Tuesday, October 10, 2017

සංකේතනය යථාවක් වීම...


ද වනවිට දිනපතා ඇසෙන්නට තිබෙන්නේ එක දෙයකි. එනම් දුෂණය නැවත්වීමට රාජ්‍ය බලය ලබාගත් යහපාලන පාලකයින් නිසි නින්දේ හොරකම කරන ආකාරයයි. ඒ දවස්වල දුෂණය ගැන කතාකළ කිසිවෙක් අද පැත්ත පළාතේ නැත. රනිල් මෛත්‍රී පාර්ශවයන් ගේ කිසිදු වෙනසක් නොමැතිව දිගින් දිගට රාජ්‍ය දේපළ දිගට හරහට කොල්ලකනු ලබයි. අපිට මෙය තේරුම් ගත නොහැකි යථාවකි. එනම් යහපත යයි අප සිතු දෙය තිබුන තත්වයටත් වඩා  නරක අතට හැරීමකි. දකින්නට ඇත්තේ වෙනදාටත් වඩා ඥාති සංග්‍රහය සහ හිතවතුන් පිනවීම ඔස්සේ දුෂණය ඉහවහා යාමයි. සහෝදර සහෝදරියන් දු පුතුන් එකට එක්ව හොරකම් කිරීමයි. අපිට මේ සිදුවෙමින් යන්නේ කුමක්ද? ඇතැම් විචාරකයෙකුට අනුව 'ඥානවිභාගාත්මක භින්නොන්මාදයක්' (epistemological schizophrenia) ඇතිකළ හැකි මෙම පරස්පර තත්වය  ඇත්තටම පරස්පර යමක් නොව අප අපේක්ෂා කල යුතු දෙයකි. ඇත්තටම සිදුවන්නේ එනම් යථාර්තය යථාව බවට පෙරළීම නම් වෙළුම (twist) අපට සම්මුඛ වීමයි. අප අමතක කල දෙයක් නැවත අපටම හමුවීමයි. අප යහපත් යැයි සිතු සංකේතනය තුලින්ම යථ ඉස්මතු වීමයි. එනම් දෙවියන් යක්ෂයා බවට පෙරලීමයි.  Hitler: The Rise of Evil (2003) නම් චිත්‍රපටය අපට බලද්දී පැහැදිලි වන්නේ එය නොවේද?

විසිවන සියවසේ එදිනෙදා ජීවිතය වසාගෙන සිටි පොත්ත අප ඉවත් කර බැලුවහොත් අපට මුණ ගැසෙන්නේ යථාවයි. දහ නව වන සියවස පුරා පැතිර ගොස් තිබුණේ නව මනෝ රාජිකයක් පිළිබද සිහිනයයි. කතිකාව තුල තිබුණේ මාක්ස්වාදය, ලිබරල්වාදය, පුද්ගල නිදහස, ව්‍යවස්ථා කෙටුම්පත් පිළිබද සංවාදයකි. නමුත් එම පොත්ත හිට්ලර් විසින් ඉවත් කර ජාතීන්ගේ තරඟකාරී අරගලය ඉස්මත්තට ගෙනෙන ලදී. එයින් සියල්ල වෙනස් වී ගියේය. යථාර්තය වෙනුවට ඔහු යථාවේ නියෝජනය බවට පත් විය. ලංකාවේද යහපාලනය මුලින් කතා කලේ ව්‍යවස්ථාව වෙනස් කිරීම, විධායක බලය අඩුකිරීම, ජාතීන්ගේ අයිතිය සුරැකීම, ජනමාධ්‍ය නිදහස, පුද්ගල නිදහස වැනි මාතෘකා ය. අද එම මාතෘකා කතිකාවෙන් ඉවත් වී ඒ තැනට විධායක බලය දිගටම තබා ගැනීම, චන්ද දිගින් දිගටම කල් දැමීම, තම හිතවතුන්ට දිගට හරහට කෝටි ප්‍රකෝටි ගණනින් සැලකීම, සහෝදරයින් ලාභ ලබන තැන්වලට පත් කිරීම වැනි ඒකාධිපති ගමනක පෙරනිමිති දකින්නට ඇත. හිට්ලර් ගොබෙල්ස් හරහා කළා සේම වන්දි භට්ටයන් හරහා පුද්ගල අභිනන්දන ගායනා කරගැනීමද සුලබ දසුනකි. එවන් අභිනන්දන කියන අය හට සන්නිවේදන සංඛ්‍යාත නොමියලේම ලැබේ. මුදල් ගරා ගැනීමට පහසුකම්ද ලැබේ. මේ සියලු රෝග ලක්ෂණ නව සමස්තතාවාදයක (totalitarianism) නැගීමක පෙරනිමිතිය. රාජපක්ෂ රෙජිමයෙන් කිසිවක් වෙනස් නැත. සියල්ල ඒ ආකාරයෙන්ම ඉදිරියට යයි.  බටහිරට ද අවශ්‍ය තමාට කීකරු ඒකාධිපතියන්ය. නමුත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයයේ භාෂාව කතා කරනවා නම් වඩාත් හොදය.    

