Monday, October 29, 2018

මරණය වෙනුවට ප්‍රෙහේලිකාව තෝරා ගැනීම...

විසංයෝජන ගෘහ නිර්මාණය (deconstructing architecture) වෙනුවෙන් ගූගල් ලබාදෙන එක් චායාරූපයකි. අප ඉදිරියේ දිග හැරෙන්නේ අප දන්නා ගෘහ නිර්මාණය වෙනුවට ගෘහය  පිළිබද අපගේ මනස් චිත්‍රය විසංයෝජනය කරන භෞතික වටපිටාවකි. මේ වනාහී බුද්ධාගමේ රූපක නුතනත්වයට ගමන් කර ඇති එක් ආකාරයකි.  
නිමකිරීම සඳහා තමන් විසින් ම මුල පිරූ සහ සාදා අවසන් කරන බවට තමන් විසින් සපථ කළ ගෘහය සහ එහි ගෘහ නිර්මාණය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයා විසින් ම මුලිනුපුටා දමා ඇත. කොජින් කරතානි ගේ වචනයෙන් කිවහොත් 'යහපාලන ගෘහ නිර්මාණය' විසංයෝජනය වී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන සුසංයෝජනයෙන් නව නොසිතු විරූ සන්ධානයක් ඇතිවී ඇත. මේ හේතුව මත එකවර ම එක රැයකින් සුන්දර ගැමි මෛත්‍රිපාල සිරිසේන චරිතය රාක්ෂයෙක් බවට පත්ව ඇත (monster) යනුවෙන් හැදින්වුව හොත් එය නිවැරදිය. එය අප කිසිදා කිසිවිට නොසිතු දෙයක් ද නැත්නම් අපට පරිකල්පනය කරගැනීමට නොහැකි වූ රාක්ෂ ආගමනයක්ද නැත්නම් අපගේ ම විචිත්‍ර කල්පනාව (ෆැන්ටසිය) අසුන්දර ප්‍රකම්පන සිහිනයක් (ෆැන්ටස්මතිකය) බවට පත්වීමක් ද? යථාවේ ආපතික ඉස්මතු වීම පිළිබද සම්භාව්‍ය උදාහරණය මනෝ විශ්ලේෂණය පදනම් කර ගනිමින් මෑත කාලයේ දේශපාලන කතිකාව වෙත ගෙන ආවේ ස්ලාවෝයි ජිජැක් විසින් ය. ඒ සඳහා ඔහු භාවිතා කල උදාහරණය වුවේ 1975 වසරේ තිරගත වූ ජනප්‍රිය ඇමෙරිකානු චිත්‍රපටයක් වූ  Jaws ය. එය අධ්‍යක්ෂණය කලේ අතිශයින් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන ස්ටීවන් ස්පීල්බර්ග් ය. එම චිත්‍රපටයේ සිදුවන්නේ සතුටින් ඔබ මොබ මුහුදු වෙරළේ දුවමින් සිටින මිනිසුන් පිරිසක් වෙතට ලස්සන නිල් ජලය දෙබෑ කරගෙන මිණී මස් කන මොරෙකු ඉස්මතු වීමයි. අපට සතුට ගෙනෙන මුහුද විසින් ම අපගේ මරණය ද රැගෙන ඒමයි. සතුට නිසා අපට අමතක වූ දෙය අපට මුණ ගැස්වීමයි. ජිජැක් සදහන් කරන්නේ සත්‍ය සමාජ පසමිතුරුතා අමතක කර ජීවත් වන අප වෙත ස්වභාව ධර්මය විසින් ම යථාවක් ලෙස විනෝදයේ සීමාව රැගෙන එන බවයි. මෙයට තවත් උදාහරණයක් වන්නේ අතිශයින් ජනප්‍රිය 'ටයිටැනික්' චිත්‍රපටය යි. එහිදී ද කිසිදා විනාශ නොවෙන බවට බටහිර විසින් සපථ කළ මුග්ධ උදාන වාක්‍ය විසින් තම අහම උදුම්මවා ගත් කප්පිත්තා විසින් විශ්වයේ අනන්තයට තම නැව රැගෙන යාමට උත්සාහ කරන ලදී. ජැක් සහ රෝස් නැවේ අවරය මත ගත කරන ප්‍රමෝදයේ දර්ශනයෙන් අපට පෙන්වන්නේ එම අනන්තයට යන විශ්වීය ප්‍රමෝදය යි (කොස්මික ප්‍රීතිය). නිර්ධන පංතියේ ජැක් ගේ අනුරාගික ශරීරය හරහා (ගැමි මෛත්‍රී) සම්පුර්ණයෙන් මේ වනවිට හැඟීම් මියගොස් තිබූ බුර්ෂුවා මධ්‍යම පංතියේ රෝස් (නාගරික රනිල්) නැවත ජීවිතය ලබා ගන්නා අතර ඉන් පසුව ඔවුන්ට හමුවන්නේ ක්ෂිතියේ මොහොතයි. සිද්ධියට පසු දින නම් බදිව් හඳුන්වන දෙය යි. පරිකල්පනයේ මොනවා තිබුණ ද ඇත්ත ලෝකයේ හමුවිය නොහැකි බවයි (අද අප නරඹන ලාංකික චිත්‍රපටයේ දඹර අමිල හාමුදුරුවෝ තේරුම් ගැනීමට උත්සාහ නොකරන මෙම මනෝ විශ්ලේෂී මානය ඉතා වැදගත් ය). සියල්ල වෙනස් වන බව, විසංයෝජනය වන බව සහ විනාශ වන බවට වන පෙරදිග සත්‍ය ය විසින් කරනු ලබන්නේ අපරදිග ආත්මයට සීතල වතුර තුළින් මතුවූ අයිස් පර්වතයක් විසින් සත්‍ය ය මුණ ගැස්ස වීමයි.  ලාංකික අපට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සත්‍ය ලෙස මුණ ගැසෙන්නේ මෙම ආපතික යක්ෂ නිමේෂයේ දී බව මාගේ වැටහීමයි. එනම් අප අමතක කර දමා සිටි යම් යම් පරස්පරතා එකවරම යථාවක් ලෙස ඉස්මතු වීම අප අමතක කරන්නේ ඇයි? මෛත්‍රිපාල මහතා විසින් ම සදහන් කරන සංස්කෘතික, දේශපාලන සහ ආකල්පමය අප සුළුවෙන් තකන්නේ ඇයි? ඉහත යථාවේ ආගමනයට බල පෑ රනිල් සහ මෛත්‍රී අතර පැවති සහ අප අමතක කර දමා තිබු ජාතිකත්ව දේශපාලනය, ජාතික සම්පත් විකිණීම, මුල්‍ය ප්‍රතිපත්ති, භාෂා වෙනස් කම් යන අති මුලික පරස්පරතා අප අමතක කරන්නේ ඇයි? 

