Friday, May 10, 2019

ආගම සහ සබුද්ධිකත්වය : නො-අවසන් නූතනත්වය සහරාන් ගෙන් ඔබ්බට

'සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාවය' පෙරවදන
ඉස්ලාම් මුලධර්මවාදය නූතන ලෝකයේ චින්තන ගෘහ නිර්මාණය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර එවන් චින්තන ආකෘතීන් ඇති අන් සියළු ශිෂ්ටාචාර විනාශ වී අළු දුවිලි වී යනු පිණිස බෝම්බ දමයි. එය ඔවුන් කරනු ලබන්නේ කිසිදු නූතන සදාචාරයක් කෙරෙහි විශ්වාස නොකරමිනි. නූතන බව විනාශ කිරීම වෙනුවෙන් ඔවුන් මිනිස් අත්දැකීම තුළ ඇති ගැඹුරුම අශ්ලීල සහ අශිෂ්ට බව (පුර්ව නුතන බව) වෙත ප්‍රවිෂ්ට වීමට පසුබට නොවේ. (පසු)නුතන යුගය තුල මිය යමින් පවතින පියාගේ නීතිය ප්‍රතිස්ථාපනය කරනු වස් ඔවුන් ගමන් කරන්නේ සියවස් ගණනක් පැරණි පුර්ව පියා වෙතට ය. නමුත් අප යෝජනා කරන්නේ අප විසින් ම නිර්මාණය කල ගෘහ නිර්මාණය වෙත බෝම්බ දමා, අහිංසකයින් මරා දමා, පතුලක් නැති වෛරය අවුස්සනු සහ අහම තුවාල කර ගනු වෙනුවට නූතන ගෘහ නිර්මාණය නූතනත්වය තුළ ම විසංයෝජනය කරමු යනුවෙණි. ඒ සඳහා අපට ආගම විසින් දායාද කර ඇති දාර්ශනික අඩංගුව නූතනකරණය කළ හැකිද යන්න සොයා බැලිය යුතුය. කෙසේ වුවද අප නූතනත්වය දෙස බලා සිටින්නේ ශුන්‍යතාවය තුළ සිටිමිනි. ශුන්‍යතාවයේ පානය වන 'කොකා කෝලා' පානය කරමින් අප ගොඩ නැගූ සියල්ල ශුන්‍යබව තුල ගිලී යනු අප උපේක්ෂා පෙරදැරිව බලා සිටිමු. විරුද්ධාභාෂී නුතනත්වයේ නපුර (evil) අප නුතන්ත්වය තුල ම සිටිමින් විසංයෝජනය කරමු යන්න අප ඉස්ලාමීය සහෝදරත්වය වෙත කරන නිහතමානී යෝජනාවයි. නූතන බව සමග එකතු වීමට නම් අපේ පුපුරා යන තරම් වූ පැරණි ලෝකයේ අහම බිංදුව බවට පත් කරගමු!  

Religion and Rationalism: Modernity as an Unfinished Project beyond Saharan

නූතනත්වය අනිවාර්ය වශයෙන් මිනිස් ප්‍රගතිය කරා ගමන් කරන්නේය යන සාමාන්‍යයෙන් අප දන්නා ප්‍රවාදය තව දුරටත් පශ්චාත් ලෞකික සමාජයන් සම්බන්දයෙන් අදාල නොවන බව යර්ගන් හබමාස් සිය 'ආගම සහ සබුද්ධිකත්වය' නම් කෘතියේ තර්ක කරයි (Religion and Rationality: Essays on Reason, God and Modernity, 2002). ඒ අප මේ ඊයේ පෙරේදා අත්දකින ලද ආපතික සහ ක්ෂිතිමය වර්ගයේ අත්දැකීම් නිසා පමණක් නොව පශ්චාත් කාර්මික සහ ලෞකික සමාජයන් හි සමකාලීන බහුවිධ ගමන් පථයන් (multiple trajectories of the post-secular societies) දෙස බැලූ කල්හි ඔහු නිරීක්ෂණ කරන දෙයක් වන්නේ නුතන කතිකාව පරදමින් ආගමික කතිකාව සියලු සමාජයන් තුළින් ඉස්මත්තට පැමිණ ඇති බවයි. බහුවිධ ගමන් පථයන් යනු නූතනත්වය ගමන් කිරීමට උත්සාහ කරන ලද බහුවිධ මාවත් අර්ථවත් කෙරේ. සමාජවාදය, ධනවාදය, මිශ්‍ර ආර්ථික ක්‍රමය, සමස්තතාවය, සම්ප්‍රදායික ආර්ථිකය යනු මෙවන් බහුවිධ මාවත් වන අතර මිනිස් මනස මේ මාවත් අතර ඇති අවසානයක් නැති ආතතීන් විසින් ව්‍යාකුල කර ඇත. ඒ ව්‍යාකුල බව විසින් සහ නව ලිබරල්වාදයේ බහුත්ව ඉවසීම (tolerant multiculturalism = රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර මොඩලය) මඟින් සමාජයන් තුල ඉස්මතුව ඇත්තේ විකල්ප නූතනත්වය බව සම්භාව්‍ය මාක්ස්වාදී මතයයි. සබුද්ධිකත්වය සහ ලෞකික කරණය තුල විශ්වීය සංකල්ප සහ අප මෙතෙක් දැනසිටි ආචාර ධාර්මික අන්තර්ගතය බිඳ වැටීමට ලක්වීම මිනිසා නැවත ආගම දෙසට ගුරුත්ව බලයකින් මෙන් (gravitational force towards tradition) ඇද ගනිමින් පවතී යන්න ඔහුගේ තර්කයයි. මෙය ඉස්ලාමයට පමණක් පොදු වූ දෙයක් නොව සියලු ආගම් වෙතට මිනිසා නැවත නැඹුරු වෙමින් ඇත. සෝවියට දේශය තුල ක්‍රිස්තියානිය නැවත උත්පාද වීම, චීනය තුල කොන්ෆියුසිස් ධර්මය සහ බුද්ධාගම නැවත හිස එසවීම සහ ඒවා දේශපාලනය සමග ගැට ගැසීම මෙයට උදාහරණ වේ (නව චීන ධනවාදය යනු කොන්ෆියුසියානු ධනවාදයක් ලෙස ජිජැක් මෙය අර්ථකතනය කරයි). මේ ආපසු ගමනයට (return) හේතුව වන්නේ නූතනත්වය ධනවාදය සමග ගැට ගැසීම නිසා මතුව ඇති විපරීත පසු  නූතන (විකල්ප නූතනත්ව) තත්වයකි. නූතන බව මුහුණ දී ඇති මෙම තත්වය පිලිබදව සවිස්තරව ජපාන කියෝතෝ ගුරු කුලය විසින් සාකච්චා කර ඇත (ඔවුන් ඒ සඳහා ජපාන බෞද්ධ සම්ප්‍රදාය ප්‍රතිජීවනය කර ඇති බව අප මිට ඉහත පෙන්වා දී ඇත). උදාහරණ වශයෙන් සමකාලීන වෙළඳ පල තුල මිනිසා කොතරම් රැවටීමට භාජනය කරන්නේ ද? නූතන වෙළඳ පොළ වසඟය තුල මිනිසා කොතරම් මුලා කරන්නේ ද? අප දන්නා මිනිස් වටිනාකම් කොතරම් බල්ලාට දමමින් අප තවත් කෙනෙක් සූරා කන්නේද? එසේ නම් අප දන්නා නුතන මානවවාදයට සිදුවන්නේ කුමක්ද? එසේ නම් මේ පසු නූතන යුගයේ වෙළඳ පල සන්නිවේදනය කරන්නේ ඇත්ත වශයෙන් සත්‍යය ද නැත්නම් ව්‍යාජ බවද? එය ව්‍යාජ බව (inauthenticity) වර්ධනය කරමින් සිටින්නේ නම් නූතන මානව වාදය සහ සබුද්ධික බව ගමන් කරන්නේ කොයිබටද? වඩා උසස් නූතන නත්වයක් දේශනා කල සමාජවාදය අවසානයේ ස්ටාලින් වාදයකින් අවසන් වුවේ කෙසේද? නූතන බව දක්වන මේ අසමත් බව තුළ පූර්ව නුතන ආගම තව දුරටත් ශක්තිමත් ව මිනිස් සන්තානය තුල ලැගුම් ගනී. මන්ද ආගම තව දුරටත් මානව යහපත, පොදු මිනිස් සදාචාරය, මිනිස් ගරුත්වය ගැන කතා කරන සහ විශ්වාස කරන හෙයිනි. සහරාන් යනු (හුදු රූපකයක් පමණි) මේ නූතන හිස් බව වෙනුවට සාමුහික මරණය යෝජනා කරමින් අප ඉදිරියට ආ පූර්ව නූතන නියෝජිතයෙක් වන අතර ඔහු මේ නූතන සමාජයේ අවිනිශ්චිත බව (uncertainty) වෙනුවට නිශ්චිත අවසානයක් ලෙස සාමුහික මරණය යෝජනා කර ඇත. වටිනාකම් නැති සමාජයක ජීවත් වනවාට වඩා අප මිය යමුද? මේ ඔහුගේ ප්‍රශ්නය විය නොහැකිද? එසේ ඔහු තවත් එවන් අසරණ මිනිසුන් පිරිසක් මරණය වෙත ගෙන යෑම සඳහා නෛතික බව (legitimacy) ලබාගන්නේ ආගම ඔස්සේ ය. එය සාධාරණ නෛතික කරණයක් ද? මෙතැන ගැටළුව නම් සහරාන් මිය ගියේ පවත්නා තත්වය එසේම පවත්වා ගෙන යාම වෙනුවෙන් මිස රැඩිකල් ලෙස මුස්ලිම් සමාජය වෙනස් කරනු වස් නොවීම ය. 

නූතන බවේ නපුර වෙනුවෙන් මියයාම වනාහී නැවතත් අප දන්නා නූතන හේතුව (reason and rationality) අපගේ සන්දර්භය තුල අසමත් වන තැනකි. මිනිස් ගරුත්වය (human dignity) නොමැතිව වෙළඳ පොළ තුල දිනපතා  විකිනෙමින්, මෝඩ දේශපාලන කතා අසමින් මෙසේ ජීවත් වීමේ පලය කුමක්ද? එයට නූතන අර්ථයෙන් ගොනුකළ හැකි පිළිතුර කවරේද? මෙවර මරාගෙන මැරෙන භූමිකාව තුල සිටි අයගේ සමාජ පදනම් ගත් විට ඔවුන් ලන්ඩන් ගොස් උසස් අධ්‍යාපනය ලබා, ව්‍යාපාර කර, මුදල් හරි හම්බ කර, සමාජයේ ඉහල ස්ථරායනය වෙත යම් ප්‍රමාණයකින් ලං වූවන් වේ. 'සාර්ථක මිනිසුන්' යනුවෙන් හැඳින්විය හැකි ඔවුන්ට සමාජ පිළිගැනීමේ ගැටළුවක් තිබී නැත. එසේ නම් ඔවුන්ට අවශ්‍ය වූවේ කුමක්ද? විගලිතභාව්යේ පංති ප්‍රකාශනයක් ලෙස ඔවුන් මාක්ස්වාදී ප්‍රභේදකරණය තුළට එකවරම දැමිය නොහැකි නිසා මෙම මුලධාර්මික සමාජ කොටස් පිළිබද ගැටලුවේදී මාක්ස් වාදීන් සාමාන්‍යයෙන් කට වසා ගෙන සිටි. ඒ අවසරයෙන් ජාතිකවාදී කොටස් උඩ කස්තිරම් අල්ලයි. මේ වනවිට ලංකාව තුළ සිදුවෙමින් පවතින්නේ මෙයයි. නමුත් මෙම අන්තවාදී යැයි කියනු ලබන මරාගෙන මැරෙන තරුණ කොටස් වලට අවශ්‍ය වූවේ එවන් සමාජ පිළිගැනීමක් නොව පිළිගැනීමට වඩා පිළිගැනීමකි (more recognition than recognition). මෙම ඉස්ලාමීය කොටස් වල ගැටළුව එනයින් අනන්‍යතාව පිළිබද එකක් වන අතර එය තදින් දේශපාලන කරණය (රැඩිකල්කරණය) කර ඇති එකකි. යටත් විජිත ක්‍රියාව තුල තුවාල වූ අහම මෙන්ම නූතන ලෞකික කරන ක්‍රියාව තුලදී ද ඔවුන්ගේ සම්ප්‍රදායික අනන්‍යතාව නව ලෝක දැක්ම හමුවේ අර්බුදයට ගොස් ඇත. ගැඹුරු අර්ථයෙන් ගතහොත් ඔවුන්ගේ ගැටලුව තුවාල වූ අහම පිළිබද එකකි (hurt ego). හබමාස් ගේ වචනයෙන් කියන්නේ නම් ගැඹුරු මිනිස් ලජ්ජාව පිළිබද ගැටළුවකි (humiliation). නව ශිෂ්ටාචාරය තුල ඔවුන්ගේ අහම ලජ්ජාවට පත්ව ඇත (humiliated ego). අධි නිශ්චය වූ මිලියන ගණනක් වන වෙළඳ සඥා තුළ ඔවුන් විසින් විශ්වාස කරන අති මූලික වටිනාකම් (උදාහරණ වශයෙන් ස්ත්‍රිය සම්බන්ද ගෞරවය) අහෝසි වෙමින් පවතී. තම ජීවිතය අහෝසි කර ගනිමින්, අනෙක් මිනිසුන්ගේ ජිවිත ද විනාශ කරමින් ඔවුන් සටන් කරන්නේ තම ආත්මීය ගෞරවය රැකගනු පිණිස ය. තුවාල වූ අහම ද මේ ගැටළුවේ ම කොටසකි. මේ ලජ්ජාවට පත් කිරීමේ ගැටළුව මත ලජ්ජාවට පත් කල ජාතීන් විශ්වීය සහයෝගීතාවය (universal solidarity) වෙතට අන්තර්කරණය කළ හැකි ද යන්න එසේනම් මීළගට අප මුහුණ දෙන ප්‍රශ්නයයි (රෝටි 2013). උදාහරණ වශයෙන් අප මුහුණු පොතේ ඉස්ලාම් ආගම සහ ඌරන් සමග කරන සෙල්ලම විසින් හෝ රැඳවියන් හට ඌරු මස් කන්නට දීම හෝ මඟින් කරන අහමේ ලැජ්ජාව ඔස්සේ ඔවුන්ට නැවත සහයෝගීතාවය වෙත ඇතුලත් විය හැකිද එසේ ඇතුලත් විය හැකිනම් ඒ කොයි ආකාරයෙන් ද යන්න අප විමසා බැලිය යුතුය. විශේෂයෙන් යුදෙව් ක්‍රිස්තියානි මුලයන් ඔස්සේ ජිජැක් ගේ දිව්‍යමය ප්‍රචණ්ඩ බවට අප අනුග්‍රහය දක්වන්නේ නම් එසේ අප අනිවාර්යයෙන් එම ප්‍රචණ්ඩ බව න්‍යායිකව සාධාරණීකරණය කළ යුතුය. මා සිතන අයුරින් හබමාස් සහ ජිජැක් ගේ අදහස් අතර මතැනදී බරපතල පරස්පර බවක් සහ විරුද්ධාභාෂයක් පැනනගී. මන්ද හබමාස් විශ්වාස කරන ආකාරයෙන් මිනිස් ගෞරවය අප නූතන බව තුල ම කෙලසන්නේ නම් එවිට අප ඒ වනවිටත් නූතන බව උල්ලංඝනය කර හමාරය. සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු ස්ථාපිත වූ ඇමෙරිකන් වධ කඳවුරු ගැන ජිජැක් විවේචනාත්මක වන්නේ මේ න්‍යායික පදනම ඔස්සේ ය. අහමේ ගැටළුව එසේනම් යුදෙව් ක්‍රිස්තියානි මොසාඩ් තාක්ෂනය ඔස්සේ විසඳිය නොහැකි බව බටහිර විසින් ම පිළිගෙන තිබේ. එමෙන්ම තවත් න්‍යායික ගැටළුවක් බටහිර විචාරකයින් විසින් ම ආරම්භ කර ඇත. එයින් කියවෙන්නේ මනුෂ්‍ය ගෞරවය පිළිබද ලෝක දැක්මවල් දෙකක් (බටහිර සහ පෙරදිග උදාහරණ වශයෙන්) ඝට්ටනය වන්නේ නම් එය විසඳන්නේ කෙසේද යන්න ය. අනෙක් අතට ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ අප සියලු දෙනාම (පෙරදිග, අපරදිග, මැද පෙරදිග) හසුව සිටින්නේ එකම වෙළඳ පළ කුණාටුවකට බැවින් අවශ්‍ය වන්නේ පොදු වටිනාකම් ප්‍රමාණයක් යන්න ය. එසේනම් ඉස්ලාමීය කැරළි කරුවන් මේ යෙදී සිටින්නේ වෙළඳ පළ ප්‍රවාහයට එරෙහි සටනක ද? නැත්නම් අනන්‍යතා සටනක ද? ඔවුන් වඩා නැඹුරුව ඇත්තේ දෙවැන්න වෙත වන බැවින් විශ්වීය අරුතින් සටන් කිරීම ඔවුන්ට මඟ හැරී ඇත. සියළු නිර්ධන ජන කොටස් විඳිමින් ඇත්තේ එකම වේදනාවක් බව ඔවුන්ට එනයින් අමතකව ඇත. ඛේදය එයයි. 

