Tuesday, October 10, 2017

සංකේතනය යථාවක් වීම...


ද වනවිට දිනපතා ඇසෙන්නට තිබෙන්නේ එක දෙයකි. එනම් දුෂණය නැවත්වීමට රාජ්‍ය බලය ලබාගත් යහපාලන පාලකයින් නිසි නින්දේ හොරකම කරන ආකාරයයි. ඒ දවස්වල දුෂණය ගැන කතාකළ කිසිවෙක් අද පැත්ත පළාතේ නැත. රනිල් මෛත්‍රී පාර්ශවයන් ගේ කිසිදු වෙනසක් නොමැතිව දිගින් දිගට රාජ්‍ය දේපළ දිගට හරහට කොල්ලකනු ලබයි. අපිට මෙය තේරුම් ගත නොහැකි යථාවකි. එනම් යහපත යයි අප සිතු දෙය තිබුන තත්වයටත් වඩා  නරක අතට හැරීමකි. දකින්නට ඇත්තේ වෙනදාටත් වඩා ඥාති සංග්‍රහය සහ හිතවතුන් පිනවීම ඔස්සේ දුෂණය ඉහවහා යාමයි. සහෝදර සහෝදරියන් දු පුතුන් එකට එක්ව හොරකම් කිරීමයි. අපිට මේ සිදුවෙමින් යන්නේ කුමක්ද? ඇතැම් විචාරකයෙකුට අනුව 'ඥානවිභාගාත්මක භින්නොන්මාදයක්' (epistemological schizophrenia) ඇතිකළ හැකි මෙම පරස්පර තත්වය  ඇත්තටම පරස්පර යමක් නොව අප අපේක්ෂා කල යුතු දෙයකි. ඇත්තටම සිදුවන්නේ එනම් යථාර්තය යථාව බවට පෙරළීම නම් වෙළුම (twist) අපට සම්මුඛ වීමයි. අප අමතක කල දෙයක් නැවත අපටම හමුවීමයි. අප යහපත් යැයි සිතු සංකේතනය තුලින්ම යථ ඉස්මතු වීමයි. එනම් දෙවියන් යක්ෂයා බවට පෙරලීමයි.  Hitler: The Rise of Evil (2003) නම් චිත්‍රපටය අපට බලද්දී පැහැදිලි වන්නේ එය නොවේද?

විසිවන සියවසේ එදිනෙදා ජීවිතය වසාගෙන සිටි පොත්ත අප ඉවත් කර බැලුවහොත් අපට මුණ ගැසෙන්නේ යථාවයි. දහ නව වන සියවස පුරා පැතිර ගොස් තිබුණේ නව මනෝ රාජිකයක් පිළිබද සිහිනයයි. කතිකාව තුල තිබුණේ මාක්ස්වාදය, ලිබරල්වාදය, පුද්ගල නිදහස, ව්‍යවස්ථා කෙටුම්පත් පිළිබද සංවාදයකි. නමුත් එම පොත්ත හිට්ලර් විසින් ඉවත් කර ජාතීන්ගේ තරඟකාරී අරගලය ඉස්මත්තට ගෙනෙන ලදී. එයින් සියල්ල වෙනස් වී ගියේය. යථාර්තය වෙනුවට ඔහු යථාවේ නියෝජනය බවට පත් විය. ලංකාවේද යහපාලනය මුලින් කතා කලේ ව්‍යවස්ථාව වෙනස් කිරීම, විධායක බලය අඩුකිරීම, ජාතීන්ගේ අයිතිය සුරැකීම, ජනමාධ්‍ය නිදහස, පුද්ගල නිදහස වැනි මාතෘකා ය. අද එම මාතෘකා කතිකාවෙන් ඉවත් වී ඒ තැනට විධායක බලය දිගටම තබා ගැනීම, චන්ද දිගින් දිගටම කල් දැමීම, තම හිතවතුන්ට දිගට හරහට කෝටි ප්‍රකෝටි ගණනින් සැලකීම, සහෝදරයින් ලාභ ලබන තැන්වලට පත් කිරීම වැනි ඒකාධිපති ගමනක පෙරනිමිති දකින්නට ඇත. හිට්ලර් ගොබෙල්ස් හරහා කළා සේම වන්දි භට්ටයන් හරහා පුද්ගල අභිනන්දන ගායනා කරගැනීමද සුලබ දසුනකි. එවන් අභිනන්දන කියන අය හට සන්නිවේදන සංඛ්‍යාත නොමියලේම ලැබේ. මුදල් ගරා ගැනීමට පහසුකම්ද ලැබේ. මේ සියලු රෝග ලක්ෂණ නව සමස්තතාවාදයක (totalitarianism) නැගීමක පෙරනිමිතිය. රාජපක්ෂ රෙජිමයෙන් කිසිවක් වෙනස් නැත. සියල්ල ඒ ආකාරයෙන්ම ඉදිරියට යයි.  බටහිරට ද අවශ්‍ය තමාට කීකරු ඒකාධිපතියන්ය. නමුත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයයේ භාෂාව කතා කරනවා නම් වඩාත් හොදය.    

