Saturday, December 30, 2017

නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීම, පමණක් නොව, එම ලියන්නන්ගේ මිනී මත සිටගෙන සරුවත් බීම -ලංකා ඊ නිව්ස් තහනම ගැන

ලංකා ඊ නිව්ස් රටේ තහනම් කොට ඇත. තහනම් කිරීමට එරෙහිව අදාළ වෙබ් අඩවිය විසින් කරන නොනවතින අරගලය හැරෙන්නට රට තුළ දැකිය හැකි විරෝධය බයාදු එකකි. එම බයාදු විරෝධය විසින් මෙම කාරණය ගැන අවබෝධ කර ගැනීම සඳහා මූලික ලෙස තනා දී ඇති ප්‍රවේශය වන්නේ, යම්කිසි අභ්‍යන්තර ආරවුලක් දුරදිග යෑම නිසා මෙය උග්‍ර ලෙස දේශපාලනීකරනය කිරීමෙන් පසු, ඒ සඳහා අවශ්‍යය දේශපාලන බලය ඉතාම ශූක්ෂ්ම ලෙස භාවිතා කොට ඇති බවයි.

ලංකා ඊ නිව්ස් මාධ්‍යකලාවේදී අනුගමනය කරන මාධ්‍යය භාවිතය ගැන එහි කතෘවරයා පෙනී සිටින්නේය. සයිබර අවකාශයේ මූල්‍යමය වාසි පමණක් සොයමින් කොතැනක හෝ හැංගි කරන කැලෑපත්‍ර කලාවට වඩා එය පැසසිය යුතු කාරණයකි. එය ඉතාම කලාතුරකින් පමණක් දැකිය හැකි ගුණාංගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එසේම, ලංකා ඊ නිව්ස් මතවාදීමය වශයෙන් රටේ විශාල ලෙස බලපෑම් කළ සහ කරමින් සිටින පුවත් වෙබ් අඩවියක් බව කිසිඳු විවාදයක් නැත. දශක ගණනාවක් තිස්සේ කරනු ලැබූ අනවරථ අරගලය තුළ; ඇතැම් දෑ උග්‍ර ලෙස පෞද්ගලීකරණය වී ඇති ස්වභාවයක් දැකිය හැකිය; එසේම, අදාළ ආතනය සමඟ කටයුතු කළ අයවලුන් ඉන් ඉවත් වී ඊට එරෙහිව තම මතය ඉදිරිපත් කිරීමේ රටාවක් දැකිය හැකිය. නමුත් ඒ සියල්ලම අභිමුඛව තම පුවත් වෙබ් අඩවිය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට සහ එහිදී ඉදිරිපත් කරන අදහස් වෙනුවෙන් පෙනී සිටීමට එහි කතෘවරයා කටයුතු කරනු ලැබීය.
රටේ අනෙකුත් ක්ෂේත්‍ර වලට සාපේක්ෂව ජනමාධ්‍යය ක්ෂේත්‍රය ගත්විට, ඉතාම සංකීරණ ලෙස ව්‍යාකූල වී ගිය සහ විකෘති වී ඇති තවත් ක්ෂේත්‍රයක් නොමැති තරම්ය. එසේම, රටේ නූතන ජනමාධ්‍යය යැයි මතුපිටට පැමිණ ඇති අවකාශය තුළ දැකිය හැක්කේ, තවත් යමක පළ වී ඇති දෙයක් හොරෙන් ගෙන එය පළ කරමින් තම පැවැත්ම තහවුරු කර ගැනීම මිස; නිර්මාණාත්මක හෝ ගවේශනාත්මක මාධ්‍යය කලාවක් නැති තරම්ය. මෙය, රටක් ලෙස මුහුණ දී ඇති අතිශය අවසනාවන්ත තත්වයයි.
මෙම මූලික කාරණය තව දුරටත් අවබෝධ කර ගැනීම සඳහා මෙසේ සඳහන් කළ හැකිය.
එදිනෙදා හමුවන බොහෝ මිනිසුන් දෙස බැලීමෙන් සමාජය ගැන මූලික අවබෝධයක් ලබා ගැනීමට උත්සහ කළ හැකිය. එනම්; වෘත්තිමය, නිපුණතාවයක් ඇති අයෙකු සිදු කරන කටයුතු දෙස හොරෙන් බලා සිටින වෘත්තිමය නිපුනත්වයක් ප්‍රගුණ කිරීම ගැන සිහිනයකින්දු නොසිතන අයෙකු ( කඩප්පුලියෙකු), නිපුණතාවයෙන් හෙබි මිනිසා කරන කටයුත්ත තමන්ටත් කළ හැකි බව සිතන්නේය. ඒ ගැන උජාරුවෙන් බස හෙළන්නේය. තමන් දන්නේ යැයි කියමින් අනෙකාව මුලාවේ හෙළන්නේය. ඉන් පසු එය කෙසේ හෝ ඩැහැ ගන්නේය. එලෙස ඩැහැ ගැනීම සඳහා විවිධාකාර උපායන් අනුගමනය කරන්නේය. ඒ සියල්ල සිදුකොට වෘත්තිමය නිපුනත්වයක් ප්‍රගුණ කළ තැනැත්තා පාගා දමා හෝ පන්නා දමා, රඟපෑමට අති දක්ෂ පුද්ගලයා වේදිකාවේ ඉදිරිපෙළ සිටිමින් තම අවශ්‍යතාවයන් සපුරා ගන්නේය. තම ආශාව මුදුන් පමුණුවා ගැනීමෙන් පසු; රටට හෙණ වැදුනද; තමන් විසින් සිදුකරණ සියලු කටයුතු වල වගකීම වෙනත් අයවලුන් මත තබා තමන්ගේ ඇඟ බේරා ගන්නේය. ගෙවී ගිය දශක කිහිපය දෙස බැලීමේදී පෙනී යන මූලික සමාජ වින්නැහිය මෙයයි.
හොරකම් සිදු වී ඇත, හොරුන් නැත. දූෂණයට ලක් වූ ස්ත්‍රීන් සිටිති, නමුත් දූෂකයින් නැත. පව් ඇත. නමුත් පව්කාරයින් නැත.
මෙම සමාජ වින්නැහිය ජනමාධ්‍යයවේදය මූලික කර ගනිමින් සලකා බලා සරලව කිවහොත් සිදුවී ඇත්තේ; නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීම, පමණක් නොව, එම ලියන්නන්ගේ මිනී මත සිටගෙන සරුවත් බීමය.
පෙර සඳහන් කළ ආකාරයට, ලංකා ඊ නිව්ස්, මාධ්‍යය භාවිතයේදී තම බස හැසිරවීම ගැන බොහෝ දෙනෙකු දොස් කියති. නමුත්, කතුවරයෙකු ලෙස එලෙස තම බස හැසිරවීම ගැන එහි කතුවරයා වන සඳරුවන් සේනාධීර මහතා වගකීම භාර ගන්නේය. තම නිෂ්පාදනය ගැන තමන් වග කියන්නේ නම්, සහ එය වෙනුවෙන් පෙනී සිටින්නේ නම්; එය ඉතාම වැදගත් පිහිටීමක ප්‍රකාශනයකි.
දේශපාලනික වශයෙන් ලංකා ඊ නිව්ස් රැඳී සිටින ආස්ථාණය ගැන කවුරුත් දනිති. එසේම; කුමන අභියෝග මැද වුවද; එහි කතුවරයා තමන්ගේ දේශපාලන දර්ශණය වෙනුවෙන් තම අදහස් ප්‍රකාශ කළේය/කරන්නේය. එය, සමාජයට කිසිඳු බලපෑමක් නොකළේය යැයි යමෙකු කියන්නේ නම්, එය එලෙස කියන අවවලුන්ගේ කුහකකම නිසා සිදුකරණ ප්‍රකාශයක් මිස වෙන කිසිවක් නිසා නොවේ.
දෛවයේ සරදම වන්නේ, තමන් ගොඩ නැගු අයවලුන්ම තමන්ට එරෙහිව පහරදෙන විට නැගෙන වේදනාවයි. නමුත්, එය සදාතනික සත්‍යය හෙවත් ලෝක දේශපාලනික සත්‍යයයි. මෙම ප්‍රායෝගික ඇත්ත තුළ අවබෝධයෙන් විසීම, සිදුවන බරපතල බිඳ වැටීම හමුවේ යළි නැගිටීම සඳහා අත්‍යවශ්‍යය වේ.
ලංකා ඊ  නිව්ස් සම්බන්ධයෙන් විශාල භීතියක් රට හමුවේ නිර්මාණය කොට තිබේ. එය කප්පම් ගන්නේය; එය පුවතක් පළ කොට ඊට මුදල් ලබා ගැනීම නොහොත් මූල්‍යය මංකොල්ලකෑමක් ( එක්ස්ටෝර්සන්) සිදු කරන්නේය; එහි ඒජන්තයින් මිලියන ගණන් හම්බකොට එය තමන්ගේ පෞද්ගලික සාක්කුවල බාහාගෙන, කතුවරයාගේ නම හැකි පමණ රටේ විකුණන්නේය; ආදී වශයෙන් විශාල චෝදනා එල්ල කරමින් අදාළ වෙබ්අඩවිය ගැන විශාල භීතියක් නිර්මාණය කොට තිබේ. මේවා විශේෂයෙන්, විදෙස්රටවල සිට මෙහෙයවන පුවත් වෙබ් අඩවි මුහුණ දෙන ප්‍රධාන චෝදනාවන් වේ.
මෙවැනි; දෑ වඩාත් ක්‍රමානුකූලව විසඳා ගැනීම ඉතාම වැදගත් වන්නේ; රටේ ඉදිරි දේශපාලන පිම්ම සඳහා ලංකා ඊ නිව්ස් වැනි මාධ්‍යය ආයතන වලින් කළ හැකි බලපෑම ඉතාම සුවිශාල වන බැවිනි.
ලබ්බට තිබූ අත පුහුලට තැබීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. එය මෙරට දේශපාලනික ඉතිහාසයයි. ගරුත්වයක් නැති මිනිහෙක් තමන්ට ගරුත්වයක් ඇතැයි පිළිගන්නැයි අනෙකාට බලකිරීම; ශීලයක් නැති මිනිහෙක් තමන් ශීලන්වත්යෙකු යැයි අනෙකාට පිළිගන්න යැයි අනෙකාට බලකිරීම; ආදී වශයෙන් තමන් ඇත්ත ලෝකයේ කරන අකටයුතුකම් වසා ගැනීම සඳහා තම බලය භාවිතා කොට වෙස්මුහුණු පැළඳ සිටින සමාජයක් බවට මෙරට පත්වී තිබෙන්නේ මේ නිසාය. ඊට අපි අපේ පැවැත්ම වෙනුවෙන් කිසිඳු ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නොමැතිව වන්දනාමාන කරති.
එසේම මෙහිදී සඳහන් කළ යුතු මූලික කාරණයක් තිබේ; එනම් තමන්ගේ නිදහස සුරැකෙන්නේ තම අසල්වැසියාගේ නිදහස සුරැකීම වෙනුවෙන් තමන් කැප වෙනතාක් දුරට පමණි. ලංකා ඊ නිව්ස් තහනම මඟින් රට හමුවේ සහ ජනමාධ්‍යය නිදහස වෙනුවෙන් කැප වී සිටින අයවලුන් හමුවේ නිර්මාණය වී ඇති මූලික අභියෝගය එයයි.
කුහක මානසිකත්වය හෝ වෙනස් දේශපාලනික මතවාද හේතුවෙන් මතු වී ඇති විරසකය පසෙකලා සගයාට එරෙහිව සිදුකරණ මර්ධනය හමුවේ ඔහු රැක ගැනීම රට හමුවේ ඇති මූලික වගකීම වේ.
ප්‍රකට ගුරු ගීතයේ ජීවිතයට උගන්වන මූලික පාඩමක් යළි සිහි කිරීම වැදගත් යැයි සිතේ;
“ සටන්වලින් පිරි, ඒ අසීරු ජීවිතයත්, විවිධ ඉරණම්වලට කැප වූ මිනිස් හැඟීම් සහ බලාපොරොත්තුත් තෙලිතුඩින් සහ සායම්වලින් පිළිබිඹු කළ හැකිදැයි මම නොදනිමි. සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද? මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ. ඔබ මා සමග එක් වී නිර්මාණාත්මක කලාවේ කොටස් කරුවෙකු විය යුතුය.” ( ගුරු ගීතය – චිංගීස් අයිත්මාතව්)
නොලියන්නන් විසින් ලියන්නන් මරා දැමීමට එරෙහිව පෙළ ගැසීමට නම් වැදගත් වන්නේ ලියන්නන් එකතු වී සන්ධාන ගත වීම සහ තම විවිධත්වය තුළ පොදු බව එනම් වෘත්තියමය නිදහස සහ අයිතිය මෙන්ම නිපුණත්වය තහවුරු කර ගැනීමය. අභිමානයෙන් සහ කෞශල්‍යයෙන් පිරි ලියන්නෙකු වීම එතරම් පහසු නැත. එවැන්නන් බිහිවන්නෙන් කලාතුරකිනි. මැරුණු පසු එම මළ මිනියෙනුත් වාසී ගැනීම සඳහා ප්‍රලාප කීම නොව ඔවූහු රැක ගැනීම එම සමස්ථ සමාජයේ වගකීමකි.
ලංකා ඊ නිව්ස් තහනම් කිරීම සම්බන්ධයෙන් අපි අපේ විරෝධය මෙසේ පළ කරන්නෙමු. 

ශ්‍රී ලංකා ගාඩියන් කර්තෘ නිලන්ත ඉලංගමුව

(Courtesy of Lankaenews) 
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ අන්තර්ගතය පිළිබද විවාදය කෙසේ වුවද වාරණය සම්බන්ද කරුණේදී එයට එරෙහි විය යුතුය. 

Tuesday, November 14, 2017

සිහිනය සහ යථාර්තය....

අපි දකින සිහිනය සහ යථාර්තය අතර කොපමණක් දුර තිබුණත් අපි සිහිනයේ ම ඉන්න ආශා කරනවා. මොකද යථාර්තය හරිම බිය උපදවන සුළුයි...හැබැයි යථාර්තයේ හැපුනේ නැත්නම් ඒක වෙනස් කරන්න අමාරුයි. නමුත් අපේ ෆැෂනබල් මානික්කම් නම් කොළඹ දුවිලි යථාර්තයේ හැපෙමින්ම සිහිනය නඩත්තු කරනවා. මානික්කම් දිහා බලපුවම පෙනෙන දෙයක් තමයි එයා ලංකාවේ රැඩිකල් කියා ගන්නා වාමාංශිකයන්ට වඩා ලස්සනට ඉන්න හදනවා කියන එක. දෙමල නළුවෙක් ගැන වුණත් ඔහුට සිහිනයක් තියෙනවා. නමුත් ඔහුගේ සිහිනයේ අවුලක් තියෙනවා කියල හිතෙනවා. මෙහෙම ම දිගටම හිටියොත් එයින් ඔහුගේ දැන් ස්වභාවය ඇත්තටම වෙනස් වෙයිද කියන එක ගැටළුවක්. ඒ කියන්නේ ඇත්තටම වෙනස් වෙන්න ඕනි ඔහුගේ සිහිනය නේද? මානික්කම් ඇත්තටම වෙනස් වෙන්නේ දමිල චිත්‍රපටි බලන එක නතර කරලා මොසාට් ගේ සිම්පනි අහන දවසට කියලයි මම හිතන්නේ. ඉතින් ඒ දවස එන්නේ කවදාද?

මේ අපුරු පුවත ගෙනෙන්නේ 'අද' පුවත්පතේ සරසි නෙත්මිණි 

පිට කොටුවේ නාටමි තරුව එම්. ජි. ආර්.


Sunday, November 12, 2017

විප්ලවීය මුණිවරුන් වහා අවශ්‍ය වී ඇත...

