Friday, July 20, 2018

වඳවී යන්නේ නම් අති ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස වඳවී යමු....


මේ සිංහල අපගේ රටයි (iv)
සිංහල කම වගේම සිංහල බෞද්ධ උරුමයෙන් නුතන ලෝකයට යමක් සද්භාවී ලෙස උකහාගත හැකිනම් එසේ කිරීම ඉතාම වැදගත් දේශපාලනික කාර්යයක් කියන එක ඉස්මතු කිරීම පිණිස ලියවෙන මෙම ලිපි මාලාව දුටුව හැටියේ ම කියවන කෙනෙකුට පළමුවෙන්ම හිතට එන්න පුළුවන් හැඟීම තමයි අම්මෝ මේ හදන්නේ ආපහු අපගේ ජාතිකත්ව සාරය වෙත ආපසු යාමට යෝජනා කිරීමක්ද කියල. විශේෂයෙන් ජපන් ශුන්‍යතා උදාහරණය වෙත නැවත නැවත ගමන් කිරීම නිසා එසේ සිතෙන එකේ වැරැද්දකුත් නැහැ එක අතකට. නමුත් මෙතැන දී කරන්න හදන්නේ එහෙම ජාතික 'සාරය' වෙත ආපසු ගිහින් ඒ සාරය අහිමි කරපු පරිකල්පනීය සතුරෙක් සොයන එක නෙවෙයි. මේ ලේඛනයේ කිසිම තැනක සතුරෙක් හඳුනා ගන්නේ නැහැ. ඒ වගේම සුවිශේෂ සාරයක් හඳුනා ගන්නෙත් නැහැ (බුදුදහමේ මුලික ඉගැන්වීම තමයි සාරයක් හෝ ආත්මයක් නැහැයි කියන එක). මෙතන කරන්නේ ඉතිහාසයේ යම් සබුද්ධික උරුමයක් තිබුණා නම් එම උරුමය නුතන රූපකය වෙත රැගෙන එන එක, නැත්නම් අවම වශයෙන් එහෙම කරන්න පුළුවන්ද කියල සොයල බලන එක (නමුත් බටහිර නුතනත්වය කියන්නේ ම ත් අනෙක් අතට පරස්පරයක් කියන එකත් අප අමතක කලයුතු නැහැ). උදාහරණයක් වශයෙන් 'බුදල්මි. සියොවැ ආමි' නම් සිගිරි ගියේ ඇති ස්වයං නිශේදනය වනාහී උසස් චින්තන පරිකල්පන අවකාශයක් කියල හඳුනා ගන්න එක. පෙරදිග චින්තනයේ කතිකා අවකාශය ගැන කතාකරන කෙනෙකුට සතුරෝ සහ විරුද්ධ මත මර්ධනය ගැන කතාකරන්න ඕනි නැහැ. අතීත භාරතයේ එකිනෙකට වෙනස් චින්තන අවකාශ කිසිම ප්‍රචණ්ඩ මර්ධනයකින් තොරව එකට පැවතිලා තියෙනවා. හින්දු අය, බුදුන්ගේ අනුගාමිකයෝ, ජෛන මහාවිර ගේ ශ්‍රාවකයෝ, සච්චක ල, සංජය බෙල්ලත්ති පුත්ත, පකුධ කච්චායන, අජිත කේසකම්බලී ල ඔය ඔක්කොම එකට ඉදල තියෙනවා කඩු කිණිසි ගන්නේ නැතුව. එහෙම වෙන්න හේතුව තමයි ඒ හැම කෙනකුටම තමාගේ කියල දර්ශනයක් තිබුණ පය ගහ ගන්න. විශේෂයෙන් අජිත කේසකම්බලි හදුන්වන්නේ 'පරාජය කළ නොහැකි' (unconquered) නම් විරුදාවලියෙන්. ඒ තරම් ඔහු තර්කයේ දක්ෂයෙක්. නමුත් කවුරුත් ඔහුට ගුටි ගහල පරාජය කරන්න ගියේ නැහැ. ඒ වගේම ඒ කිසිම කෙනෙක් වෛරයෙන් යුක්ත කිසිවක් සමාජගත කරලත් නැහැ. නමුත් බුද්ධාගම ප්‍රතිජීවනය කරන්න හදපු බොහෝ අයට වුනේ මිණී මරණ එක සාධාරණී කරන මතවාද ගොඩ නඟන්න. ඒ වරද ම ජපන් දාර්ශනිකයෝ අතිනුත් උණා. මොකද හැමෝගෙම සතුරා වුණේ බටහිර අනෙකා. ඉතින් මේ ළිපි මාලාව ලියන්නේ ඉහත සියළු දේ ගැන දැනුවත් ව. විශේෂයෙන් නුතන බව ඇතුලේ තුවාල වුන අපගේ 'අහම' සුවපත් කළ හැක්කෙත් නුතන බවට මයි කියන පසුබිමේ ඉඳගෙන තමයි මේ ළිපි මාලාව ලියන්නේ (එතැනදී අපගේ අහම ගැන පෙරදිග දර්ශනයේ කියවෙන දේ අපිට අතිශයින් වැදගත් අප අපරදිග නුතනත්වය වෙත පිය මනින විට). නැතුව බටහිරද හරි අපි ද හරි වගේ කතා කිය කිය ඉඳල දැන් එච්චර පලක් නැහැ කියල හිතෙනවා. අවශ්‍ය වෙන්නේ මේ දෙකම දිහා බලල සාධනීය දේ ගන්න එක. එතැනදී (ඒ කියන්නේ වරණයේදී) අපිට ම කියල තර්ක බුද්ධියක් තියෙන්න ඕන.         

මෙලොව පැවතීම (being in the world) මෙන්ම මෙළොව නොපැවතීම ද (not being in the world) එකසේ ම වැදගත් දාර්ශනික මාන දෙකක්. පැවතීම ඇතුලේ යමක් සිදු විය හැකි වගේම නොපැවතීම ඇතුලෙත් අර්ථයක් ජනනය කරගත හැකියි. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ තත්වයන් දෙකෙන්ම වෙනස් තුන්වැනි තත්වයක්. ඒ නම් පැවැත්ම ඇතුලෙම පවතින නොපැවැත්ම (not being within the being itself). පැවත්ම යනු ශුන්‍යතාවයක් බවත් ශුන්‍යතාව කියන්නේ පැවත්මට ම කියන තවත් නමක් බවත් කිව්වේ මාටින් හෛඩගර්. ශුන්‍යතාවය සත්‍ය ලෙසම අත්දකින භුමිය දර්ශනය යනුවෙන් තේරුම් කරන්නේ ලුවී අල්තුසර්. මහායාන බුද්ධාගම නිසාද නැත්නම් බටහිර පරමාණු බෝම්බ වලින් අළු දුවිලි වෙච්ච නිසාද දන්නේ නැහැ ජපානය විසින් ඔවුන්ව හදුන්වා ගන්නේ 'ශුන්‍යතාවයේ භුමිය' කියල. නමුත් එම ශුන්‍යතා භුමිය විසින් කරන්නේ වෙන කිසිම තැනකින් එන දෙයකට යටත් නොවී ඒ හැම දෙයක් දිහාම බලල තමන්ගේ කියල එකක් හදන එක (තමන්ගේ එක වගේම අනුන්ගේ එකත් විසංයෝජනය කරන එක. අද තියෙන ටොයෝටා කාර් එක නෙවෙයි හෙට තියෙන්නේ. හෙට තියෙන එක නොවෙයි අනිද්දා තියෙන්නේ. ගෘහයක් හදනවාට වඩා වේගයෙන් ඔවුන් ඒක කඩලා දානවා. විසංයෝජනය කියන එක සංසාරය සහ නිර්වාණය අතර පවතින අවිච්චින්න තත්වයක් ලෙස ඔවුන් ලෝකයට ටොයෝටා කාර් එක හරහා ප්‍රක්ෂේපනය කරනවා. ඇත්තටම ගත්තම ටොයෝටා කියල නිශ්චිත මෝටර් රථයක් කවදාවත් තිබිල නැහැ. තිබුණා නම් තිබිල තියෙන්නේ අනිත්‍ය යමක්. will - to - architecture වෙනුවට ඔවුන් අපිට පෙන්නලා තියෙන්නේ deconstructing architecture කියන එක). සියල්ල වෙනස් වීම ඇතුලේ අපට හමුවන 'නොපැවතීමේ හිස්බව' (emptiness in existence) කියන්නේ පතුලක් නොපෙනෙන ගැඹුරක්. ඒ ගැඹුර තේරුම් ගන්න නිශ්ශබ්දතාවය අවශ්‍යයි. ඒ නිසා 'ශුන්‍යතාවයේ ජපන් භුමිය' (the land of nothingness) අතිශයින් නිශ්ශබ්ද යි. නිශ්ශබ්ද බව කියන්නේ ඔවුනට අධ්‍යාත්මික දේශපාලනයක් (ශබ්ද දුෂණය කියන එක ඔවුන්ට අමුතුවෙන් තරණය කළ යුතු අලුත් දෙයක් නෙවෙයි). ඉන්දියානු අභාෂය නිසාද මම දන්නේ නැහැ ලංකාව කියන්නේ තනිකරම ගෝෂා කලාපයක් (දේශපාලන, ආගමික, සංස්කෘතික, කාර්මික ගෝෂා). ඒ ගෝෂාව ඇතුලේ දෝංකාර දෙන්නේ පුපුරණ තරම් ලොකු අහම, විශේෂයෙන්ම අනන්‍යතාවය බරපතල විදියට රිදවා ගත්ත වම්මුන්ගේ මමංකාරය තමයි දෝංකාර දෙන්නේ හැම තැනම (මළවුන්ගේ දෝංකාරය කියලත් කියන්න පුළුවන්). නිෂිතානි ට අනුව 'ආත්මයේ ස්වයං විසංයෝජනය' (self-deconstruction of the self) තමයි ජපන් ශුන්‍යතාවයේ පදනම. නමුත් අහම නැති තැනක් ගැන හිතන්නවත් බැරි තරමට අපි බටහිර පරිභෝජනය සහ අර්චනය සමග අනන්‍ය වෙලා (නොපැවැත්ම ඇතුලේ සිදුවන ස්වයං-විසංයෝජනයක් වන ටොයෝටා කාර් එක* කියන්නේ අපේ අයට අර්චන යමක්. වාහන බලපත්‍රය හරහා අනිවාර්යයෙන් ගෙන්විය යුතු නව අනන්‍යතාවයක්). ඉතින් විගලිත අපේ පරමාදර්ශය තමයි ලොකුම ලොකු අහමක් බාහිර ලෝකයට පෙන්නන කාඩේෂියන් ල වගේ වෙන්නේ කොහොමද කියන එක. ඉතින් 'වඳවී යන සිංහල ජාතිය' තුළ ඉන්න පියුමි හංසමාලි වගේ අයට එහෙම වැල නොකැඩි කුණුහරප කියවෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි මෙම විපරීත ලෝකය තුළ.
                 
සිංහල ජාතිය වගේම ඇස්කිමෝවරු සහ රතු ඉන්දියානුවන් ලෝකයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් උපුටා දක්වමින් ගරු කතානායක කරු ජයසුරිය මහතා පෙන්වා දෙනවා. හැමෝම වගේ ඒක උණු උණුවෙම  වාර්තා කරලත් තිබුණා එක එක විදියට. 'මේ සිංහල අපගේ රටයි' නම් ලිපි මාලාව අප ලිවිම ආරම්භ කළේ ම ඉහත අනිත්‍ය නම් සත්‍යය සිහිගන්වමින්. අපේ සද්භාවය ඇතුලේ අපිව ම ජාතියක් හැටියට අවසානයක් වෙත ලඟා වෙනවා කියන එක මහා අරුම පුදුම දෙයක් නොවේ. අපිට පුළුවන් ලෝකයට ඔප්පු කරන්න අපි විශ්වාස කරපු ධර්මය කොතරම් සත්‍යයක් ද කියල ලෝකයෙන් අපගේ ඉවත්වීම තුළ ම. බුදුන් දේශනා කල එම සත්‍යය සැබෑ ලෙස ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය (School of the Elders) ආරක්ෂා කරපු අපට වඩාත්ම අදාලයි සහ එම සත්‍යය අපට ක්ෂිතියක් නොවෙයි. ඒක ක්ෂිතියක් වෙන එක බුදුන් වහන්සේ වලක්වල තියෙනවා අපිට අනිත්‍ය මුලධර්මය ඉගැන්වීම ඔස්සේ (බලන්න කොච්චර අමාරුවෙන්ද මේ ලෝකය අවසන් වන මොහොත බටහිර ආත්මය වැළඳ ගන්නේ ලාස් වොන් ට්‍රියර් ගේ Melancholia චිත්‍රපටය ඇතුලේ). එසේ යම් අවසානයකට සිංහල ජාතිය පැමිණිය හොත් එය අපගේ පැවැත්මේ සමස්ත හිස්බව (void) නැවතත් ලෝකයට විද්‍යාමාන වීමක් (සදාකාලික කියල හිතාන ඉන්න අනිත් හැමෝටමත් කවදා හරි එම සත්‍යය ට මුහුණ දෙන්න වෙනවා). එහෙම වඳ වෙනවා කියල මෝඩයෝ වගේ අද ඉඳල දරුවෝ වැඩියෙන් හදන්න ගැහැණුන්ට දුක් දෙන්න ඕනි නැහැ. නමුත් එකම එක දෙයක් මතක් කරන්න ඕනි. අපි බය නැතිව වඳවී යාම නම් සත්‍යයට මුහුණ දෙමු. හැබැයි පහත්, වටිනාකම් නැති, හැම දේට ම ගහ මරාගන්නා, එක වැලට කුණුහරප කියන, ළමයින්ට අරක්කු පොවන මිනිස්සු හැටියට නෙවෙයි. භෞතික ලෝකය ඇතුලේ සමාධි පිළිමය නෙළපු, අවුකන පිළිමය නෙළපු, පරාක්‍රම සමුද්‍රය හදපු ලෝකයේ අති ශ්‍රේෂ්ඨ ජාතියක් හැටියට අපි ඉවත් වෙමු. මාක්ස්වාදයෙන් අපේ අධ්‍යාත්මය විනාශ නොකරගත්ත ජාතියක් හැටියට අපි හැමෝම මේ ලෝකයට ආයුබෝවන් කියමු... තරුණ භික්ෂුන් වහන්සේලා ම තවත් භික්ෂුන් නිරුවත් කර නවක වධය දෙනවානම් ඉතින් තවත් මොනවද ඉතුරුවෙලා තියෙන්නේ බෞද්ධ ශාසනය ඇතුලේ? ජ්‍යෙෂ්ඨ උත්තමයෝ භික්‍ෂුවකගේ සිවුර ගලවා නිරුවත් කර දස වද දෙති නම් ප්‍රවෘතියක් හැම මාධ්‍යය ම වගේ පසුගියදා වාර්තා කරලා තිබුණා. ඒ වගේම හිටපු වමේ කට්ටියක් ලොකු ලොකු වචන දාල (කාන්ටියානු ආචාරධාර්මික වගේ) අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න උත්සාහ කරන බවට ප්‍රවෘතියකුත් දකින්නට තිබුණ. කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සර වෙලා උසස් අධ්‍යාපනය වමේ නරුම අවස්ථාවාදයෙන් බේරා ගනිමු. ඊට පස්සේ බලමු කාන්ට් ගැන. හෙළුවල්ලෙන් ඉන්න එක බැලීම තරුණ උපසම්පදා හාමුදුරුවරුන්ගේ ආශාව වෙච්ච් කොට මොන දර්ශනය ඉගැන්නුවත් වැඩක් නැහැ ඒ අයගේ මුලික ආශාව තරණය කරන්න (අපරදිග) හෝ හික්මවා ගන්න (පෙරදිග) ගැඹුරු මාවතක් යෝජනා කරන්නේ නැතිව (අනෙකාගේ හෙළුව කියන්නේ ගෞරවනිය දෙයක් ලෙස තේරුම් ගන්නේ නැතිව කිසි දෙයක් කරන්න පුලුවන්ද මේ පොළොවේ?). අඳුරේ අපි හෙළුව පෙන්නුවත්, අනෙකාගේ හෙළුව බැලුවත් ඒක දිව්‍යමය දැක්මෙන් (divine gaze) වලක්වන්න බැහැ බටහිර ක්‍රිස්තියානි අරුතකින් ගත්තමඒ වගේම නිෂිතානි කියන විදියට අනෙකා සම්බන්ද ව අපි පතුරන්න ඕනි 'මහා කරුණාව' (the Great Compassion) හරහා ම තමාව දියවී යා යුතුයි කියල උගන්වන බුද්ධ පුත්‍රයන් ම අපව නිරුවත් කරන්න නියෝග දෙනවානම් ඉතින් කෝ සංඝ සාසනය බාර නායක කාරකාදීන්? 

