Wednesday, March 27, 2019

අසන්ධිමිත්තා: පෙරදිග ආත්මයේ විනිවිදිය නොහැකි මදය

හරුකි මුරකමි ගේ 'Norwegian Wood' නවකතාව වෙනුවෙන් කරන ලද චිත්‍රයකි. පශ්චාත් කාර්මික ජපන් ආත්මයේ නුතන මෙලන්කොලියාව, නොස්ටැල්ජියාව, හුදකලාව, වචනයට නැගිය නොහැකි පතුලක් නොපෙනෙන නිශ්ශබ්දබව මෙම චිත්‍රයෙන් ප්‍රකාශිත ය. 

ප්‍රදර්ශනයට තබා දින කිහිපයක් ගත වන විට ම හඳගම ගේ 'අසන්ධිමිත්තා' චිත්‍රපටය තුල ඇත්තේ ෆැන්ටසිය ද යථාර්තය ද යන පතුලක් නැති කතිකාව නැවතත් ඉස්මත්තට පැමිණෙමින් ඇති අතර ඒ සඳහා නැවතත් ඩේවිඩ් ලින්ච් සහ ඩේවිඩ් ක්‍රොනැන්බර්ග් ගේ චිත්‍රපට තාක්ෂණික උපක්‍රම පසුබිම් කරගත් නීරස සහ අදේශපාලනික සාකච්චාවක් නැවතත් ලංකාව තුල මතුවෙමින් ඇත. ඒ ඔස්සේ ම යම් යම් වමේ කොටස් අතර හඳගම විවේචනය වෙමින් ඇති අතර ඔහුගේ චිත්‍රපට ව්‍යායාමය වෙනුවෙන් සාධාරණයක් විචාරකයින් අතින් සිදු වන්නේ ද නැත. හැඟී යන ආකාරයට නම් අප කරන්නේ ඔහුට ආදරය නිසා ම ඔහු මරා දැමීමයි. 'ඇගේ ඇස අග' චිත්‍රපටය ට වුවේ ද මෙය වන අතර පන්ති විචාරයේ දුර්වල බව සහ එය භාවිතා කිරීමේ දුර්වල බව විසින් වෙනත් ප්‍රෙහේලිකාමය විචාර සඳහා ඇති වටිනාකම වැඩි වෙමින් පවතී. මෙය වමේ දේශපාලනයේ මුලික පරාජයක් වෙමින් ඇති අතර භාණ්ඩ අර්චන බව වෙනුවට වදන් කේන්ද්‍රීය අර්චන විනෝදයක් වෙත මෙම විචාර ගමන් කරමින් ඇත. නීල්ස් බෝ සුව වුවද ඔහු තුල සිටි අශ්ව සපත්තුව සුව නොවී පැවතියාක් මෙන් හඳගම සුව වුවද අප තුල සිටින හඳගම ගේ ප්‍රෙහේලිකාව සුව නොවීම මඟින් මාක්ස්මය විචාර ලෝකයට සිදු වෙමින් ඇති හානිය සුළු පටු නොවේ (අපට දිලිත් ජයවීර ගැන පන්ති විචාර නොව මනෝ විශ්ලේෂී විචාර වැඩිපුර ලිවීමට සිදුව ඇත්තේ මෙම පරිසරය තුලය). අපගේ මෙම රෝගී බව තුල ෆ්‍රොයිඩ්, ලකාන්, ස්ත්‍රිය, ද්විත්වකරණය,  දුරස්තකරණය සහ මධ්‍යම පන්තික නිදි යහන පිළිබද ඇකඩමික කතාබහක් නැවතත් ඇතිවෙමින් ඇති අතර පංති දේශපාලනික මානයකින් චිත්‍රපටය කියවීම සහ පීඩනයට ලක්වූ ජනතාවක් වෙනුවෙන් වන දේශපාලනයක් තුල ට එය සුසංවාදී කිරීමේ කාර්යය මේ අනුව අමතක වෙමින් පවතී. ඒ වෙනුවට පුරුදු පරිදි ප්‍රෙහේලිකා විසඳීම ඉස්මත්තට පැමිණ ඇති අතර මිනිසුන් (පාරිභෝගිකයින්) ඒ සාකච්චා වටා රොක් වෙමින් ඇත. මෙතරම් අදේශපාලනික අඳුරු යුගයක් අප මීට පෙර අත්දැක නැති අතර එනයින් ස්ලාවෝ ජිජැක් ගේ පහත උපුටනයෙන් මේ ලිපිය ආරම්භ කරමු.    
'හොලිවුඩය ලෝක ගෝලයේ ඈත ම අදුරු මුළු වලට පවා ගමන් කරමින් ඇති මේ පසු නිෂ්පාදන යුගයේ නව කොමියුනිස්ට් මැනිෆෙස්ටෝවක් අන් කවරදාකටත් වඩා අවැසි වී තිබේ' (ස්ලාවෝ ජිජැක්, 1998).
'අසන්ධිමිත්තා' චිත්‍රපටය විද්‍යාත්මක විධි ක්‍රමයක් ලෙස පංති විග්‍රහයක් තුල තබා අර්ථකතනය කරන්නේ නම් සමස්තයක් ලෙස අසන්ධි, විකී, අසන්ධි සමග ජිවත් වූ පිරිමි යන බොහෝ පාත්‍ර වර්ගයා අයත් වන්නේ ග්‍රාමීය පසුබිමක් සහිත නිර්ධන පන්ති ප්‍රවර්ගය ට ය. තට්ටු දෙකේ නිවසේ සිටිනා තරුණ ගැහැණුන් දෙදෙනා සහ වාහන පාක් එකේ සන්ඩු කර ගන්නා ගැහැණුන් සහ මළ ගෙදර අවුත් අසන්ධි සමග දබර කර ගන්නා විකී ගේ තවත් නිර්නාමික බිරිඳක් වැනි චරිත ආර්ථික මට්ටමෙන් ගත් කළ නිර්ධන පන්ති පසුබිමින් මදක් ඔබ්බෙන් ස්ථාන ගත කල හැකි වුවත් පහල පන්තික වටිනාකම් වලින් ඔවුන් පවා නිදහස් නැත. බකුනින් විසින් මුලින් ම සම්භාව්‍ය මාක්ස්වාදයේ පන්ති විග්‍රහයට ව්‍යතිරේකයක් සපයමින් කියන්නේ ඉහත ග්‍රාමීය ගොවීන් (peasants) මෙන්ම නිර්ධන ලුම්පන් කොටස් ද (lumpenproletariat) පංති අරගලය තුලට අවශෝෂණය කරගත යුතු බවයි (Peter Worsely, Socialist Register, p. 200). මේ අදහස තවත් ඉදිරියට ගෙන යමින් ෆැනොන් තම Wretched of the Earth (1968) කෘතියේ කියන්නේ මෙම ලුම්පන් නිර්ධනීන් රැඩිකල්කරණය කර විමුක්ති අරගලය තුලට රැගෙන ආ යුතු බවයි. ලංකාවේ සන්දර්භය තුල මෙම ගොවි සහ නිර්ධන කොටස් අතර ඇති තවත් බෙදුම් කඩනයක් වන්නේ ඉන්දීය මූලයකින් පැවත එන කුලය වන අතර එය රුසියානු, චීන සහ ෆැනොන් න්‍යායගත කරන තත්වයන් ට අමතරව අපට ම සුවිශේෂ කරුණක් වේ. විශේෂයෙන් බුදු දහම තුල පවා යම් අතිරික්ත විනෝදයක් ලෙස ශේෂව පවතින මෙම කුලය තවමත් ලාංකික දේශපාලනය තුල තීරණාත්මක වේ. ගොවිගම නොවන කෙනෙක්ට ලාංකික බල දේශපාලනයේ ඉස්මත්තට නැගීම පහසු කටයුත්තක් නොවේ. ගොවිගම නොවන අයෙක් ඉවත් කිරීම සඳහා නුවර වළව්, ගම්පහ වළව්, කොළඹ වළව් සහ දකුණේ වළව් යම්කිසි එකඟ තාවයක ඇත. එම වළව් යටත් විජිත සන්දර්භය තුළ පීඩකයා ගේ කාර්යය තුල ව්‍යුහගතව ඇති අතර ලුම්පන් ජන කොටස් යටත් විජිත ක්‍රමයක් තුළ බරපතල මානසික කඩා වැටීමක සිටි බව ෆැනොන් නිරීක්ෂණය කරයි (mental breakdown). නමුත් ලාංකික ග්‍රාමීය ප්‍රජාව අප්‍රිකානු කළු ජාතික මිනිසුන් යටත් විජිත සපත්තුවන් පීඩනයට පත් වූ පරිද්දෙන් ම විගලිත භාවයක් අත්පත් කර ගත්තාදැයි සැක සහිත වන්නේ සුදු ස්වාමියා මෙම සන්දර්භ වල එතරම් ප්‍රචණ්ඩ නොවූ නිසාවෙනි. කුලය වැනි පූර්ව නුතන සාධක අපට තව දුරටත් ලාංකික දේශපාලන දේහය තුල දැකගත හැක්කේ එම විගලිත නොවූ ලාංකික මිනිසුන් තව දුරටත් කුලය සහ වාර්ගික බව නව සාමූහික බවක් දක්වා ප්‍රතිව්‍යුහගත කරන නිසාවෙනි (අප වැනි රටවල කුලය විනෝද සාධකයක් ලෙස නැවත රහසින් ව්‍යුහගත වේ - new collectivism). කළු ජාතික ආත්මය තව දුරටත් මිනිසෙක් ලෙස (human) තේරුම් ගත නොහැකි පරිද්දෙන් යටත් විජිත සූරා කෑමේ අමානුෂික කරණයට ලක් වූ අතර ඔවුන් එනයින් නියුරෝසික සහ සයිකෝසික ආත්මයන් බවට පත් වූ බව ෆැනොන් කියයි.  එනයින් මෙම පිරිසට පහසුවෙන් විමුක්ති ප්‍රචණ්ඩ බව හඳුන්වා දිය හැකි බව ෆැනොන් නිර්ක්ෂණය කරයි (revolutionary violence). ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාට එතරම් හොඳින් තේරුම් ගත නොහැකි වුවද ඒ අර්ථයෙන් ප්‍රචණ්ඩ බව යනු වැදගත් සමාජ න්‍යායකි (Fanon's ideas of violence thus constitute a social theory). සමාජය විසින් පෝෂණය කරන ප්‍රචණ්ඩ බව යනු මේ අනුව සංස්කෘතික නිර්මිතයකි. එකම දෙය නම් ඉහත සමාජ කොටස් වෙත සම්පත් ගලා නොඒම ය. ඒ අර්ථයෙන් ෆැනොන් ගේ න්‍යාය ට අනුව මෙම සම්පත් නොමැති නිර්ධන පන්ති කොටස් යනු 'සාමාන්‍ය ජන කොටසක් නොවේ' (කංජිපානි ඉම්රාන් හෝ මාකඳුරේ මදූෂ් විසින් පෙන්වා දෙන්නේ එම සත්‍යය යි. අපගේ විචාරකයින් නොදකින දෙය නම් මේ නව පාතාල යැයි අප හඳුනා ගන්නා 'සාමූහික බව' සඳහා කුලය, දේශය, ජන වර්ගය, ආගම, භාෂාව බල නොපා ඇති බවයි. එම සම්පත් නොමැති පංතිය ගෝලීය ලෙස එකතු වී ඇත). 'අසන්ධිමිත්තා' චිත්‍රපටයේ විකී විසින් පවා පෙන්නුම් කරන්නේ මෙම අසාමාන්‍ය ක්ෂිතිමය හැසිරීමයි. 

යටත් විජිත සූරා කෑම මඟින් සහ පසු යටත් විජිත සමාජ සංස්කෘතික පීඩනය විසින් කුඩු පට්ටම් කර දැමූ ඔවුන්ගේ සමාජ ගරුත්වය (dignity) දෙස බැලූ කල්හි ඔවුන් විසින් පැවැත්ම සඳහා කරන ක්‍රියාවේ සදාචාරයක් සලකුණු කල නොහැක. එසේ සංස්කෘතික සහ සදාචාර සම්පන්න වීමට වඩා ඔවුන් ජීවත් වීම සඳහා යුහුසුළු විය යුතුව ඇත. සාත් (Jean Paul Sartre) අනුව යමින් ෆැනොන් ප්‍රකාශ කරන්නේ මේ ජන කොටස් වලට දේවල් තේරුම් බේරුම් කර ගැනීම සඳහා 'සාන්දෘෂ්ටික නිමේෂයක්' නැති බවයි (අද කුමන ජිවිතයක් ගත කලත් කංජිපානි ඉම්රාන් හෝ මාකඳුරේ මදූෂ් ගේ හෝ ජීවිතවල ඉතිහාසය ගැන සිතන්න). බුර්ෂුවා දැක්මට හසුවන (middle class gaze) පරිදි ඔවුන්ට සාමාන්‍ය හැසිරීමක් වෙත ගමන් කල නොහැක. වැදගත් ම දෙය නම් විමුක්ති අරගල වල යෙදුනු ජ. වි. පෙ. සහ ද්‍රවිඩ සන්නද්ධ සංවිධාන හැරුණු කොට මේ භූමියේ ගිනි අවි තිබෙන්නේ සහ නිර්භීතව ඒවා හසුරුවන්නේ මේ සමාජ කොටස පමනක් වීමය. පවත්නා (අපට දී ඇති) සංකේත පිළිවෙල උල්ලංඝනය කිරීමට අවශ්‍ය පුරුෂ නිර්භීත බව ඇත්තේ ද මේ වනවිට ඔවුන්ට පමණි. මෙම පංතියේ ආගමනය සහ පැවැත්ම උත්කර්ෂකරණය කිරීමේ අවශ්‍යතාවයක් නැතත් අප මෙම පංතියේ සමාජ බලපෑම අව තක්සේරු නොකළ යුතු අතර එහි ෆැනොනියානු රැඩිකල් අන්තර්ගතය අමතක කල යුතු ද නොවේ. මන්ද අරගලය සඳහා වෙනත් ග්‍රහ ලෝකයකින් මිනිසුන් ආගමනය කල නොහැකි අතර ඒ සඳහා යොදා ගත යුත්තේ ද අප ඉදිරියේ දැන් තිබෙන භෞතික තත්වයන් ය (කොමියුනිස්ට් දර්ශනය නිර්ධනීන් සඳහා නොවන්නේ නම් එය පවතින්නේ කා සඳහා ද?). කිසිවකට අනන්‍ය නොවෙමින්, කිසිදු තැනක නොනවතිමින්, තැන තැන යමින්, තමා දන්නා සාමාන්‍ය සංකේත පිළිවෙල සූරා කමින් 1978 පසු ගමෙන් මහ පාරට වැටුණු මෙම ලුම්පන් පන්තිය ගත කරන පාර-ජීවිතය විනිවිද දැකීම පදනම් කරගත් විට සහ පන්ති අර්ථයෙන් ගත් විට හඳගම ගේ මෙම කලාත්මක උත්සාහය මධ්‍යම පන්තික නිදි යහනේ ප්‍රෙහේලිකාවෙන් ඔබ්බට යයි. ලුම්පන් නිර්ධනීන් ගේ දේශපාලන ශක්‍යතාවය ගැන තව දුරටත් ලියමින් ඉහත Peter Worsely සඳහන් කරන්නේ ඉන්දියාව සහ ලංකාව යන දෙරට තුල විමුක්ති ව්‍යාපාරයක සෘජු බලපෑම නොමැතිව සාමකාමී බල හුවමාරුවක් යටත් විජිත ස්වාමියා ගෙන් දේශිය නියෝජිතයින් වෙත සිදුවූ බවයි. නමුත් එම බල හුවමාරුව සිදු වන්නේ වෙනත් ජාතීන් විසින් අධිරාජ්‍යවාදයට එරෙහිව කරන ලද විමුක්ති සටන් වල ප්‍රතිඵලයක් ලෙසය. එම දෙරට ලබා ගන්නා නිදහස යනු දෙයාකාරයක පරායත්ත සිදුවිමක අතුරු ප්‍රතිඵලයකි. එකක් නම් අනික් ජාතීන් විසින් කරන ලද නිදහස් අරගලය වන අතර අනෙක වන්නේ එසේ නිදහස ලබා ගත්ත ද එම ජාතීන් අධිරාජ්‍යවාදී පාලකයින් මත නැවත වරක් පරායත්ත වීමයි (p. 201). ඉඳින් විකී විසින් කරන ගැහැණිය ගේ දේපළ හෝ ශ්‍රමය මත පරායත්ත වීමේ පුරුෂ දේශපාලන ජානය (male gene) අපට සොයා ගැනීම අපහසු නොවේ. එසේම මෙම මර්ධිත පංතියේ ප්‍රචණ්ඩ බව ඓතිහාසික යමක් වන අතර එය පරම යමක් නොවන බව Worsely පවසයි. එනයින් ප්‍රචණ්ඩ ජාතිකවාදය යනු අපගේ ඓතිහාසික උරුමයක් වේ. එය ඓතිහාසික යටපත් භාවයේ ප්‍රතිඵලයකි (the repressed becomes the truth). ධනේශ්වර සියලු රටවල කාර්මික කම්කරු පන්තිය එම සමාජ සංස්ථාපිතය තුලට අවශෝෂණය කර ගත් අතර එම කිසිදු රටක විප්ලවය මාක්ස් ගේ න්‍යාය ට අනුව සිදු නොවුණු අතර ගොවි සහ නිර්ධන පංති කොටස් සිටි අවස්ථාවල පමණක් (කාර්මික සංස්ථාපිතයන් නොතිබූ රටවල) විප්ලවය සිදු විය. Worsely ගේ අදහසට අනුව සිදු විය හැක්කේ තව තවත් ධනවාදය කාර්මික තත්වයන් කරා ළඟා වනවිට ඉහත පරිධියේ රටවල නිර්ධන පන්ති කොටස් පවා ඉහත අවශෝෂණය අත් දකිනු ඇත යන්න ය. එනයින් කොමියුනිස්ට් නායකත්වයක් ඇති චීනයේ කාර්මිකකරණය ඔස්සේ හෝ වියට්නාමයේ හෝ ඉන්දියාවේ හෝ මාක්ස් ගේ න්‍යායට අනුව විප්ලවය සිදු නොවනු ඇත යන්න ඔහුගේ මතයයි.  

