Monday, August 15, 2016

‘අපේ ගම’ නම් ශූද්ධ ෆැන්ටසිය තුලින් මතුවූ නො-කප්පාදු අශූද්ධ අවතාරය : ‘ඹබර වලල්ල’

නුතන ලෝකයේ ශිෂ්ටත්ව මනෝරාජිකය  තුළින් ඉස්මතු වූ ආපතික බව වනාහි නාසිවාදය සහ ස්ටාලින්වාදයයි.  

1977 න් පසු ලංකාවේ කළු පාතාල ආර්ථිකයට ග‍්‍රාමීය තරුණයින් අවශෝෂණය කර ගන්නා වූ ක්ෂිතිමය  අවකාශය පිළිබදව හා එම තරුණයින්ට තම පැවැත්ම සාක්ෂාත් කර ගැනීමෙහි ලා අනන්‍යවීමට සිදුවන  නපුර  පිළිබද නිර්-දෘෂ්ඨික (de-ideologized) කියවීමක් ලෙස අතුල ලියන්ගේ විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මිට වසර කිහිපයකට පෙර තිරගත වූ  බඹර වලල්ල’ චිත‍්‍රපටය හදුන්වා දිය හැකිය.  මානවීය සමාජයක් බිහිකර ගැනීමට අපොහොසත් වූ පශ්චාත්-නිදහස් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය තරුණයින් නියෝජනය කරන සංක‍්‍රාන්තික පංතිය ලාංකික සමාජය කොතරම් ත‍්‍රස්ත කරමින් පවතී ද යන්න පිළිබදව මනා හැගවුම්කාරකයක් ලෙස ද මෙම චිත‍්‍රපටය අපට කියවිය හැක.  ග‍්‍රාමීය පදනම් වලින් මතුවූ මෙම ජන කොටසේ තරුණ කොටස් කළු පාතාලය හරහා ද තරුණිය වසගය හරහාද ලාංකික සමාජය මත ඇති කර ඇති ක්ෂිතිමය-ත‍්‍රස්තයේ (traumatic terror)  පුරුෂ අර්ධය මෙම චිත‍්‍රපටයේ කථනයට හසුවේ (ටැරන්ටිනෝගේ චිත්‍රපට වල මෙන් අනෙක් අර්ධය අවශ්‍ය නම් භාෂි මධුභාෂිනී ට වේදිකා ගත කළ හැකිය). ඉතාම කෙටියෙන් කිවහොත් ලාංකික පුරුෂ-වීපරීත-මර්වියානුකරණයේ ද්‍රව්‍යමය පසුබිම පිළිබද දළ අදහසක් මේ චිත‍්‍රපටය තුලින් පේ‍්‍රක්‍ෂකයාට දැක ගත හැක. වඩාත් අනුභූතිකව ගතහොත් පියාගේ පලිය ගැනීම සඳහා නම් වූ අශ්ශීල වස්තුව (object a) උකසට තබා  හිරුණිකා ට මේ පුරුෂ රූපකය වේදිකා ගත කළ හැකිය (ඕනෙම ප්‍රශ්නයකදී ඇය ඉස්මත්තට රැගෙන එන්නේ මෙම පියාගේ 'කතා වස්තුවයි'). මන්ද හැමෝම තමා ට කුඩාකාලයේ සිදුවූ පුද්ගලික අසාධාරණයක් මේ දිනවල චරිතාපදාන ලෙස ඉදිරිපත් කරමින්, උත්කෘෂ්ට කරමින් ඇති නිසා ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවක් සඳහා වූ 'නෛතිකකරණය' (legitimacy) ඒ ඔස්සේ ලබාගැනීම මේ යුගයේ ජයට ම සිදුකරමින් පවතී.  

