Saturday, March 31, 2018

නව ලෝකයක් සොයා යාමට තවමත් ප්‍රමාද නැත

"නව ලෝකයක් සොයා යාමට තවමත් ප්‍රමාද නැත"
(Tis not too late to seek a newer world)
මෙම පද පේළිය මා සොයා ගත්තේ ඉතා ප්‍රකට වික්ටෝරියානු කවියෙකු වූ ඇල්ෆ්‍රඩ් ලෝඩ් ටෙනිසන් නම් කවියාගේ 'යුලීසිස්' නම් කවියෙනි. කිසිදා තරණය කළ නොහැකි යයි සිතු ලෝකය සුදු ස්වාමියා විසින් තරණය කිරීම සඳහා උත්ප්‍රේරණය ලබා ගත්තේ ටෙනිසන් වැනි කවින්ගෙනි (ලංකාවේ සාහිත්‍ය කරුවන් කරන්නේ මිනිසුන්ගේ තියෙන මොරාල් එකත් කඩා දැමීමය.  නැත්නම් මොරාල් එක ජාතිවාදී කිරීමය). ටෙනිසන් පවා ඉංග්‍රීසි ජාතිකත්වය උත්කෘෂ්ට කල කවියෙක් ලෙස සැලකේ. ඒ කෙසේ වුවද මා මේ කියන්න හදන්නේ වෙනත් දෙයකි. එනම් කල නොහැකි (impossible) යැයි අප සිතන දෙය කිරීමට අපි යොමුවන්නේ කෙසේද සොයා බැලීමය. 

සිංගප්පුරුව තම දියුණු අවධිය වෙත ලඟා වීමට යන ගමනේදී මුලින්ම කලේ තම ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමයි. ඕනෙම අභියෝගයක් ජය ගැනීමට පෙළඹ වීමයි. සාමුහිකව අභියෝග ජය ගැනීමයි. කණ්ඩායම් හැඟීමයි. වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාමයි. ධෛර්යවන්ත භාවයයි. ඒ සඳහා ඔවුන්ට උපකාරී වුවේ නොවිධිමත් අධ්‍යාපනයේ අංගයක් ලෙස සැලකෙන බාහිර ක්‍රියාකාරකම්ය (බාහිර කේන්ද්‍රීය පුහුණුව- Outward Bound Training). ලොව හොදම බාහිර ක්‍රියා ආයතනය ඇත්තේද ඔවුන්ටය. Outward Bound යන නාවික නම මුල්ම එංගලන්ත පාසැල විසින් පාවිච්චි කරන ලද්දේ ටෙනිසන් ගේ ඉහත අභිලාශය සිහිපත් කරමිනි.

විෂයේ මාධ්‍ය පිහිටන්නේ විෂය තුළ නොව විෂයට පිටින්ය (ex-timacy) යන්න මෙහිදී නැවත සිහිපත් කළයුතුව ඇත. අපගේ ආශා වස්තුව අපෙන් බාහිර ලෝකය තුල සොයා ගත යුතුව ඇත. නිශ්ක්‍රියව උදාසීනව සිට එය කළ නොහැක. විරාගයේ අරවින්ද පන්නයේ ලංකිකයින් හට මෙවන් බාහිර ලෝකයට නැඹුරු වුන පුහුණු ඉතා වැදගත් විය හැක. බටහිර ආත්මය තම ආශාව බාහිරට කේන්ද්‍ර කරන්නේ, බාහිර ලෝකය ගවේෂණය කරන්නේ තම තුලම පැලපදියම් වී ඇති කිසිදා පිරවිය නොහැකි හිස්බව නිසාය.  නමුත් අප සිතන්නේ අප අභ්‍යන්තර යෙන් පිරි ඇත යනුවෙනි. නමුත් අපද හිස්ය.

නමුත් මෙම හිස්බව කපටිකම් වලින් වසාගත නොහැක. එසේ කල යුතුද නොවේ. ඕස්ට්‍රේලියන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට වුවේද ජයග්‍රහණය වෙනුවෙන් සහ මුදල් වෙනුවෙන් මෙම 'කෙටි පරිපථ' සොයා යාමේ භයානක ක්‍රීඩාවයි. ඔවුන් තමා පමණක් නොව තම රටද විකුණා දැම්මේය. අද දවසේ 'දියුණු ශිෂ්ට බටහිර' විසින් කරන මට්ටමේ කපටිකම් සහ වංචනික වැඩ අපගේ 'නරක, අශිෂ්ට, ඉතිහාසයක් නැතැයි' කියන පෙරදිග තුන්වන ලෝකය විසින්වත් කරන්නේ නැත. කේම්බ්‍රිජ් ඇනලිටිකා සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වංචාව මෙයට සමීපම උදාහරණ වේ.

අවම මට්ටමෙන් ගත්විට කිසිම් චාරයක් නැතැයි කියමින් බටහිර උදේ හවා විවේචනය කරන සෝමාලියානු කොල්ල කරුවන් වත් ස්ටීව් ස්මිත් වර්ගයේ වැඩ කරන්නේ නැත (බලන්න මෑතදී තිරගත වූ The Pirates of Somalia චිත්‍රපටය). ඩේවිඩ් වෝනර් ලා මෙසේ කරන්නේ අධි සුඛෝපභෝගී ජිවිත ගෙවන ගමන් බිමට වතුරවත් නැති දකුණු අප්‍රිකානුවන් සමගය. දියුණු රටවල් දුප්පත් රටවල් සමග ක්‍රිකට් ගසන්නේ මෙසේය.  

කිසිවක් අලුතෙන් සිතා ක්‍රියාත්මක කල නොහැකි අපගේ දේශපාලඥයින් මුලින්ම මෙම Outward Bound පුහුණුව ලබා ගත යුතු යයි සිතමි. එකිනෙකාගේ පශ්චාත් භාගය හපා කමින් සිටින කාලකන්ණි යටත් විජිත කුලල් කා ගැනීමෙන් එවිට වත් අපට ගොඩ එනු හැකි වේද?

Peter Blue Nautical Sign  


සාමුහිකව අරමුණු කරා ළඟාවීම



Nothing is impossible


Saturday, March 24, 2018

මියගිය මාක්ස් සජීවීකරණයට පෙර!

'Marx Live in Sri Lanka' කියල කේ. කේ. සමන් කුමාර මිත්‍රයා අලුතෙන් ජනගත කරන්න හදන නවකතාවේ එන වාක්‍ය දෙකක් විය හැකි දෙයක් ඇතුලත් කරලා මුහුණු පොතේ පලකරලා තිබුණ පෝස්ටරයක් දැකල තමයි මේ පොඩි දෙය ලියන්න හිතුවේ. ඒක දැක්ක හැටියේ සාමාන්‍යයෙන් සමන් ලියන 'දෙය' සහ ශෛලිය අනුමාන කරගන්න පුළුවන් උනත් පොත බලන්නේ නැතුව යමක් වැඩේටත් කලින් ලියන එකෙන් ඔහුට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ කරන්නේ සමන් මේ දවස්වල කරමින් ඉන්න සමස්ත වැඩේ ගැන යමක් ලියන එක මිසක් මාක්ස් සජීවීකරණය ගැන ම ලියන එක නෙවෙයි. 

සමන් ඔයා ගොඩක් ලේඛනයේ යෙදෙන කෙනෙක් නේ. ලිඛිත දේවල් මියගිය සන්නිවේදනයක් (written communication as dead and unresponsive) ලෙසත් මුහුණට මුහුණ කරන සංවාදය (face to face interaction) වඩාත් සජීවී දෙයක් හැටියටත් එමානුවෙල් ලෙවිනා හිතුවට ඩෙරීඩා හිතුවේ ලිඛිත සන්නිවේදනය කියන්නේ වඩාත් පුළුල් අවකාශයක් සහ නිදහස් වේදිකාවක් කියල. කථනය අනුභූතික අවශ්‍යතා මත පිහිටියත් ලේඛනය ආචාර ධාර්මික තැනක පිහිටුවිය හැකියි කියලයි ඩෙරීඩා තමන්ගේ Writing and Difference පොතේ කිව්වේ. ලෙවිනාගේ  අදහස උනේ අපි අනෙකාට විවුර්ත වෙන්නේ (openness to the Other) මුහුණ බලාගෙන කතා කරනකොට ඇතිවෙන සදාචාර අන්තර්ගතය (සවිඥානිකත්වය) එක්ක කියන එක සහ 'අනෙකා වෙනුවෙන් ජිවත් වීම' ලෝකයේ තියෙන්න පුළුවන් උසස්ම සදාචාරය කියන එක. මම ඒකට එකඟයි (මොකද ලංකාවේ හුගක් අය මුහුණ බලන්නේ නැහැ කතා කරනකොට. හිතේ තියෙන මොකක්දෝ අවුලක් එක්ක එයාල අහක බලාගෙන ඉන්නේ). ඒ වගේම  ෆුකෝ ල ඩෙරීඩා ල මට ඇහැ ගැහෙන්නේ ඔයාලගේ පරම්පරාව එක්ක  කියලත් මම මෙහිදී කියන්න ඕනි. 

සමන් කියන කෙනා මම මුලින්ම දැනගන්නේ අනූව දශකයේ අග විතර 'ප්‍රවාද' සඟරාවේ තිබුන ඔහුගේ ලිපියක් සහ 'එසඳ මම බලා සිටියෙමි' පොතේ දැන්වීමක් දැකල. ඒ නමත් එක්ක මම තවත් නම් කිහිපයක් දන ගත්ත. ඔවුන් යම් යම් දාර්ශනිකයින්ගේ නම් කියල තිබෙනවත් මම දැක්ක. අද මම කරමින් ඉන්න දෙය කියන්නේ එම නම් ඔස්සේ ලැබුණ හෝඩුවාවල් තරණය කරන්න මම පෙළඹ වීම එක්ක ආපු උත්තේජනයක්. සමහර විට මම වෙන්න ඇති 'ප්‍රවාද' සඟරාව සහ පසුව X මතවාදය ඔස්සේ ලැබුණ 'ආශාව' තරණය කරන්න හදන අවසාන කෙනා.  මොකද අද පරම්පරාවට එම දාර්ශනික නම් දැනගන්න 'ප්‍රවාද' ඕනි නැහැ.  ගූගල් කරන්න විතරයි තියෙන්නේ. උන්ට ඕනි එක උන් හොයාගන්නවා අපිට අර 'නම් කියුව අය' සංකේතීය වෙන කොට දැන් අය සිම්බොලික් එක වෙන්නේ ගූගල් එක (මම කියන්නේ අරගල කරපු උන් සංකේතීය නැහැ කියල නෙවෙයි. අරගලයෙන් පසු මිණී කඳු දැකල තිබුන අපිට අර දර්ශනිකයෝ ලොකු ආශ්වාදයක් වුණා යථාව සංකේතනය කරගන්න). මනුෂ්‍යයා විතැන් කරලා තියෙනවා තත්‍යසමාන අවකාශයේ බලය විසින්. නමුත් ගූගල් එක  විසින් ආයෙත් ඔවුන්ව අර සංකේතීය මිනිසුන් වෙතම ගෙනියනවා. කොහොම වුනත් සමන්ගේ වචන දැක්ක ගමන් මට හිතුන දේ ගැන දැන් බලමු. 