මෛත්‍රි නම් ගැමි රෙද්ද බැනියම අඳින රූපය නොතිබුණා නම් අද යහපාලනය යනුවෙන් යමක් අපට අත්විඳීමට සිදු නොවන්නට ඉඩ තිබුණි. අද අප මොනවා කිව්වත් අප මහින්ද නම් අධිපති හෙජමොනික අවකාශය අව-හෙජමොනික කිරීම සඳහා තරඟකාරී ලෙස  භාවිතා කලේ මෛත්‍රී ගේ ශරීරයයි. රනිල් ගේ ශරීරය මාකට් කිරීමට බැරිවීම නම් තත්වය සඳහා අප භාවිතා කලේ මෛත්‍රී ගේ ගැමි සඥාව යි. අපගේ එවක කතිකාව තුල පරිකල්පනීය ලෙස ඉස්මතු කලේ දේශීය මහින්ද වෙනුවට තවත් දේශීය අනුප්‍රාප්තිකයෙක් වූ මෛත්‍රී ය. එසේ අනුප්‍රාප්තික සඥාවක් නොමැතිව එවක කතිකාව හැසිරවිය හැකිව තිබුණේ නැත. එනයින් මෛත්‍රී ශරීරය දෙනු ලැබුවේ අමාරු ඓතිහාසික කාර්යයකට ය. අඩි හයේ කතාව එන්නේ මෙතැනදී විය හැකිය. මහින්ද වෙනුවට පැමිණි එම දේශීය බව තුළ ඔහු යම් යම් විශ්වීය කරුණු ප්‍රමාණයක් ද ඉස්මතු කළේය. ඒවා නම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, විධායක බලතල අඩු කිරීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ලෝකය තුල අපගේ ප්‍රතිරූපය පිරියම් කිරීම (mend) ඒවායින් සමහරකි. ඒ අර්ථයෙන් බටහිර ඇස (European gaze) පවා ඔහු වෙත ධනාත්මකව යොමු විය. දුන් පොරොන්දු වලින් සමහරක් ඔහු විසින් ඉෂ්ට කිරීමට උත්සාහ කලද බොහෝ දේ ඔහුට කළ නොහැකි විය. ඒ කුමන හේතු නිසාද යන්න මා දන්නේ නැත. කොළඹ දේශපාලනයෙන් ඈත ජිවත් වන මා සියල්ල දැන ගන්නේ වෙබ් මාධ්‍ය වෙතින් පමණක් වීම නිසා මාගේ ඥානවිභාගය සිමා සහිතය. මාධ්‍ය සහ ප්‍රවෘත්ති යනු මේ වනවිට කාගේ හෝ පදයට නටන නාට්‍යයක් පමණක් නිසා කිසිවක් විශ්වාස කල නොහැක. මෑතක මතුවූ ජනාධිපති ඝාතන නාටකය එවැන්නකි. මා එනයින් කිසිවක් හෝ කිසිවෙක් විශ්වාස නොකරන තත්වයට පත්ව ඇත. තොරතුරු යනු සමස්තතා අවකාශයක් ලෙස හඳුන්වන ජිජැක් පවසන්නේ මේ යුගයේ ප්‍රමුඛ පශ්චාත් නුතන තත්වය යනු තොරතුරු වල ආධිපත්‍ය පාලනය කිරීම යනුවෙනි (කියවන්න Did Somebody Say Totalitarianism? හි 250 පිටුව). කෙසේ වුවද යම් සාර්වත්‍රික කරුණු කිහිපයක් ඔස්සේ ලාංකික භුමිය තුළ ඉස්මතු වූ මෛත්‍රී ජනාධිපතිවරයා විසින් මේ වනවිට හාස්‍ය ජනක ලෙස ඔප්පු කරමින් පවතින්නේ යම් ඩෙරිඩියානු බෞද්ධ සත්‍යයකි. එනම් තමන් සතුව එක් නිශ්චිත, කේන්ද්‍රීය, ආත්මීය ස්ථාවරයක් නැති බවයි. මිනිස් මනස යනු සංකුල යකුන් නටන පිටියක් බඳුය (pandemonic playground) යන බෞද්ධ සද්භාවය වෙත විවේචනාත්මක වන ජිජැක් මෙම විශ්වීය විකේන්ද්‍රිය භාවය තුළ හමුවන හිස් බව ම (void) මිනිස් විෂය මුලිකත්වය ලෙස ලැකාන් නම් කරන බව පෙන්වා දෙයි (පිටුව 205). මෙම හිස් බවට අප බිය විය යුතු නැත. ඇත්ත වශයෙන් මෛත්‍රී විසින් කළ යුතුව තිබුණේ කිසිවක් නොකර සිටීමයි. නැත්නම් ජනාධිපති ලෙස තමා අත්විඳි ශුන්‍යතාවය සමස්ත තමන්ට චන්දය දුන් සෑම අයෙකුට ම පෙනෙන්නට සැලැස්වීමයි. පෙරදිග සද්භාවයට පරස්පරව බටහිර අර්ථයෙන් ස්වාත්මය (self) යන්න සම්බන්ද වන්නේ ස්වචන්ද තාවය (free will) වෙත බව ජිජැක් මෙහිදී පෙන්වා දෙයි. ඉදින් යකුන් නැටූ පිටියක ස්වභාවයෙන් මිදී තම ස්වචන්දතාවය ඔහුට භාවිතා කල හැකිව තිබුණේ තමා නිෂ්පාදනය කල දෙය තුළ ඇති අපරිපුර්ණ බව, නොහැකියාව සහ ශුන්‍යතාවය හෙළිදරව් කිරීම වෙනුවෙනි. නමුත් ඒ වෙනුවට ඔහු ප්‍රදර්ශන කළේ සමස්තතා රෝග ලක්ෂණයක්ය. ඔහු කළේ මහා අනෙකා (A Other) වෙනුවට කුඩා අනෙකෙක් (a other) තෝරා ගැනීමයි (පහත රූප සටහන බලන්න). බරපතල ම ගැටළුව නම් දෙවියන් නම් 'ශුන්‍යතාවය' වෙනුවට මහින්ද නම් 'අර්ථය' සොයා යාමයි (රනිල් ට වඩා අර්ථයක් මහින්ද තුළ ඇති බව ෆැන්ටසි ගත කිරීම). මිනිස් විෂයට විසඳා ගත නොහැකි ගැටළුව නම් අහම විසින් මෙහෙයවනු ලබන පරිකල්පනය යි. එම ෆැන්ටසි සම්බන්දය විසින් අපට කුඩා අනෙකුන් රාශියක් මුණ ගස්වනු ලබයි (රනිල්, මහින්ද, එස්. බි.). අප සාමාන්‍යයෙන් සිතන්නේ 'එයාට වඩා මෙයා හොඳ ඇති'. 'නැහැ, මෙයාට වඩා අනිත් කෙනා හොඳ ඇති' යනුවෙන් ය. නමුත් ඒ සෑම සම්බන්දයක්ම පරිකල්පනීය දෙයක් මිස සත්‍යය නොවේය. එකිනෙකා අතර සැමවිට ම ඇත්තේ ඩෙරීඩියානු වෙනසක් පමණ ය. 
             
කතිකාව ඔස්සේ විෂය විසින් අනෙකා සමඟ ගොඩ නගන පරිකල්පනීය සම්බන්දය පෙරළා විෂයේ අහම සමඟ සම්බන්ද වේ. කතිකාව අවසන් වී යථා ව මුණගැසෙන විට මිනිසා ට දෙවියන් අවශ්‍ය වේ (මහා අනෙකා A). දෙවියන් ඉදිරියේ එවිට අහම දියවී යයි. නමුත් දෙවියන් මියගිය ලෝකයක අපට හමුවන්නේ කුමක් ද? පෙරදිග අරුතකින් ගත්විට ඒ දෙය නම් ශුන්‍යතාවය යි. වෙනත් විදියකින් කිවහොත් ජැක් සහ රෝස් ගේ අනුරාගික සම්බන්ධයේ සත්‍ය අවසාන යයි. ෆැන්ටසියේ අවසානය යි. එවරස්ට් කන්ද තරණය කළාට පසු ශේෂ වන දෙය යි.    
සිදුවෙමින් පවතින දේවල් දෙස බලනවිට ජාක් ඩෙරිඩා යනු අපගේ ලෝකය තුල අතිශයින් වැදගත් දාර්ශනිකයෙක් යැයි වරෙක සිතේ. ලාංකික අප ඩෙරීඩා හඳුනා ගන්නේ 'ප්‍රවාද' සඟරාව හරහා ය. වඩාත්ම 'රැඩිකල්' දෙය බවට පත්වන්නේ කෙමර් රූජ් පන්නයේ ඝාතන නොව කිසිවක් නොකර සිටීම බව ලොවට මුල් වතාවට පැහැදිලි කර දුන්නේ ඩෙරීඩා ය (ඉහත පිටුව 154). ඩෙරීඩා ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලබා දෙන ක්‍රිස්තු පොරොන්දුව (messianic promise) වනාහී හුදු සදාකාලික පොරොන්දුවක් පමණි. එය යථාර්තයක් බවට පත් කිරීමට නම් අප සිරගතව ඇති සදාචාර බන්ධනයෙන් නිදහස් විය යුතු බව ඩෙරීඩා පෙන්වා දෙයි. මාක්ස් පෙන්වා දුන් දෙය යථාර්තයක් කිරීමට නම් එය 'කිසිදු' ආර්ථික-දේශපාලන නියතිවාදයක් තුළ සිරගත නොකල යුතු බව ඩෙරීඩා උපුටා දක්වමින් ජිජැක් පෙන්වා දෙයි. එම මාක්සියානු අවසානය වෙත යනු පිණිස අප ඕනෑම දෙයක් අත්හදා බැලීමට සුදානම් විය යුතුය. නැතිනම් සිදුවන්නේ සදාකාලික පොරොන්දුවක් තුල අපට සුසුම් හෙලමින් ජිවත් වීමට පමණි. කිසිවකට එක් නිශ්චිත ක්‍රමවේදයක් නැත. රුසියාව තුළ සිදුවූ දෙය ම චීනය තුළ සිදු විය යුතු නොවේ. එසේ සිදු වන්නේ ද නැත. ඒ දෙකම ලංකාවේ සිදු කළ නොහැකි විය හැකිය. අප අපගේ ක්‍රම වේදයක් සොයා ගත යුතුය. ඒ සඳහා සංකේත පිළිවෙල උල්ලංඝනය කිරීමට සිදු විය හැක. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදයෙන් එළියට බැසීමට සිදු විය හැක. ඒ අර්ථයෙන් මෛත්‍රී විසින් කළ දෙය නිවැරදි විය හැකි යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවත් එසේ සිදු කිරීම සඳහා මෙතන උත්කර්ෂයට නංවන ප්‍රබන්ධය ගැටළු සහගත ය. නෛතික භාවයක් නැත්තේ එම ප්‍රබන්ධයට ය (fiction). මෛත්‍රී විසින් මෙම යහපාලන ආණ්ඩුව අවසන් කිරීම සඳහා කළ කතාව තුළ ඔහු ප්‍රකාශ කළේ තමා මරා දැමීමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණය කළ නිසා මෙම ප්‍රකම්පන වෙනස සිදු කල බවයි. නමුත් මට ඇතිවන ප්‍රශ්නය නම් මෛත්‍රී යනු මෙතරම් මරණයට බිය කෙනෙක් ද යන්නය. මද්දුම බණ්ඩාර ඉපදුන රටක (අපේ අය තර්ක කරන්නේ මද්දුම බණ්ඩාර කුඩා නිසා මරණය යනු කුමක්දැයි නොදැන එම ප්‍රකාශය කළ බවයි. නමුත් ප්‍රශ්නය නම් අප අතීතයෙන් උගෙන ගන්නා පාඩම කුමක්ද යන්නය) තමා  රැගෙන ආ පරම ආයුෂ වලින් තුනෙන් දෙකක් ගෙවා දරු මුණුබුරන් දැක ඇති මෛත්‍රී මෙතරම් තුවක්කු කරුවෙකුට බිය වන්නේ ඇයි? පරිකල්පනය තුළ ගතහොත් මෛත්‍රී සිටින තනතුරේ මා සිටියා නම් ෆොන්සේකා ගේ හෝ වෙනත් අයකුගේ ඝාතන කුමන්ත්‍රණය කණ වැකුණ සැනින් කරන්නේ කරන්නේ මහින්ද තුරුළට යාම නොව ජනාධිපති මන්දිරයේ ගේට්ටුව පසුකර පානදුර කොටුව බස් පාරට අවුත් බස් එකක නැඟී කොටුවට අවුත් බැස්ටියන් පාර දෙසට ගොස් මැනින් මාර්කට් එකේ අන්නාසි රුවන් ගෙන් අන්නාසි ගෙඩි දෙකක් ද රැගෙන බස් එකේ ගෙදර ඒමයි. එතුමා පොළොන්නරුවේ නිසා අවශ්‍ය නම් පරාක්‍රම සමුද්‍රය අසබඩ ඇති ගසක් යටට වී ඉහත තුවක්කු කරුගේ ඉලක්කයට වඩාත් නිරාවරණය වීමයි. යථාව ට මුහුණ දීමයි (encountering the Real). ශුන්‍යතාවය ට මුහුණ දීමයි. "මට චන්දය දුන් මිනිසුණි, ඔබගේ සිහිනය සැබෑ කර දීමට උත්සාහ කරන මා මරා දැමීමට රනිල් උත්සාහ කරමින් ඇත. මට දැන් ඇත්තේ ඔබ පමණය. යාමට වෙන තැනක් මට නැත. ඉදින් මම පොළොන්නරුවේ වැව් තාවුල්ලට පැමිණ ඇත. මා සමග එකතු වන්න. මරණයට මා බිය නැත. මා බියගුල්ලෙකු නොවේ". ඉහත තත්වය තුළ ඔය කියන තුවක්කු කරු මෛත්‍රී මරා දැමුවා වුවද ඔහු අමරණීය වනු ඇති බව මගේ විශ්වාස යයි. හැට දෙලක්ෂයක් මිනිසුන්ගේ සිහිනය පාවා දුන් මෛත්‍රී දැන් අමරණිය වන්නේ ඉතිහාසයේ කුණු බක්කියේ ය. ඉහත ප්‍රබන්ධය ඔස්සේ හැඟවෙන පරිදි ඔහු ලාංකික භුමිය තේරුම් ගෙන ඇත්තේ "පිටිසර ගැමි පෞද්ගලිකයි. රට අභ්‍යන්තරයි"* යන න්‍යාය ඔස්සේය. වරද ඇත්තේ එතැනය.  


