Friday, February 9, 2018

ශිෂ්ටත්වය යනු ....


යටත්විජිතකරණයේ මුලික අදහස (ශිෂ්ට නොවූ) මිනිසා ශිෂ්ටකරණය කිරීමේ අතිමුලික අදහස (fundamental idea) හා බැඳී පවතී. අතිශය මතභේදාත්මක අදහසක් වන මෙම 'ශිෂ්ටත්ව උපන්‍යාසය' පශ්චාත් යටත්විජිත චින්තකයින් බොහෝ ගණනක් විසින් අභියෝගයට ලක්කර ඇති නුතන අදහසකි.  ඔවුන් (බටහිර) අපට වඩා ශිෂ්ට වන්නේ කෙසේද යන්න විශිෂ්ට පෙරදිග සංස්කෘතියක් ගැන උපුටා දක්වන ඉහත පශ්චාත් යටත්විජිත සහ පශ්චාත් නුතනවාදී චින්තකයින්ගේ ප්‍රතිචාරයයි. එහෙට වඩා මෙහේ නරකයිද මෙහෙට වඩා එහේ හොඳද වැනි ප්‍රශ්න මාලාවක් මෙම විචාරකයින් විසින් අසනු ලබයි. අපට කීමට ඇත්තේ මෙයයි. නුතනත්වය යනු අප ලෝකය දෙස බලන එක්තරා ආකාරයකි. ලෝක දෘෂ්ටියකි (world view). බ්‍රිගේඩියර් ප්‍රියන්ත විසින් එක්තරා අයුරකින් උල්ලංඝනය වන්නේ තමාගේ ආත්ම මුලික අත්දැකීම (subjective experience) බාහිරට ප්‍රක්ෂේපනය කිරීමේ ආකාරය තුළ තිබිය යුතු වූ විශ්වීය ආකල්පයයි (attitude). කිසිම ලාංකික විචාරකයෙක් විසින් මෙම අදහස පැහැදිළි කරදීමට ඉදිරිපත් නොවීම අභාග්‍යයකි. ප්‍රියන්ත විසින් 'නිෂ්පාදනය කරන මෙම සංඥාව' අතිශයින් වැදගත් බෙදුම් කඩනයක් සලකුණු (ප්‍රථමික / නුතන) කරමින් තිබියදී එය සාකච්චා නොකිරීම නුතන අර්ථයෙන් දේශපාලනික වරදකි. එය කුමන දේශපාලන කඳවුරට සේවය කරත් (රනිල්ට හෝ මෛත්‍රී ට හෝ රාජපක්ෂ වරුන්ට යන කුමන පාර්ශවයකට හෝ) නුතනවාදියෙකු හට සංඥාවේ දේශපාලනික ආර්ථිකය මඟ හරිය නොහැකිය. බොහෝ විට ප්‍රියන්ත විවේචනය කිරීම ලාංකික ජාතිවාදය තුල අතිශයින් විවේචනයට භාජනය වීමට  සහ ජනප්‍රිය නොවීමට ඉඩ ඇති වුවත් 'විවේචක වගකීම' යනු ජනප්‍රියත්වය ඉක්මවා යන සාර්වත්‍රික වගකීමකි. එය ජාතිය යන්න ඉකමවා යයි. කෙටියෙන් කිවහොත් සමාජීය පරස්පරතා ඇති අවකාශයක තිබිය යුතු ඉවසීම ප්‍රියන්ත විසින් සඥා නිෂ්පාදනයක් තුල උල්ලංඝනය කර ඇත. ප්‍රශ්නය දෙස බැලීම පටන් ගත යුත්තේ එතැනිනි.     

Tuesday, February 6, 2018

වස්තුව හරහා ව්‍යුහගතවීම...


පසුගියදා අප අතරින් වියෝවූ ධර්මසේන පතිරාජයන්ගේ පැවැත්මේ දයලෙක්තිකය ඇසුරෙන් කෙටි සටහනක්....
ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් කරන ලද ‘යුද්ධය පිළිබඳ ගැඹුරු සිනමාවක් බිහිවිය යුත්තේ උතුරෙන්’ යන ප්‍රකාශය අප යටත් විජිත ස්වාමි සේවක සම්බන්ධය සහ ස්වයං සවිඥානිකත්වය යන හේගලියානු ස්ථාවර ඔස්සේ නැවත සිතා බැලුවොත් ලැබෙන පිළිතුර කුමක් වේවිද?
 ඔහු සිතන පරිදි උතුරේ සිනමා කරුවකුට යුද්ධය පිළිබඳ වඩා යථාර්ථවාදී අනුභූතික අත්දැකීම් අවශෝෂණය කරගත හැකිවූ පමණින්ම ගැඹුරු සිනමාවක් බිහිකළ හැකිද යන දාර්ශනික ප්‍රශ්නය කිසිවෙක් නොඅසන්නේ ඇයි?
උදාහරණ ලෙස ඉන්දීය නිදහස් අරගලය සහ ගාන්ධි පාදක කරගත් අග්‍රගණ්‍ය ‘ගාන්ධි’ නම් චිත්‍රපටය ඉන්දියානුවකුට, පකිස්තානුවකුට කළ නොහැකි වුවේ ඇයි ?
