Tuesday, November 14, 2017

සිහිනය සහ යථාර්තය....

අපි දකින සිහිනය සහ යථාර්තය අතර කොපමණක් දුර තිබුණත් අපි සිහිනයේ ම ඉන්න ආශා කරනවා. මොකද යථාර්තය හරිම බිය උපදවන සුළුයි...හැබැයි යථාර්තයේ හැපුනේ නැත්නම් ඒක වෙනස් කරන්න අමාරුයි. නමුත් අපේ ෆැෂනබල් මානික්කම් නම් කොළඹ දුවිලි යථාර්තයේ හැපෙමින්ම සිහිනය නඩත්තු කරනවා. මානික්කම් දිහා බලපුවම පෙනෙන දෙයක් තමයි එයා ලංකාවේ රැඩිකල් කියා ගන්නා වාමාංශිකයන්ට වඩා ලස්සනට ඉන්න හදනවා කියන එක. දෙමල නළුවෙක් ගැන වුණත් ඔහුට සිහිනයක් තියෙනවා. නමුත් ඔහුගේ සිහිනයේ අවුලක් තියෙනවා කියල හිතෙනවා. මෙහෙම ම දිගටම හිටියොත් එයින් ඔහුගේ දැන් ස්වභාවය ඇත්තටම වෙනස් වෙයිද කියන එක ගැටළුවක්. ඒ කියන්නේ ඇත්තටම වෙනස් වෙන්න ඕනි ඔහුගේ සිහිනය නේද? මානික්කම් ඇත්තටම වෙනස් වෙන්නේ දමිල චිත්‍රපටි බලන එක නතර කරලා මොසාට් ගේ සිම්පනි අහන දවසට කියලයි මම හිතන්නේ. ඉතින් ඒ දවස එන්නේ කවදාද?

මේ අපුරු පුවත ගෙනෙන්නේ 'අද' පුවත්පතේ සරසි නෙත්මිණි 

පිට කොටුවේ නාටමි තරුව එම්. ජි. ආර්.


Sunday, November 12, 2017

විප්ලවීය මුණිවරුන් වහා අවශ්‍ය වී ඇත...

දැන් අප අත්දකිමින් ඉන්නේ මුණිවරුන්ගේ යුගයකි. නැත්නම් මුණිවරුන් අන් කවරදාටත් වඩා අවශ්‍ය වී ඇති යුගයකි. වෙළඳපල  පසු ධනවාදයේ සහ දිගට ඇදෙමින් යන පශ්චාත් නුතනත්වයේ ක්ෂිතියෙන් අපව බේරාගත හැකි ආකාරයේ ගැලවුම් කරුවෙක් දැන් අපිට වෙන කවරදාටත් වඩා අවශ්‍යය. ඇතැම් විට සත්ගුරු මුණි සපයමින් සිටින්නේ සුරාකෑමේ අසමානතාවය ඉස්පොල්ලේ ගොස් තිබෙන ඉන්දියාවේ එදිනෙදා ක්ෂිතියෙන් බේරීමේ මානසික උපක්‍රමයක්ද විය හැක. තමා වටා ඇති ඉන්දීය අපිරිසිදු යථාර්තය  (ද්‍රව්‍යය=objective reality) තුල නෙලුම් මලක් මෙන් පිරිසිදු මානසිකත්වයෙන් (spirituality) සිටීමට ඔහු ඔබට උගන්වනු ඇත. කෙසේ වුවද සත්ගුරු මුණි මෙසේ කියයි, 'ඔබ නිෂ්පාදනය ට සම්භන්ද වන්නේ ඇයි? සිහිනය හඹා යන්නේ ඇයි? ඔබ ඇමරිකාවට පෙම් බඳින්නේ ඇයි? මොනවා සිදුවුවත් මේ ඔබ වටා ඇති කිසිවකට අනන්‍ය නොවී ජිවත් වන්න. එසේ නිකම් ඔහේ සිටින විට ඔබේ ආලෝකය ඔබ වෙත එනු ඇත. දැනුම බුද්ධිය (reason and intellect) පිණිස ඇති පිපාසය පසෙක තබා ජිවිතයේ මායාව - ඉන්ද්‍රජාලය (magic of life) සොයායන්න'. නුතනත්වයෙන් වෙහෙස වී සිටින විගලිත බටහිර ආත්මයට සත්ගුරුගේ වදන් ඇතැම් විට කණට මී පැණි මෙන් විය හැක. ගුප්ත අනේකත්වය හමුවී ජිවිතයේ ඉන්ද්‍රජාලය සෙවීමට ඔවුන් වැල නොකැඩි ඉන්දියාව බලා එනු ඇත. එක් අතකින් ගෝලීය ධනවාදය අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙමින් අපගේ ජිවන ලෝකය දෙදරවමින් ඇත. දැනුම විසින් අපව තව තවත් ක්ෂිතියට ලක් කරමින් ඇත. පවත්නා යථාර්තය පිළිබද වඩ වඩා දැනුවත් වීම මගින් අප වෙහෙසට පත් කරමින් ඇත. එනිසා දැනුමට විකල්ප ලෙස මායාව අවශ්‍ය වී ඇත. අනෙක් අතට පසු ධනවාදයට විකල්පයක් පෙනෙන තෙක් මානයක නැත. මහා ආඛ්‍යාන සියල්ල නිර්නෛතික වෙමින් ඇත. සිරගතව පවත්නා ආපතික බව පුරවනු පිණිස ඉතින් මුණිවරුන් හැර අන් කවර සරණක්ද? ලංකාවේ සත්ගුරු වීමට යමෙක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඉහල අබෑර්තුවක් නම් ඇත... 

