Friday, May 11, 2018

මේ රට වෙනුවෙන් මට මිය යාමට නොහැකි ඇයි?

ඡායාරූපය  CCTV උපුටමින් ඩේලි ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය 
පාසැල ඇරී කිලෝමීටර් තිහක් (30) පාපැදියෙන් ආපසු යමින් සිටියදී බාලකුමාර් ශ්‍රී සත්‍යා නම් ශිෂ්‍යාවක් යාපනයේදී මියගොස් ඇති බව දිනසේන රතුගමගේ උපුටමින් 'දිවයින' පුවත් පත  වාර්තා කරනවා. මිය යාමට හේතුව විජලනය කියලයි පුවත කියන්නේ (පුවත බලන්න). අධික හිරු රශ්මිය මේ දවස්වල සාමාන්‍ය දෙයක් කියල බුර්ෂුවා පණ්ඩිතයෝ දැන් පටස් ගලා කියයි. 'අපි කිව්වනේ වැඩි වෙලා මේ දවස්වල අව්වේ ඉන්න එපා කියල'. ඒ තමයි ඔවුන්ගේ උත්තරය. පාසැල් ඇමති අකිලගේ උත්තරය මේ වගේ දෙයක් වෙයි, 'ඒක තමයි අපි ලඟම පාසැල හොඳම පාසැල කරන්න හදන්නේ'. දඩි බිඩි ගාල මෛත්‍රිපාල මේ ළමයාගේ දෙමව්පියෝ මන්දිරයට කැඳවල නිවසක් දෙන්න හදයි. වමේ පක්ෂ දුවල යයි භූමදානේ වැඩවලට. අනුර කුමාර පාර්ලිමේන්තුව දෙවනත් කරයි. ලංකික ශිෂ්‍ය ව්‍යාපාරය වෙනමම පෙළපාලියක් යයි නුගේගොඩ ඉඳල කොටුවට. ෆේස් බුක් එකේ අයත් එක එක විදියට තමන්ගේ කේන්තිය පිටකරයි. ටී. වී. එතකොට පත්තර එහෙමත් මේක සමහර විට ලොකුවට වාර්තා කරයි. ඒ කියන්නේ හැමෝගෙම 'දේශපාලනයට' මේ සිද්ධිය ලාභදායකයි. නමුත් හෙට දවසෙත් යාපනේ තවත් සත්‍යයා කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය මේ විදියටම ගතවෙයි.   

කොන්ගත කරන ලද ජාතියක් හැටියට ඔවුන්ගේ එකම බලාපොරොත්තුව අධ්‍යාපනය. සත්‍යය නම් (ඇගේ නමත් සත්‍යා) කිලෝ මීටර් තිහක මරණය පරදවමින් මේ ධෛර්යමත් ශිෂ්‍යාව වසර ගණනාවක් මේ විදියට හින්දු විද්‍යාලයට (ජනප්‍රිය පාසැලක්) පාසල් ගියා කියන එක. එම දුවණිය තමාගේ සිහිනය වෙනුවෙන් එතරම් මහන්සි වෙලා තියෙනවා. නමුත් බැරි වෙලා හරි ලංකාවේ විශ්ව විද්‍යාලයකට  ගියාට පස්සේ කාලකන්ණි ශිෂ්‍ය දේශපාලනය ඇයට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. 'දුක පුරුදු කරන්න' නවක වදය දෙයි. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න දෙන්නේ නැතිවෙයි. පුස්තකාලයට යන්න දෙන්නේ නැති වෙයි. පිටින් කට්ටිය ගෙනල්ල මාක්ස්වාදී මුලධර්මවාදය උගන්වයි.  එයාලට ඕනි හැමෝම එයාල වගේ ඉන්නවට (subjects). දියුණු වෙනවට නෙවි. තමාවත් පසුකරගෙන අනෙකා ඉදිරියට යනවට නෙවි. මේක ලංකාවේ විජේවීර වමේ කුහක රෝග ලක්ෂණයක්. මම හිතන්නේ වික්ටර් අයිවන් ඇතුළු බොහෝ විවේචකයන් එතැනදී හරි කියල.    

