Sunday, May 27, 2018

සිහින දැකීම...

නෝරාජිකය ගැන සිහිනය පමණක් නොව සිහින දැකීම ද නැවත 
ව්‍යුහගත යුතුව ඇත (Organs without Bodies, ජිජැක් 2004) යන්න නැවත සිහිපත් කළ යුතුව ඇත්තේ පරණ X කල්ලිය සිහින දැකීම පවා අමතක කර ඇති නිසාය. සතුට සොයා ගියවුන් වල්මත් වී ඇති අතර වඩා රැඩිකල් වීමට ගියවුන් පරණ සිහින තුලටම රිංගීම ප්‍රහසනයක් නොවේද? විප්ලවයක් නොකෙරෙන බවට ඇති සාධකය නම් තමාව විප්ලවීයකරණය (self-revolutionizing) නොකර ගැනීමයි යන ජිජැක්ගේ ආප්තය ඔවුන් සඳහා පමණක් නොව පෙරටුගාමී සහ ජ. වි. පෙ. වෙනුවෙන්ද එකසේම සත්‍යය.  විප්ලව කරන්න කලින් අලුතෙන් සිතන්න යැයි අපි හැමෝටම කියමු. මන්ද අනාගතය සඳහා තවදුරටත් ශරීරය ආයෝජනය කර පලක් නැත. අනාගතය අයිති දියුණු මනසක් සතු ජිවීන්ටය.  ඔබ පරණ විදියටම අම්මා බෙදා දුන් බත් එක ගිලදමා, ඇඳුම ඇඳගෙන, හෝල්ට් එකට අවුදින්, බසයට නැඟ, වතාවතක් ලෙස බස් එකේ ගැහැණියකට හේත්තුව දානවා නම් (එහෙම හිතෙනවා නම්)  එසේනම් විප්ලවය කිරීමට පෙර ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. තම මිතුරාගේ ආදරවන්තිය දෙස 'රබර් ඇස' දැමීමට ඔබට සිතේනම් විප්ලවය කිරීමට පෙර ශිෂ්ට සම්පන්න වෙන්න. උසස් පොත් කියවන්න. උසස් සංගීතය අසන්න. මේ ගමෙන් පැමිණි පුර්ව නුතන ලෝකයේ අයට දීප්ති සොයුරා මුලින්ම උගැන්වූ පාඩමයි. විප්ලවයට පෙර ඔබ ඔබව විප්ලවීය කරගන්න සොයුරනි! ඒ ඔහුගේ මුල්ම පාඩමයි. ඒ පාඩමට බොහෝ අය වෛර කලත් සත්‍යය නම් ෂේලිනියානු භුමිය (ground) එයයි. මේ එම භුමිය වෙනස් කිරීමට වෙරදැරූ 'ප්‍රථම ලාංකික සංස්කෘතික විප්ලවවාදියා' (the first cultural revolutionist in Sri Lanka) වෙනුවෙන් අද දිනයේ ලියන සටහනකි...

28.05.2018

ධනවාදීව හෝ සමාජවාදීව පමණක් රටේ ගැටළු විසඳන්න බෑ ධනවාදීව හෝ සමාජවාදීව පමණක් රටේ ගැටළු විසඳන්න බෑ  

Friday, May 18, 2018

හැරී දෙස බලා සිටින ඔබ ඇත්තටම නිදහස්ද?

ලෝකය පුරාම විශේෂයෙන් පශ්චාත් යටත්විජිත ලෝකය මුළුල්ලේ ගොඩක් අය හැරී සහ මිගන් ගේ 'රාජකීය විවාහය' ගොඩක් ආශාවෙන් බැලුව. බ්‍රිතාන්‍ය වැසියන් මෙතරම් රජ පවුලට අප ආශා කරන්නේ ඇයි? තවමත් වැඩවසම් නෂ්ටාවශේෂ තුල ජිවත් වීමට ආශා කරමින් අප පවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට 'රජෙක්' පතන්නේ ඇයි? ආශාව සහ දේශපාලනය පැත්තෙන් ගත්තම ඒක වැදගත් ප්‍රපංචයක් සාකච්චා කලයුතු. කෙසේ වුවත් මිගන් සහ හැරීගේ ඉහත විවාහය ගැන ලෝකයේ අවධානය යොමු වුනේ ටිකක් වෙනස් විදියට. මොකද හැමෝම මේ විවාහය දැක්කේ ටිකක් රැඩිකල් එකක් කියල. නමුත් මට හිතෙනවා එයාල දේවල් වෙනස් කරන්න උත්සාහ කරන කොටම ඒක නැවතත් පරණ දෙයම බවට පත්වුණා කියල (the more you try to change, the more it remains the same). හරියටම ලංකාවේ දේවල් වෙනස් කරන්න හදනකොට වෙනවා වගේ. මෙතැනදී රජ පවුල නැති වෙනවා වෙනුවට වෙන්නේ වෙනස් වෙමින් එයම ප්‍රති-ජීවනය ලබන එක.  

මිනිස්සුන්ට අතීත වටිනාකම් වලින් ඛණ්ඩනය වෙන්න බැහැ කියන එකට හොඳම උදාහරණය තමයි ඉහත රාජකීය කසාදය. ඒ කියන්නේ සමාජවාදයටත් ධනවාදයටත් යම් යම් ශිෂ්ටාචාර ලක්ෂණ (ගෝත්‍රික, එඬේර, වැඩවසම් ව්‍යුත්පන්නයන්) වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා සමාජ මොනතරම් පරිණාමය වුනත්. ඇත්තටම නුතනත්වය තුල පරිණාමය වෙන්න වෙන්න වෙලා තියෙන්නේ අර පරණ සංකේත 'ප්‍රති-ජීවනය' වෙන එක මිසක් අහෝසි වෙන එක නෙවෙයි. හැරීගේ සහ මර්කල් ගේ විවාහය බහු සංස්කෘතික ලක්ෂණ අරගෙන, අලුත් රූපක ඇතුලේ, අලුත් ආගමික චාරිත්‍ර ඇතුලේ, වඩා ජනතාවාදී වෙලා අර පරණ ආකෘතියම නැවත අප වෙත ඇවිල්ල තියෙනවා මිසක් පරණ අතීත කාමය අහෝසි වෙලා නැහැ. ඒ කියන්නේ ඉතිහාසය සහ එහි අඛණ්ඩතාවය දිගටම ගලා යනවා සියලු සමාජ ක්‍රම අතරෙන්. දෙමව්පිය සම්බන්දය සහ විවාහය වගේ දේවල් වැඩවසම් යුගවලටත් කලින් ඉඳන් අද දක්වාම එනවා පොඩි පොඩි වෙනස්කම් වෙමින්. අහෝසි වෙන්න ඕනි වුනත් අහෝසි නොවී අවතාරයක් වගේ බ්‍රිතාන්‍ය රජ පවුලත් දිගටම යනවා (තව නුතන කියලත් කියනවා). කිසිවක් නොපවතින තැන තියෙන යම් දෙයක් වගේ මේ රෝයල් කට්ටිය ඓතිහාසික රෝග ලක්ෂණයක්. ඉතින් පට්ට වැඩවසම් සංකේතයක් වන බ්‍රිතාන්‍ය රජ පවුලේ කැත කුණු උණු කැවුම් වගේ ව්කිනෙනවා ඒ 'නුතනවාදී රටේ' මිනිස්සු අතර. ඒකට හේතුව තමයි බ්‍රිතාන්‍ය අනන්‍යතාවය කියන එක තාම වැඩවසම් සංකේත එක්ක බැඳී පැවතීම. මේක දියණු නොදියුණු සියලු රටවලට පොදුයි. වැඩවසම් අනුරාධපුර, සිගිරිය, පොලොන්නරුව, පත්තිරිප්පුව අපේ අනන්‍යතාවය වෙනකොට බ්‍රිතාන්‍ය රජ පවුල ඔවුන්ගේ අර්චන අනන්‍යතාවය එක්ක බැඳෙනවා. අනන්‍යතාවයෙන් ගැලවීම නම් පුතෝ සෙල්ලම් දෙයක් නෙවි. ඒක නැති වෙච්ච ගමන් ඉතුරු වෙන්නේ ශුන්‍යතාවය (nothingness). අපි හැමෝම හිස් බවට බයයි. ලක්ෂ ගණන් පෝලිම් වල හැරී එනකල් නොකා නොබී ඉන්නේ එකයි. 

හැරී වගේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කෙනෙක් එයාගේ වැඩිමහල් සහෝදරයා වගේ උසස් වංශවත් පවුලක කෙනෙක් විවාහ කර නොගැනීම ගැන එක්තරා පුද්ගලයෙක් මෙගෙන් ඇහුව එකක් තමයි 'කිසිදෙයක් බලන්නේ නැතුව මීගන් වගේ කෙනෙක් තෝරා ගැනිම නිසා හැරී ඇත්තටම රැඩිකල් නේද' කියන එක. ඔව්, මමත් හිතනවා එතන යම් දෙයක් තියෙනවා කියල. නමුත් ඔහු ආශා කරන්නේ තමන්ගේ වංශවත් කියන කුලකයට පිටින් ඉන්න ඉහල පවුල් පසුබිමක් නැති, අම්ම තාත්ත ඉහල පන්තියෙන් නොපැමිණෙන, කළු ජාතික පසුබිමක් තියෙන, පෙම්වතුන් ගොඩක් හිටිය සාමාන්‍ය ගැහැණියක්. ටොඩ් මැගෝවන් ට අනුව ගත්තොත් ඔහුගේ ආශාවේ පදනම 'වෙනස' කියන සාධකය (තමා නොවන දෙය). ඔහුගේ වැඩිමහල් සහෝදරයා වගේ නොවෙයි හැරීගේ ආශාව ෆැන්ටසියකට වඩා වැඩි දෙයක්. තමන් යටත් කරගෙන හිටිය ජාතියකගෙන් ව්‍යුත්පන්න වුන ඓතිහාසික ස්වාමි වහල් සම්බන්දයක නෂ්ටාවශේෂ වලට ආශා කිරීමක් හෙවත් ඔහුගේම ඉතිහාසයට අවිඥාණික වන්දි ගෙවීමක් කියලත් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුගේ ආශාව ඔහුටත් නොතේරෙන ගුප්ත ෆැන්ටස්මතිකයක්. එහෙනම් එතැනදී වැදගත් වෙන්නේ හේගල්. විලියම් එයාගේ සංකේත පිළිවෙල ඇතුලේ ආශාවේ සිමාව සලකුණු කරන කොට දොලර් ට Mladen Dolar අනුව ගත්තොත් හැරී කරන්නේ ප්‍රමෝදය සොයා යාමක්. ඒ කියන්නේ මේ විවාහයට තියෙනවා සංකේතනයට ඔබ්බෙන් පවතින විනෝද ආර්ථිකයක් (economy of enjoyment). ඒ කියන්නේ අතිරික්ත විනෝදයක් (මාක්ස් ගේ අතිරික්ත වටිනාකම වගේ). බලා ඉන්න අයටත් මේක සම්ප්‍රේෂණය වෙනවා.  ඔවුනුත් එය විඳිනවා. රාජකීය පවුලේ සංකේතනය මෙතැනදී අසමත් වෙනවා. ඔවුන්ට පුළුවන් වෙන්නේ හැරීගේ විනෝදය වෙනුවෙන් කැපකරන්න පමණයි (ළමයින්ගේ ගේ හිතුවක්කාර විවාහ වෙනුවෙන් කැපකරන දෙමාපියන් ගැන සිතන්න!). 

