Saturday, December 30, 2017

නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීම, පමණක් නොව, එම ලියන්නන්ගේ මිනී මත සිටගෙන සරුවත් බීම -ලංකා ඊ නිව්ස් තහනම ගැන

ලංකා ඊ නිව්ස් රටේ තහනම් කොට ඇත. තහනම් කිරීමට එරෙහිව අදාළ වෙබ් අඩවිය විසින් කරන නොනවතින අරගලය හැරෙන්නට රට තුළ දැකිය හැකි විරෝධය බයාදු එකකි. එම බයාදු විරෝධය විසින් මෙම කාරණය ගැන අවබෝධ කර ගැනීම සඳහා මූලික ලෙස තනා දී ඇති ප්‍රවේශය වන්නේ, යම්කිසි අභ්‍යන්තර ආරවුලක් දුරදිග යෑම නිසා මෙය උග්‍ර ලෙස දේශපාලනීකරනය කිරීමෙන් පසු, ඒ සඳහා අවශ්‍යය දේශපාලන බලය ඉතාම ශූක්ෂ්ම ලෙස භාවිතා කොට ඇති බවයි.

ලංකා ඊ නිව්ස් මාධ්‍යකලාවේදී අනුගමනය කරන මාධ්‍යය භාවිතය ගැන එහි කතෘවරයා පෙනී සිටින්නේය. සයිබර අවකාශයේ මූල්‍යමය වාසි පමණක් සොයමින් කොතැනක හෝ හැංගි කරන කැලෑපත්‍ර කලාවට වඩා එය පැසසිය යුතු කාරණයකි. එය ඉතාම කලාතුරකින් පමණක් දැකිය හැකි ගුණාංගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එසේම, ලංකා ඊ නිව්ස් මතවාදීමය වශයෙන් රටේ විශාල ලෙස බලපෑම් කළ සහ කරමින් සිටින පුවත් වෙබ් අඩවියක් බව කිසිඳු විවාදයක් නැත. දශක ගණනාවක් තිස්සේ කරනු ලැබූ අනවරථ අරගලය තුළ; ඇතැම් දෑ උග්‍ර ලෙස පෞද්ගලීකරණය වී ඇති ස්වභාවයක් දැකිය හැකිය; එසේම, අදාළ ආතනය සමඟ කටයුතු කළ අයවලුන් ඉන් ඉවත් වී ඊට එරෙහිව තම මතය ඉදිරිපත් කිරීමේ රටාවක් දැකිය හැකිය. නමුත් ඒ සියල්ලම අභිමුඛව තම පුවත් වෙබ් අඩවිය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට සහ එහිදී ඉදිරිපත් කරන අදහස් වෙනුවෙන් පෙනී සිටීමට එහි කතෘවරයා කටයුතු කරනු ලැබීය.
රටේ අනෙකුත් ක්ෂේත්‍ර වලට සාපේක්ෂව ජනමාධ්‍යය ක්ෂේත්‍රය ගත්විට, ඉතාම සංකීරණ ලෙස ව්‍යාකූල වී ගිය සහ විකෘති වී ඇති තවත් ක්ෂේත්‍රයක් නොමැති තරම්ය. එසේම, රටේ නූතන ජනමාධ්‍යය යැයි මතුපිටට පැමිණ ඇති අවකාශය තුළ දැකිය හැක්කේ, තවත් යමක පළ වී ඇති දෙයක් හොරෙන් ගෙන එය පළ කරමින් තම පැවැත්ම තහවුරු කර ගැනීම මිස; නිර්මාණාත්මක හෝ ගවේශනාත්මක මාධ්‍යය කලාවක් නැති තරම්ය. මෙය, රටක් ලෙස මුහුණ දී ඇති අතිශය අවසනාවන්ත තත්වයයි.
මෙම මූලික කාරණය තව දුරටත් අවබෝධ කර ගැනීම සඳහා මෙසේ සඳහන් කළ හැකිය.
එදිනෙදා හමුවන බොහෝ මිනිසුන් දෙස බැලීමෙන් සමාජය ගැන මූලික අවබෝධයක් ලබා ගැනීමට උත්සහ කළ හැකිය. එනම්; වෘත්තිමය, නිපුණතාවයක් ඇති අයෙකු සිදු කරන කටයුතු දෙස හොරෙන් බලා සිටින වෘත්තිමය නිපුනත්වයක් ප්‍රගුණ කිරීම ගැන සිහිනයකින්දු නොසිතන අයෙකු ( කඩප්පුලියෙකු), නිපුණතාවයෙන් හෙබි මිනිසා කරන කටයුත්ත තමන්ටත් කළ හැකි බව සිතන්නේය. ඒ ගැන උජාරුවෙන් බස හෙළන්නේය. තමන් දන්නේ යැයි