මනමේ කුමරිය සතු අර්ථ කථනය නොහැකි ගුප්ත ආත්මය ඉහත කාටුනයෙන් මනාව පැහැදිලි වේ. මේ ලාංකික භුමියේ සත්‍ය යථාර්තයයි. 'සත්හඬ' පුවත්පත ඔස්සේ අප සමාජ ගත කිරීමට උත්සාහ කල මෙම ආසියාතික ගුප්ත බව පිළිබද ප්‍රවාදය අප ගේ මුහුණ ඉදිරියේම සත්‍යයක් වී ඇත. බටහිර ආශා කරන්නේ අපගේ මෙම තේරුම් ගත නොහැකි මනමේ කුමරිය විසින් ආරම්භ කරන ලද ලාංකික භුමියේ ස්ත්‍රී යථාර්තයට යි. අවසන් මොහොතේ කඩුව කා හට දේ දැයි දන්නේ දෙවියන් පමණි. අවම වශයෙන් මනමේ කුමරිය වත් එය දන්නේ නැත.  ඉහත 'නොගැළපෙන කසාදයෙන් වෙන්වීම' යනු ගුප්ත ආත්මය සහ අත්තනෝමතික බව විසින් මෙහෙයවනු ලැබූ සයිකෝසික (බිය පදනම් කරගත්) ක්‍රියාවක ප්‍රතිඵලයකි. හේගල් මෙයට පාවිච්චි කරන වචනය නම් විඛ්‍යාත ෆැන්ටසි සම්බන්දය යනුයි (notorious fantasy dialectic - Dolar 1998: xxiv). ඒ අනුව මනමේ කුමරිය වැදි රජු සමග පවත්වන්නේ කණපිට ගැසූ ෆැන්ටසි සම්බන්දයකි. කඩුව වැදි රජ අතට දෙන මොහොත යනු ස්වයං-සවිඥානික මොහොතක් නොවේ. තමා යනුවෙන් සවිඥානික කෙනෙක් නැත (no self). ස්වඡන්දතාවයක් නැත. මනස තුළ ඇත්තේ ඇත්තේ යකුන් නැටූ පිටියක සංකුල පරාවර්තනයකි (pandemonic anxiety reflection). මේ බුද්ධාගම ගමන් කළ හැකි තවත් විපරීත දිශාවකි.
               
ඉඳින් 'මේ සිංහල අපගේ රටයි' ලිපියේ සිට 'පශ්චාත් නුතනත්වය යනු කුමක්ද' (II) යන ලිපිය දක්වා මෙතෙක් මා විසින් පලකළ බ්ලොග් ළිපි මාලාව තුල මාගේ අරමුණ වුවේ ලාංකික දේශය යනු සුවිශේෂ භූමියක් (ground) බව පැහැදිළි කර දීමය. එම සුවිශේෂ බව තුල අප එය තේරුම් ගත යුත්තේ 'වෙනස්' (difference) සහ විසංයෝජනීය (deconstructive) තත්වයක් හරහා බවත්, ෂෙලිනියානු  අර්ථයෙන් ලාංකික භුමිය තුල දේශපාලන කල යුත්තේ එම සුවිශේෂී ස්ත්‍රී අනියත බව (feminine uncertain ground) බව ඉතා හොදින් අවබෝධ කරගත් ඓතිහාසික දැනුම්වත් භාවයකින් යුතුව බවත් අප විසින් පැහැදිළි කෙරෙමින් පැවතියේය. ෂෙලින් ට අනුව භුමිය යනු යථාවකි. ඔහුට අනුව මිනිස් විෂයේ නිදහස සහ භුමියේ නිෂ්ක්‍රීය බව අතර පරතරයක් ඇත (gap). දර්ශනයේ කාර්යය යනු මේ දෙක සමහන් කිරීමයි. ඉහත ළිපි පෙළ ඔස්සේ ලාංකික භුමිය සකස් වී ඇති මානසික ස්ථර ගණනාවක් අපට හඳුනා ගත හැකි විය. පුර්ව ඓතිහාසික යක්ෂ ස්ථරය, ඒ මත අතිපිහිත වූ බුද්ධාගම, පශ්චාත් බෞද්ධ ථේරවාද අවධිය (අභයගිරිය මුලිනුපුටා දැමීම = මහායාන මර්ධිතය) සහ දුටුගැමුණු මහාවංශ පරිණාමය, ද්‍රවිඩ මිශ්‍ර වීම්, යටත් විජිත කරණය සහ පශ්චාත් යටත් විජිත අවධිය යනුවෙන් මනෝ විශ්ලේෂණය තුළ අර්ථ කතනය කළ හැකි අවිඥානික පරාවර්තනයන් ගණනාවක් අප පසුකර ඇත. එයින් වඩා බලවත් වුවේ යටත් විජිත මර්ධිතය යි. වෙනත් වචනයකින් කිවහොත් අපගේ අවිඥානය (මර්ධිතය) යටත් විජිත තත්වය විසින් සකස් කර ඇත යන්න මෙහි අර්ථයයි. අද වනවිට මේ තත්වය තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙමින් පවතින හේතුව නම් ලාංකික භුමියේ අරගල තුනක් පරාජය වීමේ භූමි හේතුව (වේදනාව) අප විසින් දේශපාලනිකව ගවේෂණ කළ යුතු තරම් දුරට යම් යම් තත්වයන් වර්ධනය වෙමින් පවතින නිසාය. අප අරගල කරන්නේ අපගේම අවිඥාණයට (සුදු ස්වාමියා) එරෙහි ව නම් එම අරගලය කරන්නේ කෙසේද යන්න ගැන අප දැනුම්වත් විය යුතුය. අප සෑම විටම අරගල කර ඇත්තේ සුදු ස්වාමියා අප වෙනුවන් සාදා නිමකර දුන් ව්‍යුහයකට එරෙහිවය. එම ව්‍යුහයේ ප්‍රධාන කුළුණක් නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යි. අනෙක යටත් විජිත අධ්‍යාපනයයි. අනෙක පරිපාලන ව්‍යුහයයි. 71 අරගලය, 88-89 අරගල සහ උතුරේ සන්නද්ධ අරගල යන තුනම බුර්ෂුවා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්ත්‍රවාදය (බදියු විවේචනය කරන) හමුවේ පරාජය වී ගියේය. ප්‍රජාත්‍රන්ත්‍රවාදය තුළ ම 56 ජාතිකත්ව අරගලය පවා ඉදිරියට ගලා ගියේ මහත් දුෂ්කරතා හමුවේය. 70 සිරිමා බණ්ඩාරනායක වැඩ පිළිවෙල පවා ප්‍රජාතන්ත්‍රවාදය තුල පරාජය විය. එවන් තත්වයක් තුල සුදු ස්වාමියා විසින් හදුන්වා දුන් ජන සම්මතවාදය (අප දන්නා ප්‍රජාත්‍රන්ත්‍රවාදය නම් මර උගුල - deadlock) පමණක් අවිඥානිකව ඉදිරියට යමින් පවතී. එය වෙනස් කිරීම හෝ එයට අභියෝග කිරීම පාපයක් යැයි අපේ සිතට කිඳා බැසීමට සලස්වා ඇත. ඉදින් පෙරේදා සිදුවූ 'ඔක්තෝබර් විප්ලවය' යැයි හදුන්වන ප්‍රෙහේලිකාමය ප්‍රපංචය අපට තේරුම් ගැනීම සඳහා ඉහත ළිපි මාලාව නැවත කියවීම ප්‍රයෝජන වෙතැයි සිතමු. වෙනත් වචනයකින් කිවහොත් අප සත්‍ය නිදහස සොයන්නේ නම් එසේ නම් අප 'ප්‍රජාතන්ත්‍රවාදය' යන ෆැන්ටසියෙන් ඔබ්බට යා යුතුය. 