මේ ක්‍රමය තුල තුවාල සිදු වී ඇත්තේ තමාට පමණක් යැයි සිතීම ආත්මීය වරදක් වනවා සේම ඒ ඔස්සේ ආගම යන්න පවා අතිශයින් බලවත් සමාජ විවේචනයක් ලෙස ඉතිහාසය පුරා භාවිතා වී ඇත යන වැදගත් කරුණ පවා ඔවුන් අමතක කර දැමීමකි (උදාරණය වශයෙන් ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය). ඉස්ලාමය පවා යම් සමාජ විවේචනයක් (social critique) වන අතර ඔවුන්ගේ අභිචාර විධි යනු (rituals) ඒ විවේචන වෙනුවෙන් එක් යුගයක ගෙනෙන ලද පිළිතුරු වේ. බුදු දහම ද එසේය. මැල්කම් රංජිත් අගරද ගුරු විසින් බෝම්බ සිද්ධියට පසු ගෙනෙන ලද සමාජ විවේචනය ඉතාම බලවත් වූ ආකාරය ගැන සිතන්න. අගරදගුරු හිමිපාණන් විසින් ගෙනෙනු ලබන්නේ බටහිර වෙත විරෝධයකි (ඒ විරෝධය සහ විචාරය විසින් ඔහු නුතන සමාජයට සම්බන්ද කරයි). මෙහිදී ජිජැක් කියන්නේ ආගම විසින් පශ්චාත් දේශපාලන යුගයේ (post political era) මිනිසා විසින් නිර්මාණය කර ඇති ගැඹුරු ප්‍රචණ්ඩ බව වෙත ප්‍රගතිශීලි විවේචනයක් ගෙන එමින් ඇති බවයි. අනෙක් අතට ආගම විසින් ම මිනිසාගේ 'අතාර්කික මදය' (irrational core) ප්‍රචණ්ඩත්වය වෙතට මුදා හරිමින් ඇති බව ද ඔහු දයලෙක්තිකව නිරීක්ෂණය කරයි (Sharpe and Boucher 2010: 196). පාස්කු ඉරිදා අප මේ දයලෙක්තිකය අත් දුටුවෙමු. මේ දෙවැනි කරුණ අයත් වන්නේ රිදුම් දෙන අහම ට ය. මිනිස් පැවැත්මේ මේ අතාර්කික මදය මරණය වෙතට රැඩිකල් කරණය කිරීමට යම් දේශපාලනයක් සමත් වන්නේ ද (ආශාව සහ මරණය රැඩිකල් කරණය කිරීම) එය රැඩිකල් දේශපාලනයේ අගනා සම්පතක් විය හැකි බව ද ජිජැක් විමුක්ති දේශපාලන යථාව (revolutionary political Real) ගැන සඳහන් කරමින් කියා සිටී (ඉහත පිටු 115-6). රොමෑන්තික ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ මර උගුල (deadlock of democracy) මරණය ඔස්සේ අභියෝග කල සහරාන් ගමන් කර ඇත්තේ අප ගමන් කිරීමට මැලිවන යථාව දෙසට වීම අප බරපතල ලෙස සාධනය කරගත යුතු න්‍යායික ප්‍රවේශයකි (මන්ද වමේ දේශපාලනයට යම් දවසක කිරීමට සිදු වන්නේ ද සහරාන් කළ දෙයම ය). කෙසේ වුවද අනන්‍යතාවය පැත්තෙන් ගත් කළ මෙ 'රැඩිකල් කරණය' තුවාල අහමේ ගැටළුව සමග හොඳින් සමපාත වේ (අහමේ ගැටළුව ආගමක් තුල වෙනත් අයුරකින් විසඳීමට උත්සාහ කර ඇත්නම් ඒ බුද්ධාගම පමණය). එනයින් 'විශ්වීය හේතුව' (සියල්ලෝ ම මෙම ක්‍රමය තුළ විඳවමින් ඇත යන්න) ඔවුන්ගේ අහමේ ගැටළුව සමග ගත්කල ඔවුන්ට නෑසෙන තරම් ය. ගැහැණු පිරිමි හැමෝම ඇත්තේ එකම විඳවීමක ය. එක් ලිංගයක් පමණක් අධිනිශ්චය කිරීමේ පංති හේතුවක් නැත (අර්චන හේතු කෙසේ වෙතත්). එක් ලිංගයක් පමණක් ශුද්ධ වූ දෙයක් වන්නේ ද නැත. මෙම ක්‍රමයට අවතීර්ණ වන අප සියල්ලෝම පියාගේ නීතිය නපුංසක කිරීම තුල ලජ්ජාවට පාත්‍රව ඇත. නමුත් අප පියාගේ නපුංසක බව (දෙවියන් ගේ නපුංසක බව) විපරීත ලෙස විනෝද වෙමින් සිටිමු (නිල් චිත්‍රපට වල ගැහැණිය වේදනාවෙන් කෑ ගැසීම අපට නෑසුනා සේ විනෝද වීම වෙනුවට සහරාන් මරණය තෝරා ගෙන ඇත). පතුලක් නැති ඒ ගුප්ත විනෝදය බාධා කරනු වස් අපට බෝම්බ සමග සහරාන් හමුවේ. ඔහුට ඔප්පු කිරීමට අවශ්‍ය වුවේ දෙවියන් නපුංසක නැති බවයි. මෙය ස්වරූපරාගී (narcissism) ප්‍රශ්නයකි. අපව ගලවා ගත හැක්කේ තමන්ට ම (තමාගේ සර්ව බලධාරී බලයට) ආශා කරන දෙවි කෙනෙකුට නොව වේදනා විඳින දෙවි කෙනෙකුට බව ජිජැක් සඳහන් කරන්නේ මේ නිසාය. අපගේ විපරීත බව තුළ අහම තුවාල කරගෙන අපට දඬුවම් දෙනවාට වඩා එම දෙවියන් අපගේ ක්‍රියාවල වේදනාවට හුරු විය යුතු බව ඔහුගේ තර්කයයි (ජිජැක් 2007). තවත් මිනිසුන් දහස් ගණනක් සමග මරණය කරා යෑමට තීරණය කල සහරාන් මේ 'පරස්පර සත්‍යය' තේරුම් ගත යුතුව ඇත. ජේම්සන් සඳහන් කරන පරිදි ඉතිහාසයේ ඛණ්ඩනයන් ඉතා පැහැදිළි බෙදුම් රේඛාවන් ගෙන් (clean breaks) වෙන් නොවී පවතින මෙවන් අවස්ථාවක ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය වැනි දේ මරාගෙන මැරෙනවා ට වඩා වැදගත් විය හැකි බව ජිජැක් ගේ මතයයි (Sharpe and Boucher 2010: 113-4). පුද්ගල භාවයට වැඩි අවස්ථාවක් දුන් ප්‍රොතෙස්තන්ත ආගම වැනි ව්‍යාපාරයක් ඔස්සේ නව සදාචාර දර්ශනයක් (ethical philosophy) ඔවුන්ට ඉස්ලාමය වෙත ප්‍රධානය කළ හැක. ඒ ඔස්සේ ඔවුන්ගේ ගැහැණිය විඳින වේදනාව (සහරාන් ගේ බිරිඳ ගේ කතාව අසන්න) ඔවුන්ට අවබෝධ කර ගත හැකි වනු ඇත.     

ඉස්ලාම් ධර්මය අදහන්නන් විසින් එම ධර්මය පුර්ව නුතන (මධ්‍යතන) ගෝත්‍රික බවක් වෙත ගමන් කිරීම නවත්වා ගත යුතුව ඇත. ගෝත්‍රික විනෝදය යනු නූතන ෆැන්ටසි තත්වයක් නොව ෆැන්ටස්මික තත්වයකි. අනෙකාගේ වේදනාව ඔස්සේ විනෝද වීමකි (නිකාබ් වෙනුවට මුහුණු වැසුම් පැළඳ යන ගැහැණුන් පෙන්වා අවශ්‍ය නම් මුස්ලිම් ගැහැණු අය මේ වේදනාවට කැමති ඇත යනුවෙන් දැන් තර්ක කල හැකිය. නමුත් අවශ්‍ය වන්නේ බලහත්කාරී නොවන තේරීමකි). උදාහරණ වශයෙන් බුර්කාව මුස්ලිම් පිරිමි සමාජයේ 'විනෝදය' ලෙස ගතහොත් අපට එතැනදී ගැටළු දෙකක් මුණගැසේ. එකක් නම් පුරුෂ දැක්ම (male gaze) අනුව ගැහැණියක් ජිවත් විය යුතුද යන ස්ත්‍රීවාදී ප්‍රශ්නය වන අතර අනෙක නම් අන් සියලු සමාජ ගැහැණිය සම්බන්ද තමන්ගේ ෆැන්ටසිය වෙනස් කර ගන්නා අවස්තාවක මුස්ලිම් සමාජය පමණක් එසේ නොකිරීමේ දේශපාලනයයි. වෙළඳ පල විසින් වෙනස් කරන (පසු) නූතන ෆැන්ටසියට එරෙහි වීම දේශපාලනයක් ලෙස ගත්තද ගැහැණිය දේපලක් ලෙස ගැනීම පිළිබද මධ්‍යතන තර්කය සමග අපට එකඟ විය නොහැක. ඉස්ලාමය මතු නොව හබමාස් සඳහන් කරන පරිදි යුරෝපයේ නූතන කේන්ද්‍රය තුලින් ම ඉස්මතු වෙමින් පවතින ආගමික රැල්ල යනු නව ශිෂ්ටාචාර ගෝත්‍ර වාදයක ආරම්භය සනිටුහන් කරයි. ඔවුන් ගැහැණිය සිරගත කරන්නේ මෙම නව ගෝත්‍රකරණය (tribalism) තුලට ය. ඔවුන් මරාගෙන මැරෙන්නේ ද මෙම නව ගෝත්‍ර ගතවීම වෙනුවෙනි (මවගේ ගර්භාෂය වෙත නැවත ගමන් කිරීම). නමුත් නූතන යුගය යනු විගලිත බවේ යුගයක් වන අතර එයට පහසු විසඳුම දීමට නූතනත්වයට නොහැක. මිනිසා හුරුවිය යුත්තේ නූතන යුගයේ අනිවාර්ය කොන්දේසියක් වන ශුන්‍යතාවයට ය. සියල්ල අවසානයේ පවතින හිස්බවට ය. නමුත් ශුන්‍යතාවය මඟ හරිමින් මෙම නව ගෝත්‍ර ගතවීම මඟින් යම් සමාජ- සංස්කෘතික සුව පහසුවක් මෙම තරුණ කොටස් බලාපොරොත්තු වේ (ගර්භාෂයේ සුවය). නමුත් බුද්ධාගම පදනම් කරගෙන විකසිත කල ජපන් දර්ශනය තුල කියවෙන්නේ මිනිසා අවසන් වශයෙන් ජීවත් වන්නේ සහ අත් විඳින්නේ පරම ශුන්‍යතාවයක් යන්න ය (absolute nothingness) (කියවන්න නිශිදා කිතරෝ ගේ Intelligibility and the Philosophy of Nothingness, 2018). ආගමක් ලෙස ඉස්ලාමය නූතනත්වයට ප්‍රතික්‍රියා දක්වනු වෙනුවට ඔවුන් තම අදහන්නන් අද්‍යතන සමාජයේ ශුන්‍යතාවය උකහා ගැනීමට සහ ඒ සමඟ ජිවත් වීමට හුරු කළ යුතුය. තම ස්ථිතික ආගමික පාර භෞතිකයන් නූතන ලෞකික බව වෙත ඔවුන් පරිවර්තනය කල යුතුය. තමා පමණක් නොව අනෙකා පවා අත්විඳින හිස් බව ඔවුන්ට තේරුම් ගත හැකි වනු ඇත්තේ ඒ අයුරිණි (ඔවුන් පමණක් නොව හිස් බවෙන් අපිදු වේදනා විඳිමු).  

පොදු අවකාශය තුල සාකච්චා කිරීමට නම් ඕනෑම ආගමික පාර භෞතිකයක් (religious metaphysics) පෙරළා ලෞකික භාෂාවක් වෙතට පරිවර්තනය කල යුතු බව පවසන හබමාස් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ආගම තුල ඇති අන්තර්ගතයන් තව දුරටත් සබුද්ධික කිරීමේ හැකියාවක් පවතින බවයි. බොහෝ අඩුපාඩු සහිතව හෝ පශ්චාත් යටත් විජිත සන්දර්භයක් තුල එවන් උත්සාහයක් අප විසින් ද න්‍යායිකව අත්හදා බලන ලද අතර එය 'මේ සිංහල අපගේ රටයි' ළිපි මාලාව තුළ ඔබට දැකගත හැකිය. සම්ප්‍රදාය නූතන කරණය (modernization of tradition) පිළිබද කරුණ හබමාස් සම්බන්දයෙන් ගත්විට ඉතාම වැදගත් දෙයක් වන අතර එහි සබුද්ධික අන්තර්ගතයෙන් (rational content) මිනිස් ශිෂ්ටාචාරයට ලෙහෙසියෙන් ගැලවිය නොහැකි කරුණේදී අප දේශපාලනය කරන්නවුන් ලෙස සියවස් ගණනක් අප තුල පැළපදියම් වී ඇති සම්ප්‍රදාය ගැන ඉතාම සවිඥාණික විය යුතුය. සෙන් බුද්ධාගම සහ ෂින්ටෝ දහම ඔස්සේ ජපානය කර ඇත්තේ එක් ආකාරයකට මෙවන් හබමාසියානු ක්‍රියාවකි. ඒ ඔස්සේ ඇතැම් වැදගත් යැයි හැඟුණ කරුණු අප ඉහත දැක්වූ 'මේ සිංහල අපගේ රටයි' ළිපි මාලාව පෙළ ගස්වා ඇති අතර නූතනකරණය සමග බද්ධ වූ බුද්ධාගමක් (දර්ශනයක්) පිළිබද කරුණ අප එහිදී ඉස්මතු කර ඇත. එය අවසානයේ ජිවන දර්ශනයක් ලෙස ලෞකිකකරණය සමග බද්ධ වන්නේ කෙසේද යන්න මෙහිදී අප පැහැදිලි කරගත යුතු බරපතල ගැටළුවක් වන්නේ බුද්ධාගම ආගමක් ලෙස ගත්විට එය ලෞකික ආගමක් නොවන බැවිණි. ආගමක් ලෙස එය ලෝකෝත්තර වුවත් ගිහි ජීවිතය ගෙවන අයෙක් වෙනුවෙන් වූ ක්‍රම වේදයක් බුද්ධාගම තුල ම දක්නට ලැබේ. එවිට අපට ජර්මන් විඥානවාදයේ ශුන්‍යතා කොටස සමග බෞද්ධ ශුන්‍යතාවය සම්බන්ද කල හැක. අවසානයේ නූතන ලෝකය තුල ම සහ ලෞකික බව තුල ම මිනිසාට මුණගැසෙන ශුන්‍ය බව (හිස් බව සහ අවසන් අරුතක් නොමැති බව) තරණය කල හැකි සවිඥාණික බවක් (consciousness) වෙතට අපට ගමන් කල හැකි වනු ඇත. තම අහම තමා තුලම දියකර හැරීම ඔස්සේ සහ ක්ෂිතිමය මතකයන් සුවපත් කර ගැනීම ඔස්සේ අනෙකා සමග යහපත් සම්බන්දයක් වෙතට මිනිසාට එවිට ගමන් කල හැකි වනු ඇත. එය මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් කරන අහමේ ප්‍රතිචාරයක් නොවනු ඇත. ඉස්ලාමය සම්බන්දයෙන් වුවද මෙවන් නූතන සහ ප්‍රතිසංස්කරණ (reformation and modernization) වැඩ පිළිවෙලක් අවශ්‍ය බව මුස්ලිම් සහෝදරත්වයේ වැදගත් චින්තකයෙක් වූ තාරික් රමදාන් පෙන්වා දෙයි (Ramadan, 2009). එමෙන් ම රැඩිකල් ඉස්ලාමයේ සමාජ ආපසු ගමනය ඉතාම ප්‍රභල දෘෂ්ටිවාදයක් වී ඇත. යථාර්තයේ වේදනාව වෙනුවට කන්‍යාවියන් සිහිත දෙව් ලොවක් ෆැන්ටසි ගත කිරීම වෙනුවෙන් යහමින් මුදල් ඇති මුස්ලිම් තරුණ තරුණියන් වෙත පවා ෆැන්ටසි අල්ලසක් දීමට තරම් ඉස්ලාමීය ගරිල්ලන් රැඩිකල් කරණය වී ඇත. දෙව් ලොවට ගියද ඔවුන්ගේ අහම මෙලොවදී මෙන්ම අතොරක් නැති 'විනෝදය' ඉල්ලා සිටී. සිදුවීම් දිග හැරෙමින් යන ආකාරය අනුව අහමේ ශුන්‍යතාවය (සහ බාහිර ලෝකයේ ශුන්‍යබව) 
ගැන කතා කළ ඉහත 'මේ සිංහල අපගේ රටයි' ළිපි පෙළ ඔස්සේ මුද්‍රණය කිරීමට නියමිත 'සිංහලකම, බෞද්ධකම සහ ශුන්‍යතාව' පොත් පිංච මේ මොහොතේ ලංකාව සම්බන්දයෙන් ඉතාම දේශපාලනික විය හැක. සෙන් බුද්ධාගම ඔස්සේ පැමිණි ස්වභාව ධර්මය ගැන ඇති සවිඥානික බව, පිළිවෙල, මේ මොහොත, පිරිසිදු කම, තදින් නො ඇලීම, ශුන්‍යතාවය, අනිත්‍යය, වෙනස් වීම, විසංයෝජනය යන තේමා මෙසේ නූතන බව වෙත සහ එහි ලෞකික බව වෙත ආගමනය වූ බටහිර නොවන (සම්ප්‍රදායික) පෙරදිග කතිකා කලාපයන් ය (ජපානය තුළ ද සබුද්ධික කර ඇත්තේ සම්ප්‍රදාය වන අතර මුරකමි වැනි රචකයෙක් මෙහිදී වඩා බටහිර වන අතර ඔහු එනයින් ජපන් නොවන ලේඛකයෙක් වශයෙන් පවා විචාරකයින් හඳුන්වයි). ජිජැක් විසින් ක්‍රිස්තියානිය උපයෝගී කරගනු ලබන්නේ ද ඉහත අර්ථයෙනි. මහායාන මූලයන් ගෙන් වෙනස් වුවද ඉහත තේමා ඔස්සේ ම අනාත්මවාදී ථේරවාද බුද්ධාගම නුතන බව වෙත රැගෙන යාම අපහසු විය නොහැක.  

