Saturday, November 24, 2018

මුගාබේ නොවී මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කිරීම...

ජනප්‍රිය දේශපාලන විශ්ලේෂකයෙක් ලෙස ලොව පුරා ප්‍රකට ස්ලාවෝයි ජිජැක් විසින් 2017 වසරේ Beyond Mandela without becoming Mugabe නමින් දේශනයක් කළේය. එම දේශනයේ උප-පථිතය නම් කර තිබුණේ 'කැරළි ගසන්නේ කෙසේද' (How to rebel?) ලෙස ය. මා සිතන අයුරින් මාතෘකාව ට වඩා එම උප-පථිතය (sub-title) වඩා වැදගත් වන්නේ සහ ජිජැක් විසින් එය යම් පමණකින් අධිනිශ්චය කර තිබුනේ කැරළි ගැසීමට ගොස් අප අනිවාර්ය ලෙස විශ්වීයත්වයෙන් ඛණ්ඩනය වී අවසානයේ මුගාබේකරණය වන බව ඔහු අත්දැකීමෙන් දැන සිටි නිසාවෙන් විය හැකිය. කැරළි ගැසීම තුළ අප බුර්ෂුවා සදාචාරයේ ගොදුරු නොවිය යුතු වුවත් විශ්වීය වටිනාකම් වලින් මෑත් විය යුතු නොවේ. ස්පීල්බර්ග් ගේ Amistad (1997) චිත්‍රපටයේ කළු ජාතිකයින්ට කැරළි ගැසීමට ඇති අයිතිය ඇමෙරිකානු අධිකරණය විසින් ම පිළිගනු ලබයි. නමුත් මැල්කම් X එම අරගලය දියත් කලේ විශ්වීය ඛණ්ඩාංක යටතේ ය. ඔහුගේ අරගලය ප්‍රචණ්ඩ වුවද (ෆැනොන් ගේ අභාෂය නිසා) ඔහු කිසිම විටක ආසියාතික අත්තනෝමතික බව ට ඉස්මතු වීමට ඉඩ දුන්නේ නැත. එම අරගලයේ මාවත කෙලවර ඔවුන්ට රස්පුටින්, මොබුටු, ඉඩි අමින් නොව බැරක් ඔබාමා කෙනෙක් නිෂ්පාදනය කරගත හැකි විය. නමුත් එයට වසර සිය ගණනක් ගතවිය. ලංකික 'ඔක්තෝබර් විප්ලවයේ' උමතු කැරළිකරුවන්ට තිබුණේ බලය පිළිබද හදිසියකි. ඔවුන් වහාම සිදුවූ දෙය 'විප්ලවයක්' ලෙස නම් කරන ලදී. නමුත් ඊට පසුදා පහන් වනවිට මිනිසුන්ගේ ජිවිතයට කිසිවක් සිදුවුයේ නැත. සිදුවූවේ යම්තාක් වත් තිබු මතුපිට (බුර්ෂුවා යැයි කියන) නිශ්චල බව සොලවා දමා සමස්ත ය බොර වීම පමණය. එම බොර වීම මගින් නිශ්චල (සංකේතනය) බව ට යටින් ඇති යථාර්තය කොතරම් අවුල් ද (යථ) යන්න පැහැදිලි වීම මෙම 'ඔක්තෝබර් විප්ලවයේ' එක් වැදගත් මානයකි. සුදු ඇඳුම් වලට යටින් තිබු මතුපිට ට මෙතෙක් නොපැමිණි පරස්පරතා රාක්ෂ ස්වරූපයෙන් ඉස්මතු විය. පසුව එම පරස්පරතා පුපුරා ගියේය. කෙසේ වුවද අප එම පරස්පරතා පැවති බව දැන සිටියේය. එසේ තිබියදී මෙම පරස්පර බලවේග වලට චන්දය ලබා දුන්නේ වෙනත් ඓතිහාසික කටයුත්තක් සිදු කරනු පිණිසය. එනම් පැවති දුෂිත ඒකාධිකාරී බල ව්‍යුහය හි මුලය වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු පිණිස ය. එම පොරොන්දුව සහිත ව එතනට ගිය ජනාධිපති වරයෙකු ලෙස මෛත්‍රීපාල කරන්නේ තමා දුන් පොරොන්දුව ඉටුකර ඉන් පසු හමුවන ශුන්‍යතාව (කිසිවක් නැති බව) ධෛර්ය සම්පන්නව වැලඳ ගැනීම නොව චන්ද්‍රිකා කුමාරතුංග ගිය මාවතේ ම ගමන් කිරීම ය. ඊටත් අමතරව ඔහු විසින් හදිසි 'විප්ලවයක්' ද සිදුකර ඇත. මෙම සමස්ත ක්‍රියාව තුළ සිදුවන අප නොමඟ යවන සුළු දෘෂ්ටිමය පාර්ශවය එයයි. එනම් යම් කුමන්ත්‍රණකාරී බල ක්‍රීඩාවක් විය හැකි දෙයක් විප්ලවයක් ලෙස රූපාන්තරණය කිරීමේ ක්‍රියාවලියයි.  අද දවස වනවිට මෙතෙක් මෛත්‍රී විසින් හඳුනාගෙන නොතිබූ පරස්පරතා ප්‍රමාණයක් මහින්ද පාර්ශවයෙන් එලියට එමින් ඇත. විශේෂයෙන් පැරණි රෙජීමයේ කුප්‍රසිද්ධ අයවලුන් නැවත ඉහල තනතුරු ලබමින් සිටීම ඉහත විප්ලවය කණපිට හැරීමකි. මේ සිදුවූ විප්ලවය දෘෂ්ටිවාදී එකක් යයි කියන්නේ එම අරුතිනි.        

බල ක්‍රීඩාව නොහොත් ගේම් තියරියක් විප්ලවයක් ලෙස නම් කිරීමට යමෙකුට අවශ්‍ය වන්නේ ඇයි? එකක් නම් දෘෂ්ටිමය නරුම වාදයයි. නපුර යනු නපුර ලෙස දැකීම ප්‍රතික්ෂේප කිරීමයි. අශ්ලීල බල ක්‍රීඩාව තුල ම සිටිමින් ඒ සමග දුරස්ථ භාවයක් පවත්වා ගැනීමේ ආකෘතිය මෙහි උච්චතම අවස්ථාවයි (නාසි සෙබළුන් භගවත් ගීතාව භාවිතා කල අයුරින් අවශ්‍ය නම් බුදු වදන මෙහිදී අතර මැදියෙක් ලෙස පාවිච්චි කල හැකිය). අනෙක නම් සත්‍ය විප්ලවයක් සිදුවනු දැකීමට තරම් ජීවිත කාලයක් තමාට ශේෂව නොතිබීමයි (panic යනුවෙන් ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වයි). ජිජැක් ට අනුව මෙම රෝග ලක්ෂණය මතු වන්නේ එක්තරා නිශ්චිත හදිසියකිනි. එම හදිසිය නම් අපගේ ජීවිත කාලය කෙටි වීමත් එම කෙටි කාලය තුල විප්ලවය අත්දැකීමට නොහැකි වීමත් නිසාය. එමනිසා සිදුවන ඕනෑම විපරීත සිද්ධියකට ඔවුන් විප්ලවයක් ලෙස නම්නීකරණය කරනු ලබයි. ඉහත දේශනය තුළ ජිජැක් සඳහන් කරන්නේ අප ජිවත් වන්නේ පශ්චාත් දේශපාලන යුගයක බවයි. බල ක්‍රීඩාව යනු යනු සීමාවන් පිළිබද නුතන කතිකාවෙන් ඔබ්බට ගොස් එය පසු නුතන සිමාවන් රහිත බවේ මායිම් අත්හදා බලමින් සිටින බවයි. ඒ සෑම තැනක ම ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ අපේක්ෂා භංගත්වයයි. මෙහිදී ජිජැක් පෙන්වා දෙන්නේ අප නොයෙක් ආකාරයට ධනවාදී ක්‍රමය සෙලවීමට උත්සාහ කරන නමුත් ඒ සියල්ලක් ම අවසානයේ අසාර්ථක බවින් කෙලවර වන බවයි. පාර්ලිමේන්තු ක්‍රමය ට විරුද්ධ වීම, සුභ සාධක රාජ්‍ය ට එරෙහිව කැරළි ගැසීම, ඊජිප්තු අරගල යන මේ සියල්ල අවසානයේ අප ජිවිත කාලය තුලම අසමත් වන බව අප අපගේ ඇස් ඉදිරියේම ප්‍රත්‍යක්ෂ කරගමු. මේ සියලු දේ අප කරන්නේ සත්‍ය විප්ලවයක් සිදු නොවන බවට අප ප්‍රත්‍යක්ෂ ලෙස දන්නා නිසයි. අප කෙසේ හෝ පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ විය යුතු බව මේ යුගයේ අපේක්ෂා භංග සමාජවාදීන්ගේ මතයයි. පන්ති අරගලය පිළිබද ආර්ථික අදහස වෙනුවට වෙනත් පරස්පරතා අධි නිශ්චය වෙමින් යන මේ මොහොතේ මහින්ද මෛත්‍රී පරස්පරතාවය මෙන්ම රනිල් මෛත්‍රී පරස්පරතාව වැනි අදහස් ඉස්මත්තට පැමිණෙන්නේ මෙම අපේක්ෂා භංග බවේ වදන්කේන්ද්‍රීය බව ඔස්සේ ය. ප්‍රගතිශීලි සියළු පාර්ශවයන් එක්කෝ රනිල් වෙනුවෙන් හිටගන්නා අතර නැත්නම් මහින්ද මෛත්‍රී පාර්ශවය වෙනුවෙන් සිටගනී. ඒ කිසිදු පාර්ශවයකට එදිනෙදා සටන් පාඨ වලින් ඔබ්බට ගිය නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති අතර සියල්ලෝම එකම චක්‍රයක කැරකෙමින් ඇත. සත්‍ය සමාජ වෙනසක් වෙනුවෙන් කැපකළ යුතු සියළු මිනිස් ශක්තිය මෙම විපරීත සිද්ධිය සඳහා මාධ්‍ය විසින් උකහා ගනු ලබමින් ඇත. මෙයින් අදහස් කරන්නේ මෙම නිශ්චිත මොහොතේ ඉස්මතු වෙමින් යන ඒකාධිකාරී වැඩ පිළිවෙල පරාජය නොකළ යුතුය නොවේ. සමස්තතා අධිකාරක ඉස්මතු වීම ට එරෙහි අරගලය විසින් ඇතැම් විට පන්ති අරගලය පිළිබද  සටන පසුපසට යවයි. එය අවබෝධ කරගත හැකි දෙයකි.

මා පාසැල් යන සමයේ පටන් කියවූ ලාංකික සන්දර්භය තුල වැදගත් දේශපාලන විශ්ලේෂකයකු වූ වික්ටර් අයිවන් විසින් ලියන ලද ඒ මහතා ගේ ගේ ජිවිත කාලයේ ලියන ලද තීරණාත්මක යැයි කියහැකි මෙවර දේශපාලන විචාරයේ (කියවන්න අර්බුදය කෙළවර වනු ඇත්තේ මහා විනාශයකිනි - වික්ටර් අයිවන්) පවා පෙන්වා දෙන පරිදි මෙම අර්බුදයත් සමග සමස්ත ලාංකික දේශපාලනයේ මෙතෙක් පැවති පැරණි ව්‍යුහය සම්පුර්ණයෙන් වෙනස් කර දැමීමේ අවශ්‍යතාවයක් ඉස්මතුව ඇත. මදකට මා ඔහුව උපුටා දක්වමි, "අවසානය ජනාධිපතිගේ මරාගෙන මැරෙන දේශපාලන ක‍්‍රියාන්විතය දුරගොස් තිබෙන තරම අනුව එම වැඩසටහන පරාජය කිරීමේ හැකියාවක් නැත. ඔහු විසින් රට මත හෙළන ලද පරමාණු බෝම්බය එහි අවසානය දක්වාම පුපුරනු ඇත. ඉන් රටට සිදුවනු ඇති විනාශය ද අතිවිශාලය. එය එක යුගයක් මුළුමනින් අවසන් කිරීමට හේතුවනු ඇත. රනිල් වික‍්‍රමසිංහමහින්ද රාජපක්ෂ පමණක් නොව පරණ යුගයේ සියලුම නායකයන්දකුණුවී තිබෙන රාජ්‍ය හා සියලූ ආයතන ක‍්‍රමද ආණ්ඩු ක‍්‍රමය හා ව්‍යවස්ථාවද මුළුමනින් නැති භංග කිරීමට හේතුවනු ඇත. රටේ සමස්ත ආර්ථිකයද විනාශ කිරීමට හේතුවී රට පූර්ණ බංකොළොත් තත්ත්වයකට පත්කිරීමට හේතුවී රටේ මහජනතාවද නොමරා මරණ තත්ත්වයකට පත්කිරීමට හේතුවනු ඇත. ඊළඟ යුගය ආරම්භ කරීිමට සිදුවනු ඇත්තේ මහා විනාශයකින් පසු එහි  ඉතිරි කරන අළු දුවිලි හා සුන්බුන් මත්තෙහිය. සෑම දෙයක්ම අලුතෙන් ගොඩ නගා ගන්නා තැනකින් කටයුතු ආරම්භ කිරීමට රටට සිදුවනු ඇත. ජනතාවට ප්‍රඥාව තිබේ නම් ජපනුන්ට හා ජර්මනුන්ට මෙන් ඇතිවූ මහා විපත සැපතක් බවට හරවා ගැනීමේ පුළුවන්කමක්ද ඇත්තේය." (අවධාරණය මගේවික්ටර් අයිවන් 2018). අප ජපනුන් හෝ ජර්මානුවන් නොවන හෙයින් ඔහුගේ අවසන් ශුභවාදය ගැන කිසිවක් කිව නොහැකි වුවත් පවත්නා සියලු සංස්ථා සහ ඒවායෙහි පැරණි නායකයින් විනාශ වී යන්නේ (deconstruction) නම් එය ප්‍රගතිශීලි දෙයක් යැයි පිළිගැනීමට මම නොපැකිලෙමි. අපේ පරම්පරාව විනාශ වී හෝ මේ රට ලෝකයේ උතුම් රටක් වන්නේ නම් මා එයට එකපයින් එකඟ ය. මෛත්‍රීපාල හැරවුම තුල සිදුව තිබෙන්නේ නුතන වටිනාකම් වලින් උසස් නුතනත්වය වෙතට ගමන් කරනවා වෙනුවට ස්වදේශිකත්වය වෙතට ගමන කිරීමේදී සිදුවන සාමාන්‍ය අපගමනයකි. එනම් අත්තනෝමතික බවක් වෙත ගමන් කිරීමකි. ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ බොහෝ තැන්වල සිදුව තිබෙන්නේ මෙම තත්වය ය (මැන්ඩෙලා ගෙන් ඔබ්බට යනවා වෙනුවට මුගාබේ දෙසට ගමන් කිරීමය). මේ හේතුව මත දේශීයත්වය ගැන වඩා විශ්වාස කල ජාතියක් වන ජපනුන් කලේ එදෝ යුගයේ (Edo period) හුදකලා භාවය අතහැර දමා මෙයිජි අධිරාජ්‍යයාගේ යුගය වනවිට නුතන ලෝකය සහ එහි වටිනාකම් සමග ගැට ගැසීමයි (පසුව විසි වන සියවසේ කියෝතෝ ගුරු කුලය වැදගත් වන්නේ මේ සන්දර්භය තුලය. එම චින්තන ප්‍රවේශය මා විසින් 'මේ සිංහල අපගේ රටයි' ළිපි මාලාව තුල ඉස්මතු කළේ එබැවිණි). නමුත් සිදුවෙමින් පවතින්නේ අප කිසිවෙක් නොසිතුව දෙයකි (මෛත්‍රීපාල ජනාධිපති වරයා මරාගෙන මැරෙන්නට  සුදානම් වන්නේ තම අහම රිදවන ලද ඉංග්‍රීසි කතා කරන කොළඹ මධ්‍යම පන්තියේ හාමුලා ). මෙය කිසිසේත් ම ගාන්ධියානු සටන් ආකෘතියක් නොවන්නේ ය (තමාට රිදවූ අයට ආපසු රිදවන්නට ගාන්ධි ගියේ නැති අතර තම අහම ට වන්දි වශයෙන් එතුමා රටෙන් පළි ගත්තේද නැත (කළ යුත්තේ තම මවටත් වඩා තම සුළු මවට ආදරය කිරීම මිස රිදවීම නොවේ. රිදවීම ඔස්සේ එවැන්නෙක් ලබන්නේ කාලකන්ණි සතුටකි). මේ සුව නොවන ලාංකික අහමේ ශුද්ධ ප්‍රකාශනය කි. භූමියේ ගතිකය පිළිබද ප්‍රකාශනය කි.  
ගාන්ධි චිත්‍රපටයේ රඟපාන ඩැනියෙල් ඩේ ලුවිස් ගේ චායාරූපයක් 

