Monday, June 18, 2018

යක්ෂයාගේ භුමියේ මල් (ලේ) සුවඳ ...



මේ සිංහල අපගේ රටයි (II කොටස) 

අපි මචං නම් කණ්ඩායමක් විසින් නවීකරණය කර ඇති 'මල් සුගන්දේ දම් සුගන්දේ' ගීතය විමසා බැලීම වෙනුවෙන් ලියවෙන මෙම සටහන 'දම් සුගන්දේ මල් සුගන්දේ..' යනුවෙන් මුලින් මා විසින් නම් කර තිබුණත් අද දවසේ ලංකාවේ ථෙරවාද බුද්ධාගම ගමන් කරන්න තතනන දිශාව දෙස බලපුව ම 'මල් සුගන්ධය', 'සිල් සුගන්ධය' හරහා 'ලේ සුගන්ධය' ට ඉව කිරීම... යනුවෙන් වුව ද මෙම ලිපියේ මාතෘකාව අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. 'මල් සුවඳ' සහ 'සිල් සුවඳ' කැටි කරගත් සංකේතනය තුළින් අද බුද්ධාගම ගමන් කරන්න පටන් ගෙන තියෙන්නේ කාටත් ක්ෂිතියක් වන මරණීය යථාවක් දිශාවට. එයින් අදහස් කරන්නේ අවිහිංසාවාදී බුදුදහම අද වනවිට කොතරම් දේශපාලනික වී ඇත්ද, කොතරම් අනේකත්වය බල්ලාට විසිකර දමා ඇත්ද යන්න පෙනෙන්නේ එය හිට්ලර් කෙනෙක් වී හරි මේ රට හදන්න යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ට අනුශාසනා කරපු වෙරුවේ උපාලි හාමුදුරුවෝ විසින් කරපු ප්‍රකාශය දැක්කම. හිට්ලර් කියන්නේ තමාගේ රටේම හිටපු වාර්ගික අනෙකා වන යුදෙව්වන් සමුළ ඝාතනය කරපු කෙනෙක්. ශිෂ්ට සමාජය විසින් එම ක්‍රියාව සහමුලින් හෙළා දකිනවා විතරක් නෙවෙයි ශිෂ්ට (ලිබරල්) කතිකාව හරහාම එවැන්නෙක් බිහිවුනේ කොහොමද කියන එක ගැන දැන් සියවස් බාගයක් පමණ තිස්සේ ඉඳල විශාල දේශපාලන සාහිත්‍යක් බටහිර විසින් නිර්මාණය කරලා තියෙනවා. හිට්ලර් කියන්නේ බටහිරට ම ක්ෂිතියක්. ආපතික ප්‍රපංචයක්. සමහර විට මිහිඳු හිමියන් එන්න කලින් යක්ෂයෝ වන්දනා කරපු අපිට හිට්ලර් කියන්නේ මහා ලොකු දෙයක් නොවෙන්නත් බැරි නැහැ. අපිට පෙනෙන හැටියට නම් මේ 'යක්ෂයාගේ භුමිය' (Devil's Ground) තුළ සැබෑ බුද්ධාගම වුනත් අසරණ වෙන්න ඇති. ෂෙලින් කියන ආරම්භයට පෙර දෙය විසින් (before the beginning) ඇතැම් විට බුද්ධාගමේ අන්තර්ගතය පවා තමන්ට වුවමනා ලෙස වෙනස් කරගන්න ඇති (ගස් වන්දනා කරපු අයට බෝ ගස, ගල් වන්දනා කරපු අයට දාගැබ, ප්‍රතිරූප වන්දනා කල අයට බුද්ධ ප්‍රතිමාව හමු වුනාට අධ්‍යාත්මික බුදු දහම හමු වුනාද යන්න ගැටළුවක්). ඒ නො-හමුවීම නිසා මොන බුද්ධාගම ආමිස පුජා වශයෙන් මතුපිට තිබුනත් නියම වෙලාවට යක්ෂයා බුදු දහමත් ඉරාගෙන භූමියෙන් ඉස්මතු වෙනවා... ඉතිං 'අපි මචං' ලා සුදු ඇඳුම් ඇඳගෙන නටබුන් අතර ඇවිද්දට මොකද සුදු ඇඳුමට යටින් ඕනි වෙලාවක මිහිඳු හිමියන් විසින් 'යටපත් කළ' යක්ෂයා ඉස්මතු වෙනවා ෆ්‍රොයිඩ් ට අනුව (සත්‍යය යනු යටපත් කල දෙයයි = repressed is the truth!). ෆ්‍රොයිඩ් ට අනුව න්‍යායගත කලොත් "ලාංකික බුදු දහම යනු මිහිඳු නොවන දෙය යි"(යටපත් කල යක්ෂයා ගේ අන්තර්ගතය). යටපත් කළ යක්ෂයා යනු යථාවේ පුනරාගමන යයි. වෙරුවේ උපාලි යනු සැබෑ භුමියේ ආමන්ත්‍රණ යයි (repressed truth of the land) කියන්න වෙන්නේ මේ නිසයි.  

ඉතින් මේ භුමිය වෙනස් කරන්න හදන තරුණ විප්ලවවාදීන්ට අපිට කියන්න තියෙන්නේ මේකයි. 'කමක් නැහැ අපි උත්සාහ ගම්මු යම් වෙනසක් කරන්න. නමුත් මේ අපි හැපෙන්න හදන්නේ යක්ෂයාගේ භුමිය එක්ක'. ඒක අමතක කරන්න එපා. එහෙම භූමියක මිනිස් ජිවිත වලට වැඩිය වටිනාකමක් නැහැ. මොකද හැමෝම හදන්නේ බුදු දහමට කලින් තිබුණ යක්ෂයාගේ ලෝකය නැවත මතු කර ගන්න (බොදු බල සේනා, රාවණා කල්ලි වගේ ඒවා මේ සඳහා උදාහරණ). බුදුන් වදාළ ධර්මයෙන් කාටවත් වැඩක් නැහැ. හැමෝටම ඕනි 'බුද්ධ වචනයට පෙර' පැවති යක්ෂ යථාව වෙත යන්න. ඒ නිසා බුද්ධ වචනය සමග ගැලපෙන කාන්ටියානු සදාචාරය කොච්චර කතා කලත් මේ භුමියේ වැඩක් නැහැ. නමුත් කාන්ට් ගේ දර්ශනය සහ බුද්ධ වචනය ජපානය තුළ පැල වුණා. ඒක නිසා තමයි විශිෂ්ට රචකයෙක් වන කවබත යසුනරි වගේ විශ්වීය අවධානය දිනා ගත්ත ලේඛක යකුට ඉස්මතු වෙන්න පුළුවන් වුණේ ජපන් භූමියෙන්. අපරදිග දර්ශනය මුණ ගැසීම වෙනුවෙන් පෙරදිග දර්ශනය සහ මහායාන බුද්ධාගම නුතනත්වය තුල නැවත ස්ථාපිත කරන්නේ ජපානයේ වැදගත්ම චින්තන ගුරු කුලයක් වන කියෝතෝ චින්තන ගුරුකුලය විසින් Kyoto School of Thoughts (කියවන්න). ඔවුන්ගේ ඥාණ විභාග උත්සාහය උනේ සම්ප්‍රදායික චින්තනය නුතන බටහිර සංකල්ප තේරුම් ගැනීම සහ තම රටට ගලපාගැනීම වෙනුවෙන් ඇති ශක්‍යතාවය අධ්‍යනය කිරීම. බටහිර වචන සහ 'බටහිර සබුද්ධික සංකල්පීය වෙස්මුහුණක්' (Western rational mask) තම දේශීය චින්තනයට දමනවා වෙනුවට ඔවුන් කලේ තමන්ගේ ම වූ 'අපුරු චින්තනයක්' (original thoughts) බිහි කරපු එක. නමුත් ඔවුන් බිහි කල දර්ශනය වනාහී එකහෙලාම පෙරදිග මීට පෙර පැවති දෙයද නොවෙයි (their philosophies are far too original to be straightforwardly equated with preexisting Eastern thoughts). තම රටේ ඓතිහාසික ස්ථර මත පැටවුණු තවත් එක් ස්තරයක් ලෙස බටහිර චින්තනය තේරුම් ගැනීම ඔවුන්ගේ උත්සාහය උණා. එහෙම නැතුව බටහිර ප්‍රතික්ෂේප කිරීම හෝ අතීතය වර්ණනා කිරීම ඔවුන් කළේ නැහැ (ලාංකික අප ඉන්නේ මේ අන්ත දෙකේ නිසයි අපිට එකපාරටම විශ්වීය සදාචාර සිමාවන් අමතක වෙලා හිට්ලර් ගැන සිහින දකින්න වෙන්නේ). 

සාන්දෘස්ටික තැනක තිබ්බොත් කියෝතෝ ගුරුකුල චින්තනයේ කේන්ද්‍රය වුනේ 'පරම ශුන්‍යතාවය' (absolute nothingness) ගවේෂණය කිරීම. "විෂය මුලික බවත් වාස්තවික බවත් අනුභූති උත්තරව බැඳ තබන හුය වනාහි ශුන්‍ය බව" හැටියටයි නිශිදා කිතරෝ (Nishida Kitaro) ගේ අදහස මෙම පාසැලේ ඉගැන්වෙන්නේ. එවිට සිදුවන්නේ බටහිර ද්‍රව්‍යයේ තර්කය (logic of things) වෙනුවට ශුන්‍ය බවේ තර්කය (logic of (no)thingness) ඉස්මතු වීම (සහ මේ දෙක සම්බන්ද වීම). ඉතින් D.T. Suzuki වගේ කෙනෙක් බටහිර ට යන්නේ මේ පසුබිමින්. බටහිරට බාහිර ලෝකයේ ද්‍රව්‍ය (substance) තේරුම් ගැනීම සාරාර්ථ වේදය (ontology = study of the nature of being) වනවිට (ඇරිස්ටෝටල්) නිෂිදා උත්සාහ කලේ නොපැවැත්මේ සාරාර්ථය (meontology = study of what does not exist) ගවේෂණය කිරීම. මේ අනුව පෙරදිග ශුන්‍යතාවය සහ බුදුන්ගේ ධර්මය ඉතාම පැහැදිළි ලෙස බටහිර දර්ශනය සහ මහාද්වීපික දර්ශනය සමග සම්බන්ද කල පළමු වැන්නා බවට පත්වන්නේ නිෂිදා (Nishida was the first to thoroughly expand the Eastern notion of nothingness in the Continental paradigm and is thus responsible for bringing to the West a clearer understanding of the Buddhist notion of non-being). පැවැත්මේ නැත්නම් පදාර්ථයේ (substance) උත්කෘෂ්ට ම තත්වය ලෙස බටහිර විසින් දෙවියන් කරා ගමන් කරන විට නිෂිදා ගේ ගුරු කුලය ඇසු පැනය නම් 'ශුන්‍යතාවය යනු කුමක්ද' යන ගැටළුවයි. එවිට දෙවියන් සම්බන්ද සාරාර්ථවේදය onto-theology යනුවෙන් හෛඩගර් තේරුම් ගන්නා විට එය නිෂිදා තේරුම් ගත්තේ me-ontology නැත්නම් නොපැවැත්මේ වේදය ලෙසය. ශුන්‍යතාවය (ශුන්‍යත්) හරහා ලෝකය තේරුම් ගන්නා නිෂිදා කිතරෝ තම ජපාන පුනරුද ආලෝකය (Japanese Enlightenment) ලෙස අර්ථකතනය කරන්නේ 'පුර්ණ ශුද්ධ අත්දැකීමකි' (pure experience). පංචේන්ද්‍රිය අනුභූතිය (sensory perception) ඉක්මවා යන අත්දැකීමක් විස්තර කරන ඔහු කියන්නේ මලක ලස්සන දැකීමට පෙර ම අප තුල ඇති ලස්සන පිළිබද අදහස අත්දැකීම ඉක්මවා යන්නක් බවයි. එනයින් එය ශුද්ධ අත්දැකීමකි. An Inquiry into the Good (1905) නම් ඔහුගේ දෙවැනි කෘතිය හරහා මෙම ශුන්‍ය සහ ශුද්ධ අත්දැකීම ජර්මානු දර්ශනය සමග බටහිරට සම්බන්ද කරන කිතරෝ එහි මුලයන් හෛඩගර්, ෂොපන්හවර් සහ ඉතා වැදගත් ලෙස එමානුවෙල් කාන්ට ට සම්බන්ද කරයි. 
කියෝතෝ හි නිෂිදා ඇවිද ගිය මාවත අද හැදින්වෙන්නේ දාර්ශනිකයකුගේ මාවත (Philosopher's Walk) යනුවෙනි. ඔවුන්ගේ රට ඔවුන්ගේ මිනිසුන්ට සලකන්නේ එසේ වුවද අපේ රටේ සරච්චන්ද්‍ර වෙනුවෙන් මාවතක් වත් පුස්තකාල යක් වත් කුටියක් වත් යන මේ කිසි දෙයක් නැත. ස්වභාව ධර්මය සහ චින්තනය සම්බන්ද වන සුසංයෝගාත්මක බව (in harmony with nature) මේ චායාරුපයෙන් මනාව පෙන්වා දෙයි.  
මේ අනුව ශුද්ධ අත්දැකීම අපගේ අහං භාවයේ (පුද්ගලික) අවබෝධය සමග සම්බන්ද නොවෙයි. අනුභුතියට පෙරම අනුභූති (උත්තර) ඥානයක් මිනිසාට ඇති බැවින් ඔහු කියන්නේ 'දකින්නෙක් නැතිව දැකිය හැකි බවත්, අසන්නෙක් නැතිව ඇසිය හැකි බවත්ය' (seeing without a seer, hearing without a hearer). මේ අනුව 'දකින්නා' නම් විෂය මුලික ආත්මය කිතරෝ විසින් ශුන්‍ය කරනු ලබයි. ඒ අනුව මිනිසා තුලම සැඟවුන විශ්වීය ප්‍රපංචයීය අත්දැකීමක් ඔස්සේ ලෝකය තේරුම් ගත හැකි බව කිතරෝ කියයි. ශුන්‍යතාවය නම් මනස් කැඩපතේ වැදී පරාවර්තනය වන සියල්ල ම ශුන්‍ය දේ බවට ම පත්වන බව සදහන් කරන කිතරෝ එයින් මිනිසාට ලබා ගත හැකි එකම ස්වයං-අවබෝදය (self-awareness) බවට පත් කරන්නේ ශුන්‍ය බවම ය (ශුන්‍යතාවයේ ප්‍රපංච ආකෘතිය). එනයින් 'ස්ව-ආත්මය' නොමැතිව 'අවබෝදය' තිබිය නොහැකි බැවින් ඔහු මෙම වචන දෙක අනිවාර්ය ලෙස එකතු කරයි (ස්වයං + අවබෝදය). නමුත් මෙම තත්වය විවේචනය කරන කියෝතෝ පාසලේම තනබේ හජිමි (Thanabe Hajime) ප්‍රකාශ කරන්නේ ඉහත ස්වයං අවබෝදය ආගමික දෙයක් මිස දාර්ශනික ප්‍රවේශයක් නොවන බවයි. ඔහු කියන්නේ 'ගඟක් යනු ගඟක් මය. කන්දක් යනු කන්දක් ම ය. සියල්ල එසේම පවතී' (the mountain is mountain, the river is river, and all beings are just as they are) වැනි තැනකට තල්ලු වන නිෂිදා ගේ දර්ශනය පාර භෞතිකයක් වීමට ඉඩ ඇති බවයි. 'ජපන් දර්ශනය මෙයයි' යන්න ලෝකයට ප්‍රදානය කිරීමට උත්සාහ කල කියෝතෝ ගුරු කුලය තම දර්ශනය එවන් ආත්ම මුලික තැනකට නැත්නම් තමාගේම ලෝකයක් තුලට තල්ලු වීම (නලින්ගේ 'මගේ ලෝකය' වගේම) ගැටළුවක් ලෙස දුටුවේය. බටහිර දර්ශනය තමාගෙන් ඔබ්බෙහි පවතින අනෙක්ත්වයක් (otherness) සමග සම්බන්ද වන විට තමාගේම අන්තරීක්ෂ ලෝකයක (cosmic world) ගිලුණු කිතරෝ ගේ වන් ආගමික දර්ශනයක් ලෝකයට ගෙනයන්නේ කෙසේද යන්න ඔවුන්ට විසඳා ගත යුතු විය. ඩී. ටී. සුසුකි සම්බන්ද ව ජිජැක් කරන විවේචනය වැදගත් වන්නේ මෙතනදීය. අනෙකා මරා දැමීම පිණිස සුසුකි භාවිත කරන්නේ අපුරු උදාහරණයකි. මා අසිපත ගෙන ඔබව මරණවා නොව මාගේ විශ්වීය නර්තනය තුළදී ඔබගේ ඇස මගේ කඩු මුණත මතට වැටුණා විය හැකිය යනුවෙන් සුසුකි දක්වා සිටි. 'තමාගේ ම අන්තරීක්ෂ නර්තනයක (cosmic dance) නිරත වන මිනිසා හට තම නර්තනයේදී තමාගේ අසිපත මතට අනෙකාගේ ඇස වැටිය හැකිය' යන සුසුකි ගේ උදාහරණයේ නරුම දුරස්ථ බව ජිජැක් ප්‍රශ්න කරයි. මෙතැනදී සිදුවන්නේ කිතරෝ සහ ඔහුගේ සමකාලින සුසුකි විසින් තම නව දර්ශනය ඔස්සේ තමා තුලට ගමන් කිරීම (inner journey) තුළ අනෙකා අමතක කිරීමයි. කෙසේ වුවද කියෝතෝ ගුරු කුලයේ අරමුණ වුවේ ශුන්‍යතාවය කේන්ද්‍රීය දර්ශනයක් ලෙස නුතනත්වය වෙතට ගෙන ඒමයි (හෙවත් ශුන්‍යතාවය ඔස්සේ නුතනත්වය අභියෝගයට ලක් කිරීමයි overcoming modernity). පවත්නා දාර්ශනික ආකෘතිය (form) වෙනුවට ආකෘතියක් නැති බව (formless) ඒත්තු ගැන්වීමටය.  