එසේ නම් මේ අප ඉදිරියේ 'ඔක්තෝබර් විප්ලවය' නමින් විපරීත ලෙස මේ ඉස්මතු වෙමින් පවතින්නේ භූමියේ යථාව ද යන ගැටළුව අප සැවොම ඉදිරියේ පෙනී නොපෙනී යයි. අප එතැනදී සංකේතීය පිළිවෙල නම් දෙන ලද බුර්ෂුවා මතුපිට (ප්‍රජාත්‍රන්ත්‍රවාදය) උල්ලංඝනය කර ඇත. ෂෙලින් කියන්නේ දුක් විදීමේ සදාකාලික විෂම චක්‍රය පුර්ව නුතන (පුර්වජ) පියාගේ මැදිහත් වීම විසින් ඛණ්ඩනය කරනු ලබන බවයි. එවිට එසේනම් මෛත්‍රී යනු පුර්වජ පියා ද? එසේ වුවද මෙතැනදී කිව හැක්කේ අපට සුදු ස්වාමියා ගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී බන්ධනයෙන් තවමත් ගැළවිය නොහැක යන්නයි (නමුත් මාවෝ මෙහිදී සාර්ථක විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගියේය). අපගේ අවිඥාණයේ මාලිමාව තවමත් සුදු ස්වාමියා සතුය. ඔවුන්ගේ ආශාවේ ෆැන්ටසි සීමාව අප වනවිට අපගේ ආශා සීමාව ඔවුන්ය (ඔවුන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන ලෙසයි. නමුත් ඒ 'ප්‍රජාතන්ත්‍රවාදය' නිසා කිසිම විදියකින් අපගේ ජීවිත බිංදු මාත්‍රයකින් වත් වෙනස් නොවීම ගැන ඔවුන් කිසිවක් කියන්නේ නැත). ඔවුන්ට අපව වෙනස් කිරීමේ ඇත්ත ආශාවක් නැත. අනෙක් අතට ඔවුන්ගේ ආශා වස්තුව ට වඩා යමක් වීමට අපට ද වුවමනා නැත. වෙනත් විදියකින් කිවහොත් ඔවුන්ට වඩා අපට ආශා කළ නොහැක. මෙම ආශාවේ සීමාව ප්‍රකට කරන වර්තමාන රෝග ලක්ෂණය හෙළිදරව් වන තැනක් නම් සියළු වමේ ලේඛකයින් 'ප්‍රජාතන්ත්‍ර වාදය' ඉල්ලා මරාගෙන මැරීමට ඉදිරිපත් වීමයි. නමුත් මාවෝ හෙළිදරව් කළ සත්‍යය නම් නිදහස ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට ඔබ්බෙන් ය යන්නය. එනම් තරණය කළ යුතු වන්නේ අපගේ ම ෆැන්ටසියේ සීමාවයි. වෙනත් විදියකින් කිවහොත් අප කළ යුතු වන්නේ මාවෝ කළ දෙය ඊටත් වඩා හොඳින් කිරීමට කිරීමට උත්සාහ කිරීමයි. නමුත් මේ සිදුවෙමින් පවතින දෙය විසින් අප වඩා නිදහසක් වෙතට ගෙන යාවිදැයි සැක සහිතය. මන්ද නිර්මාල් රංජිත් පවසන ආකාරයට මෛත්‍රී විසින් මහින්ද තෝරා ගන්නා විට ඔහු එය කරනු ලබන්නේ තමා ලැබූ ජනවරමට පිටින් ය. මහින්ද යනු හැට දෙලක්ෂයේ පරමාර්ථ වලට තවදුරටත් එරෙහිව සිටින දේශපාලන චරිතයකි. ඔහු තම ස්ථාවරය තවමත් වෙනස් කරගෙන නැති තත්වයක් තුළ මෛත්‍රී විසින් කර ඇත්තේ අසික්ෂිත වැඩකි. එය පිළිකුල් සහගතය. නිර්මාල් නිවැරදිව සඳහන් කරන පරිදි රනිල් සමඟ ගමන් කළ නොහැකි බව සත්‍යයක් වීය හැකි නමුදු තමා ලැබූ ජනවරමට පිටින් මෛත්‍රී මහින්ද වෙතට ගමන් කිරීම සදාචාරවත් කටයුත්තක් නොවේ (ජනවරම ගැන එතරම් සවිඥාණික ඔහු එම ජනවරමට ම සතුරු ගෝඨා වෙනුවෙන් කඩේ ගියේ ඇයි දැයි නොකියයි. කෙසේ වුවද ගෝඨා යනු තවමත් ජනතා බලවේගයක් විසින් යම් ව්‍යාපෘතියක් වෙනුවෙන් බලයට පත් කළ අයෙක් නොවේ). නමුත් කිසිවක් කරකියා ගත නොහැකිව තමා වෙත පැමිණෙන මරණය වැළඳ ගැනීම යනු එවන් සදාචාර විරෝධී දෙයක් නොවේ. ඉහත තත්වය වෙනස් ම විදියකට වරනැගුවහොත් කිව හැක්කේ 'ස්වාමියා මරණය තෝරා ගන්නා බව හේගල් පැවසුවත් මෛත්‍රී තෝරා ගෙන ඇත්තේ ප්‍රෙහේලිකාවේ පාර්ශවය යි' යන්න ය (මනමේ කුමරිය කළ දෙය - despotic dilemma). නමුත් ප්‍රෙහේලිකාව වෙනුවට චේ තෝරා ගත්තේ මරණයයි. ආදරය ඇතුලත මනමේ කුමරිය පවා තෝරා ගත යුතුව තිබුණේ මරණය මිස අන් කිසිවක් නොවේය. මෙයින් මා කියන්නට අදහස් කරන්නේ මෙවන් දෙයකි. එනම් අපගේ භුමිය ගුප්ත භුගෝලයක් වී බටහිර අමරණීය භූමියක් වන්නේ ඉහත වරණය (choice) ඔස්සේ ය යන්න ය. එසේනම් මා මේ දක්වා ඉදිරිපත් කළේ මෙම නව තත්වය හමුවේ චින්තක රණසිංහ විසින් උච්චාරණය කිරීමට උත්සාහ කරන දෙයට ඩෙරීඩියානු ව්‍යතිරේකයකි (Derridian supplement).    

'ඔක්තෝබර් විප්ලවය' යනුවෙන් හදුන්වන ඉහත ගැටළුකාරී තත්වය හමුවේ ලාංකික දේශපාලන ව්‍යාපාර නායකයින්, විචාරකයින් සහ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැද ඇති අතර විශ්වීය අර්ථයකින් මිනිස් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නෙක් සහ විශ්වාස කරන්නෙක් ලෙස එම සටන වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවයක් මේ වනවිට මතුව ඇත. මාගේ පරම්පරාව දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කළේ උතුම් අරමුණු වෙනුවෙන් වන අතර ඔවුන්ගේ සිහිනය වුවේද යහපත් ලෝකයක් ය. එම සිහිනයේ නාමයෙන් අප දේශපාලනයේ සදාචාරය වෙනුවෙන් පැහැදිළිව පෙනී සිටිය යුතු බව විශ්වාස කරමි. මහින්ද රාජපක්ෂ ගේ අත්තනෝමතික බවට සහ ප්‍රාදේශීය වාදයට එරෙහිව සහ යහපාලන පරමාර්ථ වෙනුවෙන් චන්දය දුන් කෙනෙක් ලෙස මට එම අයිතිය ඇත.   'ප්‍රජාතන්ත්‍රවාදය' යන්න සත්‍ය මිනිස් නිදහස යන ප්‍රපංචයේදී ගැටළු සහගත බව සත්‍ය වුවත් යුක්තිය සහ සාධාරණය පිළිබද විශ්වීය අදහස එම ප්‍රේහේලිකාව ට වඩා වැදගත් යැයි විශ්වාස කරමි.    

October 30th, 2018 
  
*'පිටිසර ගැමි පෞද්ගලිකයි. රට අභ්‍යන්තරයි' යන කතාව මා හට මුලින්ම ප්‍රකාශ කලේ මා මිත්‍ර අමරසිරි වික්‍රමරත්න මහතා විසින් ය. එක්තරා තරුණයෙක් විදෙස් ශිෂ්‍යත්වයක් ලබා විදෙස් ගතවීමට පෙර තම පණ්ඩිත මානී සීයා හමුවී ආශීර්වාද ලබා ගැනීමට ගියේය. පිට රට යන තම මුණුපුරා හට නිකම්ම නිකම් ආශීර්වාද කරනු වෙනුවට හරබර ගැඹුරු යමක් කීම මැනවයි සිතු සියා ඉහත වැකිය කිවේය. සාමාන්‍යයෙන් ගැඹුරු යමක් සැමවිටම එක්වරම නොතේරෙන ලෙස සහ පරස්පර ලෙස ඇති නිසා තරමක් මෝඩ සහ උද්දච්ච සීයා සිතුවේ වචන ටිකක් නොතේරෙන ලෙස එහෙට මෙහෙට දමා කිවහොත් එය දාර්ශනික ලෙස පෙනෙනු ඇතැයි කියාය. කෙසේ වුවද අද අප ඉන්නා ගුප්ත ආසියාතික සන්දර්භය තුළ ඉහත වැකිය අර්ථවත් වීමට පවා පුළුවන.  

ආශ්‍රිත ග්‍රන්ථ:

Dolar, M. (1998). The Sultan's Court: European Fantasies of the East (Alain Grosrichard). London & New York. Verso.

Karatani, K, (1995). Architecture as Metaphor: Language, Number, Money. Cambridge. MIT Press. 

Zizek, S. (2011). Did Somebody Say Totalitarianism? Five Interventions in the  (Mis)use of a Notion. London & New York. Verso. 
      

Monday, October 22, 2018

පඨිතය ට පිටතින් කිසිවක් නැත...