පොදු ප්‍රවාහනය යනු විශ්වීය කාර්යයක් (universal duty) යන්න පිළිබද ව උදාහරණ සපයන මීට ටික කලකට ඉහතින් විදේශයක සිදුවුන සිදුවීමක් මට මතක් වෙනවා. මෙය සිදුවන්නේ ලෝකයට විශ්වීය බව මෙන්ම පරමාදර්ශ උගන්වන ප්‍රධානම රටක් වන ජපානයේ. ටෙලිග්‍රාෆ් පුවත් පතට අනුව කතාව නම් එක්තරා ජපන් සමාගමකට අයත් දුම්රියක් එක් ශිෂ්‍යාවක් පමණක් වෙනුවෙන් වසර තුනක් තිස්සේ වැඩිපුර සැතපුමක් ගොස් තිබෙනවා (පුවත කියවන්න). හැමදාම උදේ හතයි හතරට (7.04) ඇයව දුම්රියට නංවා ගන්න ඔවුන් හරියට ම හවස පහයි අටට (5.08) ආපහු ඇයව ගෙනත් ඇරලිනවා. දුම්රියට නඟින්න දුම්රිය පොලේ වෙන මිනිස් පුළුටක්වත් නැති වුනත් මෙම එකම එක 'මඟියා' (ඔවුන්ට ශිෂ්‍යාවක් කියන්නේ මඟියෙකුට වඩා වැඩි දෙයක්) වෙනුවෙන් එම දුම්රිය වතාවතක් කරනවා (ritual) වගේ අවරුදු තුනක් ඇය විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙන දවස වෙනකල් මේ ගමන ගිහිල්ලා තිබෙනවා.  

අපි බස් ගැමුණු වගේ කෙනෙක් එක්ක මෝඩ විදියට මේ දේ පටලා ගන්නේ නැතුව බලමු ධනවාදය ක්‍රියාත්මක වන රටක තියෙන අධ්‍යාත්මය ගැන (ජිජැක්ගේ නුතනත්ව ශුන්‍යතාවයට පරස්පරව). අනෙකා ගැන තියෙන කැක්කුම ගැන. කිසිම කෙනෙක් මේ ස්ටේෂන් එකට යන්නේ නැති නිසා ඉහත හොකයිඩෝ දුම්රිය සමාගම ට අයිති එම දුම්රිය වසර තුනකට පමණ කලින් තමයි වහලා දාන්න හදලා තියෙන්නේ (සාමාන්‍ය ලාබය පිළිබද අදහස). ඉතින් පාඩු පිට දුවන්න ඕනි නැති නිසා එහෙම හිතුවත් හැමදාම උදෑසන තට්ට තනියම මේ ශිෂ්‍යාව දුම්රිය පොළට එනවා දුම්රියේ කට්ටියට පෙනිලා තියෙනවා. මොන පාඩුව ලැබුවත් ඔවුන් ඇයව අපේක්ෂා භංග කළේ නැහැ. එයා නිසාම කිලෝ මීටරයක් වැඩිපුර එනවා කියලවත් ඇයට කියල ඇයගේ පුංචි හිතට වරදකාරී හැඟීමක් දීලත් නැහැ (ඒක තමයි ධනවාදයට මරා දැමිය නොහැකි ධනවාදයට වඩා වැඩි දෙය. ඉන්දියානුවන් ජිජැක් එක්ක හැප්පෙන්නේ මෙතැනදී. මාක්ස් මොනවා කිව්වත් සමහර පුර්ව නුතන වටිනාකම් තියෙනවා ධනවාදී අවධියට වඩා උසස්. මිනිස්සු දන්නවා ලාභයට වඩා වැඩි ජිවිතයක් තියෙනවා කියල. ඒක නිසා තමයි වෙන විකල්පයක් නැති නිසා ධනවාදයට විරුද්ධව මුස්ලිම් ලෝකය ඉස්ලාමය වෙතට යන්නේ. අපි වඩ වඩා පන්සල් යන්නේ. හෘද සාක්ෂිය තියෙන කිසිම කෙනෙකුට ධනවාදය ඇතුලේ දිගට ඉන්න බැහැ. කොහෙට හරි හැරෙන්න වෙනවා. නමුත් හැරෙන්න ඕනි කොයි පැත්තටද කියන එක මාලිමාකරණය කරන්න උසස් සද්භාවී මඟ පෙන්වන්නෙකු අවශ්‍යයි. නායකයෝ බිහිවෙන්නේ එතැනදී). 

