Saturday, April 27, 2019

නොදැනුමේ දේශපාලනය (දෙවන කොටස)


'ඔවුන් කරන දෙය ඔවුන් ද නොදන්නා බැවින්: විනෝදය දේශපාලන සාධකයක් ලෙස' (For They Know Not What They Do: Enjoyment as a Political Factor) නම් ස්ලාවෝ ජිජැක් ගේ ජනප්‍රිය ග්‍රන්ථය (1991) ඔහු ලියනු ලබන්නේ හේතුවේ නැත්නම් දැනුමේ සීමාව තුල ම මිනිසා විඳින විනෝදය කුමක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් . එයින් අදහස් කරන්නේ 'අප දන්නවා එහෙත් නොදන්නවා මෙන් සිටිනවා' යන නරුම සහ නොසැලකිලිමත් දෘෂ්ටිවාදී ආස්ථානය දේශපාලනයේ මුඛ්‍ය පදනම බවට පරිවර්තනය වෙමින් පවතී යන්න නව දැනුමක් බවට පත් වෙමින් ඇත යන්න ය. නොදැනුම යනු යථාවක් නම් ඉහත දැනුම යනු මේ වනවිට අපට සංකේතනයක් වේ. එහෙත් අප එම 'දැනුම' (නොදන්නවා මෙන් සිටීම ගැන ඇති දැනුවත් බව) ප්‍රතික්ෂේප කරමින් නොදැනුම සමග විනෝද වෙමින් ඇත යන්න මේ මොහොතේ අපට මුණ ගැසුණු සත්‍යය වේ. පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය යනු අප දැනසිටි දෙයක් ය යන්න මේ වනවිට සෑම අයෙක් තුල ම පවතින දැනුමක් වන අතර මේ සිදුවීම ගැන යම් දැනුමක් පැවතියත් (බුද්ධි අංශ විසින් ගෙනෙන ලද දැනුම) ඒ පිළිබදව යමක් කිරීමට නොහැකිවීම සම්බන්දයෙන් රාජ්‍ය පාලනයේ සිටින සියළු අය තුල ඇත්තේ වරදකාරිත්වයකි. මන්ද දැන් දැන් එළිදරව් වන පරිදි අප එම දැනුම සමග පවත්වා ඇත්තේ විනෝද සම්බන්දයකි. 'දන්නවා එහෙත් නොදන්නවා සේ සිටිනවා' යන ප්‍රස්තුතය සම්බන්දයෙන් මේ අනුව 1991 ලියවුණු ජිජැක් ගේ ඉහත කෘතිය ලංකාව තුළ සත්‍ය ලෙස තේරුම් යන්නේ හෝ තේරුම් ගැනීම සඳහා පසුබිම සකසන්නේ ඉහත බෝම්බ ප්‍රහාරය යි. එනයින් ඉහත පොත අපට කලින් ලැබුණා වුවත් අවබෝධය පැත්තෙන් ගත් විට එය පරක්කු දැනුමකි. නමුත් වඩාත් ම ගැඹුරු සත්‍යය වන්නේ අප අපගේ 'නොදැනුම මතින් ඇතිකළ අසමත් බව' මේ වනවිට විනෝද වෙමින් සිටීමයි (ජිජැක් 1991, පිටුව xii). දෙමලා හෝ මුසල්මානුවා යනු පරිකල්පනීය සතුරෙක් පමණක් (imaginary Real) යනුවෙන් අප විසින් ම වරනැගූ දෙය දැන් අප වෙත ආපසු පත්තු වී ඇත (backfire). බලන බලන හැම පල්ලියක් තුලින් ම මොනයම් හෝ අවියක් මතුවීම සහ ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩපිළිවෙලක නිරතව සිටීම සම්බන්ද සාක්ෂි මතුවීම මේ වනවිට අනුභූතික දැනුමක් බවට පත්වෙමින් පැවතීම ඉහත පරිකල්පනය දැන් සැබෑවකට වඩා සැබෑවක් වෙමින් ඇත (more real than real).     

එසේ නම් අප නිර්භීතව, විවෘතව සහ සදාචාරාත්මකව පිළිගත යුතු සත්‍යය කුමක් ද? එනම් අප බොහෝ දේ නොදන්නා බවයි. එයින් අදහස් වන්නේ මෙම ආපතික අවස්ථාව සඳහා අපට භාෂාවක් නොතිබූ බවයි. අද ඔය දැනගෙන සිටියා යැයි කියන කිසිදු අයෙකුට පවා එවන් භාෂාවක් පැවතියේ නැත (ප්‍රහාරයට පෙර දාතම සහිත ඔවුන්ගේ මුහුණු පොත් බලන්න). අප සියළු දේම දන්නේ නැති අතර අපට ඇතැම් දැනුම් ගබඩා වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇත්තේ ද නැත. ජාතික රාජ්‍යයක පවතින 'නොදැනුම' බොහෝ විට පුරවා දමන්නේ බුද්ධි අංශ විසින් ගෙනෙන දැනුම මඟිනි. මේ දැනුම බොහෝ විට අපව ක්ෂිතියට ලක් කරන තරම් අඳුරු අන්තර්ගතයක් දරා සිටී (dark content). ඒ ඇතැම් ක්ෂිතිමය අඳුරු දැනුම අපට නැති නිසා බොහෝ දේ ගැන අපට යමක් සිදුවන තුරු ම සිතාගැනීමට නොහැකි වේ. තනි පුද්ගලයෙක් සම්බන්දයෙන් මෙන්ම රජයක් සම්බන්දයෙන් ද මෙය එකසේ අදාලය. මේ දැනුම වෙනුවෙන් සෑම රාජ්‍යයක් ම විශාල මුදලක් වියදම් කරයි. මන්ද එය පැවැත්ම සම්බන්දයෙන් එතරම් වැදගත් නිසා ය.

එසේ නම් 'නොදැනුමේ දේශපාලනය' යනුවෙන් කොටස් දෙකකින් යුතුව මා මේ ලියන ළිපි වල ඉදිරිපත් කෙරෙන මුලික තර්කය කවරේ ද? මා කියන්නේ මේ රජය මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගැන නිශ්චිත තොරතුරු ලබා ගෙන (දැනුම) ඒවා සාර්ථක ලෙස මැඩ පැවැත්වූවා නම් අපට පතරංග ලෙස ළිපි ලිවීමට අවස්ථාවක් උදා නොවන බවයි. එසේ රජය සාර්ථක වුවේ නම් අප තවත් ලියමින් ඉන්නේ අසන්ධිමිත්තා තුන්වන කොටස විය හැකි බවයි. නමුත් රජය පැත්තෙන් වූ නොදැනුම හෝ දැනුවත් බව නොසලකා හැරීම (negligence) ඔස්සේ නව ක්ෂිතිමය දේශපාලන ප්‍රපංචයක් ඉස්මතුව ඇති අතර අප කරන්නේ එය අර්ථකතනය කිරීමට උත්සාහ කිරීම බවයි. මේ අප ලියන ළිපි ඔස්සේ අප කරමින් සිටිනුයේ ඔවුන්ගේ නොදැනුම මෙන්ම අපගේ ම නොදැනුමේ හිස් බව පුරවා දැමීමට උත්සාහ කිරීමයි. ක්ෂිතිමය යමක් පුරෝකතනය කිරීමට නොහැකි වූ අපගේ ම නොහැකියාව වසා ගැනීමට උත්සාහ කිරීමයි යන්න මගේ මුලික තර්කය යි. ඒ වගේම දැන් අප ගත කරන්නේ අපගේ දැනුමේ සීමාව (නොදැනුම) විනෝද වෙමින් ය යන්න මගේ අතිරේක තර්කය යි.    

මනෝ විශ්ලේෂණය තුළ සාමාන්‍යයෙන් මිනිස් අතිමුලික නොහැකියාව (fundamental impossibility) යනුවෙන් හැඳින් වෙන්නේ මිනිසා හට පොදුවේ යමක් එක්වරම පරිකල්පනය කර ගැනීමට නොහැකි වීම නම් තත්වය නිර්වචනය කිරීම සඳහා ය. එසේ මිනිසාට යමක් තේරුම් ගත නොහැකි වන්නේ හෝ සිතාගත නොහැකි වන්නේ මුලික වශයෙන් ඔහු /ඇය යම් ප්‍රපංචයක් කෙරෙහි දක්වන 'නොසැලකිල්ල' නිසාවෙනි (negligence). ඇතැම් විට සිගරට් බීම නරක බව අප දැන සිටියත් (දැනුම) එයින් අපට ගැලවීමට නොහැකි වීම නම් උගුල මෙයින් අදහස් කෙරේ (දැනුමේ සීමාව ඔස්සේ විනෝද වීම). 

