගේ මෙතෙක් ප්‍රතිරූපය (image) බලපෑම් සහගත වූ බව අමතක නොකළ යුතුය. ඔහුගේ වර්තමාන 'දේපළ' තුලට එම සංකේතිය ප්‍රාග්ධනයද ඇතුලත් කල යුතුය. බාහිර අනේකත්වය තුළ ඔහුගේ 'වෙළඳපල' පිහිටා තිබීම හේතු කොටගෙන එවිට එය පුද්ගලික නොවී පොදු දෙයක් බවට පත්වේ. එම රසික නිරීක්ෂය (gaze) තුළ ඔහු මෙතෙක් නඩත්තු කළ ඔහුගේ සම්ප්‍රදායික ලෝකයද බලපෑම් සහගත වේ. සම්ප්‍රදාය, පවුල (දරුවන්) සහ සංස්කෘතිය තිබුණේ එක ම වෙළඳපොළ සන්දර්භයක එකම ප්‍රවාහයකය (flux). උදාහරණයක් ලෙස අපට මුල් කාලින අතුල-සමිතා යුගලය ප්‍රක්ෂේපනය කළේ අපගේ බුර්ෂුවා ආශාව වන පවුල යි. එකට වේදිකා මත ඉදිමින් මාධ්‍ය චැනල වලට තම ප්‍රතිරූපය පිම්බීමට ඉඩහැරීම අහිංසක යමක් නොව දැනුවත් වෙළඳ වැඩකි (සරදම නම් ඊළගට එළඹෙන ගැඹුරු සාන්දෘෂ්ටික මොහොත පවා වෙළඳ අවකාශයක් වීමයි). ඔවුන් එම රූපකය උඩ දැමීම සම්බදයෙන් වගකිව යුතු වන අතර එවිට එය අපේ පැත්තෙන් පුද්ගලික කලාපයක් නොව දේශපාලන කලාපයකි. අනෙකා වෙනුවෙන් සම්ප්‍රදාය උත්කර්ෂයට නැගීම සම්බන්දයෙන් වුව ද සත්‍යය මෙසේම ය. වික්ටර් මෙම අනෙකාගේ නිරීක්ෂය ඉවත හල නිමේෂය ද එම අර්ථයෙන් දේශපාලනිකය.        

අනෙකාගේ නිරීක්ෂය සහ ඒ හා බැඳුණ සංකේතිය බව ඉවත හෙලීමට පදනම් වූ 'පුරුෂ අනේකත්වය' යනු කුමක්ද යන්න වැදගත් ප්‍රශ්නයකි. පුරුෂයා ආශාව විසින් මෙහෙයවනු ලබන්නේ නම් එම ආශාව කෙලවර වන්නේ ගැහැණිය වෙතින් නම් 'පුරුෂ විෂය මුලිකත්වය' (subjectivity) ගැහැණිය යන්න අප පිළිගත යුතුය. ඇය යනු පැවැත්ම සහ ආත්මය අතර පුරුෂ පැවැත්මේ එකම මාධ්‍ය යයි (the only medium between spirituality and existence).  මෙය පුරුෂ ලෝකයේ සබුද්ධික බවට ඔබ්බෙන් ඇති තර්ක විරෝධී දෙයකි. පැවැත්ම තුල ඇයගේ ආගමනය (intrusion) තර්කයට නැගිය නොහැක ('පුද්ගලික ප්‍රශ්න අහන්න එපා මගේ සංගීතය පමණක් රසවිදින්න' කියන්නේ එම නිසයි).  