නිෂිදා වරෙක මෙසේ කියයි, 'බටහිර දර්ශනයෙන් සහ එහි ආකෘතියෙන් ඉගෙනීමට ඇති දේ බොහෝය. පැවැත්ම පිළිබද ඔවුන්ගේ දාර්ශනික ආකෘතියත් යහපත පිළිබද ඔවුන්ගේ චින්තන ආකෘතියත් සිත් ඇද ගන්නා සුළුය. එසේ වුවද, අපගේ පෙරදිග සංස්කෘතිය තුල සැඟවී ඇති සහ වසර දහස් ගණනක් ඔස්සේ අපේ මුතුන් මිත්තන් අපට උරුම කර දී ඇති සිතුවිලි ඇතුලත සනිටුහන් කර ඇති 'ආකෘතියක් තුල ආකෘතියක් නැති බව' (form of the formless) සහ 'නිශ්ශබ්ද බව තුල ම ඇති හඬ' (voice of the voiceless) අපට නොඇසෙන්නේද? අපගේ හදවත සහ මනස මොරගා කියන්නේ කුමක්දෝ යමක් සොයන ලෙස නොවේද? මේ පැනයට දාර්ශනික පදනමක් සැපයීම මගේ ව්‍යායාමය යි (නිෂිදා කිතරෝ From That Which Acts to That Which Sees (1926)). නිෂිදා තම දර්ශනය මෙහිදී පදනම් කරන්නේ මහායාන බුද්ධාගමේ ශුන්‍යතා සංකල්පය (සංස්කෘත - ශුන්‍යත්) ප්‍රතිජීවනය කිරීම ඔස්සේ ය. බුද්ධාගමේ 'පරායත්ත මුලය' (interdependent origination) යන සංකල්පය ඉදිරියට ගෙනෙන ඔහු කියන්නේ සියල්ල තවත් දේවල් වල පැවැත්ම මතින් තීරණය වන බැවින් යමක් ස්වාධීනව නොපවතින බවයි. එනයින් සියල්ල (වාස්තවික) ඒ අපට පෙනෙන සැටියෙන්ම නොපවතින අතර ඒ සියල්ල දෙස බලා සිටින අපද (ආත්මය) වෙනස් වන බැවින් බලා සිටින අප සහ අප බලා සිටින දෙය යන දෙකම අතර ඇත්තේ ශුන්‍ය බවකි. සිදුවන්නේ එකම දෙයකි. එනම් 'මා පවතින විට ම මා දකින දෙය ද පැවතීමයි' (මා නොමැති නම් මා බලා සිටින දෙයක්ද නැත). බුදු දහමේ එන පටිච්ච සමුප්පාදය (pratītya-samutpāda; Japanese engi) නිෂි දා විසින් නුතන ශුන්‍යතාවය අර්ථ ගැන්වීම සඳහා භාවිතා කරන්නේ ඒ අයුරිණි. සියලු සත්වයින් ඔවුන්ගේ අහං-භාවයන් සමගම පැටලී ඇත්තේ නිමක් නැති ප්‍රවාහයකය (all beings, including the ego, are interconnected and in a flux). අහම විසින් දේවල් තදින් අල්ලා ගන්නා අතර දේවල් වල හිස් බව තේරුම් ගැනීම සඳහා මේ අනුව බාධා කරන්නේ ආත්මයයි (නැත්නම් අහමයි = egoity). දේවල් තුලම වූ පැවැත්මක් නැති බව තේරුම් ගැනීම යනු මේ අනුව ශුන්‍ය බව අවබෝධ කර ගැනීමයි. එවිට අහමේ මායාවෙන් අපට ගැලවි ගත හැකි බව නිෂිදා කිතරෝ පෙන්වා දෙයි. නාගාර්ජුන ගේ අදහස සමඟ වඩාත් සමීප වන මෙම ශුන්‍යතා දර්ශනය (නිර්වාණය) සංසාර (samsāra) හෙවත් ප්‍රපංච ලෝකයෙන් පාර -අනුභූතික පලායාමක් නොවන අතර එය නාස්තික පසුබැසීමක් වන්නේද නැත (neither a transcendental escape nor a nihilistic extinction from the phenomenal world). මිනිසාට ද්‍රව්‍යය (substance) සහ ආත්මය (subject) මුණ ගැසෙන ආපතික, අහේතුක භුමිය (පොළොව) නම් ඉපදීම සහ මිය යාමය.  එතැනදී සිදුවන්නේ ප්‍රභේදයන් දෙකක (ආත්මය සහ ද්‍රව්‍යය) අහඹු මුණගැසිමක්ය. ඉහත දැක්වුවේ නිෂිදා ට අනුව පැවැත්ම පිළිබද පෙරදිග සද්භාවය සහ එය බටහිරට සම්බන්ද වන දියුණුම ආකෘතියයි (නැත්නම් ආකෘතියක් නැති බවයි). 
              
කෙසේ වුවද මෙම ශුන්‍යතාවය පිළිබද කිතරෝ ගේ අදහස තවත් ඉදිරියට ගෙන යන කිතරෝ ගේ ගෝලයෙකු වූ කීජි නිශිතානි (Keiji Nishitani) පවසන්නේ මෙවැන්නකි. ඔහුට අනුව ශුන්‍යතාවය අර්ථ කථනය කිරීමේදී කිතරෝ මෙන්ම අනිත් අය විසින්ද මුලික ඥාන විභාගත්මක වරදක් කරනු ලබයි. එනම් ඔවුන් විසින් ශුන්‍යතාවය ම 'දෙයක්' (thing) බවට පත් කිරීමයි. අනෙක් අතට තමා (නොපවතින) සහ අනෙකා (නොපවතින) සම්බන්ද කරන විශ්වීය ආකෘතියක් නිෂිදා ගේ දර්ශනය තුළ දක්නට නොලැබේ. යම් කිසි විදියකින් හමු වනවානම් ඒ සඳහා ඇති එකම ආකෘතිය බවට පත් වන්නේ පරම ශුන්‍යතාවයයි (absolute nothingness). ඇතැම් විට ඒ සඳහා ඔහුට ඉහත 'ශුද්ධ අත්දැකීම' යෝජනා කල හැකි වුවද එය ප්‍රයෝගික යමක් නොවේ. තමා තුලම ඇති අන්තර් ඥානයකින් (intuition) අනෙකා හමුවිය හැකිය යන්න කාන්ටියානු සත්‍ය යක් වුවද, තම අහම අහෝසි වීම ඔස්සේ සිදුවිය හැක්කේ සත්‍ය හමුවීමක් යන්න පවා සත්‍යයක් වුවද (ගාන්ධි), තමාව අනෙකා හරහා පරාවර්තනය කරගන්නේ කෙසේද යන මනෝ විශ්ලේෂී ගැටළුවට විසඳුමක් මෙහිදී ලැබේද යන්න සැක සහිතය. නමුත් ශුන්‍යතාවය අවබෝධ කරගත් අයෙකුට ඇතැම් විට අනෙකා විනිවිදීම අවශ්‍ය නොවන බවට ඇතැමෙකුට තර්ක කල හැකි බවද මෙහිදී අපි පිළිගනිමු. අහම අවසන් වීම හරහා අනෙකාට සම්බන්ද වීම යන්න මෙහිදී ජපන් ජාතිකත්වයේ සුවිශේෂී බව තේරුම් ගැනීම සඳහා වැදගත් වෙයි. අප සැමවිටම පවසා ඇති පරිදි ජපන් ජාතිය යනු ලෝකයට පරමාදර්ශ ලබා දෙන ජාතියකි. ඉතාම මෑතක ලෝක පාපන්දු තරඟාවලියක් අවසානයේ ජපන් ජාතිකයින් අපුරු දෙයක් කළේය. එනම් තම රට ජයග්‍රහණය කළාට පසු ඔවුන් විසින් තමන් සිටි ක්‍රීඩාගාරය සම්පුර්ණයෙන් ශුද්ධ පවිත්‍ර කිරීමය (කියවන්න ජපන් ක්‍රීඩා ලෝලීන් ප්‍රේක්ෂකාගාරය ශුද්ධ කරයි- ගාඩියන් ලිපිය). පිළිවෙල කවදත් අගයන ජපන් ජාතිකයින් එතනදිත් ලෝකයට පෙන්වුවේ තමන් කවුද යන්නය. ඔවුන් අනේකත්වයට සම්බන්ද වන විශ්වීය ආකෘතිය අපුරුය. 'ශුන්‍යතාවයේ මනස' (mind of nothingness) ඔවුන් සම්බන්ද කරන්නේ ගැඹුරු සෙන් ඉගැන්වීමක් වන 'මේ මොහොත, මෙතැන' (here and now) යන සංකල්පයටය.  අප පැවතිය යුත්තේ අතීතයේ හෝ අනාගතයේ නොව අපගේ අවබෝදය නැත්නම් සිහිය (consciousness) පැවතිය යුත්තේ මේ මොහොතේය. ක්‍රියාත්මක විය යුත්තේ මේ මොහොතේය (pragmatism). සත්තකින්ම බුදුන් වදාළ ධර්මය එයයි. ඔවුන් කරන්නේ එය විශ්වීය ප්‍රයෝගිකත්වයක් බවට පත් කිරීමයි. අප කරන්නේ 'අපි මචං' මෙන් ගල්කණු වටා යෑමය. දුටුගැමුණු නැවත අවතාරයක් ලෙස හෝ ගෙන්වා ගැනීමටය. මුල් කෘති නැත්නම් ත්‍රිපිටකය කර ගසා ගෙන නොයන සෙන් බුද්ධාගම කරන්නේ මුල් කෘතියට භක්තිමත් වෙමින් එයින් ඛණ්ඩනය වීමය. සත්‍ය බුද්ධාගම හමු වන්නේ එවිටය (බුදුන් දේශනා කළේද එසේය. බැලිය යුත්තේ ඇඟිල්ල දෙස නොව සඳ දෙසය. ත්‍රිපිටකය යනු මාර්ගය පෙන්වන ඇඟිල්ල මිස සඳ නොවේය).  
      
තවත් වැදගත් දෙයක් අපි මතක තියාගන්න ඕනි ඉහත ගුරු කුලය ගැන කියන කොට. ඒ තමයි සියලු ශුන්‍යතාවය සහ අහමේ අහෝසි වීම කියන කරුණු කෙසේ වුණත් නිෂිදා වගේම අනෙත් අයත් ඔවුන්ගේ බටහිර ගුරුවරයා වගේම නාසි වාදයට සහ ජාතික වාදයට සහයෝගය දුන්නා කියන එක. ඒ කියන්නේ පෙරදිග දර්ශනයේ දියුණුම අවධියකට වුනත් නාසි වාදයෙන් ගැලවෙන්න බැරිවුණා. ඒ කියන්නේ ඒ භූමිය පවා ලේ ඉල්ලා සිටියා. ඇතැම් විචාරකයින් කියන්නේ කියෝතෝ ගුරු කුලය තරම් ජපන් ෆැසිස්ට්වාදයට ලංවූ වෙනත් කණ්ඩායමක් ජපානයේ නොතිබූ බවයි (no group helped defend the state more consistently and enthusiastically...none came closer to defining the philosophical contours of Japanese fascism). එක් අතකින් නිෂිදා සමස්තතා රාජ්‍යයකට විරුද්ධ වෙන ගමන්ම ජපන් අධිරාජ්‍ය යේ ඓතිහාසික අවශ්‍යතාවය සහ ලෝකය ශිෂ්ට කිරීමේ ජපන් වගකීම ගැන බොහෝ උද්‍යයෝගයෙන් කතා කරලා තියෙනවා. ඇත්තම ලෞකික ලෝකයක් හැදීමට ජපානය ලෝකය මුළුල්ලේ උත්සාහ කරන්න ඕනි කියන මතයේ ඔහු එක් අතකට ඉඳල තියෙනවා. එක වහලක් යට වූ ලොවක් (all the world under one roof) ගැන ඔහු අධිරාජ්‍ය වාදී සිහිනයක් දැක තිබෙනවා.  බුද්ධාගම සහ ශුන්‍යතාවය ගැන දියුණු මතයක් ලෝකයට ගෙනියපු නිෂිදා පවා ජපානය විසින් කලයුතු ආසියාවේ ආධිපත්‍ය ගැන සිහින දැක්කනම් ඉතින් වේඬරුවේ උපාලි ගැන කුමන කතාද? ඉතින් මමත්වය (ජාතිය) කියන එක කොහොමවත් නැති වෙලා නැහැ කොච්චර දියුණු වුනත්.  

ඉහත දීර්ඝව විස්තර කලේ බුද්ධාගම බටහිර ට ගමන් කරන ගැඹුරු මාර්ගය සහ නුතනත්වය හමුවේ කියෝතෝ ගුරු කුලය ඒ සඳහා සිදු කරලා තිබෙන මහන්සිය. නමුත් නුතනත්වය සමඟ එකතුවෙන්න අපි කරන්නේ මොකක්ද කියන එක තමා ප්‍රශ්නය. අපි කරන උපරිම දෙය නම් සිංදු වීඩියෝ හදන එක. එක්කෝ නටබුන් අස්සේ රිංගනවා (ඉහත ගීතය වගේ) නැත්නම් කුණුහරප වීඩියෝ හදල යු ටියුබ් දානවා (මල්ලි /Malli බලන්න). නලින් ද සිල්වා පවා උත්සාහ කරන්නේ බටහිරින් වෙන්වෙන්න මිසක් මේ දෙක සම්බන්ද කරන්න නෙවෙයි. අපි අපේ දෙය සොයාගන්න ගමන්ම අපි එය ලෝකයට සම්බන්ද කරන්න ඕනි. ඉහත 'මල්ලි' කියන ගීතය තුල කරන්නේ බටහිර sex සඥා ලංකාවේ ස්ත්‍රී ශරීර කිහිපයක් හරහා මාකට් කරන එක විතරයි. ජපන්නු නුතනත්වය වෙතට තම ඥානය දෙන විට මොකක්ද අපේ කියල අපි ලෝකයට දෙන දෙය? කාගේ හෝ මුඩුක්කුවක පළල් දොරෙන් ඇතුල් වෙන එකද? නැත්නම් දියුණු දාර්ශනික මානයක් අත්කර ගත්ත බුද්ධාගම පවා ආපතික ලෙස ගමන් කල මාර්ගය ගැන නැවත සිතන එකද? එහෙම නැතුව අපට අනාගතයක් ගැන සිතන්න පුලුවන්ද මේ වඳුරු වීඩියෝ කරලා?    
  