බුදු දහම තුළ මෙම නොසැලකිල්ල 'අවිද්‍යා' ලෙස නම් කෙරේ (ignorance). යම් පුද්ගලයකුට සත්‍යය කරා එළඹීමට කොතරම් මාර්ග පැවතියද ඔහු එම මාර්ග දැනුවත්ව ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට කරන්නේ කුමක්ද? යමක් පවතින බව දැන දැනත් එය අප මඟ හරින්නේ ඉහත නොසැලකිල්ල නිසාය. මන්ද අප නොසැලකිල්ල ඔස්සේ විනෝද වන බැවිණි. අපගේ දැනුමේ සීමාව යනු ම විනෝදයකි. දුම්බීම සෞඛ්‍යයට අහිතකර බව පිළිබද දැනුම ඔස්සේ අප සිගරට්ටුව වඩ වඩා විනෝද වීම මෙයින් අර්ථවත් කෙරේ. සෞඛ්‍යය ට අහිතකර බව පිළිබද දැනුම විසින් සිගරට්ටුවේ විනෝදය තවත් වැඩි කරයි. බෝම්බ ගැන තිබූ දැනුම විසින් ඒවා පුපුරා යෑමෙන් පසු ඇතිකළ ක්ෂිතිය තවත් තීව්‍ර කරයි. අපගේ විනෝදය වී ඇත්තේ ද එයම ය. දැනුම විසින් විනෝදය කප්පාදු කරනවාට වඩා සිදුවන්නේ දැනුම විසින් විනෝදය තවත් තීව්‍ර කිරීමයි. 

මෙයින් අදහස් කරන්නේ 'නොදැනුම' (Know Not) හෝ 'නොසැලකිල්ල' යනු අප සිතනවාට වඩා සත්‍ය දේශපාලනික මොහොතක් යන්න ය. ඒ ගැන අප දිගටම ලිවුවේ ඒ නිසාය. යුදෙව්වන්ට අප එතරම් වධ හිංසා පැමිණුවේ ඇයි? වමේ ලෝකයක් තුල ම ස්ටාලින්වාදයක් අපට අවශ්‍ය වූවේ ඇයි? මිලියන ගණනක් මිනිසුන් චීනයේ මරා දැමුවේ ඇයි? සහරාන් අපට එසේ කළේ ඇයි? මේ කිසිවක් ගැන අප තවම දන්නේ නැත. එය 'නොදැනුමේ දේශපාලනයකි'.

උදාහරණ වශයෙන් ආරක්ෂක ලේකම් වරයා පැවසුවේ 'අපි මේ ප්‍රහාර ගැන දැනගෙන හිටියා තමයි ඒ වුණාට මෙහෙම දෙයක් වෙයි කියල හිතුවේ නැති' බවයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුට කියවුනේ සත්‍යය වේ. සාමාන්‍ය මිනිස් ස්වභාවය වේ. අප ඔහුට කොතරම් බැන්නත් සත්‍යය යනු මිනිස් නොසැලකිල්ලයි. හේමසිරි ප්‍රනාන්දු මහතා ගේ මුවින් එළියට පැමිණි මේ සත්‍යය ට ෆ්‍රොයිඩ් කියන්නේ දිවග තිබෙන සත්‍යයක් යනුවෙනි (tip of the tongue). සාමාන්‍ය ජීවිතය තුල අප හැමෝම මෙසේ නොසැලකිලිමත් ය. හැම මිනිත්තුවේ ම මිනිසා සැලකිලිමත් වීමට උත්සාහ කලොත් හෝ අනෙකා සැක කිරීමට උත්සාහ කලොත් ඔහුට සාමාන්‍ය ජීවිතය මඟ හැරී යයි (පිස්සු හැදෙනු ඇත). අප සාමාන්‍යයෙන් මුස්ලිම් ගැහැණියක් හෝ මිනිසෙක් දුටුවහොත් එක් වරක් බලා පසුව අහක බලනු ඇත.

සාමාන්‍ය තත්වය එසේ වුවද දැන් අප ජීවත් වන්නේ සුවිශේෂ මොහොතකය. එනම් විශ්වීය එකමුතු වීම් (universal solidarity) වලින් ඔබ්බට ගොස් ඇමෙරිකාව පෙරට, චීනය පෙරට, රුසියාව පෙරට, ඉස්ලාම් දේශය පෙරට යන වර්ගයේ සටන් පාඨ ලෝකය පුරා ඇතිවෙමින් පවතින මොහොතක් ය මෙය. ජිජැක් පවසන්නේ 'නව ජාත්‍යන්තරවාදයක' (new internationalism) අවශ්‍යතාවය දැන් ලෝකය පුරා ඉස්මතු වෙමින් පවතී යන්නය. විශේෂයෙන් පරිසර ගැටළුව හමුවේ මේ එකමුතුව වඩාත් අවශ්‍ය වී ඇත. නමුත් අප දැනට ඉන්නේ දේශීය නොසැලකිලිමත් බවක් ඇතුලේ එකිනෙකා සමග කුළල් කා ගනිමින් ය. 

ඉහත නොසැලකිල්ල අපට ගෙනදුන් විනාශය ගැන දැන් අප දනිමු. සාමාන්‍ය මිනිසුන් වන අපට ඇතැම් දේ ඇත්තටම සිතාගත නොහැක. සත්‍යය එයයි. මේ නිසා සුවිශේෂයෙන් බුදු දහමේ පවා කියවෙන්නේ තමා ජිවත් වන මේ මොහොත ගැන සවිඥාණික වන්න යනුවෙනි (here and now). මා මෙහිදී ඔබට යෝජනා කරන්නේ තමා ඉදිරිපිට දිග හැරෙන මෙම ලෝකය ගැන යම් සැක කිරීමක් කරන ලෙසයි. අප දැන් ගත කරන්නේ සුවිශේෂී මොහොතක වන බැවින් කොගිටෝමය අර්ථයෙන් සැකය මේ මොහොතේ අවශ්‍ය වේ. ගුවන් යානා වලට පවා පහර දිය හැකි යුධ අවි සහ පුහුණු කාඩරයක් සිටි එල්. ටී. ටී. ඊ. සංවිධානය පවා විනාශ කළ හමුදාවක් ඉදිරියේ කඩු හත අටක් සහිත පල්ලියකට කළ හැකි කෙමනක් නැති වුවත් මෙම මරාගෙන මැරෙන ගොන්කම ඉදිරියේ අප ප්‍රවේශම් විය යුතුය. 

ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසෙන සැක කටයුතු පුද්ගලයින්, කණ්ඩායම්, පාර්සල්, ගමන් මලු, රථ වාහන ගැන සැලකිලිමත් වන්න. ඉස්ලාම් වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා, බෞද්ධ වේවා, කවුරුන් වුවත් ඔබේ අනෙකා අනවශ්‍ය ලෙස විශ්වාස නොකරන්න. එය ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් උපකාරී වනු ඇත. ඔබේ අසල්වැසියා යනු යක්ෂයෙක් නම් එවිට කරන්නේ කුමක්ද යන්න ස්ලාවෝ ජිජැක් අසන සාමාන්‍ය ප්‍රශ්නයයි. එනිසා ඉවසීමෙන් ආරක්ෂක අංශ වෙත සහයෝගය දක්වන්න. ඒ සමග ම මංගල සමරවීරගේ හිස් විශ්වීය බව සමඟ හෝ සංහිදියාව සමග හෝ මෙය පටලා නොගන්න.

