Thursday, January 25, 2018

කාවින්ධ්‍යා එන්න.. මල් පිපීදැයි බලන්න....!


අන්තිමට මත්පැන් සහ ස්ත්‍රී නිදහස කතිකාව හරහාම ස්වර්ණා මල්ලවාරච්චි පවා අධිකරණයට යාමට පෙළඹී ඇත. ධනවාදයේ සිමාව තුලම ඔවුන්ට අන් කවරදාවත් නොතිබූ කථිකා අවකාශයක් විවර වී ඇත.. බොහෝ විට ධනවාදය පවත්නා සම්ප්‍රදායික සිමාවන් සමග අනුගත වන අතර (චීනය ඉන්දියාව) සම්ප්‍රදායික අගතීන් වෙනස් කරනවා වෙනුවට ඒවා තව තවත් ශක්තිමත් කරයි. මෛත්‍රිපාල මහතා විසින් සිදුවන්නේ මෙයයි. නමුත් සත්‍යය නිදහස යනු Leaving Las Vegas (1995) චිත්‍රපටයේ මෙන් මත්පැන් බි මිය යාම නම් එය නිදහසක් ලෙස ගත හැකිද? එම චිත්‍රපටයේ සිදුවන්නේ නාගරික විගලිතභාවයෙන් මිදීම සඳහා මත්පැන් පානය කිරීමයි. එය ඩොලර්ස් ඕ රියෝඩන් (Dolores O Riordan) ගේ පැවැත්මේ ප්‍රශ්නයට සමානය. ඔවුන් ධනවාදයේ ශුන්‍යතාවයට මුහුණ දෙන්නේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය හරහාය (කාවින්ධ්‍යා මත්පැන් විකුන්නනේ ඔවුන්ටය). මෙම විගලිත බව තුල අපත් එසේ විය යුතුද? නැත්නම් විගලිතභාවයට මුහුණ දීම සඳහා නිර්මාණශීලි අවකාශයක් (alternative spatiality)සකස් කර ගැනීමද? ඉගෙනීමට යන තරුණයෙකුට හෝ තරුණියකට මත්පැන් විකුණනවා වෙනුවට අධ්‍යාපනය නිර්මාණශීලි කර ගැනීමට අවස්ථාවක් අතිරික්ත ප්‍රාග්ධනය ඔස්සේ දීම නුතන ශිෂ්ටාචාරයේ වගකීම නොවේද? පවත්නා අසමානතාවය තුල එතැනදී අවශ්‍ය වන්නේ නව පිතෘත්වයක් නොවේද?
උසස් අධ්‍යාපන අවස්ථාව තුල ම සේවා ආර්ථිකයට එකතු වෙලා කියක් හරි හොයාගන්නවා කියන එකෙන්  මතුවන  කාරණය නම් ධනවාදයේ අසමානතාවය පිළිබද ප්‍රස්තුතයයි. වැඩ කරන එක නරක දෙයක් නෙවෙයි නමුත් අප වැනි රටවල ශ්‍රමය තවදුරටත් සූරා කනවා හැරෙන්නට කේන්ද්‍රයේ ධනවාදයට පුළුවන් වෙලා තියෙනවද ඊට වඩා හොද අවකාශයක් කාවින්ද්‍යා ට දෙන්න. එක් වරක් යටත් විජිත සූරා කෑම, ආයිත් ගෝලීය අධ්‍යාපන සූරා කෑම. කවද්ද මේක නතර වෙන්නේ? අරක්කු විකිණීම 'රැඩිකල්කරණය' කිරීම දක්වා මෙය පහලට වැටිලා. එයින් කියන්නේ මිලදී ගැනීමේ හෝ පානය කිරීමේ හෝ ඒ තැන්වල සේවය කිරීමේ සමානාත්ම බව නැතිකරන්න ඕනි කියන එක නෙවෙයි. අපි කියන්නේ මෙම සමාන බව ව්‍යාජයක් කියන එක. අපි එකතු වෙන්න ඕනි එතනට.