සත්‍ය වශයෙන් ගාන්ධි ප්‍රති ජීවනය කරන්නේ බයිබලයේ එන අනේකත්වය පිළිබද අදහසයි. චිත්‍රපටයේ මුල් කොටසේ ගාන්ධි දකුණු අප්‍රිකාවේ වීදියක් දිගේ ඇවිද යන විට හමුවන සුදු ජාතික කොලු ගැටව් අතරින් යන දසුනේ දී ඔහු බව චාර්ලි ට පවසයි. ඔහු කියන්නේ බයිබලයෙන් බොහෝ දේ හින්දුන්ට ඉගෙන ගත හැකි බවයි. පාදිලි වරයෙක් වන චාර්ලි පවා බයිබලයේ එන "එක් කණකට ගැසුවොත් අනෙක් කණත් ගෙනහැර පාන්න" යන වැකිය ඇත්තටම කළ හැකි දෙයක් ද යන්න සැක කරද්දී ගාන්ධි කරන්නේ එය ප්‍රයෝගික කර පෙන්වීමයි. එවන් විශ්වීය යහපත ගැන විශ්වාස කරන්නෙක් වෙත ඔහුට පාලනය කළ නොහැකි (beyond his control) අනෙකුත් සාධක පවා ධනාත්මකව බලපායි. අහංකාර ගණන්කාරයින් ලෙස වීදියේ සිටි සුදු කොළු රෑන දැක චාර්ලි විසින් 'අප වෙනත් පාරකින් යමු ද' යනුවෙන් ගාන්ධි ගෙන් විමසන විට ගාන්ධි කළේ දිගට ම කොළු ගැටයින් සිටි මාවත දිගේම ගමන් කිරීමයි. යම් ගුප්ත අදෘශ්‍යමාන (mystery) බලපෑමකින් මෙන් ඉහල මාලයේ සිටි කාන්තාව කොළු ගැටව් වෙත කෑ ගැසීමට පටන් ගත් වහාම එම මුරණ්ඩු දඟයින් පසුපසට යෑම අප සැලකිල්ල ට ලක්විය යුතුය. යහපත වෙත අනෙක් සාධක ආපතික ලෙස බලපානු ලබයි. අප දන්නා ඉතිහාසය තුල විමුක්ති කොටි සංවිධානය, ජ. වි. පෙ., රන්ජන් විජේරත්න, සුචරිත ගම්ලත් සහ X කණ්ඩායම යන සියල්ලෝ ම කළේ ඉහත ගාන්ධියානු ප්‍රවේශයේ විලෝමයයි (වඩාත් තදින් පහර දීමයි. අවශ්‍ය නම් පුද්ගලික ජිවිත වලට පවා ගහලා දැමීම යි. ගහලා ඉවරකර දැමීමයි). අදටත් ලොව පුරා අප ගාන්ධි ගැන කතා කලත් කිසිවෙක් වැරදිලාවත් සුචරිත ගම්ලත් ගැන කතා කරන්නේ නැත. සිදුවිය යුතු පරිදි ම සංකේතීය ඉතිහාසය තුල ඔහු අමතකය. අපගේ හදවත් තුළ ඔහු අමරණිය නැත. තවත් බොහෝ අයට අයිති වන්නේ ද ඉහත ඉතිහාසය ම මිස අන් යමක් නොවේ. අයිවන් මහතා කියන පරිදි ම (ඔහු ගාන්ධි ගැන ධනාත්මක අයෙකි) මේ රට ට පවා ඉහත විශ්වීය දේශපාලන මොඩලයක් අවශ්‍ය ය. එවන් සාර්වත්‍රික මිනිසුන් බිහිවෙනවා වෙනුවට අද ඇත්තේ රිදවා ගත් අහම මතින් සමස්ත ලංකාව යම් අකාරයකින් 'මුගාබේ කරණයක්' දෙසට ගෙන යන්නාවූ මිනිසුන් පිරිසක් බිහි වෙමින් ය (අයිවන් මහතා එම වචනය පාවිච්චි කරන්නේ නැත). පුද්ගලික අහමේ ගැටළුව නිසා මේ වන විට රට පත්ව තිබෙන්නේ අන් කිසි දිනක නොවූ විරු අරාජක තත්වයක ය යන්න අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. ජනාධිපති වරයා මේ මොහොත වන විට කුමන ප්‍රකශ කරමින් තිබුණ ද රට තුල ඇතිවෙමින් පවතින අසහනකාරී තත්වය ඉතාම පැහැදිළි ලෙස සිවිල් දේශපාලන අරගලයක් දක්වා වර්ධනය වනු ඇත්ද යන්න බටහිර තානාපති කාර්යාල වල සැකයට තුඩු දී ඇත. එසේ වුවොත් එම විනාශයට මෙම අර්බුදය ඇතිකළ මහා මොළකරුවන් වගකිව යුතුය යන්න මගේ හැඟීමයි. කුමන තත්වයක් මත වුව ද රටේ පාලන බලය හුවමාරු විය යුතු ප්‍රධාන චරිත තුන් දෙනාම ඇතිවූ අර්බුදය තුළ සම්පුර්ණයෙන් නිර්-නෛතිකකරණය වී ඇත. ඇතිවෙමින් තත්වය මත රාජපක්ෂ කඳවුරේ ජනප්‍රියතාව අන් කවරදාකටත් වඩා වේගයෙන් පහල බසිමින් ඇත. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ තවමත් තමාගේ නෛතික බව පෙන්වා නැත. ඔහුට යම් ජනතා ආකර්ශනයක් තිබුණා වුව ද, ප්‍රාදේශීය සභා බලය අත්පත් කර ගත්තද, සමස්ත දේශපාලන බලවේග සමඟ තරඟකාරී ලෙස මහ මැතිවරණයක් ඔස්සේ තම ශක්තිය අග්‍රාමාත්‍ය තනතුර හෙබවීමට සුදුසුයි යන්න තවමත් ඔහු ජාතික තලයේ ඔප්පු කළ යුතුව ඇත. අනෙක් අතට ඔහු අගමැති තනතුර කරා නැවත ආගමනය වන්නේ ද යම් ගැටළුකාරී සහ කුමන්ත්‍රණ කාරී ස්වභාවයක් ඔස්සේ ය (problematic and conspiratory). එය විසින් පවා ඔප්පු කරන්නේ ඔහු තවමත් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන කඳවුරේ කතිකාව තුල නොවේය යන්න ය. වෙනත් වචනයකින් කිවහොත් ඔහු පරණ මහින්ද ම ය යන්න ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරමින් ඇත. ඒ අරුතින් ඔහු අයිති වන්නේ ඉහත අයිවන් මහතා කියන විනාශ වෙමින් යන ගොඩටය.  

ඇතිවූ අර්බුදය නිර්මාණය කිරීමේ මහත් වගකීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් නිදහස් කළ නොහැක. ආචාර ධාර්මික තලයේ මුලින් ම නිර්-නෛතික වුවේ ඔහුගේ පැවැත්ම යි. යහපත් දෙයක් කිරීමට අවුත් ඔහු සිදුකලේ අප කිසිවෙකුට පිළිගත හැකි දෙයක් නොවේය. ජනතාව ඔහු ගේ අත්තනෝමතික තීරණ වලට එකඟ වුවේ නැති අතර පසුගිය පළාත් පාලන චන්දය ඔස්සේ එය මැනවින් පිළිබිඹු විය. කරුණු රාශියක් මත අද වනවිට විධායකය විසින් රනිල් නොපිළිගන්නා තත්වය තුළ රනිල් ගේ දේශපාලන නෛතික බව (political legitimacy) විශාල යම් දුරකට අස්ථාවර වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ව මතුවූ මෑත කතිකාව තුල ඔහු යම් පමණකින් ඉස්මත්තට පැමිණිය ද ඔහුගේ පොරොන්දු කඩකිරීම සහ උද්දච්ච බව පිළිබද දේශපාලන ගැටලුව කිසිසේත් විසඳි තිබුණේ නැත. ඔහුගේ විශ්වීය දේශපාලන සදාචාරය බැඳුම්කර ගැටලුවේ සිට ම අභියෝගයට ලක් වෙමින් පැවති ය. ආර්ථික අවපාතය පවා අවසානයේ වැටුණේ ඔහුගේ කර පිට ය. ඔහු විසින් කළ යුතු බොහෝ දේ ඔහු විසන් ම අතපසු කරමින් පැවතියේය යන්න ඔහුට එරෙහිව නැගුන ප්‍රභල විවේචනයකි. නමුත් ලාංකික සුළු ජාතික පක්ෂ විසින් සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින කණ්ඩායම් විසින් මෙන්ම අන්තර් ජාතික ප්‍රජාව විසින් පවා තවමත් ඔහු විශ්වාස කරන තත්වයක් තුළ ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරය අහෝසි කිරීම බරපතල දේශපාලන කරුණකි. නමුත් ඔහුට පවා අද දවස වන විට ඔහුගේ අනාගතය පැහැදිලි නැත. හේතුව නම් පැරණි පරම්පරාවේ දේශපාලන අගතීන් ගෙන් ඔහු තවමත් නිදහස් වී නොතිබීමයි. නමුත් කොල්ලුපිටියේ පවුල් කිහිපයක ජිවිත තුළ ඇති අගතීන් වෙතින් සහ ලාංකික සාමාන්‍ය ජීවිත වෙතින් ඔවුන් දක්වන විගලිත බව වෙතින් (කිසිදු භූමියකට අයිති නැති බවට ඔවුන් හඟවන ශරීර දේශපාලනය - body politics) වෙතින් අප අපගේ ආත්මය රිදවා ගත යුතු නැති බව මෙහිදී පැහැදිළිව සඳහන් කල යුතුව ඇත. මන්ද අපට ඔවුන්ට වඩා පොහොසත් සංස්කෘතික ජිවිතයක් ඇති බැවිණි. උදාහරණ ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හින්දි චිත්‍රපට බලන විට අප අවම වශයෙන් ඩරන් ඇරනොෆ්න්ස්කි, ලාස් වොන් ට්‍රියර් හෝ ඩේවිඩ් ක්‍රොනැන්බග් ගේ චිත්‍රපට වත් බලන බැවිණි.       

අයිවන් මහතා සඳහන් කරන අයුරින් පැරණි පරම්පරාව සම්පුර්ණයෙන් නිර් නෛතික වීමේ අවසන් ක්‍රියාව සිදුකළ මෛත්‍රීපාල නම් අප මෙතෙක් කිසිදින නුදුටු චරිතය මේ වන විටත් ඔහුට චන්දය දුන් ජනතා පදනම වෙතින් පුර්ණ වශයෙන් විගලිත වෙමින් ඇත. ජනාධිපති වරයා විසින්  ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටී යයි සාතිශය බහුතරය (අවම වශයෙන් ඔහුට චන්දය දුන්) සිතමින් සිටින නිසා ඔහුට ඔහුගේ ජනතා පසුබිම තුළ නෛතික බවක් නැත. කතානායක වරයා විසින් ම මේ තත්වය තහවුරු කරමින් ඇත. කවුරුන් හෝ සමඟ ඇති තමාගේ පුද්ගලික තරහ මරහ රටේ මහජනතාවගෙන් ගැනීම සහගහන අපරාධය කි. අවසානයේ සිදුවිය හැකි භයානක දෙය නම් සියල්ලෝම එකිනෙකා විසින් නර්-නෛතික කරගනිමින් සිටින වේලාවේ යුධ හමුදාව මේ අර්බුදයට මැදිහත් වීමට ඇති ආසන්න ඉඩ කඩයි. සැළකිලිමත් විය යුතු තැන එතැනයි. අප ගමන් කරන්නේ පැරණි පකිස්ථානය දෙසට ද යන්න මගේ ආසන්න ප්‍රශ්නය යි. මන්ද අසමත් බව විසින් එවන් තත්වයන් මෙම කලාපයේ නිර්මාණය කර ඇති නිසාවෙනි. 

මේ සියල්ල අතරින් විශේෂයෙන් ඇතිවූ ව්‍යවස්ථා අර්බුදය අතරින් විශාල වශයෙන් ඉදිරියට පැමිණි චරිතය නම් අනුර කුමාර දිසානායක චරිතය යි (සහ පොදුවේ ජනතා විමුක්ති පෙරමුණයි). එම පක්ෂය මේ වනවිට තමන් තුල තිබූ පැරණි අගතීන් විශාල ප්‍රමාණයකින් එළියට අවුත් ඇත. වමේ සටන් දේශපාලනය විසංයෝජනය වීම මේ වන විට ඔවුන් මැනවින් අවබෝධ කර ගෙන ඇත. පාර්ලිමේන්තු දේශපාලනය ඔවුන් මැනවින් ප්‍රගුණ කරමින් ඇත. මුදලට ඔවුන් ගොදුරු වන්නේ නැත. දුෂණයට එරෙහිව ඔවුන් විනයගත ය. සියල්ල සර්ව සම්පුර්ණ නොවුනත් ගෝලීය දේශපාලනය සහ කාන්ටියානු විශ්වීය බව ඔවුන් අවබෝධ කරගෙන ඇති බව ට හොඳම උදාහරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තේ සිටගනිමින් ව්‍යාවස්ථා උල්ලංඝන යට විරුද්ධ වෙමින් ම රාජපක්ෂ අගතියට එරෙහිව දිගින් දිගටම සටන් කිරීමයි (ඔවුන් කරන්නේ සැබවින්ම අමාරු දෙයකි). පුදුම සහගත පරිදි කථිකත්වයක් පල කරන අනුර සහෝදරයා කතා කරන විට අනෙක් අයට ඇත්තේ අසාගෙන සිටීමට පමණි. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ මේ රටේ වැඩියෙන් ම බැට කෑ පක්ෂය තමන් බැවින් ඒ වෙනුවෙන් ඔවුන් කොන්දේසි විරහිත ලෙස පෙනී සිටින බව ඔහු පාර්ලිමේන්තුවේ පවසන විට අපේ පරම්පරාව ලෙස සත්‍ය ලෙසම ඔහු ගැන ආඩම්බර විය හැකිය. මෑතක සිදුවූ දේවල් ඔස්සේ ගත්විට ඔවුන්ගේ මාලිමාව ඉතාම තියුණු බැවින් ඔහු වටකර ගෙන ඉතාම හොද බුද්ධිමත් උපදේශකයින් ප්‍රමාණයක් සිටිනවා විය හැකිය (ඇතැම් විට මධ්‍යම කාරක සභාව විය හැකිය). මා ඔහු සිටින තැන නොසිටියත් ඔහු වෙත එක දෙයක් කියමි. එනම් අනුර සහෝදරයා ඔහොම ම යන්න ඉතිහාසය ඔබව නියමිත තැනට ගෙනයනු ඇත යන්න එම ශුභාශිංසනය යි.          