ප‍්‍රථම කොටම චිත‍්‍රපටයේ තේමාව වන අමුඩයෙන් ඩෙනිමටයන පැරණි X කණ්ඩායමේ තේමාව හරහා චිත‍්‍රපටය ෆැන්ටසිකරණය කරන්නා හට හමුවන්නේ ඩෙනිම් හැද මොඞ් වූ ඩිජිටල් තාරුණ්‍යය නොව අමු අමුවේ අශ්ශීල ඝාතනය හා සම්බන්ධ වූ ක්ෂිතිමය යථකි. ඒ අනුව X විනෝදයෙන් චිත‍්‍රපටය බැලීමට එන කෙනාගේ විනෝදය අහිමි කරයි (හිටපු X සාමාජිකයින් ඩෙනිමෙන් අමුඩය ට අපගමනය වනවිට-ජාතිවාදය දිශාව ට මෙන්ම පසුගාමී වාමවාදය දෙසට විතැන් වන විට).  මේ චිත‍්‍රපටය යම් දුරකට විචාරක බැටකෑමට හේතුවත් එයයි. චිත‍්‍රපටය තුල ග‍්‍රාමීය අමුඩය ද නාගරීක ඩෙනිම ද යන දෙකම නිශ්චිත හැගවුම් පේ‍්‍රක්‍ෂකයා තුල ජනනය නොකළ ද (ඇත්තේ කැසපට ගැසූ සරම හා නිකම් කලිසමකි) ගමෙන් නගරයට සංක‍්‍රමණය වීම යන කරුණ චිත‍්‍රපට කරුවා සම්බන්ද කරන්නේ ඉතාම යතාර්ථවාදී අරමුණක් සහිතවය.  නැතහොත් සෞන්දර්යකරණය වූ ආකාරයට නොවේ.  පිළිවෙලක් නැත.  ඔහු පොඩි එකා කොළඹ යවනවා වෙනුවට ඇඹිලිපිටියට ආසන්නයේ උප නගර කිහිපයක සංක‍්‍රමණය කරවයි.  ඇඹිලිපිටිය, දඹුල්ල, මොනරාගල වැනි තැන් කොළඹ කලූ සේවා ආර්ථිකයට ශ‍්‍රමිකයන් හා ද්‍රව්‍යමය භාණ්ඩ (ගංජා, උතුර හා නැගෙනහිරින්  ගිණි අවි වැනි) සපයන ප‍්‍රධානම මංසන්ධි වේ.  ඒ අනුව පොඩි එකා ට ඊළඟට සංක‍්‍රමණය වීමට ඇත්තේ කැළණිය ට නැතහොත් මාලිගාවත්තටයි.  චිත‍්‍රපටය තුළ අප දෘෂ්ටිමය වශයෙන් සැලකිල්ලට ලක් කළ යුත්තේ ලාංකික සන්දර්භය තුල මේ සංක‍්‍රාන්ති තරුණයින් තම පැවැත්ම සදහා 'නපුර' සමග අනන්‍යවන්නේ ඇයි යන්න ගැන නොව එසේ වන්නේ කුමන ආකාරයකින් ද යන්නයි.   කෙසේ වුව ද චිත‍්‍රපටය තුලින් මතුවන ලාංකීක යථාර්තයන් කවරේ ද යන්න මතුකර ගැනීම තුලින් යම් දේශපාලන අර්ථයක් චිත‍්‍රපටයට ලබා දීම හැකිවේ.  එය අද දවසේ දිග හැරෙන අසාධාරණ ක‍්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය ද්‍රව්‍යමය හා මතවාදී සාධක සමග ගලපා ගැනීමට හැකිවූවොත් පමණක් අතුලගේ ව්‍යායාමය ප‍්‍රයෝජනවත් විය හැකිය.

පියෙක් නැති, අශිෂ්ඨ බාප්පා කෙනෙකුගේ ලිංගිකත්වය හරහා ක්‍ෂිතිමය ස්මෘතියක් දල අහිමිවු ළමා කාලය සිරගෙදර දක්වා ගමන් කරවූ බාප්පාගේ මරණයේ ඝාතන ආශය (killer drive) හා සම්බන්ධ  තත්භාවී-නපුර ද (Id-Evil)  සමග  සංකේතීිය නොවූ අසංස්කෘතික ග‍්‍රාමීය විශ්වයක සැරිසරන පොඩි එකා චිත‍්‍රපටය මුල් භාගයේ දී අපට පෙන්වන්නේ තනිකරම සත්ව ආශය (animal drive)  හා අනන්‍ය වෙමිනි.  ඔහුව ශික්‍ෂණය කිරීමට මවක්, සංකේතීය පියෙක්, අධ්‍යාපන-ශික්‍ෂණ ආයතනයන් හෝ අවම වශයෙන් ආදරයේ භාෂාව හසුරුවන ස්ත‍්‍රීයක් හෝ හමු නොවේ.  පොඩි එකා 'ලොකු කිරීමට' අවශ්‍ය භාෂා විශ්වය හා සංකේතනය ඔහුට අහිමි වී යයි.  මෙතන දී විශාල කාර්යයක් කළ හැකි ශිෂ්ටකරණ ආයතන ලංකාවේ කොතරම් දුර්වල ද යන්න පිළිබ`ද මනා අවබෝධයක් සිනමාකරු අපවෙත ගෙන එන්නේ පොඩි එකා සම්පුර්ණයෙන්ම අම්බරුවන් සමඟ එකට තබමිණි.  මේ අනුව පොඩි එකා ස්වභාවධර්මයෙන් හා එහි අනිවාර්යය නපුරෙන් භාෂාමය සංකේතනයක් හරහා ඛන්ඩනය වන්නේ නැත.  ඒ නිසා ඔහු නිීතියේ සංකේතනය නොහොත් මහා අනෙකා පිළිබද අවබෝධයක් නැත්තෙකු බවට පත්වෙයි (මර්වියානුකරණය).  මෙහි දී නීතිය යනුවෙන් අදහස් කරන්නේ ස්වභාවධර්මය හික්මවීම සදහා ඇති යමකට වඩා ස්වභාවධර්මයේ සිට සංස්කෘතියට මිනිසා ගමන් කරවීමේ දී ඇති ස්වභාවධර්මයේ නපුරේ අතිරික්තය (excess of evil) හික්මවීමට ඇති අවියක් ලෙසයි.  එනම් මිනිසා තුල ස්වභාවිකවම ඇති තත්භාවී-නපුර විසින් ශිෂ්ටකරණයේ නීතිරීති (පියාගේ නීතිය) ඉක්මවා යෑමට නොදීමයි.  නැතහොත් මිනිසාගේ සත්ව ආශය (ප‍්‍රමෝදය) සීමා කිරීමයි (සංකේතීය කප්පාදුව symbolic castration) අධ්‍යාපන ශිෂ්ටකරණයේ (නීතියේ) අරමුණ මෙම රැඩිකල් නොහික්මුණ බව (radical unruliness) හික්මවා සමාජයේ සමස්ත එකගතාවයන් හා සම්මුති ලෝකයට මිනිසා අනුගත කර ඔහුට සතුට/තෘප්තිය ලැබිය හැකි ජීවියෙක් බවට පත් කිරීමයි.  එසේ සත්ව සහජයේ ඛන්ඩනයක් සිදු නොවුනොත් අනිවාර්යය ලෙස මිනිසා ස්වයං-විනාශකාරී (self-annihilation) මරණ ආශයක් දෙසට ගමන් කරයි.  ලාංකික සංක‍්‍රාන්තික පංතිය මේ මොහොතේ ගමන් කරන්නේ මෙම ස්වයං-විනාශය දෙසට නොවෙද?

