Monday, April 24, 2017

ජෙරමි කෝබියන් සම්මුඛ සාකච්චාව

ගෝලීය සාමය පිළිබදව තවමත් විශ්වාසය තැබිය හැක්කේ විසිවන සියවසේ පරමාදර්ශ කෙරෙහි තවමත් විශ්වාසය තබන බ්‍රිතාන්‍ය විපක්ෂ නායක ජෙරෙමි කෝබියන් වැනි නායකයන් මතින් මිස ට්‍රුම්ප් වැනි වැල යන අතට මැස්ස ගහන, යුද්දෙට හෝයියා කියන, හදිසි බිස්නස්කාරයන් වෙතින් නොවේ යන්න මෙම සාකච්චාව තුළින් ඔප්පු වේ. ඔහු අවධානය කරන එකම දෙය නම් මුලධර්ම (principles) මත පිහිටා (ප්‍රතිපත්ති මත) දේශපාලනය කිරීමයි (ට්‍රුම්ප්ට නැති එකම දෙය ප්‍රතිපත්ති නම් දෙයයි. අපිට නැත්තේ ද එයමයි). Brexit, Frexit වැනි නම් වලින් තනි රටට හුදකලා වීමට වලිකන, අන්ත දක්ෂිණාංශික ගේ තෝතැන්නක් වෙමින් මුළු යුරෝපය ම කණපිට හැරෙමින් යන මොහොතක, සත්‍ය යුරෝපිය වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම ඉතා දුෂ්කර කටයුත්තකි. ජයග්‍රහණය ඇත්තේ දුෂ්කර මාවත් දිගේ ඉදිරියට යන අයටය. මාවත දුෂ්කර වුවද ඔබට ජය පතමි!


Saturday, April 22, 2017

Coca Cola: මෙලන්කොලියාවෙන් අප ගලවා ගනීද (Is It)?

ම්කිසි ආශා වස්තුවක් සැමවිටම උත්කෘෂ්ට බවේ සිට බහිස්ශ්‍රාවිය බව අතර පරාසයක ස්ථානගත වී ඇත. උදාහරණ ලෙස 'කොකා කෝලා' බෝතලයක් අධික සිසිල් විමක තැබූ විට එය උත්කෘෂ්ට (sublime) දෙයක් වන අතර එය සාමාන්‍ය උෂ්ණත්වයේ ටික වෙලාවක් තැබුවහොත් එය දෙනවා යැයි පොරොන්දු වන 'සුවිශේෂ රසය' නැතිව ගොස් එය ඉවත විසිකර දැමිය යුතු බහිෂ්ශ්‍රාව්‍ය (excremental) දෙයක් බවට පත්වේ. එවිට අප තව දුරටත් එයට ආශා නොකරමු. කොළඹ අවට කුණු කඳු යනු මෙම ආශාව නිෂ්පාදනය කිරීම අවසන් වූ වස්තුන් ගෙන් පිරුණ තැන්ය (කොකා කෝලා කෑන් දහස් ගණනක් මෙම කුණු ගොඩවල් තුල ඇතුවාට සැක නැත).  තවදුරටත් ආශාව නිෂ්පාදනය කිරීම ට යම් වස්තුවකට නොහැකි නම් එය මෙලන්කොලික වස්තුවක් ලෙස ජිජැක් අර්ථකථනය කරයි. කුණු යනු ඒ අර්ථයෙන් මෙලන්කොලික දෙයක් යනුවෙන් අවශ්‍යනම් අපට කිවහැකිය. යමක් විසින් තම ආශාව නියෝජනය නොකරන්නේ නම් මිනිසා එයින් ඉවත් වීමට උත්සුක වීම ස්වභාවික දෙයකි. ලිබරල් ධනවාදය කොතරම් අර්බුදයට ගියත් මිනිසුන් වාමාංශික දේශපාලනය වෙත ආකර්ෂණය නොවේ. ලාංකික වමේ දේශපාලනයෙන් මිනිසුන් මෙතරම් ඈත් වන්නේ මන්ද යන්න අපට මෙහිදී තේරුම් ගැනීමට න්‍යායික මගක් ඇත. විසිවන සියවසේ සමාජවාදී රාජ්‍යයන්හි සිටි මිනිසුන් සහ ගැහැනුන් එම රටවල මියගිය ආශා නිෂ්පාදනය ධනපති රටවල කරා ප්‍රක්ෂේපණය කලේ 'කොකා කෝලා' නම් මතවාදී නිෂ්පාදනය  හරහා ය යන්න අප අමතක කල යුතුද? ඔවුන්ට අවශ්‍ය වුවේ සිහිනයක් මිස යථාර්තය නොවේ. නිෂ්පාදනය යනු හුදු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පමණක් නොව පරිභෝජනය සදහා පාර-භෞතික ආශාව නිෂ්පාදනය ද එහිම කොටසකි (රනිල්ගේ චුවින්ගම් යනු හුදු චුවින්ගම් ම නොවේ යනුවෙන් වම තේරුම් ගත්තේ නැත). වෙළඳ දැන්වීම් වල සිට නිල් චිත්‍රපට දක්වා වූ විශාල සංඥා කලාපයක ධනේශ්වර රටවල් සිය මිනිස් විෂයේ ආශාව දිග්ගස්සවා ගැනීම ට, ආශාව මිය යාමෙන් වලක්වා ගැනීම ට මෙතරම් වලිකන්නේ මන්ද යන්න ආර්ථික සමාජීය අර්ථයකින් දැන් පැහැදිළි යැයි සිතමු. විසි වන සියවසේ සමාජවාදය මේ අයුරින් මෙලන්කොලියාවක්ද යන්න තුන්වන ලෝකයේ සිට සමාජවාදය පිලිබදව මනෝරාජික මවන අප මුලින්ම විසදා ගතයුතු තත්වයක් ලෙස අප හඳුනා ගෙන ඇත. කුමන දුෂ්කර තත්වයක් යටතේ හෝ ආශාව මියගිය, සිහින මියගිය වමේ දේශපාලනය වෙනුවෙන් අප ට දියහැකි උපරිම දෙය ද එය විය හැකිය. අපි බලමු...  