ඇයගේ ආගමනය සහ වේදනාවේ ආරම්භය තුළින් හටගන්නා ආත්මයේ නිර්මාණය වීම සඳහා හොද උදාහරණයක් The Legends of the Fall (1994) නම් චිත්‍රපටය විසින් සපයයි. සහෝදරයින් තුන් දෙනෙක් අතරට පැමිණෙන ඇය විසින් වේදනාව (pain) ආරම්භ කරයි. දේවල් දෛවෝපගත ලෙස වෙනස් වීම ආරම්භ වේ. කිසිවක් තවදුරටත් තාර්කික නොවී පැවැත්ම තර්කයෙන් ඔබ්බෙහි ස්ථානගත වීම ආරම්භ වේ. මනුෂ්‍ය පැවැත්මේ මුලය ඇය ආරම්භ කරයි. භාෂාව ද්විතික වේ. මෙයට හේතුව නම් පුරුෂ පැවැත්මේ භාෂාව ට (logos) එනම් සංකේතීය බවට ප්‍රතිපක්ෂව ගැහැණියගේ පැවැත්ම ස්ථානගත වීමයි. ඇයගේ ආගමනය වෙනුවෙන් වූ ආචාර ධර්මික පිළිතුරක් වික්ටර් රත්නායක මහතාට පැවැත්මේ ගැඹුරු අර්ථයකින් ගොනුකර ගත නොහැකි බව කියත හැකිය. ඔහුට දියහැකිව තිබු පාඩම නම් 'නිශේදනය තුළ පොරොත්තු වීමය' (tarrying with the negative), එසේ පොරොත්තු වීම ඔස්සේ ඔහුගේ අධ්‍යාත්මය කොතරම් ශක්තිමත්ද යන්න ලොවට පසක් කිරීමය (නැතහොත් පරමාදර්ශ සකස් කිරීමට උදව් වීම ලෙස එය නම් කල හැක). ඒ වෙනුවට ඔහු කලේ 'පැවැත්මේ රාත්‍රියට' තම අධ්‍යාත්මය සෙලවීමට ඉඩ දීමය. ඒ ඔහුගේ අධ්‍යාත්මය තවම සකස් වී නොතිබූ නිසාය.  නොඑසේනම් ඔහුගේ රාත්‍රිය තවම උදා නොවී තිබීම යනුවෙන් එය හැඳින්විය හැක. එසේනම් අප විග්‍රහ කරගත යුත්තේ ෂෙලින් නම් දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරන   
අප හැමෝම අත්දැකිය යුතු ෂෙලිනියානු 'පැවැත්මේ රාත්‍රිය' (night of the Self) නම් තත්වය කුමක්ද යන දාර්ශනික ගැටළුවයි (මේ සඳහා හොදම ආසියාතික උදාහරණය මහත්මා ගාන්ධි ය).

ෂෙලින් සඳහන් කරන මෙම ‘ආත්මයේ රාත්‍රිය’ යනුවෙන් අදහස් කරන්නේ බාහිර ලෝකයන් සමඟ පවත්වා ගෙන යන සියලු සම්බන්දතා කපා හැර, අපේම ආත්මය තුලට පසුබැස (ගොලු බෙල්ලා කටුව තුලට වදිනවා මෙන්) එම ආත්මයේ සත්ව අන්තර්ගතයට අනන්‍යව ස්වභාවිකත්වයේ රිද්මය හා ජීවත් වීමට සමාන බව ෂෙලින් පෙන්වා දෙයි.  මෙම 'සත්ව පසුබැසීම' සඳහා වු අගනා සාන්දෘෂ්ඨික චිත්‍රපටයක් වන්නේ බර්නාදො බ්‍රතොලුසී ගේ The Last Tango in Paris හි ප්‍රධාන නළුවා (මාලන් බ්‍රැන්ඩෝ) සහ නිලිය මාරියා ෂින්ඩගේ රඟපෑමයි.  ඔවුන් දෙදෙනා හට නාමකරණය (name) අදාල නැති අතර ඉතිහාසය ද එකිනෙකා විසින් ‘තහනම්’ කර ඇත.  බ්‍රැන්ඩෝ (පෝල්) ඉල්ලා සිටින්නේ ඉතිහාසය හෝ නම් ගම් වලින් වැඩක් නැති බවත් දිගින් දිගටම ඇදෙන ලිංගික ක්‍රියාව විමෝචක (cathartic)  සහ චිකිත්සක සහ ප්‍රතිකාරමය  (therapy) අන්තයකට රැගෙන යාමයි.  