පශ්චාත් නුතනත්වය යනු කුමක්ද? (II කොටස) 
ඈත බුදුදහමේ සිට මෑත ඩෙරීඩියානු විසංයෝජනය දක්වා දිවෙන සහ සම්බන්ධිත වසර දෙදහස් පන්සිය ගණනක කාල පරාසයක ජීවත් වූ ප්‍රපංචවේදීන් සහ ප්‍රජානනවේදීන් දක්වා විශාල වපසරියක දාර්ශනිකයින්, මනෝ විශ්ලේෂකයින් සහ ස්නායුවේදීන් සැලකිය යුතු ප්‍රමාණයක් ස්වාත්මයක පැවැත්ම (self) පිළිගැනීම නැත්නම් 'මම' එසේත් නැත්නම් අස්මිතාවය යන්න ප්‍රතික්ෂේප කර ඇත. නැත්නම් සැක කර ඇත. මමත්වය යන්න විමුක්තියට ඇති බාධාවක් ලෙසත් එනයින් එය ප්‍රහීන කල යුතු දෙයක් ලෙසත් සලකා ඇත. මේ තත්වය බටහිර දර්ශනයේ ආරම්භය ලෙස සැලකෙන කාටේසියානු කොගිටෝවේ ('මම සිතමි. එමනිසා මම පවතිමි.') පැවැත්ම අභියෝගයට ලක් වීමකි. බුදුදහම තුළ අස්මිතාව යන්න පුර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් බුදුදහම තුල මම යන්න වැදගත් වන්නේ 'මම' යන්න ප්‍රහීණ කිරීම සදහා අවශ්‍ය අනුභූතිය සහ සවිඥානික බව ලබාගත හැකි වන්නේ මම යන්න තුලින් ම යන පරස්පරතාවයේ දුරින් පමණි. මම පැවතීම සහ මම නොපැවතීම යන අර්ථයෙන් ගත්විට සමස්ත ලෝක දර්ශනය ප්‍රධාන පාර්ශව දෙකකට බෙදේ. එකක් මම යන්න පිළිගන්නා සහ එසේ පිළිගෙන චින්තනය හසුරුවන කණ්ඩායම වන අතර අනෙක මම යන්න සාරයක් ලෙස නොපවතී යන්න පිළිගන්නා සහ එසේ පිළිගෙන චින්තනය හසුරුවන කණ්ඩායමයි. වෙනත් වචනයකින් කිවහොත් සමස්ත ගෝලීය දර්ශනය යනු බටහිර ස්වාත්මය සහ බෞද්ධ ශුන්‍යතාවය අතර අරගලය ලෙස හැදින්විය හැක. ආශාව හරහා මම යන්න සාරයක් ලෙස ගත්  බටහිර තුල පවා අද වනවිට වේගයෙන් ඉස්මතු වෙමින් ඇත්තේ මම යන්න උත්කර්ෂයට නැගීමේ දර්ශනයක් වෙනුවට මම අනෙකා සමග සම්බන්ද වන්නේ කෙසේද යන්න පිළිබද දර්ශනයකි (මනෝ විශ්ලේෂණයේ ගුරුන් විසින් ම ක්‍රිස්තියානි රූපකය පුනර්ජීවනය කිරීම). කේවල පුද්ගලත්වය (individualism) ඉස්මත්තේ තබා ගෙන පුනරුදයෙන් පසු සියවස් කිහිපයක් විකාශනය වූ බටහිර ආත්මය තවමත් මම යන ප්‍රපංචයේ විසංයෝජනයක් ගැන සිතීමට මැලි වේ. ක්‍රිස්තියානි රූපකයේ පුනර්ජීවනය නම් නිමේෂයේදී පවා මම යන්න විසංයෝජනය වන ස්ථානය (තමා අනෙකා තුළ දියකර හැරීම) ගැන ඔවුන් සංවේදී වීමට පටන් ගෙන ඇත්තේ ඉතාම මෑත කාලයක සිටය (තවමත් ජිජැක් කියන්නේ තමා අසලට කළු ජාතිකයෙක් සමීප වීම තමා රුස්සන්නේ නැති බවයි). මන්ද 'මම සිතමි එමනිසා මම පවතිමි' යන්න ඔවුන්ගේ නුතන චින්තන මූලය වන බැවින් එයින් ඔබ්බට සිදුවන මම යන්නෙහි අහෝසි වීම් ඔවුන්ට සද්භාවී ලෙස ග්‍රහණය කර ගැනීම දුෂ්කරය. විශේෂයෙන් ආශාව හඹා යෑම හරහා සිදුවූ 'මම' යන්නෙහි නැවත උත්පාද වීම තුල ඔවුන්ගේ  පැවැත්මේ දෙවැනි වක්තෘවරයා වන්නේ ෆ්‍රොයිඩ් වීම (යේසුස් සහ ඩේකාට්ස් ට පසු) අහම්බයක් වන්නේ නැත (දෙවියන් මරා දැමු බවට වහසි බස් දෙඩු නීට්ෂේ ද ඔවුන්ගේ එක්තරා වක්තෘ කෙනෙකි). ආශාව හරහා 'මම' යන්න නැවත ඔවුන් කරා ළඟා වීමත්, යටපත් කරන ලද දෙය අවිඥාණය ලෙස තේරුම් ගැනීමත්, අවිඥාණය යැයි ඔවුන් සිතන දෙය තෘප්තිමත් කිරීම මුඛ්‍ය කරගත් ආශා වස්තු ධනවාදය ඔස්සේ බිහිවීමත්, ධනවාදය විසින් ම දිනපතා ආශාව නිර්මාණය කිරීමත් අතර කිසිදා නොනවතින වංකගිරියක සිරවීමට ඔවුන්ට සිදුවන්නේ මේ තත්වය මතය. කෙසේ වුවද තම ලෝක දෘෂ්ටිය තුළ ලෝක යුද්ධ දෙකක් පසුකල බටහිර ආත්මය මේ වනවිට ඉහත චක්‍රයෙන් වෙහෙස වී සිටින බව පෙනේ. ෆ්‍රොයිඩ් ගෙන් ගැලවීමට ඔවුන් යෝජනා කල එක් විසඳුමක් වුවේ සමාජවාදය යි. නමුත් එය මේ වනවිට ප්‍රයෝගික නොවේ. එසේ වුවද ජිජැක් ඇතුළු බොහෝ බටහිර සද්භාවය තුල චින්තනය දියුණු කල අය තමාගේ වංකගිරියෙන් එළියට ඒමේ සුදානමක් තවම පෙනෙන්නට නැත. ඔවුන්ගේ අද්‍යතන උත්සාහය වන්නේ නුතන ශුන්‍යතාවය වැළඳ ගැනීම හැර අන් යමක් නොවේ. වෙනත් විදියකින් කිවහොත් ටී. එස්. එළියට් විසින් 'නිසරු බිම' තුල හඳුනාගත් අධ්‍යාත්මයේ මිය යාම (නීට්ෂේ ගේ නිරීක්ෂණය) එසේම පිළිගැනීම ඔවුන්ගේ ප්‍රවේශය යි. මන්ද මම යන්න නොපවතින තැනක ඔවුන් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමේ ඉස්පාසුවක් ඔවුන් සතුව නොමැති බැවිණි.  

මහායාන බුද්ධාගම විසින් ව්‍යාප්ත කරන ලද මමංකාරය පිළිබද පැවැත්මේ ගැටළුව බටහිර ලෝකය තුළ විසි වන සියවස තුල ම ජනප්‍රිය වෙමින් පැවතුණි. නාගර්ජුන පාදයන් විසින් වඩාත් දියුණු කරන ලද මැද මාවත පදනම් කරගත් පටිච්ච සමුප්පාදය වඩාත් නැවුම් ප්‍රවේශයකින් බටහිර ලෝකය පුරා පශ්චාත් ලෝක යුධ සන්දර්භයක දිව ගියේය. වෛරය වෙනුවට ඔවුන් බුදුදහමේ මහා කරුණාව වෙත ආකර්ෂණය විය. එහි දාර්ශනික මුලයන් වෙත ආකර්ෂණය විය. එයට හේතුව නම් නාගර්ජුන හිමියන් විසින් බෞද්ධ ඉගැන්වීම එහි මුල් ස්වරූපයට භක්තිමත් වෙමින් ම එයින් තීරණාත්මක ලෙස ඛණ්ඩනය කිරීමයි. එම ඛණ්ඩනය වඩාත් දාර්ශනික එකක් බවට පත්විය. වඩා අර්ථකතනවේදී විය. එය පැවති සාසනික පරස්පරතා වලට අගනා විසඳුමක් විය. ඩෙරීඩා ගේ විසංයෝජනය පිළිබද අදහස මහායාන අරුතෙන් ප්‍රති-විසංයෝජනය කරන ඩේවිඩ් ලෝයි (1987) පවසන්නේ නාගර්ජුන විසින් හඳුන්වා දුන් "ප්‍රති දර්ශනය" (anti-philosophy) ඩෙරීඩා ට වඩා ක්‍රමානුකුල සහ ගැඹුරු එකක් බවයි. උදාහරණ වශයෙන් කාලය යන්න පවතින්නේ අප වටා ඇති භෞතික වස්තු වලට සාපේක්ෂව නම් එම භෞතික වස්තු නැති විට ඉදින් කාලය පැවතිය නොහැකිය. එසේම 'වෙනස'(difference) නු තවත් බොහෝ දේ මත රඳා පවතින දෙයක් බැවින් එය කේවල විසංයෝජනය කළ නොහැකි බව පෙන්වා දෙන ලෝයි නාගර්ජුන විසින් සිදු කර ඇත්තේ සාමාන්‍ය මිනිස් ඥානය ද්විත්ව විසංයෝජනය (double deconstruction) කිරීම බව හෙළිදරව් කරයි. පඨිතයක ඩෙරීඩියානු වැස්ම (cloture) යනු මෙහිදී නාගර්ජුන ට අනුව නැවත නැවතත් පථිතයේම සිර වීමකි. සත්‍ය ලෙස නිදහස් වීමක් නොවේ.  උදාහරණ වශයෙන් යමක නිෂ්පත්තිය අපට හැඟවුම් කරණය කරගත නොහැක (එසේ කිරීමේ තේරුමක් ද නැත). ආශාව යනු යටපත් කරන ලද දෙය නම් එවිට අපගේ යටපත් කල දෙය මව යි. මවගේ රූපයයි. මවගේ රූපය අප නැවත සොයන්නේ කමලා තුළ නම් එවිට අප කමලා ගේ රූපය විසංයෝජන ය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. මවගේ රූපය ද විසංයෝජනය කළ යුතුය. මූලය මව ද යන්න පැහැදිළි නැති පාර භෞතිකයක් (metaphysics) වුවද එවිට ආශාව නතර වේ (ධනවාදය ද නතර වේ). නිර්වාණය යනු මේ අයුරින් ගත්විට සමස්ත සද්භාවය ම නතර කිරීමයි (නිර් සද්භාවය). චින්තනය නතර කිරීමයි. බුදු දහම ප්‍රති-දර්ශනයක් වන්නේ මේ අයුරිණි. අද්වෛත වේදාන්තයේ ආත්ම වාදයට පිළිතුරු දෙන නාගර්ජුන පාදයන් සමස්ත ඉන්දීය දර්ශනය කොපර්නිසියානු විප්ලවයකට භාජනය කරන බව පවසන ලෝයි බුදුන් වදාළ දෙයම නාගර්ජුන යන් විසින් ඊටත් වඩා දාර්ශනික තලයකට ගෙන යන බව අවධාරණය කරයි. බටහිරට අභියෝග කළ හැකි මට්ටමේ දාර්ශනික මෙවලම් අප සතුව පවතිද්දී අප මෙතරම් පරාධීන වී ඇත්තේ මන්ද? අනූව දශකයේ අප ඩෙරීඩා තේරුම් ගැනීමට උත්සාහ කලද අප අපගේ ම දාර්ශනික මූලයන් වෙත භක්තිමත් නොවුයේ මන්ද? එයින් සිදුවුවේ අප අපගේ ම භූමියේ පිටස්තරයින් වීම යැයි වරෙක සිතේ. එම පසුබෑම ඔස්සේ ජාතික වාදයේ පිරිස් අප පසුකර ගියේය. බොහෝ මෙවලම් අපට තිබුණ ද අපේම රටේ මිනිසුන්ට ආමන්ත්‍රණ කිරීමට අපට නොහැකි විය. ඊටත් අමතරව අපට බටහිර ගැති ලේබලය පවා වැදෙමින් තිබුණි. නමුත් අප කිසිදා බටහිර ගැති නොවීය. අප අපේ රටට ජාතික වාදීන් ට වඩා ආදරය කළේය.  
                       
