Saturday, April 27, 2019

නොදැනුමේ දේශපාලනය


හැමදාම සිදුවන පරිදි ම දේශපාලකයින් ජීවිතය බේරා ගෙන ඇත. සාමාන්‍ය මිනිසුන් මරණය වැළඳ ගෙන ඇත.

මරණය වැළඳ ගත් සාමාන්‍ය මිනිසුන් විසින් ජීවිතය බේරා ගෙන මාධ්‍ය වලට අලංකාර  ප්‍රකාශ නිකුත් කරන දේශපාලුවන් නැවත වරක් පාර්ලිමේන්තු යවනු ඇත. ඒ දේශපාලුවන් නැවතත් ඒ මිනිසුන්ට මරණය ම උරුම කර දෙනු ඇත. 

මිනිසුන් වේදනාවට ආශා කරන අතර දේශපාලුවන් මිනිසුන්ට වේදනාව ගෙන දීමෙන් තෘප්තියක් ලබයි. 

යටත් විජිත යුගයේ සිට අප පුරුදු වී ඇති මේ පර-පීඩා ස්ව-පීඩා විෂම චක්‍රය බිඳ දැමීමට වයිමා ට වත් බැරි වනු ඇත. යන්තම් හමුදාව එළියට බැස ඇති හෙයින් ඇවිදින මළමිනී බඳු මිනිසුන්ට යන්තම් හුස්ම ගැනීමට හැකිව ඇත. නැත්නම් ඇත්තේ මියගිය රටකි. ගෝලීය ත්‍රස්තවාදයක සෘජු ගොදුරක් වී ඇති ශ්‍රී ලංකාව තවදුරටත් පැරණි ලංකාව නොවේ. අප මෙතෙක් සිතූ සියල්ල තව දුරටත් මේ රට තේරුම් ගැනීම පිණිස අදාල නොවේ. රටේ ගමන් මඟ තීරණාත්මක ලෙස වෙනස් වී ඇත. මෙය නව ආපතික තත්වයකි. අප වැනි රටවල සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා හමුදාව අවශ්‍ය වීම ගැන 'නිදහස' සම්බන්දව ලොරි ටෝක් දෙන මංගල සමරවීර දැන් කියන්නේ කුමක්ද? පිටරට සිටින චන්ඩි මාක්ස්වාදීන් 'නිදහස' ගැන දැන් දරන මතය කුමක්ද? පශ්චාත් යටත් විජිත සර්වජන චන්දයේ නපුංසක බව වෙනුවට අප විනයගත හමුදාවක් පිළිබද තර්කය නව සමාජ යුතෝපියාවක් කරගත යුතුද? (ජෙම්සන්, An American Utopia: Dual Power and the Universal Army. Verso. 2016). 

අනෙක් අතට මිය යාම තම එකම දෛවය කරගත් මිනිසුන්ගේ ආවේගය ප්‍රකාශ කිරීමට ඇති එකම දේශපාලන මාධ්‍ය වන මුහුණු පොත වාරණය කර ඇත. වැඩකට නැති ජනමාධ්‍ය මිණී කඳු උඩින් ලාභ උපයමින් ඇත. බුද්ධි අංශ වාර්තා ළිපි හුවමාරු වූ අන්දම ගැන සෞන්දර්යාත්මක ප්‍රබන්ධයක් ජනාධිපති වරයා විසින් කරමින් ඇත. 

බුද්ධි අංශ වාර්තා සහ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත අතර එකට එකේ සම්බන්දයක් මේ යුගයේ නැත. සම්බන්ධයක් ඇත්නම් ඇත්තේ ඒ දේශපාලකයින් සිය ජීවිතය බේරා ගන්නට උත්සාහ කරන වැඩ පිළිවෙල තුළ සාමාන්‍ය මිනිසුන් යම් විදියකින් ස්ථානගතව සිටියහොත් පමණි. ප්‍රභූ ආරක්ෂාව මුලට එන්නේ එසේය.  