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ලාංකික උගතුන් කිහිප දෙනෙක් නූතනත්වය ගැන සහ ඉස්ලාම් ආගම නූතන බව සමග සම්බන්ද විය යුතු බවට උඩින් පල්ලෙන් සඳහන් කර තිබුනද ඒ සම්බන්දව ඔවුන් යෝජනා කරන දාර්ශනික වැඩ පිළිවෙලක් සන්නිවේදනය කර තිබුනේ නැත (සබුද්ධික අයුරින්). තම ලිපිවල මාතෘකා ලෙස නුතන බව යනුවෙන් සදහන් කර කර තිබුනද එම නුතන බව සමග සියවස් ගණනක සම්ප්‍රදායික සමාජයක් වන අප සම්බන්ද වන්නේ කෙසේද යන න්‍යායික කරුණ ගැන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව ධාරියෙක් ලෙස මහාචාර්ය ලියනගේ අමරකීර්ති තම ලිපියේ යෝජනා නොකරයි. එක්වරම සම්ප්‍රදායික දැනුමක් සම්ප්‍රදාය විරෝධී (නූතන) ප්‍රපංචයක් සමග ගැට ගැසෙන්නේ කෙසේද යන්න විකිපීඩියාව ද සඳහන් නොකරයි. ඒ සඳහා එවන් දේවල් අපට කලින් අත්හදා බලනු ලැබූ ගෝලීය උදාහරණ දෙස බැලිය යුතුය. ආසියාව පැත්තෙන් ජපානය සහ චීනය එනිනෙකට වෙනස් මාදිලින් දෙකක් උදාහරණ ලෙස සපයයි. ආචාර්ය තිරු කන්දයියා (2018) කියන අයුරින් පේරාදෙණිය ගුරු කුලය පවා උත්සාහ කලේ ඉහත නූතන බව සමග ගැට ගැසීමට ය. එහිදී ඔවුන්ගේ ක්‍රමවේදය වී තිබුණේ ජපානයේ සිදු වුවා සේ සම්ප්‍රදාය තුල තිබු අන්තර්ගතය ප්‍රබුද්ධකරණය කිරීමේ වැඩ පිළිවෙලයි. නමුත් ඔවුන් ජපානයේ දාර්ශනික මූලයන් අධ්‍යනය කර තිබුණේ නැති වීම බරපතල තත්වයකි. ඒ නිසා ම බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරමින් නූතන බටහිර දර්ශනය සමග එය ගැට ගසා ගනිමින් පෙරදිග සහ අපරදිග අතර දාර්ශනික පාලමක් තනා ගැනීමට ඔවුන්ට ඒ මොහොතේ නුපුළුවන් විය. ඒ පාලම ලෙස ඔවුන් ඇතැම් විට විශ්වාස කලේ මාක්ස්වාදය විය හැකි වුවත් පේරාදෙණිය පරම්පරාවේ ම ගුණදාස අමරසේකර මාක්ස්වාදයට විරුද්ධව ජාතිකවාදය ඉස්මතු කරමින් බටහිර නූතන බවෙන් ඈත් වීම සලකුණු කිරීම ඔස්සේ පේරාදෙණිය තව දුරටත් ලංකාව තුළ වලංගු නොවීය. කෙසේ වුවත් ඔහුගේ දේශීය බව කිතරෝ ගේ ජපන් ජාතිකවාදයෙන් ඉඳුරා වෙනස් විය. අමරසේකර ට අවශ්‍ය වුවේ තමන්ගේ දේශීය දර්ශනය (එවැන්නක් වී නම්) පුළුල් විශ්වීය බවක් වෙත ගෙනයාම නොවේ. නමුත් ජපන් බුද්ධිමතුන් ගේ ව්‍යායාමය වුවේ ජර්මානු විඥාණවාදය බෞද්ධ විඥාණවාදය සමග සම්බන්ද කර ඒ ඔස්සේ පෙරදිග ජපන් සමාජය බටහිර සමාජයේ දාර්ශනික පදනම් සමග සම්බන්ද කිරීමය. බටහිර අහමේ උත්කෘෂ්ට කරණය පෙරදිග බුදු දහම ඔස්සේ විසංයෝජනය කිරීමය (නිශිටනි 1990). එම විචාරය ඔස්සේ බටහිර තරණය කිරීමය. බටහිර අච්චුවේ නිමවුන බටහිර දර්ශනය වෙත පෙරදිග විචාරයක් ගෙන ඒම නම් ස්ථානයේදී ඔවුන් බෙහෙවින් සාර්ථක විය. නමුත් ඔවුන්ගේ මහායාන බෞද්ධ මූලය මෙහිදී පුර්ණ ලෙසම ඛණ්ඩයට ලක් වූ අතර තව දුරටත් ඔවුන් ආගමික බව තුළ අර්ථකතනය කර නොහැකි විය. එමෙන්ම ඔවුන් දර්ශනයේ බටහිර මූලය ප්‍රතික්ෂේප කිරීමට කිසිසේත් උත්සාහ නොකරන ලදී (ලංකාවේ සිදු වුවේ මෙය නොවේ). ඉස්ලාමීය බුද්ධිමතුන් අතින් පවා සිදුවිය යුත්තේ මෙවන් ක්‍රියාවකි. ජපන් දාර්ශනිකයින් හට සිදු වූවා මෙන් එහිදී අපගේ ඇතැම් හුරු පුරුදු මූලයන් අත් හැරීමට අනිවාර්යයෙන් සිදුවනු ඇති බව මගේ තර්කයයි.  

  
ශුන්‍යතාවය යනු මිනිස් ආත්මයෙන් පිටත ඇති යමක් නොව මිනිසා තුලම ඇති රික්තකයකි. පැල්මකි. උදාහරණ ලෙස විශ්වය පුරා අරක්ගත් ශුන්‍යතාවය වෙනුවට නිපදවූ දෙවියන් විසින් මිනිසා විසිකර දමන්නේ හිස් කාබනික ලෝකයකට ය. ඔහුගේ තනියට ගැහැණිය මවනු ලැබුවත් (බාහිර වස්තුවකි), ගස් වැල් මවනු ලැබුවත් (බාහිර) මිනිසා තම අභ්‍යන්තරයෙන් හිස් ය. ජපන් දර්ශනයේ පදනම එයයි. දෙවියන් විසින් මවනු ලැබූ පරිපුර්ණ නොවන ලෝකය තුල අතරමං වන සහරාන් ලා සොයන්නේ පරිකල්පිත පරිපුර්ණ ෆැන්ටසියකි. තමා තුළ නළියන ශුන්‍ය බව ඔවුන් පුරවා ගැනීමට උත්සාහ කරන්නේ නැවත අකාබනික දිව්‍ය ලොවක් වෙත යෑමෙන් ය. කාබනික ලෝකයේ නැති පරිපුර්ණ බව ඔවුන් දිව්‍ය ලෝකයේ සොයයි. නමුත් මේ අපරිපුර්ණ බව නම් පරිකල්පනය යනු අප තුල ම ඇති පරිපුර්ණ බවේ ෆැන්ටසියකි. ර්මානු විඥාණවාදය (ෂෙලින්, හේගල්) යනු මේ පරිපුර්ණ බව කාබනික සහ කාබනික ලෝක අතර (transcendental) සොයනා දාර්ශනික උත්සාහයක් වේ. මාක්ස් එය ද්‍රව්‍යමය ලෝකයේ අත්හදා බැලීමට උත්සාහ කළේය. ඒ පරිපුර්ණ බව සෙවීම සඳහා ඔවුන්ට බලය අවශ්‍ය විය (authority). පදනම් අවශ්‍ය විය (foundations) පදනම් ඇසුරින් ඒවායේ ද්වයිතයන් බටහිර දර්ශනයට අවශ්‍ය විය (වැඩවසම් සහ ධනවාදී ක්‍රමය අතර පදනම් වල ඇති පරස්පර බව). හෛඩගර් විසින් මුල්වරට මේ ද්වෛතයන් ගෙන් වියුක්ත දර්ශනයක් දේශනා කරන්නේ ඇතුල සහ පිට යන දෙබෙදුම තුල ඇති ගැටලුව හඳුනාගත් බැවිණි. ඇතුල සහ පිට යනුවෙන් දේවල් තේරුම් ගැනීම නිසා ඇතිවන පැල්ම යනු හිස් බවකි. මිනිසා මෙම හිස් බව නිසා ආතති ගත වන අතර එම ආතතිය විසින් ඔහුව ප්‍රචණ්ඩ බව වෙත යොමු කරන බව හෛඩගර් කියා සිටී (මිනිසා තුළ ඇති පරිකල්පනය ට අනුව බාහිර ලෝකය වෙනස් කිරීම මෙම ප්‍රචණ්ඩ බවේ ආරම්භය යි). පිටත සහ ඇතුලත යනුවෙන් ලෝකය තේරුම් ගන්නවා වෙනුවට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ දෙකම එකවිට පවතින බවයි. පිටත සහ ඇතුලත යනුවෙන් තේරුම් ගන්නේ අප තුල ඇති ඥාන විභාගයේ සීමාවක් නිසා යන්න බුද්ධ දේශනයයි. නැතනම් ඇත්තේ එකකි. දෙකක් නොවේ. බුදුන් විසින් දේශනා කරන ලද පෙරදිග චින්තනයේ මිනිස් පැවැත්ම තුල ඇති නොපැවැත්ම (දෙකම එකට පැවතීම) තේරුම් ගන්නේ කෙසේද? හෛඩගර් ට අනුව මෙම ප්‍රශ්නය තේරුම් ගැනීම වෙනුවෙන් සද්භාවවේදී සද්භාවයක් අවශ්‍ය ව ඇත (ontico-ontology). එහි අදහස නම් මේ තත්වය තේරුම් ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමේ විද්‍යාවක් අවශ්‍ය යි යන්නය. සාමාන්‍යයෙන් බටහිර තර්කනය අනුව යම් විෂය -හේතුවක් යම් දෙයක් සමග අනන්‍ය කරයි (identify). සෙම්ප්‍රතිශ්‍යාව ට හේතුව යම් වෛරසයක් යන්න බටහිර විද්‍යාවේ හේතුවයි. නමුත් පෙරදිග යනු එවන් එක් හේතුවක් මත විෂයක් පදනම් නොකරයි. යම් දෙයක් උත්පාද වන්නේ හේතු ගණනාවක් නිසා බව පට්ච්ච සමුප්පාදයේ පිළිගැනීමයි. 
  
ඒ ඔස්සේ ගමන් කරමින් කිජී නිෂිතනි පෙන්වා දෙන්නේ හිස් බව යනු අපෙන් පිටත ඇති යමක් නොව අප තුල ම පවතින බහුරූපී පැල්මවල් ගණනාවක් විසින් ඇතිකර ඇති සංතෘප්ත බවක් ලෙසය (saturation of polymorphous fissures). මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ බෞද්ධ අන්තවාදය යනු මේ ආකාරයට යම් නිශ්චිත එක හේතුවක් නිසා ඇතිවන්නක් නොව හේතුන් ගණනාවක් නිසා ඇතිවන්නක් වේ. නූතන බවේ විගලිත ජීවිතය, සම්ප්‍රදාය විසින් ගෙනෙනු ලබන පීඩනය, ආර්ථික හේතු, ස්ත්‍රිය, ආගමික අධ්‍යාපනය, අනන්‍යතා ගැටළු ආදී වශයෙන් මේ හේතුන් විවිධ ස්වභාවයන් ගනී. ඒ සියලු හේතු මගින් ඇතිකරන පීඩනය සත්‍යයක් වුවද ඒ පීඩනය වෙනුවෙන් ඔවුන් තෝරා ගන්නා කිසිදු විකල්පයක් යනු මිනිසාගේ අතිමූලික හිස් බව පුරවා ලන්නක් නොවේ. නූතන ආතතිය වෙනුවෙන් මොවුන් මෙසේ කරන ලදැ'යි අප සැක කෙරුවද නූතන බව වෙත පැමිණීමෙන් හෝ නැවත සම්ප්‍රදාය වෙත යෑමෙන් හෝ උසස් නුතන බව තුළදී හෝ මෙම ශුන්‍ය බව නොවිසඳී පවතී. අප තේරුම් ගත යුත්තේ එයයි. හේතුව විසින් මිනිසා වෙත යම් සද්භාවී සහනයක් ගෙනෙනු ලැබුවද මිනිසා පෙලන විගලිත බව හේතුව විසින් ශුන්‍ය නොකරයි. ආගම විසින් වුව ද එය සුවපත් කරන්නේ නැත. නමුත් හේතුවේ සීමාව තුල ඇති විනෝදය එය විසින් තහවුරු කරයි. නුතන යුගයේ මිනිසා තව තවත් ආගම වෙත ගමන් කරන්නේ හේතුව තුල පවතින සීමාව ඔහුට තේරුම් ගත නොහැකි නිසාය. උගත් තරුණ තරුණියන් ආගමේ අන්තවාදී අන්තර්ගතය තුල දකින්නේ ඔවුන් ඉගෙනගත් නූතන අධ්‍යපනයේ සීමාව යි. එතරම් උසස් නූතන බව තුල මෙතරම් පරස්පරතා පවතින්නේ ඇයි? මේ ඔවුන්ගේ ප්‍රශ්නයයි. අවසානයේ එය බටහිර විරෝධයක් දක්වා ගමන් කර ඇත. මුස්ලිම් ආගමික අන්තවාදීන් පමණක් නොව බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගමික අන්තවාදී කොටස් පවා තේරුම් ගත යුතු කාරණාව වන්නේ අප දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එළඹී ඇති බටහිර නූතනත්වය යනු බරපතල විරුද්ධාභාෂ සහිත සමාජ ක්‍රමයක් යන්න ය. නුතන බව තුල නපුර අවශ්‍යයෙන් පවතින බව ඔවුන් තේරුම් ගත යුතුය. අප නූතන බව වෙත ප්‍රවේශ විය යුත්තේ එහි තාර්කික විවේචකයින් ලෙසය (rational critics). ආගමික බව ඔස්සේ නොවේය. ජපන් චින්තකයින් විසින් කරනු ලැබුවේ එයයි. ඔවුන් බුදු දහම, කොන්ෆියුසිස් සහ ෂින්ටෝ දහමේ අභාෂය ඔස්සේ නූතන බවේ ඇතැම් ගැටළු ගැන තාර්කික විවේචක අක්ෂයක් දියුණු කළේය. ඒ ඔස්සේ ඔවුන් නූතන බවේ තාර්කික අන්තර්ගතයෙන් පළා නොයමින් ඒ තුල ම සිටිමින් නව දර්ශනයක් දියුණු කළේය. එනයින් ඔවුන් විද්‍යාවෙන් සහ තාක්ෂයෙන් පළා ගියේද නැත. ඒ ඔස්සේ විද්‍යාවේ දියුණු ලක්ෂණ ඔවුන් තමාගේ සමාජයට උරුම කළේය. බොරු බටහිර විරෝධයක් වෙත නොයමින් තමන්ගේ ම වූ දියණු දර්ශනයක් ජපන් පොළොවේ ස්ථාපිත කළෝය. ඔවුන් බටහිර දේ තවත් දියුණු කරමින් ම බටහිර ට වෙනස් 'විසංයෝජන ගෘහ නිර්මාණයක්' (deconstructing architecture) තම දර්ශනය තුලට එකතු කළෝය (කරතානි 1995). ව්‍යුහයන් යනු වෙනස් වෙමින් යන ප්‍රපංචයක් මිස හැමදාම බඩ බැඳගෙන සිටිය යුතු දෙයක් නොවන බව ඔව්හු පෙන්වා දුන්නෝය. බටහිර ස්වයං නිශ්චිත බවට (self-certainty) ප්‍රති පක්ෂව ව්‍යුහයන් මෙන්ම ආත්මය ද ස්ථාපිත වන්නේ අති මුලික ශුන්‍ය බවක් තුල යන්න මුලින් ම පෙන්වා දුන්නෝ ඔව්හු ය. 