හිස් විශ්වීය බව (empty universalism) යනු කුමක් ද? එයින් අදහස් කරන්නේ ගැඹුරු වසඟය යි. අසන්ධිමිත්තා හි විකී පෙන්වන බොරු ආදරය මෙන් මිනිසාගේ සැබෑ ස්වභාවය අනෙකා ඉදිරියේ ඉස්මතු නොවේ. හරියටම වසඟය යනු කළු කුහරයකි. සියළු සඥා තමා තුලට ඇදගනී. තමාගෙන් කිසිවක් පිටට නොයයි. තමාගේ ඇත්ත ආවේගය පිට නොකරයි (සීතලයෙක් ලෙස සිටින රනිල් දෙස බලා ඔබට කිසිවක් තේරුම් ගත හැකිද? නමුත් මෛත්‍රී කොතරම් ආවේග ශීලි වන්නේ ද? ගමේ ඉපදුන මෛත්‍රී දේවල් ගැන ආත්මීය අර්ථයෙන් අනුරාගිකය).

හදිසි නිතිය යටතේ මෛත්‍රීට බුර්කාව ගැන තීරණයක් ගැනීමට ගියේ මිනිත්තු කිහිපයකි. මද්‍රසා ගැනද එසේම ය. කොළඹ එක්තරා මවුලවියෙක් ජනාධිපති ගැන කේන්තියෙන් කතා කලේ පසු නූතන පුතා ට සිදුවූ අපහසුව ඔහුට ද දැනුණු හෙයිණි. 'මම ආච්චිලගේ ගෙදර යනවා පුතත් කැමතිනම් එන්න' යන වර්ගයේ පශ්චාත් නූතන ගතිකයක් මෛත්‍රීගේ තීරණය තුළ තිබුණේ නැත. ඔහු පුතාට කිවේ මෙපමණය. 'පුතා ඔයා අද ඔය තත්වයේ ඉන්නේ මම කියල කෙනෙක් ආච්චි හදපු නිසා. ඒ හින්ද කරුණාකරලා ඇදුමක් දාගන්න ආච්චිව බලල එන්න'. නූතන පියා යනු ක්‍රියාවේ වරදකාරිත්වය පුතා තුළ ඉතිරි නොකර වරද තමා වෙත ට ගන්නා පියාට ය (ජිජැක්, For They Know Not What They Do). පුතා ඇත්තට ම වෙනස් කිරීමට පශ්චාත් නූතන පියාට නුපුළුවන. හරි හෝ වැරදි වේවා ක්‍රියාවේ වරදකාරිත්වය මෛත්‍රී පිරිමියෙක් ලෙස තමා වෙතට ගත්තේය (රනිල් ඒක තලතාට සහ මුල්ලා ට පාස් කළේය - ඔහුගේ ම ප්‍රවෘත්ති නිවේදනයට අනුව). උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මහින්ද ගත්තේ ද මෙවන් පිරිමි තීරණයක් ය (කවුරු කොතරම් බැන්නත්). ඒ ගෞරවය ඔහුට හිමිය. කවුරු බැන්නත් ගෝඨා සම්බන්ද සත්‍යය පවා මෙයින් වෙනස් නැත. සරත් ෆොන්සේකා පවා පිරිමියෙක් මිස පසු නූතන පියෙක් නොවේය. හරී හෝ වැරදි කෙසේ වුවත් තීරණයක් අවශ්‍ය විට තීරණයක් ගැනීමට හැකි පාලකයින් අප පත්කර ගත යුතුය.

වසඟය යනු යමක් වෙනස් කරන මුවාවෙන් සිට ඇත්තටම දේවල් ඒ ආකාරයෙන්ම තිබෙන්නට හැරීමයි. උදාහරණ වශයෙන් උලමා වරුන් පවා මුහුණු ආවරණය ඉවත් කිරීමට එකඟ වී ඇති අවසථාවක මංගල සහ රනිල් වැනි පශ්චාත් නුතන පියවරුන් (පියවරුන්ට කරන අවමානයකි) නැවත නැවත උලමා වරුන් සහ මවුලවි වරුන් පස්සේ යන්නේ ඇයි? යමක් එතැනින් මෙතැනටත් මෙතැනින් එතැනටත් දමමින් යම් තීරණයක් ගැනීමට කල් මරන්නේ ඇයි? බුර්කාව පිළිබද තීරණාත්මක කතාවකදී එම තීරණය අධිකරණ ඇමතිගෙන් උලමාටත්, උලමාගෙන් මවුලවිටත්, මවුලවිගෙන් මුල්ලාටත්, මුල්ලාගෙන් අල් කයිඩාටත්, අල් කයිඩාගෙන් අල් සවාහිරි ටත්, අල් සවාහිරි ගෙන් බෝකෝ හරාම්ටත් පාස් කරමින් කල් මරන්නේ ඇයි? මේ සාකච්චාව, සම්මුතිය සහ සංහිදියාව ද? නැත. මේ වෙන ක්‍රීඩාවකි.

ලොව අන් සියළු සමාජ ස්ත්‍රිය ගැන සංකල්පය වෙනස් කර ගන්නා මොහොතක මුස්ලිම් සමාජයේ පමණක් ස්ත්‍රිය සම්බන්ද ෆැන්ටසිය වෙනස් නොවන්නේ මන්ද? මේ වසඟය තුළ නම් කෙසේවත් ඔවුන් වෙනස් කල නොහැකි වනු ඇත.

මා එසේ කියන්නේ රනිල් කඳවුරට සත්‍ය ලෙස මුස්ලිම් සමාජය වෙනස් කිරීමේ උමවනාවක් නැති හෙයිනි. ඔවුන්ට අවශ්‍ය තමන් මුස්ලිම් සමාජය ගැන මුස්ලිම් වරුන්ටත් වඩා සංවේදී බව පෙන්වා ඊළඟ චන්දයේ දී මුස්ලිම් චන්ද කුට්ටි කඩා ගැනීමට ය. උලමා වරුන් හිජාබය (නිකාබය) ඉවත් කිරීමට කැමැත්ත දී ඇති මොහොතක පවා ඔවුන්ට අවශ්‍ය උලමා වරුන්ටත් වඩා ඔවුන් සංවේදී බව පෙන්වා මුලධාර්මික කොටස් වල චන්දය ගැනීමට ය. මේ දිව්‍යමය ප්‍රචණ්ඩ බව (divine violence) නොව ගැඹුරු අර්ථයෙන් වසඟය යි. අප මුස්ලිම් වරුන්ට කියන්නේ මේ උගුලට අසු නොවන ලෙසයි. මුස්ලිම් සමාජය මේ අන්තවාදී කොටස් වලට කැමති නැත. මුස්ලිම් තරුණයින් විශාල වශයෙන් සයින්දමරදු ප්‍රහාරයේ දී හමුදාවට උදව් කලේ ඒ නිසාය. අප මහ ජාතිය ලෙස වඩා නුතන වනු (more modern than modern) දැකීම එම තරුණයින් ගේ බලාපොරොත්තු වයි. මන්ද අන්තවාදය ඉදිරියේ ඔවුන් තමන්ගේ භුමිය තුල අසරණ වී ඇති නිසාය (ඇඟේ හයිය මිස ඔවුන්ට වෙනත් බලයක් නැත). ඔවුන් බලාපොරොත්තු වන්නේ අන්තවාදයට එරෙහි පීතෘ මුලික පාලනයකි. එවිට ඔවුන් අන්තවාදය පරදා අප සමග එකතු වනු ඇත (සයින්දමරදු වලදී සිදු වුවේ එයයි). අන්තවාදයට එරෙහිව ඔවුන් බලවත් කල යුතුය (empowerment). අන්තවාදයෙන් පළාගිය Rahaf al-Qunun වැනි තරුණ තරුණියන් මුස්ලිම් සමාජයේ සිය දහස් ගණනින් ඇත. ඔවුන් ගැඹුරු අර්ථයෙන් බටහිර සමාජය වෙත ආශක්ත වී ඇති බව විචාරක මතයයි. එනයින් මුස්ලිම් තරුණ ජනගහනය දෙස අප අසමතුලිත ලෙස බැලිය යුතුය. අප රනිල් ට කියන්නේ අප මෙම මධ්‍යස්ථ කොටස් දිනා ගන්නා බවයි. ඔබලා අන්තවාදය සමග නිදි වදින්න!

අර මළ ඉලවු මවුලවියා ගේ ෆැන්ටසිය කුමක්දැයි මා නොදන්නා නමුත් මේ ලිපිය ලියන මගේ ෆැන්ටසිය නම් වික්ටෝරියා බෙකම් ය. නමුත් මෙහිදී මා ළිපියට අමුණන දේශපාලන චායාරූපය රහෆ් අල් කූනුන් ගේ ය (Rahaf al Qunun). 