මෙහි දී සිනමාව තුළ වැදගත් වන්නේ ප්‍රපංචයීය අනුභූතික අත්දැකීම්වලට වඩා එම අත්දැකීම ග්‍රහණය කර ගන්නා සද්භාවී නිරීක්ෂක ස්ථානයයි (gaze point); විශ්වීය ඇසයි; එදිනෙදා දේශපාලනය ඉක්මවා යන පාර -දේශපාලනික දැක්මයි. බටහිර ස්වාමියා විසින් සැමවිටම යථාව සංකේතනය වෙතට ගෙනවිත් අපිට පෙන්වනු ලබයි. රිචඩ් ඇටෙන්බරෝ විසින් කරන්නේ ද එයයි.
එම සංකේතනය කරා එන ගමනේදී: එදිනෙදා ජීවිතයෙන් බැහැරව, එහි දිනපතා වියවුලෙන් බැහැරව, සාන්දෘෂ්ටික ස්ථානයක් කරා ස්වාමියා පසුබසි. ඔහු සවිඥානිකත්වය පිණිස අනෙකා 'වස්තුවක් ලෙස' අදාළ කර ගත්ත ද අවසානයේදී ඔහු ම ව්‍යුහගතවීම පමණක් වස්තුව හරහා සිදුවේ (ගාන්ධි උසාවියට එනවිට නැගී සිටින සුදු ස්වාමියා මෙහිදී නැවතත් ස්වාමිත්වය ලබාගනී. ඔහු අප වෙනුවෙන් චිත්‍රපටිය ද සාදයි. ඔහුගේම වරදකාරී බවෙන් ඔහු නිදහස් වේ). එනම් ගැහැණිය (පෙරදිග) නොපවතී යන්න මෙහිදී සත්‍යය වේ.
අපි උතුර වෙනුවෙන් චිත්‍රපට සාදන්නේ අපගේ වරදකාරිත්වයෙන් නිදහස් වීම පිණිස ද, නැතිනම් අපගේම ස්වාමිත්වයේ නිර්ක්ෂක ස්ථානය ඔවුන්ට පෙන්වීමටද? ලකාන් දක්වන අයුරින් ආඛ්‍යානකරු (පතිරාජ, හඳගම) සහ ආශා වස්තුව (දෙමළ අනේකත්වය) අතර ඇති විපරිත සම්බන්ධය (විගලිතභාවය) තුළින් සිදුවිය හැක්කේ පහත සදහන් දෙකින් එකක් පමණය. පළමුවැන්න: ආශාව අතුරුදන් වී යාමයි. දෙවැන්න: ආශා වස්තුව අතුරුදහන් වී යාමයි. පතිරාජ විසින් ‘දෙමළ සිනමාවක්’ පිළිබද දකින සිහිනය තුළ මින් කුමක් ආරක්ෂා කර ගැනීමට ඔහු සිතන්නට ඇතිද?
දෙමළ ගැහැණියකට ප්‍රේම කළ පමණින් දැවැන්ත ස්වාමි සේවක සංකීර්ණයක් විසඳීමට ඔහුට හැකි ද?
සත්‍යය ලෙස එය ප්‍රේමයක්ද, නැත්නම් විගලිතභාවයේ මනෝ විශේල්ෂි ප්‍රකාශනයක්ද?
ධනවාදය තුළ ආශාව ස්ථානගත වන විපරිත ස්වභාවය ගැන අප නැවත සිතන්නේ නම් තමා ජීවත් වූ යුගය පතී තේරුම් ගත්තාද යන්න අපට නැවත ඇසීමට සිදුවේ.
සිරිමල් විසින් ලියන ලද බීමත්කම පිළිබද ලියවිල්ල සත්‍යය නම් පතීගේ ‘වම් ඉවුර’ යනු පතුලක් නැති විගලිතභාවයේ රෝග ලක්ෂණයක්ද?
පතී විසින් ‘භෞතික වාදයේ ගැටළුව’ ඉස්මතු කරන්නේ (ඉස්මතු කරනවා නම්) ඔහුගේ චිත්‍රපට හරහා නොව ඔහුගේ පෞද්ගලික ජීවිතයේ දයලෙක්තිකය තුළින් බවට මෙහිදී ඉතා පැහැදිලිව තර්ක කළ හැකිව තිබියදී බොහෝ දෙනෙක් සවිඥානිකව එය මගහරිති. ෂේලිනියානු විශ්වයක් තුළ දී සත්‍යය පතිරාජ ඉන්නේ චිත්‍රපට ලෝකය තුළ නොව ඔහුගේ කර්කශ පුද්ගලික ජීවිතය තුළ ය . සිරිමල් විජේසිංහ විසින් ලියන ලද බේබදු අතීතය පිළිබඳ ලියවිල්ල සහ පතීගේ දමිළ ප්‍රේමය ඇතුළු අඳුරු අර්තර්ගතය විසින් අපට උගන්වන බොහෝ දේ ඇත . මා සිතන පරිදි මාක්ස්වාදීන් ලෙස අප ඒවාද සංවාද තලයට ගෙන ආ යුතුය. උදාහරණ ලෙස ඔහුගේ සංකේතිය විශ්වයේ ෆැලික ආර්ථිකයේ ගැහැනිය සහ එයට ඔබ්බෙන් පැවති ප්‍රමෝදයේ ස්ත්‍රිය (Dolar 2017: 19) ඔස්සේ ඔහු අපට පෙන්වන්නේ සමස්තයක් ලෙස පැවති ඔහුගේ වමේ ජීවිතයේ හිස් හැඟවුම යි. සංකේතනය ගෙන ඒමට නොහැකි දෙයයි. මෙය හරි වැරදි පිළිබඳ ප්‍රශ්නයක් නොව ඔහු ගතකළ ජීවිතයේ අඳුර පිළිබද මානයකි. ඉගෙනීමට දෙයක් ඇත්නම් එය තිබිය හැක්කේ ඔහුගේ ‘භුමිය’ (යථාව) තුළ මිස සංකේතනය තුළ නොවේ යන්න මෙහි අර්ථයයි.
