Tuesday, September 25, 2018

පශ්චාත් නුතනත්වය යනු කුමක්ද?

'පශ්චාත් නුතනත්වය යනු කුමක්ද?' යන ප්‍රශ්නය සඳහා පිළිතුරු සෙවීම ලාංකික වපසරියක ආරම්භ කරනු ලැබුවේ අනුව දශකයේ මුල් භාගයේ පමණ විය යුතුය. ඒ 'ප්‍රවාද' සඟරාව හරහා ය. ඒ වනවිට තරුණ අරගලයක් චප්ප වී තිබු අතර තවදුරටත් විප්ලවයේ බලාපොරොත්තු එළි දැල්විය හැකි පසුබිමක් ඒ අන්ධකාරය තුළ පැවතියේ නැත. ඇතිවෙමින් තිබූ තත්වයන් මත කුමන අයුරකින් හෝ එවැනි සාකච්චාවක් ඇතිවීමට හේතු වුවේ ඒ වන විටත් පශ්චාත් නුතන බවේ ප්‍රශ්නය එවක පරම්පරාවට දැනෙමින් තිබුණ නිසා වන්නට පුළුවන. ප්‍රවාද සඟරාව ට සමගාමිව නිහාල් පිරිස් විසින් ලියන ලද 'අමරදේවලා, නන්දා මාලනී ලා, රූකාන්ත ලා සහ අපි' කෘතිය තුළින් අධිපති කලාව නිර්-හෙජමොනිකකරණය ආරම්භ වී තිබුණි.  මිචෙල් ෆුකෝ ගේ කතිකාව මේ වනවිට ලංකාව ට 'ප්‍රවාද' හරහා ම හඳුන්වා දෙමින් පැවති අතර බැලු බැල්මට ඔවුන්ගේ ප්‍රවේශය තුළ දක්නට ලැබුණේ ද පැවති බල අධිකාරියේ අව මානුෂික බව (ටයර් සෑය) වෙනුවට සිවිල් සමාජයට බලය විතැන් කිරීමේ ව්‍යාපෘතියකි. පැවති අධිකාරිමය ආණ්ඩුවේ පීඩනයේ සන්දර්භය තුළ මේ වනවිට මර්ධනීය කේන්ද්‍රීය අධිකාරිය වෙනුවට විකල්ප නුතන අවකාශයක් හඳුන්වා දීම ඉහත මතවාදයේ අවශ්‍ය ප්‍රථිපලයක් ලෙස සාධාරණීකරණය කරමින් පැවතිණි. 'විභවිය' යනු මෙවන් එක් විකල්ප අවකාශයක් (alternative space) බව එවකට එය ඇසුරු කල අයගේ ලේඛන හරහා අවබෝධ කරගත හැකිය (මේ විකල්ප අවකාශයන් ගේ කූට ප්‍රාප්තිය X ව්‍යාපෘතිය විය). ඒ වනවිට ගෝලීය වශයෙන් මෙම හෙජමොනික අධිකාරය විසංයෝජනය කිරීමේ කතිකාව ආරම්භ වී යම් කාලයක් ගතවී තීබුණි. විදේශ ගත වූ විශ්ව විද්‍යාල බුද්ධිමතුන් එවකට ජනප්‍රියව පැවති නුතනත්වය සහ කේන්ද්‍රීය බව ප්‍රශ්න කිරීම මෙරට තුළ ද ජනප්‍රිය කළේය. එම ප්‍රවේශය තුල ම පාහේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා අතින් ඩෙරීඩා පසුබිම් කරගනිමින් 'කලාව සහ විසංයෝජනය' ලියවෙන්නේ මෙම පවත්නා අධිපති (කලා) අවකාශය විසංයෝජනය කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙසය (පසුව ඔහු විසින් ලාංකික කලාවේ අශ්ලීල අන්තර්ගතය එළිදරව් කරනු ලැබීය). කෙසේ වුවද අද වනවිට ෆුකෝ ගේ නිර්-හෙජමොනික කතිකාව නැත්නම් ඩෙරීඩා ගේ විසංයෝජනීය සිහිනය ලංකාව තුළ සැබෑ වෙමින් ඇති බව මොනවට පැහැදිලිය. කේන්ද්‍රීය සමාජ වෙනසක් පිළිබද එක් මහා සිහිනයක් වෙනුවට කුඩා කුඩා ආඛ්‍යාන රාශියක් මේ වනවිට නෛතිකකරණය වී ඇති ඇති අතර ඒ අනුව ඒ කුඩා කුඩා ආඛ්‍යාන වටා කුඩා කුඩා කල්ලි කොළඹ අවට බිහිවෙමින් ඇත. වාම වාදී, පරිසර වාදී, ස්ත්‍රී වාදී, ලෞකික වාදී, සාහිත්‍ය රසිකත්ව, නාට්‍ය, කඳු නැගීම්, ආරණ්‍ය, ආශ්‍රම, බේකරි, වොක්ස් වැගන් බීටල්, මෝටර් සයිකල්, සෙල්ෆී වැනි දේ තම ලිබිඩෝ ශක්තිය මුදා හැරීමේ අවකාශ ලෙස තෝරාගත් ඒ කුඩා කණ්ඩායම් වටා එක් එක් වීරයින් ද (ගෝලීය සහ ප්‍රාදේශීය) බිහිවෙමින් ඇති අතර ඔවුන්ගේ ප්‍රකාශන ද මුහුණු පොත් අඩවි ද ඒ ලෙසම නොයෙක් ආකාරයෙන් ජනප්‍රියව ඉස්මතු වෙමින් ඇත. උදාවෙමින් ඇති පශ්චාත් ෆූකෝ-ඩෙරීඩා අවකාශය දැන් සුනිල් විජේසිරිවර්ධන, නිහාල් පීරිස්, රොහාන් පෙරේරා සහ කේ. කේ. සමන් කුමාර යන අයට සතුටු දායක කාලයක් වනු ඇති බවට සැකයක් නැත. සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ සහ කිරිබත්ගොඩ හාමුදුරුවන් සහ ඔවුන්ගේ ගෝළ බාලයන් එක් අතකින්නුත්, නවකතා කරුවන් සහ සාහිත්‍ය කරුවන් අනිත් අතිනුත්, මහායාන වාදීන් ඕෂෝ වාදීන් සහ සත්ගුරු වාදීන් තවත් පැත්තකිනුත්, මුහුණු පොත් වාසීන් තවත් අතකිනුත්, පශ්චාත් යටත් විජිත වාදීන් තවත් දිශාවක් ඔස්සේත් සැබෑවක් කරමින් ඇත්තේ මහා ආඛ්‍යානයන්හි නිර්-නෛතික කරණයෙන් පසු සහ බර්ලින් තාප්පයේ බිඳ වැටීම සමග පටන් ගත් පෙරස්ත්‍රෝයිකා බටහිර ව්‍යාපෘතියේ කූට ප්‍රාප්තියයි. අද අප ජිවත් වන්නේ මහා සිහින බිඳ වැටුණ සත්ගුරු ලෝකයක ය. ඉතිහාසය අවසන් වූ අවසන් මානවයාගේ පරම්පරාව වන අප ඉදිරියේ ඇත්තේ කුඩා සිහින පමණි. පොදු සමාජයක් නැති තැන ඉතුරු වී ඇත්තේ තමා තුලට ම පසුබැසීම පමණි. ඇත්තේ තමාගේ ම වූ විනෝදයක් පමණි. සැවොම අවුල් වී කෑ කොස්සන් ගසන පිදුරංගල චායාරූප අතරින් තෝරාගත් පහත චායාරූපය (1) දෙස් දෙන්නේ ඉහත පසු නුතන තත්වයේ ඔඩු දිව යාමට ය. වෙනත් වචනයකින් කිවහොත් මුහුණු පොතේ දිගට හරහට කුණුහරප ලෙස ලියවෙන්නේ සැමදා අප ඉදිරියේ දිගහැරෙන පශ්චාත් නුතනත්වය දිරවා ගැනීමට බැරි වීමේ වේදනාවයි. නුතන පන්සල යන්න විසංයෝජනය වී ඒ වෙනුවට විනෝදය සපයන පන්සල් කානිවල්කරණ අවකාශයක් නිර්මාණය වී ඇත. එයට බද්ධ වී ඇත්තේ සංචාරක ව්‍යාපාරය යි (පන්සල් සහ වෙළඳ පොළ බද්ධ කිරීමට කප් ගසා ඇත්තේ පසු නුතන ජපානය යි). සංචාරකයා යනු ගෝලීය විනෝද වන්නෙකි. පිදුරංගල පන්සලට මල් පුජා කිරීමට යනු වෙනුවට සීගිරිය පෙනෙන මානයේ සිට පසු නුතන ගෝලීය අප්සරාවන් යෝගී ක්‍රමයට උඩ පනින්නේ සහ පසු නුතන කාශ්‍යප ලා සීගිරිය දෙසට හැරී ජුන්ඩා පෙන්නන්නේ ත් එම වීකෘති ලිබිඩෝ (perverted libido) තත්වය මතය (මෙය චායාරූප වල සත්‍ය අසත්‍ය තාවය පිළිබද ගැටළුවක් නොවේය). කොමියුනිස්ට් සමාජයක් කෙසේ වෙතත් තමා පැතූ පශ්චාත් නුතන සිහිනය තම ජීවිත කාලය තුල ම සැබෑවක් වනු දැකීමට වාසනාව ලද පුණ්‍ය වන්තයෙක් වූ කේ. කේ. සමන් කුමාර (පශ්චාත් නුතන වාදයට දැන් කිසිදු කොක්කක් නැත) මහතා ඇතුළු අනෙකුත් අය දැන් ඒ තමන්ගේ විසංයෝජිත ශ්‍රී ලංකාව ගැන සිතන දේ දැනගැනීමට කැමැත්තෙන් සිටිමු. 



පිදුරංගල චායාරූප නියැදි 1 ප්‍රමෝදය ඉස්පොල්ලේ යාම සහ මම යන්න අන් සියල්ලට ම වඩා උඩට ඉස්මතු වීම මෙහිදී දැකගත හැක.  මෙය සත්ගුරු ගේ වචනය ට අනුව කොස්මික ප්‍රමෝදය (cosmic joy) යනුවන් නම් කළ හැකි උමතු ශිවා ගේ නර්තනයකි. විශ්වීය අනන්තය තුළ මමංකාරය දියවී යනු වෙනුවට මෙතැන සිදුවන්නේ අනෙකකි. සිගිරි ගල ට නැග්ග මම, කලිසම පාත් කරපු මම, සීගිරි ලලනාවන්ට ජුන්ඩා පෙන්නපු මම, යෝගී ඇක්ෂන් දාපු මම, පිදුරංගල ගලේ දී උම්මා දුන්න මම, මගේ ආතල් ෆේස් බුක් දාපු මම, යනුවෙන් නැවත නැවත ඉස්මතු වන්නේ තෙරක් පතුලක් නොමැති මමත්වය යි. මහා අනෙකා නොමැති ලොවක විනෝදය හැර නව සවිඥානිකත්වයක් මෙහි දැකගත හැකි නොවේ. 

රිට වල් වල ගැසූ මිනිස් ඔළු දකිමින්, පාළම් උඩ පෙළට තබා තිබු ලේ පෙරෙන මිනිස් ඔළු දකිමින්, බාගෙට පිළිස්සුන මිණී වල පුළුටු ගඳ නිසා නහය වසා ගනිමින්, කුමක් කළ යුතු ද යන්න නොදනිමින්, එම මිණී පසු කරමින් වික්ෂිප්තව මහපාරේ ගිය 'බෞද්ධ' අප ඉහත විසංයෝජනීය ප්‍රවාද කතිකාවට ඉබේම ආකර්ෂණය විය. බෞද්ධ යැයි කියන රටක මෙසේ සිදුවුවේ කෙසේද? එය අපට එවකට නොවිසඳුණු ප්‍රශ්නයක් වූ අතර ප්‍රවාද කතිකාව ඒ අර්ථයෙන් නැවුම් ප්‍රවේශයක් විය. විනාශ වී ගිය බුදුන්ගේ දේශයේ බුදුන්ගේ අභිධර්මය වෙනුවට අප ෆූකෝ ගේ ධර්මයට ආශක්ත විය. පවත්නා අධිපති මිනීමරු ව්‍යුහයන් විසංයෝජනය විය යුතුය. ඔව්. ඒක ඇත්ත තමයි. 'පිටස්තරයා' නව කතාවේ පරිවර්තනය තව තවත් අපේ ලෝකය තුළ අර්ථවත් විය. මර්සෝ වැනි වෙනස් මිනිහෙක් තේරුම් ගන්න බැරි ව්‍යුහ අකා මකා දැමිය යුතුය. ඔව්. ඒක ඇත්ත. අපට සිතුණේ එසේය. මර්සෝ මෙන් ජීවත් වීමට උත්සාහ කළ අපට දෙදාහේ දශකය පටන් ගන්නා විට නැවත පණ ගසමින් සිටි සෝමවංශ ගේ ජ. වි. පෙ. කොතරම් පරණ දැයි අප අපගෙන්ම අසා ගත්තේ ය. ඒ වෙනුවට බටහිර කේන්ද්‍රීය වූ X කණ්ඩායම මාර අලුත් දෙයක් විය. 'මාතොට' හරහා පැමිණි ඕෂෝ කතිකාවේ ආදරය පිළිබද භාවයෝගී පෙරදිග ප්‍රවේශය (mystic approach) අපට කට පාඩම් වන තරම් නැවුම් විය (මෙතැනදී සිදුවූ දීප්ති රොහාන් පෙරදිග අපරදිග සුසංයෝගය මෙම කතිකාව වඩාත් ආකර්ශනීය කළේය). මේ ආකාරයට ඇත්ත වශයෙන් අපේ ජිවිත පටන් ගත්තේ පශ්චාත් නුතනවාදීන් ලෙස යනුවෙන් යමෙක් කිවහොත් එය වරදක් නොවේ. එයින් අදහස් කරන්නේ බෞද්ධ කම මිණී මරනවා යන පශ්චාත් නුතන තත්වය මඟ හරිනු වස් අප හැරුනේ තවත් පශ්චාත් නුතන දිශාවකට (from postmodern Buddhism to western postmodernism) යන්න ය. එනම් විසංයෝජනයේ දිශාවට ය. එම බටහිර පශ්චාත් නුතන බව පවා ඉස්මතු වන්නේ බටහිර බුද්ධාගම ඔස්සේ ම ය. ජර්මන් නීට්ෂේ සහ ප්‍රංශ සාන්දෘස්ටික මුලයන් එහි උල්පත විය. ඒ දෙකම පිටුපස ඇත්තේ මහායාන බෞද්ධ මුලයන් ය. මෙයින් අදහස් වන්නේ අප මුහුණ දුන් නුතන ව්‍යාපෘති දෙක වන පශ්චාත් යටත් විජිත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය (ඩී. එස්. සහ ජේ. ආර්.) සහ මාක්ස්වාදය (එන්. එම්. සහ රෝහණ විජේවීර) යන ප්‍රපංච දෙකේ (අ)මානුෂික මුණ ගැසීම (විජේවීර සහ ප්‍රේමදාස) වෙතින් උරුම කළේ නැවත වරක් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් 'මම' කේන්ද්‍ර කරගත් බෞද්ධ අනන්‍යතාවයක් වෙත පසු බැසීම (retreat) යන්නය. දේශපාලනයේ ක්ෂිතිය නම් අනතුරු දායක බව මඟ හරිණු වස් 'සමාජය' හෙවත් 'සාමුහික බවින්' මම වෙත අප ආපසු ගමන් කිරීමට පටන් ගත්තේ ය. සමාජය විසංයෝජනය කරමින් මම ඉස්මතු විය. වෙනස්ම කාටේසියානු කොගිටෝ තත්වයක් ලෙස නම් කල හැකි මෙම මානසික වියවුල් බවේ අවසානය වුවේ ජිජැක් නිවැරදිව සඳහන් කරන නරුම වාදයක ආරම්භය යි (මිණී කඳු උඩින් ජේ. ආර්. ගේ වෙළද පොළ වෙත ගමන් කල බෞද්ධ 'මම' යන්න නැවත වරනැගීම යනුවෙන් එය අපට හැඳින්විය හැක). යථාර්තයේ නො-ඇලෙමින් එම කාලකන්ණි යථාර්තයේ ම ජිවත් වන්නේ කෙසේද යන්න ප්‍රගුණ කිරීමේ දර්ශනය වෙතට අප නිරායාසයෙන් ම ඇදී ගියේය. ලිබරල් නුතනත්වය (modernity) වෙතින් උසස් නුතනත්වය (higher modernity = බ්‍රෙෂ්ට් විශ්වාස කල සමාජවාදී සමාජය) වෙත ගමන් කරනු වෙනුවට අප සියල්ලෝම දෙවන තරුණ නැගිටීමේ පරාජයත් සමග පශ්චාත් නුතන බව වෙතට පල්ලම් බැස ගිය බව අප පිළිගත යුතුය. එයට වඩාත් පහසුකම් සැපයුයේ වෙළඳ පොළයි. යන යන අත ඇසුනේ 'සිරස' රේඩියෝ වයි. තත්වය මෙසේ නම් ඔබලා දැන් මේ කතා කරන සද්ගුරු වාදය කුමක්ද? එය පශ්චාත් නුතන නොවේද? ඉහත තත්වය ගැන ඔතරම් සවිඥානික නම් නැවත බෞද්ධ හෝ පෙරදිග සද්භාවය වෙත අප නැවත ගමන් කරන්නේ ඇයිද යන්න සාධාරණ ප්‍රශ්නයක් ලෙස අප පිලිගනිමි. නමුත් එසේ කිරීමට හේතුව අප පැහැදිලිව සඳහන් කර ඇත. එම නැවත හැරීමට හේතුව නම් සමකාලීන දේශපාලනය තුළ පවතින කුහක කම (hypocrisy), මමංකාරය (egoism), සහ නරුමවාදී (cynicism) බවයි. අධ්‍යාත්මික පිරිහීමයි (spiritual bankruptcy). ගේම් මානසිකත්වය යි. අසීමිත තරඟය යි. 'මම' හැර අන් කෙනෙක් ඉස්මතු වනු දැකීමට ඇති අකමැත්තයි. එසේ ඉස්මතු වන්නේ නම් 'ගහලා' දැමීමයි. ඉහත තරඟකාරී 'නුතන' මමත්වය තුළ මිනිස් ආත්මය (යනු ශුන්‍යක් යන්න) තම අභ්‍යන්තරය තුලින් ම නැවත නිර්මාණය කරන්නේ නැතිව (විසංයෝජනය කරන්නේ නැතිව) කුමන සමාජ මොඩලයක් අත්හදා බැලුවද ප්‍රයෝජනයක් නොමැති බව අපගේ තර්කය යි. තමා යනු සමස්ත විශ්වය තුළ ඉතාම කුඩා පැවැත්මක් පමණකි යන්න තේරුම් ගැනීම මෙම ශුන්‍යතා ප්‍රවේශයේ ආරම්භයයි (ජපානය යනු ශුන්‍යතාවයේ භූමිය යි). එම අර්ථයෙන් 'අධ්‍යාත්මික' යනුවෙන් අදහස් කරන්නේ ආගමික වීම නොව පවත්නා සවිඥානිකත්වයෙන් නව සවිඥානිකත්වයක් (new consciousness) වෙත මිනිසා ගමන් කිරීමයි. සරල ම උදාහරණයක් හරහා ගෙනහැර දැක් වුවොත් එවරස්ට් කන්ද යනු තරණය කර පරාජය කළ යුතු යමක් ලෙස නොව අපගේ ම පැවැත්මේ කොටසක් ලෙස තේරුම් ගැනීමයි. ඒ අනුව තමා ඉදිරිපිට සිටින අනෙකා යනු තමන්ගේ ම කොටසකි යන සවිඥානය මළ කඳන් මත ඇවිද යන පශ්චාත් නලිනියානු ශ්‍රී ලංකික ජාතියට වැදගත් නොවේද? මෙතැනදී අප අතීතකාමී පශ්චාත් නුතනත්වයේ ආපසු ගමනයේ (nostalgic retreat) දේශපාලනයෙන් වෙනස් වේ. ඉතිහාසයෙන් ගත හැකි යහපත් දෙය සද්භාවී ලෙස අරගෙන අප ගමන් කරන්නේ බ්‍රෙෂ්ටියානු නුතනත්වය වෙතට ය යනුවෙන් කිවහොත් එය  වරදක් නොවේ.   
  