කූනුන් ...ඇය කොතරම් ලස්සන ද? ඇය එක් පිරිමියෙකු ගේ සදාකාලික දේපලක් විය යුතුද? (විශේෂයෙන් අර මවුලවියා ගේ ... අපොයි!). පුදුමය නම් අර මවුලවි වරයා කරන ලද ප්‍රකාශය ගැන හෝ කූනුන් වැනි පිතෘ මූලිකයෙන් පලා යන ස්ත්‍රීන් ගැන හෝ අප දන්නා කොළඹ කොල්ලුපිටියේ ස්ත්‍රීවාදී කිසිවෙකු මේ දක්වා කට නොහෙල්ලීමයි.  

එතකොට කොල්ලුපිටියේ රනිල් ගේ ෆැන්ටසිය....මා එසේ අසන්නේ පූර්ව නූතන පියවරුන් ගෙන් පළායන කූනූන් වැනි තරුණියන් ගේ ආශාව (අර්ථවත් සම්ප්‍රදාය වෙනුවට නූතන හිස් බව වැළඳ ගැනීමට ධෛර්ය ඇති ස්ත්‍රියක් ලෙස. හිස්බව = void) තේරුම් ගැනීමට තරම් හැකියාවක් රනිල් ගේ ෆැන්ටසියට ඇත්ද යන්න තේරුම් ගැනීම සඳහා මිස රනිල් හෙළා දැකීමට නොවේයඇය තෝරා ගෙන ඇත්තේ සම්ප්‍රදාය වෙනුවට නූතන අර්ථ ශුන්‍ය යුරෝපීය ෆැන්ටසිය තරණය කිරීමට ය. ඒ කොන්ක්‍රීට් නගර, විදුලි බුබුළු, පතුලක් නැති හුදකලාව, එකතුවීම් සහ වෙන්වීම් ගහන විගලිත රාත්‍රී ජීවිතය සහ මත්ද්‍රව්‍ය නම් ෆැන්ටසි ලෝකය තරණයෙන් පසු (බලන්න මේ වසරේ ඔස්කාර් සම්මාන දිනූ A Star is Born සහ Bohemian Rhapsody චිත්‍රපට සහ ටැරන්ටිනෝ ගේ Pulp Fiction චිත්‍රපට) ඇයට මෙන්ම අප සියළු දෙනාට ම මුණ ගැසෙන්නේ ශුන්‍යතාවය යි. සහරාන් ලා මොන බෝම්බ බඩේ බැඳගෙන පුපුරුවා ගත්තත් අවසානයට ඇත්තේ සියළු දෙයහි අවසන් පරම - අර්ථයක් (absolute meaning) නැති බවයි. එනම් බුදුන් වහන්සේ හරහා අවසානයට අපට ව්‍යුත්පන්න කරගත හැකි දෙයයි. පරම ශුන්‍යතාවය යි (absolute nothingness). ශුන්‍යතාවය දෙසට ගමන් කිරීම නම් තැනදී කූනූන් සිටින්නේ සහරාන් ට වඩා ගව් ගණනක් නිර්භීතව සහ ඉදිරියෙන්ය.     

කියවීම්:
Kitaro, N. (1958). Intelligibility and Philosophy of Nothingness: Three Philosophical Essays. (trans. Robert Schinzinger). Honolulu. East-West Center Press. 

Zizek, S. (1991). For They Know Not What They Do. London. Verso. 

Zizek, S. (2006). The Parallax View. lacan.com. read online


Zizek, S. (2019). The Interview: Slavoj Zizek. in New Internationalist. real online


Wells, C. (2014). The Subject of Liberation: Zizek, Politics and Psychoanalysis. New York. Bloomsbury. 

නොදැනුමේ දේශපාලනය


හැමදාම සිදුවන පරිදි ම දේශපාලකයින් ජීවිතය බේරා ගෙන ඇත. සාමාන්‍ය මිනිසුන් මරණය වැළඳ ගෙන ඇත.

මරණය වැළඳ ගත් සාමාන්‍ය මිනිසුන් විසින් ජීවිතය බේරා ගෙන මාධ්‍ය වලට අලංකාර  ප්‍රකාශ නිකුත් කරන දේශපාලුවන් නැවත වරක් පාර්ලිමේන්තු යවනු ඇත. ඒ දේශපාලුවන් නැවතත් ඒ මිනිසුන්ට මරණය ම උරුම කර දෙනු ඇත. 

මිනිසුන් වේදනාවට ආශා කරන අතර දේශපාලුවන් මිනිසුන්ට වේදනාව ගෙන දීමෙන් තෘප්තියක් ලබයි. 

යටත් විජිත යුගයේ සිට අප පුරුදු වී ඇති මේ පර-පීඩා ස්ව-පීඩා විෂම චක්‍රය බිඳ දැමීමට වයිමා ට වත් බැරි වනු ඇත. යන්තම් හමුදාව එළියට බැස ඇති හෙයින් ඇවිදින මළමිනී බඳු මිනිසුන්ට යන්තම් හුස්ම ගැනීමට හැකිව ඇත. නැත්නම් ඇත්තේ මියගිය රටකි. ගෝලීය ත්‍රස්තවාදයක සෘජු ගොදුරක් වී ඇති ශ්‍රී ලංකාව තවදුරටත් පැරණි ලංකාව නොවේ. අප මෙතෙක් සිතූ සියල්ල තව දුරටත් මේ රට තේරුම් ගැනීම පිණිස අදාල නොවේ. රටේ ගමන් මඟ තීරණාත්මක ලෙස වෙනස් වී ඇත. මෙය නව ආපතික තත්වයකි. අප වැනි රටවල සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා හමුදාව අවශ්‍ය වීම ගැන 'නිදහස' සම්බන්දව ලොරි ටෝක් දෙන මංගල සමරවීර දැන් කියන්නේ කුමක්ද? පිටරට සිටින චන්ඩි මාක්ස්වාදීන් 'නිදහස' ගැන දැන් දරන මතය කුමක්ද? පශ්චාත් යටත් විජිත සර්වජන චන්දයේ නපුංසක බව වෙනුවට අප විනයගත හමුදාවක් පිළිබද තර්කය නව සමාජ යුතෝපියාවක් කරගත යුතුද? (ජෙම්සන්, An American Utopia: Dual Power and the Universal Army. Verso. 2016). 

අනෙක් අතට මිය යාම තම එකම දෛවය කරගත් මිනිසුන්ගේ ආවේගය ප්‍රකාශ කිරීමට ඇති එකම දේශපාලන මාධ්‍ය වන මුහුණු පොත වාරණය කර ඇත. වැඩකට නැති ජනමාධ්‍ය මිණී කඳු උඩින් ලාභ උපයමින් ඇත. බුද්ධි අංශ වාර්තා ළිපි හුවමාරු වූ අන්දම ගැන සෞන්දර්යාත්මක ප්‍රබන්ධයක් ජනාධිපති වරයා විසින් කරමින් ඇත. 

බුද්ධි අංශ වාර්තා සහ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත අතර එකට එකේ සම්බන්දයක් මේ යුගයේ නැත. සම්බන්ධයක් ඇත්නම් ඇත්තේ ඒ දේශපාලකයින් සිය ජීවිතය බේරා ගන්නට උත්සාහ කරන වැඩ පිළිවෙල තුළ සාමාන්‍ය මිනිසුන් යම් විදියකින් ස්ථානගතව සිටියහොත් පමණි. ප්‍රභූ ආරක්ෂාව මුලට එන්නේ එසේය.  

පහත් තැනින් ජලය ගලා බසිනවා මෙන් අවශ්‍ය නම් පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙක් ගේ තනතුරු එහා මෙහා කර දේශපාලකයින් තම ඇඟ බේරා ගන්නවා සිකුරුය. තව බෝම්බ කිහිපයක් නො පිපුරුණ හොත් නිසැක වශයෙන් අනිද්දා සිට නැවතත් දෙපැත්තට ගහන පරණ බල සෙල්ලම පටන් ගන්නවා ඇත. මිනිසුන් නැවතත් කට අයාගෙන ඒ දෙස බලා සිටිනවා නො අනුමානය. කොහොමත් ටික දවසකින් සියල්ල අමතක වී පරණ විදියට ම අප සාමාන්‍යකරණය වී පුරුදු නොසැලකිල්ල නැවතත් උඩට එනු ඇත. එවිට නැවත නව චිත්‍රපට විචාරයක් ඔස්සේ අපට මුණ ගැසිය හැකි වනු ඇත.      
  