අපිට ඔහුගේ චිත්‍රපට අවශ්‍ය ආකාරයකට අර්ථකථනය කළ හැකි මුත් ඔහුගේ අඳුර සඳහා ඇත්තේ සීමිත දැනුම් ප්‍රවේශයක් පමණක් බව මගේ හැඟීමයි. ඒ, ඔහු මියයන විට අපට ශේෂ කර ගිය දැනුම නම් සමස්තයේ පරාවර්තිත නො-හැඟවුම යි (reflexive reversal of the lack of a signifier into a signifier of a lack); කණපිට හැරුණු සංකේතනයේ නො-හැඟවුම යි; මියගිය වමට ඔහුට මීට වඩා හොඳ ජීවිතයක් දීමට නොහැකි වූ බවට වන (මෙය සිරිමල්ට ද මෙසේම අදාළය) පරාවර්තනය යි. ද්‍රවිඩ යුතෝපියාවේ මරණය විසින් මෙය තව තවත් තීව්‍ර කරන ලදී. අවසානයේ එම ජන සමාජයේ ම ස්ත්‍රියට පිරවීමට සිදු වන්නේ මෙම හැඟවූමේ හිඩැසයි. එවිට භෞතිකවාදයේ හිඩැස තුළට දෙවියන් පැමිණේ යන්න ද (දේවාල, නක්ශස්ත්‍රය) සත්‍යයක් ලෙස අපට පෙනී යයි. ස්ත්‍රිය යනු සැමවිටම පිරිමියාගේ පැවැත්මේ අතිරික්තයක් හෙවත්පිරිමියාගේ ම අස්ථියකි.
කතිකා කලාපය තුල අවසානයට පතී ඉතුරු වී දෙමළ අනෙකා අතුරුදහන්ව ඇත. අවසානයට ඔහු සමඟ ඇත්තටම සිටි ස්ත්‍රිය (ෂෙලිනියානු අඳුර) පිලිබදව කිසිවකු කතා කරන්නේ නැත. කෝ ඇයගේ ශ්‍රමය ගැන මාක්ස්වාදීන් කතා කරනවා? පෙරදිග නොපවතී මෙන්ම 'ස්ත්‍රිය නොපවතී' යනු මෙහිදී නැවතත් සත්‍යයක් නොවේද? නැත්නම් 'අතුරුදහන් වීම' තුල ම වඩ වඩාත් ඇය අප තුල විද්‍යාමාන වේද? අප අතරින් වෙන්වූ පතී විසින් අපට සිතීමට දෙයක් ශේෂ කර ගියේනම් එය චිත්‍රපට නොවේ යැයි අපට දයලෙක්තිකව තර්ක කල හැක. එසේනම් අතුරුදහන් වූ දෙය ම (වාරණය) අපව සත්‍යය වෙතට යොමු කරයි යන ජිජැකියානු වැකිය මියගිය පතී විසින් අප වෙත පරාවර්තනය කර ඇත. සත්‍යය අතුරුදහන් කිරීම දෘෂ්ටිවාදයේ ප්‍රමුඛ කාර්යය නම් නැවත අප භෞතිකවාදය දෙසට නොව දෘෂ්ටිවාදය දෙසට හැරිය යුතු වෙමු.  
විසි එක්වන සියවසේ දශක දෙකක්ම ජිවත් වීමට වාසනාව තිබු පතී ඉගැන්වූ පාඩම එය නොවේද ? 
අපි සංවාද කරමු.
- මහේෂ් හපුගොඩ
(SIS.lk) http://sis.lk/featured/item/213-film
පළ කිරීමට සිතා නොසිටි සටහනක් පළ කළ ජයසිරි අලවත්ත සොයුරාට ස්තුතිය.  