අරක්කු විකුණන ස්ත්‍රිය අර්චනකරණය කරනවා විතරක් නෙවේ. එය නුතන 'නිදහසේ' රූපකයක් ලෙස පිළිගැනීමටත් ඔවුන් අපට බල කරනවා. නිදහස කියන්නේ 'වෙළඳපල නිදහස' නෙවේ කියලයි අපිට කාවින්ද්‍යා ට කියන්න වෙන්නේ. එය වහල් භාවයක්. නො නිදහසක් .... කාවින්ද්‍යාගේ මුලින්ම බි බි සී (BBC) එකේ ගිය චායරූපය ලක්ෂණ මිමන්සාවට ලක්කරපුවාම (semiotics) පෙනෙන 'නිදහස් ස්ත්‍රිය' ධනවාදයේ වසඟයක් පමණයි (seduction). හරි විදියට නම් උසස් අධ්‍යාපනයේ ඉන්න ඇය අතිරික්ත කාලය තුල පර්යේෂණ පත්‍රිකාවක් හරි නිර්ක්ෂණයක් හරි කරමින් සිටියානම් තම අධ්‍යනයට සමපාතව කොච්චර හොද ද ? නිකම් බලන්න ඔවුන්ගේ අයෙක් වෙච්ච ස්ටීවන් හෝකින්ස් ගේ උසස් අධ්‍යාපන අවධිය The Theory of Everything (2014) කියන චිත්‍රපටයේ විදහා දක්වන ආකාරය . එයා කොහෙවත් වැඩකරන්නේ නැහැ කීයක් හරි හොයාගන්න.. නමුත් අපේ රටවල්වල සහ එම රටේම පහල පන්තික කොටස් වලට එහෙම කරන්න වෙලා තියෙනවා..ඒ කියන්නේ ධනවාදයට බැහැ සත්‍ය පරස්පරතා මකා දමන්න . සම්ප්‍රදායික සිමා වලම එයත් හිරවෙනවා සහ එම හිරවීම ඇතුලෙම බඩු විකුණනවා අර සිමා ස්වභාවික කරමින් .. එක තමයි සත්‍ය ය. උඩරට බොදු ගොවි ආත්මය තුලම හිරවෙලා අපිට මුල් ඇදුම් විකුණන්න තරම් ධනවාදය වේශ නිරුපනය කරනවා. මෙතැනදී මාක්ස් කිව්ව සියලු ද්‍රව්‍යමය දේ වාෂ්ප කරනවා වෙනුවට ඒවා තවත් ශක්තිමත් කරනවා පසු නුතන ධනවාදය . ඒ නිසයි විසි එක්වන සියවසේ අරගලය වෙනස් වන්නේ. ධනවාදයත් මාක්ස්වාදයත් දෙකම වෙනස් කරන්න වෙනවා අරගලය තුල.... 
ඩොලර්ස් ඔබ මියගොස් ඇත... තවත් අය එම මියයාමේ නිදහස ඉල්ලා පෝලිම් වල ඇත (සමානව මියැදීමේ නිදහස). සමහරු එම නිදහස ඉල්ලා නඩු මගට බැස ඇත. සම්ප්‍රදායික පියා ඔවුන් විසින් අභියෝගයට ලක් කර ඇත. ධනවාදයේ මරණය අබියස මා සිතන හැටියට තවමත් සම්ප්‍රදායික පියාගේ භූමිකාව අදාලය (මෙය පරස්පර ප්‍රකාශයක් විය හැක). මෙම මරණිය යුගයේ ගැහැණියක් ලෙස මවක් ලෙස එම 'සමානාත්ම නිදහස' ස්ත්‍රිය විසින් ම ප්‍රතික්ෂේප කර 'නො-නිදහස' ඒ වෙනුවට ඉල්ලීම වඩාත් රැඩිකල් නොවිය හැකිද? එම 'නො-නිදහස' වඩාත් පරමාදර්ශී නිදහසක් නොවිය හැකිද (un-freedom as true freedom)? දිනපතා මියයන නිල් චිත්‍රපට නිලියන්, සදාචාරය, මියගිය පියා, ධනවාදය, ආදරය සහ නිදහස පිළිබද අප සංවාද කරමු. කාවින්ධ්‍යා එන්න මල් පිපීදැයි බලන්න....!