දොලර් මෙහිදී මෙහෙම කියනවා. 'තනි පුද්ගල බද්ධ ආත්ම මුලිකත්වයේ ආශාව හෙවත් ආත්මාර්ථය සහ බලය අතර ඝට්ටනය විසින් දෘෂ්ටිවාදයේ අධිනිශ්චය පිළිබදව ග්‍රාම්ස්චි විසින් ගෙන එන හෙජමොනිය සම්බන්ද මතය මෙහිදී පසුපසට යනු ලබනව' (පිටුව xviii). මෙතනදී වෙන්නේ දෘෂ්ටිවාදය තමන්ගේ ස්ථානය වෙනුවෙන් (අධිනිශ්චය) සටන් වදිනවා වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් බාධාවක් (constrain) සොයන එක (රජ පවුලේ සංකේතනය). ඒ කියන්නේ තමාගේ ආත්මයේ ෆැන්ටස්මතික මදය (phantasmic kernel) වෙනුවෙන් සටන් කරන විෂය (විනෝද වීමට අපේක්ෂා කරන විෂය = subject supposed to enjoy) කෙසේ හෝ සොයන්නේ තමාගේ විනෝදයේ පංගුව පමණයි. ඒ නිසා කොලම්බස් මෙන් යන්නේ කොහේදැයි එවැන්නෙක් නොදනින අතර ඔවුන්ට ඇත්තේ කොහේ හෝ යන බවට ඇති විශ්වාසයක් (belief) පමණයි කියල දොලර් කියනවා. කොලොම්බස් කොහේ හෝ රටකට ගොඩ වැදුන නමුත් ඔහුට අවශ්‍ය වූ දිහාවට ගියේ නැහැ. මේක තමයි විලියම් සහ හැරීගේ 'වෙනස'. කොහොම වුනත් කොලොම්බස් තියරියට අනුව විලියම්ට හමු නොවූ දෙයක් හැරීට හමුවන්න පුළුවන් ආපතික විදියට. කොහොමත් බටහිර ආත්මය හැමදාම ගියේ ආපතික විදියට දේවල් සොයාගෙන වෙනත් අය පය නොතියපු ලෝකයේ අන්ධකාර අහුමුළු හොයාගෙන.  ඒකයි එයාල හැමදාම අපිට  අඩියක් ඉස්සරහින් ඉන්නේ.    
       
නමුත් ඩේලි මේල් එකේ ප්‍රශ්නය වෙන එකක්.  තාමත් මේගන් ල හැරී ල ගේ දෙමව්පියෝ කසාදෙට එනවද නැද්ද කියන එක ගැන මේ වෙබ් එක විස්සෝප වෙන හැටි දැක්කම හිතෙනවා මේ අය නේද නුතනත්වය සහ නිදහස ගැන තුන්වැනි ලෝකයට පාරම් බාන්නේ කියල.. විශේෂයෙන් ඩේලි මේල් එක හැසිරෙන්නේ හරියට පිස්සු වැටුන වගේ රජ පවුල ගැන (එයාලට අනුව මේක නුතන විවාහයක්). 'කෝ මේගන් ඔයාල කතා කරන නිදහස ඔයාලගේ ජිවිත වල වත් නැහැනේ මේ සම්ප්‍රදායික සංඥා තුලට ඔය විදියට ආසාවෙන් රිංගනවානම්'...කියල එයාල අහන්නේ නැහැ. ඒ වෙනුවට බ්‍රිතාන්‍ය කාරයාගේ සම්ප්‍රදායික ආත්මයේ පතුලටම කතාකරනවා ඩේලි මේල් එක. ඉතින් කොහොමද ඔය 'උසස්' කියන බටහිර අය කියන්නේ පර්දා දාන, මුහුණ වහන, බුර්කා අඳින ඇෆ්ගන් කාරයෝ අන්තගාමී කියල. මම හිතන්නේ අපි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ.  අඩුම තරමින් යටත් විජිත රුෂ්ඩි ගේ දුව නටාෂා නම් කියනවා දෙමව්පියෝ නැතුව කසාද බඳින්න පල්ලියට යන්නත් හයියක් තියෙන්න ඕනි කියල රෝයල් කටිටිය දුක් වෙද්දී. ඉතින් කවුද ඇත්තටම නුතන? ඇත්තම ප්‍රශ්නය නම් හැරී නිදහස්ද කියන එක නෙවි හැරී දෙස බලා සිටින අප නිදහස්ද කියන එකයි.  

අපේ අයත් ගිහිල්ලද මඟුල් ගෙදර? ගියේ නැත්නම් පුදුමයි... කොහොම හරි වීඩියෝ එකක් වත් බලනවා ඇති. 



Sunday, May 13, 2018

ගාන්ධි, අමරසේකර සහ අපි

'දීප්ති: අපේ යුගයේ ගුරු ගීතය' ග්‍රන්ථයේ අවසන් කොටස. 

දීප්ති ගේ දේශපාලනය අද වනවිට දිගු ගමනකින් පසුව එහි නිෂ්ටාවන් සහ අභිප්‍රායන් වෙත ගමන් කරමින් තිබෙනු දැකීම සතුටක්. විසි වන සියවසේ අධිනිශ්චය වී තිබුණ බොහෝ මායිම් විසංයෝජනය වන මේ මොහොතේ මේ සටහනත් සමගම එම ලිපි පෙළ අවසන් කිරීමට මම හිතුවා.  

වැඩ කිරීම (work) ගැන අපි පොඩි උපමා කතාවක් එක්ක මේ ලිපිය පටන්ගමු. ඒ තමයි ඇල්බයා කමු ගේ 'සිසිපස් ගේ මිත්‍යා කතාව' (The Myth of Sisyphus). ඒක සාන්දෘස්ථික සාහිත්‍යය ඇතුලේ ඉතා වටිනා කෘතියක්. ඒකෙන් කියවෙන්නේ සිසිපස් කියලා කෙනෙක් තේරුමක් නැතුව ගලක් කන්ද උඩට තල්ලු කරන එක, ගල කන්ද පාමුලට ආපසු පෙරළෙන බව ඉන්තේරුවෙන් ම දැනගෙන. කිසිම අර්ථයක් නැතුව වුනත් සිසිපස් දිගින් දිගටම ගල කන්ද මුදුණට ම තල්ලු කළා. එහෙම තල්ලු කිරීම නම් 'වැඩේ' ඇතුලේ තමයි එයා තෘප්තිමත් වුනේ. කිසි තේරුමක් නැති දෙයක් කියල මුළු ලෝකෙම කීවත් ඔහුගේ ජීවිතය අර්ථවත් වුනේ අර අර්ථයක් නැති ක්‍රියාව ඔස්සේමයි (මේක ඒ කතාව ලියපු කමු ට වත් ඒ මොහොතේ තේරුනේ නැහැ). අපි සිසිපස් ගැන දැන් කතා කරන්නෙත් එම 'වැඩකට නැති වැඩේ' ඔහු කළ නිසාමයි කියලයි අපි කියන්නේ. දීප්තිත් ගොඩක් කාලයක් වැඩ කළා. හුගක් අය කිවේ 'මොනවටද ඔච්චර කියවන්නේ ලියන්නේ' කියල . 'ඉන්නකෝ මේ අපි වගේ වැඩිය දේවල් ඇඟට ගන්නේ නැතුව ආතල් එකේ'. නමුත් අපි හැමදාම උත්සාහ කළා ගල කන්ද මුදුනට ගෙනියන්න ආපහු පහලට පෙරළෙන වග දැනදැනම. ඇත්තටම 2005 සහ 2015 වගේ අවස්ථා දෙකකදී ගල පහලට පෙරලුනා. එත් දීප්ති අත හැරියේ නැහැ. එයා තාම ගල කන්ද උඩට ගෙනියන්න හදනවා. ලංකාව කියන අප ඉපදිච්ච රටට මොනවහරි ගෞරවයක් ගේන්න ඔහු විශාල චින්තන වපසරියක වැඩ කරනවා. තුම්මුල්ලේ ඉඳන් කොටුවට යන්න විශාල මිනිස් පෝලිම් අපිට නැති උනාට අපි අපේ වැඩේ අත්හැරලා නැහැ. මේ තමයි ඒ න්‍යායික දේවල් වලට අසීමිත ලෙස ගෞරව කරන ලංකාවේ සිසිපස්ට අපිට කරන්න පුළුවන් උපහාරය.  