කිසිදු දෙයක් සිදු නොවන භූමියක බොහෝ දේ සිදුවෙමින් ඇත කියල තමයි මුලින්ම මට හිතුනේ ඔයාගේ මුහුණු පොත් දැන්වීම දැකල. කිසිවක් නොමැති තැනක පවතින 'යම් දෙය' වනාහි රෝග ලක්ෂණයක් හැටියට තමයි සමහර විචාරකයෝ මේ 'නැති තැන ඇති දෙය' හඳුන් වන්නේ.  Something that is there instead of nothing is always a symptom! අප අවට ඇත්තේ මියගිය වමේ ශුන්‍යතාවයයි (nothingness) කියල ගත්තොත් සත්තකින්ම තිබිය යුතු ශුන්‍යතාවය වෙනුවට සමන් මේ ගෙනෙන්නේ කුමක්ද? මට හිතෙන හැටියට ඔහු ගෙනෙන්නේ මියගිය මාක්ස් ගේ අවතාරය (මලමිණිය නැගිට්ටවීම). ඒ කියන්නේ ශුන්‍යතාවයට තියෙන බිය නිසා එම බිය වසාගන්න කරන උපක්‍රමයක් මේක. අප ශුන්‍යතාවයට බිය වෙන්න ඕනි නැහැ කියලයි මට හිතෙන්නේ. සමන් ඔබ එයට බියපත් ද කියල මට අහන්න හිතෙනවා. ඔබගේ සාහිත්‍ය යනු එම ග්‍රස්තික බියහි ප්‍රතිඵලයක් ද? යටත් විජිත වර්ණ භේද වාදය තුල කල්ලාගේ (blacks) මානසික ව්‍යුහය ගැන ලියමින් Derek Hook (2012, 2013) කියන්නේ පශ්චාත් යටත් විජිත ආත්මය වහල්භාවයේ දේශපාලන ක්ෂිතිය නිසා නියුරෝසික වී ඇති බවයි.  කුමක් කරන්න දැයි ඔහුට තීරණය කල නොහැකි ලෙස බෙදී පවතින බවයි (ambivalent or split subject) ඔහු කියන්නේ (මේ 'අතීරාණාත්මක බව' නිසා රනිල් ගැන ලියන ලිපි වලට ලොකු ඉල්ලුමක් තියෙනවා මේ දවස් වල). ඔබ ජීවිතය පුරා කරමින් සිටින 'වික්ටෝරියානුහරණය' ගැන ඔබ දැනුවත්ද සමන්?

බලන්න සමන් අපිට විජිතකරණය නිසා වෙලා තියෙන අබග්ගය. එක පැත්තකින් අපි වික්ටෝරියානු උගුලේ හිරවෙලා අනිත් පැත්තෙන් අපි උන්ගේම ලිංගික සංස්කෘතියේ හිරවෙලා. අපි මේ දෙකේම වහල්ලු කියලයි මම කියන්නේ. දෙකම ගේන්නේ මෝඩ සුදු ස්වාමියා කියන එක අපේ එවුන්ට තේරෙන්නේ නැති හැටි! 

සමන් මේ කියමින් ඉන්නේ ලාස් වේගාස් නම් ධනවාදයේ අර්චන නගරයේ මරණිය වසඟය (Lethal seduction) අබිසය මාක්ස් මාර පරාජය ලැබූ බවද? නැත්නම් මාක්ස් එම මරණිය වසඟය නිසා ධනවාදය නම් සමාජ ප්‍රගමනයේ අවදිය දෙස අපුලෙන් බැලු බවද? ඔහුගේ ඔක්කාරය කුමක් නිසා හටගෙන ඇත්ද? එය නියුරෝසික පසුබෑමක් ද?  
මාක්ස් එළියට විසිකිරීම සංකේතීයව ධනවාදයේ විජයග්‍රහණ යද? නැත්නම් ධනවාදයටම පාලනය කරගත නොහැකි එහි විපරිත සංවර්ධනයද? එසේත් නැත්නම් සමන් යනුම මෙම සාර්වත්‍රික විපරීත බව (universalized perversion) තුළ මියගිය පියාගේ (මාක්ස්) අවතාරමය වෙළඳපළ උත්ථානය ද? ටිකක් හිතන්න සමන්.... 

විසි වන සියවසේ අහිමි වූ මාක්ස් ගේ මෙලන්කොලියාවෙන් මිදිලා අපි විසි එක්වන සියවසට යන්න හිත හදාගෙන තියෙන හින්ද මාක්ස් ගැන අපිට පිපිරෙන්න තරම් ලොකු 'අර්චනමය අහමක්' නැහැ. සමහරු එතැනම පල්වුණාට අපි එතැනින් ගිහිල්ලත් ඉවරයි. එයාගෙන් ගන්න ඕනි දේ අරගෙන එයාගෙන් මිදිලා අපි ඉස්සරහට යනවා. ඔයත් එන්න අපිත් එක්ක. පරක්කු නෑ. 

ඔයා ඔය ලාස් වේගාස් වල ඉන්න ගැහැණුන්ගේ ඔඩොක්කුවේ අර ඉන්න ට්‍රම්ප් කියන වාහේ ව තියන්න සමන්. ඒ යකා ඉන්නෙම ඔයවගේ තැන් වලනේ.  එයා ඔයාගේ වික්ටෝරියානු විරෝධයටත් හුගක් ගැලපෙනවනේ ... ඔයාගේ මාකට් වැඩේට ගැලපුණා ට කමක් නෑ මාක්ස් ව අල්ලලා දමන්න සමන්. අපි එයාට තියෙන සිම්බොලික් එක එහෙම ම තියමු. ඔයා හුගක් බුදු හාමුදුරුවෝ ගැන උනත් මේ විදියටම 'පරිකල්පනය' කරනවා අපි දැකල තියෙනවා. ඔයා ඉන්නේ ස්ත්‍රියගේ පැත්තේ විමුක්තිය වෙනුවෙන් වෙන්න ඇති. නමුත් අර පිරිමි අයට අයිති සංකේතිය බවට අපි හානි කරන්න ඕනිද? පිරිමියා කියන්නෙත් අනේකත්වයක් නේද සමහර විට වැරදි වුනත්. සමහර විට මම සම්ප්‍රදායික ලෙස ඔයාට පෙනෙනවා ඇති පිරිමි ලෝකය ස්වභාවික කරන. ඒකට කමක් නෑ සමන්... 

ස්ත්‍රියගේ නිදහසට මම විරුද්ධ නැහැ. මම කියන්නේ පිරිමි ආශාව ස්ත්‍රියගේ නිදහසට තියෙන එකම බාධාව නම් අපේ ආශාව විනාශ කරලා හරි එයාලට නිදහස් වෙන්න කියල ('මා මත පය තබා ඔබ නිදහස් වෙන්න' කියල තමයි යේසුස් වහන්සේ කොඳුරන්නේ Silence (2016) කියන චිත්‍රපටියේ). 

මාක්ස්, බුදු හාමුදුරුවෝ, යේසුස්, ගාන්ධි (ස්ත්‍රීවාදීන්ට පෙන්නන්න බැහැ), ලෙනින්, මැන්ඩෙලා (ඔක්කොම පිරිමි තමයි. ඔයාට අප්පිරියත් ඇති) වගේ අය හැදුවේ එක කුලකයකට පමණක් විමුක්තිය උදා කරන්න නෙවෙයි. සමස්ත මිනිස් වර්ගයාට ම යමක් කරන්න. ඒ තැන් වලදී ඔවුන් අධානග්‍රාහී ඇති. ඕනිම ව්‍යාපෘතියක සීමාකම් තියෙනවා සමන් (ව්‍යාපෘතිය හැදෙන්නෙ ම සීමාව පාදක කරගෙන සහ හැම දෙයක්ම නො-අවසන් නේද?) නමුත් හැමෝම අර පිරිමි චරිත වලට ගරු කරනවා ඔවුන්ගේ  විශ්වීය බව නිසා. එයාල ජිවත් වුනේ අනෙකා වෙනුවෙන්. ඒක පහසු දෙයක් නෙවෙයි සමන්. ඔයා කරන්නේ අර සංකේතිය කියල ගන්න පුළුවන් චරිත වලට ගහල දාන එක (iconoclasm). මොකද අර සංකේතීය පිරිමින්ට ගැහුවම තමයි ඔයාගේ මාකට් එක හැදෙන්නේ (එතැනදී ඔයා හිස්ටරිකයි). එහෙම පිරිමින්ට ගහනකොට තමයි ඔයා ගේ ළඟ ඉන්න ස්ත්‍රීවාදී කට්ටිය විසිල් ගහන්නේ. ඒ අයගේ ගේස් පොයින්ට් එකේ (විශාදයේ) වස්තුව වෙනවා කියන්නේ ආයිත් විපරිත බවක් (මම කියන්නේ ලෙඩක් ගැන හෙම නෙවෙයි, දේශපාලන ස්ථාවරයක් ගැන). නමුත් ඔයා එතරම් සංකේතිය නැති අර ෆැන්ටස්මතික විපරීත ට්‍රම්ප් වගේ අයට ගහන්නේ නැහැ. මොකද ඒ යෝදය ගැන ලියන පොත් වත් කවුරුත් සීරියස් විදියට ගන්නේ නැහැ. නමුත් මිනිහ තමයි නියම වුමනයිසර් (සමහර විට ඔයා එතැනදී ග්‍රස්තික ඇති).

පොහොට්ටුවේ උන්ගේත් වීරයා ට්‍රම්ප්. මොකද උන්ට ට්‍රම්ප් පෙන්නේ 'අපේ එකෙක්' විදියට. ඔබාමා ගෙන් ගාන්ධි ගෙන් උන්ට වැඩක් නෑ. උන්ට ඕනි පිස්සු වාහෙලා බටහිරත් පිස්සු කරනවා දකින්න. එතකොට මෙහෙ උන්ට පිස්සු නටන එක පහසුයි නේ. මුස්ලිම් උන්ට එන්න බැරිවෙන්න තාප්ප බඳින එකයි නිල් චිත්‍රපට නිලියෝ කලිසම් ගලවන එකයි තමයි අපේ එවුන්ගෙත් අශ්ලීල සිහිනය.  එතැනදී නම් උන් ලිංගික පුලන්නෝ තමයි...

මට හිතෙන්නේ ඔය වික්ටෝරියානු පිස්සුවයි බටහිර ලිංගික හඹා යෑමයි අතරින් අපි 'අපේ දේ' (වෙනස, විසම්මුතිය)  හොයාගන්න ඕනි (මම ඒක ඉගෙන ගන්නේ ටොඩ් මැගොවන් ගෙන්). විජිතකරණයට පෙර සිංහල අපිට ඔය වික්ටෝරියානු ප්‍රශ්න තිබුනෙත් නැහැ, අදිවේගී ආශා හඹා යාම තිබුනෙත් නැහැ.  ඔයාලා සිංහල සාහිත්‍යය හොදින් දන්න අය හැටියට මිට වඩා වගකිව යුතු වෙනවා ලංකාවේ අනාගතයට. අධිරාජ්‍යවාදයේ වික්ටෝරියානු කුහකකම සහ ආශා හඹා යාමේ මර උගුල අතරින් 'තුන්වැනි විකල්ප අවකාශයක්' (third-space) සොයාගන්න ඕනි. දැනට අපිට එහෙම කරන්න බැරි වෙලා තියෙනවා.  නුතනවාදීන්ගේ මෙම දේශපාලන 'අසමත් භාවයේ' සම්පුර්ණ වාසිය යන්නේ ජාතිවාදී කොටස් වලට. ඒ කියන්නේ ජාතිකත්වයේ හිමිකම උන්ට පොල්මඃකාර වෙලා.  තුවාල වූ ජාතික සවිඥානිකත්වයේ අහම නිතරම සොයායන්නේ ජාතිකවාදය. මොකද ඒකෙන් විතරයි තුවාලය සුවපත් වෙන්නේ (නුතන කියන සිනමාකරුවෝ වුනත් ඉහත ආත්මීය සම්භන්දය මිනිස්සු එක්ක ගොඩ නැගුවේ නැහැ. ඒක කරන්නෙත් සිංහල වීරත්වය ගැන කතා කරන දුටුගැමුණු පරම්පරාවේ අය). මොකද නුතන කොටස් වලට බැරිවෙලා තියෙනවා එම නියුරෝසික ආත්මයට කතා කරන්න. ඒ අයට රනිල්, මංගල වගේ අය පෙනෙන්නේ තනිකරම සතුරෝ විදියට. නමුත් ඇමෙරිකාවේ පදිංචිය තියෙන උන් ඇවිල්ල අර අහමේ තුවාලය අවුස්සනවා. උන් පටස් ගාල ජනප්‍රිය වෙලා බලයට එනවා. රනිල්ට පිටරට ගෙවල් නැහැ. ලෙඩක් වුනොත් හැරෙන්න මනුස්සයා පිටරට යන්නෙත් නැහැ. නමුත් ඔහුට බැහැ අර සිංහල ආත්මයට කතා කරන්න (මම මේ කියන්නේ ජනප්‍රියවාදයක් ගැන නෙවෙයි).  