මේ මඟ පෙන්වීම සඳහා ජාතියක 'යහපත් සාරය' වැදගත් වෙනවා කියන එක තමයි මගේ මතය. නමුත් ඒ සඳහා ජාතියේ යහපත් දෙය තෝරාගෙන එය නුතනත්වය වෙතට ප්‍රති-ජීවනය කලයුතු වෙනවා. ආධානග්‍රාහී දේවල් නිෂ්ප්‍රභා කලයුතු යි. උදාහරණ වශයෙන් බලන්න ජේ. ආර්. ජයවර්ධන මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ වල කරපු කතාව (Japanese Peace Treaty, Treaty of San Francisco: 1952). ඔහු එතැනදී බටහිර ඉදිරියේ ප්‍රති-ජීවනය කරන්නේ බුද්ධ භාෂිතය. වෛරය වෙනුවට ඔහු පෙනී සිටින්නේ අවෛරය නැත්නම් ආදරය වෙනුවෙන්. ජපානය ගොඩක් ගරු කළා ජයවර්දන මහතාට ඒ කතාව වෙනුවෙන්. ජපානයට ගිහින් ඉගෙනගෙන ආපු සරච්චන්ද්‍ර මහතා සහ ජපානය ආදර්ශයට ගත්ත ජයවර්දන මහතා අවාසනාවකට හිටියේ පැති දෙකක. දෙදෙනාම කරපු දේ හරි නමුත් මේ දෙක සමමුහුර්ත කරන්න (synchronize) බුද්ධිමය බලවේගයක් ඒ වෙලාවේ ලංකාවේ තිබුණේ නැහැ අපේ අවාසනාවට. තිබුණේ ඌන සංවර්ධිත ගල්කටස් මාක්ස්වාදය විතරයි (දේවල් නැවත තේරුම් ගන්න අපිට ආපහු වසර හතළිහක් පස්සට යන්න සිදුවීම දෛවයේ සරදමක් නොවේද කියලත් හිතෙනවා). වෙනත් වචනයකින් කිවහොත් ධනවාදය හික්මවීම (නැත්නම් කප්පාදුව) පිණිස ජපානය පාවිච්චි කරලා තියෙන්නේ තමන්ගේ සම්ප්‍රදායේ එන පිතෘ මුලිකත්වය (ජයවර්දන සහ සරච්චන්ද්‍ර පසමිතුරු බව වෙනුවට සුසංයෝගය). ලංකාවේ මුල්ම වතාවට න්‍යායගත කරොත් දැන් අපට හඳුනා ගත හැකියි ඇයි අපට ජපානය (හෝ සිංගප්පුරුව) වෙන්න බැරිවුනේ කියල. නමුත් ඒ වෙනකොට සරච්චන්ද්‍ර සහ ජයවර්දන කියන දෙදෙනාම නැහැ (ජයවර්දනට 'මනමේ' තේරුණේ නැහැ වගේම සරච්චන්ද්‍රට ජේ. ආර්. ගේ ව්‍යාපෘතිය තේරුනෙත් නැහැ). වම වගේම දකුණත් මුහුණ දුන්න මේ දෘෂ්ටිමය අර්බුදය තේරුම් ගන්න හැදුවේ අමරසේකර. නමුත් අමරසේකර කියපු දෙය තේරුම් ගන්න බටහිර කැඩපතක් අපිට තිබුණේ නැති නිසා (මොකද අපේ මනස කොහොමත් පශ්චාත් යටත් විජිතයි) වැඩේ වෙනත් අතකට ගියා කියලයි කියන්න වෙන්නේ (අනෙකා විනාශ කිරීම).
  
අමරසේකර ගේ ව්‍යාපෘතියේ හිටපු අයටත් දැන් තේරිලා තියෙනවා වැඩේ තිබුණ අවුල. ඒකයි දැන් බැසිල් ල ලයින් එක මාරු කරලා තියෙන්නේ. හැබැයි සත්‍යා  ල දැන් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ කියල අපි දන්නවා. ජයවර්දන සරච්චන්ද්‍ර දෙන්නටම පස්සේ සිදුවුන දේවල් ගොඩක් තියෙනවා. දැන් අපි පරක්කුයි. ලෝකය ගොඩක් ඉස්සරහට ගිහිල්ල.  