මුනිවරයාගේ භාෂාව ගැන ලකාන් මෙසේ කියයි. 'මුණිවරයකුගේ භාෂා භාවිතය යනු සයිකෝටික තත්වයක ප්‍රකාශ වීමක් නොවේ. බොහෝ ස්ත්‍රී ශ්‍රාවකයින් පෙන්වා දෙන පරිදි පිරිමියා සහ ස්ත්‍රිය යන කප්පාදු කොට්ටාශ දෙකම අතර ස්ථාන ගත විය හැකි තැනැත්තා මුණිවරයකුගේ භාෂාව දරා සිටින්නා වේ. එවැන්නෙකුට සුරතාන්තය අත්විදීමට ලැබෙන නමුත් එය ප්‍රකාශ කිරීමට නොහැක. රෝමයේ බර්නින් ප්‍රතිමාව හෝ තෙරේසා මව් තුමිය ගේ පිළිරුව දෙස බැලු සැණින් ඔබට මෙය අවබෝධ වනු ඇත' (1958: 76). සාන්ත ඇක්වයිනාස් වැන්නෙකු ජිවිතයේ අවසාන සමයේ අත්විදි මුනිවරභාවය සම්පුර්ණයෙන්ම සංකේතිය පිලිවෙල තුල ම ස්ථානගත කරන ලැකාන් සමස්තයට අයිති නැති එම සංකේතනයේ ම කොටසක් සංකේතනයට ඔබ්බෙන් පිහිටා තිබු බව පිළිගනී. එය එක්තරා සුරතාන්තයක් ලෙස ලැකාන් හඳුනා ගනී. ප්‍රමෝදයක් ලෙස නම් කල හැකි මෙම සංකේතනය ලෝකය නම් වේදිකාවේ තිරය වැටුණ පසු මිනිසා හට එක්වරම ප්‍රාදුර්භුත වන දෙයකි. මනෝ භ්‍රාන්තියක් (hallucination or delusion) ලෙස ගත හැකි මෙම අතිරික්ත ප්‍රමෝදය බොහෝ මුණිවර අත්දැකීම්හි ඇති  දේවත්වය නිරුපණය කරයි. ඒ අනුව සත්ගුරු මුණි විසින් තමා වෙත මිනිස් විෂය ආශක්ත කරගනු ලබන්නේ ප්‍රමෝද අතිරික්තයක් (ecstasy) හරහා ය. සුරතාන්ත අත්දැකීමක් හරහාය (ස්ත්‍රිය වහා ආකර්ෂණය වේ). එය හරියටම ධනවාදය ව්‍යාප්ත වන ආශා අතිරික්තයේ තර්කයට සමානය (එතැනද ඇත්තේ ස්ත්‍රී ශරීරයයි). බැලු බැල්මට පෙනෙන සත්‍ය සමාජ පරස්පරතා නොදැක්කා සේ තම සුරතාන්ත කතිකාව හසුරුවන සත්ගුරු සන්‍යාසි විසින් එම අසමානතා ස්වභාවික කරයි. ඒවාට නව අර්ථකතනයක්, නව අනන්‍යතාවයක් ලබාදේ ('ගෘහණිය' යන්න ඔහු නැවත අර්ථකතනය කර එයට නව අනන්‍යතාවයක් ලබාදේ. පරස්පරතා ගැටළුව ඇත්තේ 'ගෘහණිය' යන්න තුල ම බව ඔහු මඟහරිනු ලබයි - in itself). මෙම තත්වය වාමාංශික කතිකාව විසින් වහා හඳුනා ගතයුතු නව ප්‍රපංචයකි. මිට අවම වශයෙන් දශක දෙකකට පෙර මාක්ස්වාදයට මෙවැනි තත්වයක් අර්ථකතනය කරගැනීම පිණිස වූ න්‍යායික අවි තිබුණේ නැත. මාක්ස්වාදය මනෝ විශ්ලේෂණයේ ආගමනයත් සමග නව මගක් ගෙන ඇත යනුවෙන් අප පවසන්නේ එම නිසාය.   