දැන් අප අත්දකිමින් ඉන්නේ මුණිවරුන්ගේ යුගයකි. නැත්නම් මුණිවරුන් අන් කවරදාටත් වඩා අවශ්‍ය වී ඇති යුගයකි. වෙළඳපල  පසු ධනවාදයේ සහ දිගට ඇදෙමින් යන පශ්චාත් නුතනත්වයේ ක්ෂිතියෙන් අපව බේරාගත හැකි ආකාරයේ ගැලවුම් කරුවෙක් දැන් අපිට වෙන කවරදාටත් වඩා අවශ්‍යය. ඇතැම් විට සත්ගුරු මුණි සපයමින් සිටින්නේ සුරාකෑමේ අසමානතාවය ඉස්පොල්ලේ ගොස් තිබෙන ඉන්දියාවේ එදිනෙදා ක්ෂිතියෙන් බේරීමේ මානසික උපක්‍රමයක්ද විය හැක. තමා වටා ඇති ඉන්දීය අපිරිසිදු යථාර්තය  (ද්‍රව්‍යය=objective reality) තුල නෙලුම් මලක් මෙන් පිරිසිදු මානසිකත්වයෙන් (spirituality) සිටීමට ඔහු ඔබට උගන්වනු ඇත. කෙසේ වුවද සත්ගුරු මුණි මෙසේ කියයි, 'ඔබ නිෂ්පාදනය ට සම්භන්ද වන්නේ ඇයි? සිහිනය හඹා යන්නේ ඇයි? ඔබ ඇමරිකාවට පෙම් බඳින්නේ ඇයි? මොනවා සිදුවුවත් මේ ඔබ වටා ඇති කිසිවකට අනන්‍ය නොවී ජිවත් වන්න. එසේ නිකම් ඔහේ සිටින විට ඔබේ ආලෝකය ඔබ වෙත එනු ඇත. දැනුම බුද්ධිය (reason and intellect) පිණිස ඇති පිපාසය පසෙක තබා ජිවිතයේ මායාව - ඉන්ද්‍රජාලය (magic of life) සොයායන්න'. නුතනත්වයෙන් වෙහෙස වී සිටින විගලිත බටහිර ආත්මයට සත්ගුරුගේ වදන් ඇතැම් විට කණට මී පැණි මෙන් විය හැක. ගුප්ත අනේකත්වය හමුවී ජිවිතයේ ඉන්ද්‍රජාලය සෙවීමට ඔවුන් වැල නොකැඩි ඉන්දියාව බලා එනු ඇත. එක් අතකින් ගෝලීය ධනවාදය අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙමින් අපගේ ජිවන ලෝකය දෙදරවමින් ඇත. දැනුම විසින් අපව තව තවත් ක්ෂිතියට ලක් කරමින් ඇත. පවත්නා යථාර්තය පිළිබද වඩ වඩා දැනුවත් වීම මගින් අප වෙහෙසට පත් කරමින් ඇත. එනිසා දැනුමට විකල්ප ලෙස මායාව අවශ්‍ය වී ඇත. අනෙක් අතට පසු ධනවාදයට විකල්පයක් පෙනෙන තෙක් මානයක නැත. මහා ආඛ්‍යාන සියල්ල නිර්නෛතික වෙමින් ඇත. සිරගතව පවත්නා ආපතික බව පුරවනු පිණිස ඉතින් මුණිවරුන් හැර අන් කවර සරණක්ද? ලංකාවේ සත්ගුරු වීමට යමෙක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඉහල අබෑර්තුවක් නම් ඇත... 

මුනිවරයාගේ භාෂාව ගැන ලකාන් මෙසේ කියයි. 'මුණිවරයකුගේ භාෂා භාවිතය යනු සයිකෝටික තත්වයක ප්‍රකාශ වීමක් නොවේ. බොහෝ ස්ත්‍රී ශ්‍රාවකයින් පෙන්වා දෙන පරිදි පිරිමියා සහ ස්ත්‍රිය යන කප්පාදු කොට්ටාශ දෙකම අතර ස්ථාන ගත විය හැකි තැනැත්තා මුණිවරයකුගේ භාෂාව දරා සිටින්නා වේ. එවැන්නෙකුට සුරතාන්තය අත්විදීමට ලැබෙන නමුත් එය ප්‍රකාශ කිරීමට නොහැක. රෝමයේ බර්නින් ප්‍රතිමාව හෝ තෙරේසා මව් තුමිය ගේ පිළිරුව දෙස බැලු සැණින් ඔබට මෙය අවබෝධ වනු ඇත' (1958: 76). සාන්ත ඇක්වයිනාස් වැන්නෙකු ජිවිතයේ අවසාන සමයේ අත්විදි මුනිවරභාවය සම්පුර්ණයෙන්ම සංකේතිය පිලිවෙල තුල ම ස්ථානගත කරන ලැකාන් සමස්තයට අයිති නැති එම සංකේතනයේ ම කොටසක් සංකේතනයට ඔබ්බෙන් පිහිටා තිබු බව පිළිගනී. එය එක්තරා සුරතාන්තයක් ලෙස ලැකාන් හඳුනා ගනී. ප්‍රමෝදයක් ලෙස නම් කල හැකි මෙම සංකේතනය ලෝකය නම් වේදිකාවේ තිරය වැටුණ පසු මිනිසා හට එක්වරම ප්‍රාදුර්භුත වන දෙයකි. මනෝ භ්‍රාන්තියක් (hallucination or delusion) ලෙස ගත හැකි මෙම අතිරික්ත ප්‍රමෝදය බොහෝ මුණිවර අත්දැකීම්හි ඇති  දේවත්වය නිරුපණය කරයි. ඒ අනුව සත්ගුරු මුණි විසින් තමා වෙත මිනිස් විෂය ආශක්ත කරගනු ලබන්නේ ප්‍රමෝද අතිරික්තයක් (ecstasy) හරහා ය. සුරතාන්ත අත්දැකීමක් හරහාය (ස්ත්‍රිය වහා ආකර්ෂණය වේ). එය හරියටම ධනවාදය ව්‍යාප්ත වන ආශා අතිරික්තයේ තර්කයට සමානය (එතැනද ඇත්තේ ස්ත්‍රී ශරීරයයි). බැලු බැල්මට පෙනෙන සත්‍ය සමාජ පරස්පරතා නොදැක්කා සේ තම සුරතාන්ත කතිකාව හසුරුවන සත්ගුරු සන්‍යාසි විසින් එම අසමානතා ස්වභාවික කරයි. ඒවාට නව අර්ථකතනයක්, නව අනන්‍යතාවයක් ලබාදේ ('ගෘහණිය' යන්න ඔහු නැවත අර්ථකතනය කර එයට නව අනන්‍යතාවයක් ලබාදේ. පරස්පරතා ගැටළුව ඇත්තේ 'ගෘහණිය' යන්න තුල ම බව ඔහු මඟහරිනු ලබයි - in itself). මෙම තත්වය වාමාංශික කතිකාව විසින් වහා හඳුනා ගතයුතු නව ප්‍රපංචයකි. මිට අවම වශයෙන් දශක දෙකකට පෙර මාක්ස්වාදයට මෙවැනි තත්වයක් අර්ථකතනය කරගැනීම පිණිස වූ න්‍යායික අවි තිබුණේ නැත. මාක්ස්වාදය මනෝ විශ්ලේෂණයේ ආගමනයත් සමග නව මගක් ගෙන ඇත යනුවෙන් අප පවසන්නේ එම නිසාය.   

ඉන්දියාවේ සමාජ සවිඥානිකත්වය පාදක කරගෙන තමාව ප්‍රශ්න කල එක් බටහිර ගැහැණියකට ඔහු මෙසේ පිළිතුරු දෙයි. 'අප සිටින මෙම අවුල් සහගත තත්වය කොතරම් නම් සුන්දරද? මෙම අපිළිවෙල වෙනස් කරන්න ඔබ හදන්නේ ඇයි? අපි ඉන්දියානුවන්. බලන්න අප කොච්චර පැරණිද කියල. ඇයි අප දෙස බටහිර කණ්නාඩිය දාල බලන්නේ?' තර්කානුසාරි යථානුභුතවාදීන් මෙන්ම හේතුවාදීන් සත්ගුරු විසින් පහසුවෙන් මෙල්ල කරයි. මන්ද ඔහු භාවිත කරන්නේ ප්‍රමෝදයේ භාෂාවක් වන නිසා හේතුවාදීන් හට ඔහුගේ කප්පාදු විරෝධය තේරෙන්නේ නැත. ජිජැක් ට අනුව මෙම තත්වය ස්ත්‍රී ප්‍රමෝදයකි (feminine jouissance). පුර්ව ඊඩිපස් ප්‍රමෝදයකි. එනයින් මෙම සත්ගුරු වැනි ගුප්තවේදීන් දැනුම විසින් අප වෙත ගෙන එන කප්පාදුවට දෘෂ්ටිමය ලෙස එරෙහි වේ. කප්පාදුව ඔස්සේ වෙනස් නොවන මිනිස් විෂය එනයින් එකතැන පල්වීමට පටන් ගනී. එය අඳුරට බිය වීමකි. මෙය පශ්චාත් නුතන තත්වයකි. නිශේදනය නිශේදනය කිරීමකි (මාවෝ ගේ අති මුලික වරද). සමීපව කල්පනා කර බැලුවොත් සමකාලින රැඩිකල් වමවාදය තුළ පවතින්නේද මෙම බුද්ධි විරෝධය ම බව ඔබට පසක් විය හැක. ඔවුන් නිශේදනය වෙමින් පවතින තම පැවැත්ම පිළිගැනීම නිශේදනය කරයි. ගුරුවරයෙක් තම ශිෂ්‍යයාගේ යම් පිළිතුරක් වැරදියි කිවහොත් එතැන ඇත්තේ නිශේදනයකි. ශිෂ්‍යයා එම නිශේදනය ප්‍රතික්ෂේප නොකළ යුතුය. එසේ නොකර නිවැරදි පිළිතුර කරා ගමන් ගත යුතුය. එතැනදී අවශ්‍ය වන්නේ එක් දෙයකි. එනම් කප්පාදුවයි.  එය ප්‍රතික්ෂේප කිරීම යනු විනාශයයි. යමෙක් හිතා මතා විනාශය කරා යන්නේ නම් එවිට අපට කළහැකි දෙයක් නොමැත. 


පසුව ලියමි.. 
...............................
මේ සටහන ලියන්න වුණේ මීට ටික කලකට කලින්. මොකද සංවිධානයක් හැටියට අපි කාඩර්වරු හදන්න ගොඩක් මහන්සි වුනාට ඇත්තටම හැදුණේ තාපසයෝ, මුණිවරු, සන්‍යාසින් වගේ පෞරුෂයන්. කොන්ඩේ වවා ගත්ත, රැවුල් වවා ගත්ත, වැඩිය එලියට එන්නේ නැති කළුවර කාමර වල දේශනා පවත්වන අය. ඒ අයට ඕනි වුනේ නැහැ දීප්ති විසින් ගොඩනගපු දැනුම සහ උපන්‍යාස තවත් හොදින් වැඩිදියුණු කරලා සමාජගත කරන්න. මොකද එහෙම කලානම් විතරයි අපිට ඉදිරියට යන්න තිබුනේ. නමුත් උන්ට ඕනි වුනේ පරණ වමේ උපන්‍යාස මත ලැගල ඉන්න. ඊට පස්සේ තමාගේ ව්‍යාපෘති ඉදිරියට ගේන්න. ඒ ගෙනාපු ඒවා උනත් අර පැරණි ආකෘතියේම හිරවුණා. ඉදිරි පරම්පරාවට ඒ පරණ ඒවා හරියන්නේ නැහැ .
අනික් අතට අපේ සංවිධාන ඉතිහාසේ ලොකුම මුණිවර භූමිකාව අයිති වෙන්නේ රොහාන් පෙරේරාට. එයාගෙත් ලේඛනවල තියෙන්නේ වක්තෘත්ව ගතියක් (උදාහරණ , ‘ආදරයේ දේශපාලනය’ ලියවිල්ල). නමුත් එම ‘මුනිවර ගතිකය’ විශ්ලේෂණමය ප්‍රවේශයකට (සංස්ලේෂණය) ගෙනෙන්නේ දීප්ති විසින්. එතන තමයි දේශපාලනය තියෙන්නේ.


අනික තමයි ඉස්මතු වෙන ජාතිවාදී රැල්ල ට මුහුණ දෙන්න න්‍යායික වැඩපිළිවෙලක් කා සතුවවත් නැහැ. එතනත් වැඩ කරන්නේ ප්‍රමෝද භාෂාව. එහි ‘විනෝද පෞරුෂය’ තමයි පොහොට්ටුව විසින් නියෝජනය කරන්නේ. දෙමළා, මුස්ලිම් වැසියා ගේ පැවත්ම විනෝද අතිරික්තයක් මහා ජාතියට. සමස්ත අසාර්ථක (ආර්ථිකය) බව නිසා මිනිස්සු තුල තියෙන කෝපය මේ ඔස්සේ පුපුරා යා හැකියි. මේ තත්වය කළු ජූලියක් දක්වා වුනත් ගමන් කල හැකියි. මොකද ලොකු දේශපාලන නෛතික බවක් (legitimacy) මේ ආණ්ඩුවට පොළොවේ (ground) නැහැ මේ වනවිට මොන සංඛ්‍යා ලේඛන ගෙනාවත්. විනෝද පෞරුෂය = Unlike the hysteric, who unconsciously believes in the benevolent Master, the pervert believes that the apparently benevolent authority is the actually a malevolent Leader, demanding something truly atrocious. Accordingly, every symbolic authority figure in contemporary society – politicians, judges, teachers, parents and so forth – become, in the eyes of today’s perverse subject, smeared with an obscene enjoyment’ (Zizek and Politics: A Critical Interrogation. Sharpe and Boucher 2010: 157). මෙහි සරල අදහස නම් විපරිතයාගේ ඇසෙන් බලන විට අද්‍යතන සමාජයේ සෑම සංකේතිය අධිකාරීකත්වයක්ම (ගුරුවරු, දේශපාලඥයින්) අශ්ලීල විනෝද උපකරණයන්ය. ජනතාව වැඩි වැඩියෙන් බලන්නේ (gaze) තමාට විනෝදය ගෙනෙන මෙම උපකරණ දෙස (විමල්, ගම්මන්පිල, මධුමාධව) මිස විවේචක පෞරුෂයන් දෙස නොවේය.


ඉතින් වයි ෆයි කතා කීවට රනිල්ට චන්ද ලැබෙන්නේ නැත. අද්‍යතන විපරිත විෂයට වයි ෆයි විනෝදය ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය මිණි මරන්නටය (Give us the right to KILL and then we will VOTE).


.....
ඊටත් පසුව ලියමි
අද වනවිට මා සත්ගුරු දකින්නේ වෙනස්ම ආකාරයකට. එනම් පෙරදිග ඇහැකින්. එතකොට මට ඔහු පෙනෙන්නේ ගැඹුරු ලෙස පෙරදිග සාන්දෘෂ්ටික ගැටළුව ආමන්ත්‍රණය කරන කෙනෙක් හැටියට.     

Tuesday, November 7, 2017

Neverska Lady: යථාව යථාර්තයක් කිරීම


හිරු ගොසිප් වෙබ් අඩවිය අපුරු ප්‍රවෘර්තියක් පල කරලා තිබුණා. මේ හදන්නේ එක ගැන ලියන්න. ඒ නිව්ස් එක තමයි අපිට ඉන්ධන ගෙන එන ඊලග නැව තියෙන තැන ගැන ඒ අය වාර්තා කරලා තිබුන එකෙන් මතුවන වැදගත් මනෝ විශේලේෂණ මානයක් ගැන ඒ ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් වීම. ඒ වෙබ් අඩවිය අපිට ගෙනෙනවා මෙහෙම දෙයක්. අපිට ඉන්ධන එන ඊලග නැව තියෙන්නේ ඩුබායි කිට්ටුව කියන එක සහ මෙහෙට එන්න තව දින දෙකක් විතර ගත වෙනවා කියන එක. තෙල් පුරවල තියෙන නිසා ගොඩක් හෙමින් එන එම නැව එන්නේ නාවික සැතපුම් දොළහක විතර ඉබි ගමනේ කියල ඔවුන් කියනව. ඒ ආවත් තෙල් අර්බුදය නිම වෙන්න තව දින දෙක තුනක් යයි කියලත් ඔවුන් කියනව. ගොඩක් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන ඔවුන් කරන්නේ අපිට යථාවක් වුන, තෙරුම් ගන්න අසීරු දෙයක්, අපිට යථාර්තයක් කරන එක.  එතකොට අපි දන්නවා කවද වෙන කොට මේ පසු නුතන අසමත් භාවයෙන් අපිට සහනයක් වේවිද කියන එක.  ඒ කට්ටියට තේරෙනවා අපි දැන් ඉන්නේ හඳට ගියා වගේ තත්වයක කියල. මොනවත් තොරතුරක් නැතිව හඳේ ඉන්න ගියොත් පිස්සු හැදෙයිනේ නේද? පට්ට අවුලක් වෙච්ච මේ තත්වය ඇතුලේ තෙල් පෝලිම් වල ඉන්න මේ ආණ්ඩුවට චන්දෙ දුන්න අයට දිග හැරෙමින් තිබෙන තත්වය තේරුම් ගන්න බැහැ. එහෙන් වැඩිමිලට ෂෙඩ් ළගම මිනිස්සු තෙල් විකුණනවා. ඒ කට්ටියට මල ආතල් එකක් ඒක. මෙම පශ්චාත් නිදහස් අසමර්ථභාවය සහ දුප්පත් කළමණාකරණය ගැන යම් තරමක වත් සහනයක් (පැනඩෝල් පෙත්තක් වගේ) මෙම ගොසිප් තොරතුර නිසා හම්බ වෙනවා. තව දවස් දෙකකින් වත් මේ ප්‍රශ්න ඉවර වෙයිනෙ...අපේ පරිභෝජන සංස්කෘතිය වෙත නැවත අපිට යන්න පුළුවන් වෙයිනෙ නේද?