සංකේතනය අහිමි වූ පොඩි එකා අපට මුණ ගැසෙන්නේ මෙම ස්වයං-විනාශකාරී සත්ව සහජය සමඟය.  නැතහොත් පොඩි එකා යනු සංස්කෘතිකකරණය මඟහැරුණු ස්වභාවධර්මයෙහි නෛසර්ගික නපුර හා යථ සමයි.  ලාංකික යතාර්ථයක් තුල සංස්කෘතිකරණය කරන අතරමැදියා අතුරුදහන් (vanishing mediator) වී ඇති බැවින් හා ඇතැම් ශිෂ්ටකරණ ආයතන එහි සැබෑ අර්ථයෙන් බිහි වී නැති බැවින් මෙම පොඩි එකාගේ පැවැත්ම පේ‍්‍රක්‍ෂකයාට යථක් බවට මෙන්ම ක්ෂිතියක් බවට පත්වේ.  ඔහු ගමන් කරවන සත්ව ආශය තුලින් සමාජය ත‍්‍රස්තකරණය කරයි. පශ්චාත් 1977  යුගය නිර්-සම්ප‍්‍රදායිකකරණයේ (de-traditionalization) අනිවාර්ය අංගයක් වන විට මිනිසා නව ද්‍රව්‍යමය තත්වයට සද්භාවි ලෙස අනුවර්තනය (ontological adaptation) කල යුතුවූ අතර සම්ප‍්‍රදායික මිනිසාගේ අභ්‍යන්තර ස්වභාවය (inner nature) වඩා ආචාරධාර්මික (moralize) කිරීම සදහා මහා සාමාජීය සහතිකවිමක් (meta-social guarantee) තිබිය යුතු වුවත් අපගේ ඌණ සංවර්ධිත ලෞකික ආයතන එයට සමත් නොවීය. ආගම තුලින් කරනු ලබන්නේ මිනිසා යථාර්ථ යෙන් දුරස් කර තැබීමයි.

මෙම ක්‍ෂිතිමය යථ සමාජය මත ජනිත කරණ අනෙක් චරිතය නම් පොඩි එකාගේ මවයි.  තමාව විනාශ කල, තමාට ආදරය අහිමිකල, තම දරුවන් විනාශ කළ පුරුෂ සමාජය පුරා කතිර අදිමින් (කතිරය = වධය) ඇයගේ දුක්ඛිත පැවැත්ම පිළිබද අප තුල ක්ෂිතියක් ජනනය කරයි.  ගෙයි බිත්තියෙන් පටන් ගන්නා ඇය තම කතිරය පාලම්, බොක්කු, මහපාර පුරා අදිමින් තම විනාශය සාමාජීයව සංකේතවත් කරයි.  මිනිසුන් පාර පුරා ඇය කතිර අදින අයුරු බලා සිටින්නේ තම සමාජීය වරදකාරීත්ව ද දරා සිටිමිනි.  ඒ ගැන ද හෘද සාක්‍ෂියක්, ලාංකිකයාට ඇත් ද යන්න වෙනම ගැටඵවකි.  වඩා හොද ලෝකයක් ගැහැණියට උරුම කිරීමට නොහැකි වූ කාලකණ්ණි පිරිමි සමාජය ඇය අවිඥාණිකව භ‍්‍රාන්ත කරන්නේ  ඒ අයුරිනි.  ඇතැම් විචාරක විචාරිකාවන් නීටා ප‍්‍රනාන්දු මව ලෙස රගපාන චරිතයේ තාක්‍ෂණික දෝෂ මත එල්ලීගෙන සිටිය ද වැදගත් වනුයේ ඒ චරිතය තුලින් මතු කරවන සමාජීය හැගවුමයි.