බාහිර ලෝකයෙන් සම්පුර්ණයෙන් මිදෙන ඔවුන් ‘සත්ව ආත්මය’ තුල ඇති අතිශයින්ම ‘මානුෂික බව’ (ජිජැක් පාවිච්චි කරන වචනය humanization යන්නය) නම් බාහිර ලෝකය සැක කරන කොගිටෝමය අවකාශයට පසුබසී (withdraw).  මෙම බාහිර ලෝකයෙන්, එහි වටිනාකම් සහ භාෂාමය සංකේතනයෙන් ඉවත්වන කොගිටෝමය පසුබැසීම විසින්, රැඩිකල් උමතුවේ නිමේෂය විසින්, ‘වියුක්ත නිශේධනයකට' (බාහිර ලෝකය කුමක් කීවත්) ගමන් කිරීමට වික්ටර්ට හැකිය.  යතාර්ථයෙන් ඇසිපිය වේගයෙන් පසුබසින ඔහුට ආත්මයේ රාත්‍රිය මුණගැසේ (කියවන්න Abyss of Freedom හි ජිජැක්ගේ පෙරවදන පිටුව 8).  ෂෙලින් මෙසේ කියයි,
'මෙම රාත්‍රිය, ස්වභාවධර්මයේ අභ්‍යන්තරය නම් මෙතැන පවතින ෆැන්ටාස්මතික නියෝජනය අප වටා ඇති රාත්‍රියයි.  මිනිසා මෙම රාත්‍රියේ දී හිස් බවට පත්වේ.  ඔහුගේ වස්තුව (wealth) ලෙස, ඔහු අනවරතව නියෝජිනය කල සියල්ලක්ම, සියලු රූපයන්ම මෙතැන් සිට නොපැවතීමට පටන් ගනී'.
වික්ටර්ගේ සත්‍ය පසුබැසීම මෙම ආත්මයේ රාත්‍රිය යැයි අපට සිතිය නොහැක්කේ ඔහු තවමත් බාහිර නිරීක්ෂණය වෙනුවෙන් වදවන නිසයි. බාහිර ලෝකයට උත්තර බැඳීමේ අභිනයක තමවත් ඔහු පොරොත්තු වන නිසයි. නමුත් මෙම 'ආත්මයේ රාත්‍රියට' පසුබැසීමෙන් පසු ඔහු නැවත සංකේතීය ලෝකය ට පැමිණෙන්නේ සියල්ල අහිමි වු (සම්ප්‍රදාය, පවුල, වටිනාකම්) කෙනෙක් ලෙස පුර්ණ වශයෙන් වෙනස් වී නම්, ඔහුගේ අභ්‍යන්තරය බාහිර (ex-timacy) දෙසට යොමු කරමින් නම්, ඔහුගේ ම අභ්‍යන්තරය ට එරෙහි වෙමින් නම්, එම ආගමනය අපට පිලිගැනීමට බැරිකමක් නැත.  එම එවිට ඇදවැටීම (Fall) හොඳ දෙයකි.  එම ඇදවැටීම තුලින්ම එවිට සංකේතනය (ප්‍රති)-ස්ථාපනය වීම ආරම්භ වන අතර 'වඩාත්ම සත්‍යය’ ඔහුට ප්‍රකාශ කිරීමට හැකිවන නිමේෂයට මුහුණ දෙයි (moment of highest truth).  මනුෂ්‍ය පැවැත්මේ ‘සත්‍යය’ ඔහුට බටහිරත් වඩා හොඳින් ගායනා කළ හැකිවනු ඇත. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ  ‘ගැඹුරු සාමාන්‍ය බව’ ඔහුට ඔහුගේ උන්මාදය තුලින්ම අප වෙත සම්ප්‍රේෂණය කිරීමට හැකිවනු ඇත.  ඔහු ආත්මයේ රාත්‍රියට නිද්‍රාගත කළේ ඇය නම් එය රැඩිකල් දෙයකි.  