දිනෙන් දින අර්බුදයට යන ලිබරල් වෙළඳපල වෙනුවෙන් තවත් ලෝක යුද්ධයක් වෙනුවෙන් ට්‍රුම්ප් ලා උමතුවෙන් පිස්සු කෙලින ලෝකයක ගාන්ධි ලා සිය දහස් ගණනක් අවශ්‍ය වී ඇති ලෝකයක් මෙය. ආශාව ගැන මොනවා කිව්වත්, පිටු දහස් ගණන් ගාන්ධි නිර්වචනය කිරීමට වැයකලත් ජිජැක් ට කිසිදා පෙරදිග ලෝකයේ ගාන්ධි තේරුම් ගැනීමට හැකියාවක් නැත. 


ජිජැක් ගේ අර්ථකතනය...  

Coca Cola Is It?

Saturday, April 15, 2017

මීතොටමුල්ල: කුණු කන්ද ගිණි කන්දක් වීම

නැවත වරක් බරපතල පරිසර ව්‍යසනයක් හමුවේ ලිබරල් රාජ්‍යය කොතරම් නොසුදානම් ද; කොතරම් නොපොහොසත් ද යන්න ඔප්පු කරන අවස්ථාවක් තමයි මීතොටමුල්ලේ පෙරේදා වෙච්ච් විනාශය. කෙළවරක් නැති පරිභෝජනයකට මෙම නපුංසක ලිබරල් රාජ්‍යය උල්පන්දම් දෙන ගමන් එම අසීමිත පර්භෝජනය කෙලවර තියෙන කුණු සම්භන්දයෙන් එම ලිබරල් වාදීන්ට උත්තර නැහැ. මීතොටමුල්ලේ මිනිස්සු වගේම අධි-පරිභෝජනයේ ඉන්න හැම කෙනෙක්ම නිකමනට වත් 'අපි අල්පේච්ච වෙමු' කියන්නේ නැහැ වැරදිලාවත්. සමස්තය ගැන හිතල අඩුවෙන් පරිභෝජනය කරන්න බලන්නේ නැහැ. මම කියන්නේ මේ 'ඉවතලන කුණු' (waste capitalism) සහ 'ඉවතලන මනුෂ්‍යත්වය' (wasted humanity) යන දෙකම මෙම අමානුෂික ලිබරල්වාදීන්ට දෙකක් නෙවි එකක්. පරිධියේ රටවල 'මිනිසුන්' කුණු වගේම ඉවත හලලා තියෙන්නේ (ඒ අය තවදුරටත් මිනිසුන් නොවේ). එහෙම කියන්නේ කීර්තිමත් සමාජ විද්‍යාඥයෙක් වන සිග්මන් බර්මන්. දැන් තියෙන්නේ තව 'තාප්පයක්' දකුණු ආසියාව වටාත් ඉදිකරන එක. ටික කාලෙකට පෙර දුෂණය වුන සේයා සදෙව්මි දැරිය (දැන් කාටවත් මතක නැහැ) සහ ඒකට සම්බන්ද කොණ්ඩයා (යන්තම් මතකයි) කියන්නේ මෙම ඉවතහළ මනුෂ්‍යත්වය පිළිබද උදාහරණ (වැඩිදුර කියවන්න සේයා, කොණ්ඩයා සහ ඉවතහළ මනුෂ්‍යත්වය). රතුපස්වල වගේම සාලාව එතනින් එහාට ගියපුවාම මීතොටමුල්ලත් එම ඉවතහළ පරිධියේ මිනිසුන්. මේ කතාව දිගට ගියාම සමස්ත දකුණු ආසියාවම එහෙමයි.  අපිට හිමිකම තියෙන්නේ බෝම්බ- මිසයිල් වලට දිනපතා ඉලක්ක වෙන එකට  විතරයි. අපි අධිරාජ්‍යට එරෙහිව සටන් කරන්න පටන් ගත්තොත් අපි නිකම්ම් ත්‍රස්තවාදීන් වෙනවා. ඩොනල්ඩ් ට්‍රුම්ප් ලට විතරක් නෙවි කුණු ගඳ ගහන්නේ නැතුව ජිවත් වෙන්න අපි හැමෝට ම අයිතියක් තියෙනව. මේ මියගිය මීතොටමුල්ලේ මිනිස්සු අධි සැර ජල පහරවල් කාගෙන කිව්වේ මෙම ප්‍රශ්නය තමයි. එකත් රතුපස්වල වගේම තමයි. අපේ ජනාධිපතිට මතක නෑ එයා පරිසර ඇමති කියල. සෘජු තීරණ එයා ගත යුතුයි කියල.  නාය ගිය අරණායක ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ (රාජ්‍ය නිලධාරීන් බල්ලට වැඩක් නැහැ. ශක්තිමත් රාජ්‍ය පාලකයෙක් විසින් ඉලක්ක ලබා දෙන්නේ නැති නිසා කාටවත් මොනවා කරන්නද කියල වගේ වගක් නැහැ. ඒ කියන්නේ සුදු ස්වාමියා හැරගිය පශ්චාත් යටත්විජිත රටක 'ස්වාමි හැඟවූමක්' නැහැ කියලත් කියන්න පුළුවන්. විශ්වීය අයුරකින් ක්‍රියාත්මක වෙන්න බැරි හේතුව තමයි කිසිවකුගේ 'ස්වාමි නිරීක්ෂය' අවශ්‍යයි අපි වගේ පසු-යටත් විජිත වලට). මෙම නපුංසක අමානුෂික බවේ ආරම්භය කොතනද කියන එක හැමෝම දන්නවා එත් නොදන්නවා වගේ ඉන්නවා. නමුත් පාලකයන් මතක තබා ගත යුතු එක දෙයක් තියෙනව. ඒ තමයි අක්‍රිය බව සක්‍රිය වෙන නිමේශයක් යම් මොහොතක උදාවෙනවා කියන එක. ඒ කියන්නේ මේ ප්‍රශ්න නම් 'කුණු' අන්තිමට ගිනි කන්දක් දක්වා ගමන් කරනවා. හැබැයි පාලක කරුමක්කාරයෝ දැනගත යුතුයි ගිණි කන්දක් කියන්නේ සක්‍රිය වියහැකි දෙයක් කියල. කුණු කඳු වුනත් මීතේන් වගේ වායු නිසා පුපුරලා යනවා. ජන මාධ්‍ය වලින් මේවා වහල දැම්මට හැමදාම එහෙම රවටන්න බැහැ. ජන මාධ්‍ය අල්ලාගෙන ටික දවසකට දේවල් මග අරින්න පුළුවන් තමයි (අරය කියනව මෙයා වැරදියි කියල, මෙයා කියනවා අරය වැරදියි කියල. හැමදාම ප්‍රශ්නය එතනමයි). එත් එක මොහොතක සියල්ල පුපුරා යාමට නියමිතයි. එතකොට එකත් ගිණි කන්දක් වගේ තමා. වතුර ගහල නිමන්න බැහැ... 

