ඇමෙරිකාවේ රාජ්ය ලේකම් ද කවුද ආව කියල පහුගිය දවස්වල ලොකු ගෝරනාඩුවක් තිබ්බ මං බලාගෙන. චීන නියෝජිතයෝ ආපු වෙලාවෙත් ඒ වගේම බුකියේ කට්ටිය හඬ නගනවා මම දැක්කා. නමුත් චිනේ කට්ටිය ආවට වඩා වැඩියෙන් පොම්පියෝ ආපු එක ගැන විරෝධයක් ආව කියලයි මට හිතෙන්නේ. පෙරදිග චින අධිරාජ්ය ව්යාපෘතියට වඩා මම හිතන්නේ ඇමෙරිකාවට විරුද්ධව බටහිර අධිරාජ්යවාදී සටන් පාඨය නග්ගල ගන්න එක ලේසියි. ඒකෙ තියෙන පොඩි සංස්කෘතික විරෝධයක් එක්ක කට්ටිය ෆෝම් වෙනවා වැඩියි කියලයි මට හිතෙන්නේ.
මේ ඔක්කොම අස්සේ දැන් මම ඉන්නේ කොතනද? මම දැන් කියන්න යන්නේ මගේ මනස ඇමෙරිකන්කරණය වෙච්ච් හැටි (Americanization of the unconscious). අනික් අය ගැන කියන්න දන්නේ නැහැ. මේ මගේ එක. මගේ සත දෙක. පොම්පියෝ ආව වෙලාවේ කවුරු හරි ලංකාවේ කෙනෙක් ගෙදරක ඇමෙරිකන් කොඩියක් එල්ලනවා වගේ ෆොටෝ එකකුත් මම දැක්කා ලඟදි බුකියේ ෂෙයා වෙනවා. එතකොටත් මට මේ දේම හිතුණා.
මම ඉස්කෝලේ යන්න ගමෙන් කෑගල්ල ට ආවේ අසූව දශකයේ මැද විතර. ඒ යැංකි ඩිකී ගේ අලුත් රටට. මගේ වටේ සිදුවන යමක් කමක් තේරුම් ගන්න ලොකු මහත් උනේ අසූව අග අනූව මුල වෙනකොට. ඒ වෙද්දී වැඩියෙන් මතකයේ තියෙන්නේ ගමෙන් නගරයට එනකොට පාරේ තිබ්බ ටයර් සෑයවල් කීපයක්. ඒ පුළුටු ගඳ එක්ක නගරයට එනකොට තිබ්බ දේවල් ටිකක් මට සිහියට එනවා. ඒ තමයි මගේ පශ්චාත් ජේ. ආර්. මානසික ලෝකය.
මම හිතෙන්නේ අට හෝ නවය වසර වෙනකොට මඟේ ඇසේ ගැටෙනවා කෑගල්ලේ තිබ්බ සිනමා ශාලා තුන. මුලින් චායා සහ ටාසන්. පස්සේ මිලානෝ. මේවයේ වැඩියෙන් පෙන්නුවේ බටහිර චිත්රපට. මට මතකයි 'මාතාහාරි' බැලුවා. තව කොල්ලෝ කීප දෙනෙක් එක්ක. ඒක බැලුවේ චිත්රපටය තේරුණු නිසා නෙවෙයි. සෙක්ස් කෑලි ටික නිසා. ඒ වෙලාවේ ඉස්කෝලේ අධ්යාපනයට වඩා මේවා ගැන හිත ගියා. කොහෙන් හරි ඉහල පංතියකින් 'ප්ලේ බෝයි' සඟරාව එනවා අපේ පංතියට. ඒවත් බලනවා. චායා එකට එන ඇමෙරිකන් ඇක්ෂන් ෆිල්ම් වගේම සෙක්ස් කෑලි තියන චිත්රපටත් බලන්න ගියා. ටාසන් එකටත් ගියා. මේකේ සිංහල ෆිල්ම් එකක් දිව්වොත් අනිකේ ඉංග්රීසි එකක් දුවනවා. නහකුණු ගගා දුවන සිංහල එක බලන්නේ නැහැ. අනිකට යනවා හොලිවුඩ් ෆැන්ටසි බලන්න. 'වැඩිහිටියන්ට පමණයි' කියල තියනවා නම් වඩාත් කැමතියි.