ඉන්දියාවේ සමාජ සවිඥානිකත්වය පාදක කරගෙන තමාව ප්‍රශ්න කල එක් බටහිර ගැහැණියකට ඔහු මෙසේ පිළිතුරු දෙයි. 'අප සිටින මෙම අවුල් සහගත තත්වය කොතරම් නම් සුන්දරද? මෙම අපිළිවෙල වෙනස් කරන්න ඔබ හදන්නේ ඇයි? අපි ඉන්දියානුවන්. බලන්න අප කොච්චර පැරණිද කියල. ඇයි අප දෙස බටහිර කණ්නාඩිය දාල බලන්නේ?' තර්කානුසාරි යථානුභුතවාදීන් මෙන්ම හේතුවාදීන් සත්ගුරු විසින් පහසුවෙන් මෙල්ල කරයි. මන්ද ඔහු භාවිත කරන්නේ ප්‍රමෝදයේ භාෂාවක් වන නිසා හේතුවාදීන් හට ඔහුගේ කප්පාදු විරෝධය තේරෙන්නේ නැත. ජිජැක් ට අනුව මෙම තත්වය ස්ත්‍රී ප්‍රමෝදයකි (feminine jouissance). පුර්ව ඊඩිපස් ප්‍රමෝදයකි. එනයින් මෙම සත්ගුරු වැනි ගුප්තවේදීන් දැනුම විසින් අප වෙත ගෙන එන කප්පාදුවට දෘෂ්ටිමය ලෙස එරෙහි වේ. කප්පාදුව ඔස්සේ වෙනස් නොවන මිනිස් විෂය එනයින් එකතැන පල්වීමට පටන් ගනී. එය අඳුරට බිය වීමකි. මෙය පශ්චාත් නුතන තත්වයකි. නිශේදනය නිශේදනය කිරීමකි (මාවෝ ගේ අති මුලික වරද). සමීපව කල්පනා කර බැලුවොත් සමකාලින රැඩිකල් වමවාදය තුළ පවතින්නේද මෙම බුද්ධි විරෝධය ම බව ඔබට පසක් විය හැක. ඔවුන් නිශේදනය වෙමින් පවතින තම පැවැත්ම පිළිගැනීම නිශේදනය කරයි. ගුරුවරයෙක් තම ශිෂ්‍යයාගේ යම් පිළිතුරක් වැරදියි කිවහොත් එතැන ඇත්තේ නිශේදනයකි. ශිෂ්‍යයා එම නිශේදනය ප්‍රතික්ෂේප නොකළ යුතුය. එසේ නොකර නිවැරදි පිළිතුර කරා ගමන් ගත යුතුය. එතැනදී අවශ්‍ය වන්නේ එක් දෙයකි. එනම් කප්පාදුවයි.  එය ප්‍රතික්ෂේප කිරීම යනු විනාශයයි. යමෙක් හිතා මතා විනාශය කරා යන්නේ නම් එවිට අපට කළහැකි දෙයක් නොමැත. 