මිනිස් අහමේ ඇති පතුලක් නැති ගැඹුර (bottomless depth) හේතුවෙන් බටහිර මනෝ විශ්ලේෂණය අවිඥාණය යනුවෙන් යමක් නම් කර ඇති බව පහදන නිෂිතනි මේ හේතුව නිසා ලකාන් මිනිස් ආත්මය නැවත වරක් බෙදුමකට ලක් කරන පෙන්වා දෙයි. ඒ බෙදුම නම් මිනිස් ආත්මය සහ ආත්මය තුල ම ඇති ආත්මයයි. ඒ අනුව ආත්මය තුල ම ඇති බෙදුම විසින් ආත්මය ආත්මයෙන් ම විගලිත වේ. තමා තමා වෙතින් ම විගලිත වන බව නිෂිතනි පෙන්වා දේ. මේ හේතුව මත 'තමා කළ දෙය තමා වත් නොදන්නා' වශයෙන් වන යෙදුම් මනෝ විශ්ලේෂණයේ සුලබ යෙදුම් වේ (ලැකානියානු මනෝ විශ්ලේෂණය පදනම් කර ගනිමින් අප පවා ලියන්නේ 'ඔවුන් කළ දෙය ඔවුන්වත් නොදන්නා බැවින්' - For They Know Not What They Do යනුවෙනි). බටහිර මනස ශුන්‍යතාවය තමාගේ මනසට බාහිරෙන් පවතින දෙයක් ලෙස තේරුම් ගන්නා බැවින් ඔවුන් වෙනස් කිරීමට උත්සාහ කරන්නේ තමාගෙන් පිටත ලෝකය බව ඔහු පෙන්වා දෙයි. නමුත් මෙය මිනිසා විසින් ම පරිකල්පනය කරන දෙයකි. ඒ පරිකල්පනය ඔස්සේ ඔහු තමා දකින සියළු දෙය තුළ හිස් බව දකී. මිනිස් සම්බන්දතා, ස්වභාව ධර්මය, ඇඳුම් පැළදුම්, නගර, යන මේ සියල්ලක් ම අර්ථ ශුන්‍ය දේ ලෙස ඔහු සලකයි. මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් බවට පත්වීමට අවශ්‍ය සියළු අඩුම කුඩුම මේ ඔස්සේ ඔහුට ලැබේ. මරණය සිදු වීමට තව අඩු පරිපුර්ණ ෆැන්ටසියක් පමණි. ඒ පරිපුර්ණ බවේ ෆැන්ටසි ය ද ආගම විසින් ම සපයයි. පරස්පරතා නැති ගැටුම් නැති කන්‍යාවියන් සහිත දෙව්ලොවක් යනු අප මේ විඳින කටුක යථාර්තයට් ගෙනෙන ෆැන්ටසි විසඳුමකි. නමුත් සෑහෙන පමණ පොහොසතුන් වූ ඇතැම් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ට අවශ්‍යනම් කන්‍යාවියන් මෙලොව දීම මිළදී ගැනීමේ හැකියාව පවා තිබී ඇත. නමුත් ලෞකික සැප ලබාගත හැකි වූ අය පවා උත්සාහ කලේ නොදන්නා දෙව් ලොවක් වෙත යාමය, නැත්නම් කොතරම් ලෞකිකව දියුණු වුවද තමාගේ නො සුවපත් අහමේ තුවාලය වෙනුවෙන් ප්‍රචණ්ඩ ප්‍රතිචාර දැක්විමකට ය. නමුත් ඔවුන් තේරුම් ගත යුත්තේ පරස්පරතා නැති භෞතික සැප පිරුණු දිව්‍ය ලෝකයේ පවා අවසානයට ඇත්තේ ශුන්‍ය බව යන්න ය. අප ඒ ශුන්‍ය අවකාශය සමග ජිවත් විය යුතු විනා අප තුළ නළියන එම ශුන්‍යතාවය අනෙකා තුලට ප්‍රක්ෂේපනය කිරීමේ තේරුමක් නැත්තේ අනෙකා තුල ඇත්තේ ද අප තුල තරම්ම වූ හිස් බවක් නිසාවෙනි. යේසුස් වහන්සේ කලේ අනෙකා තුල තිබු හිස් බව තමා වෙතට ගැනීම මිස (ආදරය) අනෙකා මරා දැමීම නොවේ. මෙහි පවතින තවත් අති මූලික ගැටළුවක් වන්නේ අප ජිවත් වන කාබනික ලෝකය සහ අකාබනික පැවැත්ම අතර පරතරය (split) පියවීම සඳහා ස්ථිර පදනමක් බටහිර ආගම් විසින් සෙවීමයි. ඒ අනුව මෙම විගලිත කාබනික ලෝකයේ අස්ථිර බව වෙනුවට ස්ථිර නොවෙනස් ලෝකයක් ඔවුන් පරිකල්පනය කරයි. ඒ 
ලෝකය දිව්‍ය ලෝකය වන අතර ඒ ස්ථිර දිව්‍ය ලෝකයට යනු පිණිස මිනිසාගේ සියළු කුඩා කුඩා අතිරික්ත විනෝද සාධක මේ ලෝකය තුල තහනම් කර ඇත. ශරීරය නිරාවරණය කිරීම, ප්‍රේම කිරීම, ඌරු මස් කෑම, අරක්කු බිම, සිගරට් බිම වැනි මුලික අතිරික්ත ප්‍රමෝදයන් තහනම් කර ඔවුන් මෙළොවින් පිට පාර ලෝකයක පුර්ණ විනෝද පදනමක් සොයනු ලබයි. 

නමුත් ශුන්‍යතාවය තුල මෙලොවට පැමිණෙන අප එම ශුන්‍යතාවය තුල ජීවත් වී, ශුන්‍යතාවයේ කොකා කෝලා පානය කර, එම ශුන්‍යතාවය තුල ම මියයනු ලබයි. අප තුළින් ඉවත් කරනු ලැබූ (sucked off) හිස් බවක් සොයා පලක් නැති අතර අපගෙන් බාහිර වූ (outside ourselves) ලෝකයේ පවතින හිස් බවක් සොයා පලක් ඇත්තේ ද නැත. දයලෙක්තිකයේ ආතතිය (ඇතුල සහ පිට අතර ආතතිය) අප බටහිරින් ණයට ගෙන ඒ ඔස්සේ දුක්විය යුතු ද නොවේ. මුලින් අහෝසි කර ගත යුත්තේ තමා නම් අහම වන අතර තමා අහෝසි වූ විට තමාගෙන් විකේන්ද්‍රණය වූ ආත්මයක් සොයා පලක් වන්නේ ද නැත (de-centered spirit from I-hood). 'මා නම් වූ ශුන්‍ය බව මා විසින් ම නිර්මාණය කල සියළු නිර්මාණයන් මා වෙතින් පලවා හැරිය යුතුය' යන්න නිෂිටනි ගේ ඉගැන්වීමයි (I - this nihility-  shall drive out my various creations out of myself). ටොයෝටා, බෝයින්, රෝල්ස් රොයිස්, කාඩේෂියන් යනු අපගේ ෆැන්ටසි නිර්මාණ වන අතර (ඒවා නොපවතින බවක් මෙයින් අදහස් නොවේ) අප ඒවායේ සිරකරුවන් විය යුතු නොවේ. රට, ජාතිය, ආගම, සිංහලකම යනු ද මෙවන් විසංයෝජිත මිනිස් නිර්මාණ මිස අපි මරණීය ලෙස අනන්‍ය විය යුතු දේවල් ද නොවේ. අධිකාරී බලය සහ සදාචාරය අයිති වන්නේ ද මෙම ප්‍රවර්ගයට ම ය. Max Stirner මෙසේ කියයි, 'රාජ්‍ය අධිකාරිත්වයේ පවතින හිස් බව සහ ශුන්‍යතාවය සෑමවිටම නිර්මාණශීලි මිනිස් අහමේ ඇති අසහාය බලය සහ හැකියාවන් ගේ තරමට ප්‍රමාණාත්මකව සැසදේ' (1905). මේ වනවිට ලංකාව තුළ වඩාත් අධිකාරිමය පාලනයක් ඉල්ලා ජාතිකවාදීන් මොර දෙන්නේ පසුගියදා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂාව කේන්ද්‍රීය බලයක් වටා ගොනුවිය යුතුය නම් තර්කයේ සිටය. නමුත් අප අමතක කරන්නේ එවන් අධිකාරිමය බලයක් වෙනස් කරනු වස් අප කොතරම් මහන්සි වුවේද යන්න ය. එමෙන්ම එම ප්‍රහාරයෙන් පසු ජාතික වාදය තවත් වටයකින් විශ්වීය වටිනාකම් අර්බුදයට ලක් කර ඇති අතර ඇතිව ඇති සංකාමය ආතතිගත තත්වයෙන් සමාජය මුදවා ගැනීමට විශ්වීය වාදීන්ට මෙන්ම ජාතික වාදීන්ට යන දෙකොටසට ම මේ වනවිට නොහැකි වී තිබේ. පශ්චාත් ක්ෂිතිමය ආතතියෙන් මිදීමට නම් අප සමාජයක් ලෙස මෙතෙක් ගොඩ නැගූ සියල්ල දෙස නැවත සිතා බැලිය යුතුය. විශ්වීය වටිනාකම් මෙන්ම ජාතිකවාදය ද යන දෙකම අසමත් නම් අප දැන් සිතිය යුතු නව මාවත කුමක්ද? මා එයට දෙන පිළිතුර නම් අපේ උරුමය නැවත නුතන බව වෙත ප්‍රතිජීවනය ඔස්සේ නව විශ්වීය බවක් ගොඩ නැගිය යුතු බවයි. අපගේ ම වූ නව ලාංකික ලෞකික අනන්‍යතාවයක් බුදු දහමේ වටිනාකම් ඔස්සේ ම ගොඩ නැගිය යුතුව ඇත. දැනටත් බටහිර කරණය වෙමින් පවතින අපගේ අනන්‍යතාවය සමග බෞද්ධ වටිනාකම් දාර්ශනිකව සමමුහුර්ත කරගත යුතුව ඇත (philosophical synchronization). අප බේරා ගැනීමට බටහිර සුදු ස්වාමියා එන්නේ නැත. ජිජැක් එන්නේ ද නැත. අපේ හිසට සෙවනැල්ල අපගේ ම අත පමණි. 


පරම දැනුම (absolute knowledge) යන හෙගලියානු ප්‍රවාදය (ජිජැක් 1991, 100) බොහෝ දුරට ම බෞද්ධ සහ ඉන්දියානු දර්ශනයේ එන පරම ශුන්‍යතාවය (absolute nothingness) පිළිබද අත්දැකීම සහ සමපාත වන බව අපට ජිජැක් හරහා ම පෙනීයයි. ජිජැක් පවසන්නේ මිනිසා අවසන් ලෙස අත්දකිනු ලබන දෙය නම් 'ශුන්‍ය බවේ සත්‍යය' යන්නයි (the truth of nothingness). උදාහරණ වශයෙන් අප කිසිදා නොදුටු ලස්සන ෆැන්ටසි ස්ත්‍රියක් අප දුටුවා යැයි සිතමු. මෙතෙක් කිසිදා අප තුල නොවූ උපාදානයක් (අධි අනන්‍ය වීමක්) ඇයගේ ෆැන්ටසි රූපය නිසා අප තුළ හටගනී  (කිතරෝ 1958, 1982; චන්දවිමල 2008). බටහිර අරුතින් ගත්විට දැන් එම ආශාව තරණය කිරීම වෙනුවෙන් ප්‍රේරණයක් (drive) අප තුළ හට ගනී. යථාව විනිවිදීම ලෞකික තත්වයක් වන හෙයින් අපට එම ප්‍රේරණය ප්‍රතික්ෂේප කල නොහැකි අතර මිනිසා එම ආශාව වෙත යනු අපට බලා සිටීමට සිදුවේ (ආගමික අර්ථයෙන් කියනු ලබන්නේ එසේ නොකරන ලෙසයි). නමුත් ඉන් පසු සිදු වන්නේ කුමක් ද? අප හොලිවුඩ් උදාහරණයක් වෙත යමු. ඕනෑම හොලිවුඩ් චිත්‍රපටයක ලිංගික හැසිරීමකින් පසු සිදු කරන්නේ දුම් වැටියක් ඉරීමයි ('කැසබලන්කා' මේ සඳහා සම්භාව්‍ය උදාරණය යි). අනෙකා විනිවිදීම නම් ක්‍රියාවේ ආතතිය මිනිසා මුදා හරින්නේ තවත් එවැනිම මරණීය ක්‍රියාවක් වන දුම් වැටිය හරහා මරණය ඔස්සේ ම ය (death itself). වොන් ට්‍රියර් ගේ සිනමාව තුළ පෙන්වන්නේ ද මෙයම ය. ක්‍රියාවේ හිස් බව (ආශාව තරණය ඔස්සේ ලැබෙන අත්දැකීම) යනු මෙම පරම අත්දැකීමයි (absolute experience). එම පරම අත්දැකීම ව්‍යුහගත වන්නේ යථාව ඔස්සේ ය. සියලු අත්දැකීම් වලින් පසු එළඹෙන මෙම පතුලක් නැති ශුන්‍යතාවයේ මොහොත යනු යථාවේ හමුවීමයි. අත්දැකීමේ කෙළවරක් නොපෙනෙන අචින්ත්‍ය බවයි (infinite nature of experience). මැඩෝනා මොන තරම් දේ කලත් ඇයගේ තරුණ බව වෙත ආපසු යා නොහැකි බවයි. මයිකල් ජැක්සන් කොතරම් වියදම් කලත් ඔහු ගතකළේ තෘප්තිමත් ජිවිතයක් නොවන බවයි. ජීවිතයේ අචින්ත්‍ය වේදනාව වෙනුවෙන් ඔවුන් තෝරා ගත්තේ දෘඩ මත්ද්‍රව්‍ය වර්ගය (මරණය හා සමාන යථාවේ අත්දැකීමට සමාන අත්දැකීමක් සපයන). නිෂිතනි පෙන්වා දෙන පරිදි ටෝකියෝ නගරයේ විලාසිතා දැක්මේ සැරිසරන බෝනික්කියන් බඳු ලස්සන ස්ත්‍රීන් තව වසර විස්සක් තිහකදී ඇට සැකිළි බවට පත් වීමේ යථාව මිනිස් සද්භාවයට මඟ හැරිය නොහැක. ආශාවේ පශ්චාත් අත්දැකීම නැවතත් වේදනාවක් වන අතර මේ වේදනාවේ නැවතීමක් මරණය අත්දකින තුරු  සිදුවන්නේ නැත. හිස්ටරික අත්දැකීම* නම් යථාවේ ආගමනය (මරණීය යථාව වෙත යනු පිණිස ඉල්ලන උමතු අභිනය) මිනිස් පැවැත්මේ හෛඩගරියානු මදය වන අතර (ජිජැක් 1991) ඊඩිපස් සංකීර්ණය යනු මේ යථාව මුණ ගැසීම පිණිස (encountering the Real) ගොඩ නගන ලද එක් මිනිස් ව්‍යායාමයකි. සියළු මිනිස් ශිෂ්ටාචාර විසින් කුමක් හෝ විධි ක්‍රමයක් මේ යථාවේ හිස්ටරික හමුවීම වෙනුවෙන් සකසා ඇති අතර (ජිජැක් 1991, 103) අපගේ විධි ක්‍රමය වන්නේ බුදු දහම බව මම යෝජනා කරමි. ඒ විධි ක්‍රමය (method) සකස් වී ඇත්තේ උපේක්ෂාව**(indifference) සහ මැදුම් පිළිවෙත (middle path) ඔස්සේ බව වැඩි දුරටත් යෝජනා කරමි. ඉස්ලාමය වුවද බෝම්බ බඩේ බැඳ ගෙන පුපුරුවා ගැනීම ආගමික විධි ක්‍රමයක් ලෙස යෝජනා කර නැත. මුළු ලෝකය ඉස්ලාම් කරණය කිරීමේ පුර්ව නුතන ෆැන්ටසියෙන් ඔවුන් මිදිය යුතුව ඇත (දෙවියන් ඔහේ වේදනා විඳපුවාවේ!).               

ජපන් ශුන්‍යතා වාදීන් හෛඩගර් කියවූ ආකාරයට කිසිදු බටහිරයෙකුට හෛඩගර් කියවිය නොහැකි විය. මිනිස් පැවැත්මේ රැවටිලිකාරී බවත් අප අවට ලෝකයේ ඇති කෙළවරක් නොපෙනෙන හිස් බවත් තුල මිනිසාට ඒකාත්මික විය හැක්කේ 'මම' සහ 'ලෝකය' යන ද්වෛතයෙන් නිදහස් වූ ස්වයං හෙළිදරව් වීමේ ක්‍රියාවලියක් තුලට අවතීර්ණ වීමෙන් ය යන්න නිෂිතනි ගේ හෛඩගරියානු ඉගැන්වීමයි. ජපන් දාර්ශනිකයින් බටහිර දෙස බලා තමන්ගේ වූ දර්ශනයක් තම ඓතිහාසික තත්වයන්ට අනුරූපව නිපදවා ගන්නා විට අප කරන්නේ බටහිර ගෙඩි පිටින් කොපි කිරීමයි. අප දේශපාලඥයින් ට බණින ගමන් කල්පනා කල යුත්තේ අප අපගේ වගකීම ඉටු කළාද යන්නය. අප කළ යුත්තේ දර්ශනයන් කොපි කිරීම නොව අපගේ ම ආකාරයකට කියවීම ය. අප පවා කළ යුත්තේ විඥානවාදයන් දෙකක් (බටහිර ශුන්‍යතාවය සහ බෞද්ධ හිස් බව) සංකලනය කර ගැනීමය. නිෂිතනි ගේ වචනය ණයට ගන්නේ නම් 'හෙගලියානු බෞද්ධ' (Hegel-Buddhism) කියවීමක් අපට අවශ්‍යව ඇත යන්න ය. අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමන් විසින් කියන ලද පරිදි නව සහජීවනයක් උදෙසා බෞද්ධකම පදනම් කරගත් නව වටිනාකම් පද්ධතියක් අප නිර්මාණය කර ගත යුතුය (එකම දෙය සිංහල බෞද්ධ බව යන්න ද අවසන් අනන්‍යතාවයක් නොව වෙනස් වෙමින් බටහිර කරණය වෙමින් පවතින දෙයක් වීමය). එහිදී අපට අපගේ බුදු දහම පවා රැඩිකල් ලෙස ප්‍රති අර්ථකතනය කිරීමට සිදු වනු ඇත. හේතුව සහ ලෞකික දර්ශනය ඇතුලත ම එය සබුද්ධික කරණය කිරීමට සිදුවනු ඇත. ඒ පරිවර්තනයේ දී බුදු දහම තව දුරටත් පැරණි දෙය ම නොවනු ඇත. නො-අවසන් නූතනත්වය වෙතට නව බෞද්ධ දර්ශනයක් (ආගම නොව) රැගෙන ඒමට සිදුවනු ඇත. ඒ ඔස්සේ ම නූතනත්වය වෙතට අපගේ විවේචනය ඉදිරිපත් කිරීමට ද හැකිවනු ඇත. එම විවේචනය යනු අපට නූතන බව වෙත දාර්ශනිකව ප්‍රවිෂ්ට වීමේ කවුළුවක් සපයනු ඇත. කියෝතෝ ගුරු කුලය හරහා ජපනුන් කලේ බටහිර ආත්මය සොයන ස්ථිර පදනමක් (fixed foundation) පිළිබද ගෘහ නිර්මාණය විසංයෝජනය කර දැමීමයි. කිසිවකට කිසිදු අවසන් පදනමක් නැති බව ලෝකයට පෙන්වා දීමයි. කඩ කඩා හදමින් හද හදා කඩමින් සියල්ල අනිත්‍යය තුළ විකසිත වන හිස් බවක් යන්න පෙන්වා දීම ඔස්සේ ලෝකයේ වඳ වෙමින් යන ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වීමයි.  


මුලාශ්‍ර:


අමරකීර්ති, ලි. (2019). ඉස්ලාම් මූලධර්මවාදය සහ බටහිර නූතනත්වය. Colombo Telegraph (2019 May 03). read online.