ඒ කෙසේ වුවත් අවසානයේ අප සියල්ලන්ගේ ම 'විනෝදය' අභියෝගයට ලක් කිරීමට එම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සමත් විය. සදාකාලික නින්දෙන් අප ඇහැරුණි (eternal sleep). 2009 න් පසු රනිල් මෛත්‍රී පමණක් නොව අප සැවොම සිටියේ විනෝදයෙනි (මෙසේ කියන්නේ මම නොව නමගිය හමුදා නිලධාරියෙක් වූ සරත් ෆොන්සේකා ය. මේ සිද්ධියෙන් පසු පාර්ලිමේතුවේ සිටි අය අතරින් යම්කිසි බරක් ඇති දෙයක් පැවසුවානම් පැවසුවේ ද ඔහු පමණය). එසේ නොවේ යැයි සිතන්නේ නම් පසුගිය කාලය තුල අප ලිවූ කිවූ දේවල් දෙස නැවත බලන්න. අනික් අය කෙසේ වෙතත් මම මගෙන් පටන් ගනිමි. මගේ බ්ලොග් අඩවියෙන් පටන් ගත්තොත් එහි ඇත්තේ කුමක් ද? අසන්ධිමිත්තා, මුරකමි, අප්පච්චි ඇවිත්, රනිල්, මෛත්‍රී, හඳගම, හිරුණිකා, වික්ටෝරියා බෙකම්, සෙන් බුද්ධාගම, ෆැන්ටසි, යථාර්තය යන වචන අපේ (මගේ) ශබ්ද කෝෂයේ පිරී පැවතුණි. ඒවා විසින් මගේ ෆැන්ටසියේ සීමා ව සලකුණු කරන ලදී. අප සැවොම ගොනු වූවේ එවන් ප්‍රෙහේලිකාමය කතිකාවන් වටා යඒවාට ඔබ්බෙන් යථාවක් ඇති බව අපට වැටහුනේ නැත. ඒ යථාව මෙතරම් විශාල බව කිසිසේත් අපට වැටහුණේ නැත. ඉස්ලාම් අන්තවාදයක් ගැන දිනපතා ප්‍රවෘත්ති ගලා ආවත් මෙතරම් රාක්ෂයෙක් ලෙස එය ඉස්මතු වනු ඇතැයි අපට සිතුනේ නැත. අප අනෙකා සැක කළේ නැත (කොගිටෝව). 'නොදනුමේ දේශපාලනය' යනු එයයි. හේමසිරි ප්‍රනාන්දු විසින් කීමට උත්සාහ කළේ මේ දෙයයි ('අපි දැනගෙන හිටියා තමයි එත් මේ වගේ දෙයක් වෙයි කියලා අපි හිතුවේ නැහැ' ඒ ඔහුගේ හඬයි. කිසිදු පල්ලියක් හෝ හෝටලයක් හෝ ආරක්ෂක අංශයක් හෝ බක පණ්ඩිත ජ්‍යෝතිෂ කරුවෙක් හෝ 'එසේ වනු ඇතැයි' සිතුවේ ද නැත). සත්‍යය යනු ඒ නොදැනුමයි. 'එතරම් දෙයක් වනු ඇතැයි' පරිකල්පනය (සංකල්පකරණය) කිරීමට නොහැකි වීමයි. අප අද තරඟකාරී ලෙස ලියන කියන සියලුම දෑ යනු මෙම නොදැනුම වසා ගැනීමට අප දරනා ව්‍යාජ උත්සාහයන් වේ. 

අන්තිමට ආසන්න වශයෙන් හෝ මිනිසුන් වෙනුවෙන් 'සත්‍යය' ප්‍රකාශ කලේ පරිපාලන නිලධාරියෙක් වූ හේමසිරි ප්‍රනාන්දු ය. සත්‍යය යනු මිනිසාගේ අතිමුලික නොහැකියාව (fundamental impossibility) පිළිබද සත්‍යය වේ. 

The Silence of the Lambs (1991) චිත්‍රපටයේ ක්ලැරිස් විසින් ඇයට ඇයගේ FBI ස්වාමියා වන Jack Crawford විසින් දෙන අවවාද නොසලකා හැනිබල් ලෙක්ටර් විශ්වාස කිරීමට පෙළඹේ. බෆලෝ බිල් මිනීමරු දාමය සොයාගැනීම ගැන ග්‍රස්තිකයෙන් (obsession) පෙළෙන ඇය ඔහුට උදව් කිරීමට උත්සාහ කරයි. එසේ මේ මිනීමරු දාමය සොයාගත්තොත් ඇයට ලැබෙන උසස් වීම් ගැන ඇය දැනුවත් ය. ලෙක්ටර් ද ඒ ගැන දැනුවත් ය. නමුත් ඇයගේ මෙම ග්‍රස්තික දුර්වලතාවය හඳුනා ගන්නා හැනිබල් ලෙක්ටර් ඇයට උදව් කරන මුවාවෙන් කරන්නේ පෙර කිසිදා නොකළ ආකාරයේ විනාශයකි (ලෙක්ටර් වෙනුවට අවශ්‍ය නම් යහපාලන ආණ්ඩුවේ ඕනෑම් මුස්ලිම් දේශපාලන නායකයෙක් මෙයට ආදේශ කරගන්න). ක්ලැරිස් කොගිටෝමය අර්ථයෙන් ඔහු සැක නොකිරීම (සවිඥානික නොවීම) ඉහත විනාශයේ මුලය. උසස් වීම ගැන ග්‍රස්තිකයෙන් පෙළුණු ඇයගේ මෙම සවිඥානික නොවීම ඇයගේ අතිමුලික නොහැකියාවක් වේ. නමුත් දක්ෂ ගැහැණියක් වන ක්ලැරිස් ලෙක්ටර් හරහා ම බෆලෝ බිල් මිනීමරුවා සොයාගනී. එම සොයාගැනීම වෙනුවෙන් එතැනදී ඇය තමාට දෙනලද FBI සංකේත පිළිවෙලින් ඔබ්බට යයි.     

මේ 'අතිමුලික නොහැකියාව' පිළිබද කරුණේදී මදකට අප අප දෙසට හැරෙමු. අප අසන්ධිමිත්තා හෝ අප්පච්චි ඇවිත් ගැන ඇත්තටම දේශපාලනික වුවේ නම් මේ ප්‍රහාරයෙන් පසුව ද අප අසන්ධි හෝ අප්පච්චි ගැන කතා නොකරන්නේ ඇයි? ඒ කතිකාව ඔස්සේ ම අප මෙම තත්වයද විග්‍රහ නොකරන්නේ ඇයි? එසේ අප කලින් කලට මතු වන ප්‍රපංචයන් ඔස්සේ මාතෘකා මාරු කරන්නේ 'එන එන හැටියට ගහ උළුවස්සා' පන්නයේ ජනප්‍රිය වාදීන් වන නිසාද? නැත්නම් අපගේ නොදැනුම වසා ගැනීමට ඒවා ප්‍රමාණවත් නොවන නිසාද?

මේ සටහන ලියන්නේ ඉහත ප්‍රශ්නය ඉක්මනින් පැහැදිළි කර දී (අර්ථකතනය කර දී) මතවාදී අධිපත්‍යය මා වෙත නතු කර ගැනීමට නොවේ.  ඒ වෙනුවට අප ජිවත් වන ලෝකයේ පවතින අපගේ ම සංකල්ප සීමාව අවබෝධ කර ගැනීමට ය. යථාව ගැන පවතින අපගේ නොදැනුම තේරුම් කර දීමට ය. 'නොහැකියාව' තේරුම් කර දීමට ය. 