Wednesday, April 5, 2017

මුගාබේ නොවී මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කිරීම

මුගාබේ (මහින්ද රාජපක්ෂ) නොවී මැන්ඩෙලා  (මෛත්‍රිපාල සිරිසේන) ගෙන් ඔබ්බට ගමන් කිරීම අද දවසේ බරපතලම දේශපාලන අභියෝගයක් කියන එක ස්ලවොයි ජිජැක් ගේ Beyond Mandela without Becoming Mugabe (2017) දේශනය ඇහුවම ඕනිම කෙනෙකුට අවබෝධ කරගත හැකියි. ඒ කියන්නේ ධනවාදයේ පසු-නුතන බහු-සංස්කෘතිකවාදයට නොවැටී නුතනත්වය තුල ම ඉදිරියට යන එක දුෂ්කර ක්‍රියාවක් කියන එක.  අතීතය ඔස්සේ වර්තමානය ප්‍රත්‍යක්ෂ කීරීම වෙනුවට වර්තමානය ඔස්සේ අනාගතය දෙස බැලීම අපහසුයි කියන එක තමයි මැන්ඩෙලා දෙස බලපුවම අපිට තේරෙන දෙය. වර්තමානයේ තියෙන අවුල ඇතුලේ අතීතකාමී නොවී ඉන්නේ කොහොමද කියන එක මිනිසුන්ට ලොකු අවුලක්. අද දවසේ සෑම සංඥාවකින්ම් යෝජනා කරන්නේ අතීතයට ආපසු යමු කියල වර්තමාන අවුලෙන් ගැලවෙන්න. ඒ නිසා මිනිසුන් පහසුවෙන් අහුවෙන උගුල තමයි 'අතීතයේ රජෙක්' කියල කියන මහින්ද රාජපක්ෂ අපිව බේරා ගනු ඇතැයි සිතීම. ජිජැක් ඉහත දේශනයේදී කියන්නේ මේ වගේ දෙයක්. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) දකුණු අප්‍රිකාවේ මැතිවරණය ජයග්‍රහණය කලා වගේම මැන්ඩෙලා නිදහස් කර ගත්ත. ඒ කියන්නේ අරගලය යේ ජයග්‍රහණය නම් නිමේෂය ඔවුන්ට හමුවුණා. නමුත් එම සිද්ධියට පසුව සිදුවූ දෙය තමයි අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ගෝලීය ධනවාදයේ කොන්දේසි බාර ගත්ත එක. නමුත් කල යුත්තේ එම කොන්දේසි වලින් ඔබ්බට ගමන් කරන එක ධනවාදය අපේ සිතිජය කරගන්නේ නැතුව. නමුත් මුගාබේ කලේ අතීතකාමී විදියට අනන්‍යතා දේශපාලනයකට පසු බසින එක මහින්ද වගේ.  අපි අරගල කරන්න ඕනි ජයග්‍රහණයට පසුදා කරන දෙයට සුදානම් වෙමින්. නැත්නම් වෙන්නේ මුගාබේට වුන එක. යහපාලනය කියන්නෙත් මෙවැනිම නො-සුදානමේ ප්‍රථිපලයක්. මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කරන්න ගොඩක් ශක්තිය ඕනි. එම ශක්තිය යහපාලන කට්ටියට නැහැ කියල පේනවා ධනවාදය ඉදිරියේ කොදු කඩාගන්න එක දිහා බලපුවම.  අනික ගාන්ධි, මැන්ඩෙලා වගේ අරගලකාරී ශරීර කූඩු මේ අයට නැහැ. මිට අමතරව තවත් වැදගත් ප්‍රපංචයක් තියෙනව. ඒ තමයි අපේ ලාංකික සමාජයේ ස්ත්‍රියගේ කාර්ය භාරය කියන එක අර්ථකතනය කරගැනීමට පිරිමියා දක්වන සමාජීය නොහැකියාව. එම පසුගාමී තත්වය විසින් නිෂ්පාදනය කරන්නෙම පසුගාමී භින්න පිරිමි ශරීර.  ඒ කියන්නේ අපි වගේ රටවල ගැහැනුන් විසින් සමාජගත කරන්නේ බිඳුන මුගාබේ ටත් වඩා අන්තවාදී (ජාතිවාදී) පිරිමි චරිත.මැන්ඩෙලා ල වගේ අය අඩු තරමින් මධ්‍යම පන්තිය නම් තත්වය තුලින් වත් බිහිවෙන්නේ නැහැ. වැඩියෙන්ම බිහිවෙන්නේ විමල්, මහින්ද, ගම්මන්පිල, ජොනී, කෙහෙළිය, අලුත්ගමගේ වගේ භින්නොන්මාදි චරිත (වර්තමානයේ ධනවාදයේ විපරීත බව තුල දියබුං ගසමින් බොරුවට 'අතීතකාමී ලෙස' මියගිය අතීතයේ එක කකුලක් තියාගෙන ඉන්න අය). මේ තත්වයට වග කියන්න ඕනිත් වෙන කවුරුවත් නෙවි ඉතින් පිරිමි භාවිතය ම තමයි. 

මැන්ඩෙලාගේ චරිත කතාව ගැන කියවෙන Mandela: Long Walk to Freedom (2013) කියන චිත්‍රපටය බලනකොට පෙනෙන දෙයක් තමයි මැන්ඩෙලාගෙ සහ ANC එකේ අරගලය පිටුපස විනී මැන්ඩෙලා කියන ඉතාමත් ම ශක්තිමත් කාන්තාව සිටියා කියන එක.  ගාන්ධි චිත්‍රපටය දිහා බලපුවමත් එක පැහැදිලි ව පෙනෙන දෙයක්.  ගාන්ධිගෙ බිරිඳ කියන්නෙ අද කාලයේ ස්ත්‍රීවාදින් වගේ නොවෙන බව එයාගෙ පහත ප්‍රකාශයෙන් පෙනෙනව.  එයා කියන්නේ ‘මගේ ගරුත්වය රඳා පවතින්නේ මගේ ස්වාමියාගේ පිටුපසින් යෑම තුලයි' කියල. එම ප්‍රකාශය තුල ඇය කියන්නේ විමුක්තිය තියෙන්නේ පුරුෂ භාවිතාව ඇතුලෙ ම තිබුන සාර්වත්‍රික අරගලය සමග එකගවීම කියල කියන්න පුළුවන්.  ඒ වගේම විනී මැන්ඩෙලා වුනත් ‘නව ස්ත්‍රී අනන්‍යතාවයක්’ හදනවා වෙනුවට කළේ නෙල්සන් මැන්ඩෙලා සිරගත කළාට පසුව අරගලයේ බර කරට ගන්න එක.  මේ දේම ගාන්ධිගේ ආර්යාව (කස්තුර්බා ගාන්ධි) විසිනුත් කළා.  ගාන්ධි සිරගත වුණු සෑම අවස්ථාවක ම ඉන්දියානුවන් තම විශ්වාසය ප්‍රක්ෂේපණය කළේ ඔහුගේ ම ශරීරයේ අනෙක් පලුව වුණ ගාන්ධි ආර්යාව වෙත.  විනීටත් සිදුවුනේ නව අනන්‍යතා හොයනවා වෙනුවට මැන්ඩෙලාගේ සාන්දෘෂ්ටික අරගලය තුලට තව තවත් පිය මැනීමට තරම් එඩිතර විම.  නමුත් මැන්ඩෙලා චිත්‍රපටයට අනුව ඔහුගේ ප්‍රථම බිරිඳට මැන්ඩෙලාගේ ‘ඓතිහාසික බර’ තුලට ගමන් කිරීමට තරම් ශක්තියක් තිබුණේ නැහැ කියන එක ඔහු සමඟ වීදියේ අරගලයේ ටිකක් දුර ගමන් කරල පසුබසින එකෙන් පේනව. මේ ප්‍රශ්නය ම තමයි සමකාලින ස්ත්‍රී වාදයේ ගැටලුවත්.