Monday, February 5, 2018

70 වන නිදහස් දිනයට ෆැනොනියානු විවේචනයක්…


විසිඑක් වන සියවසේ මාක්ස්වාදය මනෝ විශ්ලේෂණය විසින් අති මූලික ව්‍යුහාත්මක වෙනසකට ලක් කරනු ලබමින් ඇත යන්න සත්‍යයක් නම් මෙතෙක් මාක්ස්වාදය පදනම් කරගනිමින් අපි අවබෝධකරගත් පශ්වාත් යටත්විජිත ආත්මයේ මනස මුල්වරට මනෝ විශ්ලේෂණය පාදක කරගනිමින් තේරුම් ගැනීමට උත්සාහ කළ ප‍්‍රථම විශ්ලේෂකයා බවට පත් වෙන්නේ ප‍්‍රාන්ස් ෆැනොන් ය.
මෙහිදී ෆැනොන් මඟහරිමින් අපේ රටේ මිනිස් විෂයේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ඔස්සේ බොහෝ විචාරකයන් එක් මූලික මනෝ විශ්ලේෂී වරදක් කරයි. එනම් ලැකානියානු මනෝ විශ්ලේෂණය වරක් යටත්විජිත ලෙස පැවැති ජාතීන්ගේ මනස තේරුම් ගැනීම සඳහා කළ ප‍්‍රථම න්‍යායික උත්සාහය මග හැරීම ඔස්සේ මනෝ විශ්ලේෂණය අපේ රටට අදාළ කර ගැනීම සඳහා වන මූලික දයලෙක්තික ව්‍යායාමය ස්වාමි - සේවක සම්බන්ධයේ හෙගලියානු - ලැකානියානු අදාළතාව පිළිබඳ මූලික න්‍යායගත කිරීම මඟ හැර, එය හුදු දේශපාලන - සාහිත්‍යය කතිකාවක් පමණක් ලෙස අධිනිශ්චය කිරීම ඔස්සේ ප‍්‍රාථමික ලාංකික භූමිය නිර්වචනය කර ගැනීමට නොහැකි වීම එම අති මූලික වරදයි. ෆැනොන් මෙහිදී අපට අදාළ වන දුරින්ම ඔහුගේ න්‍යාය තවදුරටත් දියුණු කළ හොමි කේ. බබා ද, ගයාත්‍රි ස්පිවැක් ද, තවත් දායකත්ව පෞරුෂ කිහිප දෙනෙක් ද මෙහිදී අතිශයින් වැදගත් වේ. ෆැනොන් මෙසේ කියයි.
 ‘මිනිසා තමාගේම වටපිටාව (පරිසරය) තුළ තවදුරටත් ආගන්තුකයෙක් වීම වැළැක්වීම මනෝ විශ්ලේෂණයේ සායනික (වෛද්‍යමය) කාර්යය වේ. මෙහිදී තමාගේම රටෙහි ජීවත් වන මිනිසා පරම නිර් - පුද්ගලභාවයක් (de-personalization) අත්පත් කර ගනිමින් තමාගේම භූමියේ පිටස්තරයෙක් වීම මා විසින් ම ඒත්තු ගැනීම මා මට ම පවරා ගනිමි.’
 පශ්චාත් යටත් විජිත විගලිතභාවය
ඉහත කෙටි විස්තරය ලියුවේ මෙවර නිදහස් උත්සවය වෙනුවෙන් අපි නැවතත් එංගලන්ත රජ පවුලේ කෙනෙක් සම්බන්ධ කරගනිමින් නිදහස සැමරීමේ මානසික පරායත්තතාවය වටහා ගැනීම සඳහා පසුබිමක් සකස් කර ගනු පිණිස ය. මෙම පශ්චාත් යටත් විජිත විගලිතභාවය පිළිබඳ තත්ත්වය මාක්ස් පෙන්වා දුන් ශ්‍රමයේ විගලිතය පිළිබඳ ප්‍රවාදයෙන් වෙනස් ය. මෙහිදී යටත් විජිත ආත්මයේ ගැටලුව අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයකි. වසර සිය ගණනක් සුදු ස්වාමියෙක් යටතේ ජිවත් වූ, ස්වාමියාගේ ආශාව වෙනුවෙන් තම දෛවය කැප කළ, ඔහු අසන ප්‍රධාන ප්‍රශ්නය නම් ‘යථාර්ථය තුළ මා කවුද?’ යන අති මූලික ප්‍රහේලිකාමය ප්‍රශ්නයයි. (ෆැනොන් ගේ Wretched of the Earth පිටුව 143) විමල් විරවංශ ගේ කථා පවත්වන විලාසය අධ්‍යනය කිරීමෙන් ලංකාව තම ආත්මයේ අහිමි කළ අහම (the hurt ego) පිළිබඳ ව වේදනාත්මක අනන්‍යතා ප්‍රකාශනයක් දැක බලා ගැනීමට හැකිවන බව පැවසිය හැකි ය. කාර්මික ධනවාදයේ ශ්‍රමය පමණක් හිමිව ඇති කම්කරුවාගේ ප්‍රශ්නය මෙවැන්නක් නොවේ. පසු යටත් විජිත මධ්‍යම පන්තිය ද සත්‍යය ලෙස ඉහත ගැටලුවෙන් නිදහස් නැත. ඔවුන් කරන්නේ විමල් විරවංශ කරන දෙයට පරස්පරව සුදු ස්වාමියාගේ නිරික්ෂයට හසුව ඔහුගේ ආශා වස්තුව ලෙස කටයුතු කිරීමයි. එක් අන්තයක් ජාතිකවාදී විඥානයේ (ෆැනොන් ගේ යෙදුම) ගිලෙද්දී අනික් අන්තය (සුදු ස්වාමියා නැව් නගින විට මෙගොඩ සිට කොඩි වැනූ දේශීය මධ්‍යම පන්තිය) තවත් වටයකින් ස්වාමි සේවක සම්බන්ධය තුළ ම සිරවේ. සුදු ස්වාමියාගේ දැක්මෙන් තොරව ඔවුන්ට ‘ආත්මයක්’ නැත.