බටහිර ලෝකය අපව යටත් විජිත වාදයේ දම්වැල් වලින් සිරගත කර අපව වසර සිය ගණනක් සූරා කෑවේය. වසර දහස් ගණනක් පැවති අපගේ ශිෂ්ටාචාර වටිනාකම් ගැන අපට හීනමානයක් ඇති කළේය. බැලු බැල්මට ඔවුන් අපට වඩා පිරිසිදු විය. අපට වඩා භෞතික සම්පත් ඔවුන් සතු විය. භෞතික ලෝකය ජයගැනීමේ උපකරණ ඔවුන් සතුවිය (අප කෝච්චි ගැන දැන සිටියේ නැත. යකඩ යකා අබියස අපගේ කරත්තය කුඩා වට පෙනුණි). අපට වඩා හොඳ නිවාස ඇඳුම් පැළදුම් ඔවුන් සතු විය. පැතිරෙමින් පැවති උපකරණ ලෝකය තුල සහ එහි හීනමානය තුල ඔවුන්ගේ අධ්‍යාපනය අපගේ මනස තුල අධිනිශ්චය විය. අපද ඔවුන් මෙන් බාහිර ලස්සන ගැන සිතීමට පුරුදු වෙන්නට පටන් ගතිමු. ඒ අර්ථයෙන් අපව යටපත් කල දහ නම වන සියවස හිරු නොබසින අධිරාජ්‍යයේ සියවස (බ්‍රිතාන්‍ය සියවස) ලෙසත්, විසි වන සියවස හිරු නොබසින අධිරාජ්‍යය දෙස බලා ලොකු මහත් වූ 'ඇමෙරිකානු සියවස' ලෙසත්, මෙතෙක් පැවති බටහිර ආධිපත්‍යය පෙරදිග ලෝකය වෙත නැවත ආගමනය වන මෙම විසි එක් වන සියවස 'ආසියාවේ සියවස' (Asian Century) ලෙසත් බොහෝ විචාරකයන් හඳුන්වයි. මෙම ආසියාවේ සියවස යන වචනය මුලින්ම භාවිතා කර ඇත්තේ මාවෝ විසින් ය. නමුත් මෙම නව ඉස්මතු වීම සඳහා උපකාරී වුවේ චීනයේ ලිබරල් ආර්ථික විතැන්විම වන අතර ඉන්දියාවේ නරසිංහ රාවෝ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඉන්දියාව යෝධයෙක් බවට පත් කරමින් ඇත. මීට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව විශාල ආර්ථිකයන් ලෙස ඉදිරියට එමින් ඇත. ජපානය කොහොමත් ඇත්තේ බලවත් රාජ්‍යයක් ලෙසය. විවෘත ආර්ථික ප්‍රතිපත්ති තම සංවර්ධනය වෙනුවෙන් භාවිතා කලද මේ කිසිදු රටක් තම දේශීය නිෂ්පාදනය විනාශ කර ගත්තේ නැත. තම ජාතිකත්වය බටහිර හමුවේ පවා දුන්නේ ද නැත. නමුත් ලංකාවේ සිදුවුවේ බටහිර ධනවාදය හමුවේ සිදුවූ පුර්ණ දන නැමිමකි. සියලු දේශීය නිෂ්පාදන විනාශ කර දැමීමකි. තමා සතුව තිබූ කුමන හෝ ජාතික අනන්‍යතා වයක් විනාශ කර ගැනීමකි. අද අපට මේ තරම් අසරණ වීමට සිදුව ඇත්තේ අපගේ දේශයේ සිදුවූ බරපතල චින්තන රික්තකයක් පුරවා දැමීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසාය. එයට හේතුව වුවේ බටහිර දැනුම අධිනිශ්චය කර තිබීමයි. වෙනත් වචනයකින් කිවහොත් පේරාදෙණිය විසින් ඉදිරියට ගෙන ආ චින්තන නිර් යටත්විජිතකරණ ක්‍රියාවලිය නො අවසන් වීමත් ඒ වෙනුවට බටහිර කේන්ද්‍රීය චින්තනයක් අනූව දශකයේ මැද පටන් ලංකාව තුළ සිංහල පමණක් කතා කරන ජන මනස තුළ අධිනිශ්චය වීමත් ය. නමුත් සරච්චන්ද්‍ර දෙවැනි පරම්පරාව යටත් විජිත විරෝධී චින්තනය විදේශ යන්හි හදාරා අවුත් නැවත ලංකාවට ඒවා හඳුන්වා දෙමින් තිබුණ ද එවකට මතවාදී බලය X ව්‍යාපෘතිය දෙසට විකේන්ද්‍රණය වෙමින් තිබුණ බැවින් සිංහල පමණක් කතා කරන ජන කොට්ටාස තුළට ඉංග්‍රීසි උගත් ඇකඩමික පංතියේ මතවාදය ගමන් කළේ නැත. මේ නිසා බටහිර විරෝධී ජාතිකත්ව මතයේ නව ගෝලීය මුහුණ (සමීර් අමින්, අයිජාස් අහමඩ්, අශිස් නන්දි, ශෂී තරුර් වැනි) අපගෙන් මඟහැරී ගියේය. ජාතිවාදය සහ ජාතිකත්වය අතර සනිටුහන් කර ගත හැකි දේශීය පරතරයන් සොයා ගන්නවා වෙනුවට අප මනෝ විශ්ලේෂණය, කලා විචාරය, චිත්‍රපට වැනි විෂයන් වෙතට යොමු විය. බටහිරින් පැමිණි නව දාර්ශනික මෙවලම් සමග කරන ලද විචාර සෙල්ලමකට වඩා දුරදිග නොගිය මෙම කාර්යය ඩොලර් එක රුපියල් දෙසීය දක්වා යන තුරුම වෙනසක් නොවිය. මේ උගුලේ පැටලුන සමස්ත අපගේ කාලය දශක එක හමාරක් පමණ විය. හදුන්වා දුන් බටහිර මතවාද සමග තරඟ කිරීමට පැරණි වම ඉදිරිපත් නොවූ අතර ලිබරල් වාදීන් ට ඒවා තේරුණේ නැත. සිදුවූ එකම දෙය නම් අප එක් ආකාරයකටත්, ධනේශ්වර රාජ්‍යය තවත් ආකාරයකටත්, පැරණි වම තවත් දිශාවකටත් විකාශනය වීම පමණකි. මේ හැමෝටම අමතර ව ගමෙන් කොළඹ ට සංක්‍රමණය වූ තව තව කුඩා කණ්ඩායම් තවත් බොහෝ දේ කළේය. අප ඇතුළු මේ කිසිදු කණ්ඩායමකට රට වෙනුවෙන් සාර්ථක තිරසාර සංවර්ධන මොඩලයක් ගොඩ නඟා දිය නොහැකි විය. ඉන්දියාවට ඇතුළු ආසියාවේ කිසිදු රටකට මේ විකාරය සිදු වුවේ නැත.            