ඉහත පසුබිම මතක තියාගෙන අපි දැන් පොඩ්ඩක් 'මල් සුගන්දේ' ගීතයට නැවත යමු. එතකොට පෙනෙනවා සුදු ඇඳුම ඇන්දට සුදු ඇඳුමට යටින් තියෙන අවුල. 'දම් සුගන්දේ මල් සුගන්දේ ' නම් ඉහත ගීතය ගායනා කරන්නේ බෙග් මාස්ටර් (සුජාතා අත්තනායක සමඟ). එයා උපතින් මුස්ලිම් මනුස්සයෙක්. බෞද්ධ ගීත කිව්වා කියල එයාගේ සමාජය එතරම් එයාව ගණන් ගත්තේ නැහැ. ඉතින් තමන්ගේ මුස්ලිම් සමාජයේ වටිනාකම් වලින් (ඒ කියන්නේ එයාගේ සමාජයේ සංකේත පිලිවෙලින්) එළියට ඇවිල්ල තමයි බෙග් මාස්ටර් අපේ සමාජයට ලස්සන බෞද්ධ ගීත ටිකක් තිළිණ කරේ. භෞතිකව ගත්තම ඒක අමරදේව කළ දෙයට වඩා රැඩිකල් දෙයක් හැටියට තමා හිතන්න වෙන්නේ. ඉතින් රාජ්‍ය සම්මාන ගොඩක් අමරදේව මාස්ටර්ට ලැබෙන කොට බෙග් මාස්ටර්ට මුකුත් ලැබෙන්නේ නැහැ. හුගක් අය හිනාවෙනවා බෙග් මාස්ටර් සිංහල වචන උච්චාරණය කරන විදියට. නමුත් අපි එහෙම කරන්නේ නැහැ අමරදේව මාස්ටර් ට. ඒ කියන්නේ බෙග් කියන හැඟවුම සහ අමරදේව කියන හැඟවුම අතර 'කථනයේ සහ භාෂාවේ පරතරය' බලපානවා සංකේත පිළිවෙල කියන එකට. අනික්‌ හැම සමාජයකම වගේ සිංහල සමාජයෙනුත් එළියට දමනවද ඇතුලට ගන්නවද කියන එක තීරණය කරන්නේ එතකොට භාෂාව විසින්. මේ සටහන සමඟ තියෙන 'අපි මචං' කියන ගායක කණ්ඩායමේ අයගේ උච්චාරණය 'නියම සිංහල' නිසා වෙන්න ඇති ඒක හුඟක් අය බලනවා ඇත්තේ. බෙග් මාස්ටර්ගේ 'හඬ' වෙනුවට ඔවුන් පාවිච්චි කරන්නේ ළමා කට හඬක්. සමහර විට සිංහලේ අනාගත පරම්පරාව නියෝජනය කරන්න හිතාගෙන වෙන්න ඇති ඔවුන් එහෙම කරන්න ඇත්තේ. නමුත් මම හිතන්නේ මේ වනවිට ලංකාවේ සුපර් ස්ටාර් වැඩසටහන් එක්ක ළමා හඬවල් අර්චන වෙලා තියෙනවා කියල. 

ඉතින් ගායකයෙක් හැටියට බෙග් මාස්ටර් බිහිවෙන්නේ තමාගේ පැත්තෙන් විශාල පිරිවැයක් දරල. සංස්කෘතික කැපකිරීමක් කරලා. ඒක ටිකක් නුතන වැඩක්. නමුත් 'අපි මචං' ල කරන්නේ පොඩ්ඩක් එහෙන් මෙහෙන් වැඩක් දාල (තව පොඩි එකෙකුත් දාල) කරන ජනප්‍රිය වැඩක්. ඉතින් ඇත්ත කතෘ මැකිලා යනවා විතරක් නෙවෙයි නව කතෘ කෙනෙක් බිහිවෙනවා. 'මචං' ල කිසිම පිරිවැයක් නැතුව යූ ටියුබ් එකේ වැඩ කිඩ දාල පෙන්වනවා. ඒක මේ දවස්වල පුළුල්ව තිරගත වෙන ජාතිකවාදී චිත්‍රපටයට හොඳ තේමා ගීතයක් වෙනවා. දේශපාලනයේත් වෙන්නේ මේ වගේ දේවල් තමයි.  

හරියට ඉංග්‍රීසි දන්නේ නැති අය උසස් සමාජයෙන් එලියට දමන යාන්ත්‍රනය වගේමයි ඉහත බල ව්‍යුහය විසින් බෙග් මාස්ටර් කියන කතෘ මකල දාන්නේ. දැන් රජයේ මාධ්‍ය පාලනය කරන අයත් තමන්ගේ මුල අමතක කරලා මෙම කතෘ මකල දාන වැඩේම තමා කරන්න හදන්නේ. ඒ අය විසින් කරන්න හදන්නේ විමුක්ති දේශපාලනය විසින් ගොඩනැගුව තමන්ගේ ම පසුබිම අමතක කරලා වෙනත් අනන්‍යතාවයක් බුර්ෂුවා දේශපාලනයට විකුණලා දාන එක. සත්‍ය වෙනුවට මිත්‍යාවක් වෙළඳ පොලට ගේන්න. ඉතින් අනාගත හිටලර් මාදිලියකට එරෙහිව මතවාදී සටනක් ගෙනියන්නේ කොහොමද මේ වගේ අනාගතය පුරෝකථනය කරන්න බැරි රජයේ මාධ්‍ය අධ්‍යක්ෂක වගේ වාහෙලා දාගෙන. ජාතිකත්වය කියන්නේ එකක්, හිට්ලර් රෝග ලක්ෂණය කියන්නේ තව එකක්. ජාතිකත්වය කියන්නේ එක කණ්ඩායමකට ලියල දුන්න සින්නකර ඔප්පුවක් නෙවෙයි. ඒ වගේම ලාංකික පොළොව තුලින් (Ground) හැමවිට ම බුද්ධාගම රාක්ෂ වෙස් ගන්නවා නම් (සියලු කැරළි මර්ධනය කිරීම බුද්ධාගම ඉවසුවේ උපේක්ෂාව යටතේ නම් වගේම අනාගත හිට්ලර් කෙනෙකුටත් එම බුද්ධාගම අත වනන්නේ නම්...) එහි සදාචාරය ප්‍රශ්න කරන්නත් අපිට සිංහල බෞද්ධයෝ හැටියට අයිතියක් තියෙනවා. මොකක්ද මේ බුද්ධාගමේ තියෙන අඳුරු, ආලෝකය ගමන් නොකරන, කලාපය (night of the world)? වල පල්ලට ගිය තරුණ අරගල තුනකින් පස්සෙත් තවත් මොනවද මේ බුද්ධාගමට වුවමනා වෙලා තියෙන්නේ? හිටලර් කෙනෙක් යෝජනා කරන්න තරම් සියම් නිකායට අවශ්‍ය වෙන සද්භාවී අවර ගැස්ම (ontological backlash) මොකක්ද? ඒ අවරගැස්ම තුලද සියම් නිකායට මල් සුවඳත් (සිල් සුවඳත්) එක්ක ලේ සුවඳ අවශ්‍ය වෙලා තියෙන්නේ?  (අවරගැස්ම කියන්නේ 'පසු බැසීම' කියන අර්ථයයි = recoil. 'උපේක්ෂාව' සහ 'අවිහිංසාව' පදනම් කරගත්ත 'සිංහල බෞද්ධ' නම් අමු අමුවේ දේශපාලනික වෙච්ච ථේරවාද බෞද්ධ ප්‍රවර්ගයට වැම්පයර් ලේ වුවමනා වීම නම් පසුගාමී පරස්පරය). මොකක්ද මේ බෞද්ධයින් තිගස්සන සුළු විපරීතභාවය? මේකද අපි 'බෞද්ධ කම' යනුවෙන් ලෝකය ට තිලිණ කරන්නේ? 

අපට බුදුන් වහන්සේ සංකේතීය පෞරුෂයක් වන්නේ ඇයි? එතුමා ගිහි සැප අත්හැර, දුෂ්කර ක්‍රියා කර (වේදනාව), දුකට හේතුව (බටහිර හේතුව නොවිය හැකිය) සහ සංසාරේ අපි සැරිසැරීමට හේතුව අපිට හොයල දීපු නිසා තමයි අපි නොපැකිලව එතුමන් ඉදිරියේ වැඳ වැටෙන්නේ.  ප්‍රචණ්ඩ බවට එරෙහිව ධර්මය දේශනා කල නිසා තමයි එතුමා අපිට 'අපිට වඩා වැඩි' ලොකු කෙනෙක් වන්නේ (more than ourselves). අපි පෘතග්ජන වනවිට (නලින්, අමරසේකර, මහින්ද වගේම) බුදුන් වහන්සේ ලෝකෝත්තර වන්නේ එතුමා තුළ තිබුණ සදාචාර අන්තර්ගතය නිසා. සාමාන්‍යයෙන් අපි වගේම අනිත් මිනිස්සු එක්ක රණ්ඩු වල පැටලුණා නම්, බැන වැදුනා නම්, ගහ ගත්තා නම්, එතුමාත් පෘතග්ජන වෙනවා කියල එතුමා දැනගෙන හිටිය. ඉතින් ප්‍රචණ්ඩ පාලකයෝ එතුමා අතින් වර්ණනා වුනේ නැහැ. මොකද එවැනි දෙයක් තමන්ගේ ආගමේ මුලධර්ම එක්ක පටහැණි වෙනවා සහ එම පරස්පරය නිසා උපදින්නේ යථාවක් හෙවත් ෆැන්ටස්මතික යක් කියන්න ඕනිම කෙනෙකුට තේරෙනවා. සදාචාර සහ අධ්‍යාත්මික අර්ථයෙන් දුටුගැමුණු සහ අශෝක යන රජවරුන් ගැන අපිට ඇතැම් තැන්වල දෙගිඩියාවක් (ethical doubts) තියෙන්නේ මෙම තත්වය නිසා වගේම විශ්වීය බව නලින් ද සිල්වා ප්‍රතික්ෂේප කරන්නේ මේ නිසා. මොකද මොන තත්වයක් යටතේ වුනත් බුද්ධාගම විශ්වීය ආගමක්. අනිත්‍ය කියන්නේ විශ්වීය සංකල්පයක්. දුක නැති කිරීම සහ සංසාර ගමන නතර කීරීම තමයි හැමෝගෙම මුලික පිළිගැනීම (overcoming suffering and the cycle of death and rebirth). සෙන්, මහායාන, ථෙරවාද, හීනයාන, වජ්‍රයාන යන සියලු බෞද්ධ ප්‍රවර්ග බැඳ තබන හුය එම විශ්වීය හැඟවුමයි.                
සමකාලින වෙඩින් ෂූට් සිහිගන්වන මෙම ගීතයේ රූප රාමු වල පෙන්වන දෙයක් තමයි 'අපි මචං' කියන කට්ටිය පොළොන්නරුවේ නටබුන් අතරින් යමින් වන්දනා මාන කරන එක. බෙග් මාස්ටර් බෞද්ධ කමට කටහඬ දුන්නට වඩා අර්චන යමක් මචං කට්ටිය කරනවා. ඒ තමයි නව දේශීය සඥා ටිකක් ගීතය තුලට ගේන එක. ඉතින් ඒක නව විනෝද අවකාශයක් ජනිත කරනවා. මෙතනදී රෝලන්ඩ් බාත් කියන විශ්ලේෂකයා ටික කාලෙකට කලින් ඔහුගේ Empire of Signs (1982) කියන පොතේ වැදගත් දෙයක් කියනවා. ජපානයේ අධිරාජ්‍ය ගොඩනැගිල්ල දෙස බලල බාත් මෙහෙම කියනවා, 'පෙරදිග සාරය යන්න මට පෙනෙන්නේ නොවෙනස් වන උපේක්ෂා මය දෙයක් හැටියට. එය අපරදිග ඇසකට පෙනෙන්නේ විනෝදවීම පිණිස භාවිත කල හැකි සංකේත පද්ධතියක් හැටියට. එසේ වන විනෝදය තුල යමෙකුට අපගේ බටහිර සංකේත පද්ධතියෙන් සම්පුර්ණයෙන් ඛණ්ඩනය විය හැකියි' (පිටුව 3-4). ඒ කියන්නේ බටහිර කෙනෙක් පෙරදිගට ඇවිල්ලා භාවනා කරන්න වගේ ගත්තොත් ආයේ ආපසු යාමක් නම් වෙන්නේ නැහැ කියන එක තමා බාත් කියන්නේ.  ඉතින් අර කතරගමට පයින් යන ටීම් එකට වැටුන බටහිර කෙනෙක් දිගටම එම 'තර්කයට අසු නොවන' වතාවතේ (ritual) නිරත වෙනවා මිසක් ආයේ ආපසු යාමක් නම් නැහැ. 

ඉතින් බාත් ගේ මතය තමයි පෙරදිග විසින් වෙනස්ම සඥා පද්ධතියක් (sign system), පාර භෞතිකයක් (metaphysics) හෝ ඥාණයක් (wisdom) නිෂ්පාදනය කරනවාට වඩා සිදුවන්නේ වෙනස් නිශ්ශබ්ද භාවයක් (a different mutation) නිෂ්පාදනය කරනවා කියන එක. ඒ නිශ්ශබ්ද බවට අපි කියන්නේ ධ්‍යාන වඩනවා කියලා. අවසාන කාලයේ සිදුවෙච්ච දේවල් හරහා ඉහත ජපන් ගුරු කුලය පවා පෙන්වා දෙන්නේ මෙම ගුප්ත පසුබැසීම තුළ වෙනස් ස්වරූපරාගයක් නිෂ්පාදනය වීම (narcissism) තමයි. වෙන කෙනෙකුගෙන් (අනෙකා ගෙන්) වැඩක් නැතුව තමන් තමන්ට ම කරන ආශාවක් තමයි මෙම ස්වරූප රාගය විසින් ගෙන එන්නේ. අන්තිමට ඒක නොදැනීම ගැට ගැහෙන්නේ ජාතිවාදය එක්ක. 'අපේ කම' 'අපේ කම' කියල මේ නව පරම්පරාව මතුරන්නේ  පශ්චාත් නුතන ජාතිවාදයක්ස්වරූපරාගයක්ඒ කියන්නේ ද්‍රව්‍යමය ලෝකය සහ ඒ තුල ජිවත් වන අනෙකා සමග සම්බන්ද වෙන්න (objective world and otherness) බැරිවීම නිසා ඇතිවන භාෂාවේ හිස්බව තමයි ඔවුන් මේ කියන්න හදන්නේ. සම්බන්ද වෙන්න පුළුවන් එකම දෙය තමයි ඉතිහාසය. මොකද ඒක නිශ්ශබ්දයි නේ. කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ පැරණි දෙය දිහා බල බලා හුල්ල හුල්ල ඉන්නවට වඩා මේ දෙක සද්භාවී ලෙස සම්බන්ද කරන්න. කවුරුවත් හිතන්නේ නැහැ මාක්ස් ගේ ප්‍රාග්ධන සමුච්චනය වගේ දෙයක් ධාතුසේන රජතුමා තමාගේ ධනය ලෙස කලාවැව පෙන්නන එක අතර තියෙන සද්භාවී වෙනස අද දවසේ සංකේතනය තුලට ගෙනෙන්නේ කොහොමද කියන එක.  

ඕනි නම් කෙනෙකුට කියන්න පුළුවන් මාක්ස් නුතන ලෝකයේ ප්‍රාග්ධනය ගැන කියපු දේවල් පුර්ව නුතන යුගයේ ධාතුසේන රජතුමාට අදාල වෙන්නේ කොහොමද කියල. නමුත් අපි තාමත් හිතන්නේ ඒ කාලේ සද්භාවය ඇතුලේ නම්, අපිට සිතීම ගැන නුතන ඛණ්ඩනයක් කියල දෙයක් නැත්නම්, අපිට තාමත් ධාතුසේන රජතුමා අදාලයි. එච්චරයි. නිෂිදා ගේ ගෝලයා වන නිශිතානි තමාගේ දර්ශනය අහවර කරන්නේ පැරණි ජපන් අතීතයට ආපසු යමු කියන යෝජනාවෙන්. තවත් කියන්න දෙයක් නැහැනේ...