ෆැනොන් ට අනුව පශ්චාත් යටත් විජිත මිනිසාට ජීවිතය සහ මරණය යනුවෙන් තෝරාගැනීම් දෙකක් නැත. ඔහුට ඇත්තේ ‘මරණය තුළ ම ඇති ජීවිතයකි’ (life- in- death) යනුවෙන් ඔහු පවසයි. පශ්චාත් යටත් විජිත ආත්මයේ ප්‍රපංචවේදී ප්‍රචණ්ඩත්වය (phenomenological violence) යනු භෞතික ජීවිතයත්, ආත්මයත්, සංස්කෘතියත්, ඉතිහාසයත් යන සියල්ල අවිච්චින්න දුක්ඛිතභාවයක (continuous agony) ගිලී පැවතීම හැර අන් යමක් නොවේ යනුවෙන් ද ඔහු පෙන්වා දෙයි. ‘ආත්මයක් නොව දෙයක් (object) බවට පත්වූ මෙම දුක්ඛිත යටත් විජිත මිනිසා වනාහි පැවැත්මක් නොමැති බිඳුණු දෙයකි’ (broken substance) යනුවෙන් ෆැනොන් නිර්වචනය කරන මෙම තත්ත්වය එඩ්වඩ් කුමරු පසුපස යන අපේ මධ්‍යම පන්තියට කෙතරම් හොදින් ගැළපේදැයි මඳකට සිතන්න. එම මධ්‍යම පන්තිය දෙහිඅත්තකණ්ඩියට ගොස් අරක්කු බෝතලයක් සහ බත් පාර්සලයක් දුන් විට ඒ පසුපස නට නටා යන දුක්ඛිත සාමාන්‍ය මිනිසාගේ තත්ත්වය කියනුම කවරේද? එඩ්වඩ් ට පෙනෙන්නට නටන්නට හැදු ලැප්ටොප් නර්තනය ගැන අප දැනට කතා නොකරන්නෙමු. මන්ද නිකම් හරි එඩ්වඩ් ලංකාවේ ගමේ පාරකට ගියානම් අලි නාවන තරමේ විශාල වළවල් දැක ලැප්ටොප් ගැන නැවත සිතනු ඇත. (ලැප්ටොප් යනු අපට අර්චන වස්තුවකි; අධ්‍යාපන උපකරණයකට වඩා වැඩි දෙයකි. අතිරික්තයකි. සාමාන්‍යයෙන් ‘ශුද්ධ වස්තුවක්’ වටා ප්‍රාථමික ගෝත්‍රිකයන් නටයි. එවැනි දෙයක් ස්වාමියාගේ අවිඥාණය පුබුදුවනු ලබයි. ඔහුගේ අවිඥානික ආශා වස්තුවේ ගුප්ත අර්තර්ගතය එවන් නැටුමකින් තීව්‍ර කළ හැකි ය) එමෙන්ම ඔහු අනිවාර්යයෙන්ම නිදහස් දිනයේ පමණක් ඉන්දියාවෙන් ගෙන්වූ ත්‍රී රෝද රථ අනතුරුවලින් පමණක් මියගිය ගණන අසා ෆැන්ටස්මතික තෘප්තියක් ලබනු ඇත. අපි දිනපතා මහ පාරේ මිය ඇදෙමින් ඔහු වෙනුවෙන් ‘ඔප්පු කරමින්’ (බාර හාර ඔප්පු කරනවා මෙන්) ඉන්නේ ‘මරණය තුළ ම ඇති ජීවිතය’ ය; එසේත් නැත්නම් ජීවිතයක් නැති බවය (හොඳ වෙලාවට ශිෂ්‍ය අරගල එඩ්වඩ් ට පෙනෙන්නට මහපාරට පැමිණියේ නැත. අරගලය ම අපගේ ජීවිතයයි!).