අපිට තියෙනවා කතිකාමය නොහැකියාවක් ජාතික අධ්‍යාත්මයේ පෑරුණු තුවාලයට කතා කිරීමට නොහැකි. ඒක අපි හදාගන්න කලින් පොහොට්ටුව දකුණේ දිනනවා. ඕක තමයි පශ්චාත් යටත් විජිත තත්වය ලංකාවේ. ස්ත්‍රීවාදීන්ට නෙවෙයි කාටවත් ගොඩ එන්න බැහැ ඔතන මඟ හැරලා. බලන්න මේ ලඟදි මෛත්‍රී වික්‍රමසිංහ මොකක්දෝ එකකට පාරේ බෝඩ් අල්ලාගෙන ගිය විගලිත හුදකලා අභිනය. නුතනවාදීන් හැටියට අපි මේ රටට ඇත්තටම සම්භන්ද නැහැ කියල අපි අවංකව පිළිගන්න ඕනි (sense of disconnection). 

ඔන්න ඔතන තමයි අපි අසමත් සමන්...  ඒකට මාක්ස්වත් බුදු හාමුදුරුවෝවත් පළි නැහැ. එයාලට ගැහුවට මුකුත්ම වෙන්නේ නැහැ අපි තව තවත් වලපල්ලට යනවා මිසක්. තව පොඩ්ඩක් දුරට අපි අමරසේකර කිව්ව දේ ඇහුවනම් සහ අහල ඒක නුතන ව්‍යාපෘතිය එක්ක බද්ධ කළා නම් අපිට මේ සන්තෑසිය වෙන්නේ නැහැ.  අපිට කවබතා කෙනෙක් හිටියේ නැහැ අපේ සම්ප්‍රදාය සබුද්ධික කරන්න (ජිජැක් මොනවා කිව්වත් ඒක මම ඉගෙන ගත්තේ මේ යුගයේ අවසාන දාර්ශනිකයා යැයි කියනු ලබන හබමාස් ගෙන්).  ඔයාට බැරිවුණා සමන් ලංකාවේ කවබතා වෙන්න. අමරසේකර ට්‍රයි කළාට එයාටත් බැරිවුණා. එයා නතර වුනේ මුල්ලි වයික්කාල් වලින්. කවබතා නතර වුනේ නොබෙල් දිනලා.  අන්තිමට අපිට අපේ කරුමෙට දර්ශනය කියල දෙන්න හිටියේ  නලින් ද සිල්වා. 

'හලෝ මචං' කියල එක එල්ලේ මුහුණ බලාගෙන (ලෙවිනා) කියන්න පුළුවන් ලොකු හදවතක් තියෙන කෙනෙක් නිසයි උඹට මේ ටිකවත් ලිව්වේ. 

ජය 

මහේෂ් 


මිය ගිය මාක්ස් සජිවීකරණයට පෙර
http://sis.lk/novel/item/422-miya-giya-marks

Wednesday, March 21, 2018

රනිල් රැකගත යුතුද ?

බොහෝ අය නැවතත් අපගෙන් අසන ප්‍රශ්නය අප රනිල් ට හෝ මෛත්‍රීට කඩේ යන්නේද යන්නයි. පසුගියදා දීප්ති සහෝදරයා සහභාගී වූ ස්වාධින රුපවාහිනියේ 'තීරණය' වැඩ සටහන පිළිබද කොමෙන්ටුවක් දමමින් කමල් පෙරේරා විසින්ද එම පැනයම අසා ඇත.

එසේ කඩේ යෑමට අපට උවමනාවක් නැතත් අපිට නැවත රට ආපසු යෑමට කිසිසේත් ඉඩ තැබිය නොහැක. දිනාගත් දෙය අතහැර අපට රට ආපසු රාජාණ්ඩු වාදයක් වෙත යනතුරු බලා සිටිය නොහැක. අපට මෙම වර්තමාන වැඩපිලිවෙල ගැන විවේචනයක් නැතුව නොවේ. නමුත් වෙන කරන්නට දෙයක් නැත. උදාහරණ වශයෙන් මා ඊයේ පෙරේදා සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වූ යම් වැඩ මුළුවකදී ඔවුන් කියා සිටියේ මේ රට නැවත ගොඩ ගැනීමට ආඥාදායක ක්‍රමයක් වෙත යා යුතු බවයි. රුසියාවේ පුටින් පන්නයේ පාලනයක් ඔවුන් ඉල්ලා සිටි. එවන් තත්වයකදී අපිට විශාල කාර්ය භාරයක් ඇති බව මගේ හැඟීමයි.  එමනිසා ලැබෙන මාධ්‍ය අවකාශය අපි සමාජ ප්‍රගමනය පැත්තේ සිට පාවිච්චි කිරීමට තීරණය කර ඇත. අපි ඉතිහාසයට පක්ෂපාත විය යුතුව ඇත. 

අනෙක් අතට රනිල් පිලිබදව ප්‍රශස්ති නොලියවෙනවා ද නොවේ. මෑතදී එවන් ලිපි කිහිපයක්ම අපි දුටිමු. ඉන් එකක් නම් සමුනි සමරකෝන් විසින් ලියු රනිල් රැකගත යුතු ඇයි? යන ලිපියයි. 

අධිරාජ්‍යවාදීන් විසින් තම අනුප්‍රාප්තිකයින් ලෙස පුහුණු කර මෙරට 'අතහැර' දමා ගිය ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියට හැර අන් කිසිවකුට රටක් පාලනය කළ නොහැක යන මතවාදය සඳහා උදාහරණයක් ලෙස සමුනි ගේ එම ලිපිය සැලකිය හැකිය. විශේෂයෙන් ලිපිය ආරම්භයේ මෙම ලියුම් කරු රනිල් ගේ පවුලේ පැටිකිරිය ඉස්මතු කරන්නේ එම නිසාය. එම පවුල් කිහිපයෙන් මෙපිට රටක් පාලනය කිරීමට  කිසිවෙක් නැත යන මතවාදය ලියුම්කරු තහවුරු කරයි. 

ඉහත පවුල් වර්ගයට 'තරඟකාරී ලෙස' අසුවන වසන්ත සේනානායක වගේ පුංචි රදළයින් කල්පනා කරන්නේද මේ මානසික ව්‍යුහය තුලම සිටිමිනි. 'අපි තමයි වැඩකාරයෝ. අපේ ලේ වල ඒක ලියවිලා තියෙන්නේ. වහලුනි, අපිට දියවූ පාලන බලය.  තොපි ඔතනම හිටපියව්.' සිංගප්පුරුවෙන් ආනයනය කරනවා හැර කිසිදු ලාංකික දක්ෂයෙක් රනිල්ට මේ මහ පොළොවෙන් හමු නොවේ! රනිල්ගේ ලෝක දෘෂ්ටියට අනුව ලාංකික උගතුන් අරපරිස්සම, කලමණාකරණය දන්නේ නැත! මුල්‍ය විධික්‍රම දන්නේ නැත. මහ බැංකුවක් පාලනය කිරීමට තරම් ඔවුන් විශ්වාස කල නොහැකිය.  ලාංකිකයින් දක්ෂයින් ලෙස රනිල් කල්පනා නොකලත් ඔහුව බේරාගැනීමට සිංහලෙන් ලිපි ලිවීමට සිදු වන්නේ එම ඉංග්‍රීසි කතාකරන සිංගප්පුරු වැසියන්ට නොවේ. ලංකාවේ සිංහල කතාකරන අපිටම ය.  

වී. එස්. නයිපොල් ගේ The Mimic Men නම් නවකතාවේ එන රැල්ෆ් සිං පෙන්වන්නේ ද මෙම රෝග ලක්ෂණ යයි. රටේ අදායමට සමාන මුදලක් තම පශ්චාත් යටත් විජිත ඉසබෙලා නම් දිවයිනේ ආර්ථික උපදේශකයින් වෙනුවෙන් එම රට වැය කරයි. එම උපදේශකයින් සියල්ලෝම පැමිණෙන්නේ පිටරටිනි. තම රටට කිසිවක් ස්වාධීනව තීරණය කළ නොහැක. බුද්ධිය අකර්මන්‍ය වී ඇත. පරාධීන වී ඇත.  වමේ නායකයින් හටද මෙම තත්වය තුලදී විකල්ප වැඩ පිළිවෙලක් නැත. විකල්ප මතයක් නැත. ඔවුන් නිරුත්තර වී ඇත. ලිබරල්වාදයේ නියෝජිතයා ලෙස රනිල්ට අවිඥානිකව ආශා කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කල හැකි දෙයක් නැත. ඔවුනට ද රනිල් ව තම සද්භාවය තුල ස්ථාන ගත කර ගත නොහැක. 

ෆැනොනියානු අර්ථයෙන් රනිල් විවේචනය කරන විටම ඉස්මතු වන තවත් ගැටළුවක් ඇත. එනම් රනිල් වෙනුවට ආගමනය වීමට ඉඩ ඇත්තේ කවුද යන ගැටලුවයි. රනිල් ගේ ආදේශක පෞරුෂයන් වැටී ඇත්තේ ෆැනොන් ම සඳහන් කරන ජාතිකත්ව - දේශීයත්ව මඩ ගොහොරුවේය. එම තත්වය තුළ මෛත්‍රීට පවා නොලැබෙන වටිනාකමක් රනිල් ට ලැබේ. අධිරාජ්‍යවාදී අධිකාරික සංස්කෘතියක් තුළ (සියල්ල සමතලා කර පරිභෝජනවාදය තහවුරු කරන) ජාතිකත්ව සහ දේශීයත්ව යහපත් සාරය (healthy content) රනිල් නියෝජනය කල යුතුය. බුර්ෂුවා දේශපාලඥයෙකුට මෙය තරමක් අපහසු දෙයකි. ඒ සඳහා රනිල්ට ඉතිහාසය සහ සංස්කෘතිය ගැන හොඳ අවබෝදයක් තිබුනද ගැටළුව නම් එය භාවිතා කිරීමේදී ඔහු දක්වන අපොහොසත් භාවයයි.   විගලිතභාවයයි. දුරස්ථභාවයයි.   