ඉහතින් 'භෞතික ලෝකයේ සමාධි පිළිමය' නම් වැකියේ භෞතික ලෝකයේ යනුවෙන් විශේෂයෙන් ලිව්වේ සිංහල බෞද්ධ අප විසින් පවා භෞතික ලෝකය වෙනස් කරන්න උත්සාහ කළා කියන එක අවධාරණය කරන්නයි. ඒ කියන්නේ අප සියලු කල්හි අධ්‍යාත්මික ජාතියක් පමණක් නොවූවාය යන්න මෙතැනදී කිව යුතුමයි. අධ්‍යාත්මික බව එක්කම අපි භෞතික ලෝකය එක්ක හැප්පිලා තියෙනවා. ඒක නිසා තමයි අපිට මහා විශාල වැව් අමුණු කරන්න පුළුවන් උනේ. පෙරදිග කිවූ ගමන් ගල් ගුහාවලට රිංගල භාවනා කරපු පිරිසක් පමණක් නොවේ අපි (ඩී. එච්. ලෝරන්ස් කියන විදියට මියන්ගේ ආගම). පෙරදිග තුල ම භෞතික වාදයක් තිබුණා. අපරදිග තුලත් අධ්‍යාත්මික වේදයක් තිබුණා. ඒ නිසා මෙම 'පෙරදිග අධ්‍යාත්මික' (ආත්ම ගවේෂී) සහ 'අපරදිග භෞතිකවාදී' (බහිර් ගවේෂී) යැයි හණ ගහපු සද්භාවී බෙදුම් කඩනය සම්පුර්ණයෙන්ම වැරදි මතයක් බව කියන්නේ සුප්‍රසිද්ධ ජපන් බුද්ධිමතෙක් වූ හජිමෙ නකමුර. ඔහුගේ ප්‍රසිද්ධ 'පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි' (1974 - පී. බී. මීගස්කුඹුර පරිවර්තනය) කෘතිය ඔස්සේ ඔහු ගෙනෙන මතය තමයි පෙරදිග චින්තනය යා කරන හුය බුද්ධාගම කියන එක. ඒක භාරතයෙන් පටන් ගෙන චීනය හරහා ජපානයට යන බවත් ඒ ඔස්සේ එය බටහිරට සම්බන්ද වන බවත් ඔහු නිරීක්ෂණ කරනවා. ජපානය ලෝකයට විවෘත කල මෙයිජි ප්‍රතිසංස්කරණ (ජේ. ආර්. ගේ ප්‍රතිසංස්කරණ නොවේ) වලින් පසු සියවසක් ගෙවෙන්නටත් පෙර ජපනුන් ශූර අන්දමින් 'අපරදිග සංස්කෘතිය අනුහුරු කොටගෙන උකහාගත් බවත්'  ඒ සමග බද්ධ වූ බවත් ඔහු පෙන්වා දෙනවා. බටහිර කාර්මිකකරණයට කිසිසේත් සම්පුර්ණයෙන් ජපන් ජාතියේ සංස්කෘතිය සහ අභිචාර විධි වෙනස් කරන්නට නුපුළුවන් වූ බව ඔහු තව දුරටත් පෙන්වා දෙනවා (ධනවාදයට කප්පාදු කල නොහැකි වූ අන්තරගතය යනුවෙන් මෙය හැදින්විය හැකියි).  දීර්ඝ යටත් විජිත යුගයකින් පසුව පවා, ගෝලීයකරණයේ බලපෑම තිබියදී පවා, බටහිර අනුකරණය කරමින් චීනය සහ ඉන්දියාව පවා වෙනස් නොවූ බවත් එය 'නොදියුණු' 'ඌන සංවර්ධිත'  ලක්ෂණයක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා. ක්‍රිස්තියානිය එම රටවල පැතිරුණේ ඉතාම අඩුවෙන්. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ බටහිර විසින් යෝජනා කරන 'විමුක්ති විෂය' (subject of liberation යනුවෙන් හෙගලියානු-ජිජැකියානු පාසැල හදුන්වන දෙය) සහ පෙරදිග (විශේෂයෙන් බුද්ධාගම තුල) යෝජනා කරන විමුක්ති විෂය අතර පවතින සද්භාවී වෙනස. බටහිර විමුක්තිය පිළිබද යෝජනාව එන්නේ මෙලොවට විසිකර දැමු 'බෙදුණු මිනිස් විෂයක්' ඔස්සේ (මෙතනදි 'විෂය' කියන එක පවා තීරණය වන්නේ ක්‍රිස්තියානි දේව සංකල්පය එක්ක. බුද්ධාගම ඇතුලේ විෂයයක් නැහැ. මොකද තමාගේ ගැලවුම්කරු තමාම යි). ඉතින් ස්වභාව ධර්මයෙන් ඛණ්ඩනය වීම ඔවුන් තේරුම් ගන්නේ යථාවේ පරස්පරය විදියට. එවිට සම්ප්‍රදායෙන් ඛණ්ඩනය වීම ඔවුන්ගේ පැත්තෙන් අවශ්‍යයි. මොකද හේතුව සහ විද්‍යාව විසින් දෙවියන් එක්තරා තැනකදී විතැන් කරලා දමනවා සදහටම. දැන් දෙවියන් ගෙන් ඔවුන්ට වැඩක් නැහැ. නමුත් දේව සංකල්පයක් එක්ක අපි විමුක්ති අර්ථයෙන් ගැට ගැහෙන්නේ නැති නිසා නිෂිටනි කියන්නේ ආගම සහ විද්‍යාව අතර බටහිර පවතින 'පිටිපස්සෙන් පිහියෙන් ඇනීම' අපට අදාල නැති බවයි. විද්‍යාවට පෙර දෙවියන් අත තිබූ සත්‍යය දැන් තිබෙන්නේ විද්‍යාව අතේය. පුනරුදයට පෙර දෙවියන් සහ මිත්‍යාව විසින් යෝජනා කල ලෞකික ජීවිතය අද විද්‍යාව සහ තාක්ෂණය* විසින් තීරණය කරමින් ඇත. විද්‍යාව විසින් නිර්මාණය කල ආගම සහ දැනුම අතර ඇතිවූ මෙම ඛණ්ඩනය අද පුරවමින් ඇත්තේ මානවවාදය (humanism) විසින් ය (නිෂිටනි 2001: පිටුව 240). 

උදාහරණ වශයෙන් විද්‍යාව විසින් මෙසේ කියයි, 'ජලය කියන්නේ ශක්ති ප්‍රභවයක්' (water is a source of energy). නමුත් විද්‍යාවට පෙර (සහ පසු) අපට ජලය කියන්නේ වෙනස් පැවැත්මවල් ගණනාවක එකතුවක් යනුවෙන් නිෂිටනි පෙන්වා දෙනවා. උදාහරණ වශයෙන් භාවනා කරුවකුට ගලායන ජලය කියන්නේ භාවනා නිමිත්තක් (වෙනස් වීම පිළිබද), සෞන්දර්ය වේදියකුට නැත්නම් කවියෙකුට ජලය කියන්නේ ජීවිතය නැත්නම් ආදරය, ගොවිතැන් කරන කෙනෙකුට ජලය කියන්නේ දෙවියන් (වැස්ස වලාහක), ජපානයේ තේ සංස්කෘතිය ඇතුලේ ජලය කියන්නේ සංස්කෘතික අර්ථයක් යනාදී වශයෙන් අර්ථ සමුදායක් ජනනය කරන ප්‍රපංචයක් විද්‍යාව ඇතුලේ හුදු කේවල ශක්තියක් පමණයි. එහෙම පටු දැනුමක් ඇතුලේ කොහොමද අපේ විද්‍යාව ඉගෙන ගන්නා ශිෂ්‍යයෝ ලෝකය දෙස පුළුල්ව බලන්නේ? මේ ලඟදී මුහුණු පොතේ කියල තිබුණා ගොඩක් ප්‍රශ්නවලට මුල පාසල් තුල ආගම උගන්වන එක කියල. නමුත් ඇත්තම තත්වය නම් විද්‍යාව උගන්වන ගමන්ම ඒකේ සිමාවන් අප විසංයෝජනය නොකරන එක තමයි ගැටලුව. ඒවාට දක්ෂ ගුරුවරු ඕනි රටකට. විද්‍යාව කියන්නේ පරම සත්‍යය හැටියට උගන්වල වැඩක් නැහැ. ඉතින් මේ විද්‍යාව විසින් කරන දැවැන්ත අර්ථ බහිස්කරණය (exclusion of meanings) නිසා ඔවුන්ට සිදුවෙලා තියෙනවා මානව වාදය කියන එක අමුතුවෙන් උගන්වන්න (ලෝක බැංකු නියෝජිතයෝ විශ්ව විද්‍යාල වලට ඇවිල්ලා දැන් අපිට කියනවා මිනිසුන්ගේ මෘදු ගතිගුණ (soft skills) නැවත වර්ධනය කරන්න ඕනි කියල මේ ධනවාදයට අවශ්‍ය විදියට). මිනිසුන්ගේ අධ්‍යාත්මය අමුවෙන් මරල දාල දැන් එනවා මෙතන මිනිස්සු හදන්න..නිෂිටනි ට අනුව ගත්තම බාහිර ලෝකය 'යාන්ත්‍රිකකරණය' (mechanization) කරන ගමන් මිනිසාගේ අභ්‍යන්තර ලෝකය 'මානවකරණය' (humanization) කිරීම තමයි  බටහිර විසින් කරන්නේ. 'ජලය කියන්නේ ශක්ති ප්‍රභවයක්' යනුවෙන් ස්වභාව ධර්මයෙන් මිනිසා ඛණ්ඩනය කරන විද්‍යාව (යථෙහි පරස්පර බව යනුවෙන්) නැවත අපිට කියනවා මනුෂ්‍ය වෙන්න කියල. ඉතින් විද්‍යාව ඉගෙන ගත්ත අය ආයෙමත් සෙන් ආරම වලට ගිහිල්ල ඒ අසලින් ලස්සනට ගලන දිය පාරවල් දිහා බලාගෙන ඉන්නවා මහා පුදුමයෙන්. අපේ අයත් වැඩියෙන් සල්ලි වියදම් කරලා ස්වභාව ධර්මයට වඩාත් ආසන්න වෙන්න හදපු 'විල් උයන', 'කණ්ඩලම', Back of Beyond, Uga Jungle Beach, The Banyan Retreat, 98 Acres, Ulpotha Yoga Retreat වගේ හෝටල් කබානා වලට යනවා මානසික සුවය සොයාගෙන. ඉතින් රොහාන් පෙරේරා කියන පුද්ගලයා අනූව දශකයේ මුල හරියේ හෝටන් තැන්නට යන්න හේතුව නිෂිටනි හරහා අපට අවබෝද කරගන්න පුළුවන්. නාගරික බවේ අතෘප්තිය ඇතුලේ අපි ආයෙමත් තණ කොළ පෙත්තන් ගේ හඬට ආශා කරනවා. ඔවුන් හොයාගෙන යනවා. යාන්ත්‍රික බවෙන් මිදෙන්න උත්සාහ කරනවා. 'මිනිසා' යන්න 'දෙයක්' (it) බවට පත්වෙන එකෙන් බේරෙන්න අපි හැමෝම ලොකු උත්සාහයක නිරත වෙනවා. අහිමි වී යන 'කැඩපත' (ඇලන් මිලර්)  බේරා ගන්න අඩුම වශයෙන් අපි ස්වභාව ධර්මයේ හරි එල්ලෙනවා. ඉතින් යම්කිසි වටිනාකම් පද්ධතියක හිටපු අපි එම වටිනාකම් විනාශ කරගෙන (නැත්නම් නුතන බව ඇතුලේ එම වටිනාකම් විනාශ වෙද්දී) අයෙමත් ස්වභාව ධර්මය සහ අධ්‍යාත්මය වෙතට යන්න හදනවා. නමුත් ඒ වෙනකොට ස්වභාව ධර්මය, සතා සීපාවා, ඇල දොළවල්, ගංගා නිම්න, වැව් තාවුළු වෙළඳ පොළ විසින්  තමාගේ ආධිපත්‍යට නතු කරගෙන ඉවරයි. ඉතින් 'විල් උයන' කියල අපිට පසු බාන්න (retreat) වෙන්නේ පශ්චාත් නුතන භූමියකට.       
සීගිරියේ ඉදිකර ඇති Jetwing හෝටල් සමුහයට අයිති 'විල් උයන' සුඛෝපභෝගී කබානා පෙළක්. චායරුපය ගූගල් ඉමේජ් වෙතින්.  නුතනත්වයෙන් විගලිත වුවෙකු ගේ එක් දිනක් සඳහා නවාතැන් ගාස්තුව ලංකා රුපියල් අසූ දාහක් පමණ වේ.  ලොව වඩාත්ම ස්වාභාව ධර්මයට ආසන්න ඉදිකිරීමක් ලෙස සලකන කණ්ඩලම හොටලයද පිහිටා ඇත්තේ මේ ආසන්නයේ මය. එහි ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ අප කිසිසේත් පුදුමයට පත් නොකරන නුතනත්ව විගලිත ආත්මයේ මුඛ්‍ය ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා ය. ඉතින්මේ යුගය විසින් වඩ වඩාත් ජෙෆ්රි බාවා වරු ඉල්ලා සිටී යන්න සතයක් නොවේද?.  