Wednesday, January 17, 2018

මගේ මළකුණ මතින් ඔබ නිදහස් වෙන්න…

මිනිස් පැවැත්මේ ගැඹුර සලකුණු කරන්නා වූ සහ එම ගැඹුර පෙරළා සමාජයට ප්‍රක්ෂේපණය කරන්නා වූ සංකීර්ණ පැවැත්මේ වරණ අපේ සමාජවල අතිශයින් දුර්ලබ ය.
ගැඹුරු පැවැත්මේ තීරණයක් හැමවිට ම සාන්දෘෂ්ටික තීරණයක් වන අතර එබඳු තීරණවල ගැඹුර විසින් ඇතැම් විට ඉතිහාසයේ ගමන් මග පවා වෙනස් කරනු ලැබිය හැකි ය. ඇල්බෙයා කැමූගේ ‘පිටස්තරයා’ නවකතාව තුළ පවත්නා ගැඹුරු ආත්ම වරණයේ සංකීර්ණතාව විසින් මිනිස් ශිෂ්ටාචාරයේ චින්තනය වෙනස් කිරීමට පවා බලපෑම් සහගත වනු ලැබුණි. එම වරණය බාහිර ඇසක නිරීක්ෂණයෙන් තොරව තම පුද්ගල ස්වච්ඡන්දතාවයේ පාරමිතිවල ස්වාධින බව තුළ ම තීරණය කළ සුවිශේෂී තත්ත්ව වේ. එම ස්වාධීන බව තමා දෙස බලා සිටින අනෙකාගේ ක්‍රෝධය සහ කුහක බව වෙතට ඔක්කාරයක් සේ විසිකර දමන කැමූ ලොව ඉතාම සුවිශේෂී සාන්දෘෂ්ටික නවකතාව රචනා කරයි. මරි සමග බාල සිනමාපටයක් නැරඹිමට යාමට, ඇයගේ බඩ අතගෑමට, ඇයට හාදුවක් දීමට හෝ ඇය සමග මධුවිතක් තොල ගෑමට හෝ අනෙක් අය තමා දෙස (මෝඩ බහුතරය) බලා සිටිනවා යැයි ඔහු මඳකටවත් සිතන්නේ නැත. එතැන පවතින්නේ මර්සෝ අන් අයගෙන් ‘වෙනස්’ පුද්ගලත්වයක් අත්පත් කරගැනීම ය. මිලියන ගණනක් වූ පාඨකයන් මර්සෝට ආදරය කරන්නේ ඔහු තුළ පැවති ඒ සුවිශේෂී වෙනසට ය; තමා ගෙන් ඔහු වෙනස් බව දැනෙන නිසාය.

ඔහුගේ ම ආශාව මිය යාම
ටොඩ් මැක්ගොවන් විසින් 2017 තරම් ඉතා මෑතක සංස්කරණය කරන ලද Can Philosophy Love? නම් කෘතියෙන් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ එක් අයෙක් අනෙකාගෙන් ‘වෙනස්වීම’ නම් තත්ත්වය මිනිස් ආදරයේ පූර්වාරම්භය ලෙස ගැනීම තුළ අනෙකා විනාශ නොකරගැනීම මූලික දේශපාලන ආස්ථානයක් ලෙස දියුණු කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම සඳහා ය. මිනිස් හමුවීමක දී අපි පළමුවෙන් ම උත්සාහ කරන්නේ අනෙකා සතු වෙනස්කම මටසිලිටුකරණය කිරිමට ය; වෙනස නොපිළිගෙන වෙනස වෙනස් කිරීමට ය.