'මම' නම් තත්වය කුඩා ළමයෙක් මුල්වරට හඳුනා ගන්නේ කණ්නාඩිය හරහා බව ෆ්‍රොයිඩ් ගේ නිරීක්ෂණය යි. සෞඛ්‍ය සම්පන්න පෞරුෂ වර්ධනයක් සඳහා 'මම' යන්න හඳුනා ගැනීම අවශ්‍ය බව ෆ්‍රොයිඩ් පෙන්වා දෙයි. මන්ද මම යන්න ස්ථාවර ලෙස හඳුනා නොගත් කෙනෙක් තුළ දැකගත හැක්කේ ඉඩ් සංස්කාරය පමණක් වන නිසාය (සත්ව සහජය). වෙනත් විදියකින් කිවහොත් 'මම' යන්න ස්වයං ආරක්ෂණ විධි විධානයක් ලෙස පුද්ගලයෙක් නොදන්නේ නම් ඔහු යන්නේ මරණය දෙසට ය යන්න ෆ්‍රොයිඩ් ගේ ඉගැන්වීමයි. එනයින් මට යම් කරදරයක් මම කරන දෙය නිසා සිදුවෙයිද යන තිගැස්ම යම් කෙනෙකුට සෞඛ්‍ය සම්පන්න ලෙස මතුවන්නේ ඉහත මම යන්න ස්ථාපිත වි තිබීමේ කොන්දේසියක් ලෙසිනි. මෙතැනදී උපරි අහම කන්නාඩියක් ලෙස ක්‍රියාත්මක වී තමා කල යුත්ත නොකළ යුත්ත පිළිබදව මාලිමාවක් සපයයි. තම කලිසම පොදු ස්ථානයකදී පහත් කිරීම වැනි කටයුත්තක දී සිදුවන නීතිමය ප්‍රශ්න ගැන නොසිතන්නේ 'මම' යන්න නිවැරදි ලෙස ආරක්ෂණ ආවරණයක් (self-preservation) ලෙස පුද්ගලයා තුළ ගොඩ නැගී නොතිබීමේ ප්‍රශ්නයක් නිසාය. මම මාව ආරක්ෂා කරගත යුතුය යන හැඟීමෙන් එවන් සංකේතීය පිළිගැනීම් එවැන්නෙක් උල්ලංඝනය කරන්නේ නැත. නමුත් ඇතැම් තැන් වලදී මිනිසා ආරක්ෂණ ආවරණයෙන් සහ සංකේතනයෙන් ඔබ්බට ගමන් කරමින් වීරයින් බිහි කරයි. උදාහරණයක් ලෙස විප්ලවීය සන්දර්භයක දී මිනිසා සංකේතනය උල්ලංඝනය කරන්නේ වෙනත් උසස් සංකේතීය පිළිවෙලක් ගොඩ නගා ගැනීමේ අභිලාෂයෙනි (Mother Courage and Her Children නම් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය යේ කැතරින් නම් ගොළු දියණිය කතෝලික සොල්දාදු වන්ගෙන් ගම්මානය බේරා ගැනීම වෙනුවෙන් කරන ජීවිත කැපකිරීම ගැන සිතන්න). නමුත් මේ වනවිට උල්ලංඝනය සිදුවන්නේ උසස් අරමුණු වෙනුවෙන් නොව හුදු පුද්ගලික අභිලාෂයන් සඳහා ය. ජනප්‍රියතාව ය සඳහා ය. සෙල්ෆි ගැනීම වෙනුවෙන් මියයන ස්වරූපරාගී රෝගීන්ගේ ස්වයං විනාශකාරී මරණ ආශය (thanatos) කුළුගන් වන්නේ පශ්චාත් නුතන උල්ලංඝන විනෝද තත්වය විසින්ය. බ්‍රෙෂ්ට් ගේ කැත්රින් සමාජයක් බේරා ගැනීම වෙනුවෙන් ජීවිතය පූජා කරද්දී පිදුරංගල යුගය තුළ මරණ ආශය ක්‍රියාත්මක වන්නේ සෙල්ෆි චායාරුප ගැනීමට ගොස් ගල පල්ලේ වැටී මියයාම වශයෙනි. එසේ නොමැතිව ගැඹුරු සමාජ වෙනසක් සඳහා ජීවිතය පරිත්‍යාග කිරීමක් වශයෙන් නොවේය. එයට හේතුව මෙම තරුණ පරම්පරාවේ පුද්ගලික ප්‍රශ්යක් නොව තම නිර්මාණ ශක්තිය (libidinal energy) සමාජ වෙනසක් සඳහා සංවිධානය කර දීම වෙනුවෙන් වූ සමාජ දේශපාලන ව්‍යාපාරයන් නොමැති වීමේ සන්දර්භයයි. මම යන්න ආරක්ෂණ ව්‍යුහයක පවත්වා ගනිමින් ම (ෆ්‍රොයිඩ්) පුද්ගල නිර්මාණ ශක්තිය උසස් සමාජ කටයුත්තක් වෙනුවෙන් ප්‍රති සංවිධානය කරන්නේ කෙසේද යන්න (ලෙනින්, මාවෝ සහ චේ) රූපකයක් ලෙස නිර්-නෛතික වීම ජ. වි. පෙ. මර්ධනයෙන් පසු ආරම්භ වීමත් සමග ම ගොඩ නැගෙන අරාජක රාජ්‍යයේ කොටි සංවිධානය අවසන් වීමත් සමග ආවා කල්ලිය නැවත ඉස්මතු වන්නේ කෙසේද යන්න පැහැදිළි කලයුතු නැතැයි සිතමු. බුර්ෂුවා නීතිය ක්‍රියාත්මක කීරීම ඔස්සේ හෝ තරුණ 'හස්ථ කර්මාන්ත' සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ණය ලබා දීම ඔස්සේ මේ දේවල් නතර කළ හැකි යැයි කල්පනා කිරීම යනු දේශපාලන මනෝ විශ්ලේෂණය නොදැනීම පිළිබද ගැටළුවක් පමණ ය. මිනිසාගේ නිර්මාණ ශක්‌තිය දේශපාලනික කිරීම යනු හුදු ත්‍රී රෝද රථ එළවීමට හෝ චුයින්ගම් කෑමට ලඝු කළ හැකි දෙයක් නොවන බව ලාංකික රෝයල් බුර්ෂුවා කල්ලිය තේරුම් ගත යුතුය. කළ යුත්තේ එකතැන පල්වෙන තරුණ පාර්ලිමේන්තු නොව තරුණයින්ගේ 'මම' නම් ලිබිඩෝ නිර්මාණ ශක්තිය අර්ථවත් දේශපාලන ව්‍යුහයක් වෙත පොලා පැන්නවිමයි. ඒ සඳහා ධනේශ්වර දේශපාලනය පොහොසත් නැත. නමුත් අපට දිය හැකි විකල්පයක් ද නැත. එසේ වුවද විකල්පයක් සෙවීම අප නතර කර ද නැත.   
    
නියැදි 2 මෙම චායාරූපය ඩේලි මේල් අනුග්‍රහයෙනි. සත්‍ය චායාරූපයක් දැයි නොදන්නෙමු.  බ්‍රසීලයේ පිහිටි පෙඩ්රා දි ගාවියා (Pedra de Gavea) ගල් පොත්තේ සිට ගනු ලැබූ ඉහත චායාරූපය පසු ගිය දිනවල ලොව පුර වයිරල් වී ගියේය. ලෝක ජන මාධ්‍ය මෙම බ්‍රසීල ගල් කොමුවේ චායාරුප හදුන්වන්නේ තරුණයින්ගේ මිය යාමේ උමතු චායාරූප වශයෙනි. ඉදින් චේ ගේ ලතින් අමෙරිකාවේ අද පසු නුතන ලිබිඩෝ වේ මරණිය තත්වය මෙයයි.   

ඉදින් ප්‍රචණ්ඩ (දිව්‍යමය වෙනස යනුවෙන් ජිජැක් හඳුන්වන දෙය) සමාජ වෙනසක් සඳහා පැවති සමාජ අන්තර්ගතය ගැඹුරු පරිවර්තනීය වෙනසක් සඳහා දිශානත කරවීම පිළිබද කතිකාව සහ වැඩ පිළිවෙල හැත්තෑ එකෙන් ආරම්භ වී අසූ නවයෙන් ඉවර වූ අතර එහි දකුණේ ප්‍රකාශකයා වූ විජේවිර සහෝදරයා මහපාරේ පුළුස්සා දැමීම එහි සංකේතිය අවසානය සනිටුහන් කළේය. එවකට ලෝක ගෝලය පුරා පැවති රැඩිකල් සමාජවාදයේ රැල්ල (චේ ඇතුළු රෝමාන්තික රැඩිකල් වාදීන් මෙන්ම මාවෝ වාදී අධිරාජ්‍ය විරෝධය) මේ මනෝ රාජිකය තවත් ශක්තිමත් කළේය. ඉදින් ලාංකික සන්දර්භයක මම යන්න නුතනත්වය වෙත නිර්මාණශීලිව පොළා පැන්නවිම පිණිස වූ 'නිෂ්පාදනය' මුල් කරගත් අත්හදා බැලීම් ගණනාවක් පසුකරනු අපට නිදහසෙන් පසුව දැකගත හැකිය. ප්‍රධාන වශයෙන් ගත් විට එකක් ප්‍රචණ්ඩ ලෙස සමාජවාදය මුණ ගැසීමේ ක්‍රමය වූ (විජේවීර) අතර අනෙක ප්‍රචණ්ඩ ලෙස ධනවාදය මුණ ගැසීමේ ක්‍රමය විය (ජේ. ආර්.). මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැද මාවතක් ද හඳුන්වා දෙන ලදී. එය දේශීයත්වය හරහා නුතනත්වය මුණ ගැසීමේ ක්‍රමය විය (සරච්චන්ද්‍ර විසින් ජපන් කතිකාව හරහා පේරාදෙණිය ගුරු කුලය ඔස්සේ නෛතික කරණය කළ දෙය. මෙය මෙතෙක් ලංකාව තුළ බිහිවූ වඩාත්ම වැදගත් සංකල්පීය ප්‍රවේශය වූ අතර මෙය විවිධ ආකෘතියෙන් අද දවසේ අමරසේකර නලින් දක්වාම ගමන් කරයි). ඩී. එස්. සේනානායක යුගය තුළ ගල්ඔය ව්‍යාපෘතිය මුල් කරගත් ගොවි ජනපද හරහා කෘෂි කර්මාන්තය මෙම දේශීයත්වයේ ආරම්භයයි. මෙම කෘෂි ව්‍යාපෘතිය නුතන කරණය කිරීමට උත්සාහ කිරීම ඩඩ්ලි යුගය තුළ සිදුකෙරුණු අතර තවත් දේශීය නිෂ්පාදන මෙහිදී හදුන්වා දෙන ලදී. සිරිමා බණ්ඩාරනායක යුගය යනු මෙම දේශීය නිෂ්පාදනය හරහා නුතන සංවර්ධනය වෙත ගමන් කිරීමේ මොඩලයේ උත්කෘෂ්ට යුගයයි (මෙම යුගය අදටත් අපේ පරම්පරාවේ අයට නොස්ටැල්ජියාවකි). පිටරටින් මොනවා පැමිණියත් අදටත් අපේ මිනිස්සු සොයන්නේ සංස්ථා අරක්කු ය. සංස්ථා සිමෙන්ති ය. සංස්ථා කම්බි ය. සංස්ථා ටයර් ය. මේ යුගයේ යම් ආකාරයකට විදේශ විනිමය කළමනා කරණය වූ අතර විදේශ සංචිත අතිරික්තයක් මේ යුගය තුළ දැකගත හැකිවිය. අද දවසේ පවා ඩොලරය වැටීම නවත්වා ගැනීම පිණිස නැවත අපට සිතා බැලීමට සිදුව ඇත්තේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ ක්‍රම වේදයන් පිළිබදව ය. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉහත මොඩලය (චින්තන සහ භෞතික) කුඩු සම්බෝල කර දැමුවද, හාල් පොළු නිසා මිනිසුන් විශාල වශයෙන් පීඩාවට පත් වුවද, බණ්ඩාරනායක පවුල බාස්මතී සහල් අනුභව කළා වුවද, මේ මොඩලය වනාහී බොහෝ ජාතින් විසින් එවකට අත්හදා බැලු ක්‍රමවේදයකි. මැලේසියාව පවා තම සංවර්ධන ක්‍රමෝපායන් සකස් කර ගත්තේ අප දෙස බලා බව නොයෙක් තැන්හි කියවේ (අද අපට ඔවුන් දෙස බැලීමට සිදුව ඇත). එදා උපාලි විජේවර්ධන අපේ රටේ කාර් නිෂ්පාදනය කල අතර අද අප ජපන්, කොරියන්, ඉන්දියානු කාර් හම්බන්තොට වරායෙන් පැමිණෙන තුරු බලා සිටිමු. වේයන්ගොඩ තුල්හිරිය වසා දමා ඇඳුම් පිටරටින් ගෙන් වමු. පාඩු ලබන සියල්ල විකුණා දැමිය යුතුය යන මතවාදයේ සිටින රනිල් වික්‍රමසිංහ නම් ජේ. ආර්. ගේ මුණුපුරා බලන්නේ දේශීය කර්මාන්ත දියුණු කිරීම ගැන නොව දේශිය දේට වඩා මිළ අඩුවෙන් මොකක් හරි මල දානයක් පිටරටින් ගෙන්විය හැකි නම් එසේ ගේනවා වෙළඳ පොළට තල්ලු කිරීමට ය. ඔහු ලංකික මිනිසුන්ගේ වෛරයට පාත්‍ර වී ඇත්තේ මෙම අදූරදර්ශී බටහිර දැක්ම නිසාය. අද අපට ණය වීමට සිදුව ඇත්තේ මේ පුළුල් ජේ. ආර්. සන්දර්භය යටතේ මිස මහින්ද රාජපක්ෂ විසින් ගත් ණය වලින් යම් යම් 'දේශීය වටිනාකම් එකතුකිරිම' නිසා නොවේ (local value addition). මිනිසුන් මහින්ද ට ආදරය කරන්නේ මෙම දේශීය දැක්ම නිසා ය. අපේ දෙය නැති වුව හොත් අප ද නැතිවන නිසාය (මෙහිදී අප විසින් කෙරෙන්නේ යම් ප්‍රපංචයක් පෙන්වා දීම මිස මහින්ද සාධාරණී කරණය කිරීම නොවේ). මේ අන්තවාදී ධනපති ක්‍රමයේ ගැටළුව සජිත් ප්‍රේමදාස වැන්නෙක් යම් තරමකට තේරුම් ගෙන තිබීම වැදගත් ලක්ෂණය කි. පුද්ගලයින් එහේ මෙහේ කිරීම පවත්නා අර්බුදයට විසඳුමක් නොවුනත් ඉහත අර්ථයෙන් ගත්විට මෛත්‍රී මහින්ද සහ සජිත් ප්‍රේමදාස යන පාර්ශවයන් එක් වී යම් දේශීය වටිනාකම් ප්‍රමාණයක් ආර්ථිකයට එකතු කරන්නේ නම් එය පවත්නා අර්බුදය තුළ වැදගත් විය හැකිය (වටිනාකම් එකතු කිරීම සඳහා හොද උදාහරණයක් වන්නේ මයික්‍රෝ කාර් සමාගමයි. පිටින් වාහන අමතර කොටස් ගෙනවිත් ඔවුන් කරන්නේ දේශීය ව එකලස් කිරීමයි. අප විසින් එකතු කරන ශ්‍රමය සහ නිර්මාණශීලි බව වටිනාකම් එකතු කිරීමයි. නිමි ඇඳුම් කර්මාන්තය ඇතුළු මේ සඳහා තව උදාහරණ ඕනෑ තරම් ඇත. අපිට පසුව පටන්ගත් වියට්නාමය විසින් සිදුකරමින් ඇත්තේ මෙය වන අතර ඔවුන් වේගයෙන් ඉදිරියට යමින් ඇත). ගෙඩි පිටින් පිටරටින් ලේලන්ඩ් බස් ගෙනෙනවා වෙනුවට අප විසින් බස් නිපදවීම පටන් ගත යුත්තේ මේ ආකාරයට ය (වේරහැර සිදු වුනේ මෙයයි). එමෙන්ම වාහන බලපත්‍ර සඳහා මෙම දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට පෙළඹවිය යුතුය. අපිට පටි තද කරගන්න කියා මුලින්ම වාහන ගෙන්වූ අපූරු ඇමතිවරුන්ට මෙම දේශීය වාහන ගැනීමට සැලැස්විය යුතුය. කෙසේ වුවද මේ සියලු දේ සඳහා අවශ්‍ය වන්නේ නව සවිඥාණික බවකි. සත්ගුරු කියන ආකාරයට වෙළඳ පොළට වුවමනා විදියට හැසිරෙනවා වෙනුවට (රනිල් මොඩලය) අපට අවශ්‍ය ආකාරයට වෙළඳ පොළ හැසිරවීම ට අප ඉටා ගත යුතුය.        
      