බටහිර අරුතින් ගත්තම 'මම' යන්න ව්‍යුත්පන්න වෙන්නේ ක්‍රිස්තියානි -කාටේසියානු උරුමයෙන් බව නිෂිටනි පවසනවා (බලන්න ඔහුගේ Self-overcoming of Nihilism නම් කෘතිය). එනිසා බටහිර ආත්මයට තමාගෙන් තමාව 'තවත් එක වස්තුවක්' ලෙස වෙන්කර ගත නොහැකි බව ඔහු පෙන්වා දෙනවා. තමා යනු ම වස්තුවක් ලෙස තේරුම් නොගන්න නිසා (තෙල් සහ පහන් තිරය සහ තවත් දේ නිසා හටගන්නා පහන් දැල්ල මෙන්) බටහිර දර්ශනය තුළ අවසාන ආත්මීය නිගමනය වන්නේ 'මිනිසා නිදහස දක්වා හෙලා දකිනු ලැබ ඇත' (සාත්) වැනි වාක්‍යයක් බව නිෂිටනි ගේ මතයයි. ඒ කියන්නේ බටහිරට අනුව මිනිසා යනු උත්කෘෂ්ට වස්තුවක් අනිත් සියල්ලට උඩින් පිහිටා තියෙන සහ දෙවියන් විසින් මෙලොවට විසිකර දැම්ම. ඒ නිසා එයාල හිතනවා ස්වභාව ධර්මය සහ සතා සීපාවා ('තමා නොවන' කාබනික දෙය) යනු යටත් කලයුතු හෝ ශිෂ්ට කලයුතු දේ හැටියට. මේ යටත් කරන සහ ශිෂ්ට කරන ක්‍රියාවලිය කියන්නේ ආතතිමය වැඩක් (anxiety). නමුත් දෙවියන් විසින් ඔවුන් ට ඒ වරය දුන්නා කියල හිතුවත් ඔවුන් විසින්ම දෙවියන් මරල දානවා. ඉතින් හෛඩගර්, ලකාන්, නීට්ෂෙ, ඩෙරීඩා, දෙලුස් හරහා අපට හමු වන්නේ ඉහත ආතතිය සහ ශුන්‍යතාව ඔස්සේ ස්ථිර භූමියක් (firm ground) හොයන්න ඔවුන් හදපු ප්‍රචණ්ඩ පාර-භෞතික උත්සාහය හැටියට තමයි නිෂිටනි බටහිර දර්ශන ඉතිහාසය අර්ථකතනය කරන්නේ (මම මේ නාමාවලියට ෆ්‍රොයිඩ් සහ හේගල් ගේ නම් දෙකත් ඇතුල් කරනවා). මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමා උත්කෘෂ්ට හැටියට ගන්නා ආත්මය මිය යන එක සහ මරණය හරහා ශුන්‍යතාවය අත්විදීමට සිදුවීම. දෙවියන් මියගිය වහාම ඔවුන්ගේ පැවැත්මේ භුමිය අහිමි වෙනවා. දෙවියන් මියගියා යන සවිඥානිකත්වය යනු බටහිර ශුන්‍යතා වයේ ආරම්භයයි. එත් සමග ඔවුන්ගේ යථාර්තය ඔවුන්ට අහිමි වෙනවා. ඉතින් සියල්ල 'හිස්' (ශුන්‍ය) බවට පත් වෙනවා. මේ අනියත සහ භූමියක් නැති තත්වය වසා ගැනීම සඳහා ශක්තිමත් (දාර්ශනික සහ අනෙකුත්) පදනම් ගොඩ නැගීමට බටහිර ශිෂ්ටාචාර උත්සාහ කරන බව කොජින් කර්තානි නිරීක්ෂණ කරනවා. ඔහුගේ ඉතාම ප්‍රචලිත Architecture as Metaphor: Language, Number, Money (1995) නම් කෘතියේ ඔහු පෙන්වා දෙන්නේ ජපන් දර්ශනය තුල බටහිර මෙන් ශක්තිමත් පදනම් සහිත ගෘහ නිර්මාණය සඳහා වූ අභිප්‍රායක් නොමැති බවයි (ටොයෝටා උදාහරණය දෙස බලන්න). ගෘහය යනු හුදු වෙනස් වීමේ රූපකයක් පමණය. ඉහත විසංයෝජන අරුතින් ගත්කළ ඉන්දු යුරෝපීය භාෂා වල වාගීශ්වර (logocentrism) බවට ජපන් දර්ශනයේ අනාත්මවාදී (selfless-ness) බව පහසුවෙන් නොවැටහෙන බව කර්තානි පෙන්වා දෙනවා. පහත හයිකු කවිය දෙස බලන්න, 
...ග්‍රීස්ම නියගය 
දඟලන තාරුකා 
       සියල්ල මිලාන වී...  
එක් නිමේෂයක ලස්සන තාරුකා දඟලමින් සිටියද අනික් නිමේෂයේ එම තාරුකා මිලාන  වී යනවා. දෙවන වැකියෙන් පළමු වැකිය විසංයෝජනය වෙනවා. අප මුලින් සඳහන් කල පරිදි මහගම සේකර ගේ 'මේ සිංහල අපගේ රටයි' යන්න 'අප ඉපදෙන මැරෙන රටයි' යන වැකියෙන් නිශේද කරනු ලබනවා. බුදල් ගේ සිගිරි ගිය තුළ ද ඇත්තේ මෙම ස්වයං-නිශේදනය. දිව්‍ය අංගනාවන් බඳු ලස්සන කාන්තාවන් දකින්න සීගිරියට පැමිණි  බුදල් තම පැමිණීම නො-පැමිණීමක් කරනවා. මේ අනුව කරතානි ගේ අදහස වන්නේ දර්ශනයේ කාර්යය යනු පදනම් ඇති බව පෙන්වා දීම නොවෙයි මිනිස් පැවැත්ම තුල කිසිදු ස්ථිර පදනමක් නොමැති බව මිනිසාට පසක් කර දීම යනුවෙන් පෙන්වා දෙන එක*. ප්‍රස්තුත කරුණට නැවත පැමිණෙන්නේ නම් ඒ අනුව සිංහල ජාතිය මිහිතලයෙන් ඉවත් වීම තේරුම් ගත හැකි දෙයක් බව ගරු කතානායක තුමාට පෙන්වා දීමට කැමති අතර කිසිදු ස්ථිර පදනමක සිරවීම තම අහමේ ශුන්‍යතාවය වෙත ගමන් ගන්නා මිනිසාට අවශ්‍ය වෙන්නේ නැහැ. එය අවශ්‍ය වී ඇත්තේ පදනමක් සොයමින් වෙහෙසෙන ප්ලේටෝ ගේ සිට අද දක්වා වූ බටහිර පාර-භෞතික පරම්පරාවකට. බෞද්ධ සම්ප්‍රදාය තුල ඉන්න අපගේ පදනම යනු  පදනමක් නොමැති බව ඔස්සේ චින්තනය හසුරුවන එක. ගෘහයක් (පදනමක්) නොමැති තැනක ඉදිමින් ම විශ්වීය බව ගවේෂණය කිරීමට හැකිවීම අප සතු සුවිශේෂ බවක්. නමුත් එය රූකාන්ත ගායනා කරන 'උලත් එකයි පිලත් එකයි' වැනි පිස්සු විකාරයක් නොවේ. ඒ වුණාට බලන්න අපේ දෙමව්පියන් නිතර මුමුණපු පහත දැක්වෙන ගීතය, 

සුදු සඳ එළියේ නළ මත පොපියන
හිරිමල් කැකුලක රොන් කෙමියේ
මුලු මල් වන ලොවැ ඉරණම සැතපේ
කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ 
(පද රචනය: මර්සලින් ජයකොඩි පියනම, චිත්‍රපටය රේඛාව) 

'රේඛාව' චිත්‍රපටයට අනුව කුඩා ගැහැණු ළමයි ටිකක් තමා ඉහත රූප රාමුවේ රංගනයේ යෙදෙන්නේ. ඒ කියන්නේ හිරිමල් කැකුළු. එයාල පිබිදුනාම තමයි ජාතිය පිබිදෙන්නේ වගේ රූපකයක් තමයි ලෙස්ටර් අපිට අරන් එන්නේ. ඒ කුඩා දැරිය තුල (රොන් කෙමියේ) සැඟවිලා තියෙනවා ජාතියක ජිවය. ඒ කුඩා මල් කෙමිය තමයි තීරණය කරන්නේ මුළු මල් ලෝකෙම ඉරණම. ඒ කියන්නේ අපි ජපනුන්ටත් වඩා ධනාත්මක ජාතියක්... අපි බලාගෙන ඉන්නේ උදේට එළිවෙනකල් වැඩ කරන්න යන්න බලාගෙන. අහල පහලකවත් නිශේදනයක් නැහැ. හිමිදිරියේ ම වැඩට ගිහිල්ල ජාතියක ඉරණම තීරණය කරනවා අපි. ගැහැණියට විශාල සංකේතීය අවකාශයක් දීලා තියෙනවා අපි ඉහත ගීතය ඇතුලේ. අපේ ජාතියේ ඉරණම තීරණය කරන්න දීල තියෙන්නේ අපි එයාලට (කාන්තාවට) කියන එක අර කුණුහරප වීඩියෝ හදන හාදය ඉක්මනට තේරුම් ගත්තොත් හොඳයි. ගීතය සහ මතවාදය ඇතුලේ කොහොම ධනාත්මක වුනත් පශ්චාත් යටත් විජිත ලංකාවේ නුවර ඉඳල කොළඹට (කිලෝ මීටර් එකසිය දහයක්) වැඩට එන්න අද දවස වෙනකොට පැය හතර හමාරක් ගත වෙනවා. ඉතින් සමහර ජාතිකවාදීන් ගොන් කරත්ත මෝටර් රථයට වඩා කාර්යක්ෂමයි කියල තර්ක කරපු රටක් මේක. ඒ ගොල්ල අදටත් කියන්නේ 'කාලය' වැදගත් නැහැ කියල. නමුත් අවසන් බුද්ධ වචනයේ කියන්නේ අප්‍රමාද වෙන්න කියල. ඒ නිසා ජපන්නු එක තත්පරයක් වත් අහක දාන්නේ නැහැ. හැම මොහොතක්ම ඔවුන්ට වැදගත්. හැම මොහොතක ම තම ජිවිත කාලේ කරන්න පුළුවන් යුතුකම කරනවා. ඔවුන්ගේ ආදර්ශ පාඨය "මේ මොහොත. මෙතැන." (මොකද ආයේ මොහොතක් එයිද නැද්ද කියල කියන්න බැරි නිසා). අපි වඳවී යන එක මඟ හැරිය නොහැකි සත්‍යයක් ලෙස (යථාවක් ලෙස) අවබෝධ කරගන්නා ගමන් ම අපි මේ ලෝකයට සම්පාදනය කල යුතු දේ අප්‍රමාදව සම්පාදනය කරමු (තෘප්තිමත් බව). ඒ වගේම අනිත්‍ය සත්‍යයත් ඒ සම්පාදනය තුල ම අවබෝධ කරගෙන ඉදිමු (ආත්මීය ආලෝකය). අප කුමක් සම්පාදනය කලත් මේ සියල්ල ම (සමස්ත විශ්වයම) නියත දෙයක් නෙවෙයි. සියල්ල ම අවසානයේ ශුන්‍ය බවට පත්වීමට නියමිතයි. ඒ නිසා කිසිවකට අවසන් හැඟවුමක් (final signifier) හෝ ස්ථිර පදනමක් (fixed foundation) ඇතැයි සිතීම එතරම් නුවණට හුරු දෙයක් නෙවෙයි.           
---------------
සටහන් 
* (i)  ක්වොන්ටින් ටැරන්ටිනෝගේ Kill Bill (2) කියන චිත්‍රපටයේ එක තැනක මෙහෙම කියනවා. බටහිර පාතාල මිනි මරුවන් දෙදෙනෙක් වන බඩ් සහ එලී ඩ්‍රයිවර් අතර සිදුවන සමුරායි කඩු ගණුදෙනුවේ දී එළී මෙහෙම අහනවා. හන්සෝ සමුරායි කඩුවක් තව ඒ සමාන කඩුවක් එක්ක සංසන්දනය කරන්නේ කොහොමද (How does this one compare to that)? එතකොට බඩ් (ඒ කියන්නේ බිල්ගේ බාල සොහොයුරා) මෙහෙම කියනවා. මිට පෙර හත්තොරි හන්සෝ කඩුවක් හදල තියෙනවා නම් ඊට පසු ඔහු විසින් හදන කඩුව විසින් මීට පෙර කඩුවක් හැදුවේ නැති බව ඒකෙන් හැඟවුම් කරණය කරනවා. ඒ කියන්නේ පසුව හදන කඩුව විසින් පෙර පැවති කඩුව සම්පුර්ණයෙන් අහෝසි කරලා දමනවා කියන එකයි (If you're going to compare a Hanzo sword, you compare it to every other sword ever made - wasn't made by Hattori Hanzo). ඒ කියන්නේ හත්තොරි හන්සෝ දැන් කඩුවක් හදල තියෙනවා නම් එකෙන් කියවෙන්නේ මීට පෙර ඔහු විසින් කඩුවක් හදා නැති බවයි (කොතරම් කඩු ඔහු විසින් නිෂ්පාදනය කරලා තිබුනත්). ඉහත දැක්වූ ටොයෝටා කාර් උදාහරණය වුනත් එහෙමයි. දැන් හදන කාර් එකෙන් ඊයේ හදපු කාර් එක අහෝසි කරනවා. බැටරි, කණ්නාඩි, එන්ජින්, ඇණ මුරිච්චි ඉඳල ඔක්කොම වෙනස්. අමතර කොටස් උනත් එන්නේ ටික කාලයයි (ඊට පස්සේ අවොත් ඒ තායිවාන් කෑලි). රීකන්ඩිෂන් කියල අපි අපේ පරණ කාර් වලට ගෙන්වන්නේ ඔවුන් විසින් විසංයෝජනය කරපු පරණ කාර් වල කැබලි (ඔවුන්ගේ කහළ ගොඩවල් ගොඩගහනවා අපි අපේ රටේ). අපි වුනත් කරන්නේ අපි ම හදපු දැනුම විසංයෝජනය කරමින් යන එක. 'ජිජැක් අධ්‍යයනය' සහ 'මගේ ලෝකයෙන් පසු ලෝකය' විසින් හදුන්වා දුන් බටහිර කේන්ද්‍රීය දැනුම මෙම ලිපි මාලාව විසින් පෙරදිග අර්ථයකින් විසංයෝජනය කෙරෙනවා. අපි ඉවතලන දැනුම තව අය ගොඩ ගහ ගන්නවා. ඒ ඔස්සේ දේශනා පවත්වනවා.  නමුත් ලංකාවේ මාක්ස්වාදීන්ට නම් මාක්ස්ගේ හෝ ට්‍රොට්ස්කි ගේ දැනුම කියන්නේ කිසිදා වෙනස් නොවන දෙයක්. ඒ නිසා පන්ති පහෙන් එහාට හිතන්න ඒ අයට උවමනා නැහැ.    