            ෆැන්ටසිය ක්ෂිතිය යථාව ෆැන්ටස්මතිකය 

ඕනෙම මොහොතක අපගේ ෆැන්ටසිය විසින් අපටම යථාවක් විය හැකි දෙයක් නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාවය සහිතය යන්න අප අමතක කල යුතු නැත.  එක නිශ්චිත නිමේෂයක ජර්මන් ජාතියේ ෆැන්ටසිය බවට පත්වූ හිට්ලර් එක්වරකම රාක්ෂ වෙස් ගත්තේය යන්න අපගේ ඉතිහාස පාඩමයි.  නොබෙල් තෑග්ග දිනු සන් සුකී බුරුමයේ කලේ කුමක්ද? මුස්ලිම් ජාතිය අතුගා දැමීමට කටයුතු කිරීමයි. ජිජැක් සඳහන් කරන්නේ ෆැන්ටසිය සහ ක්ෂිතිය අතර ඇත්තේ කෙස් ගසක දුරක් බවයි.  ක්ෂිතිය ඊළගට ගමන් කරන්නේ ෆැන්ටස්මතිකය වෙතය. සංකේතිය ලෝකයේ හොදින් කතාබහ කරමින් -ආදරය කරමින් -හිතවතුන්ට උදව් පදව් කරමින් -පාටි දමමින්-විෂාදයට බෙහෙත් බොමින්  සිටි මිනිසෙක් එක්වරම බෙහෙත් පෙති බීම පසෙක තබා ලොස් ඇන්ජෙලිස් හි කුළුණක් උඩට නැග තුවක්කු දහයක් පහළොවක් රැගෙන දිගට හරහට වෙඩි තැබීමට පටන් ගනී. මෙතෙක් ඔහු අත තිබු සහ අප අත ඔහු ගැන තිබු සිතියම් සියල්ල ඔහු වෙනස් කර දමයි. පුනරුද ආලෝකයෙන් එකවිටම මිනිස් විෂය උමතුව කරා ගමන් කරයි. උමතුවේ නිශේදනය ඔස්සේ පරිකල්පනයටත් පරිකල්පනය ඔස්සේ සංකේතනය වෙතත් මිනිසා නිරන්තර යෙන් මාරුවෙන් මාරුවට ගමන් කරයි. ප්‍රමෝදයෙන් මරණය වෙතත් මරණයෙන් අමරණිය බව වෙතත් ඔහුට ගමන් කල හැකිය.  සියල්ලට මුල් වන්නේ මරණ ආශයයි (death drive). මනෝ විශ්ලේෂණයේ සිතියම් විද්‍යාව යනු එයයි. එම සිතියම් විද්‍යාව අපට තේරුම් ගැනීම මෛත්‍රිපාල විසින් පහසු කරනු ලැබ ඇත. ඔබට ස්තුතියි!  