            ෆැන්ටසිය ක්ෂිතිය යථාව ෆැන්ටස්මතිකය 

ඕනෙම මොහොතක අපගේ ෆැන්ටසිය විසින් අපටම යථාවක් විය හැකි දෙයක් නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාවය සහිතය යන්න අප අමතක කල යුතු නැත.  එක නිශ්චිත නිමේෂයක ජර්මන් ජාතියේ ෆැන්ටසිය බවට පත්වූ හිට්ලර් එක්වරකම රාක්ෂ වෙස් ගත්තේය යන්න අපගේ ඉතිහාස පාඩමයි.  නොබෙල් තෑග්ග දිනු සන් සුකී බුරුමයේ කලේ කුමක්ද? මුස්ලිම් ජාතිය අතුගා දැමීමට කටයුතු කිරීමයි. ජිජැක් සඳහන් කරන්නේ ෆැන්ටසිය සහ ක්ෂිතිය අතර ඇත්තේ කෙස් ගසක දුරක් බවයි.  ක්ෂිතිය ඊළගට ගමන් කරන්නේ ෆැන්ටස්මතිකය වෙතය. සංකේතිය ලෝකයේ හොදින් කතාබහ කරමින් -ආදරය කරමින් -හිතවතුන්ට උදව් පදව් කරමින් -පාටි දමමින්-විෂාදයට බෙහෙත් බොමින්  සිටි මිනිසෙක් එක්වරම බෙහෙත් පෙති බීම පසෙක තබා ලොස් ඇන්ජෙලිස් හි කුළුණක් උඩට නැග තුවක්කු දහයක් පහළොවක් රැගෙන දිගට හරහට වෙඩි තැබීමට පටන් ගනී. මෙතෙක් ඔහු අත තිබු සහ අප අත ඔහු ගැන තිබු සිතියම් සියල්ල ඔහු වෙනස් කර දමයි. පුනරුද ආලෝකයෙන් එකවිටම මිනිස් විෂය උමතුව කරා ගමන් කරයි. උමතුවේ නිශේදනය ඔස්සේ පරිකල්පනයටත් පරිකල්පනය ඔස්සේ සංකේතනය වෙතත් මිනිසා නිරන්තර යෙන් මාරුවෙන් මාරුවට ගමන් කරයි. ප්‍රමෝදයෙන් මරණය වෙතත් මරණයෙන් අමරණිය බව වෙතත් ඔහුට ගමන් කල හැකිය.  සියල්ලට මුල් වන්නේ මරණ ආශයයි (death drive). මනෝ විශ්ලේෂණයේ සිතියම් විද්‍යාව යනු එයයි. එම සිතියම් විද්‍යාව අපට තේරුම් ගැනීම මෛත්‍රිපාල විසින් පහසු කරනු ලැබ ඇත. ඔබට ස්තුතියි!  

No comments:

Post a Comment