උදාහරණයක් ලෙස ගතහොත්: තම පෙම්වතිය කොණ්ඩය කපා ඇත්නම් එය වැවීමට උපදෙස් දීම හෝ ඇය දිග කලිසම් අඳින්නේනම් ඇයට සාය හැට්ට සහ ගවුම් ඇඳීමට යෝජනා කරමින් අනෙකාගේ ‘විෂ අන්තර්ගතය’ (poisonous content) අපිට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට උත්සාහ ගන්නා මොහොතේ (අධිපති සංස්කෘතික කතිකාවට එකඟ කිරීම) සිදුවන්නේ අපි ඇයට අවිඥානිකව ආශා කරන දෙය ම (Object a) අපි විසින් විනාශ කරනු ලැබීම ය. මාටින් ස්කොසේසි ගේ Casino (1995) චිත්‍රපටය තුළ සෑම් විසින් ක්‍රමානුකුලව ජින්ජර් ‘ශිෂ්ටකරණය’ කිරීමට දරණ උත්සාහය තුළ ඇයගේ විෂ අන්තර්ගතය (වෙනස) මරා දමයි. එවිට අහිමි වන්නේ සෑම් ආශා කළ අවිඥානික අන්තර්ගතයේ ඇයගේ නියෝජනය යි. ඇය නියෝජනය කරන්නේ සහ ඇගේ ශරීරය දරා සිටින්නේ ම ඔහු ආශා කරන (සාම්ප්‍රදායික ගැහැනියක, මවක හෝ බිරිඳක නොවීම නම් වෙනස් හැඟවුම) වෙනස් බවයි. ඇය වෙනස් කරනවා යනු සාන්දෘෂ්ටික අරුතෙන් ඔහුගේ ම ආශාව මිය යාමට සැලැස්වීම ය; වෙනස මරා දැමීම ය; තමා ආශා කළ දෙය ම මරා දැමීමය. නමුත් බටහිර අර්ථයකින් ගත්විට අපි නිර්භිතව මුහුණ දිය යුත්තේ මෙම වෙනස සම්මුඛ කරගැනීමට ය. පිරිමියාගේ අනේකත්වය ගැහැනිය නම්, ඇයට වෙනස්වීමට ඇති ඉඩ-කඩ පිරිමියා විසින් අවුරා දමනු ලබන්නේ නම්, එය පිරිමියාගේ ප්‍රහේලිකාමය ආශාවේ රෝගී ප්‍රකාශනයකි.

ස්වරූප රාගී පිරිමි ආශාව
ගැහැනිය සහ මත් පැන් සම්බන්ධ වර්තමාන රෝගී දේශපාලන ප්‍රකාශනය තුළ ද පිළිබිඹු වන්නේ ඉහත ස්වරූප රාගී පිරිමි ආශාව ය; ඇයට වෙනස් වීමට ඇති අවකාශය වසා දැමීමය. ඇයට වෙනස් වීමට ඉඩකඩ අපි සැලස්වුව හොත් එවිට අපේ ආශාවේ නිම්වළලු ඇය තවත් පුළුල් කරනු ඇත. අපේ ආශාව (අවසානයට අප මරණය දක්වාම ගෙන යනු ඇත. අපේ පිරිමි ආත්ම බියවී සිටින්නේ එම මරණයට දැයි වරෙක සිතේ) තව තවත් සංකීර්ණ කරනු ඇත. බටහිර මත්පැන් සහිත මෙම සංස්කෘතිය යනු ගැඹුරු ශූන්‍යතාවකි. එ’තුළ මහා විශාල අර්ථයක් නැත. නමුත් එම ශූන්‍යතාව තුළට පිවිසෙන ඇයට අපි බාධා කළ යුතු නැත. එම ශූන්‍යතාව තුළ ම ඇයට: මවක වීමට, නිරුවත් වීමට, අනුරාගික වීමට, නර්තනයේ යෙදීමට හෝ අවශ්‍ය නම් පිරිමියා අත්හැර දැමීමට පවා ඇති සාන්දෘෂ්ටික වරය අහිමිකර දැමිය යුතු නැත. පිරිමි ආශාවේ කොටසක් නොවී ඇයට පූර්ණ නිදහස අවශ්‍ය වේද එය පවා ඇයගේ තීරණයකි.