නමුත් එය තීරණය වන්නේ උමතුවෙන් පසු එළඹෙන සත්භාවයේ නිමේෂයහි (moment of ontological truth) ස්වරුපය වික්ටර් විසින් භාවිතා කරන ආකාරය මතයිදැන් බොහෝ අය කියන්නේ වික්ටර් ද සාමාන්‍ය අයෙක් කියා වුවත් ('එයත් දැන් අපි වගේ') ඉහත සද්භාවී නිමේෂයක දී එවිට ඔහුට පැවැත්මේ සාමාන්‍ය බව ඉක්මවිය හැකිය. බොහෝ විචාරකයන් අගය කරන මෙම 'එයත් මම වගේ' පන්නයේ සාමන්‍යකරණයන්ට මඟ හැරෙන දෙය නම් පරමාදර්ශ වලට කුමක් වන්නේද යන්නය.  වික්ටර් පවා 'අධ්‍යාත්මයෙන්' (Spirituality) පැවැත්ම නම් 'භුමිය' (Ground) වෙත පිය නැගුවා ට පසු කියවුන දෙයක් නම් "ඔන්න වික්ටර් අප ට ආයේ බණ කියන්න එන්න එපා" යන සරදමයි. කුමක්ද මේ 'භුමිය' සහ 'අධ්‍යාත්මය' අතර ඇති සම්බන්දය?



ෂෙලින් උපුටා දක්වන ස්ලොවෝයි ජිජැක්ට අනුව ඉහත ‘භූමිය’ සහ ‘පැවැත්ම’ යන්න සදාකාලිකව බෙදී පවතී.  මෙම බෙදුම දෙවියන් තුලමත් දැක ගත හැකි තත්වයක් බව ජිජැක් සිය The Abyss of Freedom නම් ග්‍රන්ථයේ පෙරවදනේ පෙන්වා දෙයි.  (පිටුව 4-5)  එනම් ‘නපුර’ (evil) යන්න දෙවියන් තුලම පවතින දෙයක් මිස දෙවියන්ගෙන් බාහිර දෙයක් නොවේ.  නමුත් දේවත්වයේ යහපත කැටිකරගත් දෙයක් නිර්මානය කිරීමට දෙවියන්ට අවශ්‍ය වූ හෙයින් හෙතෙම ලෝකය නිර්මාණය කරන ලදී.  එම ලෝකය තුල ද ‘දෙවියන් නොවන කොටසක්’ ශේෂ කර ඇත.  එම දෙවියන් නොවන කොටස විසින් ආලෝකය ඉල්ලා සිටී (දිව්‍යමය කොටසට ආලෝකය අවශ්‍ය නැත).  එම ඉල්ලා සිටින ආලෝකය විසින් (ප්‍රබුද්ධත්වය) දිව්‍යත්වයේ ව්‍යාප්තිය සලකුණු කරයි.  දෙවියන් තුලම ඇති මෙම විනිවිදිය නොහැකි ගුප්ත-අඳුරු-පැවැත්මේ භූමිය විසින් (ධනාත්මක නොවන දෙය) හේතුවේ ආලෝකය තවතවත් ඉදිරියට ව්‍යාප්ත කරනු ලබයි.  මේ තත්වය අපට වික්ටර් තුල ද දැකිය හැකිය.  සංගීතය නම් ඔහුගේ දිව්‍යමය නිර්මාණය කිරීම සඳහා ‘ආචාර ධාර්මික නොවන අන්තර්ගතයක්’ අවශ්‍ය වේ.  ඒ සඳහා ඔහුට අද දවසේ උපකාරී වන්නේ ‘විනිවිදිය නොහැකි ඔහුගේ අඳුරු පැවැත්මයි’.  එනම් ගැහැණිය නම් විනිවිදිය නොහැකි කේන්ද්‍රය තුලින් ඔහුට ලබා දෙන භූමියේ සත්‍ය කොන්දේසිය.  එම සත්‍ය කොන්දේසි තුල ඔහු නව දරුවෙක් සඳහා ජීවය දීමට වුව ද හැකිය.  එම නව 'අඳුර බිඳින්නට' නොහැකි ආගාධය විසින් තවත් ගැඹුරු නිර්මාන හරහා මිනිස් ශිෂ්ටාචාරයට දායක නළ හැකි නම් වඩා වැදගත් දෙය විය හැක්කේ එයයි.