සත්ගුරු ගේ මතවාදය වැදගත් වන තවත් මානයක් ඇත. එනම් නුතන පැවැත්මට විකල්පව ඇති තවත් පැවැත්මේ මානයක් ඔහු විසින් හදුන්වා දීමයි. ධනවාදය තුළ මිනිසා තම ශ්‍රමය විකිණිය යුතුම ය. මාක්ස් ගේ නුතන මිනිසා ද අවශ්‍යයෙන්ම ශ්‍රමය යන්න සමග බැඳී ඇත. එනම් 'වැඩ කිරීම' (මානසික හෝ කායික) සහ හුවමාරු වටිනාකම (මුදල් සහ වේතනය) තුළ හැර මිනිස් පැවැත්මට වෙනත් මානයක් එකතු කිරීමට මාක්ස් ට හැකිවුයේ නැත. නිෂ්පාදනයට සම්බන්ද වීම හැර වෙනත් පැවැත්මේ නිර්මාණශීලි මානයන් දැන ගැනීමට ඔහුට අවශ්‍ය වුවේ නැත. ඔහු ඉන්දියාව ගැන නොසැලකිලිමත් වන්නේ ඇතැම් විට ඒ නිසා විය හැකිය. නමුත් සත්ගුරු දක්වන්නේ නුතන මුල්‍ය වටිනාකම ගැන සිතන්නේ නැතිව යම් ගැහැණියක් තම නිවස සහ දරුවන් වෙනුවෙන් තම නිර්මාණ ශීලි පැවැත්ම කැප කරන්නේ නම් එය අපගේ ඊළඟ පරම්පරාව යහපත් වීමට බලපෑ හැකි කරුණක් බවයි. තමා කෝච්චියේ නිදා ගැනීමට පෙර හිස් සුදු කොට්ට උරයක පමණක් නිදා ගැනීම මදිකමක් ලෙස දුටු සත්ගුරු ගේ මව මිනිත්තු පහක් ඇතුලත මසා දුන් කොට්ට උරයේ ගිරවා ගේ රූපය තවමත් ඔහුගේ මනසේ රැව් දෙනබව සත්ගුරු එක්සත් ජාතීන්ගේ දේශනයකදී පවසයි. මව යනු එවන් නිර්මාණශීලි අවකාශයක් මිස අනිවාර්යයෙන් 'වැඩට' යා යුතු අයෙක් නොවේය යන්න ඔහුගේ මතයයි (ස්වජ්න්දතාවය නොවේ නම්). එනයින් අනාගත පරම්පරාව ගොඩ නැගීම වෙනුවෙන් තීරණාත්මක වන එවන් නිර්මාණශීලි ස්ත්‍රී අවකාශයක් හුදු 'බත් තම්බන අම්මා' කෙනෙකුට ඌනනය කිරීම අමානුෂික ක්‍රියාවකි. බොහෝ පිරිමි අද මහා සමාජය ඉදිරියේ කෙළින් හිටගෙන ඉන්නේ එවන් බත් අම්මලා නිසා බව පිරිමි ලෙස අප තේරුම් ගත යුතුය. ඉදින් නිෂ්පාදන නොවන අර්ථයකින් වඩාත් නිර්මාණශීලී වියහැකි එවන් ස්ත්‍රී අවකාශයක් අප බටහිර ඩෙරීඩා හමුවේ විසංයෝජනය කළ යුත්තේ ඇයිදැයි නොතේරේ. රෙද්ද හැට්ටය ඇදීම හෝ නො ඇඳීම ඇයගේ අයිතියක් වන අතර මවක් වීම යනු හෙළා දැකිය යුතු 'නිකම් සිටීමක්' නොවේ. නුතනත්වය තුල අප ගැහැණිය ඇද දමා ඇත්තේ අර්ථ ශුන්‍ය අවකාශයකට බව සත්ගුරු ප්‍රකාශ කරයි. ඇමෙරිකාවේ සමාජ ශාලාවක වයස හතලිහක් පමණ වූ ගැහැණු කෙනෙක් කව්රු හෝ පිරිමි කෙනෙක් අවුත් තමාට බීම වීදුරුවක් මිළ දී කොහේ හෝ නන්නාදුනනා තැනකට රැගෙන යන තුරු ඔහේ බලා සිටීම කුමන කාලකන්ණි කමක් දැයි ප්‍රශ්න කරන සද්ගුරු අප ගැහැණිය දමා ඇති ස්ථානය ගැන කම්පා වෙයි. හැත්තෑව දශකයේ චේ ගේ ටී ෂර්ට් ඇඳ ගෙන ඉන්දියාව පුරා මෝටර් සයිකලයෙන් රවුම් ගැසූ සත්ගුරු තම නැක්සලයිට් භාවිතාව වෙනුවට මනුෂ්‍ය සවිඥාණය වෙනස් කරනු වස් වෙහෙසෙන්නේ මිනිසා වෙනස් නොකර අන් කුමන දෙයක් වෙනස් කලත් පලක් නොවන බැවිණි. උදාහරණ වශයෙන් ගත්විට මනුෂ්‍ය බුද්ධිය සහ තර්ක ඥානය හොදින් පිහිටා ඇති සහ වෘත්තීය ආචාර ධර්ම හොදින් දන්නා වෛද්‍යවරියක් වැරදි ලෙස ධාවනය කළ තම රථයට මිනිසෙක් යට වී මිය ගිය විට එය යටපත් කර තමාගේ ම වෘත්තියේ ගෝත්‍රික සගයන් විසින් වැරදි වෛද්‍ය සහතික දෙන්නේ නම් එම මනුෂ්‍ය බුද්ධියෙන් ඇති වැඩය කුමක්ද? තවත් අයෙකුගේ ජීවිතයේ අයිතිය දරා සිටින අති උතුම් වෘත්තියක් මෙලෙස ගෝත්‍රිකකරණය කළෝ කවරහුද? තම පැවැත්ම වෙනුවෙන් මිනිසා ඕනෑම දහදුරා වැඩක් කරන්නේ ඇයි? තමා ලෙසම අනෙකා ද තමාගේ ම පැවැත්මේ දිගුවක් ලෙස තේරුම් ගත්තේ නම් හිට්ලර් කෙනෙක් බිහිවේද? තමා මෙන්ම තමා ඉදිරිපිට ඇති ගස යනු තමාගේම පෙණහැල්ලෙන්  තුනෙන් දෙකක් දරා සිටින අයෙක් (දෙයක් නොව) යනුවෙන් තේරුම් ගන්නෙක් ගසක් කපා දමනු ඇත්ද? මේ මිනිස් සවිඥාණය පිළිබදව සද්ගුරු අසන ප්‍රශ්න වලින් කිහිපයක් පමණ ය. 

ඉදින් ඉහත මනුෂ්‍ය ස්වභාවය නැවත අර්ථකතනය කළ යුතු යැයි කියවෙන අධ්‍යාත්මික සද්භාවයක් නුතන නොවන්නේ කෙසේද (පසු නුතන යැයි කියන්නේ කෙසේද)? ආගම යනු මිනිසා කුඩා කාලයේ අත්දකින ලද අසරණ බව පිළිබද මතකයෙන් ගැලවීමේ හුදු මනෝ විශ්ලේෂී උපක්‍රමයක් පමණක් ද? 'ශිෂ්ටාචාරය සහ එහි ආතතීන්' (Civilization and Its Discontents: 1930) හි කියවෙන පරිදි මිනිසා 'ශිෂ්ට වීම' යනු අපගේ පුර්වජයා නැත්නම් මුතුන් මිත්තන් ගෙන් සහ ස්වාභාව ධර්මයෙන් වෙන්වීමට කරන ලද ප්‍රචණ්ඩ උත්සාහයක් නම් සහ මිනිස් බුද්ධියේ උත්කෘෂ්ට බව විසින් ස්වභාව ධර්මය ද්විතීයික කිරීමේ උත්සාහයක් නම් ඉදින් ඉන්දීය වෛදික දර්ශනය සහ යෝගී සංස්කෘතිය යනු ස්වාභාව ධර්මය සමග නැවත ආත්මීය ලෙස සම්බන්ද වීම ලෙස ගත හැක (සෙන් දර්ශනයේ පසුබිම පවා මෙය වේ). මේ සලකුණු කලේ ඉස්මතු වෙමින් ඇති පෙරදිග සහ අපරදිග අතර මුලික ඛණ්ඩනයකි. නමුත් බටහිර ට අප කියන දෙය ඇසීමට දැන් සිදුව ඇත. බටහිර සද්භාවයට අනුව ස්වභාව ධර්මයෙන් (යථ) ආරක්ෂා වීම සහ මිනිසා නැවත ව්‍යුහගත වීම (පිටුව, 278) මිනිස් පැවැත්මේ කොන්දේසියක් විය (condition for survival). ඉතින් යටපත් කරන ලද දෙය උත්කෘෂ්ට වන්නේ යම් සේද ස්වභාව ධර්මය උත්කෘෂ්ට යමක් බවට පත්විය (දෙවියන්). උත්කෘෂ්ට බව යනු සහජ ශක්තීන් සහජ නොවන ශක්තියක් බවට පරිවර්තනය වීමය (ලිංගික ශක්තිය සරස්වතිය වෙත පර්වර්තන කර සංගීතය ලෙස නිෂ්පාදනය කිරීම). නමුත් යෝගී සංස්කෘතිය තුළ සිදුවන්නේ ස්වභාව ධර්මය තම පුද්ගල ආරක්ෂණය වෙනුවෙන් යටපත් කිරීම වෙනුවට ඒ සමග ඉස්මතු වීමයි (rising). බෞද්ධ දර්ශනයේ මෙන්ම සද්ගුරු ක්‍රමය තුළ ද කියවෙන්නේ මිනිස් බුද්ධිය හෙවත් සවිඥානික බව යනු ස්වභාව ධර්මය හෙවත් සමස්ත විශ්වය සමග සමපාත වුවකි (cosmic coexistence) යන්න ය. සවිඥාණය යනු ස්වභාව ධර්මයෙන් වියුක්ත වුවක් නොවේ. එනයින් එවන් තත්වයකදී දෙවියෙක් ගේ අවශ්‍යතාවය පැන නොනගී. පටිච්ච සමුප්පාදයක් (dependent rising) තුළ පමණක් ඔහු හෝ ඇය පැවතීමට පටන් ගනී. එවැන්නෙක් විශ්වීය අනන්‍යතාවක් ලබා ගනී. ඉදින් ඉහත කොස්මික අනන්‍යතාව තුළ මිනිසකුට දින සති මාස ගණනාවක් එක දිගට ඔහේ ආහාර නැතිව පවා සිටිය හැක (මනෝ විද්‍යාවේ මෙයට කියන නම කෝමා තත්වය යන්නය. එය නිවැරදි නොවේ). එවැන්නෙක් කිසිවක් නිෂ්පාදනය නොකරයි. අවම වශයෙන් අදහසක් පවා ස්මෘතියක් පවා නිෂ්පාදනය නොකරයි. ඒ අර්ථයෙන් ගත්විට (ශිෂ්ටාචාර) ෆ්‍රොයිඩ් ට සහ (නිෂ්පාදන) මාක්ස් යන දෙදෙනාට ම ඉහත තත්වය සංකල්ප කරගත හැකි වන්නේ නැත (එස්. බී. ඩි. ද සිල්වා ඒ ගැන කතා කර ඇත්ද යන්න නොදන්නෙමු). එනයින් නුතන ව්‍යාපෘතිය ට ඉහත යෝගී ශිෂ්ටාචාරය පිළිබද කිසිදු අදහසක් තිබුණේ නැත. එනම් එම සංස්කෘතිය පැවතුනේ නුතනත්වයට ඔබ්බෙනි. පැවැත්ම සඳහා අවශ්‍ය වන බුද්ධිය (survival intellect) ඉක්මවා යන මානසික මානයක් ගැන යෝගී සංස්කෘතිය අරමුණු කළේය. මිනිස් පැවැත්ම (survival) තුළ සිරගත වුන නුතනත්වය ට ඉහත ප්‍රපංචය වැදගත් වුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වුවේ තම විගලිත භාවයට විසදුමක් ලෙස ඉස්මතුව පැමිණි බටහිර බුද්ධාගම සහ වෙනත් ආගම් පමණි. එයින් ඇතිවුවේ තාවකාලික සහනයක් පමණක් වන අතර සමස්තයක් ලෙස සමුහ මානව ඝාතන සංවිධානය කරන හිට්ලර් වැනි චරිත බිහිවීමේ සමාජ සංස්කෘතික අවධානම මෙයින් පහවුවේ නැත. ආගමික තත්වයන් බිහිවීම වනාහි මානව ශිෂ්ටාචාරයේ ළදරු අවධියක් ලෙස අර්ථකතනය කල ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ට (ෆ්‍රොයිඩ් 1927) පවා මෙම දියුණු මානවවාදී මිනිසා නිර්මාණය කර ගැනීමට හැකි වුවේ නැත. ලෝක යුද්ධ දෙකකට පසු සහ සීතල යුද්ධයට පසු තත්වය පවා ලෝකය මෙම මානව විරෝධී ඉස්මතු වීම් වලින් ගහන කලාපයක් වුවා විනා එකිනෙකාට ආදරය කරන ලෝකයක් වුවේ නැත. ලියෝතා ආරම්භ කල දැනුම තාක්ෂණිකකරණය වීම සහ මහා ආඛ්‍යනයන්ගේ අවසානය පිළිබද කතිකාව මෙන්ම ඩැනියෙල් බෙල් ගේ පශ්චාත් කාර්මික සමාජ සහ දැනුම පාරිභෝගිකකරණය වීම පිළිබද තත්වය හෝ සිග්මන් බවුමන් ගේ ද්‍රවශීල නුතනත්වය පිළිබද කතිකාව හෝ ඇන්තනි ගිඩන්ස් ගේ පරාවර්තිත නුතනත්වය හෝ අල්රිච් බෙක් ගේ ද්විත්ව නුතනත්වය පිළිබද උපන්‍යාසය හෝ වේවා ඉහත පුද්ගල දැනුමේ සීමාව සහ එම සීමාව විසින් ඉස්මතු කරන ශිෂ්ටාචාර නපුර පිළිබද තත්වයට කුමක් කළ යුතුද යන්න නොපවසයි. මනෝ විශ්ලේෂණය මේ දක්වා ගොස් ඇති උපරිම දුර නම් ඉහත ශිෂ්ටාචාර නපුර 'විනෝදය' නම් අවිඥාණික සාධකය සමග සම්බන්ද කිරීමයි. එය පැවති අන් සියලු කතිකාවන්ට වඩා යථාර්තවාදී එකක් වන නමුදු අවිඥාණය කුමක් වුවත් අප සවිඥාණික ලෝකයේ කුමක් කළ යුතු ද යන අධ්‍යාත්මික ප්‍රශ්නයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද යන්න තවමත් නොවිසඳි ඇති ගැටළුවකි. මෙම ප්‍රශ්නය පවා ශිෂ්ටත්වයේ ළදරු අවස්ථාවක් ලෙස ෆ්‍රොයිඩ් වර්ගීකරණය කරන්නේ දැයි නොදන්නා නමුත් නුතනත්වයේ ක්ෂිතියෙන් මිදෙනු වස් නව සවිඥානික බවක් නුතනත්වය හෝ පශ්චාත් නුතනත්වය විසින් ප්‍රායෝගික ලෙස ඉස්මතු කරනු ලබන්නේ නැත. එනයින් මිනිස් ස්වභාවය පිළිබද කරුණේදී අප තවමත් සිටින්නේ නුතනත්වයේ විරුද්ධාභාෂය (හේතුව ඔස්සේ ම සිදුවන අතාර්කික මිණී මැරීම) සහ පශ්චාත් නුතනත්වය (අත්වල ලේ තැවරුණ මහා ආඛ්‍යානයන්ට එරෙහි ප්‍රතිචාරාත්මක වෙන්වීම) අතර සිරගත තත්වයකය යන්න සත්‍ය නම් එම සිරගත භාවයෙන් මිදීමේ යතුර ඇත්තේ නුතනත්වයෙන් බහිස්කරණය කරන ලද පෙරදිග විය හැකිය යන්න සත්‍යයක් විය හැකි නොවේද? 




ඉහත චායාරූප දෙක (පිදුරංගල සහ පෙඩ්රා දි ගාවියා) සහ මෙම චායාරූපය සංසන්දනය කරන්න. මිනිසා සහ ස්වභාව ධර්මය අතර සිදුවන ගැඹුරු සන්නිවේදනය ඔබට මෙහිදී දැකගත හැකිවනු ඇත. ඔබ ආශ්වාස කරන්නේ ඔබ ඉදිරිපිට ඇති කඳු ගැටයයි. ඔබ හෙලන හුස්ම පොද කන්ද විසින් නැවත උකහාගනු ලබයි. ඒ හැර එය අප විසින් සර්කස් හෝ ජිම්නාස්ටික් පෙන්විය යුතු දැක්මක් (gaze) අප වෙත නොහෙලයි. එහි දැක්මෙන් ඔබ නිදහස් හෙයින් ඔබ තුල ම ඔබ නිදහස් ය. ඔබ එවිට එය බවට පත්වෙයි. ඔව්, ඔබ යනු එයයි. එය යනු ඔබයි. දෙදෙනෙක් මෙහි නැත. එම නිසා ඔබ සහ මම අතරට දෙවියෙක් අවශ්‍ය නොවේ.     

අසු අට අසූ නමය ගැන සදහන් කලත් අප අත්දුටු මුල්ලි වයික්කාල් ක්ෂිතිය මෙම ලියවිල්ල තුළ සඳහන් කලේ නැත. එසේ සඳහන් නොකලා වුවත් එය අපගේ ස්මෘතියෙන් පහව යන්නේ නැත. කර්මය යනු ස්මෘතිය යි (සද්ගුරු). 
             
ආශ්‍රිත ග්‍රන්ථ:             
Freud, S. (1927). The Future of an Illusion. New York. Norton and Company. 

Freud, S. (1930).  Civilization and Its Discontents. USA. Indie Books.  

Kalupahana, D. (1976). Buddhist Philosophy: A Historical Analysis. Hawaii. University of Hawaii Press. 

Sadhguru (2009). Himalayan Lust. Mumbai. Jaico Publishing House. 

Sadhguru (2013). Enlightenment: What It Is?  Singanallur. Isha Foundation.  

Thurschwell, P. (2000). Sigmund Freud (Routledge Critical Thinkers). USA. Routledge. 
       

Thursday, September 13, 2018

පෙරදිග සුළඟින් නොසැලෙන්න...

සියල්ල වෙනස්වීමේ ප්‍රවාහයක ගිලි ඇත. විශ්වීය සත්‍යය වනුයේ අන් කිසිවක් නොව මිනිසා ද ඇතුළු සමස්ත ජගත් විෂය ම (entire cosmos) එම වෙනස්වීමේ ප්‍රවාහය තුළ අනවත ව ගමන් කිරීමයි. ලෝක දැක්ම, දර්ශනය, විද්‍යාව, ආගම, තාක්ෂනය, වටිනාකම්, මනුස්සකම්, ආර්ථිකය, දේශපාලනය වෙනස් වෙමින් ඇත. අද ඉස්මතු වන අධ්‍යාත්මික මානයන් පවා අප විසි වන සියවසේ (හෝ ඊට පෙර) දැන සිටි අධ්‍යාත්මික සද්භාවයෙන් සපුරා වෙනස් ය. ජීවන අරමුණු ද එසේම වෙනස් ය. අද අප ඉදිරියේ දිගහැරෙන ජිවන ලෝකයන් ද වෙනස් ය. සතුරන් මිතුරන් අතර වෙනස්කම් මැකී යමින් ඇති අතර රුපියල දිනෙන් දින කඩා වැටෙමින් ඇත. රුපියල වෙනුවට ඩොලරය ලංකාවට හඳුන්වා දිය හැකිදැයි යන්න සමහරුන් විහිළුවට මෙන් අසමින් ඇත. පංචවිධ කාර් සිහින පමණක් නොව තවත් බොහෝ සිහින සුන් බුන් වී ඇති අතර කරන්නේ කුමක්දැයි කිසිවෙකුට පැහැදිළි නැත. ගිළෙන නැවක අප සියල්ලෝ ම ප්‍රීතියෙන් ගමන් කරමින් ඇති අතර එක් කණ්ඩායමක් තව කණ්ඩායමක ට බනිමින් සිටින අතර ඒ කණ්ඩායම අනෙක් කණ්ඩායම ට බැණීම සඳහා හේතු සොයයි. සියල්ලෝ ම හවස හය හමාරට සියල්ල වෙනස් වනු ඇතැ යි සිතා රූපවාහිනී තිර දෙස නෙත් යොමා සිටියත් පසුදා එළි වන්නේ ද පෙරදා පරිදිම ය. සියල්ල එක තැන කැරකෙමින් ඇත. සියල්ල අධි-යථාර්ත ප්‍රවාහයක විසඳෙමින් ඇතුවා මෙන් පෙනේ. නමුත් කිසිවක් තීරණාත්මක ලෙස වෙනස් වෙන්නේ නැත. සමස්තයක් ලෙස ගත්විට යම් සංකල්පීය පසුබිමක් (conceptual background) සහිත දේශපාලනයක් මේ මොහොතේ ඇත්නම් එය අයිති වන්නේ ජනාධිපති වරයා නියෝජනය කරන පාර්ශවයට පමණක් යැයි හැඟේ* (1). කෙසේ වුවද මීට පෙර යුගයේ අප හුරුවී සිටි මනෝ රාජිකයන් තව දුරටත් නොපවතී යන්නෙන් අදහස් වන්නේ නව ශුන්‍ය අවකාශයක් වෙත අප පිය නගිමින් ඇති බවය. පවතින්නේ වෙළඳ පොලක් පමණි. අපගේ වටිනාකම් තීරණය කරන්නේ එම වෙළඳ පොළයි. පෙම්වතා, පෙම්වතිය, බිරිඳ, ස්වාමියා, පවුල, දරුවන් යන සියල්ල සමඟ අප පවත්වා ගත යුතු සම්බන්දයේ ස්වභාවය තිරණය කරන්නේ එම වෙළඳ පොළ වටිනාකම් විසින්ය. ලිංගිකත්වය යන්න පවා එම වෙළඳ පොළ අවකාශයේ තීරණයක් බව බ්‍රෝදිලා ගේ නිරීක්ෂණ යයි. ඉතිං සතුට දුක යන මුලික මිනිස් නිමේෂයන් අපගේ ම තීරණයන් වන්නේ නැත. සංකේතීය හුවමාරුව (symbolic exchange) පශ්චාත් නුතන බවේ සමාරම්භය නම් වෙළඳ පොළ හරහා අප දිනපතා පරිභෝජනය කරන්නේ සංඥා තොගයක් පමණි. අධ්‍යාත්මික බව පවා ඉහත සංකේතීය හුවමාරුවේ නව වෙළඳ පොළ නිමේෂයන් ය. ධනවාදයෙන් රෝගී වන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර එය මේ වනවිට ඉතාම ප්‍රභල වෙළඳ පළකි. එම වෙළඳ පොළේ වැඩි ම කොටස තරඟකාරීව තම 'ආශ්‍රමය' (පන්සල් නොවේ) වෙත මිලදී ගැනීම සඳහා අද දවස වනවිට ලංකාව තුළ රහත් බව පවා තම අහම ප්‍රවර්ධනය (promotion of the ego) වෙනුවෙන් විකුණා දමයි* (2).   

