Tuesday, January 24, 2017

යල් පැනගිය වම ට ඇය ව අවදි කල හැකිද?

යහපාලන රජය ගෙදර යා යුතුයැයි කියමින් මහනුවර නගරයේ දළදා මාලිගාව අසල මාරාන්තික උපවාස කල සිල් මාතාව මේ වනවිට රෝහල් ගතකර ඇත. එම මෑණියන්ම පවසන පරිදි 'වසර ගණනාවකට පසු ගල් ගුහාවෙන්' ඇය පිබිදී ඇත්තේ කුමකටද? (යාවක්කාලින කළ එම ප්‍රවෘතිය සඳහා පිවිසෙන්න හිරු නිව්ස් වීඩියෝව සහ මහනුවර නගරයේ උපවාස කල සිල්මාතාව ලංකාදීප සටහන). එම මෑණියන් එළියට එන්නේ අන් කිසිවකට නොව අත්තනෝමතික පාලන (despotic regime) ව්‍යුහයක් පෙරළා දමා අසාර්ථක වුවද විකල්ප පාලනයක් බලාපොරොත්තු වූ ප්‍රජාත්‍රන්වාදය තවමත් ගරුකරන මිනිසුන් පිරිසකගේ බලාපොරොත්තුව ට එරෙහිවය. සාර්වත්‍රික බලාපොරොත්තුවකට එරෙහිවය. මෙම සිද්ධිය සම්භන්දයෙන් විශාල මාධ්‍ය අවධානයක් යොමු නොවුනත් එම සිද්ධියෙන් ඉස්මතු වුන දේශපාලනයේ මනෝවිශ්ලේෂී මානයක් අතහැර දැමිය යුතු නොවේ යැයි සිතන බැවින් මෙම සටහන ලිවීමට සිත්විය. මන්ද අප අමතක කරන, අතපසු කරන, නොසලකා හරින සෑම දෙයක්ම ජාතිවාදීන් විසින් අවශෝෂණය කරගැනීමට නියමිත මොහොතක අප ජිවත් වන බව මොහොතකටවත් අප අමතක කල යුතු නැත. ඒ නිසා මේ අවධානම්කාරී මොහොත යනු දේශපාලන පක්ෂ google sex වල සිට LGBTදක්වා සෑම දෙයක් ගැන ම අවධානයෙන් සිටිය යුතු අවස්ථාවක් ලෙස නම්කළ හැක. අනෙකා කලයුත්තේ කුමක්දැයි භාෂාව ට නොනඟා ව්‍යාජ 'ඇන්ටිගනී' වීම ට දතකන ඇයගෙන් මෙන්ම සමස්ත ලාංකික ස්ත්‍රිත්වයෙන් ඇසිය යුත්තේ මෙවැනි පැනයකි. ලක්ෂ ගණන් මිනිසුන් මහපාරේ මියයන විට, බෙලි කපා පාලම් උඩ තබනවිට, මළමිනී මහවැලි ගඟට දමන විට, මිනිසුන් මරා කිරිබත් කනවිට, කිසිවක් නොකළ ඇය එකවරම දේශපාලනික වූ; ඇයව අවදිකළ; මේ 'මනරම් මොහොත' කුමක්ද? කුමක්ද ඒ ආශාවේ උත්කෘෂ්ට මොහොත?