තෙල් ප්‍රශ්නේ විසඳන්න ඉබි ගමනේ එන Neverska Lady      

http://www.marinetraffic.com/en/ais/details/ships/shipid:753526/mmsi:636012577/imo:9306457/vessel:NEVERSKA_LADY

Tuesday, October 10, 2017

සංකේතනය යථාවක් වීම...


ද වනවිට දිනපතා ඇසෙන්නට තිබෙන්නේ එක දෙයකි. එනම් දුෂණය නැවත්වීමට රාජ්‍ය බලය ලබාගත් යහපාලන පාලකයින් නිසි නින්දේ හොරකම කරන ආකාරයයි. ඒ දවස්වල දුෂණය ගැන කතාකළ කිසිවෙක් අද පැත්ත පළාතේ නැත. රනිල් මෛත්‍රී පාර්ශවයන් ගේ කිසිදු වෙනසක් නොමැතිව දිගින් දිගට රාජ්‍ය දේපළ දිගට හරහට කොල්ලකනු ලබයි. අපිට මෙය තේරුම් ගත නොහැකි යථාවකි. එනම් යහපත යයි අප සිතු දෙය තිබුන තත්වයටත් වඩා  නරක අතට හැරීමකි. දකින්නට ඇත්තේ වෙනදාටත් වඩා ඥාති සංග්‍රහය සහ හිතවතුන් පිනවීම ඔස්සේ දුෂණය ඉහවහා යාමයි. සහෝදර සහෝදරියන් දු පුතුන් එකට එක්ව හොරකම් කිරීමයි. අපිට මේ සිදුවෙමින් යන්නේ කුමක්ද? ඇතැම් විචාරකයෙකුට අනුව 'ඥානවිභාගාත්මක භින්නොන්මාදයක්' (epistemological schizophrenia) ඇතිකළ හැකි මෙම පරස්පර තත්වය  ඇත්තටම පරස්පර යමක් නොව අප අපේක්ෂා කල යුතු දෙයකි. ඇත්තටම සිදුවන්නේ එනම් යථාර්තය යථාව බවට පෙරළීම නම් වෙළුම (twist) අපට සම්මුඛ වීමයි. අප අමතක කල දෙයක් නැවත අපටම හමුවීමයි. අප යහපත් යැයි සිතු සංකේතනය තුලින්ම යථ ඉස්මතු වීමයි. එනම් දෙවියන් යක්ෂයා බවට පෙරලීමයි.  Hitler: The Rise of Evil (2003) නම් චිත්‍රපටය අපට බලද්දී පැහැදිලි වන්නේ එය නොවේද?

විසිවන සියවසේ එදිනෙදා ජීවිතය වසාගෙන සිටි පොත්ත අප ඉවත් කර බැලුවහොත් අපට මුණ ගැසෙන්නේ යථාවයි. දහ නව වන සියවස පුරා පැතිර ගොස් තිබුණේ නව මනෝ රාජිකයක් පිළිබද සිහිනයයි. කතිකාව තුල තිබුණේ මාක්ස්වාදය, ලිබරල්වාදය, පුද්ගල නිදහස, ව්‍යවස්ථා කෙටුම්පත් පිළිබද සංවාදයකි. නමුත් එම පොත්ත හිට්ලර් විසින් ඉවත් කර ජාතීන්ගේ තරඟකාරී අරගලය ඉස්මත්තට ගෙනෙන ලදී. එයින් සියල්ල වෙනස් වී ගියේය. යථාර්තය වෙනුවට ඔහු යථාවේ නියෝජනය බවට පත් විය. ලංකාවේද යහපාලනය මුලින් කතා කලේ ව්‍යවස්ථාව වෙනස් කිරීම, විධායක බලය අඩුකිරීම, ජාතීන්ගේ අයිතිය සුරැකීම, ජනමාධ්‍ය නිදහස, පුද්ගල නිදහස වැනි මාතෘකා ය. අද එම මාතෘකා කතිකාවෙන් ඉවත් වී ඒ තැනට විධායක බලය දිගටම තබා ගැනීම, චන්ද දිගින් දිගටම කල් දැමීම, තම හිතවතුන්ට දිගට හරහට කෝටි ප්‍රකෝටි ගණනින් සැලකීම, සහෝදරයින් ලාභ ලබන තැන්වලට පත් කිරීම වැනි ඒකාධිපති ගමනක පෙරනිමිති දකින්නට ඇත. හිට්ලර් ගොබෙල්ස් හරහා කළා සේම වන්දි භට්ටයන් හරහා පුද්ගල අභිනන්දන ගායනා කරගැනීමද සුලබ දසුනකි. එවන් අභිනන්දන කියන අය හට සන්නිවේදන සංඛ්‍යාත නොමියලේම ලැබේ. මුදල් ගරා ගැනීමට පහසුකම්ද ලැබේ. මේ සියලු රෝග ලක්ෂණ නව සමස්තතාවාදයක (totalitarianism) නැගීමක පෙරනිමිතිය. රාජපක්ෂ රෙජිමයෙන් කිසිවක් වෙනස් නැත. සියල්ල ඒ ආකාරයෙන්ම ඉදිරියට යයි.  බටහිරට ද අවශ්‍ය තමාට කීකරු ඒකාධිපතියන්ය. නමුත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයයේ භාෂාව කතා කරනවා නම් වඩාත් හොදය.    

            ෆැන්ටසිය ක්ෂිතිය යථාව ෆැන්ටස්මතිකය 

ඕනෙම මොහොතක අපගේ ෆැන්ටසිය විසින් අපටම යථාවක් විය හැකි දෙයක් නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාවය සහිතය යන්න අප අමතක කල යුතු නැත.  එක නිශ්චිත නිමේෂයක ජර්මන් ජාතියේ ෆැන්ටසිය බවට පත්වූ හිට්ලර් එක්වරකම රාක්ෂ වෙස් ගත්තේය යන්න අපගේ ඉතිහාස පාඩමයි.  නොබෙල් තෑග්ග දිනු සන් සුකී බුරුමයේ කලේ කුමක්ද? මුස්ලිම් ජාතිය අතුගා දැමීමට කටයුතු කිරීමයි. ජිජැක් සඳහන් කරන්නේ ෆැන්ටසිය සහ ක්ෂිතිය අතර ඇත්තේ කෙස් ගසක දුරක් බවයි.  ක්ෂිතිය ඊළගට ගමන් කරන්නේ ෆැන්ටස්මතිකය වෙතය. සංකේතිය ලෝකයේ හොදින් කතාබහ කරමින් -ආදරය කරමින් -හිතවතුන්ට උදව් පදව් කරමින් -පාටි දමමින්-විෂාදයට බෙහෙත් බොමින්  සිටි මිනිසෙක් එක්වරම බෙහෙත් පෙති බීම පසෙක තබා ලොස් ඇන්ජෙලිස් හි කුළුණක් උඩට නැග තුවක්කු දහයක් පහළොවක් රැගෙන දිගට හරහට වෙඩි තැබීමට පටන් ගනී. මෙතෙක් ඔහු අත තිබු සහ අප අත ඔහු ගැන තිබු සිතියම් සියල්ල ඔහු වෙනස් කර දමයි. පුනරුද ආලෝකයෙන් එකවිටම මිනිස් විෂය උමතුව කරා ගමන් කරයි. උමතුවේ නිශේදනය ඔස්සේ පරිකල්පනයටත් පරිකල්පනය ඔස්සේ සංකේතනය වෙතත් මිනිසා නිරන්තර යෙන් මාරුවෙන් මාරුවට ගමන් කරයි. ප්‍රමෝදයෙන් මරණය වෙතත් මරණයෙන් අමරණිය බව වෙතත් ඔහුට ගමන් කල හැකිය.  සියල්ලට මුල් වන්නේ මරණ ආශයයි (death drive). මනෝ විශ්ලේෂණයේ සිතියම් විද්‍යාව යනු එයයි. එම සිතියම් විද්‍යාව අපට තේරුම් ගැනීම මෛත්‍රිපාල විසින් පහසු කරනු ලැබ ඇත. ඔබට ස්තුතියි!  

බැසිල් රාජපක්‍ෂ හා සිරසේ සංඛ්‍යාත හොරකම..

සිරස බැසිල්ට පහර දීමට ලෝක ප්‍රවෘත්ති සම්ප්‍රදායන් පවා කඩා දමමින් ප්‍රවෘත්ති විකාශය අතර තුර ප්‍රවෘත්ති කියවන්නන්ගේ ද ඉල්ලීමකින් තොර ව මැදිරයට කඩා පැන කළේ වළං කඩේට ගිය පින්ගොනා කළ දේම ය. බැසිල්ට ඇණගෙ ඇණගෙන ගියේ ය. හතර වටේ ගියේ ය. මල්වාන ඉඩ‍මේ සිට දිවිනැගුම හරහා ජී අයි බට දක්වා ගියේ ය. එහෙත් පොඩි වූයේ කාගේ වළං ද? සිරසේ ම වළංම ය. බැසිල්ට කුමන අවලාද නැගුව ද ඔහු ඉතා නිවැරදි ව කළ චෝදනාවට පමණක් සිරසට පිළිතුර දීගත නොහැකි විය. අප අසන්නේ සිරස ජාතික සංඛ්‍යාත හිමි කර ගත්තේ කෙසේ ද යන්න ය.ව්‍යාජ දූෂණ විරෝධී සටන් පාඨ ගෙන රටපුරා යන සිරස එය හෙළි කළ යුතු ය.

රුපියල් බිලියන 5ක් හෙවත් කෝටී 500ක් පමණ වටිනා ජාතික සංඛ්‍යාත පරාස එක් මාධ්‍ය සමාගමකට පමණක් අතයටින් දීම ලංකා මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දූෂිත ම වංචාවයි. අදාළ සංඛ්‍යාතයක් හිමි කර ගැනීමට නම් ටෙන්ඩර් පටිපාටියේ දී ලකුණු 60කට වඩා ලබාගත යුතු ය. එහෙත් සිරස එය ලබා ගන්නේ එකදු ලකුණක් හෝ නොගෙන ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව බව ඔබ දන්නෙහි ද?. මීට එරෙහි වූ මුහුන්න් කානගීට තම ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. මේවාට ඉඩ දිය හැකි ද? මෙහි ඛේදවාචකය නම් අනාගතයේ දී සිදු කරන ජාතික ඩිජිටල්කරණ මෙහෙයුමේ දී මෙම සංඛ්‍යාත ශ්‍රී ලංකා රජයට භාවිතයට ගැනීමට තිබූ අවස්ථාව දැන් එක් පුද්ගලයෙකුට පමණක් හිමිවීමයි. බොහෝ අය එවක අවලාද නැගූ නෙළුම් කුළුන ඉදි කිරීම සැලසුම් කළේ ඉහත ජාතික ඩිජිටල්කරන මෙහෙයුමේ එක් ප්‍රධාන පියවරක් ලෙස බව ඔබ නොදන්නවා විය හැකි ය. එහෙත් එය ඉදි කොට අවසන් වන විට එම කුළුන හරහා ලංකාව පුරා එකම තැනකින් බෙදා හැරීමට නියමිත ව තිබූ සංඛ්‍යාත පරාසයන් දැන් ජාතියට අහිමි කර තිබේ. ඒ අනුව, අනාගතයේ දී රජයකට ද සිදු වන්නේ මහාරාජා හරහා සංඛ්‍යාත ලබා ගැනීමටයි. අනෙත් කාරණය නම්, මෙවා හිමි සමාගමකට ලංකාවේ මාධ්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යා හැකි වන වා පමණක් නොව අනෙත් සියළු මාධ්‍ය ඊට යටත්ව කටයුතු කිරීමට ද සිදුවීම ය. එහෙත් මේ ගැන සෙසු මාධ්‍ය පවා නිහඬ වීම පුදුම සහගත ය. එවන් තත්වයක් තුළ මේ පොදු සම්පත මහාරාජා සමාගම සිරිසේනගේ සහායෙන් මංකොල්ලා කන ලද බව බැසිල් විසින් හෙළි කිරීම සිරස නම් ගැරඬිාට භූමිතෙල් ගැසුවාක් වැනි වී තිබේ.
සිරස තම මාධ්‍ය කඩතුරාවට වහං වී තම සොරකම් වසාගෙන සිටීම රටට හෙළි කිරීම ඇරඹිය යුතු ය.
ඇත්ත වශයෙන් ම මහාරාජා සමාගම ලංකාවේ ජාතික සංඛ්‍යාත හොරකම් කොට ජාතියට කළ ඒ මහා නින්දා සහගත පාඩුව ගැන ලංකාවේ පළමු වරට දේශපාලකයෙකු ලෙස ප්‍රසිද්ධියේ හෙළි කර සිටියේ බැසිල් පමණි. අවාසනාව වන්නේ මේ ප්‍රසිද්ධ සොරකම ගැන ලංකාවේ බොහෝ දෙනා හොඳින් දැන සිටියදීත් ඒ ගැන වචනකුදු කතා නොකිරීම ය. දේශපාලකයින් හෝ මාධ්‍යවල දූෂණ විරෝධී වීරයින් ලෙස කටමැණ දොඩවන සංවිධාන හා පුද්ගලයින් සිරසේ සොරකම ගැන දැන දැන ම හෙළි නොකර සිටින්නේ ඔවුන්ට මාධ්‍ය ආවරණ අහිමි වේ ය යන බියෙනි. මෙසේ බියගුළු විය යුතු ද? මීට තිතක් තැබිය යුතු ය. මාධ්‍ය පුද්ගලික වුව ද ඔවුන් ක්‍රියාත්මක වන්නේ ජාතියට අයත් මහජන සංඛ්‍යාත තුළ ය. බසය පුද්ගලික වුන එය දුවන්නේ, රජයේ මහාමාර්ගවල රජයේ බලපත්‍රය යටතේ මෙනි. ඒ අනුව, කිසිවෙකුට පිස්සු කෙළිය නොහැකි ය. බිය වැද්දිය නොහැකි ය. අපි බිය නොවෙමු. තර්ජනවලට තැති නොගනිමු. බැසිල් රාජපක්‍ෂට බිය වන්නට දෙයක් නැත. තමන් ගැන කුමන අවලාද නැගුව ද ජාතියෙන් එක් සතයකුදු සොරකම් කර නැති බව බැසිල් දන්නේ ය. කිසිවෙකු නොකළ දෙය ඔහු කළේ එනිසා ය. අනාගතය බොහෝ දේ තීරණය කරනු ඇත.
– මහින්ද පතිරණ FB
---------------------------------------------------------------------------
[සත්‍යය මිස අන් කිසිවක් නොපවසමි යැයි දිව්රා ප්‍රකාශ කල ජන මාධ්‍ය පකිර්ලා දැන් කොහිද යන ප්‍රශ්නය පමණක් අපට මෙතැනදී ඇසීමට ඉතුරුවී ඇත .. යහපාලනය යනු හොරකම් කිරීමට ජනතාව දුන් ලැයිසොමක් නොවන බව මේ ජනතා මුදල් සොරාකන තක්කඩියන් තේරුම් ගත යුතුය. හොදම හැකර්ලා පවා අද ඉන්නේ යහපාලනය පැත්තේය. කවුරු කලත් වැරැද්ද වැරද්දමය. බැසිල් ලා සමග අප එකඟ නොවුනත් මළමිනිය කිවිසුම් හැරීමට පටන් ගතහොත් එවිට අප කුමක් කරන්නද? ]

Friday, September 15, 2017

පෙරදිගින් බටහිරට ගිය ගුප්ත අවිඥාණය

ඇන්ජලිනා ජොලී ගේ ශරීරය පුරා ඇති පච්ච සලකුණු පිලිබඳ චායාරුපයක් ඩේලි මේල් වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබුණි. ඇගේ පච්ච සලකුණු වලින් අති බහුතරයක් නිරුපණය කරන්නේ පෙරදිග බුද්ධාගමේ ඉගැන්වීම් හෝ එහි කියමන් ය. අරාබි කියමන් කිහිපයක්ද එහි ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ රාජිත ඇමතිතුමා කියන්නාක් මෙන් බටහිර විසින් බුද්ධාගම වැළඳ ගනිමින් ඇති බවද, නැත්නම් යටපත් කල යථාවක් ෆැන්ටස්මතිකයක් ලෙස නැවතත් ඉස්මතු වන බවද? පෙරදිග මානසික අධ්‍යාත්මය (mind) ඇයට ශරීර නිරුපණයකි (body). ඇයගේ අවිඥානය බටහිර යථාව (පෙරදිගින් ආනයනය කල) නම් ඇය කියන්නේ ඔවුන් යටපත් කිරීමට උත්සාහ කරන දෙයින් ඔවුන්ට ම ගැලවිය හැකි නොවන බව නොවේද? ඇය කාම්බෝජයේ දරුවෙකුගේ කැපකරුය. බටහිර නාගරිකත්වයේ කේන්ද්‍රයේ ජිවත් වන ඇයට අපේ දුප්පත්කම ආභරණයක්ද? නැත්නම් තවත් එක් අතිරික්තයක්ද? ඇගේ සමාජසේවා ජීවිතය යනු බටහිර සුරාකෑමේ ඓතිහාසික වරදකාරිත්වයේ ප්‍රකාශනයක්ද? සිතා බලන්න.