ඉතින් ඉහත චිත්‍රපටයේ ඉහත සදහන් දර්ශනයේ ම එක තැනක මෙහෙම තියෙනවා. මිණී මැරුම් ගණනාවකට පසු දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න වෙලාවේ බඩ් අහනවා එලී ගෙන් මෙහෙම. ඔබට දැන් තියෙන්නේ කණගාටුවක්ද (පසුතැවීමක් ද) නැත්නම් යම් සහනදායි හැඟීමක්ද කියල. (Which "R" do you feel most; Relief or Regret?) එතකොට ටිකක් වෙලා හිතල එලී කියනවා 'මට තියෙන්නේ පසුතැවීමක්' (regret) කියල. ඒ කියන්නේ වෛරයට පස්සේ තියෙන්නේ දුක නැත්නම් පසු තැවීම. තුවාල වෙච්ච අහම සුවකරන්න වෛරයට බැරි වෙලා තියෙනවා.  වෛරය සහ ප්‍රචණ්ඩත්වය ගැන ම පණ යනකල් චිත්‍රපටි කරන ටැරන්ටිනෝ හරියට ඉගෙන ගත්තොත් බුදුන් දේශනා කරනවා වෛරයෙන් වෛරය නොසංසිදේ කියල.   

* (ii) තාක්ෂනය කියන්නේ අපුරු දෙයක්. එය විසින් කරන්නේ භෞතික ලෝකය දිනපතා යාවක්කාලින කරන එක. වෙනස් කරන එක. අද තිබෙන මොබයිල් දුරකථනය නොවෙයි හෙට. ඒ අනුව ගත්තම තාක්ෂනය කරන්නේ අනිත්‍යය නම් සංකල්පය දිනපතා අපේ සද්භාවයට මුණගස්වන එක (තාක්ෂනය කියන්නේ අනිත්‍යයේ වාහකය agent of representation හැටියටත් ඕනිනම් සලකන්න පුළුවන්). එකම දෙය නම් එය වෙළඳ පොළ තර්කනය එක්ක ගැටගැහිලා තියෙන එක. ඒ කියන්නේ 'වෙනස' නැත්නම් 'අනිත්‍යය' අත්විදින්න නම් මුදල් තියෙන්න ඕනි. එක් භාණ්ඩයක් ගත්තට පස්සේ තවත් වැඩිදියුණු කරපු ඒ ජාතියේ ම තවත් භාණ්ඩයක් ගන්න කියනවා. අල්පේච්ච කෙනෙකුට මේ තත්වය විපරීත බවක් වගේ පේන්න පුළුවන්. නමුත් තාක්ෂන ධනවාදය ඇතුලේ ඇත්තටම සිදුවෙන්නේ ඉතා වේගයෙන් වෙනස් වන අර්චන ප්‍රපංචයිය ප්‍රවාහයක අපට ඉන්න සිදුවී තිබීම. නමුත් සියල්ල වෙනස් වන බව දැනටමත් දන්න අපිට (සද්භාවී ලෙස හඳුනාගෙන තිබීම) ධනවාදයේ අති ධාවනකාරී වෙනස් වීම ග්‍රහණය කරගන්න අපහසු නැහැ. ඒ කියන්නේ අනිත්‍ය ප්‍රවාහය (flux of deconstruction) අත්දකින්න පුළුවන් හොඳම තැනත් ධනවාදය ම තමයි කියන එකෙන් පැහැදිළි වන්නේ අප මීට පෙර සඳහන් කල ධනවාදයේ අවසන් සැතපුම තරණය කරන්න බුදුදහම සුදුසුකම් ලබනවා කියන එක. නමුත් ජිජැක් කියන්නේ ධනවාදයේ තර්කය එක්ක වඩාත්ම නරුම විදියට පෑහිලා තියෙන්නේ (බටහිර) බුද්ධාගම කියන එක. ඒ වුනාට මෙතන ප්‍රශ්නය සද්භාවී එකක්. අපිට ඔරොත්තු දීමේ හයිය තියෙනවා ධනවාදයට මුහුණ දීමේ දි අනිත් අයට වඩා. අපිට වෙනස දරාගන්න පුළුවන්. සමහර විට ඒක නිසා වෙන්න ඇති ධනවාදය වෙනස් කරන්න අපිට ලොකු උවමනාවක් නැත්තේ. 

* (iii) තමාට බාහිර ව පවතින වෙනස් වන ලෝකය නිරීක්ෂණ කරන 'මම' නම් නිරීක්ෂකයා 'නොවෙනස් දෙයක්' ලෙස ගැනීම බුද්ධාගමට අනුව අවිද්‍යාවකි. නැත්නම් නොසැලකිලිමත් බව නිසා සිදුවන්නකි. ඉහත 'මම' විසින් බාහිර ලෝකයේ ආශා වස්තු කෙරේ ලොබ බඳින අතර එය උපාදාන සඥාවකි. එවිට සිදුවන්නේ එම ආශා වස්තුව (object-desire) සමග අප අනන්‍යය වීමය. එම අනන්‍ය වස්තුව අත්පත් කරගැනීම සඳහා අහම (මම) පෙළඹවීම උපාදානය විසින් කරයි. එම අනන්‍ය වීම සහ ලුහු බැඳීම (drive) අතර ඇත්තේ ආශාවේ වස්තු හේතුවයි (object-cause of desire). නමුත් ඉහත වස්තුව ලැබීම අපගේ සතුටට හේතු වෙතියි අප ප්‍රාරම්භකව සිතුවත් ඉහත වස්තුව අත්පත් කරගත් පසුව ඉහත ආශාව අතුරුදන් වී වෙනත් ආශා වස්තුවක් කෙරේ අප ආශා කරයි (මේ වනාහී සංසාර චක්‍රයේ ආරම්භයයි). මේ අත්පත් කරගැනීම සම්බන්ද සිතුවිල්ල සහ උපාදානය (අනන්‍ය වීම) දුකට හේතුව ලෙස බුදුදහම පෙන්වා දෙයි. කෙසේ වුවද දුක්ඛ නම් තත්වය අවබෝද කර ගැනීමට සහ ප්‍රහීන කිරීමට ඉහත දුක නම් තත්වය අත්දැකීම වැදගත් ලෙස සංයුත්ත නිකාය පෙන්වා දෙයි. කෙසේ වුවද මහායාන බුද්ධාගම තුල වැදගත් වන්නේ ඉහත ඇතිවීම සහ නැතිවීම පිළිබද ගතිකය පිළිබද ස්වයං-සවිඥා නික බවයි. ඔවුන් නිර්වාණය පිළිබද වෙහෙසෙනවා වෙනුවට ඉහත සවිඥානික බව සහිත බෝධිසත්ව තත්වයක් ගැන විශ්වාසය තබයි. වසුබන්දු විසින් විකසිත කරන ලද 'උසස් දැනුම' (higher knowledge) පිළිබද හැදෑරීම මහායාන බෞද්ධ කතිකාවේ මුලික හරය යි. වෙනස්වීම පිළිබද එම සවිඥානික බව සහිතව නුතන ලෝකය වෙත ගමන් කිරීම ජපාන සෙන් ශුන්‍යතා දාර්ශනික කතිකාවේ පදනමයි. මන්ද නුතන බව යනු ම ශුන්‍යතාවයක් වන බැවිණි (නුතන යුරෝපීය මිනිසා මුහුණදෙන ශුන්‍යතාවයෙන් ඔහුව /ඇයව ගලවා ගැනීමට අද දවසේ අධිනිශ්චිත දෘෂ්ටිමය මැදිහත්වීම් වන 'ඇමෙරිකානු කරණයට' හෝ 'කොමියුනිස්ට් වාදයට' නොහැකි බව නිෂිටනි නිරීක්ෂණය කරයි. ජිවිතයේ සහ මරණයේ අරුත, අනුභූතික ලෝකයේ අනියත බව මෙන්ම ආපතික බව හුදෙක් මාක්සියානු ආර්ථික ස්වයං-පරාරෝපණය ට (economic self-alienation) ලඝු කල නොහැකි බව ඔහුගේ මතයයි). යම් උපාදානය විසින් මෙහෙයවනු ලැබූ පසුගිය මොහොතේ සවිඥානික බව මේ මොහොතේ සවිඥානික බව විසින් වෙනස් කරනු ලැබ ඇත. මේ මොහොතේ සවිඥානික බව ඊලග මොහොතේ උපාදානයක් විසින් වෙනස් කරයි. ඊලග මොහොත ද එසේය. සෑම මොහොතක්ම ඊලග මොහොත විසින් විසංයෝජනය කරයි. ඉදින් නිශ්චිත පදනමක් ගැන සිතීම බුදුදහම දිරිමත් නොකරයි.                              

Thursday, July 12, 2018

යතුරු සිදුරෙන් එබී බලන සමන්ගේ බෝසතුන්...

මේ සිංහල අපගේ රටයි (III කොටස)

'නෑ මහායානයේ බෝධිසත්වයා කියන්නේ මානසික දුර්වලතා තියෙන කෙනෙක්. එක් අවස්ථාවක එම බෝධිසත්වයා ගැහැණියක් එක්ක සෙට් වෙන්න වහලක් දිගේ යනවා. වහලේ පරාල දිගේ යද්දී ඒක කඩාගෙන බිම වැටිලා කොන්ද කඩා ගන්නවා' (කේ. කේ. සමන් කුමාර, සිළුමිණ 2018 ජූලි 11).