කියමින් අනෙකාව මුලාවේ හෙළන්නේය. ඉන් පසු එය කෙසේ හෝ ඩැහැ ගන්නේය. එලෙස ඩැහැ ගැනීම සඳහා විවිධාකාර උපායන් අනුගමනය කරන්නේය. ඒ සියල්ල සිදුකොට වෘත්තිමය නිපුනත්වයක් ප්‍රගුණ කළ තැනැත්තා පාගා දමා හෝ පන්නා දමා, රඟපෑමට අති දක්ෂ පුද්ගලයා වේදිකාවේ ඉදිරිපෙළ සිටිමින් තම අවශ්‍යතාවයන් සපුරා ගන්නේය. තම ආශාව මුදුන් පමුණුවා ගැනීමෙන් පසු; රටට හෙණ වැදුනද; තමන් විසින් සිදුකරණ සියලු කටයුතු වල වගකීම වෙනත් අයවලුන් මත තබා තමන්ගේ ඇඟ බේරා ගන්නේය. ගෙවී ගිය දශක කිහිපය දෙස බැලීමේදී පෙනී යන මූලික සමාජ වින්නැහිය මෙයයි.
හොරකම් සිදු වී ඇත, හොරුන් නැත. දූෂණයට ලක් වූ ස්ත්‍රීන් සිටිති, නමුත් දූෂකයින් නැත. පව් ඇත. නමුත් පව්කාරයින් නැත.
මෙම සමාජ වින්නැහිය ජනමාධ්‍යයවේදය මූලික කර ගනිමින් සලකා බලා සරලව කිවහොත් සිදුවී ඇත්තේ; නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීම, පමණක් නොව, එම ලියන්නන්ගේ මිනී මත සිටගෙන සරුවත් බීමය.
පෙර සඳහන් කළ ආකාරයට, ලංකා ඊ නිව්ස්, මාධ්‍යය භාවිතයේදී තම බස හැසිරවීම ගැන බොහෝ දෙනෙකු දොස් කියති. නමුත්, කතුවරයෙකු ලෙස එලෙස තම බස හැසිරවීම ගැන එහි කතුවරයා වන සඳරුවන් සේනාධීර මහතා වගකීම භාර ගන්නේය. තම නිෂ්පාදනය ගැන තමන් වග කියන්නේ නම්, සහ එය වෙනුවෙන් පෙනී සිටින්නේ නම්; එය ඉතාම වැදගත් පිහිටීමක ප්‍රකාශනයකි.
දේශපාලනික වශයෙන් ලංකා ඊ නිව්ස් රැඳී සිටින ආස්ථාණය ගැන කවුරුත් දනිති. එසේම; කුමන අභියෝග මැද වුවද; එහි කතුවරයා තමන්ගේ දේශපාලන දර්ශණය වෙනුවෙන් තම අදහස් ප්‍රකාශ කළේය/කරන්නේය. එය, සමාජයට කිසිඳු බලපෑමක් නොකළේය යැයි යමෙකු කියන්නේ නම්, එය එලෙස කියන අවවලුන්ගේ කුහකකම නිසා සිදුකරණ ප්‍රකාශයක් මිස වෙන කිසිවක් නිසා නොවේ.
දෛවයේ සරදම වන්නේ, තමන් ගොඩ නැගු අයවලුන්ම තමන්ට එරෙහිව පහරදෙන විට නැගෙන වේදනාවයි. නමුත්, එය සදාතනික සත්‍යය හෙවත් ලෝක දේශපාලනික සත්‍යයයි. මෙම ප්‍රායෝගික ඇත්ත තුළ අවබෝධයෙන් විසීම, සිදුවන බරපතල බිඳ වැටීම හමුවේ යළි නැගිටීම සඳහා අත්‍යවශ්‍යය වේ.
ලංකා ඊ  නිව්ස් සම්බන්ධයෙන් විශාල භීතියක් රට හමුවේ නිර්මාණය කොට තිබේ. එය කප්පම් ගන්නේය; එය පුවතක් පළ කොට ඊට මුදල් ලබා ගැනීම නොහොත් මූල්‍යය මංකොල්ලකෑමක් ( එක්ස්ටෝර්සන්) සිදු කරන්නේය; එහි ඒජන්තයින් මිලියන ගණන් හම්බකොට එය තමන්ගේ පෞද්ගලික සාක්කුවල බාහාගෙන, කතුවරයාගේ නම හැකි පමණ රටේ විකුණන්නේය; ආදී වශයෙන් විශාල චෝදනා එල්ල කරමින් අදාළ වෙබ්අඩවිය ගැන විශාල භීතියක් නිර්මාණය කොට තිබේ. මේවා විශේෂයෙන්, විදෙස්රටවල සිට මෙහෙයවන පුවත් වෙබ් අඩවි මුහුණ දෙන ප්‍රධාන චෝදනාවන් වේ.