එක් අතකට ඉහත සඳහන්  ගැහැණු චරිත ‘මායාවක්’ නොවෙනවා වගේම (වසඟය නැති නිසා) එම පිරිමින්ගේ ඓතිහාසික කාර්යභාරය ඇතුලට එන්න තරම් කැපවීමක් තිබුණ අය කියල අප අමතක කරන්න හොඳ නැහැ.  අනෙක් අතට අපේ රටේ ශක්තිමත් අවංක සහ දුෂණයෙන් තොර පිරිමි බිහිවීම සඳහා එවන් ශක්තිමත් ආචාරවාදී ගැහැණුන්ගේ පරාවර්තනය (reflection) ලැබිලත් නැහැ.  මෙතැනදි තමයි රොහාන් පෙරේරා කියන විචාරකයා කියන ‘අරගලය කරන්න කලින් ස්ත්‍රිය නිෂ්පාදනය කර ගන්න ශ්‍රී ලාංකික බෞද්ධ අපිට සිදුවෙනවා’ කියන කරුණ ඉතා වැදගත් වන්නේ.  අපේ ගැහැණිය තාමත් කැමති මහින්ද රාජපක්ෂ වගේ දුෂිත ඒකාධිපති පාලකයන්ට.  ඔවුන් සවන් දෙන්නේ ඉතිහාසයේ හඬට නැත්නම් පාරිබෝගික ධනවාදයේ හඬට. හැම ගැහැණියක්ම එහෙ නොවුනත් බහුතර ස්ත්‍රී ෆැල්ලසය තුලින් ඉල්ලන්නේ ඉහත වර්ගයේ පිරිමි ශරීර කියන එක දිගින් දිගටම ලාංකික බෞද්ධ ස්ත්‍රීය ඔප්පු කරමින් සිටින දෙයක්.  නාගරික නිර්-බෞද්ධ නිරික්ෂයක් (gaze) ඇතුලේ රොහාන් මෙහෙම කියනවා; ‘ස්ත්‍රීවාදය ආවේණිකව පැරණි සමාජය ට අයිතියි.  අවශ්‍ය වන්නේ පුරුෂවාදයක්' (ස්ත්‍රී පාරභෞතිකවාදය; ප්‍රවාද 1995 ජුනි: 117).  ඔහු කියන්නේ ‘සංසර්ග කේන්ද්‍රීය’ ස්ත්‍රිය වෙනුවට ‘සමාජ ස්ත්‍රියක්’ (විනි මැන්ඩෙලා සහ ගාන්ධි ආර්යාව) අපි නිර්මාණය කර ගන්න ඕනි කියන එක. ඔහු තවදුරටත් මෙහෙම කියනව,
‘සමාජය තරම් විශාල ගැහැණු අවකාශය ස්ත්‍රීවාදය තරම් පුංචි කරන්න නෙමෙයි අපි දඟලන්න ඕනි.  අපි කරන්න ඕනි දේවල් අනිත් පැත්තට හරවන එකයි’
(එම පිටුව 117)
මෙතනදී වෙන්නේ ගෙදරට කොටු කරලා සංසර්ගය සඳහා ස්ත්‍රිය ‘සුදානම් කරනවා’ හැරුණාම ඇයට වෙනත් පැවැත්මක් දීමට පුරුෂ ලෝකයට හෝ අද්‍යතන පිරිමියාට හැකියාවක් නැති බවයි.  අපි කරල තියෙන්නේ අනේකත්වය’ සංසර්ගයට කොටු කිරීම කියලයි රොහාන් පැහැදිලිව කියන්නේ (මෙතැනදී රොහාන් බටහිර ෆ්‍රොයිඩියානු සංසර්ග කේන්ද්‍රීය බවෙන් ඛණ්ඩනය වෙනවා පමණක් නොවෙයි පුරුෂ ලෝකය තුල හදල තියෙන 'සංසර්ග ආකෘති' පවා දෘඪ ලෙස විවේචනය කරනවා). මේ තත්වය තේරුම් අරගත්ත ගාන්ධි කියන්නේ තම බිරිඳට ‘යෙහෙලියක්’ වන ලෙසයි.  