හිටපු ස්පයිස් ගර්ල්ස් (Spice Girls) ගායිකා කණ්ඩායමේ මෙල් බි. නම් ගායිකාවගේ රූපයක් රැගත් පහත දැක්වෙන චායාරූපය (1) යනු අප ට පරිභෝජනය සඳහා තබා ඇති පසු නුතන මනුෂ්‍ය සම්බන්දතාවයක ආකෘතියක් ය (එක්කෝ එය සත්‍යයක් නොවේය. නැත්නම් සත්‍යයක ට වඩා වැඩි දෙයකී). එය අර්බුදයට පත් බටහිර මනුෂ්‍ය සම්බන්දතාවයක සඥාවකි. අර්බුදය උත්කෘෂ්ට කරනු ලබන්නේ ඔවුන්ගේ වෙළඳ පොළ ය. සත්තකින්ම එය මනුෂ්‍ය ද නැත්ද යන්න ඔවුන්ගේ ප්‍රශ්නයක් නොවේ. වැදගත් වන්නේ එය ලාභ දයක ද නැත්ද යන්න ය. නමුත් ඔවුන් එම සඥා හරහා අපට ප්‍රක්ෂේපනය කරන්නේ ඔවුන්ගේ ම ශිෂ්ටාචාරයේ ගැටළුවයි. නමුත් දැන් දැන් පැහැදිලි වන ආකාරයට ඔවුන්ටමත් ඔවුන් ගොඩනැගූ 'තාර්කික වෙළඳ පොළ' ක්‍රමයේ සමස්ත අමානුෂික ගැටළුව අවබෝධ වෙමින් පවතී. සමාජවාදය හෝ ධනවාදය යන්න පවා මෙම ශිෂ්ටාචාර ගැටළුවේ ප්‍රක්ෂේපනයන්ය. හේතුව කුමක් වුව ද එම ක්‍රම දෙකට ම තරඟකාරී ලෙස මිණිමැරීම කිසිදා ගැටළුවක් වුවේ නැත. එම ශිෂ්ටාචාර යනු 'හේතුව' මත පදනම් වූ ඒවා ය. හේතුවේ සමස්තයෙන් පිටමං කරන සතුරු අනේකත්වයක් ඔවුන්ට අවශ්‍යයෙන්ම ඇත. හේතුවට හසු නොවන්නේ නම් එම අනේකත්වය නිශේධනය කරනු ලැබේ. නැත්නම් සමස්තයෙන් බහිස්කරණය කරනු ලැබේ (නලින් ගේ නාථ දෙවියන් හෝ කළු කුමාරයා පිළිබද කතා දෙස බලන්න). තමා මෙන්ම 'විද්‍යාත්මකව' නොසිතන්නේ නම් 'මිනිසුන් නොවේ' (පහත් ජීවින් කොටසක්) යැයි හංවඩු ගසා අවසානයේ මරා දමනු ලබයි. බහිස්කරණය තුලදී මිනිසුන් නොවන 'පහත්' ජීවින් (බල්ලන්, බළලුන්, කැරපොත්තන්) මරා දැමීම එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ (නමුත් පෙරදිග, විශේෂයෙන් බුදු දහම තුළ, එවන් සතෙක් මැරීම පවා කර්ම ක්‍රියාවකි). එසේනම් ප්‍රගතිය, නුතනත්වය, විද්‍යාව, හේතුව මෙන්ම තවත් බොහෝ දේ ගැන නැවත සිතිය යුතුව ඇත. අප සමස්තය තුළින් බහිස්කරණය කරන්නේ කුමක්ද (පෙරදිග, ගෝත්‍රික, ගුප්ත, ෆැන්ටස්මික, සම ලිංගිකයින්, නුගතුන්, ස්ත්‍රීන් හෝ දෙමළ මුස්ලිම් වාර්ගික කොටස්) යන්න මත පදනම් වන ව්‍යුහයක් තව දුරටත් නුතනත්වය ලෙස ගැනීමට ඉතිහාසයේ පාඩම් තුළින් අප පෙළඹෙන්නේ නැත. විසි වන සියවසේ සිදුවූ අත් වැරදීම් ඒ ලෙසම නැවත සිදුවන්නේ නම් අප දේශපාලනය කිරීමේ තේරුම කුමක්ද? නලින් ලා කරපු වරද ම නැවත ද සිදු කරන්නේ නම් ඉදින් අපගේ දේශපාලනය තේරුමක් නැත. කවුරුන් කෙසේ කුමක් සිතුවද 'වෙනස බහිස්කරණය' වෙනුවට 'වෙනස අන්තර්කරණය' කෙරෙහි න්‍යායාත්මක වන මේ නිමේෂය වනාහී අප පක්ෂයක් ලෙස දේශපාලනිකව ගමන් කළ උසස්  අවධිය වනු ඇත.  (අපට සිනහ වන අයගෙන් අප ඉගෙන ගන්නා පාඩම එයයි). එතැනදී අප ඉගෙන ගන්නේ හබමාස් ගෙන් ද, ස්පිවැක් ගෙන් ද, ජිජැක් ගෙන් ද, සද්ගුරු ගෙන් ද යන්න එතරම් වැදගත් නොවේ යැයි සිතමු. ධනවාදී වෙළඳ පොළ තුල මේ සියල්ල මෙසේ සිදු වෙද්දී මනුෂ්‍ය සවිඥාණය සම්බන්දයෙන් මිනිසාට කළ හැක්කේ කුමක්ද යන්න විමසා බැලීම වෙනුවෙන් මෑතක ලිවූ ළිපි මාලාවේ ම තවත් එක් ලිපියක් ලෙස මෙම ලිපිය සැලකිය හැකිය.       

"වෙළඳ පොළ විසින් මනුෂ්‍ය සවිඥාණය වෙනස් කිරීමේ ලෝකය අවසන් කර මනුෂ්‍ය සවිඥාණය විසින් වෙළඳ පොළ වෙනස් කිරීමේ ක්‍රම වේදයක් අප සොයා ගත යුතුව ඇත"  (සත්ගුරු ජගී වාසුදේව්)                 

චායාරූපය (1) ප්‍රීතිමත් ශරීර දෙකක් ලෙස ගෝලීය මාධ්‍ය ඔස්සේ බාහිර ට ප්‍රක්ෂේපණය වන මිනිසුන් දෙදෙනෙක් පිටුපස ඇති කතාව කුමක් විය හැකිද? අපගේ දැක්ම (gaze) වෙනුවෙන් නිෂ්පාදනය කරන මෙම රූපරාමු වල ප්‍රීතිමත් බව ඇත්තට ම බටහිර අත් විඳින්නේ නම් මෙතරම් ඔවුන් සියදිවි හානි කර ගන්නේ ඇයි? පොඩ්ඩක් එහා මෙහා වනවිට තුවක්කුවක් රැගෙන පාසල් පංති කාමර කුඩුවෙන තුරු වෙඩි තියන්නේ ඇයි? මෙතරම් මිනිසුන් පිරිසක් සංකාවෙන් සහ ආතතියෙන් පීඩා විදින්නේ ඇයි? මේ වනාහී මනුෂ්‍යත්වයේ උතුම් පැවැත්මක් ද? නැත්නම් උමතුවක් ද?    

අනූව දශකය මුල හරියේ අප එවකට ඉතා ජනප්‍රිය වූ ස්පයිස් ගර්ල්ස් නම් බ්‍රිතාන්‍ය ගායිකා කණ්ඩායමට සවන් දුන්නේ යම් සංශය බවකින් යුතුව ය. හුදු ෆැන්ටසි ගොඩනැගීමක ට වඩා ඔබ්බට නොගිය ඔවුන්ගේ ගායනා සිත්කළු වුවද ඇතුලාන්තයේ තිබුණේ ශුන්‍ය බවක් පමණ ය. වික්ටෝරියා මෙන්ම මෙල් බි. අපට හුරුවුවේ ඉහත ගීත හරහා ය. ජනප්‍රිය තාවයේ හිණි පෙත්තටම නැගි මෙල් ගේ අද වනවිට ජීවිතය ගැන හෙළිදරව් වන දේ යනු ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ ඇති ගැඹුරු ශුන්‍යතාවය පිළිබද මනා කැඩපතකි. ඇයගේ කාමරයේ ගොඩ ගසා ඇත්තේ මිළ අධික මත්පැන් බෝතල පමණි. ඩොලරස් රියෝඩන් මෙන්ම මෙල් ද තෝරාගෙන ඇත්තේ මිය යාමයි. එයට පතුලක් නැත. සවිඥාණයෙන් ඇයට දැන් වැඩක් නැත. සිහිය විකල් වනතුරු මත්පැන් පානය කිරීමෙන් පසු තමන් ලිංගිකව හැසිරෙන්නේ කොහේදැයි කෙසේදැයි ඇයට මතක නැත. තමා අබියස ඉන්නේ දරුවන් ද වෙනත් කවුරුන්ද යන්න ගැන ඇයට තැකීමක් නැත. අනෙක් සෑම අයෙක් මෙන්ම ඇය ද සොයා ගියේ තම ජිවිතයේ සතුටයි. තම වෘත්තියේ සාර්ථක බව අත්පත් කර ගත්ත ද ඇය සොයාගිය සතුට එම සතුට සොයාගිය ආකෘතිය තුළ ඇයට ලැබුණේ නැත (ඒ වෙනුවෙන් දැන් ඇය පවත්නා ශිෂ්ට සීමා ඉරි උල්ලංඝනය කරමින් සිටි. එය දැන් ඩේලි මේල් වෙබ් අඩවියට දිනපතා මාකට් එකකි. නමුත් ඔවුන් විසින්ම ගොඩනැගූ ශිෂ්ටාචාරයේ ගැටළුව ඔවුන් ප්‍රශ්න කරන්නේ නැත). අන් සෑම කෙනෙකුට මෙන්ම ඇයට ද නොලැබුණේ සතුට නම් විශ්වීය අනන්‍යතාවය යි (cosmic identity)තමා නොසතුටින් නිසා තමා අවට මුළු ලෝකයම ඇය නොසතුටේ උල්පත් බවට පත් කරයි (ප්‍රීතිමත් නොවන කෙනෙක් තමා අවට ලෝකය ප්‍රීතිමත් කරන්නේ කෙසේද?). දරුවන් ට තම මවගේ දිනපතා ජීවිතය අපායක් ලෙස පෙනෙනු ඇත. ඉහත අපේක්ෂා භංග වීම තුළ දැන් ඇයට අවශ්‍ය මිය යාමට මිස වගකීමෙන් ජිවත් වීමට නොවේ. මේ බටහිරින් අපට දිනපතා ඩේලි මේල් ගෙන එන 'අපේක්ෂා භංග සඥාවයි'. නමුත් ඔවුන් එම ජීවිත තොරොම්බල් කරන්නේ මෙන්න අපේ දියුණු ජීවිතය යනුවෙනි. ජනප්‍රියත්වයේ ගිණි කණා වැටුණ මාවතේ ගමන් කිරීම තෝරාගත් බොහෝ අයට සිදු වන්නේ තරුණ වියේදී ම සියදිවි නසා ගැනීමට ය. එය පවා මෝස්‌තරයකි. මිය යාම පවා වෙළඳ පොළකි. ඇයගේ ශරීරයේ ප්‍රභාව නැති වෙමින් යන විට සහ මිළ මුදල් නැති වෙන විට ඉතිරි සියල්ලෝ ම ඇය හැර යනු ඇත. මුලින් ම ඇයව අමතක කරන්නේ ඩේලි මේල් එකය. මේ දැන් අප අත්දකින 'නුතනත්වයයි' (ඉදින් මෙම අමානුෂික බවට නුතනත්වය කියන්නේ කෙසේද යන්න නොතේරේ).  


ඉතිහාසය ඔස්සේ නැවත ගමන් කරමින් පෙරදිග මුහුණුවරක් අප දේශපාලන විචාරයට ආරෝපණය කරන්නේ නම් යමෙකුට එකවරම අප පශ්චාත් නුතනවාදීන් ලෙස හංවඩු ගැසිය හැකිය. සාර්වත්‍රික බව (universalism) ප්‍රතික්ෂේප කරන්නෙකු අයිති වන්නේ පශ්චාත් නුතන කුලකයට ය. නුතන ප්‍රගතිය (progress) ප්‍රතික්ෂේප කිරීම ද පශ්චාත් නුතන විලාසිතාවකි. ඉහත කරුණු දෙකම අප කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. එසේ කිරීමට හේතුවක් ද නැත. නමුත් මෙතැනදී අපට බටහිර අරුතින් වැදගත් වන්නේ නව මානව වාදයේ ඉස්මතු වීමයි. එහි පුරෝගාමියා වන්නේ යර්ගන් හබමාස් ය. සිදුවෙමින් පවතින්නේ නව සබුද්ධික වාදයක ඉස්මතු වීමයි. ලෝක යුද්ධ දෙකකට සහ වියට්නාම් යුද්ධයට පසු ලෝකය තුළ පශ්චාත් නුතනවාදය ඉස්මතු වන්නේ ඉහත ප්‍රපංචයන්ගේ අපේක්ෂා භංග බව විසින් ය. මනුෂ්‍යත්වයට සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පසුගිය දශක පහක් තිස්සේ කතාබහට ලක්වූ ප්‍රධාන ම ප්‍රශ්නය විය. ෆ්‍රෑන්ක්පර්ට් ගුරුකුලය සිය සමස්ථ ජිවිත කාලය ගත කලේ මෙම ප්‍රශ්නය වරනැගීම සඳහාය. නමුත් බටහිර නුතන බව ගමන් කරමින් සිටින්නේ ද නුතන මානව වාදයේ ම අර්බුදයක් දෙසටය. ප්‍රගතිය නොව විනාශය හඹා යන පශ්චාත් නුතන දිශාවක ට ය. ඉහත ස්පයිස් ගර්ල්ස් උදාහරණ දෙස බලන්න. මෙල් බි. ගත කරන්නේ කාන්ටියානු අරුතකින් ගත හොත් ආදර්ශමත් චරිතයක් නොවේ. ඇය දෙස බලා අපට දරුවන්ට මේ වනාහි නුතන ජිවිතයක් යැයි පෙන්වා දිය නොහැකිය. ඩොනල්ඩ් ට්‍රුම්ප් දෙස බලා අපට කිව හැක්කේ කුමක්ද? උත්කෘෂ්ට මිනිසුන් නිර්මාණය කර ගැනීමට නොහැකි වීම නුතන දේශපාලනයේ ක්‍රියාත්මක මාධ්‍ය දෙක වූ ලිබරල්වාදය සහ මාක්ස්වාදයේ පරිණාමීය නොහැකියාව වේ. ඉහත ක්‍රම දෙකෙන්ම නිර්මාණය කලේ මනුෂ්‍යයින් නොවේ. කොතැනක හෝ ගැටළුවක් ඇති බව අපට පැහැදිළි විය යුතුය. මෙය X දේශපාලනයේ සත්‍ය පරාජය ද වේ (ෆ්‍රෑන්ක්ෆර්ට් ව්‍යාපෘතියෙන් හබමාස් ලා බිහිවන විට අපට සිදුවුවේ කුමක්ද? අපගේ ව්‍යාපෘතියෙන් නිපදවූ උත්කෘෂ්ට මිනිසා කවරෙක් ද? දීප්ති සොයුරා විසින් ගොඩ නැගීමට උත්සාහ කළ පරමාදර්ශ විනාශ කර දැමුවෝ කවරහුද? අවසානයේ එම ව්‍යාපෘතිය අවසන් වුවේ මෙල් බි ලා නිෂ්පාදය කිරීමෙන් නම් කොතැනක හෝ අධ්‍යාත්මික ගැටළුවක් ඇතුවා නොවේද? අවසන් භාගයේ අපගේ සංවිධානය දැනුම් විරෝධයක් කරා ගමන් කරන්නේ ඉහත දැනුමේ උපාදාන සහ පොරත්ව (අහම) ගැටළුව නිසා නොවේද?). දුයිෂෙන් නුතනවාදී වනවිට මෙල් බි. යනු කවුද යන ගැටළුවට අප විසඳුම් සෙවිය යුතුය. මෙල් බි යන්න පසෙක දැමුවත් බටහිර ලෝකයේ බහුතරයක් ඉහත විපරීත බව දරා සිටියි. විජිතකරණය වූ ලංකාව වැනි දුපතක පවා අද තත්වය මෙල් බි. ගෙන් වෙනස් නැත. විශේෂයෙන් මිනිසුන් දේශපාලනය පාවිච්චි කරන්නේ තම අනන්‍ය තාවය ඉස්මතු කර ගැනීමට නම් එහිදී ගැටළුව අප පුද්ගලික අවකාශය විසඳා ගත යුතුව ඇත (පුද්ගල අධ්‍යාත්මික බව ඔප් නැංවීම). 'නව දැනුම' සමග අධි-අනන්‍යවීම නිසා දේශපාලනය කිරීම වෙනුවට කිසිවක් සමග අනන්‍ය නොවන්නෙක් (විශ්වීය සටන් කරුවෙක්) අපට නිෂ්පාදන කල හැකි වේද? එවැන්නෙක් යනු හුදු හිතළුවක් පමණක් ද?  