ගැහැණු දිහා බලන්න හිතුනම වහලවල් දිගේ යන, එහෙම ගිහිල්ල බිමට වැටෙන, බිමට වැටිලා කොන්ද කඩාගන්න, කොන්ද කැඩුන නිසා ආයේ වහලට නගින්න බැරි, වහලෙට නගින්න බැරි නිසා යතුරු හිලෙන් බලන වර්ගයේ අතිශය සාමාන්‍ය බෝසතුන් කෙනෙක් නිරුපණය වීම 'වාරණය' කරන ලද 'සිංහල බෞද්ධ ථේරවාද' ප්‍රපංචය පිළිබද සමන්ගේ විවේචනය ගැන අපි මෙහෙම කල්පනා කරලා බලමු. යතුරු සිදුරෙන් එබී බලන බෝධිසත්ව චරිතයක් අපේ බෞද්ධ සාහිත්‍යයේ නැහැ. නමුත් ඉතාම 'සාමාන්‍ය ජිවිතයක්' ගතකරපු බෝධිසත්ව චරිතයක් මහායාන බුද්ධාගමේ තියෙනවා කියන එක ඇත්ත. එවැනි සාමාන්‍ය චරිතයක තියෙන්න පුළුවන් අශ්ලීල ලක්ෂණ රාශියක් මහායාන බෝධිසත්ව සාහිත්‍යයේ හමු වෙනවා. නමුත් මහා විහාරය හරහා සංස්කරණය වන මහාවංශය වගේම අනෙක් ථේරවාද පොත්පත් වල ඉන්නේ 'ශුද්ධවාදී' බුද්ධ චරිතයක්. සමන් කියන වර්ගයේ දුර්වලතා අපේ බෝධිසත්ව චරිතය තුල අපට සම්මුඛ වෙන්න අපේ ඉතිහාස කරුවන් ඉඩ තබන්නේ නැහැ. එවන් 'දුර්වල ලක්ෂණ' අප විසිනුත් වාරණය කරලා තියෙනවා හරියටම ග්‍රීක වීරයන් බිහිකරගන්න ග්‍රීසිය කළා වගේම. වෙනත් විදියකට කිව්වොත් වික්ටෝරියානු යුගය එන්න ගොඩක් කලින් අපිට ලිංගිකත්වය සහ අශ්ලීල බව (සහ ඒ නිසාම බිහිවිය හැකි දුර්වලතා) අතර සම්බන්දය දකින්න පුළුවන් වෙලා තියෙනවා (වික්ටෝරියානු යුගයත් වීරයින්ගේ යුගයක් කියන එක අමතක කරන්න එපා). ඒ අනුව අපිට ඉන්නේ සංකේතීය බෝධිසත්ව කෙනෙක් මිසක් වහලෙන් රූටල බැහැල ගැහැණුන්ගේ කාමර වලට රිංගපු බුදුන් (හෝ බෝධිසත්ව) කෙනෙක් නෙවෙයි. අපි දන්න බුදුන් වහලවල් වලින් වැටිලා කොන්ද කඩාගන්නේ නැහැ. කේ. කේ. සමන් කුමාර එහෙම අශ්ලීල (දුර්වල) බුදුන් කෙනෙක් ගැන කොතරම් පරිකල්පනය කලත් අපේ අතීත මුතුන් මිත්තෝ බුදුන් වහන්සේ ගැන එහෙම ලියල කියල නැහැ තමන්ගේ සංකේතනය ඇතුලේ. අපි බෝධිසත්ව චරිතය දැක්කේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ඒ හැම භවයකම දාන පාරමිතා පුරලා මමංකාරය නැති කරගන්න හදපු උත්තමයෙක් හැටියට (මමංකාරය නැති කිරීමේ අවසාන අදියර තමයි බුද්ධත්වය කියන්නේ). අපි දන්නා බුදුන් සාමාන්‍ය දෙයකට කලේ තමාගේ ඥාතීන් ඉන්න නගරය දෙස ආපසු හැරිලා බලපු එක විතරයි. 'ආනන්ද මට මගේ ඥාතීන්ගේ සුවඳ තාම එනවා' කියල කියල වදාරනවා උන් වහන්සේ එක තැනක... කොහොම වුනත් දේශපාලනික අර්ථයෙන් සමහර සංකේතීය නොවේ යැයි සිතපු දේවල් සංස්කරණය කළා වෙන්න පුළුවන්. ඒ වුණාට මොනවා හරි ජනප්‍රිය දේවල් ටිකක් දාල උපාසක අම්මල පන්සලට අද්දවා ගන්නවා වෙනුවට අපි අපේ ඉතිහාසේ ඇතුලේ කරලා තියෙන්නේ අමාරු වැඩක්. ඒ තමයි සංකේතනය වෙතට නැත්නම් සදාචාරය වෙතට මිනිස්සු හුරු කරන්න හදපු එක. පිස්සු නටපු බෝධිසත්ව කෙනෙක් වෙනුවට තමන් කරන දේ ගැන දැනුවත් සහ ඒ ගැන බරපතල ලෙස සිතපු බුදු කෙනෙක් අපිට ථෙරවාද සාහිත්‍යය ඇතුලේ මුණ ගැහෙන්නේ යහපත පිළිබද පුර්ව විනිශ්චයක් (priori) බුද්ධ චරිතය වෙතට ප්‍රක්ෂේපනය කරමින්. එහෙම විනිශ්චයක් එක්ක අපේ අතීත කතුවරු වැඩ කළේ ඊටත් වඩා අමාරු සහ දුෂ්කර (සංකීර්ණ) දෙයක් මිනිසුන්ට කියල දෙන්න. ඒ තමයි වහලෙන් රූටන සහ යතුරු හිලෙන් බලන 'මම' වගේම මම එසේ බලා සිටින 'වස්තුව' (ගැහැණිය කියල කියමුකෝ සමන්ට තේරෙන විදියට) යන දෙකම නොපවතින බව කියා දීම පිණිස අපගේ මනස හුරු කිරීම . ඒක ඇරිස්ටෝටල් කරපු දෙයට වඩා අමාරු දෙයක්. ශුන්‍යතාවය (nothingness) කියන්නේ වටහා ගන්න අමාරුයි වගේම ඒ තුල ජිවත් වෙන්නත් අමාරුයි. ගැඹුරු දෙයක් වටහා ගන්න නම් අපි මේ පිස්සෝ වගේ දුවන දිවිල්ල නවත්වන්න ඕනි. ඒක නිසයි මිහිඳු හිමියන් කියන්නේ 'තිස්ස නවතින්න' කියල. ඉතින් මේ අධිවේගී ධනවාදය ඇතුලේ සමන් ටිකක් නවතින්න! එතකොට ගොඩක් දේවල් තේරෙන්න ගනීවි.

'ශුන්‍යතාවය (හිස්බව) නම් දාර්ශනික ස්ථානයේ (philosophical position) සිට බාහිර ලෝකය වෙත නෙත් හැර බැලූ විට ඔබට අප වසා පැතිර ඇති ඝනදුරු ප්‍රබන්ධ අන්ධකාරය (fictional darkness) දක්නට හැකිවනු ඇත. නමුත් ප්‍රථම කොටම අපට එම අඳුර නොපෙනෙන්නේ අපගේ අවිද්‍යාව (avidhya*) නිසාය' (කීජි නිෂිතානි). පතුලක් නැති ශුන්‍යතාව (abyss of nothingness) අපගේ ලෝක දෘෂ්ටිය ලෙස ගතහොත් අපි ලෝකය දිහා බලන්නේ අනිත්‍යය පාදක කරගෙන. සියල්ල තියෙන්නේ (තියෙනවනම්) වෙනස් වෙමින් යන අනිත්‍යභාවයේ ප්‍රවාහයක (flux). ඒ ධර්මතාව ඇතුලේ ඉඳගෙන තමයි අපේ රජවරු වැඩ කරලා තියෙන්නේ. සාමුහිකත්වය සහ මමත්වය ගැනත් සමන් කතා කරනවා. අපේ රටේ සාමුහිකත්වය කියන්නේ වෙනස්ම දෙයක්. ඒක ආගමික (spiritual) දෙයක් හැටියටයි ඉතිහාසේ ඇතුලේ පැහැදිලි වෙන්නේ (සාමුහිකව යුද්ධයට ගියෙත් බුද්ධාගම බේරා ගන්න). වෙනත් අර්ථයන් ගොඩක් අඩුයි. නිකම් බලන්න සංගීත සංදර්ශනයක ඉන්න ලාංකික මිනිස්සු ගැන. සංගීත කණ්ඩායම කොච්චර කෑ ගැහුවත් ඒ අය වගේ වගක් නැතුව ඉන්නේ තමන්ට නෙවෙයි වගේ. මමත් මුලින් හිතුවේ ඇයි මේ අය බටහිර අය වගේ ගීතයට සම්බන්ද වෙන්නේ නැත්තේ කියල. බොන් ජොවී සින්දු කියන කොට ඔක්කොමල ඒ එක්ක මුමුණනවා වගේ ඇයි අපේ අය ඒ එක්ක ආත්මියව සම්බන්ද වෙන්නේ නැත්තේ කියල. හේතුව තමයි අපි බාහිර ලෝකයට සම්බන්ද වෙන්නේ බටහිර අය සම්බන්ද වෙන ඇතුල සහ පිටත අතර ඇති බහි-සංසේචිත (ex-timacy) ආකාරයට නෙවෙයි. ඒ අයට ජිවිතයේ අර්ථය එන්නේ පිටතින් වුනාට අපිට ජිවිතයේ අර්ථය එන්නේ අප තුලින්මයි. තමාගේ ජිවිතයට අර්ථයක් ගෙනෙන බාහිර වස්තුව හැටියට බොන් ජොවී ව ඔවුන් දැක්ක හැටියේම ප්‍රමෝදයට පත් වෙනවා. ඒ ප්‍රමෝදයෙන් ඔවුන් කෑ ගසන්න ගන්නවා. බටහිර තරුණ, මැදි වයස් ස්ත්‍රිය ජොවී හරි ස්ප්‍රින්ස්ටීන් හරි වැළඳ ගන්නේ එම පතුලක් නැති ප්‍රමෝදය ඇතුලේ. එම ප්‍රමෝදය එන්නේ බාහිර වස්තුවක් (අනෙකා) හරහා මිසක් තනිකරම තමා තුලින් නෙවෙයි. නිකම් බස් වල දාල තියෙන සංගීත සංදර්ශන වීඩියෝ දිහා බලන්න. අපිට විසිල් එකක් අප්පුඩියක් ගහන්න කියල නිවේදක තරුණයා කෑ කොස්සන් ගැහුවට අපේ අය ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේරියන්ස් එකේ නලින් හරි ජිප්සීස් සුනිල් හරි වෘෂණ කෝෂ බිම වැටෙන්න කෑ ගැහුවත් මිනිස්සු ඇහැරෙන්නේ නැහැ. එකක් තමයි ඔවුන්ගේ ආත්මය ඇත්තටම සුනිල් හෝ නලින් එක්ක සම්බන්ද වෙන්නේ නැහැ. අනික් අතින් මිනිස්සු දන්නවා සුනිල් වගේම නලින් කියන්නෙත් පරාල දිගේ නැගල ඒක කඩාගෙන බිමට වැටුන 'බෝදිසත්ව' කට්ටිය කියල. පයිප්ප බට විකුණපු සුනිල් දැන් ටී. වී. එකේ දාර්ශනික කතා කිව්වට එයා මොන පරමාදර්ශයක් වත් මේ ලාංකික පොළොවට නොදුන්න කෙනෙක් කියන්න මිනිස්සු දන්නවා. සෝමාවතී මහා චෛත්‍ය රාජයාගේ රැස් මාලාවට වඳින ජාතියකට සුනිල් නලින් වගේ කට්ටිය මහා ලොකු චරිත නෙවෙයි. ගැහැණුන්ට දෙපැත්ත කැපෙන කතා කිය කිය ස්ටැග් නයිට් කරපු අයට ජෙ. වී. පී. කට්ටිය වේදිකා හදල දුන්නට බලන්නකෝ වෙලාවට මිනිස්සු කරන දෙය.  

ඉතින් වීර කාව්‍යයක් හැටියට මහාවංශය වේවා අනෙක් සමකාලින බෞද්ධ ග්‍රන්ථ වේවා බුදුන් ගේ චරිතය නිරුපණය කරන්නේ විශාල සංකේතනයක් ආරෝපණය කරලා. කවුරු කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි සත්‍යය. ස්වාමි හැඟවුමක් හැටියට මෙතන හරිම දේශපාලනිකයි. මොකද බෞද්ධ කම (සංකේතනය) සිංහල කම (යථ) එක්ක මෙතැනදී සම්බන්ද වෙනවා (මුල්ලි වයික්කාල් දක්වාම ඒක එනවා). ඉතින් ඒ සමකාලින රජ වරුන්ටත් එම සංකේතනය ම ආරෝපණය කරනවා මහා වංශය. නිකම් හිතල බලන්න වළගම්බා වගේ රජ කෙනෙක් ගැන. අනුරාධපුරේ ඉදල පටන් ගත්තොත් ඇඹිලිපිටිය හරියෙන් තමයි ඉවර වෙන්නේ එතුමාගේ විහාර කරණය. ඔක්කොම වගේ ලෙන් විහාර. හැම විහාරෙකම සිතුවම් තියෙනවා. දඹුලු විහාරේ කියන්නෙම ලෝක පූජිත යුනෙස්කෝ කලාපයක්. තමන්ට කියල මාලිගාවක් නොතිබ්බ රජ කෙනෙක් කොච්චර වෙහෙර විහාර කරවල තියෙනවද සමන්. ඒක නෙවේද අපේ උරුමය? ධාතුසේන රජතුමාගෙන් දරුවෝ වස්තුව ඉල්ලුවම එයා කළේ කලාවැව ලඟට එක්කරගෙන ගිහින් 'මෙන්න මගේ වස්තුව' කියල පෙන්නපු එක. ධනය කියන්නේ  අපේ පැරණි රජවරුන්ට 'මසුරන්' වලින් මණින්න ඕනි උන දෙයක් නෙවෙයි (දකුණු ඉන්දියාවෙන් නම් ආවේ වස්තුව කොල්ල කන්න). ධාතුසේන රජතුමා ධනය කිවේ තමන් කරපු වැඩ (work) වලට. නැවතත් ඒක සංකේතීය දෙයක්. අද්විතීය රජ කෙනෙක් වුන මහසෙන් (මහා + සේන) ට මිනිස්සු කිව්වේ මින්නේරි දෙවියෝ කියල. ඒ කියන්නේ ඔහුගේ 'වැඩ' නම් සංකේතීය ලෝකය ඔහුව දේවත්වයට පත්කරනවා ('මහා' කියන විරුදාවලිය මම හිතන හැටියට පැරණි රජවරු දෙන්නෙකුට විතරයි තියෙන්නේ. එක්කෙනෙක් මහා පැරකුම්බා වන් අනිත් කෙනා මහසෙන්). දුටුගැමුණු රජතුමා තමන්ගේ දෑස පියා ගන්නේ තමා නිමකරපු රුවන්වැලි සෑය දිහා බලාගෙන. ඒ කියන්නේ මෙතනින් වෙනත් ලෝකයකට යන්න ඔහුට පුළුවන් වුනේ තමාගේ යුතුකම (duty) සහ වැඩ (work) සමග පාර අනුභූතිකව සම්බන්ද වෙමින්. ටොඩ් මැගෝවන් කියන්න කලින් ඒ මිනිස්සු දැනගෙන ඉදල තියෙනවා තෘප්තිය තියෙන්නේ සංකේතනය ඇතුලේ කියල (වෙනත් විදියකට කිව්වොත් පරාල පල්ලේ වැටෙන්නේ නැතුව ඉදීමෙන් කියල). ඒක නිසා තමයි 'උදය වලාකුළු' කෙටි කතාවේ කිකුයි මිස් තමාගේ ශිෂ්‍යාව එක්ක යටලී පරාල අස්සේ රිංගුවේ නැත්තේ. ඒක නිසා තමයි 'ගුරු ගීතයේ' දුයිෂෙන් අල්තිනායි එක්ක නිදා ගත්තේ නැත්තේ. ඒක දුර්වල කමක් නෙවෙයි. මේ කාන්ටියානු සදාචාරය සහ ආශාවේ ශුන්‍යතාවය අපි කතා කරන කොට සමන් කියන මේ පරාල බෝධිසත්ව කතාව දැන් දැන් ගොඩක් නැගල යන බව පේනවා වමේ කියන කවයන් ඇතුලේ. ඒ අයගේ මුහුණු පොත් වල වීරයා සමන්. මොකද ඒ අයගේ ජීවන ලෝකය නම් 'සාමාන්‍ය ජීවිතය' එක්ක සමන් කියන දේ පෑහෙනවා. මේ ධනවාදී වටිනාකම් රහිත ලෝකයේ එහෙම ඉන්න එක පහසුයි. නමුත් අපි කියන දේ පිටස්තරයි. කාටවත් දුයිෂෙන් වෙන්න ඕනි නැහැ. කාටවත් අධ්‍යාත්මික බව වැඩක් නැහැ. අලුත් කියල රට පුරා පෝස්ටර් ගහපු 'සිළුමිණ' උනත් පිටුවක් පුරා සමන්ගේ කතාව පළ කරන්නේ ඇයි කියන එකට උත්තරේ සරලයි. අපි ඉන්නේ විපරීත බව සාමාන්‍ය කරණය වුන ලෝකයක. 'ජපන් කාම කතා හෙවණැල්ල' ලියපු මාටින් වික්‍රමසිංහ හිටපු 'සිළුමිණ' මෙසේ වීම ගැන මට නම් පුදුමයක් නැහැ. නමුත් ජපන් ගුප්ත (mystery) බව ඇතුලෙම මම මෙහෙම කියන්නම්. 'අපි පාර අන්ධ භාවයෙන් එහෙ මෙහෙ ඇවිදින කොට සමහර වෙලාවට මියගිය ප්‍රාණ කරුවන් ඇවිත් අපිට සත්‍යය මුණ ගස්වනවා' (නිකම් හිතන්න ගුප්ත හොල්මන් කතා සහිත චිත්‍රපට බටහිර මෙච්චර ජනප්‍රිය ඇයි?). ගුප්ත අර්ථය ඇතුලේ ගත්තත් 'සිළුමිණ' තමන්ගේ කතෘ නැති කර ගත්තා අනුරාධපුරේ පුණ්‍ය භුමිය තුලම. ඉතින් පොඩ්ඩක් බලාගෙන ඉමු මොකද වෙන්න යන්නේ කියල ඉස්සරහට. 

මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමග ම ගස් ගල් වැඳපු අපිට නව ආගමක් හමුවෙනවා. ඒ තමයි බුද්ධාගම. එතැන් සිට සියවස් ගණනක් අපේ චින්තනය සකස් වුණේ බුද්ධ වචනය සහ එම සද්භාවය පදනම් කරගෙන (සිතන විදිය නැත්නම් ලෝක දෘෂ්ටිය ආගමික දෙයක් බවට පත්වුණා කියන එක). යහපත ගැන අපිට ඒ ඔස්සේ විශ්වීය යමක් හමුවුණා වසර දෙදාස් පන්සීයකට කලින්ම (බටහිර මිනිස්සු අඳුරේ අතපත ගාන කොට). හොරකම් කිරීම, බොරු කීම, කාම මිත්‍යාචාරය, පරපණ නැසීම වගේ දේවල් ගැන අපිට අදහසක් තිබුණා වගේම ඒ ඔස්සේ අපේ ජිවිත හැඩ ගැහුණා. පිස්සු නටපු රජවරු අපිට හිටියත් (යථ) ආපසු අපි සංකේතනය වෙතට ආවේ බුදුවදන ඔස්සේම තමයි (යථාව තියෙන්නේ සංකේතනය එක්ක ම තමයි. සමහර වෙලාවට සංකේතනය රැක ගන්න යථාවට යන්න වෙනවා. බෞද්ධ අවිහිංසාව රැකගැනීම පිණිස ම සමහර රජවරුන්ට යුද්ධ කරන්න උනේ ඒකයි. සංකේතනය අසමත් වුන බැරිම තැන තමයි අපිට මරණ දඬුවම ගේනවා කියන්න වෙන්නේ*. සංකේතනය සහ යථ ගැන හොඳටම දන්න ජිජැක් වුණත් කියනවා ස්ත්‍රී දුෂකයින්ට මරණ දඩුවම දෙන්න ඕනි කියල). යුද්ධ කලත්, වැව් බැන්දත්, වෙහෙර විහාර හැදුවත්, මොනවා කලත් අපි එක දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි සියල්ල අනිත්‍යයි - දුකයි - අනාත්මයි කියන එක (වෙනත් විදියකට කිව්වොත් සංකේතනය, යථ සහ පරිකල්පනය කියන ලැකානියානු ත්‍රිකෝණය අපි අපේම විදියකට දැනගෙන හිටියා). නිශ්චිත යැයි අපිට දෘශ්‍යමාන ලෝකය සියළු නිමේශයන්හි වෙනස් වන බවත්, සැපයයි අප සිතන සියල්ල තුල ඇත්තේ දුක බවත්, දිගින් දිගට ඇදෙන වෙනස් නොවන අහමක් (self or ego) නොමැති බවත් අප සියවස් ගණනක් තිස්සේ දැනගෙන හිටියා. ආත්මය හට ගන්නෙම දුක හේතු කරගෙන (හේතුවාදය නොවේ) කියල දැනගෙන හිටපු අපේ මුතුන් මිත්තෝ බටහිර වගේ පැවැත්මේ සාරයක් හෙව්වේ නැහැ (සාරයක් නැති නිසා). දුකට හේතුව නැති කරන එක තමා අපේ ජීවන දර්ශනය වුනේ. ආත්මය හෙවත් අහම නැති කිරීම ඔස්සේ තමයි අපි ජීවිතය ගැන හිතන්න ඕනි. එතකොට තමයි බටහිර කියන ශුන්‍යතා සංකල්පය අපිට විසංයෝජනය කරන්න පුළුවන් වෙන්නේ හෝ එයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. සරලම විදියට ගත්තත් මම නැත්නම් ශුන්‍යතාවයකුත් නැහැ. ඒ කියන්නේ ෆ්‍රොයිඩියානු වගේම ලැකානියානු කැඩපත් අවධිය (mirror stage) කියන එක විසංයෝජනය කරන එක තමයි අපේ දාර්ශනික කාර්යය විය යුත්තේ ('මම' කියල මම කැඩපත ඉදිරියේ හදුනාගන්නා දෙය). අනාත්ම සංකල්පය නාගර්ජුන හරහා මහායානයට යනකොට ඒක ශුන්‍යතා සංකල්පය සමග බද්ධ වෙනවා. ඒක තමයි කියෝතෝ ගුරු කුලයේ මූලිකයා වන කිතරෝ නිෂිදා විසින් හෛඩගර් ගේ ශුන්‍යතාව සමග සම්බන්ද කරන්නේ.  
          
නිෂිදා ගේ ගෝලයා නිෂිතානි තමන්ගේ Religion and Nothingness (1982) නම් කෘතිය ඇතුලේ මෙහෙම පෙන්නලා දෙනවා. බටහිර ආත්මය කියන්නෙම දෙකට බෙදුණ යථාර්තයක් (divided self). ඉතින් නිෂිතානි ට අනුව දාර්ශනිකයාගේ කාර්යය තමයි එම බෙදුණ ආත්මය සුවපත් කරන එක. හරියටම ක්‍රිස්තියානි ලබ්ධිකයෙක් ලෙස හඳුනා ගත නොහැකි හෛඩගර් විසින් බොහෝ ක්‍රිස්තියානි සංකල්ප භාවිතා කරන බව හඳුනා ගන්නා නිෂිතානි ප්‍රකාශ කරන්නේ හෛඩගර් ගේ දර්ශනය ලෞකික සාන්දෘස්ටික වාදයක් ලෙසයි. ඔහුගේ දර්ශනය පදනම් වන්නේ සාංකාව (angst) මත බව නිෂිතානි නිරීක්ෂණය කරනවා. මෙහිදී ක්‍රිස්තියානි ආගම විසින් බටහිර ආත්මය අතිමුලික විගලිත භාවයකට (fundamental alienation) පත්කර ඇති බව නිෂිතානි හඳුනා ගන්නවා. මෙළොවට විසි කර දමන බටහිර මිනිසා ගේ එක් කොටසක් දිව්‍යමය වෙනකොට තව කොටසක් කාබනික ලොව සමග සම්බන්ද වෙනවා (වැඩි විස්තර සඳහා බලන්න 'මගේ ලෝකයෙන් පසු ලෝකය' (2018)). නිෂිතානි ට අනුව තම අභ්‍යන්තර සාමය උදෙසා එම බෙදුණ ආත්මයේ කොටසක් කාබනික ලෝකය පුරා ද්‍රව්‍යය (matter) සොයා යමින්, ගවේෂණය කරමින්, පර්යේෂණ කරමින් සිටින අතර පෙරදිග අපගේ ආත්මය අපගේම සාන්දෘස්ටික ශුන්‍යතාව විසංයෝජනය කරමින් සිටිනවා. අප කියෝතෝ කඳු මුදුණට නගින්නේ කන්ද ගවේෂණය කිරීමට නොව අපගේම ආත්මයේ දෝංකාරයට සවන් දීමටය යන්න නිෂිතානි ගේ මතයයි. බටහිර අයෙකු කන්ද ගවේෂණය කිරීමෙන් පසු ඔහුගේ ආත්මය (අහම) තව තවත් විශාල වන බව (ඔව් 'මම' ඒ කන්දත් නැග්ගා..'මම' ඒ කන්දත් දැක්කා. 'මම' ඒ මෘගයාත් ජයගත්තා යනාදී වශයෙන් මම යන්න ඉස්මතු වීම) සඳහන් කරන නිෂිතානි ඉතා වැදගත් ලෙස පෙන්වා දෙන්නේ 'බටහිර සිතුවිලි නම් ගෘහ නිර්මාණ ශිල්පය' (architecture of western thoughts) විසින් බටහිර මිනිසාට මමත්වය අහෝසි කිරීමේ ඉඩකඩක් විවර නොකරන බවයි. නමුත් අප කියෝතෝ කන්ද (සමනල කන්ද) නගින්නේ  ආත්මය දියකර (dissolve) හරිනු පිණිසය. බටහිර ශිෂ්ටාචාරයේ රෝග ලක්ෂණය (සාංකාව) ගවේෂණය කරන හෛඩගර් යටතේ දර්ශනය හදාරණ නිෂිතානි ගේ නැවුම් සොයාගැනීම වන්නේ ඉහත ගැටළුවට හෛඩගර් ට පවා විසඳුමක් නැති බවයි. ජිජැක් ගේ පවා මුලික හැදෑරීම පසුබිම් වන්නේ හෛඩගර් වටා වීම මේ අනුව පුදුමයක් නොවේ. මෙම විසඳුමක් නැති බව විසින් ජිජැක් මනෝ විශ්ලේෂණය වෙතට යොමු කරනු ලබයි (විසඳුමක් නැති බව නිසාම පොත් බොහෝ ගණනක් ලියයි). අවසන් විසඳුමක් ලෙස ජිජැක් මාක්ස්වාදය සහ ක්‍රිස්තියානි රූපකය අතර සිරගත වන විට නිෂිතානි කියන්නේ බටහිර මෙන්ම පෙර අපර සියලු මිනිසුන්ගේ සංකාමය විගලිත බව (ශුන්‍යතාව) ස්වයං-අතික්‍රමණය කල යුතු බවයි (self-overcoming of nihilism). එනම් බටහිර අදහස් නම් ගෘහ නිර්මාණයම විසංයෝජනය කල යුතු බව ඔහුගේ අදහසයි (deconstructing the western architecture of thoughts). එයින් ඔහු අදහස් කරන්නේ බටහිර මමත්වය ශුන්‍යතාවයක් දක්වා රැගෙන ආ යුතු බවයි (nullity of the non-self). නිෂිතානි අනුව ඉහත බටහිර ගෘහ නිර්මාණයේ මුලික කුළුණු නම් ව්‍යුහය, රාජ්‍යය, මම සහ වස්තුව යන ඒවාය. ඉතින් ඔහුට අනුව ශුන්‍ය කල යුතු වන්නේ ඉහත සංඝටකය.  