රෝල්ස් රොයිස්, ටොයෝටා, ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඩ් යන විසි වන සියවසේ කිසිදු දැවැන්ත නිෂ්පාදන කාර්මික සංස්ථාවක් තුල විප්ලවයකට අවශ්‍ය පසුබිම සැකසුනේ නැති අතර විප්ලවයන් සඳහා අනුරාගික ලෙස මිනිසුන් පෙළ ගැසුනේ ග්‍රාමීය ගොවි නිර්ධන ජනතාවක් සහිත සන්දර්භ වලය. Peter Worsely පෙන්වා දෙන්නේ බොලීවියාව තුල අඳුරේ එහෙ මෙහෙ ගිය චේ ට උදව් උපකාර කලේ නිර්ධන ගොවීන් බවයි (p, 207). රෙජිස් ඩෙබ්රේ උපුටා දක්වමින් ඔහු කියන්නේ නාගරික බුර්ෂුවා පන්තිය විසින් මෙම ග්‍රාමිය මිනිසුන් රාජ්‍ය පාලනයට ශක්‍යතාවයක් නැති කොටසක් ලෙස ගණන් ගන්නා හෙයින් විප්ලවීය පක්ෂයක කාර්යය වන්නේ එම ග්‍රාමීය පිරිසේ ඉන්නා විශේෂ පිරිස් වෙත යාම බවත් ඔවුන් දැනුවත් කිරීම බවත් ය. රෙජිස් ඩෙබ්රේ ගේ මතය වන්නේ යටත් විජිත දේශීය බුර්ෂුවා පන්තිය කරමින් සිටින්නේ යුරෝපීය නාගරික ශිෂ්ටාචාරය කොපි කිරීම බවත් එම නාගරික දේශපාලනය තුන්වන ලෝකයේ ග්‍රාමීය දේශපාලනය වෙනස් කිරීමට භාවිතා කිරීම බවත් පෙන්වා දෙයි. නමුත් තුන්වන ලෝකයේ ඇත්තේ තම තමන්ගේ ඉතිහාසයන් වෙතට වූ බරපතල ඓන්ද්‍රීය සංස්කෘතික බැඳීමකි. මෙයින් පරස්පර ලෙස ඉහත යුරෝපීය සමාගම් වල සේවය කරන මිනිසුන් තම සේවා මුර වලින් පසු එම නගර වල විනෝද ආර්ථිකය සමග අනන්‍ය විය. ඔවුන්ගේ ඊළඟ ගැටලුව වුවේ සාන්දෘෂ්ටික එකකි (හුදකලාව, ආදරය, වෙන්වීම වැනි). නමුත් පැරණි සංස්කෘතියෙන් විගලිත නොවූ අප වැනි රටවල පිරිමි ජනතාව නිෂ්පාදන ආර්ථිකය සමග ගැට ගැසීම ප්‍රතික්ෂේප කරමින් බොහෝ විට ගැහැණියගේ ශ්‍රමය මත පරායත්ත වේ. කඩ පිල් වල රස්තියාදු ගසමින්, බීඩි බිබී, කසිප්පු බිබී, දේශපාලනය ගැන කයිවාරු දේශනා පවත්වමින් ගෙදර ගොස් ගැහැණිය තම්බා දෙන කුමක් හෝ ගිල දමමින් ජීවත් වීම ඔවුන්ගේ ජීවන පරමාදර්ශය වෙයි. මෙතරම් කාලයක් 'කෝපි කඩේ' ටෙලි මාලාව පවතින්නේ මේ පුරුෂ කයිවාරු ආර්ථිකය මතය (අද කෝපි කඩ වෙනුවට ඇත්තේ ත්‍රී වීල් පාක් ය). මේ තත්වය තවත් උත්සන්න වූ අවස්ථාවක් වන්නේ ලාංකික මුහුණු පොතේ දේශපාලනය යි. පැය විසි හතරේ ම මුහුණු පොතේ දේශපාලනය කරන සැලකිය යුතු පිරිමි ප්‍රමාණයක් බොහෝ විට භෞතිකව නඩත්තු කරන්නේ එක්කෝ ඔවුන්ගේ මැදි වියේ පසුවන හෝ වයස්ගත මව විසින් වන අතර නැත්නම් බිරිඳ හෝ පෙම්වතිය විසින්ය. ඔවුන්ගේ කෑම එක තවමත් උයා දෙන්නේ මව විසින් ය. මහා ලොකු දේශපාලන විචාර කරමින් තැනින් තැන යන තම පුතුට තවමත් එම මව කියන්නේ පුතේ ඔය 'රස්තියාදු ගහන එක' නවතා මොකක් හරි රස්සාවක් කරපන් යනුවෙනි. ගැහැණිය කෙසේ හෝ නිෂ්පාදන ක්‍රියාවලිය තුලට තම ශරීරය දමා (වේදනාව) තම පැවැත්ම සකසා ගැනීමට උත්සාහ කරන විට පුරුෂයා කරන්නේ ලණු ඇඳේ දිගාවී යටලීයේ විමුක්තිය ගැන නාරිලතා මල් ගණන් කිරීමය (ෆැන්ටසි සිහින බැලීම). විකී විසින් අසන්ධි හට කියන්නේ තමාට රස්සාවක් කරන්නට උවමනා නැති බවයි. ඔහු අසන්නේ අසන්ධි ගේ වැඩ වලට උදව් වෙමින් සිටින එක වරදක්ද යන ප්‍රශ්නයයි. ඔහුගේ ආශාව මාක්ස් ගේ කම්කරුවා ගේ ආශාවෙන් වෙනස් වේ. නිර්මාණශීලි ලෙස ශ්‍රම ක්‍රියාවලියට එකතු වීම කම්කරුවා ගේ ආශාව වන විට (තෘප්තිය) විකී ගේ ආශාව වන්නේ ස්ත්‍රිය මත පවත්වා ගෙන යන වසඟ පරායත්ත බවයි (විනෝදය). අවසානයේ ඔහු ගෙන එන්නේ ගැහැණිය සහ සමස්ත සමාජය වෙනුවෙන් විමුක්තියක් නොව සියල්ලන්ගේ ම මරණය යි. එනයින් විමුක්ති දේශපාලන පක්ෂ වලට පැවරෙන විප්ලවීය කාර්යයක් වන්නේ මෙම පන්තියේ සවිඥානිකත්වය වෙනස් කිරීම සහ මෙම පංතිය රැඩිකල් ලෙස දේශපාලනික කරණය කිරීමයි. 
පෙරදිග ගැහැණිය කොතරම් සවිබල ගැන් වුවත් (empowerment) ඇය මත පරායත්ත පිරිමියා වෙනස් කරන තුරුම බරපතල සමාජ වෙනසක් බලාපොරොත්තු විය නොහැක.  

                                 
'අසන්ධිමිත්තා' චිත්‍රපටයේ විකී ගේ ආශාව දිශානත වන්නේ කුමන ගැහැණිය කරා විය හැකිද යන පිළිතුරක් නැති ප්‍රශ්නයට පිළිතුරු සොයා ගත හොත් අපට එම චිත්‍රපටය තේරුම් ගැනීමේ පහසු මාවතක් මාවතක් උදා විය හැක. එසේ අප කියනු ලබන්නේ හඳගම විසින් මෙවර ද නිපදවා ඇත්තේ ප්‍රෙහේලිකාමය චිත්‍රපටයක් ය, එනිසා එකවරම එය තේරෙන්නේ නැතිය, එනයින් සිනමා හලේ සිට ගෙදර යන්නේ තෝන්තු වූ සිත් ඇතිවය යන චෝදනාව මෙවර ද තුඩ තුඩ නැගෙමින් පවතින නිසාය. ඊටත් අමතරව 'ගින්නෙන් උපන් සීතල' තවමත් ප්‍රදර්ශන මට්ටමේ තිබීමත් අසන්ධිමිත්තා ට සමගාමිව තවත් කලාත්මක චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනයේ පැවතීමත් එයට යම් බලපෑමක් සිදුවූ ප්‍රයෝගික කාරණා විය හැකිය. කෙසේ වුවද හඳගම තමා චිත්‍රපට කරන දෘෂ්ටිමය තැනින් කිසිසේත් පල්ලම් බැස නැති අතර ඔහු ගැඹුරු මානව සම්බන්දතා කලාපයක් මෙවරත් අප ඉදිරියේ දිග හැර ඇත. පෙරදිග ආත්මයේ පතුලක් නැති ස්වභාවය සමග සම්බන්ද කල විට මෙවර එය අන් කවරදාකටත් වඩා ප්‍රභල වී ඇති අතර මේ නිමේෂයේ ඔහුගේ අරමුණ වී ඇත්තේ ධනවාදයේ මේ යුගයේ මානව සම්බන්දතා නොපවතී යන ප්‍රවාදය චිත්‍රපටයට නැගීමයි (අන් සියලු චිත්‍රපට කරුවන් ට වඩා එය දන්නේ ද ඔහුය). අශෝක හඳගම මෙවර උත්හාස කර ඇත්තේ පුරුෂ ලෝකයේ ආශා ගැටළුවේ වසඟ ප්‍රවර්ගය අප වෙත විදාරණය කිරීමට ය. ආශා කිරීමට නොදන්නා එහෙත් වසඟය හොඳින් ප්‍රගුණ කර ඇති පෙරදිග පසු ධනවාදයේ පිරිමියා විසින් ගැහැණු ලෝකය මරණීය අන්තයක් වෙත ගෙන යන අයුරු ක්ෂිතියක් ජනනය කරයි (traumatic experience). ඔහු ආශා කරන්නේ අසන්ධි ට ද? නැත්නම් ඔහු ලිපිය හරහා සම්මුඛ වූ නිවසේ සිටි ස්ත්‍රිය ට ද? බසයේ හමුවන ස්ත්‍රිය ට ද? නැත්නම් ඒ කිසිවෙක් ට නොවේද? යන ගැටළු වලට පිළිතුරු සෙවීම පහසු නැති නමුත් අපට ලැකානියානු විශ්ලේෂණය මේ සඳහා භාවිතා කල හැක. ඇත්තටම ලුම්පන් පාදඩ පන්තියට නිශ්චිත ආශා වස්තු හේතුවක් පවතී ද (object-cause-of-desire) නැත්නම් ඔවුන් කරන්නේ රඟපෑමක් ද යන්න මෙහිදී විසඳීම කෙසේ වෙතත් ඉහත චිත්‍රපටයේ විකී හරහා අපට තේරුම් ගත හැකි ගැඹුරු සමාජ යථාර්තයක් තිබේද යන්න මෙහිදී විමසා බැලීම දේශපාලනය පැත්තෙන් ගත්විට වැදගත් සේ හඟිමි. මහා ලොකු රැඩිකල් කතා කියමින් අප ඉදිරියට එන පුද්ගලයා පුදුම මානව කරුණාවකින් අපට ආමන්ත්‍රණය කලත් අපට ඔහුව හෝ ඇයව තේරෙන්නේ නැත. බොහෝ විට ම මේ නිර්නාමික රැඩිකල් පිරිමියා අප වෙත රැගෙන එන්නේ විනාශයයි. ඔහු කරන්නේ අපගේ ආදරය පවා දීමයි. පිරිමි වුවද ගැහැණු වුවද ඔවුන්ගේ මදය අපට විනිවිදිය නොහැක (impenetrable core). බටහිර අනෙකා තම දේශසීමා හරහා පැමිණෙන සංක්‍රමණික පෙරදිගුවන් ගැන බිය වන්නේ පෙරදිග අප සතු මෙම ෆැන්ටස්මතික මදය (fantasmatic core) නිසාද යන්න චිත්‍රපටය බැලූ විගස අප මනසට නැගෙන ප්‍රශ්නය යි. 'මිනිසෙක් කාලා බලන්න බැරි' බව සාමාන්‍ය ගැමි වහරයි. මදය විනිවිදය නොහැක යන ලැකානියානු සත්‍යය එසේනම් ලාංකික සාමාන්‍ය ගැමියා ඔහුගේ ම වූ ආකාරය කට දැන සිටියේද? හඳගම විසින් චිත්‍රපටය තුල සනාථ කරන්නේ එසේනම් එම විශ්වීය සත්‍යය යි. ඔහු කරන රැඩිකල් දෙය නම් මේ විනිවිදිය නොහැකි මනමේ කුමරි සතු ලාංකික ෆැන්ටස්මික සත්‍යය පිරිමියා කරා විතැන් කිරීමයි. දැන් තරාදිය සමානය. එනම් 'ඇගේ ඇස අග' සහ 'අසන්ධිමිත්තා' අතර පරතරය මැකී යමින් ඇත. මන්ද 'ඇගේ ඇස අග' තුල ආශාව මියගිය පිරිමියා ඇහැරවීමට ඇය වසඟය හිස්ටරික අයුරකින් යොදා ගන්නා විට 'අසන්ධිමිත්තා' තුල අසන්ධි අත් දකින්නේ ආශාව මියගිය පිරිමියා තම පැවැත්ම වෙනුවෙන් වසඟය යොදා ගනිමින් තමා පමණක් නොව ඇයගේ ලෝකය ද අත්ලාන්තික සයුරේ සමුද්‍ර පතුළට රැගෙන යාමයි. ඇයගේ වියරු සිනහවේ අර්ථය එය නොවේද?    

අසන්ධි විසින් අත්දකින යථාර්තය වනාහි අවතාරමය ද්‍රව්‍යවාදයක් ඔස්සේ තේරුම් ගත යුත්තකි (spectral materialism). එනම් මාක්ස් ගේ අවතාරය යන්න මාක්ස් ට වඩා ප්‍රභල වන්නේ යම් සේ ද එසේම අවතාරමය ද්‍රව්‍යවාදය විසින් අප දැන් ජිවත් වන සත්‍ය ද්‍රව්‍යමය ලෝකය (මාක්ස් මියගිය) අභිබවා යයි. එසේම අසන්ධිමිත්තා චිත්‍රපටයේ මෙන්ම අප්පච්චි ඇවිත් නවකතාවේ ඉන්නේ ද මිය ගියාටත් වඩා ප්‍රභල මියගිය පිරිමියෙකි. ඒ අනුව ඇත්ත වශයෙන් අසන්ධි ඉදිරියේ දිග හැරෙන්නේ පිරිමි ලෝකයේ සත්‍යය නොව ඔවුන්ගේ සත්‍යයටත් වඩා සත්‍යය ය (traumatic truth = more truth than truth). එනයින් එය ෆැන්ටසි සිහිනයක් ඔස්සේ නැරඹිය හැකි නොවේ. තමා ඉදිරියේ ඇති පුරුෂ සංකේතීය ලෝකයේ අගාධය යනු යථාර්තයට ග්‍රහණය කරගත නොහැකි තත්‍යසමාන බවකි (ජිජැක් ඩෙලූස් වෙනුවෙන් භාවිතා කරන වචනය). 'අප්පච්චි ඇවිත්' නවකතාව වැටෙන්නේ ද මෙම ෆැන්ටසි මානයේ තත්‍යසමාන බවට ය. ඒ තුල ඇත්තේ ද අප්පච්චි ගේ අවතාරමය පැවැත්ම විසින් ගොඩනැගෙන 'පාර - ද්‍රව්‍යාත්මක' ලෝකයකි (transcendental empiricism). ව්‍යුහාත්මකව ගත්විට මේ පථිතයන් තුනම (ඇගේ ඇස අග, අප්පච්චි ඇවිත්, අසන්ධිමිත්තා) එකම ශානරයකට අයත් වේ. ඒ මිනිසාගේ ද්‍රව්‍යමය පැවැත්ම සහ පාර අනුභූතිය අතර සම්බන්දය ඒ කලා කෘති තුන විසින් ප්‍රති නිෂ්පාදනය කරන හෙයිනි. මේ තත්වය ඓතිහාසිකව සන්දර්භ ගත කිරීමේදී පවා අපට දක්නට හැක්කේ අත්ථකිලමතානු යෝගයේදී මෙන්ම කුරුසියේ වේදනාව ඔස්සේ ද එම ආගම් වල සාස්තෘවරුන් අත් දුටුවේ සාමාන්‍ය සිහියට අත්විඳිය නොහැකි, ප්‍රවේශ විය නොහැකි, යථාවේ අත්දැකීමක් ය යන්න ය. ලිංගික වධ වේදනා ඔස්සේ සමකාලීන මනුෂ්‍යත්වය අත්දැකීමට උත්සාහ කරන්නේ ද මේ නියෝජනය කල නොහැකි යථාව යි (inaccessible beyond of representation). දිලිත් ජයවීර කියන ආකාරයට ගංජා සුරුට්ටුවකට මේ යථාව (පාර අනුභූතික බව - යථාර්තය සහ අනුභූතිය ඉක්මවා යන සත්‍යය. මත්ද්‍රව්‍ය ඔස්සේ අත්දැකීමට උත්සාහ කරන දෙය) අත්දැකිය හැකිදැයි හරියටම අපට කිව නොහැකි නමුත් ඉහත වේදනාව ඔස්සේ ගමන් කර එම වේදනාවේ සත්‍යය මනුෂ්‍යත්වයට කියාදුන් ඉහත ශ්‍රේෂ්ට මිනිසුන් ගේ ශ්‍රමය එතරම් සුළු කොට සැලකීම කොතරම් යථාර්තවාදී දැයි අපට නොතේරේ. වෙනත් වචනයකින් කිවහොත් දෙරණේ දිලිත් උපුල් ශාන්ත සන්නස්ගල ගෙන් (මියගිය පිරිමි ලෝකයේ ප්‍රභල අවතාර) වෙනස් වන්නේ කෙසේද? අප අවට සිටින කිසිම කෙනෙකුට මේ විශ්වීය විපරිත බව නොතේරෙන්නේ මන්ද? මේ තත්වය තුල අශෝක හඳගම ඉහත පුරුෂ වසඟ යථාව අප වෙත ගෙන එන්නේ යථාර්ථයේ ප්‍රබන්ධ මානය තුල සිටිමිනි. යථාව යනු ස්වාභාවිකත්වයේ විකෘති වූ මදය (distorted kernel) ලෙස නිර්වචනය කරන ජිජැක් අපට කියන්නේ රුසියානු විප්ලවයට පාදක වූ පන්ති අරගලය යනු යනු මෙවන් විකෘති යථාවක් බවයි (නොසිතූ, නියෝජනය නොකළ හැකි දෙයක් බවයි). පුරුෂ ලෝකය තුල මෙතෙක් චිත්‍රපට කරුවෙක් නියෝජනය නොකර තිබු විකෘති සත්‍යයක් හඳගම මෙසේ තම චිත්‍රපටය තුලට ගෙනවිත් ඇත. මෙතෙක් අප නොදුටු දෙයක් නොහොත් ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය ට ග්‍රහණය නොවූ දෙයක් ඉහත විකෘති යථාව (distortion) ඔස්සේ අපට දැන් දැකගත හැක. විප්ලවය යනු කිසිදා රුසියාව තුල කළ නොහැකි දෙයක් බවට (unimaginable) සපථ කල මනෝරාජික සමාජවාදීන් ලෙනින් ට පසුව එම විකෘති ය ප්‍රකෘති දෙයක් බවට තේරුම් ගන්නා ලදී. ලැකාන් කියන අයුරින් සත්‍යය සෑම විටම පවතින්නේ විකෘතියක් ලෙසය ('මව නොවේ' යනුවෙන් සුපැන්ජිත් පවසන දෙය). එනම් ප්‍රබන්ධයක් ලෙසය. මිනිසාට ප්‍රකාශ කර ගත නොහැකි දෙය ඔහුට ප්‍රකාශ කර ගත හැකි වන්නේ විකෘති සත්‍යයක් ලෙස ය යන්න මෙහි අරුතයි (මා සිහිනයෙන් දැක්කේ මගේ මව නොවේ යන ප්‍රකාශයේ ඇති සත්‍යයට ත් වඩා වූ සත්‍යය). එනයින් ප්‍රබන්ධය සත්‍යය ට වඩා ප්‍රභලය (ප්‍රබන්ධය සත්‍යයටත් වඩා සත්‍යවාදී වේ). මෙම අර්ථයෙන් විකී යනු සත්‍යයටත් වඩා සත්‍යයක් වන යථාවකි. අසන්ධි මේ යනුව තම 'සිහිනය' ඔස්සේ අත් විඳින්නේ පුරුෂ ලෝකයේ මහා අනෙකාගේ අසංයුක්ත බවයි (inconsistency in the big Other). වෙනත් විදියකින් කිවහොත් බුදුන් වඳිමින් හොරකමේ යන පිරිමියාගේ සංකේතනයේ අසමත් කමයි. 