පහත් තැනින් ජලය ගලා බසිනවා මෙන් අවශ්‍ය නම් පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙක් ගේ තනතුරු එහා මෙහා කර දේශපාලකයින් තම ඇඟ බේරා ගන්නවා සිකුරුය. තව බෝම්බ කිහිපයක් නො පිපුරුණ හොත් නිසැක වශයෙන් අනිද්දා සිට නැවතත් දෙපැත්තට ගහන පරණ බල සෙල්ලම පටන් ගන්නවා ඇත. මිනිසුන් නැවතත් කට අයාගෙන ඒ දෙස බලා සිටිනවා නො අනුමානය. කොහොමත් ටික දවසකින් සියල්ල අමතක වී පරණ විදියට ම අප සාමාන්‍යකරණය වී පුරුදු නොසැලකිල්ල නැවතත් උඩට එනු ඇත. එවිට නැවත නව චිත්‍රපට විචාරයක් ඔස්සේ අපට මුණ ගැසිය හැකි වනු ඇත.      
  
ඒ කෙසේ වුවත් අවසානයේ අප සියල්ලන්ගේ ම 'විනෝදය' අභියෝගයට ලක් කිරීමට එම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සමත් විය. සදාකාලික නින්දෙන් අප ඇහැරුණි (eternal sleep). 2009 න් පසු රනිල් මෛත්‍රී පමණක් නොව අප සැවොම සිටියේ විනෝදයෙනි (මෙසේ කියන්නේ මම නොව නමගිය හමුදා නිලධාරියෙක් වූ සරත් ෆොන්සේකා ය. මේ සිද්ධියෙන් පසු පාර්ලිමේතුවේ සිටි අය අතරින් යම්කිසි බරක් ඇති දෙයක් පැවසුවානම් පැවසුවේ ද ඔහු පමණය). එසේ නොවේ යැයි සිතන්නේ නම් පසුගිය කාලය තුල අප ලිවූ කිවූ දේවල් දෙස නැවත බලන්න. අනික් අය කෙසේ වෙතත් මම මගෙන් පටන් ගනිමි. මගේ බ්ලොග් අඩවියෙන් පටන් ගත්තොත් එහි ඇත්තේ කුමක් ද? අසන්ධිමිත්තා, මුරකමි, අප්පච්චි ඇවිත්, රනිල්, මෛත්‍රී, හඳගම, හිරුණිකා, වික්ටෝරියා බෙකම්, සෙන් බුද්ධාගම, ෆැන්ටසි, යථාර්තය යන වචන අපේ (මගේ) ශබ්ද කෝෂයේ පිරී පැවතුණි. ඒවා විසින් මගේ ෆැන්ටසියේ සීමා ව සලකුණු කරන ලදී. අප සැවොම ගොනු වූවේ එවන් ප්‍රෙහේලිකාමය කතිකාවන් වටා යඒවාට ඔබ්බෙන් යථාවක් ඇති බව අපට වැටහුනේ නැත. ඒ යථාව මෙතරම් විශාල බව කිසිසේත් අපට වැටහුණේ නැත. ඉස්ලාම් අන්තවාදයක් ගැන දිනපතා ප්‍රවෘත්ති ගලා ආවත් මෙතරම් රාක්ෂයෙක් ලෙස එය ඉස්මතු වනු ඇතැයි අපට සිතුනේ නැත. අප අනෙකා සැක කළේ නැත (කොගිටෝව). 'නොදනුමේ දේශපාලනය' යනු එයයි. හේමසිරි ප්‍රනාන්දු විසින් කීමට උත්සාහ කළේ මේ දෙයයි ('අපි දැනගෙන හිටියා තමයි එත් මේ වගේ දෙයක් වෙයි කියලා අපි හිතුවේ නැහැ' ඒ ඔහුගේ හඬයි. කිසිදු පල්ලියක් හෝ හෝටලයක් හෝ ආරක්ෂක අංශයක් හෝ බක පණ්ඩිත ජ්‍යෝතිෂ කරුවෙක් හෝ 'එසේ වනු ඇතැයි' සිතුවේ ද නැත). සත්‍යය යනු ඒ නොදැනුමයි. 'එතරම් දෙයක් වනු ඇතැයි' පරිකල්පනය (සංකල්පකරණය) කිරීමට නොහැකි වීමයි. අප අද තරඟකාරී ලෙස ලියන කියන සියලුම දෑ යනු මෙම නොදැනුම වසා ගැනීමට අප දරනා ව්‍යාජ උත්සාහයන් වේ. 