පාර-භෞතික චින්තන පද්ධති දෙකක් අවිහිංසාවාදී ලෙසත්, අර්ථකාරී ලෙසත් සම්මුඛ වන බැවින් ජපන් දාර්ශනිකයන්ගේ මෙම කාර්යය විසින් බටහිර සහ පෙරදිග අතර අගනා පාලමක් සකස් කර ඇති බව කොජින් කතානි (Kojin Karatani) ගේ මතය වෙනවා. ශිෂ්ටාචාර අතර ගැටුම මේ අනුව වෙනස්ම දිශාවක් වෙත ගමන් කරනු ඇති බව තානි සඳහන් කරනවා. බටහිර විසින් මම යන්න ශක්තිමත් ලෙස ගොඩනගා ඇත්තේ කටේසියානු සැකය මත පදනම් වෙමින්. 'මම සිතමි. එම නිසා මම වෙමි'. යන්න එහි පදනමයි. නමුත් නිෂිතානි නිරීක්ෂණය කරන්නේ ඉහත සැකය තුලම ඇත්තේ බටහිර ආත්මයේ ශුන්‍යතාවය බවයි. නැතහොත් ඉහත ගැටලුව පවා සාංකාව මත පදනම් වී ඇති බවයි (මම පවතීද නැද්ද). බටහිර සංකා තත්වය යනු නිෂිතානි ට අනුව පතුලක් නොපෙනෙන වේදනාවකි. එය වරෙක අවුදින් තව වරෙක නැති වන්නක් නොවේ. සදාකාලික දෙයකි. අවම වශයෙන් ලාස් වොන් ට්‍රියර් ගේ චිත්‍රපට තුළ දක්නට හැකි මෙම රෝගී තත්වය භූමියක් අහිමි වීම (groundless-ness) නිසා සිදු වන්නකි (හෛඩගර් විසින් රූපණය කරන අපව මෙලොවට විසිකර දමා ඇති තත්වය). බෙදුම, වෙනස, ආශාව, පරතරය යනාදී වචන වලින් ඩෙරීඩා, ලකාන්, ක්‍රෙස්තෙවා, බාත් යන අය හැදින්වීමට උත්සාහ කළේ එකම දෙයක් බව නිරීක්ෂණය කරන නිෂිතානි ඒ සෑම වචනයකම කේන්ද්‍රය සකස්ව ඇත්තේ මමත්වය (self or ego) පිළිබද ගැටළුව විසින් බව පහදා දෙයි. එම සියලු දාර්ශනිකයන් හැමවිටම මතුව ඇත්තේ බටහිර අහම තර්ජනයට ලක්වූ විට බව පෙන්වා දෙයි. නමුත් මෙයට පරස්පරව පෙරදිග දර්ශනය සකස් වන්නේම අහම මියයාම තුලය (death of ego). 'මා කවුරුන්ද යන්න  කිසිදා මට සොයාගත නොහැකි වේද' (කොගිටෝව) යන බියෙන් තැතිගත් බටහිර ආත්මය වෙනුවට පෙරදිග ආත්මය සකස් වී ඇත්තේ නිස්සාර බව සහ අනියත බව පදනම් කර ගෙනය. තම පැවැත්ම සාධනය කරනු වස් බටහිර ආත්මයට කුමක් බවට හෝ පත්විය යුතුමය. අවම වශයෙන් එය ශුන්‍යතාවය වුවද විය හැක (අවසානයේ ජිජැක් ශුන්‍යතාවය ධෛර්යමත්ව වැළඳ ගත යුතු යැයි කියන්නේ මේ නිසාය. බලන්න ඔහුගේ Courage of Hopelessness කෘතිය, කොකා කෝලා සහ ශුන්‍යතාවය උදාහරණය වගේම සාරයක් නොමැති කෝපි උදාහරණය). පැවැත්මේ වෙනස නඩත්තු කරමින්ම බටහිර ආත්මය තම පැවැත්ම තහවුරු කර ගැනීමට සිතන විට ජපන් ආත්මය සෑම මොහොතකම ස්වයං විසංයෝජන ක්‍රියාවලියක නිරත වන බව කරතානි පෙන්වා දෙයි. කරතානි ගේම වචනයෙන් කියන්නේ නම් 'කුමක් හෝ යමක් බවට පත් නොවී බටහිර මනසට පැවතිය නොහැක. එබැවින් තමාගේම පිටස්තර බව ඔවුන් විසින් සෑම තත්පරයකම කල්දමනු ලබයි'.  


චායාරූපය 01: තෙරක් පතුලක් නැති ශුන්‍යතාවය ඉදිරියේ ධෛර්යවන්තව එයට මුහුණදෙන ජිජැකියානු බටහිර ආත්මය පිළිබද මනඃකල්පිත චායාරූපයක්. නිෂිතානි ට අනුව මෙම ශුන්‍යතාවය යනු බටහිර අර්ථයෙන් යම් දෙයකි (a thing). කුමක් හෝ දෙයක් බවට පත් විය යුතු බැවින් අවසානයේ ඔවුන් ශුන්‍යතාවය බවට හෝ පත්වෙයි. නමුත් කිතරෝ අදහස් කරන ශුන්‍යතාවය යනු එවන් සාපේක්ෂ දෙයක් නොව නිරපේක්ෂ පරම දෙයකි. බුද්ධ දේශනාව පදනම් වන්නේ ශුන්‍යතාව යේ අවසානය සහ මමත්වයේ අවසානය අරමුණු කරමින්ය.    

අප හොදින් දන්නා Forrest Gump (1994) චිත්‍රපටයේ ගම්ප් තම සියලු බලාපොරොත්තු අහිමි වූ පසු ඇමෙරිකාව වටේ දිවීමට තීරණය කරන අවස්ථාව බලන්න. බටහිර ට ශුන්‍යතාවය යනු යමක් අහිමි වූ පසු සිහියට නැගෙන දෙයකි. නමුත් පෙරදිග අපට ශුන්‍යතාවය යනු එදිනෙදා පැවැත්මේ ම විසංයෝජන කොන්දේසියකි. යමක් තිබෙන විටම එහි නොතිබීමද අපට සද්භාව් තත්වයකි. එනයින් ශුන්‍යතාවය යනු අප විසින් ගවේෂණය කලයුතු දෙයක් නොවේ. ඉහත පළමු චායාරූපයේ දක්නට හැකි ආකාරයට බටහිර මිනිසා ශුන්‍යතාවය සම්මුඛ කරන්නේ එය 'තවත් එක් දෙයක්' ලෙස සලකාය. මෙම 'දෙය' එක්තරා අවස්ථාවකට පසු දේවත්වය දක්වා ගමන් කරයි. එවිට ශුන්‍යතාවය යනු දෙවියන්ට කියන තවත් නමක් බවට පත් වේ (හෛඩගරියානු - කියකිගාඩියානු අර්ථයෙන්). ඉහත ජනප්‍රිය චායාරූපයේ දිස්වෙන අන්දමට බටහිර මිනිසාට ශුන්‍යතාවය මුණ ගැසෙන්නේ 'තවත් එක් දෙයක්' ඉදිරිපිට (දෙවියන්) තමාව පිහිටුවා ගනිමින් සහ එසේ පිහිටුවා ගැනීමෙන් පමණක්ය. එවිට නැවතත් තමා යන මමන්කාරය යම් දෙයකට සාපේක්ෂව ඉදිරියට එයි (බලා සිටින මම සහ මා ඉදිරිපිට ඇති ශුන්‍යතාවය නම් දෙවියන් යන දෙකම නොපැවතීම බටහිර ක්‍රිස්තියානි මනසට ග්‍රහණය කරගත නොහැක. දෙවියන් සිටින සෑම විටම මමද පවතී. මා පැවතීමට තවත් යමක්ද පැවතිය යුතුය). මේ අනුව ඉහත සමීකරණය ඔස්සේ ගමන් ගන්නා බටහිර ක්‍රිස්තියානි-ඇරිස්ටෝටලියානු ආත්මයට කිසිදා මමත්වයෙන් මිදිය නොහැක. අවම වශයෙන් ජිජැක් හෝ මෙම තත්වයෙන් නිදහස් නැත. මේ අර්ථයෙන් ගත්විට බටහිර දර්ශනය ශුන්‍යතාවය තේරුම් ගැනීමේ සහ එය තරණය කිරීම සම්බන්ද අති මුලික නොහැකියාවක් පෙන්නුම් කරයි. ආත්මය සහ ශුන්‍යතාවය අතර කිසිදා නොවිසදෙන පරතරය (gap) පැල්ම (rupture), වෙනස (differance), ආශාව (desire), යථ (the Real) යන සියලු වචන වලින් බටහිර දර්ශනය ඔස්සේ එළියට එයි. මෙම පරතරයට හෛඩගර් මුලින්ම භාවිතා කල වචනය වුවේ ඉහත දැක්වූ 'සාංකාව' යන්නය. නමුත් පෙරදිග බෞද්ධ අර්ථයෙන් ගත්විට බුදුන් වහන්සේ අපව මෙම අති මුලික විගලිත භාවයෙන් ගලවා ගෙන ඇත (අපව මෙලොවට විසි කර දමා නැත. එසේ දමා තිබුණද අප වද විය යුත්තේ අග මුල ගැන නොවේය). බුද්ධ දේශනාව නම් පැවැත්මේ අග හෝ මුල සෙවීමට උත්සුක නොවන්න යන්නය. එය අර්ථ විරහිත දෙයක් බව පෙන්වා දෙන බුදුන් වදාළේ මේ මොහොත ගැන පමණක් සවිඥාණික වන්න යනුවෙනි (මේ මොහොතය. මෙතැනය = here and now). මේ මොහොතේ සවිඥානික බව යනු සියල්ල අනිත්‍ය ප්‍රවාහයක හසුවී ඇති බව තේරුම් ගැනීමය.  බුදුන් වහන්සේගේ ධර්මය යනු අපට බටහිර ඉදිරියේ කෙළින් සිටගැනීමට උරුම කර ඇති මහත් වූ දර්ශනයකි (තව තවත් දියුණු කළ යුතු දාර්ශනික ව්‍යාපෘතියකි). එය බොහෝ පෙරදිග දාර්ශනිකයින් අතින් ඉතාම දියුණු අදියරකට මේ වනවිට පත්ව ඇත. එයට ජපන් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය පවා ලැබී ඇත. ඒ අනුග්‍රහය ඔස්සේ විසි වන සියවස තුලදීම ජපාන දාර්ශනිකයින් පෙරදිග අපරදිග දාර්ශනික පාලමක් ගොඩ නගා ඇත. ආර්ථිකය විවුර්ත කළාට ජයවර්ධන කරපු සද්භාවී කාර්යයක් නැත (අද පවා ථෙරවාද බුද්ධාගම දාර්ශනිකව දියුණු කිරීමේ සහ ලෝකයට ගෙන යාමේ වැඩපිළිවෙලක් නැත. ඒ සඳහා කැපවූ මිනිසුන්ද නැත). බුදුන් සහ සම්බන්ද සංකේතීය බවට යම් හෝ හානියක්  කරන විට ඒ සඳහා මැදිහත් විය යුතු යැයි මා සිතුවේ එබැවිණි. එසේ නැතුව මෙය සමන් කුමාර මහතාට දෙන ලද පිළිතුරක් නොවේය.  

චායාරූපය 02: Forrest Gump (1994) චිත්‍රපටයේ ගම්ප් විසින් කරන රට හරහා දිවීම සමග තවත් විගලිත ඇමෙරිකානු වන් ගණනාවක් (ගැහැණු, පිරිමි) ඔහු සමග සම්බන්ද වේ. අවසානයේ ගම්ප් නතර වන විට අනෙක් අය අර්බුදයට යයි. මන්ද එම ශුන්‍යතාවය තරණය කිරීමෙන් පසුව ද 'මම' යන දෙය තව දුරටත් හැමෝ තුලම ශේෂවී ඇති බැවිණි (ඇමෙරිකාව වටේ දුවපු මම!). ඔවුන්ගේ ප්‍රශ්නය නම් දැන් ඉතින් එම ශේෂවූ මා හට කරන්නේ කුමක්ද යන උභතෝකෝටිකයයි. ගම්ප් ක්‍රම විරෝධියෙක් වුවාට සත්‍ය අරුතකින් නිදහස් අයෙකු වන්නේ නැත.  බුදුදහමේ නිදහස (නිවන) යනු දුකෙහි අවසාන යයි ('මම' යන්නෙහි උච්චේදනයයි). භෞතික භුමියේ කොතරම් දුර යන්නේද යන්න 'මම' යන්නෙහි උච්චේදනය සඳහා එතරම් වැදගත් නොවේ. ඇත්ත වශයෙන් සිදු වන්නේ දුර යන්න යන්න පුද්ගල අහම විශාල වීමය.   

ගම්ප් සම්බන්ද ජිජැක් ගේ විවේචනය වන්නේ ඔහුට දෙන ලද වෙඩිතැබීමේ ක්‍රියාව සදාචාර විනිශ්චයකින් (පුර්වය = priori) තොරව ඉටු කළා යන්න (පවත්නා ක්‍රමය තුලම එයට විරුද්ධ නොවෙමින්). හරියටම රොබෝ වරයෙක් මෙන් ඔහු හමුදාවට බැඳී වියට්නාම් සටනට යන අතර තමා කරන දෙය හරිද වැරදිද යනුවෙන් තමාවම ප්‍රශ්න කරන්නේ නැත. ජිජැක් කියන්නේ මෙම ක්‍රමයට අවශ්‍ය එවන් රොබෝ වරුන් මෙන් වෙඩි තැබිය හැකි මිනිසුන් බවයි. ගම්ප් ගේ ගැටළුව සාමාන්‍ය ඇමෙරිකානු හොලිවුඩ් ගැටලුවයි. එනම් සාමාන්‍ය බුද්ධිය ඇති මිනිසුන් අතර තමා යනු කවුරුන්ද යන අනන්‍යතා අර්බුදයයි. මෙලොවට විසිවූ මා තුළ තිබු (දිව්‍යමය බව) එහෙත් දැන් මට අහිමි වූ 'දෙය' කුමක්ද යන බටහිර ගැටළුවෙන් ඔහු පීඩා විඳී. කුමක් හෝ බවට පත් විය යුතු බැවින් ඔහු බොහෝ දේ බවට පත්වෙයි. වරෙක සෙබලෙක්, වරෙක අර්ථ ශුන්‍ය දුවන්නෙක්, වරෙක මස් මරන්නෙක් ආදී වශයෙන් ඔහුට භූමිකා ගණනාවක් රඟ පෑමට සිදුවෙයි. ඒ සියල්ල තුලින් ඔහු මම කවුද යන ප්‍රශ්නයට පිළිතුරු සොයයි. බුදුන් ගේ උදාහරණ යෙන් කියන්නේ නම් කුමක් හෝ ගෘහයක් ඔහු නිර්මාණය කරයි. එසේ ගොඩ නැගීමට ආශාවක් අප තුල උපදී (will - to - architecture යනුවෙන් කරතානි හදුන්වන දෙය). එම සංකල්පීය ගෘහය ඔස්සේ නැවත ඔවුන් තමාව සාධනය කර ගනී (මේ නිසා කරතානි යෝජනා කරන නම වන්නේ 'විසංයෝජිත ගෘහ නිර්මාණය' (Deconstructing Architecture) යන්නය.  සත්‍යය ලෙස ගතහොත් බටහිර මිනිසා බිය වන්නේ ශුන්‍යතාවයට මුහුණ දීමට නොව ශුන්‍යතාවය නොමැති තැනක පැවතිමටය. ගම්ප් යනු ඇත්ත වශයෙන් ඇමෙරිකානු නුතන ශුන්‍යබව තරණය කළ අයෙකි. ඔහු ඇමෙරිකානු සමාජයේ පරමාදර්ශයක් වන්නේ එබැවිණි. ඔහුට සහතික සම්මාන හිමිවන්නේ එබැවිණි. එම චිත්‍රපටය ජනාදරයට පත් වන්නේ එබැවිණි. නමුත් ගැටලුව නම් එම ශුන්‍යතාවය (ජිජැක් ගේ කොකා කෝලා ප්‍රපංචය) පවා අතුරුදන් වූ ලොවක ඔවුන් ට මුණගැසෙන්නේ කුමක්ද යන්නය. වෙනත් වචනයකින් කිවහොත් නිරපේක්ෂ ශුන්‍යතාවය (දෙවියන් හෝ අන් කිසිවක් හෝ අවම වශයෙන් ශුන්‍යතාවය පවා නොමැති) ඔවුන් අත්විදින්නේ කෙසේද යන්න තවමත් නොවිසඳී ඇත. අනන්‍යතා අර්බුදය ඉස්පොල්ලේ ගොස් ඇති මේ යුගයේ, අප සැවොම බටහිර වීමට තතනන මේ මොහොතේ, 'මමත්වය නොමැති තැන' අපට මෙම ධනවාදී යුගය තුල අවබෝධ වනු ඇත්ද? වෙළඳ භාණ්ඩ විසින් ඔබ කවුද යන ගැටළුවට විසඳුම් ගෙනෙන මේ යුගයේ ආත්මය සහ වස්තුව අතර ඇති අර්චන සම්බන්දය කුමක්ද? ශුන්‍යතාවය ම තව තවත් පානය කරන්න යැයි නියෝග කරන මෙම යුගයේ බටහිරට ප්‍රධානය කල හැකි පැවැත්මේ තිරසාර පශ්චාත් ක්‍රිස්තියානි රූපකය කුමක්ද? එසේනම් ක්‍රිස්තියානියට තරණය කල නොහැකි ධනවාදයේ මේ අවසන් සැතපුම මිනිස් සංහතිය වෙනුවෙන් තරණය කිරීම බාරගන්නා ඓතිහාසික සහ අද්විතීය තරඟ කරුවා බුද්ධාගමද?  
    