Thursday, September 7, 2017

මුලික විය යුත්තේ මිනිසාද වන සතුන්ද?

ව්‍යාජ මුහුණු පොත් පරිසරවේදීන් ගේ තර්ජන වලට බිය නොවී මහ පොළොවේ ඇත්ත සමාජ ප්‍රශ්න කතාකිරීමට නිර්භීත වූ ජාතික හෙළ උරුමයේ පහත ප්‍රකාශය අගය කල යුතුය. වන සතුන් සම්බන්ද මේ ගැටලුව අප මිට කලින් කතා කර තිබුණද මාධ්‍ය අවධානය දිනාගත්තේ කරුණාරත්න පරණවිතාන ගේ ප්‍රකාශයෙන් පසුවය. කෙසේ වුවද ගම විගලිත වීම යන කරුණ අපේ පැත්තෙන් ධනාත්මක දෙයකි. වන සතුන් නිසා ඇතිවන වගා විනාශය අති මහත් බැවින් සහ ඒ ඔස්සේ ගොවියන්ගේ ඇත්ත ප්‍රශ්නයට ප්‍රකාශ වීමට ඉඩ දීම තුලින් හෙළ උරුමයට ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාජ සටන් පාඨ 'හයිජැක්' කිරීමට හැකිවේ. එය ඔවුන්ගේ ජයග්‍රහණයකි.  



----------------------------------------------------------------------------------------------------------------
 මිනිසුන් අවැදගත් වී වනසතුන් වැදගත්වීම හා ගම අරාජිකවීම.
පසුගිය දා බලංගොඩ ප‍්‍රාදේශිය සංවර්ධන කමිටු රැුස්වීමේ දී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එම සභාවෙන් මතු වූ ප‍්‍රශ්නයට ලබාදුන් ආවේගාත්මක පිළිතුර සම්බන්ධයෙන් විවිධ මත අදහස් විවේචන පළවෙමින් ඇත. ෆෙස්බුක් සමාජ වෙබ් අඩවි හා මාධ්‍ය තුළ එම අදහස් දැක්වීමට විශාල වැදගත්කමක් ලබාදී තිබිණි. මෙම අදහස් දැක්වීම පිළිබඳ උරණ වූ පිරිසක් පරණවිතාන ඇමතිතුමාට අවිචාරවත්ව තඩි බාමින් ඇත. මෙම ආණ්ඩුවේ ඇමතිවරු කරන ප‍්‍රකාශ අල්ලාගෙන අතට අසුවෙන  ඕනෑම දෙයකින් ගසා දැමීමේ කි‍්‍රයාවක නිර්ලජ්ජිත, පරාජිත රාජපක්ෂවාදීන් කටයුතු කරමින් ඇත.
පරණවිතාන ඇමතිතුමාගේ මෙම ප‍්‍රකාශයට එම සභාවේ සිටි භික්ෂුන්වහන්සේලා ඇතු`ඵ එම ගැට`ඵවට මුහුණ දී සිටින ජනතාව විරෝධතාවයක් පළ නොකළ අතර නිහ`ඩව එයට අනුකූලතාවය පළ කළේය. ෆෙස්බුක් පරිසරපේ‍්‍රමීන් සත්ත්ව පේ‍්‍රමීන් ආගමික පේ‍්‍රමීන් දැන් කරුණාරත්න පරණවිතාන මැරීමට හා මස් කිරීමට උත්සාහ කරමින් ඇත. ආගම විද්‍යාව හා මිත්‍යාව පටලවා ගනිමින් උනිතවාදීව මොණර රැුගුම්පාමින් ජාතික හෙළ උරුමයේ සුජාතභාවය හා ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන ඇත. මිනිසුන් අවැදගත්වී වනසතුන් වැදගත් වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට අවශ්‍ය නම් දුෂ්කර ප‍්‍රදේශවල ගම්වල තිබෙන යථා තත්ත්වය දැන ගැනීමට ගම්වලට යා යුතුය. ඒ ගම්වල මිනිසුන් සමග ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කළ යුතුය.
ලංකාවේ මිත්‍යා විශ්වාසයන්ගේ ආගමික විශ්වාසයන්ගේ වේගවත් වර්ධනයක් ඇතිවූයේ ප‍්‍රචණ්ඩ ගැටුම් මැද දීර්ඝකාලීන අශිලාචාරත්වයක් රටේ රජකළ වකවානුවේදීය. එම පසුබිම මිත්‍යා විශ්වාසයන්ට හා ආගමික විශ්වාසයන්ට සමාජ නැඹුරුව ශක්තිමත් කළේය. ඒ සඳහා විශාල වෙළෙඳපොලක් ගොඩනැගුණු අතර මිත්‍යා විශ්වාස විකිණීම මහා පරිමාණයෙන් කෙරෙන ඡුාවාරමක් බවට ද පත්විය. අද වනවිට දුෂ්කර ප‍්‍රදේශවල පමණක් නොව නාගරික ප‍්‍රදේශවල ඇති ගම්මාන වල යථාර්තය කුමක්ද? ගම ආරාජිකවීමට බලපා ඇති වනසතුන්ගේ කඩාවැදීම හා ආක‍්‍රමණය කිරීම කෙසේදැයි ෆෙස්බුක්වාදීන් විචාරශීලිව මහපොළොවට බැස බැලිය යුතුය. වල් ඌරන්, ඉත්තෑවන්, රිළවුන්, වඳුරන්, මොණරුන්, වල් අලින් වැනි වල් සතුන්ගෙන් වන හානිය නිසා වගා කිරීම් අතහැර තිබෙන රටේ මු`ඵ ඉඩම් ප‍්‍රමාණය අක්කර දස දහස් ගණනක් විය හැකිය.
එමගින් කෘෂිකර්මයට රටේ ආර්ථිකයට පොදුවේ සිදුවී තිබෙන හානිය ගණන් බලන්නේ නම් ලැබෙන උත්තරය සටහන් කිරීමට සිදුවනු අත්තේ රුපියල් මිලියන ගණනින් නොව  බිලියන ගණනිනි. රටේ ආහාර නිෂ්පාදනය 25%-35% අතර ප‍්‍රමාණයක් වන සතුන් කාදැමීම හෝ විනාශ කිරීම සිදුකරයි. රටේ කිඹුලන් ගණනය ද වේගවත් වර්ධනයක් දකින්නට තිබෙන අතර මිනීකන කිඹුලන් නිසා සමහර ගංගා ඇළවල් ජලාශ හා පාරවල් මිනිසුන්ට පරිහරණය කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත. කිඹුලන් මරණ මිනිසුන්ට එරෙහිව දැඩි ද`ඩුවම් ලබාදෙන ප‍්‍රතිපත්තියක්ද රටේ කි‍්‍රයාත්මක වෙයි. දැන් මොණරුන් ජීවත්වන්නේ වනාන්තර වල නොව ජනාවාස වලය. රිළවුන් හා වඳුරන්ගෙන් වගාවන්ට පමණක් නොව සමහර ප‍්‍රදේශවල ජන ජිවිතයට ද එල්ල වී තිබෙන තර්ජනය අතිවිශාලය. රිළවුන්ගේ සහ වඳුරන්ගේ ආක‍්‍රමණික ස්වරූපය නිසා වගාකළ දේවල් පමණක් නොව උ`ඵ සෙවිලි කළ ගෙවල් වල වහලවල් ද විනාශ කරයි.
මේ නිසා විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව විශාලය. වඳුරන් රිළවුන් පලවාහැරීම සඳහා රතිඤ්ඤා සහ අහස්කූරු වලට වැය කිරීමට සිදුවී ඇති මුදල ද එම ප‍්‍රදේශවල ජනතාවට අමතර බරක් වී ඇත. අතීතයේ දී දඩාවතේ යන බල්ලන් අල්ලාගෙන ගොස් උන් මරාදමන වැඩසටහනක් පළාත් පාලන ආයතන වලට තිබිණි.
චන්ද්‍රිකා පාලන කාලයේ දී එම වැඩසටහන අත්හිටුවන ලදි. දඩාවතේ යන බල්ලන්ගේ වේගවත් වර්ධනයක් ඇතිවීමට එම තීරණය හේතු වූ අතර මෙම දඩාවතේ යන බල්ලන් නිසා රිය අනතුරු හා මෝටර් සයිකල් අනතුරු වැඩිවීම ද බලපා ඇත. දඩාවතේ යන බල්ලන් අරක්ගෙන සිටින රාජ්‍ය ආයතන, පොදු ස්ථාන හා පාසල්, විශ්ව විද්‍යාලවල බලූබෙටි ඉවත් කරන්න සිදුවී තිබෙන්නේද එම පාසල් වලට යන සිසු දරුවන්ටය. ගෙවල් වල ගෑනුන්ට ද අමතර රාජකාරියක් මේ නිසා පැවරී ඇත. දඩාවතේ යන බල්ලන් සපා කෑ අවස්ථා එමටය. දඩයමට හුරු වූ බලූ රංචු වලින් ගම්වල පාරේ යන දරුවන්ට සිදුවන අනතුරු විශාලය. තමන්ගේ පෞද්ගලික වාහන වලින් ගමන් බිමන් යන බලූ පේ‍්‍රමීන්ට නම් මෙය ප‍්‍රශ්නයක් නොවේ. බල්ලන් සපාකෑම නිසා පිස්සු බලූ එන්නත් සඳහා රජයට දැරීමට සිදුවී ඇති වියදම විශාලය.
මීට පෙර ගම්වල තුවක්කු තිබුණේය. රිළවුන්ට, වඳුරන්ට, ඌරන්ට, මොණරුන්ට, කිඹුලන්ට, ඉත්තෑවන්ට වෙඩිතබා උන්ගේ මස් ආහාරයට ගත්තේය. එම නිසා එම සතුන්ගේ ගණයට පාලනයක්ද ඇතිවිය. මේ ලියුම්කරුගේ ගමේ වත්තේ එක මුරයකට පොල්ගෙඩි 650ක් පමණ කැඩූ අතර එය අද 150දක්වා අඩු වී ඇත්තේ රිළවුන් හා වඳුරන් කඩා දැමීම නිසාය. එයට විසඳුමක් ලෙස වායු රයිෆලයක් මිළඳී ගැනීමට වෙළඳපොලෙන් විමසා බැලූ විට රුපියල් 50,000වැනි මුදලක් වැය වන බව දැනගන්නට ලැබිණි. රටේ පසුගිය කාලයේ ඇති වූ කැරලි කෝලහාල නිසා ගෝවීන් ළ`ග තිබු තුවක්කු කැරලිකරුවන් අතට පත්වීම නිසා ක‍්‍රමානුකූලව වගාවන්ට හානිකරන සතුන් මැරීම, උන්ගේ මස් ආහාරයට ගැනීම වරදක් ලෙස සළකන ආකල්පයක් සමාජය තුළ අසීමාන්තික ආගම්වාදීන් විසින් ඇතිකරන ලදි.
මේ නිසා වල්සතුන්ට  ඕනෑදෙයක් කරන්නට ඉඩ දී නිකන් බලාසිටින හා පසුබා සිටින තත්ත්වයක් පසුගිය කාලය පුරාවට අප සමාජය තුළ ඇති වී ඇත. වල්ඌරන් මැරීමට ඉඩදෙන හා උන්ගේ මස් ළ`ග තබා ගැනීමට ප‍්‍රවාහනයට හා විකිණීමට ඉඩදෙන ප‍්‍රතිපත්තියක් ඇතිකළ හොත් එමගින් කිසියම් පිරිසකට හොඳ ජීවන මාර්ගයක් විවර වනවා නොව රසවත් ස්වාභාවික මස් ආහාරයට ගැනීමට ද අවස්ථාවක් සැලසෙනු ඇත. ලංකාවේ වනාන්තරවල ඇතිකළ හැකි හා දැරිය හැකි අලින්ගේ සංඛ්‍යාව 4000කි. එහෙත් ලංකාවේ අලි ගණනය 7000කි. අලි මිනිස් ගැටුම කෙරෙහි වඩාත්ම බලපා තිබෙන්නේ එම සාධකයයි. ජාත්‍යන්තර අත්දැකීම් ගෙන බැලූ විට  ඕස්ටේ‍්‍රලියාවේ කැන්ගරු ගහණය වැඩි වූ විට එය පාලනය කිරීමට කැන්ගරුවන් මරා දමයි. කෙන්නියාවේ අලි ගහණය වැඩි වූ විට අලි මරාදමා එය පාලනය කරයි. ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයෙහි මුව ගහණය වැඩි වූ විට මුවන් මරා දමයි.  ඕනෑම සත්ත්ව වර්ගයක ගහණය වැඩිකළ විට එය පාලනය කළ යුතුය. මිනිසුන්ට ද එය එසේමය. එබැවින් මිනිසා අවැදගත්වී වනසතුන් වැදගත්වීමේ අවිචාරවත් මේ ආකල්ප වෙනස්කර ගැනීමට කාලය එළඹී ඇති අතර ගම ආරාජිකවීමට ඉඩ නොදී අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීන්දුතීරණ ගැනීම රජයේ වගකීම වන අතර පුහුඝෝෂාකාරීන්ගේ මනස්ගාත හා ෆැන්ටසි වලට යට නොවී කළ යුත්ත කිරීමට නිර්භිත විය යුතුය.
නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
පළාත් සභා මන්තී‍්‍ර

Thursday, May 25, 2017

සනත්: පැවැත්මේ අතිරික්ත ප්‍රමෝදය...

