Friday, January 11, 2019

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම: විකෘති කරන්නට ප්‍රකෘතියක් තිබේද?

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

මහාචාර්ය ජයදේව උයන්ගොඩ පසුගිය වසරක පමණ කාලයක් ඉන්දියාවේ දිල්ලිවල විශ්වවිද්‍යාලයක සේවය කර තිබිණ. පසුගියදා මා හමුවූ අවස්ථාවේ ඔහු එහිදී මුහුණ දුන් අත්දැකීමක් මා හා පැවසීය. ඔහු සිටියා යැයි කීවේ ගයාවේය. එනම් සිද්ධාර්ථ තාපසයාණෝ බුද්ධත්වය ලැබූ ප්‍රදේශයේ ය. දිනක් දුරකථනයෙන් ඔහු ඇමැතූ මිතුරෙක් වාරණාසීවලට පැමිණෙන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබිණ. වාරණාසි යනු බුදුන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද බවට සැලකෙන බරණැස් නුවරය. මහාචාර්ය උයන්ගොඩ සිය මිතුරාගෙන් විමසා ඇත්තේ තමන් සිටින ගයාවේ සිට වාරණාසිවලට කොපමණ දුරක් වේද යන්නයි. හැතැප්ම හාරසීයක් පමණ තිබෙන බව මිතුරා පවසා ඇත. එකිණෙහිම වාගේ තමන්ට මතක් වූයේ බුද්ධත්වයෙන් පසු සත් සතිය ආදිය ගත කොට අවසානයේ බුදුහාමුදුරුවෝ පස්වග මහණුන් හමුවීමට මේ සා විශාල දුර කතරක් ගෙවා ගමන් කොට ඇත්තේ කෙසේද යන්නය. වර්තමානයේ හැතැප්ම හාර සීයක දුරක් පහසුවෙන් ගමන් කිරීම සඳහා වන නූතන තාක්ෂණික ප්‍රවාහන පහසුකම් දියුණු රටවල තිබුණද මීට වසර දෙදහස් පන්සීයකට ඉහත ඉන්දියාවේ පැවැති තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. බෞද්ධ සාහිත්‍යයේම දැක්වෙන ආකාරයට එවක කාර්යක්ෂම ගොඩබිම් ප්‍රවාහන මාධ්‍ය අශ්ව කරත්තය ලෙස සැලකිය හැකිය. අශ්ව කරත්ත තිබී ඇත්තේ ද රජවරුන් සිටුවරුන් ආදී සීමිත ප්‍රභූවරුන් සතුව පමණි.

බුද්ධත්වයෙන් පසු බුදුහාමුදුරුවෝ පස්වග තවුසන් සොයා ගිය බව කීම පහසුය. එසේ කියන විට කිසිදු විමසීමකින් තොරව සාදු කියා පිළිගැනීමද පහසුය. එහෙත් මේ සා දුරක් බුදුහාමුදුරුවෝ ගමන් කළේ කෙසේද යන්න සැබැවින්ම ගැටලුවකි. අඩුම වශයෙන් වසර පහකට පමණ පෙර වෙන් වූ පස්වග තවුසන් මේ අවස්ථාව වන විටත් පෙර සිටි ස්ථානයේම ඒ ආකාරයෙන්ම සිටින්නේය යන්න බුදුහාමුදුරුවෝ දැනගත්තේ කෙසේද යන්නද එවැනිම ගැටලුවකි. මේ ගැටලු විසඳා ගැනීමට අපට ඇති එකම සහනය වන්නේ බුදුහාමුදුරුවන්ට ඕනෑ අවස්ථාවක ඕනෑ එකක් බලන්නට තිබුණේ යැයි කියන ඍද්ධිමය හැකියාව පිළිබඳ විශ්වාසය තැබීමය. ඍද්ධි යනු අපිට සිතා ගැනීමට බැරි දේ සිතා ගැනීමට පුළුවන් දෙයක් බවට පත් කිරීමට අපි ඊට යොදා ඇති කෙටි අතුරු මාර්ගයකි. අපට සැනසීමට ඇති එකම මාර්ගය වන්නේ බුදුහාමුදුරුවන්ට ලෝකය දකින්නට හැකි සර්වඥතා ඥානයක් තිබුණු බවට වන පිළිගැනීමය. එසේ නොවන්නට අපිට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිය. මේ ආකාරයෙන්ම විසඳා ගැනීමට නොහැකි තවත් ගැටලු රාශියක් ත්‍රිපිටකය සම්බන්ධයෙන් පවතී. ඒවා පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමටත්, නිදහස්ව සිතීමටත්, තවදුරටත් විමසා බැලීමටත් අවස්ථාව තිබීම ඉතිහාස සංසිද්ධීන් පිළිබඳ වඩාත් නිවැරදි නිගමනයන් කරා එළැඹීමේදී අතිශය වැදගත්ය.

ජනාධිපතිතුමාගේ සහ මහානායක හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම සිදු කෙරෙන්නේ එසේ තිබියදීය. අසන්නට ලැබෙන ආකාරයට ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කොට ඇති බැවින් දැන් මට මේ අදහස් දැක්වීම කරන්නට හැකියාවක් නැත. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළ පසු ඒ පිළිබඳ විග්‍රහ, විවේචන ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ යැයි කියන බැවිනි. ත්‍රිපිටකය විකෘති කිරීමට නොහැකි යැයි කියන බැවිනි.ඒ ගැන ජනාධිපතිතුමාද, මහා නායක ස්වාමින්වහන්සේලාද කළ ප්‍රකාශ මට අසන්නට ලැබුණි. මින් පසු ත්‍රිපිටකය ගැන විවිධ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව එහිදී අවධාරණය කෙරිණ. විවිධ අදහස් ඉදිරිපත් කළ නොහැකි යැයි කීමෙන් අදහස් වන්නේ ත්‍රිපිටකය පිළිබඳ දැක්විය යුතු යම් නිශ්චිත අදහසක් ඇති බවය. එය කවරක්ද? ඒ පිළිබඳ දැනීමක් ඇත්තේ ද නැත.

මගේ මේ අදහස් දැක්වීම මත ත්‍රිපිටකය විකෘති කළේ යැයි මා පොලිසියට ගෙනගොස් ප්‍රශ්න කළහොත් මට පොලිසියෙන් පෙරළා ප්‍රශ්න කරන්නට වෙන්නේ ප්‍රකෘතිය කුමක්ද කියාය. විකෘති කිරීමට නම් ප්‍රකෘතියක් තිබිය යුතුය. එවැන්නක් ඇත්තේ නැත. එබැවින් මගේ විශ්වාසය වන්නේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙනු ඇති බවය. එහෙත් යමකුට ලෙඩක් ඇදීමට අවශ්‍ය වූ විට මෙය ඒ සඳහා යොදාගත හැකිවනු ඇත. උදාහරණයක් ලෙස විශ්වවිද්‍යාලයට මට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන්නට අවශ්‍ය නම් මම ත්‍රිපිටකය විකෘති කළ බවට චෝදනාවක් එල්ල කළ හැකිය. එවැනි කටයුතු සඳහා මිස වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා මෙය යොදාගත හැකිවේයැයි සිතිය නොහැකිය.

ත්‍රිපිටකයේ තිබෙන්නේ කුමක්ද? “ඒවං මේ සුතං… මා විසින් මෙසේ අසන ලදි” යනුවෙනි. එනම් බුදුහාමුදුරුවෝ කළ දේශනා සම්බන්ධයෙන් අවුරුදු හතළිස් පහකට පසුව කවුරුන් හෝ විසින් කරනු ලබන ප්‍රකාශයකි. සිදුහත් තවුසාණෝ බුද්ධත්වය ලබන්නේ වයස අවුරුදු තිස්පහේදීය. ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නේ ඉන් අවුරුදු හතළිස් පහකට පසුවය. බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන අවස්ථාවේ බුදුහාමුදුරුවන් සමග හෝ පස්වග තවුසන් සමග හෝ එහි සිටි කිසිවෙකුත් ප්‍රථම ධර්ම සංගායනාව සිදුවන අවස්ථාවේ ඊට සහභාගි වී නොසිටි බව ඉතාම පැහැදිලිය. එසේ නම් එම සූත්‍රය ධර්ම සංගායනාවට ඇතුළත් වන්නේ පසු අවස්ථාවක කාගෙන් හෝ ඇසූ කවුරුන් හෝ විසින් ඉදිරිපත් කිරීම නිසාය. ඉතිහාස සංසිද්ධීන් අධ්‍යනයේදී මෙවැනි සාධක සැලකෙන්නේ ද්වීතියික සාක්ෂි වශයෙනි. එනම් සංසිද්ධිය හා ඍජු සම්බන්ධයක් නොමැති සාක්ෂි වශයෙනි.
බොහෝ විට අපේ ස්වාභාවයක් වන්නේ අපි නොදන්නා දේ නොදන්නවා යැයි පිළිගැනීමට ඇති අකමැත්තය. එබැවින් නොදන්නා දේ ගැනත් දන්නා සේ ක්‍රියා කරන්නෙමු. එහෙත් සත්‍ය අනාවරණය කරගැනීමට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ ඉතිහාස සංසිද්ධීන් පිළිගත හැකි ක්‍රමවේදයක් තුළින් අධ්‍යයනය කිරීමය. ඒ මූලාශ්‍ර අවශ්‍යය ය. මූලාශ්‍ර යනු පැවැත්ම අහෝසි වූ සංසිද්ධියකට අදාළ ශේෂයන්ය. සංසිද්ධිය සමකාලීනව නොමැති වුවද සංසිද්ධිය පිළිබඳ ශේෂ ඉතිරි වී තිබිය හැකිය. ත්‍රිපිටකය සම්බන්ධයෙන් සත්‍ය ගවේෂණයේදී අප මුහුණ දෙන ගැටලුව වන්නේ සංසිද්ධිය පමණක් නොව ඊට අදාළ ප්‍රාථමික මූලාශ්‍ර ද නොමැති වීමය.