එහෙ මෙහෙ ගියා ගොඩක් වැඩි නේද? අපි ආපහු කතාවට යමු. ඉතින් උසස් විද්‍යාලෙට ගිහිල්ල අන්තිමට උපාධිය අරන් ආව දවසට පස්සේ දවසේ ඉඳල ඒ ඉස්ටේසමට ආයේ දුම්රිය ආවේ නැහැ. තමාගේ විශ්වීය කාර්යය නිමවුනාට පස්සේ ඔවුන්ට කොතරම් සතුටක් දැනෙන්න ඇත්ද? මිනිස් තෘප්තිය තියෙන්නේ වැඩකිරීම ඇතුලේ කියන ගාන්ධියානු වැකිය ඔවුන්ට හොඳින් තේරෙන්න ඇති නේද? ලුණු අරගලය (salt march) වෙනුවෙන් කිලෝ මීටර් 240 ක් ඇවිදපු ගාන්ධි ට වගේම සමහර විට කිලෝ මීටර් තිහක් පාපැදියෙන් ගිය සත්‍යා දියණියටත් ඒ තෘප්තිය තියෙන්න ඇති (මම එහෙම කිව්වේ වේදනාව ස්වභාවික කරන්න නෙවි). යාපනේ මිනිස්සු කොහොමත් අමාරුවෙන් හරි වැඩකරන්න දක්ෂ අය අපි ඔවුන්ට ඉරිසියා කළාට (හබමාස් ඒකට කියන්නේ 'ලෞකිකත්ව ඊෂ්‍යාව'  කියල (secular jealousy)). පෙරදිග ලෝකයේ ජාතිවාදය ගැන ලියපු වී. එස්. නයිපොල් කියන ලේඛකයට අනුව ගොඩක් වෙලාවට ජාතිවාදය ඇතිවෙන්නේ තමන්ගේ ජාතියට තියෙන කැක්කුමක් නිසා නෙවෙයි අනික් ජාතියේ දියුණුවට තියෙන ඉරිසියාව හින්ද.  

ඔයාට දැන් ඇහෙන්නේ නැති වුනත් ඉතින් සත්‍යා දියණියේ ඔන්න ඕකයි කතාව...  

පුවත මුලින්ම වාර්තා කරපු චීන CCTV රුපවාහිනියේ මුහුණු පොත් පිටුවේ මෙහෙම පෝස්ටරයක් දැම්ම කියල ටෙලිග්‍රාෆ් පුවත කියනව. "මාගේ රජය මා වෙනුවෙන් අවුරුදු තුනක් මේ කැපකිරීම කරානම් ඉතින් මේ රට වෙනුවෙන් මට මිය යාමට නොහැකි ඇයි". 'බිම් මට්ටම සිසාරා යන යහ පාලනය (good governance) කියන්නේ මේකට. හැම දරුවෙක්ම වැදගත්. නොවැදගත්, නොසලකා හැරිය හැකි කිසිවෙක් නැහැ' කියල වැඩිදුරටත් කියනවලු අර මුහුණු පොත් පෝස්ටරය. 

ඉතින් සත්‍ය ලා අපේ ආණ්ඩුවට ආදරේ නැතුවා විතරක් නෙවි අපිට විරුද්ධව කැරළි ගහන්නේ ඇයි කියල දැන් කියන්න ඕනි නැහැනේ. 'ගුරු ගීතයේ' දුයිෂෙන් එක්ක දුම්රිය පොළට ආව ඒ පුංචි අඩි පාර අල්තිනායිට කවදාවත් අමතක වෙන්නේ නැහැ වගේම මේ පුංචි කතාවත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. 

විශ්වීය බව කියන්නේ තමා ගැන අමතක නොවන සුන්දර මතකයක් අනෙකා තුල ගොඩනගන එකට...(කවබතා ගේ කෙටි කතා වගේ).  ඒකට පුද්ගලයෙක් ද රජයක්ද කියන එක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ යම් වටිනාකමක් නියෝජනය කරන ඒජන්තයා (agent of representation).   

(උපුටා දක්වන්නේ නම් මුලාශ්‍රය සඳහන් කරන්න)

No comments:

Post a Comment