ඔහුගේ එම සත්භාවී නොවන තීරණය පිටුපස සිටින ඇයගේ අඳුරු පැවැත්ම විසින් ඔහුගේ පැවැත්මේ භූමිය සකස් කරයි.  මෙහි දී පරිපුර්ණ බව හා පරිපුර්ණ නොවන බව විසින් සමස්තය ගොඩනඟන අතර (කේවලත්වයන් දෙකක එකමුතු වීම) ඇයගේ අපරිපුර්ණත්ව තීරණය විසින් පරිපුර්ණ බව සඳහා වූ මාවත පෙන්වා දේ.  ඇය නම් වූ ‘නපුර’ ලොව තිබෙන්නා වූ හේතුව ඒ ඔස්සේ ඇය අපට පෙන්වා දෙයි.  ජිජැක්ට අනුව ලෝකයේ නපුර පැවතීමේ හේතුව නම් අපරිපුර්ණත්වය තුලින් පරිපුර්ණත්වය හඹා යන්නේ කෙසේ ද යන්න පෙන්වා දීමටය (පිටුව 15). ගාන්ධි විසින් තම බිරිඳට යෙහෙලියක වන ලෙස (චිත්‍රපටය බලන්න) ඉල්ලා සිටින්නේ සුදු ජාතික අශ්ශීලත්වයට එරෙහිව අධ්‍යාත්මික පරිපුර්ණ බව අත්පත් කර ගනු පිණිසය.  මෙම දෙක අතර ඇති ‘පැල්ම’ පරිපුර්ණ බවටත් වඩා පරිපුර්ණ යැයි ජිජැක් පෙන්වා දෙන්නේ එම ‘පැල්ම’ තුලින් මිනිස් විෂය බිහිවන නිසාය.  වික්ටර් නම් සිද්ධිය තුලින් ඔහුට බාහිරින් ස්ථානගත වී ඇති අපට ඉගෙන ගත හැකි පාඩම එයයි.  බොහෝ විචාරවල ඇත්තේ ‘අපිත් වික්ටර් වගේ වෙමු’, ‘එසේ කළාට ඇති වරද කුමක් ද?’ වැනි ප්‍රකාශ වුව ද සත්‍ය ලෙස වික්ටර් විසින් අපට ආචාර ධාර්මික පාඩමක් උගන්වා නැත.  ඇත්තේ ඔහුගේ අපරිපුර්ණත්වයේ අධ්‍යාත්මික පැල්ම අප වෙත ඔහුගේ නව ගැහැණිය හරහා පෙන්වා දීම පමණි.  මෙයින් අදහස් කරන්නේ ඔහු හරි හෝ වැරදි යන්නට වඩා ඔහුගේ පැවැත්ම අප වෙත ප්‍රක්ෂේපණය කර ඇති එක් ආකෘතියකි.  (සමහර විට එකම ආකෘතියයි).  එම අර්ථයෙන් පිරිමියාගේ සත්‍ය පැවැත්ම ස්ත්‍රීත්ව පදනමක් මත පිහිටා ඇති බව ඔහු අපට පෙන්වා දී ඇත.  බොහෝ විචාර (ලෙලුම් සමඟ) වලින් අප වෙත දැන්වුයේ ගැහැණිය විසින් පිතෘමුලික පදනම වෙත එල්ල කරන අති දැවැන්ත බලපෑම නිසා හටගන්නා බියයි  (fear of the patriarchal foundation).