අන්තිමට ආසන්න වශයෙන් හෝ මිනිසුන් වෙනුවෙන් 'සත්‍යය' ප්‍රකාශ කලේ පරිපාලන නිලධාරියෙක් වූ හේමසිරි ප්‍රනාන්දු ය. සත්‍යය යනු මිනිසාගේ අතිමුලික නොහැකියාව (fundamental impossibility) පිළිබද සත්‍යය වේ. 

The Silence of the Lambs (1991) චිත්‍රපටයේ ක්ලැරිස් විසින් ඇයට ඇයගේ FBI ස්වාමියා වන Jack Crawford විසින් දෙන අවවාද නොසලකා හැනිබල් ලෙක්ටර් විශ්වාස කිරීමට පෙළඹේ. බෆලෝ බිල් මිනීමරු දාමය සොයාගැනීම ගැන ග්‍රස්තිකයෙන් (obsession) පෙළෙන ඇය ඔහුට උදව් කිරීමට උත්සාහ කරයි. එසේ මේ මිනීමරු දාමය සොයාගත්තොත් ඇයට ලැබෙන උසස් වීම් ගැන ඇය දැනුවත් ය. ලෙක්ටර් ද ඒ ගැන දැනුවත් ය. නමුත් ඇයගේ මෙම ග්‍රස්තික දුර්වලතාවය හඳුනා ගන්නා හැනිබල් ලෙක්ටර් ඇයට උදව් කරන මුවාවෙන් කරන්නේ පෙර කිසිදා නොකළ ආකාරයේ විනාශයකි (ලෙක්ටර් වෙනුවට අවශ්‍ය නම් යහපාලන ආණ්ඩුවේ ඕනෑම් මුස්ලිම් දේශපාලන නායකයෙක් මෙයට ආදේශ කරගන්න). ක්ලැරිස් කොගිටෝමය අර්ථයෙන් ඔහු සැක නොකිරීම (සවිඥානික නොවීම) ඉහත විනාශයේ මුලය. උසස් වීම ගැන ග්‍රස්තිකයෙන් පෙළුණු ඇයගේ මෙම සවිඥානික නොවීම ඇයගේ අතිමුලික නොහැකියාවක් වේ. නමුත් දක්ෂ ගැහැණියක් වන ක්ලැරිස් ලෙක්ටර් හරහා ම බෆලෝ බිල් මිනීමරුවා සොයාගනී. එම සොයාගැනීම වෙනුවෙන් එතැනදී ඇය තමාට දෙනලද FBI සංකේත පිළිවෙලින් ඔබ්බට යයි.     

මේ 'අතිමුලික නොහැකියාව' පිළිබද කරුණේදී මදකට අප අප දෙසට හැරෙමු. අප අසන්ධිමිත්තා හෝ අප්පච්චි ඇවිත් ගැන ඇත්තටම දේශපාලනික වුවේ නම් මේ ප්‍රහාරයෙන් පසුව ද අප අසන්ධි හෝ අප්පච්චි ගැන කතා නොකරන්නේ ඇයි? ඒ කතිකාව ඔස්සේ ම අප මෙම තත්වයද විග්‍රහ නොකරන්නේ ඇයි? එසේ අප කලින් කලට මතු වන ප්‍රපංචයන් ඔස්සේ මාතෘකා මාරු කරන්නේ 'එන එන හැටියට ගහ උළුවස්සා' පන්නයේ ජනප්‍රිය වාදීන් වන නිසාද? නැත්නම් අපගේ නොදැනුම වසා ගැනීමට ඒවා ප්‍රමාණවත් නොවන නිසාද?