යම් හෙයකින් පවතින අර්බුදකාරී තත්වය තුල යමෙක් රනිල් ට පක්ෂපාති වන්නේ නම් එසේ විය යුත්තේ රනිල් නුතනවාදියෙක් ලෙස තම දේශපාලනය තුල පෙනී සිටින්නේ නම් පමණි. එසේ නැතුව රදළවාදයක් හෝ රාජකීය පාසැල් වාදයක් හෝ ඉංග්‍රීසි භාෂා අධිපති වාදයක් හෝ ඔහු කරපින්නා ගන්නේ නම් එයට වහාම විරුද්ධ විය යුතුය. කුමක් වුවද ඒ සඳහා බරපතල දාර්ශනික සාකච්චාවක් අවශ්‍ය වී ඇත. අපගේ අනාගතය සමස්තතාවාදය ද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය  යන්න තීරණය වියහැකි අතිශයින් තීරණාත්මක මෙම මොහොතේ එවැනි සංවාදයක මාතෘකාව විය යුත්තේ 'රනිල් රැක ගත යුතුද?' යන්න නොව 'රනිල් නුතනවාදියෙක් ද?' යන්නයි.  'Is Ranil a Modernist?' 

එවන් සාකච්චාවක් සඳහා අවශ්‍ය නම් යමෙකුට සුදත් චන්ද්‍රසේකර ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද පාදක කරගත හැකිය (මා මේ බ්ලොග් සටහන ලියන විට සහ මිට දිනකට පෙර 'යදමින් මිදුණු ජැන්ගෝ' (Django Unchained) සටහන ලියන විටද සුදත්ගේ මෙම ලිපිය මා දැක තිබුණේ නැත). නුතනත්වයේ මුලිකම ලක්ෂණය 'මානවවාදය' (humanism) නම් එය රනිල් තුල ඇද්ද නැද්ද යන්න සුදත් යම් ආත්ම මුලික තැනක සිට (subjective experience) පෙන්වා දී ඇත. 

සුදත් සඳහන් කරන කරුණු කොතෙක් දුරට සත්‍ය දැයි කොළඹ දේශපාලනයෙන් ඉතාම දුරස්ව ජිවත්වන ගැමියෙක් වන මා නොදනිමි. කෙසේ වුවද සුදත් තමා දෙස රනිල් බලාගෙන සිටින බවට (gaze of the master) නොසිතිය යුතුය (ස්වාමි-වහල් බන්ධනයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එයය. Django Unchained චිත්‍රපටයේ හැර ස්වාමියා කිසිසේත් තම වහලා නිදහස් කරන්නේ නැත. මන්ද වහලාගේ බන්ධනය යනු ස්වාමියාගේ අවිඥානික සීමාව වීම එයට හේතුවයි). සුදත් ගේ ලිපියේ කරුණු වල සත්‍ය අසත්‍යතාවය පිළිබද මෙන්ම පශ්චාත් යටත් විජිත ලංකාව තුළ නුතනත්ව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම පිණිස රනිල් තවදුරටත් අදාල වේද යන්න කතා කිරීම වැදගත් යැයි හඟිමි. එය වමට මඟ හැරිය හැකි දෙයක් නොවේ. මන්ද නුතනත්වයේ ම ඇති විරුද්ධාභාශය (paradox of modernity) ගැන වමට ඉගෙනීමට හැකි වන්නේ එවන් මැදිහත් වීමකින් පමණි. 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' වැනි විසි වන සියවසේ සුපර් ස්ටාර් වැඩ වලින් තවදුරටත් අපට ඉගෙනීමට දෙයක් නැති බව කවුරු කවුරුත් අවබෝධ කර ගැනීම මේ මොහොතේ ඉතා වැදගත්ය. නමුත් නුතනත්වය ගැන දිගට ඇදෙන එවන් සාකච්චාවක් සඳහා අවශ්‍ය ගැඹුරු නුතනත්වය ගැන අවබෝධයක් ඇති මිනිසුන් ලංකාව තුල ඇත්තේ අතලොස්සක් පමණි. මන්ද සුදත් දකින රනිල්ගේ අව මානුෂික බව (de-humanizing features) යනු ම ඔහුගේ නුතන ලක්ෂණයක් ද  විය හැකිය යන්න දැනට කෝපයෙන් සිටින ඔහුට නොතේරිය හැකි බැවිණි.

අනෙක් හැමෝම කට කමසෙයියාවක් නැතුව ලෝකේ කොහෙවත් නැති මාක්ස්වාදයක් සහ කොමියුනිස්ට් සමාජයක් ලංකාවේ හදන්නේ කෙසේද යනුවෙන් බොරු සංවාද කරමින්, අවතාර සඟරා කරමින් සිටින වකවානුවක අපි නිර්භීතව රනිල් නම් බුර්ෂුවා දේශපාලඥයා ගැන කතා කරමු. නව ඒකාධිකාරී පාලන ව්‍යුහයන් ලොව පුරාම වයිරස් මෙන් පැතිර යද්දී බුර්ෂුවා දේශපාලනයේ අනාගතය කුමක්ද යන්න වැදගත් ප්‍රශනයක් වන්නේ නොවේද? මෙතෙක් පැවති යම් යම් ශිෂ්ට භාවිතාවන් ඩොනල්ඩ් ට්‍රම්ප් බල්ලාට විසිකර ඇත. දවසකට වරක් නිල් චිත්‍රපට නිළියක් රුපවාහිනියට අවුදින් මොකක් හෝ හුටපටයක් ට්‍රම්ප් සම්බන්දයෙන් හෙළි කරයි. මෙවන් තත්වයක් නුතන බුර්ෂුවා නියෝජිතයෙකු වූ ඔබාමා ඇති කර ගත්තේ නැත. නමුත් එම ශිෂ්ට ව්‍යාපෘතිය ට්‍රම්ප් අවසන් කරමින් සිටී. එසේම ඔහු වැන්නන් ජනප්‍රිය වෙමින් ද ඇත. එයින් අදහස් වන්නේ බුර්ෂුවා දේශපාලනය විසින් මෙතෙක් මෙහෙයවන ලද නුතන දේශපාලනය පිළිබද මුලික ප්‍රවාදය නැවත වරනැගිය යුතුව ඇත යන්නය. එනම් නුතන පිතෘත්ව ශිෂ්ටත්ව ව්‍යාපෘතිය අවසන් ද?



අප මේ පිලිබදව කතා බහ කරන්නේ නම් අවශ්‍ය වන්නේ රනිල් ලංකාව තුල නැවත නෛතිකකරණය කිරීම නොව නුතන ව්‍යාපෘතියේ අධ්‍යතන දිශානතිය තේරුම් ගැනීමයි. කෙසේ වුවද රනිල් ලාංකික දේශපාලනය තුල තවදුරටත් තබා ගත යුතුද යන ගැටළුව ආමන්ත්‍රණය කරන යම් යම් ලිපි වැඩි වැඩියෙන් කියවීමේ පාඨක ප්‍රවණතාවයක් ඉසමතු වෙමින් ඇත. එයින් අදහස් වන්නේ එවන් ගැටළුවක් දේශපාලන දර්ශනය තුල විසඳා දීමේ අවශ්‍යතාවයක් ඉස්මතුව ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල්ගේ පැවැත්ම සාධාරණීකරණය කරන්නවුන් සැලකිල්ලට ලක් කරන්නේ මතුපිට කරුණු වගයකි. නමුත් සංවාදය ඉන් ඔබ්බට යා යුතුය.  
  

(යම් ආකාරයක සාකච්චාවක් ඉදිරියට ගෙන යෑම පහසු කර ගැනීම පිණිස මෙම බ්ලොග් සටහනේ මුල් ලිපියේ ඇතැම් තැන්වල තිබු වාක්‍ය මේ වන විට සංශෝදනය කර ඇත)




කියවන්න lankaenews article

මානවවාදයට අමතරව නුතනත්වයේ තවත් වැදගත් ලක්ෂණ කිහිපයක් 
 Defining Characteristics of Modernity
There have been numerous attempts, particularly in the field of sociology, to understand what modernity is. A wide variety of terms are used to describe the society, social life, driving force, symptomatic mentality, or some other defining aspects of modernity. They include:

  • Bureaucracy--impersonal, social hierarchies that practice a division of labor and are marked by a regularity of method and procedure
  • Disenchantment of the world--the loss of sacred and metaphysical understandings of al facets of life and culture
  • Rationalization--the world can be understood and managed through a reasonable and logical system of objectively accessible theories and data
  • Secularization--the loss of religious influence and/or religious belief at a societal level
  • Alienation--isolation of the individual from systems of meaning--family, meaningful work, religion, clan, etc.
  • Commodification--the reduction of all aspects of life to objects of monetary consumption and exchange
  • Decontexutalization--the removal of social practices, beliefs, and cultural objects from their local cultures of origin
  • Individualism --growing stress on individuals as opposed to meditating structures such as family, clan, academy, village, church
  • Nationalism--the rise of the modern nation-states as rational centralized governments that often cross local, ethnic groupings
  • Urbanization--the move of people, cultural centers, and political influence to large cities
  • Subjectivism--the turn inward for definitions and evaluations of truth and meaning
  • Linear-progression--preference for forms of reasoning that stress presuppositions and resulting chains of propositions
  • Objectivism--the belief that truth-claims can be established by autonomous information accessible by all
  • Universalism--application of ideas/claims to all cultures/circumstances regardless of local distinctions
  • Reductionism--the belief that something can be understood by studying the parts that make it up
  • Mass society--the growth of societies united by mass media and widespread dissemination of cultural practices as opposed to local and regional culture particulars
  • Industrial society--societies formed around the industrial production and distribution of products
  • Homogenization--the social forces that tend toward a uniformity of cultural ideas and products
  • Democratization--political systems characterized by free elections, independent judiciaries, rule of law, and respect of human rights
  • Mechanization--the transfer of the means of production from human labor to mechanized, advanced technology
  • Totalitarianism--absolutist central governments that suppress free expression and political dissent, and that practice propaganda and indoctrination of its citizens
  • Therapeutic motivations--the understanding that the human self is a product of evolutionary desires and that the self should be assisted in achieving those desires as opposed to projects of ethical improvement or pursuits of public virtue
https://www3.dbu.edu/mitchell/modernit.htm
-----------------------------------------------------------------------------------------------------------
රනිල් රැකගත යුතු ඇයි ?
සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ යනු ලංකාවේ සුදු පාලන සමයේ පළමු සිංහල දිසාපතිවරයාය. ඔහු වියළි කලාපයේ රාජකාරිවල නියුතුව සිටියදී කැලෑ වැදුණ පුරාණ වාරිකර්මාන්තයේ වැව් පිළිබඳව ආර්ථික දෘෂ්ටිකෝණයකින් කල්පනා කළේය. ඊට සමගාමීව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ කොළණි හෙවත් ජනපද වැඩපිළිවෙළ පිළිබඳවද උනන්දුවෙන් අධ්‍යයනය කළේය.
තම රට දිළිඳුකමෙන් ගොඩගත හැක්කේ කෘෂිකර්මාන්තය ඔස්සේ ලබන ආර්ථික සංවර්ධනයකින් බව තේරුම්ගත් වික්‍රමසිංහ දිසාපතිතුමා, සියතින්ම ලංකාවේ ගොවිජනපද ව්‍යාපාරයේ සියලු සැලසුම් සකස් කිරීමට යුහුසුළු විය. උද්‍යෝගිමත් ක්‍රියාශීලී ඩී. එස්. සේනානායක මැතිඳුගේ දේශපාලන නායකත්වය යටතේ තම ගොවිජනපද ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුතු යැයි සී. එල්. වික්‍රමසිංහ දිසාපතිතුමා තීරණය කළේය. රාජ යුගයෙන් පසුව ලංකා ඉතිහාසයේ පළමු ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළෙහි තිරයෙන් පිටුපස සිටි දැවැන්ත ආර්ථික කළමනාකාරවරයා වන වික්‍රමසිංහ දිසාපතිවරයා යනු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පියාගේ පියාය. එනම් පිය පාර්ශවයේ සීයාය.
ප්‍රධාන අභියෝග තුන
අධිරාජ්‍යවාදීන් තුන්කට්ටුවකට යටත්වීමෙන් දීර්ඝ කාලයක් පරිහානියට ගොස් තිබූ ලාංකීක සංස්කෘතික, ආගමික හා සමාජීය තත්ත්වය ගොඩගැනීම සඳහා 19 වන සියවසේ පෙරට පැමිණියේ විජේවර්ධන පරම්පරාවය. නිදහස් අරගලයේ හා පුනරුද ව්‍යාපාරයේ ප්‍රබලයකු වූත් ලංකා ජනමාධ්‍ය තුළ මුල් සලකුණු බවට පත්ව ඇති ඩී. ආර්. වි‍ජයවර්ධන මැතිඳු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මව් පාර්ශවයේ සීයාය. එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිඳු හා නාලනී විජයවර්ධන මැතිනිය මෙතුමාගේ මාපියන් වන අතර පියා වරෙක ‘රන් පෑන’ නම් ජාත්‍යන්තර මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලද විශිෂ්ට ගණයේ පුවත්පත් කාලාවේදීයෙකි. එමෙන්ම එකී ක්ෂේත්‍රයේ සූර කළමනාකාරවරයෙකි. මොහුද තම පියා මෙන්ම තිරයෙන් පිටුපස සිට විශාල ජාතික මෙහෙවරයන්ට උරදුන් විද්වතෙකි.
මේ අනුව පිය පාර්ශ්වයේ නිහඬ එහෙත් සාර්ථක ආර්ථික කළමනාකරණයත් මව් පාර්ශවයේ සංස්කෘතික, ආගමික හා සමාජීය නැඹුරුවත් උපතින් ලද රනිල් පෞරුෂය, දශක හතරක ක්‍රමානුකූල දේශපාලන පරිණතභාවයත් සමඟින් අනාගත ශ්‍රී ලංකාව සශ්‍රීක රටක් ලෙස හැඩගැස්වීමේ වගකීම බාර ගැනීම සඳහා පරිණත වී ඇතැයි ජාතික විද්වත් සංසදය විශ්වාස කරයි.
මේ මොහොතේත් ජාතිවාදය නැවත හිස එසවීම නිසා රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට තිබේ. ප්‍රදේශීය සභා මැතිවරණයෙන් පසු ජාතිවාදී ගැටුම්වලට නැඹුරුවක් පෙන්වමින් සිටී. රට හමුවේ ඇති මූලික අභියෝග තුනෙන් අංක එක ලෙස විද්වත් සංසදය හඳුනාගෙන ඇත්තේ ජාතීන් අතර ඇති අසමගිය තුරන්කොට ජාතික සහජීවනය ස්ථාපිත කිරීමය. අප රනිල් මැතිතුමා රැකගත යුත්තේ, පළමුව මේ අභියෝගය ජය ගැනීම පිණිසය.
නිදහසත් සමඟින් ජාතික සංහිඳියාව ගොඩනැඟීමට තිබූ අවස්ථා ගිලිහියාමෙන් ලංකාවට තිස් අවුරුදු කුරිරු යුද්ධයක පැටලෙන්නට විය. මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්විය හැක්කේ මේ ප්‍රධානම, සංකීර්ණතම ගැටලුව විසඳා සංහිඳියාව හා සහජීවනය ඇතිකිරීමෙන් පමණය. මේ කොන්දේසිය සපුරා ගැනීම ආර්ථික සංවර්ධනයටද අත්‍යවශ්‍යම සාධකයකි.
ශ්‍රී ලංකාව කොදෙව්වක් වුවත් අප තේරුම්ගත යුතු වන්නේ අප රට ඉදිරියට ගෙන යාමට නම් ජාත්‍යන්තරය වෙතින් ශ්‍රී ලංකාව කරා ලැබිය යුතු හොඳ හිත ලබාගත යුතුබවය. එය ලබා ගැනීමේදී අප සියල්ලට වඩා ජාතික සංහිඳියා වැඩ පිළිවෙළ සාර්ථක කර ගත යුතුව තිබේ. අද වන විටත් එක්සත් ජාතික පක්ෂය සමඟ ද්‍රවිඩ, මුස්ලිම් පාක්ෂික දේශපාලනය සමගි වී හමාරය. භාරධුර කර්තව්‍ය ඇත්තේ පොදුජනයා අතර පවතින වර්ගවාදය හා ජාතිවාදය සඳහා දේශපාලන බල අධිකාරිය ඔස්සේ විසඳුම් හා අවබෝධ දීමයි. ඒ මහා දැවැන්ත කාර්ය ඉෂ්ට කළ හැකි නායකයා විදිහට අප දකින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාය. අප මේ ප්‍රකාශය කරනු ලබන්නේ හේතු සහගතවය. මන්ද රනිල් වික්‍රමසිංහ කියන පුද්ගල චරිතය තුළ ඇති පුළුල් ජාතික දැක්ම නිසා ජාතික ගැටලුවට විසඳුම් සැපයිය හැක්කේ ඔහුට පමණය.
දෙවන අභියෝගය
රාජ්‍ය ණය බර හා ජීවන වියදම් ප්‍රශ්නයෙන් රට මුදවා ඉදිරියට ගෙන යාමට නම් ආර්ථික සංවර්ධනය වේගවත් කළ යුතු වේ. ඒ සඳහා පළමු අභියෝගය වන සංහිඳියාව, එක පැත්තකින් ඇති කර ගනිද්දී අනිත් අතින් ඒ එකමුතුව ආර්ථික තලය දක්වා වර්ධනය කළ යුතුව ඇත. එවිට ආර්ථික කඩා වැටීම නතර කර ගැනීමට පහසුකම් සලසා ගත හැකිය. මනුෂ්‍යයන් විදිහට අප කවුරුත් දුක්විඳින්න කැමති නැත. තම දරු මුණුපුරන්ට සැප පහසුව දෙන්නට කැමැත්තක් ඇත. ඒ අනුව දෙමළ, මුස්ලිම් හෝ සිංහල යනාදී භේදයකින් තොරව ආර්ථික ප්‍රශ්න නැතිව සිටීමට කවුරුත් කැමතිය. එහෙත් අපේ රට පෙළන දැවැන්ත ණය කන්දරාවෙන් මතුවී ඇති ගැටලු විසඳා ගැනීමට ද ජාතික ප්‍රශ්නයට මෙන්ම විසඳුම් දිය හැකි අද්විතීය නායකයෙකු අපට උවමනා කෙරේ. එහිදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හැර වෙන සුදුස්සෙකු නැත.
නව ආර්ථික මාදිලියක්
මන්ද, පසුගිය අවුරුදු දෙකහමාර තුළ එතුමා ඉතා සකසුරුකමින් යුක්තව අපේ ආර්ථිකය කළමනාකරණය කිරීමට නිවැරදි තීන්දු තීරණ ගෙන තිබෙන බව දක්නට ලැබේ. එක් අතකින් විදෙස් ණය බර කන්දරාව අඩු කරගනිද්දී අනෙක් අතින් මහජනතාවට සහනදායි ආර්ථික ප්‍රතිපත්ති ඇතිකර ගැනීමට පියවර ගෙන තිබේ.
මෙලෙස නව ආර්ථික මාදිලි ඉදිරිපත් කරමින් වුවත් ප්‍රමාණවත් ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවට තවමත් පත්ව තිබේ. නමුත් විද්වත් සංසදය හැටියට අප මේ තත්ත්වය තේරුම් ගන්නේ, අපේ ඉතිහාස සම්ප්‍රදායේ ඇතැම් වකවානුවල මෙවන් දුක් කන්දරාවන් හා අභියෝග තුළ පවා රට ගොඩගත් රජවරුන් සිටි බවයි.
දුටුගැමුණු රජතුමාගේ කාර්ය භාරය ප්‍රචලිතයි. නමුත් මහා පරාක්‍රමබාහු රජතුමා මුහුණ දුන් තත්ත්වය අදට සමානයි. එතුමා දේශපාලන වශයෙන් රට එක තැනකට රැගෙන ආවේය. එසේ නොකළේ නම් එතුමාගේ ආර්ථික හා ශාසනික සේවයක් මෙනෙහි කිරීමට අපට ඉතිරි වන්නේ නැත. සංවර්ධන වැඩ කළ මෙවන් සෑම රජ කෙනෙකුගේම ජයග්‍රහණ ඇතිවූයේ දැවැන්ත අභියෝග සමඟ ඔවුන් තමන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන ගියේ අප්‍රමාණ අභියෝග ජය ගනිමිනි.
පැරකුම් යුගයක් නැවතත්
පරාක්‍රමබාහු රජ තම සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේ දකුණු ආසියාවෙ මහා යුද්ධවලට මුහුණ දෙමිනි. විශේෂයෙන් දකුණු ඉන්දියාව හා බුරුමය වැනි රටවලින් බාහිරව එල්ල වූ තර්ජන මෙන්ම අභ්‍යන්තරයෙන් එල්ල වූ අපමණ අභියෝගවලට මුහුණදීමෙන් ඇතිකරගත් බුද්ධිමය තියුණු බවෙන් තමයි අභියෝග ජයගනු ලැබුවේ. මේ අනුව අප දකිනවා රටට ජයග්‍රහණ අත්පත් කරගන්න පරිණත නායකයෙකුහට අභියෝග අවශ්‍යයයි කියල. නමුත් නිසි දර්ශනයක් නොමැති නායකයෙකුට අභියෝග එල්ල වන විට ඇති වන්නේ පරිහානියය. උදාහරණයක් දැක්වුවොත් මෙවන් විටකදී එවැනි නායකයා හෝ නායිකාව පැලැස්තරවාදීව ආර්ථික සූත්‍ර වෙත ඇදීයාමෙන් රට තවත් ප්‍රපාතයට වැටීම සලස්වා ගත් අයුරු අප දැක තිබේ‍.
එම නිසා අප රටට දැන් අවශ්‍යව ඇත්තේ ආර්ථික වරප්‍රසාද අවම ජනතාවට සුබසාධනවාදී ආර්ථික ක්‍රම ක්‍රියාත්මක කරන අතරම, අනාගතයේදී ඒ පිරිසට තමන්ගේම දෙපයින් නැඟී සිටීමට ශක්තිය ලබාදිය හැකි ආර්ථික දර්ශනයක්, දැක්මක් ඇති නායකයෙකි. ඔහු රනිල් වික්‍රමසිංහයන්මය. නමුත් එතුමන් සමඟ ජනතාව එකාමෙන් කැපකිරීම් කිරීමට සූදානම්වීම අත්‍යවශ්‍යයි. රජ යුගයෙ මෙවන් වකවානුවල පැරකුම් වැනි දර්ශනයක් සහිත නරපතියන් සමඟ රටේ ජයග්‍රහණ වෙනුවෙන් ජනතාව කළ කැපකිරීම් නිසා තමයි, ඒ කාලයන් ගැන අපට උදම් අනන්න හැකි වෙන්නෙ. පරාක්‍රමබාහු රජතුමා දේශීය ආර්ථිය ජාත්‍යන්තරයට ගෙන ගොස් දැවැන්ත විදේශ ආර්ථික රටාවක් ගොඩනැඟුවා. ඒ සඳහා ජනතා සහයෝගය සම්මාදමක් ලෙස ඔහුට ලැබී තිබුෙණ්. අද දිනද ජාතීන් අතර සුහද විශ්වාසය නැමති සම්මාදම ලබාගෙන රට එක තැනකට, එක මතකයකට ගොඩනඟන්න හැකි නායකයෙකු එක්සත් ජාතික පක්ෂය තුළත්, රට තුළත් සිටිනව. ඔහු නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ය.
තෙවැනි අභියෝගය
රට හමුවේ ඇති තෙවැනි අභියෝගය වන්නේ යහපත් සමාජයක් බිහිකිරීමයි. මගේ අභියෝගය යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම යනුවෙන්ද හැඳින්වේ. 2015 ජනවාරි 08 දායින් පසුව ශ්‍රී ලාංකීක සමාජය යහපත් හෝ සුබවාදී පැත්තට කෙතරම් නැඹුරු වූවා දැයි අපි දනිමු. මැතිවරණ කොමිෂම, පොලිස් කොමිෂම වැනි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, තොරතුරු දැනගැනීමේ පනත ආදී අණ පනත් මෙන්ම යහපත් සමාජයක් සඳහා ඇවැසි නීතිමය රාමු සැකසීමේ ක්‍රියාවලිය මෙන්ම ඒවා ප්‍රායෝගික කිරීමට ගත් උත්සහයන්ද ප්‍රශංසනීය නොවන්නේද? උදාහරණයක් ලෙස පසුගිය ප්‍රාදේශීය හා නගර සභා මැතිවරණය, ලංකා ඉතිහාසයේ පැවති දූෂණයෙන් තොර සාධාරණම මැතිවරණය බවට පත්වූයේ අහම්බයකින්ද? ජනාධිපතිවරණයෙන් හා මහා මැතිවරණයෙන් පසුව මෙන් මේ මැතිවරණයෙන්ද පසුව පශ්චත් මැතිවරණ අපරාධ හා කලකෝළහල දූරීභූත වූයේ දෛවෝපගතවද? නැත්නම් සම්මුතිවාදී රජය පදනම් දමා සකස් කළ යහපත් සමාජයේ එනම් යහපාලනයේ ඵලයක් ලෙස නොවේද?
මෙහි අනෙක් පැත්තද අපට සලකා බැලිය හැකියි. ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව ජයග්‍රාහී යැයි සිතූ ඇතැම් අය හැසුරුණු ආකාරයත් ඒ හා සබැඳිව ජාතිවාදී ගිනිදළු මඟින් සාමකාමී අහසේ කළුදුම් නැඟීමත් යහපාලනයේ හා අවපාලනයේ වෙනස පහදා නොදෙයිද? මුළු ඡන්දදායකයින්ගෙන් 50%ට අඩු පිරිසක් නැවත හොරකම, දූෂණය, වංචාව, ජාතිභේදය අවශ්‍ය යැයි කීවේ නම්, යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා බාධක තවමත් ඇති බව විදහා නොදැක්වෙන්නේද?
මෙවැනි අවකාශයක් තුළ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ යහපත් සමාජය පිළිබඳ දර්ශනය වඩාත් හොඳින් සසඳා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබේ.
සිංගප්පූරු ස්විස්ටර්ලන්ත සිහිනය
ජාතික සමගිය හා ආර්ථික සංවර්ධනය නම් මූලික අභියෝග දෙක ජයග්‍රහණය කිරීමත් සමඟින් ශ්‍රී ලංකාව තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩනඟන යහපත් සමාජය සිංගප්පූරුවේ හා ස්විස්ටර්ලන්තයේ තත්ත්වයට සමාන වන බවට කිසිදු සැකයක් නැත. මෙබඳු දැක්මක් ඇති නායකයෙකුට එල්ලවන ප්‍රහාර වැඩිය. ගෙවුණ අභාග්‍යසම්පන්න තත්ත්වයන් තුළ වුවත් රටක් වශයෙන් අප සාර්ථකත්වයක් හිමිකරගනු ලැබුවෙමු. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමේදී මෙතුමාගේ ජාත්‍යන්තර දේශපාලන උපාය මාර්ග අතිශය වැදගත් විය. මෙබඳු නායකයෙකුට ප්‍රහාර වැඩිපුර එල්ල කරන්න පහසු වන්නේ කුණු රස බලන ජාතිවාදය තුළ පමණි. අද ජාතිවාදය නැවත හිස ඔසවන අයුරු බලන්න. උදාහරණ ලෙස නුවර සිද්ධිය හේතුකොටගෙන එක අතකින් අමාරුවෙන් ගොඩනඟාගෙන ආ ජාතික සංහිඳියාව තුළ දෙදරුමක් ඇති විය. අනෙක් අතින් ආර්ථික වශයෙන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ආ සංචාරක ව්‍යාපාරයට පහරක් වැදුණි. ඒ සියල්ලට වඩා අමාරුවෙන් ගොඩනඟාගත් ජාත්‍යන්තර ප්‍රතිරූපය තුළ අපට රට කළු තිතක් තැබුණි. ජාතික සමගිය සමඟ ආර්ථික සංවර්ධනය ඔස්සේ රට දියුණු මට්ටමක තවදුරටත් ගෙන ඒමට හොඳ පෙළගැස්මක් ඇතිවෙද්දී ඇත්ත වශයෙන්ම මේ ප්‍රහාර එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාම ඉලක්ක කරගෙනය. ඒ වෙනත් කාරණයක් නිසා නොව 2020 ඉලක්ක කරගෙන.
මැතිවරණ දෙක
ඉදිරි මාස 18 එනම් අවුරුදු එකහමාරක් ඇතුළත තීරණාත්මක මැතිවරණ දෙකක් සීමිත කාලීනව පැවැත්වීමට නියමිතව තිබේ. දැනට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පෞද්ගලික වශයෙනුත් එතුමාගේ සංවර්ධන ක්‍රියාවලිය හා සංහිඳියාව කඩාදැමීමේ අරමුණු පෙරදැරි කරගෙන වක්‍රවත් මේ සියලු ප්‍රහාර එල්ල වන්නේ එතුමාගේ දේශපාලන ගමන නතර කර දැමීමටය. හොඳ දැක්මක් ඇති නායකයාට එල්ලවන ප්‍රහාර වැඩිය. ඔහු බිඳ දමන්න හැකි ක්‍රම දෙක විදිහට ප්‍රහාරකයින් තෝරගෙන ඇත්තේ ජාතිවාදි ගැටුම් හා ආර්ථිකය කඩාකප්පල් කිරීම් ඉදිරියට ගෙන ඒමය. එම නිසා විකල්ප කේවල පක්ෂවල රජ සිහිනය දකිනා අයගේ ප්‍රහාරවලින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බිම දාගන්න පුළුවන් නම්, එය ඔවුනට රජ ජයග්‍රහණයක්ම වනවා නිසැකය. නමුත් තනි පෙරමුණක් ලෙස අද ශ්‍රී ලංකාවේ සෑම ජනවර්ගයක්ම එතුමා වටා කේන්ද්‍රගත වී ඇති බව පැහැදිලිය. පාවෙන ඡන්ද හා පොදු ජනයාද එතුමාගේ විභව ශක්තිය තේරුම් ගනිමින් සිටී. එම නිසා 2020 දේශපාලන බල අරගලයට මුහුණ දී රටට ජය අත්පත් කරදිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමන් බව ඉතාමත් පැහැදිලිය.
ඉතින් මෙවන් නායකයෙක් රැකගැනීමට, ආරක්ෂා කිරීමට හා ඔසවා තැබීමට අප කාටත් වගකීමක් තිබේ. මෙහිදී මහජනතාවට, බුද්ධිමතුන්ට මෙන්ම ජාතික විද්වත් සංසදයට බොහෝ කැපකිරීම් කිරීමට ඇත. මේ රට ගොඩගත හැකි, සංවර්ධනය කළ හැකි, ‍ජාතීන් අතර එකමුතුව ඇති කළ හැකි, යහපත් සමාජයක් බිහිකළ හැකි මෙන්ම ශ්‍රී ලාංකීක ජාතියට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදිය හැකි රටේ ප්‍රධාන නායකයෙක් හැටියට අප පිළිගන්නා නිසා එතුමා වෙනුවෙන් ජාතික විද්වත් සංසදය හැටිය පෙනී සිටිනවා.
 සමුනි සමරකෝන්
දිනමිණ