ලංකාවේ පිරිමි ලෝකය අසාර්ථක භාවයේ පතුලට ම ගමන් කරද්දී මේ දේශපාලන මඩ ගොහොරුවෙන් මදක් ඉසිඹුලන ස්ත්‍රිය ලෝකය දෙසට ගමන් කිරීම සතුටට කරුණකි. එවරස්ට් කන්ද තරණය කිරීමේ සිට අප රටට කිර්ති නාමයන් ගණනාවක් ගෙන ඒමට ලාංකික ස්ත්‍රිය මෑත කාලයේ සමත් විය. මුගාබේ නොවූ සහ මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කල දේශපාලන චරිතයක් වූ ඔබාමා පිටුපස සිටියේ ද ශක්තිමත් ගැහැණියකි. ලාංකික පිරිමියා අමු අමුවේ පිස්සු කෙළින විට යන්තම් හෝ කෙලින් ඉන්නේ ගැහැණිය යි. මැන්ඩෙලා පිටුපස සිටියේ ද එවැනිම ගැහැණියකි. මීට කලකට පෙර මා විසින් මෙසේ ලියනු ලැබුවා, "මැන්ඩෙලාගේ චරිත කතාව ගැන කියවෙන Mandela: Long Walk to Freedom (2013) කියන චිත්‍රපටය බලනකොට පෙනෙන දෙයක් තමයි මැන්ඩෙලාගෙ සහ ANC එකේ අරගලය පිටුපස විනී මැන්ඩෙලා කියන ඉතාමත් ම ශක්තිමත් කාන්තාව සිටියා කියන එක.  ගාන්ධි චිත්‍රපටය දිහා බලපුවමත් එක පැහැදිලි ව පෙනෙන දෙයක්.  ගාන්ධිගෙ බිරිඳ කියන්නෙ අද කාලයේ ස්ත්‍රීවාදින් වගේ නොවෙන බව එයාගෙ පහත ප්‍රකාශයෙන් පෙනෙනව.  එයා කියන්නේ මගේ ගරුත්වය රඳා පවතින්නේ මගේ ස්වාමියාගේ පිටුපසින් යෑම තුලයි' කියල. එම ප්‍රකාශය තුල ඇය කියන්නේ විමුක්තිය තියෙන්නේ පුරුෂ භාවිතාව ඇතුලෙ ම තිබුන සාර්වත්‍රික අරගලය සමග එකගවීම කියල කියන්න පුළුවන්.  ඒ වගේම විනී මැන්ඩෙලා වුනත් නව ස්ත්‍රී අනන්‍යතාවයක්හදනවා වෙනුවට කළේ නෙල්සන් මැන්ඩෙලා සිරගත කළාට පසුව අරගලයේ බර කරට ගන්න එක. මේ දේම ගාන්ධිගේ ආර්යාව (කස්තුර්බා ගාන්ධි) විසිනුත් කළා. ගාන්ධි සිරගත වුණු සෑම අවස්ථාවක ම ඉන්දියානුවන් තම විශ්වාසය ප්‍රක්ෂේපණය කළේ ඔහුගේ ම ශරීරයේ අනෙක් පලුව වුණ ගාන්ධි ආර්යාව වෙත.  විනීටත් සිදුවුනේ නව අනන්‍යතා හොයනවා වෙනුවට මැන්ඩෙලාගේ සාන්දෘෂ්ටික අරගලය තුලට තව තවත් පිය මැනීමට තරම් එඩිතර විම". පිරිමියා විසින් ගැහැණිය ශිෂ්ට කරනවා වෙනුවට ගැහැණිය ට මේ වනවිට සිදුවෙලා තියෙන්නේ ගෙයින් එළියට ඇවිල්ල පිරිමියා ශිෂ්ට කරන්න. මොකද ඒ තරම් උමතු රෝගීන් පිරිසක් තමයි අද දේශපාලනය ඇතුලේ ඉන්නේ (විශේෂයෙන් ලංකාවේ). අනික් අතට ඒ උමතු පිරිමි කරන්නේ බෙල්ල මිරිකලා ගැහැණු මරලා දාන එක, ඒක වීඩියෝ කරලා ෆේස් බුක් දාන එක, සත්‍ය ජිවිතයේ නැති ලිංගිකත්වය ට වන්දි වශයෙන් ලැබෙන හැම මොහොතකම බටහිර දෘඪ නිල් චිත්‍රපට බලන එක, අන්තිමට තම තමනුන් තම තමන් අතින්ම කා කොටගෙන මැරෙන එක. පිරිමි සමාජයට අන්තිමට ඉතුරු වෙන්නේ මරණය පමණයි. ජිවිතයක් නැහැ. 
"මේ යුගයේ වඩාත් ම භයානක වන්නේ ස්ත්‍රීවාදීන් ට විරුද්ධ වන්නන් නොව ස්ත්‍රිය මුරුංගා ඇත්තේ තබන්නන් ය" (ජිජැක්). මා සිතන අයුරින් මෙම ප්‍රකාශය ලංකාවේදී වඩාත් අදාල ස්ත්‍රීවාදයට නොව දේශපාලනය ට ය.   

කෙසේ වුවත් ඉහත මැන්ඩෙලා අදහස තවදුරටත් විදාරණය කර ඇති මුල් ලිපිය සඳහා පහත දිගුව වෙත පිවිසෙන්න.  
මුගාබේ නොවී මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කිරීම (2017 අප්‍රේල්) 

Thursday, November 15, 2018

ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට යමු....


ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු සටනක් පටන් අරගෙන තියෙන මේ වෙලාවේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය ගැන දයලෙක්තිකව බලමු නේද කියන ජනප්‍රිය නොවන ඉල්ලීම කරන්නයි මේ ලිපිය ලියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කවුරුන් වෙනුවෙන් ද වගේ ප්‍රශ්නයක් ගෙනල්ල මේ සටන දියාරු කරන්න හදනවා වෙනුවට හෝ මේ ඇවිලෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සටන අව තක්සේරු කරන්න හදනවා වෙනුවට ඒක ඇත්තටම අර්ථවත් කරන්නේ කොහොමද කියන එකයි මෙතනදී හොයලා බලන්නේ. හොඳට අපි මතක් කරලා බැලුවොත් 2015 දිත් පටන් ගත්තේ මේ සටන ම තමයි. සටන දිනලා මහින්ද පරද්දලා ඔන්න යහපාලන මහත්තුරු ටිකක් ගෙනාවා. මාසයක් ගියේ නැහැ මහ බැංකු ප්‍රශ්නය පටන් ගත්තා. මුදල බිලියන ගණනක්. තව තවත් ප්‍රශ්න ආවා ඔබලාට මතක ඇති. මිනිස්සු අපේක්ෂා භංග වුණා. යහපාලන කට්ටිය පළාත් පාලන චන්දය අම්බානකට පැරදුණා. මෛත්‍රී විසින් ඊයේ පෙරේදා කරන ලද 'අනපේක්ෂිත හැරවුම' විසින් නැවත වාරයක් අර පරණ කථිකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්න අවස්ථාවක් දීල තියෙනවා. 2015 දි වගේම මෙවරත් ඔවුන් 'කවදා හෝ යම් දවසකදී සාක්ෂාත් විය හැකි' ප්‍රජාතන්ත්‍රවාදයක් (democracy to come) වෙනුවෙන් සටන් කරන්න පටන් ගෙන තියෙනවා (කියවන්න ජිජැක් ගේ Did Somebody Say Totalitarianism කෘතියේ  156 පිටුව). හැබැයි ලිප්ටන් වට රවුමේ වේදිකාවේ ඉන්නේ අර පරණ කට්ටිය ම තමයි. කොමිස් වලට, මහ බැංකු වැඩේට, අත යට මුදල් වලට, මෙට්රෝ දුම්රියේ කොමිස් වැඩේට, ගෑනු ප්‍රශ්න වලට සෙට් වෙච්ච කට්ටිය ම තමයි. අලුත් කියල කවුරුත් නැහැ ('දිදුළන හදවත' වගේ අලුත් නම් කීපයක් නම් ඇවිල්ලා තියෙනවා). අලුත් කියල කිසි දෙයක් වෙන්න ඉඩකුත් නැහැ. ඒ අය නැවතත් වග බලා ගන්නවා කිසිදු අලුත් දෙයක් මේ පොලවේ නොවෙන බවට. මෙන්න මේ නව පසු නුතන සමස්තතා තත්වය මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ නිරීක්‍ෂණයෙන් බැහැර වීම දෘෂ්ටිමය තත්වයක්. මොකද මේ උගුලෙන් ගැලවෙන්න නම් 'පෙර නොවූ විරූ දෙයක්' කරන්න (do the impossible) වෙනවා කියන ජිජැක් ගේ වචනය අපි හොඳින් මතක තියාගන්න ඕනි. මොකද මේ නව පසු නුතන යුගයේ කිසිවෙක් අනතුරු දායක දෙයක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම ගත්තම 'සත්‍ය දේශපාලනය යනු පුර්ණ වශයෙන් අනතුරට නිරාවරණය වීමයි' (ඉහත පිටුව 156) කියන ජිජැක් ගේ වචනය ගත්තොත් මෛත්‍රී කරලා තියෙන්නේ සදාචාරය ට හසු නොවන එහෙත් ආපතික දෙයක් (නිකම් ඉන්නවා වෙනුවට අනතුරු දායක දෙයක්). කිසි දෙයක් නොවෙන වෙලාවක මොනවා හරි දෙයක් ඒ වැඩේ නිසා වෙන්නත් පුළුවන් නිකම් බකන් නිලාගෙන ඉන්නවට වඩා (මම මේ කියන්නේ ඩෙරීඩාගේ තර්කයේ විලෝමය). ඒ වගේ නිරීක්ෂනයක් කොළඹ ඇකඩමික් එක ඇතුලේ දේශපාලන විද්‍යාව උගන්වන ආචාර්ය වරුන් දෙදෙනෙකුට එකවර මඟ හැරීම සැළකිය යුතු තත්වයක්. විශේෂයෙන් ජයදේව කියන්නේ පශ්චාත් ව්‍යුහවාදය ලංකාවේ සමාජගත කරන්න හදපු කෙනෙක්. සදාචාරය අප තුළ අවතාරයක් ලෙස හොල්මන් කරන තුරු ම අපගේ ක්‍රියාව ධනාත්මක සමාජ මැදිහත් වීමක් කරා පර්වර්තනය (translate into a positive intervention) කළ නොහැකි බව ජිජැක් ගේ මතය යි. 'දේශපාලනයෙන් තොර සදාචාරය හිස් දෙයක් බවත් සදාචාරය නොමැති දේශපාලනය අන්ධ දෙයක්' බවටත් වන කාන්ටියානු අලංකාරිකය තුළ අප සිරගත වීම මහා අනෙකාගේ වචනය තුළ සිරගත වීමක් ලෙස සලකන ජිජැක් මහා අනෙකා මියගිය ලොවක (ක්‍රිස්තියානි) මහා අනෙකෙකු සිටිතැයි සිතීම මේ යුගයේ මහත්  අසමත් භාවය ලෙස හඳුනා ගන්නවා (ඉහත පිටුව 157). ඉතින් ජයදේව මහාචාර්ය තුමා වගේම නිර්මාල් ආචාර්ය තුමත් තමන්ගේ ස්ථාවරයන් තුළ ඇති තමා දෙස බලා සිටින වගට පරිකල්පනය කරන පතුලක් නැති මහා අනෙකත්වයෙන්  (abyssal otherness) මිදෙන්න ඕනි රැඩිකල් යමක් කරන්න හිතනවා නම්   

අනික් අතට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ද උරුමය ට අවුරුදු අසුවක් ගත වෙනවා කියල. යටත් විජිතයෙන් ශේෂ වෙච්ච දෙයක් හැටියට ගත්තොත් ඔහු කියන එක ඇත්ත. සද්ගුරු වුනත් කියන්නේ මේ දේම තමයි. පරණ නැක්සලයිට් කාරයෙක් වෙච්ච සද්ගුරු කියන්නේ චීනය අමාරු පාරකින් ඇවිත් අද ගෝලීය ලෝකය සමග බද්ධ වෙනකොට ඉන්දියාව ඊට වඩා පහසු මාවතක් තෝරා ගෙන තියනවා කියල ලෝකය එක්ක සම්බන්ද වෙන්න සහ සංවර්ධනය කරා යන්න (සද්ගුරු නොකීවට මේ සම්බන්දයෙන් පැරණිම සහ හොඳම උදාහරණය වෙන්නේ 'ශුන්‍යතාවයේ ජපානය'). කොහොම වුනත් අපේ පැත්තෙන් ගත්තම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සුද්දගෙන් අපට ආපු උරුමයක්. ඒ උරුමය අපෙන් විගලිත කරන්න බැහැ. අපි පිටරටක ට ගිහිල්ල ඉංග්‍රීසියෙන් කතාකරන වචනයක් පාස අපි සුදු ස්වාමියාට ණය ගැතියි වගේම ප්‍රජාතන්ත්‍රවාදය වගේ උතුම් සංකල්පයක් ගෙනාවටත් අපි එයාලට ණය ගැතියි. ඉංග්‍රීසි සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන තත්වයන් දෙක නිසා පමණක් මත් අපි විශ්වීය ලෙස ගෝලීය අනේකත්වය සමග ආඩම්බර ලෙස ගැට ගැසෙනවා. සමහර දියුණු ජාතීන් ඉංග්‍රීසි භාෂාව සමග අරගල කරද්දී සහ අපේ අය අපුරුවට ඉංග්‍රීසි භාෂාව හසුරුවන කොට දැනෙනවා අපි මේ දුපතෙන් එළියට ගිහිල්ල ගෝලීය ව අනික් මිනිස්සුත් එක්ක ගැටගැහෙනවා කියන එක (ඉංග්‍රීසි කතා කරපු පමණින් යමෙක් විශ්වීය වෙනවා කියල නෙවෙයි මේ කියන්නේ. ඉංග්‍රීසි කතා නොකරපු පමණින් යමෙක් ගැමියෙක් වෙන්නෙත් නැහැ). ඒ වගේම සුද්දාගෙන් පස්සේ අපි සන්නද්ධ අරගලයට වඩා සර්වජන චන්ද බලය කෙරෙහි විශ්වාස කරනවා අපිට ඕනි පාලනයක් ගේන්න (ඒකෙ බරපතල සීමාකම් ඇති). සන්නද්ධ අරගල පැරදුනාට අපේ මිනිස්සු තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ආශාව තවම මිය ගිහිල්ල නැහැ (පාර්ලිමේන්තුව තුළ තියෙන පිස්සු නිසා මිනිස්සුන්ට ඒක එපා උනාට). ඉතින් ඒ උරුමය වෙනුවෙන් මිනිස්සු පාරට බැහැල තියෙන හැටි දැකීම ධනාත්මක දෙයක් වුනාට ඒ මිනිස්සු නිවැරදි දිශාවකට යොමු කරන්න මේ යන බලවේගයට පුළුවන් වෙයිද කියන එක ලොකු ගැටළුවක් අප ඉදිරියේ තියෙන. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් දෘෂ්ටිමය උගුලක් මොනවහරි අලුත් දෙයක් වෙන එක නවත්වන. ඒ වගේම අපි සිතන්න හොඳ නැහැ අපට සර්වජන චන්ද බලය දුන්න සුදු ස්වාමියා අප දෙස බලා සිටිනවා කියල. එහෙම සිතීම තවත් උගුලක්. හරියට Shawshank Redemption  (1994) එකේ උගුල වගේ. ඒ කියන්නේ ඇන්ඩි සිතුවානම් තමන් දිහා මහා අනෙකා බලා ඉන්නවා කියල එහෙනම් කවදාවත් අර මහා හිරගෙදරින් එයාට එළියට යන්න වෙන්නේ නැහැ (මේක ගැන දීර්ඝ ලෙස 'මගේ ලෝකයෙන් පසු ලෝකය' තුළ කතා කරලා තියෙනවා). ඒ නිසා ඉහත චිත්‍රපටිය නැවත බලන්න කියල ජයදේව මහාචාර්ය තුමාට ආරාධනා කරන අතරේ මෙහෙමත් අපට කියන්න පුළුවන්. ඒ තමයි ඉහත චිත්‍රපටිය බටහිර ලෝකය පුරා ජනප්‍රිය වෙන්නේ එහි තියෙන ක්‍රිස්තියානි සහ නීට්ෂයානු අන්තර්ගතය නිසා. ඒ කියන්නේ නීට්ෂේ කියන විදියට අපි සදාචාර වරදකාරිත්වය තුළ සිටින තාක් කල් අපිට සත්‍ය ලෙස නිදහස් වෙන්න බැහැ කියන එක. හොඳ සහ නරක ඉක්මවා යන ගතිකයක් තුලින් මිනිසාට සත්‍ය ලෙස නිදහස් විය හැකියි කියලා තමයි නීට්ෂෙ කියන්නේ එයාගේ Thus Spoke Zarathustra පොතේ. ඒ නිසා ජිජැක් තරයේ කියනව ලකාන්ගේ ඇන්ටිගනී විචාරය කියවනවා නම් ඒක කාන්ටියානු ආකාරයකට කියවන්න එපා කියල (පිටුව 158). මොකද ඔහුට එතැනදී අවශ්‍ය වන්නේ අපිව කාන්ටියානු දේශපාලන උගුලෙන් ගලවා ගන්න එක (සදාචාරය අප දිහා බලාගෙන නැති බව). 