ලාංකික අප හැට වසරක නිදහසෙන් පසුව ඉතාම වැදගත් මතවාදී කඩයිමකට පැමිණ ඇතැයි හිතන්න පුළුවන් මේ වෙනකොට දේශපාලන දර්ශනය ඇවිල්ලා තියෙන දුර බලපුවම. සමහර විට ඉන්දියාව වුනත් දේශපාලන මතවාදය දියුණු කිරීම මේ තරම් කරලා නැතුව ඇති නව ගෝලීය තත්වයන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට. ඕනිනම් කියන්න පුළුවන් දැන් තමයි ඇත්ත චින්තන (නිදහස්) අරගලය සිදුවෙමින් පවතින්නේ කියලත්. හුඟක් අය අහයි මොකටද ඔච්චර මතවාද ගැන කතා කරන්නේ කියල. අපේ උත්තරය තමයි අපිට සිදුවුන විනාශයන් එක්ක ප්‍රබුද්ධ ව්‍යාපාරයක් නැතුව ඉදිරියට යන්න බැහැ කියන එක. මොකද වම දකුණ භේදයක් නැතුව අවුරුදු හැටම අපි ඇවිල්ලා තියෙන්නේ නිශ්චිත මතවාදයක ආලෝකය නැතුව. උතුරේත් දකුණේත් මෙච්චර මිණී කඳු ගොඩ ගැහුනේ තමන් ඇයි මැරෙන්නේ කියලවත් නොදැන (ආයේ එහෙම වෙන්න දෙන්න බැහැ මේ රටට). අර්ථය කියන්නේ සැමවිටම සොයාගත යුතු දෙයකට වඩා භුමිය විසින් ගොඩනගන දෙයක් කියලයි ලකාන් කියන්නේ (meaning is never a truth that can be found; it is rather always entity constructed). එසේ නම් අපගේ භුමියේ සත්‍යය භුමිය විසින්ම ගොඩනගා තිබෙනවා කියන එක අප හඳුනා ගත යුතුයි. දකුණු අප්‍රිකාවේ ඉදන් ඉන්දියාවට ආපු ගාන්ධිට මහාචාර්ය ගෝකල් කියන්නේ 'ඉන්දියාව සොයාගන්න' කියල (go and find India). ඉන්දියාව කියන්නේ නව දිල්ලි වල ඉන්න නීතිඥයෝ කිහිප දෙනෙක් නොවෙයි කියන එකයි ඒකෙන් කියන්නේ. ඈත දුප්පත් ගම්වලට ගිහිල්ල 'භුමියේ සත්‍යය' (යථ වෙත ගොස්) අවබෝධ කරගන්න කියන එක.  බරපතල ලෙස පහලට ඇදවැටෙමින් තිබෙන මෙම භූමිය ඉල්ලා සිටින්නේ ස්වාමි හැඟවුමක් කියලයි මට හිතෙන්නේ ගෝඨාභය ගේ දේශපාලන ආගමනය දැක්කම. සම්පුර්ණයෙන් අවුල් වෙලා තියෙන සමස්ත ක්‍රමය ගොඩදාන්න 'ඒකාධිපතියෙක්' (ගාන්ධි කෙනෙක් නෙවි)  මේ දුප්පත් රට දැන් ඉල්ලනවා (මිනිස්සු දහ දෙනෙකුට කතා කලොත් මේ සත්‍යය දැන ගන්න පුළුවන්). හරි වැරදි කියල නෙවි මම කියන්නේ එයයි භුමියේ සත්‍යය කියන එකයි. මේක අමතක කරලා මුකුත් කරන්න බැරිවෙයි. සදාචාර හරි වැරදි එක්ක මෙම යථාව පටලවා ගන්න එපා. අපි කොච්චර මතවාද දියුණු කලත් වැඩක් නැහැ එය භුමිය (ground) එක්ක සම්භන්ද වෙන්නේ නැත්නම්. 

මේ සටහන ලියාගෙන යනකොටම ඇහුන ඔන්න ලාල් කාන්ත මහතා කියනවා ගෝඨා කියන්නේ දුර්වලම කෙනා කියල. ඒ නිසා එයාට බය වෙන්න ඕනි නැහැ කියල. යමෙක් දුර්වලයි කියල හිතීම කොතරම් දේශපාලනික අඥාණ කමක්ද? දුර්වලම අය බලයට ගේන්න ගිහින් කොටි සංවිධානය මිහිපිටින් අතු ගැවිලා ගියා කියන එක ඔහුට අමතක වෙන්නේ කොහොමද? මම හිතන විදියට ඔහු සෝඩා නැතුව අඩියක් ගහල ඉන්න ඇති ප්‍රේමදාස මහතා වුනත් දුර්වලයෙක් කියල ඒ කාලේ හිතපු එකේ දේශපාලන වරද අමතක වෙන්න. දැන් අවශ්‍ය වෙන්නේ වම දකුණ දයලෙක්තිකය ට වඩා මේ තීරණාත්මක මොහොතේ මේ රට ඉදිරියට ගන්න එක කියල අපි කියන්න ඕනි. අපි මොනවද කරන්න ඕනි කියල කියන්න ආයේ මාක්ස් වලෙන් නැගිටලා එන්නේ නැහැ. අපිම තීරණය කරන්න ඕනි මේ සියවසේ කරන්න ඕනි මොකක්ද කියල. ඒකට තමයි පක්ෂයකට න්‍යායික අංශයක් තියෙන්න ඕනි. අනුරලා ලාල් කාන්ත ල හිතට එන එන විදියට කතා කරන්නේ මේ න්‍යායික අභාෂය නැතුව. ජ. වි. පෙ. කට්ටිය මාධ්‍ය අහන ඕනි බෝලෙකට දමලා ගහනවා. අනික් කට්ටිය කුමාර මහත්තය විප්ලවේ කරනකල් බලාන ඉන්නවා රට ගොඩ ගන්න. මොකද්ද කරන්න ඕනි කියල කාටවත් තේරෙන්නේ නැහැ. භුමිය වෙනස් කරන්න හැදුවට ගොවියෝ ශිෂ්‍යයෝ එක්ක පරණ ආකෘතියක් ඇතුලේ (ශිෂ්‍යයෝ නම් වැඩි දෙනෙක් රටින්ම යනවා යන්න මේ වෙද්දී) ඒ ගොල්ලන්ට මතවාදී ආකෘතියක් නැහැ. තියෙන්නේ ජනප්‍රියවාදය විතරයි. විසි එක්වන සියවසට යන්න බැහැ පරණ මතවාද කරේ තියාගෙන. වමේ මෙලන්කොලික අහිමිවීමෙන් අපි හැමෝම ගැලවෙන්න ඕනි. සමාජවාදය පිළිබද අදහසට නිසි ඓතිහාසික ගෞරවය දෙන ගමන්ම අපි මතක තියා ගන්න ඕනි රුසියාව වුනත් ලෙනින්ගේ පිළිම ඉවත් කළා කියල.  

මේ භුමිය පිළිබද කරුණ ගැන ලංකාවේ දේශපාලනඥයෝ හොදටම දැනුවත්. ඒක නිසා මැතිවරණ කිට්ටු වෙනකොට ගමට යන්න ඕනි කියල එයාල දන්නවා. මැතිවරණ අතර අවුරුදු තුන හතරක් නගරයේ සහ පිටරට ඉන්න එයාල චන්ද කිට්ටු වෙනකොට ගම හොයාගෙන 'ගමට යනවා'. ඔවුන්ට 'සත්‍යය' මතක් වෙනවා (ගමේ තමයි විශාලම පිරිසක් ඉන්නේ කියන එක). නමුත් ඒ අතරමැද කාලය ඇතුලේ ගමේ පාරට තාර ටිකක් විදුලි බුබුලක් දාන්නේ නැහැ. ගමේ අය මෝඩයෝ හැටියට තමයි එයාල හිතාගෙන ඉන්නේ මොනවා හරි කියල රවටන්න පුළුවන් මිනිස්සු ඉන්න. ඒ මිනිස්සුන්ගේ ජිවිත ඇත්තට වෙනස් කරන්න ඕනි අනුරාගයක් ඔවුන්ට නැහැ. නමුත් ඉන්දියාව හරහා ගාන්ධි යන ගමනේදී එයා තේරුම් ගන්නවා දුප්පත් කම අහෝසි නොකර කිසිදෙයක් ඉන්දියාවේ කරන්න බැහැ කියල. ගාන්ධි කියන්නේ 'ලොකුම ප්‍රචණ්ඩත්වය දුප්පත් කම කියල'. ඉතින් බිම් මට්ටම ගැන කතා කරන සජිත් වගේ කෙනෙක්ගේ ග්‍රාමීය ආකර්ෂණය නොසලකා හැරිය නොහැකි දෙයක් බවට එ. ජා. ප. යට තේරුම් ගන්න වෙනවා (කියවන්න සජිත් අගමැති ලෙස නම් කරන්න). අවුල් සහගත සංකේතිය ජාලය (chaotic symbolic network) තුලින්ම යථාවක් ලෙස පුද්ගල අනන්‍යතාවය (personal identity) මතුවීම අර්බුදයට ලක්වූ සමාජයක නියත රෝග ලක්ෂණයක් කියන එක තමයි මෙහි අර්ථය (හුණුවටයේ කතාවේ අසඩක්, ඉන්දියාවේ ගාන්ධි, ඇමෙරිකාවේ ට්‍රුම්ප්, ලංකාවේ ප්‍රේමදාස වගේ උදාහරණ ඕනි තරම් තියෙන නිසා තමයි අපි ගෝඨා ප්‍රපංචය නොසලකා නොහැරිය යුත්තේ). භුමියේ අර්ථය මිනිස් විෂයට වුවමනා විදියට වෙනස් කරන්න බැහැ (The truth is out there! කියන එක තමයි සාමාන්‍ය ලැකානියානු ඉගැන්වීම). මන්ද සත්‍යය මිනිසාට වඩා විශාල නිසා (පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද පාර්ශවය මතුවන්නේ භුමියේ යථාව විදියට කියල මම කිව්වේ ඒකයි (කියවන්න යථාවේ පුනරාගමනය). තනි පුද්ගලයාට වඩා වැඩි සමාජ ව්‍යාපාර අවශ්‍ය ඒකයි භුමිය වෙනස් කරන්න. මේක තේරුම් ගත්ත ගාන්ධි කිලෝ මීටර් දහස් ගණනක් පයින් යනවා මිනිස්සු දිනා ගන්න.  