සාමාන්‍යයෙන් දැන් දැන් අපට ඇසෙන දෙය නම් දේශපාලනය කිරීමට අවශ්‍ය වන්නේ උසස් සදාචාරවත් මිනිසුන් නොව සාමාන්‍ය මිනිසුන් යන්නය. ලෝකය මේ තරම් අවුල් වුවේ එවන් සාමන්‍ය ලෞකික මිනිසුන් ලොකු පුටු වලට ගොස් පිස්සු නැටීම නිසාය ('හිට්ලර්' චිත්‍රපටය බලන්න). සත්ගුරු කියන්නේ ලෝකයේ නායකයින් තම යෝගී ආශ්‍රමය වෙත දවස් පහක් පැමිණිය හොත් ලෝකය දෙස ඔවුන් බලන ආකාරය වෙනස් කරන බවයි. මෙයින් අදහස් කරන්නේ ගැඹුරු චින්තන ක්‍රියාවක දී ලෞකික සාමාන්‍ය බව අප ඉක්මවා යා යුතු බවයි. නමුත් X දේශපාලනය පිරී ඉතිරී ගියේ 'සාමාන්‍ය' (just ordinary) පුද්ගලයන් ගෙනි. ඔවුන්ගේ පරමාදර්ශය වුවේ 'සාමාන්‍ය' විදියට ජිවත් වීමයි (සාමාන්‍ය පවුල් ජිවිතයක් ගත කිරීම, සාමාන්‍ය විහිළු තහළු කිරීම)සාමාන්‍ය මිනිසුන් ලෙස වැඩකරනු වෙනුවට විසි වන සියවසේ කුමන ආර්ථික ක්‍රමයක දී වුව මිනිස් සවිඥාණය උසස් තත්වයක පැවති මිණිසුන් සිටියේ වී නම් බොහෝ දේ අපට වලක්වා ගත හැකිව තිබිණි (තමා මෙන්ම වූ තවත් මිනිසෙක් මරන්නේ කෙසේද යන ගැටළුව තමා තුලින් ම මතු වුවෙක් සිටියේ වී නම් යන්න මෙහි අර්ථයයි). හිට්ලර් තමන්ගේ ජර්මන් ජාතිකත්වය සමග අධි-අනන්‍ය වූ අතර ස්ටාලින් සමාජවාදී රුසියාව සමග අධි-අනන්‍ය විය. මාවෝ චීන සමාජවාදය උපාදානයක් කර ගත්තේය. හැමෝට ම තමන් ට වඩා දෙයක් වීමට අවශ්‍ය විය. ඉතිහාසය විසින් තමන්ට දුන් කාර්යය ට වඩා නාට්‍යක් රඟ දැක්වීම ට ඔවුන්ට අවශ්‍ය විය. එය ඔවුන්ගේ අනන්‍යතාවය විය. තමන් විශ්වාස කල දෙය ම විශ්වාස නොකලවුන්ගේ මිනිස් ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට ඔවුන්ට සිදුවිය. නළු නිළියන් තම වෘත්තීය විසින් ඉල්ලා සිටින දෙයට වඩා දෙයක් වීමට උත්සාහ කරයි (more than yourself. සාමාන්‍ය උපදෙස වනුයේ තමාට වඩා වැඩි දෙයක් වන්න යන්න ය). එයින් යම් ලෞකික සාර්ථක තත්වයන් උදාකර ගැනීමට ඔවුන් සමත් වුවද ඔවුන් විශ්විය රංගනය තුළ සාර්ථක වී ඇත්ද? ඔවුන්ගේ රිදී තිරයේ රංගනය තුල නිමේෂයක සතුටක් අපට ගෙන දීමට ඔවුන්ට හැකිවිය. නමුත් ඔවුන්ගේ විශ්වීය පැවැත්ම ඔස්සේ ඔවුන් අපට ශේෂ කර ඇත්තේ කුමක්ද? ලොව විශිෂ්ට නළු නිළියන් තම ශක්තියේ සීමාව ඉක්මවා ගොස් සාර්ථක බව අත්කර ගෙන ඇති මුත් ඔවුන්ගේ ජිවිත තනිකර විනාශයෙන් අවසන් වී ඇත. එයට හේතුව නම් ඔවුන් මිනිස් පැවැත්මේ එක උපනතියක් පමණක් ස්පර්ශ කිරීමය. නමුත් මිනිස් පැවැත්ම යනු වෘත්තීය සාර්ථක බව පමණක් නොවේය. අප දේශපාලනය කලත් අප දේශපාලනයෙන් රෝගී විය යුතු නැත. දේශපාලනයට අප රෝගී කිරීමට ඉඩ දිය යුතු නැත. අප එතරම් අධ්‍යාත්මිකව දුප්පත් විය යුතු නැත. ජිවිතයට ඇත්තේ එක් මානයක් පමණක් නොවේ. එයට මානයන් ගණනාවක් ඇත. එක විශ්වාසයක් (මාක්ස්වාදය) පමණක් අප ජිවිත කාලය තුළ වැළඳ ගත යුතුද? විද්‍යාව පමණක් අපගේ ජීවිතය අර්ථවත් කළ යුතුද? වෙනත් විශ්වාසයක් විසින් අපගේ ජීවිතය අර්ථවත් කරන්නේ නම් මිනිසාට තම කුඩා ජිවිත කාලය තුළ වෙනත් ජිවන මානයක් (dimensions of life) අත්හදා බැලීමට අයිතියක් නැතිද? ස්ටෙප් තණ බිමේ හිස් තැනි තලාව මතුයෙහි අපට ඔහේ සිනා සෙමින් දිව යාමට ඇති බාධාව කුමක්ද? අප දෙස කිසිවෙක් බලා නොසිටින බව තරයෙහි සිතට ගන්න. මනුෂ්‍යත්වයේ තර්කයට හසු නොවන මානයේ අහේතුව තුළ නාථ දෙවියන් සිටිය හැකිය. විෂ්ණු දෙවියන් ද  සිටිය හැක. හෝටන් තැන්න තිබිය හැකිය. හිමාලය තිබිය හැකිය. ලාස් වේගාස් තිබිය හැක. ශුන්‍ය නිමේෂයන් තිබිය හැකිය. අර්ථයක් නැති දේ තිබිය හැක. තෙරක් පරක් නැති ස්වභාව ධර්මය තිබිය හැක. සමස්ත ජීවිතය තුළ මේ සියල්ල ම අර්ථවත් විය හැකිය. ගැඹුරු හේතු වාදියෙක් තුළ පවා අහේතුක මිත්‍යාමතික (mystery) බවක් තිබිය හැක. ඇතැම් විට හේතුවාදියෙකු ට වඩා සතුටින් අධ්‍යාත්මික වාදියෙක් මිය යනු ඇත. එවැන්නෙක් නිර්භය ව මරණය වැළඳ ගනු ඇත. හැම දෙයක් ම හේතුවාදී ලෙස තර්කණය ට ලක් කරන බැරෑරුම් මුහුණක් ආරුඪ කරගෙන සිටින ගාමිණී වියන්ගොඩ මහතා ගැන මොහොතක් සිතන්න! කිසිදා සිනහවක් නැති ඔහුගේ මුහුණ කොතරම් දුක්බර ද? විශ්වීය පැවැත්මක ගැඹුරු ප්‍රීතිමත් භාවයක් දරා නොසිටින ඔහුගේ මුහුණ පිළිකුල් භාවනාවක කමටහනක ට මැනවි...  


චායාරූපය (2) මේ තැනිතලාව යනු ඔබ තරණය කරන තවත් එක් අභියෝගයක් නොවේ. එම කන්ද යනු ඔබේ අහමේ විශාල බව පෙන්වීමේ අනේකත්වයක් නොවේ. සාමාන්‍යයෙන් වික්‍රම පුහුණු කඳවුරු වල (adventure camps) උගන්වන්නේ එසේ ස්වභාව ධර්මයේ අභියෝග ජය ගන්නා ලෙසයි. නමුත් පෙරදිග අධ්‍යාත්ම වේදයේ උගන්වන්නේ ඔබ එහෙම ම සිටිමින් මේ කන්ද ආශ්වාස කරන ලෙසයි. 'කන්ද බවට පත්වන්න' යනු පෙරදිග ඉගැන්වීමයි. පැය ගණනක් එසේම සිටිමින් ඔබ කන්ද සමග තම පැවැත්ම සමාන්තරකරණය කිරීම යනු ඔබ යම් අන්තරීක්ෂ අනන්‍යතාවයක් (cosmic identity) වෙත ළඟා වීමේ පළමු පියවරයි.   
               
කුමන අයුරකින් හෝ මිනිසත් බවේ සහ පැවැත්මේ ගැඹුර කිසියම් දෙයක් විසින් ස්පර්ශ කරන්නේ නම් එය අධ්‍යාත්මික යමක් විය හැක (එය අවශ්‍යයෙන්ම ආගමක් විය යුතු නොවේ). එය මිනිසෙක් ද දෙවියෙක් ද කන්දක් ද ගලක් ද ගහක් ද යන්න ගැටළුවක් කර ගත යුතු නැත. සියල්ල මේ ලෝකය තුලින්ම ඉස්මතු වූ දේ ය. යමෙක් තමාගේ හැඟීම්, ශක්තීන්, මනස සහ ශරීරය යම් පරිණත බවක් කරා ගෙන එන්නේ නම් එය අධ්‍යාත්මික ක්‍රියාවක ප්‍රතිඵලයකි. එය ඔබේ සබුද්ධික බවේ පරිණත වීමක් ලෙස සත්ගුරු හඳුන්වයි (maturity in rationale). මෙය තමා විසින්ම කළ යුතු දෙයක් මිස දෙවියන්ට කළ හැකි දෙයක් නොවේ. විශ්වාසය ඔබගේ මනසට ඇතුළු වූ මොහොතේම ඇතුළු වන අනෙක් දෙය නම් අන්ධ භාවයයි. දෙවියන් විශ්වාස කරන්නා සහ දෙවියන් විශ්වාස නොකරන්නා යන දෙදෙනා ම ඉන්නේ එකම බෝට්ටුවේ ය. දෙදෙනා ම කරන්නේ විශ්වාස කිරීමයි (ඇති බව විශ්වාස කිරීම සහ නැති බව විශ්වාස කිරීම).  අවශ්‍ය වන්නේ සියල්ල තිබෙන හැටියට දැකීමට පුරුදු වීමයි (as it is). දේවල් වෙනස් කරනවානම් කල යුත්තේ මිනිසාගේ විශ්වීය පැවැත්ම සාධනයට ලක් කරමිනි. එය තනිකරම පුද්ගලික තේරීමක් බව සත්ගුරු පවසයි (මා පවසන නිසා ම විශ්වාස නොකරන්න යනුවෙන් බුදුන් දේශනා කළේ එබැවිණි). කිසිවෙකුට මිනිසාගේ විශ්වීය පැවැත්මට (cosmic existence) බලහත්කාර කම් කල නොහැක. මේ 'වෙනස ට විශ්වීය ලෙස ගරු කිරීමේ' (cosmic respect for difference) මූල ධර්මය මත ඉන්දියානු අධ්‍යාත්මික වාද බොහෝ ගණනක් පැරණි භාරතයේ එකවිට ම පැවතිණි. සියල්ලෝ ම භෞතික ලෝකයේ සීමාව අවබෝධ කරගෙන සිටි අයයි. සියල්ලෝම යම් අන්තරීක්ෂ බවක් වෙත ළඟාවීම කෙරෙහි විශ්වාස තැබූ අයයි. ඔවුන්ට දින ගණනක් නිරාහාරව සිටිය හැකිවිය. මුහුදු මට්ටමෙන් අඩි පහළොස් දහසක් පමණ ඉහළ උසක ජීවත් වුවද සීතල උණුසුම මහා වදයක් නොවිය. මහා ලොකුවට කතා කිරීමට අවශ්‍ය නොවිය. කතා කර පැවසීමට තරම් අහමක් ඔවුන්ට නොවීය. විශ්වය සමග තමා අනන්‍ය වන මොහොතේ ඇතිවන පුළුල් ආදරය පමණක් ඔවුන් අත්දකිනු ලබයි. ක්‍රිස්තියානි ලෝකයට එය දෙවියන් වන (divinity) විට පෙරදිග ලෝකයට එය ශුන්‍යතාවය බවට පත්වේ (nothingness or emptiness). එතැන රූපයක් ඇත්තේ නැත (අරූප). ශරීරයක් ඇත්තේ ද නැත. පෞරුෂයක් නොපවතින අතර සාරයක් නොපවතී. දෙවියන් නැතිවී යන අතර පැවැත්මක් ද හදුනා ගත නොහැක.  අවසාන වශයෙන් ඇත්තේ කිසිවක් නොපවතින බවය. ඉන්දියානු සහ පෙරදිග චින්තනයේ ඇති තමා සහ අනෙකා සම්බන්ද ගැඹුරු සවිඥානික බව අපට අවශ්‍යව ඇත්තේ නුතන ලෝකය තුළ අර්බුදයට ගොස් තිබෙන මිනිස් වටිනාකම් වල ගැටළුව නිසාය.               

මිනිසත් බව විනාශ කරන මූලය ඇත්තේ ධනවාදය තුළ යැයි පැවසීම අප මේ දක්වා පුරුදු වී තිබූ චින්තන ආකෘතිය යි. ධනවාදය අමානුෂික බව නොපැකිලව පිළිගන්නා නමුත් පුද්ගලයින් ලෙස අපට කළ හැකි කිසිවක් ම නැද්ද අප අපගෙන් ම විමසා සිටිය යුතු තැනකට අප දැන් පත්වී ඇත. හිට්ලර් බිහිවීම හුදු ධනේශ්වර ජාතික රාජ්‍ය තරඟකාරිත්වයකට ඌනනය කල හැකිද? යම් දෙයකට ඇත්තේ එක් හේතුවක් පමණක් (ධනවාදය) විය හැකිද? මෙම පරිහාණියට මුල තනිකර ධනවාදය ලෙස ගැනීම පුළුල් ලෙස තර්ක ගෝචර නොවේ. පුද්ගල වගකීමේ කොටසක්ද මෙහි පවතී. අප සොයන සතුට (බටහිර මනෝ විශ්ලේෂණයේ විනෝදය) කුමක්ද යන ගැටලුව මෙහිදී අප සොයා බැලිය යුතුය. නුතන සාර්ථක බව (success) යන්න අප නැවත වරනැගිය යුතුව ඇත. උදේ සිට හවස් වන තුරු ලේලන්ඩ් බස් වල නැගී මේ තරම් මාරාන්තිකව අප සොයා යන සතුට සහ සාර්ථකත්වය කුමක්ද? සියල්ල අවසානයේ අප සතුටින් ද? මෙම මාරාන්තික ඇමෙරිකානු 'සාර්ථක බව' හඹා යාම තේරුම් ගැනීම පිණිස බලන්න I, Tonya (2017) චිත්‍රපටය. මෙම තේමාව තුල The Great Gatsby (2013) පවා සපයන්නේ හොඳ උදාහරණයකි. මෙල් බී., මැඩෝනා, ප්‍රින්ස්, මයිකල් ජැක්සන්, රියෝඩන් යන සැවොම අයිති වන්නේ ද මෙම සාර්ථක බවේ ලෝකයට ය. ද්‍රව්‍යමය ලෝකයේ සාර්ථක වන ඔවුන් කොතරම් මානසික ලෙස කඩා වැටෙන්නේද යන්න අප මෙහිදී සැලකිල්ලට ලක් කල යුතුය. අහම කොතරම් හඹා යෑම තුළ සාර්ථක වුවත් ඔවුන් කිසිවෙක් සමබර මානසික අවකාශයක ජිවත් වන්නේ නැත. ගැට්ස්බි ඩේසි නම් ආශා වස්තුව සමග අධි අනන්‍ය වන විට ටෝන්යා සාර්ථක හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකාවක් වීමේ ආශාවෙන් (මවගේ බලපෑම) ඔත්පළ වේ. සියල්ලෝම අධි අනන්‍යවීම නම් උපාදාන තත්වයේ රෝගීන් වේ. ජිවිතයේ ශුන්‍යතාවය මඟ හරිනු වස් ඔවුන් බොහෝ දේ කරයි. මුදල්, තනතුරු, විවාහ, විශාල මන්දිර, සුපිරි යාන වාහන, විශාල සම්භාෂණ, සොර අඹුවන්, ගණිකාවන් යන සියල්ල ම ඔස්සේ කරනු ලබන්නේ මෙම ශුන්‍යතාවය වෙනුවට අර්ථවත් බව ජීවිතයට රැගෙන එන්නේ කෙසේද යන ප්‍රස්තුතයට පිළිතුරු සෙවීමයි. උදාහරණ වශයෙන් ගැට්ස්බි ගේ විශාල මන්දිරය සහ එහි ඇති සම්භාෂණ විසින් ඔහුගේ ජීවිතය අර්ථවත් කරන්නේ නැත. ඔහුට අවශ්‍ය එක් කාලයක තමා ආදරය කළ තරුණියයි (ඩේසි). නමුත් දැන් ඇය වෙනකෙක් සතු බව (බුර්ෂුවා අරුතින්) තේරුම් ගැනීමට ඔහුගේ උපාදානය ඉඩ නොදෙයි. ඔහුගේ සමස්ත පැවැත්ම ම ඇය බවට පත්වි හමාර ය. ආශාව සමඟ පරතරයක් නැත. එම ආශාව ඔස්සේ ඔහු මරණය කරා යයි. සත්‍ය ආදරය මතු වන්නේ එම මරණය කරා ම ගමන් කිරීම තුළින් බව ජිජැකියානු ඉගැන්වීම යි. ඇද වැටීම යනු එයයි (එය සත්ගුරු පවා පිළිගන්නා නමුත් පෙරදිග අරුතින් අධ්‍යාත්මික නිෂ්ටාවක් ලෙස ගත්විට පුර්ණ ඇද වැටීම තුළ ඇති අන්ධ බව ගැට්ස්බි හට දැන් පවතින තත්වය ඒ සැටියෙන් ම තේරුම් ගැනීමට නොහැකි බාධාවක් බවට පත්වේ)ගැට්ස්බි සහ ඩේසි ගේ මුල් කාලීන ආදරයේ සමීප බව කොතෙක් වුවත් ඩේසි ගේ දැන් පවතින තත්වය වෙනස් ය. ඇය දැන් විවාහක ගැහැණියකි. එය කොතෙක් නික් විසින් තේරුම් කිරීමට උත්සාහ කල ද ගැට්ස්බි විසින් තේරුම් නොගනී. බටහිර 'හේතුව' යන්න එතැනදී අසමත් වේ.     
        
මෙවැනිම ඇද වැටීමේ අන්ධ භාවයේ ප්‍රපංචයක් රැගත් චිත්‍රපටයක් නම් 2018 වසරේ තිරගත වූ Unsane ය.  සම්පූර්ණයෙන්ම අයි ෆෝන් සෙවන් මොබයිල් (iPhone 7) දුරකතනයක් ඔස්සේ රූපගත කරන ලද චිත්‍රපටයක් වූ මෙය සෝයර් වැලන්ටිනි නම් තරුණියක් වටා ගෙතුන කතාවකි. I, Tonya චිත්‍රපටයේ මෙන්ම පියා සම්බන්ද රූපකය මෙහිදී ද නොපැහැදිලිය. ඩේවිඩ් නම් මිනිසෙකු සෝයර් පසුපසින් පැමිණෙන අතර ඇය ඔහුගෙන් ගැලවීමට උත්සාහ කරයි. පියාගේ ආරක්ෂාව මෙතැනදී ඇයට ජීවිතය තුළ නොමැත. පිරිමි හඹා යාමේ ගොදුරක් (victim) වන ඇය මේ ඔස්සේ මානසික සමතුලිත බව අහිමි කරගන්නා අතර පසුව ඇය මානසික රෝහලක ප්‍රතිකාර සඳහා යොමුවේ. ඒ ඔස්සේ නැවතත් ඩේවිඩ් ගේ ආශා ව්‍යුහය තුලට ඇය නොදැනීම ඇතුළු වේ. රෝහල් පවා දුෂිත ව්‍යුහයක ඇති අතර ඩේවිඩ් ට එම දුෂිත ව්‍යුහය තමාගේ වාසියට හරවා ගැනීමට හැකිවේ. අවසානයේ එම ව්‍යුහයෙන් නිදහස් වීමට ඩේවිඩ් ගේ අහම (පුරුෂ) තුවාල කිරීම ට පමණක් නොව ඔහුව මරා දැමීමට පවා ඇය සිදුවේ. නමුත් යථාර්තය තුල ම මායා රූප පෙනීම (hallucinations) වැලැක්වීම ට ඇයට ඉන් පසුව පවා හැකිවන්නේ නැත. ඇය තමාට අකමැති බව දැන දැනත් ඩේවිඩ් ට තම ආශාව පාලනය කර ගත නොහැක. ගැට්ස්බි මෙන්ම අවසානයේ ජිජැකියානු මරණයක් වෙත ඔහු ගමන් කරයි. පවත්නා සැබෑ තත්වය (as it is) ඔහුට තේරුම් ගැනීමට ඔහුගේ ආශා අන්ධ භාවය ඉඩ දෙන්නේ නැත (obsession නැත්නම් ග්‍රස්තිය යනුවෙන් හදුන්වන තත්වය). ෂෝපන්හවරියානු (මෙන්ම කාන්ටියානු) ජිවිතයට ආශා කිරීම (will to life) අවසන් වන්නේ තමාගේ සහ අනෙකාගේ මරණය ළඟා කර ගැනීම ඔස්සේ ය. ගැට්ස්බි, ඩේසි වගේම ඩේවිඩ් මෙන්ම සෝයර් ගේ ජීවිත දෙස බැලුව ද ජිවිතය සඳහා ආශා කරන සෑම මොහොතක් ම අතෘප්තියේ මොහොතක් බවට පත්වේ (නිෂිටනි 1990: 14). මිනිසුන් ලෙස එසේනම් අපගේ සවිඥාණික බව සහ පැවැත්මේ ගැඹුර සම්බන්දයෙන් අප කුමක් හෝ කල යුතුව ඇත. අපගේ ආශාව යනු තව කෙනෙකුගේ (සහ තමාගේ ම) මරණය නම් එවිට එය ගැඹුරු පැවැත්මේ ගැටළුවකි. ඒ සඳහා නැවත වරක් නව මිනිස් අධ්‍යයනයක් අවශ්‍ය ව ඇත. නැත්නම් අපට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉතුරු වන්නේ දුෂිත මානසික රෝහල් පමණක් වනු ඇත. ඒ නව මිනිස් සවිඥාණිකත්වය සඳහා අවශ්‍ය න්‍යායික මුලයන් ඇත්තේ පෙරදිග බව අපගේ වැටහීමයි (පෙරදිග යනු අපගේ උපාදානයක් හෝ ග්‍රස්තියක් නොවේ). ඔබ සොලවා දැමීමට එය සමත් වන බව සත්‍ය වුවත් පෙරදිග සුළඟ ට බිය නොවන්න යන්න අපගේ දැනුම් දීමයි.   