 එඩ්වඩ්ගේ ස්වාමිත්වය
අපගේ ජීවත් වීමට ඇති ආශාව නොහොත් අවිච්චින්න බවට ඇති කැමැත්ත (desire for continuation) ඉතාම ගැඹුරු අන්තර්ගතයක් ලෙස ඛණ්ඩනය වී ඇති බව පෙන්වා දෙන ෆැනොන් අපගේ පැවැත්ම තෙරක් නොපෙනෙන ‘අතීරණාත්මක බවක’ (indecision) කිඳී ඇති බව ද පෙන්වා දෙයි. කුමක් කළ යුතු ද, කුමක් නොකළ යුතු ද යන්න පිළිබද නිදහස් සද්භාවයක් අපට නැත. කුමක් හරි ද, කුමක් වැරදිද යන්න අපට තනිවම නිදහස්ව තීරණය කළ නොහැකි ය. ලැප්ටොප් නැටුම අපට යන්තමින් ඉවත් කිරීමට හැකිවුවේ සමාජ ජාලාවල විවේචන පදනම් කරගනිමින් මිස එහි ඖචිත්‍යය පිළිබඳ පුර්ව සද්භාවයකින් නොවේ. ‘සෑම දේශපාලන නායකයෙකු ම මනෝ චිකිත්සකයෙක් ද විය යුතු ය’ යනුවෙන් ෆැනොන් පෙන්වා දෙන්නේ ඉහත සද්භාවි අවශ්‍යතාව නිසා ය. අනෙක් අතට එවන් නායකයෙක් නව අරගලයකදී තම ජනතාව වරදකාරී මානසික බවින් ද මුදවා ගත යුතුය. අපව පරාධීන බවෙන් ගලවා, අපගේ පැවැත්ම හීනමානයෙන් ගලවා ගැනීමේ චිකිත්සක ඥාණය නායකයා සතු විය යුතු ය. නමුත් අපේ නායකයන් අපට පෙන්වන්නේ එඩ්වඩ් ගේ ස්වාමිත්වය යි. ඔවුන් පවසන්නේ ‘අන්න බලපල්ලා අපව පාලනය කළේ අර වගේ උත්තමයින්. පාර දෙපස පෝලිම් සැදී බලා ගනිල්ලා අපි ඒ උත්තමයින් එක්ක පෙරහැරේ යන හැටි’ යන්නයි තත්ත්වය මෙසේ වන විට යටත් විජිත විරෝධී ජාතිකවාදයේ ධනාත්මක පැත්ත නම් ‘ස්වාමියා ට එරෙහි වීම වරදක්’ යන හැඟීම ඔවුන් විසින් තුරනු ලැබීම යයි හොමි කේ. බබා පෙන්වා දෙයි. ජාතිකත්ව විඥාණයේ බොරු වළ (the pitfall of national consciousness) හැරුණු විට එක් අතකින් අමරසේකර වැදගත් විය හැකි තැන ද මෙතැන විය හැකි ය.
 යටත් විජිත ආත්මය සහ අනේකත්වය (සුදු ස්වාමියා) අතර සනිටුහන් වන මාක්සියානු - හෙගලියානු දයලෙක්තිකය අපේ රටේ මිනිසුන්ගේ අවිඥානය තේරුම් ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන් වී. එස්. නයිපෝල්ගේ The Mimic Men (1967) නවකතාව මගින් නිරූපණය කරන්නේ පශ්චාත් යටත්විජිත ආත්මය තුළ ඇති; අතීරණාත්මක, අනියත, අවිනිශ්චිත බවයි. පසු - යටත් විජිත දේශපාලනඥයෙක් වන රුල්ෆ් සිං තම ආසියාතික උරුමයේ නිකලැල් බව සහ වර්තමාන දේශපාලනයේ ගැටලූ සහගත බව අතර තෝන්තු වී ඇත. කුමක් කළ යුතු ද යන්න ඔහුට තීරණය කළ නොහැකි ය. තුන් වැනි ලෝකයෙන් නැවත ලන්ඩනය වෙත ගිය ද ඔහු තවදුරටත් තම අතීතයේ නිකැලැල් බව ගැන විස්සෝප වේ. ලන්ඩනයේ සිට තමාගේ මවු රටට ගිය විට එම රටෙහි ‘අපිළිවෙළ’ විසින් නැවත ලන්ඩනයේ ‘පිළිවෙළ’ වෙතට යෑමට ආශා කරයි. නමුත් එම ‘පිළිවෙළ’ තුළ ම පවතින ස්ත‍්‍රී වසඟය, සුරාව, ලෞකික බව, නාගරික විගලිභාවය විසින් නැවත ඔහු පාර - භෞතික අතීතය වෙත ගමන් කරවයි. මේ අයුරින් වර්තමානය පිළිබඳව ‘අතීරණාත්මක’ වන ඔහු ලන්ඩන් භූමියටත් යටත් විජිත භූමියටත් අයිති නොවන නමුත් ඒ දෙකටම අයිති ‘ස්ථානීය නොවන ස්ථානයකට’ මානසිකව ගමන් කරයි. වෙනත් වචනයකින් කිවහොත් ඔහු සිහිනය සහ නපුරු සිහිනය අතරත් ෆැන්ටසිය සහ යථාර්ථය අතරත් අවිනිශ්චිතව ගමන් කරයි.