Wednesday, June 13, 2018

මේ සිංහල අපගේ රටයි...



මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් ඉතාම දුක හිතෙන කතාවක් යම් තැනක සටහන් කරලා තියෙනවා දැක්ක. මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ එම කතාව පාදක කරගෙන. මහාචාර්යවරයා මතු කරන එම කරුණ නම් නන්දා මාලනිය විසින් 'මේ සිංහල අපගේ රටයි' නම් අපුර්ව දේශාභිමානී ගීතය ගායනා කිරීම නවත්වා ඇති බව සහ ඒ සඳහා මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ විචාරය බලපා ඇති බව . මම හිතන හැටියට බහු වාර්ගික යනුවෙන් අර්ථකතන කරන 'ඉවසන සුළු බහු සංස්කෘතික' (tolerant multiculturalism) රටක 'සිංහල ජාතිය' යන්න අධිනිශ්චය වීම ගැටළුවක් හැටියට උපකල්පනය කිරීම නිසා වෙන්න ඇති එහෙම නන්දා මාලනිය විසින්ම එම ගීතය ස්වයං-වාරණයට ලක් කරගෙන තියෙන්නේ (මුලින්ම මගේ හිතට ආපු ප්‍රශ්නය නම් ඒ කාලේ අපි ආශාවෙන් අහපු ගීතයක් අද අපට වරදකාරීත්වයක් කළේ කවුද කියන එක). සාමාන්‍යයෙන් ද්‍රවිඩ මිනිසාගේ තුවාල වූ අහංභාවය (hurt ego) 'සිංහල ජාතිය' යන්න නැවත නැවත කීම නිසා තව තවත් තුවාල වෙන නිසාත් එහෙම කළා වෙන්න පුළුවන්. ඒ වරදකාරී බව නිසා වෙන්න ඇති ධර්මසිරි බණ්ඩාරනායක වුනත් ස්වයං -හෙළා දැකීමකට ගිහින් තියෙන්නේ සිංහල බෞද්ධ අපි අශිෂ්ට මිනිස්සු කියන දුරට ගිහින්. බෞද්ධ මිනිස්සු හැටියට අපිට එහෙම යම් කෙනෙක් අශිෂ්ට කියල කිව්වට කලබල වෙන්න උවමනා නැහැ. බුදුන් වහන්සේට කවුරුන් හෝ බැන්න කියල ආපස්සට බනින්න ගියේ නැහැනේ. ඉවසීම කියන එක තමයි බෞද්ධ ගුණය (නමුත් ආලවය ට දුන්නේ අවස්තා දෙකයි. ඊට පස්සේ බුදුන් වහන්සේ හෙල්ලුනේ නැහැ). ධර්මසිරි වගේ කෙනෙක් ගේ ආත්මය සුවපත් වෙන්නේ බෞද්ධ කමට බැනවැදීම තුළ නම් මම කියන්නේ මෙහෙම දෙයක්, 'මා මත පය තබා ඔබ නිදහස් වෙන්න' කියන එක. ඔබගේ නිදහස තියෙන්නේ මාව හෙලා දැකීම තුළ නම් එසේ කර ඔබ නිදහස් වෙන්න කියන එක තමයි එහි සරල අර්ථය (ඒ කියන්නේ අනෙකාගේ වේදනාව බාර ගැනීම කියන ක්‍රිස්තියානි අභිනය). මම ඒක ඉගෙන ගත්තේ Silence (2016) කියන ක්‍රිස්තියානි චිත්‍රපටයෙන්. යාපනේ පුස්තකාලේ ගිණි තිබ්බේ (ඒ සඳහා මතවාදී සහයෝගය දුන්නේ) ඔය පිටරට ගිහින් ඉගෙන ගෙන ආපු සුද්දෝ වගේම ඉංග්‍රීසි කතා කරපු කොළඹින් ගිය එවුන් ටිකක් මිසක් 'සිංහලුන්' නෙවෙයි. ඒක අපේ ඉතිහාසය ඇතුලේ වෙච්ච වැරදි ම වැඩක්. ලොකු වරදකාරීත්වයක් එන එක වලක්වන්න බැහැ තමයි සිංහල බෞද්ධ අය හැටියට (ඒ නිසයි තමාගේ ම අනන්‍යතාවය ධර්මසිරි හෙළා දකින්නේ. 'මෙහෙම පහත් වැඩ කරන ජාතියක මම කොටස් කරුවෙක් නෙවෙයි' කියන එක වෙන්න ඇති ඔහු අදහස් කරන්න ඇත්තේ). එහෙම කරන්න පුර්ණ අයිතියක් එයාට තියෙනවා. මම දන්න ජර්මන් ජාතිකයෝ ඉන්නවා තමන් ජර්මන් කියල හදුන්වා ගන්න අකමැති ඔවුන්ගේ ඉතිහාසේ වරදකාරීත්ව බර වැඩි කම හින්ද. 

කොහොම වුනත් සිංහලකම හෝ බෞද්ධකම හෙළා දැකීම මෝස්තරයක් වෙනවට මම විරුද්ධයි. අපි අපේ කම ගැන හීනමානයක් ඇතිකර ගන්න ඕනි නැහැ. මම හිතන හැටියට සිංහල බෞද්ධ කම හෙලා දැක්ක (එහෙම කරා නම්) එකම කෙනත් ධර්මසිරි නෙවෙයි. එහෙම හෙලා දකින අයගේ පාරේ හුගක් අය යනවා සහ යන්න හිතාගෙන ඉන්නවා පිටරට ඇහැට ඕනි විදියට. දුප්පත්කම නැත්නම් අපිළිවෙල ඉස්මතු කරලා (ෆැන්ටස්මතිකය) බටහිර ඉස්සරහ අපිව 'අශිෂ්ටයෝ' (පුක කහන ගැමියෝ) හැටියට පීචන් කරන එක අපේ චිත්‍රපටි කරන අයගේ පුරුද්දක්. හැබැයි පොරවල් වුන නිකමුන් ගැන - Nobodies to Somebodies යනුවෙන් කුමාරි ජයවර්ධන හඳුනා ගන්නා පශ්චාත් යටත් විජිත අය ගැන - කවුරුත් චිත්‍රපටි හදන්නේ නැහැ. (අභියෝගයක් හැටියට අවම වශයෙන් බණ්ඩාරනායක ගැන ගෝලීය චිත්‍රපටයක් හදන්න ඔහුට පෙරදිග අරගලයේ හරිගිය සහ වැරදුන තැන් ඉස්මතු කරලා. අපේ  ලංකාව පැත්තෙන් පොදු ජන අරගලයක් ආව එකම තැනත් එතන. 71 අරගලය ට පෙරවදන එන්නේ එතැනින්. උවමනා නම් බටහිර අධ්‍යක්ෂක වරුන්ගෙන් උපදෙස් ගන්න කොහොමද 'දැක්මේ ලක්ෂ්‍ය' (gaze point) තියෙන්න ඕනි කියල). කොහොම වුනත් අපිව හෙළා දැක්ක හෝ පීචන් කළා කියල කිසිම විදියකින් කලබල වෙන්න හෝ පෙරළා හෙලා දකින්න හෝ ෆත්වා නියෝග දෙන්න වගේ පහත් තැනකට අපි වැටෙන්න ඕනි නැහැ (බුද්ධාගම ප්‍රශ්න කරනකොට නලින් නම් ගොඩක් කලබල වෙනවා මම දැකල තියෙනවා. හැබැයි හෙලා දකින අය එහෙම කරන්නේ බටහිර කුමන්ත්‍රණ වලට අහුවෙලා කියල හිතනවට වඩා අපි දකින්න ඕනි දෙය තමා සිංහල කම නිසා ඔවුන් ජිවිතයේ යම් දවසක රිදවාගෙන තියෙනවා කියන එක. හෙලා දැකීම එන්නෙ ම ඒ ආත්මීය වේදනාවෙන් නම් අපි ඔවුන්ගේ වේදනාව බාර ගන්න තරම් ශක්තිමත් වෙන්න ඕනි යේසුස් වහන්සේ කීවා වගේ. එතකොට ඒ වේදනාවෙන් ඉන්න අයත් අපි ලඟට එයි). ගහන කෙනා තමයි අධ්‍යාත්මිකව දුර්වල කෙනා (ගුටිකන කෙනා නෙවෙයි) කියල අපිට පෙන්වල දුන්නේ සුද්දන්ගේ ගුටිය කාගෙන නැවත නැවත දුවිලි පොළොවෙන් නැගිට්ට ගාන්ධි! කොච්චර බුද්ධාගම ගැන කතා කලත් මම නලින් තුලින් එවැනි අධ්‍යත්මික හයියක් හෝ ඉවසීමක් දැකල නැහැ. මට මතකයි මම X කණ්ඩායමේ මතවාද සමඟ ජිවත් වෙච්ච මුල් කාලේ, ඒ කියන්නේ දෙදාහේ මැද විතර, මමත් හිටියේ සුචරිතගේ මතවාදයට ටිකක් සමාන තැනක ('බැටේ දෙන එක' නැත්නම් 'ගහන එක' කලාවක් කරගත්ත ගම්ලත් කොතරම් ප්‍රාමාණික බුද්ධිමතෙක් වුනත් එයා කවදාවත් මගේ පරමාදර්ශී චරිතයක් නෙවෙයි). මට මතකයි මමත් වාද කළා මේ ගීය ජාතිවාදියි කියන තැනක ඉඳල. නමුත් අද මගේ අදහස දෙදාහේ මතයට වඩා වෙනස් කියල මට හිතෙනවා. ඒක නිසයි මම මේ සටහන ලියන්න හිතුවේ. 

හොඳට අහල බලපුවම පෙනෙන දෙයක් තමයි ජාතිවාදයට උල්පන්දම් දෙන කිසිවක් එම ගියේ නැහැ කියන එක. නමුත් එම ගීය ජාතිවාදීන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇති වෙනත් පටු පරමාර්ථ වෙනුවෙන්. නමුත් ඒක ගීතයේ ප්‍රශ්නයක් නෙවෙයි. භාවිතා කරන අයගේ දක්ෂ (කපටි) කමක්. එකම දෙය නම් විශ්වීයවාදීන්ට (universalists) එම ගීතය ධනාත්මකව පාවිච්චි කරන්න බැරිවීම. එහෙම වුණා නම් අපිට වැදගත් දේශීය අන්තර්ගතයක් සාර්වත්‍රික කරගන්න තිබුණා. ගීතය පටන් ගන්නේ අපුර්ව අදහසකින්. පද රචකයා වන මහගම සේකර මෙහෙම කියනවා; 'මේ සිංහල අපගේ රටයි. අප ඉපදෙන මැරෙන රටයි'.  ඔහු පටන් ගන්නෙම අතිශය ශුන්‍ය තැනකින්. ඒ කියන්නේ ගැඹුරු සිංහල බෞද්ධ අනන්‍යතාවයක් වන අනිත්‍යයෙන්. ලාංකික භුමිය බෞද්ධයා ට හමුවූ ඉපදීම සහ මියයාම අතර පාර-භූමියක් (trans-territory) පමණයි කියන එක තමයි ගීතයේ ආරම්භක ප්‍රවේශය. මේ භුමිය ඇතුලේ තාවකාලිකව 'අප හද පන ගැහුන ද' අපට සදාකාලික උරුමයක් නොවන එම භුමිය යනු ලොව උතුම්ම භූමියක් යන්න (මුළු ලොව මේ රටට යටයි) සේකර අතිශය භාවාත්මකව අප වෙතට චිත්‍රණය කරනවා. එම භුමිය ඒ අනුව උතුම් වන්නේ එහි පාර ස්වභාවය නිසයි. ස්ථිර නොවන බව නිසයි. එය ස්ථිර දෙයක් (static) බවට පත් කිරීම යනු එහි අනියත, පාර, අස්ථිර (අනිත්‍ය) ස්වභාවය විනාශ කිරීමක්. ඉතින් අපි බෞද්ධ ස්ථිර භූමියක් සෙවීම අර්ථ ශුන්‍ය වැඩක්. අනිත් එක තමයි අපි බටහිර භූමි සංකල්පයෙන් (බෙදා වෙන් කිරීම, ජාතික රාජ්‍ය, තරඟකාරි බව) වෙනස්ව හිතන ජාතියක්. කන්න බොන්න පවතින්න ඕනි උනත් බෞද්ධයකුට භූමියෙන් ඇති මහා ලොකු වැඩක් නැහැ. ඔහුට හෝ ඇයට ඕනෑම භුමියක් ඔට්ටුයි අනිත්‍යයේ දුරින්. ඒකයි අපේ විශ්වීය බවේ පදනම. 

වෙනත් විදියකට කිව්වොත් සේකර කරන්නේ 'සිංහල උතුම් ම භුමිය' (ඉන්දියානු බව, ජර්මන් බව, ඔස්ට්‍රේලියානු බව වගේ) යන ස්වාමි හැඟවුම (S1) ඉපදීම, මරණය සහ අනිත්‍ය බව නම් කොගිටෝව (සිතන මනස) හරහා කප්පාදු කරන එක (S). එවිට ඉහත පද පේළිය ලියන්න වෙන්නේ මෙහෙම. 'මේ සිංහල අපගෙ රටයි. අප ඉපදෙන මැරෙන රටයි' හැටියට (කියවන්න Zizek and Politics (2010)  කෘතියේ 76 පිටුව). 'අපගේ සිංහල රට' යන්න විසින් තවත් බොහෝ දේ (අනෙත් හැඟවුම්) තීරණය කරනවා මෙම ගීතය තුල. 'සාරවිට' (1965) චිත්‍රපටයේ රූප රාමු වලට අනුව ඒවා නම් සමනල කන්ද, ශ්‍රී මහා බෝධිය, සමාධි පිළිමය, දිය ඇලි,  පොළොව තෙමන වැව්, මුහුදු අවට බැඳි පවුරු, රණ විරුවන්, මිනි කැට යනාදී උත්කෘෂ්ට වස්තුන් ගේ (object a) පැවැත්ම තීරණය වෙන්නේ ඉහත සිංහල භුමිය නම් හැඟවුම විසින් (object a = ශිෂ්ටාචාර වෙනස. හරියට ස්ත්‍රියකගේ මුහුණේ ලපය වගේ). නමුත් මෙතැනදී එන ගැටලුව තමයි 'සිංහල භුමිය' ස්වාමි හැඟවුම (S1) ලෙස ගත්තොත් සහ අනෙක් හැඟවුම් උත්කෘෂ්ට වස්තූන් ලෙස (object a) ගත්තොත් 'නිවන' නැත්නම් 'අනිත්‍ය' වගේ ඒ දෙවර්ගයට ම ඔබ්බෙන් තිබෙන සංකල්පයක් අපට මනෝ විශ්ලේෂණය ඇතුලේ (සංකේත ඇතුලේ) සන්දර්භගත කරන්න බැරිවීම.  ජිජැක් කියන දෙය තමයි මෙම ස්වාමි හැඟවුම් (Master signifiers) සහ අනෙත් හැඟවුම් (other signifiers) දේශපාලන ප්‍රවාහ මඟින් වෙනස් කරන්න පුළුවන් යන්න සහ එසේ කල යුතුයි යන්න (ඉහත කෘතියේ 74 පිටුව).  නමුත් සිතන කාටේසියානු කොගිටෝ තත්වයක් වන නිවන හෝ අනිත්‍ය (මෙය න්‍යායිකව වැරදි කියමනක්. මොකද අනිත්‍ය යනු සැකයක් නොවෙන නිසාඅනෙක් අතට නිවන කියන තැනදී සිත පවතින්නේ නැහැ. නමුත් සංකල්ප තේරුම් ගැනීම පිණිස පමණක් ඉහත සද්භාවී සිතියම භාවිතා කරන්න) වෙනුවෙන් අපිට ලැකානියානු රූප සටහනක් දෙන්න බැහැ වගේම ඒවා වෙනස් කරන්න දේශපාලන වැඩ පිළිවෙලක් යෝජනා කරන්නත් බැහැ. උදාහරණ වශයෙන් 'ප්‍රජාතන්ත්‍රවාදය' (හෝ සමාජවාදය)  යන්න අභියෝග කල හැකි දෙයක් (ස්වාමි හැඟවුමක්) උනාට සිතීම අවසන් වන හෙවත් කොගිටෝවේ අවසානය සනිටුහන් වෙන නිවන වගේ සංකල්පයක් අපිට දේශපාලනය තුල ස්ථානගත කරන්න බැහැ. බටහිර දර්ශනය ඇතුලේ සිතීම අවසන් වීමක් වගේ දෙයක් නැහැ. එතැනදී හේගල් ගේ විශ්වයේ රාත්‍රිය වගේ සංකල්පයක් වුනත් අසමත් වෙනවා. වේදනාව විසින් මිනිස් සවිඥානික බව ඇති කරන්නේ නම් (යේසුස් විසින් කුරුසියේ දී ඇතිකර ගන්නා තමා දෙස කිසිවෙක් බලා නොසිටි යන අවබෝධය) මුලින්ම අවබෝධය ලබන කෙනා වහලා. නමුත් නිවන යන්න හේගලියානු විෂය මුලික බව එක්ක ගැලපෙන්නේ නැහැ. එය ඩේකාට්ස් එක්ක තියන්නත් බැහැ. අනේකත්වය නිවන එක්ක සම්බන්ද කරන්නත් බැරි නිසා එතැනදී මනෝ විශ්ලේෂණය වුනත් අසමත් වෙනවා. කොහොමත් බටහිර තිබුණ 'සියල්ල අහිමි' වහල් භාවයක් මෙහේ තිබුණේ නැහැ (රජ්ජුරුවෝ වගේම අනිත් හැමෝමත් පන්සල් ගියා. පන්සලේ නායකයා වුණේ හාමුදුරුවෝ. එයා හිටියේ උස් ආසනයක රජ්ජුරුවෝ හිටියේ ඊට පාතින්). ඔන්න අපේ භුමියේ වෙනස. කොච්චර ලස්සන ස්ත්‍රියක් වුනත් එයාගේ ලස්සන ලපයත් එක්කම ක්‍රමයෙන් දිරාපත් වෙලා මැරිලා යනවා කියන එක තමා අපේ අවිඥානික දැනුම (කවබතා කියන්නෙත් මිට සමාන දෙයක්). ඒ වෙනස ඉහත බටහිර සංකල්ප ඔස්සේ නිර්වචනය කරන්න බැහැ (ඒ නිසා ජපන්නු බටහිර විද්‍යාව 'උපකරණයක්' කර ගත්තට බටහිර දර්ශනය පස්සේ දුවන්නේ නැහැ). 
               