එනම් සාමාජීය අනේකත්වයක් ඔහුගේ අරගලයේ සිමා මායිම් තුල සිටිමින් ම තම 'සමාජීය පවුල' (මෙතනදී මතක් වෙන්නේ ඕෂෝ) තුල නිර්මාණය කර ගැනීමට උත්සාහ කිරීමයි කියන එක රොහාන් පෙරේරා ට වඩා ගොඩක් ලෝකේ අය දන්න අරුන්දතී රෝයී ට තේරෙන්නේ නැත්තේ ඒකයි. අපේ රටේ අයට රොහාන් පෙරේරා පොඩි යි, අරුන්දතී ගොඩක් ලොකුයි. ජුඩිත් බට්ලර් ඊටත් වඩා ලොකුයි. නමුත් ඇත්ත සමාජය තේරුම් ගතහැකි දාර්ශනික තලය තියෙන්නේ රොහාන් තුලයි. විසංයෝජනය අද දවසේ ටිකක් පැරණි දෙයක් වුනත් දේවල් විප්ලවීය විදියට තේරුම් ගන්න අවුරුදු විස්සකට පස්සෙත් ඒකයි අපට රොහාන්ව උපකාරී වෙන්නේ (අපිට අරගලය ඇතුලෙදි අතහැරිය හැකි කිසිවක්, කිසිම දර්ශනවාදයක්, කිසිම දර්ශනවාදියෙක්  නැහැ කියල දැන් තේරෙන්න ඕනි).  රොහාන් ඉහත ගාන්ධියානු යෙහෙලිය නම් ප්‍රවාදය සම්බන්දයෙන් අදාල කර ගත හැකි ලෙස මෙහෙම කියනවා;
‘ලිංගික අසහනය නිසා තමන්ගේ ලෝකයේ ප්‍රේමය 
බිලිදෙන එක නොදන්න පුරුෂ ශරීරවලට සමානුපාතිකව, දේපල නිසා තමන්ගේ ශරීරය බිලිදෙන එක ගැහැණු ශරීර දන්නේ නැහැ’
(පිටුව 113)
රොහාන් හදන්නේ වෙළඳපල කතිකාවේ ලිංගික අසහනයෙන් පිරිමි ලෝකය මුදවා ගන්න සහ පුරුෂ අනේකත්වය (ගැහැණිය) සමාජීය කරන්න. ධනවාදය ඉදිරියට ගමන් කරන්නේ ලිංගික අසහනය ත්‍රීව්ර කිරීම ඇතුලේ (නිල් චිත්‍රපට හොඳ උදාහරණයක්). සම්බන්දතා ලිංගික කරණය කිරීම ඇතුලේ. ඒ නිසා ස්ත්‍රී වාදයට ලොකු ඉල්ලුමක් ඇතිවෙනවා ධනවාදයේ 'බටහිර- පිරිමි- ෆ්‍රොයිඩියානු- ලිංගික ආකෘතිය' ඇතුලේ (ඉන්දියාවේ ඇන්ටි රෝමියෝ වගේ සංවිදාන මීට උදාහරණයක්). ඒ නිසා ධනවාදය කැමතියි ස්ත්‍රීවාදය වගේ අනන්‍යතා ව්‍යාපාර වලට. එකත් එක්ක වෙළඳපල හොදට පෑහෙනවා (අල්පේච්ච බව පෑහෙන්නේ නැහැ. ඒ නිසා ඒක තර්ජනයක්).  නමුත් මෙම ‘නව සමාජීය ගැහැණිය’ විසින් ඇත්ත වශයෙන් අනන්‍යතා ස්ත්‍රීවාදයක් මතුවීම වලක්වා දමනව. හැමෝම සමාජීය අවකාශයකට ගමන් කරනව පවත්නා ආර්ථක ක්‍රමය කුමක් වුණත්.  අපිට ධනේශ්වර ක්‍රමය පරාජය කරල නිපදවන්න ඕනෙත් ඉහත ‘රොහානියානු සමාජීය ගැහැණිය’ කියලයි මට හිතෙන්නෙ.  