ඒ වගේම තමයි රෙකෝඩ් බාර් ටික. මම හිතන්නේ ඉස්කෝලේ ළඟ ඉඳන් ටවුම හරහා ආවොත් රෙකෝඩ් බාර් තුනක් විතර තිබ්බා. ඒවායේ ඉස්සරහා ගහල තිබ්බේ මයිකල් ජැක්සන්, මැඩෝනා, ජෝර්ජ් මයිකල්ලගේ ෆොටෝ. පෝස්ටර්. ලොකු බෆල් වලින් එයාලගේ සින්දු ඇහෙනවා. මුකුත් තේරෙන්නේ නැහැ. හැබැයි අමුතු සිංදු ඇහෙනවා. අමුතු හඬවල්. මට මතකයි එක තැනක තිබ්බා ටීනා ටර්නර් ගේ ලොකු පෝස්ටරයක්. තව ගොඩක් අයගේ නම් මතක නැහැ.
මියුසික් බෑන්ඩ් එන්නෙත් මේ වෙස්ට් එකේ ආක්රමණයත් එක්ක. බෑන්ඩ් කරනවා හෝ ඒවාට සෙට් වෙනවා කියන්නේ එක පිස්සුවක් අපේ කාලේ. මම හිතන්නේ මගේ ඕ ලෙවල් යාළුවෝ කිහිප දෙනෙක් බෑන්ඩ් ගහන්න බැස්සා. ඒවාට ඕනි ඇඳුම් ගන්න ම ලොකු කට්ටක් කෑව උන්. සල්ලිත් නැති එකේ.
මට මේ ගැන ගොඩක් ලියල ඔයාල වෙහෙස කරන්න ඕනි නැහැ. අද මේවා අමුතු දේවල් නෙවෙයි. ලැප් ටොප් එකේ එක ක්ලික් එකයි. සියල්ල ඔබ ඉදිරියේ. නමුත් අපේ කාලේ යම් කට්ටක් කෑව ඒ 'සංස්කෘතික කෑලි' ගන්න සහ ඒ එක්ක ජීවත් වෙන්න. කෑගල්ලේ නැත්නම් ගොඩක් වෙලාවට නුවර ගියා.
ඇයි පොම්පියෝ ආපු එක ගැන විරෝධාකල්පික අධිරාජ්ය විරෝධී ළිපියක් ලියල වීරයෙක් වෙන්නේ නැත්තේ? ඕනි තරම් කරුණුත් තියනවා නේද? කොච්චර නම් යටත් විජිත උගතුන් මේ ගැන ලියල තියනවා ද? නිදහස් අධ්යාපනයේ දරුවෝ නේද? මේවා දැවෙන ප්රශ්න තමයි.
හැබැයි එක අරගලයක් පොළොවට සමතලා කරලා ඒ පුළුටු දුම අතරින් ටාටා බස් කටුවක එල්ලිලා නගරෙට ආපු අපේ ඇඟේ බලෙන්ම හැපුණේ ජැක්සන් ල, මැඩෝනා ල, ක්වීන් ල, ජොන් බොන් ජෝවී ල. අදටත් මගේ ප්රොෆයිල් පික් එකේ ඉන්නේ ඇමෙරිකන් රොක් ලෙජන්ඩ් එකක් වෙන ක්රීඩන්ස් ක්ලියර්වෝටර් ල (Creedence Clearwater Revival). මම ඒ සංස්කෘතියට ආසයි. උන් උන් බවට පත් වෙච්ච විදියටත් ආසයි. Bruce Springsteen, Jon Bon Jovi, Lynyrd Skynyrd අදටත් මගේ වීරයෝ. ඒකත් අර කොඩිය ඉස්සුවා වගේම දෙයක් තමයි.
අදටත් අපේ කෙනෙකුට ඇමෙරිකා යන්න වීසා ගන්න අමාරුයි. හැබැයි MCC එක හින්දා අපේ උන්ට ඇමෙරිකන් පාස්පෝට් එකක් හම්බ වෙනවා නම් මම කැමතියි. ඕනි රටකට ඔන් අරයිවල්. තමන්ගේ හීනෙට යන්න.
බෝම්බ දෙකෙන් පස්සේ ජපානය තීරණයක් ගන්නවා. උන් ඇමෙරිකන් සංස්කෘතිය වැළඳ ගන්නවා. උන්ගේ එකත් පුළුවන් තරම් දුරට තියා ගන්නවා. හැබැයි ටොප් ඇමෙරිකන් ආර්ටිස් ල පළවෙනි ෂෝ එක උන්ගේ රටේ කළොත් දෙවෙනි ෂෝ එක ටෝකියෝ හරි ඕසකා හරි ගහනවා ම තමයි. එකක් ඒ තරමට ෆෑන්ස් ල ඉන්නවා. අනික එහෙම ගෙන්නන්න තරම් සල්ලියක් සංසරණය වෙනවා. අනික තාක්ෂනය තියෙනවා.