ජිජැක් ඉහත පොතේ ඉහත පිටුවෙ ම මෙහෙමත් කියනවා. ඒ තමයි පාලකයෙක් යම් ගැටළුවක් විසඳීම සඳහා යෝජනා කරන 'සිතාගත නොහැකි අධි ප්‍රයෝගික බව' සහ සමසත්තා සංකල්පය පටලා ගන්න එපා කියල. බහුතර මිනිසුන්ගේ යහපත සහ සිවිල් සාමය උදෙසා පාලකයෙකුට සමස්තතා අභිනයේ මුලික ලක්ෂණ (elementary gestures of totalitarianism) කරා පවා ගමන් කිරීමට සිදුවිය හැකියි කියල ජිජැක් කියනවා (එතැනදී තමයි ඔහු ස්ටාලින් වෙත ගමන් කරනවා වගේ ලෝකයට පෙන්නේ). නමුත් ලංකාවේ සිදුවූ ඉහත හැරවුම විසින් දාර්ශනික මතවාද දෙකක් ගැන නැවත සිතා බැලීමට බල කරනවා. එකක් නම් අප විශ්වීය ලෙස අනේකත්වයට ගරු කල යුතුද (යහපාලනය ට චන්දය දුන් මිනිසුන්ගේ දැක්ම තුළ අප සිරවිය යුතුද යන්න) නැත්නම් එසේ නොසිතා (ඔවුන්ගේ ආශාව බවට පත් වීම ප්‍රතික්ෂේපනය කර = disavowal) තමාට චන්දය දුන් මිනිසුන් ඔවුන්වත් නොසිතු දිශාවකට ගෙන යනවාද යන මතවාද දෙක ගැන අප විප්ලවීය අරුතින් සිතන්නේ කෙසේද යන ස්ථාවර දෙක යි. මෙයින් පළමු වැන්න හබමාස් විසින් ඉදිරිපත් කරන කාන්ටියානු ප්‍රවේශය වන අතර දෙවැන්න ඩෙරීඩා විසින් ගෙන එන අදහසයි. ජිජැක් පවසන්නේ මේ දෙකම නිවැරදි බවයි. නමුත් මිනිසුන් නොසිතු දිශාවකට ඔවුන් ගෙන යන්නේ නම් එය කල යුත්තේ කෙසේද යන්න පිළිබදව මෛත්‍රිපාල ජනාධිපති වරයාට අදහසක් තිබුණා ද යන්න මෙතැනදී පැහැදිලි නැහැ. මතුපිටින් බැලු බැල්මට තවමත් ඇත්තේ යම් හිතුවක්කාර බවක් විතරයි. එම හිතුවක්කාර බව ඔස්සේ අත්තනෝමතික ලෙස පාර්ශවයන් මාරු කිරීමකින් ඔබ්බට ගිය විශ්වීය සන්නිවේදනයක් ඔහු විසින් ස්ථාපිත කරන්නේ නැහැ. මහින්ද වෙතින් ඔහුට එය බලාපොරොත්තු වෙන්නත් බැහැ. මොකද ඔහු කිසිම වෙලාවක දේශීය හුදකලා භාවයෙන් ඔබ්බට යන්න උත්සාහ නොකරපු ස්වාසිලන්ත ජාතිකයෙක්. අද අවශ්‍යව ඇත්තේ හුදු රනිල් විරෝධයෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක් (රනිල්ගේ වැඩේට වඩා ඉදිරියට ගිය වැඩ පිළිවෙලක්). පවත්නා ලිබරල් ආකෘතිය ඇතුලේ එවැන්නක් පෙනෙන්නට නැතුවා වගේම රට විශාල වශයෙන් පහලට වැටෙමින් තිබෙන බව නම් ඇත්ත ය. ප්‍රතිරූපය සැදීම පවා සිදු විය යුත්තේ යම් විශ්වීය සන්නිවේදනක් ඔස්සේ කියල මෙතැනදි කියන්න ඕනි. නැත්නම් වෙන්නේ හිතුවක්කාර බව ඔස්සේ නව සමස්තතාවාදී රූපයක් ගොඩ නැගෙන එක විතරයි. දැනටත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්. මොන විදියට බහුතරය පෙන්නුවත් මොන දේවල් තාර්කික ලෙස කීවත් දැන් ඔහු ඉන්නේ මුරණ්ඩු තත්වයක. ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි තමන්ට කියල විකල්ප වැඩ පිලිවෙලකුත් නැති වෙලාවක (ඒ නිසාම ප්‍රායෝගික බවකුත් නැහැ). දැන් තියෙන්නේ තිබුනාටත් වඩා සිරගත වීමක් හැම පැත්තෙන් ම. මෙතනින් තමයි මෛත්‍රී එළියට එන්න ඕනි. මෙතනින් තමයි රට ඉදිරියට ගන්න ඕනි.
            
විශ්වීය සන්නිවේදනයක් වෙනුවට අද වනවිට මෛත්‍රිපාල ජනාධිපති වරයා විශ්වාස කරනවා මාධ්‍ය ඔස්සේ ගොඩ නගන රූපය බලවත් කියල. මෙහෙම තමා මහින්ද හිතුවෙත්. ස්වරූපරාගය කියන්නේ මේකට තමයි. මේක පසු නුතන මාකටින් තත්වයක්. මොන රූපය ගොඩ නැගුවත් මිනිස්සු මහින්ද ගෙදර යැව්වා. චම්පික හරියට ම ඒක ලිප්ටන් රැළියේදී කිව්වා 'ඒ යුගය ඉවරයි කියල'මේක අලුත් යුගයක්. අලුත් සද්භාවයක් එක්ක අලුතින් හිතන පරමපරාවක් තමයි ඇතිවෙමින් ඉන්නේ. මහරජ වගේ පැරණි රූපක එක්ක නැවත දුවන්න බැහැ (එහෙම ටිකක් මොඩ් පරම්පරාවක් තමයි මෛත්‍රීට චන්දය දුන්නේ). සියලු මාධ්‍ය වාරණය කරලා රාජ්‍ය මාධ්‍ය අතට අරගෙන තිබුනත් මිනිස් සද්භාවයේ මාලිමාව හරවන්න බැහැ. ඇත්තටම මිනිස්සු විශ්වීය ලෙස සම්බන්ද වෙන්න කැමතියි. ගුප්ත ලෙස හැංගෙන්න අසා නැහැ. අරවින්ද ල ට ආයේ මේ රටේ තැනක් නැහැ. ඒ නිසා මෛත්‍රීපාල හිතන විදියට ඒකාධිකාරී හුදකලා භාවයකට හෝ පැරණි ලෝකයේ රූපක වලට ආයේ මේ රටේ ඉඩක් නැහැ. ගොඩ නැගෙමින් යන දළ සිතියම තුල (මේක අවම වශයෙන් බැසිල් ට වත් තේරෙනවා ඇති) බලන්න චම්පික වගේ කෙනෙක් කොච්චර වෙනස් වෙමින් යනවද කියල. ජාතිකවාදී තැනක හිටපු ඔහු අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සටනේ ඉදිරියෙන් ම ඉන්නවා. අද ඉන්නේ ෆේස් බුක් ජෙනරේෂන් එකක්. ගතින් කහටගස් දිගිලියේ හිටියට උන් තත්‍ය සමාන ලෝකයේ සැරිසරන්නේ ලස් වේගාස් වල (ෆැන්ටසිය). එහෙම ජෙනරේෂන් එකක් තමාගේ පාලකයා සමලිංගික ද විෂම ලිංගිකද කියල හිතන්නේ නැහැ මහා ලොකුවට. බලන්නේ තමාගේ පාලකයා විශ්වීය ලෙස ලෝකය එක්ක සම්බන්ද වෙනව ද නැද්ද කියන එක. එතැනදී රනිල්, මංගල, චම්පික, අනුර වගේ අය ගෝලීය තැනක ඉන්න එක සතුටට කරුණක් මොන ප්‍රශ්න තිබුනත් ඒ අයගේ දේශපාලන-පුද්ගලික ජීවිත වල. පුද්ගලික දේ දේශපාලනික තමයි. ඒ වුනාට අපිට ආයේ ගෝත්‍රික සමස්තතා පාලනයකට යන්න බැහැ. එහෙම දේට ආයුෂත් නැහැ. විප්ලවය කියන්නේ එහෙම අපගමනයකට නෙවෙයි. විශ්වීය දෙයකට. පක්ෂ පාට භේද බලන්නේ නැතුව මේ බැලූ බැල්මට පේන සමස්තතා අපගමන යට විරුද්ධව නැඟී සිටින ජනකාය ලංකාවේ අනාගතය පැත්තෙන් ගත්තම ගොඩක් වැදගත්. විශේෂයෙන් නිශ්ශබ්ද තරුණ කොටස මේ වෙච්ච විපර්යාසයට කැමති නැහැ (ඒක වෙන්න ඇති හරින් ප්‍රනාන්දු ල, අජිත් පෙරේරා ල, චම්පික ල බය නැතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන සටන් පාඨය බැහැල ඉන්නේ). මම මෙතෙක් කතා කරුපු නිශ්ශබ්ද තරුණ නියැදිය ඔක්කොමල ඉන්නේ මේ අපගමනය ට විරුද්ධ දිශාවක. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා සටන් කරපු එහෙත් වැඩ පිළිවෙලක් නොතිබ්බ ඊජිප්තු අරගල වගේ ඒවා මේ වෙනකොට අත්පත් කර ගනිමින් යන අපගමනය දිහා බලපුවාම ඇත්තටම මේ ගොල්ල මේ සටන් කරන්නේ දැනුවත් භාවයකින් ද කියන ප්‍රශ්නය නිතැතින්ම එනවා. පුළුල් ආර්ථික නිදහසක් නැති තැනක, තියෙන්නේ ලිබරල් මොඩලය පමණක් වන තැනක මොකක්ද අප ගෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය? විශේෂයෙන් දඹර අමිල හාමුදුරුවෝ කෑ කොස්සන් ගහල කට්ටිය අප් කලාට අන්තිමට මේ අන්තයේ තියෙන්නේ මොනවද කියල එතුමා හිතන්නේ නැත්තේ ඇයි? පවත්නා චක්‍රය ඇතුලේ හමුවන්නේ පරණ දෙයම නම් එවිට? අපි එකතු වන්නේ හුදෙක් මෛත්‍රී එළවා දැමීම සඳහා පමණක් නම් එවිට අප ගමන් කරන්නේ පරණ වෘත්තයේම නේද? යම් විදියකින් මෛත්‍රී ඉතිහාසය ඇතුලේ නිවැරදි වුණොත් එතකොට මොකද වෙන්නේ? 

ඉහත සන්දර්භය ඇතුලේ ඇත්ත ප්‍රශ්නය නම් 2015 වෙච්ච වැරද්දම නැවත සිදුවීමට ඇති හැකියාව දඹර අමිල හාමුදුරුවෝ කතා නොකරන එක. ඒ හිමියන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාරාන්තික උපවාස කරන වෙලාවක මම මේ කියන්න යන්නේ එච්චර ජනප්‍රිය නැති දෙයක්. 2015 වෙදිත් අපි කළේ ඒකාධිපති කියල කියපු මහින්ද ඉවත් කරන්න පමණක් එකතු වෙච්ච එක. මේ පාර කරන්නේ මෛත්‍රී නම් සතුරෙක් ට එරෙහිව පෙළ ගැසෙන එක. 2015 දී දීර්ඝ කාලීන තිරසාර වැඩ පිළිවෙලක් තිබ්බේ නැති නිසා යහපාලනය රෝයල් ගැන්සියක් විසින් පික් පොකට් ගැහුවා වගේම මේ පාර වෙන්න නියමිත ත් ඒ වගේම සෙට් එකක් අතට පාලනය යන එක විතරයි. 'යහපාලනය' කිරීම කෙසේ වෙතත් වටේ ඉන්න පිරිසක් පොහොසත් වෙනවා (මිලියන වලින් නෙවෙයි බිලියන වලින්). ඒ වගේම බලය තියෙන නිසා තම තමන්ගේ පුද්ගලික ආශාවල් වල ඇරියස් ඇර ගන්නවා විතරයි අපිට බලන්න වෙන්නේ. හුගක් අයට කේන්ති ගියාට යහපාලනය 'සමනල' ක්‍රීඩාවක් වුණේ මේ විදියට (ඒක හුදු සමලිංගික විරෝධයක් නෙවෙයි). මෛත්‍රී කලේ මෙම 'විනෝද සමය' (orgy) පොඩ්ඩක් හොල්ලල දමපු එක එයාගෙ ම ආකාරයකට (සමහර විට ඒක හරි කියල කියන්න බැරි වුනත් ඉතාම ගැඹුරෙන් ගත්තොත් එම ක්‍රියාවේ පවා රැඩිකල් අන්තර්ගතයක් ඉහත අශ්ලීල වපසරිය තුළ දකින්න නැතුවා නොවෙයි). විනෝදෙන් පමණක් හිටපු කට්ටියක් මේ වැඩේ ඇතුලේ අවුල් වෙලා තියෙනවා. ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරන කතා පිටිපස්සේ ගියොත් අපි එතැනදී ගඟේ යනවා. මොකද ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදය කියල තේරෙන්නේ විනෝද ක්‍රීඩාවකට කියන තවත් නමක් විදියට. නැතුව පුළුල් මානව නිදහසක් පිළිබද විශ්වීය කොන්දේසියක් හැටියට නෙවෙයි. අමාරු දෙයක් හැටියට නෙවෙයි. මෙතැනදී අපිට කියන්න ඕනි මෙච්චරයි. වැඩ පිළිවෙලක් නැතුව ගියොත් වෙන්නේ ආයෙත් පාරක් නිකම්ම ජනප්‍රියවාදයක් එන එක විතරයි. ඒ වැඩේ ඇතුලේ කවුරු බලයට ආවත් වෙන්න නියමිත පරණ වැඩේම තමයි (අමිල හාමුදුරුවෝ තම හඬ දෙන්නේ මේ ජනප්‍රිය වාදයට). එතකොට ආයෙත් වෙන්නේ මෛත්‍රී වෙනුවට අපි සතුරෙක් නිර්මාණය කරන එක (චම්පික හරි බැසිල් හරි කවුරු හරි). පරණ චක්කරේ ම ආපහු වටයක් කැරකෙනවා. අපේ ජීවිත සහ ලංකාවේ අනාගතය එතනම යි. මෙන්න මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය විසින් හැම විටම අලුත් අත්හදා බැලීමක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකක්දෝ නිදහසක් අහිමි වෙයි කියල අපිව බය බීත කරනවා (ඒ වුනාට ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ හම්බු වෙච්ච මහා ලොකු කෙමනකුත් නැහැ).       


'ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීමට නම් ඒ තුළ සිටින මිනිසුන් වෙනස් කල යුතුව ඇත' යන ඇලන් බදිව් ගේ කියමන ට අනුව ගතහොත් මුලින් ම වෙනස් කළ යුතුව ඇත්තේ මහින්ද ගේ අය තමයි (මිරිස් කුඩු සෙට් එක). ඒත් එයින් අදහස් කරන්නේ නැහැ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගොඩක් හයියෙන් කතා කරන අය තමන්ගේ පුද්ගලික ජීවිත ඇතුලේ ඒ කියන වටිනාකම් ආරක්ෂා කරනවා කියන එක. බොහොමයක් අය තමන්ගේ ඇත්ත ජිවිත ඇතුලේ ඒවා රකින්නේ නැහැ කියන එක මම පිලිගන්නවා. එහෙම උනාට කිසිම කෙනෙකුට අත්තනෝමතික විදියට වැඩ කරන්න දෙන්න බැහැ. තමන්ට වුවමනා වුවමනා විදියට (තනි වුවමනා වට) මිනිස්සුන්ගේ චන්දයෙන් තෝරා පත් කර ගත් යම් පාලනයක් පෙරලා දමන්න බැහැ විතරක් නෙවෙයි යම් ජන මතයකට එරෙහිව සිටගත් පුද්ගලයකුට තමා බලයට පත් කල මිනිසුන්ගේ සිතුම් පැතුම් පාවා දෙන එකත් සදාචාර සම්පන්න නැහැ ඉන්න තත්වයෙන් ඉහලට ඔවුන් ඔසවා තබන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම්. කොහොමත් දැන් සදාචාර කතා වලින් කාටවත් වැඩක් නැති නිසා ඒක කතා නොකර ඉමු. අනික් අතට 2015 මැතිවරණය වෙනකොට ඇත්ත පරස්පරතාවය තිබුණේ රනිල් මෛත්‍රී අතරේ නෙවෙයි. මහින්ද ජාතිකත්ව කඳවුර සහ මෛත්‍රී නියෝජනය කළ විශ්වීය වටිනාකම් පිළිබද කඳවුර අතර (ඒක නිසා තමයි සුනන්ද දේශප්‍රිය කියන්නේ තමන්ගේ ළිපි එකතුව පළ කරන්න මෛත්‍රීට ඕනි වුණා කියන එක. බටහිර ලෝකය මෛත්‍රී වැළඳ ගත්තෙත් ඒකයි). ඒ අනුව ගත්තම මේ තියෙන්නේ විපරීත අපගමනයක් (ස්වයං නිශේධනයක්). මොකද ඉහත පරස්පරතාවය තවමත් ලාංකික පොළොවේ නොවිසඳී තියෙන නිසා. සිදුවී තිබෙන එකම දෙය මෛත්‍රී තමා නියෝජනය කරපු වටිනාකම් සහ පාර්ශවය මාරු කරලා තිබීම පමණයි (පරස්පරතාවය එහෙමම යි). වැදී රජු තවමත් එහෙමම යි. මනමේ කුමාරයත් එහෙමම යි (ඒ කියන්නේ රනිල් නෙවෙයි). නමුත් මනමේ කුමරිය වෙනස් වෙලා තියෙනවා. මේක තමයි සද්භාවය ඇතුලේ තේරුම් ගන්න බැරි දෙය (මනමේ නාටකය මෙතරම් ප්‍රේහේලිකාවක් වෙන්නේ මෙම අතාර්කික සද්භාවී පෙරළුම නිසා - ontological twist). මේ ගුප්ත බව විසින් තමයි අප බටහිර මිනිසාගේ ආශා වස්තුව බවට පෙරළෙන්නේ. අපි ඒ බටහිර දැක්මෙන් මිදෙන්න ඕනි. නමුත් අපි රටක් හැටියට දියුණු වෙන්නත් ඕනි. එතැනදී තමයි ජිජැක් යෝජනා කරන්නේ සබුද්ධික බවේ ගොදුරක් වෙන්න එපා කියල. ඒ කියන්නේ මනමේ කියල හංවඩු ගැහුවට කමක් නැහැ වැඩේ දිගටම කරගෙන යන්න කියන එක. ආපහු හැරෙන්න ඕනි නැහැ කියන එක. දැන් මෛත්‍රී කරපු දෙය ඔහුටවත් නැවත හැරවිය නොහැකි තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒකට කමක් නැහැ. මනමේ භුමියේ සත්‍යයේ සමස්තය ඇතුලේ තියෙනවා යම් තේරුම් ගන්න බැරි ගුප්ත දෙයක්. ජිජැක් ගෙන් මාධ්‍ය කාරයෝ අහනකොට ඇයි රුසියානු විප්ලවය අසාර්ථක වුනේ කියල ඔහු දෙන උත්තරය තමයි 'ඒ තුළ තිබෙනවා මට පැහැදිලි කරන්න බැරි ගුප්ත අන්තර්ගතයක්' කියන එක. ඒ කියන්නේ වැඩක් ඇතුලේ ඔක්කොම දේවල් තාර්කිකව පැහැදිලි කරන්න බැහැ. මෙයින් අදහස් කරන්නේ 'තාර්කික බටහිර' වැරදි කියලත් නෙවෙයි. බටහිර විසින් තමන් ගැනම සවිඥානික බවක් අත්පත් කර ගනිමින් යන නිසා අපි පිස්සු කෙළිනකොට ඔවුන් වහාම සබුද්ධික වෙලා අපිට කියනවා ඔන්න දැන් උඹල පරණ පිස්සුව පටන් ගත්ත කියල. ඒ නිසා බුරුමයේ අවුන් සන් සු කී විශ්වීය මානව වටිනාකම් වලින් විගලිත වෙන කොට බටහිර විසින් අයට තරවටු කරනවා (මෙයින් අදහස් කරන්නේ නැහැ බටහිර පිස්සු කෙලින්නේ නැහැ කියන එක. බටහිර කියන්නේ බටහිර අර්ධ ගෝලයේ ඉන්නවා කියන එකට නෙවෙයි. චින්තන ආකෘතියකට. ඒ නිසා ජපන් පාර්ලිමේන්තුවේ පිස්සු කෙළින වීඩියෝ සහ මෙහෙ වීඩියෝ කියන්නේ එකක් නෙවෙයි දෙකක්). විශ්වීය තැනකදී සමහර විට අපිත් හරි සමහර විට ඔවුනුත් හරි.    