Friday, March 16, 2018

'යදමින් මිදුණු ජැන්ගෝ' (Django Unchained) හරහා රන්ජන්ට ඌන පූරණයක් ....


පහත උපුටනය රන්ජන් රාමනායක දුන් සම්මුඛ සාකච්චාවකි... 
කාන්තාවන් සහ පුරුෂයන් නිත්‍ය වඳ භාවයට පත් කළ හැකි බෙහෙත් පෙති නොමැති බව ජාතියට ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සිදුවීම ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ දැනුම මනාව තහවුරුකරන්නක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියයි.
පවුල් සෞඛ්‍යය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන ඔබ උපහාසයෙන් කතා කරන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ පවුල් සංවිධාන ව්‍යාපාරය ආරම්භ කළේ 1970 මුල් භාගයේ දීයි. එදා මෙදා තුර උපත්පාලනය කිරීම සඳහා කාන්තාවන් සහ පිරිමින් අනුගමනය කළ යුතු උපත්පාලන ක්‍රම ගැන ජනතාවට ‘ටොකු අනිමින්’ කියා දුන්නා. එහිදී පිරිමින් සඳහා කොන්ඩම් භාවිතයත්, කාන්තාවන් සඳහා ගිලින පෙති භාවිතයත් තුළින් තාවකාලිකව උපත්පාලනය කළ හැකි බව ජාතික මට්ටමින් කියා දුන්නා ඒ වගේම කාන්තාවක නිත්‍ය වඳ භාවයට පත්කළ හැක්කේ ‘ටියුබෙක්ටමි’ සැත්කමින් පමණක් බවත්, පිරිමින් නිත්‍ය වඳ භාවයට පත් කළ හැක්කේ ‘වාසෙට්ටමි’ නම් සැත්කමින් බවත් ‘උස්මුරුත්තාවට’ එන තුරුම ජනතාවට කියා දුන්නා.
ඒවගේම කාන්තාවන් හා පිරිමින් නිත්‍ය වඳ භාවයට පත් කළ හැකි පෙති, කරල් හෝ ඖෂධ නොමැති බව ලෝකයම පිළිගත් කරුණක්. එවත් තත්ත්වයක් තුළ අපේ රටේ ජනතාවට ඒ කරුණ කියාදීම සඳහා මාධ්‍ය හමු පැවැත්වීම ජාතික අවාසනාවක්.
එතකොට ඔබ කියන්නේ එය රාජ්‍ය අංශයේ මෝඩකමක් කියාද?
මෝඩකම ඇත්තේ කා තුළද යන්න පසුගිය කාලයේ අපේ රටේ වූ සිදුවීම් තුළින් ඉතාම පැහැදිලි වෙනවා. ඒඩ්ස් රෝගයට මුල්වන HI වෛරසය සුළඟෙන් බෝවන බව පිළිගන්නා ජනතාවක් වගේම; මස් හොද්දකට පෙත්තක් දැමීමෙන්; නැතිනම් යට ඇඳුමක කිසිවක් ආලේප කිරීමෙන් කාන්තාවන් හා පිරිමින් වඳ කළ හැකි යැයි සිතන ජනතාවක් ගෝත්‍රික සමාජයක හැර දියුණු සමාජයක දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අතින් අපටත් වඩා ගෝත්‍රික සමාජද දියුණු බව කිව හැකියි.
ඔබ එසේ කියන්නේ ඇයි?
ගෝත්‍රික සමාජ වල බොහෝ විට පිළිගන්නේත්; පිළිපදින්නේත්; ඔවුන්ගේ සාම්ප්‍රදායික මතවාද පමණයි. නමුත් අපේ රටේ සාම්ප්‍රදායික නොවූ යම් යම් පුද්ගලයන්ගේ සිත් තුළ මැවෙන මනස්ගාත ශීඝ්‍රයෙන් සමාජගත වෙනවා විතරක් නෙවෙයි; ජාතික මට්ටමිනුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවගේ රටක් සංවර්ධනය වෙනවා බලා සිටීම ‘කොකා වෙලේ වතුර හිදෙන තෙක් බලා ඉන්නවා වගේ’ වැඩක්.
මෙවැනි තත්ත්වයක් තුළ අපේ රට ජාත්‍යන්තරය හමුවේ අපකිර්තියට ලක්විය හැකියි නේද?
නමුත් මම හිතනවා මේ වගේ ජනතා සිතුම් පැතුම් මුල්කොට අපේ රටේ සංචාරක ව්‍යාපාරය තවත් ප්‍රවර්ධනය කරන්න පුළුවන් කියා.
ඒ කොහොමද?
සුළඟින් ඒඩ්ස් බෝවෙන බව; මස් හොද්දකට පෙත්තක් දැමීමෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් වඳ භාවයට පත් කළ හැකි බව මේ රටේ ජනතාවගෙන් වැඩි කොටසක් විශ්වාස කරන පුවත ජාත්‍යන්තරව ප්‍රචාරය කළ හොත් අපේ රටට සංචාරකයන් වඩ වඩා අද්දවාගන්නත් බැරිවෙන එකක් නැහැ.
ඔබ සිතන අන්දමට ඔවුන් එසේ පැමිණෙන්නේ කුමක් සඳහාද?
මේ වගේ ලෝකයම මවිත කරන ‘උසුළු විසුළු’ නිර්මාණය කරන ‘අපේ අයියලගේ’ මුහුණු දැක බලා ගැනීමට තමයි.
(උපුටා ගැනීම ලංකා සී නිව්ස්)