ත්‍රිපිටකය යනු කුමක්ද? එය බිහිවූයේ යැයි කියන්නේ කෙසේද? ඊට මුල්වන “සුභද්‍රගේ අභද්‍ර වචනය” පිළිබඳ කතාව බෞද්ධ සාහිත්‍යය තුළ ප්‍රකටය. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑ අවස්ථාවේ සුභද්‍ර නමැති භික්ෂුව සෙසු භික්ෂූන් අමතා කළ ප්‍රකාශයක් ගැන ඉන් කියැවේ. “ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණෙමු. දැන් අපට නීති පනවන්නට කෙනෙක් නැත.” ආදී වශයෙන් එහි දැක්වේ.
ප්‍රථම ධර්ම සංගායනාව කරන්නට යන අවස්ථාවේ විවිධ ප්‍රශ්න මතුවේ. එහිදී භික්ෂු පිරිසකගේ මතය වී ඇත්තේ බුදුහාමුදුරුවෝ සිටින විට තිබුණු රෙෆරන්ස් තවදුරටත් නොමැති තත්ත්වයක් යටතේ ඉදිරියට අපි අනුගමනය කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගත යුතු බවය.ඒ අනුව ඉදිරියට කටයුතු කළ යුතු බවය. එහෙත් බොහෝ භික්ෂූහු ඊට එකඟ නොවූහ. අපේ ගුරුතුමා අපිට කී දේවල් අපි දන්නා නිසා අපිට ඒවා අනුව ජීවත් විය හැකි බව පවසා ඔවුන් සංඝායනාව ප්‍රතික්ෂේප කොට ඇත. එසේ කළ බහුතර භික්ෂු පිරිසක් උතුරට ගිය බව සම්ප්‍රදායේ කියැවේ. උතුරු බුද්ධාගම යනුවෙන් චීනය ආදී ප්‍රදේශවලින් හමුවන්නේ එසේ ගිය පිරිස බුදු දහම ඉදිරියට ගෙන ගිය ආකාරයය. එසේ ගිය පිරිස විශාල ප්‍රමාණයක් වශයෙන් හැඳින්වුවද ඒවාද පසුව හැදුණු කතා මිස මූලාශ්‍ර මගින් තහවුරු කරන ලද සංසිද්ධීන් නොවේ. ඇත්ත වශයෙන්ම මේ දේවල් සිදුවූයේ කෙසේද යන්න අපි කිසිවකුත් නොදනී. ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට අපට සිතා බලන්නට සිදුවන්නේ අද මෙවැනි දෙයක් සිදුවුවහොත් එය කෙසේ සිදුවනු ඇත්ද යන්න විමසා බැලීමය.

සංගායනාව පවත්වන්නේ එසේ නොගොස් නැවතුණු භික්ෂූ කණ්ඩායම විසිනි. එහි ප්‍රධානියා වන්නේ මහා කාශ්‍යප හාමුදුරුවන්ය. ත්‍රිපිටකයට ඇතුළත් වන්නේ එම සංගායනාවේදී බුදුහාමුදුරුවෝ කීවේ කුමක්දැයි මතු කෙරෙන ප්‍රශ්නවලදී භික්ෂූන්වහන්සේලා දෙන පිළිතුරුය. ඒවං මේ සුතං යනුවෙන් මම මෙහෙම ඇහුවා කියා සංගායනාවට සහභාගි වූ භික්ෂූන්වහන්සේලා කළ ප්‍රකාශ ත්‍රිපිටකයේ දැක්වේ. එසේ කී ඇතැම් ඒවා එකී භික්ෂුව විසින්ම ඇසුවා විය හැකිය. එසේ නොවී ඒ භික්ෂුවද තවත් කාගෙන් හෝ අසාගත් ආකාරයද විය හැකිය. විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනාව වසර හතළිස් පහකට පෙර සිදු කළ අවස්ථාවේ එහි සිටි කිසිවකුත් ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වී නැත. එම දේශනාව සංගායනාවට ගෙනාවේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ යැයි සැලකුවද, උන්වහන්සේද ප්‍රථම ධර්ම දේශනාව සිදුවන අවස්ථාවේ එහි සිටි අයකු නොවේ. අනෙක් කාරණය වන්නේ ඒ වන විට ආනන්ද හාමුදුරුවන්ගේ වයසද අවුරුදු අසූවක්ව තිබීමය. එබැවින් ආනන්ද හාමුදුරුවන්ගේ මතකය පිළිබඳ යම් අපැහැදිලිතා නොතිබියේ යැයි කිව නොහැකිය. එසේ කීමට නම් එතනදිත් අපට යොදා ගන්නට වෙන්නේ විශේෂ ඥානයක් ආනන්ද හාමුදුරුවන්ට තිබුණු බව පිළිගැනීමය. ආනන්ද හාමුදුරුවන්ට ධර්ම භාණ්ඩාගාරික තනතුරක් බුදුහාමුදුරුවෝ ප්‍රදානය කොට තිබුණු බවට කෙරෙන සඳහනද බුදුහාමුදුරුවන්ගේ චරිත ස්වාභාවය විමසන්නකුට විශ්වාස කළ නොහැකිය. මෙවැනි කාරණා සඳහන් වන්නේ අට්ටකතාවලය. අට්ටකතා හදා ඇත්තේම ඔවැනි ගැප් එකක් ආ විට එය පිරවීම සඳහාය. ඕනෑම ආගමික ග්‍රන්ථවල මේ ආකාරයේ අපැහැදිලිතා දැකිය හැකිය. ඒවා සමනය කරන්නට පසුකාලීනව එක්කළ වෙනත් කතාද දැකිය හැකිය.

මෙහිදී මට පෙන්වාදීමට අවශ්‍ය මූලික කරුණ වන්නේ අපි ඵෙතිහාසික දැනුම වශයෙන් සලකන දේ කොතරම් හිඩැස් සහිත දේවල්ද යන්නය. එහෙත් බොහෝ චිත්‍රපටි, ටෙලි නාට්‍ය ආදියේදී ඒවා ඒ ආකාරයෙන්ම දෙබස් විදිහට යොදා ඇති ආකාරයත් දැකිය හැකිය. ඒවා ඒ ආකාරයටම සිදුවෙන්නට ඇති බව මේ නිර්මාණකරුවන් ද සිතන බව ඉන් පැහැදිලි වේ.මහරජ ගැමුණු නමින් නවකතාවක්ද, චිත්‍රපටියක්ද තිබේ. ප්‍රසිද්ධ නමක් ඇති මා දන්නා හඳුනන මිත්‍රයෙක් එක් අවස්ථාවක මා සමග කීවේ දුටුගැමුණු එළාර සිද්ධිය සිදුවන්නට ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරිගේ නවකතාවේ ඇති ආකාරයටම යැයි ඔහු සිතන බවය. අපිට එසේ අපි කැමැති විදිහට සිතිය හැකිය. එහෙත් එය අතීත සංසිද්ධියේ යථා ස්වරූපය සේ සැලකිය නොහැකිය.
(රාවය)