ජිජැක් කියනවා අප විසින් ම විශ්වීය වටිනාකම් උල්ලංඝනය කරන්නේ නම් මිනිසුන්ට ඉතිරි වෙන්නේ අතීතකාමය විතරයි කියල. ඉතින් මිනිස්සු අන්තවාදී සංවිධාන වලට යන එකට අපි දොස් කියල වැඩක් නැහැ අපි විසින් ම මිනිස්සුන්ට දුන්න පොරොන්දු කඩනවා නම් (නේටෝ එකෙන්ම බෝම්බ දානවා නම් එතකොට මොකද කරන්නේ?). මේක මෛත්‍රීට ත් සෑහෙන දුරකට අදාලයි. එයා විසින් ම ගෙනාපු විශ්වීය වටිනාකම් වලට එයා පස්ස හරවනවා නම් එතකොට මිනිස්සු මොකද කරන්නේ (මිනිස්සු මුහුණු පොතේ කියන දේවල් දිහා බලන්න). හැබැයි තවත් දෙයක් කියන්න ඕනි. ඒ කියන්නේ න්‍යාය කියන්නේ අතිශයින් භයානක දෙයක් වුනාට අපි සමහර විට කරලා තියෙන්නේ හරිම දේ වෙන්නත් පුළුවන් මේ වනවිට. මොකද අපි අපේ න්‍යාය හරහා පවත්නා ගිණි වළලු උඩින් පියාඹන්න පුළුවන් රාක්ෂයෙක් නිර්මාණය කළා වෙන්නත් පුළුවන් (Shrek චිත්‍රපටියේ ඩ්‍රැගන් වගේ නැත්නම් Terminator වගේ). න්‍යාය කියන්නේ ඕනිම අතකට පාවිච්චි කරන්න පුළුවන් අවියක් වැරදි හස්තයක් අතට ගියොත්. සමහර විට අපි විසින් ම තනපු පිතෘත්ව රූපක එකවරම යක්ෂයෙක් ලෙස අපව ම කා දමන්න එනවා වෙන්නත් පුළුවන්. සමහර විට මුලින්ම විනාශ වෙන්නේ අපිව ම වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අත්හදා බැලීම් කියන්නේ අනතුරු දායක දේවල් තමයි. අනතුරු දායක දේවල් කරන්නේ නැතුව මාරාන්තික සිර කඳවුරෙන් නිදහස් වෙන්නත් බැහැ (Shawshank Redemption එකේ ඇන්ඩි කළා වගේ). නිකම් හිටියොත් වෙන්නේ සිර කඳවුර ඇතුලෙම මැරෙන්න යි. නැත්නම් ඇන්ඩි ට වුණා වගේ බන්ධනාගාර ප්‍රධානියාගේ වහල් වැඩ ටික කර කර ඉන්න විතරයි. ඒ කියන්නේ ඇන්ඩි ට වෙන්නේ සදාකාලික සිරගත භාවයක් අත්විඳින්න විතරයි (eternal imprisonment). ඒ නිසා අනතුර ගන්නම වෙනවා (පවත්නා ආර්ථික සිරගත වීමෙන් මිදීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙලන්නම වෙනවා). කොහොම වුනත් අද වනවිට ජනාධිපති තාත්තලා (පියාගේ නම වර නැගීම), අප්පච්චි ලා ('අප්පච්චි ඇවිත්' වගේ නවකතා), බාප්පලා, පුංචි තාත්තලා අප විසින් ම ගොඩනැගූ මතවාද ඔස්සේ අත්තනෝමතික තත්වයන් අත්පත් කරගනිමින් ඇත්නම් සහ දේවල් ආපසු හැරවිය නොහැකි වුවොත් එවිට අපිට මැරෙන්න වෙන්නේ හෛඩගර් මැරුණාටත් වඩා අන්ත විදියට තමයි. හැබැයි කරන්න දෙයක් නැහැ. මොකද වරදින්නේ වැඩ කරන අයට තමයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ඉන්න නාගරික ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පන්තියේ අය විසින් ම ඒකෙ මුලධර්ම පාවල දුන්නට පස්සේ සහ බලය ලැබුණ ට පස්සේ ඔය කියන අයම ඒ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා (රටත් විනාශ කරලා) ඒ තුලින් අශ්ලීල විනෝදයක් ලබනවා නම් ඊට පස්සේ කරන්නේ මොකක් ද කියන එකට පිළිතුරක් අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන අය සොයන්න ඕනි. ඒ අය මොනවද නැත්නම්  මිනිස්සු ඉස්සරහට ගිහින් කියන්නේ? මෙවන් රටක මතවාද නිෂ්පාදන කිරීම අතිශයින් භයානක වුවත් එවකට පැවති පසුගාමිත්වයෙන් ඔබ්බට යන්න නව චින්තනයක් අවශ්‍ය වෙලයි තිබුණේ. අපි අපේ වැඩේ කළාට ඔවුන් ඔවුන්ගේ වැඩේ කළාද කියන සරල ප්‍රශ්නය තමා අපිට හැමොගෙන් ම අහන්න වෙලා තියෙන්නේ. පැවති මතවාදයට එරෙහිව අප අලුත් මතයක් වැඩි දියුණු කිරීමට ඒ වනවිට අදිටන් කරගෙන සිටි නිසා විශ්වීය බව පිළිබද කතිකාව සහ නව වම පිළිබද සංවාදය ඉදිරියට ගන්න ශ්‍රමය ලබා දීමට මැළි වුවේ නැහැ (යහපාලන ආණ්ඩුවේ මුල් කාලයේ ජිජැක් පිළිබද අධ්‍යනය එන්නේ මෙතනින්). කොහොම වුනත් අප සමාජ ගත කිරීමට උත්සාහ කල ක්‍රිස්තියානි ආදරයේ සිට කිසිවෙක් අප දෙස බලා නොසිටි යන ප්‍රස්තුතයන් විශ්වීය වටිනාකම් වලින් ඛණ්ඩනය වී සමස්තතා වැඩ පිළිවෙලක් ඉස්මතු කිරීම වෙනුවෙන් භාවිතා වෙමින් ඇත්නම් අප පස්සට යනවා වෙනුවට කරන්නේ එය පරාජය කිරීම සඳහා නව මතවාදී ප්‍රවේශයකට පොළා පැනීමයි (එයටත් පරණ දෙයම විය හැකි නොවේද යනුවෙන් ද යමෙකුට තර්ක කළ හැකිය). 

මේ වනවිට දිගහැරෙන දේශපාලන චිත්‍රය ඇතුලේ අපේ චායාව තියෙනවද කියන ප්‍රශ්නය මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් (මම දැක්ක විදියට සිරිමල් විජේසිංහ මේක මතු කරනවා තමන්ගේ මුහුණු පොතේ). අප මේ යුගයේ මුහුණ දෙන මහත් ම ගැටළුව නම් ප්‍රජාතන්ත්‍රවාදයේ නරුම එකඟතාවය බිඳ දමන්නේ කොහොමද කියන එක තමයි ජිජැක් තම 'කිසිවෙක් සමස්තතාවාදය යයි කීවේද?' නම් ග්‍රන්ථයේ මතු කරන්නේ. සියලු දේ සබුද්ධික බවට පරිවර්තනය කරන්න හදන ලිබරල් කට්ටියට ඉතින් වෙනිසියුලාවේ චාවේස් වගේ කෙනෙක්  පෙන්නේ සමස්තතා අර්ථයකින් කියලයි ජිජැක් කියන්නේමෛත්‍රී කරන දේත් අපේ කට්ටියට සබුද්ධිකව (තාර්කික ව) තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. නැත්නම් ඉන්තේරුවෙන් ම ඒකාධිපති වෙනවා. ඉතිං ව්‍යවස්ථාව පෙරළලා බලනවා. අර නීති තර්ක ගේනවා. මේ නීති තර්ක ගේනවා. ස්ථාවර නියෝග ගේනවා. එක සෙල්ලමයි. කවුරුත් කියන්නේ නැහැ යහපාලන වැඩේ ඉවරෙට ම ඉවර වෙලා නේද තිබ්බේ කියල. නමුත් නායකයා කියන්නේ 'කළ නොහැකි දේ කරලා' (ඉහත පිටුව 247) පවත්නා සිරගත වීමෙන් රටක් එලියට ගන්න ඕනි කෙනෙක් කියලා ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදී මහත්තුරු කල්පනා කරන්නේ නැත්තේ? මේ දේම නේද මහින්ද විසින් පවා කළේ තිස් වසරක යුද්ධය ඉවර කරන්න? සදාචාරය ඇතුලේ හිටියනම් ඔහු ඒ දේ කරන්නේ කොහොමද? නායකයා කරන්නේ අනෙකා (මා) සතුවිය හැකි වරද ඔහු වෙත ගන්න කෙනාට ('මම අද ආච්චි බලන්න යනවා. ඔයත් ලැහැස්ති වෙන්න' කියන නියෝගය දෙන කෙනා තමයි ඇත්ත පියා). යුද්ධය වෙලාවේ මහින්ද වගකීම ගත්තා. වෙන කෙනෙකුට වරදකාරීත්වය  යන්න තිබ්බේ නැහැ. ඉතින් මේ වෙලාවේ මෛත්‍රී විසින් වගකීම තමන් වෙත අරගෙන තියෙන්නේ. අපේ වැඩේ ඇතුලෙත් අපි වගකීම අරගෙන තියෙන්නේ. අරමුණ තමයි මේ රට තව අඩියක් ගොඩ ගන්න එක.     

අපි දන්නවා ක්‍රිස්තියානි උරුමය ගැන. ක්‍රිස්තියානියේ උරුමය ගැන කවුරු කොතරම් පාරම් බෑවත් මනුෂ්‍ය නිදහස, ආදරය සහ ශුන්‍යතාවය ගැන ගොඩනැගී ඇති වර්තමාන මනෝ විශ්ලේෂී කතිකාව සහ දේශපාලන න්‍යාය කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය විසින් ගොඩ නැගූ උතුම් දෙයක්. අප කියන්නේ අප එය පාවිච්චි කරන්නේ මිනිස් නිදහස සඳහා පමණක් ය යන්න ය. එච්චරයි.

දවසෙන් දවස ලංකාව පහතට වැටෙන කොට පසුගිය කාලේ න්‍යාය හදපු කාටවත් නිදහසේ කිසිවකුට නිදා ගන්න බැරුව ඇති කියල හිතල තමයි මේ ලිපිය ලියන්නේ. දේවල් කණපිට ගැහෙන කොට අප කල දෙයෙහි වරදකාරිත්වය නැවත අප කරා අවුදින් අප නින්දෙන් ඇහැරවනවා තමයි. නමුත් අපි Shawshank Redemption එකේ ඇන්ඩි වගේ උත්සාහ කරන්න ඕනි මේ හිරවෙලා ඉන්න වමේ අවුලෙන් වගේම දකුණේ අවුලෙනුත් ගොඩ එන්න මොනවා හරි කරන්න. එතැනදී වරදකාරිත්ව උගුලේ හසුවෙන්න ඕනි නැහැ. සාමාන්‍යයෙන් ඉහත චිත්‍රපටයේ ඇන්ඩි චරිතය බටහිර ලෝකය පුරා කියවන්නේ ක්‍රිස්තියානි අරුතකින් වුනාට (වරදකාරීත්වයෙන් නිදහස් වීම නිසා) පැහැදිළි බෞද්ධ ලක්ෂණ ඒකෙ තියෙනවා. ඒ තමයි අනික් හැමෝම තමන්ගේ සිරගත තත්වය එක්ක අනන්‍ය වුනාට (හිරගෙදර බිත්ති වලට ආදරය කිරීම) ඇන්ඩි කරන්නේ ඒ කිසිවක් සමඟ අනන්‍ය නොවන එක. අවම වශයෙන් රීටා හේවත් ගේ රූපය සමඟ වත් ඔහු අනන්‍ය වන්නේ නැහැ. එතන නවතින්නේ නැහැ. දිගටම යනවා. නිදහස දක්වා ම යනවා. අනන්තය දක්වා ම යනවා. කිසි තැනක නතර වන්නේ නැහැ. කාටවත් කියන්නෙත් නැහැ. කවුරුත් තමා දිහා බලා ඉන්නවා කියල හිතන්නෙත් නැහැ. කාටවත් යටත් වෙන්නෙත් නැහැ (තමාව දුෂණය කරන්න හදපු එවුන්ටවත්). අවම වශයෙන් තමාගේ හොඳම යාළුවා වෙච්ච රෙඩ් ට වත් දැනෙන්න අරින්නේ නැහැ තමන්ගේ අවසන් නිෂ්ටාව. ඉහත ඩෙරිඩා අර්ථයෙන් ඔහු කරන දෙය කාටවත් සන්නිවේදනය කරන්නේ නැහැ (නමුත් යන තැන ගැන විතරක් පොඩි සඥාවක් දෙනවා. තමන් කරන දේ ගැන ඔහු උපරිමෙන් සවිඥානිකයි. කඩුව දෙන්නේ කාටද කියන්න ඔහු හොඳට දන්නවා). නමුත් අවසානයේ රෙඩ් ව ගලවා ගන්නේ නැතුව ඉන්නෙත් නැහැ.  මහා අනෙකා උදේ ඇහැරිලා බලන කොට ඇන්ඩි ඇමෙරිකා දේශ සිමාව පන්නලත් ඉවරයි. සිර කඳවුරේ පාලකයා ගේ කට ඇද වෙන්නේ එතකොට තමයි. අන්තිමට ඔහුට බයිබලය සිහිවෙන කොට උමඟ හාරපු ගල් කටුව තිබුනේ බයිබලයේ ම නික්මයාම (exodus) පරිච්චේදය ඇතුලේ. බන්ධනාගාර යේ තිබුණ ඉහවහා යන දුෂණය සහ අපයෝජනය හෙළිදරව් කිරීම පිණිස සහ සමස්ත ව්‍යුහය සංකේතනය වෙතට නැවත ගේන්න ඇන්ඩි ට උමඟ හාරන්න ම වෙනවා. වෙන දෙයක් කරන්න තිබුනේ නැහැ. පුළුල් අර්ථයෙන් ඒක ශිෂ්ට ක්‍රියාවක්. වැටයි නියරයි දෙකම ගොයම කනකොට කළ යුතුව තිබුණ එකම දේ තමයි ඔහු කළේ නේද? ඉතින් ඉහත හැරවුමේ දී මෛත්‍රී විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය වත්, යූ. එන්. පී. එකේ උරුමය වත්, චන්ද්‍රිකා වත්, වෙන කවුරුත් වත් තමන් දෙස බලා සිටී කියල හිතල නැහැ. ඉතින් සුදු ස්වාමියා සහ එහි දේශීය නියෝජිතයින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කෑ මොර දුන්නට මොකද මෛත්‍රී බැරි බැරි ගාතේ වුනත් කරමින් ඉන්නේ ඇන්ඩි විසින් කරන ලද ක්‍රියාව වත් ද?  