මෙයින් අදහස් කරන්නේ අසන්ධි විසින් වසඟය පාවිච්චි නොකරන බවක් නොවේ. බස් රියේ හමුවූ තරුණයා ඇය විසින් මනසින් ගෙදර ගෙනියන බව ඇතැම් විචාරක භවතුන් විසින් විශ්වසනීය ලෙස ප්‍රකාශ කරන බැවින් (ෆැන්ටසි සහ යථාර්ත පටලැවිල්ල තුළ මෙය මට එකවරම වැටහුනේ නැත. එය වෙරවීරිය දරා තේරුම් ගන්නට උවමනාවක් ද මට නොවීය) අපට පැහැදිලිව ඇය ආශා උගුලක සිරවී ඇති බව එසේ නම් කිව හැකිය. බස් රථයේ විකී හමුවූ විට ඇය විසින් ආශාවෙන් ඔහු දෙස බලන අයුරුත් ඔහුව ආශාව සඳහා ධෛර්යමත් කරන අයුරුත් අපට පෙනේ. ජිජැක් සඳහන් කරන අන්දමින් ගතහොත් මේ වසඟය යනු විසංවාදයකි. එයින් අදහස් කරන්නේ පිරිමියා පොළඹවා ගැනීම පිණිස කුළු ගැන්වෙන ඇඳුම් අඳින ඇය විසින් ඇය අසලට එන පිරිමියා ප්‍රතික්ෂේප කිරීමයි. අසන්ධි විසින් වසඟය තුලට ගෙන ගෙදර රැගෙන එන විකී යනු ඇයට 'පඹයෙක්' පමණි. 'මට ඕනි මේ ගෙදර ඉන්න පිරිමියෙක් කියල පඹයෙක් විතරයි. ඔයා මට පඹයෙක් වෙනවා නේද' යනුවෙන් අසන ඇය ඇත්තටම ඔහුට සලකන්නේ ආත්ම ගෞරවයක් සහිතව නොවේය. හුදු ගෙදර සිටිය යුතු වස්තුවක් ලෙසය (object). මංගල දැන්වීම වල එන 'මෙච්චරක් වයස - දේපළ සහිත - සහ වරදට සමාව දෙන' වර්ගයේ භාෂාවක් තුල ගණුදෙනු කර ගන්නා මේ දෙදෙනා හමුවන අවකාශය එසේ නම් කතුවරයාට අනුව ෆැන්ටසියකි. නමුත් එසේ නම් ෆැන්ටසිය තුලට ඔවුන් පුර්ණ ලෙස ඇද වැටෙන්නේ නැත. දෙදෙනාට ම අදාල මේ 'ඇද නොවැටීම' මඟින් ඔවුන් අතර යථාවේ සම්බන්දය ගොඩ නොනැගේ. එයින් අදහස් වන්නේ නැවත කිසිදා හැරවිය නොහැකි ලෙස ඔවුන් මුණ නොගැසෙන බවයි. නමුත් හරුකි මුරකමි* ගේ Norwegian Wood නවකතාවේ නයෝකෝ වෙත ඇද වැටෙන ටෝරු ගේ අභිනය නයෝකෝ විසින් විස්තර කරන්නේ වගුරු බිමේ ඇති පතුලක් නොපෙනෙන ලිඳකට ය. සීතල, ගැඹුරු, කට්ට කළුවර ලිඳකට ය. වැටුනොත් අනිවාර්යයෙන් මියයන මිනිස් ඇටසැකිලි බහුල ලිඳකට ය. මුරකමි කියන්නේ නයෝකෝ නිසා මා තුල කිසිදා නොතිබූ 'මහා කළු ලිඳක්' (deeper, darker and colder well) දැන් මගේ මනස තුල ඇති බවය. අසන්ධි පුර්ණ ලෙස ආදරය තුලට ඇද නොවැටෙන අතර විකී ද පුර්ණ ලෙස අසන්ධි තුලට අද නොවැටේ. මේ පෙරදිග ආත්මයේ ඇති විනිවිදිය නොහැකි මදය නිසා (impenetrable core) ඇතිවන තත්වයක් ද යන්න අප වෙනම විමසා බැලිය යුතුය. අනෙක් අතට අප පුර්ණ ලෙස චිත්‍රපටය තුලට ඇද වැටුන ද එහි රචකයා හෝ චිත්‍රපටකරු තම කෘතීන් තුලට පුර්ණ ලෙස ඇද වැටී ඇත් ද? ෆැන්ටසි සහ යථාර්තය අතර දුර සලකුණු කිරීමට ඔවුන් ඉදිරියට එන්නේ ඒ නිසා ද? මට අනුව හඳගම අලුත් දෙයක් තම විශ්වය තුල නිර්මාණය කර ඇති අතර එකම දෙය විචාරකයින් විසින් ඊටත් වඩා නව විශ්වයක් ඒ ඔස්සේ නිර්මාණය නොකිරීමයි. එසේ නම් අප ඉඩහැර ඇත්තේ හඳගම ගේ සංකේතීය මරණය සිදු වීමට ද? දැන් ශේෂව ඇත්තේ නයෝකෝ විසින් පරිකල්පනය කල (කිසිදා නොපැවති) පතුලක් නොපෙනෙන ළිඳ 
ටෝරු තුල ශේෂ වූවාක් මෙන් අප තුල ද පතුලක් නොපෙනෙන විකී කෙනෙක් සහ අසන්ධි කෙනෙක් නිෂ්පාදනය වි තිබීමයි. 'ඇගේ ඇස අග' මෙන්ම සමස්ත 'අසන්ධිමිත්තා' චිත්‍රපටය ම මහා කළු පතුලක් නොපෙනෙන ළිඳකි. නවකතාවටත් වඩා ප්‍රභල 
සහ අඳුරු ලෙස  ළිඳ ගැඹුරු කර ඇත්තේ හඳගම ය. හඳගමගේ පරිකල්පනයේ පමණක් තිබූ එහෙත් දැන් අප තුලට සංක්‍රමණය වී ඇති අවතාර ලෙස සැරිසරන එම චිත්‍රපටයේ පාත්‍ර වර්ගයා අපගේ මනසින් විසංයෝජනය කළ හැකි (සංකේතනය තුලට ගෙන ආ හැකි) විචාරයක් තව ම ලියැවී නැත. එයින් අදහස් වන්නේ මෙම ලියවිල්ල ද ඇතුළුව මෙතෙක් ලියවුන කිසිම ලියවිල්ලකට (කිසිම විචාරකයෙකුට) ඔහු නිරූපණය කිරීමට උත්සාහ කරන පෙරදිග ආත්මයේ භාෂා විශ්වය තුල මෙතෙක් සුසංවාදී නොවූ මදය** (අඳුරු ළිඳ) විනිවිදීමට නොහැකි වූ බවයි. දැනට අප කරමින් ඉන්නේ මේ විනිවිදිය නොහැකි මදය වටා කැරකීම ය. එය ඔහුගේ ප්‍රශ්නයක් නොව අපගේ ප්‍රශ්නයකි. ඒ අර්ථයෙන් තව දුරටත් ඔහු ලංකාවේ එකම යථාවේ සිනමාකරු ය***.  
            
වැඩිදුර කියවන්න: 

ඇගේ ඇස අග’: ආත්මයන් තුනක්, කතිකාවන් තුනක් පිලිබඳ පරස්පර කතිකාවක්. පන්ති අරගලය‍, සිනමාව සහ පක්ෂය. 3mana.com.  

Murakami, H. (1987). Norwegian Wood. London. Harvill Press. 

Worsely, P. (1972). Frantz Fanon and the Lumpenprolitariat. Socialist Register. Vol. 9 (March 17). Read online

Zizek, S. (1998). Specter is still roaming around. Atlas of Transformation. Read online

Zizek, S. (2004). Organs without Bodies. On Deleuze and Consequences. London. Routledge. 

*ලේඛකයෙක් ලෙස මුරකමි ගේ විශේෂත්වය වන්නේ ඔහු තම ලේඛණයේ 'නොහැකියාව' අවංකව උච්චාරණ කිරීමට උත්සාහ කිරීමයි. දින ගණනක් උත්සාහ කළත් ඔහුට එක් වාක්‍යයක් වත් ලියා ගැනීමට ඇතැම් විට නොහැකි වේ. දින සති මාස ගණන් තම ලේඛණය සඳහා මාතෘකාවක් සොයමින් කරන වෙහෙස ඔහු තම ලේඛනය තුලට රැගෙන එයි. ඔහුගේ කෘති වල ඇති මහත් ආශ්වාද ජනක දෙය වන්නේ එම 'උච්චාරණ නොහැකියාව' (inability to write) උච්චාරණ කරන ආකාරය වේ. විරුද්ධාභාෂයක් ලෙස ගත්විට අවසානයේ ඔහුගේ ලේඛනය වන්නේ ද එම නොහැකියාව ම වේ ('නොහැකියාවේ ලේඛනය' ලෙස නම් කළ හැකි). ඉහත අවංක බව වෙනුවට ලංකාවේ දේශපාලන කතිකාව තුල නම් කරන්නේ වෙනත් කෙනෙකුගේ මහන්සියක් තමන්ගේ මෙන් කොපි කිරීමයි. එසේ කර කතිකාවේ ආධිපත්‍ය තමන් කරා නතු කර ගැනීමට උත්සාහ කිරීමයි. ඒවාට ප්‍රධාන වමේ පක්ෂ ආධාර අනුබල ද ලබා දෙයි. වෙනත් මිනිසුන් ඓතිහාසික ලෙස ඒවාට කැප කළ ශ්‍රමය වගේ වගක් නැතුව අද්‍යතන මහා ලොකු වමේ පක්ෂ විසින් කොල්ලකනු ලබයි. මේ ආසියාතික ගුප්ත බවේ ලක්ෂණ ය ('පෙරදිග ෆැන්ටස්මික මදය' යනුවෙන් අප මෙහිදී හඳුනා ගන්නා දෙය). එම ගුප්ත බව විනිවිදීමට මාක්ස්වාදයට නොහැකි වී ඇත. මාක්ස්වාදය උගත් අය වනාහී අන් සියල්ලන් ට ම වඩා නොදියවෙන සුළු මදයක් ඇත්තවුන් ය. 'වමේ එකමුතුව' (solidarity) යන අලංකාරිකය ඔස්සේ සිදු වෙමින් පවතින්නේ ද යම් යම් රැවටිලිකාරී දේවල් මිසක් (වසඟය) බරපතල සමාජ වෙනසක් පිළිබද කතිකාවක් නොවේය.  නමුත් අප ධනාත්මක බැවින් ඒ සියළු වේදනා දරා ගනිමින් එසේ සිදුවන එකමුතුවක් වෙනුවෙන් අප ද අනිවාර්යයෙන් කැපවෙමු.     

*අසන්ධි විසින් පුරුෂයා සම්බන්ද තමාගේ ෆැන්ටස්මික ආශාව කුමක් ද යන්න වචනයට නගයි. ඇය කියන්නේ තමන්ට මිනිහෙක් කියා පඹයෙක් (රූකඩයක්) සිටියානම් හොඳට ම ඇති යන්න ය. ආත්මයක් රහිත නපුංසක පුරුෂයෙක් සමග 'ජීවත් වීම' ඇයගේ ආශාව වුවද විකී ගේ ආශාව ඔහු වචනයට නගන්නේ නැත. හරියට ම දරුවන් පස් දෙනෙක් හැදීම ගැන කිසිවක් විජේවීර විසින් 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ නොකියනවා මෙනි. එනයින් මේ පසු නූතන යුගයේ වඩා ගුප්ත අන්තර්ගතයක් ඇත්තේ පිරිමියාට ය යන්න අපගේ දේශපාලන තර්කය වන්නේ ය. යථාවේ මෙම ක්ෂිතිමය මදය (the traumatic kernel of the Real) මනමේ කුමරියට වඩා අද දවසේ අදාල වන්නේ ලාංකික පිරිමියාට ය. සංකේත භාෂා විශ්වයට ඇතුල් වී නැති ඔහු එසේ නම් තවමත් සිටිනුයේ පුර්ව පියාගේ විනෝද විශ්වය තුල ලෙස එක් අතකට තර්ක කල හැකි අතර (ඉරාජ් වීරරත්න) අනෙක් අතට විකී සිටිනුයේ පියාගේ භාෂාව ටත් වඩා දියුණු වසඟ භාෂා විශ්වයක් තුළ ලෙස ද යමෙකුට මේ තර්කය ඉදිරියට ගෙන යා හැකිය. පියා මියගිය ලොවක මේ සියල්ල අමුතු දේ වන්නේ ද නැත. සිතාගත නොහැකි අතාර්කික දේ පුරුෂ දේශපාලනය තුල ඔබට අනාගතයේ තව දුරටත් එනයින් බලාපොරොත්තු විය හැකිය. හඳගම ඔස්සේ අප උගත යුතු දෙය එයයි. 

**මේ විනිවිදිය නොහැකි මදය සිදුරු කරන තරම් (පසාරු කරන තරම්) ශක්තිමත් ලෙස 'හඬ' පාවිච්චි කරන්නේ යුරෝපයේ යථෙහි සිනමාකරු වන ඩේවිඩ් ලින්ච් ය. ඔහුගේ කේන්ද්‍රීය විෂය වන්නේ කුණුවූ මිනිස් ආත්මය දෙස පිළිකුල් සහගත (disgust) ලෙස බැලීම බව ජිජැක් ගේ අදහසයි. නමුත් ඉරාජ් වැන්නන් කරන්නේ මිනිසාගේ ලිබිඩෝවේ පුර්ව ෆැල්ලසය නියෝජනය කිරීමට උත්සාහ ගැනීමයි. පියා මියගිය ලොවක හිස් බව තුල (void) භාෂාවේ අර්ථයෙන් (ලකාන්) හෝ ලුම්පන් අර්ථයෙන් (මාක්ස්) හෝ ගත් විට විකී සහ ඉරාජ් අතර මහා ලොකු පරතරයක් නැත.    

Saturday, March 23, 2019

අසන්ධිමිත්තා ගැන වසඟකාරී විචාරයක්



අසන්ධිමිත්තා: පතුලක් නොපෙනෙන පුරුෂ වසඟය පිළිබද චිත්‍රපටයකි 
දෙවියන් මියගිය බවට නීට්ෂේ උදම් ඇණීය. නමුත් ලකාන් පවසන්නේ එතරම් පහසුවෙන් දෙවියන් මරා දැමිය නොහැකි බවයි. මියගිය පියා මියගියේ ඔහුගේ භාෂාව අප තුල ශේෂ කරමිනි. එනයින් පියා හෝ දෙවියන් මිය ගිය ද සත්‍ය වශයෙන් ඔවුන් මියගොස් නැත. අපගේ වචන තුල ඔවුන් සදාකල් ජීවමාන වනු ඇත. ඉදින් ඔවුන්ගෙන් ඛණ්ඩනය විය යුතු නම් කල යුතු එකම දෙය ඔවුන්ගෙන් අපට ශේෂ වූ උරුමය ඔවුන්ට භක්තිමත් වෙමින් උකහාගෙන අපගේ ම වූ නව විශ්වයක් සැදීමයි. අතීතයෙන් අපට ඛණ්ඩනය විය හැක්කේ එසේය. භක්තිය ඔස්සේ ය. නව ලෝකයෙක් නිර්මාණය කිරීම ඔස්සේ ය. අන් මගක් නැත ('මේ සිංහල අපගේ රටයි' ලිපි කිහිපය තුල අප සඳහන් කලේ එයයි). මේ අප විසින් පසුගිය වසර හතරක පමණ කාලය තුල ලාංකික සමාජයට ඉගැන්වූ සරල ම පාඩමේ සාරය යි. අප සිතන තරම් පහසුවෙන් පියාගෙන් විගලිත විය නොහැකිය යන මේ පාඩම උවිඳු විජේවීර මහතා කොතරම් හොඳින් උගත්තා දැයි අප නොදන්නා නමුත් ටක්කෙටම කිව හැකි දෙය නම් ඔහුගේ පියාගේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් අමාරුවෙන් තම සාමාජිකයින් වෙනුවෙන් වත් උසස් දැනුමක් සමාජගත කිරීමට මහන්සි නොවූ බවයි. ප්‍රයෝගික බව ඔවුන්ගේ ශක්තිය වන විට ඔවුන්ගේ මාරාන්තික සීමාව (fatal deadlock) වුවේ ද එයම ය. හරියට ම පොහොට්ටුවේ ශක්තිය රාජපක්ෂ වරුන් වනවිට එහි සීමාව ද ඔවුන් විසින් ම නිර්මාණය කර ඇත යන හෙගලියානු සත්‍යය පොහොට්ටුවේ න්‍යායික පාර්ශවයට නොතේරෙනවා මෙනි. මෙය කුමාර වෙල්ගමට ද වැටහෙන්නේ නැත. වැටහුනත් ඔහුට කළහැකි දෙයක් ද නැත. 