ෂෙලින් ට අනුව ගත්තොත් බටහිර මිනිසාට භුමිය යථාවක් උනාට අපිට ඒක එහෙම දෙයක් නෙවෙයි. බටහිර විසින් භුමිය තේරුම් ගන්නේ විනිවිදිය නොහැකි නිෂ්ක්‍රිය යථාවක් (impenetrable inert Real) විදියට. නමුත් අපිට භුමිය කියන්නේ තාවකාලික නවාතැනක් විතරයි (යථාවක් වෙනුවට එය අපිට කන්න තුනක් හොඳට ගොවිතැන් කරන්න පුළුවන් සාරභුමියක්. ඒ නිසාම එය වන්දනීය දෙයක් - 'වන්දනීය වූ පුජනීය වූ මාතෘ භුමි ලංකා'). ආත්මයේ නිදහස කියන කාරනාවෙදි බටහිරට තියෙන්නේ භුමිය සමඟ ආතතිමය සම්භන්දයක්  (gap and tension between consciousness and ground). පුද්ගල සවිඥානිකත්වය කියන තැනදී  එවිට එය ඔවුන්ට දේශපාලනිකයි (ඒ නිසා භුමිය ආක්‍රමණය කරනවා. ගැහැණු දුෂණය කරනවා. මුල්ලි වයික්කාල් කියන්නේ සිංහල බෞද්ධ බවේ දේශපාලන අපගමනය). නමුත් අපිට භුමිය සමඟ තියෙන්නේ අනියත සම්භන්දයක්. එවිට අපිට එය සාන්දෘස්ටිකයි (existential). නැතනම් ලෝකොත්තරයි (ඒ කියන්නේ ආගමිකයි). මේක ෆ්‍රෙඩ්රික් ජේම්සන් වගේ කෙනෙක් තේරුම් ගත්තේ නැති නිසා ආසියාතික සාංදෘස්ටික බව ඔහුට වැටහුණේ නැහැ. අඩු තරමින් ජෙම්සන්ට ගාන්ධි මග හැරෙනවා නැත්නම් හිතාමතාම මඟ හරිනවා. බටහිර ට භුමිය ප්‍රසාරණික (expansion) දෙයක් උනාට (තේරුම් ගන්න බැරි නිසාම) අපිට භුමිය ප්‍රසාරණය කරගන්න ඕනි උනේ නැහැ (ඒ නිසාම අපිට බටහිර වගේ ගැහැණුන්ට sex කරන්න ඕනි උනෙත් නැහැ). අපේ රජවරු මුහුද දෙබෑ කරගෙන පිටට ගියත් ඔවුන් 'අනුන්ගේ' භුමිය අල්ලාගෙන හිටියේ නැහැ. විශාල කරගන්න හැදුවෙත් නැහැ. බටහිර ඇලෙක්සැන්ඩර් ල බිහි උනාට අපිට එහෙම උවමනාවක් තිබුණේ නැත්තේ බෞද්ධ දර්ශනයේ අභාෂය නිසා. අපිට භුමිය එක්ක ආතතිමය සම්භන්දයක් තිබුනේ නැහැ සුද්දා ඇවිත් භුමිය ලාභය එක්ක ගැටගසන කල්. අපේ සවිඥානිකත්වයට ඒක කවදාවත් බල පැවෙත් නැහැ (කොටි සංවිධානය භුමිය දේශපාලනික කරන කල්). මොකද අපි සවිඥානික වෙන්නේ අනිත්‍ය වගේ දෙයක් එක්ක. මොකද භූමියත් වෙනස් වෙනවා. අපිත් වෙනස් වෙනවා. අපේ සවිඥානිකත්වයත් වෙනස් වෙනවා (නිවන් දකින තුරු).   

පැවැත්මෙන් භුමිය වෙන්කරන 'දිව්‍යමය පරතරය' (කාබනික ලොවට විසිකර දැමීම නම් ක්‍රියාව) විසින් ඇතිකරන ආතතිය විසින් බටහිර ආත්මය භූමියෙන් සදාකාලික ලෙස විගලිත වුනත් (ඛණ්ඩනය හෝ විගලිත වීම යහපත් දෙයක්) සිංහල බෞද්ධ අපිට එහෙම 'විසිකර දැමීමේ' (thrown into) ආගමික මුලයක් තිබුණේ නැහැ. ඒ නිසා අපට මාක්ස් හෝ නීට්ෂේ කියන විගලිත බව ගෙඩිය පිටින් තේරෙන්නේ නැහැ. ඒ නිසාම අපට ලෝකය තේරුම් ගන්න 'දිව්‍යමය භාෂාවක්' (divine language or meta-language) අවශ්‍ය වුනෙත් නැහැ. මේ හේතුව නිසා වෙන්න ඇති අපගේ අන්තරීක්ෂ බව (cosmic view) ව්‍යාප්තික නොවන්නේ සහ ස්ත්‍රිය සම්බන්ද ලෝක දෘෂ්ටිය 'අඳුරු මහාද්විපයක් විනිවිදීම' (penetrating a dark and a mysterious continent) වැනි දෙයකට සමාන කල නොහැක්කේ. පොළොව යට තිබෙන්නේ අවීචි මහා නරකාදිය නිසා අපිට භුමිය විනිවිදින්න අවශ්‍ය වුනෙත් නැහැ. දිව්‍යමය බව අපගේ අවසන් නිෂ්ටාව නොවුණ (නිෂ්ටාව උනේ නිවන) නිසා අපිට ඉර හඳ තාරකා වලට යන්න වුවමනා උනෙත් නැහැ. දුරේක්ෂ හදාගෙන මුළු ජීවිතේම අහස දිහා බලාගෙන අපි හිටියෙත් නැහැ. එවරස්ට් කියන චිත්‍රපටයේ (2015) බටහිර කඳු නගින්නන් කියන්නේ අපි මේ මෘගයා කෙසේ හෝ ජයගන්න ඕනි කියල (we should however beat his beast). අපගේ බෞද්ධ ජිවන ලෝකය තුළ කන්දක් යනු පරාජය කල යුතු මෘගයෙක් ලෙස දුටුවේ නැහැ. අපි සමනල කන්ද නැග්ගේ සිරි පතුල වඳින්න විතරක් නෙවෙයි ඒක වැඩවසල ඉන්න කන්දටත් ගරු කරමින්. ඉතාම වැදගත් දෙය නම් 'දෙවියන්ගේ දිව්‍යමය නොවන දෙය' (දෙවියන් තුලම ඇති නපුර) වගේ ෂෙලින් කියන අතිශය පරස්පර දෙයක් අපගේ ලෝකයේ තාර්කික වුණේ නැහැ. අපගේ දරුවන්ට ජිවිත කාලය පුරාම කොච්චර බටහිර දැනුම පෙව්වත් වැඩක් වෙන්නේ නැත්තේ ඇයි කියල දැන් ඔබට තේරෙන්න ඕනි. ඉතින් මහාචාර්ය නලින් දිගටම අහන දේ තමයි 'කෝ උඹල බටහිර දැනුමෙන් මොකක්ද කරලා තියෙන්නේ' කියන එක (මේකට උත්තර දෙන්න තව සියවසක් ගියත් අපිට බැරි වෙන්නේ අපි ඔහුගේ ප්‍රවාදය හරියට තේරුම් ගන්නේ නැති නිසා) අපිට පුළුවන් බටහිර කියන එක කොපි කරන්න විතරයි. ඉන් එහාට යන්න බැහැ. අඩුම වශයෙන් මේ දැනුම් කාණ්ඩ (knowledge categories) දෙක සහ ඥාන-විභාගය අතර පාලමක් හදන්නේ නැතුව අනාගතයේ මුකුත් කරන්න බැරි වෙයි. "දෙවියන් යනු සම්පුර්ණයෙන් දෙවියන්ම නොවේ. ඔහුගේ පුර්ණ අනන්‍යතාව වෙත ඔහුට ම ළඟා විය නොහැක. ඔහු තුල ම ඇති විනිවිදිය නොහැකි මදය ඔහුවත් නොදනී" (The Abyss of Freedom - 1997) වැනි සද්භාවී වාක්‍යයක් (ontological statement) බෞද්ධ ලෝකයක් තුල තේරුම් ගන්නේ කෙසේද යන්න තේරුම් කරදිය හැකි පණ්ඩිතයෙක් වේ නම් මා ඔහුගෙන් හෝ ඇයගෙන් ඉගෙන ගැනීමට මොහොතක් වත් පසුබට වෙන්නේ නැහැ.

බටහිර අර්ථයෙන් ලිංගික වෙනස (sexual difference) කියල කියන්නෙත් මේ 'දෙවියන් වන දෙය' සහ 'නොවන දෙය' අතර ඇති පරතරයට (බලන්න ඉහත Abyss of Freedom හි 7 පිටුව). ඒ කියන්නේ භුමියේ විනිවිදිය නොහැකි දෙයට ම කියන තවත් නමක් තමයි ස්ත්‍රිය කියන්නේ (Shelling explicitly sexualizes the relationship between Existence and its Ground, conceiving Ground as the impenetrable "feminine" foundation of the male Word (page 07). පුරුෂ දෙවියන්ගේ වචනය විසින් තමයි ලිංග භේදය ඇතිකරන්නේ. ඉතින් අපිට කෝ පුරුෂ දෙවියෙක්? දේව වචනය කියල සංකේත විශ්වයක් අපි දන්නේ නැහැ. බටහිර අර්ථයෙන් ගත්තම ඉතින් 'අපිව මෙලොවට විසිකර දමා ඇති' භුමිය නිශ්ශබ්දයි, නිසොල්මන්. එය ආගන්තුක දෙයක්. බටහිර පිතෘ මුලික ලෝකය මේ නිශ්ශබ්ද බවට බියයි (යථ). මොකද නිශ්ශබ්ද දෙය ඕනිම වෙලාවක පුපුරලා යන්න පුළුවන් (කාන්තාරේ සුළි කුණාටු වගේ). ඉතින් මර්ධනය අවශ්‍යයි. ඔන්න මෙතැනින් බටහිර විෂයමුලික බව පටන් ගන්නවා (the origin of subjectivity). ගොදුර ස්ත්‍රිය (ස්වභාවික බව). විෂයමුලික බව එක්ක සවිඥාණය (consciousness) පටන් ගන්නවා. නිෂ්පාදනය පිරිමි ආත්මය (සංස්කෘතිය). ඉතින් අනාත්ම වාදයක (ආත්මයක් නැති බව) ඉන්න අපිට ලෝකය තේරුම් ගන්න ඉහත විදියට බැහැ. ස්ත්‍රිය කියන්නේ අපිට භූමියක් නෙවෙයි. විනිවිදින්න ඕනි දෙයකුත් නෙවෙයි (රන් ආභරණ වලින් සැරසිලා ස්ත්‍රියකට උතුරේ සිට දකුණට පා ගමනින් අතීත ලංකාවේ යන්න පුළුවන් වෙලා තිබුණේ ඒකයි. යටත් විජිත ලංකාවේ විදේශ ගැහැණියකට මුහුදු වෙරළේ නාන්න වත් අද බැහැ. ඔන්න ආශාවේ බටහිර කියන විපරීත විකාශනය). ඒ නිසා කැමරා ස්ත්‍රියගේ ශරීරයට යවල බලන්න ඕනි කමක් අපිට තිබුණේ නැහැ (සිංහල වෙදකමේ තියෙන්නේ වා, පිත්, සෙම්, රෝග වලට බාහිරින් ශරීරයට ගන්නා බෙහෙත් මිසක් ශරීරය කපල කොටලා කරන වෙද කමක් නොවෙයි). අදටත් අපේ වෛද්‍ය ළමයි ශරීර කපන එකට එච්චර ආස නැහැ. මේ කෙටියෙන් පැහැදිලි කළේ අපේ ලෝක දෙකේ ප්‍රශ්නය. අපිට බටහිර විදියට හිතන්න බැරි ඇයි කියන එක.  

යථාව (the Real) සහ සංකේතනය (Symbolic) කියන ලැකානියානු පාර සංකල්ප අපට මේ පොළොවේ පැල කරන්නත් බැරි ඉහත පාර භාෂාවේ ප්‍රශ්නය නිසාමයි. ලැකානියානු යථ කියන්නේ 'ඇරඹුමට පෙර ඇති දෙය' (දෙවියන්ට පෙර ඇති දෙය). Before the beginning හැටියට ෂෙලින් හඳුන්වන 'දෙවියන් පැමිණීමට පෙර තිබුණ දෙවියන්ටත් අවුලක් වෙච්ච අපිළිවෙල' තමයි බටහිර යථාව. ඉතින් මේක තේරුම් ගන්න සද්භාවී එළඹුමක් අපේ බෞද්ධ සංකල්ප ලෝකය තුල නැහැ. බුදුන් වහන්සේ කියන්නේ ලෝකයේ මුල සහ අග හොයන්න යන්න එපා, ඒක තේරුමක් නැති දෙයක් කියල. ඒ කියන්නේ විශ්වය අනන්තයි සහ අචින්ත්‍යයි කියන එක. හෙව්වත් ඇති වැඩක් නැහැ කියන එක. බටහිර ගණිතය තියෙන්නේ මෙම යථාව ගවේෂණය කිරීමේ 'උපකල්පන වලින් පිරුණ උපකරණයක්' (වෙනත් විදියකට කිව්වොත් මිත්‍යාවක්) ලෙස. පරම සත්‍යක් ලෙස නෙවෙයි. එම සංකල්ප පවා නිරන්තරයෙන් වෙනස් වෙන බව දකින ලංකාවෙන් බිහිවූ දක්ෂ මිනිසෙක් වූ නලින් බටහිර විද්‍යාවේ මූලය ප්‍රශ්න කරන්නේ ඒ නිසා. ඒ කියන්නේ ඔහුට බැරි වෙනවා එම බටහිර ස්වභාවික ලෝකය නම් යථාව තේරුම් ගැනීමේ 'වෙනස්වන උපකරණය' (භෞතික විද්‍යාව සහ ගණිතය) සංකේත විශ්වයක් තුලට ගේන්න. වෙනත් විදියකට කිව්වොත් 'දෙවියන්ගේ වචනයට පෙර ලෝකය' (ආරම්භයට පෙර අවුල) බුදුන්ගේ වචනය සමග ගලපාගන්න පුළුවන් වීම තමයි අපේ දර්ශනය සහ බටහිර යා කරන පාලම විය යුත්තේ. අපි මතක තියාගන්න ඕනි කොතරම් අස්ථිර වුනත් බටහිර එම 'වෙනස්වන සහ නොපැහැදිලි උපකරණ' එක්ක භෞතික ලෝකයේ ගොඩක් දුර ගිහිල්ල තියෙනවා කියන එක. අද අපිට බටහිර සම්පුර්ණයෙන් බැහැර කරන්න බැහැ. මොකද ඔවුන්ගේ උරුමයකුත් තියෙනවා ලෝකයට දායාද කරපු. කොහොමත් අපිට අතීත ලෝකය නැවත හදන්න බැහැ. එහෙම ඕනෙත් නැහැ. නමුත් අපිට අතීතයෙන් ගතහැකි සදාචාරාත්මක උරුමයක් තියෙනවා නම් අපි ඒක නුතන ලෝකයට ගන්න ඕනි කියන එක විතරයි මෙතන අදහස් කරන්නේ.       
                
