Wednesday, February 1, 2017

'පන්තිය වෙනුවෙන් පක්ෂය වෙනස් කිරීම'

අකරගම පස් කැපීමේ ජාවාරම රන්ජන්ගේ මැදිහත් වීමත් සමග නැවතිලා. එක රන්ජන්ගේ ජයග්‍රහණයක් හැටියට 'අද' වෙබ් අඩවිය සඳහන් කරලා මෙතනින් පිවිසෙන්න . ඒක ඇත්ත. රන්ජන් තමන්ගේ 'බොඩි' එක දාල ප්‍රශ්නේ අවධානය දිනා ගත්ත. ඒ වගේම පාලිත, රන්ජන් මැදිහත් වූනු මෑත කාලයේ සෑම දෙයකම වගේ ඒ ගොල්ලෝ දිනා ගත්තා (දිනා දුන්නා). නමුත් ජ. වී. පෙ. සහ පෙරටුගාමී සමාජවාදීන් මැදිහත් වුණ සෑම අරගලයක්ම පැරදුණා. ළඟම උදාහරණය 'සයිටම්' ප්‍රශ්නේ. එකෙන් කියවෙන්නේ කොච්චර දැගලුවත් පැරණි සමාජවාදීන්ට කිසිම නෛතිකභාවයක් (legitimacy) මේ පශ්චාත් ධනවාදී සමාජය තුළ නෑ කියන එක. රජයේ සේවකයෝ කොච්චර දුෂිත, විගලිත, එකතැන පල්වෙන, සමාජ ප්‍රගමනයට විරුද්ධ කාලකන්ණි ටිකක්ද කියන එක රන්ජන් තම හිස්ටරික කුළුගැන්වීම තුළින් පෙන්නුවා. ඒ වගේ අවධානයක් ගන්න බැහැ වමේ දේශපාලනඥයෙකුට කවදාවත්. මොකද මිනිස්සු විශ්වාස කරන්නේ නෑ ඔවුන්ගේ අවංක කම. කවුද ඔය කැලේ ඉදන් මිනිස්සුන්ට වෙඩි තිබ්බ, ඇඟිලි කැපුව, බෙලි කැපුව එවුන් විශ්වාස කරන්නේ? පිස්සුවක් ඇතැයි අපිට... දැන් නිකම් සන්ග්ලාස් දාල රැවුල පීරලා එනවා මෙතන මොකක්ද 'පන්තියක්' ගැන අපට කියල දෙන්න (තමන්ගේ පන්තියේ ම වුන්ගේ ඔළුවලට වෙඩි තියල, උන් ගස් බැඳලා, කොස් ගෙඩියක් හොරකම් කළා කියල ඒ කොස් ගෙඩි දෙකම බෙල්ලේ එල්ලලා හන්දියේ හිටගෙන ඉන්න කියල, දේශප්‍රේමී කියල ජාතිවාදය අවුස්සලා - මොන පුර්ව අවබෝධය; සවිඥානිකත්වය දීලද ඒ අයට දඬුවම් කළේ කියල දැන් පස්සෙන් යන ශිෂ්‍ය නායකයෝ අහනවද?) 'පන්තිය වෙනුවෙන් පක්ෂය' කියාගෙන ඒ 'නව න්‍යාය' යටතේ ඊයේ ඒ ගොල්ලෝ නැවත පක්ෂය ව්‍යුහගත කරපු නිමේශයේ ම පන්තිය ඔවුන් දෙස බලන හැටි නම් අපුරුයි...කමක් නෑ හෛඩගර් කියනවනේ 'අප දෙස කවුරුත් බලා නොසිටි කියල'... 

තමන්ගේ ගේම ගොඩ දාගන්න පාරවල් අවහිර කරගෙන කරන සටන් දෙස මිලියන ගණනක් මිනිස්සු වගේ වගක් නැතුව බලාගෙන ඉන්නේ කේන්තියෙන්. එකෙක්ගේ වීසා ගොඩ දාගන්න, වරායේ පඩි වැඩි කරගන්න, අතිකාල ගන්න, සේවය ස්ථිර කරගන්න, කාගෙහරි උසස් අධ්‍යාපන අවස්ථාවක් අහිමි කරන්න, වී ටික විකුණා ගන්න ඉතාම කුඩා සමාජ තීරුවක් (ගොවි ආත්මය, වෘත්තීය සමිතිවාදය සහ ශිෂ්‍ය දේශපාලනය) විප්ලවීයකරණය (radicalize) කළාට අනික් අයගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් අට්ටාල ගහගෙන පෙරටුගාමී එක අවුරුදු ගණන් අරගල කරයිද? ලංකාවේ වෘත්තීය සමිති වාදයේ මෙන්ම ශිෂ්‍ය දේශපාලනයේ තියෙන ආත්ම කේන්ද්‍රීය (egocentric approach) බව විසින්ම ඒවායේ තාර්කික අවසානයට ගෙනෙල්ල තියෙන්නේ. රනිල් විසින් ඉතුරු ටිකත් තව ටික කලකින් ඉවර කරලා දමයි. ඉහත වාමවාදී රික්තය (revolutionary vacuum) තුළ අනුන් වෙනුවෙන් නැත්නම් සාර්වත්‍රික ලෙස අනෙකා වෙනුවෙන් කතා කරන්නේ ජාතිකවාදය (big Other) නම් මහා අනෙකත්වය පමණයි. එසේත් නැත්නම් ආන්තික තත්වයක් තුළ රන්ජන්ලා පාලිත ල වගේ ලැකානියානු කුඩා වස්තු (object a) නම් හිස්ටරික අභිනයන් සහිත ආත්ම...ඒ සාර්වත්‍රික ඉඩ පුරවන්න හදනවා අසාර්ථක විදියට (පරිසර ප්‍රශ්නය වගේ ගෝලීය දෙයකට රන්ජන් වගේ කෙනෙකුට කළහැකි දෙයක් නැහැ). නිදහසින් පසු සහ තිස් අවුරුදු යුද්ධයට පසු ලංකාවේ ඇත්ත වමක ට ලොකු ඉඩක් (real space for an authentic Left) තියෙනවා නේද ඉහත මහා අනේකත්වය සහ කුඩා වස්තුව අතර රික්තය තුළ? එතැනදී රන්ජන්, පාලිත, විජය කුමාරණතුංග මතු නොව චේ ගෙවාරා මාදිලියේ ශරීර දේශපාලනයක් තියෙනවා වම විසින් කල යුතු  සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ  විශ්වාසය දිනා ගත යුතු. මාවෝ විසින් කළා සේම රට මුළුල්ලේ ම ගමන් කළ යුතු වෙනවා. බොරු වාමවාදීන් නිරාවරණය කල යුතුයි. නව ගෝලීය තත්වය ගැන මිනිසුන්ට කියා දිය යුතුයි. ආශාව ගැන කියාදිය යුතුයි. දැනුම සහ පරස්පරතා අවබෝධය හරහා ආසියාතික මෙලන්කොලියාවෙන් ඇහැරවිය යුතුයි.