 එක් අතකින් ඔහු තම අතීතය තමා දෙස බලා සිටිනු ඇතැයි සිතන අතරතුරේ ම තම දුක්ඛිත ආත්මය තම සුදු ස්වාමියාගේ ‘පිළිවෙළ’ විසින් මුදවා ගනු ඇතැයි ඔහු තවත් විටක කල්පනා කරයි. නමුත් සුදු ස්වාමියා විසින් අප ‘අත්හැර දමනු ලැබ ඇති බව’ නම් තත්ත්වය අපගේ ම නිදහසේ පූර්ව කොන්දේසියක් ලෙස ඔහු මඳකටවත් නොසිතන්ගේ ‘නිදහස් ලෙස සිතන්නේ කෙසේද?’ යන්න ස්වාමියා අපිට උගන්වා නැති හෙයිනි. ඔහු අපි නිදහස් කළ ද තවදුරටත් අපි මානසික ලෙස යටත් කරගෙන ඇත්තේ නිදහස් ලෙස සිතීම වෙනුවට පරායත්ත ලෙස සිතීම අපිට උගන්වා ඇති හෙයිනි. නිදහස් ලෙස සිතීම යනු වැරදි කිරීමට බිය නැති කිරීම (eliminate the fear of errors) ය. වැරදි කිරීම යනු නව යමක් නිර්මාණය කිරීමේ මූලික කොන්දේසියකි. නමුත් අපි සිතන්නේ වැරදි කිරීම යනු ස්වාමියා ඉදිරියේ ‘ලැජ්ජා වීමට’ සිදුවන දෙයක් ලෙස ය. උදාහරණ ලෙස ඉතා කුඩා කාලයේ සිට අපිට ඉංග‍්‍රීසි (ස්වාමියාගේ භාෂාව) ඉගැන්වීමට පාසල් - පෞද්ගලික ආයතන උත්සාහ කරනමුත් එය මේ වන විට බෙහෙවින්ම අසාර්ථක උත්සාහයකි. නමුත් වසරක් දෙකක් පමණ ශිෂ්‍යයෙක් චීන, ජපන්, කොරියන් හෝ හින්දි භාෂා ප‍්‍රගුණ කිරීමට පටන් ගතහොත් ඔවුන් ඉතා කුඩා කලකින් ඒ ගැන ප‍්‍රවීණතාවයක් ලබයි. විශේෂයෙන් ජපන් යනු ඉගෙන ගැනීමට අසීරු භාෂාවකි. එයට හේතුව ‘වැරදි කිරීම’ සම්බන්ධ ස්වාමි - නිරීක්ෂක ලැජ්ජා සංකීර්ණයක් ඉහත භාෂා සඳහා නැති බැවිනි. එම සිසුන් ඉංග‍්‍රීසි ඉගෙන ගන්නා සිසුන්ට වඩා නිදහස්ය. ඔවුන් ඉගෙන ගන්නේ ‘භාෂාවක්’ වුවද ඉංග‍්‍රීසි සිසුන් ඉගෙන ගන්නේ භාෂාවට වඩා වැඩි දෙයකි. ඉංග‍්‍රීසි සහ ඉංග‍්‍රීසි අතිරික්තයකි. ස්වාමියාගේ භාෂාවකි. අපිව යටපත් කළ ස්වාමියාගේ ස්වාමිත්වය ඉක්මවා යා යුතු ‘තුවාලය වූ අහමක’ (hurt ego) ප‍්‍රකාශයකි.
 ස්වාමි සේවක බන්ධනය
මෑතකදී ජයසිරි අලවත්ත සොයුරාගේ ලිපියකට පිළිතුරක් ලිවූ එක් විචාරකයෙක් ප‍්‍රශ්න කර තිබුණේ අප දෙමළ මිනිසුන් දෙසට දෑත් දිගු කළ ද දෙමළ මිනිසුන් අපට දෑත් දිගු නොකරන්නේ මන්ද යන ගැටලූවයි. සිංහල අප විසින් තුවාල කළ අහමක් නැවත සුවපත් කළ හැක්කේ අපටම විනා ඔවුන්ට නොවේ. එම විචාරකයා දෙමළ මිනිසුන්ගෙන් ඉල්ලන්නේ මෙවැන්නකි. අපි උඹලගේ ආත්මය තුවාල කළා තමයි. හැබැයි එම තුවාලය දරාගෙන ම අපට දෑතත් දියල්ලා. එනම් ඔවුන්ගේ ආත්මය නිර්මාණය කරන තුවාලය ම දැන් අපට පාවා දියල්ලා යන නරුම ඉල්ලීමයි. දෙමළා දෙමළා බවට පත් කරන්නේ සහ ඔවුන්ගේ සටන් ආත්මය මුවහත් වන්නේ ඉහත තුවාලය මගිනි. තුවාලය සුවපත් කළ හැකි වන්නේ තුවාලය සිදු කළ ඊතලයට ම පමණි. අවසානයේ මහත්මා ගාන්ධි අධිකරණයට පැමිණෙන විට නැගී සිටින විනිශ්චයකරු (සුදු ස්වාමියා) විසින් පිළිගන්නේ මෙම ස්වාමි - සේවක බන්ධනයේ අහමේ කොන්දේසිය යි. ෆැනොනියානු අර්ථයෙන් ගතහොත් ස්වාමිත්වය ගාන්ධි අතට නැවත දීමෙන් ඔහුගේ අහම සුවපත් කිරීම යි. මෙහිදී සිදුවන්නේ වසඟයක් නොවේ.