ඒ රට එක අමාරු තැනකදී තීරණයක් ගන්නවා. රටක් විදියට. ඒ තමයි අපි අපේ විදියකට බටහිර වැළඳ ගන්නවා කියල. එතැන ඉඳන් අද දක්වා ඇවිල්ල අද ජපානය ලෝකේ ප්රමුඛ ම ධනවත් රටක් බවට පත් වෙලා තියෙනවා. ජපන් පාස් පෝට් එක කියන්නේ ඇමෙරිකන් පාස් පෝට් එක වගේම ලෝකේ පිළිගන්නා පාස් පෝට් එකක්. පටස් ගලා ඉමිග්රේෂන් ක්ලියරන්ස් කරලා දෙනවා.
මම කියන්නේ ඇමෙරිකාවට අළුතෙන් ඇවිල්ලා ආක්රමණය කරන්න දෙයක් අපේ නැහැ කියල. අපේ මුළු ජීවන ෆැන්ටසි එකම එයාල ආක්රමණය කරලා ගොඩක් කල් (colonizing the life-world කියල කියන්නේ හබමාස්). ජේ. ආර්. උන්නැහැ කළේ බටහිර සංස්කෘතිය (ඇමෙරිකන් සංස්කෘතිය) අපේ ෆැන්ටසි එක කරපු එක. ඒකට ඉඩ දුන්න එක. ඇමෙරිකන් ෆැන්ටසි එක අපිට විතරක් නෙවෙයි ලෝකේ අනික් හැමෝටමත් පොදුයි (මම නෙවෙයි එහෙම කියන්නේ ඉන්දියාවේ සද්ගුරු). හැබැයි එකම දේ චීනය කියන්නේ අපේ සංස්කෘතික ෆැන්ටසි එකක් නොවීම. උන්ගේත් ෆැන්ටසි එක බටහිර වීම. මාවෝ කිව්වා වගේ බටහිරටත් වඩා බටහිර වීම. ඒ නිසා අපේ සංස්කෘතික අනෙකා චීනය නෙවෙයි. අපේ දේශමාමක අය උනත් අන්තිමට පදිංචි උනේ ඇමෙරිකාවේ නේ. චීනයේ නෙවෙයි නේ. ඒකම නිර්ණායකයක් නේ. ශරීරය මෙහෙ තිබුණට ඇමෙරිකාව අත හරින්න අදටත් කැමති නැති අය ගොඩක් ඉන්නවා. මානසික විප්රදේශගත (psychological de-territorialization) වීම පැත්තෙන් ගත්තොත් අපි ගොඩක් අය ඇත්තටම මනසින් ඇමෙරිකන් පුරවැසියෝ. මම වගේම.
ජපානය ඇමෙරිකන් ෆැන්ටසි එක ඇඹරෙන්නේ නැතුව පිළිගත්තා. ඇමෙරිකන් බව ඔස්සේ ගියා. ඩී. ටී. සුසුකි ල ඇමෙරිකන් ජීවන ලෝකය ඇතුලේ වැඩ පෙන්නුවා. සෝනි සමාගම ලෝකය ආක්රමණය කළා. ටොයෝටාත් එහෙමයි. තවත් ගොඩක් අය ඇති.
වසර තිහකට පස්සේ අදටත් අපිට යැංකි ඩිකී ගෙන් ගැළවෙන්න බැහැ. එයාගේ ෆැන්ටසි එකේ අපි ගොඩ දෙනෙක් හිර කාරයෝ. එයාගෙන් ගැළවෙන්න තියෙන එකම විදිය එයාගේ ෆැන්ටසි එක තරණය කරන එකම තමයි.
ඒ එක්කම මගේ අවසන් වාක්යය මෙච්චරයි. හරියන්න හරි වැරදෙන්න හරි කෙලින් තීරණයක් ගම්මු. හරිගියොත් එහෙමයි. වැරදුණොත් ඒකත් එහෙමයි. මම වැඩිය කැමතියි අපේ ෆැන්ටසි එක පැත්තට පක්ෂව තීරණයක් ගන්නවා නම්. එතකොට අපි අවම වශයෙන් අපේ හිතට හරි අවංකයි. අපේ ඇත්ත ආශාව වෙනුවෙන් තීරණයක් ගම්මු. බලය ඕනි අන්න ඒ දේ වෙනුවෙන්.
'බලය යනු ආත්ම විශ්වාසයයි'.
(මේ ලිව්වේ මගේ ෆැන්ටසි එක ගැන. ඒ නිසා අනික් අය ඒකෙ පැටලෙන්න උවමනා නැහැ).
කියවන්න: John Seeley (1967). Americanization of the unconscious. . New York: International Science Press.