ඇමෙරිකාවේ බර්නි සැන්ඩර්ස් වන්නෙකු ගෙන් උගත හැකි පාඩම කවරේද? එනම් යම්කිසි 'ආපතික ආරම්භයක්' (contingent beginning) ඔහු විසින් ඇමෙරිකාව තුල ම ගෙන ඇත. 'කොතනින් හරි පටන්ගත හැකි' බව ඔහු ඔප්පු කරමින් පවතී (ඔහු විසින් ලියන ලද Our Revolution ග්‍රන්ථය කියවන්න). 'ඇත්තටම යමක් සිදුවෙනවා ට' ධනවාදය තුළ දියබුං ගසන අප සැවෝම විරුද්ධය. සත්‍ය ලෙස ඇමෙරිකානු බුර්ෂුවා පන්තිය ට්‍රුම්ප් හට විරුද්ධ වුයේ ඔහු තවත් 'හිට්ලර්' කෙනෙක් වීමට ඉඩ තිබුන නිසා නොව ට්‍රුම්ප් විසින් සත්‍ය ලෙසම දේවල් වෙනස් කරනු ඇති බවට වූ බිය (fear) නිසාය යනුවෙන් ජිජැක් පවසන්නේ මෙම තත්වය මතය (රැඩිකල් ලෙස වෙනස් අදහස් දරන්නෙකුට බිය වන්නේ මන්ද යන්න තුල ගැබ්වෙන තර්කය නම් අපගේ එකතැන පල්වෙන බව ට ඇති අසීමිත ආශාවයි (මෙම තත්වය මෙලන්කොලියාව ලෙස අර්ථ දැක්විය හැක)). මිට සමාන්තරව ඇමෙරිකන් මධ්‍යම පන්තිය තුල දැවෙන සාන්දෘස්ටික ප්‍රශ්න තම අතට ගන්නේ කෙසේද යන්න සැන්ඩර්ස් අප ට නාගරික බව තුල ම පෙන්වා දෙයි. සමාජවාදය කිසිදා අත්නුදුටු සමාජයක ට එම අත්දැකීම කියාදීම දුෂ්කරය. එම දුෂ්කර කටයුත්ත සැන්ඩර්ස් විසින් කරමින් ඇත. ඓතිහාසික සුබසාධක රාජ්‍යයේ පරාජය ඔහු මෙලන්කොලියාවක් බවට පත්කර නොගැනීම වමේ දේශපාලනය පැත්තෙන් ඉතා වැදගත්ය. බුර්ෂුවා පන්තියේ පරාජය වෙතින් ට්‍රුම්ප් ගේ නැගීම යනු සැන්ඩර්ස් ගේ පසුබෑම වුවත් ගැටළු මුහුකුරා යාමත් සමග යම් කලකින් ඔහුට ඉදිරියට ඒමට හැකිවනු ඇත. එයින් කියවෙන්නේ මෙවැන්නකි. වාමවාදීන් ස්වකීය මනෝරාජික පරාජයේ මෙලන්කොලික බව තම ජනයාට සම්ප්‍රේෂණය නොකළ යුතුය. නමුත් ඇත්ත ගෝලීය යථාර්තය ජනයාගෙන් සැඟවිය යුතු ද නොවේ. පක්ෂය විසින් පන්තිය ට කලයුතු ලොකුම මෙහෙය එයයි.

වැඩිදුර කියවීම්:
Resisting Left Melancholy by Wendy Brown in https://muse.jhu.edu/article/3271

Left-Wing Melacholia by Enzo Traverso in 
https://cup.columbia.edu/book/left-wing-melancholia/9780231179423

ට්‍රුම්ප් යනු තවත් හිට්ලර් කෙනෙක්ද?  https://www.youtube.com/watch?v=08cNrNCAJkk


No comments:

Post a Comment