පියාගේ භාෂාව මිනිස් ශිෂ්ට සම්පන්න බව වෙත කොතරම් බලපෑම් සහගත වන්නේ ද යන්න මැනවින් එළිදරව් කරන වැදගත් ගෝලීය චිත්‍රපටයක් වුවේ පසුගිය දා ඔස්කා සම්මාන කිහිපයක් දිනූ Green Book (2018) චිත්‍රපටය යි. කළු සුදු වාර්ගික ගැටළුව ඔස්සේ වෙනස් පංති පදනම් වලින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙකු ගේ සුන්දර හමුවීමක් මේ චිත්‍රපටය ට පාදක වෙයි. එක් අයෙක් නම් ටෝනි වැලලොන්ගා (Tony Vallelonga) වන අතර අනෙක් තැනැත්තා වන්නේ ජනප්‍රිය සම්භාව්‍ය ජෑස් පියානෝ වාදකයෙක් වන ඩොන් ෂර්ලි ය. ටෝනි නිර්ධන පන්ති වටිනාකම් නියෝජනය කරන අතර ෂර්ලි උසස් මධ්‍යම පංතික සංස්කෘතික වටිනාකම් නියෝජනය කරයි. වාර්ගික බෙදීම් උත්සන්න ව තිබු ඇමෙරිකාවේ දකුණු දිශාවේ සංචාරයක් අරඹන ඩොන් ෂර්ලි විසින් තම අංග ආරක්ෂකයා ලෙස කුලියට ගන්නේ ටෝනි ය. දෙදෙනාගේ සම්බන්දය පටන් ගන්නේ එතැනිණි. මුලින් කළු ජාතිකයින් එතරම් රිස්සුවේ නැති ටෝනි ටිකින් ටික ෂර්ලි හඳුනා ගනී. එතරම් උසස් සංස්කෘතික රසයක් නොතිබූ ටෝනි උසස් දේවල් හඳුනා ගනී. විශේෂයෙන් තම බිරිඳ ට එතරම් රසවත් ලෙස තම ආදරය ප්‍රකාශ කිරීමට නොදත් ටෝනි එය ඉගෙන ගන්නේ ෂර්ලි හරහා ය. ඉතාම උණුසුම් ලිපි ලිවීමට ඔහු ඉගෙන ගනී. භාෂාව ඔස්සේ ආදරය ප්‍රකාශ කරීමට ඔහු ඉගෙන ගනී. ශිෂ්ට බව අත්පත් කරගනී. දෙවියන් විසින් අප වෙත ප්‍රධානය කර ඇති භාෂාව කොතරම් බලගතු ද යන්න ඔහු ඉගෙන ගනී. Green Book චිත්‍රපටයේ එන මේ ලිපියේ කතාව මෙතැන අප සඳහන් කලේ අසන්ධිමිත්තා චිත්‍රපටය තුල පවා ලිපි ලියවෙන්නේ ශිෂ්ට බව තුල නොව දෙවියන් විසින් අපට දුන් භාෂාව මිනිසා රැවටීම (seduction) පිණිස පාවිච්චි කරන බව පෙන්වා දීමට ය. මෙය විශාල විපරීත තත්වයකි.    

පියාගේ භාෂා විශ්වය යනු තව දුරටත් මිනිසා ශිෂ්ට කිරීමේ අවියක් (උපකරණයක්) නොව තවත් මිනිසෙක් රැවටීම සඳහා යොදා ගන්නා වසඟයේ අවියක් ය (weapon of seduction). ආදරය වෙනුවෙන් ලියවෙන ලිපියේ ආදරයේ භාෂාව ඔස්සේ විකී කරන්නේ ගැහැණියගේ ආශා හිඩැස තුළට රිංගා ඇය සූරාකෑම යි. නමුත් ටයිටැනික් චිත්‍රපටයේ ජැක් කරනු ලබන්නේ තම ශරීරය ඇය නමින් පූජා කිරීමයි. රෝස් ට ජීවිතය නැවත ලබා දී ඔහු කිසි කතාවක් නැතිව මරණය වැළඳ ගනී. විකී හෝ වෙනත් ඕනෑම නමකින් නමින් කොළඹ වීදියේ සැරිසරන පිරිමියා විසින් කරන්නේ තම පැවැත්ම වෙනුවෙන් ආදරය පවා දීමයි. එය විකී හෝ අංජන හෝ යන කුමන නමින් හෝ ඔබගේ ගේට්ටුව අස්සෙන් පැමිණිය හැක. සමහර විට ඔහු රැඩිකල් මාක්ස්වාදී කතාවක් වුව ද ඔබ වෙනුවෙන් ගේට්ටුව අසලදී පැවැත්විය හැක. ඔහු ඔබගේ මිදුල අතුගානු ඇත. සබන් ගා පිට අතුල්ලනු ඇත. කොණ්ඩය ෂැම්පු කරනු ඇත. කෑම උයනු ඇත. තේ හදා ගෙන ඔවුත් ඔබගේ අතට ම දෙනු ඇත. නිදි යහනේ ඔබව සතුටු කරනු ඇත. අවසානයේ ඔබගේ දේපළ වෙනුවෙන් ඒ වසඟකාරී ආදරවන්තයා ඔබව නිදි යහනේ ම මරා දමනු ඇත. මේ නව උමතු මානව සම්බන්දතා කලාපය (ඇත්ත උමතුව ඇත්තේ එම මහළු මවට නොව මෙවන් නරුමයින් ගේ තුළට වද්දා ගන්නා අපට ය. දෑස නොපෙනුනත් ඇයට අනාගතය පෙනේ. පිරිමිකම මියගිය නිවසක සිහිනයෙන් මෙන් අවුත් තුවක්කුව දික් කිරීමට ඇයට හැකිවේ) චිත්‍රණය කරමීන් හඳගම තීරණාත්මක බ්‍රෝදිලාදියානු කඩයිමක් මේ මොහොතේ පැන ඇත. මෙම චිත්‍රපටය නව ලාංකික අත්හදා බැලීමකි. එය දේශපාලනය කරන අප විසින් අගය කළ යුතුය. ලාංකික දේශපාලන තුළ ඔහු ඔහුගේ පෞද්ගලික ජිවිතයේ විශාල කොටසක් කැපකර අපට දැවැන්ත පාඩම් උගන්වා ඇති බැවින් ඔහුගේ ප්‍රයත්නය තවත් සංකේතීය වන බව මේ චිත්‍රපටයේ 'පාර-අනුභූතික' සංඥාව යි (transcendental sign). චිත්‍රපටය තුල නොකියවෙන ඔහුගේ වේදනාව සහ ඒ වේදනාවේ තේමාත්මක ආත්මීය ප්‍රකාශනය හඳගමගේ අත්දැකීමේ යථාර්තය (reality) සහ අධි යථාර්තය (virtuality) අතර පාර ස්වභාවයයි. ගැහැණිය විසින් කරන හිස්ටරික පෙළඹවීම පිළිබද වූ 'ඇගේ ඇස අගින්' මෙම චිත්‍රපටය වෙනස් වන්නේ මෙය පුරුෂ විපරීත බව (සහ නරුම බව) පිළිබදව වන ප්‍රකාශනයක් වන හෙයිනි. මෙම චිත්‍රපටයේ සත්‍ය ගොදුර පසු ධනවාදය තුල ගැහැණිය නොව පිරිමියා ය. 

තමාට හමුවන පිරිමි පරාණ වල පැරණි අගතිගාමී මතකයන් දූරිභූත කර, ගමේ මතකයන් ගෙන් ඛණ්ඩනය කර, සමාජය රවටමින් එහෙත් උදේ දිවා රැයේ බුදුන් වඳින පිරිමින් ට නව පන්නයේ ෂෙරෝන් ස්ටෝන් මාදිලියේ (යට ඇඳුම් රහිත ව පොලිසියට එන ආකාරයේ) හිස්ටරික තොයිලයක් නටා, ආශාව නැවත පණ ගන්වා, ආශාව සුවපත් කර නව විශ්වයක් වෙතට ඇද දැමීමට තරම් අයගේ ශරීරය අනුරාගික නොවේද? ඇයගේ රාත්තල් තුන් සියයේ ශරීරය ම ඇයගේ මල පුඩුව නොවේද? එල්ලුම් ගහේ මළ පුඩුව මත කරන වියරු සිනහව පිරිමි සමාජයේ නපුංසක බව වෙත කරන උපහාසාත්මක සිනහවක් ද? නැත්නම් ඇය පුරුෂයා සදාකාලික ලෙස වසඟ කර ගත නොහැකි (impotent body) ඇයගේ ශරීරයෙන් ම කරනා හුදු ආත්මරාගී පළිගැනීමක් ද (narcissistic self-annihilation)? විකී ගේ පුරුෂ ලිංගය කපා දමන බවට ඇය කරන තරවටුව වනාහී සීමා රහිතව සමාජය රවටන පිරිමියා (limitless male seduction - අසීමාන්තික පුරුෂ වසඟය) වෙත කරන ස්ත්‍රී කප්පාදු තර්ජනයක් ද? එමෙන්ම හැමදා ම තමන්ගේ ශරීරයට උසුළු විසුළු කරන කොළු රැල විකීගේ ආක්‍රමණික පැමිණීමෙන් පසු  නිශ්ශබ්ද වූ විට අසන්ධි මෙලන්කොලික වේ ද? ඇය පවා එනයින් පිරිමි වසඟය අපේක්ෂා කරනවා ද? පුරුෂයා එසේ නම් රඟ දක්වන්නේ ස්ත්‍රී මෙලන්කොලික විෂාදයේ වස්තු භූමිකාව ද (object of feminine depression)? යනාදී වශයෙන් දේශපාලන මානයන් ගණනාවක් සිනමාකරු අප වෙත ප්‍රක්ෂේපනය කරයි. මෙම ගැටළු යනු 'අසන්ධිමිත්තා' යනු ගැඹුරු සිනමා කෘතියක් බවට දෙස් දෙන සාධක වේ. එහි සෑහෙන පමණ ගෞරවයක් නවකතාකරු ට ද හිමිවේ (තිර රචකයාට).  

එක්තරා අවස්ථාවක අසන්ධි මෙසේ කියයි. රස්සාවක් කරනු වෙනුවට ගෙදර වැඩ කරමින් සිටින පිරිමියෙක් වීමට තමාට උවමනා බව විකී පවසන විට ම ඇයගේ මුවට නැගෙන්නේ 'මීට වඩා හොඳයි ජංගියක් ඇන්දුවා නම්' යනුවෙනි. සත්‍ය ලෙසම විනයගත ලෙස රක්ෂාවක් කරනු වෙනුවට සහ නිෂ්පාදන ක්‍රියාවලියට අර්ථවත් ලෙස සම්බන්ද වනු වෙනුවට් විකී නැමැත්තාට අවශ්‍ය වන්නේ ඒ මොහොතේ යමක් කරමින් සහ කියමින් (අඟල් හතලිස් පහේ ටී. වී. ගැන, කොම්පියුටර් ගැන, හෝම් තියටර් ගැන ෆැන්ටසි (ප්‍රති)නිෂ්පාදනය කරමින්) තම වසඟය දිග්ගැස්සීම යි. ඔහුට අවශ්‍ය ඔහුගේ ලුම්පන් ජීවිතය දිගට ම පවත්වා ගෙන යාමටයි. චිත්‍රපටය අවසාන වන්නේ ද ඔහුගේ ෆැන්ටසි උගුල තුල තවත් ගැහැණියක් සිර කිරීමෙනි. ඔහු කරන්නේ අපගේ ම ෆැන්ටසිය අපට විකිණීමයි. කැම්පස්, චිත්‍රපට, හෝම් තියටර් යනු අපගේ සමකාලීන ෆැන්ටසි ය. බස් රථ වලට ගොඩ වෙන හිඟන්නන් විසින් කරන්නේ ද මෙයම ය. මේ යුගයේ හිඟාකෑම යනු ඉතාම ලාභ දායක රැකියාවකි. දුප්පත් කම සහ අව-වරප්‍රසාධිත බව යනු අදායම් උල්පතකි. විකීගේ පැවැත්ම නරුම යමක් (cynical existence) වන අතර එය පිරිමි නරඹන්නෙකුට ක්ෂිතියකි. දේවල් දන්නා සාහිත්‍ය පොත් පත් කියවන්නෙකු සේ පෙනීසිටින ඔහු ලංකාවේ ඌන සංවර්ධිත බසයක අසුන් ගෙන  'අසන්ධිමිත්තා' නවකතාවේ කොපියක් කියවන තරුණ ස්ත්‍රියට කියන්නේ එම පොතෙන් හඳගම චිත්‍රපටියක් කරන්න යන බවකි. මේ ඒ ඔහු කිවූ චිත්‍රපටය යි.      

ඉතින් ඔහු කිවූ නිසා ම කිහිප වතාවක් චිත්‍රපටය නරඹන්න. ෆැනොන් කිවූ පරිදි ම ලුම්පන් නිර්ධනීන් අව තක්සේරු නොකරන්න. 1978 න් පසු ලංකාවේ ජන ගහනයෙන් විශාල කොටසක් ඔවුන් නියෝජනය කරයි. යූ. එන්. පියට සහ පොහොට්ටුවට චන්දය දෙන වැඩි පිරිසක් ඔවුන් ය. එය මතක තබා ගනිමින් ම අද්‍යතන පැවැත්ම තුළ වඩා වසඟකාරි පිරිමියා ද ගැහැණිය ද යන ගැටළුවට උත්තරය සොයන්න. පසුව තව කතා කරමු. 

Saturday, March 16, 2019

ගං පතුල පරදා කඳු මුඳුන පරයා මං ආදරෙයි



ඔබ ට ආදරයේ දී මෙතරම් භක්තිමත් විය හැකිද? එසේනම් ඔබ ට දේශපාලනයේදී ද එසේ කළ හැකි වනු ඇත. ආදරය ට පූර්ණ ලෙස බලු පැටියෙකු සේ ඇද වැටෙන්න බය නොවන්න. එවිට ඔබගේ අහංකාර පරවශ අහම පුර්ණ ලෙස අනෙකා තුල දියවී යනු ඇත. එය ද නුතන උරුමයකි. එසේනම් එවන් මොහොතක අප හමුවෙමු.  

ගං පතුල පරදා කඳු මුඳුන පරයා Tina Turner

ගං පතුළ පරයා ගිරි ශිකර පරදා  
මම ඔබට ආදරය කරමි. 

මා කුඩා කෙල්ල සමයේ මට හිටියා කඩමලු බෝනික්කියක් 
ඒ මට සිටිය එක ම බෝනික්කියයි 
ඒ බෝනික්කිට මා කොතරම් ආදරය කළා ද 
එතරම් ම මා ඔබට ආදරෙයි... ඒ බෝනික්කිට තරම්  
නමුත් මා දැන් ඔබ ට ඒ බෝනික්කිත් වඩා ආදරෙයි 
එය වැඩිවීමක් මිසක් අඩුවීමක් නැහැ 
එය ගැඹුරු වනවා මිස ගොඩ වීමක් නැහැ
එය දිනෙන් දින උසස් වනවා හැර අඩුවීමක් නැහැ 

ඉතිං කොල්ලෝ 
මා ඔබට ගං පතුල දක්වාත් කඳු මුදුණ පරයාත් ආදරය කරන බව තේරෙනවාද?
ඔබ අහිමි වුවොත් මා හඬනු ඇත 
කොතරම් මා ඔබ ට ආදරේ ද 

ඔබ කුඩා කොල්ලෙක් කාලයේත් මට වගේම බලු පැටියෙක් ඔබටත් සිටියාද?
ඒ බලු පැටියා ඔබ පිටුපස ම ගියා ඔබ ට මතක ද ?
මමත් ඒ බලු පැටියා මෙන් භක්තිමත් ව ඔබ පසුපස එන්නම් 
කවදාවත් ඔබ හැර නොයන්නම්.
ගඟ ගලනා සේ ශක්තිමත්ව මා ආදරය තව තව වැඩේ   
එය තව තව රසවත් වේ
හැම අයුරකින් ම එය ශක්තිමත් වේ.