ධනවාදය ඇතුලේ සාර්වත්‍රික දේවල් කරන එක සිහිනයක් වගේ (අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය). ඒ නිසා ඇමෙරිකාව වගේ රටකට ඒක සිතාගත නොහැකි ක්ෂිතියක්. ඔවුන් දන්නේ වෙළදපල ප්‍රසාරණය කරගන්න හැටි විතරයි. ඒ සඳහා හොදම මිනිහ තමයි ඔවුන්ට අනුව ට්‍රුම්ප් කියන්නේ. ධනවාදයෙන් ගැලවෙනවා කියන එක සිතාගත නොහැකි ඔවුන්ට එම ධනවාදය වෙනුවෙන් ලෝක යුද්ධයක පැටලෙනවා කියන එක පහසුවෙන් සිතාගත හැකියි. ඒ වෙනුවෙන් ඕනෙම තරම් මිසයිල් ගණනක් ඕනෙම රටකට එල්ල කරන්න ඔවුන් සුදානම්. මෙවන් සන්දර්භයක් ඇතුලේ අප්‍රිකානු කොන්ග්‍රසය ට පවා සිදුවෙන්නේ මෙම ධනවාදයේ ඛණ්ඩාංක තුල සිරවෙන්න. මොන පොරොන්දු දුන්නත් යහපාලනයත් ඒ වගේම සිරගත විමක ඉන්නේ.  ඉතින් ඇත්ත තත්වය තමයි මැන්ඩෙලා පවා  සිරගත වුන ධනවාදයේ ක්ෂිතිජයෙන් ඔබ්බට යන එක...ඒ වගේම ගෝලීය ධනවාදය පරිණාමය වෙත විපරීත ආකෘතිය ගැන මෙලෝ දෙයක අවබෝධයක් නැති යහපාලන ආණ්ඩුවෙන් බටහිර කේන්ද්‍රීය ආශා මොඩලය අනික් පැත්තට හරවයි කියල අපට හිතන්න බැහැ.  ඉතිං මනුෂ්‍ය තෘප්තිය සඳහා ඔවුන්ට කළ හැකි උපරිම දෙය නම් බටහිරින් හරි, චීනෙන් හරි, ඉන්දියාවෙන් හරි පුළුවන් තරම් විනෝද පාරිිභෝගික භාණ්ඩ ලංකාවේ වෙළඳපොල තුල ගොඩ ගහන එක.  ඒ ඔස්සේ අවුරුදු කාලෙට හාල් හරි, පොල් හරි, පරිප්පු, හාල්මැස්සෝ වගේ දේවල් වල ගණන් ටිකක් අඩු කරන එක.  දැන් හරි.  රනිල්ගෙ, රවිගෙ මොලයට අනුව දැන් ‘ජනතාව’ තෘප්තිමත්. හාල් පොල් වගේ ද මොබයිල් ෆොන්, වයි ෆයි, ඉන්ටනෙට් ඩේටා වගේ දේවලත් මිල අඩු කලොත් හොඳයි කියල රනිල්ගේ චුයින්ගම් මොලයට තේරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.  විසි වන සියවසේ භාණ්ඩ වලට සහ එම ද්‍රව්‍යවාදයට මිනිසා සුවපත් කරන්න බෑ කියල ගාන්ධි කියනවා (එත් මිනිසා 'තෘප්තිමත්' නැහැ. භෞතික දේවල් කොච්චර දුන්නත් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය ඇදගෙන වැටුණා). එතකොට මිෂෙල් ෆුකෝ ගැන රොහාන් මෙහෙම ලියනව;
            ‘හැබැයි එයාට (ෆුකෝට) සිද්ධ වුණු දේ ඊට හාත්පසින් ම වෙනස්.  එයා ලිංගිකත්වයේ ඉතිහාසය හොයන්න වෙහෙසුනේ ‘අපි කවුද’ කියල හොයා ගන්න.  ආශාව විශ්ලේෂණය කරන එක ගැන එයා විවේචනය කලේ, ‘තෘප්තිය ගොඩ නැඟීම කේන්ද්‍ර කර ගත යුතුයි’ කියා ගෙන මිනිස් ජීවිතයේ කේන්ද්‍රීය තත්වයක් (සත්‍යයක්) හැටියට ලිංගිකත්වය භාර ගත්ත නිසයි ෆුකෝ අපි කවුද කියලා හොයා ගන්න ලිංගිකත්වය විෂය කර ගත්තේ. ආසියාවේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා අපි කව්ද කියලා හෙවීමේ.  ඒ වුනත් එතැන ලිංගිකත්වය යතුරක් නොවෙයි’ (ඉහත පිටුව 103).