(අවසන් අදහසක් නොවේ. අනුමාන කිරීමක් පමණයි. එනිසා සම්පුර්ණයෙන් ම සංවාදයට විවෘත යි. හැමෝම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තේ ඉන්න නිසා මෙම අදහස් පළ කිරීමට කිසිවෙක් ඉදිරිපත් වේදැයි සැක සහිත වුනත් ඉතිහාසය ඇතුළේ ලියල තියෙනවා කියල හිතුවා)

මහේෂ් හපුගොඩ  

කියවීම්: 
Zizek, S. (2011). Did Somebody Say Totalitarianism? Five Interventions in the (Mis)Use of a Notion. London & New York. Verso. 

Tuesday, November 13, 2018

The Who - Won't Get Fooled Again (නැවතත් මෝඩයන් නොවෙමු)



ශ්‍රේෂ්ඨධිකරණය විසින් නැවතත් ශ්‍රේෂ්ඨ තීන්දුවක් දී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ට සම්පන්න බව, සදාචාරය අගය කරන්නන් වන සියළු ලාංකිකයින් ට මෙය අතිශයින් සතුටු දායක ආරංචියකි. රාජපක්ෂ කඳවුර එතරම් සතුටු නොවිය හැකි වුවත් අප යහපාලනය වෙනුවෙන් වූ වෙහෙස ගැන අපට සතුටු විය හැක. මන්ද ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැවූ  රාජපක්ෂ රෙජීමය මෙන් නොව සාපේක්ෂ නිදහසක් අද අධිකරණය විසින් භුක්ති විඳින නිසාය. එය අප ලැබූ ජයග්‍රහණයක් වේ. දේශපාලනය උමතු රෝගීන් අතට පත්වීම කොතරම් භයානකද යන්න අප දැන්වත් අවබෝධ කර ගත යුතුය. දැන්වත් මේ රටේ කුමන්ත්‍රණ වලට ඉඩ නොතබමු. ඒ අර්ථයෙන් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුව තුල ගනු ලබන යම් යම් දේශපාලන ක්‍රියා පිළිබද අපගේ පැසසුමට භාජනය වේ.  

නැවත මෝඩයන් නොවෙමු !!
___________________________________________________


පස්ස දොරෙන් ආණ්ඩු හදන කුමන්ත‍්‍රණය පරාජය කළා.. ඒ වෙනුවෙන් සහය දුන් සැමට ස්තූතියි…
 ටිල්වින් සිල්වා
කුමන්ත‍්‍රණකාරයෝ පරාදයි. අපේ රටේ කුමන්ත‍්‍රණකාරී ලෙස බලය මාරු කරගන්න බැහැ. පස්ස දොරෙන් බලය මාරු කරන්න, අගමැතිවරු හදන්න බැහැ. අපිට විවිධ අවලාද අපහාස නගද්දී රටේ ඇතිවූ කුමන්ත‍්‍රණය පරාජය කරන්න අපි කටයුතු කළා. මේ රට ඇතුළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලන සදාචාරය ස්ථාපිත කරන්න අපි මැදිහත් වුණා. එය කළ යුතුව තිබෙන කාර්යයක්. මේක කාගෙවත් ජයක් ලෙස අර්ථකථනය කරගත යුතු නැහැ. එජාප ජයග‍්‍රහණයක් නෙවෙයි. ජනාධිපති කළේ කුමක්ද? කුමන්ත‍්‍රණයක් කරලා වැරදි දේශපාන තීන්දු ගොඩක් අරගෙන පහුගිය අවුරුදු තුනහමාර තුළ ජනතාවට එපාවෙලා තිත්වෙලා ඡන්දයකින් පරද්දන්න ඕනෑ කියලා හිටපු එජාපයට අමතර වාසියක් අරගෙන දුන්නේ මෛත‍්‍රීපාල සිරිසේන. මේ රට මෙතනට වැටීමට එජාපය වගකිව යුතුයි. මෙවැනි කුමන්ත‍්‍රණවලට අවස්ථාව උදාවෙලා තිබෙන්නේ එජාපය තමන්ට ලැබුණ ජනවරමට පයින් ගහපු නිසා. එනිසා එජාපයට නැවත ආණ්ඩු හදන්න අයිතියක් නැහැ. කෙසේ වෙතත් කුමන්ත‍්‍රණය පරාජය කරන්න ලැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලු දෙනාගේ ජයග‍්‍රහණයක්. අපි නිශ්චිත වශයෙන් ඉදිරිපත් වුණේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කරන්නයි. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාව පරාජය කරන්න. එය දැන් පරාජය කොට තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කරලා තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව ඉදිරි කටයුතු තීරණය කළ යුතුව තිබෙනවා. ඡන්දයකට යනවනම් අපි ඡන්දයකට යන්න සූදානම්. මෛත‍්‍රී හදපු හොර අගමැති පැරදිලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා අගමැති කෙනෙක් හදාගන්න. අපි නැවත ආණ්ඩු හදන්න මැදිහත් වෙන්නේ නැහැ. අගමැතිලා හදන්න වුවමනාවකුත් නැහැ.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිණි.
මෙම අවස්තාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතාද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා…
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක්. 26වෙනිදා සිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් ව්‍යවස්ථා විරෝධී තීරණවල බරපතළම එක තමයි පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ තීරණය. එම ව්‍යවස්ථා විරෝධී විසුරුවාහැරීමට එරෙහිව ජවිපෙ ඇතුළු පක්ෂ, සංවිධාන කිහිපයක් අධිකරණයට ගියා. අධිකරණය කරුණු විමසා බලා තීන්දුවක් දුන්නා. ගැසට් පත‍්‍රය තාවකාලිකව ලබන 07වෙනිදා දක්වා අත්හිටුවා දෙසැම්බර් 04,05,06 නඩුව විභාග කරන්න තීරණය කළා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන ජනතාව ලැබූ ජයක්. මේ සම්බන්ධයෙන් සමහරු විවිධ අදහස් පළකරමින් ඉන්නවා. ඇතැම් අය කියනවා මේක වාරණයක් ගණන් ගත යුතු නැහැ කියලා. නමුත් අධිකරණයෙන් ලබාදෙන තීන්දුව කුමක් වෙයිද කියලා ඉදිරියට බලන්න පුළුවන්. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙක්ගේ ගැසට් නිවේදනයක් වාරණය කරලා තිබෙනවා. එය පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳව ගැසට් නිවේදනයක්. නඩු නිමිත්තක් නැත්නම් වාරණය කරන්නේ නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැත්නම් නඩුව අහන්නේ නැහැ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව අහන්න තීරණය කළේ ගැටලුවක් තිබෙන නිසයි. බරපතළ කරුණක් නිසා තමයි ගැසට් නිවේදනය අත්හිටුවන්නේ. ඒ විතරක් නෙවෙයි මැතිවරණ කොමිසමටත් වාරණ නියෝගයක් දෙනවා මැතිවරණය වෙනුවෙන් කිසිවක් නොකරන ලෙසට. පැහැදිළි කරුණ තමයි ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බව.
දැන් සමහරු කියනවා අපි අධිකරණයට ගියේ මැතිවරණයකට බය නිසයි කියලා. අපි ඡන්ද එපා කියලා අධිකරණයට ගියේ නැහැ. මැතිවරණයකට අපි ඕනෑම වෙලාවක ලෑස්තියි. අපි අධිකරණයට ගියේ නීති විරෝධී මැතිවරණයක් කැඳවන නිසයි. අපේ රටේ ඡන්දයක් පවත්වන ක‍්‍රමයක් තියෙනවා. ඒ ක‍්‍රමයට ඡන්දය තියන්න. අපි අදත් කියනවා මේ විදියට රට පවත්වාගෙන යන්න බැරි නම් පාර්ලිමේන්තුවේදී තීන්දුවක් ගන්න ඡන්දයක් තියන්න. හොර පාරෙන් ගැසට් ගහන්නේ නැතුව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න. ජවිපෙ මන්ත‍්‍රී 06දෙනාම සහය දෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, අසාධාරණ, අයුක්තිසහගත ඡන්ද පැවැත්වීම නොකළ යුතුයි. මේ අය ඡන්දෙට ගියේ ඇයි? මෛත‍්‍රීපාල මහත්තයා මුලින්ම කළ යුතුව තිබුණේ රනිල් එක්ක වැඩ කරන්න බැරි නම් වෙන අගමැතිවරු පත්කරන එක නෙවෙයි, ඡන්දයකට යන එකයි. එහෙම කළේ නැහැ. කුමන්ත‍්‍රණයක් කරලා හොරපාරෙන් ආණ්ඩු මාරු කරන්න හැදුවා. ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි වුණාම, කුමන්ත‍්‍රණය ජයගන්න බැරි වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. හොඳ චේතනාවෙන් කරපු එකක් නෙවෙයි.
26වෙනිදා අගමැති වෙනස් කළා. ඇමතිවරු පත්කරන්න ගත්තා දවසින් දවස. ඊළඟ පාර්ලිමේන්තුව කල්දැම්මා. බහුතරය හදාගන්න කෝටි 25, 3050ට මන්ත‍්‍රීවරු මිලදී ගන්න පටන් ගත්තා. ඒ අතර නොවැම්බර් 14 පර්ලිමේන්තුව කැඳවන්න ගැසට් එකක් ගැහුව්වා. ඒකත් කර ගන්න බැරිවෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා හරි පැහැදිලියි කුමන්ත‍්‍රණයක් කරලා ඒක අතේ පත්තු වෙනකොට ඒක වහගන්න තව කුමන්ත‍්‍රණ කරගෙන කරගෙන ගිය බව. පවිත‍්‍ර චේතනාවෙන් කරපු වැඩක් නෙවෙයි මේක. එනිසා අපි කියනවා අපි ඡන්දවලට බය නැහැ. ඒත් ඡන්ද ව්‍යවස්ථානුකූල සාධාරණ ඡන්ද විය යුතුයි.
කුමන්ත‍්‍රණයේ ඊළඟ අදියර පාර්ලිමේන්තුවට ආවා. අද ඒ කුමන්ත‍්‍රණයත් පරාජයට පත්වෙලා. මෛත‍්‍රීපාල මහත්තයා මීට කලින් නොවැම්බර් 14 පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ගහපු ගැසට් එකක් තියෙනවා. ජනාධිපතිවරයාගේ ගැසට් එකට අනුව තමයි අද කැඳෙව්වේ. ජවිපෙ තීරණයක් ගත්තා නීති විරෝධී අගමැති සහ ආණ්ඩුව පරාජය කරන්න. විශ්වාසභංගයක් කතානායකට බාරදුන්නා. 26 වෙනිදා පත්කළ අගමැති නීති විරෝධීයි. ඒ නිසා අගමැතිවරයාත්, ආණ්ඩුවත්, කැබිනට් මණ්ඩලයත් විශ්වාස නැහැ කියලා අපි යෝජනාවක් බාරදුන්නා. විවාදයට ගත්තා. මහින්ද රාජපක්ෂ කණ්ඩායමක් විශාල කලබලයක් කළා. ඔවුන් කරන්න තිබුණේ බහුතරය තිබෙනවානම් විශ්වාසභංගය පරාජයට පත්කරලා පත්වීම තහවුරු කරගන්න එක. නමුත් බහුතරය නැති නිසා ඔවුන් කලබල ඇති කළා.
නමුත් අද පාර්ලිමේන්තුවේදී ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කරලා තිබෙනවා. මෛත‍්‍රී හදපු හොර අගමැති පැරදිලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා අගමැති කෙනෙක් හදාගන්න. අපි නැවත ආණ්ඩු හදන්න මැදිහත් වෙන්නේ නැහැ. අගමැතිලා හදන්න වුවමනාවකුත් නැහැ. අපි නිශ්චිත වශයෙන් ඉදිරිපත් වුණේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කරන්නයි. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාව පරාජය කරන්න. එය දැන් පරාජය කොට තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව ඉදිරි කටයුතු තීරණය කළ යුතුව තිබෙනවා. ඡන්දයකට යනවනම් අපි ඡන්දයකට යන්න සූදානම්. කුමන්ත‍්‍රණකාරයෝ පරාදයි. අපේ රටේ කුමන්ත‍්‍රණකාරී ලෙස බලය මාරු කරගන්න බැහැ. පස්ස දොරෙන් බලය මාරු කරන්න, අගමැතිවරු හදන්න බැහැ. අපිට විවිධ අවලාද අපහාස නගද්දී රටේ ඇතිවූ කුමන්ත‍්‍රණය පරාජය කරන්න අපි කටයුතු කළා. මේ රට ඇතුළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලන සදාචාරය ස්ථාපිත කරන්න අපි මැදිහත් වුණා. එය කළ යුතුව තිබෙන කාර්යයක්. මේක කාගෙවත් ජයක් ලෙස අර්ථකථනය කරගත යුතු නැහැ. එජාප ජයග‍්‍රහණයක් නෙවෙයි. ජනාධිපති කළේ කුමක්ද? කුමන්ත‍්‍රණයක් කරලා වැරදි දේශපාන තීන්දු ගොඩක් අරගෙන පහුගිය අවුරුදු තුනහමාර තුළ ජනතාවට එපාවෙලා තිත්වෙලා ඡන්දයකින් පරද්දන්න ඕනෑ කියලා හිටපු එජාපයට අමතර වාසියක් අරගෙන දුන්නේ මෛත‍්‍රීපාල සිරිසේන. මේ රට මෙතනට වැටීමට එජාපය වගකිව යුතුයි. මෙවැනි කුමන්ත‍්‍රණවලට අවස්ථාව උදාවෙලා තිබෙන්නේ එජාපය තමන්ට ලැබුණ ජනවරමට පයින් ගහපු නිසා. එනිසා එජාපයට නැවත ආණ්ඩු හදන්න අයිතියක් නැහැ. කෙසේ වෙතත් කුමන්ත‍්‍රණය පරාජය කරන්න ලැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලු දෙනාගේ ජයග‍්‍රහණයක්.
හෙටින් පසු පාර්ලිමේන්තුව තුළ කුමක් සිදුවනු ඇත්දැයි අපට කිව නොහැකියි. කොහොම නමුත් මේ අර්බුදය අවසන් නැහැ. එය දිගටම යාවි. අර්බුදය විසඳා ගැනීමට සිදුවන්නේ අවසානයේ මැතිවරණයකට යාමෙන් නම් එය නීත්‍යානුකූලව කරගත යුතු යැයි අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට මේ අර්බුදය විසඳාගන්න තව තවත් කුමන්ත‍්‍රණ කරන්න යන්නේනම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේනම් ඒවා පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක් වූ මොහොතේ තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට මුහුණ දුන් අවස්ථාවේ  ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයන් වෙනස් කිරීම සඳහා රටේ විශාල කණ්ඩායමක් මැදිහත් වුණා. සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, නීතීඥවරුන් ගණනාවක් ඔවුන්ට අනතුරක් තිබියෙදී පවා මීට මැදිහත් වුණා. මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් මීට මැදිහත් වුණා. ඒ සියලුම දෙනාට අපේ ස්තූතිය පළකරනවා. මෙය අප සියලු දෙනාගේ ජයග‍්‍රහණයක්. එම ජයග‍්‍රහණය අප ඉදිරියට ගෙනයා යුතුයි. ඒ වගේම මේ රටට කුමන්ත‍්‍රණ කරන පරණ දූෂිත පාලනයන් ස්ථාපිත කරන්න හදන පාලකයින් සමග මේ ගමන යා නොහැකියි. මේ රට වෙනස් ගමනක් යා යුතුයි. මේ රටට ආපසු දේශපාලන සදාචාරය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන ආ යුතුයි. රට තුළ සමාජ සාධාරනත්වය තහවුරු කළ යුතුයි. සැබෑ ජාතික සමගිය අපට අවශයයි. රටේ ජනතාවට සතුටින් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය විය යුතුයි. එයට මේ කුමන්ත‍්‍රණවලට සම්බන්ධ වුණු, ඒවාට උදව් කළ අයට ඊට සම්බන්ධ විය නොහැකියි.
ඒ වෙනුවෙන් නව බලවේගයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිර්මාණය කළ හැකි දැවැන්තම බලවේගය ඒකරාශි කිරීම අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. එය අවසානයේ සමාජය වෙනස් කළ හැකි විශාලතම බලවේගයට නායකත්වය දීමට අපි සූදානම්. එයට එකතු වන ලෙස අපි සියලු දෙනාට ආරාධනා කරනවා. මේ අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි කුමන්ත‍්‍රණය පරාජය කළ අවස්ථාවක්. ඉදිරියේදීත් කුමන්ත‍්‍රණවලින් බලය ලබාගැනීමට  ඕනෑම අයෙක් ගන්නා උත්සාහයක් පරාජයක් කිරීමට අපි සූදානම්. ඒ සඳහා වන ප‍්‍රතිඥාව අපි ජනතාවට දෙනවා.”
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
දේශපාලනය තේරෙන්නේ නැති, ව්‍යවස්ථාව දැක නැති, ආණ්ඩුවකින් ලැබෙන ඇමති කට්ටක් වෙනුවෙන් සිටින අය නොයෙක් ප‍්‍රකාශ කරනවා. දැන් ඉතා පැහැදිලියි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒ කල් තැබූ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයකින් 14වැනිදා කැඳවා තිබුණා. එසේ තිබියෙදී ජනාධිපතිවරයා තවත් ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එය දැන් බල රහිතයි. එය අත්හිටුවීමෙන් පස්සෙ පාර්ලිමේන්තුව අහෝසි වන්නේ නැහැ. පාර්ලිමේන්තුව තිබිය යුතුයි. ඒ පාර්ලිමේන්තුව කැඳවීම සඳහා නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයක් තිබෙනවා. එය ජනාධිපතිවරයා විසින් අවලංගු කර නැහැ. ඊට අනුව අද පාර්ලිමේන්තුව කැඳවිය යුතුව තිබෙනවා. ඊට පාර්ලිමේන්තුව බැඳී සිටිනවා. එය කතානායකතුමාගේ කැමැත්තට කැඳවනු ලබන්නක් නෙමෙයි. එය නීති විරෝධීනම් ඊට එරෙහි පිරිසට පාර්ලිමේන්තුවට නෑවිත් සිටිය හැකිව තිබුණා. නමුත් ඔවුන්ද පැමිණියා.
දැන් පාර්ලිමේන්තුව නීත්‍යානුකූලයි. දැන් කවුරුන් හෝ ආණ්ඩුවක් හදා ගත යුතුයි. නීත්‍යානුකූලව එය කැමති කෙනෙක් හදා ගත්තාට අපිට කමක් නැහැ.
පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දැන් අත්හිටුවා තිබෙනවා. තීන්දුව අනුව එහි ගැටලූවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළොත් ඡුන්දයක් පැමිණීමට නියමිතයි. ඒ ඡුන්දයට අපි ඉදිරිපත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දවලට බය නැහැ. අපි මේ කුමන්ත‍්‍රනකරුවන් පැරදවීමට සූදානම්. දැන් මෙම ගැසට් නිවේදනය අත්හිටුවීමෙන් මෙම ගැසට් නිවේදනයේ ගැටලුවක් ඇති බවට සංඥාවක් ලබා දී තිබෙනවා. මෙහි නඩු නිමිත්තක් ඇති බව පළ කොට තිබෙනවා. මෙය විභාග කළ යුතු බව කියා තිබෙනවා.
ඊයේ මෙම නඩු විභාගය පවත්වන ලද්දේත් අගවිනිසුරුතුමා ඇතුළු තිදෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේයි. එය කීදෙනෙක් ඉදිරියේ විභාග කරන්නේදැයි තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. 03ක්ද 05ක්ද සම්පූර්ණ ප‍්‍රමාණයදැයි තීරණය කරන්නේ අධිකරණයයි. එය අපට අයත් කටයුත්තක් නෙමෙයි. අපට තිබෙන්නේ අධිකරණයට අපේ නඩුව ඉදිරිපත් කිරීමයි. දැන් කවුරුන් හෝ අධිකරණයටත් බලපෑම් කිරීමට උත්සාහ කරන්නේනම් එය විශේෂයෙන් සලකා බැලිය යුතුයි. යමෙකුට ඉල්ලීමක් කළ හැකියි. නමුත් දැන් මේ හදන්නේ අධිකරණය දුන් තීන්දුව හෑල්ලුවට ලක් කිරීමටයි. ඒ නිසා මේ පිරිසගේ අභිලාෂය අපට පැහැදිලියි. ඔවුන් කොක්කෙන් හෝ කෙක්කෙන් බලය ලබා ඩැහැගැනීමට උත්සාහ කරනවා. මේ කුමන ලැජ්ජා නැතිකමක්ද? හොරාට අගමැතිකෙනෙක් හදලා, ආණ්ඩුවක් හදලා, ඒ අගමැති යටතේ ඇමතිකම් දෙනකොට වැඳලා භාරගන්න පිරිසක් ඉන්නවා. මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමෙන්තුව විසුරුවා හැරි දවසේ හවස 6-7 පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් පත‍්‍රයට අත්සන් තබනවා. ඒ අතින්ම ඇමතිවරුන්ට ඇමතිකම් දෙන ගැසට් පත‍්‍රයත් අත්සන් කරනවා. ඒ ඇමතිවරුත් ඇමතිකම් භාර ගන්නවා. ඔවුන් පාර්ලිමේන්තුව විසුරවන බව දන්නවා. ඒත් අර ඇමතිකම ගන්නවා. සමහරු පැය දෙකක ඇමති, සමහරුන්ගේ ගැසට් මුද්‍රණාලයට යන්නේ විසුරවීමටත් පස්සේ. මොකක්ද මේ රටේ දේශපාලනය. අගමැති පාර්ලිමේන්තු ගියේම නැහැ.
ජ.වි.පෙ. චෝදනා කරන අයගෙන් අහමු, ඔය කියන 2015 අපට මන්ත‍්‍රීකම් 03යි තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට මන්ත‍්‍රීකම් 140 ගණනක් තිබුණා. එයා ඒකට විරුද්ධ වුණේ නැත්තෙ ඇයි. තමන් සතුව තිබෙන අගමැතිකම ගලවා රනිල්ට දෙනකොට විරුද්ධ වෙන්න ඕනෑ ඔවුන්. සද්ද නැතුව හිටියේ ඇයි? ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා සිටියේ අගමැතිකමයි පක්ෂ නායකකමයි විතරක් නෙමෙයි, තව මොනවාහරි ඉල්ලූවානම් ඒවත් දෙන්න තරම් බයකිනුයි. හොරකම් අල්ලා ගනු ඇතැයි, හිරේ යන්න වේයැයි ඔහු බයෙන් හිටියා. කාල්ටන් එක ඉල්ලුවානම් ඒකත් ලියා දෙනවා. අපි ඊට මැදිහත් නොවුණේ ඇයිදැයි අහන අයගෙන් අපිට අහන්න තිබෙන්නේ, අයිතිකාරයින් මැදිහත් නොවන දෙයකට අපි මැදිහත් වන්නේ කොහොමද කියන එක. දිමු ජයරත්න සද්ද නැතුව හිටියේ ඇයි? අපේ කෙනා අගමැති යැයි මහින්ද රාජපක්ෂ කිව යුතුව තිබුණා. ඔවුන් කිසිවෙක් එහෙම කිවුවේ නැහැ. තමන්ගේ කොටස නොකර ජ.වි.පෙ.ට ඇඟිල්ල දිගු කිරීම විහිලූවක්. රනිල්ට එරෙහිව ආපු විශ්වාසභංගයේදී ජ.වි.පෙ. අපි ඔහුට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කළා. රනිල් පරාජය නොවූයේ මෛත‍්‍රීපාල මහතාගේ ශ‍්‍රීලනිපයේ කණ්ඩායමක් ඊට ඡන්දය ප‍්‍රකාශ නොකළ නිසයි.”