රොබින් කුරුල්ලෙකු ගී ගැයීමට කොතරම් ආදරය කරයි ද 
එතරම් ම මම ඔබට ආදරෙයි 
වසන්තයේ විකසිත වීමට මල් කොතරම් ආදරය කරයි ද 
ඊටත් වඩා මම ඔබට ආදරෙයි  
සුරතල් සතෙකුට පාසල් දරුවෙක් කොතරම් ආදරය කරයි ද 
එතරම් ම මම ඔබට ආදරෙයි 


River Deep Mountain High by Tina Turner
When I was a little girl, I had a rag doll
Only doll I've ever owned
Now I love you just the way I loved that rag doll
But only now my love has grown
And it gets stronger in every way

And it gets deeper, let me say
And it gets higher day by day
Do I love you, my oh my? Oh baby
River deep, mountain high

If I lost you would I cry
Oh, how I love you, baby, baby, baby, baby
When you were a young boy
Did you have a puppy?
That always followed you around
Well, I'm gonna be as faithful as that puppy
No, I'll never let you down

'Cause it grows stronger like a river flows
And it gets sweeter, baby and heaven knows
And it gets sweeter, baby, as it grows
Do I love you, my oh my? Oh baby
River deep, mountain high

If I lost you would I cry
Oh, how I love you, baby, baby, baby, baby
And it gets stronger in every way
And it gets deeper, let me say
And it gets higher day by day
Do I love you, my oh my? Oh baby
River deep, mountain high
If I lost you would I cry

Oh, how I love you, baby, baby, baby, baby
I love you, baby, just like Robin loves to sing
I love you, baby, like a flower loves the spring

And I love you, baby, like a school boy loves his pet

Songwriters: Jeff Barry / Ellie Greenwich / Phil Spector
River Deep – Mountain High lyrics © Universal Music Publishing
Group, BMG Rights Management

Thursday, March 14, 2019

කාන්තා පෙට්ටියේ විප්ලවය

කිසිවෙක් මා දෙස බලා නොසිටි!
(පුර්විකාව) හිරුණිකා බේබි ඇතුළු නව ඩිෆෙන්ඩර් ස්ත්‍රීවාදීන් විසින් හඳුන්වා දුන් ස්ත්‍රීන්ට පමණක් වූ කෝච්චි පෙට්ටියක බඩ දරු අම්මා කෙනෙක් හිටගෙන ගිහිල්ල. නෝමන් බේට්ස් සිහිගන්වන කැමරා ගේස් පොයින්ට් එකකින් පොටෝ එකක් කවුදෝ ෆේස් බුක් දාල. කවුරුත් ආසයිනේ ඒ වෙනම තියෙන පෙට්ටියේ මොනවා වෙනව ඇතිද කියල දැන ගන්න. ඉතිං දිගට ම හිටගෙන හිටපූ ඒ ගැබිණි කාන්තාව ට කිසිම ගැහැණියක් අසුනක් දීල නැහැ. පිරිමි ගැහැණු දෙපාර්ශවය ම සිටින පෙට්ටියක් වුනානම් පිරිමියෙක් සීට් එකක් දීල කියල කට්ටිය කියනවා. එහෙම සීට් එකක් දුන්නේ නැත්නම් සමහර වෙලාවට පිරිමි කෙනෙක් ම කතා කරලා තව පිරිමි කෙනෙක් ගේ සීට් එකක් උනත් අරගෙන දෙනවා කියල තවත් එකෙක් නහයෙන් අඬනවා.

එහෙම පිරිමි අයට දැන් මුහුණු පොතේ කියන්නේ 'පොන්න පිරිමි' කියල. හිතෙන හැටියට නම් 'බිජු හීන තාවය' කියන්නෙත් මේකට ම වෙන්න ඕනි. 

දැන් මේ වෙනම කෝච්චි පෙට්ටි වැඩේ ගැන එකම එක යුද්දයයි මූණු පොතේ. කට්ටිය කියවනවා ස්ත්‍රීවාදයේ ආදීනව ගැන. ළමයි වදපු ස්ත්‍රී කට්ටියගේ ආත්මාර්කම ගැන. කෝ දැන් මහදැන මුත්තෙක් මේ ප්‍රේහේලිකාව ලිහල විකල් වුන ජනතාව සාමාන්‍ය අතට පත් කරන්න? 

එතකොට ම කට්ටිය ට මතක් වුනේ ස්ත්‍රිය ගැන සැරට පෙනී සිටින සර්පයා ගැන. යං යං අපි අහමු එයාගෙන්...එයා අපිට දෙයි හොඳ උත්තරයක්...  

(පොතේගුරු) හා දැන් එන්න සර්පයා ඇතුළු චන්ඩි ස්ත්‍රීවාදීන්.. ඇවිත් උත්තර දෙන්න පළු යන්න..

සර්පයා ඇතුළු ස්ත්‍රීවාදී රැඩිකල් නඩය පැමිණෙයි. ස්ත්‍රීන් අත නා නා විධ අවි ආම්පන්න ය. ඇතැම් විට පරුෂ වචන ද බිනිණු ලැබේ.  සර්පයා සිගරට්ටුව නිවා දමා, එය පයින් පගා, දෙසුම ආරම්භ කරයි. ස්ත්‍රීන් යනුවෙන් හැඳින්වෙන ඔහුගේ නඩය ඔහුගේ මුවින් රැඩිකල් වදන් කෙළ බිඳු සමග පැමිණෙන තුරු පුල පුලා බලාසිටී.

(සර්පයා) කවුද යකෝ කියන්නේ සීට් දෙන්න ඕනි කියල පොදු ප්‍රවාහන සේවා වල. බලපල්ලා උසස් රටවල් වල. ඒ රටවල් වල එහෙම සීට් දෙන්නේ නැහැ. ඒ රටවල ප්‍රවාහන සේවා දියුණුයි. ඕව නිකන් මෙහෙ ඉන්න 'පොන්න පිරිමින්' ගේ පාජාල වැඩ. ඕව පිරිමින් ගේ guilt එකට කරන වැඩ. අපි ඉන්නේ හිරුණිකා එක්ක. හිරුණිකා අඳින්නේ ජංගි නෙවෙයි lingerie. බලන්නකෝ එයාගේ පරණ ෆොටෝ. හිරුනිකා ගේ ලොක්ක දැන් ජංගි ගැන දේශනා දුන්නට ඕව මෙහෙ පැල කරේ රොහාන් පෙරේරා. වෙන කවුරුත් නෙවෙයි... 

රොහාන් කියන්නේ පශ්චාත් නූතන දෙවැනි බුදුන්. නාගාර්ජුන කවුද ඩෝ? අපි ඒකයි එයා කියන දේවල් අහන්නේ. ඇයි මේ කෝච්චියේ යන ස්ත්‍රීන්ට බුදු වෙන්න බැරි. සීට් එකක් අල්ලා ගත්තා කිවුවට ඒක බුදු වෙන්ඩ බැරි තරම් උපාදාන හේතුවක් නෙවෙයි නේ. කැළණි පාලම නේරන්ජනාවක් නෙවෙයි ද ඩෝ?

(ළඟම හිටිය ෆේස් බුක් විප්ලව වාදිනියක් ) අන්න ටෝක් එක..කවුද ඩෝ එහෙම රැඩිකල් ටෝක් එකක් දෙන්න මේ දියතේ ඉන්නේ සර්පයා හැර?

(සර්පයා) වරෙල්ලා මගේ පන්තියට තව ඉගෙන ගන්න ඕනි නම්. පැයකට රුපියල් දෙදාහක් වත් ගන්න ඕනේ මේ කාලේ හැටියට.

(තව ෆේස් බුක් විප්ලව වාදිනියක්) අඩෝ ඕව කියල හරියන්නේ නැහැ. අර තේ දළු නෙලන එවුන්ගේ පඩි වැඩි කරන්න ඕනි. නැත්නම් අපි දන්නවා කරන දේ... 

(තවත් ෆේස් බුක් විප්ලව වාදිනියක්) නෑ.. නෑ.. තේ ගෑනු ගැන පස්සේ කතා කරමු. දැන් සමන් ඔයා කතාව කරගෙන යන්න. තේ මඟුලක් නෙවෙයි අපිට ඕනි තව කෝච්චි පෙට්ටියක්.

(තවත් ෆේස් බුක් විප්ලව වාදිනියක්) අඩෝ රොහාන් කියන්නේ කෝටි පතියෙක්. බලන්න ලොතරැයි කියන්නේ කොච්චර හොඳ දෙයක් ද. කවුද කියන්නේ ඔට්ටු සෙල්ලම් කරන එක හොඳ නෑ කියල. Las Vegas ධනවාදය එහෙම තමයි. තේ ගෑනු උනත් හරියට වෙලාව බලල ලොතරැයි ගත්තනම් හරි. 

(කොණ්ඩය මොකක්දෝ රෙද්දකින් මොඩ් එකට ඔතාගත් මැදිවයස් ස්ත්‍රී ක්‍රියා කාරිනියක්) අපි ඒකට ලොතරැයි විප්ලවය කියල කියමු. කැසිනෝ ධනවාදය තමයි ඔය බැසිල් උනත් ට්‍රයි කරන්න හදන්නේ. අපිට පුළුවන් එතකොට Sharon Stone වගේ වෙන්න. එතකොට අනුර කුමාර ල දුවයි කැලේ කඩාගෙන.   

(සර්පයා ඇතුළු සියල්ලෝම එක හඬින්) කියමු.. කියමු.. සල්ලි දෙයියන්ගේ මල්ලි. සල්ලි නැතුව මොන මඟුලක් වත් කරන්න බැහැ. 

(දෙකේ දෙකේ පොල්ලක් අතින් ගත් තවත් ස්ත්‍රී වාදිනියක්) අපි මොනවටද තේ ගෑනු ගැන කතා කරන්නේ? අර ඉතාලියේ ද කොහෙද ඉන්න බුවෙක් දෙනවා නේද පලු යන්න තේ අරගලය ගැන... පොර දෙන ගේම හැටියට නම් තොණ්ඩා, දිගම්බරන් කැලේ. 

(සර්පයා) හා හා නවත්ත ගනිල්ලා උඹලගේ කතාව. මම කියන්නේ මේ 'බිජු හීන' පිරිමි සමාජේ කුඩු කරන්න ඕනි. මේ වගේ ස්ත්‍රී සමගිය නැති වෙන පෝස්ට් දාන එවුන් පිරිමි නෙවෙයි. 

(ස්ත්‍රීවාදී අත් පොළසන්) අප්පුඩි පුඩි පුවත්තා ...පුවක් දෙකක් ගෙනත්තා. 
  
ඉහත මන්තරයත් සමග සර්පයා පූර්ව පියා මෙන් රූපාන්තරණය වේ (Pre-Oedipal father figure). ඔහු නැවතත් දෙසුම පටන් ගනී. වටේ සිටින ස්ත්‍රීන්ගේ ගේස් එකට අනුව ඔහුගේ පෙනුම වඩා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනී. 'පිටස්තරයා' නවකතාවේ සලමානෝ සහ ඔහුගේ බල්ලා අතර ඇති දයලෙක්තික, අන්තර් - පරායත්ත එහෙත් ප්‍රචණ්ඩ සහ මෙලන්කොලික සම්බන්දය සිහිගන්වයි.   

(සර්පයා) අඩෝ එක තෘප්ත ආකෘතියක් නෙවෙයි තියෙන්න ඕන. ආකෘති ගණනාවක්. උඩ බලාගෙන ඉන්නේ නැතුව කියවපියව් ෆූකෝ. ගැහැණු කෝච්චියේ හිටගෙන යන එකත් ඒ වගේ. උන් කෝච්චි පෙට්ටියේ ම දරුවෝ වදන එකත් තවත් එක් තෘප්ත ආකෘතියක් විතරයි. ඒකට තමයි නිදහස කියන්නේ. වේදනාව තුල තමයි නිදහස තියෙන්නේ. මම කට කැඩෙනකල් ඕව ඉගැන්නුවා මතක නැද්ද බොලාට. ඒ විකල්ප නිදහස අපිට දියව්!

'ඇත්ත තමයි' සියල්ලෝ ම මිමිනූහ.

(ඉනික්බිති මහා නිශ්ශබ්දතාවයක් පැතිරුණි)

කැති මුගුරු කිණිසි අතින් ගත් ස්ත්‍රී වාදීන් ඒවා බිම තබා නාලාගිරි දමනයේ මෙන් සර්පයාගේ ශ්‍රී මුවින් ගලා ආ ඒ වියත් වදන් අසා පසු බැස ගියෝය. තෘප්ත ආකෘති ගණනාවක්.. වේදනා ආකෘති ගණනාවක්.. කොච්චර ෂෝක් ද? වසඟ ආකෘති ගණනාවක් තියනවා කියල අපේ පූර්ව පියා කියනවා. අප්පොච්චෝ...උම්මා...   

ඉනික්බිති සාමය මුළු දියත පුරා පැතිරිණි. ඇසු ඇසූ සෑම තැන ම මීයට පිම්බාක් මෙන් විය.  

ඒ සාම කාලය තුල නේරංජනේ ස්නානය නැවත ලියවිණි. බුදුන්ගේ රස්තියාදුවේ නව සංස්කරණයක් පැමිණුනි. මහිලා වංශය උණු කැවුම් මෙන් විකුනුණි. දික්වූ රැවුල තඹ පාට කරගත් නව ලාංකික සද්ගුරු කල්ට් එකක් ඉස්මතු විණි.    

සියලු පිරිමි ජනයා එතැන් පටන් වවුලන් මෙන් එල්ලී ගෙන වයිස්රෝයි දුම්රියේ ගමෙන් කොළඹටත් කොළඹින් ගමටත් ආදී වශයෙන් නිරන්තරව ගමන් කළහ. දොරේ එල්ලී ගෙන ම ඔවුන් ෆැන්ටසි ගත කළේ ගැහැණු පෙට්ටියේ කුමක් සිදුවනු ඇත්ද යන්න ය. 

නරේන්ද්‍ර මෝදි පකිස්තාන ප්‍රශ්නය පැත්තක තියා මේ නව ගැහැණු දුම්රිය මැදිරියට ප්‍රසූත ඇඳක් නොමිළයේ ම ප්‍රධානය කරන ලදී. ඉම්රාන් ඛාන් කූනයින් බෙහෙත් වතුර තොගයක් එවා තිබුණි. ඒවා පිළිගනිමින් රාජිත ආවේගශීලී කතාවක් පවත්වා තිබුණි. විකල්ප නූනතවාදී සද්ගුරු එයට ශුභාශිංසන එකතු කළේය.  ශාන්ති.. ශාන්ති.. (ටී. එස්. එලියට්).  

කාලයාගේ ඇවෑමෙන් ඊළඟ චන්දයෙන් බැසිල් ලංකාද්වීපයේ ජනාධිපති විය. කොළොන්නාවේ චන්දයෙන් කොළපාට සාරි ඇඳි හිරුනිකා බේබි ඒ පාර්ලිමේන්තුවට ද පත්විය. එතුමිය බැසිල් නිසාම පැත්ත මාරු කළා දැයි කිසිවෙක් දැන සිටියේ නැත. 

කවුදෝ කෙනෙක් කිවේ ඇය ඉන්දියාවෙන් පොහොට්ටු පාටින් සාරි තොගයක් ඇණවුම් කල බවකි. තව කවුදෝ කිවේ 'නොදනිමි කාගේ දෝසා' යනුවෙනි. 

ගම්පහින් පාර්ලිමේන්තු ගිය සාරි මාරු කළ පබා පත්තරයකට කීවේ 'දේශපාලනය මා ඉවර කළා' යනුවෙනි.   

හිරුනිකා බේබි එසේ කීවේ නැත. ඇය සිතුවේ කොයි පැත්ත වුනත් කමක් නැත කියා ය. මන්ද පෙරලුන පැත්ත තෘප්ත ආකෘතියක් ලෙස භාවිතා කළ හැකි නිසා ය.

ඉනික්බිති සර්පයා ප්‍රමුඛ අරගකාරී ස්ත්‍රීන් පොලු මුගුරු බිම දමා යන්න ට ගියෝය.  

ගැහැණු පමණක් පෙට්ටියේ ගැහැණුන් විසින් දාඩිය පෙරාගෙන විඳිනු ඇතැයි පරිකල්පනය කරන 'විනෝදය' විසින් පිරිමි පෙට්ටිවල ආතල් තවත් තීව්‍ර විය. පිරිමි පෙට්ටිවල පිරිමින් වැඩි වැඩියෙන් සිගරට් බිවූහ. ගැහැණුන් වැඩි වැඩියෙන් බයිට් කෑහ.

කොරේ පිටට මරේ යනුවෙන් නව සමාජ සතුරෙක් හඳුන්වා දී නව සමාජ ධ‍්‍රැවීකරණයක් තුල යහපාලනය නිමාවට පත්විය. මේ කාලයේ විප්ලවය කියන්නේ කිසිදු ඇත්ත වෙනසක් සිදු නොවන බවට වන සහතිකය ට කියල අර ජිජැක් කියන හාදය කියනවා කියලත් කවුදෝ කිව්වලු.    

මේ අතර කවුදෝ පොෂ් කෙල්ලක් ගේ මිල අධික ඇපල් ෆෝනයකින් ගැහැණු පෙට්ටියේ පමණක් ගැහැණු සංගීතයක් නින්නාද විය.

ඒ ලේඩි ගගා ගේ හඬය. එයින් කියවුනේ දෙනෝදාහක් මැද වුනත් හරියට ම පස්ස වනන්න අමතක නොකරන්න යන 'විශ්වීය ස්ත්‍රී තේමාවයි'.  

අහෝ.. එහි ඉලක්කය ද අන් කවරෙක් වත් නොව 'පොන්න', 'බිජු හීන' පිරිමියා ම විය.

'Hold your mama real tight
She's turning colors in the black light
Sound phobic polite
Don't be afraid to shake that butt right' (Lady Gaga_Sexy Ugly) 

(පොතේගුරු) බය නොවන්න. අඳුර ශිලාචාර වනු ඇත. කවුරු බලා සිටියත් කවුරු බලා නොසිටියත් ඔබ පස්ස ගස්සන්න. අවම වශයෙන් දෙවියන්වත් දකින්නේ නැතැයි. 