මේ ලිපිය මතු නොව තවත් ලිපි ලේඛන පාදක කරගෙන ලංකාවේ බුදු දහම සහ නුතන ලෝකයේ නව තත්වයන් ගැන සංවාදයක් ඉස්මතු වන්නේ නම් වැදගත් වනු ඇතැයි සිතමි.  විශේෂයෙන් ජීවන ලෝකය ලෞකිකකරණය සම්බන්දයෙන් ඉහත අදහස් දැක්වීම් සියල්ලක්ම වැදගත් වේ යැයි සිතේ. නිත්‍ය ධර්මයක් ඇතැයි සිතීම, විශේෂයෙන් බුදු දහම වුව නොවෙනස් ලෙස සදාකාලය ට ම පවතිනු ඇතයි සිතීම, බුදු දහමට ම එරෙහි වීමක් යැයි සිතේ. අනෙක් අතට නොවෙනස් පදනමක් (fixed foundation) ගැන සිතීම බුදු දහමට පටහැණිය. යුනෙස්කෝ ව කුමක් කීවත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම මඟින් බුදුදහම නැවත වරක් දේශපාලනීකරණයක් සිදුවී ඇත්නම් එයට ගැටළුකාරී වේ. ජාතික උරුමයක් නිසාම ඒ පිළිබදව අදහස් පළ කර නොහැකි නම් එතැන ඇතිවනු ඇත්තේ මූලධර්මවාදයකි. මන්ද ප්‍රශ්න කිරීම සම්බන්දයෙන් බුදුන් වහන්සේ පවා දැරුවේ නම්‍යශීලි ප්‍රතිපත්තියකි. යුනෙස්කෝ වට අප පෙරළා මෙසේ කීවානම්; 'ඔබලා ගොඩක් වෙහෙසෙනවා ලෝකයේ ශිෂ්ටාචාර වල නෂ්ථාව ශේෂයන් රැකගන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. අපි අගය කරනවා ඒක. හැබැයි මේ ත්‍රිපිටකය කියන්නේ අන්තර්ගත
ය සහ සන්දර්භය කියන දෙකෙන්ම ගත්තත් ටිකක් ගැටළුකාරී දෙයක්. ඒ හින්ද ඒක අර්ථකතනය හෝ ප්‍රශ්න කරන්න බැහැ කියල කියන එක අපි හිතන ප්‍රජාතන්ත්‍ර තත්වයන්ට සහ ලෞකිකකරණ තත්වයන්ට පටහැණියි. ඒ හින්ද ඔයාල ඒක ලෝක උරුමයක් කරන්න. අපි ජාතික වශයෙන් මුකුත් මේ වෙලාවේ නොකර ඉන්නම්. ස්තුති' 

Monday, January 7, 2019

ඔන්න මම වෙඩි තිබ්බෝ!

A cartoon by Avantha Artigala
අධිරාජ්‍යයේ යුගය ලෙසින් (the age of the Empire) අන්තෝනියෝ නෙග්රි විසින් නම් කරන මෙම ක්‍රමය තුළ අන් කිසිවක් සාර්ථක නොවන කල ඇතිවන අපේක්ෂා භංගත්වය ඔස්සේ සිදුවන ස්වයං නිශේදනය මෙම කාටුනයෙන් මනාව පිළිබිඹු කෙරේ.  තිබෙන තත්වය රැඩිකල් පර්වර්තනයකට ලක් කිරීමට කුමක් හෝ කල යුතු වීමේ හදිසිය මේ ස්වයං විනාශයේ ආරම්භයයි. මේ වසර හතරට පසු කුමක් කිව යුතුදැ'යි නොතේරෙන නමුත් කිවයුතු බොහෝ දේ ඉහත කාටුනයෙන් කියා ඇතැයි සිතමු. 

Sunday, January 6, 2019

පසු නුතනකරණය වූ සම්ප්‍රදාය සහ විමුක්ති විෂය


Kerala Tourism යනුවෙන් නම් කර ඇති සංචාරක ප්‍රවර්ධන වීඩියෝව.  මෙම වීඩියෝ ව මා නෙත ගැටුණේ ලංකා ඊ නිවුස් හරහා ය. ඊ නිවුස් මෙය නම් කර තිබුනේ සම්ප්‍රදාය නුතනකරණය නමින් ය.  

ජපානයේ සිට සද්ගුරු දක්වා ආසියාවේ සෑම අස්සක් මුල්ලක් ම පශ්චාත් නුතන වෙමින් ඇත. සම්ප්‍රදාය රැඩිකල් ලෙස දේශපාලනයෙන් වියුක්ත වී වෙළඳ පළ සමග ගැට ගැසෙමින් පවතී. උසස් නුතන බව ඉදිරියේ දිග හැරෙන අවදානම් සමාජයන් හි අනාරක්ෂිත බව (insecurities of the the modern risk societies) ඉදිරියේ අසරණ වී ඇති නුතන මිනිසාගේ කාන්සාව (anxiety) මඟ හරිනු වස් නැවත ඉදිරියට අවුත් ඇත්තේ පෙරදිග සමාජයේ වටිනාකම් ය. 'දිනපතා වෙනස් වන පවුල, ආදරය, දේශපාලන සහභාගිත්වය, තාක්ෂනය, සමාජ සංවිධාන යන සෑම ක්ෂේත්‍රයක් විසින් ම නිෂ්පාදනය කරනු ලබන්නේ ආතතියක් ය. විද්‍යාව සහ තාක්ෂනය විසින් අප මෙතෙක් දැන සිටි සමාජ චරිතාපදානයන් (societal biographies) නිරන්තරයෙන් වෙනස් කරනු ලබයි. මේ සැම දෙයක් විසින් ම 'නිෂ්පාදනය' කරනු ලබන්නේ ආතතියක් මිස අනෙකක් නොවේ' (උල්රිච් බෙක් 1986). මාක්ස් කිවූ දෙය කණපිට පෙරලන්නේ නම් අද දවසේ ලෝක ගෝලය පුරා දුවා ඇවිදින්නේ ඉහත සාංකා තත්වය නිසා විගලිත වූ තම ආත්මයේ වේදනාවට සුවයක් සොයා හිස ගිනිගෙන දුවන බටහිර මිනිසාය (මුලින් ම කාර්මීකරණයට හසුවූ). ඉහත දයලෙක්තිකය තුල හෛඩගර් ගේ ආසියානු ගෝලයා වූ නිෂිතනි කිවූ ආකාරයට ම බටහිර ඇස ඉදිරියේ ආසියාව තම සංස්කෘතිය, ඉතිහාසය සහ වටිනාකම් විකුණා දැමීමට රැඩිකල් ලෙස ඉදිරියට අවුත් ඇත. පන්සල්, පල්ලි, ත්‍රිපිටක, බුදු පිළිම, පුරා වස්තු, මුල් ඇඳුම්, පෙට්ටගම්, කඩු කස්තාන, බක්කි කරත්ත යන එකී මෙකි නොකී සියල්ල එක පොදියට (package) විකිණෙමින් සහ විකුණා දමමින් ඇත. නුතන ධනවාදය තුල අවදානමට ලක්වූ බටහිර පවුල සහ ආදරය කේරළයේ සම්ප්‍රදාය ඔස්සේ නැවත පුනර් ජීවනය ලබමින් ඇත (අරුන්දතී රෝයි ගේ කේරළ පවුල යනු පශ්චාත් යටත් විජිත අවුලෙන් අවුලකි!). මා සඳහන් කරන්නේ මේ නව 'මානුෂික තත්වය' අප මෙතෙක් දැනසිටි පසුගාමී බවකට වඩා නව දේශපාලන අවකාශයක් වෙමින් පවතින බවයි. අප මේ තත්වය ඉතා හොඳින් අපගේ ප්‍රාග්ධනය ඉහල දමා ගැනීම සඳහා පාවිච්චි කල යුතුය (අපගෙන් සූරා කෑ දෙය) යන්න මගේ පසුනුතන උපදෙසයි. ආසියාවේ සියවස යනුවෙන් මේ අප ඉදිරියේ විද්‍යමාන වන්නේ මාවෝ ගේ සිහිනය ඔහුවත් නොසිතූ ආකාරයකට සැබෑ වීමකි. 'ප්‍රාග්ධනය' අප නොසිතුව පසු නුතන මාවතක ගමන් ආරම්භ කර ඇත. කෙසේ වුවත් එකක් නම් කිව යුතුම ය. මේ ඇත්තේ ආලෝකය නම් නොවේ. කොහොඹ කංකාරිය, සීදුව සකුරා, අංගම් පොර, පත්තිනි අංකෙළිය, රූකාන්ත, පානම් පත්තුව, ව්‍යග්‍රා, මීමුරේ, මනමේ, භාෂි මදුභාෂිණී, දන්ත ධාතුව, ජෙෆ්රි බාවා, පොළොස් කොත්තු, පබිලිස් සිල්වා යන සියල්ල එකම පැකේජයක් තුළ විකිණෙන මේ කානිවල් යුගය (බක්තීන්) නම් ආලෝකයේ ප්‍රති බිම්බයක් නම් විය නොහැකිය. බැලූ බැල්මට අන් මාවතක් ද නොමැති බැවින් මේ පසු නුතන අඳුරු කොරිඩෝවේ ම අප ඉදිරියට යමු. පරාවර්තනීය යුගයක් ලෙස ගැනෙන මේ යුගය අප කල්පනාකාරී ලෙස පසුකර ගත යුතුය. මන්ද මේ යුගයේ රනිල් වික්‍රමසිංහ මහතා වුව මල් වට්ටියක් සමග අපට මුණ ගැසිය හැකි බැවිණි (එය ඔහුගේ ම වරදක් නොවේ).   