---------------------
සටහන් 
* (1) මෙවන් ප්‍රකාශයක් කිරීමට හේතුව නම් කිසිවකුට කඩේ යාමට ඇති අවශ්‍යතාවයක් නොව ජනාධිපති වරයා විසින් අනුගමනය කිරීමට උත්සාහ කරන දේශීය සහ ග්‍රාමීය පසුබිම නුතනකරණය කිරීමට දරන ප්‍රයත්නයේ ඇති තාර්කික බව පෙන්වා දීමට ඇති අවශ්‍යතාවය යි. විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය සහ ගොවිතැන මුල් කරගත් දේශීය ඥානය (indigenous knowledge) නුතනත්වයට ගෙන ඒම සහ පරිසරයට ඇති හිතවත් බව තිරසාර සංවර්ධනයේ මුලයක් ලෙස හඳුනා ගත හැකිය. එම විකල්ප සංවර්ධන මාවත (දැවැන්ත නිෂ්පාදනය වෙනුවට) මේ මොහොතේ ඉස්මතුව ඇති ප්‍රධාන සංවර්ධන ධාරාවේ ගැටළු ගණනාවකට (පරිසර, සෞඛ්‍ය,  සමාජ, සංස්කෘතික, ආර්ථික) විසඳුම් සපයනු ඇත (අවම වශයෙන් විනාශය අවම කරනු ඇත). එය වැදගත් සංකල්පීය (සද්භාවී) එළඹුමක් ලෙස හැදින්වුයේ එබැවිණි. මා සිතන හැටියට මෙම ප්‍රවේශය අප සැවොම අගය කළ යුතු අතර තවත් සැඟවුණු දේශීය ඥාණ ගවේෂණයන් තව තවත් කළ යුතුය. මෙයින් නුතන බටහිර ප්‍රවේශය සම්පුර්ණයෙන් ප්‍රතික්‍ෂේප කිරීමක් සිදු නොවේ. සිදුවන්නේ නුතනත්වයේ යම් යම් සිරගත භාවයන් ගෙන් (deadlock) මිදීමට දේශීය ඥාණය යොදා ගැනීමයි. උදාහරණ වශයෙන් එල්ලංගා දේශීය ගොවි ජාලකය (network) වඩාත් කාර්යක්ෂම සහ පුරෝකතන අනුස්ථාපණිය ක්‍රම වේදයක් කර ගැනීමට අවශ්‍ය නම් තොරතුරු තාක්ෂණ ප්‍රවේශයක් හඳුන්වා දිය හැකිය (ජාලකයක් බැවින් මෙය කිරීම පහසුය). නව කාලගුණික තත්වයන් මත වාර්ෂික වර්ෂාපතනය (annual rainfall) වෙනස් වන බැවින් එයට සාපේක්ෂව කොතරම් කුඹුරු ප්‍රමාණයක් වගා කළ යුතුද යන්න සහ තවත් දේ එවන් ගණිතමය - සංඛ්‍යානමය තාක්ෂණ ප්‍රවේශයක් ඔස්සේ පුරෝකතනය කළ හැක. කොතරම් මි ගස් සංඛ්‍යාවක් කුඹුරු දෙපස සිටුවිය යුතුද වැනි තොරතුරු මේ ඔස්සේ දැනගත හැකිය. එමෙන්ම තවත් බොහෝ දේ පිලිබදව ගොවීන් මේ ඔස්සේ දැනුවත් කළ හැක. එවිට එවන් එල්ලංගා තොරතුරු තාක්ෂණ ජාලයක් (Ellanga Information Technology Network) නිෂ්පාදනය කිරීම යනු නුතනත්වය වෙත අප ගමන් කරන්නාවූ විකල්ප ප්‍රවේශයක් වනු ඇත. මේ යුගයේ විශිෂ්ටම දාර්ශනිකයෙක් වූ යර්ගන් හබමාස් යෝජනා කරන්නේ ආගම සහ ලෞකික බව අතර සිදුවන නොනවතින සංවාදයකි. එවන් සංවාදයකදී දෙපාර්ශවයට ම සන්නිවේදන කාර්යයක නිරත විය හැක. එවිට පුද්ගලික විශ්වාසය පොදු හේතුව බවට පත්විය හැකි බව ඔහු පෙන්වා දෙයි (නුතනත්වය යනු එයයි) (translating the religious claims into secular and publicly accessible reason). ඉදින් සම්ප්‍රදාය සහ නුතනත්වය අතර සිදුවන අවිච්චින්න සංවාදයක් අද දවසේ අප වැටී සිටින නරා වළෙන් ගොඩ ඒමට ද අවශ්‍ය කර තිබේ. එම නිසා හිනා වෙනු වෙනුවට සංවාදය ඉදිරියට ගෙන යන්න.  

*(2) ලංකාවේ ආශ්‍රම දෙකක් අතර ඇතිවී තිබෙන අශ්ලීල තරඟය දෙස බලන්න. මෙම සිද්ධියට සම්බන්ද භික්ෂුන් වහන්සේලා දෙනම ම කරනු ලබන්නේ සාමාන්‍යයෙන් අප දන්නා බෞද්ධ දර්ශනය විකෘති කිරීමයි. උදාහරණ වශයෙන් අහම (නැත්නම් මමත්වය) ප්‍රහීන කළ අයෙක් මෙතරම් අනෙකා කරන දෙය වෙනුවෙන් වද වෙන්නේ ඇයි? සත්‍යය අවබෝධ කරගත් අයෙක් ගෙන් විද්‍යාමාන වන තැන්පත් බව හෝ ගැඹුරු සවිඥානික බව මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් තුළවත් දැකගත හැකි වන්නේ නැත. එක් අයෙක් වෙහෙර විහාර වැසෙන කම් පලතුරු වලින් පුරවයි. භුතයින් ගුද මාර්ගයෙන් එළියට ගනී. ගාථා ගීතිකා බවට පෙරළයි (ගීතිකා විසින් ම ආශාව කුළු ගන්වයි). අනෙක් තැනැත්තා ස්ත්‍රී කේෂ කලාප මතුයෙන් ඇවිද යයි. තමාගේ ම පිළිම තනයි. මහා විශාල පුටුවක් සදා ඒ මත විරාජමාන වේ. තොර තෝංචියක් නැතිව මොනවාදෝ කියවයි. මමත්වය යන්න විශ්විය ශුන්‍යතාවයක් (විසංයෝජනය) බවට පත් කරනවා වෙනුවට මොවුන් දෙදෙනා කරන්නේ 'මම' යන්න මෝඩ පසු නුතන බෞද්ධයින් ඉදිරියේ තව තවත් ඉස්මත්තට නැංවීමයි. මේ පෙරදිග බව සහ බෞද්ධ දාර්ශනික ප්‍රවේශය විපරීත ලෙස වෙළඳ පොළ සමග බද්ධ කිරීමයි. ඒ සඳහා පන්සල ප්‍රමාණවත් නොමැති බැවින් ඔවුන් නිර්මාණය කරන්නේ අසපු ය. අසපු පසුව ආශ්‍රම බවට පත්වේ. ඉන් පසුව ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය මත ඔවුන් කැලිෆෝනියා සානුවේ ඕෂෝ ආශ්‍රමයක් ගොඩ නගනු ඇත. තමා කරන දෙය මොවුන් නොදන්නවා නොවේ. ගැටළුව ඇත්තේ එතැන ය. 

දැන් ඉතින් සැදැහැවත් පසු නුතන බෞද්ධයෙක් මෙසේ විමසනු ඇත. මමංකාරය පරාජය කරමින් බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවාට පසු මුලින්ම එතුමන් වහන්සේ විසින් සිංහනාද කළේ 'මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මම ලොවට ජේෂ්ඨ වෙමි' යනුවෙන් නොවේද? මමත්වය ප්‍රහීන කළ කෙනෙක් තමන්ගේ ප්‍රථම වචනය තුළින් නැවතත්  'මම' යන්න අධි නිශ්චය කරන්නේ ඇයි? මෙය බුද්ධාගමේ පවතින විරුද්ධාභාෂයක් නොවේද?                   

Thursday, September 6, 2018

චක්කන්ච වහතෝ පදං...

එක් තැනක බුදු දහම විසින් කර්මය යන්න යම් අයෙක් විසින් වැපුරූ දෙයහි අස්වැන්නට සමාන කරන විට තවත් තැනක කර්මය යන්න මිනිසා පසුපස එන සෙවනැල්ලට සමාන කරයි. අංගුත්තර නිකායේ සඳහන් ආකාරයට චේතනාව විසින් මෙහෙයවනු ලැබ සිත, කය, වචනය ඔස්සේ සිදු කරන ක්‍රියාව කර්මය ලෙස ගැනේ (willed act). බුද්ධ හෝ අරහත් තත්වයට පත් වූ අයෙක් පමණක් ඉහත චේතාන්විත කර්ම ක්‍රියා නිර්මාණය කරන්නේ නැත (creative acts). මන්ද යටපත් කළ ආශාව පදනම් කරගත් අවිඥාණික අන්තර්ගතය එවැන්නෙකු ට භාවනාව ඔස්සේ විසංයෝජනය කල හැකි බැවිණි. උසස් අභිඥා තත්වය ලද එවැන්නෙකු ට මවගේ මතකය (unconscious memory) මෙන්  මවගේ පාර්ශවිය වස්තු රැගත් ෆැන්ටසි ස්ත්‍රිය (fantasy = object a) යන දෙකෙන්  සවිඥාණිකව ඉවත් විය හැකි නිසා ය (මේ පිලිබඳ දළ විස්තරයක් 'මගේ ලෝකයෙන් පසු ලෝකය' කෘතිය තුළ ඇතුළත් කර ඇත). පෙරදිග ආගම් ඔස්සේ විමසා බැලුව හොත් අහම (මමංකාරය) විසින් කරනු ලබන චේතනා නිෂ්පාදනය කිරීම (නොහොත් කර්ම ක්‍රියා නිෂ්පාදනය) විශ්වීය (cosmic) ලෙස චේදනය කර දැමීම ඉහල මානසික අවධියක ට ළඟාවූ කෙනෙකුට කල හැකිය. එයට එක ම මඟ සිත දියුණු කිරීමයි. පුද්ගල සතුට මෙන්ම දුක ද තීරණය කරන්නේ ඉහත කර්ම විපාකයන් විසින්  යන්න පෙරදිග ඉගැන්වීම යි. අප දේශපාලනය කරන්නේ අනුන්ගේ සතුට මෙන්  අපගේ ද සතුට වෙනුවෙන් නම් එහිදී අපගේ ක්‍රියා සදාචාර විනිශ්චන්ට යටත්ව කල යුතු වන්නේ එම ක්‍රියාවන්හි ප්‍රථිපල (කර්ම) ගැන සවිඥානික බවකින් යුක්තවය. එනයින් සදාචාරය යනු හුදු පංති සවිඥානික බවකට හෝ අධිපති පංතියේ සදාචාර උවමනා වන්ට පමණක් ඌනනය කිරීම සමස්ත අර්ථයෙන් නුවණට හුරු නොවේ. මන්ද මිනිසාට භෞතික ලෝකය ඉක්මවා ගිය පරමාර්ථ සහ පැවැත්මක් ගැන හැඟීමක් පුර්ව ඓතිහාසික අවධියේ සිට පැවති හෙයිනි. එස්. රාධාක්‍රිෂ්ණන් ට අනුව කර්ම යන සංකල්පය ව්‍යුත්පන්න වන්නේ මොහෙන්දජාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරයේ සිට වන අතර එතැන් පටන් එයට බොහෝ විට තිබුණේ දයලෙක්තික පැවැත්මක් නොව පරම පැවැත්මකි (අවසන් හැඟවුමකි). පෙරදිග ශිෂ්ටාචාර තුල දයලෙක්තික චින්තනය අධිනිශ්චය නොවුනේ පෙරදිග ලෝකයේ තිබු මෙම පරම සහ පාර-අනුභූතික පැවැත්මේ ස්වභාවය නිසාය. එය බටහිරින් තීරණාත්මක ලෙස පෙරදිග වෙනස් වන සාංදෘෂ්ටික තත්වයකි (රාධාක්‍රිෂ්ණන්. ඉන්දීය දර්ශනය 1923). බාහිර ලෝකය පිළිවෙල කිරීම වෙනුවට භෞතික ලෝකයෙන් මෑත් වීම මුලික කොට ගත්  ආගමික ස්වරුපයක් සමස්ත පෙරදිග පුරාම දක්නට හැකිවිය. ඇරිස්ටෝටලියානු 'ඥානය' වෙනුවට පෙරදිග සොයා ගියේ අභිඥා තත්වයකි. 'දැනුම' යන්න භෞතික මිනිස් පැවැත්ම සඳහා අවශ්‍ය වුවත් පාර ලෞකික ලෝකයක දී මිනිසා දැනුම ඉක්මවා යා යුතු බව පෙරදිග දී උගන්වයි. 

ඉදින් පෙරදිග ලෝකය තුල දයලෙක්තික භෞතිකවාදය ඔස්සේ යමෙක් දේශපාලනය කරන්නේ නම් ඔහු හෝ ඇය විසින් මෙම ලෝකයේ පවතින මිනිස් චින්තනය මෙහෙයවන බරපතල සද්භාවී බෙදුම් කඩනයක් මුණ ගැසීමට සුදානම් විය යුතුය. නැත්නම් සිදු වන්නේ මාවෝ ගිය පාරේ ගොස් මහත් විනාශයක් අත්කර ගනිමින් අවසානයේ බටහිර ධනවාදය ඉදිරියේ දණ නැමීමට ය. පෙරදිග ලෝකය සහ එහි සද්භාවය සහ බටහිර ට පරස්පරව පෙරදිග චින්තනයේ ඇති ප්‍රභලතාව හඳුනාගත් දේශපාලන චරිතයක් ලෙස ගාන්ධි ඉස්මතු වන්නේ මෙතැනදී බව මීට ඉහත අප යෝජනා කලේ මේ නිසාය. කෙසේ වුවද ඉහත පුර්විකාව ලිවුවේ යටපත් වූ දෙය වඩාත් ප්‍රභල ලෙස ඉස්මතු වූ (ෆ්‍රොයිඩ් කියන පරිදි) කර්ම අවස්ථාවක් වර නැගීම වෙනුවෙනි. මිය ගිය අයෙක් ජීවමාන අයෙකුට වඩා අවතාරම ය (spectral presence) ප්‍රභල තාවයක් අත්පත් කරගන්නේ ඉහත කර්මය නම් ධර්මතාවය ඉස්මතු කරමිනි. එම සිද්ධිය නම් මිට ටික කලකට පෙර නවක වධය නිසා මියගියා යැයි සැලකෙන සබරගමුව විශ්ව විද්‍යාලයේ අමාලි චතුරිකා දියණිය ගේ මරණය ආශ්‍රිත  ඊයේ පෙරේදා ඉස්මතු වූ සිදුවීම් ජාලාවයි. එම අවතාරමය 'දේශපාලනික' ප්‍රාදුර්භුත වීම කොතරම් ප්‍රභල ද යත් උසස් අධ්‍යාපන ඇමති වරයා පමණක් නොව අතිගරු ජනාධිපති තුමා පවා විවෘත ව නවක වධය ට එරෙහිව අදහස් පළකරන මට්ටමට එය අද වනවිට සමස්ථ සමාජය ට ප්‍රක්ෂේපනය වී ඇත. භෞතිකවාදීන් ට 'අවතාරය නැවත ප්‍රාදුර්භුත' වීම වැනි විඥානවාදී යමක් තේරුම් ගැනීමට නොහැකි වුවද මෙය ආගමික අර්ථයෙන් ප්‍රගතිශීලි තත්වයකි. ජීවමාන පුද්ගලයින්ට සංකේත පිළිවෙල නැවත ගොඩ නැගීමට නොහැකි වන විට අවතාරය වලෙන් නැගිට අවුත් අපගේ විනෝදය සීමා කිරීම නම් තත්වය පුළුල් පශ්චාත් ලැකානියානු ඉගැන්වීමකි. එම අවතාරයේ ක්ෂිතිමය ප්‍රභලතාවය සඳහා උදාහරණය වන්නේ පසුගිය දිනක ලියා තිබු 'දිවයින' කතු වැකිය යි.             