පසුව ලියමි.. 
...............................
මේ සටහන ලියන්න වුණේ මීට ටික කලකට කලින්. මොකද සංවිධානයක් හැටියට අපි කාඩර්වරු හදන්න ගොඩක් මහන්සි වුනාට ඇත්තටම හැදුණේ තාපසයෝ, මුණිවරු, සන්‍යාසින් වගේ පෞරුෂයන්. කොන්ඩේ වවා ගත්ත, රැවුල් වවා ගත්ත, වැඩිය එලියට එන්නේ නැති කළුවර කාමර වල දේශනා පවත්වන අය. ඒ අයට ඕනි වුනේ නැහැ දීප්ති විසින් ගොඩනගපු දැනුම සහ උපන්‍යාස තවත් හොදින් වැඩිදියුණු කරලා සමාජගත කරන්න. මොකද එහෙම කලානම් විතරයි අපිට ඉදිරියට යන්න තිබුනේ. නමුත් උන්ට ඕනි වුනේ පරණ වමේ උපන්‍යාස මත ලැගල ඉන්න. ඊට පස්සේ තමාගේ ව්‍යාපෘති ඉදිරියට ගේන්න. ඒ ගෙනාපු ඒවා උනත් අර පැරණි ආකෘතියේම හිරවුණා. ඉදිරි පරම්පරාවට ඒ පරණ ඒවා හරියන්නේ නැහැ .
අනික් අතට අපේ සංවිධාන ඉතිහාසේ ලොකුම මුණිවර භූමිකාව අයිති වෙන්නේ රොහාන් පෙරේරාට. එයාගෙත් ලේඛනවල තියෙන්නේ වක්තෘත්ව ගතියක් (උදාහරණ , ‘ආදරයේ දේශපාලනය’ ලියවිල්ල). නමුත් එම ‘මුනිවර ගතිකය’ විශ්ලේෂණමය ප්‍රවේශයකට (සංස්ලේෂණය) ගෙනෙන්නේ දීප්ති විසින්. එතන තමයි දේශපාලනය තියෙන්නේ.


අනික තමයි ඉස්මතු වෙන ජාතිවාදී රැල්ල ට මුහුණ දෙන්න න්‍යායික වැඩපිළිවෙලක් කා සතුවවත් නැහැ. එතනත් වැඩ කරන්නේ ප්‍රමෝද භාෂාව. එහි ‘විනෝද පෞරුෂය’ තමයි පොහොට්ටුව විසින් නියෝජනය කරන්නේ. දෙමළා, මුස්ලිම් වැසියා ගේ පැවත්ම විනෝද අතිරික්තයක් මහා ජාතියට. සමස්ත අසාර්ථක (ආර්ථිකය) බව නිසා මිනිස්සු තුල තියෙන කෝපය මේ ඔස්සේ පුපුරා යා හැකියි. මේ තත්වය කළු ජූලියක් දක්වා වුනත් ගමන් කල හැකියි. මොකද ලොකු දේශපාලන නෛතික බවක් (legitimacy) මේ ආණ්ඩුවට පොළොවේ (ground) නැහැ මේ වනවිට මොන සංඛ්‍යා ලේඛන ගෙනාවත්. විනෝද පෞරුෂය = Unlike the hysteric, who unconsciously believes in the benevolent Master, the pervert believes that the apparently benevolent authority is the actually a malevolent Leader, demanding something truly atrocious. Accordingly, every symbolic authority figure in contemporary society – politicians, judges, teachers, parents and so forth – become, in the eyes of today’s perverse subject, smeared with an obscene enjoyment’ (Zizek and Politics: A Critical Interrogation. Sharpe and Boucher 2010: 157). මෙහි සරල අදහස නම් විපරිතයාගේ ඇසෙන් බලන විට අද්‍යතන සමාජයේ සෑම සංකේතිය අධිකාරීකත්වයක්ම (ගුරුවරු, දේශපාලඥයින්) අශ්ලීල විනෝද උපකරණයන්ය. ජනතාව වැඩි වැඩියෙන් බලන්නේ (gaze) තමාට විනෝදය ගෙනෙන මෙම උපකරණ දෙස (විමල්, ගම්මන්පිල, මධුමාධව) මිස විවේචක පෞරුෂයන් දෙස නොවේය.