බැසිල් රාජපක්‍ෂ හා සිරසේ සංඛ්‍යාත හොරකම..

සිරස බැසිල්ට පහර දීමට ලෝක ප්‍රවෘත්ති සම්ප්‍රදායන් පවා කඩා දමමින් ප්‍රවෘත්ති විකාශය අතර තුර ප්‍රවෘත්ති කියවන්නන්ගේ ද ඉල්ලීමකින් තොර ව මැදිරයට කඩා පැන කළේ වළං කඩේට ගිය පින්ගොනා කළ දේම ය. බැසිල්ට ඇණගෙ ඇණගෙන ගියේ ය. හතර වටේ ගියේ ය. මල්වාන ඉඩ‍මේ සිට දිවිනැගුම හරහා ජී අයි බට දක්වා ගියේ ය. එහෙත් පොඩි වූයේ කාගේ වළං ද? සිරසේ ම වළංම ය. බැසිල්ට කුමන අවලාද නැගුව ද ඔහු ඉතා නිවැරදි ව කළ චෝදනාවට පමණක් සිරසට පිළිතුර දීගත නොහැකි විය. අප අසන්නේ සිරස ජාතික සංඛ්‍යාත හිමි කර ගත්තේ කෙසේ ද යන්න ය.ව්‍යාජ දූෂණ විරෝධී සටන් පාඨ ගෙන රටපුරා යන සිරස එය හෙළි කළ යුතු ය.