මීට අමරතව රොහාන් පෙරේරා විසින් නිරීක්ෂණය කරන දෙයක් තමයි ෆුකෝ ගේ ප්‍රවේශය තනිකරම බටහිර වාදියි කියන එක.  ‘අනික ජීවිතය ගැන කතා කරන්න තෘප්තිය භාවිතා කළ ගමන් ආයෙමත් එතැන යතුර ලිංගිකත්වයම යි. සංසර්ගයෙන් දේවල් හොයන බයිබල් සම්ප්‍රදාය මතක් වෙනවා’ (105). මෙම අර්ථයෙන් ගත්තහම රොහාන් පෙරේරා ‘බටහිර ආශාව’ කියන එක පෙරදිග අර්ථයෙන් ප්‍රථම වරට විසංයෝජනය කරනවා. ඒ අර්ථයෙන්ම සුරතාන්තය කියන එක පෙරදිගකරණය කරනවා බටහිර විනිවිදීම වෙනුවට. සංසර්ග කේන්ද්‍රීය බටහිර පුරුෂ බව මතු නොව පෙරදිග කාම සුත්‍රය පවා සුත්තර පුංචා තත්වයට විවේචනය කරනවා. නමුත් ජිජැක්ට අනුව (ලැකාන් හා ෆ්‍රොයිඩ් පදනම් කර ගනිමින්) ‘විනිවිදිම’ ප්‍රතික්ෂේප කිරීම තුලින් ආශාවට ඇඳ වැටීම සහ ක්ෂිතිය මුණ ගැසීම මඟ හැරිමක් සනිටුහන් වෙනව.  ගැහැණිය නම් ‘කළු කුහරය ට’ ඇතුල්විම ප්‍රතික්ෂේප කිරීම මඟින් එම විනිවිදිමෙන් පසු ඇතිවන ‘හිස්බව’ වෙතින් අප පලායෑමක් මෙහිදී නිශ්චය වෙනව. ‘ආශාව’ ව්‍යුහගත වන්නේ ම මෙම හිස් කලු කුහරය වටා (ජිජැක් 1994: පිටුව 96). අප ආශා කරන්නේ මෙම ආශා කළු කුහරය හරහා යන්න. එම ක්ෂිතිය තරණය කරන්න. මෙය ෆ්‍රොයිඩියානු බටහිර අභිනයක් බව සත්‍යයක්. අප මෙම ආශාව තරණය කිරීම මග හැරියොත් මොකද වෙන්නේ? යම් නිශ්චිත භෞතික ආශාවක් තෘප්තිමත් කර ගැනීම වෙනුවෙන් වු ලිබිඩෝ ශක්තිය ආශාව හා සම්බන්දයක් නැති ‘වස්තුවක්’ වෙත ප්‍රක්ෂේපණය කිරීමට අපට (පිරිමියාට) සිදු වෙනව. (හින්දි චිත්‍රපටවල වගේ හැමදාම ගස් වටේ කැරකි කැරකි නටන්න වෙන්නේ මේ නිසා). රොහාන්ගේ පෙරදිග විචාරයේ තියෙන මෙම බටහිර-ආශා ප්‍රතිවිරෝධතාව (පිරිමි අර්ථයෙන්) විසඳා ගත්තොත් එය විප්ලවීයකරණය කළ හැකියි. නැත්නම් බිහිවන්නේ ආශාව විනිවිදය නොහැකි සින්තෝමයක්. රොහාන් කියන්නේ මෙම ලිංගික ඇසින් ආශා වස්තුව දෙස නොබලන අනේකත්වයක් ගැන. ආශාව ඉවත් කරපු අනේකත්වයක් ගැන. පෙරදිග අර්ථයෙන් එයට ලොකු ශක්තියක් තියෙනව. මක්නිසාද පෙරදිග ලෝකයේ වගේම බටහිර ලෝකයේත් උත්තරීතර මිනිසුන් බිහිවෙලා තියෙන්නේ 'ආශාව' ඇතුලේ නෙවෙයි 'වේදනාව' ඇතුලේ (මේ ප්‍රවාදය රොහාන් එතරම් ඉස්මතු කරන්නේ නෑ). ගාන්ධි, මැන්ඩෙලා, බුදුන් වහන්සේ, ජෛන මහාවීර, යේසුස් වහන්සේ... තව ඕනෙතරම් උදාහරණ තියෙනවා. උත්තරීතර මනුෂ්‍යත්වයකට, මෙම ආශාව හඹා යාමේ ලිබිඩෝ ශක්තිය ‘උත්කෘෂ්ඨ යමක්’ (Sublime Object) වෙනුවෙන් වැය කල හැකිනම් එය වඩාත් වැදගත් විය හැකි නොවේ ද?