ලිංගික ක්‍රියාවකින් මිනිස් විෂය සතුට සහ සංතෘප්තිය අපේක්ෂා කෙරේනම් එම ක්‍රියාව ට අමතරව එම මිනිස් ක්‍රියාව ම එම තෘප්තියට භාජනය වන්නා විසින්ම වීඩියෝ පටයකට නගන්නේ ඇයි යන ගැටලුව මෙම අධි තාක්ෂණ යුගය තුල සනත් ජයසුරිය විසින් නැගිය යුතු ප්‍රශ්නයකි. තෘප්තිය අහිමි මෙම පසු නුතන යුගය තුල අධි තාක්ෂනය අපගෙන් ඉල්ලා සිටින්නේ 'විනෝද වන්න!' කියාය. ක්‍රිකට් පිටියේ සෑම දෙයක්ම අනෙකාගේ නිරීක්ෂය වෙනුවෙන් සකස් වී ඇති නිසා එම පොදු අවකාශය පිළිබද ගැටළුවක් නොතිබුණද තමන්ගේ නිදන ඇඳ සහිත කාමරය පුද්ගලික අවකාශයකි. අප විපරිත ලෙස යතුරු හිලකින් එම කාමරය තුල සිදුවන දෙය බැලීමට ආශා කරමු (නමුත් ශිෂ්ට මිනිසුන් එසේ නොකරයි. අශිෂ්ටයෙක් එසේ කලද අප ගණන් ගත යුතු නැත). තත්වය එසේ වුවද සනත් විදිමින් ඉන්නේ මිනිස් ලිංගිකත්වයේ උත්තරීතර යමක් නොව එහි විපරිත අන්තර්ගතයක් වන අතිරික්ත ප්‍රමෝදයකි. එනම් ලිංගිකත්වයට වඩා වැඩි දෙයකි. මුහුණු පොතේ එය ජනප්‍රිය වන්නේ ඔහුගේ අතිරික්ත ප්‍රමෝදය සොයාය.  සනත්ටමත් ගැටළුවක් වන තම පැවැත්මේ අතිරික්ත ප්‍රමෝදය (මෙම වීඩියෝවේ සනත්ගේ අර්ථය එයයි) ඔහුව නිරීක්‍ෂ කරන්නවුන්ට සොයාගත හැකිවේද?   

Friday, May 5, 2017

සන්නිවේදන ධනවාදය සහ ප්‍රකාශනයේ නිදහස

ලිබරල් ධනවාදය අපට බොහෝ දේ සන්නිවේදනය කිරීමට අවකාශ දී ඇත. වෙනත් විදියකින් කිවහොත් පශ්චාත් ලිබරල් ආර්ථිකය විසින් නව ඩිජිටල් පොදු අවකාශයක් නිර්මාණය කර දී ඇත. ඒ සෑම අවකාශයක ම අයිතිය ආපසු හිමිවන්නේ ඩිජිටල් උපකරණ, මුහුද යට ඔප්ටික් කේබල්, ගුවන්-අභ්‍යවකාශ කැමරා, ඩිජිටල් තිර, අධි සන්නිවේදන උපකරණ, ඩිජිටල් සංඛ්‍යාත වල අයිතිය හොබවන ලිබරල් ධනවාදී වෙළඳපල ටය. මිනිසා වඩ වඩා එකතුවෙමින් සිටින්නේ මෙම 'නව ප්‍රජාතාන්ත්‍රික අවකාශය' වටාය. මේ අනුව සන්නිවේදන ධනවාදය (communicative Capitalism) විසින් සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සුන්නත් කර ඇත යන්න ජෝඩි ඩීන් නම් විචාරිකාව පවසයි. අද දවස වනවිට මෙම සන්නිවේදනය කොතරම් ප්‍රබලද යත් එය වාමවාදයේ සිට ආණ්ඩු පෙරළීම දක්වා ඕනෑම දෙයක් සිදුවීමේ ශක්‍යතාවයක් දක්වා අද විහිද ගොස් ඇත. කිසිවෙකුට තමා කරන්නේ කුමක්ද යන්න පිළිබදව මාලිමාවක් නැත. උදාහරණ ලෙස වේගයෙන් වෙනස්වන ෆැන්ටසි ලෝකයක අසීමිත නිදහසක් ඔස්සේ අපි යහපාලනය පෙරළීමට මුහුණු පොත ඔස්සේ එකාවන්ව එක්සිත්ව එකතුවමු. ඒ එකතුව ඔස්සේ අන්ත ජාතිවාදයක් නැවතත් අභිෂේක කිරීමට මාන බලමු. කුණු ගැටළුවේ සිට සයිටම් දක්වා ගැටළු පරාසයක්ද මේ නව සන්නිවේදකයන්ට ඒ සඳහා හමුව ඇත. මහින්දගේ මැයි රැළියේ සෙනග දැක නිර්මාල් වැනි සමහර දේශපාලන විශ්ලේෂකයින් හතර ගාතේ දමා මේ සන්නිවේදන යුගය තුළ බිමට පාත්වී ඇත. ජාතිවාදය ඉදිරියේ ධෛර්ය සම්පන්නව න්‍යායිකව නැගිටිනවා වෙනුවට නිර්මාල්ගේ හදිසි තත්‍යසමාන සන්නිවේදනය ගැඹුරු මෙලන්කොලික බවක් ජනනය කරයි. මෙවන් තීරණාත්මක අවස්ථාවල අපට අවශ්‍ය ජවසම්පන්න මාක්ස්වාදී බුද්ධිමතුන් මිස සෙනග දැක මළානික වන මෙවන් 'විරාගයේ' අරවින්ද වන් පරාජිතයින් නොවේ.  මොනතරම් අවුල් වියවුල් තිබුණත් යහපාලනය තවමත් ජාතිවාදය විසින් ගිලගෙන නැත. ගිලගැනීමට හැදුවත් එයට තවමත් හෘද සාක්ෂියක් ඇත (යහපාලන ආගමනය යනු ඊජිප්තුවේ අරගලය මෙන් අසාර්ථක එකක් නොවේ). මේ යුගයේ ධනවාදය අපව පොළඹවන්නේ සන්නිවේදනය දෙසටය. එවිට අප වටේ ඇති ආචාර ධාර්මික අන්තර්ගතය අපට ඩේවිඩ් ලින්ච් ගේ Blue Velvet (1986) චිත්‍රපටයේ මෙන් අමතක වී යයි. කළුවර කාමරයක අශ්ලීල සන්නිවේදනයක සිටින අපට අශ්ලීල බවේ තීව්ර බව විසින් සදාචාරය අමතක කරවනු ලබයි. දඩි බිඩියේ අප යමක් සන්නිවේදනය කිරීමට පෙර ඒ ගැන සිතිය යුතුය.  ජාතිවාදයේ පරාජය සහ ප්‍රබුද්ධ බවේ ජයග්‍රහණය ප්‍රර්ථනා කරන තවත් මිලියන ගණනක් වූ ප්‍රගතිශීලි මිනිසුන් වෙනුවෙන් නිර්මාල් සහ නිර්මාල් ගේ ප්‍රකාශ උපුටා දක්වන ජන මාධ්‍ය වග කියන්නේ කෙසේද?  සන්නිවේදන අන්තර්ගතය (communicative content) සත්‍ය ලෙසම සන්නිවේදනය වන්නේද නැත්නම් එය සේවය කරන්නේ වෙනත් ජාතිවාදී කොටසක අනාගත යහපත සඳහාද යන්න අප සන්නිවේදනය කිරීමට පෙර සිතිය යුතු නොවේද? අදහස් පැතිරවීම මෙම මුහුණු පොත් යුගය තුළ ඉතා පහසු බව නිර්මාල් හොදින් දනී. නමුත් අදහස පැතිර ගියාට (circulation of views) සිදුවන දෙයක් නැත යන්න ඉරාක යුද්ධයේදී ජෝර්ජ් බුෂ් විසින් ලෝකයට කියාදුන් පාඩමයි. සන්නිවේදන යුගය තුළ බුෂ්ට අනුව යුධ විරෝධී අදහසක් යනු තවත් බොහෝ අදහස් අතර තවත් එක අදහසකි. තත්‍ය සමාන අවකාශයේ මිලියන ගණනක් වූ ටෙරා බයිට් අතර තැන්පතු වූ තවත් එක අදහසක් නිර්මාල් දක්වා ඇත (කියවන්න ජෝඩි ඩීන් ගේ Communicative Capitalism:Circulation and the Foreclosure of Politics හි 52 පිටුව). යම් සමාජ කොටසක යුධ විරෝධී අදහස් මගින් බුෂ් ගේ ඉරාක ආක්‍රමණය නැවතුණේ නැත (අප මොන අදහස දැරුවද මහින්ද රෙජීමය යුද්ධය අතහළේ නැත). ඒ මගින් අඩුම තරමේ සංවාදයක් වත් මතුවුනේ නැත. යුද්ධය දිගටම ගලාගිය අතර සමුහ ඝාතක අවි කිසිවක් ඇමෙරිකාව සොයගත්තේද නැත.  නිර්මාල් පන්නයේ මෙම නිර්දේශපාලනික අදහස් වහ වහා පැතිරෙනු ඇති අතර ඒ ඔස්සේ නැවතත් මහින්දවාදීන් බලයට ගෙනෙනු ඇත (නිර්මාල්ගේ අදහස් නිසාම මහින්ද බලයට එන බවක් මින් අදහස් නොකෙරේ). පැවැත්ම වෙනුවෙන් අලුත් අලුත් සමාජ ෆැන්ටසි සොයමින් යන මෙම මාධ්‍ය සංඥා යුද්ධය තුල යහපත් අනාගතයක් වෙනුවෙන් සිතන්නවුන් නොපෙනී යනු ඇත. දේශපාලනයෙන් වියුක්තව කරන මෙම (නො) සන්නිවේදනය තුල අප නැවත වරක් මෝඩයන් විය යුතුද?


................................................................

 "නැවත වරක් අප මෝඩයන් බවට පත් නොවෙමු"


"Won't Get Fooled Again" (The Who) 


We'll be fighting in the streets
With our children at our feet
And the morals that they worship will be gone
And the men who spurred us on
Sit in judgement of all wrong
They decide and the shotgun sings the song

I'll tip my hat to the new constitution
Take a bow for the new revolution
Smile and grin at the change all around
Pick up my guitar and play
Just like yesterday
Then I'll get on my knees and pray
We don't get fooled again

The change, it had to come
We knew it all along
We were liberated from the fold, that's all
And the world looks just the same
And history ain't changed
'Cause the banners, they are flown in the next war

I'll tip my hat to the new constitution
Take a bow for the new revolution
Smile and grin at the change all around
Pick up my guitar and play
Just like yesterday
Then I'll get on my knees and pray
We don't get fooled again
No, no!

I'll move myself and my family aside
If we happen to be left half alive
I'll get all my papers and smile at the sky
Though I know that the hypnotized never lie
Do ya?

There's nothing in the streets
Looks any different to me
And the slogans are replaced, by-the-bye
And the parting on the left
Are now parting on the right
And the beards have all grown longer overnight

I'll tip my hat to the new constitution
Take a bow for the new revolution
Smile and grin at the change all around
Pick up my guitar and play
Just like yesterday
Then I'll get on my knees and pray
We don't get fooled again
Don't get fooled again
No, no!

Yeaaaaaaaaaaaaaaaaaaaaaaaaah!

Meet the new boss
Same as the old boss


Monday, April 24, 2017

ජෙරමි කෝබියන් සම්මුඛ සාකච්චාව

ගෝලීය සාමය පිළිබදව තවමත් විශ්වාසය තැබිය හැක්කේ විසිවන සියවසේ පරමාදර්ශ කෙරෙහි තවමත් විශ්වාසය තබන බ්‍රිතාන්‍ය විපක්ෂ නායක ජෙරෙමි කෝබියන් වැනි නායකයන් මතින් මිස ට්‍රුම්ප් වැනි වැල යන අතට මැස්ස ගහන, යුද්දෙට හෝයියා කියන, හදිසි බිස්නස්කාරයන් වෙතින් නොවේ යන්න මෙම සාකච්චාව තුළින් ඔප්පු වේ. ඔහු අවධානය කරන එකම දෙය නම් මුලධර්ම (principles) මත පිහිටා (ප්‍රතිපත්ති මත) දේශපාලනය කිරීමයි (ට්‍රුම්ප්ට නැති එකම දෙය ප්‍රතිපත්ති නම් දෙයයි. අපිට නැත්තේ ද එයමයි). Brexit, Frexit වැනි නම් වලින් තනි රටට හුදකලා වීමට වලිකන, අන්ත දක්ෂිණාංශික ගේ තෝතැන්නක් වෙමින් මුළු යුරෝපය ම කණපිට හැරෙමින් යන මොහොතක, සත්‍ය යුරෝපිය වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම ඉතා දුෂ්කර කටයුත්තකි. ජයග්‍රහණය ඇත්තේ දුෂ්කර මාවත් දිගේ ඉදිරියට යන අයටය. මාවත දුෂ්කර වුවද ඔබට ජය පතමි!


Saturday, April 22, 2017

Coca Cola: මෙලන්කොලියාවෙන් අප ගලවා ගනීද (Is It)?

ම්කිසි ආශා වස්තුවක් සැමවිටම උත්කෘෂ්ට බවේ සිට බහිස්ශ්‍රාවිය බව අතර පරාසයක ස්ථානගත වී ඇත. උදාහරණ ලෙස 'කොකා කෝලා' බෝතලයක් අධික සිසිල් විමක තැබූ විට එය උත්කෘෂ්ට (sublime) දෙයක් වන අතර එය සාමාන්‍ය උෂ්ණත්වයේ ටික වෙලාවක් තැබුවහොත් එය දෙනවා යැයි පොරොන්දු වන 'සුවිශේෂ රසය' නැතිව ගොස් එය ඉවත විසිකර දැමිය යුතු බහිෂ්ශ්‍රාව්‍ය (excremental) දෙයක් බවට පත්වේ. එවිට අප තව දුරටත් එයට ආශා නොකරමු. කොළඹ අවට කුණු කඳු යනු මෙම ආශාව නිෂ්පාදනය කිරීම අවසන් වූ වස්තුන් ගෙන් පිරුණ තැන්ය (කොකා කෝලා කෑන් දහස් ගණනක් මෙම කුණු ගොඩවල් තුල ඇතුවාට සැක නැත).  තවදුරටත් ආශාව නිෂ්පාදනය කිරීම ට යම් වස්තුවකට නොහැකි නම් එය මෙලන්කොලික වස්තුවක් ලෙස ජිජැක් අර්ථකථනය කරයි. කුණු යනු ඒ අර්ථයෙන් මෙලන්කොලික දෙයක් යනුවෙන් අවශ්‍යනම් අපට කිවහැකිය. යමක් විසින් තම ආශාව නියෝජනය නොකරන්නේ නම් මිනිසා එයින් ඉවත් වීමට උත්සුක වීම ස්වභාවික දෙයකි. ලිබරල් ධනවාදය කොතරම් අර්බුදයට ගියත් මිනිසුන් වාමාංශික දේශපාලනය වෙත ආකර්ෂණය නොවේ. ලාංකික වමේ දේශපාලනයෙන් මිනිසුන් මෙතරම් ඈත් වන්නේ මන්ද යන්න අපට මෙහිදී තේරුම් ගැනීමට න්‍යායික මගක් ඇත. විසිවන සියවසේ සමාජවාදී රාජ්‍යයන්හි සිටි මිනිසුන් සහ ගැහැනුන් එම රටවල මියගිය ආශා නිෂ්පාදනය ධනපති රටවල කරා ප්‍රක්ෂේපණය කලේ 'කොකා කෝලා' නම් මතවාදී නිෂ්පාදනය  හරහා ය යන්න අප අමතක කල යුතුද? ඔවුන්ට අවශ්‍ය වුවේ සිහිනයක් මිස යථාර්තය නොවේ. නිෂ්පාදනය යනු හුදු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පමණක් නොව පරිභෝජනය සදහා පාර-භෞතික ආශාව නිෂ්පාදනය ද එහිම කොටසකි (රනිල්ගේ චුවින්ගම් යනු හුදු චුවින්ගම් ම නොවේ යනුවෙන් වම තේරුම් ගත්තේ නැත). වෙළඳ දැන්වීම් වල සිට නිල් චිත්‍රපට දක්වා වූ විශාල සංඥා කලාපයක ධනේශ්වර රටවල් සිය මිනිස් විෂයේ ආශාව දිග්ගස්සවා ගැනීම ට, ආශාව මිය යාමෙන් වලක්වා ගැනීම ට මෙතරම් වලිකන්නේ මන්ද යන්න ආර්ථික සමාජීය අර්ථයකින් දැන් පැහැදිළි යැයි සිතමු. විසි වන සියවසේ සමාජවාදය මේ අයුරින් මෙලන්කොලියාවක්ද යන්න තුන්වන ලෝකයේ සිට සමාජවාදය පිලිබදව මනෝරාජික මවන අප මුලින්ම විසදා ගතයුතු තත්වයක් ලෙස අප හඳුනා ගෙන ඇත. කුමන දුෂ්කර තත්වයක් යටතේ හෝ ආශාව මියගිය, සිහින මියගිය වමේ දේශපාලනය වෙනුවෙන් අප ට දියහැකි උපරිම දෙය ද එය විය හැකිය. අපි බලමු...  