අබේසිංහ, ටෙ. (2019).  නූතනත්වයේ ඉදිරියට පියවරක් පැත්තකට- පශ්චාත් පාස්කු දේශපාලනය. Opiumaleft. com. read online


චන්දවිමල, රේ. (2008).  පටිච්ච සමුප්පාද විවරණය.  read online

               
දේවසිරි, නි. ර. (2019) “සිංහල බෞද්ධයන් මුස්ලිම් ජනයාට කියන්නේ මෙයයි: නූතනත්වය වෙතින් ආපසු නොයනු.” මුහුණු පොත. 

Habermas, J. (2002). Religion and Rationality: Essays on Reason, God and Modernity. (ed. Eduardo Mendieta). Cambridge. MIT Press. 

Habermas, J. (2006). Religion in the Public Sphere. European Journal of Philosophy. (14.1) P. 1-25.


Heisig, J.W. (2001). Philosophers of Nothingness: An Essay on the Kyoto School. Honolulu. University of Hawaii Press.


Kandaih, T. (2018). Speech at the English Association, Sabaragamuwa University of Sri Lanka. Belihuloya.


Kitaro, N. (1958). Intelligibility and Philosophy of Nothingness: Three Philosophical Essays. (trans. Robert Schinzinger). Honolulu. East-West Center Press.


Kitaro, N. (1982). Religion and Nothingness. Berkley. University of California Press.

Lehto, O. (2002). Nothingness as Nihilism: Nishitani Keiji and Karatani Kojin. read online.

Nishitani, K. (1990). Self-Overcoming of Nihilism. New York. State University of New York Press.

Ramadan, T. (2017). Muslims Need to Reform Their Minds. The Guardian. read online.

Rorty, R. (2003). Humiliation or Solidarity. Dissent. read online.


Sharpe, M. and Boucher, G. (2010). Zizek and Politics: A Critical Interrogation. Edinburgh. Edinburgh University Press.


Stirner, M. (1907). The Ego and His Own. (trans. Steven T. Byington). New York. Benj R. Tucker. (Project Gutenberg).



Wells. C. (2014). The Subject of Liberation: Zizek, Politics and Psychoanalysis. New York. Bloomsbury. 

Zizek, S. (1992). For They Know Not What They Do: Enjoyment as a Political Factor. London & New York. Verso. 

Zizek, S. (2007). Only a Suffering God Can Save Us. Lacan.com. read online.


*(1) හිස්ටරිකයා පවත්නා තත්වය රැඩිකල් ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටී (වෙල්ස් 2014). මේ යුගයේ එවන් ඉල්ලීම් කරන ව්‍යාපාර දෙකක් ඇත. එකක් රැඩිකල් වම වන අතර අනෙක වන්නේ නුතන ධනවාදය තුල ක්‍ෂය වෙමින් පවතින අනන්‍යතාව පිළිබද ව්‍යාපාරයයි. රැඩිකල් ඉස්ලාමය අයිති වන්නේ මේ දෙවන අනන්‍යතා ව්‍යාපාරය වෙතටය. නමුත් රැඩිකල් ඉස්ලාමය කියන්නේ පවත්නා පුර්ව නුතන තත්වය එසේම පවත්වා ගෙන යන ලෙසයි. එනයින් වමේ දේශපාලනය හිස්ටරික ලෙසත් (hysteria) අනන්‍යතා දේශපාලනය විපරීත (perversion) ලෙසත් වෙල්ස් පෙන්වා දෙයි. ඉස්ලාමයට විරුද්ධව සිටින ලංකාවේ බොදු බල සේනා සහ රාවණා බලය සහ මහසොහොන් බලකාය යන සියළු සංවිධාන ඒවායේ ජාතිවාදී අර්තර්ගතය සහ පැරණි ලෝකය කෙරේ දක්වන අනුරාගය හේතුවෙන් සැළකිය යුතු ලෙස විපරීත වේ. මන්ද ඔවුන් (ඉස්ලාමය මෙන්ම බොදු බලය) යථාව මුණ ගැසීම මඟ හරියි. එනම් සමාජ ප්‍රගමනය අවසානයේ ඇති කිසිවක් නැති බව (nothingness) ඔවුන් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට 'අර්ථවත්' පුර්ව නුතන ආගම සහ වටිනාකම් වෙනුවෙන් පෙනී සිටි. ධෛර්යය තිබිය යුත්තේ ප්‍රගතිය අවසානයේ ඇති මේ ශුන්‍ය බව වැළඳ ගැනීමට ය. ජපන් අධ්‍යාත්මය මේ යථා ව ප්‍රතික්ෂේප කළේ නැත. ඔවුන් ප්‍රගතිය වැළඳ ගත් අතර මානසික දියුණුව ඔස්සේ යථාව (ප්‍රගතියේ හිස්බව) තුළ අවබෝධාත්මක වේ. ඒ තුළ ජීවත් වේ. ඔවුන් නලින් ද සිල්වා ගෙන් වෙනස් වන්නේ මෙතැනිණි. වෙල්ස් ගේ මතය වන්නේ ඉහත හිස්ටරික බව (වම) සහ විපරීත බව (අන්තවාදය) අතර ඇති දේශපාලන මර උගුල (political deadlock) අප අතික්‍රමණය කල යුතුය යන්න ය (පිටුව 9). ඒ සඳහා ඔහුගේ න්‍යායික විධික්‍රමය වන්නේ අසමාන්තර දැක්ම යි (parallax view - මෙය මුලින් ම හදුන්වා දෙන්නේ සමකාලීන ඩෙරීඩියානු ජපන් චින්තකයකු වන කොජින් කරතානි ය). එනම් මේ හිස්ටරික සහ විපරීත බව දෙස අප බලන ස්ථානය (gaze point) වෙනස් කර ගත යුතු බවයි. විශ්වීයවාදීන් මේ සත්‍යය අවබෝධ කර ගත යුතුව ඇත. 

(අප පුනරුද නූතනත්වය සහ ප්‍රගතිය ප්‍රතික්ෂේප නොකරන බැවින් පශ්චාත් නුතනවාදය සහ පුනරුද නූතනත්වය අතර මුලධාර්මික ආතතිය තුලට ඇඳ නොවැටේ).     

**(2) උපේක්ෂාව යන්නෙන් යථාර්තයෙන් නරුම දුරස්ථ බවක් නඩත්තු කිරීම (cynical distance) හෝ බහු සංස්කෘතික ඉවසීම (tolerant multiculturalism) හෝ අදහස් නොවේ. මුලධාර්මික ප්‍රවණතා මෙතරම් උත්සන්න වීම කෙරේ ජාතිකවාදයට විරුද්ධ කඳවුර විසින් සමාජගත කල ජනප්‍රියවාදී ඉවසන සුළු බහු-සංස්කෘතික බව බලපාන ලදී. පාස්කු ඉරිදාවෙන් පසු බොහෝ අය කට පියා ගෙන සිටීම ස්වයං ආරක්ෂණවාදී කපටි දේශපාලන ක්‍රමවේදයක් කරගත් විට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද දේශපාලඥයින් කිහිප දෙනෙක් විසින් අවම වශයෙන් මෙම 'ඉවසන සුළු නපුංසක බව' පාර්ලිමේන්තුවේ දී අභියෝගයට ලක් කළේය. සුළු ජාතික චන්ද කෙසේ වෙතත් කියා ඔවුන් කළ ජනප්‍රිය නොවන දෙය අගය කල යුතුය.   

Saturday, April 27, 2019

නොදැනුමේ දේශපාලනය (දෙවන කොටස)


'ඔවුන් කරන දෙය ඔවුන් ද නොදන්නා බැවින්: විනෝදය දේශපාලන සාධකයක් ලෙස' (For They Know Not What They Do: Enjoyment as a Political Factor) නම් ස්ලාවෝ ජිජැක් ගේ ජනප්‍රිය ග්‍රන්ථය (1991) ඔහු ලියනු ලබන්නේ හේතුවේ නැත්නම් දැනුමේ සීමාව තුල ම මිනිසා විඳින විනෝදය කුමක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් . එයින් අදහස් කරන්නේ 'අප දන්නවා එහෙත් නොදන්නවා මෙන් සිටිනවා' යන නරුම සහ නොසැලකිලිමත් දෘෂ්ටිවාදී ආස්ථානය දේශපාලනයේ මුඛ්‍ය පදනම බවට පරිවර්තනය වෙමින් පවතී යන්න නව දැනුමක් බවට පත් වෙමින් ඇත යන්න ය. නොදැනුම යනු යථාවක් නම් ඉහත දැනුම යනු මේ වනවිට අපට සංකේතනයක් වේ. එහෙත් අප එම 'දැනුම' (නොදන්නවා මෙන් සිටීම ගැන ඇති දැනුවත් බව) ප්‍රතික්ෂේප කරමින් නොදැනුම සමග විනෝද වෙමින් ඇත යන්න මේ මොහොතේ අපට මුණ ගැසුණු සත්‍යය වේ. පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය යනු අප දැනසිටි දෙයක් ය යන්න මේ වනවිට සෑම අයෙක් තුල ම පවතින දැනුමක් වන අතර මේ සිදුවීම ගැන යම් දැනුමක් පැවතියත් (බුද්ධි අංශ විසින් ගෙනෙන ලද දැනුම) ඒ පිළිබදව යමක් කිරීමට නොහැකිවීම සම්බන්දයෙන් රාජ්‍ය පාලනයේ සිටින සියළු අය තුල ඇත්තේ වරදකාරිත්වයකි. මන්ද දැන් දැන් එළිදරව් වන පරිදි අප එම දැනුම සමග පවත්වා ඇත්තේ විනෝද සම්බන්දයකි. 'දන්නවා එහෙත් නොදන්නවා සේ සිටිනවා' යන ප්‍රස්තුතය සම්බන්දයෙන් මේ අනුව 1991 ලියවුණු ජිජැක් ගේ ඉහත කෘතිය ලංකාව තුළ සත්‍ය ලෙස තේරුම් යන්නේ හෝ තේරුම් ගැනීම සඳහා පසුබිම සකසන්නේ ඉහත බෝම්බ ප්‍රහාරය යි. එනයින් ඉහත පොත අපට කලින් ලැබුණා වුවත් අවබෝධය පැත්තෙන් ගත් විට එය පරක්කු දැනුමකි. නමුත් වඩාත් ම ගැඹුරු සත්‍යය වන්නේ අප අපගේ 'නොදැනුම මතින් ඇතිකළ අසමත් බව' මේ වනවිට විනෝද වෙමින් සිටීමයි (ජිජැක් 1991, පිටුව xii). දෙමලා හෝ මුසල්මානුවා යනු පරිකල්පනීය සතුරෙක් පමණක් (imaginary Real) යනුවෙන් අප විසින් ම වරනැගූ දෙය දැන් අප වෙත ආපසු පත්තු වී ඇත (backfire). බලන බලන හැම පල්ලියක් තුලින් ම මොනයම් හෝ අවියක් මතුවීම සහ ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩපිළිවෙලක නිරතව සිටීම සම්බන්ද සාක්ෂි මතුවීම මේ වනවිට අනුභූතික දැනුමක් බවට පත්වෙමින් පැවතීම ඉහත පරිකල්පනය දැන් සැබෑවකට වඩා සැබෑවක් වෙමින් ඇත (more real than real).     

එසේ නම් අප නිර්භීතව, විවෘතව සහ සදාචාරාත්මකව පිළිගත යුතු සත්‍යය කුමක් ද? එනම් අප බොහෝ දේ නොදන්නා බවයි. එයින් අදහස් වන්නේ මෙම ආපතික අවස්ථාව සඳහා අපට භාෂාවක් නොතිබූ බවයි. අද ඔය දැනගෙන සිටියා යැයි කියන කිසිදු අයෙකුට පවා එවන් භාෂාවක් පැවතියේ නැත (ප්‍රහාරයට පෙර දාතම සහිත ඔවුන්ගේ මුහුණු පොත් බලන්න). අප සියළු දේම දන්නේ නැති අතර අපට ඇතැම් දැනුම් ගබඩා වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇත්තේ ද නැත. ජාතික රාජ්‍යයක පවතින 'නොදැනුම' බොහෝ විට පුරවා දමන්නේ බුද්ධි අංශ විසින් ගෙනෙන දැනුම මඟිනි. මේ දැනුම බොහෝ විට අපව ක්ෂිතියට ලක් කරන තරම් අඳුරු අන්තර්ගතයක් දරා සිටී (dark content). ඒ ඇතැම් ක්ෂිතිමය අඳුරු දැනුම අපට නැති නිසා බොහෝ දේ ගැන අපට යමක් සිදුවන තුරු ම සිතාගැනීමට නොහැකි වේ. තනි පුද්ගලයෙක් සම්බන්දයෙන් මෙන්ම රජයක් සම්බන්දයෙන් ද මෙය එකසේ අදාලය. මේ දැනුම වෙනුවෙන් සෑම රාජ්‍යයක් ම විශාල මුදලක් වියදම් කරයි. මන්ද එය පැවැත්ම සම්බන්දයෙන් එතරම් වැදගත් නිසා ය.

එසේ නම් 'නොදැනුමේ දේශපාලනය' යනුවෙන් කොටස් දෙකකින් යුතුව මා මේ ලියන ළිපි වල ඉදිරිපත් කෙරෙන මුලික තර්කය කවරේ ද? මා කියන්නේ මේ රජය මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගැන නිශ්චිත තොරතුරු ලබා ගෙන (දැනුම) ඒවා සාර්ථක ලෙස මැඩ පැවැත්වූවා නම් අපට පතරංග ලෙස ළිපි ලිවීමට අවස්ථාවක් උදා නොවන බවයි. එසේ රජය සාර්ථක වුවේ නම් අප තවත් ලියමින් ඉන්නේ අසන්ධිමිත්තා තුන්වන කොටස විය හැකි බවයි. නමුත් රජය පැත්තෙන් වූ නොදැනුම හෝ දැනුවත් බව නොසලකා හැරීම (negligence) ඔස්සේ නව ක්ෂිතිමය දේශපාලන ප්‍රපංචයක් ඉස්මතුව ඇති අතර අප කරන්නේ එය අර්ථකතනය කිරීමට උත්සාහ කිරීම බවයි. මේ අප ලියන ළිපි ඔස්සේ අප කරමින් සිටිනුයේ ඔවුන්ගේ නොදැනුම මෙන්ම අපගේ ම නොදැනුමේ හිස් බව පුරවා දැමීමට උත්සාහ කිරීමයි. ක්ෂිතිමය යමක් පුරෝකතනය කිරීමට නොහැකි වූ අපගේ ම නොහැකියාව වසා ගැනීමට උත්සාහ කිරීමයි යන්න මගේ මුලික තර්කය යි. ඒ වගේම දැන් අප ගත කරන්නේ අපගේ දැනුමේ සීමාව (නොදැනුම) විනෝද වෙමින් ය යන්න මගේ අතිරේක තර්කය යි.    

මනෝ විශ්ලේෂණය තුළ සාමාන්‍යයෙන් මිනිස් අතිමුලික නොහැකියාව (fundamental impossibility) යනුවෙන් හැඳින් වෙන්නේ මිනිසා හට පොදුවේ යමක් එක්වරම පරිකල්පනය කර ගැනීමට නොහැකි වීම නම් තත්වය නිර්වචනය කිරීම සඳහා ය. එසේ මිනිසාට යමක් තේරුම් ගත නොහැකි වන්නේ හෝ සිතාගත නොහැකි වන්නේ මුලික වශයෙන් ඔහු /ඇය යම් ප්‍රපංචයක් කෙරෙහි දක්වන 'නොසැලකිල්ල' නිසාවෙනි (negligence). ඇතැම් විට සිගරට් බීම නරක බව අප දැන සිටියත් (දැනුම) එයින් අපට ගැලවීමට නොහැකි වීම නම් උගුල මෙයින් අදහස් කෙරේ (දැනුමේ සීමාව ඔස්සේ විනෝද වීම). 

බුදු දහම තුළ මෙම නොසැලකිල්ල 'අවිද්‍යා' ලෙස නම් කෙරේ (ignorance). යම් පුද්ගලයකුට සත්‍යය කරා එළඹීමට කොතරම් මාර්ග පැවතියද ඔහු එම මාර්ග දැනුවත්ව ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට කරන්නේ කුමක්ද? යමක් පවතින බව දැන දැනත් එය අප මඟ හරින්නේ ඉහත නොසැලකිල්ල නිසාය. මන්ද අප නොසැලකිල්ල ඔස්සේ විනෝද වන බැවිණි. අපගේ දැනුමේ සීමාව යනු ම විනෝදයකි. දුම්බීම සෞඛ්‍යයට අහිතකර බව පිළිබද දැනුම ඔස්සේ අප සිගරට්ටුව වඩ වඩා විනෝද වීම මෙයින් අර්ථවත් කෙරේ. සෞඛ්‍යය ට අහිතකර බව පිළිබද දැනුම විසින් සිගරට්ටුවේ විනෝදය තවත් වැඩි කරයි. බෝම්බ ගැන තිබූ දැනුම විසින් ඒවා පුපුරා යෑමෙන් පසු ඇතිකළ ක්ෂිතිය තවත් තීව්‍ර කරයි. අපගේ විනෝදය වී ඇත්තේ ද එයම ය. දැනුම විසින් විනෝදය කප්පාදු කරනවාට වඩා සිදුවන්නේ දැනුම විසින් විනෝදය තවත් තීව්‍ර කිරීමයි. 

මෙයින් අදහස් කරන්නේ 'නොදැනුම' (Know Not) හෝ 'නොසැලකිල්ල' යනු අප සිතනවාට වඩා සත්‍ය දේශපාලනික මොහොතක් යන්න ය. ඒ ගැන අප දිගටම ලිවුවේ ඒ නිසාය. යුදෙව්වන්ට අප එතරම් වධ හිංසා පැමිණුවේ ඇයි? වමේ ලෝකයක් තුල ම ස්ටාලින්වාදයක් අපට අවශ්‍ය වූවේ ඇයි? මිලියන ගණනක් මිනිසුන් චීනයේ මරා දැමුවේ ඇයි? සහරාන් අපට එසේ කළේ ඇයි? මේ කිසිවක් ගැන අප තවම දන්නේ නැත. එය 'නොදැනුමේ දේශපාලනයකි'.