(සමුහ ගායනය) යහපාලන කෝච්චියේ 
උදේ හවස මම යන්නේ 
වයිස්රෝයි කෝච්චියේ 
ගැහැණු කුටියෙ මම ඉන්නේ
අනෙකෙක් නැති මගේ ලෝකයේ 
අපට උරුම අපේ ලොවක්.... ඇති කර ඇත යහපාලන 
බඩ දරු නම් නොපෙනෙන්නේ 
අහක බලා ගෙන ඉන්නේ 
ජනේලයෙන් ඈත එපිට 
වල්ගා තරු සොයමින්නේ 
දිගැසි දෙනෙත් දිගුවන්නේ 
ඩිජිටල් තිර කියවන්නේ
අපිට ඕන අපේ ලොවක්....හඩු පිරිමින් ගෙන් වෙන් උන 
පීඩිත පන්තිය වගේ ද එන්රික් ලා බීබර් ලා
කොච්චර පොෂ් පිරිමි අය ද රන්වන් පාටින් දිලිහෙන
හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ 
  
(නිමාව) 

(උපුටා ගැනීම සර්ප දෘෂ්ටාන්තාලාප කෘතියෙන්)  

Friday, March 8, 2019

ජංගි වෙනුවට Lingerie දේශපාලනය

ගැහැණිය යනු පුරුෂයා විසින් තමාව ම නිර්වචනය කර
ගැනීම පිණිස ඇද වැටෙන අගාධයේ සීමාව නිර්ණය කර ගැනීම සඳහා භාවිතා කරන තවත් නමකි (ස්ලාවෝ ජිජැක්)
වී (ජංගි) වෙනුවට රෝස මල් (lingerie) යනුවෙන් ද මෙම ලිපියේ ඉහත මාතෘකාව නැවත ලිවිය හැකිය. ලංකාවේ ජාතික අදායම තීරණය වී ඇත්තේ පිරිමි වී ගොවිතැනින් නොව ගැහැණු ඇඟළුම් නිෂ්පාදනය ඔස්සේ ය යන්න මෙම පථිතයේ අඳුරු පසු නූතන සත්‍යය යි. 'සංස්කෘතික දේශපාලනය' යනුවෙන් ඇතැමුන් මුරගෑවත් මේ සුවිශේෂී එහෙත් අතිශයින් දේශපාලනික තත්වය, වෙනත් වචනයකින් කිවහොත් ෆැන්ටසි දේශපාලනය, ලංකාවට මුල්වරට තෝරා දෙන්නේ දීප්ති ප්‍රමුඛ X දේශපාලනය විසින් ය. අදටත් රනිල් අඩමාන ලෙස සහ අ-සංස්කෘතිකව උච්චාරණය කරන මෙම තත්වය හරියට ම සහ නිර්භීතව සමාජය වෙත නිරාවරණය කලේ දීප්ති ය. අද අප තේ ගැහැණිය සහ කාඩේෂියන් අතර දේශපාලන සම්බන්දය දකින්නේ දීප්ති ගේ ඒ පුරෝගාමී දේශපාලනික සද්භාවයට (political ontology) පින් සිදු වන්නට ය. ඒ වකවානුවේ සුදු ඇඳ ගත් වික්ටෝරියානුවන් අපට 'සෙක්ස් කණ්ඩායම' යනුවෙන් අපහාස කලත් එදා කළ එම දේශපාලන සංඥා කියවීම (sign reading) වඩාත් හොඳින් ලෝකය තේරුම් ගැනීමේ සඳහා අදාල වන්නේ අද දවසේය. ජිජැක් කියන අයුරින් ගතහොත් තුන්වන ලෝකය වෙත ප්‍රාග්ධනය ආගමනය වන්නේ මේ මොහොතේ වන බැවින් අපගේ ලෝකයට මාක්ස් ඉතාම වැදගත් වන්නේ  මේ මොහොතෙන් පසුව එළඹීමට ඇති මොහොතේ ය. ඒ අයුරින් X දේශපාලනය ප්‍රාග් පරිණත දරුවෙක් (premature - නොමේරු) වන්නේ ප්‍රාග්ධනයේ පරක්කු ආගමනය නිසාවෙනි. අද වනවිට ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රාග්ධනය ගමන් කරමින් පවතී. හොඳින් හෝ නරකින් මිනිසුන් එයට නිරාවරණය වෙමින් ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා කියන පරිදි පිලිපීන කතුන් ලක්ෂ ගණනින් හෙද සේවයට ලෝකය පුරා ගමන් කරමින් ඇත්නම් එහි අර්ථය පිලිපීන පිරිමියා තම 'ආසියාතික ගැහැණිය' දෙස වෙනස් ලෙස බැලීමට (ධනවාදය තුල ම විගලිත ලෙස බැලීමට) පුරුදු වෙමින් ඇත යන සත්‍ය යයි. ධනවාදී ලෝකයේ ධනය ඉපද වීමට ඉදිරියට එන මේ නව ගැහැණිය ඉදිරියේ පැරණි පිරිමි ආශාව මියයනු ඇත (ඇයට තව දුරටත් පැරණි ආශාව නියෝජනය කළ නොහැකි නිසාවෙනි). පිරිමයා එම මිය යාමට හුරුවිය යුතුව ඇත. බොහෝ විට පුරුෂ ශරීරය අධි නිශ්චය වූ පැරණි ලෝකයේ යුද්ධය, ජාතිය, ආගම, රට, භෞතික සම්පත්, නව ලෝකයක් සොයා යෑම, ඇමෙරිකාව සොයා ගැනීම, හඳට යාම වැනි දේ සඳහා අප ශරීරය කැප කලාක් මෙන් ම මෙම ස්ත්‍රී ශරීරය අධි නිශ්චය වූ නව ලෝකයේ ඇයගේ ගමන වෙනුවෙන් අපට ශරීරය පූජා කිරීමට සිදු වනු ඇත. මේ 'නව ආශා ගැහැණිය' අබියස ඉස්මතු වන 'මරණය කරා දිවෙන පිරිමි විගලිත බව' අවබෝධ කර ගැනීම සඳහා බලන්න ලේඩි ගගා ගේ ජිවිත කතාව රැගත් A Star is Born (2018) චිත්‍රපටය. වෙනත් විදියකින් කිවහොත් ලේඩි ගගා 'උපදින්නේ'  (born) පිරිමියෙක් ගේ (ආශා) මරණය ඔස්සේ ය. මේ වනවිටත් ජනප්‍රිය ජැක්සන් මේන් (Jackson Maine) ගේ මිය යමින් පවතින ශරීරය හරහා ඔහු අමරණිය කරන්නේ ලේඩි ගගා ය. ඔහුගේ මිය යන කාබනික ශරීරය ඔහු ගගා වෙත හෝමයකින් මෙන් පූජා කරයි. ඒ ඔස්සේ ඔහුගේ පැවැත්මේ නිර්වචනය (අර්ථය) ඔහු සොයාගනී. තමාට ගත නොහැකි වූ ග්‍රැමි සම්මාන තුනක් ඇය ගන්නා තුරුම ඔහු ජිවත් වේ. ඉන් පසුව ඔහුගේ කාබනික ශරීරය නොවැදගත් හෙයින් (අර්ථයක් නැති හෙයින්) ඔහු මියයයි. ටයිටැනික් හි රෝස් වෙනුවෙන් ජැක් කරන්නේ ද මෙම හෝමය ම ය. නමුත් මෙසේ ඇය වෙනුවෙන් ශරීරය දීමට (හෝමය) ලාංකික පිරිමියා බිය වේ. තමන් කිසිවක් නොකළා යැයි දස අතේ දිවුරන ට්‍රම්ප් ගේ මෙන්ම ලංකාවේ දේශපාලනය ද නීරස වන්නේ එබැවිණි. බොහෝ විටම මේ කියන දෙය අතොරක් නැති වීදි සටන් වල නිරත වමට මෙන් ම රනිල්ට ද තේරෙන්නේ නැත.  ලකාන් පවසන අයුරින් ගැහැණියගේ වෙස්මුහුණ ඉල්ලා සිටින්නේ ඇය ට නොව 'ඇය නොවන දෙයට ආදරය කරන්න' (what she is not) යනුවෙනි. වෙනත් විදියකින් කිවහොත් ඇය විසින් ප්‍රක්ෂේපනය කරන වෙස් මුහුණට පමණක් ආදරය කරන්න යනුවෙනි (වෙස් මුහුණට යටින් කිසිවක් නැති නිසා). එනිසා අප පැටලෙන්නේ ෆැන්ටසි තිරයක ය. ඇය ආමන්ත්‍රණය කරන්නේ අපගේ ෆැල්ලසයට ය (ප්‍රාග් ෆැන්ටසිය). එම රැවටීම (deception) වෙනුවෙන් ඇය මිලක් අය කරයි. එය ගණනින් මෙතක් යැයි කිව නොහැකි නමුත් කාඩේෂියන් පවුලේ පොහොසත් කම අපට පෙන්වා දෙන්නේ එම ෆැල්ලස ක්‍රීඩාවේ ප්‍රාග්ධන දේශපාලනය යයි.  එම ෆැල්ලසයේ දේශපාලනය වෙනුවෙන් ඇයට වික්ටෝරියාස් සීක්‍රට් අවශ්‍ය වේ. මෙම ලිපියේ අරමුණ එය පැහැදිලි කිරීමයි.   

වික්ටෝරියාස් සීක්‍රට් නොඅඳින තේ ගැහැණිය තම ජීවිතය ගැට ගසා ගැනීම වෙනුවෙන් රුපියල් දාහක් ඉල්ලන විට ම කාඩේෂියන් බඩ පිස්සී බිලියන පතිනියක් වන්නේ කෙසේද? රහස ඇත්තේ මෙම නව ආශා දේශපාලනය තුලය (politics of desire). ජිජැක් සඳහන් කරන අයුරින් මෙම නව ස්ත්‍රිය පාරිභෝගික පිරිමි ලෝකය සමග ෆැන්ටසි ගිවිසුමක් අත්සන් කර ඇත. ට්‍රම්ප් වෙත යන ගැහැණිය මෙන් ම බටහිර චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් වෙත යන ගැහැණිය ද මෙයට අයත් ය. මේ ගිවිසුම ජිජැක්ට අනුව 'දේශපාලන නිවැරදි බව' තුල සිදුව ඇත (political correctness). මේ ගිවිසුම තුළ ඇය පාරිභෝගික පිරිමියා වෙනුවෙන් ෆැන්ටසියක් රඟපාන අතර පිරිමියා ඒ වෙනුවෙන් මිළක් නියම කරයි. මෙහි කිසි වරදක් දේශපාලන නිවැරදි බව තුල පෙන්නේ නැත. ට්‍රම්ප් විසින් ස්ටෝමි ඩැනියෙල් සමග ගිවිසුම් ගතව පැවතියේ මෙවන් ආශා ෆැන්ටසි එකඟතාවයකි. ප්‍රශ්නය නම් මෙම ගැහැණු විසින් පසුව එම ගිවිසුම කඩා වන්දි ඉල්ලීමයි. කැමරා ඉදිරියට එන ඔවුන් ඉන්පසු විකුණන්නේ ඔවුන්ගේ තුවාල වු අහම ය. අසරණ බවය. නිෂ්ක්‍රිය ලෙස මෙම ගැහැණිය පිරිමි ෆැන්ටසිය රඟපෑවත් ඔවුන් නිෂ්ක්‍රිය අහිංසක අය නොවේ. ඔවුන් ඒ සඳහා මිලක් අය කරයි. ඔවුන් කරන දෙය ගැන ඔවුන් දනුවත් ය. මෙහිදී ගැහැණිය පියාගේ සංකේත විශ්වය බිඳ දමන අතර යම් ගුප්ත ෆැන්ටස්මික අන්තර් ගතයක් වෙතට ළඟාවේ. ට්‍රම්ප් හෝ හාවි වෛන්ස්ටීන් (Harvey Weinstein) මෙන්ම ඔවුන්ද පුර්ව සංකේත ලෝකයකට ඇතුල් වේ. නීතියේ කප්පාදුවට හසු නොවන මේ සියලු දෙනා විසින් රඟ දක්වන්නේ ඔවුන්ගේ 'පුර්වජ යටපත් කිරීමයි' (primordial repression). තවත් වැදගත් දේශපාලනික යමක් අපට මෙතනදී හමුවේ. එනම් මේ මජර ක්‍රමය තුලම සිටිමින් තම තමන්ගේ ගේම නොහොත් ක්‍රීඩාව සිදු කිරීමේ දෘෂ්ටිමය උගුල මේ ෆැල්ලස සූරා කෑම තුල ම සිදු වීමයි. කිසිවෙක් මේ ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ නොකරන ෆැල්ලස යතුර (phallic key) අප එසේනම් සොයමු. මෙතැනදී පාවිච්චි වන්නේ ස්ත්‍රී ශරීරයයි. ඇය සහ මෙම ක්‍රමයේ ගනුදෙනු කරුවන් අතර ෆැන්ටසි ගිවිසුමක් ඇති බව අප මේ පරිච්චේදයේ ම පැවසුවෙමු. එසේ නම් අප ට එම ෆැන්ටසි උත්තේජනය දෙන්නේ ද මෙම ක්‍රමය තුල සිටියහොත් පමණි. ජිජැක් මේ සඳහා ගෙන එන්නේ Shawshank Redemption චිත්‍රපටයේ එන Rita Hayworth ගේ පෝස්ටර් උදාහරණ යයි. සිර මැදිරියේ සිරගත කර ඇති සිරකරුවන් චිත්‍රපටයට අනුව සිර කඳවුර සමග පවත්වන්නේ දෘෂ්ටිමය දුරස්ථ බවකි. ඒ දුරස්ථ බව සඳහා උපකාරී වන්නේ රීටා හේවත් ගේ පෝස්ටරයයි. ඇන්ඩි ට අනුව බාහිර ලෝකය ගැන බලාපොරොත්තුවක් රීටා ගේ ශරීර රූපය හරහා සිරකරුවන් ෆැන්ටසිකරණය කරයි. 'මීට වඩා හොඳ ලෝකයක්' බාහිර ඇති බව ඇන්ඩි විසින් අනෙක් සිරකරුවන් වෙත සැම විටම ප්‍රක්ෂේපනය කරයි. ඔහු 'රැඩිකල් ලෙස' මහා හඬින් මෝසාර්ට් ගේ සංගීත ඛණ්ඩයක් වාදනය කරන අයුරු සිහිපත් කරන්න. ඔහු කියන්නේ මේ සිරගෙය යනු සත්‍ය ලෝකය නොවේ යන්න ය. නිදහස් ලෝකයක් එළියේ ඇත යන්න අප නිරතුරුව සිතිය යුතුය යන්න ය. නමුත් ඔහු අමතක කරන දෘෂ්ටිමය දෙය වන්නේ බාහිර ලෝකයේ පවතින්නේ ද ඇතුලත මෙන්ම නපුරු ලෝකයක් යන නීරස සත්‍යය ය. නමුත් ඇන්ඩි තමා දැන් සිටින කාබනික යථාර්තය නම් සිර මැදිරිය සමග නරුම දුරක් නඩත්තු කරයි. නැතහොත් බාහිර ලෝකයෙන් තමා විසිකර දමන ලද නව භෞතික තත්වය වෙත ඔහු පුර්ණ වශයෙන් භක්තිමත් නොවේ. 

ඇන්ඩි විසින් මෙම දුරස්ථ බව නඩත්තු කිරීම සඳහා යොදාගන්නා වසඟකාරී තිරය (screen) වන්නේ රීටා ගේ පෝස්ටරය යි. එම තිරය විසින් ඇන්ඩි සහ ඇන්ඩි මේ මොහොතේ සිරගත ලෝකය (ඇත්ත ලෝකය) අතර පරතරයක් නිෂ්පාදනය කරනවා පමණක් නොව එම පරතරය විසින් ඇතිකරන ඇන්ඩි ගේ 'ෆැන්ටසි බාහිර ලෝක නිෂ්පාදනය' අනෙක් සිරකරුවන් වෙතට ද ප්‍රක්ෂේපනය කරයි. සිර කඳවුරේ සිරකරුවන් ද රීටා ගේ මෙම රුව චිත්‍රපටය ඔස්සේ නරඹන නමුත් ඔවුන් ඒ හරහා බාහිර ඇතැයි යනුවෙන් විශ්වාස කරන ෆැන්ටසි නිදහස් ලොවක් වෙත දෘෂ්ටිමය ලෙස ආකර්ෂණය නොවේ. වෙනත් විදියකින් කිවහොත් ඔවුන් රීටා යනු හුදු ෆැන්ටසි සිහිනයක් ලෙස පමණක් තේරුම් ගන්නා අතර ඉන් ඔබ්බට එම දෘෂ්ටි උගුලේ (ෆැල්ලස උගුලේ -  අතොරක් නැති සතුටක් මගෙන් බාහිර ලෝකයේ ඇත යන්න) හසුවන්නේ නැත. චිත්‍රපටයෙන් පසු ඔවුන් නැවත තමන් විසිකර දමන ලද (බාහිර ලෝකයෙන් සිර කඳවුර තුලට) නව ද්‍රව්‍යමය යථාර්තය සමග ජීවත් වේ. නමුත් මෙයට වෙනස් ලෙස ඇන්ඩි තම ෆැන්ටසි කරණය කරන ලද බාහිර ලොව වෙත යාම සඳහා උමගක් තනයි. වෙනත් විදියකින් කිවහොත් සංකේත ලොවට එරෙහිව (දෙන ලද පිළිවෙල උල්ලංඝනය කරමින්) හුදකලා අරගලයක නිරත වේ. එම උමග ඔස්සේ ඔහු 'නිදහස්' ලොව වෙත යනු ලබයි. වෙනත් විදියකින් කිවහොත් හොලිවුඩ් නිදහසක් වෙත ගමන් කරයි. ඒ ඔස්සේ ම නරක අය ට පාඩමක් ද උගන්වයි. නමුත් මෙම සිරගත ජිවිතයේ සත්‍ය අරගලකරු වන්නේ ඇන්ඩි ගේ කළු ජාතික මිතුරා වන රෙඩ් ය. ඔහු තම සිරගත ජීවිතය සමඟ දෘෂ්ටිමය දුරස් බවක් නඩත්තු නොකරයි. බාහිර ඇතැයි යනුවෙන් වන නිදහසක් ද පරිකල්පනය නොකරයි. ඔහු දෙන ලද තත්වය පිළිගෙන ඒ ඔස්සේ තම ජීවිතය එයටම කැප කිරීමට හිත හදා ගත්තෙකි. ජිවිතයේ හොඳම කාලය මේ සිරගත ජීවිතය විසින් හෝමයක් ලෙස අවශෝෂණය කර ගත් බව ඔහු දනී. නමුත් ඔහු එයින් පැන දිව්වේ නැත. බිය වුවේ ද නැත. දෙන ලද තත්වය ඔහු පිළිගෙන ඒ ඔස්සේ ම තම ජීවිතය වෙනස් කර ගැනීමට (පරිණත වීමට) කාලය සමග පොරබැදී අයෙකි. නිදහස සඳහා ඔහු කෙටි මාවතක් සෙව්වේ නැත. විමුක්තිය සඳහා කෙටි මාවත් නැති බව අවබෝධ කරගත් එකම තැනැත්තා ඔහුය. විමුක්තියේ අනිවාර්ය වන්දිය ජීවිතය සහ වේදනාවයි (කුරුසියේ යේසුස්, අත්ථකිලමතානු යෝගයේ බුදුන්, නිරාහාරයේ ගාන්ධි, සිරගෙය තුල මැන්ඩෙලා). රෙඩ් ගේ ජීවිතය යනු ඒ දෙකේම එකතුවයි. රෙඩ් යනු යථාවේ සත්‍ය නියෝජන යයි. බාහිරින් ඇති දේවත්වයක් ගැන පරිකල්පන නොකර දෙන ලද නො-නිදහස් වර්තමාන යථාර්තය වෙත සත්‍ය ලෙස භක්තිමත් වීමෙන් (පිළිගැනීමෙන්) පමණක් මිනිසාට දේවත්වය අත්දැකීමට හැකිය. යේසුස් මෙන්ම බුදුන් වහන්සේ විසින් ද අත් දුටුවේ මෙයයි.  වෙනත් විදියකින් කිවහොත් නව තත්වයට තමාව පුර්ණ ලෙස වෙනස් කිරීමට ඉඩකඩ දීමෙන් පමණක් 'නව මිනිසෙක්' බිහිකර ගත හැකිය. රෙඩ් විසින් කලේ නව තත්වය ප්‍රතික්ෂේප නොකිරීමයි. එනයින් ඔහු නව මිනිසෙක් ලෙස සිරෙන් එළියට යයි (ඔහුගේ අයදුම් පතට මුද්‍රාව තැබීමට මොහොතකට පෙර ඔහුගේ පාපොච්චාරණය සිහියට නගන්න). ඇන්ඩි විසින් පවා මෙම පාපොච්චාරණය රෙඩ් වෙත එක් මොහොතකදී කල ද ඔහු ඒ වන විටත් පවතින්නේ පිටත සහ ඇතුලත යන අතර මැදි තත්වයේය (in-between-position). කෙටි පරිපථයක් ඔහු සතුව පැවති හෙයින් ඔහු පුර්ණ ලෙස නව තත්වය කිසි විටක අත් නොදකිනු ලබයි. නව තත්වයේ කප්පාදුවට ඔහු හසු නොවේ. අන් විකල්ප කිසිවක් නැති 'පුර්ණ සිරකරුව්ක්' වීමේ භාග්‍යය ඔහුට් උදා නොවේ. එනයින් ධනවාදයට පුර්ණ ලෙස ඇද වැටීම වලක්වන අතීතය සමග අනන්‍ය වී ධනවාදය සමග දෘෂ්ටිමය දුරස්ථ බවක් නඩත්තු කිරීම මහත්ම මුග්ධ කමක් වේ.