දිනෙන් දින අර්බුදයට යන ලිබරල් වෙළඳපල වෙනුවෙන් තවත් ලෝක යුද්ධයක් වෙනුවෙන් ට්‍රුම්ප් ලා උමතුවෙන් පිස්සු කෙලින ලෝකයක ගාන්ධි ලා සිය දහස් ගණනක් අවශ්‍ය වී ඇති ලෝකයක් මෙය. ආශාව ගැන මොනවා කිව්වත්, පිටු දහස් ගණන් ගාන්ධි නිර්වචනය කිරීමට වැයකලත් ජිජැක් ට කිසිදා පෙරදිග ලෝකයේ ගාන්ධි තේරුම් ගැනීමට හැකියාවක් නැත. 


ජිජැක් ගේ අර්ථකතනය...  

Coca Cola Is It?

Saturday, April 15, 2017

මීතොටමුල්ල: කුණු කන්ද ගිණි කන්දක් වීම

නැවත වරක් බරපතල පරිසර ව්‍යසනයක් හමුවේ ලිබරල් රාජ්‍යය කොතරම් නොසුදානම් ද; කොතරම් නොපොහොසත් ද යන්න ඔප්පු කරන අවස්ථාවක් තමයි මීතොටමුල්ලේ පෙරේදා වෙච්ච් විනාශය. කෙළවරක් නැති පරිභෝජනයකට මෙම නපුංසක ලිබරල් රාජ්‍යය උල්පන්දම් දෙන ගමන් එම අසීමිත පර්භෝජනය කෙලවර තියෙන කුණු සම්භන්දයෙන් එම ලිබරල් වාදීන්ට උත්තර නැහැ. මීතොටමුල්ලේ මිනිස්සු වගේම අධි-පරිභෝජනයේ ඉන්න හැම කෙනෙක්ම නිකමනට වත් 'අපි අල්පේච්ච වෙමු' කියන්නේ නැහැ වැරදිලාවත්. සමස්තය ගැන හිතල අඩුවෙන් පරිභෝජනය කරන්න බලන්නේ නැහැ. මම කියන්නේ මේ 'ඉවතලන කුණු' (waste capitalism) සහ 'ඉවතලන මනුෂ්‍යත්වය' (wasted humanity) යන දෙකම මෙම අමානුෂික ලිබරල්වාදීන්ට දෙකක් නෙවි එකක්. පරිධියේ රටවල 'මිනිසුන්' කුණු වගේම ඉවත හලලා තියෙන්නේ (ඒ අය තවදුරටත් මිනිසුන් නොවේ). එහෙම කියන්නේ කීර්තිමත් සමාජ විද්‍යාඥයෙක් වන සිග්මන් බර්මන්. දැන් තියෙන්නේ තව 'තාප්පයක්' දකුණු ආසියාව වටාත් ඉදිකරන එක. ටික කාලෙකට පෙර දුෂණය වුන සේයා සදෙව්මි දැරිය (දැන් කාටවත් මතක නැහැ) සහ ඒකට සම්බන්ද කොණ්ඩයා (යන්තම් මතකයි) කියන්නේ මෙම ඉවතහළ මනුෂ්‍යත්වය පිළිබද උදාහරණ (වැඩිදුර කියවන්න සේයා, කොණ්ඩයා සහ ඉවතහළ මනුෂ්‍යත්වය). රතුපස්වල වගේම සාලාව එතනින් එහාට ගියපුවාම මීතොටමුල්ලත් එම ඉවතහළ පරිධියේ මිනිසුන්. මේ කතාව දිගට ගියාම සමස්ත දකුණු ආසියාවම එහෙමයි.  අපිට හිමිකම තියෙන්නේ බෝම්බ- මිසයිල් වලට දිනපතා ඉලක්ක වෙන එකට  විතරයි. අපි අධිරාජ්‍යට එරෙහිව සටන් කරන්න පටන් ගත්තොත් අපි නිකම්ම් ත්‍රස්තවාදීන් වෙනවා. ඩොනල්ඩ් ට්‍රුම්ප් ලට විතරක් නෙවි කුණු ගඳ ගහන්නේ නැතුව ජිවත් වෙන්න අපි හැමෝට ම අයිතියක් තියෙනව. මේ මියගිය මීතොටමුල්ලේ මිනිස්සු අධි සැර ජල පහරවල් කාගෙන කිව්වේ මෙම ප්‍රශ්නය තමයි. එකත් රතුපස්වල වගේම තමයි. අපේ ජනාධිපතිට මතක නෑ එයා පරිසර ඇමති කියල. සෘජු තීරණ එයා ගත යුතුයි කියල.  නාය ගිය අරණායක ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ (රාජ්‍ය නිලධාරීන් බල්ලට වැඩක් නැහැ. ශක්තිමත් රාජ්‍ය පාලකයෙක් විසින් ඉලක්ක ලබා දෙන්නේ නැති නිසා කාටවත් මොනවා කරන්නද කියල වගේ වගක් නැහැ. ඒ කියන්නේ සුදු ස්වාමියා හැරගිය පශ්චාත් යටත්විජිත රටක 'ස්වාමි හැඟවූමක්' නැහැ කියලත් කියන්න පුළුවන්. විශ්වීය අයුරකින් ක්‍රියාත්මක වෙන්න බැරි හේතුව තමයි කිසිවකුගේ 'ස්වාමි නිරීක්ෂය' අවශ්‍යයි අපි වගේ පසු-යටත් විජිත වලට). මෙම නපුංසක අමානුෂික බවේ ආරම්භය කොතනද කියන එක හැමෝම දන්නවා එත් නොදන්නවා වගේ ඉන්නවා. නමුත් පාලකයන් මතක තබා ගත යුතු එක දෙයක් තියෙනව. ඒ තමයි අක්‍රිය බව සක්‍රිය වෙන නිමේශයක් යම් මොහොතක උදාවෙනවා කියන එක. ඒ කියන්නේ මේ ප්‍රශ්න නම් 'කුණු' අන්තිමට ගිනි කන්දක් දක්වා ගමන් කරනවා. හැබැයි පාලක කරුමක්කාරයෝ දැනගත යුතුයි ගිණි කන්දක් කියන්නේ සක්‍රිය වියහැකි දෙයක් කියල. කුණු කඳු වුනත් මීතේන් වගේ වායු නිසා පුපුරලා යනවා. ජන මාධ්‍ය වලින් මේවා වහල දැම්මට හැමදාම එහෙම රවටන්න බැහැ. ජන මාධ්‍ය අල්ලාගෙන ටික දවසකට දේවල් මග අරින්න පුළුවන් තමයි (අරය කියනව මෙයා වැරදියි කියල, මෙයා කියනවා අරය වැරදියි කියල. හැමදාම ප්‍රශ්නය එතනමයි). එත් එක මොහොතක සියල්ල පුපුරා යාමට නියමිතයි. එතකොට එකත් ගිණි කන්දක් වගේ තමා. වතුර ගහල නිමන්න බැහැ... 

Wednesday, April 5, 2017

මුගාබේ නොවී මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කිරීම

මුගාබේ (මහින්ද රාජපක්ෂ) නොවී මැන්ඩෙලා  (මෛත්‍රිපාල සිරිසේන) ගෙන් ඔබ්බට ගමන් කිරීම අද දවසේ බරපතලම දේශපාලන අභියෝගයක් කියන එක ස්ලවොයි ජිජැක් ගේ Beyond Mandela without Becoming Mugabe (2017) දේශනය ඇහුවම ඕනිම කෙනෙකුට අවබෝධ කරගත හැකියි. ඒ කියන්නේ ධනවාදයේ පසු-නුතන බහු-සංස්කෘතිකවාදයට නොවැටී නුතනත්වය තුල ම ඉදිරියට යන එක දුෂ්කර ක්‍රියාවක් කියන එක.  අතීතය ඔස්සේ වර්තමානය ප්‍රත්‍යක්ෂ කීරීම වෙනුවට වර්තමානය ඔස්සේ අනාගතය දෙස බැලීම අපහසුයි කියන එක තමයි මැන්ඩෙලා දෙස බලපුවම අපිට තේරෙන දෙය. වර්තමානයේ තියෙන අවුල ඇතුලේ අතීතකාමී නොවී ඉන්නේ කොහොමද කියන එක මිනිසුන්ට ලොකු අවුලක්. අද දවසේ සෑම සංඥාවකින්ම් යෝජනා කරන්නේ අතීතයට ආපසු යමු කියල වර්තමාන අවුලෙන් ගැලවෙන්න. ඒ නිසා මිනිසුන් පහසුවෙන් අහුවෙන උගුල තමයි 'අතීතයේ රජෙක්' කියල කියන මහින්ද රාජපක්ෂ අපිව බේරා ගනු ඇතැයි සිතීම. ජිජැක් ඉහත දේශනයේදී කියන්නේ මේ වගේ දෙයක්. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) දකුණු අප්‍රිකාවේ මැතිවරණය ජයග්‍රහණය කලා වගේම මැන්ඩෙලා නිදහස් කර ගත්ත. ඒ කියන්නේ අරගලය යේ ජයග්‍රහණය නම් නිමේෂය ඔවුන්ට හමුවුණා. නමුත් එම සිද්ධියට පසුව සිදුවූ දෙය තමයි අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ගෝලීය ධනවාදයේ කොන්දේසි බාර ගත්ත එක. නමුත් කල යුත්තේ එම කොන්දේසි වලින් ඔබ්බට ගමන් කරන එක ධනවාදය අපේ සිතිජය කරගන්නේ නැතුව. නමුත් මුගාබේ කලේ අතීතකාමී විදියට අනන්‍යතා දේශපාලනයකට පසු බසින එක මහින්ද වගේ.  අපි අරගල කරන්න ඕනි ජයග්‍රහණයට පසුදා කරන දෙයට සුදානම් වෙමින්. නැත්නම් වෙන්නේ මුගාබේට වුන එක. යහපාලනය කියන්නෙත් මෙවැනිම නො-සුදානමේ ප්‍රථිපලයක්. මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කරන්න ගොඩක් ශක්තිය ඕනි. එම ශක්තිය යහපාලන කට්ටියට නැහැ කියල පේනවා ධනවාදය ඉදිරියේ කොදු කඩාගන්න එක දිහා බලපුවම.  අනික ගාන්ධි, මැන්ඩෙලා වගේ අරගලකාරී ශරීර කූඩු මේ අයට නැහැ. මිට අමතරව තවත් වැදගත් ප්‍රපංචයක් තියෙනව. ඒ තමයි අපේ ලාංකික සමාජයේ ස්ත්‍රියගේ කාර්ය භාරය කියන එක අර්ථකතනය කරගැනීමට පිරිමියා දක්වන සමාජීය නොහැකියාව. එම පසුගාමී තත්වය විසින් නිෂ්පාදනය කරන්නෙම පසුගාමී භින්න පිරිමි ශරීර.  ඒ කියන්නේ අපි වගේ රටවල ගැහැනුන් විසින් සමාජගත කරන්නේ බිඳුන මුගාබේ ටත් වඩා අන්තවාදී (ජාතිවාදී) පිරිමි චරිත.මැන්ඩෙලා ල වගේ අය අඩු තරමින් මධ්‍යම පන්තිය නම් තත්වය තුලින් වත් බිහිවෙන්නේ නැහැ. වැඩියෙන්ම බිහිවෙන්නේ විමල්, මහින්ද, ගම්මන්පිල, ජොනී, කෙහෙළිය, අලුත්ගමගේ වගේ භින්නොන්මාදි චරිත (වර්තමානයේ ධනවාදයේ විපරීත බව තුල දියබුං ගසමින් බොරුවට 'අතීතකාමී ලෙස' මියගිය අතීතයේ එක කකුලක් තියාගෙන ඉන්න අය). මේ තත්වයට වග කියන්න ඕනිත් වෙන කවුරුවත් නෙවි ඉතින් පිරිමි භාවිතය ම තමයි. 

මැන්ඩෙලාගේ චරිත කතාව ගැන කියවෙන Mandela: Long Walk to Freedom (2013) කියන චිත්‍රපටය බලනකොට පෙනෙන දෙයක් තමයි මැන්ඩෙලාගෙ සහ ANC එකේ අරගලය පිටුපස විනී මැන්ඩෙලා කියන ඉතාමත් ම ශක්තිමත් කාන්තාව සිටියා කියන එක.  ගාන්ධි චිත්‍රපටය දිහා බලපුවමත් එක පැහැදිලි ව පෙනෙන දෙයක්.  ගාන්ධිගෙ බිරිඳ කියන්නෙ අද කාලයේ ස්ත්‍රීවාදින් වගේ නොවෙන බව එයාගෙ පහත ප්‍රකාශයෙන් පෙනෙනව.  එයා කියන්නේ ‘මගේ ගරුත්වය රඳා පවතින්නේ මගේ ස්වාමියාගේ පිටුපසින් යෑම තුලයි' කියල. එම ප්‍රකාශය තුල ඇය කියන්නේ විමුක්තිය තියෙන්නේ පුරුෂ භාවිතාව ඇතුලෙ ම තිබුන සාර්වත්‍රික අරගලය සමග එකගවීම කියල කියන්න පුළුවන්.  ඒ වගේම විනී මැන්ඩෙලා වුනත් ‘නව ස්ත්‍රී අනන්‍යතාවයක්’ හදනවා වෙනුවට කළේ නෙල්සන් මැන්ඩෙලා සිරගත කළාට පසුව අරගලයේ බර කරට ගන්න එක.  මේ දේම ගාන්ධිගේ ආර්යාව (කස්තුර්බා ගාන්ධි) විසිනුත් කළා.  ගාන්ධි සිරගත වුණු සෑම අවස්ථාවක ම ඉන්දියානුවන් තම විශ්වාසය ප්‍රක්ෂේපණය කළේ ඔහුගේ ම ශරීරයේ අනෙක් පලුව වුණ ගාන්ධි ආර්යාව වෙත.  විනීටත් සිදුවුනේ නව අනන්‍යතා හොයනවා වෙනුවට මැන්ඩෙලාගේ සාන්දෘෂ්ටික අරගලය තුලට තව තවත් පිය මැනීමට තරම් එඩිතර විම.  නමුත් මැන්ඩෙලා චිත්‍රපටයට අනුව ඔහුගේ ප්‍රථම බිරිඳට මැන්ඩෙලාගේ ‘ඓතිහාසික බර’ තුලට ගමන් කිරීමට තරම් ශක්තියක් තිබුණේ නැහැ කියන එක ඔහු සමඟ වීදියේ අරගලයේ ටිකක් දුර ගමන් කරල පසුබසින එකෙන් පේනව. මේ ප්‍රශ්නය ම තමයි සමකාලින ස්ත්‍රී වාදයේ ගැටලුවත්.