'යදමින් මිදුණු ජැන්ගෝ' (Django Unchained) හරහා රන්ජන්ට ඌන පූරණයක් ....
රන්ජන් රාමනායක කියනවා පිටරටින් සංචාරකයෝ එනවලු අපේ රටේ ඉන්න 'අරුම පුදුම' ජාතිවාදී ජීවින් විශේෂයක් බලන්න. එම තර්කයට අනුව මම හිතන්නේ අපිත් යන්න ඕනි නේද ඩොනල්ඩ් ට්‍රුම්ප් වගේ අය බලන්න මෙහෙ ඉඳන්...පිස්සු තියෙන්නේ අපිට විතරක් නෙවි රන්ජන් අපේ ස්වාමිවරුන්ටත් එම පිස්සුව ම තදට තියෙනවා. ඒ වගේ ඔයාගේ නායකය වුනත් නැවත විශ්ලේෂණය කරන්න වෙයි කියන එකයි මගේ මතය. එයත් පශ්චාත් යටත් විජිත ස්වාමි පැලැන්තියේ කෙනෙක්නෙ. උන් හදන්න හෝ මකන්න වෙන්නේ අපි මත යොදපු ප්‍රචණ්ඩත්වයම නැවත උන් මත යෙදුවොත් නේද කියල හිතෙනවා වෙලාවකට ටැරන්ටිනෝ ගේ Django Unchained (2012) වගේ චිත්‍රපටි බලපුවම. ඔයත් චිත්‍රපටි කාරයෙක් නිසා බලල ඇතිනේ කුවොන්ටින් ටැරන්ටිනෝ. දැන් විමුක්ති සටන තුළ අපට තියෙන එක අභියෝගයක් තමයි ජැන්ගෝ වගේ ෆයිටර් කෙනෙක් හොයාගන්න එක අපිව සූරාගෙන කාපු වුන්ව බල්ලෝ වගේ මරල දාන්න. ජැන්ගෝ කරන්නේ අපිව වහල්ලු කරපු උන් වහල්ලු වගේ මරල දාන එක. එම ප්‍රචණ්ඩ බව වනාහි අපගේ 'නො -සුවපත් අහමේ' (unhealed hurt ego) වෛරය පිරිමැසීමේ සායනික ප්‍රති ක්‍රියාවක් (therapeutic reactionary violence) ලෙස අර්ථකථනය කළ හැකියි. ජැන්ගෝ අතට තුවක්කු ලැබුනම මොහොතක් පරක්කු වෙන්නේ නැහැ. පිස්සු සුදු ස්වාමි ඉලක්ක කරලා පටස් ගාල වෙඩිල්ල තියෙනවා. එහෙම කරන්න තමයි එයාගේ ජර්මන් ස්වාමියා එයාව 'රැඩිකල්කරණය' කරලා තියෙන්නේ. උන්ට කලින් අපි වෙඩිල්ල තියන්න ඕනි ඔලුවටම. කන්ද උඩ ඉදල වෙඩි තියන දර්ශනය ඇතුලේ ජැන්ගෝ තමන්ගේ පළමු ගොදුරට වෙඩි තියන්න මදක් මැළි වෙනවා. ෆැනොන් ට සහ බබා ට අනුව පශ්චාත් යටත් විජිත විෂයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි 'අතීරණාත්මක බව' (undecidability). එයාගේ ජර්මන් ස්වාමියා එම 'කුකුස් සහගත බව' (ethico-political doubt) ඔහුගෙන් සායනිකව ඉවත් කරනවා කතාබහ ඇතුලේ. කුකුස නැති වුනාට පස්සේ ඔහු නියම විමුක්ති විෂයක් (subject of liberation) වෙනවා. සටනේදී හිත හිත ඉන්න වෙලාවක් නැහැ.  

මුහුණු පොත කියන්නේ කොතරම් විපරීත තැනක් උනත් එය මිනිසුන්ගේ කෝපය මුදාහැරෙන එක විමෝචක කවුළුවක් (cathartic window) හැටියටත් අපිට තේරම් ගන්න පුළුවන්. හුගක් අය බයවෙලා ඉන්නේ ඒක ප්‍රචණ්ඩ නිසා. නමුත් වේදනාවේ ප්‍රතික්‍රියාව ප්‍රචණ්ඩ තමයි කොහොමත්. වෙඩි කාපු ඌර වගේ කියල කියන්නේ කට කහනවට නෙවෙයි නේ. මිනිස්සුන්ට තම වේදනාව මුදාහරින්න වෙන මොන බුර්ෂුවා මාධ්‍යයද ඉඩ හැරලා තියෙන්නේ. විකල්ප අවකාශය කියල වෙන මොකක්වත් නැහැනේ. වෙබ් අඩවි ගත්තොත් හැමෝම ඉන්නේ තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර වල. දේශපාලන නායකයෝ කැමති නැහැ තමයි තමන්ගේ සායම යනවට. නමුත් උන්ගේ සායම් ආරක්ෂා කරන්න නෙවිනේ මිනිස්සු ඉන්නේ. (එක අතකට මුහුණු පොතේ මෙම විමෝචක ප්‍රවණතාවයට දේශපාලකයෝ කැමතිත් ඇති. බැනලා අකුරු ටිකක් කෙටුවා. ඉතින් වැඩේ ඉවරයි. මොකද එම කෝපය සහ ගාමක බලය භෞතික එකමුතුවක් වන්නේ නැති නිසා).  
   
ඔය මෙහෙ ඉන්න ප්‍රාථමික (fantasmatic) අය බලන්න පිටරටින් එන අය අනිවාර්යයෙන්ම රන්ජන්ගේ මුහුණ බලන්නත් නියමිතයි. ටෙනී බන්දු එක්ක නටපු රන්ජන්ගේ විසුළු මුහුණත් එහෙම තමයි. පිටරටින් ඇවිත් බලන්න වටිනවා. රන්ජන් නැටුවේ ඔය කියන ඔරන් ඔටන් වගේ ඉන්න මිනිස්සුන්ගේ දැක්ම වෙනුවෙන් කියන එක රන්ජන්ට දැන් අමතක වෙලා. ඒ මිනිස්සු ම තමයි වඳ පෙති පස්සේ ගිහිල්ල ජාතිවාදය අවුස්සන්නේ. ටෙනිය කපටිය නිසා හිනාවෙලා හිටියට රන්ජන් ලොකු කතා කියන නිසා එයාට තමන්ගේ මුල මතක නැහැ. තමනුත් නටල මිනිස්සුත් නටවල කරපු දේකුත් නැතුව ඔක්කොමල දැන් බකන් නිලාගෙන ඉන්නවා මේ දවස් ටික ඉවරවෙලා  ඊළඟ මැතිවරණයෙන් මහින්දලා දිනනකම්. ජනප්‍රියවාදයේ තියෙන ආපතික අනතුර ගැන හුගක් අය ලියල තියෙනවා. රටක් වෙනස් කරන්න නම් දීර්ඝ කාලයක් බරපතල වැඩක් අඛණ්ඩව කරන්න වෙනවා. එහෙම නැතුව කෙටි පාරවල් නැහැ ජයග්‍රහණය උදෙසා. එහෙම ව්‍යාපෘතියක් තියෙනවද මේ වෙලාවේ යු. එන්. පී. එකට? අර්ජුන් මහේන්ද්‍රන්ල එයිද දැන් වැඩේ ගොඩ දාල දෙන්න? රනිල් අඩු තරමේ ලංකාවේ ආචාර්ය උපාධියක් තියෙන මුල්‍ය අංශයක මිනිහෙකුට ඔය වැඩේ දුන්න නම් ඔයිට වඩා වැඩේ ගොඩ දාල දීලා. ඇයි අපේ දක්ෂයෝ නැද්ද ඔයිට වඩා හොඳ? දක්ෂයෝ වෙන්න ඉංග්‍රීසි ම කතා කරන්න ඕනිද? රනිල් කියන්නේ මාර මෝඩයෙක් කියන ඒකෙන්ම පැහැදිලි වුණා. අපේ එවුන් කී දෙනෙක් නම් ලෝක බැංකුවේ ව්‍යාපෘති වල වැඩ කරනවද? කොච්චර හොඳ ව්‍යාපාරික අය ඉන්නවද අපේ රටේ.. පිටරටවල එවුන් එක්ක කරට කර වැඩ කරන. උගත් අයගෙන් වැඩක් ගන්නවා වෙනුවට රනිල් වැඩේ පටන් ගත්තෙම විශ්ව විද්‍යාල වල අයගේ වාහන පර්මිට් එකට කෙළලා. මම දන්නා හැටියට රනිලව විශ්ව විද්‍යාල ප්‍රජාවට පෙන්නන්න බැරි වෙලා තියෙන්නේ තියෙන අලුගුත්තේරු වැඩ නිසා. අහන ඕනිම කෙනෙක් එයාගේ අම්ම තමයි මතක් කරන්නේ. ඉතින් එහෙම බණින එකේ කිසි වරදක් නැහැ ...අවුරුදු ගනනක් තිබ්බ වරප්‍රසාදයක් කැපුවම එම රැකියා සඳහා තිබුන ඉල්ලුම අඩු වෙනවා. ඉතින් අපේ එවුන් පිටරට යන එක අහන්න දෙයක් යැ. බැසිල් තමයි විශ්ව විද්‍යාල අයගේ වැටුප් මේ ගානට වැඩි කළේ කියල මතක තියා ගන්න රන්ජන්...එයාලා දන්නවා රටක මිනිසුන්ගේ වැදගත් කම. 