ඉහත නවක වධය ආශ්‍රිතව මතු වී ඇති සිද්ධිය පාදක කර ගනිමින් ලියා ඇති 'දිවයින' පුවත්පතේ කතුවැකිය (කියවන්න දිවයින පුවත්පතේ කතුවැකිය) තරම් ආවේගශීලි කතුවැකියක් යම්කිසි අයෙක් මීට පෙර කියවා නැතැයි කියුව ද එය පුදුමයක් නොවිය හැකිය. අප 'දිවයින' මතවාදය සමඟ එකඟ නොවුන ද ලාංකික ජාතියේ අනාගතය වන දරුවන් ට වැදගත් වන යම් යම් උපනතීන් පිලිබදව කවුරුන් හෝ නිර්භීත ව අදහස් දැක්වීම සතුට ට කරුණකි. ඉහත සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය පිළිබද ව වැදගත් ගැටළු මතුවී තිබුන ද එම සිද්ධිය විසින් අධිනිශ්චය කර ඇති සමාජ ගැටළුවේ බරපතල කම අතිශයින් වැදගත් ය. අප දන්නා ආකාරයට 'දිවයින' යනු සාමාන්‍යයෙන් ජාතිවාදී පුවත්පතකි. දේශපාලනිකව මිනිසුන් සිටිය යුත්තේ විශ්වීය තැනක මිස ජාතිවාදී තැනක නොවේ (නවක වධය ට වඩා මිනිසුන් ජාතිවාදය විසින් මරා දමා ඇත). එය එසේ වුවත් ඉහත සිද්ධියෙන් ඉස්මතු වන නවක වධය නම් මිනිස් කමට නොගැලපෙන තිරස්චීන ක්‍රියාව (primordial act) සම්බන් 'දිවයින' ප්‍රතිචාරය තුලින් ගම්‍ය වන 'වධ' දීම යනුවෙන් හඳුන්වන පුද්ගල සුවිශේෂතාවයන් ලජ්ජාවට (humiliating the individual uniqueness) පත් කිරීමේ ක්‍රියාවලිය (විශ්ව විද්‍යාල තුල 'සාමුහික බව' ඇතිකිරීමේ ක්‍රියාව යනුවෙන් හඳුන්වන දෙය) සහ පුද්ගල සමාජ පසුබිම් හෙළා දැකීම නම් ක්‍රියාව තුල ඇති මානව විරෝධී ප්‍රවණතාව අප සැමගේ ම අවධානයට ලක්විය යුතුය (යම් යම් පන්ති හෙළාදැකීම ඔස්සේ සමානතාව ඇතිකළ නොහැක). ග්‍රාමීය දුෂ්කරතා තුළින් එන දරුවෙක් කළ යුත්තේ නගරයෙන් එන දරුවකුට වෛර කිරීම නොවේ. බස් වලින් කොළඹ අවුත් අනවරතව කුමක්දෝ නිදහසක් ඉල්ලීම නොවේ. පංති හීනමානයෙන් මිදී තම දක්ෂතාවය ඔස්සේ නගරය පවා ඉක්මවා ගමන් කිරීමයි. යටත් විජිත මානසිකත්වයෙන් මිදී ඉංග්‍රීසි වැනි විදෙස් භාෂා නිදහස්ව ඉගෙන ගැනීම යි.  

නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ට සිදුවන්නේ ස්පාටකස් කෙනෙක් බවට පත් වීමට ය. එතැනදී දෘෂ්ටිවාදය වන්නේ මාක්ස් වාදයයි. ඊට අමතරව රැවුල සහ කොණ්ඩය අමුතු ලෙස වැවිය යුතුය. චින්තනයෙන් නිදහස් දරුවෙක් වෙනුවට දම්වැල් අත් දෙකේ දරාගත් වහලෙක්ගේ රූපකය (පැරණි 'සිත්තර' පත්තර වල ඇති ටෝගා, ස්කාගස්, ස්පාටකස් වැනි ග්‍රීක රෝම වහල්-නිදහස පිළිබද ෆැන්ටසි වලින් මිදීමට නොහැකි වීම මෙහි ඓතිහාසික මනෝ විශ්ලේෂණය යි. 'ස්පාටකස්' වැනි ග්ලැඩියේටර් ලා කරනු ලැබුවේ තම ශරීර ශක්තිය සහ සටන් හැකියාව ඔස්සේ රෝම වංශවතුන් පිනවීම ය. අද පවා වන්නේ ඉහත ඉතිහාසය පුනරුක්ති වීම පමණි. මාධ්‍ය පැත්තෙන් ගත්තොත් මෙය දිනපතා විනෝදයකි. වෙළඳ පලකි) අධිනිශ්චය කර ඇති 'රැඩිකල් කරණය' කරන ලද නව ශිෂ්‍ය දේශපාලනයේ ඇති අවිඥානික බටහිර ගැති බව මනෝ විශ්ලේෂණ මානයක තේරුම් ගත යුතුය. විරු සිසු පිළිරූ බිහිවෙන්නේ පොතක් අතින් ගත් සිසුවෙකු සහිතව නොව දම්වැල් අතින් දරා ගත් රැඩිකල් මරණය වෙත යන සිසුවෙකු නිරූපණය කරමින්ය. 'මාක්ස්වාදීන්' යැයි ව්‍යාජ නමකින් පෙනී සිටින ලාංකික මාක්ස්වාදීන් ගේ බටහිර ට ඇති වහල් භාවය අප පැහැදිලිව තේරුම් ගත යුතුය. අපගේ ලෝකයේ කිසිදා වහලුන් සිටියේ නැත. පෙරදිග ලෝකයේ තිබුණේ සත්‍යය සොයායන්නන්ගේ (seekers) සංස්කෘතියකි. එම සොයා යාම කලේ තනි පුද්ගලයින් වශයෙනි. එය වඩාත් ගැඹුරු මානසික ක්‍රියාවක් විය. අපගේ ලෝකය තුල අති විශිෂ්ට පුද්ගලයින් බිහිවුවේ ඒ මානසික ක්‍රියාවේ ප්‍රථිපල හැටියට ය. ඒ වෙනුවට බටහිර ආගම් විසින් කළේ විශ්වාස කරන්නන් බිහි කිරීම ය (අවම වශයෙන් බටහිර  සැක කරන්නට ඉගැන්වුවේ රේනේ ඩේකාට්ස් ය). විශ්වාස කරන්නන් හට තව පුද්ගලයින් දහස් ගණනක් තමන් විශ්වාස කරන දෙය ම විශ්වාස කිරීම අවශ්‍ය වේ (තමා විශ්වාස කරන දෙය විශ්වාස නොකරන්න වුන් මිළියන ගණනක් බටහිර විසින් මරා දමා ඇත. දැන් ඔවුන් අපට බහුත්වවාදයේ අගය කියාදීමට Multitude වැනි පොත් ලියයි. වැඩමුළු තියයි. ලෝක බැංකු ණය ලබාදෙයි). ඉතින් බටහිර ආගම් විසින් නිෂ්පාදනය කල විශ්වාස කරන්නවුන් (believers) විසින් තව ලක්ෂ ගණනක් තමා විශ්වාස කල දෙය ම විශ්වාස කරන්න වුන් බිහිකර ඇත. එසේ සාමුහික ව විශ්වාස නොකරන්නේ නම් 'විශ්වාසය' යන සංකල්පය අර්ථ විරහිත වන බව සද්ගුරු පවසයි (සවන් දෙන්න ඔහුගේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල දේශනය ට. මෙතනින් නරඹන්න). ඒ අර්ථයෙන් තනි පුද්ගල සොයායාම ඔවුන්ගේ ලෝකයේ අර්ථවත් වුවේ නැත. මාක්ස්වාදය පවා ගමන් කරන්නේ ඉහත සාමුහික මොඩලය දිශාවට ය. නමුත් බුදුන් වහන්සේ පවසන්නේ තමා විසින් ම සත්‍ය ගවේෂණ කල යුතු බවයි. විමුක්තියේ අත්දැකීම ලැබිය හැක්කේ තනි පුද්ගල ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසය. ලෝකය පිළිවෙල කිරීමට බටහිර ලෝකය උත්සුක වෙද්දී පෙරදිග උත්සාහ කලේ අද්විතීය මිනිසෙක් නිෂ්පාදන කිරීමට බව සත්ගුරු පවසන්නේ මේ නිසාය. ඒ අද්විතීය මිනිසුන් අතර බුදුන් වහන්සේ, වර්ධමාන, ගාන්ධි වැනි මිනිසුන් වෙයි. ඒ සියල්ලෝම අහිංසා වාදය වෙනුවෙන් පෙනී සිටිය අය වේ (ශරීර අධිනිශ්චය වූ ග්ලැඩියේටර් පන්නයේ පන්ති වෛරය ඇවිලිය යුතු නිසා මාක්ස්වාදීන්ට මේ මානසික-අධ්‍යාත්මික කතාව හරියන්නේ නැත. මාක්ස් ඇතුළු සියල්ලෝම ඉහත ග්‍රීක-රෝම, ස්වාමි-වහල් දයලෙක්තික චින්තනයේ ගොදුරු වන්නේ මේ හේතුව නිසාය).      
      
දෙවියන් සමග අනන්‍ය වුවන් වන ISIS සංවිධානය කරන්නේ තමන් විශ්වාස කරන දෙය සැබෑවක් බවට පත් කිරීමට ය. දෙවියන් යනු ඔවුන්ගේ අනන්‍යතා සීමාවයි. ඒ වෙනුවෙන් ඕනෑම නපුරක් වෙනුවෙන් ඔවුන් යොමුවේ. මාක්ස්වාදය සමඟ අනන්‍ය වුවන් වුව ද ඕනෑම නපුරක් වෙනුවෙන් යොමුවේ. නමුත් පොදුවේ නපුර කරා එළඹෙන බොහෝ අය අමතක කරන දෙයක් නම් තමා කළ ක්‍රියාවේ ශේෂයන් යම් විශ්ව ශක්තියක් ලෙස තමා කරා නැවත සම්බන්ද (සන්ධි) වන බවයි. එය සාමාන්‍යයෙන් බුදු දහම තුලත් පැරණි භාරතීය සංස්කෘතිය තුළත් හැඳින් වෙන්නේ 'කර්ම' යනුවෙනි (කර්ම = ක්‍රියාවෙන් ශේෂ වන අවිඥානික දෙය). එවකට ක්ෂිතියක් වූ අමාලි ගේ සියදිවි නසා ගැනීම නම් මීට වසර ගණනාවකට පෙර (2015) සිදුවූ මෙම සිදුවීම තුළ දක්නට ඇත්තේද කර්මය නම් ශක්තිය (cosmic energy) නැවත වර්තමානය සමග ආපතික ලෙස සම්බන්ද වීමයි (ප්‍රති සන්ධි වීමයි). කාලයේ වැලි තලාවෙන් වැසී යනු ඇතැයි සැවොම සිතා සිටියත් කර්ම බලය විසින් එම සිද්ධිය නැවත ඉස්මතු කිරීම සඳහා කරුණු බොහෝ ගණනක් පාදක වනු මෙහිදී දැකිය හැකිය (එක් හේතුවක් නොව හේතු ගණනක් = පටිච්ච සමුප්පාද). එම කරුණු දේශපාලනයේ සිට මුහුණු පොත දක්වා පරාසයක පිහිටා ඇත. එම සෑම බලවේගයක්ම එකිනෙකට වෙනස්ව බලපෑම් සහගත වෙමින් ඉහත අඳුරු සිද්ධිය  ඉස්මතු කිරීම ට බලපෑම් සහගත විය. මෙම ක්‍රියාවට යම් අයෙක් සම්බන්ධ වුවේ නම් ඒ සම්බන්ද වුවන් සියල්ලෝ ම එම අසත් පුරුෂ ක්‍රියාව අමතක කර (සවිඥානික මතකය = memory) 'සාමාන්‍ය ජිවිත' ගත කරනු පෙනුණත් කර්ම ශක්තිය ඉස්මතු වී (නිරපේක්ෂ කාලය) සියල්ලන්ගේ ජිවිත දැන් තැති ගන්වමින් ඇත. ඔවුන් විඳිමින් සිටි සාපේක්ෂ කාලය (විනෝදය) අර්බුදයට ගොස් ඇත. ඉතින් නලින් විසින් 'කාලය' යන්න මෙතරම් වැදගත් ලෙස සිතන්නේ ඇයිද යන්න පැහැදිලි වනු ඇතැයි සිතමු (පාපී ක්‍රියාවක මෙන්ම යහපත් ක්‍රියාවක ශේෂය ලෙස ගත හැකි අවිඥානය සහ අතීත ස්මෘතිය අමතක කරන වර්තමානය නම් සවිඥානය ගැඹුරු ලෙස ගැට ගසන්නේ කාලය විසිනි). අනුභූතිකව අප අත්දකින කාලය නම් සාපේක්ෂ දෙය වැදගත් වන්නේ භෞතික (කාබනික) ලෝකයේ දී පමණි. අනුභූතික භෞතික ලෝකයෙන් ඔබ්බට කාලය යන්න අදාල නොවේ. ඉතින් අමාලිගේ මරණය තුලින් නැවත ප්‍රති සන්ධි වී ඇති කර්මය ඇත්තේ ඉහත 'පැවැත්මේ නිරපේක්ෂ කාලය' තුලය. ආපතික ලෙස අනතුරු දායක වී ඇත්තේ ඉහත සිද්ධියට දායක වූ (එසේ වුවේ නම්) අසත් පුරුෂයින් විසින් මෙලොව ජිවිතයේ සදාකාලික යැයි සිතා සිටි විනෝද යයි. ඉතාම කෙටියෙන් බුදුන් වහන්සේ වදාළේ 'කර්මය යනු චේතනාව' බවයි (චේතනාහන් භික්ඛවේ  කම්මං වදාමි). යටපත් කිරීමට උත්සාහ කල ද අවිඥානික මතකය බවට පත් වන්නේ ඉහත චේතනාවයි (intention = act = suppression = unconscious memory). ඉතින් ලංකාවේ හැටියට දේවල් නැවත යටපත් වීමට ඉඩ ඇතුවා වුවත් චේතනාන්විතව කරන ලද ක්‍රියාවේ ප්‍රතිථල දෙස අප බලා සිටිමු. ගැලෙහි බඳින ලද ගොනු පිටිපස එන කරත්ත රෝදය මෙන් කර්මය අප පසුපස එනු ඇත.         

නෙලුම් මල යනු කර්මය සංකේතීයව පෙන්වන පෙරදිග ප්‍රපංචයකි. මල පිපෙන විට එහි බීජයන් පවා එවිට ම දැකගත හැකි ලොව ඇති මල් කිහිපයකින් එකක් ය නෙලුම් මල. එය බුදු පුදට යොදා ගන්නේ හේතුව සහ ප්‍රතිපල එකවිටම විකසිත කරන හෙයිනි.  Lotus symbolically represents karma  (ශේෂ වූ දෙය) in many Asian traditions. A blooming lotus flower is one of the few flowers that simultaneously carries seeds inside itself while it blooms. Seed is symbolically seen as cause, the flower effect. Lotus is also considered as a reminder  that one can grow, share good karma and remain unstained even in muddy circumstances (Wikipedia).  

කෙසේ වුවද ඉහත මරණය පිළිබදව අදහස් දැක්වීමේදී පොදුවේ ජනමාධ්‍ය (ඉහත 'දිවයින' පුවත ද සමග) සහ මුහුණු පොත කර ඇති වරදක් නම් බුදු දහමේ ම එන පටිච්ච සමුප්පාද තර්කනය ප්‍රතික්ෂේප කිරීමයි. ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියද ප්‍රපංචයේ මුලික ආවේගය නිසා (හෝ වෙනත් හේතුවක් නිසා) ඔවුන්ට ගැඹුරු බෞද්ධ තර්කණය මඟ හැරි යයි. එහි අර්ථය නම් යමක් උත්පාද (rising) වීමට එක් හේතුවකට වඩා හේතු ගණනාවක් (multiple of reasons) පසුබිම් විය හැකි බවයි. ඇපල් ගෙඩිය නිව්ටන් ගේ හිසට වැටීමේ ප්‍රපංචයේ දී තනිකරම එහි හේතුව ගුරුත්වා කර්ෂණය වෙතට බාර කිරීමට පෙරදිග දර්ශනය ගැන දැනුමක් ඇති අය මැළිවන්නේ මේ හේතුවෙනි. මන්ද යමක් උත්පාද වීම තනි හේතුවක් ඔස්සේ හට නොගන්නා හෙයිනි. සියල්ල පැටලුන නුල් බෝලයකට උපමා කරන බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට පවසන්නේ තෘෂ්ණාව ඇති විට දුක ද පවතින බවයි. තෘෂ්ණාව අතුරුදන් වූ විට දුක ද අතුරුදන් වී යන බවයි. ඒ අනුව දුකට හේතු වන්නා වූ හේතු ප්‍රත්‍යයන් ගණනාවක් උන් වහන්සේ දේශනා කරයි. තනි නිව්ටෝනියානු හේතුවක් වෙනුවට බහුත්ව හේතුන් වෙත පටිච්ච සමුප්පාදය ගමන් කරයි. ඒ ඔස්සේ සිතා බැලුව හොත් අමාලිගේ මරණය යනු පැටලුණ නුල් බෝලයකි. ඇයගේ මරණය නම් අප අද දන්නා සඥාව ඒ දක්වා ඇය ජිවිතයේ මුහුණ දුන් හේතු ගණනාවක ප්‍රතිඵලයක් විය හැකිය. නවක වධය යන්න එම මරණය යන ඇයගේ අවසන් තීරණය කෙරෙහි බලපා තිබිය හැකිය (ක්‍රියාව සම්පුර්ණ වීම). නමුත් මීට පෙර පවා ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇතුවා විය හැක. කෙසේ වුවද නවක වධය යනු මරණයේ හේතුන් ගෙන් එකකි (එහි බර වෙනස් විය හැක. වෙනත් විදියකින් කිවහොත් නවක වධය ට පසුත් ඇයට ජීවත් වීමේ ප්‍රභල හේතුවක් ජනනය වුවේ නම් නවක වධය තිබියදී පවා ඇයගේ මරණය සිදු නොවීමටත් හේතු වන්නට තිබුණි). කිසිවක් ස්වායත්තව (independent) නොපවතින බව සද්භාවී ලෙස පෙන්වා දෙන බුදු දහම අනුව ගත් විට ඉහත අමාලි ගේ මරණය සම්බන්ද මාධ්‍ය ඉස්මතු (rising) වීම පවා ස්වාධීන යමක් නොවිය හැකිය. එසේ ඉස්මතු වීමට අප දන්නා නොදන්නා හේතු ගණනක් පාදක වී තිබිය හැකිය. මන්ද අප ජිවත් වන්නේ දේශපාලන ලෝකයක ය.  

එසේම මෙම සිද්ධිය නූල් බෝලයක් යන බුදු වදන සැබෑවක් යන්න සිහිගන්වන තවත් මානයක් ද ඉස්මතු වෙමින් පවතී. සියල්ල හුදු කතා බවට (fictions) පෙරළෙමින් ඇති නිසා සත්‍ය ය කුමක්ද යන්න තෝරා බේරා ගැනීම ඉහත නූල් බෝල සන්දර්භය තුල අසීරු ය. එම කතාව නම් ඉහත දැරිය විසින් හිතාමතා ම ඇයගේ පාසල් සමයේ මිතුරියන් දෙදෙනෙකු ගේ නම් සඳහන් කර සියදිවි නසාගෙන ඇති බවයි. මෙම මිතුරියන් දෙදෙනා සමග අමාලි දැරිය පාසල් යන දිනවල සිට ම යම් නොහොඳ නෝක්කාඩුවකින් සිට තමා මිය යන මොහොතේ ඔවුන් දෙදෙනාගේ නම් දෙක තම ලිපියේ සඳහන් කර ඇති බව ඇතැමුන් ගේ මතයයි (එසේ නිකම් ම යමෙකුගේ නම් සඳහන් කරයිද යනුවෙන් යමෙක් ප්‍රශ්න කලොත් එයට පිළිතුරක් දිය නොහැකි නමුත් මෙහිදී එම ප්‍රස්තුත යද සැලකිල්ලට නොගෙන සිටිය යුතු නැත). දැන් ගැටලුව ඇත්තේ මියගිය අයට නොව ජිවත් වන අයට ය. ඉහත සිද්ධියට ලැබූ මාධ්‍ය ආවරණය දෙස බැලූ කළ යම් විදියකින් එවන් නවක වධ සිද්ධියක් කෙසේවත් සිදුවී නැත්නම් හා මේ සිද්ධියේදී නම් සඳහන් කිසිවෙක් ඇත්ත වශයෙන් එම සිද්ධියට සම්බන්ද නැති නම් එවිට එය ජිවත් වන අයගේ පැත්තෙන් වඩාත් බරපතල ය. එවිට සමස්ත සිද්ධිය හුදු කතාවක් පමණක් බවට පෙරළේ. එවිට මාධ්‍ය යේ කාර්ය භාරය ගැන නැවත සිතීමට සිදුවේ. අප ජිවත් වන්නේ හුදු දෘශ්‍යමාන ය (appearance) පමණක් යථාර්තය ලෙස තේරුම් ගන්නා මායාවී (illusory) ලොවක ය යන බුදු වදන මෙහිදී වඩ වඩාත් සත්‍ය වේ. වෙනත් විදියකින් කිවහොත් 'යථාර්තය යනු ශුන්‍යතාවයකි' යන බුදු වදන මෙහිදී තවදුරටත් අදාල ය.   