මේ සටහන ලියන්නේ ඉහත ප්‍රශ්නය ඉක්මනින් පැහැදිළි කර දී (අර්ථකතනය කර දී) මතවාදී අධිපත්‍යය මා වෙත නතු කර ගැනීමට නොවේ.  ඒ වෙනුවට අප ජිවත් වන ලෝකයේ පවතින අපගේ ම සංකල්ප සීමාව අවබෝධ කර ගැනීමට ය. යථාව ගැන පවතින අපගේ නොදැනුම තේරුම් කර දීමට ය. 'නොහැකියාව' තේරුම් කර දීමට ය. 

මේ දක්වා අපේ දෘෂ්ටිවාදී ප්‍රශ්නය වුවේ කුමක් ද? දේශපාලනය යනු ෆැන්ටසියක් ද යථාර්තයක් ද? අසන්ධිමිත්තා ෆැන්ටසියක් ද යථාර්තයක් ද? ඉහත මාතෘකා ගැන අපි කෙස් පැළෙන ලෙස තර්ක කළෙමු. පාලක පංතියට අවශ්‍ය ද එයම ය. එනම් අප වැඩක් නැති බොරු මාතෘකා වල පටලා තිබීම ය. ඔවුන් ඒ සඳහා ඇතැම් ලේඛකයින් වෙත මුදල් පවා ලබාදෙයි. අවසානයේ යථාර්තයේ පුපුරා ගියේ ෆැන්ටසි නොව අධි බලැති බෝම්බය. මතු වූවේ ආපතික යථාව ය. අසන්ධිමිත්තා පැමිණියේ නැත.  

මේ අතර අප වඩා ආවේ ගියේ සිංගප්පුරුවට ය. අපේ ෆැන්ටසි සිහින දේශය එය විය. චින ප්‍රාග්ධනය ඔස්සේ මස්තක ප්‍රාප්ත වන පෝට් සිටිය (Port City) ඔස්සේ අප සිහින දුටුවේ තවත් සිංගප්පුරු දේශයක් සැදීමට ය.  

මේ යක්ෂයාගේ ආගමනයට පෙර දින පවා අපේ අනාගත ජනාධිපති අපේක්ෂකයෙක් යනුවෙන් අප සිතාගෙන සිටින 'සාර්ථක වූ මිනිසෙක්' වන ෆැන්ටසි ධම්මික පෙරේරා මහතා ද සිංගප්පුරුවේ චැන්ගි ගුවන් තොටුපළේ රස්තියාදු ගසමින් සිටියේය (මුලින් කට්ට කාපු සාර්ථක මිනිසෙක් වන ඔහු කියන්නේ දැන් ඔහුට කිරීමට දෙයක් නොමැති බවයි. ඇත්තටම දැන් ඔහුට කරන්නට දෙයක් නැත). අන්තිමට බලන විට ජනාධිපති තුමා පවා 'නිවාඩුව' ගත කර ඇත්තේ සිංගප්පූරු සාප්පු සිහින ලන්තයේය. ඔහුට ද කරන්නට දෙයක් තිබී නැත.  

නමුත් සිංගප්පූරු සාමාන්‍ය වැසියන් කියන්නේ පැය විසි හතරම ආරක්‍ෂිත කැමරා තමා දෙස බලා සිටින මෙය සිහින ලන්තයක් නොව අපායක් යන්න ය. අහස සිඹින සාප්පු ලන්තය ඔවුන් යක්ෂයා ගෙන් 'ආරක්ෂා' කරන්නේ එසේය. තද පාලනයක් සහිත 'ආසියාතික ධනවාදය' එහි පවතී (Asiatic Capitalism). සල්ලිවලට කරන්නට දෙයක් දැන් ඔවුන්ට නැත. නිකම් සිටින ධම්මික පෙරේරා මෙහිදී නිවැරදි ය. 
        
ඉතිං අප සිතන්නේ මේ අර්බුද සමනය කිරීම සඳහා සහ අපගේ නුතන ෆැන්ටසිය රැක ගැනීම සඳහා 'තද පාලකයෙක්' (strict ruler) පත්කර ගැනීමට ය. මේ රට සිංගප්පූරුවක් කල හැක්කේ එවන් තද පාලකයෙක් පත්කර ගැනීමෙන් යන්න අපගේ සිහිනයයි (මෙයට කලින් තැබූ මුහුණු පොත් සටහනේ මම මතුකලේ මෙම විරුද්ධා භාෂයයි). 