....................................
සටහන් 

* (i) 'අවිද්‍යා' යනු නොසැලකිල්ල (negligence) වෙනුවෙන් යොදන පර්යාය පදයකි. 'දන්නවා නමුත් නොදන්නවා වගේ සිටීම' ගැන ජිජැක් භාවිතා කරන වචනය ප්‍රතික්ෂේපනය (disavowal) යන්නය. 'සැලකිල්ලට ලක් නොකිරීම' නම් නරුම තත්වය අර්ථවත් කරනු පිණිස බුදුන් වහන්සේ සියවස් ගණනකට පෙර එම සංකල්පය භාවිතා කර ඇත. එයින් අදහස් කරන්නේ මෙවැන්නකි. අප විසින් අපව සොයා ගන්නේ නම් ලෝකය තේරුම් ගැනීමට අපට ජිජැක් හෝ වෙනත් අය පසුපස යාම අවශ්‍ය නොවේ යන්නය. අපේ දෙය හෙලා දැකීම හෝ එහි සංකේතනය ප්‍රශ්න කරනවා වෙනුවට අප කලයුතු එකම දෙය අප අපගේ උරුමය ගැඹුරින් සොයා ගැනීමය. එවිට පමණක් ජිජැක් ලාට අප දෙස බැලීමට සිදු වනු ඇත. නැත්නම් සිදුවන්නේ හැමදාම අපට ජිජැක් දෙස බලා සිටීමටය. එසේ පරාධීන වීමට තරම් හේතුවක් අපට බුදුදහම විසින් ශේෂ කර නොමැති බව මාගේ විශ්වාසයයි. ඇත්තටම සිතුවොත් බුදුදහම අපට දී ඇති දායාදය මිල කළ නොහැකිය. ඒ නිසා අපි දන්නා බුදු දහමේ තියෙන සංකේතනය ඇතුලේ 'සාමාන්‍ය බෝධිසත්ව' කෙනෙක් නැතිවුණා කියල අවුලක් ඇති වෙලා නැහැ. එකම දේ යම් දැනුවත් මිනිස්සු ටිකක් ඒක දාර්ශනික අරුතකින් නුතන ලෝකයට අරන් එන්න ඕනි. මනෝ විශ්ලේෂණය වේවා, ස්ත්‍රී වාදය වේවා, ව්‍යුහවාදය වේවා, මාක්ස් වාදය වේවා අපි එම දර්ශනයේ මුලික හර පද්ධතිය සමග ගලපාගන්න ඕනි (උදාහරණ වශයෙන් සමාජවාදයේ සාමුහික බව ඇතුලේ මමත්වය - අහම නැතිවිය හැකිද වගේ දේවල් අපි ගැඹුරින් සාකච්චා කරන්න ඕනි). ඒ නිසා තමයි එහෙම කරපු ගෝලීය උදාහරණයක් විදියට ඉහත ජපන් බුර්ෂුවා උදාහරණය උපුටා දැක්වුවේ (පණ්ඩිත කම පෙන්නන්න නෙවෙයි).  

* (ii) මෙයින් අදහස් කරන්නේ ප්‍රතිපත්තියක් හැටියට සදාචාරාත්මක අරුතකින් මරණ දඬුවම අනුමත කරනවා කියන එක නෙවෙයි. නමුත් සංකේතනයට ම බැහැ තමා වෙනුවෙන් පෙනී සිටින්න සහ ආරක්ෂා වෙන්න. විෂය තුල පිළිවෙල තීරණය කරන්නේ සංකේතනය. නමුත් ඒ සියල්ලටම කලින් විෂය යන්න තීරණය වෙලා තියෙන්න ඕනි විෂය තුල (ඔව් 'මම' තමයි මේ කැඩපත තුලින් පෙන්නේ කියන 'මම' යන හැඟීම). ඉතින් 'මම' සහ 'මගේ ප්‍රතිරූපය' කියන දෙක අතර පරතරය තමයි පරිකල්පනීය අවධිය (imaginary stage) ඔස්සේ තීරණය කරන්නේ. ඉතින් නිෂිතානි කියන එක හරියටම හරි. කොයි ආකෘතියකින් හරි පැවැත්මේ පරතරය කියන එක තමයි බටහිර ආතතිය ('මම' සහ 'මගේ ප්‍රතිරූපය' අතර ඇති සදාකාලික ආතතිය). වරදක් කරපු කෙනෙකුට දඬුවමක් දෙන්නේ තමා ගැනම නැවත සිතන්න කැඩපතක් හැටියට (ඔබ ගැන ඔබ කෙසේ සිතුවත් නීතියට අනුව ඔබ කියන්නේ මෙහෙම කෙනෙක්. ඔබ සමාජයට ගැටළුවක්. ඉතින් ඔබ නිවැරදි විය යුතුයි). නමුත් ඔහු එම කැඩපත ප්‍රතික්ෂේප කරනවානම් එතකොට මොකද කරන්නේ? පියෙක් හොදින් කියල කියල බැරිම තැන කෝටුවක් ගන්නවා. එතකොට පියා යක්ෂයෙක් වගේ තමා පෙන්නේ. නමුත් ඔහු කරන්න හදන්නේ සංකේතීය පිළිවෙල ආරක්ෂා කරලා දෙන්න. ඇලන් මිලර් ට අනුව ළදරුවා විසින් පරමාදර්ශී ප්‍රතිරූපයක් අන්තර්කරණය (internalize an ego ideal) කරගත යුතුයි පරිකල්පනීය අවධිය තුළ. එතැන තමයි අහම උපදින තැන. ඒ වුනාට බුදුදහමේ ඉගැන්වෙන්නේ මෙම අහම අහෝසි කිරීම ගැන. ඉතින් දානය (තමාගේ යනුවෙන් ඇති දෙය පරිත්‍යාග කිරීම) සහ ශිලය (ඉන්ද්‍රිය සංවරය) ඔස්සේ බුදුන් කරන්න හැදුවේ විෂයේ පිළිවෙල හදන ගමන් ම අහම අහෝසි කරලා දාන්න හදපු එක. ඒත් යමෙක් කැඩපත් අවධියට පෙර ස්ථානයට (pre-symbolic stage) ආපසු යනවනම් ඒකට ඇලන් මිලර් කිව්වේ යථ කියල. එතැනදී තමයි වචන අසමත් වෙන්නේ. ඉතින් සමහර යථාව වෙතට ගිය අයට වචනයෙන් කියල වැඩක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට බුදුන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කලා (absence). ඉතින් ප්‍රවාසය (absence) කියන්නෙත් දඬුවමක් තමයි. අපිට පේන කිසිවක් අප සිතන තරම් සරල නැහැ කියන්නේ ඒකයි...         

(iii) එක අතකට සාමාන්‍යයෙන් සංකේතීය කියල අපි දන්න දේවල් වලට කුඩු වෙන්න ගහන්න ඕනි කියල අමුතු ම සද්භාවයකින් හිතන සමන්ට ලියල වැඩක් නැහැ. එයා එක්ක 'අවදිවෙලා' ඉන්න නව රැඩිකල් පරම්පරාවට උත්තර දීලා වැඩකුත් නැහැ (එයාල අවදිවෙලා දුවන්නේ ආයේ 'නවතින්න' නෙවෙයි. මරණය දක්වාම දුවන්න යි). ඒ අය ආශා කරන පරමාදර්ශී චිත්‍රපටය තමයි මෑතකදී තිරගත වුන Call Me By Your Name (2017). සමන්ගේ කරට අත දාගෙන ඉන්න බාල පරම්පරාව තළු මරමින් ඒ ගැන ලිව්වා. ඒකෙ කතා නායකයා වන ඔලිවර් ඉතාලියේ ග්‍රාමීය පරිසරයක තියෙන තමන්ගේ මහාචාර්ය තුමාගේ ගෙදරට එනවා. ඒ කරලා ඒ ගෙදර ඉන්න මහාචාර්යතුමාගේ පුතා එක්ක ලිංගිකව පැටලෙනවා. ඒලියෝ (පුතා) කියන්නෙත් ඉතාම වසඟකාරී තරුණයෙක්. ඔහුගේ බලපෑම ගොඩක් බරපතලයි ඔලිවර් පැත්තෙන් ගත්තම. වරෙක ඔහු සම ලිංගිකයි. වරෙක ඔහු විෂම ලිංගිකයි. ඔහු ලිංගික අනන්‍යතාවය සොයමින් යන තරුණ විගලිත හෛඩගරියානු භූමිය සොයන්නෙක් (ශුන්‍යතාවය 'දෙයක්' හැටියට ගත්තු කෙනෙක්. ඒ 'දෙය' නම් ලිංගිකත්වයයි). නමුත් සම්බන්දය ඇතුලේ වැඩිහිටි කෙනා වන ඔලිවර් ට බැරි වෙනවා තම ආශාව කැපකරලා ඔහුට ශුන්‍යතාවය අතික්‍රමණය කරන්න උගන්වන්න ('කුඩා ඉශු නළඟන' කතාවේ වගේ කඳුළු ගංගාවක් ඔස්සේ ආත්මය දියකර හරින්න). වෙනත් විදියකට කිව්වොත් කිකුයි මිස් කරපු දෙය නැත්නම් දුයිෂෙන් කරපු දෙය කරන්න තරම් ඔලිවර්ට ධෛර්යය (guts) තිබුනේ නැහැ (ඒ අය පොඩි අධ්‍යාත්මයක් තියෙන අය අපේ කට්ටිය ලොකුවට උඩ දැම්මට). ඒ කියන්නේ තමන්ගේ බාලයට කැඩපතක් වෙන්න වැඩිහිටි තරුණයට බැරි වෙනවා (ඒකයි ථෙරවාද වේවා කුමක් හෝ වේවා සංකේතනය වැදගත් කියල කියන්නේ). ඕනිනම් කියන්න පුළුවන් ඉහත චිත්‍රපටය වික්ටෝරියානු විරෝධී චිත්‍රපටයක් කියල. නමුත් එහෙම කිව්වත් ඉහත බටහිර විගලිත බව එයින් නැති වෙන්නේ නැහැ (හැටේ දශකයේ මහා ලිංගික විප්ලවයකින් පසුවත් කෝ ඔවුන් තෘප්තිමත් වෙලා?). 'ආසියාතික බෞද්ධ ස්ත්‍රිය ඩෙරීඩා හමුවේ විසංයෝජනය' කලත් ඉහත ගැටළුවට බටහිර විසඳුමක් පේන හරියක නැහැ. කොගිටෝවේ ගැටලුවෙන් ඔවූන්ට කවදාවත් නිදහසක් නැහැ 'මම' යන්න දියවි යන දෙයක් ලෙස තේරුම් ගන්න කල්. ලිංගිකත්වය ට කොච්චර ගියත් ඔවුන්ට ශුන්‍යතාවය විසංයෝජනය කරන්න බැහැ (නිකම් කියවන්නකෝ ඇලෙන්කා සුපැන්ජිත්). එම ලිංගික කටයුත්ත ට පස්සේ ආයෙත් තියෙන්නේ ඊටත් වඩා ශුන්‍යතාවය. ඉතින් ඊට පස්සේ කැසබලංකා (Casablanca) එකේ වගේ 'හොලිවුඩ් සිගරට් එකක්' බොන්න වෙනවා වෙනවාමයි හැමෝටම (ලිංගිකත්වය එච්චර තෘප්තිමත් දෙයක් නම් ඇයි 'ඒ වැඩේට' පස්සේ හොලිවුඩ් කාරයෝ සිගරට් බොන්නේ?). බටහිර අරුතකින් ඇත්තටම ඒ වැඩේට පස්සේ තියෙන්නේ දුක (suffering). ආතතිය (tension). ශුන්‍යතාවය (nothingness). මේ කතාව තේරුම් ගන්නේ නැති නිසා කියලත් වැඩක් නැහැ. මුලින්ම බුදුන් වහන්සේටත් තිබුණේ සැකයක් (the Great Doubt) තමා තේරුම් ගත්ත දෙය අනික් අයට කියල වැඩක් වේද කියල. ඒ අනුව මේ ලියවිල්ල සමන් විසින් දක්වන ලද අදහසට පසුව දක්වන තවත් අදහසක් මිස මෙය සමන්ට කරන විවේචනයක් හෝ ප්‍රතිචාරයක් හෝ නොවේ.