මේ දක්වා අපේ දෘෂ්ටිවාදී ප්‍රශ්නය වුවේ කුමක් ද? දේශපාලනය යනු ෆැන්ටසියක් ද යථාර්තයක් ද? අසන්ධිමිත්තා ෆැන්ටසියක් ද යථාර්තයක් ද? ඉහත මාතෘකා ගැන අපි කෙස් පැළෙන ලෙස තර්ක කළෙමු. පාලක පංතියට අවශ්‍ය ද එයම ය. එනම් අප වැඩක් නැති බොරු මාතෘකා වල පටලා තිබීම ය. ඔවුන් ඒ සඳහා ඇතැම් ලේඛකයින් වෙත මුදල් පවා ලබාදෙයි. අවසානයේ යථාර්තයේ පුපුරා ගියේ ෆැන්ටසි නොව අධි බලැති බෝම්බය. මතු වූවේ ආපතික යථාව ය. අසන්ධිමිත්තා පැමිණියේ නැත.  

මේ අතර අප වඩා ආවේ ගියේ සිංගප්පුරුවට ය. අපේ ෆැන්ටසි සිහින දේශය එය විය. චින ප්‍රාග්ධනය ඔස්සේ මස්තක ප්‍රාප්ත වන පෝට් සිටිය (Port City) ඔස්සේ අප සිහින දුටුවේ තවත් සිංගප්පුරු දේශයක් සැදීමට ය.  

මේ යක්ෂයාගේ ආගමනයට පෙර දින පවා අපේ අනාගත ජනාධිපති අපේක්ෂකයෙක් යනුවෙන් අප සිතාගෙන සිටින 'සාර්ථක වූ මිනිසෙක්' වන ෆැන්ටසි ධම්මික පෙරේරා මහතා ද සිංගප්පුරුවේ චැන්ගි ගුවන් තොටුපළේ රස්තියාදු ගසමින් සිටියේය (මුලින් කට්ට කාපු සාර්ථක මිනිසෙක් වන ඔහු කියන්නේ දැන් ඔහුට කිරීමට දෙයක් නොමැති බවයි. ඇත්තටම දැන් ඔහුට කරන්නට දෙයක් නැත). අන්තිමට බලන විට ජනාධිපති තුමා පවා 'නිවාඩුව' ගත කර ඇත්තේ සිංගප්පූරු සාප්පු සිහින ලන්තයේය. ඔහුට ද කරන්නට දෙයක් තිබී නැත.  

නමුත් සිංගප්පූරු සාමාන්‍ය වැසියන් කියන්නේ පැය විසි හතරම ආරක්‍ෂිත කැමරා තමා දෙස බලා සිටින මෙය සිහින ලන්තයක් නොව අපායක් යන්න ය. අහස සිඹින සාප්පු ලන්තය ඔවුන් යක්ෂයා ගෙන් 'ආරක්ෂා' කරන්නේ එසේය. තද පාලනයක් සහිත 'ආසියාතික ධනවාදය' එහි පවතී (Asiatic Capitalism). සල්ලිවලට කරන්නට දෙයක් දැන් ඔවුන්ට නැත. නිකම් සිටින ධම්මික පෙරේරා මෙහිදී නිවැරදි ය. 
        
ඉතිං අප සිතන්නේ මේ අර්බුද සමනය කිරීම සඳහා සහ අපගේ නුතන ෆැන්ටසිය රැක ගැනීම සඳහා 'තද පාලකයෙක්' (strict ruler) පත්කර ගැනීමට ය. මේ රට සිංගප්පූරුවක් කල හැක්කේ එවන් තද පාලකයෙක් පත්කර ගැනීමෙන් යන්න අපගේ සිහිනයයි (මෙයට කලින් තැබූ මුහුණු පොත් සටහනේ මම මතුකලේ මෙම විරුද්ධා භාෂයයි). 

නමුත් අප පැටලී ඉන්නේ ෆැන්ටසි වංකගිරියක බැවින් ඉහත විරුද්ධාභාෂය කිසිවෙක් තේරුම් ගන්නේ නැත. ෆැන්ටසිය රැක ගැනීම වෙනුවෙන් අප ගෙවන වන්දිය වනුයේ භීතිය ය. වෙනත් විදියකින් කිවහොත් අප ආශා කරන්නේ භීතිය නිෂ්පාදනය කල හැකි අයෙකුට ය. පනහ සහ හැටේ දශක නිෂ්පාදනය කලේ වසඟය (production of seduction) නම් සැප්තැම්බර් නව වෙනිදායින් පසුව අප නිෂ්පාදනය කරන්නේ භීතිය යි (production of terror). අප ඊයේ පෙරේදා අත්දකිනු ලැබුවේ එයයි. මේ සඳහා ඇෆ්ගන් මුස්ලිම් වරුන්ට අත්පොත් තැබුවේ අන් කවරෙක් වත් නොව ඇමෙරිකාවයි. දැන් තමන් බේරෙන්නට තාප්ප බඳින්නට හදන්නේ ද ඒ ඇමෙරිකාව ම ය.  

ඇත්ත ගෝලීය තත්වය කුමක් වුවත් දේශීය වශයෙන් සැවොම මේ අධිනිශ්චය වූ ෆැන්ටසි ප්‍රශ්නය වටා එක් රොක් විය. ෆැන්ටසිය... ෆැන්ටසිය...අපි ඉන්නේ ෆැන්ටසිය පැත්තේ. සියල්ලෝ පිළිතුරු දුණි. අපට තිබුණේ පෝට් සිටි ෆැන්ටසියයි. නමුත් පෝට් සිටියට මීටර් පන්සියයක් දුරින් ෆැන්ටසිය තුලින් ම රාක්ෂයා ඉස්මතු විය. බෝම්බ පිට බෝම්බ පුපුරා ගියේය. තඩි බැක් පැක් කරේ දමාගෙන එන මරුවා පරික්ෂා කරන්නට කිසිවෙක් සිතුවේ නැත. අප සිටියේ පෝට් සිටි ප්‍රමෝදය ඉස්පොල්ලේ ගොස්ය. 

එසේ නම් ඔවුන් පැවතී ඇත්තේ මගේ ෆැන්ටසි සීමාවට ඔබ්බෙනි. මට ඉතා සමීපව ඔවුන් සිටියත් එවැන්නක් ගැන සිතීමට පවා හැකි වුවේ නැත (අනික් අය සිතුවේද නැත). නමුත් ෆැන්ටසිය ඔස්සේ රාක්ෂයා පැමිණෙන බව පමණක් මා සියවරක් සටහන් කර ඇත. මගෙන් අවසානයට ප්‍රශ්නයක් ඇසුවේ ගරිල්ලා භටයා විය. ඔහුගේ ප්‍රශ්නය පවා ව්‍යුහගත වුවේ 'කුමන්ත්‍රණයක්' වටාය. ඔහුට පවා කතා කිරීමට අවශ්‍ය වූවේ මා හැනිබල් ලෙක්ටර් හරහා මතුකළ 'භීතියේ ආගමනය' ගැන වූ විරුද්ධාභාෂය පිළිබදව නොවේය. මා මේ කියන්නේ මා ද ඇතුළුව අප සැමගේ ම සංකල්පීය සීමාව ගැනය. යථාව ගැන ඇති අනවබෝධය ගැනය. 'නොදැනුමේ දේශපාලනය' ගැනය (කලින් ෆේස් බුක් සටහන නැවත කියවන්න).  

කුමන්ත්‍රණය කෙසේ වෙතත් අවසානයේ වැල්ලම් පිටියේ 'සාතන් ගේ මවගේ ගර්භාෂයෙන්' යක්ෂයා ගේ පැටවුන් පැමිණියේ ය (Satan's mother). වැල්ලම් පිටියට සුළු දුරකින් මෙහා සිටි කොල්ලුපිටියේ රනිල් පැමිණියේ නැත.  

නුතන අධ්‍යාපනය තුලින් ම සමාජ හිනිමගේ ඉහලට ම නැග ලන්ඩන් ගොස් අධ්‍යාපනය ලබා සහතික දරා ව්‍යාපාර කර සාර්ථක වී ඇති 'සාර්ථක මිනිසුන්' පිරිසක් විසින් අපගේ නුතන සිහිනයට බෝම්බ හෙලා ඇත. ඔවුන් හඩු ඇඳුම් ඇඳි 71 අරගලකරුවන් නොවේය. ලද අවසරයෙන් මිනී මස් කන හැනිබල් ලෙක්ටර් පවා හොඳින් බුර්ෂුවා අධ්‍යාපනය ලද අයෙකි. 