අභියෝගයට ලක්කෙරෙන ලෞකික උපනති
ආශාව තීරණය කරන්නේ ධනවාදී වෙළෙඳපොළ තර්කනයක් ඔස්සේ බව සැබැවක් වුවත් එම තත්ත්ව තුළට ඇයට ඇදවැටීමට ඇති නිදහස සිංහල - බෞද්ධ කතිකා පාර්ශ්වයේ සිට අපිට සාධාරණීයකරණය කළ නොහැකි ය. අපි වටහාගත යුතු දෙය නම් සමස්ත පශ්චාත් යටත් විජිත රාජ්‍යය ව්‍යුහය ම සාම්ප්‍රදායික දෘෂ්ටිාදය විසින් පාලනය කරනු ලබමින් තිබේය යන තත්ත්වය යි. නූතන රාජ්‍යයේ ලෞකික උපනති සැම විටම සම්ප්‍රදායවාදය විසින් අභියෝගයට ලක්කරනු ලබයි. මෙම මහපොළොවේ නෛතිකභාවය ඔවුන් විසින් අත්පත් කරගනු ලැබ ඇත. එනයින් සිදුව ඇත්තේ ‘සුවිශේෂ මිනිස් නිමේෂ’ විකසිත නොවීමයි. ෆෙඩ්‍රික් ජෙම්සන් අනුව යමින් තර්ක කළහොත් පශ්චාත් - යටත් විජිත සාමුහිකත්වය (කොමියුනිස්ට්, සම සමාජ, සාම්ප්‍රදායික වම, නුතන වම, ශිෂ්‍ය වම, ජාතිකවාදින්, භූමි පුත්‍රයන්, රාවණා බලය සහ බොදු බලය) විසින් පුද්ගලිකත්වය ද්විතීයක තැනකට ඇද දමනු ලැබ තිබීම ය. මෙය තුළින් සිදුවන්නේ පුද්ගලිකත්වය විකසිත වෙනවා වෙනුවට ඔවුන් සාමුහික බවේ ගොදුරු බවට පත්වීම ය. පුද්ගල නිදහසේ සහ වර්ධනයේ තෝතැනි ලෙස ගැනෙන විශ්ව විද්‍යාල නවක වදය තුළින් මුලික වශයෙන් කරන්නේ මෙම ෂුවිශේෂ ලක්ෂණ අවරෝධනය කිරීමයි.