උදාහරණ වශයෙන් ආරක්ෂක ලේකම් වරයා පැවසුවේ 'අපි මේ ප්‍රහාර ගැන දැනගෙන හිටියා තමයි ඒ වුණාට මෙහෙම දෙයක් වෙයි කියල හිතුවේ නැති' බවයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුට කියවුනේ සත්‍යය වේ. සාමාන්‍ය මිනිස් ස්වභාවය වේ. අප ඔහුට කොතරම් බැන්නත් සත්‍යය යනු මිනිස් නොසැලකිල්ලයි. හේමසිරි ප්‍රනාන්දු මහතා ගේ මුවින් එළියට පැමිණි මේ සත්‍යය ට ෆ්‍රොයිඩ් කියන්නේ දිවග තිබෙන සත්‍යයක් යනුවෙනි (tip of the tongue). සාමාන්‍ය ජීවිතය තුල අප හැමෝම මෙසේ නොසැලකිලිමත් ය. හැම මිනිත්තුවේ ම මිනිසා සැලකිලිමත් වීමට උත්සාහ කලොත් හෝ අනෙකා සැක කිරීමට උත්සාහ කලොත් ඔහුට සාමාන්‍ය ජීවිතය මඟ හැරී යයි (පිස්සු හැදෙනු ඇත). අප සාමාන්‍යයෙන් මුස්ලිම් ගැහැණියක් හෝ මිනිසෙක් දුටුවහොත් එක් වරක් බලා පසුව අහක බලනු ඇත.

සාමාන්‍ය තත්වය එසේ වුවද දැන් අප ජීවත් වන්නේ සුවිශේෂ මොහොතකය. එනම් විශ්වීය එකමුතු වීම් (universal solidarity) වලින් ඔබ්බට ගොස් ඇමෙරිකාව පෙරට, චීනය පෙරට, රුසියාව පෙරට, ඉස්ලාම් දේශය පෙරට යන වර්ගයේ සටන් පාඨ ලෝකය පුරා ඇතිවෙමින් පවතින මොහොතක් ය මෙය. ජිජැක් පවසන්නේ 'නව ජාත්‍යන්තරවාදයක' (new internationalism) අවශ්‍යතාවය දැන් ලෝකය පුරා ඉස්මතු වෙමින් පවතී යන්නය. විශේෂයෙන් පරිසර ගැටළුව හමුවේ මේ එකමුතුව වඩාත් අවශ්‍ය වී ඇත. නමුත් අප දැනට ඉන්නේ දේශීය නොසැලකිලිමත් බවක් ඇතුලේ එකිනෙකා සමග කුළල් කා ගනිමින් ය. 

ඉහත නොසැලකිල්ල අපට ගෙනදුන් විනාශය ගැන දැන් අප දනිමු. සාමාන්‍ය මිනිසුන් වන අපට ඇතැම් දේ ඇත්තටම සිතාගත නොහැක. සත්‍යය එයයි. මේ නිසා සුවිශේෂයෙන් බුදු දහමේ පවා කියවෙන්නේ තමා ජිවත් වන මේ මොහොත ගැන සවිඥාණික වන්න යනුවෙනි (here and now). මා මෙහිදී ඔබට යෝජනා කරන්නේ තමා ඉදිරිපිට දිග හැරෙන මෙම ලෝකය ගැන යම් සැක කිරීමක් කරන ලෙසයි. අප දැන් ගත කරන්නේ සුවිශේෂී මොහොතක වන බැවින් කොගිටෝමය අර්ථයෙන් සැකය මේ මොහොතේ අවශ්‍ය වේ. ගුවන් යානා වලට පවා පහර දිය හැකි යුධ අවි සහ පුහුණු කාඩරයක් සිටි එල්. ටී. ටී. ඊ. සංවිධානය පවා විනාශ කළ හමුදාවක් ඉදිරියේ කඩු හත අටක් සහිත පල්ලියකට කළ හැකි කෙමනක් නැති වුවත් මෙම මරාගෙන මැරෙන ගොන්කම ඉදිරියේ අප ප්‍රවේශම් විය යුතුය. 

ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසෙන සැක කටයුතු පුද්ගලයින්, කණ්ඩායම්, පාර්සල්, ගමන් මලු, රථ වාහන ගැන සැලකිලිමත් වන්න. ඉස්ලාම් වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා, බෞද්ධ වේවා, කවුරුන් වුවත් ඔබේ අනෙකා අනවශ්‍ය ලෙස විශ්වාස නොකරන්න. එය ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් උපකාරී වනු ඇත. ඔබේ අසල්වැසියා යනු යක්ෂයෙක් නම් එවිට කරන්නේ කුමක්ද යන්න ස්ලාවෝ ජිජැක් අසන සාමාන්‍ය ප්‍රශ්නයයි. එනිසා ඉවසීමෙන් ආරක්ෂක අංශ වෙත සහයෝගය දක්වන්න. ඒ සමග ම මංගල සමරවීරගේ හිස් විශ්වීය බව සමඟ හෝ සංහිදියාව සමග හෝ මෙය පටලා නොගන්න.

හිස් විශ්වීය බව (empty universalism) යනු කුමක් ද? එයින් අදහස් කරන්නේ ගැඹුරු වසඟය යි. අසන්ධිමිත්තා හි විකී පෙන්වන බොරු ආදරය මෙන් මිනිසාගේ සැබෑ ස්වභාවය අනෙකා ඉදිරියේ ඉස්මතු නොවේ. හරියටම වසඟය යනු කළු කුහරයකි. සියළු සඥා තමා තුලට ඇදගනී. තමාගෙන් කිසිවක් පිටට නොයයි. තමාගේ ඇත්ත ආවේගය පිට නොකරයි (සීතලයෙක් ලෙස සිටින රනිල් දෙස බලා ඔබට කිසිවක් තේරුම් ගත හැකිද? නමුත් මෛත්‍රී කොතරම් ආවේග ශීලි වන්නේ ද? ගමේ ඉපදුන මෛත්‍රී දේවල් ගැන ආත්මීය අර්ථයෙන් අනුරාගිකය).

හදිසි නිතිය යටතේ මෛත්‍රීට බුර්කාව ගැන තීරණයක් ගැනීමට ගියේ මිනිත්තු කිහිපයකි. මද්‍රසා ගැනද එසේම ය. කොළඹ එක්තරා මවුලවියෙක් ජනාධිපති ගැන කේන්තියෙන් කතා කලේ පසු නූතන පුතා ට සිදුවූ අපහසුව ඔහුට ද දැනුණු හෙයිණි. 'මම ආච්චිලගේ ගෙදර යනවා පුතත් කැමතිනම් එන්න' යන වර්ගයේ පශ්චාත් නූතන ගතිකයක් මෛත්‍රීගේ තීරණය තුළ තිබුණේ නැත. ඔහු පුතාට කිවේ මෙපමණය. 'පුතා ඔයා අද ඔය තත්වයේ ඉන්නේ මම කියල කෙනෙක් ආච්චි හදපු නිසා. ඒ හින්ද කරුණාකරලා ඇදුමක් දාගන්න ආච්චිව බලල එන්න'. නූතන පියා යනු ක්‍රියාවේ වරදකාරිත්වය පුතා තුළ ඉතිරි නොකර වරද තමා වෙත ට ගන්නා පියාට ය (ජිජැක්, For They Know Not What They Do). පුතා ඇත්තට ම වෙනස් කිරීමට පශ්චාත් නූතන පියාට නුපුළුවන. හරි හෝ වැරදි වේවා ක්‍රියාවේ වරදකාරිත්වය මෛත්‍රී පිරිමියෙක් ලෙස තමා වෙතට ගත්තේය (රනිල් ඒක තලතාට සහ මුල්ලා ට පාස් කළේය - ඔහුගේ ම ප්‍රවෘත්ති නිවේදනයට අනුව). උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මහින්ද ගත්තේ ද මෙවන් පිරිමි තීරණයක් ය (කවුරු කොතරම් බැන්නත්). ඒ ගෞරවය ඔහුට හිමිය. කවුරු බැන්නත් ගෝඨා සම්බන්ද සත්‍යය පවා මෙයින් වෙනස් නැත. සරත් ෆොන්සේකා පවා පිරිමියෙක් මිස පසු නූතන පියෙක් නොවේය. හරී හෝ වැරදි කෙසේ වුවත් තීරණයක් අවශ්‍ය විට තීරණයක් ගැනීමට හැකි පාලකයින් අප පත්කර ගත යුතුය.

වසඟය යනු යමක් වෙනස් කරන මුවාවෙන් සිට ඇත්තටම දේවල් ඒ ආකාරයෙන්ම තිබෙන්නට හැරීමයි. උදාහරණ වශයෙන් උලමා වරුන් පවා මුහුණු ආවරණය ඉවත් කිරීමට එකඟ වී ඇති අවසථාවක මංගල සහ රනිල් වැනි පශ්චාත් නුතන පියවරුන් (පියවරුන්ට කරන අවමානයකි) නැවත නැවත උලමා වරුන් සහ මවුලවි වරුන් පස්සේ යන්නේ ඇයි? යමක් එතැනින් මෙතැනටත් මෙතැනින් එතැනටත් දමමින් යම් තීරණයක් ගැනීමට කල් මරන්නේ ඇයි? බුර්කාව පිළිබද තීරණාත්මක කතාවකදී එම තීරණය අධිකරණ ඇමතිගෙන් උලමාටත්, උලමාගෙන් මවුලවිටත්, මවුලවිගෙන් මුල්ලාටත්, මුල්ලාගෙන් අල් කයිඩාටත්, අල් කයිඩාගෙන් අල් සවාහිරි ටත්, අල් සවාහිරි ගෙන් බෝකෝ හරාම්ටත් පාස් කරමින් කල් මරන්නේ ඇයි? මේ සාකච්චාව, සම්මුතිය සහ සංහිදියාව ද? නැත. මේ වෙන ක්‍රීඩාවකි.

ලොව අන් සියළු සමාජ ස්ත්‍රිය ගැන සංකල්පය වෙනස් කර ගන්නා මොහොතක මුස්ලිම් සමාජයේ පමණක් ස්ත්‍රිය සම්බන්ද ෆැන්ටසිය වෙනස් නොවන්නේ මන්ද? මේ වසඟය තුළ නම් කෙසේවත් ඔවුන් වෙනස් කල නොහැකි වනු ඇත.

මා එසේ කියන්නේ රනිල් කඳවුරට සත්‍ය ලෙස මුස්ලිම් සමාජය වෙනස් කිරීමේ උමවනාවක් නැති හෙයිනි. ඔවුන්ට අවශ්‍ය තමන් මුස්ලිම් සමාජය ගැන මුස්ලිම් වරුන්ටත් වඩා සංවේදී බව පෙන්වා ඊළඟ චන්දයේ දී මුස්ලිම් චන්ද කුට්ටි කඩා ගැනීමට ය. උලමා වරුන් හිජාබය (නිකාබය) ඉවත් කිරීමට කැමැත්ත දී ඇති මොහොතක පවා ඔවුන්ට අවශ්‍ය උලමා වරුන්ටත් වඩා ඔවුන් සංවේදී බව පෙන්වා මුලධාර්මික කොටස් වල චන්දය ගැනීමට ය. මේ දිව්‍යමය ප්‍රචණ්ඩ බව (divine violence) නොව ගැඹුරු අර්ථයෙන් වසඟය යි. අප මුස්ලිම් වරුන්ට කියන්නේ මේ උගුලට අසු නොවන ලෙසයි. මුස්ලිම් සමාජය මේ අන්තවාදී කොටස් වලට කැමති නැත. මුස්ලිම් තරුණයින් විශාල වශයෙන් සයින්දමරදු ප්‍රහාරයේ දී හමුදාවට උදව් කලේ ඒ නිසාය. අප මහ ජාතිය ලෙස වඩා නුතන වනු (more modern than modern) දැකීම එම තරුණයින් ගේ බලාපොරොත්තු වයි. මන්ද අන්තවාදය ඉදිරියේ ඔවුන් තමන්ගේ භුමිය තුල අසරණ වී ඇති නිසාය (ඇඟේ හයිය මිස ඔවුන්ට වෙනත් බලයක් නැත). ඔවුන් බලාපොරොත්තු වන්නේ අන්තවාදයට එරෙහි පීතෘ මුලික පාලනයකි. එවිට ඔවුන් අන්තවාදය පරදා අප සමග එකතු වනු ඇත (සයින්දමරදු වලදී සිදු වුවේ එයයි). අන්තවාදයට එරෙහිව ඔවුන් බලවත් කල යුතුය (empowerment). අන්තවාදයෙන් පළාගිය Rahaf al-Qunun වැනි තරුණ තරුණියන් මුස්ලිම් සමාජයේ සිය දහස් ගණනින් ඇත. ඔවුන් ගැඹුරු අර්ථයෙන් බටහිර සමාජය වෙත ආශක්ත වී ඇති බව විචාරක මතයයි. එනයින් මුස්ලිම් තරුණ ජනගහනය දෙස අප අසමතුලිත ලෙස බැලිය යුතුය. අප රනිල් ට කියන්නේ අප මෙම මධ්‍යස්ථ කොටස් දිනා ගන්නා බවයි. ඔබලා අන්තවාදය සමග නිදි වදින්න!

අර මළ ඉලවු මවුලවියා ගේ ෆැන්ටසිය කුමක්දැයි මා නොදන්නා නමුත් මේ ලිපිය ලියන මගේ ෆැන්ටසිය නම් වික්ටෝරියා බෙකම් ය. නමුත් මෙහිදී මා ළිපියට අමුණන දේශපාලන චායාරූපය රහෆ් අල් කූනුන් ගේ ය (Rahaf al Qunun). 

කූනුන් ...ඇය කොතරම් ලස්සන ද? ඇය එක් පිරිමියෙකු ගේ සදාකාලික දේපලක් විය යුතුද? (විශේෂයෙන් අර මවුලවියා ගේ ... අපොයි!). පුදුමය නම් අර මවුලවි වරයා කරන ලද ප්‍රකාශය ගැන හෝ කූනුන් වැනි පිතෘ මූලිකයෙන් පලා යන ස්ත්‍රීන් ගැන හෝ අප දන්නා කොළඹ කොල්ලුපිටියේ ස්ත්‍රීවාදී කිසිවෙකු මේ දක්වා කට නොහෙල්ලීමයි.  

එතකොට කොල්ලුපිටියේ රනිල් ගේ ෆැන්ටසිය....මා එසේ අසන්නේ පූර්ව නූතන පියවරුන් ගෙන් පළායන කූනූන් වැනි තරුණියන් ගේ ආශාව (අර්ථවත් සම්ප්‍රදාය වෙනුවට නූතන හිස් බව වැළඳ ගැනීමට ධෛර්ය ඇති ස්ත්‍රියක් ලෙස. හිස්බව = void) තේරුම් ගැනීමට තරම් හැකියාවක් රනිල් ගේ ෆැන්ටසියට ඇත්ද යන්න තේරුම් ගැනීම සඳහා මිස රනිල් හෙළා දැකීමට නොවේයඇය තෝරා ගෙන ඇත්තේ සම්ප්‍රදාය වෙනුවට නූතන අර්ථ ශුන්‍ය යුරෝපීය ෆැන්ටසිය තරණය කිරීමට ය. ඒ කොන්ක්‍රීට් නගර, විදුලි බුබුළු, පතුලක් නැති හුදකලාව, එකතුවීම් සහ වෙන්වීම් ගහන විගලිත රාත්‍රී ජීවිතය සහ මත්ද්‍රව්‍ය නම් ෆැන්ටසි ලෝකය තරණයෙන් පසු (බලන්න මේ වසරේ ඔස්කාර් සම්මාන දිනූ A Star is Born සහ Bohemian Rhapsody චිත්‍රපට සහ ටැරන්ටිනෝ ගේ Pulp Fiction චිත්‍රපට) ඇයට මෙන්ම අප සියළු දෙනාට ම මුණ ගැසෙන්නේ ශුන්‍යතාවය යි. සහරාන් ලා මොන බෝම්බ බඩේ බැඳගෙන පුපුරුවා ගත්තත් අවසානයට ඇත්තේ සියළු දෙයහි අවසන් පරම - අර්ථයක් (absolute meaning) නැති බවයි. එනම් බුදුන් වහන්සේ හරහා අවසානයට අපට ව්‍යුත්පන්න කරගත හැකි දෙයයි. පරම ශුන්‍යතාවය යි (absolute nothingness). ශුන්‍යතාවය දෙසට ගමන් කිරීම නම් තැනදී කූනූන් සිටින්නේ සහරාන් ට වඩා ගව් ගණනක් නිර්භීතව සහ ඉදිරියෙන්ය.     

කියවීම්:
Kitaro, N. (1958). Intelligibility and Philosophy of Nothingness: Three Philosophical Essays. (trans. Robert Schinzinger). Honolulu. East-West Center Press. 

Zizek, S. (1991). For They Know Not What They Do. London. Verso. 

Zizek, S. (2006). The Parallax View. lacan.com. read online


Zizek, S. (2019). The Interview: Slavoj Zizek. in New Internationalist. real online


Wells, C. (2014). The Subject of Liberation: Zizek, Politics and Psychoanalysis. New York. Bloomsbury. 

නොදැනුමේ දේශපාලනය


හැමදාම සිදුවන පරිදි ම දේශපාලකයින් ජීවිතය බේරා ගෙන ඇත. සාමාන්‍ය මිනිසුන් මරණය වැළඳ ගෙන ඇත.

මරණය වැළඳ ගත් සාමාන්‍ය මිනිසුන් විසින් ජීවිතය බේරා ගෙන මාධ්‍ය වලට අලංකාර  ප්‍රකාශ නිකුත් කරන දේශපාලුවන් නැවත වරක් පාර්ලිමේන්තු යවනු ඇත. ඒ දේශපාලුවන් නැවතත් ඒ මිනිසුන්ට මරණය ම උරුම කර දෙනු ඇත. 

මිනිසුන් වේදනාවට ආශා කරන අතර දේශපාලුවන් මිනිසුන්ට වේදනාව ගෙන දීමෙන් තෘප්තියක් ලබයි. 