වඳ පෙති යනුවෙන් යමක් නැති බව මිනිසුන් නොදන්නවා නොවේ. ඔවුන් දන්නවා එහෙම නැහැ කියල නමුත් ඔවුන් විශ්වාස කරනවා එහෙම තියෙනවා කියල මුස්ලිම් කෑම කඩ වල. නිකම් හන්දියක ත්‍රි රෝද රථ ගාලක පොඩ්ඩක් වෙලා කතා කලොත් ඔබට මෙය අවබෝධ කරගන්න පුළුවන්. (There is no rat in my room but I believe that there is one). මෙතන තියෙන්නේ දැනුම පිළිබද ප්‍රශ්නයක් නොවේ. සමස්තතා විෂයේ ප්‍රශ්නයක් (subject of totalitarianism). රස පරීක්ෂක ලා වෛද්‍යවරු ප්‍රවුත්ති සාකච්චා තිබ්බට වැඩක් නැත්තේ එකයි. එවන් විෂයක් බලන්න සංචාරකයෝ එන්න පුළුවන් තමයි. නමුත් මේ යුගයේ ප්‍රශ්නය ම ඒක තමයි. මිනිස්සු දනනවා ඒත් දන්නේ නැහැ වගේ ඉන්නවා. කොච්චර ගමේ අයට කිව්වත් එයාල රනිල්ට දෙන්නේ නැහැ කියන්න යු. එන්. පී. එක තේරුම් ගන්න ඕනි. මිනිස් චින්තනය වෙනස් කරන්න නවරියන්, දොළොස්රියන් වගේ චිත්‍රපට කර බැහැ රන්ජන්. ඒක ඉතාම අමාරු වැඩක් මේ ප්‍රතික්ෂේපන යුගයේ (age of disavowal). ටෙනිසන් එක්ක බන්දු එක්ක දැන් අවුරුදු ගානක් නැටුවට මොකුත් වෙනස් වුනේ නැහැනේ රන්ජන්.  කබලෙන් ලිපට වැටුන මිසක්. ඔයාගෙම නායකයා දැන් කියනව එයාගේ පොඩි කාලේ සිංගප්පුරුවේ අය මෙහෙ ආවලු වැඩ කරන්න. දැන් අපි යනවලු එහෙ වැඩ කරන්න. එයාලගේ පන්තිය ම නේද රට පාලනය කලේ කියල අහන්න රන්ජන්. වෙන රටකින් ආවේ නැහැනේ මේ රට පාලනය කරන්න. අපි ආපු ගමනේ කොහෙද වැරදුනේ කියල හිතල බලන්න රන්ජන්... කාය වර්ධනය කරන ගමන්ම පශ්චාත් යටත්විජිත රාජ්‍ය වල මධ්‍යම පන්තිය අසමත් ඇයි කියල බලන්න ෆැනොන් වත් කියවමු නේද ..

පරණ යු. එන්. පී. කාරයන්ගේ බලාපොරොත්තු සහ අලුත් පරම්පරාව ඉන්න සිහින වෙනස්. රනිල් ට මෙහෙම හරි චන්දෙ දෙන්නේ පරණම අය. ඒ අය දැන් ගොඩක් වයසයි. ඒ කාලේ ජේ. ආර්.  චන්දෙ දුන්න අද වනවිට අවුරුදු හැත්තෑව අසූව වගේ වයස අය තමයි තාම විවුර්ත ආර්ථික සිහිනය තුල ඉන්නේ. ඒ වයසක අය රනිල් ට චන්දෙ දෙන්නේ ජේ. ආර්. සිහිනය තුල ඉඳල. රනිල් ජේ. ආර්. වගේ කියල හිතල රනිල්ට චන්දෙ දෙන්නේ. එයාලගේ දෙවෙනි පරම්පරාව ඒ සිහින පහුකරලා ගිහිල්ල ගොඩක් දුර. එයාල ඇත්තටම ජේ. ආර්.ගේ දරුවෝ. අද ගම්වල හුගක් කොල්ලෝ ඉන්නේ කොරියාවේ නැත්නම් ඉතාලියේ. මම ඉන්න ගමේම සැහෙන පිරිසක් ඉන්නවා ජපානේ. උන් දන්නවා ඒ රටවල මිනිස්සු ඉන්න විදිය. උන් එයාලගේ අම්මලා තාත්තල වගේ නෙවේ. දියුණු රටවල් දැකපු අය. නිල් චිත්‍රපටි බලපු අය. පිටරට ගැනු එක්ක බුදියපු අය. මේ තත්වය තේරුම් ගන්නේ නැතුව ඔයාලට අනාගතයක් නැහැ රන්ජන්. රනිල් එක්තරා දුරකට නුතන වාදියෙක් (modernist) ලෙස මම පිලිගන්නවා. නමුත් මම හිතන්නේ ඔයාලට වෙනස් වෙන්න බැරිවුණා ඒ පශ්චාත් නුතන (postmodern) පරම්පරාව වෙනස් උන වේගයට. චුවින්ගම්, බ්‍රේස්ලට්, වයි ෆයි, වගේ කතා වලින් රනිල් නාස්ති වුණා කියලයි මම හිතන්නේ. ඒ මට්ටම අද හරියන්නේ නැහැ. ජේ. ආර්. ගේ වැඩේ අද හොදටම කරන්න පුළුවන් කෙනා සජිත් වත්, රනිල් වත්, මෛත්‍රී වත්, හරින් වත්, නෙවේ. ඔයාලගේ සම්ප්‍රදායේ ඇත්තම අනුප්‍රාප්තිකයා බැසිල්. මොන ප්‍රශ්න තිබුනත් එයාගෙන් ඉගෙන ගන්න. දැන් ඉන්න ගොඩ පෙරකදෝරු උපදේශකයෝ ටික එලවල ඉන්න බැසිල් පරාජය කරන්න ඕනි නම්. මොනවා වුනත් මහින්ද බැසිල් අතාරින්නෙ නැත්තේ ඇයි කියල නිකම් හිතන්න රන්ජන්. මහින්දගේ වුනත් වීරයා ගෝඨා නෙවෙයි. එයා ඔයාල වගේ ඕනි එකටයි එපා එකටයි එක එක ප්‍රකාශ දෙන්නේ නැහැනේ. බලන්න එයාගේ මාධ්‍ය සාකච්චා කොච්චර විනය ගතද කියල. ඔය වඳ පෙති වගේ පිස්සු කේස් වලට කට දාල නාගන්නේ නැහැනේ. පාලකයෝ කියන්නේ එහෙමයි රන්ජන්. උන් උපතින්ම කපටියි. ජේ. ආර්. කියන්නෙම කපටියෙක්.  

මොනවා වුනත් අපි මේ අධි තාක්ෂණික සහ විද්‍යාත්මක ලෝකය ගැන අවධානයෙන් ඉම්මු. සිදු වෙමින් පවතින දේවල් වලින් ඉගෙන ගමු. අද ඔයාලට වැඩ කරන්න වෙලා තියෙන්නේ පාර-ගෝලීය වගේම අධි තාක්ෂණික යුගයක කියන එක මොහොතක ටවත් අමතක කරන්න එපා. ඒ තාක්ෂනය පස්චාත් නුතන බව සමග බැඳී පවතිනවා. මුහුණු පොත වගේ දේවල් ගොඩක් ප්‍රබල ඒකයි. වාරණය කරන්න උනත් මේ අධි තාක්ෂණ යුගයේ බැහැ. විශ්වය නම් අප නොදන්නා යථාවක් සංකේතනය කිරීමට උරදුන් අපේ යුගයේ අයින්ස්ටයින් විය හැකි ස්ටීවන් හෝකින්ස් අභ්‍යාවකාශය, කාලය, විශ්වය, තරණය කිරීමට සිතන සමයක වඳ පෙති ගැන ත්‍රි රෝද රථ පාක් කරන තැන්වල පැය ගණන් කතා කරන තරුණ කොටසකුත් ඉහත තාක්ෂණ යුගය තුලම ඉන්නේ ඉහත නරුම බව (cynical) නිසා මිසක් ඔවුන් දන්නේ නැති නිසා නෙවෙයි.  අනන්‍යතා දේශපාලනය ඉතාම ප්‍රබලයි ධනවාදයේ මේ කාර්තුව තුල. ධනවාදයෙන් අවුල් වෙච්චි මිනිසාට එල්ලෙන්න තියෙන එකම වැල තමයි 'ජාතිය' කියන්නේ. ඒක සුළු කොට තකන්න එපා.

ඒ මොනවා වුනත් තාක්ෂනය වේගයෙන් ඉදිරියට යනවා. පසුගිය සියවස මේ යුගයට අදාල නැති තරම්.  බලන්න මිනිසා විසින් මිනිසා පසුකර යන ලෝකයක අප කොතනද? මිනිසා පරිණාමය වන මීළඟ අවදිය කෘතීම බුද්ධිය සහිත හියුමනොයිඩය (humanoid) නම් ආහාර, ඇදුම් පැළදුම්, රැකී රක්ෂා, නිවාස (සමාන පාන් කෑල්ලක්) ප්‍රමුඛ කරගත් සමානතා සමාජය සහ සමාජවාදය පිළිබද අදහසට කුමක් වේද? What will happen to the idea of socialism in a humanoid age? මීළඟ පරිණාමීය අවදියේදී 'මිනිසා' නොපවතිනු ඇත හෝ මිනිසාට වෙනත් ග්‍රහ ලෝකයක් කරා යාමට සිදුවන බව හොකින්ස්ගේ මතයයිමිචියෝ කාකු ට (Michio Kaku) අනුව තව ආලෝක වර්ෂ මිලියන දහයකට වඩා ඇතින් පිහිටි අපට සමාන තාරකාව (earth like planet) වෙත යාම මිනිසෙකුට කල නොහැක. එයට යා හැකි වන්නේ හියුමනොයිඩයකට පමණක් කියල තමයි කාකු කියන්නේ. (බලන්න රන්ජන් මෙවර ඔස්කා තේරුණු The Shape of Water චිත්‍රපටිය). ඒ අර්ථයෙන් මිනිසා විසින්ම නිපදවූ පාර මිනිසෙක්, අධි මිනිසෙක් (නීට්ෂේ ගේ උත්තර මිනිසා) අප දැන් දන්නා මිනිසා ඉක්මවා යාවි. අපට අත්විඳිය නොහැකි එම නොපෙනෙන ලොව තුල ඔහුගේම වූ 'සමාන සමාජයක්' (communist utopia) ඇතැම් විට ඔහු නිපදවන්නත් පුළුවන්. එතකොට ඒ දියුණු කෙනාට අපිව පෙනෙන්නේ නිකම් ඔරන් ඔටන් වගේ වෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් ගොඩනගන ලෝකය මිනිස් චින්තනයේ සහ පරිකල්පනයේ චායාවක් (a shadow of human ontology itself). සමාන සමාජයක් පිළිබද මිනිස් යුතෝපියාවේ අසමත්භාවය තුළ මියයන මිනිසාගේ ශරීරයෙන් සහ මනසින් ශේෂ වන අතිරික්තය (the excess of man) හියුමනොයිඩයක් කියන්නත් පුලවන්. අපි දෙවියන්ගේ චායාවක් අරන් ඇවිල්ල තියෙනවා වගේ ඔවුනුත් අපේ චායාවක් වේවි. හරියටම ඔයාලගේ ඊලග නායකයා රනිල් ගෙන් පුර්ණ ලෙස ඛණ්ඩනය වුනත් ඔහුගේ චායාව දරා සිටිනවා වගේමයි (Ranil's shadow).  අනිවාර්යයක්. ජැන්ගෝ එයාගේ ජර්මන් ස්වාමියාගේ චායාව දරා සිටිනවා ඉදිරියටත්. දෙවියන්ගෙන් වියෝ වූ දා ඉදලා අපගේ පැවැත්ම හැදිලා තියෙන්නේ එහෙම.  
හරි එහෙනම් මම නවතිනවා. 

පුළුවන් වෙලාවක අමාරුවෙන් හරි මේක කියවන්න රන්ජන්...    

https://www.youtube.com/watch?v=_JmJuvXAcwc