ඒ කියන්නේ පුද්ගල පරිකල්පනය (හෙවත් පරිකල්පිත මනෝරාජික ලෝකය) මහපොළොවේ ගොඩ නගන්න භුමිය හා සම්බන්ද වෙන්න ඕනි. එතැනදී ගාන්ධි කියන පුද්ගලයා තම අනන්‍යතාවය ගොඩ නගන්නේ තම පරිසරයට සාපේක්ෂව (ලෙනින් සහ මාවෝ වගේම). ඒ කියන්නේ පුද්ගල අනන්‍යතාවය සහ බාහිර පරිසරය අතර සම්බන්දය කියන්නේ ගොඩනගන කතිකාවක් නොහොත් ප්‍රබන්ධයක් (narrative construction. කියවන්න Sarah Kruse's article on Camus' Fall). එනයින් 'ප්‍රත්‍යක්ෂය කියන්නේ පැවැත්ම ව්‍යුහගත කරන නිර්මාණශීලි මුලධර්මයක් ' (perception becomes a creative principle that, in fact, structures existence - මෙතැනදී තමයි සාහිත්‍යකරුවෝ අවශ්‍ය වෙන්නේ. නමුත් ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්ණායක තියෙන්නේ වෙන කෙහෙල්මල් උරගා බලන්න මිසක් රටකට අවශ්‍ය මතවාදය හදන්න නෙවි). බුර්ෂුවා 'ශිෂ්ට සිහිනය' කුඩු පට්ටම් කළාට කමක් නැති වුනත් කේ. කේ. වගේ සාහිත්‍ය කරුවෙක් ස්ත්‍රිය පිළිබද රෝහානියානු රෝග ලක්ෂණයෙන් ඔබ්බට ගිහිල්ලා රටකට ඕනි සංකේතීය සාහිත්‍යක් ගොඩනගන්න ඕනි කියන එක තමයි මගේ හැමදාම ආරෝව ඔහු සමඟ තියෙන. පැරණි සාහිත්‍ය ඔහු දන්න නිසා නිර්මාණකරණයේදී ඔහු සරච්චන්ද්‍ර ඉක්මවා යන්න ඕනි. කවබතා වගේ ශිෂ්ට අන්තර්ගතයක් එක්ක අපේ ලාංකික අනන්‍යතාවය ඉස්මතු කරන්න ඕනි අනන්‍යතා දේශපාලනයට නොයමින්. මීට දශක හතරකට කලින් සරච්චන්ද්‍ර කළේ දේශීය සාහිත්‍යක් ගොඩනගන්න හදපු එක. ඒකෙ කිසිම වරදක් මම දකින්නේ නැහැ ජාතක කතා පසුබිම් කරගත් 'ගුප්තකරණය' හැරුනම (නමුත් එම ගුප්තකරණය අපි ලකානියානු විශ්ලේෂණය හරහා අර්ථකථනය කරලා දෙන්න ඕනි අපේ පැවැත්මේ ගැඹුරු නිශේධනීය කොටසක් හැටියට සහ ප්‍රෙහේලිකාමය පරස්පරයක් හැටියට. ස්ත්‍රිය නම් යථාව හා ගැටීමේ අතිමුලික පුරුෂ නොහැකියාවක් ලෙස. ඒක ඉතින් එමා බෝවාරි දක්වාම විශ්වීය සත්‍යයක් නේ. ඒ සංකීර්ණ බව ඉස්මතු කරදීම තමයි විචාරකයාගේ කාර්යය. තාගෝර් ල සරෝජිනී නායිදු ල ගාන්ධි එක්ක එකට හිටගත්තේ තමාගේ රටේ අනන්‍යතාවය වෙනුවෙන්). 'සිසිපස් ගේ මිත්‍යා කතාවේ' සිසිපස් ට අර්ථයක් නැත්නම් භාෂාවක් වුවමනා වෙන්නේ ඒකයි. අපි සංවිධානයක් හැටියට ලංකාවට භාෂාවක් නිර්මාණය කරන්න හදන්නේ ඒකයි තියෙන අවුල තේරුම් ගන්න පුළුවන් විදියට. එම කතිකාව අනිවාර්යය ලෙස විශ්වීය කතිකාව සමඟ බද්ධ වෙන්නත් ඕනි. නැත්නම් අපි ප්‍රාදේශීය වාදයකට යනවා. අනෙකා මරණ ජාතිවාදයට යනවා. ඒ නිසා ජාතිකත්වය පිළිබද අමරසේකර කතිකාවේදී අපි ඉතාම ප්‍රවේශම් වෙනවා. දැන් තේරෙන්න ඕනි මේ අවුල ඇතුලේ අපි කරන්නේ කොච්චර අමාරු වැඩක්ද කියන එක.  

අපි කුඩා උදාහරණයකට යොමුවෙමු මෙම අනන්‍යතාව කොහොමද පසුගාමී ලෙස අසුව දශකයේ ඉස්මතු වුනේ කියල බලාගන්න. මේ බටහිර ආශාව ප්‍රතික්ෂේප කරපු (භාවගීත) අමරසේකරගේ වචන,

'යමන් කලුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව 
උඹට වගේ මගේ ඇඟටත් හරිම මාන්සියි දැනෙනව... 

උදේ ඉඳන් අව් කට්ටේ උඹව තියන් මැඬේව්වාට
උඹේ හිතට අමාරුදැයි කියපන්කො දැන්වත් මට...(අඳුර අපේ දුක නිවාවි)

යන පද තුල අපගේ ජාතික අනන්‍යතාවය සහ මනුස්සකම ගැබ්ව ඇතිවා වුවත් ගවයාට දක්වන මනුස්සකම ඔහු දෙමලාට මුසල්මානුවට නොදක්වන්නේ ඇයි යන ප්‍රතික්ෂේපන ගැටලුව (question of disavowal) ඔහුගේම සාහිත්‍ය තුළ නොවිසඳී තියෙනවා. එතන තමයි නුතනත්ව ගැටලුව එන්නේ. ඔහුගේ අනෙකා ගවයෙක් මිස මිනිස් විෂයක් නෙවෙයි. දුක සැප පිළිබද බෞද්ධ උපේක්ෂාව මැනවින් ඔහුගේ මෙම කවිය තුල කැටි වුනත් ඔහු ගමන් කරන දිශාව මොකක්ද කියන එක තවම මානවවාදය ඇතුලේ ලොකු ප්‍රශ්නයක්. 

'අඳුර තමයි දුක නිවන්න අපහට දෙවියෝ එව්වේ 
යමන් යන්න දිගාවෙන්න පිදුරු ගොඩේ ගේ මුල්ලේ...'

යනුවෙන් ඔහු තෙරක් නැති අඳුර වෙතට රිංගා ගැනීමට ප්‍රිය කරනවා. සම්ප්‍රදාය ප්‍රතිජීවනය තුල සිටි කවබතා ආලෝකය සහ නුතන බව වෙත ජපන් අධ්‍යාත්මය ඔසවා තබන විට අමරසේකර ගුප්ත අඳුර තුලට රිංගනවා. එම රිංගීම අවසන් වන්නේ අනෙකා විනාශ කිරීම දක්වා ගමන් කිරීමෙන්. නුතනත්වය තුලට වන සංක්‍රමනිය බවක් ඔහු තුළ පල කරන්නේ නැහැ. අප ගමනයක් තමයි තියෙන්නේ. නමුත් බලන්න සියවස් ගණනකට පෙර ලියවුනු පහත සීගිරි ගිය දිහා. 

'බුදල්මි 
සියොව ආමි 
සිහිගිරි බැලීමි 
බැලු බැලු බොහොජනා ලියා ලු හෙයින් නොලීමි.'

(බුදල් නම් වන මම තනිව සිගිරිය බැලීමට ආ නමුත් බොහෝ අය බොහෝ දේ ලියා තිබෙන අයුරු දැක කිසිවක් නොලීමට ඉටා ගතිමි. මන්ද ලිවිය නොහැකි දෙයක් ලිවීමට ගොස් විකෘතියක් ඇතිකරන වාට වඩා කිසිවක් නොලිවීම වඩා හොඳය). කවියා කරන්නේ තමාගේ විද්‍යමාන වීම ප්‍රතික්ෂේප කරන එක. ඔහුගේ පැමිණීම නොපැමිණීමක් කරන එක. සීගිරි සිතුවම් වල ඉන්න සුර ලියන් බඳු කාන්තාවන්ගේ ශෝභාව අබියස ඔහු විසින්ම ඔහුව දියකරලා හරින එක. කවියා මෙහිදී පාවිච්චි කරන ස්වයං නිශේදනය (self-negation) කොතරම් දාර්ශනික දැයි බලන්න.  ඔහු නො-ලිවීමට සිතුවත් ගීයක් ලියා තිබෙනවා. එනයින් එය ව්‍යුහාත්මකව නොලියු ලියු ගීයකි (written poem that is unwritten). ගැහැණිය සංකේතනය  කරගැනීමට දක්වන අති මුලික පුරුෂ නොහැකියාව හරහා ඔහු අප වෙත ගෙන එන්නේ හිස් බවක්. ශුන්‍යතාවයක් (පුරුෂ සංකේතන නොහැකියාවේ උත්කෘෂ්ට අත්දැකීම කියල කියන්න පුළුවන් 'මනමේ' ලියු සරච්චන්ද්‍රටත් වඩා නුතනත්වයක් අත්පත් කර ගැනීම). බුදල් අනික් අතින් 'පිටස්තරයා' නවකතාවේ මර්සෝ වගේම පවත්නා සංකේතිය පිළිවෙලට අභියෝග කරනවා. ඒ කියන්නේ හැමෝම ගැහැණිය ගැන ලියනකොට එයා නොලියා ඉන්න තීරණය කරනවා විතරක් නෙවෙයි මෙතෙක් ලියල ලියල (බැලු බැලු බොහො ජනා ලියාලු හෙයින්) අසමත් වෙච්ච සංකේතනයේ යථාව අපිට පෙන්නලා දීල එයා විසින්ම කවියක් ලියල නැවත සංකේතනයට ඇතුල් වෙනවා (re-enter the symbolic order). එහෙම වුණාට බුදල්ගේ ස්වයං නිශේදනය හරහා එයා මෙතෙක් ලියා ඇති ඇති සියලු අනෙත් ගී විසංයෝජනය කරනවා. මන්ද වචනයට නැගිය නොහැකි තරම් ලස්සන කාන්තාවන් (යථ) වචනයට ගෙන ඒමට (සංකේතනය) කරන සෑම උත්සාහයක්ම නිරර්ථක උත්සාහයන් වන බැවින් (එනයින් කවි නොවන බැවින්). බුදල් ඉස්මතු කරන්න හදන්නේ යථාව සහ සංකේතනය අතර පැල්ම. අනිත් කවි (තමාගේ අසාර්ථක කවියත් සමඟ ම) සහ සීගිරි චිත්‍රය අතර ඇති සමහන් කළ නොහැකි පැල්ම (පරතරය) තමයි ඔහුගේ මාතෘකාව (කියවන්න දීප්ති කුමාර ගුණරත්න 'කලාව සහ විසංයෝජනය' 2002: පිටු 10-12). ඉතින් ඩෙරීඩා ල වගේම ලකාන් කරන්න හැදුවෙත් ඕකම තමයි. බුදල් කියන්නේ විද්‍යමාන වීම ඇතුලෙම තියෙන අතුරුදහන් වීම ගැන (absence in the presence). නැති බව ඇතුලෙම තියෙන ඇති බව සහ ඇති බව ඇතුලේ තියෙන නැති බවට. කොතරම් කිව්වත් කියන්න බැරි ඉතුරුවෙන මන්ඩි ටික තමයි ඔහුගේ ප්‍රශ්නය (ඒ කියන්නේ 'මේ අඹ ගස හැර තව අඹ ගස් තිබේද' යන මිහිඳු හිමියන්ගේ මනෝ විශ්ලේෂී ප්‍රශ්නය ම වෙනත් විදියකට ඇසීමක්). නොලිවීම ඇතුලේ තියෙන ඇත්ත ලිවිම ගැන එතරම් ඈත කාලෙක ඔහු දැනගෙන ඉඳල තියෙනවා. ඉතින් මේ තත්වය ඇතුලේ අපේ දේවල් පුනර්ජීවය කරන්න ලංකාවේ කට්ටියට බැරිනම් පිටරටකට හරි දීල කරගන්න ඕනි කියන දීප්තිගේ ප්‍රකාශය ප්‍රතිගාමී වෙන්නේ කොහොමද? මම කියන්නේ අපේ රටට ඕනි උගතුන් ටිකක් ඇති කර ගන්න අපට ලෝක බැංකුවෙන් හරි සල්ලි දෙනවා නම් මොන පරායත්තතාවය තුළ උනත් කමක් නැහැ මම ඒ වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවක් (project report) ලියනවා මොන ප්‍රතිපත්ති ප්‍රශ්න තිබුනත්! 
  