අපි ආපහු ගීතයට යමු. සේකර කරන දෙය තමයි පළමු පදයේ 'සිංහල' (අයිතිය) බව දෙවන පදයෙන් නිශේදනය කරන එක. එහෙම කරන්න ඔහුට පුළුවන් වෙන්නෙ ම පළමු පදය ඇතුලේ 'සිංහල' බව මතු කිරීම නිසාම යි. ඒ කියන්නේ 'සිංහල නොවන කෙනෙකුට' එම පැවැත්මේ  නිශේදනය නොතේරිය හැකි නිසා. දෙවන පදයේ 'මරණය' කියන්නේ හැමෝටම (සිංහල, දෙමළ, මුස්ලිම්) පොදු ධර්මතාවක් වුණත් සිංහල බෞද්ධ අනිත්‍ය බව ආගමික මූලයක් හැටියට හැමෝට ම අදාල නැහැ කියන එක මෙතනදී වැදගත් (අපි අනෙක් අයගෙන් වෙන්වන හැඟවුම). අනිත් එක මහ ජාතිය හැටියට අපි විසින්ම අපි ජිවත් වන භුමියේ අනිත්‍යය සටහන් කරන එක තවත් වැදගත් අපි කවුද කියන එක අනිත් අයට ප්‍රක්ෂේපනය කිරීමේදී. සේකර මෙම ගීතයේ මතු කරන වැදගත් දාර්ශනික අදහස සිංහලුන් ගේ මෙම ජිවිතයේ අනියත බව (මරණය සමග ඇති දාර්ශනික සම්බන්දය) නම් එය අප නොගැයිය යුත්තේ ඇයි? සිංහල බෞද්ධයින් ලෙස අපගේ ආත්මය පුබුදුවන එම ගිය ජාතිවාදී වන්නේ කෙසේද යන්න අද දවසේ මාක්ස්වාදීන් පැහැදිලි කර දෙන්නේ නම් මා ඉතා සතුටු වෙනවා. අපගේ ශිෂ්ටාචාරය තුල අප ගොඩනගන ලද සියල්ල අප බටහිර මතවාද ඉදිරියේ පාගා විසිකර දැමීම යනු සාර්වත්‍රික බව ද (universalism)? එහෙම ගත්තොත් සමාධි, අවුකන පිළිම වහන්සේලා ජාතිවාදී වන්නේද? අපි ඒවා පෙන්වීමත් වාරණය කළ යුතුද? මහාචාර්ය පරණවිතාන විසින් මහත් ආයාසයෙන් මතුකර ගත් සීගිරි ගී ජාතිවාදී ද? බටහිර මතවාද (මාක්ස්වාදය හෝ ලිබරල් ධනවාදය) ඉදිරියේ එසේ අප හිස නමන්නේ නම් (කප්පාදු වන්නේ නම්) එවිට අප යනු බටහිරන් දෙන සෑම දෙයක්ම එහෙම පිටින්ම ගිලදමන මුග්ධයින් පිරිසක්ද? එවිට අප යනු කවුද? ජේ. ආර්. ගේ දරුවන් පමණක් ද? බටහිර මතවාද ගෙඩි පිටින් කරේ තබාගත් උමතු රෝගීන් පිරිසක්ද? 

මා කියන්නේ ඉහත ගීතය කිසිසේත් අප ස්වයං-වාරණය නොකළ යුතු බවයි (tolerant multiculturalism). 'සිංහල' බව යනු අප අනෙකාගෙන් වෙන්කරන හැඟවුමයි. අපගේ අනන්‍යතාවයයි.  එය අපගේ 'වෙනස' (difference) වන අතර අපගේ ලස්සන යනු එයයි (beauty is difference). අප කවුද යන්න අනෙකා වෙත ප්‍රක්ෂේපනය කිරීමට අප බිය විය යුතු නැත. අපගේ 'වෙනස' අප බහු-සංස්කෘතික බව හමුවේ ඉවසිය යුතු නොවේ (ජාතිවාදයට පදනම් සැකසෙන්නේ මෙම ඉවසීම නිසාය. යහපාලන ආණ්ඩුව නියම බහු සංස්කෘතික නියෝජිතයෙක් වන බැවින් වඩා වඩා ජාතිවාදී ඉඩකඩ උදාවෙමින් ඇත). එම 'වෙනස' අහෝසි වූ සැනින් අපද අහෝසි වී යන බව ජිජැක් ගේ සහ මැගෝවන් ගේ මතයයි.  එකම දෙය නම් එම 'වෙනස' වෙනුවෙන් අනෙකා මරා දැමීමට අප එරෙහි වීමයි (අප නලින් ගෙන් වෙන් වන්නේ මෙතනදීය). එතැනදී අප 'සිංහල' (සාන්දෘස්ටික අදහස නැත්නම් වික්‍රමසිංහගේ 'ගම් පෙරළියේ' ජිනදාස අදහස් කරන දෙයට සමාන දෙයක්) මිස සිංහලේ (අනෙකාගේ 'ලේ' පිපාසිත වැම්පයර් ත්‍රී විල් අනන්‍යතා දේශපාලනික අදහස) නොවේය. එමෙන්ම අප දෙමල හෝ මුස්ලිම් වන්නේ ද නොවේය (චතුස්කෝටිකය අනුව ගතහොත් චිරාත් කාලයක් අප එකිනෙකා සම්මිශ්‍ර වී ඇති බැවින් අප ඔවුන් නොවන්නේ ද නොවේය. එහෙත් එම මිශ්‍ර වීම තුලම ඇතැම් සුවිශේෂී ලක්ෂණ වියැකී නොගිය හෙයින් අප ඔවුන් වන්නේ ද නොවේය). ඔවුන් අප විය යුතු ද නැත. ඔවුන් අපගෙන් වෙනස් ය. අප ඔවුන් විය යුතු ද නැත. නමුත් අපිට එකතු විය හැකි තැන් නැත්තේද නැත. එපමණකි.  

තවත් කීමට දේ ඇතත් දැනට මේ ඇතිය. නමුත් එකක් කිව යුතුය. ලංකාවේ පොරවල් මාක්ස්වාදය තියා මොකක්වත් අපේ රටට වුවමනා විදියට ගලපා ගත්තේ නැත (failure in adaptability). මෙම ගලපාගැනීම කිරීමට ජේ. ආර්. ට ධනවාදය සම්බන්දයෙන් නොහැකි වුවා වගේ ම මාක්ස්වාදය සම්බන්දයෙන් වම්මුන්ටද අදහසක් තිබුණේ නැහැ. විජේවීර සහ බොහෝ අය වරද්දා ගත්ත තැන මේක (ඒ කියන්නේ මේ 'භූමිය' තේරුම් නොගැනීම. එහි වන්දිය තමයි මිනිස් ජිවිත දහස් ගණනක් වීම). වමේ අය මතක තියාගත්තොත් හොඳයි හේගල් කියන අපිට නොතේරෙන බටහිර දාර්ශනිකයා බටහිර පුනරුද සම්ප්‍රදායෙන් කැඩෙනවා කියන එක. ඔහු තේරුම් ගත්ත දෙය තමයි ස්වභාව ධර්මය සහ සම්ප්‍රදාය කියන දෙකම හේතුව මඟින් විනිවිදින්න බැහැ කියන සත්‍යය (Nature and Tradition are impenetrable stuff). වචනයට (Light of Logos) බැහැ ඒවා පසාරු කරගෙන යන්න. ආගම අබිං කිව්ව ගමන්ම වමේ වැඩේ ඉවර වුණා ලංකාව ඇතුලේ. ආලෝකය විසින් පසාරු කරන්නේ නැති නිසා හේගල් ඒවාට කිව්වේ 'විශ්වයේ රාත්‍රිය' කියල (night of the world). ඉතින් මේ කියන ටිකවත් අපේ බෞද්ධ මනසට තේරෙන්නේ නැහැ. මොකද ප්‍රපංචයීයව අපිට හේතුවේ රාත්‍රියක් වත් විනිවිදින ආලෝකයක් වත් නැති නිසා. අපිට තියෙන්නේ දුකට හේතුවක් වන තෘෂ්ණාව පමණයි. තෘෂ්ණාව ට හේතුව උපාධානය... යනාදී වශයෙන්. ඉතින් සිදුවෙච්ච දෙය තමා වමේ දේශපාලනය උපේක්ෂා ගැන කතා කර කර හිටිය බෞද්ධ සම්ප්‍රදාය විසින් කප්පාදු කළා විතරක් නෙවෙයි විනාශ ම කරලා දැම්මා. ප්‍රභාකරනුත් වලපල්ලට ගියා (ජපාන සෙන් බුද්ධාගමත් තම බටහිර අනෙකාට මේ දේම කරපු හැටි බලන්න Silence කියන Martin Scorsese ගේ ඉතා වැදගත් චිත්‍රපටය). එහීදී මෙයිජි යුගය නියෝජනය කරන ජපන් පාලකයා බටහිර පාදිලි වරයාට කියන්නේ 'ඔබව වෙනස් කලේ මම නොවේ. මෙම භුමිය නම් මඬ වගුර' බවයි. ඒ මඬ වගුර (swamp) ඇතුලේ තමයි සාන්තුවර බුද්ධාගම රාක්ෂ වෙස් ගන්නේ. ඉතින් මුල්ලි වයික්කාල් කියන්නෙත් මඬ වගුරක් තමයි.       

ඉහත ගීතයේ වෙනස්වන අනන්‍යතාව ගැන කතාකරන කොට තව හොඳ උදාහරණයක් මගේ මතකයට ආවා. කැසබලන්කා (Casablanca - 1942) කියන පරණ චිත්‍රපටයේ වික්ටර් ලැස්ලෝ විසින් නාසීන් ඉදිරියේ ගායනා කරන්නේ ප්‍රංශ ජාතික ගීය (තමා ආසන්නයේ ම ඇති අවිය). ඔහුගේ රට වන චෙකොස්ලෝවැකියානු ජාතික ගීය නෙවෙයි. එතැනදී ඔහුගේ අනන්‍යතාවය යනු වෙනස් වන දෙයක් (එය ද නොවේ. වෙනත් දෙයක්ද නොවේ. ඒ දෙකම නොවන්නේ ද නොවේ. ඒ දෙකම නොවන්නේ නොවේ ද නොවේ). පවත්නා නාසී මර්ධනය හමුවේ වුවද ලැස්ලෝ කිසිවිටක තම චෙකොස්ලෝවැකියානු අනන්‍යතාව සඟවන්නේ නැහැ. නමුත් ඔහු විශ්වීය බව සමඟ සමබන්ද නොවී සිටින්නේත් නැහැ (ඔහු නොවේ. එහෙත් ඔහු නොවන්නේ ද නොවේ). ඔහු මොරොක්කෝ වැසියෙක් නොවනවා සේම ඇමෙරිකානුවෙකු වන්නේ ද නැහැ. නමුත් මර්ධනයට ලක්වූ හැමෝම වෙනුවෙන් ඔහු සටන් නොකර සිටින්නේ ද නැහැ (neither an insider nor an outsider). මර්ධනය හමුවේ ඇති එකම දෙය ජාතිකත්වය කියල ඔහු දැනුවත්. ජර්මන් මර්ධනය හමුවේ සමස්ත චිත්‍රපටයේ හැමෝම තම අනන්‍යතාවයන්  රැක ගන්න උත්සාහ කරනවා (යුදෙව්වන්, රුසියානුවන්, ප්‍රංශ ජාතිකයින්). චේ ගෙවාරා පවා හිටියේ පාර-ජාතිකත්වයක. ඔහුට ජාතියක් තිබුණෙත් නැහැ. නැත්තෙත් නැහැ. (ඇත්තේ ද නැත. නැත්තේද නැත) වෙනත් විදියකට කිව්වොත් මව නොවේ, මව නොවන්නේ ද නොවේ වගේ 'දයලෙක්තික නොවන' දෙයක් තමයි ජාතිකත්වය. ගෝලීයකරණය තුල සියල්ල අහෝසි වී යනවා යන සරලමතික අදහස ඇතුලේ තවත් අපිට ඉන්න බැහැ. මොකද ධනවාදයට බැහැ සියල්ල කප්පාදු කරන්න (Capitalism cannot castrate everything!). ඇත්තටම අද වනවිට සිද්ද වෙන්නේ කප්පාදු නොවූ දෙය විසින් ධනවාදය නැවත කප්පාදු කිරීම. ආසියාතික චීන අධිපති ධනවාදය සහ ඉන්දියාව ඔස්සේ වෙන්නේ ඒක නෙවේද? අපි මෙහෙම කියමු. "අධිපති (පුරුෂ) රෝමය බිඳ වැටුණේය.  'සුර පප්පා' කතාවේ හැටියට කප්පාදු නොවූ ගෝල් දේශය දිගට ම පැවතුනේය".      

තවත් එක් දෙයක් මතක් කරන්න ඕනි මේ වෙලාවේ. ඒ තමයි ළඟ ලගම විප්ලවය එන බවට සහ ඒ සඳහා 'භූමිය' සකස් කරන්න ඕනි කියල ලංකාවේ තරුණ රැඩිකල් වමට දිරච්ච ලණු දෙන මුහුණු පොත් වාසී (ඔවුන්ගේ තත්‍යසමාන 'භූමිය') න්‍යායාචාර්ය වරුන්ට අපි මෙහෙම කියනවා. නලින් ද සිල්වා සහ අමරසේකර ගැඹුරින් හදාරලා, ඔවුන්ගේ ප්‍රවාද සංස්ලේෂණය කරලා, ඒ සමඟම ලෙනින් ගේ 'පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර' ග්‍රන්ථය නැවත ලංකාවට අදාලව ලියන්නේ නැතුව රැඩිකල් විප්ලව කරන්න යන්න එපා. ඒ නිසයි අපි කියන්නේ මෙතැන් පටන් අපි ලියන්නේ 'පෙරදිග ලෝකයේ විමුක්ති දේශපාලනයේ මඟ හැරුණ අන්තර්ගතය' ගැන කියල. ලෙනින්, මාවෝ, ජිජැක්, ටොඩ් මැගෝවන්, සුපැන්ජිත්, ගාන්ධි වගේම 'ආදරයේ දේශපාලනය' ගැන ලියවෙන්නේ ඒ නිසා. මේ වැඩේ දැනුම නිෂ්පාදනය හෝ ප්‍රාග්ධනයේ තර්කය එක්ක පටල ගන්න එපා. මේවා මාකට් කරන්න බැහැ. මේවා ලිව්වා කියල ඇතිවෙන සංකේත ප්‍රාග්ධනයකුත් නැහැ. තියෙන එකත් නැති වෙනවා මිසක්. (අවශ්‍ය නම් සංවාද කළ හැකඒ සඳහා කොන්දේසි නැත).