පෙරේරා, රොහාන්. (1995). ස්ත්‍රී පාරභෞතිකවාදය. (ප්‍රවාද 1995: ජුනි කලාපය). සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
Zizek, S. (1994). The Metastases of Enjoyment. Six Essays on Woman and Causality. London. Verso.

පසුව ලියමි: ආසියාතික ගැහැණිය විශේෂයෙන් ලාංකික බෞද්ධ ගැහැණිය විප්ලවීය නොකළ නිසා රෝහණ විජේවීර සහෝදරයා ට චිත්‍රාංගනී නම් තම බිරිද ගෙන් ලැබුනේ අනුමෙවෙනි පමණකි. දෝෂාරෝපණ පමණි. මැන්ඩෙලා හෝ ගාන්ධි සම්බන්දයෙන් ඔවුන්ගේ ස්ත්‍රීන් එසේ අනුමෙවෙනි කියනු අපට ඇසී නැත. එසේනම් ලංකික ගැහැණිය පිළිබද දාර්ශනික පරමාණුව රොහාන් පෙරේරා විසින් 88-89 සංහාරයෙන් පසුව සොයාගෙන තිබියදී X කණ්ඩායම ට වරදින්නේ ඇයි? ඒ බුද්ධිමය කුසීත කම නිසාද? නැත්නම් නොසැලකිල්ල නිසාද? නැත්නම් නරුමවාදය නිසාද? මේ එකක් හෝ සියල්ලම නිසා එසේ සිදු නොවන්නට ජ. වි. පෙ. 'විප්ලවීය උරුමය' X කණ්ඩායම විසින් ප්‍රතිජිවනය කිරීම රොහාන් හරහා සිදුවීමට ඉඩ තිබුණි.  එවිට එය අප සැමගේම උරුමය යි.