සරත් ෆොන්සේකා ට අනුව මේ ඉස්ලාමීය ත්‍රස්ත කොටස් කෙටි කලකින් විශාල දුරක් ගමන් කර ඇත. එම වේගය LTTE සංවිධනය පවා ඉක්මවා යන බව ඔහුගේ මතයයි. ලෝකය පුරා මුස්ලිම් තරුණ තරුණියන් මේ කළු කුහරය වෙතට වේගයෙන් අවශෝෂණය කර ගනිමින් ඇත. කන් වල ගසාගත් ඇබ වලින් ඇපල් අයි ෆෝන් ඔස්සේ ඔවුන් අසන්නේ ඩේවිඩ් බෝවී හෝ බොන් ජෝවි නොවන බව දැන් අපට පැහැදිළි විය යුතුය. ඔවුන් සොයන්නේ තම හිස් නූතන ජිවිතයට අර්ථයකි. අප දේශනා කරන හිස් බව තුළ ඔවුන්ට සිටිය නොහැක.  

සැප්තැම්බර් නවය බෝම්බය ඔවුන් හෙළුවේ තට්ටු පිට තට්ටු නැඟී අහස සිඹින 'නුතන සිහිනය' වෙතය (ෆැන්ටසිය). අද ඔවුන් කළේද ඒ දේම ය. ඔවුන් මෝඩයන් නොවීය. හොඳින් බටහිර අධ්‍යාපනය ලද අය විය. අපටත් වඩා බටහිර අවකාශයේ ජීවත් වුවන් විය (modern spatiality). නුතන අධ්‍යාපනයට ඔවුන් වෙනස් කළ නොහැකි විය. ඔවුන් තමා උගත් නුතන දෙය සමග දුරස්ථ සම්බන්දයක් ඇත්තවුන් විය (cynical distance). නුතන දැනුමට නොව ඔවුන් 'නො-දැනුමට' ආශා කරන ලදී. නුතන දැනුම සහ තාක්ෂණය පවා ඔවුන් භාවිතා කළේ නොදැනුම පිණිස ගමන් කරනු සඳහාය. නූතන හිස් බව ඔවුන් වසා ගත්තේ නූතනත්වයට එරෙහිව කැරළි ගැසීමෙනි. එම හිස් බව ඔවුන්ට පුරවා දුන්නේ ආගම විසින් වේ. ඔවුන් උගෙන ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙනි. මුලධර්මවාදය උගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙනි. නූතනත්වයේ සුව නොවන තුවාල සහිත ඔවුන් එම තුවාල සුවපත් කර ගැනීම පිණිස නැවත හැරී ඇත්තේ ශත වර්ෂ ගණනක් පැරණි ආගම වෙතට ය (හබමාස්, 2006). ඒ ද විපරීත අයුරිනි. එම ආගමික අධ්‍යාපනය හමුවේ නුතන අධ්‍යාපනය (දැනුම) නපුංසක විය. අප හැමගේම ෆැන්ටසියට එරෙහිව ඔවුන් තම ජීවිතය පුදා ලෝක ගෝලය පුරා කැරළි ගසමින් ඇත. ඇත්ත ගැටළුව ඇත්තේ එතැනය. 

'ISIS යනු මුස්ලිම් මුලධර්ම වාදයට කරනු ලබන නිග්‍රහයකි' (ස්ලාවෝ ජිජැක්).  

(මහා ලොකුවට ලිවුවාට මොකද දැන් මෙය පළ කිරීමට තැනක් නැති හෙයින් මුහුණු පොත යලිත් පැමිණෙන තෙක් සිටිය යුතුය. මුහුණු පොතේ විපරීත බව ගැන ලොරි ටෝක් දුන් මට සිදුවූ දෙය නම් මරුය. මේ මොහොතේ මුහුණු පොත වාරණය කර ඇති බැවින් මේ ලිපිය තාවකාලිකව බ්ලොග් ගත කරමි).   

Monday, April 1, 2019

සුළඟ අප රැගෙන යාවි...

දුර අහස මවන රූ රටා 
සුළඟ නගන ගායනා 
පුංචි සිතට පාට පිරුණු 
අරුම මවනවා
අරුම මවනවා...

ලස්සන ගීතයක්. වගේම ලස්සන තනුවක්. ෆිල්ම් එකේ මුල් හරියේ වගේ තියෙන ස්වභාව සෞන්දර්යය ඇතුලෙ මේ සින්දුව ඇහෙන කොට ම තේරුණා පොඩි Rock ටච් එකක් තියෙනවා කියල. බලනකොට චිත්‍රාල් වැඩේ ඇතුලේ ඉඳල තියෙනවා. මම කොහොමත් රොක් වලට ආසයි.  

ගිනි ගහන අව්වේ කෑගල්ල ටවුමේ ඇවිදගෙන යන මගේ හිතට ඒ සිංදුව ගෙනාවේ උණුසුම් හැඟීමක්. 'ලොවක් මවනවා' කියන පද දෙකෙන් ගේන්නේ බලාපොරොත්තුවක්. නිපදවන්නේ ආශාවක්. මිලානෝ හෝල් එකේ තමයි ෆිල්ම් එක තිබ්බේ. 'අසන්ධිමිත්තා' ගැන විචාරයක් ලියමින් බ්ලොග් එක අප්ඩේට් කර කර හිටිය මට මේ ෆිල්ම් එක හීනයක් දැක්ක වගේ උනා. 

ඕනිනම් විශ්ලේෂණ උපකරණ (analytical tools) ගෙනැල්ලා මේ ෆිල්ම් එක කුඩු කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්න හිත දෙන්නේ නැති කරුණු කීපයක් තියෙනවා. ඒවා ආත්මීය කරුණු.   

එක පැත්තකින් ඒ හීනයක් වෙන්නේ ෆිල්ම් එකේ කතාව මගේ අතීතය එක්ක සෘජුව ම සමපාත වීම. මගේ පරම්පරාවේ බොහෝ අයගේ ඉතිහාසයත් ඕක ම තමයි. ඇල දොළවල් තරණය කරගෙන නියරවල් උඩින් පැනගෙන ඉස්කෝලේ ගිහිල්ල කිරි අම්මා දුන්න (පහල පළාතේ කියන්නේ ආච්චි අම්ම) සත පනහ රුපියල දෙක සාක්කුවේ දාගෙන ගිහිල්ල මොනවා හරි කඩචෝරු කාල ආපහු එන්නේ මොනවද දවල් ට කන්න තියෙන්නේ කියල බලාගෙන. තිබුණේ කුප්පි ලාම්පු. පොල් අතු වහළවල්. මැටි බිත්ති. හරිම සුන්දරයි. හැබැයි කටුකයි.

කිරි අම්මා කියන චරිතය නැත්නම් අපි බොහෝ දෙනෙක් මෙතන නැහැ. එයා තමයි කතන්දර කියල දුන්නේ, බණ දහම ඉගැන්නුවේ, කොටින්ම  සංකේත පිළිවෙල හැදුවේ. ඒ කියන්නේ හොඳ නරක පිළිබද භාෂාව ඉගැන්නුවේ. අදත් දෝංකාර දෙනවා එයා උගන්වපු දේවල්. 

ෆිල්ම් එකේ කිරි අම්මා එළියට ඇවිල්ල හූණා කෑගැහුවා මොහොතක් ඉඳලා පලයල්ලා කියන කොට අර හැඩි දැඩි පිරිමි එක තැන ඉන්නවා අඩියක් හෙල්ලෙන්නේ නැතුව. එහෙම භක්තියක් තිබ්බා අපේ සමාජයේ වයසක අයට. විශේෂයෙන් වයස්ගත ස්ත්‍රියට.  

මේ අතරේ කැමරාව ඉස්පාසුවක් නැතුව දුවනවා ස්වභාව ධර්මය කැප්ච(ර්) කර ගන්න.  

ලස්සන කඳු මුදුන්, දිය ඇලි, සානු, මිටියාවත් කොච්චර ලස්සන රටක් ද මේක. Nature එක පැත්තෙන් කැමරාකරු මාර වැඩක් කරනවා. 

මේ දවස් වල මම කියව කියව හිටියේ මුරකමි වුනාට මට දිගට ම මතක් වුනේ  කවබතා...ඔලුව පීරි ගාන කෘති දෙකකට පස්සේ (අසන්ධි සහ අප්පච්චි ඇවිත්අම්මෝ නිවන් දැක්කා වගේ. 