අප විසින් නොසලකා හැර දමා තිබුණු බුදු පිළිම සහ පුරාවස්තු විශාල ප්‍රමාණයක් අප ට නැවත ගවේෂණය කර දුන්නේ යටත් විජිත ස්වාමියා ය. සංරක්ෂණ මාධ්‍යයක් හෝ ලිඛිත වාර්තාකරණයක් ඒ වනටිට දේශීය අප සතුව තිබුණේ නැත. පුරා විද්‍යා සංරක්ෂණ පනත, වන ජීවී පනත මෙන්ම වෘක්ෂලතා පනත ද ඔවුන් ගේය. එච්. සී. පී. බෙල් මහා ඝන කැලෑවේ ගොසින් මදුරුවන් තල තලා තොලුවිල බුදු පිළිමය වැනි අතිශයින් වැදගත් පුරාවස්තු සොයා ගනු ලැබිය. The Footprint of the Buddha (1958) සහ The Modern History of Ceylon (1966) වැනි කෘතීන් හරහා මහාචාර්ය ලුඩොවයික් ලා අපගේ නැතිවූ උරුමය නැවත අපිට සොයා දුන්නේය. ඔවුන් විසින් ඇතිකළ අහිමි කිරීම නැවත ඔවුන් විසින් ම සුවපත් කළේය. අද අපට විකිණීමට පවා දෙයක් තිබේනම් ඒ තිබෙන්නේ ඔවුන් ප්‍රති ජීවනය කළ ඉතිහාසයේ ය. එය පවා අප නැවත විකුණන්නේ ඔවුන්ට මය. ඒ විකිණීම පවා සිදුවන්නේ නව සෞන්දර්යක් ඔස්සේ ය. ඒ නව සෞන්දර්යේ ඇස (aesthetic gaze) නැවතත් ඔවුන්ගේ ය. එක් අතකින් 'මේ අපේ දේවල්. අපි මේ දේවල් විකුණන්නේ නැහැ. ඔයාල කැමතිනම් අපේ උරුමය ඇවිත් නරඹන්න' යනුවෙන් තේජාන්විතව කීමට අපට හැකියාවක් නැත. මන්ද අපට විකිණීමට ඇත්තේ ඉතිහාසය පමණක් නිසාය. අනෙක් අතට අප දැන් ඒ ඉතිහාසයේ කොටස් කරුවන් නොවුනත් අපට එහි කොටස් කරුවන් ලෙස රඟපෑමට සිදුව ඇත. ඒ අපට මුදල් නැති නිසාය. 'අප දැන් ඒ වැඩවසම් මුල් ඇඳුම් අඳින්නේ නැහැ' හෝ 'අප දැන් ඒ බක්කි කරත්ත වල යන්නේ නැහැ' යනුවෙන් කීමට අපට බැරිය. මන්ද අප ඒවා තවමත් විකුණන බැවින් ය. එනයින් මේ නව තත්වය වසඟකාරී (seductive relationship) එකක් මිස නුතන එකක් නොවේය. තායි ගැහැණියක් ඇමෙරිකන් සංචාරකයකුට ලබා දෙන්නේ වසඟයක් මිස සත්‍ය සම්බන්දයක් නොවේය. සත්‍ය සම්බන්දයක් ගැටුම්කාරී ය. ලොව පුරා සංචාරකයින් අතර ජනප්‍රිය 'තායි ගැහැණිය' (Thai wife) රඟ පාන්නේ හොඳින් සැමියා බලා කියා ගන්නා පෙරදිග ගැහැණු රූපයයි. වෙනත් විදියකින් කිවහොත් ඇමෙරිකන් ගැහැණිය නොකරන දෙයයි. ඇය අත්හැර ඇති දෙයයි. තායි ගැහැණිය ලබා දෙන්නේ රැඩිකල් සම්බන්දයක් නොව නිෂ්ක්‍රිය සම්බන්දයකි. වෙනත් විදියකින් කිවහොත් ඇමෙරිකානු හිස්ටරික ගැහැණිය (ස්පීල්බර්ග් ගේ Duel චිත්‍රපටයේ පිරිමියා විසින් දුරකතනයෙන් කරන කන්නලව්ව පිටුපස ඇති අර්බුදය) කරන්නාවූ පෙළඹවීම වෙනුවට තායි යුවතිය නිෂ්ක්‍රිය එකතැන පල්වෙන නිසංසල සම්බන්දයක් ලබාදේ (immobile relationship) (මෙම 'නිසංසල' වචනය ජිජැක් ගේ ය -නිසංසලේ අප හමුවෙලා තැනක තනිවෙලා පාළුවේ!). ඒ නව නිෂ්ක්‍රීය ආදරය ඉහත කාර්මීකරණ සමාජයන්හි ආතතිගත මිනිසා හට පැරසිටමෝල් සුවයක් අත්පත් කර දේ. එම සමාජයේ ස්ත්‍රිය බලාත්මක වී ඇති අතර ඇය තව දුරටත් පිරිමියා මත පරායත්ත නොවේ. නමුත් පෙරදිග තායි බිරිඳ තව දුරටත් මුදල් නිසා පරායත්ත ය. ඒ නිසා සද්ගුරු කියන පරිදි ඇයට සමස්වරත්වයේ (අනුවර්තිත) සම්බන්දයක සිටීමට සිදුව ඇත. එහෙයින් බෙක් සඳහන් කරන පරිදි පංති සම්බන්දතා හි නව ආකෘතිය තුළ නව ස්වයං-ව්‍යක්තකරණයක් (self-actualization) ඇතිව තිබේ (තායි පීඩිත ගැහැණිය සහ පොහොසත් සුදු පිරිමියා අතර ඇතිව ඇති නව වසඟකාරී තත්වය පැරණි අර්ථයෙන් ගැටුම්කාරී තත්වයක් නොවේ. මේ තත්වය ඇතැම් විට තේ අරගලයෙන් වෙනස් විය හැක).  

Charles Wells ගේ The Subject of Liberation: Zizek, Politics, Psychoanalysis (2014) කෘතියේ එන විශ්ලේෂණය මෙහිදී අදාල කර ගන්නේ නම් දේශපාලන ආකෘති දෙකක් මෙහිදී අපට දැකගත හැකිය. එකක් නම් තම ඓතිහාසික උරුමය දේශපාලනීකරණය කිරීම වන අතර අනෙක නම් එක් ආකාරයකට හෝ වෙනත් ආකාරයකට වෙළඳ පොළ සහ එහි බටහිට ආධිපත්‍ය සමග අනුගත වීමයි. තම ගැහැණිය දුෂණය කිරීමට එන පිරිමියා මරාගෙන මැරීම එක් ආකෘතියක් වූ අතර අනෙක් ආකෘතිය වුවේ ඉහත ආකාරයේ වසඟකාරී සම්බන්දයක් ඔස්සේ තම ප්‍රාග්ධනය වැඩිකර ගැනීමයි. පළමු ආකෘතිය තුළට චේ, මාවෝ, වියට්කොන් ගරිල්ලා, පැරණි ජ. වි. පෙ., ප්‍රභාකරන් සහ අල් කයිඩා වැනි අය අයිති වන අතර දෙවන ආකෘතිය තුළට මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ, ජේ. ආර්., නරසිංහ රාවෝ, ගොර්බචොව්, ඩෙන් ෂියාවෝ ඇතුළු ජාතිකත්වය වෙළඳ පොළ කරණය වනවාට එකඟ වූ කොටස් අයිති වේ. පළමු ආකෘතිය නුතන ලෙසත් දෙවැන්න පසු නූතන ලෙසත් අපට මෙහිදී දැක්විය හැකිය. බර්ලින් තාප්පයේ බිඳ වැටීම තුළ නපුංසක කරණය වූ මෙතෙක් රැඩිකල් පෙරදිග ලෝක ගෝලය පවත්නා සිර ගත වීමෙන් එළියට එනු පිණිස සටන් කිරීම වෙනුවට යටත් වීම තෝරා ගත් අතර වෙල්ස් දක්වන ආකාරයට මේ දෙවැනි මොඩලය මේ වනවිට ඉතාම ජනප්‍රිය ආකෘතියකි. සැවොම උත්හාස කරන්නේ දියුණු වීම පිණිස බටහිරට යාමටයි. ඉහත පළමු ආකෘතිය යථාවේ (change in the Real) වෙනසක් ඉල්ලා සිටි අතර දෙවැනි කොටස ඉල්ලන්නේ ඉහලට යාම පිණිස සාමාන්‍ය සංචලතාවයකි (social mobility). මරණය හැර අන් තේරීමක් නැති පළමු වැන්න විමුක්ති විෂයක් (subject of liberation) වනවිට මරණය හැර වෙන ඕනෑම දෙයක් තෝරා ගන්නා දෙවැන්න විපරීත බවක් ගනී (perverts). එයින් අදහස් කරන්නේ පළමු වැන්න කළ නොහැක්ක තෝරා ගෙන ඇති බවත් (choosing the impossible) දෙවැන්න කෙසේ හෝ පණ ගැට ගසා ගැනීම (survival) තෝරා ගෙන ඇති බවත්ය. සාපේක්ෂ සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින කොටස් අයිති වන්නේ ද මෙම දෙවන වර්ගී කරණයට යි. මන්ද එය යථාවේ වෙනසක් බලා පොරොත්තු වන සත්‍ය විමුක්ති සටනක් විය නොහැකි බැවිණි (ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන තුන්වන ලෝකයේ අරගල බොහොමයක් ලිබරල් ක්‍රමය මතින් ම උත්පාද වූ ඒකාධිපති ව්‍යුහයන් ට එරෙහිව ඉස්මතු වූ ඒවා වේ). නෙග්රි ගේ යෙදුම පාවිච්චි කරමින් විග්‍රහ කර ගන්නේ නම් අධිරාජ්‍යය (empire) එසේම පිළි ගනිමින් එයින් ගලා එන ධනයෙන් දෝතක් ගැනීමේ නව වැඩපිළිවෙළේ අද දවසේ කස කරුවන් වන්නේ ඉන්දියාවේ මුකේෂ් අම්බානි චීනයේ ජැක් මා වන්නන් ය. නමුත් අධිරාජ්‍යයේ පීඩනය බිඳකුදු අඩුවී නැති අතර රැඩිකල් වමට මේ වනවිට කළ හැකිව ඇත්තේ ප්‍රදර්ශනාත්මක හිස්ටරික ක්‍රීඩාවක් පමණි (ඒ පවා තම අනන්‍යතාව බේරා ගැනීම වෙනුවෙනි!) (පිටුව 10). අධිරාජ්‍යය ට එරෙහි ඔවුන්ගේ සාපේක්ෂ අරගලය නිසාවෙන් සමස්ත වමේ අරගලය ම අර්ථශුන්‍ය ලෙස අකර්මණ්‍ය වී ඇති බව වෙල්ස් පවසයි (inertia). 