දන්නා තරමට අමාලි යනු කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් පැමිණි දැරියකි. විශ්ව විද්‍යාලයට පැමිණීම ට පෙර පටන්ම ඇය මානසික සංකූලතාවය නිසා ප්‍රතිකාර සඳහා ද යොමුවූ අයෙකි. ඇයගේ පවුල් පසුබිම පැහැදිලි නැත. ඒ කෙසේ වුවද බහුතරයක් ගම් වලින් සරසවි පැමිණෙන සිසුන් කොළඹින් පැමිණෙන සිසු සිසුවියන් හට ඉර්ෂ්‍යා කරයි. විශ්ව විද්‍යාලය තුල ඉංග්‍රීසි කතා කරන සිසුන්ට වැඩියෙන් වධ බන්ධන පමුණු වයි (ලෙනින් විසින් සාර්ගේ බල්ලාට පවා වෙඩි තැබීමට පාදක වූ පංති වෛරය ලෙස හැඳින්විය හැකි තත්වය එයයි). පන්ති කාමරයෙන් පිටත ඉංග්‍රීසි කතා කිරීම සාමාන්‍යයෙන් තහනම් ය (ලෝක බැංකු ව්‍යාපෘති විසින් කුමන ආකල්ප දියුණු කරන්න හැදුවත් විශ්ව විද්‍යාල අධිපති මතවාදය වන්නේ දශක ගණනාවක් ලාංකික සමාජය තුල පැවති පංති වෛරය බව ඔවුන් තේරුම් ගත යුතුය). ගමෙන් අවුත් විශ්ව විද්‍යාල තුලදී රැඩිකල් කරණය වන සිසුන් සිතන්නේ කොළඹ අයට තමාට වඩා වැඩි දෙයක් අයිති බවයි ('කොළඹට කිරි අපිට කැකිරි' වැනි අසමාන තාවය ඉස්මතු වන ප්‍රකාශ නොමැතිව වමේ දේශපාලනයට පැවතිය නොහැක. ලෝක බැංකුව මුලින් කල යුත්තේ යථාවේ පරස්පර බව දෘෂ්ටිමය ලෙස අහෝසි කිරීමය. සද්ගුරු මුණි ට ලෝක බැංකුවේ දේශන ලැබෙන්නේ ඉහත දෘෂ්ටිමය පසුබිම තුලය). එසේම පැවති පීඩනය තුල අමාලි මිය යන්නේද වෛරය යෙනි. එනම් තමාගේ මරණ මොහොත (චුති සිත) තුළ නිෂ්පාදනය වුවේ වෛරී විශ්ව ශක්තියකි (revengeful cosmic energy). එනම් ඇය මෙලොව හැර යන්නේ ඇයගේ ක්‍රියාව විසින් වෛරය නම් පිය සටහන් (ලාඤ්ඡනය = imprints) ශේෂ කරමිණි. ඇයගේ වෛරය සබරගමු විශ්ව විද්‍යාල සමාජය කෙරෙහි ප්‍රක්ෂේපනය කර ඇත්තේ තමා විසින්ම ලියු ලිපිය තුලිනි. ඇය නිකම් මිය යන්නේ නැත. සියල්ල අමතක කරන්නේ ද නැත. හරියටම 'හිතුමතේ ජිවිතේ' මෙන් ඇයගේ වෛරය සඳහා පතුලක් නැත. අවසානයක් නැත. එම අවසානයක් නැති වෛරය ඔස්සේ ඇය භෞතික ශරීරය අත්හරිනු ලබයි ('හිතුමතේ ජිවිතේ' පවා තම ශරීරය දෙවැනි කොට සැලකු අවස්ථා ගණනාවක් ඇත). තමා දරා සිටින ශරීරයට ඇය වෛර කිරීමට පටන් ගනී. නමුත් ඇයගේ සෑම ශෛලයක් විසින්ම ඉල්ලා සිටියේ පලිගැනීමයි (කලකිරීම ඔස්සේ අනන්‍යතාව ස්වරූප රාගයක් වෙත ගමන් කිරීම). මේ වනවිට විශ්ව විද්‍යාල පද්ධතියට පමණක් නොව සමස්ත ලාංකික සමාජයට ම ඇය අවතාරයකි (මුහුණු පොත බලන්න). ඒ ඇය මරණය හරහා අප වෙත ප්‍රක්ෂේපනය කල විශ්ව ශක්තියයි (එම ශක්තිය පංති වෛරය සහ පන්ති අසමාන බව ඉක්මවා යයි). එම අවතාරය ජීවමාන අමාලි ට වඩා බලවත්ය. කර්ම ශක්තිය යනු එයයි. නමුත් තාවකාලික 'රැඩිකල් කරණය' (ISIS) ඔස්සේ ලාංකික මාක්ස්වාදීන් යැයි හඳුන්වන පිරිස් විසින් කරන්නේ කර්මය සඳහා පුද්ගලයා තුල ඇති බිය නැති කිරීමයි. පාපය සඳහා ඇති බිය නැති කිරීමයි*. බුර්ෂුවා සදාචාරය උල්ලංඝනය කරන නියාවෙන් ඔවුන් නව උච්චේද වාදයක් සමාජගත කරයි (එනයින් 'බුදුන් ගේ රස්තියාදුව' ඔවුන්ට නිර්මාණශීලි සාහිත්‍ය කෘතියක් බවට පත්වේ. එළිපිට බියර් බොන ගැහැණුන් වීර වරියන් ලෙස වර නැඟීම ගජ රාමෙට කෙරෙනු ලැබේ). ඔවුන්ගේ මුහුණු වල කිසිදු සතුටක් දක්නට නැත. මුහුණු සුදුමැලි වී ඇත (බුර්ෂුවා ධනවාදී පක්ෂවල මිනිසුන් මිට වඩා සතුටින් ඇත). ඉස්ලාම් අන්තවාදීන් කුරාණය යොදා ගන්නවා මෙන් මෙම මාක්ස්වාදීන් යොදා ගන්නේ පරණ මාක්ස් ගේ සාහිත්‍ය හෝ අලුත් මාක්ස්වාදීන් යැයි කියන 'පණ්ඩිතයින්ගේ' ගේ එකක් පිටුපස එකක් බැගින් එන වර්සෝ කෘතීන්ය.

කර්ම යන්න ස්ටාර් බක් කෝපි සංස්කෘතිය සමග සම්බන්ද කරන ජිජැක් මෙසේ පවසයි. පරිභෝජන සංස්කෘතියක ගිලී සිටින අප අපගේ වරදකාරී බව සමහන් කර ගැනීම සඳහා ස්ටාර් බක් කෝපි කෝප්පයක ට වැඩිපුර මුදලක් ගෙවමින් ග්වාතමලාවේ සාගින්නෙන් සිටින දරුවෙක් වෙනුවෙන් 'යමක්' කළා යන හැඟීමෙන් යුතුව නින්දට යමු. නමුත් ග්වාතමාලාවේ යථාර්තය බිංදුවක් වත් වෙනස් නොවී සදාකාලික දුප්පත් කම ලෙස එසේම පවතී (eternal poverty). මෙයට අප 'ධනේශ්වර කර්ම කෝපි'  (Capitalist Karma Coffee) යනුවෙන් හඳුන්වමු. එනම් සත්‍ය යථාර්තයෙන් දුරස් වෙමින් පවත්නා පරිභෝජන සංස්කෘතියේ තව දුරටත් ගැට ගැසීම වෙනුවෙන් යොදන දෘෂ්ටිමය උපක්‍රමයක් ලෙස ඉහත 'නව මානුෂික බව' (අමතර ඩොලර් එක) සැලකිය හැකිය. එවිට අපගේ කර්මයෙන් අප ගැලවී යමු. ඔබගේ කර්මය ද ඔබගේ මිලදී ගැනීම තුළට ම ඇතුලත් කර ඇත (not buying but buying into). බැලු බැල්මට සිත් ගන්නා සුළු රූපකයක් ලෙස කර්මය යන්න ජිජැක් විසින් තම බුද්ධිමය වෙළඳ පොළට අර්ථකතනය කලද කර්මය යනු එවන් දෙයක් නොවේ. කර්මය යනුවෙන් බුදු දහම තුල ඉගැන්වෙන්නේ ප්‍රති සන්ධිය සඳහා බලපාන චිත්ත ශක්තියක් ජනනය කිරීම ය. එය 'කම්මජ තේජෝ ධාතුව' ලෙස මුලින්ම මව්කුස තුළ පිළිසිඳ ගන්නා බව බෞද්ධ අට්ට කථා ආදියෙහි දක්වා ඇති බව පණ්ඩිත හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් ගෙනහැර දක්වයි (බෞද්ධ දර්ශනය. පිටුව 102-3). ඒ අනුව අමාලි විසින් ද නැවත සන්ධි වීම සඳහා බරපතල ශක්තියක් (නිශේදන) උත්පාද කරගෙන ඇත. 'විඥාණය පටිච්ච සමුප්පන්න ධර්මයකි. එය කර්ම බලයෙන් පහල වන්නක් බව පටිච්ච සමුප්පාදයේ ම දක්වා ඇත. එවිට විඥාණය ඵලයකි. කර්මය එහි හේතුව ය' (107). නිවනෙහි ආරම්භය යනු විඥාන නිශේදනයේ ආරම්භය යි (සංඛාර නිරෝධ විඥාන, අවිජ්ජා නිරෝධ සංඛාර වශයෙන්). කර්මයෙන් විඥාණ ශක්තිය පහල වුව ද මවු කුසක කර්ම ශක්තිය විසින් බිහි කරන්නේ තේජෝ ධාතුවකි (වැඩිදුර කියවන්න පිටු 110-1). ඒ අනුව කර්මය යනු මූල හේතුවකි. නාම රූප ප්‍රත්‍යයන්ගේ පහල වීම උදෙසා උපකාරී වන දෙයකි. ජිජැක් මතුපිටින් හඳුනා ගන්නා අයුරින් 'කර්ම' යනු හුදු වචන සෙල්ලමක් හෝ නරුම ලෙස යථාර්තයෙන් දුරස් වීමක් හෝ නොවේ. ඇත්ත වශයෙන් ගතහොත් යථාර්තය වෙත වඩාත් ලං වීමක් මේ තුළ දක්නට ලැබේ. බුදු දහම ට අනුව (මෙන්ම බොහෝ ඉන්දීය ආගමික දර්ශනයන් ට අනුව ද) කර්ම යනු මිනිස් විමුක්තියේ අතිශයින්ම වැදගත් කොන්දේසියකි.            

එසේම සත්ගුරු ගේ අර්ථකතනය ද මෙහිදී වැදගත්ය. සත්ගුරු ට අනුව කර්මය යනු මිනිස් පැවැත්ම තුල ම ඇති යම් මෘදුකාංගයකි. යමෙක්ගේ මනස, හැඟීම් සහ ශරීරය ක්‍රියා කරන්නේ එම මෘදුකාංගය ඔස්සේය. ඔබගේ මෘදුකාංගයේ සීමාව යනු ඔබගේ පැවැත්මේ සීමාවයි (the limit of your karmic software is the limit of your existence). ශරීරය (දෘඩාංගය) කොතරම් ලොකුවට හැඩි දැඩි වට තිබුණද තම පැවැත්මේ මෘදුකාංගය සීමා සහිත නම් එවිට එම ශරීරය සහිත ආත්මයේ ක්‍රියා කාරීත්වය ද සීමා සහිතය. අප දන්නා පරිදි පරිඝනක ඉංජිනේරුවන් විසින් නව පරිඝනකයක දෘඩාංග මට්ටම ඉහල යන විට ම මෘදුකාංග ද ඉහල දමයි. නමුත් අපේ අයගේ ඉහල යන්නේ 'ස්පාටකස්' ශරීර කූඩුව පමණි. මනස තිබුණ තැනම ය (හැත්තෑව දශකයේ ය). වික්ටර් අයිවන්, ජයදේව උයන්ගොඩ වැනි කිහිප දෙනෙක් නිදහස් වුවද බොහෝ අය මිය යන්නේ අතීතයේ සිර කරුවන් ලෙසිනි*(2). ජේ. ආර්. ගෙන් පසු සමාජ විපර්යාසය තේරුම් ගැනීමට සහ අදට ගැලපෙන න්‍යාය නිෂ්පාදනය කිරීමට කුළියට කිහිප දෙනෙකු හයර් කරගෙන තිබුණද ඔවුන් මෙම බිම්ගත මාක්ස්වාදී පක්ෂය අවසන් විනාශය කරා තව වසර දෙකක් වැනි කෙටි කාලයකදී ගෙන යනු ඇත. වර්සෝ පොත් ඕනෑම කෙනෙකුට කියවිය හැකි මුත් ඒවා අපගේ සන්දර්භය සමග ගැළපීම හැමෝට ම කළ හැකි දෙයක් නොවේ. දේශපාලන සද්භාවය (political ontology) එතැනදී අවශ්‍යය. දැනුම දිය හැකි මුත් සද්භාවය උගැන්විය නොහැක. සංස්කෘත විචාරයේ සහජ ප්‍රතිභා (inborn talent) යනු වෙන් සමහර විට හැඳින් වෙන්නේ එය විය හැක. එය උත්පත්ති කර්ම ඵලයකි.  

'කර්මය යනු ඔබ වෙනුවෙන් ඔබ ට ම කරගන්නා පුජාවකි' (සත්ගුරු මුණි). 

සටහන්       

..........................
*(1) කර්මය වන් ආගමික පාර-භෞතිකයක් කෙරෙහි විශ්වාස තැබීම 'ප්‍රගතිශීලි' සමාජ පෙරළියක් කරා යන විප්ලවීය ක්‍රියාවක් තුළදී 'පසුගාමී' දෘෂ්ටිමය බාධාවක් ලෙස හැත්තෑ එකේ සහ අසු අට අසූ නමය විප්ලව අවධීන් වලදී සලකන ලදී. එසේම විමුක්ති කොටි සංවිධනය විසින් පවා එම පෙරදිග වටිනාකම තම අරමුණ කරා ළඟා වීම කෙරෙහි බාධාවක් ලෙස සැලකුවාට සැක නැත. බණ්ඩාරවෙල (වැල්ලවාය) ප්‍රදේශයේ අසූ අට නමය කාලයේ විප්ලවය තුළ යම් සන්නද්ධ කාර්යයක් කළ කාඩර් වරයෙක් (දැන් වයස පනස් අටයි) ඉතාම මෑතක මෙවන් දෙයක් පවසන ලදී. "අපි හැමදාම ගණුදෙනු කරපු හොඳ මුදලාලි කෙනෙක් හිටියා අපේ ගමේ. සාධාරණ මිනිහෙක්. හොරට කිරුවේ නැහැ. නැති බැරි මිනිස්සුන්ගේ ණය පිටිපස්සේ ගියේ නැහැ. ඒ මනුස්සයාගේ ගෑනු කෙනා අර මනුස්සයට හොරෙන් ගමේ දුප්පත් අයට නිකං බඩු දුන්නා (පිරිමියාගේ රෝග ලක්ෂණය ලෙස මනෝ විශ්ලේෂණය තුළ හඳුනා ගන්නා දෙය. ඔහුගේ ආශාව ඔහුටත් වඩා රඟ දැක්වීම යනුවෙන් බටහිර පණ්ඩිතයින් එය හඳුන්වයි). නමුත් මිනිහ හොඳ යූ. එන්. පී. කාරයා. ඒ නිසා අපිට නියෝගයක් ආවා මිනිහ ඉවර කරලා දාන්න කියල. ඒ වගේ අය තියන එක අපිට පාඩුයි කියල කිව්වා. මගෙ ඇඟ හිරිවැටිලා ගියා ඒක අහපුවම. මට හිතුණා තුවක්කුව අරගෙන අරක කියපු එකාට වෙඩිල්ල තියල දාන්න. කොහොමද අපේ අප්පෝ අර වගේ හොඳ මිනිහෙකුට වෙඩි තියන්නේ යූ. එන්. පී. කියල. එදා මම තුවක්කුව තියල ආපහු ආව ආවාමයි ඔය පක්ෂය පැත්ත හැරිලා බැලුවේ නැහැ. අද වුනත් චන්දෙ ඉල්ලන්න අවොත් මම දෙකක් කියල එළවනවා පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. පුදුම කාලකන්ණි ටිකක් මනුස්සකම නැති. දන්න කියන කෙනෙකුටවත් චන්දෙ දෙන්න නම් දෙන්නේ නැහැ. මම ඊට පස්සේ ආයේ චන්දයක් දුන්න නම් දුන්නේ මහින්ද මහත්තය ට". නමුත් සමහර විට ලෙනින් හෝ මාවෝ විසින් ඔවුන්ට හමුවූ ඉහත ඉහත වර්ගයේ සංශය ආත්මයන් (skeptical souls) මීට වඩා විප්ලවීය කරණය කළා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ඔහු තුළ පවතින 'හොඳ' යනු සත්‍ය ලෙස හොඳක් නොව ප්‍රතිගාමී බවක් ලෙස එහිදී හඳුනා ගනු ඇත. අවසන් අරමුණේ නාමයෙන් එවිට අර වෙඩිල්ල ඔහුට තැබිය හැකි වනු ඇත! මේ වනවිට කුමාර ගුණරත්නම් ගේ මනස වැඩ කරන ආකාරයට ගතහොත් එවිට විප්ලවය ජය ගනු ඇත! තවත් දශක තුන හතරක ට පසුව නැවත අර පරණ වෙළඳ පොළ ම ගෝලීය ලෙස අප ආක්‍රමණය කරනු ඇත (අර වෙළෙන්දා බේරුනාට තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරණතුංග වැනි අයට හමු වුවේ අරමුණ සමඟ කිසි පරතරයක් තබා ගත්තේ නැති නියම රැඩිකල් විප්ලවවාදීන් ය!).     

*(2) අවසානයේ සියදිවි නසාගත් විජේවීර ගේ මස්සිනා යනු සැබෑ ම අර්ථයෙන් ලංකාවේ ප්‍රත්‍යෙක අධ්‍යයනයක් (politico-psychoanalytical case study) සඳහා සුදුසු ය. විශේෂයෙන් දේශපාලන විද්‍යාව කරන අය ඒ සඳහා උත්සුක විය යුතු යැයි යෝජනා කරමි. ඔහු මිය යන්නේ විප්ලවය යන්න ම උපාදානයක් වූ නිසා ය. මෙය ජිජැක් ගේ මතයට පරස්පර ය. ජිජැක් කියන්නේ තම ආශාව (විප්ලවය ලෙස ගතහොත්) සමඟ පරතරයක් (distance or gap) තබා ගත යුතු නැති බවයි. සම්පුර්ණයෙන්  ආශාව ට ඇද වැටිය යුතු බවයි. 'ක්‍රියාව' සම්පුර්ණ වන්නේ සම්පුර්ණ ලෙස ක්‍රියාවට සහභාගී වීම තුළ බවයි (fully participate). මරණය දක්වා ම එම ක්‍රියාව තුළ ගමන් කරන්න යනු ජිජැක් ගේ ඉගැන්වීම යි. නමුත් උපාදානය යනු ඕනෑම දෙයක් සමග අධි-අනන්‍ය වීමයි (over-identify). එය දුකට සහ විනාශයට මුලකි. විශේෂයෙන් සසර දිගු කර ගැනීම ට හේතුවකි (දිගින් දිගට මෙම මරණය විවරණය කළහැකි වුවත් අප එම පවුලේ වර්තමාන ජීවමාන පරම්පරාව ගැන ද සිතිය යුතුය).