අපේ ඉතිහාසයේ සහ අධ්‍යාත්මයේ තිබෙන ගැඹුරු දේ අපි ලෝකයට ප්‍රතිජීවනය කරන්න ඕනි. සරච්චන්ද්‍ර හැදුවේ ඒක කරන්න තමයි. වඩාත් න්‍යායිකව සුත්‍ර ගත කලොත් ධනවාදය සහ සමාජවාදය කියන සමාජ මොඩලයන් දෙකින් කුමක් අප අපේ රටට ගලපා ගත්තත් අපේ කියල වටිනාකම් සහ අර්ථයන් සමුදායන් අපිට තියෙන්න ඕනි. ඒවා නොවෙනස් දේවල් නොවුනත් අපේ කියල දෙයක් ලෝකයට දෙන්න පුළුවන් උනොත් තමයි නුතන ශුන්‍යතාවය වෙත අපිට යමක් ප්‍රධානය කරන්න පුළුවන් (ජිජැක් වෙනත් විදියකට අර්ථකතනය කලොත්). සමහරක් විට දාර්ශනික මොඩලයක් හැටියට අපිට මෙහෙම කියන්නත් පුළුවන්. ඒ තමයි ධනවාදයේ 'විනෝදය' (jouissance) සහ සමාජවාදයේ 'ප්‍රමෝදය' (ecstasy) යන දෙකම කප්පාදු කිරීමේ පිතෘ ඒජන්තයෙක් (paternal agent) ලෙස අපිට උවමනා නම් සම්ප්‍රදාය පාවිච්චි කරන්න පුළුවන් (චීනය සහ ජපානය කරමින් සිටින දෙය). පුර්ව නුතන යුගයට පෙර පැවති වටිනාකම් (අල්පේච්ඡ බව, සරළ බව, අසල් වැසියාට ප්‍රේම කිරීම, ආගන්තුක සත්කාරය, උපේක්ෂාව) නුතන යුගයේ අව-මානුෂික බව වෙනුවට අපට නැවත සලකා බලන්න පුළුවන්. එවිට ධනවාදය (හෝ සමාජවාදය)  ඉතිහාස පරිණාමයේ ඉහල අවධියක් කියන මාක්ස්වාදී උපන්‍යාසය ගැන නැවත හිතන්න වෙනවා. මොකද අපි දන්නා හැටියට පුර්ව නුතන වටිනාකම් තියෙනවා ඔය අවධි දෙකේදීම නොවෙනස්ව පැවති සහ මිනිස්සු තම පැවැත්ම තුල ගරු කරපු (ක්‍රිස්තියානිය කිසිම විටක ඉහත ක්‍රම දෙකේදීම නැති වුනේ නැහැ). ජේ. ආර්. පටන් ගත්ත ධනවාදයේ විනෝදයට පසමිතුරැ ලෙස ලාංකික සම්ප්‍රදාය උත්කර්ෂ කරන්න හැදුවා සරච්චන්ද්‍ර. ඒ වගේම විජේවීර ඉදිරියට ගෙනාව සමාජවාදයට පසමිතුරු ලෙස සම්ප්‍රදාය ඉදිරියට අරන් ආවා නලින් සහ අමරසේකර (කියවන්න 'මගේ ලෝකය' වගේම 'ගල් පිළිමය සහ බොල් පිළිමය'. නමුත් අපේ උත්සාහය ඒ දෙකෙන්ම වෙනස්. අපිට ඕනි වැඩවසම් ඉතිහාසයෙන් අපගේ ඛණ්ඩනය සලකුණු කරලා සහ අධිරාජ්‍යවාදී යටත් විජිත මනසින් මිදිලා අපගේ ශිෂ්ටාචාරයේ වැදගත් දෙය නැවත වරනගන්න (ඒ සඳහා ප්‍රභල සාහිත්‍ය කරුවෙක් වුවමනායි). මොකද 'මනමේ' නැවත ලියල වැඩක් නැහැ. කොහොම වුනත් මේ බොහෝ දේ කරන්න ඇකඩමියාව මැදිහත් වෙන්න ඕනි උනත් ඒ අය කුසීතයි. 
   
ඇකඩමියාව මුකුත් නොකරපු වෙලාවක සහ සරච්චන්ද්‍රලගේ කාර්යය අවසන් වෙලා තිබ්බ වෙලාවක මේ රටට මතවාදයක් නිර්මාණය කරන්න යම් උත්සාහයක් X කණ්ඩායම විසින් දැරුවා තමයි. නමුත් ඔවුන් දීර්ඝ කාලයක් නිශ්චිත ආකෘතියක් ඇතුලේ මිනිස් සිතීම කියන එක ප්‍රගුණ කලේ නැහැ අපේ රටට අවශ්‍ය මොකක්ද කියන එක පාදක කරගෙන (ඇත්තටම කිව්වොත් ඔවුන්ට තමන්ගේ නායකයා හැටියට දීප්ති සහෝදරයා සංකේතනයක් හැටියට අරගෙන රටට ගෞරවයක් දිය හැකි වැඩක් කරන්න තරම් ඉවසීමක් වත්, කැපවීමක් වත්, විනයක් වත්, තිබුනේ නැහැ කියන එක තමයි මෙහි නිරුවත් සත්‍යය). ඛණ්ඩනයෙන් පසුව එම සාමාජිකයන් එක එක දේවල් කරන්න පටන් ගැනීම ඇතුලෙ ම පේනවා ඔවුන් කේන්ද්‍රීය මතවාදයක් වෙනුවෙන් වැඩ නොකරපු බව (එක්කෙනෙක් නුවර යනවා අනිත් කෙනා කොළඹ යනවා. මේ වෙනකල් මුකුත් සිද්ධ වුනේ නැහැ). කොහොම වුනත් ඒ වෙලාවේ තත්වයන්ට සාපේක්ෂව ඔවුන් කරපු දේ ගැන ගෞරවයක් අපිට තියෙන්න ඕනි මොකද අද අපි කරන දේට අවශ්‍ය මූලය සකස් කෙරුණේ එතන නිසා. 

ඇකඩමික් එක නොකරපු දෙයක් තමයි දීප්ති ල කරන්න හැදුවේ අමාරුවෙන් පොත් හොයාගෙන. රටකට මතවාදයක් නිෂ්පාදනය කරදීම තමයි ඇකඩමියාවේ වගකීම. සරච්චන්ද්‍ර, අමරසේකර වගේ අය කරන්න හැදුවේ ඒක (ඒවා තුල යම් කේන්ද්‍රීය බවක් තිබෙනවා). එම ව්‍යාපෘතිය යම් විදියක විපරීත එකක් වුනත් ඉහත තත්වය අතිශයින් වැදගත් රටකට මාලිමාවක් දීමේදී.  පාලකයෝ චන්ද දින්නට වැඩක් නැහැ. මිනිස්සු චන්දෙ දුන්නට වැඩකුත් නැහැ. වමේ වුනත් දකුණේ වුනත් මොකක්ද කරන්න ඕනි කියල දන්නේ නැතුව මොන විප්ලවය කලත් වැඩක් නැහැ. වමේ දකුණේ කවුරු බලයට ආවත් රටකට දර්ශනයක් තියෙන්න ඕනි. අනන්‍යතාවයක් තියෙන්න ඕනි. රටේ දර්ශනය ඉදිරියේ පාලකයෝ ශක්තිමත් වෙන්න ඕනි. 'අපි මෙහෙම ජාතියක්. අපේ විශ්වීය වටිනාකම් මේවා' කියල හයියෙන් කියන්න පුළුවන් වෙන්න ඕනි ඔවුන්ට. රටකට චින්තකයෝ, සාහිත්‍යකරුවෝ ඕනි ලෝකයට අපි කවුරුද කියන එක ගැඹුරින් පෙන්වලා දෙන්න (තාගෝර්, කවබතා). නායකයෝ ඕනි වෙන්නේ ඒ වටිනාකම් වෙතට රට රැගෙන යන්න (භෞතිකවත් අධ්‍යාත්මිකවත්). උදාහරණ හැටියට නිදහස දිනාගන්න සටනේදී ඉන්දියාව අන්තිමට බලා ඉන්නේ ගාන්ධි මොනවද කරන්නේ කියන එක දිහා. එයා තමයි 'පියා' (බාපු). මාලිමාව හදන්නේ එයා. අනිත් අය කරන්නේ එයා පස්සේ යන එක (භක්තිය). ප්‍රශ්න අහන එක නොවෙයි. එයා මුළු ලෝකයටම පෙන්නුවා ඉන්දියානුවා කියන්නේ කාටද කියන එක. මුළු අධිරාජ්‍යවාදී යාන්ත්‍රණයම එකතැන නතර කළා ඔහු. ඔහුගේ එක ප්‍රකාශයක් තමයි "මෙවන් අරගලයක් කරන්න පුළුවන් ඉන්දියානුවෙකුට පමණයි" කියල ඔප්පු කරන එක. ඉතින් එයා ඒක කළා වගේ අපිත් ලංකාව සුවිශේෂයක් බවට පත් කරමු කියල කියන්නයි මේ කුඩා සටහන එකතු කළේ.  