තවදුරටත් අපේ ගම තුලින් නිෂ්පාදනය වන්නේ සුන්දර, අහිංසක, නිර්මල රොමැන්තික ගැමි කමක් නොව එහි නෛසර්ගික නපුරේ සැබෑ ම ත‍්‍රස්ත‍්‍රකරණීය ශරීරයයි. අපේ ගමනම් සුසාංග‍්‍රහිත සමස්තකරණය (harmonious totality)  සාමාන්‍යකරණය  කරන්නේ  එයින් අශිෂ්ට අර්ධය බාහිරකරණය කරමිනි. බාහිරකරණය කරණ ලදල පැවැත්ම අවලංගු කළ වස්තුව අවතාරමය පැවැත්මකින් යුතුව  නැවත ප‍්‍රාදුර්භූතවීම චිත‍්‍රපටයේ කතිකාවයි.  ශූද්ධ ෆැන්ටසිමය (Fantasy 1) හා පරිකල්පනීය අපේ ගම කතිකාව තුල භාෂණය නොවන, මර්ධිත, බහිස්කරණීය කොටස වන එහි කළු - කැත අර්ධය ද (අශිෂ්ඨ බාප්පා, පිස්සු මව, ලොකු නොවන පොඩි එකා) ඇතුලත් වන  සමස්තය අපේ ගම පිළිබඳ පරිකල්පනීය ගොඩනැංවිම් ඉක්මවා ගොස් ඒ පිලිබඳ භෞතික අවබෝධයක් ලබා ගැනීමට වඩා ඉවහල් විය හැකි වන බව දැක්විය හැකිය. 

ෆැන්ටසිය දෘෂ්ඨිමය තත්වයක් යටතේ ක්‍රියාත්මක වන්නේ සැබෑ තත්වය තුල පවතින සංත්‍රාසය (horror) නොපැහැදිලි කරමිනි. එය අප සමාජය තුල පවතින ප්‍රතිවිරෝධතා පිළිබඳ සත්‍ය විස්තරයක් රැගෙන එනවා වෙනුවට ඒකමතිකත්වයේ හා සහයෝගයේ බලවේග කරන කොටගෙන එක්සත්භාවයක් ලෙස පවතින ඓන්ද්‍රීය සමස්තයක් වශයෙන් සමාජය පිළිබඳ සංජානනයක් අප වෙත රැගෙන එනු ලබන්නේ ගම නම් ෆැන්ටසිය තුලම දිගු කලක් පැවති මහින්ද රාජපක්ෂ වැන්නෙකුගේ සත්‍ය පැවැත්ම මකා දමමිනි. මෙම තත්වය ජිජැකියානු අර්ථයකින් හැඳින්වුවහොත් එය 'ප්‍රතිඝතාවයේ ගුප්ත ප්‍රබන්ධය' (The Narrative Occlusion of Antagonism) ලෙස අපට දැක්විය හැකිය. එහිදි ෆැන්ටසි ප්‍රභන්ධය විසින් ප්‍රතිඝතාවය නොහොත් සත්‍ය පසමිතුරුතාව අවහිර කරනු ලබයි (සුළු ධනේශ්වර මැද පන්තික). උදාහරණ වශයෙන් බඹර වලල්ල’ චිත්‍රපටය විසංයෝජනය කරන්නේ ගම පිළිබඳව අප තුල ඇති ශුද්ධ වු පරිකල්පනයයි. නැතිනම් ඒ පිළිබඳව ඇති පොදු කතිකාව විසින් ඉස්මතු නොකරන ගම තුලම ඇති අශ්ශිල බිම්ගත පැවැත්මයි. මෙතනදී ගම පිළිබඳ ලස්සන කතිකාව මෙන්ම එහි අශ්ශීල අර්ධයද පැහැදිලිව විද්‍යාමාන විය යුතුව තිබුණ ද ඇත්ත වශයෙන් පසුගිය දශක දෙකක් පමණ කාලය තුල ඉස්මතු වු ගම මුල්කරගත් නොස්ටැල්ජික අතීතකාමය නම් කතිකාව තුල ඉස්මතු වුයේ එක් අර්ධයක් පමණි.