   

Thursday, November 8, 2018

ටයිටැනික් නැවට ගොඩවූ මනමේ කුමරිය...

ෂෙලිනියානු මනමේ භූමියක සිට ලියමි...
මෛත්‍රිපාල කියන්නේ ලංකාවේ පසු නුතන මනමේ කුමාරි. මේ මනුස්සයා කොයි වෙලේ හරි ඉතිහාස ගත වෙනවා පාවා දීම ගැන. ඒ කියන්නේ මනමේ කුමාරය කොච්චර ආදරෙන් හිටියත් අන්තිමට කඩුව දෙන්නේ වැදි රජාටතමන් එක්ක හිටිය අය අමතක කරන්න ඔහුට ගත වෙන්නේ මහොතකින් දහයෙන් එකයි. අන්තිම මොහොත වෙනකල් කියන්න බැහැ මොන පිස්සුව නටයි ද කියල. ලංකාවේ ඉන්නේ මේ වගේ මනමේ කුමරියෝ තමයි (හොඳ කරන්න බැරි හිස්ටීරියාව හැදුන පිස්සු කුමාරියෝ!!). පුරෝ කථනය කරන්න බැහැ කිසිම දෙයක්. විශ්වාස කරලා වැඩක් කරන්නත් බැහැ. මේක ආත්මීය ප්‍රශ්නයක්.  
   
හැබැයි ටයිටැනික් කියන්නේ ආදරය මරණය දක්වා ගෙනියන නැවකට... රෝස් නැවේ කුඹ ගහ යට ඉන්නේ ශුන්‍ය ආකාශය දිහා බලාගෙන. තමා ඉදිරිපිට තියෙන හිස් බව වැළඳ ගන්න බලාගෙන. මෛත්‍රීපාල කරන්නේ හිස් බවට බයේ දුවන එක. දුවල දුවල ගිහිල්ල තමන්ගේ දුවා දරුවන්ට දේශපාලන අනාගතයක් හදන එක. එහෙම පුද්ගලික දෙයක් වෙනුවෙන් ජනතා පැතුම පාවා දෙන එක (The personal is political). ඉතින් මනමේ කුමාරි (මෛත්‍රීපාල) හරි යයිද ඒ වගේ ආදරය ගැන කියවෙන නැවකට??

හැබැයි මහින්ද කියන්නේ නම් අර පරණ වැදි රජා ම තමයි. පොර මාර කට්ටයි. මිනිහ කරන්නේ කොයි වෙලාවක හරි මේ හැමෝම පාවා දෙන චපල මනමේ කුන්ඩවාලිය නැවෙන් පල්ලෙහාට තල්ලු කරන එක (මහින්ද කරන්නේ චපල බව චපල බව ඔස්සේ ම විනාශ කරලා දාන එක). ඒ කියන්නේ පුර්ව නුතන ස්ත්‍රී චපල බව පරාජය කිරීමට ඔහු පාවිච්චි කරන්නේ පුර්ව නුතන දඬුවම් ක්‍රමයක්. ඒ කියන්නේ විනාශ කරලා දමන එක (සායනික වචනය වෙනුවට). ඔන්න මෛත්‍රී මුලින්ම දුන්නා වැඩේ මහින්ද ට. ඊට පස්සේ පුක නැති කළා යු. එන්. පී. කාරයන් ගේ.  අනික් අතට දැනටමත් මෛත්‍රී ය එක්ක ආපු ශ්‍රී ලංකා කාරයින්ටත් කෙලවෙලා තියෙන්නේ. ඉතුරු වෙලා ඉන්න මෝඩයෝ ටිකටත් කෙල වෙන්න ආසන්නයි...මරු. 

එක රැයෙන් එළිවෙන්නේ නැහැ කියනවනේ පරණ සිංහල මිනිස්සු. අපි ඉතින් ඉවසීමෙන් බලාගෙන ඉම්මු. 


Monday, November 5, 2018

සමනළ ලෝකයෙන් පසු ලෝකය...

සමනළ ලෝකයේ 'වෙනස' අවසන් කරමින් විෂම ලිංගික 'සමානයින්' ගේ ලෝකයක් අතිගරු ජනාධිපති තුමා තෝරාගෙන ඇත. වෙනස් ලෝකයක වෙනස සමග අරගල කරනවා ට වඩා සමානයින් ගේ ලෝකයක සුවපහසු ලෙස ජිවත් වීම පහසු බව පිළිගනිමි. නමුත් වෙනස සමඟ කරන අරගලය තුල ම අරගල කරන්නාගේ ආත්මයත් වෙනස් බවට පත් වන බවට හේගල් සාක්ෂි දරයි (නාගරික බටහිර ජීවන ලෝකය සමඟ කරන අරගලය තුල ග්‍රාමීය පරිසරයෙන් පැමිණි අයෙකුට වෙනස් ජීවන ලෝකයක අභාෂය ලැබිය හැකිය). ඒ අර්ථයෙන් වෙනස යනු ධනාත්මක දෙයකි. කෙසේ වුවද මේ සිදුවන විකෘතිය මොනම න්‍යායයක ට අනුව වත් තේරුම් ගත නොහැකි වුවත් ජනාධිපතිවරයා තෝරා ගෙන ඇති සමානයින් ගේ පැතලි ලෝකය ඔහුට පහසු ඇතිවාට සැක නැත. ඔහුගේ පුද්ගලික සුව පහසුව දේශපාලනය තුලට ගමන් කිරීමෙන් සිදුවී ඇති විනාශය සුළු පටු නොවේ. එය ඉතිහාසයේ අඳුරු තම පැල්ලමකි. මා කිසිදා මෛත්‍රිපාල ජනාධිපති වරයා එවන් දෛවයක් වෙත ගමන් කරනු ඇතැයි සිහිනෙන් වත් සිතුවේ නැත. නමුත් ඔහු වෙතින් ම යථාවක් ඉස්මතු වෙමින් ඇති බව මීට හරියටම වසරකට පමණ පෙර 'ජනාධිපති තාත්තා' ග්‍රන්ථය එළිදැක්වූ කාලයේ ම මෙම බ්ලොග් අඩවියේ සටහන් කර තැබුවෙමි (කියවන්න සංකේතනය යථාවක් වීම...). එතනදී මා යොදාගත් න්‍යායික ස්ථාවරය වුවේ අලෙන්කා සුපැන්ජි විසින් න්‍යායගත කර තිබු මනෝ විශ්ලේෂණයේ සිතියම් කරණය පිළිබද කතිකාවයි. කෙසේ වුවද සියල්ල අවසානයේ මෙසේ ලියමි. මෙය අවසානයේ දී තෝරා ගැනීම පිළිබද කැරුණේ දී පෙරදිග මිනිසා පෙන්නුම් කරන ස්වඡන්දතාවයේ ආත්මීය නොහැකියාව පිළිබද සම්භාව්‍ය උදාහරණයකි (හේගල්). ඒ ඔස්සේ නැවත ජයග්‍රහණය කර ඇත්තේ ඔබ නොව රාජපක්ෂ වරුය. මතක තබා ගන්න ඔබ රාජපක්ෂ ඉදිරියේ පවා දුන්නේ මේ රටේ ලක්ෂ ගණනක් වූ ප්‍රබුද්ධ මිනිසුන් පිරිසකගේ දේශපාලන අපේක්ෂාව බව. නැත්නම් මිනිසුන්ගේ ප්‍රබුද්ධත්වය පිළිබද බලාපොරොත්තුව බව. ඉතිහාසය විසින් ඔබ ඔබට නියම තැන ස්ථාන ගත කරනු ඇත.   


The traumatic experience of 'The Silence of the Lamb' has been once more re-staged in 2018 October Revolution. The reason why 'The Silence of the Lambs' makes a metaphorical parallel with the above political episode in Sri Lanka (so called October Revolution) is that Dr. Lector who is trained as a well civilized professional analyst suddenly becomes a cannibalistic demon. That is a shocking example as to how the decent and civilized content of modernity contingently transforms itself as a flesh-eating monster.   
මා තුළ ඇතිවී ඇති අපේක්ෂා භංගත්වය මට වඩා ඉතාමත් තියුණු ලෙස ලේඛණයට නංවා ඇති මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ ළිපිය මෙසේ පලකරමි. ඔහුට පවා ක්ෂිතියක් වන්නේ ඉහත චිත්‍රපටයේ එන දොස්තර ලෙක්ටර් ගේ කම්පනමය රාක්ෂ රූපාන්තරණයයි (monstrous metamorphosis). 