යටත් විජිත යුගයේ සිට අප පුරුදු වී ඇති මේ පර-පීඩා ස්ව-පීඩා විෂම චක්‍රය බිඳ දැමීමට වයිමා ට වත් බැරි වනු ඇත. යන්තම් හමුදාව එළියට බැස ඇති හෙයින් ඇවිදින මළමිනී බඳු මිනිසුන්ට යන්තම් හුස්ම ගැනීමට හැකිව ඇත. නැත්නම් ඇත්තේ මියගිය රටකි. ගෝලීය ත්‍රස්තවාදයක සෘජු ගොදුරක් වී ඇති ශ්‍රී ලංකාව තවදුරටත් පැරණි ලංකාව නොවේ. අප මෙතෙක් සිතූ සියල්ල තව දුරටත් මේ රට තේරුම් ගැනීම පිණිස අදාල නොවේ. රටේ ගමන් මඟ තීරණාත්මක ලෙස වෙනස් වී ඇත. මෙය නව ආපතික තත්වයකි. අප වැනි රටවල සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා හමුදාව අවශ්‍ය වීම ගැන 'නිදහස' සම්බන්දව ලොරි ටෝක් දෙන මංගල සමරවීර දැන් කියන්නේ කුමක්ද? පිටරට සිටින චන්ඩි මාක්ස්වාදීන් 'නිදහස' ගැන දැන් දරන මතය කුමක්ද? පශ්චාත් යටත් විජිත සර්වජන චන්දයේ නපුංසක බව වෙනුවට අප විනයගත හමුදාවක් පිළිබද තර්කය නව සමාජ යුතෝපියාවක් කරගත යුතුද? (ජෙම්සන්, An American Utopia: Dual Power and the Universal Army. Verso. 2016). 

අනෙක් අතට මිය යාම තම එකම දෛවය කරගත් මිනිසුන්ගේ ආවේගය ප්‍රකාශ කිරීමට ඇති එකම දේශපාලන මාධ්‍ය වන මුහුණු පොත වාරණය කර ඇත. වැඩකට නැති ජනමාධ්‍ය මිණී කඳු උඩින් ලාභ උපයමින් ඇත. බුද්ධි අංශ වාර්තා ළිපි හුවමාරු වූ අන්දම ගැන සෞන්දර්යාත්මක ප්‍රබන්ධයක් ජනාධිපති වරයා විසින් කරමින් ඇත. 

බුද්ධි අංශ වාර්තා සහ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත අතර එකට එකේ සම්බන්දයක් මේ යුගයේ නැත. සම්බන්ධයක් ඇත්නම් ඇත්තේ ඒ දේශපාලකයින් සිය ජීවිතය බේරා ගන්නට උත්සාහ කරන වැඩ පිළිවෙල තුළ සාමාන්‍ය මිනිසුන් යම් විදියකින් ස්ථානගතව සිටියහොත් පමණි. ප්‍රභූ ආරක්ෂාව මුලට එන්නේ එසේය.  

පහත් තැනින් ජලය ගලා බසිනවා මෙන් අවශ්‍ය නම් පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙක් ගේ තනතුරු එහා මෙහා කර දේශපාලකයින් තම ඇඟ බේරා ගන්නවා සිකුරුය. තව බෝම්බ කිහිපයක් නො පිපුරුණ හොත් නිසැක වශයෙන් අනිද්දා සිට නැවතත් දෙපැත්තට ගහන පරණ බල සෙල්ලම පටන් ගන්නවා ඇත. මිනිසුන් නැවතත් කට අයාගෙන ඒ දෙස බලා සිටිනවා නො අනුමානය. කොහොමත් ටික දවසකින් සියල්ල අමතක වී පරණ විදියට ම අප සාමාන්‍යකරණය වී පුරුදු නොසැලකිල්ල නැවතත් උඩට එනු ඇත. එවිට නැවත නව චිත්‍රපට විචාරයක් ඔස්සේ අපට මුණ ගැසිය හැකි වනු ඇත.      
  
ඒ කෙසේ වුවත් අවසානයේ අප සියල්ලන්ගේ ම 'විනෝදය' අභියෝගයට ලක් කිරීමට එම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සමත් විය. සදාකාලික නින්දෙන් අප ඇහැරුණි (eternal sleep). 2009 න් පසු රනිල් මෛත්‍රී පමණක් නොව අප සැවොම සිටියේ විනෝදයෙනි (මෙසේ කියන්නේ මම නොව නමගිය හමුදා නිලධාරියෙක් වූ සරත් ෆොන්සේකා ය. මේ සිද්ධියෙන් පසු පාර්ලිමේතුවේ සිටි අය අතරින් යම්කිසි බරක් ඇති දෙයක් පැවසුවානම් පැවසුවේ ද ඔහු පමණය). එසේ නොවේ යැයි සිතන්නේ නම් පසුගිය කාලය තුල අප ලිවූ කිවූ දේවල් දෙස නැවත බලන්න. අනික් අය කෙසේ වෙතත් මම මගෙන් පටන් ගනිමි. මගේ බ්ලොග් අඩවියෙන් පටන් ගත්තොත් එහි ඇත්තේ කුමක් ද? අසන්ධිමිත්තා, මුරකමි, අප්පච්චි ඇවිත්, රනිල්, මෛත්‍රී, හඳගම, හිරුණිකා, වික්ටෝරියා බෙකම්, සෙන් බුද්ධාගම, ෆැන්ටසි, යථාර්තය යන වචන අපේ (මගේ) ශබ්ද කෝෂයේ පිරී පැවතුණි. ඒවා විසින් මගේ ෆැන්ටසියේ සීමා ව සලකුණු කරන ලදී. අප සැවොම ගොනු වූවේ එවන් ප්‍රෙහේලිකාමය කතිකාවන් වටා යඒවාට ඔබ්බෙන් යථාවක් ඇති බව අපට වැටහුනේ නැත. ඒ යථාව මෙතරම් විශාල බව කිසිසේත් අපට වැටහුණේ නැත. ඉස්ලාම් අන්තවාදයක් ගැන දිනපතා ප්‍රවෘත්ති ගලා ආවත් මෙතරම් රාක්ෂයෙක් ලෙස එය ඉස්මතු වනු ඇතැයි අපට සිතුනේ නැත. අප අනෙකා සැක කළේ නැත (කොගිටෝව). 'නොදනුමේ දේශපාලනය' යනු එයයි. හේමසිරි ප්‍රනාන්දු විසින් කීමට උත්සාහ කළේ මේ දෙයයි ('අපි දැනගෙන හිටියා තමයි එත් මේ වගේ දෙයක් වෙයි කියලා අපි හිතුවේ නැහැ' ඒ ඔහුගේ හඬයි. කිසිදු පල්ලියක් හෝ හෝටලයක් හෝ ආරක්ෂක අංශයක් හෝ බක පණ්ඩිත ජ්‍යෝතිෂ කරුවෙක් හෝ 'එසේ වනු ඇතැයි' සිතුවේ ද නැත). සත්‍යය යනු ඒ නොදැනුමයි. 'එතරම් දෙයක් වනු ඇතැයි' පරිකල්පනය (සංකල්පකරණය) කිරීමට නොහැකි වීමයි. අප අද තරඟකාරී ලෙස ලියන කියන සියලුම දෑ යනු මෙම නොදැනුම වසා ගැනීමට අප දරනා ව්‍යාජ උත්සාහයන් වේ. 

අන්තිමට ආසන්න වශයෙන් හෝ මිනිසුන් වෙනුවෙන් 'සත්‍යය' ප්‍රකාශ කලේ පරිපාලන නිලධාරියෙක් වූ හේමසිරි ප්‍රනාන්දු ය. සත්‍යය යනු මිනිසාගේ අතිමුලික නොහැකියාව (fundamental impossibility) පිළිබද සත්‍යය වේ. 

The Silence of the Lambs (1991) චිත්‍රපටයේ ක්ලැරිස් විසින් ඇයට ඇයගේ FBI ස්වාමියා වන Jack Crawford විසින් දෙන අවවාද නොසලකා හැනිබල් ලෙක්ටර් විශ්වාස කිරීමට පෙළඹේ. බෆලෝ බිල් මිනීමරු දාමය සොයාගැනීම ගැන ග්‍රස්තිකයෙන් (obsession) පෙළෙන ඇය ඔහුට උදව් කිරීමට උත්සාහ කරයි. එසේ මේ මිනීමරු දාමය සොයාගත්තොත් ඇයට ලැබෙන උසස් වීම් ගැන ඇය දැනුවත් ය. ලෙක්ටර් ද ඒ ගැන දැනුවත් ය. නමුත් ඇයගේ මෙම ග්‍රස්තික දුර්වලතාවය හඳුනා ගන්නා හැනිබල් ලෙක්ටර් ඇයට උදව් කරන මුවාවෙන් කරන්නේ පෙර කිසිදා නොකළ ආකාරයේ විනාශයකි (ලෙක්ටර් වෙනුවට අවශ්‍ය නම් යහපාලන ආණ්ඩුවේ ඕනෑම් මුස්ලිම් දේශපාලන නායකයෙක් මෙයට ආදේශ කරගන්න). ක්ලැරිස් කොගිටෝමය අර්ථයෙන් ඔහු සැක නොකිරීම (සවිඥානික නොවීම) ඉහත විනාශයේ මුලය. උසස් වීම ගැන ග්‍රස්තිකයෙන් පෙළුණු ඇයගේ මෙම සවිඥානික නොවීම ඇයගේ අතිමුලික නොහැකියාවක් වේ. නමුත් දක්ෂ ගැහැණියක් වන ක්ලැරිස් ලෙක්ටර් හරහා ම බෆලෝ බිල් මිනීමරුවා සොයාගනී. එම සොයාගැනීම වෙනුවෙන් එතැනදී ඇය තමාට දෙනලද FBI සංකේත පිළිවෙලින් ඔබ්බට යයි.     

මේ 'අතිමුලික නොහැකියාව' පිළිබද කරුණේදී මදකට අප අප දෙසට හැරෙමු. අප අසන්ධිමිත්තා හෝ අප්පච්චි ඇවිත් ගැන ඇත්තටම දේශපාලනික වුවේ නම් මේ ප්‍රහාරයෙන් පසුව ද අප අසන්ධි හෝ අප්පච්චි ගැන කතා නොකරන්නේ ඇයි? ඒ කතිකාව ඔස්සේ ම අප මෙම තත්වයද විග්‍රහ නොකරන්නේ ඇයි? එසේ අප කලින් කලට මතු වන ප්‍රපංචයන් ඔස්සේ මාතෘකා මාරු කරන්නේ 'එන එන හැටියට ගහ උළුවස්සා' පන්නයේ ජනප්‍රිය වාදීන් වන නිසාද? නැත්නම් අපගේ නොදැනුම වසා ගැනීමට ඒවා ප්‍රමාණවත් නොවන නිසාද?

මේ සටහන ලියන්නේ ඉහත ප්‍රශ්නය ඉක්මනින් පැහැදිළි කර දී (අර්ථකතනය කර දී) මතවාදී අධිපත්‍යය මා වෙත නතු කර ගැනීමට නොවේ.  ඒ වෙනුවට අප ජිවත් වන ලෝකයේ පවතින අපගේ ම සංකල්ප සීමාව අවබෝධ කර ගැනීමට ය. යථාව ගැන පවතින අපගේ නොදැනුම තේරුම් කර දීමට ය. 'නොහැකියාව' තේරුම් කර දීමට ය. 

මේ දක්වා අපේ දෘෂ්ටිවාදී ප්‍රශ්නය වුවේ කුමක් ද? දේශපාලනය යනු ෆැන්ටසියක් ද යථාර්තයක් ද? අසන්ධිමිත්තා ෆැන්ටසියක් ද යථාර්තයක් ද? ඉහත මාතෘකා ගැන අපි කෙස් පැළෙන ලෙස තර්ක කළෙමු. පාලක පංතියට අවශ්‍ය ද එයම ය. එනම් අප වැඩක් නැති බොරු මාතෘකා වල පටලා තිබීම ය. ඔවුන් ඒ සඳහා ඇතැම් ලේඛකයින් වෙත මුදල් පවා ලබාදෙයි. අවසානයේ යථාර්තයේ පුපුරා ගියේ ෆැන්ටසි නොව අධි බලැති බෝම්බය. මතු වූවේ ආපතික යථාව ය. අසන්ධිමිත්තා පැමිණියේ නැත.  

මේ අතර අප වඩා ආවේ ගියේ සිංගප්පුරුවට ය. අපේ ෆැන්ටසි සිහින දේශය එය විය. චින ප්‍රාග්ධනය ඔස්සේ මස්තක ප්‍රාප්ත වන පෝට් සිටිය (Port City) ඔස්සේ අප සිහින දුටුවේ තවත් සිංගප්පුරු දේශයක් සැදීමට ය.  

මේ යක්ෂයාගේ ආගමනයට පෙර දින පවා අපේ අනාගත ජනාධිපති අපේක්ෂකයෙක් යනුවෙන් අප සිතාගෙන සිටින 'සාර්ථක වූ මිනිසෙක්' වන ෆැන්ටසි ධම්මික පෙරේරා මහතා ද සිංගප්පුරුවේ චැන්ගි ගුවන් තොටුපළේ රස්තියාදු ගසමින් සිටියේය (මුලින් කට්ට කාපු සාර්ථක මිනිසෙක් වන ඔහු කියන්නේ දැන් ඔහුට කිරීමට දෙයක් නොමැති බවයි. ඇත්තටම දැන් ඔහුට කරන්නට දෙයක් නැත). අන්තිමට බලන විට ජනාධිපති තුමා පවා 'නිවාඩුව' ගත කර ඇත්තේ සිංගප්පූරු සාප්පු සිහින ලන්තයේය. ඔහුට ද කරන්නට දෙයක් තිබී නැත.  

නමුත් සිංගප්පූරු සාමාන්‍ය වැසියන් කියන්නේ පැය විසි හතරම ආරක්‍ෂිත කැමරා තමා දෙස බලා සිටින මෙය සිහින ලන්තයක් නොව අපායක් යන්න ය. අහස සිඹින සාප්පු ලන්තය ඔවුන් යක්ෂයා ගෙන් 'ආරක්ෂා' කරන්නේ එසේය. තද පාලනයක් සහිත 'ආසියාතික ධනවාදය' එහි පවතී (Asiatic Capitalism). සල්ලිවලට කරන්නට දෙයක් දැන් ඔවුන්ට නැත. නිකම් සිටින ධම්මික පෙරේරා මෙහිදී නිවැරදි ය. 
        
ඉතිං අප සිතන්නේ මේ අර්බුද සමනය කිරීම සඳහා සහ අපගේ නුතන ෆැන්ටසිය රැක ගැනීම සඳහා 'තද පාලකයෙක්' (strict ruler) පත්කර ගැනීමට ය. මේ රට සිංගප්පූරුවක් කල හැක්කේ එවන් තද පාලකයෙක් පත්කර ගැනීමෙන් යන්න අපගේ සිහිනයයි (මෙයට කලින් තැබූ මුහුණු පොත් සටහනේ මම මතුකලේ මෙම විරුද්ධා භාෂයයි). 

නමුත් අප පැටලී ඉන්නේ ෆැන්ටසි වංකගිරියක බැවින් ඉහත විරුද්ධාභාෂය කිසිවෙක් තේරුම් ගන්නේ නැත. ෆැන්ටසිය රැක ගැනීම වෙනුවෙන් අප ගෙවන වන්දිය වනුයේ භීතිය ය. වෙනත් විදියකින් කිවහොත් අප ආශා කරන්නේ භීතිය නිෂ්පාදනය කල හැකි අයෙකුට ය. පනහ සහ හැටේ දශක නිෂ්පාදනය කලේ වසඟය (production of seduction) නම් සැප්තැම්බර් නව වෙනිදායින් පසුව අප නිෂ්පාදනය කරන්නේ භීතිය යි (production of terror). අප ඊයේ පෙරේදා අත්දකිනු ලැබුවේ එයයි. මේ සඳහා ඇෆ්ගන් මුස්ලිම් වරුන්ට අත්පොත් තැබුවේ අන් කවරෙක් වත් නොව ඇමෙරිකාවයි. දැන් තමන් බේරෙන්නට තාප්ප බඳින්නට හදන්නේ ද ඒ ඇමෙරිකාව ම ය.  

ඇත්ත ගෝලීය තත්වය කුමක් වුවත් දේශීය වශයෙන් සැවොම මේ අධිනිශ්චය වූ ෆැන්ටසි ප්‍රශ්නය වටා එක් රොක් විය. ෆැන්ටසිය... ෆැන්ටසිය...අපි ඉන්නේ ෆැන්ටසිය පැත්තේ. සියල්ලෝ පිළිතුරු දුණි. අපට තිබුණේ පෝට් සිටි ෆැන්ටසියයි. නමුත් පෝට් සිටියට මීටර් පන්සියයක් දුරින් ෆැන්ටසිය තුලින් ම රාක්ෂයා ඉස්මතු විය. බෝම්බ පිට බෝම්බ පුපුරා ගියේය. තඩි බැක් පැක් කරේ දමාගෙන එන මරුවා පරික්ෂා කරන්නට කිසිවෙක් සිතුවේ නැත. අප සිටියේ පෝට් සිටි ප්‍රමෝදය ඉස්පොල්ලේ ගොස්ය. 

එසේ නම් ඔවුන් පැවතී ඇත්තේ මගේ ෆැන්ටසි සීමාවට ඔබ්බෙනි. මට ඉතා සමීපව ඔවුන් සිටියත් එවැන්නක් ගැන සිතීමට පවා හැකි වුවේ නැත (අනික් අය සිතුවේද නැත). නමුත් ෆැන්ටසිය ඔස්සේ රාක්ෂයා පැමිණෙන බව පමණක් මා සියවරක් සටහන් කර ඇත. මගෙන් අවසානයට ප්‍රශ්නයක් ඇසුවේ ගරිල්ලා භටයා විය. ඔහුගේ ප්‍රශ්නය පවා ව්‍යුහගත වුවේ 'කුමන්ත්‍රණයක්' වටාය. ඔහුට පවා කතා කිරීමට අවශ්‍ය වූවේ මා හැනිබල් ලෙක්ටර් හරහා මතුකළ 'භීතියේ ආගමනය' ගැන වූ විරුද්ධාභාෂය පිළිබදව නොවේය. මා මේ කියන්නේ මා ද ඇතුළුව අප සැමගේ ම සංකල්පීය සීමාව ගැනය. යථාව ගැන ඇති අනවබෝධය ගැනය. 'නොදැනුමේ දේශපාලනය' ගැනය (කලින් ෆේස් බුක් සටහන නැවත කියවන්න).  