නමුත් අප පැටලී ඉන්නේ ෆැන්ටසි වංකගිරියක බැවින් ඉහත විරුද්ධාභාෂය කිසිවෙක් තේරුම් ගන්නේ නැත. ෆැන්ටසිය රැක ගැනීම වෙනුවෙන් අප ගෙවන වන්දිය වනුයේ භීතිය ය. වෙනත් විදියකින් කිවහොත් අප ආශා කරන්නේ භීතිය නිෂ්පාදනය කල හැකි අයෙකුට ය. පනහ සහ හැටේ දශක නිෂ්පාදනය කලේ වසඟය (production of seduction) නම් සැප්තැම්බර් නව වෙනිදායින් පසුව අප නිෂ්පාදනය කරන්නේ භීතිය යි (production of terror). අප ඊයේ පෙරේදා අත්දකිනු ලැබුවේ එයයි. මේ සඳහා ඇෆ්ගන් මුස්ලිම් වරුන්ට අත්පොත් තැබුවේ අන් කවරෙක් වත් නොව ඇමෙරිකාවයි. දැන් තමන් බේරෙන්නට තාප්ප බඳින්නට හදන්නේ ද ඒ ඇමෙරිකාව ම ය.  

ඇත්ත ගෝලීය තත්වය කුමක් වුවත් දේශීය වශයෙන් සැවොම මේ අධිනිශ්චය වූ ෆැන්ටසි ප්‍රශ්නය වටා එක් රොක් විය. ෆැන්ටසිය... ෆැන්ටසිය...අපි ඉන්නේ ෆැන්ටසිය පැත්තේ. සියල්ලෝ පිළිතුරු දුණි. අපට තිබුණේ පෝට් සිටි ෆැන්ටසියයි. නමුත් පෝට් සිටියට මීටර් පන්සියයක් දුරින් ෆැන්ටසිය තුලින් ම රාක්ෂයා ඉස්මතු විය. බෝම්බ පිට බෝම්බ පුපුරා ගියේය. තඩි බැක් පැක් කරේ දමාගෙන එන මරුවා පරික්ෂා කරන්නට කිසිවෙක් සිතුවේ නැත. අප සිටියේ පෝට් සිටි ප්‍රමෝදය ඉස්පොල්ලේ ගොස්ය. 

එසේ නම් ඔවුන් පැවතී ඇත්තේ මගේ ෆැන්ටසි සීමාවට ඔබ්බෙනි. මට ඉතා සමීපව ඔවුන් සිටියත් එවැන්නක් ගැන සිතීමට පවා හැකි වුවේ නැත (අනික් අය සිතුවේද නැත). නමුත් ෆැන්ටසිය ඔස්සේ රාක්ෂයා පැමිණෙන බව පමණක් මා සියවරක් සටහන් කර ඇත. මගෙන් අවසානයට ප්‍රශ්නයක් ඇසුවේ ගරිල්ලා භටයා විය. ඔහුගේ ප්‍රශ්නය පවා ව්‍යුහගත වුවේ 'කුමන්ත්‍රණයක්' වටාය. ඔහුට පවා කතා කිරීමට අවශ්‍ය වූවේ මා හැනිබල් ලෙක්ටර් හරහා මතුකළ 'භීතියේ ආගමනය' ගැන වූ විරුද්ධාභාෂය පිළිබදව නොවේය. මා මේ කියන්නේ මා ද ඇතුළුව අප සැමගේ ම සංකල්පීය සීමාව ගැනය. යථාව ගැන ඇති අනවබෝධය ගැනය. 'නොදැනුමේ දේශපාලනය' ගැනය (කලින් ෆේස් බුක් සටහන නැවත කියවන්න).  