එසේ නම් වාම වාදයේ හිස්ටීරියාව සහ අධිරාජ්‍යයට යටත් වුවන් ගේ විපරීත බව අතරින් අප විමුක්ති මාර්ගය සාදා ගන්නේ කෙසේද? දැනට අපි ගත කරන්නේ විශාල න්‍යායික කතිකා ජාලයක බව පවසන වෙල්ස් වමේ අසමත් බව විසින් පරාජිත ලෙස ජනනය කර ඇති 'දැන් ඉතිං හිතල වැඩක් නැහැ' වෙනුවට 'මම සිතමි. එමනිසා මම වෙමි' යන කාටේසියානු කොගිටෝ ව අවධි කරගත යුතු බව ප්‍රකාශ කරයි. ඩෙරීඩා ගේ ප්‍රාරම්භක ප්‍රකාශය වන 'මාක්ස්වාදය කොයිබට ද' (whither Marxism?) යන ප්‍රකාශය නැවත අප විසින් ම ඇසිය යුතු බව ප්‍රකාශ කරන වෙල්ස් ඩෙරීඩා ගේ අවතාර වේදය (hauntology) තුළින් ම මාක්ස්වාදයේ උරුමය (inheritance) සහ වෙනස (difference) අප මේ විපරීත බව තුළ නැවත තේරුම් ගත යුතු බව ප්‍රකාශ කර සිටී. එවිට අපට හතර ගාතේ දා ගෙන බිම වැටී සිටින ආත්මය (spirit) අවතාරය (specter) ඔස්සේ නැගිටවිය හැකි බව රූපකයක් ඔස්සේ පෙන්වා දෙයි. ඩෙරීඩා යනු පශ්චාත් නුතන අසමත් භාවයක් ද යන පැනයට නිශ්චිත පිළිතුරක් ගොනු කිරීමට ජිජැක් අසමත් බව පෙන්වා දෙන වෙල්ස් කියන්නේ නව බුද්ධිමය කතිකාව ට (ජීවිතයට) මිලේච්ඡත්වයක් (a new barbarism in today's intellectual life) එකතු කළ යුතු බවට වන ඩෙරීඩා ගේ ප්‍රකාශය සමග ඔහුට එකඟ විය හැකි බවයි. නමුත් ඒ ඔස්සේ නව ෆැසිස්ට් අතාර්කික බවක් තුලට ගමන් කිරීම තුළ ඩෙරීඩා පශ්චාත් නුතන මෙල්ටින් පොට් (ඝනීභවනය වූ අනන්‍යතා දියවෙන ලෝ දිය බඳුනේ) හි දියවී ගිය බව ජිජැක් විශ්වාස කරයි. ඉදින් මා ඉහත සඳහන් කල පෙරදිගට ඇදෙන සාංකාමය විගලිත මිනිසා යනු තව වටයකින් පංති අරගලයේ අවශ්‍යතාව මිනිසා හට නැවත නැවතත් දැනෙන අවස්ථාවකි. කාර්මීකරණ සමාජයන් හි අමානුෂික බව නැවතත් මිනිසාට වැටහෙන අවස්ථාවකි. බටහිර සමාජ යන් වලට ම තමන් විසින් ගොඩ නැගූ ව්‍යුහයේ අවුල දැනෙන අවස්ථාවකි. ඉඳින් පංති අරගලය අවනිශ්චය කර ස්ත්‍රීවාදී (ජුඩිත් බට්ලර්) හෝ වාර්ගික බව අධිනිශ්චය කර ඇති මේ අවකාශය වනාහී න්‍යායෙන් අප අන්ධ වූ මොහොතක් ලෙස ජිජැක් Ticklish Subject හි අර්ථකතනය කරයි. ගූඪවාදීන්, විසංයෝජනවාදීන්, ස්ත්‍රීවාදීන්, හබමාස් සන්නිවේදකයින්, පරිසර වාදීන්, හෛඩගර් වාදීන් යන එකී මෙකී නොකී කොටස් මෙම න්‍යායික සංවාදය තුළට ඇකඩමික අර්ථයෙන් පැමිණ ඇති බව ප්‍රකාශ කරන ජිජැක් මෙම නව තත්වය සත්‍ය අරගලයට එරෙහි සිතිවිලි වල කුමන්ත්‍රණයක් (conspiracy of thoughts) ලෙස පැහැදිලි කර දෙයි. එනයින් ඇකඩමියාවේ සාමාජිකයින් අතර ඇතිවී ඇති මෙම නිශ්ශබ්ද ගිවිසුම (silent pact) පිළිබද ව විමුක්ති විෂය ඉතාම හොඳින් දැනුවත් විය යුතු බව ඔහු පවසයි (වෙල්ස් 2014: පිටුව 19). මෙයින් අදහස් කරන්නේ ඇත්තටම මෙම ක්‍රමයෙන් ඔබ්බට ගොස් විමුක්තිය අපේක්ෂා කරන්නෙකුට ඉහත ඇකඩමික සංවාදයෙන් පලක් නොවන බවයි.                      

කාටේසියානු අරුතින් විමුක්ති විෂය තමන් විසින් ම සිතීම පටන් ගත යුතුය. එහෙයින් විමුක්ති ආත්මය (විෂය) අරගලයට භක්තිමත් ව ඉහත අදහස් ගොන්නෙන් වි-සන්ධි (out-of-joint) විය යුතු බව ජිජැක් ප්‍රකාශ කරයි. නමුත් ජිජැක් පවා ඉහත ඇකඩමික අදහස් ජාලාවේ පැටලී ඇති බව සඳහන් කරන වෙල්ස් එසේ වීමට හේතුව ලෙස දක්වන්නේ ඔහු 'කාටේසියානු සිතන මම' වෙත නූතන අරුතින් ආපසු යාමට වඩා විමුක්ති අරගලය තුල විසි වන සියවසේ 'අමතක වූ සම්මුඛ වීම' (forgotten obverse = අමතක වූ අභිමුඛය) සිදුකිරීම සඳහා බව පෙන්වා දෙයි. කොගිටෝවේ අසමත් සහ වරදකාරී පාර්ශ්වය පසෙකින් තබා (අතීතය) මිනිස් චින්තනයේ ගවේෂණය නොකළ මානයන් ගවේෂණය කිරීම වෙනුවෙන් අද දවසේ විමුක්ති විෂය යුහුසුළු විය යුතු බව ජිජැක් ගේ Ticklish Subject හි යෝජනාවයි. අසමත් වරදකාරී බව මාක්ස් ගේ අවතාරය (specter) වෙතට විසිකර මාක්ස් ගේ මනෝ රාජිකය නැවත උපද්දවා ගැනීම වෙනුවෙන් වන නොයිවසිලිමත් බව ආත්මය (spirit) වෙත පවරා ගත යුතු බව ජිජැක් ඩෙරීඩා ගේ රූපකය හරහා පෙන්වා දේ ('අවතාරය සහ ආත්මය අතර ඇති හැම්ලට් සම්බන්දය ප්‍රතිජීවනය කිරීම' ලෙස මෙම යෙදුම ජනප්‍රිය ය). අනෙක් අතට ජිජැක් කොතරම් ඩෙරීඩා විවේචනය කලත් ජිජැක් ගේ ව්‍යාපෘතිය මෙතරම් අපුරුවට සහ නිවැරදිව ඩෙරීඩා විස්තර කර ඇත්තේ කෙසේද යන තැන පුදුම එළවන බව වෙල්ස් පෙන්වා දෙයි. තම පියාගේ අවතාරය විසින් ලබාදුන් විධානයට හැම්ලට් කීකරු වුවත් ඔහුගේ ක්‍රියාව මෙතරම් පරක්කු වුවේ ඇයි? එහිදී සිදු වන්නේ හැම්ලට් කුමරු තම මවගේ ආශාව තුල සිරගත වීමයි (ඇයගේ අශ්ලීල ආශාව කුමක් ද යන පිළිතුරක් නැති පැණය තුල සිරගත වන ඔහු ගේ අතින් විධානය මඟ හැරේ). වෙල්ස් ට අනුව සත්‍ය ගැටලුව වන්නේ අවතාරයේ විධානය ට කීකරු වීම නොව ජීවමාන අනෙකා ගේ හඬ ට පිළිතුරු සැපයීමයි. අද දවසේ අපගේ අභියෝගය වන්නේ මාක්ස් ගේ අවතාරයේ විධානය සාර්ථකව ඉටු කිරීම නොව පශ්චාත් නුතන අනෙකාගේ හඬ ට සවන් දීමයි (ස්ත්‍රීවාදී හඬ, ප්‍රජාතන්ත්‍රවාදීන් ගේ හඬ යනාදී වශයෙන්). මේ විවිධාංගික කරණය වූ හඬ වනාහී විමුක්ති මාවතේ ඇති එක් ප්‍රධාන බාධකයකි. එනයින් දර්ශන ඉතිහාසයේ වඩාත් ම විපරීත දාර්ශනිකයා ලෙස ජිජැක් සඳහන් කරන ගිලි ඩෙලූස් වෙනුවෙන් තම කෘතිය පුදකරමින් ඔහු උපුටන්නේ ඩෙලූස් විසින් කළා යැයි ප්‍රචලිත පහත කියමනයි. 'මා අවන්හලේ කෝපි කෝප්පයක් තොල ගගා සිටින විට කිසිවෙකු අසවල් මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරමු දැයි විමසුව හොත් මා කරන්නේ හැකි තරම් වේගයෙන් එළියට අවුත් පැන දිවීමයි' (ජිජැක් Organs without Bodies: Deleuze and Consequences, 2004: පිටුව ix). 