ඉදින් මෙහිදී ඇන්ඩි විසින් කරනු ලබන්නේ පවත්නා යථාර්තයෙන් දුරස් වීමක් නම් එම දුරස් වීම සඳහා ඔහු විසින් යොදා ගන්නා දෘෂ්ටිමය තිරය ගැහැණු ෆැන්ටසි රූපයයි. ඇතුලත නැති එහෙත් එළියේ ඇති පරිකල්පනීය නිදහසක් පිළිබද ෆැන්ටසිය දරා සිටීම සඳහා ඔහුට උපකාරී වන්නේ ඉහත පෝස්ටර කඩදාසියයි. ඇයගේ ෆැල්ලස කුළුගැන්වීම යමෙක් අතිශය අමාරු තත්වයකදී වුව නොමැරී සිටීම සඳහා බලාපොරොත්තුවක් දල්වන බව සැබවි. උදාහරණ වශයෙන් තවත් ජනප්‍රිය ප්‍රවර්තන චිත්‍රපටයක් (survival movie) වූ Cast Away (2000) හි චක් නොලාඩ් (ටොම් හෑන්ක්ස්) දෙස බලන්න. සේවයට කැපවුන FedEx වෘත්තිකයෙක් ලෙස ඔහු හදිසියේ පැසිෆික් සාගරයේ මිනිස් පුළුටක් නැති දූපතක සිර වූ පසු එයින් මිදෙන තෙක් ඔහු ජිවත් කරවන්නේ තම පෙම්වතියගේ රූපයයි. ආපසු කවදාහෝ ඔහු යන තුරු ඇය බලා සිටින බවට වන පරිකල්පනය ඔස්සේ ඔහු දිගට ම ජීවත් වේ. ජීවත් වීම වෙනුවෙන් ඔහු භාවිතා කරන  ඔහුගේ ෆැන්ටසි තිරය වන්නේ ගැහැණිය යි. නමුත් වසර ගණනකට පසු චක් නැවත ගෙදර යනවිට ඇය වෙනකෙක් සමඟ විවාහ ගිවිස ගෙනය. තමාට පිටින් පැවතියා යයි ඔහු පරිකල්පනය කළ ෆැන්ටසිය යනු බොරුවක් බව ඔහුට පසක් වේ. ඉහත ෆැන්ටසි තිර (fantasy screen) දෙකේදීම සිදු වන්නේ ෆැල්ලසයේ දෘෂ්ටිමය දේශපාලනය ක්‍රියාවයි. එනම් ඇන්ඩි සහ චක් යන හොලිවුඩ් චරිත දෙකම ස්ත්‍රී ෆැල්ලසය තමා දෙස බලා සිටින වගට ඔවුන් කරන වැරදි අනුමාන යයි ('තමා එනතෙක් ඇය මඟ බලාසිටී' යන අනුමානය). ඒ අනුමානය ඔස්සේ තමා දැන් සිටින ඇත්ත යථාර්තයෙන් විගලිත වීමයි. විගලිත වීම තුල සත්‍ය ලෙස මේ මොහොතේ කලයුතු දෙය මඟ හැරීමයි. ෆැල්ලසයේ දැක්මට හසුවූ බොහෝ දේශපාලන පිරිමි තම දේශපාලන ගමන අවසන් කලේ අප කිසිදා නොසිතුව ගමනාන්ත වලය. සමහරු කුටුම්භ තුලය. සමහරු කාර්යාල තුලය. සමහරු මහපාරේ ය. සමහරු නිර්වාන සුවයේය. දේශපාලනය තුල ඔවුන්ට වැරදුනේ කොහේද? මුලින් එය අප පැහැදිලි කර ගමු.  අප විසින් ඇය ෆැල්ලසය තුල සිටිනු ඇතැයි සිතුව ද ඇය පුර්ණ ලෙස ෆැල්ලසයේ නොපවතින අතර අනෙක් අතට සංකේත පිළිවෙල තුල ද නොපවතී (ඇය බෙදී  පවතී යනුවෙන් ලකාන් කියන්නේ මෙම තත්වයට ය). යමෙක් නිවන් දැකීමට අපේක්ෂා කරන්නේ නම් මෙම ලිපිය කියවන ලෙස අප උදෙක්ම ඉල්ලා සිටිමු. බුදුන් වහන්සේ ඇතැම් විට මේ තත්වය වටහා ගෙන සිටින්නට ඇතුවා වුවත් එතුමන් කිසිදු දේශනාවක මේ බව සඳහන් කර නොමැති නිසා අපට සිදුවන්නේ මේ ගැඹුරු සත්‍යය දේශනා කළ පළමු වැන්නා ලෙස ලකාන් හඳුන්වා දීමට ය. ඇය වෙතට පිරිමියා විසින් කරන සියලු ප්‍රක්ෂේපනයන් හුදු ෆැන්ටසි ප්‍රක්ෂේපනයන් පමණක් වන අතර පුරුෂ බව යනු ෆැල්ලසයේ විශ්වීය ක්‍රියාවක් (universal phallic function) ලෙස තේරුම් ගැනීමත් ස්ත්‍රිය යනු එම විශ්වීය බවෙන් බාහිරකරණය කරන ලද අතිරික්තයක් (excess or surplus) ලෙස තේරුම් ගැනීමත් යන දෙකම වැරදි බව මේ අනුව ලකාන් පෙන්වා දේ. ඇය අතිරික්තයක් බවට පත් වේ නම් එසේ වන එකම තැන වන්නේ ඇය විසින් පෙරුම් පුරන ආදර වන්තිය ලෙස පුරුෂ ෆැන්ටසියට අනුව වෙස් වලා ගන්නා තැනදී පමණි (the guise of the Lady in courtly love). Cast Away හි චක් විසින් අමාරුවෙන් තේරුම් ගන්නේ මෙම වේදනාත්මක සත්‍යය යි.   

රීටා හේවත් විසින් පුබුදු කරන ලද අනුරාගය නම් ෆැල්ලස ආර්ථිකයේ සිට ඇන්ඩි විසින් උමඟක් හාරන අතර ඔහු සොයන්නේ නිදහසයි. එම නිදහස වෙනුවෙන් පවත්නා පිළිවෙල උල්ලංඝනය කල යුතු අතර ඇන්ඩි ගේ අහම මැජික් කරුවෙක් ගේ මෙන් අධි ක්‍රියාකාරී වීමකට මඟ පාදන්නේ මහා අනෙකා නොමැති තැන ප්‍රාදුර්භුත වූ ඇයගේ රූපය විසින්  (lack in the Other). අවසානයේ ඇන්ඩි විසින් ඇත්ත වශයෙන් නීතිය බිඳිමින් සිර කඳවුරෙන් 'නිදහස්' වන අතර එවිට සිදුවන්නේ ඔහු ඇත්ත වශයෙන් සිරකරුවෙක් බවට පත් වීමයි. තමා ඇද වැටුණු නව තත්වයේ පුර්ණ සහභාගී කරුවෙක් (fully participate) වනු වෙනුවට ඒ සමග දුරස්ථ බවක් පවත්වා ගැනීමේ දෘෂ්ටිමය තිරයේ (ideological screen) එනම් මෙම ෆැල්ලසයේ ග්‍රහණයට හසුවන ඔහුට සිදු වන්නේ නිදහස ෆැන්ටසිකරණය කරන අතරතුරේ ම දිගින් දිගට ම පොදු නීතිය උල්ලංඝනය කිරීමටයි. ඔහු තම බැංකු කරුවෙක් ලෙස ප්‍රාගුන්‍ය කර තිබූ වෘත්තීය විශේෂඥ බව ඒ වෙනුවෙන් පාවා දෙනු ලබයි (අප දේශපාලනයට වෘත්තිකයින් ගන්නවාද යන්න මෙහිදී සිතිය යුතුය). සිර කඳවුරේ එක් ජේලර් වරයකු ගෙන් පටන් ගන්නා මෙම වංචා කිරීමේ ක්‍රීඩාව ඔහු අවට සිටින ජේලර් වරුන්ට පවා උගන්වනු ලැබේ. අවසානයේ එය නතර වන්නේ ෂෝශෑන්ක් ප්‍රධානියාගේ නිත්‍ය මුල්‍ය විශුද්ධි කරන්නා බවට පත් වීමෙනි. සියලු රජයේ සේවකයන් ගේ අශ්ලීල ජිවිතයේ අත්‍යවශ්‍ය මෙහෙකරුවෙක් බවට ඔහු පත්වේ (permanent subject). එසේනම් ස්ත්‍රිය විසින් පොළඹවන ලද මෙම ෆැන්ටසි-ෆැල්ලස ක්‍රීඩාව විසින් සිදු කරන්නේ සත්‍ය ලෙස විමුක්තිය උදා කරනු වෙනුවට තව තවත් සිරගත කිරීමේ ක්‍රියාවකි (මෙයින් අප ස්ත්‍රී විරෝධී දේශපාලනයක් යෝජනා කරන්නේ නැත. නමුත් අප කියන්නේ මෙම ෆැන්ටසි-අල්ලස් ක්‍රීඩාවේ අනපේක්ෂිත ප්‍රථිපලය භයානක බව පමණි). ෆැල්ලසය වඩාත් හොඳින් ක්‍රියාත්මක වන්නේ අදාල විෂය දුර්වල සහ නපුංසක වන අවස්තා වලදී බව ජිජැක් පෙන්වා දෙයි (කියවන්න Woman is One of the Names-of-the-Father, or How Not to Misread Lacan's Formulas of Sexuation ලිපිය). ස්ත්‍රී ෆැන්ටසි ආර්ථිකය ඉදිරියේ දේශපාලනය අත්හල බොහෝ දෙනෙක් ගැන ඔබ සිතන්නේ නම් මේ පිලිබදව හොඳින් අවබෝධ වනු ඇත. මොනිකා ලෙවෙන්ස්කි වැනි ෆැන්ටසි තිර යනු සෑමතැනම නොපවතින දේවල් ද නොවේ. පුර්වජ පියාගේ අතොරක් නැති ස්ත්‍රී විනෝදය වෙනුවෙන් ඇය නූතන පියාගේ තහනම උල්ලංඝනය නොකරන්නේ ද? දශකයක කාලයක් තිස්සේ අප ඇසු දේශපාලනයේ මුලික ප්‍රශ්නය එයයි. අප පක්ෂයක් ලෙස ලාංකික දේශපාලනයට උරුම කලේ මෙම අති මුලික ගැටළුවට විසඳුමක් ය (නැත්නම් එම විසඳුමක් නැති ප්‍රශ්නය ය). ස්ත්‍රී වාදීන් අප සමග තරහා වුවත් අප සන්ඩු දබර කලේ අපගේ ඉතිහාසය තුල (සහ පොදුවේ පවතින) දේශපාලන ප්‍රශ්නයක් සමග මිස ස්ත්‍රී වාදයේ අග මුල සෙවීමට නොවේය.  ඇතැමුන් මෙම අති මුලික ප්‍රශ්නය කෝච්චි පෙට්ටි සමග පටලා ගත්ත ද එය කිසිසේත් මෙම පුළුල් ශිෂ්ටාචාර ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත*(1). මන්ද ඇය පැලපදියම් වී ඉන්නේ අපගේම මොළ කුහරය තුල බව ඇය දනී (extimately intimated). ඒ ඇය පවතින එක් ආකෘතියක් වන බව ද ඇය දනී. ආදම් ගේ කාලයේ සිට එය එසේය. දෙවියන්, තහනම සහ ඇය යන ත්‍රිකෝණයේ දී ඇය ඉන්නේ දෙවියන්ට එරෙහිවය. එය හොදින්ම දන්නේ දෙවියන් සහ ආදම් ය. දෙවියන්ද නොදන්නා ඇය ගැන අප දන්නා මල ඉලව්වක් නැත!  

මිට පෙර ලිපියෙන් මා පෙන්වා දුන් පරිදි මේ භූමියෙන් විගලිත වූ පාර-ජාතික ඇතැම් සහෝදරවරු තමන් විසිකර දමන ලද නව භුමියේ ස්ථිර ලෙස පැලපදියම් නොවීමට හේතුව වන ෆැන්ටසි තිරය යනු කුමක් ද? එම නොහැකියාව (impossibility) පිළිබද ගැටළුව සාකච්චා කිරීම විමුක්ති විෂය යනු කුමක්ද යන ප්‍රස්තුතයට අදාල විශ්වීය මාතෘකාවක් වේ (විශ්වීය සටන් කරුවන් බිහිකර ගැනීම යන ස්ථානයේ දී මෙය වැදගත් සේ හඟිමි. මන්ද අද දවසේ වමේ පක්ෂ විසින් කරන්නේ සටන් කරුවන් බිහි කිරීම නොව පිටරට ට තම සාමාජිකයින් යවා ඔවුන් ලවා හම්බ කරවා ගැනීමයි). ඇන්ඩි විසින් රීටා ගේ රූපය ඔස්සේ නව භූමිය වෙත භක්තිමත් නොවුණා මෙන්ම මෙම සහෝදරවරු තමා දැන් සිටින පාර භූමින් වන ඉතාලිය, එංගලන්තය, ස්විටර්ලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල සිට මානසික උමගක් ලංකාව දක්වා කපයි*(2). එම රටවල සිදුවන දේ ගැන අවම සවිඥානික බවක් ඇති ඔවුන් මෙහේ සිදුවන සියලු දේ සමග අනන්‍ය වේ (රීටා සමග ඇන්ඩි අනන්‍ය වුවා සේම). පැයෙන් පැය ලංකාවේ සිදුවන දේ ගැන ඔවුන් දැනුවත් ය. නව තත්වයට ඇද වැටීම බාධා කරන සහ පරණ තත්වය සමග අනන්‍ය වීමට ඔවුන් භාවිතා කරන තිරය වනාහී මුහුණු පොතයි. ඔවුන් බොහෝ විට මේ රටේ සිටින අරගලකරුවන්ටත් වඩා 'රැඩිකල්' (අධි-රැඩිකල්) අය වන අතර මෙහේ සිටින අයට ඔවුන් කියන්නේ පොන්න පිරිමි (නාකි පොන්න පිරිමි) යනුවෙන් ය. මා සිතන හැටියට ඔවුන් අසන්නේ ගැහැණිය වෙනුවෙන් පිරිමියා තම ජීවිතය හෝමයක් මෙන් පුජා නොකරන්නේ ඇයි යන්න ය. නමුත් ඔවුන් එම මුහුණු පොත් තිරය බිඳ දමා නැවත ලංකාවට පැමිණිය හොත් දකින්න හැකි වනු ඇත්තේ කුමක්ද? ලංකාව යනුවෙන් පවතින්නේ, ඇත්තටම පවතින්නේ, යථාර්තය සහ ෆැන්ටසිය අතර නපුරු සිහිනයක් බව ඔවුන්ට අවබෝධ වනු ඇත (nightmare between reality and fantasy). අරගලය කොතරම් අමාරුද යන්න ඔවුන්ට වැටහෙනු ඇත. බිමට ම කාබාසිනියා වූ රටක මතවාදය සැකසීම කොතරම් අමාරු දැයි ඔවුන්ට වැටහෙනු ඇත. රටේ මතවාදය සකසන්නේ නැතුව කුමක් කලත් වැඩක් නැත. ඉන්නේ ජනප්‍රිය පොහොට්ටු කාරයෝ ය. රනිල් කරන්නේ ද ජනප්‍රිය දේශපාලනයකි. ඔහු මේ වනවිට පශ්චාත් නුතනවාදී වේ. ජංගි උඩට එන්නේ ඒ නිසාය. නමුත් මේ රටේ සත්‍යය සමග ඔට්ටු සෙල්ලම් කරන්නෙකුට සිදුවන්නේ ඉහත ෆැන්ටසි තිරය මත විශ්වාසය තැබීමටය. ඇන්ඩි මෙන්ම එසේ විශ්වාස තැබූ එක් මිනිසෙක් වන්නේ රනිල් වික්‍රමසිංහ ය. චුවින්ගම් පොරොන්දු වූ ඔහුව රටේ බහුතරක් වූ ගමේ මිනිසුන් එක පයින් පරද්දුවේ ය. නැවත ප්‍රතිජීවනය වීමට ඔහුට හැකිවුවේ පොලොන්නරුව නම් ගමේ මිනිසෙකුගේ ශරීරය හරහාය (ටයිටැනික් හි ජැක් ගේ සිරුර මෙන්). මෛත්‍රීට ගල් ගසන්නන් එය අමතක නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලමි. මාතොට සහ ලන්ඩන් සඟරා හරහා ජංගි වෙනුවට lingerie දේශපාලනය තුළට ගෙනා දීප්ති විසින් කලේ ඉහත සංක්‍රමණීය ගමේ මිනිසාට බටහිර ෆැන්ටසිය තරණය කිරීමට ඉගැන්වීමයි. මට අනුව එය රැඩිකල් වැඩකි. ප්‍රචණ්ඩ වෙනසක් ලාංකික සමාජය වෙතට හඳුන්වා දීමකි.     