---------------------------------------------------------------------------------
දේශපාලනික දේ පුද්ගලිකද වේ - අපේක්ෂාභංගත්වයේ මොහොතක ලියමි 

ජයදේව උයන්ගොඩ

මගේ රට නැවත පාවා දී තිබේ’- පැබ්ලෝ නෙරූදා (මතක සටහන්)
රනිල් වික‍්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කෙළේ මන්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රතිපත්තිමය සහ පුද්ගල වෙනස්කම් ගෙනහැර පාමිනි. ඔහුගේ කතාව විමසා බලන විට, ප‍්‍රතිපත්තිමය හේතුවලට වඩා පුද්ගල හේතු වඩා ප‍්‍රබල බව පෙනී යයි. ඒ පුද්ගල හේතු බෙහෙවින් දේශපාලනික බවත් පෙනී යයි. ජනාධිපති සිරිසේන ජාතිය අමතා කළ කතාව පුරවැසියන්ගේ මතකයට නංවන්නේ, ඔහුගේ හිටපු දේශපාලනික හාම්පුතා වූ මහින්ද රාජපක්ෂ අතහැර ඒමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් 2014 අවසාන භාගයේ ඔහු කළ පැහැදිළි කිරීමයි. එදාත්, පුද්ගලිකත්වය දේශපාලනික විය. ඔක්තෝබර් 26 වැනිදායින් පසු, දේශපාලනික වීම පුද්ගලික වන්නේ කෙසේද යන්න, වැඩියත්ම මා සම්බන්ධයෙන් එය කම්පන සහගතව පුද්ගලික වන්නේ මන්ද යන්න පෙන්නුම් කිරීමට මේ ලියවිල්ලෙන් මම උත්සාහ කරමි.

 ඔක්තෝබර් 26 සිකුරාදාවකි. මා මිථ්‍යා විශ්වාසවල එල්බගෙන නැතත්, ඒ වැහිබර මූසල සිකුරාදා දිනය මගේ මතකයේ ඇඳී ඇත්තේ මා පුද්ගලිකව පාවා දුන් බවට හැඟීමක් මා තුළ ජනනය කළ දවසක් වශයෙනි. මේ රටේ පුරවැසියන්ගේ, වැඩියත්ම මේ රටේ තරුණ පරම්පරාවේ, දේශපාලනික අපේක්ෂාවේ සංකේතයක් වශයෙන් තවදුරටත් මෛත‍්‍රීපාල සිරිසේනව සැලකීමට මට පුළුවන් කමක් නැත. ඒ සිකුරාදා ඔහුගේ ක‍්‍රියාකලාපය මගින් සනිටුහන් කෙරුණේ, 2014 නොවැම්බර් 21 වැනිදා පටන් මූර්තිමත් කළ දේශපාලනික ප‍්‍රාර්ථනාවේ සහ ප‍්‍රතිඥාවේ සංවේගකර ඛේදනීය නිමාවයි.

 2015 ජනවාරි ජනාධිපතිවරණයට සිරිසේන මහතාව ඉදිරිපත් කළ, අලුතින් පිහිටවූ විපක්ෂ පෙරමුණ වෙනුවෙන් මම සක‍්‍රීයව දායක වීමි. මා වැඩියත්ම එසේ කෙළේ, සිරිසේන මහතා, පසුව අප ආරේට ආමන්ත‍්‍රණය කිරීමට පටන් ගත් මෛත‍්‍රී, නිසාය. එදා ජනාධිපති අපේක්ෂකයා වුණේ රනිල් වික‍්‍රමසිංහ නම්, මහින්ද රාජපක්ෂට විරෝධය පෑමක් වශයෙන් ඔහුට මගේ ඡන්දය දී පැත්තකට වෙනවා මිස, ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මා සක‍්‍රීයව කටයුතු නොකරනවා ඇත. නැවත වතාවක් මැතිවරණ දේශපාලනය ගැන මා උද්‍යෝගීමත් කෙළේ මෛත‍්‍රීය. ඒ, චන්ද්‍රිකා සහ රනිල් ඇතුළු බොහෝ නායකයන් පිළිබඳ සුන් වූ අපේක්ෂා පෙරදැරිව සිටි කාලයකි. රනිල් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම, මා සම්බන්ධයෙන් ගත් විට, හුදෙක් උපයෝජ්‍යතාවාදී විය. අනිත් පැත්තට, මෛත‍්‍රී වෙනුවෙන් වැඩ කිරීම, දේශපාලනික-සදාචාරමය වගකීමක් විය.

 මා පමණක් නොව. තමන්ට විශ්වාසය තැබිය හැකි, තමන්ට අනන්‍ය විය හැකි, තමන්ගේ ප‍්‍රජාතන්ත්‍රීය දේශපාලනික දෛවයන් භාර දිය හැකි මිනිසා අවසානයේ තමන්ට හමුව ඇතැයි ශ‍්‍රී ලාංකික ඡන්දදායකයන්ගෙන් සියයට 51.28 ක් විශ්වාස කළහ. දේශපාලන විද්‍යාඥයන් වන අප ඇට්ටර බලාධිකාරවාදයනැතහොත් දෘඪ අධිකාරවාදයවශයෙන් හඳුනා ගන්නා මාවතක එදා පැවති රජය ගමන් කරමින් සිටි වෙලාවක ඇත්තෙන්ම ඔහු ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන අපේක්ෂාව විය.
 ඒ දරුණු සිහිනය සැබෑ වීම නතර කිරීමට ආණ්ඩු වෙනසක් අවශ්‍ය කෙරුණි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහට වඩා විශ්වසනීය ජනාධිපති අපේක්ෂකයෙකු අවශ්‍ය කෙරුණි. අපේ පුරවැසියන්ගේ අනාගත පරම්පරාවන්හි, විශේෂයෙන් තරුණයන් සහ ප‍්‍රථම ඡන්දදායකයන්ගේ, ප්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනික ප‍්‍රාර්ථනා මූර්තිමත් කළ හැකි පිරිමියෙකු හෝ ගැහැනියක් අවශ්‍ය කෙරිණ. අලුත් නායකයා, ආණ්ඩු නායකයෙකු වශයෙන් දේශපාලන බලය කලින් විඳ නැති, එබැවින්, දූෂණය, බල අපයෝජනය, මනෝන්මාදය, (ආත්මාඩම්බරය) පුද්ගල කේන්ද්‍රීය පාලනය සහ අසීමිත දේශපාලනික උන්නතිකාමයෙන් තොර කෙනෙකු විය යුතුව තිබුණි.

 මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ අපේක්ෂා වට්ටෝරුවට සපුරා ගැලපුණි. දේශපාලනික අපේක්ෂාභංගත්වයේ සහ නරුමවාදයේ මහා ප‍්‍රවාහය ඔහුට නතර කළ හැකි බව පෙනුණි. මගේ හිතෙත් වැඩ කළ එක් ප‍්‍රාර්ථනයක්, හිනිදුම නෙළුව ග‍්‍රාමයේ තරුණ එළවළු වෙළෙන්දන් දෙන්නෙකු 2014 නොවැම්බර් අවසානයේ දවසක සරළ භාෂාවෙන් කීවේ මෙසේය: මෛත‍්‍රී ඇරෙන්න වෙන කා ගැනද අපිට විස්වාසයක් තියන්න පුළුවන් ?’ ඉතා බරපතල පුද්ගල අවදානම් දැරීමට එදා මෛත‍්‍රී පසුබට වූයේ නැත. දැන් ඔහුගේ දියණිය සිය පියාගේ දේශපාලනික චරිතාපදානය තුළ එ්වා විස්තරාත්මකව සංගෘහිත කොට තිබේ.

 2015 විශිෂ්ටතම දේශපාලනික සෞන්දර්යය රැඳී තිබුණේ, ජනාධිපති අපේක්ෂක සිරිසේනගේ පණිවිඩයේ පැවති ආචාරධර්මිකත්වයේය. උන්නතිකාමය වෙනුවට දේශපාලනික සදාචාරය අගයන, බලයේ නිර්දය භාවය වෙනුවට දයාව අගයන අලුත් නායකයෙකු ශ‍්‍රී ලංකාවට අවශ්‍ය විය. 2015 ශ‍්‍රී ලාංකීය ඡන්දදායකයන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ දේශපාලනික පරිකල්පනය ඇවිළුණේ මෛත‍්‍රීගේ යහපාලන සටන් පාඨයේ පැවති දේශපාලනික සදාචාරයෙනි.

 2015 වනවිට මට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී නොතිබුණි. එක වරක් පමණක් මා ඔහු දැක තිබුණේ, කොළඹ විශ්ව විද්‍යාලය අසළ ශාන්ති විහාර් ආපන ශාලාවේදීය. ඒ කාලයේ ඔහු බලයේ නොසිටියත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විය. ඔහු කලිසමක් සහ අත් දිග, තරමක් ලොකු සුදු කමිසයක් හැඳ සිටියේය. මා දැන සිටි, පොලොන්නරුවේ හිටපු දිසාපතිවරයෙකු සහ තවත් දෙන්නෙකු කෑම මේසයේ වාඩි වී උන්හ. හිටපු දිසාපතිවරයා සමග මා වචනයක් දෙකක් කතා කරන අතරේ සිරිසේන මහතා මා සමග යාන්තමට සිනාසුණි.

සිරිසේන මහතා සමග කිසි පුද්ගල දැන හැඳුනුම් කමක් නොමැති වීම, මා තුළ ඔහු කෙරෙහි පුද්ගල ප‍්‍රසාදයක් ලියැලීමට බාධකයක් වුණේ නැත. පුද්ගල ස්වභාවයෙන් ගත් විට මා ඔහු දුටුවේ, සෞම්‍ය ගති පැවතුම් ඇති, ආචාරශීලී පුද්ගලයෙකු වශයෙනි. දරුණු දේශපාලනික උන්නතිකාමයෙන් තොර, තැන්පත් පුද්ගලයෙකු වශයෙනි. මගේ බොළඳකමට එදා මට හැඟුණු ඒ චරිත විනිශ්චය මත පදනම් වෙමින් මම දේශපාලනික නිගමනයකට පැමිණියෙමි: ඒ නම්, දරුණු පාලකයෙකුවීමට තරම් අභ්‍යන්තරික හැකියාවක් නැති, මධ්‍යස්ථ මනස් ප්‍රකෘතියකින් යුත්, ආචාරශීලී කරුණාවන්ත පිරිමියෙකු හෝ ගැහැනියක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත්‍රීය උන්නතියේ අපේක්ෂාවන් සහ අභිලාෂයන් මූර්තිමත් කැරවීම සඳහා අපට අවශ්‍ය කරන බවයි. අවසානයේ ගත් විට, ප‍්‍රජාතන්ත්‍රවාදය යනු, දේශපාලනික බලයේ සීමාවන් පිළිබඳ දැනුවත්ව සහ ඒවාට අවනතව එම බලය භාවිත කරන මැදහත් පුද්ගලයන්ගේ ආණ්ඩුවකි.

 ප‍්‍රජාතන්ත‍්‍රීය දේශපාලඥයෙකුට තිබිය යුතු වූ එවැනි හරවත් පුද්ගලික ගුණාංග තිබියදීත්, බොහෝදෙනා කෙළේ සිරිසේන මහතාව අපවාදයට ලක් කිරීමයි. හෑල්ලුවට ලක් කිරීමයි. සමහර විරුද්ධවාදීහූ පරිභවකාරී විකට නම් පටබැඳ ඔහුට ගැරහුවෝය. ඒ සියල්ලන්ම, ඔක්තෝබර් 26 වැනිදායින් පසුව, සාවද්‍ය වූත් අතිශය අවස්ථාවාදී වූත් හේතු මත ඔහුව වර්ණනා කිරීමට පටන්ගෙන තිබේ. ඔහු තුළ මහා දේශපාලනික සුචරිතයක් දැකීමට පටන්ගෙන තිබේ.

 ශ‍්‍රී ලංකාවේ ජනාධිපති වූ පසු මට සිරිසේන මහතා හමු වී ඇත්තේ, සමහර විට පස් වතාවකට අඩුවෙනි. එහිදී ඔහු මට පෙනී ගියේ ප‍්‍රියමනාප, සහෘද දේශපාලන නායකයෙකු වශයෙනි. කොළඹ දේශපාලන ප්‍රභූ පැලැන්තියේ පුහු සාටෝපවලින් දූෂ්‍ය නොවූ පුද්ගලයෙකු වශයෙනි. මා මුලින්ම ඔහුව මුණගැසුණු දවසේ, එ් දක්වා හිතේ තිබූ තවත් බොළඳ මායාවක් යළි පිබිදුණේය: එනම්, ග‍්‍රාමීය සමාජ පසුබිමකින් එන, නාගරික මාන්නයෙන් සහ විදග්ධතාවෙන් දූෂ්‍ය නොවූ දේශපාලඥයෙකු වඩාත් යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු විය හැකි බවයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව ගොඩනැගූ ආණ්ඩුව ගෙන යාමට ප‍්‍රමාණවත් තරමේ ස්ථායී කාර්ය සබඳතාවක් ගොඩනගා ගැනීමට දෙදෙනා අසමත් වූ බව අපි දැන සිටියෙමු. එසේම 2015 දී ඔවුන්ව බලයට ගෙනා ජනතා වරමට ප්‍රමාණවත් තරමින් ඔවුන් සංවේදී නොවූ බවත් අපි දැන සිටියෙමු. තවද, සභාග ආණ්ඩුව තුළ මතු වූ ගැටුම් දේශපාලනිකව කළමනාකරණය කර ගැනීමට බැරි තරමට මේ නායකයන් දෙන්නාම ළාමක වූ බවත් අපි දනිමු. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩගැනීමේ ක‍්‍රියාවලියට ඔවුන්ගෙන් අනතුරක් සිදු නොවනු ඇතැයි අපි උදේ හවා බලාපොරොත්තු වීමු.

තතු එසේ වුවද, අගමැතිවරයා සමග අප‍්‍රසන්න දේශපාලනික සහ පුද්ගල ප්‍රශ්න මොනතරම් තිබියේ වී නමුත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ ගැනීමේ සහ තහවුරු කර ගැනීමේ ගමන ජනාධිපති සිරිසේන තමාගේ තනි මතේට ආපසු හරවතියි මා කිසි විටෙක බලාපොරොත්තු වුණේ නැත. ඔහු එසේ කෙළේ, මා ව්‍යවස්ථාව වටහාගෙන ඇති පරිදි, එහි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වචන මෙන්ම සාරයත් උල්ලංඝණය කරමිනි. එ් උල්ලංඝණය යුක්ති සහගත කර ගැනීම සඳහා ඔහුට නීති උපදෙස් දී ඇතැයි සිතෙන සමහර දෙනා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සාරයට සහ ආත්මයට පරම හතුරුව සිටි අයවළුන්ය. තවත් අය, දේශපාලනික ගැත්තෝය. ව්‍යවස්ථා නීතියේ සූක්ෂම තැන් ගැන වැඩි අවබෝධයක් නැති ජනාධිපතිවරයෙකුගෙන්, තමන්ගේ ආත්මාර්ථකාමී දේශපාලනික ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට වැඩි ඉඩක් ඇතැයි ඔවුන් සිතුවාට සැක නැත.

ඒ සියල්ලටමත් වඩා අපේ දුර්භාග්‍යය වන්නේ, රටේ දූෂිත දේශපාලනය ඉවරයක් කරතියි අප සිතූ පුද්ගලයාම, අපේ දේශපාලන වාංමාලාවට යහපාලනය යන වචනය හඳුන්වා දුන් පුද්ගලයාම, දැන් දේශපාලනික දූෂණයේ නිරතව සිටීම සහ හැරෙන හැරෙන පැත්තට මහ පරිමාණව මන්ත‍්‍රීවරුන්ව දූෂ්‍ය කරන සැටි බලාගෙන සිටීමට අපට සිදු වීමය. තමාගේ වාසියට ගැනෙන තාක්, දේශපාලනික දූෂණය සුජාත මෙවලමකැයි ජනාධිපති සිරිසේන සිතන සෙයකි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්, ජනාධිපති සිරිසේනගේ මෙන්ම මගේද දරු මුණුපුරන් අයත් තරුණ පරම්පරාවේ ප‍්‍රජාතන්ත‍්‍රීය අනාගතයටත්, ඔක්තෝබර් 26 වැනිදා හැන්දෑවේ කරන ලද සහ තවමත් කරමින් සිටින හානිය, මාව පුද්ගලිකව සංවේගයෙන් කම්පනය කළ පසුබෑමකි. මෙතැන් පටන්, ශ‍්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාව සඳහා ප‍්‍රජාතන්ත්‍රවාදය ගොඩ ගැනීමට මත්තෙන්, බරපතල ප‍්‍රජාතන්ත‍්‍රීය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණයන්, පසුබෑම්, ප‍්‍රචණ්ඩත්වයන්, ප්‍රතිරෝධයන්, සහ අපේ අවාසනාවට, සමහර විට ලේ වැගිරීම් සහිත තවත් අවදියක් පසු කිරීමට සිදු විය හැකිය.

එබැවින්, මා සම්බන්ධයෙන් ගත් විට, දේශපාලනික දේ පුද්ගලිකද වන්නේය.

2018 නොවැම්බර් 4 වැනිදා කලම්බු ටෙලිග‍්‍රාෆ්වෙබ් අඩවියේ පළවූ, මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ, ‘Political is Personal- An Essay in Despair’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ යහපාලනය ලංකාඅනුග‍්‍රහයෙනි.

Source: Lankanewsweb. com