කළ නොහැක්කක් නොමැත!

ගාන්ධි චිත්‍රපටයේ ලුණු පාගමන ඇරඹීමට මොහොතකට පෙර ගාන්ධි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරු සමඟ 

Friday, May 11, 2018

මේ රට වෙනුවෙන් මට මිය යාමට නොහැකි ඇයි?

ඡායාරූපය  CCTV උපුටමින් ඩේලි ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය 
පාසැල ඇරී කිලෝමීටර් තිහක් (30) පාපැදියෙන් ආපසු යමින් සිටියදී බාලකුමාර් ශ්‍රී සත්‍යා නම් ශිෂ්‍යාවක් යාපනයේදී මියගොස් ඇති බව දිනසේන රතුගමගේ උපුටමින් 'දිවයින' පුවත් පත  වාර්තා කරනවා. මිය යාමට හේතුව විජලනය කියලයි පුවත කියන්නේ (පුවත බලන්න). අධික හිරු රශ්මිය මේ දවස්වල සාමාන්‍ය දෙයක් කියල බුර්ෂුවා පණ්ඩිතයෝ දැන් පටස් ගලා කියයි. 'අපි කිව්වනේ වැඩි වෙලා මේ දවස්වල අව්වේ ඉන්න එපා කියල'. ඒ තමයි ඔවුන්ගේ උත්තරය. පාසැල් ඇමති අකිලගේ උත්තරය මේ වගේ දෙයක් වෙයි, 'ඒක තමයි අපි ලඟම පාසැල හොඳම පාසැල කරන්න හදන්නේ'. දඩි බිඩි ගාල මෛත්‍රිපාල මේ ළමයාගේ දෙමව්පියෝ මන්දිරයට කැඳවල නිවසක් දෙන්න හදයි. වමේ පක්ෂ දුවල යයි භූමදානේ වැඩවලට. අනුර කුමාර පාර්ලිමේන්තුව දෙවනත් කරයි. ලංකික ශිෂ්‍ය ව්‍යාපාරය වෙනමම පෙළපාලියක් යයි නුගේගොඩ ඉඳල කොටුවට. ෆේස් බුක් එකේ අයත් එක එක විදියට තමන්ගේ කේන්තිය පිටකරයි. ටී. වී. එතකොට පත්තර එහෙමත් මේක සමහර විට ලොකුවට වාර්තා කරයි. ඒ කියන්නේ හැමෝගෙම 'දේශපාලනයට' මේ සිද්ධිය ලාභදායකයි. නමුත් හෙට දවසෙත් යාපනේ තවත් සත්‍යයා කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය මේ විදියටම ගතවෙයි.   

කොන්ගත කරන ලද ජාතියක් හැටියට ඔවුන්ගේ එකම බලාපොරොත්තුව අධ්‍යාපනය. සත්‍යය නම් (ඇගේ නමත් සත්‍යා) කිලෝ මීටර් තිහක මරණය පරදවමින් මේ ධෛර්යමත් ශිෂ්‍යාව වසර ගණනාවක් මේ විදියට හින්දු විද්‍යාලයට (ජනප්‍රිය පාසැලක්) පාසල් ගියා කියන එක. එම දුවණිය තමාගේ සිහිනය වෙනුවෙන් එතරම් මහන්සි වෙලා තියෙනවා. නමුත් බැරි වෙලා හරි ලංකාවේ විශ්ව විද්‍යාලයකට  ගියාට පස්සේ කාලකන්ණි ශිෂ්‍ය දේශපාලනය ඇයට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. 'දුක පුරුදු කරන්න' නවක වදය දෙයි. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න දෙන්නේ නැතිවෙයි. පුස්තකාලයට යන්න දෙන්නේ නැති වෙයි. පිටින් කට්ටිය ගෙනල්ල මාක්ස්වාදී මුලධර්මවාදය උගන්වයි.  එයාලට ඕනි හැමෝම එයාල වගේ ඉන්නවට (subjects). දියුණු වෙනවට නෙවි. තමාවත් පසුකරගෙන අනෙකා ඉදිරියට යනවට නෙවි. මේක ලංකාවේ විජේවීර වමේ කුහක රෝග ලක්ෂණයක්. මම හිතන්නේ වික්ටර් අයිවන් ඇතුළු බොහෝ විවේචකයන් එතැනදී හරි කියල.    

පොදු ප්‍රවාහනය යනු විශ්වීය කාර්යයක් (universal duty) යන්න පිළිබද ව උදාහරණ සපයන මීට ටික කලකට ඉහතින් විදේශයක සිදුවුන සිදුවීමක් මට මතක් වෙනවා. මෙය සිදුවන්නේ ලෝකයට විශ්වීය බව මෙන්ම පරමාදර්ශ උගන්වන ප්‍රධානම රටක් වන ජපානයේ. ටෙලිග්‍රාෆ් පුවත් පතට අනුව කතාව නම් එක්තරා ජපන් සමාගමකට අයත් දුම්රියක් එක් ශිෂ්‍යාවක් පමණක් වෙනුවෙන් වසර තුනක් තිස්සේ වැඩිපුර සැතපුමක් ගොස් තිබෙනවා (පුවත කියවන්න). හැමදාම උදේ හතයි හතරට (7.04) ඇයව දුම්රියට නංවා ගන්න ඔවුන් හරියට ම හවස පහයි අටට (5.08) ආපහු ඇයව ගෙනත් ඇරලිනවා. දුම්රියට නඟින්න දුම්රිය පොලේ වෙන මිනිස් පුළුටක්වත් නැති වුනත් මෙම එකම එක 'මඟියා' (ඔවුන්ට ශිෂ්‍යාවක් කියන්නේ මඟියෙකුට වඩා වැඩි දෙයක්) වෙනුවෙන් එම දුම්රිය වතාවතක් කරනවා (ritual) වගේ අවරුදු තුනක් ඇය විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙන දවස වෙනකල් මේ ගමන ගිහිල්ලා තිබෙනවා.  

අපි බස් ගැමුණු වගේ කෙනෙක් එක්ක මෝඩ විදියට මේ දේ පටලා ගන්නේ නැතුව බලමු ධනවාදය ක්‍රියාත්මක වන රටක තියෙන අධ්‍යාත්මය ගැන (ජිජැක්ගේ නුතනත්ව ශුන්‍යතාවයට පරස්පරව). අනෙකා ගැන තියෙන කැක්කුම ගැන. කිසිම කෙනෙක් මේ ස්ටේෂන් එකට යන්නේ නැති නිසා ඉහත හොකයිඩෝ දුම්රිය සමාගම ට අයිති එම දුම්රිය වසර තුනකට පමණ කලින් තමයි වහලා දාන්න හදලා තියෙන්නේ (සාමාන්‍ය ලාබය පිළිබද අදහස). ඉතින් පාඩු පිට දුවන්න ඕනි නැති නිසා එහෙම හිතුවත් හැමදාම උදෑසන තට්ට තනියම මේ ශිෂ්‍යාව දුම්රිය පොළට එනවා දුම්රියේ කට්ටියට පෙනිලා තියෙනවා. මොන පාඩුව ලැබුවත් ඔවුන් ඇයව අපේක්ෂා භංග කළේ නැහැ. එයා නිසාම කිලෝ මීටරයක් වැඩිපුර එනවා කියලවත් ඇයට කියල ඇයගේ පුංචි හිතට වරදකාරී හැඟීමක් දීලත් නැහැ (ඒක තමයි ධනවාදයට මරා දැමිය නොහැකි ධනවාදයට වඩා වැඩි දෙය. ඉන්දියානුවන් ජිජැක් එක්ක හැප්පෙන්නේ මෙතැනදී. මාක්ස් මොනවා කිව්වත් සමහර පුර්ව නුතන වටිනාකම් තියෙනවා ධනවාදී අවධියට වඩා උසස්. මිනිස්සු දන්නවා ලාභයට වඩා වැඩි ජිවිතයක් තියෙනවා කියල. ඒක නිසා තමයි වෙන විකල්පයක් නැති නිසා ධනවාදයට විරුද්ධව මුස්ලිම් ලෝකය ඉස්ලාමය වෙතට යන්නේ. අපි වඩ වඩා පන්සල් යන්නේ. හෘද සාක්ෂිය තියෙන කිසිම කෙනෙකුට ධනවාදය ඇතුලේ දිගට ඉන්න බැහැ. කොහෙට හරි හැරෙන්න වෙනවා. නමුත් හැරෙන්න ඕනි කොයි පැත්තටද කියන එක මාලිමාකරණය කරන්න උසස් සද්භාවී මඟ පෙන්වන්නෙකු අවශ්‍යයි. නායකයෝ බිහිවෙන්නේ එතැනදී). 