රුපියල් බිලියන 5ක් හෙවත් කෝටී 500ක් පමණ වටිනා ජාතික සංඛ්‍යාත පරාස එක් මාධ්‍ය සමාගමකට පමණක් අතයටින් දීම ලංකා මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දූෂිත ම වංචාවයි. අදාළ සංඛ්‍යාතයක් හිමි කර ගැනීමට නම් ටෙන්ඩර් පටිපාටියේ දී ලකුණු 60කට වඩා ලබාගත යුතු ය. එහෙත් සිරස එය ලබා ගන්නේ එකදු ලකුණක් හෝ නොගෙන ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව බව ඔබ දන්නෙහි ද?. මීට එරෙහි වූ මුහුන්න් කානගීට තම ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. මේවාට ඉඩ දිය හැකි ද? මෙහි ඛේදවාචකය නම් අනාගතයේ දී සිදු කරන ජාතික ඩිජිටල්කරණ මෙහෙයුමේ දී මෙම සංඛ්‍යාත ශ්‍රී ලංකා රජයට භාවිතයට ගැනීමට තිබූ අවස්ථාව දැන් එක් පුද්ගලයෙකුට පමණක් හිමිවීමයි. බොහෝ අය එවක අවලාද නැගූ නෙළුම් කුළුන ඉදි කිරීම සැලසුම් කළේ ඉහත ජාතික ඩිජිටල්කරන මෙහෙයුමේ එක් ප්‍රධාන පියවරක් ලෙස බව ඔබ නොදන්නවා විය හැකි ය. එහෙත් එය ඉදි කොට අවසන් වන විට එම කුළුන හරහා ලංකාව පුරා එකම තැනකින් බෙදා හැරීමට නියමිත ව තිබූ සංඛ්‍යාත පරාසයන් දැන් ජාතියට අහිමි කර තිබේ. ඒ අනුව, අනාගතයේ දී රජයකට ද සිදු වන්නේ මහාරාජා හරහා සංඛ්‍යාත ලබා ගැනීමටයි. අනෙත් කාරණය නම්, මෙවා හිමි සමාගමකට ලංකාවේ මාධ්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යා හැකි වන වා පමණක් නොව අනෙත් සියළු මාධ්‍ය ඊට යටත්ව කටයුතු කිරීමට ද සිදුවීම ය. එහෙත් මේ ගැන සෙසු මාධ්‍ය පවා නිහඬ වීම පුදුම සහගත ය. එවන් තත්වයක් තුළ මේ පොදු සම්පත මහාරාජා සමාගම සිරිසේනගේ සහායෙන් මංකොල්ලා කන ලද බව බැසිල් විසින් හෙළි කිරීම සිරස නම් ගැරඬිාට භූමිතෙල් ගැසුවාක් වැනි වී තිබේ.
සිරස තම මාධ්‍ය කඩතුරාවට වහං වී තම සොරකම් වසාගෙන සිටීම රටට හෙළි කිරීම ඇරඹිය යුතු ය.
ඇත්ත වශයෙන් ම මහාරාජා සමාගම ලංකාවේ ජාතික සංඛ්‍යාත හොරකම් කොට ජාතියට කළ ඒ මහා නින්දා සහගත පාඩුව ගැන ලංකාවේ පළමු වරට දේශපාලකයෙකු ලෙස ප්‍රසිද්ධියේ හෙළි කර සිටියේ බැසිල් පමණි. අවාසනාව වන්නේ මේ ප්‍රසිද්ධ සොරකම ගැන ලංකාවේ බොහෝ දෙනා හොඳින් දැන සිටියදීත් ඒ ගැන වචනකුදු කතා නොකිරීම ය. දේශපාලකයින් හෝ මාධ්‍යවල දූෂණ විරෝධී වීරයින් ලෙස කටමැණ දොඩවන සංවිධාන හා පුද්ගලයින් සිරසේ සොරකම ගැන දැන දැන ම හෙළි නොකර සිටින්නේ ඔවුන්ට මාධ්‍ය ආවරණ අහිමි වේ ය යන බියෙනි. මෙසේ බියගුළු විය යුතු ද? මීට තිතක් තැබිය යුතු ය. මාධ්‍ය පුද්ගලික වුව ද ඔවුන් ක්‍රියාත්මක වන්නේ ජාතියට අයත් මහජන සංඛ්‍යාත තුළ ය. බසය පුද්ගලික වුන එය දුවන්නේ, රජයේ මහාමාර්ගවල රජයේ බලපත්‍රය යටතේ මෙනි. ඒ අනුව, කිසිවෙකුට පිස්සු කෙළිය නොහැකි ය. බිය වැද්දිය නොහැකි ය. අපි බිය නොවෙමු. තර්ජනවලට තැති නොගනිමු. බැසිල් රාජපක්‍ෂට බිය වන්නට දෙයක් නැත. තමන් ගැන කුමන අවලාද නැගුව ද ජාතියෙන් එක් සතයකුදු සොරකම් කර නැති බව බැසිල් දන්නේ ය. කිසිවෙකු නොකළ දෙය ඔහු කළේ එනිසා ය. අනාගතය බොහෝ දේ තීරණය කරනු ඇත.
– මහින්ද පතිරණ FB
---------------------------------------------------------------------------
[සත්‍යය මිස අන් කිසිවක් නොපවසමි යැයි දිව්රා ප්‍රකාශ කල ජන මාධ්‍ය පකිර්ලා දැන් කොහිද යන ප්‍රශ්නය පමණක් අපට මෙතැනදී ඇසීමට ඉතුරුවී ඇත .. යහපාලනය යනු හොරකම් කිරීමට ජනතාව දුන් ලැයිසොමක් නොවන බව මේ ජනතා මුදල් සොරාකන තක්කඩියන් තේරුම් ගත යුතුය. හොදම හැකර්ලා පවා අද ඉන්නේ යහපාලනය පැත්තේය. කවුරු කලත් වැරැද්ද වැරද්දමය. බැසිල් ලා සමග අප එකඟ නොවුනත් මළමිනිය කිවිසුම් හැරීමට පටන් ගතහොත් එවිට අප කුමක් කරන්නද? ]