සිදුවෙමින් පවතින දේ අනුව මෙවැන්නක් නිරීක්ෂණය කල හැක. එනම් යථෙහි ආපසු පැමිණීම (return in the Real) ලෙස ජිජැක් අර්ථ කතනය කරන දෙය අපට මුණගැසෙමින් තිබෙන බවයි.  මෙහෙණින් වහන්සේ ගේ 'ගල් ගුහාවෙන් එලියට පැමිණීම' වනාහි රූපකයක් ලෙස ගත්විට 'අඳුර එළියට පැමිණීම' (ආලෝකය අතුරුදහන් වීම) ලෙස අර්ථ ගැන්විය හැකිය. එයින් හැඟවෙන්නේ අඳුර විසින් (නුතන පුනරුද විරෝධය විසින්) මිනිස් සමාජය නැවත ගිලගනිමින් පැවතීමයි. ප්‍රබුද්ධ බවේ පරාජය සමඟ අප නැවත අඳුරට පෙම් බැඳීමට පටන් ගෙන ඇත. එම තත්වය තුල ලාංකික ස්ත්‍රිය තම ගැඹුරු විෂාදයෙන් අවතාරම ය ලෙස එලියට ඒමට වලිකන මොහොත ලෙස අපට මේ 'පශ්චාත්- රාජපක්ෂ' සන්ධර්භය නම්කළ හැක. ඇය පොළඹවා ලිය හැකි අතීත පියාගේ පුරුෂ ශරීරය (කළු රැවුල සහිත වැදි රජුගේ රූපකය) ඇය තවමත් සොයමින් සිටියි. මන්ද බුර්ෂුවා නිෂ්ක්‍රීය චරිත වල ඇති මියගිය බව ට ඇය වෛර කරන බැවිණි (චැටර්ලි ආර්යාවගේ පෙම්වතා සිහිකරන්න). යහපාලන යුගය තුළ එවන් මියගිය පිරිමි ආත්ම පැටව් ගසා ඇත. මතුපිට සංකේතිය බවෙන් ඇයට වැඩක් නැත (අවාසනාවට මතුපිටවත් එහෙම එකක් නැත). විමුක්ති දේශපාලන පක්ෂ විසින්ද එවන් සක්‍රිය, පොළඹවන සුළු ශරීර ඉදිරියට ගන්නේ නැති බැවින් සමස්ත නුතන දේශපාලන දේහය ම මියගොස් ඇත (ලොව පුරා ඉදිරියට එන්නේ ඩොනල්ඩ් ට්‍රුම්ප් මාදිලියේ පිරිමින්ය). එනයින් ශේෂව ඇත්තේ ආකර්ශනීය ජාතිවාදය පමණි. මාධ්‍ය විසින් දිනපතා පෙන්වන ඉතිහාසයේ රාජපක්ෂ රූපය අබියස 'තමන්ට දේශපාලනය තුළ මඟ හැරුණේ කුමක්ද?' යන ප්‍රශ්නය ලංකාවේ වම්මු නොඅසන්නේ ඇයි?     

ලාංකික කොගිටෝවේ මෙලන්කොලික අපගමනය අන්තවාදී විපරීත බවක් දක්වා වර්දනය විය හැකි බවට අගනා උදාහරණයක් ඉහත සිල් මාතාව විසින් සපයයි. මරණය දක්වා ගමන් කිරීමට තීරණය කර ඇති මෙම මෙහෙණින් වහන්සේ ඉල්ලා සිටින්නේ කුමක්ද? එය එතුමිය විසින් ලියා ඇති පෝස්ටරය තුළ පැහැදිලි නොකරන ආසියාතික අතාර්කික බවයි. තමා අසල ඇති ලියා ඇති පෝස්ටරයට අනුව යහපාලන රජය ගෙදර යා යුතුය. ඇය එසේ ඉල්ලන්නේ ඇයි යන්න පැහැදිලි නොකරයි. භාෂාවට නොනගා ඇති අයගේ ඉල්ලීම තුල ඇත්තේ ද්‍රව්‍යයේ අක්‍රිය බව නම් මෙලන්කොලියාව ට නැවත යෑමේ ආශාවයි. එම අක්‍රිය බව සහ මියගිය පීතෘත්වය (dead father) මැනවින් මුණ ගැසෙන්නේ පරාජය වූ රාජපක්ෂ රෙජීමය තුල ය. ඇයව පිබිදෙන්නේ එම පියා නොමැති මෙලන්කොලික ගුප්ත විෂාදය තුලයි (feminine depression යනුවෙන් ජිජැක් හඳුනාගන්නා  රෝග ලක්ෂණය). සියලු ලාංකික ස්ත්‍රීන් හවස හයෙන් පසුව සිටින්නේ විශාදී ටෙලි මාලා තුලය. ඇයව ජිවත් කරන්නේ එම ගුප්ත ටෙලි නාට්‍ය විසින් ය (අනෙක් ගැහැණු ඉන්නේ එක්කෝ දේවාලවල ය නැත්නම් facebook එකේය). ඉහත සිල් මාතාවට පවා බොහෝ විට අවශ්‍ය වී ඇත්තේ ලංකාවේ බොහෝ ස්ත්‍රීන් ආශා කරන මහින්ද නම් අත්තනෝමතිකත්වයේ පුද්ගල ආත්ම මුල්කත්වයේ යුගයයි. අතාර්කික බවේ යුගයයි. අප්‍රබුද්ධ බවේ යුගයයි. ඒ සඳහා මියයෑම ඇයට සුළු දෙයක්ය. ලැකානියානු මරණ ආශය (death drive) තුල සත්‍ය ලෙස ඇත්තේ අමරණිය (eternal life) වීමට ඇති කැමැත්තයි.  නමුත් ඒ සඳහා ඇයට ඇති බාධාව නම් සාර්වත්‍රික ක්‍රියාවක් නැති වීමයි. අමරණීයත්වය අරමුණු කරන ඕනෑම අයෙක් සාර්වත්‍රික අරමුණක් සමග ගැටගැසිය යුතුය. මා සිතන හැටියට ඇයට නැත්තේද එයමය...  ඉන්දියාවේ අනන්ත වූ දුගී දරුවන්ට උදව් කරමින් තෙරේසා මවතුමිය බාහිර ලෝකය තුල විමුක්තිය සහ අමරණීයත්වය සොයන විට මෙම නිර්නාමික මෙහෙණිය සොයන්නේ කුමක්ද?