අනෙකා වෙනස් කිරීම නුතනත්වයේ ප්‍රමුඛ දේශපාලන ව්‍යාපෘතිය වී නම් බර්ලින් තාප්පයේ බිඳ වැටීම් ඔස්සේ සලකුණු වූ මෙම නව යුගය තුළ ඉහත ලිබරල් වාදයේ සහ මාක්ස් වාදයේ උරුමය වූ මිනිසා වෙනත් වෙනස් මානයක් වෙතට ගෙන යාමට උත්සාහ කිරීම නැවතත් නිර් නෛතික වී අනෙකා සිටින ආකාරයෙන් ම එලෙස ම (as it is) පිළිගැනීමට නැවත අපට බලකරමින් ඇත යන්න ජිජැක් ගේ නිරීක්ෂණය යයි. අනෙකා කවුද යන්න තේරුම් ගන්නවා වෙනුවට (මේ 'තේරුම් ගැනීම' වෙනුවෙන් නුතනත්වය කොතරම් මිණී මරන්නට ඇත්ද යන්න ජිජැක් සඳහන් නොකරයි) මෙම ස්වයං පරාවර්තනීය යුගය තුළ අප අනෙකා ඒ ආකාරයෙන් ම පිළිගැනීමට උත්සාහ කරමින් ඇති බව ජිජැක් පෙන්වා දෙයි. නමුත් මෙම 'තේරුම් ගැනීම' සිදු වුවේ කෙසේද? නුතනත්වයේ විධග්ද ප්‍රකාශකයින් ලෙස ලොව ඉදිරියේ සිටගන්නා මහා ප්‍රජාත්‍රන්ත්‍ර වාදියෙක් වන වින්ස්ටන් චර්චිල් විසින් ඉන්දියාවේ මිනිසුන් ලක්ෂ ගණනක් මිය යන විට ඒ ගැන හොදින් දැනුවත්ව ඉන්දියාවට තිරිඟු නැවක් එවීම ප්‍රතික්ෂේප කල ආකාරය ශෂී තරූර් විසින් පෙන්වා දේ. සුදු බලධාරීන් කොතෙක් ඇවිටිලි කල ද චර්චිල් ගේ අරමුණ වී ඇත්තේ මහත්මා ගාන්ධි මිය යන තෙක් අහාර නැවක් එවීම ප්‍රතික්ෂේප කිරීමයි. චර්චිල් මෙසේ කළේ තමා විසින් ම සූරාකන ලද රටකට ය. තමා ගේ සෞභාග්‍ය ය සදා දෙන මිනිසුන් පිරිසකට සුදු අධිරාජ්‍යවාදීන් සලකන ලද්දේ මෙසේය. මෙවන් තත්වයක් තුල මිනිසුන් නුතනත්වය සැක කිරීම සාධාරණ නොවිය හැකිද යන්න මෙහිදී ඉස්මතු වන ගැටළුව යි. එවිට සද්භාවී විකල්පයක් ලෙස නැවත මිනිසුන්ට ඉතිරිව ඇත්තේ ඔවුන්ගේ සම්ප්‍රදාය වෙතට හැරීම පමණ ය. බොහෝ ජාතීන් මේ වනවිට කර ඇත්තේද එයයි. නමුත් අප ඒ විකල්පය පවා ඉදිරිපත් කරන්නේ නැත. මන්ද අප තව දුරටත් නුතනත්වය කෙරේ යම් විශ්වාසයක් තබා තිබෙන බැවිණි.    
     
බුදුන් වහන්සේ වසර දෙදහස් පන්සීය ගණනකට පෙර දේශනා කළ ස්වාත්මය හි අද්‍යතන තත්වය කුමක්ද? ස්වාත්මය යන්න විසංයෝජනය වීම බෞද්ධ විමුක්ති පසුබිමකින් වෙනත් අවකාශයක් වෙත මේ වනවිට මාරුවී ඇත. 'පශ්චාත් නුතනත්වය යනු කුමක්ද' නමින් පළකළ මෙම ළිපි මාලාවේ පළමු ලිපියේ පිදුරංගල චායාරූප ඔස්සේ පෙන්වා දුන් පරිදි විසි වන යුගයේ ඊට පෙර අන් කිසි යුගයක මම යන්න ස්වරූප රාගයක් ලෙස මෙම යුගයේ තරම් ඉස්මතු වීමට අවකාශ තිබුණේ නැත. හේතුව නුතන යුගය තුල සහ ඉන් පෙරාතුව ප්‍රකාශන මාධ්‍ය යම් කේන්ද්‍රීය බල අධිකාරියක් විසින් පාලනය කිරීමයි. නමුත් ජිජැක් විසින් උපුටා දක්වන ෂෙරි ටර්කල් සඳහන් කරන අන්දමට මෙම නව විසංයෝජනයේ යුගය තුල මිනිස් ආත්මය (ස්වාත්මය) එක් අප දන්නා පැවැත්මකින් අප නොදන්නා පැවැත්මවල් ගණනාවක් වෙත එකවර  විකසිත වේ. පැවැත්මේ ආකෘති ගණනාවක් වෙත මිනිසා එකවර උත්පාද වේ. පටිච්ච සමුප්පාදයේ නව ආකෘතියක් වන මේ තත්වය සඳහා උපකාරී වී ඇත්තේ නව සයිබර් යුගයයි. බුදු කෙනෙක්, රහත් අයෙක්, තාපසයෙක්, නිවන් ප්‍රර්ථනා කරන්නෙක්, යෝගාවචරයෙක්, පියෙක්, වශයෙන් සංකේත ලෝකයේ පෙනී සිටින කෙනෙක් වෙනත් ව්‍යාජ ප්‍රොෆයිලයක් ඔස්සේ (බෞද්ධ ලංකාව යනු ව්‍යාජ ප්‍රොෆයිල වැඩි රටකි) ලිංගික වධකයෙක් ලෙස එක්වරම රාත්‍රියේ මුහුණ පොත හරහා ඔබ වෙත පැමිණිය හැක. එකම ආත්මය මේ ඔස්සේ වෙනස් වෙනස් ආකෘති ලෙස විවිධාංගික කරණය විය හැකි බව ජිජැක් පෙන්වා දෙයි (කියවන්න Did Somebody Say Totalitarianism? හි 202 පිටුව). විවිධාංගික කරණය වූ ඉහත බහුවිධ ආත්මය සංසාරයේ සැරිසරනවා මෙන් මුහුණු පොත් වල සැරිසරයි. වරෙක ජීවමාන වන ඔහු හෝ ඇය වරෙක අවතාර වෙස් ගනියි. වරෙක රාක්ෂ වෙස් ගනී. වරෙක වසඟය ඔස්සේ මරණය කරා ඔබව රැගෙන යයි. වරෙක ඔබ මරණයෙන් බේරා ගන්නා සුර දුතයෙක් බවට රූපාන්තරණය වේ. ෂෙරී ටර්කල් දක්වන්නේ මෙය ආත්මයේ නව (බහුවිධ) විසංයෝජන අවකාශයක් ලෙසය. අද සිටින මම හෙට වෙනත් මුහුණක් වෙත මාරුවේ. නව බහුවිධ අනන්‍යතා සොයා යයි. එක් සත්‍ය මිනිසෙක් (one true person) ඔබට කිසිදා තත්‍යසමාන අවකාශයේ මුණ ගැසෙන්නේ නැත යනුවෙන් ෂෙරී ටර්කල් මෙය වරනඟයි. හමුවිය හැක්කේ තම අනන්‍යතාව සෑම නිමේෂයකම වෙනස් කරගනිමින් සිටින්නාවූ පරිණාමයේ රූපයකි. රෝගියෙකි. (මේ ලිපියේ මුලින් ම ඇති දියවෙමින් පවතින ද්‍රවශීල මිනිස් රූපය දෙස බලන්න =liquid identity). එම තත්වය අද්‍යතන මිනිස් විඥාණය වෙත ප්‍රක්ෂේපනය වන්නේ ඥානවිභාගය ට ලක් කළ නොහැකි යථක් ලෙසය (epistemological deadlock). මිනිසා යනුවෙන් අප දන්නා 'සංකල්පය' සහ අපට පෙනෙන 'මිනිස් රූපය' අතර කිසිදු සම්බන්දයක් මෙතැන් පටන් නැත!       

පරිකල්පනයේ හෝ සංකේතනයේ නියෝජනය යටපත් කරමින් යථක් ලෙස යමක් මතුවන්නේ නම් එවිට පවත්නා පුද්ගල සම්බන්දතා ජාලයන් අවුල් සහගත වීම නොවැලක්විය හැකි දෙයක් වනු ඇති බව ස්ලාවෝ ජිජැක් ගේ මතයයි. එයින් අදහස් කරන්නේ පුද්ගලයෙක් පවත්නා සංකේත පිළිවෙල ඉක්මවා යමින් යම් දේශපාලන යථාවක් වෙත, හෙවත් බලය වෙත ආසන්න වන්නේ නම් ඔහුට හෝ ඇයට මෙතෙක් පැවති පුද්ගල සම්බන්දතා වල බල අන්තර්ගතය වෙනස් කිරීමට සිදුවන බවයි. බාහිර පුද්ගලයින් මතු නොව තම සමීප මිතුරන් බිරිඳ දරුවන් සම්බන්දයෙන් දක්වා මෙය සත්‍යයකි. පුද්ගල විෂය විසින් අත්දකින මෙම මානය එසේ නැත්නම් මනෝ විශ්ලේෂණයේ සිතියම් කරණය ලෙස නම් කළ හැකි මෙම ප්‍රපංචය අප විසින් මීට  පෙර ලියා ඇත. මෙය නැවත සිහිපත් කිරීමට හේතුව නම් මේ වනවිට අප වෙත අභිමුඛ වන චෝදනා සහ මඩ ප්‍රහාර වැඩි වෙමින් පැවැතීමයි. එයට හේතුව නම් වෙනත් පුද්ගලයින් මත පරායත්ත නොවෙමින් අප අප මත විශ්වාසය තබා ගනිමින් අප විසින් ම නැගී සිටීම ආරම්භ කිරීමයි. පවත්නා වාමාංශික දෘෂ්ටාන්ත (parables of Marxism) වලින් මිදෙමින් අප අපගේම ආකාරයකට පවත්නා බල දේශපාලනය සමග ගණුදෙනු කිරීමට අප පටන් ගෙන ඇත. අනෙක් අතට ජ. වි. පෙ. පවා දෙවන කැරැල්ල පරාජයෙන් පසු කිරීමට උත්සාහ කලේ එයයි. ඔවුන්ගේ සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් ඔවුන් ද කරන්නේ පවත්නා බල ව්‍යුහය තුළ (වැස්ම = closure) එළියට පැමිණීම පිණිස විවරයක් සෙවීමයි. අප කරන්නේ ද එයයි. සමහර විට අප සාර්ථක විය හැක. එය අසාර්ථක වුවහොත් තවත් මාර්ගයක් අත් හදා බලමු. කිසිවක නිමාවක් නැත. නමුත් යමක් කිරීමට උත්සාහ කරන විට කුහක කම් වැඩිවන බවද අප දනිමු. එය මතුවන්නේ ද වෙනස තුලින්ම ය (difference). වෙනත් විදියකින් කිවහොත් අපට එරෙහිව ලියන පඨිතයන් ට පිටතින් කිසිවක් නැති බව අප දනිමු (there is nothing outside the texts)!      