නිෂ්පාදනය යන්න පැරණි අර්ථයෙන් වෙනස් වී අද වනවිට සංඥා නිෂ්පාදනය දක්වා විතැන් වී ඇත. මේ සංඥා වනාහි වසඟකාරී බවේ සංඥා ය. තේ නිෂ්පාදනය කරන ගැහැණිය වෙනුවට ලිංගික වසඟය නිෂ්පාදනය කරන ගැහැණිය මේ යුගයේ අධිනිශ්චය වන්නේ ඒ නිසාය. මේ අනුව ගැහැණිය තව දුරටත් පැරණි යුගයේ සිටි ගැහැණිය නොවේ. ඇය බද්ධ වී සිටින්නේ ආශා වෙළඳ පොළටය. ආශාව නිෂ්පාදනය කිරීමට ය. ඇය විසින් පැරණි ලෝකයේ ආශාව විතැන් කරයි. ඇය ජංගියෙන් lingerie වලට ඇද වැටෙමින් ඇත. එය සමාජ පරිණාමය පැත්තෙන් හොඳ දෙයකි.  ජිජැක් කියන පරිදි මෙම 'දෙවන මාක්සියානු තත්වය' (වියුක්ත ආශා හුවමාරුව) තේරුම් ගැනීම සඳහා නව මානව විද්‍යාවක් අවශ්‍ය ව ඇත. මේ සන්දර්භයේ දී රනිල් වික්‍රමසිංහ නම් කොළඹ රෝයල් උසස් පාසැලේ ආදි ශිෂ්‍යයා විසින් ආශා උත්පාදනය වෙනුවෙන් කාන්තා ශරීරය සරසවන කොමු පිළි (lingerie) 'ජංගි' යනුවෙන් හඳුන්වයි. එය උච්චාරණය කරන විටම ඔහුගේ මුහුණේ ඇඳෙන කැත සිනහව තුලින් ඔහු කියන්නේ 'මෙය විනෝද වන්න' යන්නය (enjoy this!). මේ තත්වය යනු මියගිය පිතෘ මූලික බවේ ප්‍රකාශනයකි. ඔහු කියන්නේ මෙවැනි දෙයකි. 'බලන්න මේ සියල්ල පවතින්නේ ඔබගේ විනෝදය පිණිස ය'. මෙයට පරස්පරව පොළොන්නරුවේ උපන් මෛත්‍රිපාල සිරිසේන මහතා මරු කතරේ දුක් විඳින ලාංකික ගැහැණිය වෙනුවෙන් ජංගි කතාවට වඩා සානුකම්පිත සහ යම් රැඩිකල් දේශපාලන අන්තර්ගතයක් සහිත කතාවක් පසුගිය දා අනුරාධපුරයේ කාන්තා දින සමුළුවේ දී ප්‍රකාශ කර ඇත. ඔහුට අනුව ලංකාවේ ධනපති පිරිමි දේශපාලනය යැපෙන්නේ අපේ දුප්පත් ගැහැණිය වැලි කතරේ විඳින වේදනාවේ ප්‍රථිපලයක් හැටියට ය (pain). එම වේදනාවට අවශ්‍ය සංවේදී ගෞරවය දීමට හෝ මේ කොළඹ මධ්‍යම පාන්තිකයාට නොහැකි විය. සිරිසේන මහතාගේ කතාවේ සාරාංශය පහත උපුටා දක්වමි.

'අද' පුවත්පත වාර්තා කර ඇති පරිදි සිරිසේන මහතා මෙසේ කියයි. 'සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන්  රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රටට විදේශ විනිමය උපයා දෙන ප‍්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කතා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය ගෘහ සේවයට ශ‍්‍රී ලාංකික කාන්තාවන් යැවීම පිළිබඳව තමා පෞද්ගලික ව විරුද්ධ බව ද කියා සිටියේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි' ('අද' ඔන් ලයින් පුවත් පත 2019. 03.08). .

ප්‍රංශ භාෂාවෙන් නිරුක්තිය ලබන Lingerie (ලන්ජරී - බ්‍රිතාන්‍ය උච්චාරණය / ලොන්ජරේ - ඇමෙරිකානු උච්චාරණය) යනු ආශා වෙළඳ පොළකි. එය හුදු 'ජංගියක්' නොවේය. අප ආශා කරන ස්ත්‍රී පාර්ශවිය වස්තු තව තවත් ආශාව උද්දීපනය වන ලෙස අලංකාර කිරීම මේ ඔස්සේ සිදුවෙයි. ඇයගේ ශරීරය යනු ආශා කිරීමට ඇති පෙළඹවීමේ උපකරණයකි. ස්ත්‍රී ශරීරය තව තවත් අර්චන කරණය කරමින් අප එම ආශාව වෙත පෙළඹ වීම ඉහත කොමු පිළි වලින් කරනු ලැබේ. වික්ටෝරියාස් සික්‍රට් යනු ලොව විශාලතම කොමු පිළි නිෂ්පාදකයා වෙයි. විශේෂයෙන් කාර්මික සමාජයන් හි විගලිත මිනිසා ආශාව වෙත පෙළඹවීම වෙනුවෙන් විශාල වෙහෙසක් මේ අර්චන වෙළඳපල කරනු ලබයි. දයලෙක්තික සමාජ ප්‍රගමණය තුල ආශාව ඔස්සේ මිනිසා තවත් ඉහල සමාජ ක්‍රමයක් ගැන සිහින මැවීම දේශපාලනිකව පිළිගැනීමට සිදුවේ (පටිච්ච සමුප්පාදය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කෙසේ වෙතත්*(3). සමාජ ප්‍රගමනයේ එක් අවධියක් ලෙස ධනවාදය අද ක්‍රියාත්මක වන්නේ ඇගේ ආශා ශරීරය හරහා වන බැවින් පැහැදිළිව ඉහත කාන්තා ඇඳුම් යනු වෙළඳ පළකි. අපේ ඇඟළුම් ස්ත්‍රීන් තම විශේෂ ප්‍රාගුන්‍යය ඔස්සේ  වඩාත් හොඳ නිපැයුම් වික්ටෝරියාස් සීක්‍රට් වෙත පිරිමනයි (නමුත් වික්ටෝරියාස් සික්‍රට් ලබන ලාබය අපේ ගැහැණිය වෙත පැමිණෙනවාද යන්න දන්නේ නැත). එමෙන්ම කහටගස්දිගිලියේ ඉන්නා අප අප ආශා කරන්නේ පරණ කහට හැහුණු ජංගි ඇඳි ගැහැණියට නොව ලන්ජරී ඇඳි වික්ටෝරියා බෙකම් ට බව දැන්වත් ඉගෙන ගන්න රනිල්. අප එතැනින් ද නවතින්නේ නැත. අප ඉන් ඉදිරියට ද ආශා කරමු. අපි කහටගස්දිගිලියෙන් කොළඹ අවුත් කොළඹින් ලන්ඩන් ගියොත් අප කිසිදා බෙකම් දැක ආපසු සුනාපරන්තයට් දුවන්නේ නැත. අප බෙකම් වැළඳ ගමු. ෆැන්ටසිය ට ඇද වැටෙමු. ඒ වගේම බෙකම් ජිවත් වන සමාජයටත් වඩා හොඳ සමාජයක් හැදීමට වලිකමු (අනිවාර්යයෙන් බලන්න Green Book චිත්‍රපටයේ ඩොන් ෂර්ලි නම් කළු සංගීතඥයාගේ 'ශිෂ්ටත්ව සිහිනය'). ඇන්ඩි ගේ ෆැන්ටසි තිරය ඔස්සේ අප ලංකාව දෙස බලන්නේ නැත (බලා සිටින්නේ නැත). අප ලංකාවෙන් චුත වුවොත් අප නැවත මේ මඟුල දෙස හැරී බලන්නේ ද නැත. 'අම්මෝ මෙහෙ හරිම නරක තැනක්' කියා අප ආපසු ගෙදර නොදුවමු. ෆ්‍රෙඩි මර්කරි මෙන් මරණය දක්වා නව ලෝකයේ යථාර්තය තුල ගමන් කරමු. නලින් ගේ මෙන්ම රනිල් ඔබගේ ද ආශාව මියගොස් ඇති බව ඔබවත් දන්නේ නැත. ටයිටැනික් හි රෝස් ව ජිවත් කරවීමට ජැක් කෙනෙක් පැමිණියත් රනිල් ඔබගේ ආශාව ජිවත් කරවීමට ජැක් කෙනෙක් එන්නේ නැත. ආශාව ඇත්තේ නිර්ධන පන්තියේ ය (තෙවන වර උපුටා දැක්වීම). ආමෙන්! 


*(1) එක් ජනප්‍රිය පුවත් පතක් විසින් ස්ත්‍රීන් වෙනුවෙන් වෙනම කෝච්චි පෙට්ටි හඳුන්වා දීම පිලිබදව යම් සමීක්ෂණයක් කර පහත තොරතුරු වාර්තා කර තිබුණි. කාර්යාල දුම්රියේ යන ගැහැණු අය පවසා තිබුණේ මෙහි හොඳ නරක දෙකම ඇති බවය. එහිදී එක් කාන්තාවක් කියා සිටියේ තමන් වෙනම පෙට්ටි තිබුණා වුවද මෙතෙක් තමාට පුරුදු පෙට්ටියට පරණ විදියටම නැගී බවයි. එහිදී පිරිමින් විසින් කියා තිබුණේ එම පෙට්ටියට ගොඩ නොවෙන ලෙසත් ඔබලාට අයිති පෙට්ටියට ගොඩ වන ලෙසත් ය. ගැටලුව නම් වෙනම ම පෙට්ටියක් ස්ත්‍රීන් සඳහා රැඩිකල් ස්ත්‍රී වාදීන් විසින් (මොන ස්ත්‍රී වාදයක් ගැනවත් මෙලෝ බෝලයක් නොදන්නා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බඳු ප්‍රසිද්ධ celebrity මන්ත්‍රී වරියන්) හඳුන්වා දී තිබියදීත් අර පරණ 'නරක පිරිමි' සහිත පෙට්ටියට ම ගැහැණුන් ගොඩ වන්නේ මන්ද යන ගැටළුවයි. නව සංකේත විශ්වයක් හඳුන්වා දී තිබියදීත් ඇය එය උල්ලංඝනය කරන්නේ ඇයි? එසේනම් එයින් කියවෙන්නේ ඇය සංකේත පිළිවෙල තුළ (අලුත් පෙට්ටිය) සත්‍ය ලෙස නොසිටින බව නොවේද? එසේම දෙවියන් ගේ තහනම ඇය රහසින් (ඇයටත් නොදැනීම) උල්ලංඝනය කරන බව නොවේ ද? 

*(2) අජිත් ධර්මකීර්ති මිතුරා විසින් මා අසන ලද 'අප දෙස බලා සිටීම නිසා ඔබට ඔබගේ සත්‍ය (නව) යථාර්තය අහිමි වී යා හැකි නොවේද?' යන පැණයට තරමක් කේන්ති ගොස් ඇති ආකාරයේ පිළිතුරක් කොමෙන්ටුවක් ලෙස ගොනු කර ඇති බව දුටුවෙමි. ඔහු එංගලන්තයේ ලේබර් පක්ෂයේ සාමාජිකයකු බව සහ නව භූමියේ යථාර්තය සමග අනන්‍ය වී ඇති බව එම පිළිතුරේ සඳහන් ව ඇත. එය ඉතාමත් සතුටු දායක දෙයකි. එය මා දැන සිටියේ නැත. ඇත්ත වශයෙන් ඔහු කියන පරිදි මා කිව යුතුව තිබුණේ 'මා දන්නා පරිදි' යනුවෙන් ය. අජිත් ඇත්ත වශයෙන් මා අනුභූතික තලයේ බොහෝ දේවල් දන්නේ නැත. ඔබ ගැන මා කිසිවක් දන්නේ ද නැත.  ලෙනින් ගැන බොහෝ ඇසූ පිරූ අයෙක් ද නොවේය (වෙනත් රටවල් ගැන කතා කලත් ලෙනින් තමන්ගේ භූමියේ  'වැඩේ' කළ බව නම් මම දනිමි). අනෙක නම් අජිත් විසින් මා 'ගොඩයෙක්' ලෙස නම් කිරීමට ආසන්නයේ ඇති බව ඔහුගේ ව්‍යංග අර්ථයයි. මන්ද එවන් ප්‍රශ්න අසන්නේ ඔහුගේ කොමෙන්ටු වල ඉන්නා පල් ගොඩයන් ය යන්න ඔහුගේ මතය ය. මම එම ප්‍රශ්නය ඇසුවේ කෙසේවත් ඔබගේ අහම තුවාල කිරීම පිණිස නොවේ. දේශපාලනික ලෙසය. සහෝදරත්වයෙන් ය. අනෙක එවන් ප්‍රශ්න ඇසූ සහ එම කෘතිය ගැන සඳහන් කල හැමට ම මා එම ලිපිය තුල කෘතඥ විය. ඔබ අපේ අදහස් සමග එකඟ වීම ගැනද ඉතාම කෘතඥ වෙමි. සංවාදයක් ඇතිවීම කොතරම් හොඳද අජිත්. කෙසේ වුවත් මා 'ගොඩයෙක්' ලෙස නාමකරණය වීමට මා බිය නැත (මිනිසුන් එයට බය වන්නේ ඇයි?). මන්ද සත්‍යය එය වන නිසාය. රාවය ට ලියන කාලයේ සිට මා යෝජනා කරමින් සිටින දෙය පසුබිම් කරගෙන මා 'ගොඩයෙක්' ලෙස එංගලන්තයේ වාසය කරන අරගල කරුවෙක් විසින් නම් කිරීම කොතරම් අපූරු දෙයක් ද අජිත්? ඔබ ලංකාවට ආ දිනක මා ජීවත් වන කෑගල්ලේ ගමට දවසක් ඇවිත් යන්න. එවිට ඔබට සාපේක්ෂව මා කොතරම් ඈත අව-වරප්‍රසාධිත ගමක ජිවත් වන්නේ ද යන්න ඔබට තේරුම් යනු ඇත. නමුත් මම ඒ ගැන නහයෙන් අඬන්නේ නැත (අව වරප්‍රසාධිත තත්වය විකුණා ගෙන කෑමට මට වුවමනා නැත). වෙනත් රටක සිට අප කරන දෙයක් ගැන ප්‍රශ්න ඇසීම සඳහා ඇති ඉඩ මෙයින් වාරණය කිරීමට කිසිසේත් මා අදහස් කරන්නේ ද නැත. අපෙන් ප්‍රශ්නයක් ඇසීම පැහැදිළිව ම ගෞරවයකි. මන්ද 'දීප්ති නම් එසේ නොඅසන' බව ඔබ කියා ඇත. ඒ ඔහු මට වඩා සංස්කෘතික සහ නාගරික (සහ දේශපාලනික) නිසා විය හැක. අජිත්, දේශපාලනයේදී මම ඔබට සම්බන්ද වන්නේ දුරක් තබා ගෙන නොවේ. ඒ නිසා මගේ ඇත්ත ප්‍රශ්නය මා ඔබෙන් අසමි. මේ මොහොතේ ද එම ප්‍රශ්නය වෙනුවෙන් මා පෙනී සිටිමි. මන්ද එය බොහෝ දෙනෙකුට අදාළ ප්‍රශ්නයක් වන බැවිණි. වමේ දේශපාලනයේදී තත්‍යතාවයේ මාර්ගය (authenticity - අව්‍යාජ බව නැතහොත් සත්‍යතාවය) හැර ඔබට සත්‍ය ලෙස සම්බන්ද විය හැකි අන් මඟක් මා නොදනිමි. 

*(3) බුදු දහම සහ බටහිර දයලෙක්තික චින්තනය අතර සමහන් කල නොහැකි පරතරක් ආශාව සම්බන්දයෙන් පවතී. පවතින තත්වයට වඩා ඉහල තත්වයක් පිළිබද මිනිස් ආශාව නොමැතිව දයලෙක්තික සමාජ වෙනසක් පැවතිය නොහැක. 'මේ සිංහල අපගෙ රටයි' ළිපි මාලාව තුල අප පැහැදිලි කිරීමට උත්සාහ කලේ බුදුදහම පදනම් කරගත් චින්තනයක් බටහිර සද්භාවය සමග සම්බන්ද වන්නේ කෙසේද යන්න ය. අප ඒ සඳහා භාවිතා කලේ කියෝතෝ ගුරු කුලයේ ඉගැන්වීම් සහ ආශ්‍රිත අධ්‍යයනයන් ය. ඒ සම්බන්දයෙන් වන කුඩා පොතක් මේ වනවිට සෝදුපත් මට්ටමේ පවතී.  
  
මුලාශ්‍ර: 

Zizek, S. (1995). Woman is One of the Names-of-the-Father, or How Not to Misread Lacan's Formulas of Sexuation. Lacanian Ink. http://www.lacan.com/zizwoman.htm

Zizek, S. (2016). Rage, Rebellion, New Power. youtube video.  https://www.youtube.com/watch?v=vxfeXYIwnnI