ආශ්‍රිත කෘති:
McGowan, T. (2016). Capitalism and Desire: The Psychic Cost of Free Markets. Columbia University Press. New York.

Sharpe, M. & Boucher, G. (2010). Zizek and Politics: A Critical Interrogation. Edinburgh University Press. Edinburgh. 

Zizek, S. (1997). Abyss of Freedom/Ages of the World. University Press of Michigan. USA. 

Zizek, S. (2001). Did Somebody Say Totalitarianism? Five Interventions in the (Mis)Use of a Notion. Verso. London.  

Zizek, S. (2010). On Belief: Thinking in Action. Routledge. London. 

චිත්‍රපට:

Attenborough, R. (1982). Gandhi. Goldcrest Films/Columbia Pictures. USA. 

Curtiz, M. (1942). Casablanca. Warner Brothers. USA.


Komarkur, B. (2015). Everest. Universal Pictures. USA. 

Scorsese, M. (2016). Silence. Paramount Pictures. USA. 


නලින් ගේ ලිපිය 

මොණර නැටුම නටන පුහු පොරවල්
ධර්මසිරි බණ්ඩාරනායක කියලා තියෙනවා අපි යාපනය පුස්තකාලයෙ පොත් අනූදාහක් පිච්චුව ම්ලෙච්ඡ ජාතියක් කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක මේ ම්ලෙච්ඡ ජාතියට චිත්‍රපටි හදන්නෙ මොකට ද කියලා. ඔහු හරි ඔහු වෙනුවෙන් කතා කරන අයකු හරි කියන්න බැරි නැහැ චිත්‍රපටි හදන්නෙ ම්ලෙච්ඡ ජාතිය ශීලාචාර කරන්න කියලා. හංසවිල වගේ චිත්‍රපටිවලින් නම් එහෙම එකක් පේන්නෙ නැහැ. ස්වර්ණා මල්ලවාරච්චිට හරි වෙනත් කලාකරුවකුට හරි පෙනූණ ද දන්නෙ නැහැ.
ධර්මසිරි බණ්ඩාරනායක වෙනත් ජාතියකට එහෙම චිත්‍රපටි හදල තියෙනවා දසිංහල හැරෙන්න වෙනත් භාෂාවකින් චිත්‍රපටි හදල තියෙනවාද කියලා දන්නෙත් නැහැ. ධර්මසිරි බණ්ඩාරනායකට කලාකරුවකු හැටියට ප්‍රසිද්ධියක් ලැබිල තියෙන්නෙ සිංහල චිත්‍රපටි  සිංහල නාට්‍ය හදපු නිසා කියලයි මා හිතන්නෙ. 
ම්ලෙච්ඡ කියන්නෙ කැලේ ජීවත්වන වගේ තේරුමකින්. එහෙත් ම්ලෙච්ඡ කියන වචනය ධර්මසිරි බණ්ඩාරනායක යොදන්නෙ වෙනත් අර්ථයකින්. යාපනය පුස්තකාලය පිච්චුවෙ කවුද කියන එක මා අහන්න යන්නෙ නැහැ. ධර්මසිරිට අවශ්‍ය වන්නෙ තමන්ගෙ පුහු කම වහ ගන්න වුණත් මෙවැනි ප්‍රකාශවලින් කෙරෙන්නෙ ඔහුගෙ පුහු පොරත්වය මැනවින් විදහා දැක්වීම පමණයි. පිල් විදහා නටන මොණරුන් ගැන අප දැනගත්තට මොණරුන් දන්නෙ නැහැ. සෙබඩන් දන්නවද දන්නෙ නැහැ.
කාලෙකට ඉස්සර නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි යන ගීතය ගැයීම නැවැත්තුව. ඒ අර සුචරිත ගම්ලත් කියන අයගෙ කතාවක් අහල කියලා කියනවා. වෙන්නත් ඇති. ගම්ලත්ට බැරි වුණා මිය යන තෙක් ම මාක්ස්වාදයෙ දරිද්‍රතාවයට පිළිතුරක් ලියන්න. නුවර අජිත්ගෙන් අහන්න. අද පුහු පොරවල් වෙන්න හදන අය ගම්ලත්ට වඩා වැඩ කාරයො. ඔවුන් කියනවා ඒ පොත්වල පරස්පර තියෙනවා කියලා. ඔවුන්ට ඒ පොත් තේරිලා එපැයි පරස්පර හොයා ගන්න. 
අමරදේව කතෝලික රටක් වූ පිලිපීනයෙන් මැග්සේසේ ත්‍යාගය දිනාගත්ත දවස්වල ප්‍රසිද්ධියෙ ඇහුව මහසඟගණ මොකද කෙළේ කියලා. මට ඒ වෙලාවෙ ඔහුට දුරකතනයෙන් කතා කරන්න සිද්ධ වුණා. වැඩේ තියෙන්නෙ සිංහල මිනිස්සුසිංහල බෞද්ධයො විශේෂයෙන් ම මේ කලාකාරයන්ගෙ කෘති ප්‍රිය කිරීම. සිංහල මිනිසුන් ම්ලේච්ඡයන් නම් කොහොමට හැසිරෙන්න ඕන දමුස්ලිම් කලාකාරයො විද්වතුන් මුස්ලිමුන්ට විරුද්ධව ලියපු කියපු අවස්ථාවල මුස්ලිමුන් මුස්ලිම් රාජ්‍ය වැඩ කෙළේ කොහොම දඅප ෆැට්වා නිකුත් නොකරනවා විතරක් නොවෙයි  මේ කලාකරුවන්ට ජීවත් ව ඉන්න විට රාජ්‍ය සම්මානත් මිය ගියා ම රාජ්‍ය ගෞරවත් හම්බ වෙනවා. සිංහලයන් ම්ලේච්ඡ වුණත් මුස්ලිමුන් මෙන් හැසිරෙන්නෙ නැති එක මේ පුහු පොරවල්වල වාසනාවක්.
මේ කලාකාරයො ඊනියා ජාත්‍යන්තරයක් ගැන කිව්වට ජාත්‍යන්තරයෙ ඔවුන්   හඳුනන්නෙ නැහැ. ඔවුන් ගැන දන්නෙ පිටරටවල ජීවත්වන සිංහල මිනිස්සු. පිටරට සංචාරවල ගිහින් ගී ගයන්නෙ නාට්‍ය පෙන්වන්නෙ සිංහල මිනිසුන්ට. ඔවුන්  ඊනියා දෙමළ ජනවර්ගයක් වෙනුවෙන් කතා කළත් ඔවුන්ගෙ පිටරට හරි මෙරට හරි සන්දර්ශනවලට දෙමළ කතාකරන අය කී දෙනකු එනවා ද?
මෙරට බොහෝ ඊනියා කලාකරුවන් ඊනියා විද්වතුන් තරම් නිහිනයන් පිරිසක් ලෝකයෙ වෙන කොහෙවත් ඉන්නවා ය කියා හිතන්න අමාරුයි. දැන් ටික දෙනෙක් ඉන්නවා තමන් සිංහල බෞද්ධ බව ප්‍රසිද්ධියේ කියන. ඔවුන්ට අපේ ප්‍රණාමය. අර ජාතියට ගරහන අයගෙ මොකක් හරි හීනමානයක් තියෙනවා. මෙරට සමාජයීය විද්‍යාඥයන් යැයි කියන අය තම ක්‍ෂෙත්‍රවල එක සංකල්පයක් ප්‍රවාදයක් ගොඩනගල තියෙනවා දකලාවෙ අලුත් රීතියක් ප්‍රමිතියක් හඳුන්නලා දීල තියෙනවා ද?
ඔවුන් මෙරට ප්‍රසිද්ධ වෙන්න හදන්නෙ සිංහල ජාතියට බෞද්ධකමට ගරහලා. ජනමාධ්‍යවල ඉන්න පුස්සොත් ඔවුනට ප්‍රසිද්ධිය ලබා දෙනවා. සමහර සිංහල කලාකරුවන් අතින් සිංහල ජාතිකත්වය ගැන කියන කෘති නිර්මාණය වෙනවා. ඒත් ඔවුන් තමන්ගෙ කෘතියෙන් කියන දේ ප්‍රසිද්ධියෙ කියන්න බයයි. ඒ අර පුහු පොරවල්වලට තියෙන සමාජ ආධිපත්‍යය නිසා. මේ ආධිපත්‍යය ඔවුන්ට ලැබෙන්නෙ බටහිර දැනුම වෙනුවෙන් පෙනී සිටීමෙන්. 
බටහිර දැනුමේ ආධිපත්‍යය හැමතැනම. බුද්ධාගම විතරක් නොවෙයි බුදුදහමත් නූතනත්වයට යට කරලා. එහෙත් බටහිර විද්‍යාව කියන්නෙ යම් යම් සීමා තුළ වැඩ කරන වියුක්ත හිතළු ටිකක් පමණයි. බටහිර න්‍යාය (logic) අන්තිම අවුලක්. ඒ න්‍යායෙ අපෝහන (deductions) නැත්නම් නිගමන ලබාගන්න අනුමාන නීති (rules of inference) උද්ගමනයෙන් ලබාගත්ත දේ. උද්ගමනය (induction) කිසිම න්‍යායකට නැහැ. දන්නෙ නැත්නම් උද්ගමනයේ ප්‍රශ්නය (problem of induction) ගැන ඇති ලිපි කියවලා බලන්න. අඩු තරමෙන් හියුම් කියවන්න. 
එහෙත් මේ දැනුම මත ඉඳගෙනඑහි පුහු බව නොදැන මෙරට පඬියන් පුහු පොරවල් වෙලා. අප බුදුදහම දන්නෙ නැති එක මේ සේරට ම මුල. එහෙත් ම්ලේච්ඡ සිංහලයන්ගෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා පුහු පොරවල්වලට ෆැට්වා නිකුත් වෙන්නෙ නැහැ. 
Nalin De Silva 
උපුටා ගැනීම 3mana වෙබ් අඩවිය

Friday, June 8, 2018

මාතෘකාවක් නැති ළිපිය....

මේ වෙලාවේ ලියල වැඩක් නැති වුනත් මෙය කොතැනක හරි ලියල තියන්න ඕනි කියල හිතුවා...මොකද කවදාහරි කාටහරි තේරෙයිනේ භූමිය කොහොමද තියෙන්නේ කියල. මේක ලියන්නේ භුමියේ යථාවේ ක්ෂිතියෙන් ආපු කේන්තියකින්. අර සීගිරි ගීයේ 'බුදල්' ලියල වැඩක් නැහැ කියල ලිව්වා වගේම පරස්පර වැඩක් මේක (නමුත් එම පරස්පරය ම තමයි යථාවේ සහ සංකේතනයේ සත්‍යය).  

ඊයේ මම පොඩි වැඩකට බැංකුවට ගියා. එතැන හිටපු මම තරමක් දන්නා දුප්පත් තරුණයෙක් මට ගිණුම් පොතක් පෙන්නලා කිව්ව් මෙහෙම. "අයියේ මේ මගේ පොඩි එකාගේ බැංකු පොත. මට පුළුවන් කමකට නෙවෙයි, එත් මම පොඩි එකාගේ නමට පොඩි මුදලක් දාල තිබ්බා. බලන්න ඒකෙනුත් රුපියල් දහ තුනක් (13) කපාගෙන මුන්. මීට වැඩිය හොඳ නැද්ද මුන් අශුචි පුච්චගෙන කෑවනම්..." (සාමාන්‍යයෙන් ගම්වල කියන්නේ ගූ පුච්චගෙන කනවා කියල. ඒ කියන්නේ කන්න ම දෙයක් නැති වුනාම කරන පහත්  දෙය). 

ආණ්ඩුවේ මාධ්‍ය නම් කියන්නේ අපි ළමා ගිණුම් වලින් සතයක් වත් ගන්නේ නැහැ කියල. එහෙනම් මේ කැපිල තියෙන්නේ 'ගල් කපනකොට' කැපිච්ච එකක්ද? අනේ පලයව් යන්න. බොරු කියනවාට වඩා හොඳයි පුටුවෙන් බැහැල යන එක.  

ඒ කතාවත් අහගෙන මම පොළට ගියා. මිනිස්සු බනිනවා කියන එකේ ඉවරයක් නැහැ. "හාල්මැස්සෝ ග්‍රෑම් සීයක් රුපියල් සීයයි. පොල් ගෙඩියක් ගන්න හිතන්න වත් බැහැ. අනේ මුන්ට හෙණවත් ගහන්නේ නැති හැටි!" ඔන්න කියන ප්‍රශස්ති ගී. කඩ කාරයෝ කියන්නේ දැන් ඉතින් කඩ වහලා දාන්න ඕනි කියල.   

පොළෙන් එළවලු පොඩ්ඩකුත් අරගෙන මම බස් එකේ නැග්ගා. බස් එකේ මිනිස්සු පලු පැලෙන්න බනිනවා. "රුපියල් දහයට ගිය එකට දැන් දහ තුනක් දෙන්න ඕනි.  අනේ දෙයියනේ අර මහින්ද මහත්තයා වත් එන්නේ නැද්ද අපේ දුක බලන්න...අළුත්නුවර දෙයියනේ මේ කාලකන්ණි මක බෑවිලා යන්නේ කවද්ද!". මේ අපේ දුප්පත් භුමියේ හඬ. හැබැයි කොළඹ විචාරකයින්ට නම් මේ දුක් ගැනවිල්ල ඇහෙන්නේ නැහැ. 

ගෙදර ඇවිල්ල නිව්ස් බැලුවා ම අර බැදුම්කර එකාගෙන් හැමෝම සල්ලි අරගෙන. ගත්තේ නැති එකෙක් නැති තරම්. මිලියන විස්ස තිහ ගත්ත එවුන් එක එකා මාධ්‍ය සාකච්චා දාල තමාගේ පාරිශුද්ධ පොජ්ජ ගැන කලිසම් ගලවල පෙන්වනවා. පෙන්නන වෙලාවේ නම් ජුන්ඩ ඇකිලිලා තමයි තියෙන්නේ ඒ වුනාට හැමෝගෙම සස්පෙන්ඩර් වල ශ්‍රුකානු තැවරිලා කියල ඈතට ම පේනවා. විශේෂයෙන් පුරවැසි එවුන්ගේ සහ අලුත් පරපුරේ පාරිශුද්ධ පොජ්ජ නම් මරේ මරු... මුදල් වලට තමන්ගේ දේශපාලන ආත්මය විකුණුව එක ගැන කාටවත් වරද කාරිත්වයක් නැති හැටි බලමුකෝ. තව තියපල්ලා මාධ්‍ය සාකච්චා..තව කියපල්ලා ලස්සන වචන...

ගම්මිරිස් ගොවියෝ වහ බොනවා. මුන් ගම්මිරිස් පිටින් ගෙනත් කලවම් කරනවා. කරුංකා වලටත් මිලක් නැහැ. එළවලු, වී, තේ, රබර්, සුළු අපනයන ගොවියෝ ඔක්කොම එක මල්ලේ. මොකක්ද උඹලාගේ දැක්ම මේ රට ගැන තියෙන? නිකම් පව් දෙනවා විතරයි. 

ඇහුවොත් කියයි මේ රටේ හදනවට වඩා කොච්චර ලාභද පිටින් ගෙන්වන එක කියල. ගෝලීය ලෝකයක මොනවටද අපි වැඩි මිලට හදන්නේ? ඔන්න උත්තර.  