එක් අතකට ඉහත සඳහන්  ගැහැණු චරිත ‘මායාවක්’ නොවෙනවා වගේම (වසඟය නැති නිසා) එම පිරිමින්ගේ ඓතිහාසික කාර්යභාරය ඇතුලට එන්න තරම් කැපවීමක් තිබුණ අය කියල අප අමතක කරන්න හොඳ නැහැ.  අනෙක් අතට අපේ රටේ ශක්තිමත් අවංක සහ දුෂණයෙන් තොර පිරිමි බිහිවීම සඳහා එවන් ශක්තිමත් ආචාරවාදී ගැහැණුන්ගේ පරාවර්තනය (reflection) ලැබිලත් නැහැ.  මෙතැනදි තමයි රොහාන් පෙරේරා කියන විචාරකයා කියන ‘අරගලය කරන්න කලින් ස්ත්‍රිය නිෂ්පාදනය කර ගන්න ශ්‍රී ලාංකික බෞද්ධ අපිට සිදුවෙනවා’ කියන කරුණ ඉතා වැදගත් වන්නේ.  අපේ ගැහැණිය තාමත් කැමති මහින්ද රාජපක්ෂ වගේ දුෂිත ඒකාධිපති පාලකයන්ට.  ඔවුන් සවන් දෙන්නේ ඉතිහාසයේ හඬට නැත්නම් පාරිබෝගික ධනවාදයේ හඬට. හැම ගැහැණියක්ම එහෙ නොවුනත් බහුතර ස්ත්‍රී ෆැල්ලසය තුලින් ඉල්ලන්නේ ඉහත වර්ගයේ පිරිමි ශරීර කියන එක දිගින් දිගටම ලාංකික බෞද්ධ ස්ත්‍රීය ඔප්පු කරමින් සිටින දෙයක්.  නාගරික නිර්-බෞද්ධ නිරික්ෂයක් (gaze) ඇතුලේ රොහාන් මෙහෙම කියනවා; ‘ස්ත්‍රීවාදය ආවේණිකව පැරණි සමාජය ට අයිතියි.  අවශ්‍ය වන්නේ පුරුෂවාදයක්' (ස්ත්‍රී පාරභෞතිකවාදය; ප්‍රවාද 1995 ජුනි: 117).  ඔහු කියන්නේ ‘සංසර්ග කේන්ද්‍රීය’ ස්ත්‍රිය වෙනුවට ‘සමාජ ස්ත්‍රියක්’ (විනි මැන්ඩෙලා සහ ගාන්ධි ආර්යාව) අපි නිර්මාණය කර ගන්න ඕනි කියන එක. ඔහු තවදුරටත් මෙහෙම කියනව,
‘සමාජය තරම් විශාල ගැහැණු අවකාශය ස්ත්‍රීවාදය තරම් පුංචි කරන්න නෙමෙයි අපි දඟලන්න ඕනි.  අපි කරන්න ඕනි දේවල් අනිත් පැත්තට හරවන එකයි’
(එම පිටුව 117)
මෙතනදී වෙන්නේ ගෙදරට කොටු කරලා සංසර්ගය සඳහා ස්ත්‍රිය ‘සුදානම් කරනවා’ හැරුණාම ඇයට වෙනත් පැවැත්මක් දීමට පුරුෂ ලෝකයට හෝ අද්‍යතන පිරිමියාට හැකියාවක් නැති බවයි.  අපි කරල තියෙන්නේ අනේකත්වය’ සංසර්ගයට කොටු කිරීම කියලයි රොහාන් පැහැදිලිව කියන්නේ (මෙතැනදී රොහාන් බටහිර ෆ්‍රොයිඩියානු සංසර්ග කේන්ද්‍රීය බවෙන් ඛණ්ඩනය වෙනවා පමණක් නොවෙයි පුරුෂ ලෝකය තුල හදල තියෙන 'සංසර්ග ආකෘති' පවා දෘඪ ලෙස විවේචනය කරනවා). මේ තත්වය තේරුම් අරගත්ත ගාන්ධි කියන්නේ තම බිරිඳට ‘යෙහෙලියක්’ වන ලෙසයි.  එනම් සාමාජීය අනේකත්වයක් ඔහුගේ අරගලයේ සිමා මායිම් තුල සිටිමින් ම තම 'සමාජීය පවුල' (මෙතනදී මතක් වෙන්නේ ඕෂෝ) තුල නිර්මාණය කර ගැනීමට උත්සාහ කිරීමයි කියන එක රොහාන් පෙරේරා ට වඩා ගොඩක් ලෝකේ අය දන්න අරුන්දතී රෝයී ට තේරෙන්නේ නැත්තේ ඒකයි. අපේ රටේ අයට රොහාන් පෙරේරා පොඩි යි, අරුන්දතී ගොඩක් ලොකුයි. ජුඩිත් බට්ලර් ඊටත් වඩා ලොකුයි. නමුත් ඇත්ත සමාජය තේරුම් ගතහැකි දාර්ශනික තලය තියෙන්නේ රොහාන් තුලයි. විසංයෝජනය අද දවසේ ටිකක් පැරණි දෙයක් වුනත් දේවල් විප්ලවීය විදියට තේරුම් ගන්න අවුරුදු විස්සකට පස්සෙත් ඒකයි අපට රොහාන්ව උපකාරී වෙන්නේ (අපිට අරගලය ඇතුලෙදි අතහැරිය හැකි කිසිවක්, කිසිම දර්ශනවාදයක්, කිසිම දර්ශනවාදියෙක්  නැහැ කියල දැන් තේරෙන්න ඕනි).  රොහාන් ඉහත ගාන්ධියානු යෙහෙලිය නම් ප්‍රවාදය සම්බන්දයෙන් අදාල කර ගත හැකි ලෙස මෙහෙම කියනවා;
‘ලිංගික අසහනය නිසා තමන්ගේ ලෝකයේ ප්‍රේමය 
බිලිදෙන එක නොදන්න පුරුෂ ශරීරවලට සමානුපාතිකව, දේපල නිසා තමන්ගේ ශරීරය බිලිදෙන එක ගැහැණු ශරීර දන්නේ නැහැ’
(පිටුව 113)
රොහාන් හදන්නේ වෙළඳපල කතිකාවේ ලිංගික අසහනයෙන් පිරිමි ලෝකය මුදවා ගන්න සහ පුරුෂ අනේකත්වය (ගැහැණිය) සමාජීය කරන්න. ධනවාදය ඉදිරියට ගමන් කරන්නේ ලිංගික අසහනය ත්‍රීව්ර කිරීම ඇතුලේ (නිල් චිත්‍රපට හොඳ උදාහරණයක්). සම්බන්දතා ලිංගික කරණය කිරීම ඇතුලේ. ඒ නිසා ස්ත්‍රී වාදයට ලොකු ඉල්ලුමක් ඇතිවෙනවා ධනවාදයේ 'බටහිර- පිරිමි- ෆ්‍රොයිඩියානු- ලිංගික ආකෘතිය' ඇතුලේ (ඉන්දියාවේ ඇන්ටි රෝමියෝ වගේ සංවිදාන මීට උදාහරණයක්). ඒ නිසා ධනවාදය කැමතියි ස්ත්‍රීවාදය වගේ අනන්‍යතා ව්‍යාපාර වලට. එකත් එක්ක වෙළඳපල හොදට පෑහෙනවා (අල්පේච්ච බව පෑහෙන්නේ නැහැ. ඒ නිසා ඒක තර්ජනයක්).  නමුත් මෙම ‘නව සමාජීය ගැහැණිය’ විසින් ඇත්ත වශයෙන් අනන්‍යතා ස්ත්‍රීවාදයක් මතුවීම වලක්වා දමනව. හැමෝම සමාජීය අවකාශයකට ගමන් කරනව පවත්නා ආර්ථක ක්‍රමය කුමක් වුණත්.  අපිට ධනේශ්වර ක්‍රමය පරාජය කරල නිපදවන්න ඕනෙත් ඉහත ‘රොහානියානු සමාජීය ගැහැණිය’ කියලයි මට හිතෙන්නෙ.  

ධනවාදය ඇතුලේ සාර්වත්‍රික දේවල් කරන එක සිහිනයක් වගේ (අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය). ඒ නිසා ඇමෙරිකාව වගේ රටකට ඒක සිතාගත නොහැකි ක්ෂිතියක්. ඔවුන් දන්නේ වෙළදපල ප්‍රසාරණය කරගන්න හැටි විතරයි. ඒ සඳහා හොදම මිනිහ තමයි ඔවුන්ට අනුව ට්‍රුම්ප් කියන්නේ. ධනවාදයෙන් ගැලවෙනවා කියන එක සිතාගත නොහැකි ඔවුන්ට එම ධනවාදය වෙනුවෙන් ලෝක යුද්ධයක පැටලෙනවා කියන එක පහසුවෙන් සිතාගත හැකියි. ඒ වෙනුවෙන් ඕනෙම තරම් මිසයිල් ගණනක් ඕනෙම රටකට එල්ල කරන්න ඔවුන් සුදානම්. මෙවන් සන්දර්භයක් ඇතුලේ අප්‍රිකානු කොන්ග්‍රසය ට පවා සිදුවෙන්නේ මෙම ධනවාදයේ ඛණ්ඩාංක තුල සිරවෙන්න. මොන පොරොන්දු දුන්නත් යහපාලනයත් ඒ වගේම සිරගත විමක ඉන්නේ.  ඉතින් ඇත්ත තත්වය තමයි මැන්ඩෙලා පවා  සිරගත වුන ධනවාදයේ ක්ෂිතිජයෙන් ඔබ්බට යන එක...ඒ වගේම ගෝලීය ධනවාදය පරිණාමය වෙත විපරීත ආකෘතිය ගැන මෙලෝ දෙයක අවබෝධයක් නැති යහපාලන ආණ්ඩුවෙන් බටහිර කේන්ද්‍රීය ආශා මොඩලය අනික් පැත්තට හරවයි කියල අපට හිතන්න බැහැ.  ඉතිං මනුෂ්‍ය තෘප්තිය සඳහා ඔවුන්ට කළ හැකි උපරිම දෙය නම් බටහිරින් හරි, චීනෙන් හරි, ඉන්දියාවෙන් හරි පුළුවන් තරම් විනෝද පාරිිභෝගික භාණ්ඩ ලංකාවේ වෙළඳපොල තුල ගොඩ ගහන එක.  ඒ ඔස්සේ අවුරුදු කාලෙට හාල් හරි, පොල් හරි, පරිප්පු, හාල්මැස්සෝ වගේ දේවල් වල ගණන් ටිකක් අඩු කරන එක.  දැන් හරි.  රනිල්ගෙ, රවිගෙ මොලයට අනුව දැන් ‘ජනතාව’ තෘප්තිමත්. හාල් පොල් වගේ ද මොබයිල් ෆොන්, වයි ෆයි, ඉන්ටනෙට් ඩේටා වගේ දේවලත් මිල අඩු කලොත් හොඳයි කියල රනිල්ගේ චුයින්ගම් මොලයට තේරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.  විසි වන සියවසේ භාණ්ඩ වලට සහ එම ද්‍රව්‍යවාදයට මිනිසා සුවපත් කරන්න බෑ කියල ගාන්ධි කියනවා (එත් මිනිසා 'තෘප්තිමත්' නැහැ. භෞතික දේවල් කොච්චර දුන්නත් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය ඇදගෙන වැටුණා). එතකොට මිෂෙල් ෆුකෝ ගැන රොහාන් මෙහෙම ලියනව;
            ‘හැබැයි එයාට (ෆුකෝට) සිද්ධ වුණු දේ ඊට හාත්පසින් ම වෙනස්.  එයා ලිංගිකත්වයේ ඉතිහාසය හොයන්න වෙහෙසුනේ ‘අපි කවුද’ කියල හොයා ගන්න.  ආශාව විශ්ලේෂණය කරන එක ගැන එයා විවේචනය කලේ, ‘තෘප්තිය ගොඩ නැඟීම කේන්ද්‍ර කර ගත යුතුයි’ කියා ගෙන මිනිස් ජීවිතයේ කේන්ද්‍රීය තත්වයක් (සත්‍යයක්) හැටියට ලිංගිකත්වය භාර ගත්ත නිසයි ෆුකෝ අපි කවුද කියලා හොයා ගන්න ලිංගිකත්වය විෂය කර ගත්තේ. ආසියාවේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා අපි කව්ද කියලා හෙවීමේ.  ඒ වුනත් එතැන ලිංගිකත්වය යතුරක් නොවෙයි’ (ඉහත පිටුව 103).
මීට අමරතව රොහාන් පෙරේරා විසින් නිරීක්ෂණය කරන දෙයක් තමයි ෆුකෝ ගේ ප්‍රවේශය තනිකරම බටහිර වාදියි කියන එක.  ‘අනික ජීවිතය ගැන කතා කරන්න තෘප්තිය භාවිතා කළ ගමන් ආයෙමත් එතැන යතුර ලිංගිකත්වයම යි. සංසර්ගයෙන් දේවල් හොයන බයිබල් සම්ප්‍රදාය මතක් වෙනවා’ (105). මෙම අර්ථයෙන් ගත්තහම රොහාන් පෙරේරා ‘බටහිර ආශාව’ කියන එක පෙරදිග අර්ථයෙන් ප්‍රථම වරට විසංයෝජනය කරනවා. ඒ අර්ථයෙන්ම සුරතාන්තය කියන එක පෙරදිගකරණය කරනවා බටහිර විනිවිදීම වෙනුවට. සංසර්ග කේන්ද්‍රීය බටහිර පුරුෂ බව මතු නොව පෙරදිග කාම සුත්‍රය පවා සුත්තර පුංචා තත්වයට විවේචනය කරනවා. නමුත් ජිජැක්ට අනුව (ලැකාන් හා ෆ්‍රොයිඩ් පදනම් කර ගනිමින්) ‘විනිවිදිම’ ප්‍රතික්ෂේප කිරීම තුලින් ආශාවට ඇඳ වැටීම සහ ක්ෂිතිය මුණ ගැසීම මඟ හැරිමක් සනිටුහන් වෙනව.  ගැහැණිය නම් ‘කළු කුහරය ට’ ඇතුල්විම ප්‍රතික්ෂේප කිරීම මඟින් එම විනිවිදිමෙන් පසු ඇතිවන ‘හිස්බව’ වෙතින් අප පලායෑමක් මෙහිදී නිශ්චය වෙනව. ‘ආශාව’ ව්‍යුහගත වන්නේ ම මෙම හිස් කලු කුහරය වටා (ජිජැක් 1994: පිටුව 96). අප ආශා කරන්නේ මෙම ආශා කළු කුහරය හරහා යන්න. එම ක්ෂිතිය තරණය කරන්න. මෙය ෆ්‍රොයිඩියානු බටහිර අභිනයක් බව සත්‍යයක්. අප මෙම ආශාව තරණය කිරීම මග හැරියොත් මොකද වෙන්නේ? යම් නිශ්චිත භෞතික ආශාවක් තෘප්තිමත් කර ගැනීම වෙනුවෙන් වු ලිබිඩෝ ශක්තිය ආශාව හා සම්බන්දයක් නැති ‘වස්තුවක්’ වෙත ප්‍රක්ෂේපණය කිරීමට අපට (පිරිමියාට) සිදු වෙනව. (හින්දි චිත්‍රපටවල වගේ හැමදාම ගස් වටේ කැරකි කැරකි නටන්න වෙන්නේ මේ නිසා). රොහාන්ගේ පෙරදිග විචාරයේ තියෙන මෙම බටහිර-ආශා ප්‍රතිවිරෝධතාව (පිරිමි අර්ථයෙන්) විසඳා ගත්තොත් එය විප්ලවීයකරණය කළ හැකියි. නැත්නම් බිහිවන්නේ ආශාව විනිවිදය නොහැකි සින්තෝමයක්. රොහාන් කියන්නේ මෙම ලිංගික ඇසින් ආශා වස්තුව දෙස නොබලන අනේකත්වයක් ගැන. ආශාව ඉවත් කරපු අනේකත්වයක් ගැන. පෙරදිග අර්ථයෙන් එයට ලොකු ශක්තියක් තියෙනව. මක්නිසාද පෙරදිග ලෝකයේ වගේම බටහිර ලෝකයේත් උත්තරීතර මිනිසුන් බිහිවෙලා තියෙන්නේ 'ආශාව' ඇතුලේ නෙවෙයි 'වේදනාව' ඇතුලේ (මේ ප්‍රවාදය රොහාන් එතරම් ඉස්මතු කරන්නේ නෑ). ගාන්ධි, මැන්ඩෙලා, බුදුන් වහන්සේ, ජෛන මහාවීර, යේසුස් වහන්සේ... තව ඕනෙතරම් උදාහරණ තියෙනවා. උත්තරීතර මනුෂ්‍යත්වයකට, මෙම ආශාව හඹා යාමේ ලිබිඩෝ ශක්තිය ‘උත්කෘෂ්ඨ යමක්’ (Sublime Object) වෙනුවෙන් වැය කල හැකිනම් එය වඩාත් වැදගත් විය හැකි නොවේ ද?

පෙරේරා, රොහාන්. (1995). ස්ත්‍රී පාරභෞතිකවාදය. (ප්‍රවාද 1995: ජුනි කලාපය). සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
Zizek, S. (1994). The Metastases of Enjoyment. Six Essays on Woman and Causality. London. Verso.

පසුව ලියමි: ආසියාතික ගැහැණිය විශේෂයෙන් ලාංකික බෞද්ධ ගැහැණිය විප්ලවීය නොකළ නිසා රෝහණ විජේවීර සහෝදරයා ට චිත්‍රාංගනී නම් තම බිරිද ගෙන් ලැබුනේ අනුමෙවෙනි පමණකි. දෝෂාරෝපණ පමණි. මැන්ඩෙලා හෝ ගාන්ධි සම්බන්දයෙන් ඔවුන්ගේ ස්ත්‍රීන් එසේ අනුමෙවෙනි කියනු අපට ඇසී නැත. එසේනම් ලංකික ගැහැණිය පිළිබද දාර්ශනික පරමාණුව රොහාන් පෙරේරා විසින් 88-89 සංහාරයෙන් පසුව සොයාගෙන තිබියදී X කණ්ඩායම ට වරදින්නේ ඇයි? ඒ බුද්ධිමය කුසීත කම නිසාද? නැත්නම් නොසැලකිල්ල නිසාද? නැත්නම් නරුමවාදය නිසාද? මේ එකක් හෝ සියල්ලම නිසා එසේ සිදු නොවන්නට ජ. වි. පෙ. 'විප්ලවීය උරුමය' X කණ්ඩායම විසින් ප්‍රතිජිවනය කිරීම රොහාන් හරහා සිදුවීමට ඉඩ තිබුණි.  එවිට එය අප සැමගේම උරුමය යි.  