මේ මඟ පෙන්වීම සඳහා ජාතියක 'යහපත් සාරය' වැදගත් වෙනවා කියන එක තමයි මගේ මතය. නමුත් ඒ සඳහා ජාතියේ යහපත් දෙය තෝරාගෙන එය නුතනත්වය වෙතට ප්‍රති-ජීවනය කලයුතු වෙනවා. ආධානග්‍රාහී දේවල් නිෂ්ප්‍රභා කලයුතු යි. උදාහරණ වශයෙන් බලන්න ජේ. ආර්. ජයවර්ධන මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ වල කරපු කතාව (Japanese Peace Treaty, Treaty of San Francisco: 1952). ඔහු එතැනදී බටහිර ඉදිරියේ ප්‍රති-ජීවනය කරන්නේ බුද්ධ භාෂිතය. වෛරය වෙනුවට ඔහු පෙනී සිටින්නේ අවෛරය නැත්නම් ආදරය වෙනුවෙන්. ජපානය ගොඩක් ගරු කළා ජයවර්දන මහතාට ඒ කතාව වෙනුවෙන්. ජපානයට ගිහින් ඉගෙනගෙන ආපු සරච්චන්ද්‍ර මහතා සහ ජපානය ආදර්ශයට ගත්ත ජයවර්දන මහතා අවාසනාවකට හිටියේ පැති දෙකක. දෙදෙනාම කරපු දේ හරි නමුත් මේ දෙක සමමුහුර්ත කරන්න (synchronize) බුද්ධිමය බලවේගයක් ඒ වෙලාවේ ලංකාවේ තිබුණේ නැහැ අපේ අවාසනාවට. තිබුණේ ඌන සංවර්ධිත ගල්කටස් මාක්ස්වාදය විතරයි (දේවල් නැවත තේරුම් ගන්න අපිට ආපහු වසර හතළිහක් පස්සට යන්න සිදුවීම දෛවයේ සරදමක් නොවේද කියලත් හිතෙනවා). වෙනත් වචනයකින් කිවහොත් ධනවාදය හික්මවීම (නැත්නම් කප්පාදුව) පිණිස ජපානය පාවිච්චි කරලා තියෙන්නේ තමන්ගේ සම්ප්‍රදායේ එන පිතෘ මුලිකත්වය (ජයවර්දන සහ සරච්චන්ද්‍ර පසමිතුරු බව වෙනුවට සුසංයෝගය). ලංකාවේ මුල්ම වතාවට න්‍යායගත කරොත් දැන් අපට හඳුනා ගත හැකියි ඇයි අපට ජපානය (හෝ සිංගප්පුරුව) වෙන්න බැරිවුනේ කියල. නමුත් ඒ වෙනකොට සරච්චන්ද්‍ර සහ ජයවර්දන කියන දෙදෙනාම නැහැ (ජයවර්දනට 'මනමේ' තේරුණේ නැහැ වගේම සරච්චන්ද්‍රට ජේ. ආර්. ගේ ව්‍යාපෘතිය තේරුනෙත් නැහැ). වම වගේම දකුණත් මුහුණ දුන්න මේ දෘෂ්ටිමය අර්බුදය තේරුම් ගන්න හැදුවේ අමරසේකර. නමුත් අමරසේකර කියපු දෙය තේරුම් ගන්න බටහිර කැඩපතක් අපිට තිබුණේ නැති නිසා (මොකද අපේ මනස කොහොමත් පශ්චාත් යටත් විජිතයි) වැඩේ වෙනත් අතකට ගියා කියලයි කියන්න වෙන්නේ (අනෙකා විනාශ කිරීම).
  
අමරසේකර ගේ ව්‍යාපෘතියේ හිටපු අයටත් දැන් තේරිලා තියෙනවා වැඩේ තිබුණ අවුල. ඒකයි දැන් බැසිල් ල ලයින් එක මාරු කරලා තියෙන්නේ. හැබැයි සත්‍යා  ල දැන් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ කියල අපි දන්නවා. ජයවර්දන සරච්චන්ද්‍ර දෙන්නටම පස්සේ සිදුවුන දේවල් ගොඩක් තියෙනවා. දැන් අපි පරක්කුයි. ලෝකය ගොඩක් ඉස්සරහට ගිහිල්ල.  

එහෙ මෙහෙ ගියා ගොඩක් වැඩි නේද? අපි ආපහු කතාවට යමු. ඉතින් උසස් විද්‍යාලෙට ගිහිල්ල අන්තිමට උපාධිය අරන් ආව දවසට පස්සේ දවසේ ඉඳල ඒ ඉස්ටේසමට ආයේ දුම්රිය ආවේ නැහැ. තමාගේ විශ්වීය කාර්යය නිමවුනාට පස්සේ ඔවුන්ට කොතරම් සතුටක් දැනෙන්න ඇත්ද? මිනිස් තෘප්තිය තියෙන්නේ වැඩකිරීම ඇතුලේ කියන ගාන්ධියානු වැකිය ඔවුන්ට හොඳින් තේරෙන්න ඇති නේද? ලුණු අරගලය (salt march) වෙනුවෙන් කිලෝ මීටර් 240 ක් ඇවිදපු ගාන්ධි ට වගේම සමහර විට කිලෝ මීටර් තිහක් පාපැදියෙන් ගිය සත්‍යා දියණියටත් ඒ තෘප්තිය තියෙන්න ඇති (මම එහෙම කිව්වේ වේදනාව ස්වභාවික කරන්න නෙවි). යාපනේ මිනිස්සු කොහොමත් අමාරුවෙන් හරි වැඩකරන්න දක්ෂ අය අපි ඔවුන්ට ඉරිසියා කළාට (හබමාස් ඒකට කියන්නේ 'ලෞකිකත්ව ඊෂ්‍යාව'  කියල (secular jealousy)). පෙරදිග ලෝකයේ ජාතිවාදය ගැන ලියපු වී. එස්. නයිපොල් කියන ලේඛකයට අනුව ගොඩක් වෙලාවට ජාතිවාදය ඇතිවෙන්නේ තමන්ගේ ජාතියට තියෙන කැක්කුමක් නිසා නෙවෙයි අනික් ජාතියේ දියුණුවට තියෙන ඉරිසියාව හින්ද.  

ඔයාට දැන් ඇහෙන්නේ නැති වුනත් ඉතින් සත්‍යා දියණියේ ඔන්න ඕකයි කතාව...  

පුවත මුලින්ම වාර්තා කරපු චීන CCTV රුපවාහිනියේ මුහුණු පොත් පිටුවේ මෙහෙම පෝස්ටරයක් දැම්ම කියල ටෙලිග්‍රාෆ් පුවත කියනව. "මාගේ රජය මා වෙනුවෙන් අවුරුදු තුනක් මේ කැපකිරීම කරානම් ඉතින් මේ රට වෙනුවෙන් මට මිය යාමට නොහැකි ඇයි". 'බිම් මට්ටම සිසාරා යන යහ පාලනය (good governance) කියන්නේ මේකට. හැම දරුවෙක්ම වැදගත්. නොවැදගත්, නොසලකා හැරිය හැකි කිසිවෙක් නැහැ' කියල වැඩිදුරටත් කියනවලු අර මුහුණු පොත් පෝස්ටරය. 

ඉතින් සත්‍ය ලා අපේ ආණ්ඩුවට ආදරේ නැතුවා විතරක් නෙවි අපිට විරුද්ධව කැරළි ගහන්නේ ඇයි කියල දැන් කියන්න ඕනි නැහැනේ. 'ගුරු ගීතයේ' දුයිෂෙන් එක්ක දුම්රිය පොළට ආව ඒ පුංචි අඩි පාර අල්තිනායිට කවදාවත් අමතක වෙන්නේ නැහැ වගේම මේ පුංචි කතාවත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. 

විශ්වීය බව කියන්නේ තමා ගැන අමතක නොවන සුන්දර මතකයක් අනෙකා තුල ගොඩනගන එකට...(කවබතා ගේ කෙටි කතා වගේ).  ඒකට පුද්ගලයෙක් ද රජයක්ද කියන එක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ යම් වටිනාකමක් නියෝජනය කරන ඒජන්තයා (agent of representation).   

(උපුටා දක්වන්නේ නම් මුලාශ්‍රය සඳහන් කරන්න)

Wednesday, May 9, 2018

බුද්ධිමතෙක් වීමේ කෙටි මඟ....

ඔබට බුද්ධිමතෙක් වීමට අවශ් නම් ඉතාම පහසුවෙන් එසේ වීමට කෙටි මඟක් මෑතකදී විවර වී ඇත. මෙසේය. රුවන් එම්. ජයතුංග නමින් වෛද්යවරයෙක් ලංකාවේ ඇති අතර ඔහු හමුවී ඔබ වෛද් සහතිකයක් ගත යුතුය. එම සහතිකයේ ඔබට 'භින්නෝන්මාදය', 'හිස්ටීරියාව',  'විපරීත බව' වැනි මානසික රෝගයක් නැති බවට ඔහු සහතික කරන්නේ නම් එවිට ඔබ බුද්ධිමතෙකිඔබ ඔබගේ ලෝක දෘෂ්ටිය තුල පාර-භෞතික විශ්වාස කරන්නේ නුතන ප්රබුද්ධත්වය පෙර වූ පුර්ව නුතන 'මිත්යාව' (ක්රිස්තියානිය, යුදෙව් ආගම, බුද්ධාගම, උපනිෂද්, සෙන්තුල ඔබ යම් සද්භාවී වටිනාකමක් දකින්නේදඑසේ නම් ඔබ අනිවාර්යයෙන් මෙම සහතිකය ගත යුතුමයඑසේම ඔබට භෞතික පැවැත්ම සහ පාර ලෞකික හෝ ආත්මීය පැවැත්මේ අසමපාතය පිළිබදව (parallax) ගැන කුකුස් ඇත්නම් (දෙකම එකට පැවතීම සහ නොපැවතීමනොපැවතී පැවතීමපැවැත්මේ නොපැවතීම = අවිඥාණයඔහු නිර්දේශ කරන බටහිර මහාචාර්යවරයකු වෙත යන්න. එසේ ගිය පසු ඔහු හෝ ඇය ඔබගේ පුර්ව නුතන ගුප්ත සාරයේ නොපෙනෙන පතුල දැක වහාම ඇස් උඩ ඉන්දවා ගන්නේ නම් ඉතින් ඔබ ඉවරය! ආයේ ඔබ ජිවත් වී පලක් නැත. නැවත ලංකාවට එන්නේ නැතුවම වස ටිකක් බොන්න! මේ ඔබට මා කියා දෙන්නේ ලංකාව තුල බුද්ධිමතෙක් වීමේ සරලම සුත්රයයි... සුද්දා ඔලුව වනා ඔබව පිළිගන්නේ නම් ඉදින් ඔබ පොරකිඇස් උඩ ඉන්දවා ගන්නේ නම් හාල් පාරුවෙකි

රුවන්, දැනුම යනු ඔබ සිතන තරම් ඒකමිතික, පටු, තාර්කික දෙයක් පමණක් නොවේමුහුණ සමඟ තරහ වූ පමණින් නහය කපා නොගන්න.  

(යම් යම් වැදගත් දේශපාලන කරුණු මත මුලින් මා ලියු සටහන මකා දමා වෙනුවට වහල් මානසිකත්වයට විරෝධය පිණිස මෙය පළකරමි)





(නලින් සිල්වා නවීකරණය කල බෞද්ධ චතුස්කෝටිකය යනු අන් කිසිවක් නොව ෆ්රොයිඩියානු අවිඥානය යන්න මුල්වරට සමාජ ගත කරන සමාරම්භක කෙටි බ්ලොග් සටහන මෙය බැවින් උපුටන්නේ නම් මුලාශ්රය සඳහන් කරන්නමන්ද ලංකාව තුල කාටවත් නොතේරුන නලින් බටහිර අනුකාරක බුද්ධිමතුන්ට අනුව වැඩකට නැති හාල් පාරුවෙකි).  