පශ්චාත් නුතනවාදයේ බාධාකාරී හඬ මඟ හැරීමේ අන් මඟක් විමුක්තිය සොයන්නෙකුට නැත... 
(ඉතිරිය ඊළඟ කොටසෙන්) 

කියවීම්:                 

Wells, C. (2014). The Subject of Liberation: Zizek, Politics, Psychoanalysis. London. Bloomsbury. 

Zizek, S. (1999). Ticklish Subject. The Absent Centre of Political Ontology. London. Verso. 

Zizek, S. (2004). Organs without Bodies: Deleuze and Consequences. London. Routledge. 

Tuesday, January 1, 2019

පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නෙවේ...

'Think of nothing things: Think of wind' (Truman Capote) 
වසර දෙදහස් පන්සිය ගණනක් ලංකාද්වීපයේ  පැවතුණා යැයි කියන බුද්ධාගම අප ඉදිරියේ තිබියදීත් බුද්ධ දර්ශනයේ සැබෑ අරුත් සොයා අද අපට කියවීමට සිදුව ඇත්තේ ජපන් දාර්ශනිකයින් ය. ජර්මන් දාර්ශනිකයින් ය. ෂොපන්හවර් ය. තවත් අය ය. උදේ හවස ගාථා කිව්වත්, මල් පූජා කලත්, මහා හයියෙන් පිරිත් දැම්මත්, කථින පූජා තිබ්බත් අප මෙතරම් මෝඩ ජාතියක් වුවේ ඇයි යන්නට ඓතිහාසික පිළිතුරක් මෙම ලිපියේ ගැබ්ව තිබේ දැයි මා නොදනිමි. අද අධිනිශ්චය වී ඇති සද්ද පූජා සහිත ඝෝෂා කාරී 'හින්දු-බුද්ධාගම' විසින් නුතන මිනිසෙක් මේ වනතෙක් මේ භූමියේ නිපදවා නැත. නුතන මිනිසෙක් යනු තාර්කික මිනිසෙකි. අනුන්ට කරදරයක් නොකරන මිනිසෙකි. අනෙකා ගැන නිරන්තරයෙන් සිතන මිනිසෙකි. මානව දයාවෙන් පිරුණ මිනිසෙකි. කොටින්ම තමා ගැන මෙන්ම අනෙකා ගැනත් ගැඹුරු අවබෝධයක් සහිත මිනිසෙකි. ඉදින් අවන්ත ආටිගල ගේ කාටුනයෙන් පෙන්වන පරිද්දෙන් ම පශ්චාත් නුතන ලාංකික දේශපාලනයට පශ්චාත් නුතනවාදයෙන් ම (මල් වට්ටි දේශපාලනයට මල් වට්ටි යෙන්ම) පිළිතුරු දීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉටා ගෙන සිටින වටපිටාවක පහත ළිපිය උපුටා දක්වමි.   