මීලග වැදගත් චරිතය නම් මැල් මහත්තයාගේ ශිෂ්ට හා අශ්ශීල දයලෙක්තික පැවැත්මයි.  වැදගත් බිස්නස්කාර මහත්මයෙක් ලෙසට ලොවට පෙනෙන ඔහු තුල සමාජ-විරෝධී (anti-social) වෛරී මෙන්ම කෲර පලිගන්නා ස්වභාවය ඇතුලත් ඔහුගේ අ`දුරු පැවැත්ම තම සමීපතමයන් තුල පමණක් ඇති දැනුමක් ලෙස චිත‍්‍රපටකරුවා අප වෙත ගෙන එයි.  ස්ලෙවොජ් ජිජැක් නම් මනෝ විශ්ලේෂකයා මෙම දයලෙක්තික පැවැත්ම මිනිසාගේ හා ශිෂ්ටාචාරයේ සමස්තය නිර්මාණය වී ඇති දයලෙක්තික අන්ත දෙක බවට නිර්වචනය කරයි.  එනම් මැල් මහත්තයා තමා බාහිර ලෝකයට පෙනීමට සලස්වා ඇති ශිෂ්ට රූපය නම් ප‍්‍රථම පෙල ෆැන්ටසිය (F1) පවත්වා ගෙන යෑම සදහා ඔහුගේ කැත-අශිෂ්ඨ-අශ්ශීල දෙවන පෙල ෆැන්ටසියට (F2) ද්‍රව්‍යමය ලෙස වන්දි ගෙවීමට සිදු වේ.  මෙම අශ්ශීල, කැත පැවැත්මහි ද්‍රව්‍යමය වන්දිය (material compensation) විසින් පවත්වා ගෙන යන ශිලාචාර ප‍්‍රථම ෆැන්ටසිය පිළිබද වැදගත් අවස්ථාවකි The Silence of the Lambs චිත‍්‍රපටයේ එන හැනිබල් චරිතය.

උදාහරණ ලෙස සාමයේ ෆැන්ටසිය පවත්වා ගෙන යෑම සදහා යුද්ධය අත්‍යවශ්‍ය වේ.  ලාංකික සමාජයේ සුසාංග‍්‍රාහික සමස්තකරණ ක‍්‍රියාව සදහා ද්‍රවිඩ බාහිර සතුරා මත ප‍්‍රචණ්ඩත්වය පවත්වා ගෙන යෑම අනිවාර්යයක් වේ.  මෙහි දී මැල් මහත්තයාගේ අශ්ශීල දෙවන පෙල ෆැන්ටසියේ ද්‍රව්‍යමය ගොදුර බවට කුමාරි, පොඩි එකා, රළහාමි යන අය පත්ව සිටී.  ඔහුගේ මෙම ශිෂ්ට අර්ධය පාවිච්චි කරමින් පොඩි එකාගේ ස්වාමි හැගවුම්කාරණය වීමට මැල් සමත් වේ.  මැල් මහත්තයා හිත හො`ද මිනිසා යැයි තේරුම් ගන්නා පොඩි එකා ස්වාමි-සේවක සම්බන්ධයක් තුල ඝාතන වැලකට සම්බන්ද වේ.  නමුත් ඔහුගේ අශ්ශිල ජීවිතය හරහා පොඩි එකාට නැවත මෙම සම්බන්දය දෙස හැරී බැලීමට  හා තමා ද කවදා හෝ මරා දමන බවට ඔහු තේරුම් ගැනීමට පේ‍්‍රරණය කුමාරි නම් ස්ත‍්‍රී ශරීරයයි.  මැල්ගේ යථපිළිබදව පොඩි එකාට හෙළිදරව් වන්නේ කුමාරි හරහා යි.  ඇය ගෙන එන මෙම දැනුම හරහා කුමාරි තුල ඇති සාරය (essence) කුමක්දැයි යන්න සෙවීම මෙම සම්බන්දයේ පදනමයි. කෙසේ වුව ද මැල් චරිතය ලාංකික ක`ඵ පාතාල ආර්ථිකයේ සත්ව සහජයේ පැවැත්ම පිළිබද දයලෙක්තික එළිදරව් කිරීමක් කිරීමට එක්තරා දුරකට අතුල සමත් වී ඇත.  මැල් ඉතා දක්ෂ ලෙස පොඩි එකාගේ ස්වයං-විනාශකාරී සහජය පාවිච්චි කරන අතර පොඩි එකා ඔහුගේ භාෂා විශ්වය තුලට ඇතුල් කර තම ක`ඵ ආර්ථිකයේ පැවැත්ම තහවුරු කර ගනී.  කෙසේ වුව ද තමා ද මෙම ක‍්‍රියාවලිය තුල මරණයට කැප වී සිටින බව පොඩි එකා ආනුභවිකව තේරුම් ගනී.  එහෙත් තම ස්වයං-විනාශකාරීත්වය තුල එයින් ගැලවීමට ආශාවක් ඔහු තුල දක්නට නොලැබේ.  අවසානයේ මැල් ඝාතනය වන්නේ රාළහාමි අතින් මිස පොඩි එකා අතින් නොවේ.