කුමන්ත්‍රණය කෙසේ වෙතත් අවසානයේ වැල්ලම් පිටියේ 'සාතන් ගේ මවගේ ගර්භාෂයෙන්' යක්ෂයා ගේ පැටවුන් පැමිණියේ ය (Satan's mother). වැල්ලම් පිටියට සුළු දුරකින් මෙහා සිටි කොල්ලුපිටියේ රනිල් පැමිණියේ නැත.  

නුතන අධ්‍යාපනය තුලින් ම සමාජ හිනිමගේ ඉහලට ම නැග ලන්ඩන් ගොස් අධ්‍යාපනය ලබා සහතික දරා ව්‍යාපාර කර සාර්ථක වී ඇති 'සාර්ථක මිනිසුන්' පිරිසක් විසින් අපගේ නුතන සිහිනයට බෝම්බ හෙලා ඇත. ඔවුන් හඩු ඇඳුම් ඇඳි 71 අරගලකරුවන් නොවේය. ලද අවසරයෙන් මිනී මස් කන හැනිබල් ලෙක්ටර් පවා හොඳින් බුර්ෂුවා අධ්‍යාපනය ලද අයෙකි. 

සරත් ෆොන්සේකා ට අනුව මේ ඉස්ලාමීය ත්‍රස්ත කොටස් කෙටි කලකින් විශාල දුරක් ගමන් කර ඇත. එම වේගය LTTE සංවිධනය පවා ඉක්මවා යන බව ඔහුගේ මතයයි. ලෝකය පුරා මුස්ලිම් තරුණ තරුණියන් මේ කළු කුහරය වෙතට වේගයෙන් අවශෝෂණය කර ගනිමින් ඇත. කන් වල ගසාගත් ඇබ වලින් ඇපල් අයි ෆෝන් ඔස්සේ ඔවුන් අසන්නේ ඩේවිඩ් බෝවී හෝ බොන් ජෝවි නොවන බව දැන් අපට පැහැදිළි විය යුතුය. ඔවුන් සොයන්නේ තම හිස් නූතන ජිවිතයට අර්ථයකි. අප දේශනා කරන හිස් බව තුළ ඔවුන්ට සිටිය නොහැක.  

සැප්තැම්බර් නවය බෝම්බය ඔවුන් හෙළුවේ තට්ටු පිට තට්ටු නැඟී අහස සිඹින 'නුතන සිහිනය' වෙතය (ෆැන්ටසිය). අද ඔවුන් කළේද ඒ දේම ය. ඔවුන් මෝඩයන් නොවීය. හොඳින් බටහිර අධ්‍යාපනය ලද අය විය. අපටත් වඩා බටහිර අවකාශයේ ජීවත් වුවන් විය (modern spatiality). නුතන අධ්‍යාපනයට ඔවුන් වෙනස් කළ නොහැකි විය. ඔවුන් තමා උගත් නුතන දෙය සමග දුරස්ථ සම්බන්දයක් ඇත්තවුන් විය (cynical distance). නුතන දැනුමට නොව ඔවුන් 'නො-දැනුමට' ආශා කරන ලදී. නුතන දැනුම සහ තාක්ෂණය පවා ඔවුන් භාවිතා කළේ නොදැනුම පිණිස ගමන් කරනු සඳහාය. නූතන හිස් බව ඔවුන් වසා ගත්තේ නූතනත්වයට එරෙහිව කැරළි ගැසීමෙනි. එම හිස් බව ඔවුන්ට පුරවා දුන්නේ ආගම විසින් වේ. ඔවුන් උගෙන ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙනි. මුලධර්මවාදය උගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙනි. නූතනත්වයේ සුව නොවන තුවාල සහිත ඔවුන් එම තුවාල සුවපත් කර ගැනීම පිණිස නැවත හැරී ඇත්තේ ශත වර්ෂ ගණනක් පැරණි ආගම වෙතට ය (හබමාස්, 2006). ඒ ද විපරීත අයුරිනි. එම ආගමික අධ්‍යාපනය හමුවේ නුතන අධ්‍යාපනය (දැනුම) නපුංසක විය. අප හැමගේම ෆැන්ටසියට එරෙහිව ඔවුන් තම ජීවිතය පුදා ලෝක ගෝලය පුරා කැරළි ගසමින් ඇත. ඇත්ත ගැටළුව ඇත්තේ එතැනය. 