තම ප්‍රශ්නය භාෂා විශ්වය (linguistic universe) තුල වර නොනැගීම තුල ඇය විසින් හේතු-ඵල සම්භන්දය අභියෝගයට ලක් කරනු ලබයි. මෙලන්කොලික ආත්මයකට හේතු ඵල සම්භන්දයෙන්  පලයක් නැත. එවැන්නෙකුට අවශ්‍ය වන්නේ පෙළඹ වීමයි; අභිනයක් ලෙස කිසිවෙක්ගේ මැදිහත්වීම මගින් එම විෂාදයෙන් ගලවා ගැනීමයි. වෙනත් වචනයකින් කිවහොත් ප්‍රභල 'ශුන්ගාර ශරීර දේශපාලනයකි' (erotic body politics). තවදුරටත් විග්‍රහ කලොත් පුරුෂ දේශපාලනයේ අධ්‍යාත්මික බව විසින් ඇය නැවත හේතු ඵල සම්බන්දය වෙත ගෙනගිය යුතුය (reinstate her in the proper order of casualty. කියවන්න ජිජැක් ගේ Metastases of Enjoyment හි 121 පිටුව). භාෂාව තුල නැති ඇයගේ ගැටලුව ඇත්තේ සංකේතනය සහ පුර්ව සංකේතනය අතර ය (between symbolic and pre-symbolic).  නැත්නම් නුතන පියා සහ පුර්ව නුතන පියා අතරය. මෙහිදී සියලු වම්මුන් ඇසිය යුතු සරල ප්‍රශ්නය නම් 'ලාංකික පිරිමියාට ඇයව, සදාකාලික මෙලන්කොලියාවේ ගිලි ඇති ඇයගේ හිස්ටරික ආත්මය, අවදිකළ නොහැකිද'? 'එය කල හැක්කේ මහින්ද ට පමණද'?  එසේ නැත්නම් ඇයව අවදි කල හැක්කේ පාරිභෝගික භාණ්ඩ වලට පමණද? එම ප්‍රශ්නයට පිළිතුරු නැතිව ලාංකික වමට ඉදිරියට යා හැකිද ? ඒ සඳහා දැවැන්ත අධ්‍යනයක් කළ යුතු නොවේද?  එසේනම් එම රෝග ලක්ෂණය (ආසියාතික මෙලන්කොලියාව) හඳුනා ගැනීම ලාංකික මාවෝවාදී වමේ අත්‍යවශ්‍ය කොන්දේසියකි. 
ලැකාන් ගේ ජනප්‍රිය ආශා රූප සටහන මගින් කියවෙන පරිදි ස්ත්‍රිය සොයන්නේ කප්පාදු හැඟවූමකි. එය ඇය වෙත ගෙන එන්නේ පුර්ව පියා විසිනි. එවිට ඇය ඉතිහාසය නම් මහා අනේකත්වය සමග අධි-අනන්‍ය වේ (over-identify with the historical big Other).  එවිට ඇය කතා කිරීම නවත්වයි. ඉතිහාසය ට තමා හරහා කතා කිරීමට සලස්වයි (let history speak through her). ඇයගේ ශරීරය හරහා පණිවුඩය රැගෙන එන්නේ ඉතිහාසයයි.  එවිට අපට ඉතිහාසයේ පණිවුඩය ලෙස  කියවීමට වන්නේ පණිවුඩය නොව පණිවුඩය රැගෙන එන ඇයම ය (she as the embodiment of the message of the history). නිශ්ශබ්ද ඇය කියන්නේ මෙවැන්නකි 'මම කතා නොකරමි, එමනිසා මම වෙමි'. (කියවන්න Slavoj Zizek ගේ The Ticklish Subject හි 466 පිටුවේ සිට පොත අවසන් වනතුරු). ඇය සමඟ යහන්ගත වන දේශපාලන පිරිමි එය දන්නවාද? මෙය නොදන්නා පිරිමියාට සිදුකල හැකි එකම දෙය තමා ගන්නා ව්‍යාග්‍රා මාත්‍රාව වැඩිකිරීම පමණි.  පිරිමියා කොතරම් යහනේ සක්‍රිය වුවද ඇය විනෝද වන්නේ ඉතිහාසය තුළිනි. එහෙත් ආකර්ශනීය නායකයෙකු ට ඇය දේශපාලනය තුළ ට පෙළඹිය නොහැකි බවක් මින් අදහස් නොකෙරේ. ඉතිහාසය ම එය ට සාක්ෂි දරයි.   