අනුරාධපුර පොලොන්නරුව හැරුණා ම මීලගට වඩාත්ම දුෂ්කර වඩාත්ම ග්‍රාමීය ප්‍රදේශය ලෙස මිට දශකය කට පමණ පෙර හදුනාගෙන තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්ක යයි. පලු වීර ගස් මැදින්- බෝවිටියා මාදන් ඇඹුල් පේර ගස් අතරින්-  නිල්වන් කුඹුරු යායෙන් ගලා එන කවි සීපද මැද්දෙන්- ඈතට දිස්වන පන්සලේ සිල් සුවද මැදින් ඝන්ටා රාවය අතරින් ඇසෙන දර්මස්කන්දය ඔස්සේ මැදමුලනින් ඉස්මතු වුවේ මහින්ද රාජපක්ෂ නම් අත්තනෝමතික පුර්ව නුතන ශරීරයයි. එමනිසා පළමු පෙළ ශිෂ්ට ෆැන්ටසිය (F1)අනුබල දුන්නේ සත්‍ය වශයෙන් එහි දෙවන පෙළ ෆැන්ටස්මතිකය හි (F2පැවැත්ම සාදනය කරනු පිණිස ය යන්න ලාංකික අනුභූතික උදාහරණය යිනව-නාසිවාදය මෙම ෆැන්ටස්මික අතීතකාමී අපගමනය තුළ මැනවින් අන්තර්ගතවී ඇති බවට තව උදාහරණ කුමටද? එය නුතනවාදයේ  විරුද්ධා භාශයක් ලෙස අප පශ්චාත් නුතන සන්දර්භයක සිට තේරුම් ගත යුතුය, නමුත් ඒ නිසාම නුතන ව්‍යාපෘතිය අප අතහැර දැමිය යුතු නැත.  දේශපාලන ව්‍යාපාර මේ පිලිබද වහ වහා  දැනුවත් විය යුතු අතර බටහිර මෙන්ම පෙරදිග ද සමාජ තුළ මුල්බැස ගෙන ඇති 'සමස්තතාවාදී ශක්‍යතා' (totalitarian potentials) තාමත් පුර්ණ වශයෙන් අවසන් වී නැත.    

ජේම්සන් (1986) සඳහන් කරන ආකාරයට තුන්වෙනි ලෝකය තම පුද්ගලික ජිවිතයෙන් විශාල ආයෝජනයක් ප්‍රතික්‍රියා දේශපාලනය වෙනුවෙන් කරනු ලබයි. නමුත් බටහිර ආත්මය විශාල වශයෙන් තම සාංදෘෂ්ටික පැවැත්ම ගැන වූ සාහිත්‍යක් වෙනුවෙන් වෙහෙසෙයි. මේ ලෝක දෙක අතර වෙනස අහස සහ පොලොව මෙනි. සංගීතය, චිත්‍රපට, දර්ශනය සහ ක්‍රීඩා ව වෙනුවෙන් ගතකරන ඔවුන්ගේ කාලය විසින් දියුණු පරිකල්පනීය මිනිසෙක් බිහිකරනු ලැබ ඇත. තුන්වැනි ලෝකයේ අප ඉතාම නොවැදගත් දෙය වෙනුවෙන් පවා ප්‍රතිචාර දක්වමින් අපගේ  ආත්මය නිර්මාණය කර ගැනීමට ඇති කාලය නිෂ්ප්‍රයෝජන දේශපාලනයක් වෙනුවෙන් කැපකරමින් සිටිමු.  අපගේ 'දිනපතා ජීවිතය' (ජේම්සන් ගේ සහ හබමාස් ගේ වචනය) කිසිදු තේරුමක් නැති ප්‍රතිචාර (reactions) වෙනුවෙන් වැයවෙයි. විශේෂයෙන් උසස් අධ්‍යාපනය රැඩිකල් වාමවාදීන් අතට පත්වූ මොහොතේ පටන් එය පුර්ණ වශයෙන් විනාශ වෙමින් යයි. එම අර්ථයෙන් පොඩිඑකා යනු පශ්චාත් යටත්විජිත 'අපොහොසත් භාවයේ' (failure) තාර්කික නිර්මාණයකි. "තුන්වන ලෝකයේ සමාජය එක් අතකින් සම්ප්‍රදායික ගෝත්‍රික සමාජය  සහ එම ආසියාතික නිෂ්පාදන මාදිලිය විසින්ද  අනෙක් අතින් අධිරාජ්‍යවාදයේ නිලධාරිවාදය විසින්ද ප්‍රාග්ධනය සහ ග්‍රෝතික වාදය අතර 'සන්ජෛවයක්' (symbiosis) ඇතිකර ඇත" යනුවෙන් ජේම්සන් නිර්වචනය කරයි (1986: 68).  මෙම ග්‍රෝතික නිලධාරිවාදය සඳහා හොඳම උදාහරණය ලෙස ලාංකික වෛද්‍ය වෘත්තිකයින් දැක්විය හැකි අතර නිෂ්පාදන මාදිලිය සඳහා රාජපක්ෂ පවුල්වාදය දැක්විය හැක. මෙම ද්විත්ව උගුල තුළ සිරවී සිටින අපට දිනපතා අත්දැකීමට ලැබෙන්නේ කුමක් හෝ නපුරක් අදිනිශ්චය වීම මතින් ජනප්‍රිය රුපවාහිනී තිර දෙවනත් කරමින් අප දිනපතා ජීවිතය ක්ෂිතිමය කරන්නාවූ පොඩිඑකා ලා පොඩිඑකී ලාය (කොන්ඩයා, පිස්තෝල නගරාධිපති, ඩිෆෙන්ඩර් හිරුණිකා...).