මෙවැනි; දෑ වඩාත් ක්‍රමානුකූලව විසඳා ගැනීම ඉතාම වැදගත් වන්නේ; රටේ ඉදිරි දේශපාලන පිම්ම සඳහා ලංකා ඊ නිව්ස් වැනි මාධ්‍යය ආයතන වලින් කළ හැකි බලපෑම ඉතාම සුවිශාල වන බැවිනි.
ලබ්බට තිබූ අත පුහුලට තැබීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. එය මෙරට දේශපාලනික ඉතිහාසයයි. ගරුත්වයක් නැති මිනිහෙක් තමන්ට ගරුත්වයක් ඇතැයි පිළිගන්නැයි අනෙකාට බලකිරීම; ශීලයක් නැති මිනිහෙක් තමන් ශීලන්වත්යෙකු යැයි අනෙකාට පිළිගන්න යැයි අනෙකාට බලකිරීම; ආදී වශයෙන් තමන් ඇත්ත ලෝකයේ කරන අකටයුතුකම් වසා ගැනීම සඳහා තම බලය භාවිතා කොට වෙස්මුහුණු පැළඳ සිටින සමාජයක් බවට මෙරට පත්වී තිබෙන්නේ මේ නිසාය. ඊට අපි අපේ පැවැත්ම වෙනුවෙන් කිසිඳු ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නොමැතිව වන්දනාමාන කරති.
එසේම මෙහිදී සඳහන් කළ යුතු මූලික කාරණයක් තිබේ; එනම් තමන්ගේ නිදහස සුරැකෙන්නේ තම අසල්වැසියාගේ නිදහස සුරැකීම වෙනුවෙන් තමන් කැප වෙනතාක් දුරට පමණි. ලංකා ඊ නිව්ස් තහනම මඟින් රට හමුවේ සහ ජනමාධ්‍යය නිදහස වෙනුවෙන් කැප වී සිටින අයවලුන් හමුවේ නිර්මාණය වී ඇති මූලික අභියෝගය එයයි.
කුහක මානසිකත්වය හෝ වෙනස් දේශපාලනික මතවාද හේතුවෙන් මතු වී ඇති විරසකය පසෙකලා සගයාට එරෙහිව සිදුකරණ මර්ධනය හමුවේ ඔහු රැක ගැනීම රට හමුවේ ඇති මූලික වගකීම වේ.
ප්‍රකට ගුරු ගීතයේ ජීවිතයට උගන්වන මූලික පාඩමක් යළි සිහි කිරීම වැදගත් යැයි සිතේ;
“ සටන්වලින් පිරි, ඒ අසීරු ජීවිතයත්, විවිධ ඉරණම්වලට කැප වූ මිනිස් හැඟීම් සහ බලාපොරොත්තුත් තෙලිතුඩින් සහ සායම්වලින් පිළිබිඹු කළ හැකිදැයි මම නොදනිමි. සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද? මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ. ඔබ මා සමග එක් වී නිර්මාණාත්මක කලාවේ කොටස් කරුවෙකු විය යුතුය.” ( ගුරු ගීතය – චිංගීස් අයිත්මාතව්)
නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීමට එරෙහිව පෙළ ගැසීමට නම් වැදගත් වන්නේ ලියන්නන් එකතු වී සන්ධාන ගත වීම සහ තම විවිධත්වය තුළ පොදු බව එනම් වෘත්තියමය නිදහස සහ අයිතිය මෙන්ම නිපුණත්වය තහවුරු කර ගැනීමය. අභිමානයෙන් සහ කෞශල්‍යයෙන් පිරි ලියන්නෙකු වීම එතරම් පහසු නැත. එවැන්නන් බිහිවන්නෙන් කලාතුරකිනි. මැරුණු පසු එම මළ මිනියෙනුත් වාසී ගැනීම සඳහා ප්‍රලාප කීම නොව ඔවූහු රැක ගැනීම එම සමස්ථ සමාජයේ වගකීමකි.
ලංකා ඊ නිව්ස් තහනම් කිරීම සම්බන්ධයෙන් අපි අපේ විරෝධය මෙසේ පළ කරන්නෙමු. 

ශ්‍රී ලංකා ගාඩියන් කර්තෘ නිලන්ත ඉලංගමුව

(Courtesy of Lankaenews) 
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ අන්තර්ගතය පිළිබද විවාදය කෙසේ වුවද වාරණය සම්බන්ද කරුණේදී එයට එරෙහි විය යුතුය.