එක්සත් ජනපදයේ හෝ එක්සත් රාජධානියේ රාත්‍රී සමාජශාලා තුළ සිට වැනි වැනී බමන මතින් පිටතට පැමිණෙන ගැහැනු යනු මෙම සාමුහිකත්වයේ ගොදුරු නොව ස්වාධීන මනුෂ්‍යයෝ ය. රාජ්‍යය විසින් වික්ටෝරියානු නීති ඔවුන්ට පනවන්නේ නැත. ලෙඩ වෙන නිසා බොන්න එපා යයි කියන්නේද නැත. ඊයේ (15) මියගිය ඩොලරස් ඕ’රියෝඩන් (Dolores O’Riordan) පවා මැරෙන කල් බිව්වේය. එම සෞන්දර්ය මරණයට ඉඩකඩක් එම රටවල පවතින දියුණු ධනවාදය තුළ තිබේ. සාමහිකත්වය ඔවුන් දෙස බලා නොසිටින බැවින් (අවශ්‍ය නම් ඔවුන් ධනවාදයේ ගොදුරු ලෙස කම්මැළි වම්මුන්ට තර්ක කළ හැකිය) ඔවුන් නිදහස් ය. එනමුත් මෙරට බෞද්ධ බලවේග සහ සම්ප්‍රදාය තමන් දෙස බලා සිටිනවා යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා සිතා සිටිනතාක් කල් ඔහු නිදහස් මිනිසෙක් නොවේ. ඔහු නුතන සමාජයේ ‘ශූන්‍යතාවට’ බිය වී ඇති අතර ඒ වෙනුවට සම්ප්‍රදාය විසින් ප්‍රදානය කරන අතාර්කික ‘අර්ථය’ වහා වැලඳගනී. පුද්ගල නිදහස ගරු නොකරන ඔහු නුතන යහපාලනය වැනි දෙයක් නියෝජනය කරන්නේ කෙසේද?

උත්කෘෂ්ට ම සම්මානය
අපේ ආශා සිමාවෙන් ඇයව නිදහස් කරන්න; ඇයට ශූන්‍යතාව මුණගැසීමට ඉඩ දෙන්න; එය තුළ ම අර්ථයක් සොයා යාමට ඇයට ඉඩ දෙන්න; ඇයට වෙනස් වීමට ඉඩ හරින්න. ඒ වෙනස විසින් ම ඇය අපගේ ආශාව විකසිත කරනු ඇත; අපේ ආශාව උද්දිපනය කරනු ඇත. මෙහි දී ආශා කිරීමට පමණක් පුහුණු වී ඇති පිරිමි ආත්මයට ඇයට ‘ආදරය’ කළ හැකිනම් එය අපේ ශිෂ්ටාචාරය තුළ ලබාගන්නා උත්කෘෂ්ට ම සම්මානය විය හැකි ය. සිංහල බෞද්ධ ආත්මය ඇය, ‘සම්ප්‍රදායික ඇය’ ලෙසට ම චීත්ත - රෙද්ද හැට්ට අන්දවා තබාගැනීමට උත්සාහ කරන්නේ තවදුරටත් ඇය ‘ආශා වස්තුවක්’ ලෙස තබාගැනීම සඳහා ම ය. එ’නිසා ඇය වෙනස් වෙනවාට ඔවුහු බිය වෙති. තමාගේ ආශාව නඩත්තු කිරිමට ඇය එලෙස ම තබාගත යුතු ද නොමැති නම් තම ආශාව මිය යාමට ඉඩ දී හෝ ඇය නිදහස් කරනවාද? පසු-නුතන ධනවාදයේ අවසාන කාර්තුවේ පිරිමි ආත්මය මුහුණ දෙන අවසාන ප්‍රශ්නය එය විය හැකි ය.
අවසානයට අපි මෙසේ කියමු. ඔබගේ වෙනස තුළ මියයන්නේ මගේ ආශාවයි. කමක් නැහැ මා මිය ගියාවේ. මම මිය යාමට බිය නොවෙමි. මගේ ආශාවේ මිනිය මත පය තබා ඔබ නිදහස් වෙන්න. එය ආදරයේ අවසාන පරිත්‍යාගය යි. ‘අනෙකා ගරු නොකරන ස්වරූප රාගීයෙකුට කොමියුනිස්ට්වාදියෙකු විය නොහැකි ය.’ කොමියුනිස්ට්වාදියකුට ක්‍රිස්තියානියෙන් ඉගෙනගත හැකි එකම දෙය එය යි. අනෙකා ගැන නොසිතන අන්තරාවර්තී බෞද්ධයනි... ඉගෙනගන්න! ඉගෙනගන්න!! ඉගෙනගන්න!!!
- මහේෂ් හපුගොඩ