'මාපිටක සම්පදා' - 'පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නෙවේ' යැයි එහිම සඳහන් කර තිබියදීත්, එය උරුමයක් කර ගැනීම බුද්ධ වචනයට ප්‍රසිද්ධියේ කරන අගෞරවයකි.
වර්ෂ 2019 ජනවාරි මුලදී ලක්දිව ජනාධිපතිතුමා උත්සවාකාරයෙන් ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. ත්‍රිපිටකය ලියූදා සිට කවුරුත් එය කියවා නිවන් දැක නැති බවත්, එහි ලියැවී ඇත්තේ හින්දු, ජෛන ආගම් කලවම් වූ නිවන් නොදකින බුද්ධඝෝෂ ආගම බවත්, එහි නිවන් දකින පිරිසිදු බුදු පණිවුඩයේ ඇති කරුණු සූක්ෂ්ම ලෙස විකෘති කොට ඇති බවත් එතුමා නොදන්නවා විය හැකිය.
මෙම ශතවර්ෂයේ ලක්දිව දේශපාලනඥයන් කරන ලද ලොකුම මෝඩකම ලෙස ඉදිරියට මෙය ඉතිහාසගත වනු නොඅනුමානය.
ත්‍රිපිටකය ගැන පහත සඳහන් කරුණු බොහෝ මහජනතාව නොදනිති.
පළමුවෙන්ම,
බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500 කට පමණ පසු (දැනට අවුරුදු 2100 කට පමණ පෙර) ත්‍රිපිටකය ලියූ අවදිය රහතුන් වහන්සේලා නැති කාලයකි. මහාචාර්ය විජේරත්න මහතාගේ කැණීම් හා විශ්ලේෂණ අනුව අන්තිම රහතන් වහන්සේ වන මලියදේව හිමි වැඩසිටියේ දුටුගැමුණු රජුගේ අවධියේදීය. දුටුගැමුණු රජු අභාවප්‍රාප්ත වනවිට මලියදේව රහතන් වහන්සේ මහලු වියේ පසුවූ බව සෙල්ලිපිවල සඳහන් බව ඔහු සඳහන් කරයි.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූයේ දුටුගැමුණු රජු මියගොස් වසර 48 කට පමණ පසු වළගම්බා රජුගේ කාලයේදීය. එහිදී සංගායනාවක් කොට හරි වැරදි තීරණය කිරීමට රහතන් වහන්සේලා වැඩ නොසිටියහ. එනිසා සංගායනාවක් නොකොට එක එක්කෙනා දන්නා හැටියට ලියාගෙන ආ ගාථා ගොනු කිරීම (දිග සූත්‍ර, කොට සූත්‍ර - දීඝ නිකාය, සංයුක්ත නිකාය) ආදී වශයෙන් සිදු කරන ලදී. මෙය පොඩි ළමයින් සෙල්ලම් කරන විට මාබල් බෝල ලොකු මාබල්, පොඩි මාබල්, මධ්‍යස්ථ ප්‍රමාණයේ මාබල් වශයෙන් වෙන් කිරීම වැනි දෙයකි.
බුද්ධිමතුන් මෙවැනි වැදගත් පොතක් සංස්කරණය කරන විට එහි තේරුම පහසුවෙන් අධ්‍යයනය කළහැකි ලෙස ලියනු ඔබ අසා ඇත. එනිසා එවැන්නන් පොත් ලියන විට මේ කොටස පළමුවැනි පන්තියටත්, මේ කොටස දෙවැනි පන්තියටත්, මේ කොටස සාමාන්‍ය පෙළ පන්තියටත් මේ කොටස උසස් පෙළ පන්තියටත් ආදී වශයෙන් බුද්ධිමත්ව සංස්කරණය කරන බව ඔබට කිවයුතු නොවේ.
එනමුදු ත්‍රිපිටකය ලියූ හාමුදුරුවරු එවැනි බුද්ධිමතුන් නොවන බව පෙනේ. බුද්ධිමතුන් (රහතුන්) ත්‍රිපිටකය ලියුවා නම් එහි පළමු කොටස සෝවාන් වීමටය, දෙවැනි කොටස සකෘදාගාමී වීමටය, තුන්වැනි කොටස අනාගාමී වීමටය, හතරවැනි කොටස රහත් වීමටය ආදී වශයෙන් වෙන්කළ යුතු බව ප්‍රාථමික පාසලක ඉගෙන ගන්නා ළමයි පවා දනිති. ප්‍රාථමික පාසල් සිසුන් උසස් පෙළ සඳහා ලියූ පොත් මිලදී නොගන්නේ ඒ නිසාය. නමුන් ත්‍රිපිටකය ලියූ අයට සාමාන්‍ය දැනීමවත් (Common Sense) නැති බව මෙයින් සනාථ වේ. ත්‍රිපිටකයේ මේ කොටස සෝවාන් වීමටය, මේ කොසට රහත් වීමටය යන්න පැහැදිලි නැති නිසා එය කියවීමෙන්, නෙමග ගිය නිවන් නොදකින හාමුදුරුවරු මහජනයාට සෝවාන් වීමට පෙර රහත් වීමට අදාල දේවල් නොදැනුවත්වම දේශනා කරති.
මෙවැනි දේශනා කරන අයවත්, මේ දේශනා අහන අයවත් කවුරුත් ත්‍රිපිටකය ලියූ පසු නිවන් දැක නැති බව කීම අවශ්‍ය නොවේ. ඔවුන් විසින්ම එවැන්නක් සනාථ කොට ඇති බව ඔවුන්ටම නොතේරේ. වර්තමාන දේශපාලකයින්ටද එවැනි දෙයක් නොතේරෙන බව උත්සව පවත්වා ලෝකයාට පෙන්වාදීමට තැත් කිරීම අනුවණකමකි.
දෙවනුව,
බුදු පණිවුඩය යනු නිවන් මග ගමන් කිරීමේදී අනුගමනය කළයුතු උපක්‍රමයි. ඒවාට 'සූත්‍ර'යැයි කියනු ලැබේ. කලින් කලට වෙනස් දේවල් ඇතුළත්ව තිබුණත් සූත්‍ර (උපක්‍රම) ඇත්තේ සූත්‍ර පිටකයේ පමණි. විනය පිටකය පසුකාලීනව හාමුදුරුවරු හදාගත් 'හැසිරීමේ නීති සංග්‍රහයක්' වී ඇති බව කිවයුතු නොවේ. කෙනෙකු කියා 'මම' තුළ නැති බව අවුරුදු 45 ක්ම දෙසුවත් කෙනෙක් හැසිරවීමට නීති සංග්‍රහයක් නිර්මාණය කොට එහි 'කෙනෙක්' වශයෙන් හැසිරීම බුදු පණිවුඩයට අවමානයකි, නිවන් මග අවහිර කර ගැනීමකි.
බුදුන් වහන්සේ දේශනා කළ විනය නම් පුහුණුවයි. එය මාර්ග ඵල ගමනේදී ඵලයක් ලැබීමට මාර්ගයේ පුහුණු වන ආකාරයයි. පළමු සංගායනාවේදී උපාලි රහතන් වහන්සේ පහදා දුන්නේ මෙම මාර්ගවලදී ඵල ලැබීමට (සෝවාන්, සකෘදාගාමී ආදී) පුහුණු වන පිළිවෙලයි. විනය යන වචනයෙහි බුදුන් වහන්සේ කළ තේරුම පුහුණුවයි. එය හැසිරීම වශයෙන් හාමුදුරුවරු වෙනස් කරගෙන ඇත. අභාග්‍යයකට මෙන් කාලයාගේ ඇවෑමෙන් අද සමාජයෙහි විනය යන වචනයේ තේරුම හැසිරීම වශයෙන් අර්ථකථනය වේ.
තුන්වෙනුව,
අභිධර්මය බුද්ධ දේශනය නොවේ. 'ධම්ම' වල ඊට වැඩිය ගැඹුරු ධර්මයක් වැනි දෙයක් නැත. ධම්ම දැකීමේදී මෙය සනාථ වූ නිසා එසේ ලියමි. අභිධර්මය, පළමුවැනි, දෙවැනි සංගායනාවල සඳහන් කිරීමක් නැත. ඒවායේ සංගායනා වූයේ සූත්‍ර (උපක්‍රම) හා විනය (පුහුණුව) පමණි. අභිධර්මය මතුවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුද 250 කට පමණ පසුවය. එය ලිවූයේ සංගායනාවලින් නෙරපන ලද අය විසිනි. එහි ලියා ඇත්තේ තනිකර හින්දු හා ජෛන සංකල්පය. එය කියවා කවුරුත් නිවන් දැක නැති බව පුදුමයක් නොවේ. එය ප්‍රඥාවලින් ලියන ලද්දක් නොවන බවත් මනසෙන් සිතීමෙන් ලියන ලද්දක් බවත් ප්‍රඥා ඇස පහළ වූ අයෙකුට පහසුවෙන්ම දැනගත හැකි කරුණකි.
උදාහරණයකට බුදුන් වහන්සේ බුදු දහමේ කිසිම පැවතීමක් නැති බව කෙතරම් අවස්ථාවල පැවසුවත්, එහි හින්දු ජෛන සංකල්ප ඨිථි (උප්පාද, ඨිථි, භංග) පැහැදිලිවම සඳහන් වේ. මෙම ඨිථි (පැවතීම) සංකල්පයෙන් බුදු පණිවුඩය වූ අනිත්‍ය (පැවතීමක් නැත) යන්න සුණු විසුණු කර ඇත. මෙවැනි තවත් බුදු වචන විකෘති කර දමා ඇති සංකල්ප අභිධර්ම පිටකයේ බොහෝය.
චින්තනයෙන් මිදීම (චේතෝ විමුක්ති) නිවනට මග යැයි බුදු වචනය වුවද මේ චින්තන (සිතිවිලි) යන කුණුගොඩ අවුස්ස අවුස්සා බැලීම චින්ත වර්ගීකරණය කිරීම අභිධර්මයෙන් මනාවට සිදු වේ.
තවද අභිධර්මයේ සූත්‍ර (නිවන් මගේ උපක්‍රම) නැත. එහි ඇත්තේ නොයෙකුත් 'අදහස් දැක්වීමක්' (Commenteries) පමණි. එය පසුකාලීනව නිවන් නොදැකපු අයගේ මනසින් මවා ලියූ රචනා වැනිය. මනෝමයා 'මන (අසත්‍යය)මවයි' යන්න මනාව මනසෙන් ප්‍රදර්ශනය කරන කෘතියකි.
මේ නිසා විනය හා අභිධර්ම පිටක කොහෙත්ම බුද්ධ දේශනය නොවේ. සූත්‍ර පිටකය ද බොහෝ තැන්වල බුද්ධඝෝෂ හිමිගේ ජෛන අදහස්වලින් පෝෂණය වූවකි.
හතරවෙනුව,