ඉතින් වයි ෆයි කතා කීවට රනිල්ට චන්ද ලැබෙන්නේ නැත. අද්‍යතන විපරිත විෂයට වයි ෆයි විනෝදය ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය මිණි මරන්නටය (Give us the right to KILL and then we will VOTE).


.....
ඊටත් පසුව ලියමි
අද වනවිට මා සත්ගුරු දකින්නේ වෙනස්ම ආකාරයකට. එනම් පෙරදිග ඇහැකින්. එතකොට මට ඔහු පෙනෙන්නේ ගැඹුරු ලෙස පෙරදිග සාන්දෘෂ්ටික ගැටළුව ආමන්ත්‍රණය කරන කෙනෙක් හැටියට.     

Tuesday, November 7, 2017

Neverska Lady: යථාව යථාර්තයක් කිරීම


හිරු ගොසිප් වෙබ් අඩවිය අපුරු ප්‍රවෘර්තියක් පල කරලා තිබුණා. මේ හදන්නේ එක ගැන ලියන්න. ඒ නිව්ස් එක තමයි අපිට ඉන්ධන ගෙන එන ඊලග නැව තියෙන තැන ගැන ඒ අය වාර්තා කරලා තිබුන එකෙන් මතුවන වැදගත් මනෝ විශේලේෂණ මානයක් ගැන ඒ ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් වීම. ඒ වෙබ් අඩවිය අපිට ගෙනෙනවා මෙහෙම දෙයක්. අපිට ඉන්ධන එන ඊලග නැව තියෙන්නේ ඩුබායි කිට්ටුව කියන එක සහ මෙහෙට එන්න තව දින දෙකක් විතර ගත වෙනවා කියන එක. තෙල් පුරවල තියෙන නිසා ගොඩක් හෙමින් එන එම නැව එන්නේ නාවික සැතපුම් දොළහක විතර ඉබි ගමනේ කියල ඔවුන් කියනව. ඒ ආවත් තෙල් අර්බුදය නිම වෙන්න තව දින දෙක තුනක් යයි කියලත් ඔවුන් කියනව. ගොඩක් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන ඔවුන් කරන්නේ අපිට යථාවක් වුන, තෙරුම් ගන්න අසීරු දෙයක්, අපිට යථාර්තයක් කරන එක.  එතකොට අපි දන්නවා කවද වෙන කොට මේ පසු නුතන අසමත් භාවයෙන් අපිට සහනයක් වේවිද කියන එක.  ඒ කට්ටියට තේරෙනවා අපි දැන් ඉන්නේ හඳට ගියා වගේ තත්වයක කියල. මොනවත් තොරතුරක් නැතිව හඳේ ඉන්න ගියොත් පිස්සු හැදෙයිනේ නේද? පට්ට අවුලක් වෙච්ච මේ තත්වය ඇතුලේ තෙල් පෝලිම් වල ඉන්න මේ ආණ්ඩුවට චන්දෙ දුන්න අයට දිග හැරෙමින් තිබෙන තත්වය තේරුම් ගන්න බැහැ. එහෙන් වැඩිමිලට ෂෙඩ් ළගම මිනිස්සු තෙල් විකුණනවා. ඒ කට්ටියට මල ආතල් එකක් ඒක. මෙම පශ්චාත් නිදහස් අසමර්ථභාවය සහ දුප්පත් කළමණාකරණය ගැන යම් තරමක වත් සහනයක් (පැනඩෝල් පෙත්තක් වගේ) මෙම ගොසිප් තොරතුර නිසා හම්බ වෙනවා. තව දවස් දෙකකින් වත් මේ ප්‍රශ්න ඉවර වෙයිනෙ...අපේ පරිභෝජන සංස්කෘතිය වෙත නැවත අපිට යන්න පුළුවන් වෙයිනෙ නේද?

තෙල් ප්‍රශ්නේ විසඳන්න ඉබි ගමනේ එන Neverska Lady      

http://www.marinetraffic.com/en/ais/details/ships/shipid:753526/mmsi:636012577/imo:9306457/vessel:NEVERSKA_LADY