අපි මේ සඳහා තවත් සංස්කෘතික උදාහරණයකට යමු. ඇයව (කුඩා දරුවෙක්) නිද්‍රාවෙන් අවදිකරන බොබ් මාලේ ගේ Three Little Birds (1977) ගීතය දෙස අවධානය යොමු කරන්න. මිලාන වී සිටින ඇය අවදි කිරීමට බොබ් මාලේ ගේ ශ්‍රුන්ගාර ශරීරය අවශ්‍ය කෙරේ. ලොව පුරා වීප්ලවිය තාරුණ්‍යයේ ජනප්‍රිය ගීතයක් වූ Three Little Birds ගීතය ඔස්සේ ඇය පුරුෂ ලෝකයට අවදි වෙයි. චේ ගේ ශ්‍රුන්ගාර ශරීරය හරහා ඇදීගිය ලතින් ඇමෙරිකානු අරගලය දෙසට දිශානත වූ බොබ් ගේ ගීතය ඇයව 'ජීවත්වීම' දෙසට පොළඹ වනු ලබයි (අදටත් එම ජනප්‍රිය රූප දෙක ලාංකික තාරුණ්‍යයේ වීරයින් ය). බොබ් මාලේ ගේ බහු-සංස්කෘතික භාවිතාව නැත්නම් 'රස්ටාකරණය' (object a නම් කිසිදා වෙනස් නොවන දෙය ) සමඟ එකග විය නොහැකි වුවද ඔහුගේ විශිෂ්ට ගීත තුළ ඇති පොළඹවන සුළු බව සහ ධනාත්මක බව අප අමතක කල යුතු නැත. නුවර නගරයේ මෙහෙණිය දෙස පිරිමින් ඔහේ බලා සිටියද බොබ් ගේ ගිටාර් වාදකයා ඇයගේ ගෙදර එලි පත්තටම යයි. තමා අබියස සිටගන්නා තමාව ඉල්ලා සිටිනා එම ආශා ශරීරය වෙත ඇය අවධානය යොමු කරයි (ගීතයේ නිරුපණය කරන්නේ පොත දෙස ඔහේ බලාගෙන සිටින කුඩා දරුවෙක් බැවින් ශ්‍රුන්ගාරය මදකට අමතක කරන්න). පිරිමියා විසින් පාවාදුන් තම අධ්‍යාත්මය විසින් ඔහුගේ ශරීරය ඇයගේ විෂාදය තුලට ගමන් කරවනු ලබයි. ඇයට අවශ්‍ය එම පාවාදීම සඳහා පිරිමියා සුදානම් ද යනුවෙන් දැනගැනීමටයි. එසේ සුදානම් නම් ඔහු ඇයට ආදරය කරයි. එවිට ඇය ඔහු වෙතට; ඔහුගේ දේශපාලනය වෙතට අවදිවෙයි. ඒ සඳහා පවත්නා සංකේතිය පිළිවෙල උල්ලංඝනය කිරීමට සිදුවේ. ඉතින් මක්වේද? මිනිස් නිදහස වෙනුවෙන් බොහෝ දේ කැපකිරීමට ඔබ අප සුදානම් නම්...   


ආශ්‍රිත ග්‍රන්ථ: 
Zizek, S. (1994). Metastases of Enjoyment. London & New York.  Verso.

Zizek, S. (1999). The Ticklish Subject: The Absent Centre of Political Ontology. London and New York, Verso.


2 comments:

  1. අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ

    ReplyDelete
  2. මේ ගුප්ත බව හෙළිදරව් කිරීම දේශපාලනික වැඩක්. අපි මේ දක්වා කරපු වැඩ වලිනුත් ඒක තරමක් සිදු වුණා.

    ReplyDelete