'ISIS යනු මුස්ලිම් මුලධර්ම වාදයට කරනු ලබන නිග්‍රහයකි' (ස්ලාවෝ ජිජැක්).  

(මහා ලොකුවට ලිවුවාට මොකද දැන් මෙය පළ කිරීමට තැනක් නැති හෙයින් මුහුණු පොත යලිත් පැමිණෙන තෙක් සිටිය යුතුය. මුහුණු පොතේ විපරීත බව ගැන ලොරි ටෝක් දුන් මට සිදුවූ දෙය නම් මරුය. මේ මොහොතේ මුහුණු පොත වාරණය කර ඇති බැවින් මේ ලිපිය තාවකාලිකව බ්ලොග් ගත කරමි).   

2 comments:

  1. පාස්කු ඉරිදා ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව අර්බුදයට ගොස් තිබූ අන්දම අනාවරණ විය. මුල පුරවැසියාසු සිට සමස්ත දේශපාලන යාන්ත්‍රණය සහ විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන නිලධාරී යාන්ත්‍රණය මේ වන විට දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.



    ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන තීන්දු තීරණ ගැනෙන ආරක්ෂක මණ්ඩලය පිළිබඳව ඇතැම් විවාදාත්මක කාරණා මෙම පාස්කු ප්‍රහාරයෙන් පසු අනාවරණ විය.

    විශේෂයෙන් ව්‍යවස්ථාමය බලයක් සහිතව අගමැතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක ඇමති ආරක්ෂක මණ්ඩලයට සහභාගී විය යුතු වුවත් 21 ප්‍රහාරයෙන් පසු කියවුණේ අගමැතිවරයාට හා ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා පසුගිය මාස හයක පමණ කාලයක් තිස්සේ ආරක්ෂක මණ්ඩලයට කැඳවා නොමැති බවයි.

    එලෙස වාරණය කළ නොහැකි බව එදා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටි ඉහළ නිලධාරියෙක් අවධාරණය කර තිබේ.

    එහෙත් ඊට ජනාධිපතිවරයා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ එයාලා එක්ක මට ආණ්ඩුවක් නැහැ. ඔයා දන්නවනේ ඒක. ඒ මිනිස්සු මේකට අවශ්‍ය නැහැ" යනුවෙනි.

    ජනාධිපතිවරයාගේ ස්ථාවරය එය වුවත් එවැනි ආරක්ෂක මණ්ඩලයක් නීත්‍යානූකූල නොවන හෙයින් "ආරක්ෂක මණ්ඩලය" යන නම වෙනස් කරමු යන්න එම නිලධාරියා බැරිම තැන යෝජනා කර තිබේ.

    ඒ මොහොතේ හෝ ජනාධිපතිවරයා කළයුත්ත නොකළ යුත්ත තේරුම් ගෙන නොමැති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

    එහෙත් ජනාධිපතිවරයාට හිතවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වූ අතර එය යුක්ති සහගත නොමැති බව පෙන්වා දුන්නද එයද ජනාධිපතිවරයා මායිම් කර නොමැති බවයි එම ආරංචි මාර්ග අවධාරණය කළේ.

    ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ මොහොතේ ජනාධිපතිවරයා හැසිරෙන අන්දමත් ඊට පෙර කාලය තුළ වූ හැසිරීමත් පරස්පර විරෝධී බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත කියා සිටියේ. (Lankanewsweb).

    ReplyDelete
  2. ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියා ඇමති මණ්ඩලයේදී එලියට
    ප්‍රහාරයෙන් පසුවත් ආරක්ෂක මණ්ඩලයට රැස්වෙන්න එපා කියලා! අගමැති නොකැදවන්නේ ඩේලි මිරර් නිසාලු ! මාරපනත් වගකීම් පැහැර හැරලා
    http://yukthiya.lk/13259-2/

    ReplyDelete