අධ්‍යාපනය මතු නොව අතට අහුවන ඕනෑම මගුලක් දේශපාලනීකරණය කරමින් ඇති ලාංකික වාමවාදීන්ට ඉතාම වැදගත් විය හැකි බරපතළ අදහසක් ජෙම්සන් මෙසේ සාරාංශ ගත කරයි, 'අතුපැලක ජිවත් වූ පමණින් ඒ ගැන ලජ්ජාවිමට හේතුවක් නොතිබුණද කිසිදා නාගරික ජිවිතයේ සංකීර්ණතා, කම්කටොළු සහ අපේක්ෂා භංගත්වයන් වලට මුහුණ දී නැතිවීම ආඩම්බර වීමට කරුණක්ද නොවේ. නමුත් නාගරිකත්වයේ බටහිර මිනිසා අත්දකින විකෙන්ද්‍රිය සහ ඛණ්ඩිත ස්වරුපය විසින් අවම වශයෙන් ජනනය කරන්නාවූ විගලිතභාවය ඔස්සේ නව සංස්කෘතියක් ගැන සිතීම ට අවකාශයක් හෝ ශේෂ කරයි. නාගරිකත්වය තුළ ජිවත් වෙමින් ලබාගන්නා වූ පුද්ගලික අත්දැකීම් මත පදනම් කරගත් සංස්කෘතික ඒත්තු ගැන්වීම් (cultural convictions) වල පුහුණු වී සිටින බටහිර මිනිසා ආර්ථික විද්‍යාවේ සහ දේශපාලන ගතිකයන් ගේ වියුක්ත භාවයෙන් අසමමේය වේ. මෙවන් තත්වයක් තුළ අපගේ නවකතාවක් මැදට දේශපාලනය පැමිණීම යනු, පුද්ගලික හා ප්‍රසිද්ධ ජීවිතය අතර රැඩිකල් ඛණ්ඩනයක් සලකුණු කළාවූ බටහිර ආත්මය සහභාගී වූ මියුරු සංගීත ප්‍රසංගයක් අතරතුර පිස්තෝල වෙඩිල්ලක් ඇසුනා හා සමානය' (ඉහත පිටු 67-69). දේශපාලනය විසින් විනාශ කළ සියලු සමාජ ආයතන විසින් අවසානයේ අපට ඉතිරි කර ඇත්තේ පොඩි එවුන්ය. අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය වැනි මේ සියළු ආයතන විනාශ වී පුර්ණ විගලිතභාවයකට යන්නේ නම් එවිට නව තත්වයක් ගැන සිතීමට අවකාශයක් හෝ විවර විය හැකිය. ආත්මාර්ථකාමී පුද්ගලභාවයන් සහ තමා  නිෂ්පාදනය කරන්නාවූ 'දෙය' (පොඩි එවුන් බිහිවන සන්ධර්භය) පිලිබද හැගීමක් නැති, මෙන්ම ගැඹුරු සංස්කෘතික ජිවිතයක් නැති- බත් ගෙඩි පිටින් ගිලින මෙම රාජ්‍ය සේවකයන් අප තව දුරටත් පවත්වා ගෙන යන්නේ ඇයි යන ප්‍රශ්නයට පැය විසි හතර ම සටන් කිරීමට සපථ කර ඇති වාමවාදීන් පිළිතුරු දිය යුතුව ඇත.   