මෙම ක්‍රියාව තුලින් ඔහු ආචාර ධාර්මික හුදකලා ජිවිතයෙන් (spirit=ආත්මය) ලෞකික බව (භූමිය=ground) වෙත ගමන් කරයි. 'වික්ටර්ට වුනේ මොකක්ද යනුවෙන්'   ඔහුට එන විවේචනවල ගැඹුරු ෂේලිනියානු සාරය එයයි.  ගාන්ධි වැන්නෙක් තම බිරිඳට තමා සමඟ යෙහෙළියක සේ සිටීමට යෝජනා කරද්දී වික්ටර් යෙහෙළියක විවාහ කරගනී. වෙනස එයයි. අප දැන් මෙම තත්වය වරනගමු. ආසියාතික මිනිසකුට අවශ්‍ය කුමක්ද (What does the Asian man want?) යන ප්‍රශ්නය අපට ෆැනොන් ගේ කළු ජාතිකයකුට අවශ්‍ය කුමක්ද (What does the black man want?) යන ප්‍රශ්නයෙන් ව්‍යුත්පන්න කරගත හැකිය. ඔහුට අවශ්‍ය තමා පිඩනයට පත්කළ තම ස්වාමියා බවට පත්වීමටය. 'සුදු පිඩක ස්වාමියා' (oppressive white male) යනු අප අනන්‍ය කරගත් දෙයයි. අප සැම විටම උත්සාහ ගන්නේ ඔහු මෙන් වීමටය. ඔහුගේ සංස්කෘතික නිදහස අත්පත් කර ගැනීමටය. මෙම කතිකා තත්වයෙන් මිදීම ගැන ඇති එකම ආසියාතික උදාහරණය ගාන්ධි වේ. ඔහු ක්‍රිස්තියානියේ ඇති 'එක කනකට ගැසුවොත් අනෙත් කණත් අල්ලන්න' යන්න විශ්වාශ කල අයෙක් බැවින් සුදු මර්ධිත කතිකාවෙන් ඉවතට ගමන් කරයි.  අප යටත් විජිත ආත්මයෙන් නිදහස් වන්නේ නම් මර්ධිත සුදු ආත්මයේ 'ආශාවෙන්ද' ඉවත් විය යුතුය. නමුත් ගැටළුව නම් අප කොතෙක් පශ්චාත්- යටත්විජිත ස්වාමියාගෙන් ඛණ්ඩනය වීමට උත්සාහ කල ද අපට එය කල නොහැක. මන්ද අපගේ ස්වභාවික ලෝකය ට 'තහනම' ගෙන ආවේ අප යටත් කල අපගේ සුදු ස්වාමියා ය. එම අර්ථයෙන් අපගේ 'ආශාව' නිර්මාණය කළේ ඔහු ය. අපගේ අවිඥානයෙන් අපට නිදහස් විය හැකිද?   