 අපි එච්වඩ් කුමරු වෙනුවෙන් පුදසත්කාර කළ යුතුයැයි කිසිසේත් නොසිතන්නේ අපි තවදුරටත් වහලූන් ලෙස සිටිය නොයුතුයි විශ්වාස කරන බැවිනි. අපි ඔහු වෙනුවෙන් නැගී සිටින තාක් කල් ඔවුන්ට අපේ තුවාලය සුවපත් කළ නොහැකි ය. අපගේ පාලකයන්ගේ පරාධීන මානසිකත්වය විසින් අපගේ පරම්පරාවට උරුමකළ කිසිවක් නැත. එච්වඩ්, විලියම්, හැරී හෝ කේට් විසින් අපව මුදවාගනු ලබන්නේ යැයි නොසිට ස්වාමියා විසින් කළ දේ ඊටත් වඩා හොඳින් අප ද කළ යුතු යැයි විශ්වාස කිරීම අප ඇරඹිය යුතුය. ස්වාමියා විසින් කරනු ලැබුවේ මෙවැන්නකි. ලැකානියානු විශ්ලේෂණයට අනුව ඔහු ගෝලීය ආධිපත්‍යය ලබාගත්තේ එක් දෙයක් මගිනි. එනම් ‘කළ නොහැකි යැයි’ (the impossible) අනෙක් අය සිතූ දෙය ම කිරීමට ඔහු වෙහෙසගත් හෙයිනි. ලෝකය තරණය කිරීමට ඔහු උත්සුක විය. ලෝකයේ එක් කෙළවරක් මහා ප‍්‍රපාතයකින් අවසන් වේ යැයි සිතූ මධ්‍යතන දෘෂ්ටිවාදය අභියෝගයට ලක්කරමින් ලෝකයේ කෙළවර තරණය කළ ඔහු ලෝකය එකිනෙක සම්බන්ධ කළ හැකි බව සොයා ගත්තේය. ප‍්‍රපාතය වෙනුවට ඔහු ලෝකය ගෝලාකාර බව සොයාගත්තේය. අධිරාජ්‍යවාදය පටන් ගත්තේ මෙතැනිනි. මීට කලින් අනෙක් අය නොකළ හැකි යැයි සිතූ දෙය කිරීමට ඔහු ‘බිය’ වූයේ නැත.
 නමුත් අපි කරන්නේ කුමක්ද? අපි හුරුවී සිටින්නේ සුදු ස්වමියා නොකළහැකි දෙය ‘කළහැකි දෙයක්’ බව පෙන් වූ පසු ඒ මාර්ගයේ ගමන් කිරීමයි. අමෙරිකාව සොයාගත් පසු අමෙරිකාවට යෑමයි. මෙතෙක් යථාවක් වූ දෙය සංකේතනයට ගෙන ආ පසු (සිතියම් කර, නාවික සිතියමට නැංවූ පසු) එය කිරීමට උත්සාහ කිරීමයි. මෙතෙක් නේපාල ජාතිකයන් දැක තිබූ එවරස්ට් කන්ද සුදු ජාතික මිනින්දෝරුවන් විසින් මිනුම් ගත කිරීම (ගණිතමය සංකේතනයට ගෙන ඒම) සඳහා එය තරණය කළ පසු (කළ හැකි දෙයක් බව අපට ඔප්පු කළ පසු) එය තරණය කිරීමට උත්සාහ කිරීමයි. අපි කිසිදා එය සිතියම් ගත කිරීමට උත්සාහ නොකළේ භූගෝලය නිෂ්පාදනයේ උපකරණයක් ලෙස එය ඩ හීලෑ නොකර නිසා ය. මෙම නොකළ හැකි දෙය ‘කළ’ කොලොම්බස්, වස්කෝ දි ගාමා, එඩ්මන්ඩ් හිලරි, මරණය වෙත ගොස් (යථ) ‘එය කළ හැකි’යැයි ඔප්පු කළ නිසා ඔවුන් ‘ස්වාමි’ බවටත් බලා සිටින අප ‘වහලූන්’ බවටත් පත් වී ඇත. ස්වාමියා මරණයෙන් කෙළවර වන බව හේගල් කියන්නේ මේ නිසා ය.
 අපගේ නිදහසේ පදනම නම් ෆැනොන් දක්වන ආකාරයට අපගේ ගැඹුරු සංස්කෘතිය බිය (cultural fear) නැතිකර ගැනීමයි. බටහිර ලිංගිකත්වය දුටු විට දණිස් වෙව්ලන ගතිකය (trembling) වෙනුවට ඔවුන් උත්සාහ කරන ‘නොකළ හැකි දෙය’ (the impossible) අප විසින් ද ඔවුන්ගේ අනුමැතියකින් (දැක්ම) තොරව කිරීමට උත්සාහ කිරීමයි. ජාන තාක්ෂණය ඔස්සේ ඇතැම් විට චීනය සිදු කරමින් ඉන්නේ මෙයයි යනුවෙන් ද දැන් අපට සිතිය හැකිය.
- මහේෂ් හපුගොඩ
(Courtesy of ISI.lk) 
http://sis.lk/viewers-com/item/209-the-hurt-ego