Wednesday, March 29, 2017

මුහුණක් නැති මුහුණ... (Faceless Face): රොහාන් පෙරේරා

කොළඹ දී සාමාන්‍යයෙන් පවත් වන සාහිත්‍ය-දේශපාලන සමාජවල කතිකා අවකාශයට මම අලුත්. ඒ නිසා ඒවායේ කතාවෙන දේවල් වලටත් මම අලුත්. මෑතකදී මට ඇහුන බොහෝ කතාබහ ඇතුලේ මට දැනුනු එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ පරම්පරාව ට (විශේෂයෙන් 70 දශකයේ ඉපදුන සහ 88-89 කැරළි අත්දුටුව) මොනවා හරි 'නුතනත්වයට පසු' දැනුමක් ලැබුණානම් ඒ ලැබීම පිටුපස රොහාන් පෙරේරා කියල (මම ඇත්තට ම නොදන්නා) චරිතයක් ඉදල තියෙනව කියන එක. බටහිර තියෙන්නේ සමාජ ව්‍යාපාර සහ ඒ ඔස්සේ එන ගුරුකුල. ඒ ඔස්සේ සුවිශේෂ බිහිවෙනවා. එම සුවිශේෂ විසින් ඔවුන්ව නිෂ්පාදනය කල සමාජ ව්‍යාපාරය එක්කෝ පොහොසත් කරනවා නැත්නම් එය ම අභියෝගයට ලක්කරනවා. නමුත් රොහාන් කියන්නේ සමාජ ව්‍යාපාර (විශේෂයෙන් ජ. වි. පෙ.) මියගියාට පසු ආපු කෙනෙක්. සියලු සමාජීය බලාපොරොත්තු 'අහිමි' (loss) වුනාට පස්සේ ආපු කෙනෙක්. නමුත් ඔහු එම දැවැන්ත අහිමි විම ඇතුලෙ ම යමක් කරන එක අත් ඇරියේ නැහැ කියල තේරෙනවා ඔහු නිෂ්පාදනය කරපු පුද්ගල චරිත දිහා බලපුවම. එම මියයාමෙන් පසු පැමිණෙන ඔහු සුවිශේෂ චරිතයක් වැඩිය එලියට නොඑන. ටිකක් ගුප්ත (mysterious) බවක් තියෙනවා ඔහුගේ අභිනය ඇතුලේ. සමහර විට එම ලාංකික 'අහිමි වීම' ඔහුට බලපාපු හැටි වෙන්න ඇති. නමුත් වැදගත් වෙන්නේ එම සංහාරයට පසු (after the Event) ඔහු කරපු දේ. එලියට ආවේ නැති වුනාට ඔහු විසින් ලංකාවේ සුවිශේෂ ගොඩක් මිනිස්සු මේ විදියට (ගුප්ත) අඳුර ඇතුලෙ ම බිහිකරලා තියෙනවා. ඒ අය සමාජයේ ලොකු සංකේතිය බලයක් එක්ක අද දවසේ වැඩකරනවා. ඒ හුගක් අය ජාතිවාදයට විරුද්ධව වැඩ කරන චරිත. ඒ කියන්නේ අඩු තරමේ යන්තම් හරි ඒ අයට සමාජීය වෙන්න පාර කියල දීල තියෙනවා රොහාන් විසින්. ඒක ඉතාම වැදගත් දෙයක් අද අපි කියල යමක් බිහිවෙන්න සහ අපේ පරම්පරාව ට ජාතිවාදයෙන් ගොඩ එන්න. ඔහුගේ බලපෑම අපේ පරම්පරාව ට අතිශයින් වැදගත් වෙලා තියෙනවා බටහිර ට ගිහින් ඉංග්‍රීසියෙන් දර්ශන වාද හදාරලා ආව අයට වඩා. සමාජ ව්‍යාපාර පැත්තෙන් ඒක ටිකක් අමුතු දෙයක්. ගවේෂණය කලයුතු දෙයක් සහ අපේ පරම්පරාව අමතක නොකළ යුතු දෙයක් හැටියටයි මම දකින්නේ. 

1990 දශකයේ හරියට ම අගදී මම එතකොට උයන්ගොඩ ල කරපු 'ප්‍රවාද' කියවනවා. ඒ කියවන කොට මට මිෂෙල් ෆුකෝ ගැන කියවන්න ලැබෙනවා. මම ඒ කාලේ මගේ ගුරවරයෙකු ගෙන් ෆුකෝ කියවනවද කියල අහපුවම මට ලැබුන පිළිතුර 'නැහැ' කියන එක. එතකොට පිටරට ගිය අයගේ තත්වය ඕක. ඒ අයට අපිට ඇත්තටම 'උසස් දැනුම' දෙන්න ඕනි උනේ නැහැ. තියෙන තැනක් වත් කිව්වේ නැහැ.  මෙම සන්ධර්භය තුල රොහාන් කියන්නේ ෆුකෝ කියවල අනෙක් අයටත් ඒක කියවන්න කියල කිව්ව කෙනෙක්. ඒක වෙනස් 'ආසියාතික' තත්වයක්. ආසියාතික ආත්මය ප්‍රති-ජීවනය කිරීමක්. එම ආත්මය උසස් තත්වයට ගෙන ඒමක්. එකෙන් තමයි අද දවසේ අපේ පරම්පරාවේ සද්භාවය (ontology) උපදින්නේ කියල මට හිතෙන්නේ. නමුත් අද ස්ත්‍රීවාදය ගැන එක එක 'අඩවි' වල ලියන කිසිවෙක් රොහාන් ගේ නම කියන්නේ නැහැ. ඔහුගේ "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරිඩාව විසංයෝජනය කළ විට..." (ප්‍රවාද 1995: පිටු 97-118) මඟ හැරලා ලංකාවේ ස්ත්‍රීවාදය ප්‍රවාද ගත කරන්න බැහැ අදටත් (ඔහුගේ ලිපියෙන් අවධාරණය කරන බරපතල දෙය නම් 'මානුෂික වෙන්න' කියන එක). ඕනිම කෙනෙකුට බැලූ බැල්මට කියන්න පුළුවන් දෙයක් තමයි රොහාන්ගේ ඉහත 'ස්ත්‍රී පාරභෞතිකය' නම් ලියමන ලංකාවේ මුල් කෘතියක් (original) කියන එක. ඒක කොපියක් නෙවි. විප්ලවවාදීන් විදියට අප පුරුදු වෙන්න ඕනි එවන් දේවලට ගරු කරන්න. ඒවා නැවත නිර්වචනය කරන්න සහ ඒවාට හිමි ගෞරවය දෙන්න. ඒක විප්ලවීය ආචාර ධර්මයක් (කොහොමත් ජුඩිත් බට්ලර් රොහාන් ගැන ලියන එකක් නැති හින්ද හුගක් ලංකාවේ 'අලුත් ස්ත්‍රීවාදීන්ට' රොහාන්ව කවදාවත් මුණ ගැසෙන එකක් නැහැ. පරණ අයටත් ඕනි රොහාන්ව අමතක කරලා දමන්න නිසා මේ අලුත් ස්ත්‍රීවාදී පරම්පරාවට පරණ අය විසින් රොහාන් කියල කෙනෙක් ගැන ඇත්තටම උගන්වන්නේ නැහැ). අමානුෂික විදියට අපි රොහාන් අමතක කරන්නේ අද දවසේ අපේ ගේමට ඔහු අවශ්‍ය නැති නිසා. රොහාන් මේ සියලු දේවල් වෙද්දී නිශ්ශබ්දව ඉන්නවා. ඒ 'නිශ්ශබ්ද බව' වඩාත් විප්ලවීයයි (හරියට එක් වරක් ගාන්ධි කළා වගේ). නමුත් අපි බලන්නේ ජුඩිත් බට්ලර් හරි ජිජැක් හරි මාට්ටු කරගෙන මොනවා හරි ටිකක් කියල ඉස්සරහට යන්න. මේ වැඩේට ආයුෂ නැහැ.  මොකද අපි එතකොට ඉන්නේ සත්‍යයට විරුද්ධ දිශාවේ. ඉතිහාසය අපිට කියල දෙනවා ඇත්ත මනුෂ්‍ය ගුණධර්ම නැතුව මොන දේශපාලනයක් කලත් වැඩක් වෙන්නේ නැහැ කියන ටික. ලංකාවේ මුල්වතාවට බටහිර ෆ්‍රොයිඩියානු උපගමනය ට ප්‍රතිපක්ෂව ස්ත්‍රිය සම්බන්දයෙන් වූ ඒ 'මනුෂ්‍ය බව' ගැන කතාකරපු, ස්ත්‍රිය තුලින් 'ආසියාතික බව' නැවත තේරුම් ගන්න හදපු, ආසියාතික අධ්‍යාත්මය නැවත අලුත් අර්ථයකින් තේරුම් ගන්න හදපු රොහාන් පෙරේරා ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඔහු ක්ෂිතියක්. අද දවසේ ලාබ ස්ත්‍රීවාදයට ඔහුව තරණය කරන්න බැහැ. ඒකයි... 

ස්ත්‍රී පාරභෞතික බව නම් රොහාන් පෙරේරා ගේ 'ප්‍රවාද' 1995 ලිපිය කියවන්න 

පසුව ලියමි : මා මේ සදහන් කරන්නේ පුදුම දෙයක්. ඒ පුදුම දෙය නම් මෙච්චර ස්ත්‍රීවාදීන් වැහි වැහැල ඉන්න රටේ රොහාන් පෙරේරා විසින් ලියන ලද "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරිඩාව විසංයෝජනය කළ විට..." නම් ලියවිල්ල අන්තර්ජාලයේ කිසිම තැනක උපුටා දක්වල නැහැ (ගූගල් සෙවුම් යන්ත්‍රයට අනුව) මෙම බ්ලොග් අඩවිය විසින් එය සදහන් කරන තෙක්ම (නමුත් එවකට 'මාතොට' සඟරාව නම් බොහෝ අවස්ථාවල එම ලිපිය උපුටා දක්වල තියෙනව මම දැකල තියෙනව). සිංහල භාෂාවෙන් අන්තර් ජාලය පුරා ඇත්තේ රොහාන් පෙරේරා කියන නම ඔහේ කියලා දාල විතරයි. ඔහුගේ කතිකාව කවුරුවත් බරපතලව විචාරය කරලා නැහැ (එහෙම නැති තාක් කල් අපිට ඔහුගෙන් ගැලවීමක් නැහැ). ඒ හැම තැනකම තියෙන්නේ ඔහුගේ දේශපාලනය පරණයි, ඒක දැන් ඉවරයි වගේ දේවල්. මෑත කාලයේ කේ. කේ. සමන් කුමාර විසින් කිහිප තැනකදී ඔහු ට හිමි ඓතිහාසික තැන සදහන් කළා පොදු අවකාශය ඇතුලේ. මට පවා ඔහු ගැන නැවත හිතන්න බල කරේ එය විසින්. මට තිබුණ තොරතුරු මත මමත් හිතුවේ ඔහු ඉවර ඇති කියල. නමුත් ඔහු විසින් මෙපමණ චරිත ගණනක් සෘජු ව හෝ වක්‍ර ව නිෂ්පාදනය කළා කියල මම දැනගෙන හිටියේ නැහැ. නමුත් දේශපාලනයෙදී මට ඒ ගැන හොයල බලන්න තිබුණා. මම උනත් හොයල නැත්තේ නරුම තැනකින්. ඒ කියන්නේ අපි දන්නවා එත් නොදන්නවා වගේ ඉන්නවා. 

"මිනිස්සු පාරේ නිදාගෙන ඇවිදිනවා ...අවදියෙන් ඇවිදින්න" 
"කුණු කාණුවෙන් කවුරුවත් වතුර බොන්නේ නැහැ වගේ පහත් සදාචාරයක් (ලෙනින්) දේශනාකලා"
"ගෙදර තියෙනකල් ස්ත්‍රී සිතුවිලි සිරිකතක් වගේ යහපත්" 
"ගෙදර සංකීර්ණ ගැහැණු පාරේදී මළමිනී වගේ"
"දර්ශනවාදය පවතින්න පවුල අනිවාර්යයක් නම් දර්ශන වාදය පවතින්න හිස්ටිරියාව අනිවාර්යයක්" (රොහාන් පෙරේරා).

අපි කරන්න ඕනි රොහාන් ව ප්‍රතික්ෂේප කරලා ඉදිරියට යන එක නෙවි. රොහාන්ගේ උරුමයත් අරගෙන ඒක පෝෂණය කරමින් ඉදිරියට යන එක. ඔහුගේ කතිකාව ප්‍රතික්ෂේප කරන්නේ කුමන න්‍යායික කරුණු මතද? ප්‍රතික්ෂේප කරන්න කිසිවක් ඔහු ලියලා නැහැ. විශේෂයෙන් ඔහුගේ උරුමය එක්ක යන විමුක්ති ව්‍යාපාරයක ට ස්ත්‍රීවාදය සම්බන්දයෙන් වරදින්න හේතුවක් නැහැ. ඔහු ඒක රැඩිකල් විදියට කතා කරලා තියෙනවා බටහිර අය කතාකරනවට වඩා අපේ භූමියට අදාල විදියට. ඔහු බටහිර ස්ත්‍රිය සම්බන්ද කතිකාව ඇත්තටම පෙරදිග අර්ථයෙන් විසංයෝජනය කරනවා.  හරියට බැලුවොත් ඒක නව මාවෝ වාදයකට පාර කපනවා ද විය හැකියි.  ඒ සඳහා අර්ථකතනවේදය වෙත නැවත ගැඹුරින් යා යුතු වෙනවා. කරන්න ඕනි ඒ වගේ වැඩ මිසක් නිකම් කවුරුවත් කියන හින්ද ෆ්‍රොයිඩ් ගේ 'මෙලන්කොලියාව' පට්ට ගහන එක නෙවෙයි (එක චැනල් එකක සද්දේ වැඩිනම් තව චැනල් එකක් ටියුන් කරන එක වගේ 'විමුක්ති ක්‍රියාමාර්ග' හොඳයි එදා වේල ගොඩදාගන්න). ඒ වගේ බරපතල වැඩ කරන්නේ නැතුව නිකම් ජුඩිත් බට්ලර් ගේ පස්ස පැත්තේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ 'ඔරිජිනල්' වැඩ කරන එකයි රොහාන් ගේ සත්‍ය උරුමය...  

(මහේෂ් හපුගොඩ)

Sunday, March 19, 2017

'චක් බෙරි' : අමරණීයත්වය වෙනුවට යොදන තවත් නමක් වියහැක





Chuck Berry ඔබට සමුදීමට වීම ඇත්තට ම දුකකි. රොක් ඇන්ඩ් රෝල් ඉතිහාසය තුල ඔබ සැබවින්ම අමරණීය ය ....පැවති වික්ටෝරියානු සිරගෙයින් පිටතට ආ ඔබ 'වොයේජ් 1' (Voyage 1) යානයෙන් සමස්ථ විශ්වය දක්වාම ගමනක් ගොස් ඇත Golden Record (Voyager 1). රොක් සංගීතයට ආදරය කරන අපට එයම සතුට ට කරුණකි. ඔබේ සාර්ථකත්වය රැදී පැවතුණේ ඔබෙගේ ම නව නිර්මාණ (originals) කෙරෙහි විශ්වාසය තැබූ හෙයින් වන අතර ඒවා පැරණි දෙයින් ඛණ්ඩනය විම තුලය. කිසිවෙක් කොපි නොකළ ඔබට දීර්ඝ ගමනක් තිබුණි. 'දේවල් වෙනස් කරනු වෙනුවට' ඔබ දේවල් කුඩු පට්ටම් කළේය (Chuck Berry did not just cross barriers, he obliterated them යනුවෙන් CNN සේවය ප්‍රකාශ කලේ එබැවින් විය යුතුය) CNN Report.