බොහෝ කාලයක් යටත් කරගෙන සිටිය අයෙක් එක්වරම නිදහස් වුවොත් ඔබට දැකිය හැක්කේ කුමක්ද? වික්ටර් තම මර්ධිත යටත් විජිත ආත්මය දේපළ නිසා නිදහස් කරගනී. තම සත්‍ය පන්තියේ සංස්කෘතික සිමාවෙන් ඔහු නිදහස් වේ. බොහෝ විචාරකයන් බොහෝ දේ ලියුවද මෙම සංක්‍රාන්ති ස්වබාවය ගැන තක්සේරුවක් නොමැතිව කරන විචාර වලින් පවත්නා  පශ්චාත් -යටත්විජිත, පශ්චාත්- නුතන තත්වය ගැන පුළුල් විනිශ්චයක් නොලැබෙන බව පැහැදිලිය. මා එසේ කියන්නේ අපගේ 'ජීවන ලෝකය' (life-world) පසු ගෝලීය තත්වය තුල පරිණාමය වෙමින් පැවතියද අපගේ පරිකල්පනය (imagination) නැත්නම් ෆැන්ටසිය (fantasy) තවමත් පවතින්නේ පැරණි සම්ප්‍රදායික සහ යටත් විජිත ලෝකය අතර වන නිසයි. මාවෝවාදී භාෂාවක් තුළ මා වික්ටර් නම් ලාංකික ගැටළුව ස්ථානගත කරන්නේ ඉහත ෆැන්ටසි පරස්පරතාව (contradiction or conflict in fantasy) තුලය. අප වික්ටර් සහ බටහිර ගායකයන්ගේ සත්‍ය ජිවිත අතර සංසන්දනයක් කලොත් ඔවුන්ගේ ජීවිතවල ඇති සාංදෘස්ටික ගැඹුර කලා කෘතිය තුල විකසිත වනු වටහාගත හැකිය. වික්ටර් ගයන 'දාගැප් මහා වැව්', 'නීල බිඟු කැල', 'තනි වෙන්නට මගේ ලොවේ' තුළ පමණක් නොව ඔහු නියෝජනය කල මතවාද තුල ද මෙම සාන්දෘෂ්ටික ගැඹුර එක්කෝ ගැබ්ව නැත, නැත්නම් ඇත්තේ ආන්තික වශයෙනි.  ඔහු අද දවසේ ගත් තීරණය ඔහුගේ ප්‍රකාශනය වන ගීතය තුලින් කොතෙක් දුරට මේ දක්වා නියෝජනය වීද? වික්ටර් සිටිය පරිකල්පනීය ලෝකය එසේම පවතිද්දී ඔහුගේ ම දෙපා වලට යටින් සත්‍ය පස්චාත්- නුතන ලෝකය පරිණාමය වෙමින් පවතී. ගැටළුව ඉස්මතු වුවේ වික්ටර් පසු-නුතන ලෝකයක 'සත්‍ය පැවැත්මේ තීන්දුවක්' (පැරණි සංකේතිය ලෝකය තුල නුහුරු) ගත් මොහොතේය. සත්‍ය පැවැත්මේ හුදකලාව නම් 'සිරවීමෙන්' ගොඩ ඒමට ඔහුට පැවති සංකේතිය පිළිවෙල උල්ලංඝනය කිරීමට සිදුවිය. එසේ උල්ලංඝනය කරන ඔහු 'ආත්මයේ රාත්‍රියට' මුල්වරට පය තබයි. ඔහුගේ දරුවන් තේරුම් නොගන්නේ මෙයයි. කීමට ඇත්තේ එපමණකි...ලෝකයේ ගැඹුරුම අර්ථයකින් නුතන පැවැත්මේ අඳුරු අහුමුළු ගැන ගායනා කල Rolling Stone නම් රොක් ගායක කණඩායමේ මික් ජැගර් (Mick Jagger) ගේ ජීවිතය ගැන කිසිවෙක් කිසිවක් නොකීවේ ඇයි යන්න වික්ටර් කලපනා කර බැලිය යුතුය. 'ෂෙලිනියානු රාත්‍රියට' එළඹ ඇති ඔහුගේ ආත්මය සද්භාවට නැවත අවදි වන්නේ කවදාද? නැත්නම් ඔහු නැවතත් වටයකින් අවදිවනු ඇත්තේ පැරණි සම්ප්‍රදායික ලෝකයටමද?