එයාල කියන්නේ එයාලට ඕනි කියල ප්‍රේක්ෂකයට නැත්නම් පාඨකයට අභියෝග කරන්න. ඇත්ත තමයි. කෆ්කා වගේ ලේඛකයෝ කියවන එක අභියෝගයක් තමයි. එත් බලන්න ගෝර්කි, අයිත්මාතව්, ගොගොල් වගේ රුසියානු ලේඛකයෝ. එයාල පෙර නොවූ විරූ රසයක් නිෂ්පත්ති කළා.    

මට එක අතකට පුදුමයි මේ මිනිස්සුන්ගේ මනස වැඩ කරන හැටි දැක්කම. හැඟීමක් නැතිව රසයක් නැතුව මෙහෙම පිටු ගණන් ලියන්න හිත හදාගත්ත මේ අය මිනිසුන් වෙන්න බැහැ. මෙයාල අර යුවල් නෝවා හරාරි කියන පසු මිනිසුන් (post-human) වෙන්න ඕනි. සද්ගුරු කියනවා වගේ මේ අය දක්ෂ කපලා කොටලා විශ්ලේෂණය කරන්න (dissect). හැබැයි ජීවත් වෙන්න බැහැ.     

මම ආස ම පොටෝ එකක් තමයි සද්ගුරු නේපාලයේ කඳු මුදුනක භාවනා කරන ලස්සන දර්ශනය. කඳු මුදුන් වලට මම කොහොමත් ආසයි. ඒ වගේ දර්ශන සිය දහස් ගණනක් අපට 'සුළඟ අප රැගෙන යාවි' ගෙන එනවා. මම මේක විල්පත්තුව එක්ක පටලන්නෙ නැහැ. 

ගමේ ලස්සන ඔස්සේ ළමයෙක් වැරදීමකින් වගේ ආපතික ලෙස ලොරියක එල්ලිලා නගරයට එනවා. එයා හොයන්නේ නැතිවෙච්ච 'සුද්දා' කියන (සුදු ස්වාමියා නොවේ) ගොන් වස්සා. එයාගේ ෆැන්ටසි එක ඒක (මේ වචනේ නැතුව හුස්ම ගන්නවත් බැහැ මේ දවස් වල). 'සුද්දා' හරක් හොරු ගෙනිහිල්ලා. ඉතින් මට මේ ෆිල්ම් එකේ තියෙන එකම දේ තමා ෂෙලිනියානු නපුර කියන එක. ඒ කියන්නේ ඒ ළමයට නගරය මුණ ගැසෙන්නේ 'හරක් හොරු' කියන නපුර (evil) ඔස්සේ කියන එක. ඒක හොඳ දෙයක්. ස්වභාවික බවෙන් මිනිසා ඛණ්ඩනය කරන මේ නපුර ට ඕනි නම් දිව්‍යමය ප්‍රචණ්ඩ බව කියල කියන්නත් පුළුවන්. මොකද බය නැතුව කොලොම්බස් වගේ නගරයට ආපු ඔහුට තමා ඇත්තට ම සුද්දා සොයා ගන්න පුළුවන් කම ලැබෙන්නෙත් (ගෙදර හිටපු අයට නොවෙයි). ඒ නිසා අපිට නපුර, සංක්‍රමණය සහ වෙනස ප්‍රතික්ෂේප කරන්න බැහැ.   

නගරයේදී ත් ඔහුට පිහිට වෙන්න දුවක් ඉන්නවා. ඒ කියන්නේ නගරය කියන තැන සම්පුර්ණයෙන් ම නරක තැනක් කරන්නේ නැහැ සිනමාකරු. ඒක ඉතාම වැදගත්. නීටා දේශායි ගේ The Village by the Sea (1982) කතාවත් මේ වගේම යි.   

ෆිල්ම් එකේ තියෙන ගුප්ත කෑලි මොනවා උනත් සිනමාකරු ඉන්නේ මැදුම් පිළිවෙතේ. ඒ කියන්නේ හොඳ සහ නරක අතරේ.  

අර සිංදුවත් එක්ක ගත්ත ම චිත්‍රපටය මට ධනාත්මකයි. ගමෙන් නගරයට එන එක හොඳයි. ඉන් පස්සේ නගරයෙන් ලෝකයට හමන ගෝලීය සුළඟත් නරක් වෙන එකක් නැහැ. අපි හුළඟත් එක්ක යන්න ඕනි. එක තැනක කියල නතර වෙන්න ඕනි නැහැ. සියල්ල එක් නිමේෂයකින් පසු අනික් නිමේෂයට යද්දී විසංයෝජනය වෙනවා. පොඩි දරුවා ගේ නගර ආගමනය විසින් මෙය ඔප්පු කරනවා. ගැමි ලස්සන දැකල අපි තව මිනිත්තුකින් කැමරාව ඔස්සේ කොන්ක්‍රීට් වනන්තරේ දකින්න ගන්නවා. ගමෙන් ඇවිත් පැය කීපයකින් දරුවා දකින්නේ කවදාවත් නොදැකපු කොන්ක්‍රිට් ලෝකයක්. නිව්යෝක් මිටත් වඩා ලොකු කොන්ක්‍රිට් ලෝකයක්. මොන කොන්ක්‍රිට් ලෝක හැදුවත් සියල්ල ශුන්‍යතාවයෙන් (අනිත්‍යයෙන්) කෙලවර වෙන්න නියමිතයි. එත් අපිට ඒ ශුන්‍යතාවය වැළඳ ගන්නවා හැර වෙන කරන්න දෙයකුත් නැහැ. අපි බුදුන් වහන්සේ ගෙන් ගන්නවා නම් ගන්න ඕනි දේ ඒක විතරයි. එතැනදීත් චිත්‍රපටය ගෙන එන 'සුළඟ' කියන රූපකය මට ධනාත්මකයි.

හරුකි මුරකමි එයාගේ මුල්ම නවකතාවේ කියන්නේ 'සුළඟ ගීත කියන නාදයට සවන් දෙන්න' කියල (Hear the Wind Sing). පුදුම හිතෙන තරම් ලස්සන සාන්දෘෂ්ටික නවකතාවක්. අපිට ඒ වගේ ලියන්න බැරි ඉස්පාසුවක් නැති නිසා. ආශා කරන්න බැරි නිසා. 

ඉතින් හුළඟට අහු වෙලා මේ ලෝකේ කොහේ ගියත් විශ්වීය වටිනාකම් එක්ක ඉන්න. ආපහු හැරෙන්න එපා. කියන්න තියෙන්නේ එච්චරයි. 

තමා වැටුන තැන කොතැන හෝ වේවා එතැන නව ලෝකයක් තනන්න.  

----------------------------------------------------------
(මගේ වැඩේ ඉවරයි කියල දැන් මට හිතෙනවා. ඒ නිසාම දෝ මම හොයා හොයා හිටියේ 'සින්තෝමය' බ්ලොග් එක නවත්වන්න ඕනි තේමාවක්. මම හිතන්නේ ඒක මට මේ චිත්‍රපටය ගෙනැවිල්ලා දීලා තියෙනවා. ඕනිම සුළඟක් නවතින්න ඕනි. මොකද මට දැන් මහන්සියි. අනෙක් අතට කිසිදා ලෙහන්න බැරි ප්‍රෙහේලිකා ලෙහන්න කාලය වැය කරනවට වඩා තව දේවල් තියෙනවා කරන්න. බ්ලොග් එකේ ලිපි දෙකක් විතරක් තියෙනවා තව අප්ඩේට් කරන්න. එකක් අසන්ධි අනෙක අප්පච්චි. ඒ විචාර දෙක ඉවර කරන්න ඕනි. ඉතින් ඒකට මම පොඩි කාලයක් ගන්නවා. ඔබට ආයුබෝවන්. බ්ලොග් එක දිගට ම කියවන අය වෙනුවෙන් repository එකක් හැටියට තියෙයි. ගූගල් කට්ටිය කවදාහරි මකනකම් මකන්නේ නැහැ. ඒ අතරේ 'සුළඟ අප කොහේ හෝ රැගෙන යාවි').  

Salute!
මහේෂ් 
(2019 අප්‍රේල් පළමු වැනිදා)