ලාංකීය තරුණයා ශිෂ්ටකරණය කිරීමට මෙන් ම ඔහුට වඩා හොද ජීවිතයක් ලබා දීමට මෙම පශ්චාත් යටත්විජිත ධනේශ්වර පාලන ආකෘතිය සහ සමාජ මොඩලය (මෙන්ම වාමවාදී ප්‍රතිචාරාත්මක දේශපාලනය) අසමත් බවට වන තවත් එක් දේශපාලන හැගවුමකි 'ඹබර වලල්ල'.  ස්වභාවික මිනිසාගේ සත්ව ආශය ශිෂ්ඨකරණය කරනු වස් ලාංකික සන්දර්භය තුල පමණක් නොව ගෝලීයව ද සබුද්ධිකත්ව ව්‍යාපාරයක් තවදුරටත් අත්‍යවශ්‍ය බවට සාධක ලොව පුරාම අද  ඕනෑවටත් වඩා දක්නට ඇත.  නුතන ලෝකය තවදුරටත් වලංගු වන්නේත් එම ශිෂ්ටකරණ ව්‍යාපෘතිය අවසානය දක්වා රැගෙන ආයුතු වන්නෙත් පොඩි එකාට වඩා ප‍්‍රභල සත්ව ආශයක් ලොව පුරා ක‍්‍රියාත්මක වන හෙයිනි (ඉස්ලාමිය අන්තවාදය සහ අනෙකුත් ආගමික අන්තවාදයන්).  පවත්නා අධම ධනපති ක‍්‍රමය තම අදුරු පැවැත්ම (dark existence) තුල ට මිලියන ගණන් තරුණ තරුණියන් ගෝලීය ව අවශෝෂණය කර ගනිමින්, ඔවුන් පුර්ණ වශයෙන් විනාශ කරමින් තම පැවැත්ම තහවුරු කර ගනිමින් සිටී.  ධනවාදය ට තවදුරටත් ස්වකීය දුර්වල පිතෘ මුලිකත්වය තුළ ප්‍රබුද්ධවාදී ව්‍යාපෘතියක් එහි අවසානයක් කරා ගෙනයා නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අවම වශයෙන් අප සමාජය ට අවශ්‍ය ප්‍රබුද්ධ සාහිත්‍යය එයට සාන්දෘෂ්ටික අරුතකින් ගොඩනගා දිය හැකිද? සම්ප්‍රදාය සහ පසු-නුතන ගෝලීය ධනවාදය අතර 'අහිමි පාලම' එයට තනා දිය හැකිද? ජෙම්සන් ට අනුව යටත්විජිත රාජ්‍යන්ගේ මුලික 'අසමත්භාවය' එය යි. පොඩි එකා තමාට විනාශය අත්කර දුන් සමාජයෙන් පෙරළා 'පෙට්ටියක් අවශ්‍ය දැයි' අසයි.  මෙම දුර්දාන්ත මෙන්ම අසමත් ක‍්‍රමය ට මිනී පෙට්ටියක් අවශ්‍ය වුයේ මීට දශක ගණනකට ඉහත දී නොවේ ද?


ලිපිය සඳහා බොහෝ ආශ්‍රිත ග්‍රන්ථ තිබුණා වුවද පහත ළිපිය පමණක් කියවන්න.

Jameson, Fredrick (1986). Third World Literature in the Era of Multinational Capitalism. Duke University Press. (pp 65-88). http://www.jstor.org/stable/466493


මහේෂ් හපුගොඩ (මිට වසර කිහිපයක ට පෙර ත්‍රිමාණ පුවත් සඟරාව සඳහා ලියන ලදුව නැවත පළ කිරීමකි. මුල් ලිපිය ට යම් යම් එකතු කිරීම් කර ඇත)     

3 comments:

  1. මීට වසර ගනනකට පෙර ඔබ කියන ලද්දක් උව ද අද සමාජයට හොදින් ගැලපෙ. කෙසේ හෝ සාමාජය නිවැරදි දිශාවකට යොමු කිරිමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ස්තුතිය.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

  3. අපි විසින් අපිව නිර්මාණය කරගන්නාවූ කාර්යයේදී මෙම ප්‍රතිචාරාත්මක දේශපාලනයෙන් අත්මිදිලා මිනිසා ගැඹුරු ලෙස නැවත නිර්මාණය කරන සාන්දෘෂ්ටික සාහිත්‍යයක් (existential literature) අපි පශ්චාත් යටත්විජිත සන්දර්භයක නිර්මාණය කරගත් යුතු වෙමු. පශ්චාත් යටත්විජිත්ඌන සංවර්දිත මිනිසා නැවත ගොඩනැගීම වෙනුවෙන් ෆෙඩ්රික් ජේම්සන් (1986) ගෙන් උගත් හැකි එකම පාඩම එයයි.

    ReplyDelete