මහේෂ් 

Thursday, May 3, 2018

මරණ තර්ජන මැද නිල් චිත්‍රපටවල රඟපෑ Mia Khalifa

Image from Hustler

නිල් සිනමාව ලංකාවේ තහනම් මෙන්ම බරපතල වරදක් ලෙස සලකන නමුත් බොහොමයක් බටහරි රටවල එය වාණිජමය කර්මාන්තයක් බවට පත්ව තිබේ. එවැනි තත්වයක් යටතේ නිල් සිනමාවේ මෑත කාලීනව සුප්‍රසිද්ධම තරුව බවට පත්වූ මියා කාලිෆා ඇයට මුහුණදෙන්නට සිදුවූ සහ සිදුව ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් බී.බී.සී ගුවන් විදුලිය සමග පැවති වැඩසටහනකදී අදහස් දැක්වීය.

'2015 දී එක් නිල් චිත්‍රපට ජවනිකාවක් කරන්න සූදානම් වෙද්දි එහි අධ්‍යක්ෂකවරයා ඇවිත් මට පිටපත් පෙන්නුවා. එයට අනුව මා එම ලිංගික ජවනිකාව අතරේ හිජාබයක් (ඉස්ලාම් කාන්තාවන් හිස වැසීමට භාවිතා කරන ආවරණය) ඇඳිය යුතුව තිබුණා. මම කිව්වා ඔයා හදන්නේ ඔයත් මැරිලා මාවත් මරණ වැඩක් කරන්න තමයි කියලා.. කොහොමවුනත් අධ්‍යක්ෂකවරයාගේ වුවමනාවට සිද්ධවුණු ඒ ජවනිකාවේ රූපගත කිරීම්වලට හරියටම සතියකට පස්සේ මට මුලින්ම මරණ තර්ජන ගලාගෙන ආවා'.

වසර 2015 දී මියා කාලිෆාට එරෙහිව ISIS සංවිධානය විරෝධය පෑමෙන් අනතුරුව විවිධ මාර්ගවලින් මරණ තර්ජන සිදුකිරීම ආරම්භ කෙරිනි. එසේම 2016 වසර වන විට ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ මියා කාලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණි.

ඒ ජවනිකාව ප්‍රසිද්ධියට පත්වුණාට පස්සේ ලෙබනනයෙන් මගේ පුරවැසිභාවය තහනම් කලාමගේ පවුලේ අය මාව පවුලෙන් ඉවත්කලාමුළු මැදපෙරදිගම මගේ පස්සෙන් පන්නන්න පටන්ගත්තා. twitter වල හිටිය හැම මුස්ලිම් ජාතිකයෙක්ම මට පහරදෙන්න පටන් ගත්තාමගේ instegram එකවුන්ට එක හැක්කලා. පුළුවන් හැමදේම ඔවුන් කලා. පස්සේ ඔවුන් මම තනිවම ජීවත්වෙමින් සිටි නිවසේ චන්ද්‍රිකා ඡායාරූපයක් අරගෙන අන්තර්ජාලයට නිකුත් කරලා මාව මරන්න කියලා අන්තවාදීන් පෙළඹෙව්වා.. 
ඒත් අද ඒ හැමදෙයක්ම දිහා බලලා මම පැත්තකට විසිකරනවා. මොකද මම ඒ දේවල්වලට එදා වගේම අදත් සැලෙන්නේ නැති නිසා."

මියා කාලිෆා ලෙබනන් ජාතික කතෝලික දෙමව්පියන්ට දාව ඉපදුනු අතර ඇය දර්ශනවාදය පිළිබඳව උපාධියක්ද හදාරා ඇත. 2015 වසරේ දී නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසුණු ඇය කෙටි කලක් තුල ඉන් ඉවත්වූවද අදටත් ඇය රඟපෑ ජවනිකා ලෝකය පුරා නිල් චිත්‍රපට ලෝලීන් අතර බෙහෙවින් ප්‍රචලිතය.

Courtesy of her.lk
........................................................................................................
ලෝක ගෝලය මුළුල්ලේම ධනවාදය විසින් මරා දමමින් යන පිතෘ මුලිකත්වයේ වේදනාව කැලිෆෝනියා සානුවේ මියා කලීෆා පෙනී සිටින ප්‍රමෝද සංස්කෘතිය වෙත 'මරණ තර්ජනලෙසින් ඉස්මතුව ඒම එතරම් අරුමයක් වන්නේ කෙසේදපෙරදිග එදිනෙදා යථාර්තය පෙරළා යටත්විජිත ස්වාමියා වෙත ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රක්ෂේපනය කරන රුෂ්ඩි කරා මරණය පැමිණෙන්නේ  මෙම පිතෘ ඝාතක පසු නුතන ධනවාදයට එරෙහිව 'ත්‍රස්තවාදීන්' (බටහිරට අනුව) කරන කරන පුර්ව නුතන ප්‍රතිචාරයක් ලෙසිනි. විජිතකරණයේ වේදනාව සහ අසමාන බවේ වේදනාව මෙන්ම තම පැරණි ලෝකය අහිමිවීමේ වේදනාවද පිරිමි ලෝකය පිටකරන්නේ හස්ලර් සමාගමෙන් කුලියට ගෙන ඇති කලීෆා ගේ ශරීරය මතිනි. මියා කලීෆා දෙස බලා හස්ත මෛතුන්‍යයේ යෙදෙන සහ එසේ යෙදී පසුව මරන්නට හොයන ඇයගේ ශරීරය විසින් කරන්නේ එම සටන්කාමී පිරිමි ලෝකය ක්ෂිතියට ලක් කිරීමයි. අප කැමති වුවද අකමැති වුවද මිය යමින් පවතින පිරිමි ලෝකය වෙනුවෙන් ලෝක ගෝලය තුල සටන් වදින්නේ ඉස්ලාමිය කැරළිකරුවන් පමණය. කලීෆා ගේ 'නිදහසවෙනුවෙන් පෙනීසිටීම තුල ම මියයන පිරිමි ලෝකයේ හිස්ටරික වේදනාව (Boko Haram හෝ ISIS) අමතක කිරීම බරපතල දේශපාලන වරදකි.   


Wednesday, May 2, 2018

දෘෂ්ටිවාදයෙන් මහපොළොවට...


ජනතාවගේ ජිවන තත්ත්වය දරුණු අන්දමෙන් පහත වැටේ 
03,May 2018
මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ ඇති නවතම වර්තාවක දැක්වෙන අන්දමට රාජ්‍යය සහ පුද්ගලික අංශයේ වැඩකරන සියලු පුද්ගලයන්ගේ ජීවිත පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්වී ඇතැයි වාර්තා වේ.
 එම වාර්තාවට අනුව 2017 සහ 2018 යන වසරවල දී වැඩ කරන ජනතාවගේ වැටුප් ප්‍රමාණය ඒ ආකාරයට ම පැවතිය ද ලැබෙන වැටුපට ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය පහත වැටී ඇත. ආර්ථික විද්‍යාවට අනුව මෙය හැඳින්වෙන්නේ මූර්ත වැටුප ලෙසිනි. 
උදාහරණයක් ලෙස ගතහොත් 2016 වසරේ දී මූර්ත වැටුප් දර්ශකය 140.9 ක් වූ අතර 2017 වසරේ දී එය 130.9 දක්වා පහත වැටී තිබේ. රාජ්‍යය සේකයන්ගේ මූර්ත වැටුප එසේ පහතට වැටෙද්දී පුද්ගලික අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප් දර්ශකය 2016 සහ 2017 යන වර්ෂවලදි පිළිවෙළින් 103.5ක් ලෙස තිබී 97.4 දක්වා පහත වැටී ඇත. 
2015 වසරේ දී වර්තමානයේ පවතින ආණ්ඩුව රාජ්‍යය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමූ අතර පුද්ගලික අංශයේ වැටුප ද එම ප්‍රමාණයෙන් ඉහළ දමන ලෙස රාජ්‍යය ඉල්ලීම් කර තිබුණි. එහෙත් සියලු පුද්ගලික අංශවල මෙම ඉල්ලීම ක්‍රියාත්මක නොවී ය. අනෙක් පසින් ගත්විට රාජ්‍යය සේවකයන්ගේ වැටුප එසේ රුපියල් දස දහසකින් ඉහළ දැමුව ද යට කී ආකාරයට ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය අවම වීම හේතුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය ද ඉතාමත් දරුණු අන්දමින් පහත වැටී තිබේ. 
අතීතයේ සිට මේ දක්වා ලෝකයේ කිසිදු රටක කිසිදු ආකාරයකින් භාණ්ඩ මිල පහත වැටි ඇති බව අපි අසා නැත. එහෙත් භාණ්ඩ මිල ඉහළ යාමට සාපේක්ෂව ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නොයාම මෙම තත්ත්වය උද්ගතවන්නට ප්‍රධාන හේතුව බව ආර්ථික විශේෂඥයෝ පවසති. එනම් වසරෙන් වසරට එක් මුදල් දර්ශකයක් වැය කරමින් ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය පහත වැටීම ය. එය භාවිත භාෂාවෙන් පවසන්නේ නම් එදා රුපියල් දහසක මුදලකට ලබාගත් භාණ්ඩ ප්‍රමාණය ලබාගැනිම වෙනුවෙන් අද අවම වශයෙන් රුපියල් 1400ත් 1600ත් අතර මුදලක්  වැය කළ යුතුව පැවතීම ය. නුදුරු අනාගතයේ දී මෙම තත්ත්වය තව තවත් ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පවසති.
SIS.lk
පසුව ලියමි: මැයි දිනයේ කිසිදු වමේ පක්ෂයක් ජනතාවගේ මෙම ජිවන බර ගැන කතා කලේ නැත. උතුරේ, දකුණේ, මැද රට දෙමළ හැමෝම දැඩි ආර්ථික පිඩනයකින් පෙළෙයි. ඒ වුනාට ඉස්සර විදියට දැන් වම ඒ ගැන කතා කරන්නේ නැත. මන්ද වමේ නායකයන්ට එවැනි ජිවන බර ගැන ප්‍රශ්න නැති නිසා බව අප අවබෝධ කර ගත යුතුය. ඔවුන්ට උවමනාවටත් වඩා මුදල් ඇත. ඒවා එන තැන් ගැන අපි දන්නේ නැත. ඉතින් කෑ ගසන්නේ කුමටද තමාට ඓන්ද්‍රීය නැති ගැටළුවකට ?