කුමන්ත්‍රණය කෙසේ වෙතත් අවසානයේ වැල්ලම් පිටියේ 'සාතන් ගේ මවගේ ගර්භාෂයෙන්' යක්ෂයා ගේ පැටවුන් පැමිණියේ ය (Satan's mother). වැල්ලම් පිටියට සුළු දුරකින් මෙහා සිටි කොල්ලුපිටියේ රනිල් පැමිණියේ නැත.  

නුතන අධ්‍යාපනය තුලින් ම සමාජ හිනිමගේ ඉහලට ම නැග ලන්ඩන් ගොස් අධ්‍යාපනය ලබා සහතික දරා ව්‍යාපාර කර සාර්ථක වී ඇති 'සාර්ථක මිනිසුන්' පිරිසක් විසින් අපගේ නුතන සිහිනයට බෝම්බ හෙලා ඇත. ඔවුන් හඩු ඇඳුම් ඇඳි 71 අරගලකරුවන් නොවේය. ලද අවසරයෙන් මිනී මස් කන හැනිබල් ලෙක්ටර් පවා හොඳින් බුර්ෂුවා අධ්‍යාපනය ලද අයෙකි. 

සරත් ෆොන්සේකා ට අනුව මේ ඉස්ලාමීය ත්‍රස්ත කොටස් කෙටි කලකින් විශාල දුරක් ගමන් කර ඇත. එම වේගය LTTE සංවිධනය පවා ඉක්මවා යන බව ඔහුගේ මතයයි. ලෝකය පුරා මුස්ලිම් තරුණ තරුණියන් මේ කළු කුහරය වෙතට වේගයෙන් අවශෝෂණය කර ගනිමින් ඇත. කන් වල ගසාගත් ඇබ වලින් ඇපල් අයි ෆෝන් ඔස්සේ ඔවුන් අසන්නේ ඩේවිඩ් බෝවී හෝ බොන් ජෝවි නොවන බව දැන් අපට පැහැදිළි විය යුතුය. ඔවුන් සොයන්නේ තම හිස් නූතන ජිවිතයට අර්ථයකි. අප දේශනා කරන හිස් බව තුළ ඔවුන්ට සිටිය නොහැක.  

සැප්තැම්බර් නවය බෝම්බය ඔවුන් හෙළුවේ තට්ටු පිට තට්ටු නැඟී අහස සිඹින 'නුතන සිහිනය' වෙතය (ෆැන්ටසිය). අද ඔවුන් කළේද ඒ දේම ය. ඔවුන් මෝඩයන් නොවීය. හොඳින් බටහිර අධ්‍යාපනය ලද අය විය. අපටත් වඩා බටහිර අවකාශයේ ජීවත් වුවන් විය (modern spatiality). නුතන අධ්‍යාපනයට ඔවුන් වෙනස් කළ නොහැකි විය. ඔවුන් තමා උගත් නුතන දෙය සමග දුරස්ථ සම්බන්දයක් ඇත්තවුන් විය (cynical distance). නුතන දැනුමට නොව ඔවුන් 'නො-දැනුමට' ආශා කරන ලදී. නුතන දැනුම සහ තාක්ෂණය පවා ඔවුන් භාවිතා කළේ නොදැනුම පිණිස ගමන් කරනු සඳහාය. නූතන හිස් බව ඔවුන් වසා ගත්තේ නූතනත්වයට එරෙහිව කැරළි ගැසීමෙනි. එම හිස් බව ඔවුන්ට පුරවා දුන්නේ ආගම විසින් වේ. ඔවුන් උගෙන ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙනි. මුලධර්මවාදය උගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙනි. නූතනත්වයේ සුව නොවන තුවාල සහිත ඔවුන් එම තුවාල සුවපත් කර ගැනීම පිණිස නැවත හැරී ඇත්තේ ශත වර්ෂ ගණනක් පැරණි ආගම වෙතට ය (හබමාස්, 2006). ඒ ද විපරීත අයුරිනි. එම ආගමික අධ්‍යාපනය හමුවේ නුතන අධ්‍යාපනය (දැනුම) නපුංසක විය. අප හැමගේම ෆැන්ටසියට එරෙහිව ඔවුන් තම ජීවිතය පුදා ලෝක ගෝලය පුරා කැරළි ගසමින් ඇත. ඇත්ත ගැටළුව ඇත්තේ එතැනය. 

'ISIS යනු මුස්ලිම් මුලධර්ම වාදයට කරනු ලබන නිග්‍රහයකි' (ස්ලාවෝ ජිජැක්).  

(මහා ලොකුවට ලිවුවාට මොකද දැන් මෙය පළ කිරීමට තැනක් නැති හෙයින් මුහුණු පොත යලිත් පැමිණෙන තෙක් සිටිය යුතුය. මුහුණු පොතේ විපරීත බව ගැන ලොරි ටෝක් දුන් මට සිදුවූ දෙය නම් මරුය. මේ මොහොතේ මුහුණු පොත වාරණය කර ඇති බැවින් මේ ලිපිය තාවකාලිකව බ්ලොග් ගත කරමි).   

Monday, April 1, 2019

සුළඟ අප රැගෙන යාවි...

දුර අහස මවන රූ රටා 
සුළඟ නගන ගායනා 
පුංචි සිතට පාට පිරුණු 
අරුම මවනවා
අරුම මවනවා...

ලස්සන ගීතයක්. වගේම ලස්සන තනුවක්. ෆිල්ම් එකේ මුල් හරියේ වගේ තියෙන ස්වභාව සෞන්දර්යය ඇතුලෙ මේ සින්දුව ඇහෙන කොට ම තේරුණා පොඩි Rock ටච් එකක් තියෙනවා කියල. බලනකොට චිත්‍රාල් වැඩේ ඇතුලේ ඉඳල තියෙනවා. මම කොහොමත් රොක් වලට ආසයි.  

ගිනි ගහන අව්වේ කෑගල්ල ටවුමේ ඇවිදගෙන යන මගේ හිතට ඒ සිංදුව ගෙනාවේ උණුසුම් හැඟීමක්. 'ලොවක් මවනවා' කියන පද දෙකෙන් ගේන්නේ බලාපොරොත්තුවක්. නිපදවන්නේ ආශාවක්. මිලානෝ හෝල් එකේ තමයි ෆිල්ම් එක තිබ්බේ. 'අසන්ධිමිත්තා' ගැන විචාරයක් ලියමින් බ්ලොග් එක අප්ඩේට් කර කර හිටිය මට මේ ෆිල්ම් එක හීනයක් දැක්ක වගේ උනා. 

ඕනිනම් විශ්ලේෂණ උපකරණ (analytical tools) ගෙනැල්ලා මේ ෆිල්ම් එක කුඩු කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්න හිත දෙන්නේ නැති කරුණු කීපයක් තියෙනවා. ඒවා ආත්මීය කරුණු.   

එක පැත්තකින් ඒ හීනයක් වෙන්නේ ෆිල්ම් එකේ කතාව මගේ අතීතය එක්ක සෘජුව ම සමපාත වීම. මගේ පරම්පරාවේ බොහෝ අයගේ ඉතිහාසයත් ඕක ම තමයි. ඇල දොළවල් තරණය කරගෙන නියරවල් උඩින් පැනගෙන ඉස්කෝලේ ගිහිල්ල කිරි අම්මා දුන්න (පහල පළාතේ කියන්නේ ආච්චි අම්ම) සත පනහ රුපියල දෙක සාක්කුවේ දාගෙන ගිහිල්ල මොනවා හරි කඩචෝරු කාල ආපහු එන්නේ මොනවද දවල් ට කන්න තියෙන්නේ කියල බලාගෙන. තිබුණේ කුප්පි ලාම්පු. පොල් අතු වහළවල්. මැටි බිත්ති. හරිම සුන්දරයි. හැබැයි කටුකයි.

කිරි අම්මා කියන චරිතය නැත්නම් අපි බොහෝ දෙනෙක් මෙතන නැහැ. එයා තමයි කතන්දර කියල දුන්නේ, බණ දහම ඉගැන්නුවේ, කොටින්ම  සංකේත පිළිවෙල හැදුවේ. ඒ කියන්නේ හොඳ නරක පිළිබද භාෂාව ඉගැන්නුවේ. අදත් දෝංකාර දෙනවා එයා උගන්වපු දේවල්. 

ෆිල්ම් එකේ කිරි අම්මා එළියට ඇවිල්ල හූණා කෑගැහුවා මොහොතක් ඉඳලා පලයල්ලා කියන කොට අර හැඩි දැඩි පිරිමි එක තැන ඉන්නවා අඩියක් හෙල්ලෙන්නේ නැතුව. එහෙම භක්තියක් තිබ්බා අපේ සමාජයේ වයසක අයට. විශේෂයෙන් වයස්ගත ස්ත්‍රියට.  

මේ අතරේ කැමරාව ඉස්පාසුවක් නැතුව දුවනවා ස්වභාව ධර්මය කැප්ච(ර්) කර ගන්න.  

ලස්සන කඳු මුදුන්, දිය ඇලි, සානු, මිටියාවත් කොච්චර ලස්සන රටක් ද මේක. Nature එක පැත්තෙන් කැමරාකරු මාර වැඩක් කරනවා. 

මේ දවස් වල මම කියව කියව හිටියේ මුරකමි වුනාට මට දිගට ම මතක් වුනේ  කවබතා...ඔලුව පීරි ගාන කෘති දෙකකට පස්සේ (අසන්ධි සහ අප්පච්චි ඇවිත්අම්මෝ නිවන් දැක්කා වගේ. 

එයාල කියන්නේ එයාලට ඕනි කියල ප්‍රේක්ෂකයට නැත්නම් පාඨකයට අභියෝග කරන්න. ඇත්ත තමයි. කෆ්කා වගේ ලේඛකයෝ කියවන එක අභියෝගයක් තමයි. එත් බලන්න ගෝර්කි, අයිත්මාතව්, ගොගොල් වගේ රුසියානු ලේඛකයෝ. එයාල පෙර නොවූ විරූ රසයක් නිෂ්පත්ති කළා.    

මට එක අතකට පුදුමයි මේ මිනිස්සුන්ගේ මනස වැඩ කරන හැටි දැක්කම. හැඟීමක් නැතිව රසයක් නැතුව මෙහෙම පිටු ගණන් ලියන්න හිත හදාගත්ත මේ අය මිනිසුන් වෙන්න බැහැ. මෙයාල අර යුවල් නෝවා හරාරි කියන පසු මිනිසුන් (post-human) වෙන්න ඕනි. සද්ගුරු කියනවා වගේ මේ අය දක්ෂ කපලා කොටලා විශ්ලේෂණය කරන්න (dissect). හැබැයි ජීවත් වෙන්න බැහැ.     

මම ආස ම පොටෝ එකක් තමයි සද්ගුරු නේපාලයේ කඳු මුදුනක භාවනා කරන ලස්සන දර්ශනය. කඳු මුදුන් වලට මම කොහොමත් ආසයි. ඒ වගේ දර්ශන සිය දහස් ගණනක් අපට 'සුළඟ අප රැගෙන යාවි' ගෙන එනවා. මම මේක විල්පත්තුව එක්ක පටලන්නෙ නැහැ. 

ගමේ ලස්සන ඔස්සේ ළමයෙක් වැරදීමකින් වගේ ආපතික ලෙස ලොරියක එල්ලිලා නගරයට එනවා. එයා හොයන්නේ නැතිවෙච්ච 'සුද්දා' කියන (සුදු ස්වාමියා නොවේ) ගොන් වස්සා. එයාගේ ෆැන්ටසි එක ඒක (මේ වචනේ නැතුව හුස්ම ගන්නවත් බැහැ මේ දවස් වල). 'සුද්දා' හරක් හොරු ගෙනිහිල්ලා. ඉතින් මට මේ ෆිල්ම් එකේ තියෙන එකම දේ තමා ෂෙලිනියානු නපුර කියන එක. ඒ කියන්නේ ඒ ළමයට නගරය මුණ ගැසෙන්නේ 'හරක් හොරු' කියන නපුර (evil) ඔස්සේ කියන එක. ඒක හොඳ දෙයක්. ස්වභාවික බවෙන් මිනිසා ඛණ්ඩනය කරන මේ නපුර ට ඕනි නම් දිව්‍යමය ප්‍රචණ්ඩ බව කියල කියන්නත් පුළුවන්. මොකද බය නැතුව කොලොම්බස් වගේ නගරයට ආපු ඔහුට තමා ඇත්තට ම සුද්දා සොයා ගන්න පුළුවන් කම ලැබෙන්නෙත් (ගෙදර හිටපු අයට නොවෙයි). ඒ නිසා අපිට නපුර, සංක්‍රමණය සහ වෙනස ප්‍රතික්ෂේප කරන්න බැහැ.   

නගරයේදී ත් ඔහුට පිහිට වෙන්න දුවක් ඉන්නවා. ඒ කියන්නේ නගරය කියන තැන සම්පුර්ණයෙන් ම නරක තැනක් කරන්නේ නැහැ සිනමාකරු. ඒක ඉතාම වැදගත්. නීටා දේශායි ගේ The Village by the Sea (1982) කතාවත් මේ වගේම යි.   

ෆිල්ම් එකේ තියෙන ගුප්ත කෑලි මොනවා උනත් සිනමාකරු ඉන්නේ මැදුම් පිළිවෙතේ. ඒ කියන්නේ හොඳ සහ නරක අතරේ.  

අර සිංදුවත් එක්ක ගත්ත ම චිත්‍රපටය මට ධනාත්මකයි. ගමෙන් නගරයට එන එක හොඳයි. ඉන් පස්සේ නගරයෙන් ලෝකයට හමන ගෝලීය සුළඟත් නරක් වෙන එකක් නැහැ. අපි හුළඟත් එක්ක යන්න ඕනි. එක තැනක කියල නතර වෙන්න ඕනි නැහැ. සියල්ල එක් නිමේෂයකින් පසු අනික් නිමේෂයට යද්දී විසංයෝජනය වෙනවා. පොඩි දරුවා ගේ නගර ආගමනය විසින් මෙය ඔප්පු කරනවා. ගැමි ලස්සන දැකල අපි තව මිනිත්තුකින් කැමරාව ඔස්සේ කොන්ක්‍රීට් වනන්තරේ දකින්න ගන්නවා. ගමෙන් ඇවිත් පැය කීපයකින් දරුවා දකින්නේ කවදාවත් නොදැකපු කොන්ක්‍රිට් ලෝකයක්. නිව්යෝක් මිටත් වඩා ලොකු කොන්ක්‍රිට් ලෝකයක්. මොන කොන්ක්‍රිට් ලෝක හැදුවත් සියල්ල ශුන්‍යතාවයෙන් (අනිත්‍යයෙන්) කෙලවර වෙන්න නියමිතයි. එත් අපිට ඒ ශුන්‍යතාවය වැළඳ ගන්නවා හැර වෙන කරන්න දෙයකුත් නැහැ. අපි බුදුන් වහන්සේ ගෙන් ගන්නවා නම් ගන්න ඕනි දේ ඒක විතරයි. එතැනදීත් චිත්‍රපටය ගෙන එන 'සුළඟ' කියන රූපකය මට ධනාත්මකයි.

හරුකි මුරකමි එයාගේ මුල්ම නවකතාවේ කියන්නේ 'සුළඟ ගීත කියන නාදයට සවන් දෙන්න' කියල (Hear the Wind Sing). පුදුම හිතෙන තරම් ලස්සන සාන්දෘෂ්ටික නවකතාවක්. අපිට ඒ වගේ ලියන්න බැරි ඉස්පාසුවක් නැති නිසා. ආශා කරන්න බැරි නිසා. 

ඉතින් හුළඟට අහු වෙලා මේ ලෝකේ කොහේ ගියත් විශ්වීය වටිනාකම් එක්ක ඉන්න. ආපහු හැරෙන්න එපා. කියන්න තියෙන්නේ එච්චරයි. 

තමා වැටුන තැන කොතැන හෝ වේවා එතැන නව ලෝකයක් තනන්න.  

----------------------------------------------------------
(මගේ වැඩේ ඉවරයි කියල දැන් මට හිතෙනවා. ඒ නිසාම දෝ මම හොයා හොයා හිටියේ 'සින්තෝමය' බ්ලොග් එක නවත්වන්න ඕනි තේමාවක්. මම හිතන්නේ ඒක මට මේ චිත්‍රපටය ගෙනැවිල්ලා දීලා තියෙනවා. ඕනිම සුළඟක් නවතින්න ඕනි. මොකද මට දැන් මහන්සියි. අනෙක් අතට කිසිදා ලෙහන්න බැරි ප්‍රෙහේලිකා ලෙහන්න කාලය වැය කරනවට වඩා තව දේවල් තියෙනවා කරන්න. බ්ලොග් එකේ ලිපි දෙකක් විතරක් තියෙනවා තව අප්ඩේට් කරන්න. එකක් අසන්ධි අනෙක අප්පච්චි. ඒ විචාර දෙක ඉවර කරන්න ඕනි. ඉතින් ඒකට මම පොඩි කාලයක් ගන්නවා. ඔබට ආයුබෝවන්. බ්ලොග් එක දිගට ම කියවන අය වෙනුවෙන් repository එකක් හැටියට තියෙයි. ගූගල් කට්ටිය කවදාහරි මකනකම් මකන්නේ නැහැ. ඒ අතරේ 'සුළඟ අප කොහේ හෝ රැගෙන යාවි').  

Salute!
මහේෂ් 
(2019 අප්‍රේල් පළමු වැනිදා)