මේ කාලකන්ණි ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ශක්තියෙන් මිනිස්සු පසුගිය ප්‍රාදේශීය සභා චන්දෙන් උත්සාහ කළා. මිනිස්සු තමන්ගේ කතාව කිව්වා. නමුත් ටොම් ඇන්ඩ් ජෙරී වගේ මේක තාම වැනි වැනී තියෙනවා. කෙලවෙලාම යන්න කලින් විසුරුවා ගන්න ඕනි වුනත් දැන් විසුරුවන්න බැරි විදියට තමා දහ නම වෙනි සංශෝදනේ ගෙනත් තියෙන්නේ අර ජයම්පති කියන එකාගේ මොලේට පින් සිද්ද වෙන්න. මේවා තමයි නියම මොළ. ඉතින් චන්ද කල් දමන, පිස්සු කෙළියට එළවගන්න බැරි, පිස්සු සාමාන්‍යකරණය කරන මේ වගේ ආණ්ඩුවක් සමස්තතාවාදී (totalitarian) නොවන්නේ කොහොමද? මේ ආණ්ඩුව තුළ තියෙන්නෙත් තාර්කික නොවන අන්තර්ගතයක්නේ (irrational content). මම කියන දේ ගැටළු සහගත නම් නිකමනට බලන්නකෝ ජිජැක් ගේ Did Somebody Say Totalitarianism: Five Interventions in the (Mis)use of a Notion පොතේ 66 වෙනි පිටුව. බැඳුම්කර සිද්දියේදී හෙළි වුනේ නැද්ද රනිල් ට තියෙන්නෙත් හිට්ලර් ට වගේම විනිවිදිය නොහැකි කළු කුහරයක් කියල (impenetrable black hole). කවදාකවත් වරදකාරී හැඟීමක් ගැන දැනිලවත් තියෙනවා  රනිල් ට? ඉතින් පස්සෙන් යන අනික් උන් ගැන කුමන කතාද. 

රනිල් මෛත්‍රී කියන ගූ පුච්චා ගෙන කන 'නායකයෝ' දෙන්නට සහ බැඳුම්කර සල්ලි වලින් තමන්ගේ දරුවන්ට ගූ කන්න දෙන පාර්ලිමේන්තු පාරහයින් හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි. "ගූ පුච්චා කකා උඹල හොඳින් හිටපල්ලා. අපි නම්බු පිටින් හිඟා කන්නම්". 

මෙහෙම ඉන්නවට වඩා හිඟා කන එක නම්බුයි රනිල්.... කොහොමත් මෛත්‍රී දිහා දැක්කම හොඳටම පේනවා එයා ඉන්නේ අහම ගොඩක් තුවාල කරගෙන කියන එක. කවුරුවත් එයාට ගරු කරන්නේ නැති එකෙන් එයා බිමට ම වැටිලා තියෙන්නේ (මොකද අදටත් මහින්දට මිනිස්සු බිම දිගාවෙලා වඳිනවා කියල එකත් එයාට පෙන්වා ඇතිනේ). විෂාදය හැදිලා නතර වුනොත් ඇති තව මොනවා හ‍රි හැදෙන්නේ නැතුව. සත්‍යයට පිටුපාන හැමෝම නතර වෙන්නේ මානසික රෝහල් වල. තනතුර දමල ගහල මිනිස්සු ළඟට එන්න, සත්‍ය කතා කරන්න, එතකොට නිකම්ම විෂාදය සුව වෙනවා මෛත්‍රී (අනෙකා ට තමයි විෂාදය සුව කළ හැක්කේ. වෛද්‍යවරුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ). බලන්න චර්චිල් කරන දෙය Darkest Hour (2017) චිත්‍රපටයේ.   
   
අන්තිමට ගෝඨා ට හරි වෙන රාජපක්ෂ කෙනෙකුට හරි රටේ නායකයා වෙන්න චන්ද ඕනි නැහැ. මිනිස්සු මැදමුලනට ගිහිල්ලා වැඳලා කියයි අනේ අපිව බේරගන්න ආපහු එන්න 'උතුමාණෙනි' කියල (ඇත්තටම මහින්ද ඉන්නෙත් එතකම්). ගැටලුවට උත්තරේ ගෝඨා නෙවෙයි තමයි. නමුත් වෙන මොකක්ද විකල්පය? ඉතින් රජවරු බිහිවෙන්නේ හෝ බිහිකරන්නේ කවුද? ඔය තුට්ටු දෙකේ බුර්ෂුවා කාලකන්ණි විසින්ම යි. මිනිස්සු විසින් නෙවෙයි... 




Sunday, June 3, 2018

'නයි පැටවීම' ගැන ලියන වග නම් ...

'දේශපාලනය හැර අන් සියල්ල දේශපාලනය තුල පවතිනවා' (ජිජැක්) මෙන් දැන් දැන් මුහුනුපොතේ වමේ දේශපාලනය යනුවෙන් විකසිත වන අවකාශය තුල සත්‍ය වම හැර අන් සියල්ලම පවතී. විචාරකයින්, අරගලකරුවන් සහ ස්ත්‍රීවාදීන් සහ තවත් බොහෝ අය ලෙස අනන්‍යතාව වෙනුවෙන් තමාගේ ම සටනක නියැලෙන සියල්ලෝම විසින් මුහුණ පොත පාවිච්චි කරන්නේ අනෙකාට වඩා තමා අශ්ලීල වන්නේ කෙසේද යන අපගමනය තුල පිහිටාය. මෙය නළු නිලියන් අතරද ප්‍රසිද්ධය. එක් කාඩේශියන් කෙනෙක් උඩු කය නිරුවතින් පාරේ ඇවිද ගියහොත් අනෙක් කාඩේශියන් යටිකය නිරුවතින් පාරේ දුවයි. සියල්ලම නාට්‍යයක පරිදි සිදුවෙයි. කැමරාකරුවන්ට කලින්ම දන්වයි. පැපරාසින්ට කලින්ම ගෙවීම් කරයි. පවතින්නේ එකම දෙයකි. ඒ විපරීත බව පමණය. අප පණ ගැට ගසා ගත යුත්තේ මෙවැනි අවකාශයක ය. මොවුන් සියල්ලන්ටම මතක් කර දිය යුතු දෙය නම් 'මුලධර්මවාදය යනු යම් අනන්‍යතාවයක් සමඟ අනන්‍යවිම නිසා බිහි වන්නක් නොව යම් අනන්‍යතාවයක් සමඟ අධි-අනන්‍යවිම නිසා හට ගන්නක්' යන්න ය.

ලාංකික වමේ කියාගන්නා ක්‍රියාකාරීන් ගේ සහ ස්ත්‍රීවාදී යැයි කියාගන්නා ගැහැණු සහ මිනිසුන්ගේ මුහුණු පොත් සංවාද දෙස බැලු විට පෙනීයන කරුණක් නම් පරස්පරතා ගැන සාකච්චා කිරීම කෙසේ වෙතත් ඔවුන් කොතරම් අශ්ශීල ලෝකය සමග වශී වී ඇත්ද යනුය. කෙලින් හෝ වක්‍රව කුණුහරප එකිනෙකාට කියාගන්නේ නැතුව වාක්‍යයක් වත් ඔවුන්ට ලියාගත නොහැකි තරමට ඔවුන් අධ්‍යාත්මිකව පිරිහී ඇත. පෙරටුගාමී පක්ෂය උපදෙස් ගන්නේ මොවුන්ගෙන් නම් ඔවුන්ට දෙයියන්ගේ පිහිටය. මාගේ යහළුවෙක් මට කිවේ 'මචං උන්ගේ මුහුණු පොත් බලපුවාම සිංහල භාෂාව කොතරම් අශ්ශීල ලෙස භාවිත කල හැකිදැයි ඉගෙනගත හැකි' බවයි. ඔවුන් හිතන්නේ මෙම අශ්ශීල බව ඔවුන්ගේ 'පිරිමිකමේ' හෝ 'පිරිමි වෙන්න හදන ගැහැණුකමේ' (becoming masculine) ධනාත්මක ආභරණයක් ලෙසය. අපට කීමට ඇත්තේ ඔවුන් ඇත්තටම පිරිමින් හෝ ගැහැණුන් නොව විපරීතයින් යන්නය. ඔවුන් ආශක්ත වී ඇත්තේ පශ්චාත් නුතන (නො)පිරිමි (නො)ගැහැණු (පිරිමිත් නොවන ගැහැණුත් නොවන නමුත් තමුන්ගේ භෞතික ශරීර තුල ඔවුන් පිරිමින් හෝ ගැහැණුන් දෙකම වන) අනන්‍යතාව සමගය යන්නය. ඇත්තටම ඔවුන්ට 'බවට-පත්වීමට' (to become) අවශ්‍ය කුමක්දැයි ඔවුන් දන්නේ නැත. මේ පශ්චාත් යටත් විජිත වහල් මනසේම දිගුවක් යන්න අපට නිරීක්ෂණය කල හැක. ඔවුන්ට බටහිර වීමට ආශා කරයි නමුත් නලින් ද සිල්වා පැහැදිලිව ප්‍රකාශ කර ඇති අයුරින් අපට බටහිර විය නොහැකිය. අප කියන්නේ අප බටහිර විය යුතු නැති බවයි. අප විය යුත්තේ 'අප බවට' පත් වීමය (who we are in the present global order of universalized perversion?). අප සොයා ගත යුත්තේ ලෝකය තුල අප කවුද යන්නය. ශුන්‍ය ලෝකය තුල අපගේ වටිනාකම් මොනවාද යන්නය. අප බටහිර මෙන්ම වචන දෙකකට එකක් බැගින් කුණුහරප කියන ජාතියක් ද? අපේ උරුමය එයද? ඔවුන්ට වීමට වුවමනා බටහිර නිල් චිත්‍රපට නිළියන්ද? ස්ත්‍රීවාදය යනු එයද??

දැන් අප නිෂ්පාදන කරන්නේ දැනුම වත් මතවාද වත් නොව කුණුහරප සංස්කෘතියක් ය (තමා විසින් තමාව විනාශ කර ගැනීම පිළිබද අපගේ ලිබිඩෝ ආශාවයි). තම තමන් ජනප්‍රිය වන්නේ තමන් අනෙකාට වඩා හොඳින් කුණුහරප දන්නා බව ලෝකයට පෙන්වීමෙනි. වඩා ජනප්‍රිය වන්නේ වඩාත් හොදින් කුණුහරප උච්චාරණය කල හැකි වාමාංශික විචාරකයින්ය. "Industry එකේ රැඳීමට නම් ඊට අදාළ නව නිෂ්පාදනයන් බිහි කල යුතුය. industry එකේ ඔහුගේ ක්ෂේස්ත්‍රයට අදාළ නිෂ්පාදනයන් යනු, සතියකට සැරයක් පුවත් පතකට සිනමා විචාරයක් ලිවීම, ලංකාවේ සිනමා කරුවන්, නාට්‍ය කරුවන් වන්නන්ගේ ( සිනමා කරුවා යනුද විද්යාඥයන්, වෛද්‍ය වරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරී වරුන් වැනිම තවත් ධනවාදයේ අනන්‍යතාවයකි) සිනමා කෘතීන් පිළිබඳව නොනවතින් විචාර සහ එම විචාර සඳහා අලුත් මානයන්, "දැනුම"එක් කිරීම" අවශ්‍ය වේ (ගොඩේ බයියා, මුහුණු පොත). ඉතින් ගෝලීය විපරිත බව තුළ ඔවුන් නිෂ්පාදන කරන්නේ කුණුහරප ය. ඒ අනුව සමකාලින ලංකාවේ දියුණුම අයුරකින් (අශ්ලිල ම) දෘෂ්ටිවාදය එකිනෙකාට එරෙහිව පාවිච්චි කරන්නේ 'ගොඩේ බයියා' මුහුණු පොත සහ ඒ අවට සිටින කිහිප දෙනෙකි. ඔවුන් කරන්නේ කුමක් හෝ වචන ටිකක් දමා පවතින කතිකාව (පිළිවෙල) අවුල් කර දැමීමයි (සමහර විට මර්වින් සිල්වා කරන දෙය නැත්නම් රාජිත සේනාරත්න විසින් තෙල් මිල ඉහල ගියදා ම වාගේ ප්‍රභාකරන්ට 'මහත්තයා' කීවා වැනිය. ඉන්පසු තෙල් ප්‍රශ්නය අමතක වී මාධ්‍ය වල පළ වුවේ මහත්තයා කතාවයි). විපරිත මාධ්‍ය අවකාශයක ජීවත් වන අපට මෙම 'කෘත්‍රිම අධිනිශ්චය' එකවරම තේරෙන්නේ නැත (මට පවා මෙය තේරුම් කර දුන්නේ පිටරටක ඉපිද මෙරටට පැමිණි අයෙකි!).


හොදින් සිතා බැලුවොත් 'ගොඩේ බයියා' කරන්නේ සරල වැඩකි. ඔහු කරන්නේ අනෙකා ප්‍රකෝප කිරීමය (කොහොමත් අනන්‍යතා අර්බුදයක සිටින අප ඔහුගේ ගැටයේ පටස් ගා අසුවේ). බයියා කරන්නේ අපව අවුල් කර පැත්තකට වී බලා සිටීමය. ඔහු කරන්නේ තමාට බනින්නට අනෙකාට බල කිරීමය (විපරීත අභිනයකි. නමුත් ඔහු කරන දෙය ඔහු දන්නා හෙයින් ඔහු විපරීතයෙක් නොවේ). එසේ කුණුහරප කියා උඩු බුරන්නට හදන විටම අනෙකාගේ සංකේත විශ්වය (symbolic world) විනාශ වන බව ඔහු හොඳින් දනී (ඔහුගේ එක පොස්ට් එකකින් ලංකා බණ්ඩාරණායක සහ විදර්ශන කන්නන්ගර එකවර ඇනගත්තේය). ඔහු කරන්නේ අනෙකා ඔහු හෝ ඇය විසින්ම විනාශ වන්නට හැරීමයි. හැමෝම විනාශ වූ පසු කරන්නට වුවමනා දෙය ඔහු පිටුපස සිටින අය දනී. ඔහුට උපදෙස් දෙන අය දැනට යටි බිම් ගතව සිටින්නේ එහෙයිනි. ඇත්ත භුමියේ දේශපාලනයක් අබියස දැන් සිටින අප වැනි 'සෙලිබ්‍රිටි විචාරකයින්' අවසන් වන බව ඔවුන් දනී. තමාගේ වාරය එනතෙක් ඔවුන් නිසොල්මන්ව සිටි. ඔවුන් කරනා දෙය ගැන ඔවුන් ඉතාම දැනුවත්ය. මිත්‍රවරුනි, දැනට මට කිවහැක්කේ එපමණකි. දැනට අප විසින් වැදගත් කරුණු කිහිපයක් ගැන සිතිය යුතුය. 

ඒවා නම්; විචාරකයෙක් වීම යනු පවත්නා ක්‍රමයම නඩත්තු කිරීමට උරදීමක්ද? අප විචාර ලියන්නේ අපගේම අනන්‍යතා ගැටළුවක් විසඳා ගැනීම වෙනුවෙන්ද? එසේ නැතිව අපගේ සෙලබ්‍රිටි ජිජැක් පන්නයේ දැනුමෙන් සැබෑ විප්ලවයක් සිදු නොවේද? එසේ දැනුමක් නොමැතිව, වැඩිය පොත් නොකියවා (මාවෝ) විප්ලවය කල හැකිද?තේරුමක් නැති එවුන්ට 'පාන අල්ලන' පෙරටුගාමී එක ගැන ගොඩේ බයියා කියන කතාව සත්‍ය වුවත් ඔහුගේ ම පරස්පරයන් ගැන විමසා පලක් නැත්තේ බයියා යනුවෙන් යමක් නොපවතින බැවිණි (no content). පවතින්නේ ඉතාම දැනුවත් නරුම ප්‍රකෝපකයෙකි (cynical provoker). දැන් පෙරටුගාමී එකට න්‍යාය සපයන්නේ කවුද? 'පෙරටුගාමී එකේ ඉන්නේ මෝඩයන් යැයි කියන දැනුම' (නලින් කියන දැනුම පිළිබද දැනුම) ගොඩේ බයියා ලබා ගත්තේ කොහෙන්ද? එය 'එතුමා' ලබා ගන්නේද දීප්ති සහ අපි කිව් දේවල් පාදක කරගෙනය. ස්ත්‍රීවාදී කට්ටිය ගැන ගොඩේ පාවිච්චි කරන දැනුම ද මුලින් ලංකාවට ගෙන ආවේ අපිය. ඒ සඳහා අපට පොත් කියවීමට සිදුවිය. අපිට පේටන්ට් අවශ්‍ය නැති වුවත් කතෘ මකා දැමිය හැකිද? 

'එහෙත්' මෙහෙමයි. 'මෙහෙත්' එහෙමයි.

අධ්‍යතන වාමාංශිකන්ගේ කාගේත් සුරතලිය.