සූත්‍ර පිටකය තමා නිවන් නොදැක්ක බව පැවසූ බුද්ධඝෝෂ හිමිගේ මනසෙන් මවාගත් නිවන් මග වන ශීල, සමාධි, ප්‍රඥා අනුකරණයෙන් සන්තෘප්ත වී ඇත. බුද්ධඝෝෂ හිමියන් බුදු පණිවුඩයට ගැසූ සිල් ඇණය (ආණි සූත්‍රය) මෙහි මනාව පැහැදිලි වේ. සෝවන් වූවිට සීලබ්බත (සීල+වෘත) නැතිවන බුදුන් වහන්සේ කෙතරම් පැවසුවද 'සීලයෙන් ප්‍රඥාව ලැබේ' යන්න ඔහුගේ විශුද්ධි මාර්ග කෘතියෙන් 'සීලේහි පටික්කාය නරෝ සපඤ්ඤෝ' වශයෙන් ඉදිරියට ගෙන බුද්ධඝෝෂ සංකල්පය සූත්‍ර පිටකයේ පැහැදිලිවම ග්‍රන්ථාරූඪ කොට තිබේ. නිවන් මග ගමන් කරන්නේ 'සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණ'යි. 'දිට්ඨිංච අනුපගම්ම සීලවා' යැයි බුදුන් වහන්සේ කෙතරම් පැහැදිලිව කියා තිබියදීත් බුද්ධඝෝෂ හිමිගේ සිල් ඇණයෙන් බුදුන් වහන්සේගේ දහම් බෙරය පළුදු කර තිබේ.
අද හාමුදුරුවරු ඇතුළුව සිල් ගන්නා අය කිසිදා නිවන් නොදකින බව (සීලබ්බත නැති නොවන බව) මම පවසන්නේ ප්‍රඥා ඇසින් දැක වගකීමක් සහිතවය. වෛද්‍යවරුන් වශයෙන්, හාමුදුරුවරු මෙන් නොව දන්නා දෙයක් පමණක් ප්‍රකාශ කිරීම උචිත බව දන්නා නිසාය. නොදන්නා දෙයක් ප්‍රකාශ කිරීම වෛද්‍යවරු නොකරති.
පස්වනුව,
දේශපාලනඥයන් උත්සවාකාරයෙන් උරුමයක් කොට ආරක්ෂා කරන්න යන වර්තමාන ත්‍රිපිටකය පළමුවෙන්ම බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500 කට පසු ලියන ලද පොත නොවේ. හාමුදුරුවරු ත්‍රිපිටකය ආරක්ෂා කළායැයි කියමින් මහජනතාව කෙතරම් මුළා කිරීමට තැත් කළත් මුලින් ලිවූ ත්‍රිපිටකය දැන් නැත. එය අතුරුදන් වී ඇත. එසේ නම් මුල් ත්‍රිපිටකය හාමුදුරුවරු ආරක්ෂා කර නැත. බුද්ධඝෝෂ හිමි එය පිච්චුවාද නැද්ද යන්න ඉතිහාසයෙනුත් නිශ්චිතව සොයාගත නොහැක. එනමුදු බුද්ධඝෝෂ හිමි ඇතුන් තුන් දෙනෙකු උසට ගොඩැගසූ පොත් කන්දක් පිළිස්සූ බව සඳහන් වේ. ශීල, සමාධි ඇණය ගසා පිරිසිදු බුදු පණිවුඩය පළුදු කළ බුද්ධඝෝෂ හිමි මුල් ත්‍රිපිටකය එම පොත් කන්දටම දැමුවා විය හැකිය.
කෙසේ වෙතත් හාමුදුරුවරු කෙතරම් උදම් ඇනුවත් මුල් ත්‍රිපිටකය ආරක්ෂා කොට නැත. මුල් ත්‍රිපිටකය ආරක්ෂා කර ඇති බව පැවසීම අමූලික බොරුවක් බව පාසැල් යන ළමයෙකුට වුවද මෙම කරුණු ඉදිරිපත් කළහොත් වටහා ගත හැක.
අතුරුදන්වීමෙන් පසු අවුරුදු 100 - 150 කට පමණ පෙර වනතෙක් ලංකාවේ ත්‍රිපිටකය නොතිබූ නිසා එකළ සිටි හාමුදුරුවරු බුරුමයට හා සියමට (තායිලන්තය) ගොස් එහි එකඟ වන කොටස් පමණක් ලියාගෙන විත් වර්තමාන ත්‍රිපිටකය සකස් කර තිබේ. බුරුමය හ තායිලන්තය මුල් ත්‍රිපිටකය ලියා අවුරුදු 500 ක් හා 700 ක් පමණ පසු කාලයේදී ලංකාවෙන් කොපි කරගත් ඒවාය.
මුල් ත්‍රිපිටකය ලියූ සිංහල අකුරු ඉරි කෑලිවලින් සංයුක්ත අකුරුය. එවැනි දෙයක් මෙකළ කියවිය හැක්කේ මුල් ඉරි කෑලි අධ්‍යයනය කළ කෙනෙකුට පමණි. ක්‍රමයෙන් අවුරුද දහස් ගණනක් වෙනස් වෙමින් රවුම් සිංහල අකුරු වර්ධනය වෙත්ම කවුරු හෝ මෙය නැවත නැවත ලියන්නට වුණි. එසේ ලියන විට ත්‍රිපිටකය වෙනස් කරන්නට හා අලුත් සූත්‍ර ඇතුළත් කරන්නට (ඇණ ගසන්නට) ඉඩක් ලැබිණි.
මධ්‍යම නිකායේ උපරි පන්ණාසකය (අන්තිම සූත්‍ර 50) මෙයට කදිම නිදසුනකි. මුලින් සූත්‍ර 50 ක් තිබූ එහි දැන් සූත්‍ර 52 ක් ඇත්තේ ඇයිදැයි ඔබට නිගමනය කළහැකි විය යුතුය.
හයවනුව,
බුද්ධ දර්ශනය (නිවන් දැකීම), බුද්ධ යන නමක් ඈඳාගත් බුද්ධ ආගමක් (ඇදහිලි ක්‍රමයක්) බවට පත්වීමත් සමග ලියූ ත්‍රිපිටකය කියවීමෙන් හෝ එය අනුගමනය කොට කවුරුත් අවුරුදු 2100 කට නිවන් දැක නැත. සම්පූර්ණයෙන්ම බුද්ධඝෝෂ ආගමක් වූ ත්‍රිපිටකය දැන් හාමුදුරුවරු ආරක්ෂා කරනුයේ බුද්ධඝෝෂ හිමි විසින් බුදු වචනය වෙනස් කිරීම නිසා හාමුදුරුවරුන්ට අමුතු, නිවන් නොදකින, නමුත් අනුන්ගෙන් ජීවත් වන ජීවන ක්‍රමයක් සකසා දුන් නිසාය. දැන් පිරිසිදු නිවන් මග විකෘති වී ඇති නිසාත් ලංකාවේ පමණක් නිවන් දැකපු අය 500 කට අධික පිරිසක් සිටින නිසාත් (හාමුදුරුවරුන් හෝ ඔවුන්ගෙන් බණ අහපු අය නොවේ) හාමුදුරුවරුන් විසින් ආරක්ෂා කරන බුද්ධඝෝෂ ආගම තවදුරටත් පැතිරවීම සත්‍යය ඉදිරියේ පසුබසිනු ඇත. ඒ සත්‍යය සමග අසත්‍යයට සටන් කිරීමට බැරි නිසාය. එය විශ්වයේ ස්වභාවයයි.
හත්වෙනුව,
ආණි හා සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය එම වෙනස් කරන ලද ත්‍රිපිටකයේම ඇති සූත්‍ර දෙකකි. ආණී සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ උන්වහන්සේ මතුකර දුන් 'දහම් බෙරය' පළුදු කරමින් පිටතින් යම් යම් දේවල් ඇතුලු කොට (ඇණගසා) එය ඉදිරි කාලයේදී වෙනස් කරන බවය. සූත්‍ර අන්‍යයන් විසින් වෙනස් කරන බව උන්වහන්සේ එහි දේශනා කර ඇත. වත්මන් දේශපාලනඥයන් හා හාමුදුරුවරුන් කරන්න හදන්නේ මහජනයා මුලා කොට මෙම නිවන් නොදකින, බුදුන් වහන්සේ විසින් ඉදිරියට පළුදු කරන බව පෙන්වා දුන් මේ පළුදු කරන ලද පොත ජාතික උරුමයක් කොට ජාතියටද අඥානවන්ත යැයි ලේබලයක් ගැසීමටයි.
සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බුදු පණිවුඩය නැති කරන්නේ 'සසුන තුළම මතුවන හිස් මිනිසුන්' බවය. එයින් අදහස් කරන්නේ ගිහියන් නොව හාමුදුරුවරු විසින්ම බුදු පණිවුඩය විනාශ කරන බවය.
ඉහත සඳහන් කරුණු මහජනතාව බුද්ධිමත්ව සලකා බැලිය යුතුය. මෙකළ පිරිසිදු බුදු පණිවුඩය (නිවන් දැකීම) මතු නොවී නම්, හාමුදුරුවරු තවත් අවුරුදු 2100 ක් මහජනතාව රවටනු නොඅනුමානය. මේ බමුණු දැලෙන් (බ්‍රහ්මජාලයෙන්) මිදිය හැකිකේ ඔබටම පමණි.
අඥානවන්ත දේශපාලනඥයන් රවටාගෙන හාමුදුරුවරු නටන මේ නාඩගම මහජනයා දැනගත යුතුය. එවැන්නකට අතදීම, ප්‍රතික්ෂේප නොකිරීම බුදුන් වහන්සේට කරන අපහාසයකි.
'මා පිටක සම්පදාය' - 'පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නොවේ'ය යන්න නිකමටවත් දේශපාලනඥයන්ගේ ඔළුවලට වදී නම් නිවන අවහිර කරන, බුදුන් වහන්සේ කියවන්න එපා කියූ පසුකාලීනව ඇණ ගසන ලද කෘතියක් ජාතික උරුමයක් කිරීම නොකරනු ඇත. එය ජාතික උරුමයක් ලෙස නම් කළේ නම් එය 21 වැනි ශතවර්ෂයේ සිදු වූ ලොකුම මෝඩකම ලෙස ඉතිහාසගත වනු ඇත. එවැන්නකට අනුබල දුන් සහභාගි වූ දේශපාලනඥයන්ගේ නම් ද මේ සමග අඥානවන්තයින් ලෙස ඉතිහාසගත වනු ඇත. තවද නිවන් මග අවහිර කරන කිසිවක් ජාතික උරුමයක් කළ දේශපාලනඥයන් ජනතාව විසින් නැවත පත් නොකරනු ඇත.
මෙම ලිපියේ ඇති කරුණු වැරදි යැයි ඔප්පු කළහැකි හාමුදුරු කෙනෙක් හෝ දේශපාලනඥයෙක් ඇත්නම් ඔවුන් සමග ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍යවල සාකච්ඡාවකට එන ලෙස මෙයින් ඇරයුම් කරමි.
- වෛද්‍ය ගාමිනී අභය | www.buddhaintelligence.org
උපුටා ගැනීම: lankanewsweb