කෙසේ වුවද වමේ උරුමයක් ඇති මිනිසුන් මෙතරම් කුහකයින් වන්නේ ඇයි යන්නට පිළිතුරක් අපට තවම නැත. අපට එරෙහිව කුළියට ලියන අයගෙන් සියයට සියයක්ම වමේ උරුමයක් ඇති අයයි. අනෙකාගේ ආශාව ගැන පරිකල්පනය කරන ඔවුන් සමාජයට ප්‍රක්ෂේපණය කරන්නේ අනෙකා විඳින විනෝදය පිළිබද තමාගේ මනඃකල්පිතයන් ය. නුතන උරුමයක් ඔවුන් විනාඩියක් ඇතුලත පශ්චාත් නුතන කරණය කරයි. අපගේ දේශපාලනය සහ චතුරිකා සිරිසේන සම්බන්ද අමූලික අසත්‍ය මඩ ප්‍රහාරය පිටුපස 'ලිවීමේ කාර්යය' කරන්නේ හොදින් දැනුවත් වමේ දේශපාලනය තුළ සිටි තැනැත්තෙකි. තමාගේ ජීවිතය අසතුටෙන් බැවින් ඔවුන් සමාජයට ප්‍රක්ෂේපනය කරන අනේකත්ව චිත්‍රය ද අශ්ලීල එකකි. අප කරන්නේ කුමක්ද යන්න පිළිබද ව අපට ඇත්තේ ඉතාම පැහැදිළි චිත්‍රයකි. අප යම් දේශපාලන ප්‍රවාහයකට මතවාදී ලෙස සහය දෙන්නේ නම් එය සිදු වන්නේ ඉස්මතු වෙමින් පවතින ජාතිවාදී වර්ගවාදී බලවේගයන්ට එරෙහිව ය. මන්ද ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනය මතවාදී තලයේදී තවමත් සිටින්නේ ඌන සංවර්ධිත තැනක ය. විශේෂයෙන් ඔවුන්ට ජාතිවාදී දේශපාලනය ඉදිරියේ තම පශ්චාත් යටත්විජිත මතවාදී ප්‍රවේශය නිරවුල් ව ප්‍රයෝගික කරණය කරගත නොහැක. ලිබරල් ධනවාදය තුළ ඔවුන් සිටින බව අප හොඳින්ම දන්නා නමුත් ඉස්මතු වෙමින් පවතින ජාතිවාදයේ අගතිගාමය අපට ඊට වඩා හොඳින් පැහැදිළි ය. ලිබරල් ධනවාදය තුළ ඉස්මතු වන අනන්‍යතා ගැටළුව අවසන් වන්නේ සමස්තතා වාදය තුළ බව අප න්‍යායිකව දනිමු. එතැනදී ගෝඨාබය යනු එම අනන්‍යතා හිඩැස වෙත එන සංකේතීය ව්‍යාජයකි (symbolic illusion)*. විසිවෙනි සියවසේ අප දන්නා ඉතිහාසයේ සිදුවුවේ එයයි. මාක්ස්වාදීන් මෙම ඓතිහාසික පාඩම මඟ හරිමින් සිටින බව අපගේ අද දවසේ නිරීක්ෂණ යයි. අනෙක් අතට ආර්ථිකයේ ඉස්මතුව ඇති ආපතික තත්වය මත තත්වය තවත් දරුණු වෙමින් පවතී. අප ට ජිවත් වීමට බලකර ඇති මතුපිට තොරොම්බල් ලෝකය තුළ (බුදුන්ගේ රස්තියාදුව, පිදුරංගල එපිසෝඩය බඳු)  සත්‍ය දුක්ඛාන්තයක් සිදුවනවා වෙනුවට දිග හැරෙන්නේ ටොම් ඇන්ඩ් ජෙරී පන්නයේ විහිළු යනුවෙන් ජිජැක් කියන්නේ එබැවිණි. සත්‍ය දුක්ඛාන්තයක් තුළ යම් දෙයක් තීරණාත්මක ලෙස වෙනස් වේ (අප කැමති වුවත් නැතත්). නමුත් පශ්චාත් නුතනනත්ව ය යනු කිසිදු දෙයක් සිදු නොවීමට සියල්ලෝ ම වග බලා ගැනීමයි. ඕනෑම දුක්ඛාන්තයක පසුබිම තුළ යමක් සිදු වන්නේ ආශාවක් සමග අධි අනන්‍ය වීම නිසාය. හැම්ලට්, අන්ටිගනී යන නාට්‍ය තුළ ඇත්තේ ආශාව සමග අධි අනන්‍ය වූ චරිතය. එම ආශාව වෙනුවෙන් ඔවුන් මරණය දක්වා ම යෑමට සුදානම් ය. එවන් මරණීය ගමනක් වෙතින් පමණක් යමක් සිදුවීමේ ශක්‍යතාවය දරාසිටී. නැත්නම් සිදුවන්නේ එකම දෙයක් සැමදාම සිදු වීමය (Zizek 2011: 9). වමේ එක් කණ්ඩායමක් කෑ ගසමින් පාරේ ඇවිදියි. අනුර කුමාර පාර්ලිමේන්තුවේ කෑ ගසයි. වික්‍රමබාහු මහතා මාධ්‍ය හමු පවත්වයි. වි. කො. ස. වෙබ් අඩවියක් කරයි. හෙට එළි වන විටත් කිසිවක් සිදු නොවන බව සක් සුදක් සේ හැමෝටම විශ්වාසය. මේ සන්දර්භය තුළ අප යම් කිසි දුක්ඛාන්තයක් වෙනුවෙන් ශරීරය කැප කරමින් සිටිමු. හැමෝම තමන්ට හුරු පුරුදු දේ ම කරද්දී අප නුහුරු ආපතික දෙයක් කිරීමට උත්සාහ කරමු. නුහුරු පාරක අපි පිය නගමින් සිටිමු. එහි පිරිවැය ඉතා වැඩි බව අපි දනිමු. නමුත් යම් ප්‍රතිඵලයක් එයින් අත්විය හැක. යම් යම් අයට මේ තත්වය ඉවෙන් මෙන් වැටහෙමින් තිබෙන නිසා අප වෙත එන ප්‍රහාර ද වැඩි වෙමින් තිබේ. 

තවත් කරුණක් කිව යුතුය. එනම් ජිජැක් නිරතුරුව කියන දෙයක් නම් නොහැකි යයි හැමෝම සිතන දෙය කිරීමට උත්සාහ කරන්න යන්නයි (do the impossible). එවිට පමණක් නුතන යමක් සිදුවිය හැක (සුර්ය කේන්ද්‍ර වාදය බඳු තීරණාත්මක වෙනසක්). බැලු බැල්මට අප කරනා සියළු දේ පශ්චාත් නුතන යැයි පෙනෙනු ඇත. එහෙත් කිසිවෙක් උත්සාහ නොකළ දෙයක් ඔස්සේ නොකළ හැකි දෙය වෙත (towards the impossible) අප ප්‍රවේශ වන්නේ නම් එවිට ද ඔබ අපට කියන්නේ පශ්චාත් නුතනවාදීන් යැයි කියාද? රැඩිකල් සමාජ වෙනසක් වෙනුවෙන් දිවා රෑ සිහින මවන අප පශ්චාත් නුතනවාදීන් නොවෙමු.  

කියවන්න
Derrida, J. ( 2001). Writing and Difference (trans. Alan Bass). London. Routledge. 


Loy, D. (1987). The Cloture of Deconstruction:  A Mahayana Critique of Derrida. International Philosophical Quarterly. 105(1).

Magliola, R.  (1984). Derrida on the Mend. Lafayette. Purdue University Press. 

Zizek, S. (2011). Did Somebody Say Totalitarianism?. London & New York. Verso.   

සටහන්    
*ගෝඨාභය යනු සංකේතීය ව්‍යාජයක් වුවත් රටේ බොහෝ අය කල්පනා කරන්නේ පවත්නා අපිළිවෙල සහ බිඳ වැටීම පිරියම් (mend) කර ගැනීම සඳහා ඒ මහතාගේ දේශපාලන ප්‍රවේශය වැදගත් විය හැකි බවයි. අනෙක් අතට අසූව දශකයේ පශ්චාත් ප්‍රේමදාස දේශපාලනය තුල ඉස්මතු වූ අධිපති ව්‍යුහයන් විසංයෝජනය කිරීමේ ව්‍යාපෘතියේ (සිවිල් සමාජ කතිකාව) අනෙක් අන්තයේ සිටි ජාතිකවාදීන් විසින් ශක්තිමත් ව්‍යුහයක් වෙනුවෙන් (රාජ්‍යය) ගෙනගිය මතවාදයේ අවසන අප ඉදිරියේ දිග හැරුණු නිරුවත් ජන ඝාතනය තුළ හමුවූ ෆැන්ටසි බෞද්ධ සාරයේ යථාවේ නියෝජනය ගෝඨාභය විසින් කරනු ලබයි (මහින්ද මෙන්ම). මෙතැනදී ඔහු වෙනුවෙන් යථාව යන වචනය භාවිතා කරන්නේ බෞද්ධ අවිහිංසා වාදයේ අපට සිතාගත නොහැකි අනෙක් චණ්ඩ අන්තය ඔහු සහ මහින්ද ආණ්ඩුව විසින් අප වෙනුවෙන් තිරගත කළ නිසාය. වෙනත් විදියකින් කිවහොත් ඔහු විසින් පවා පෙන්වා දුන්නේ 'නොකළ හැකි දෙයක්' යනුවෙන් අප සිතූ දෙයක් 'කළ හැකි දෙයක්' බවට පත් කළ හැකි බව පෙන්වීමයි. ඒ අර්ථයෙන් ගත් විට 'මේ රට හදන්න බැහැ' යනුවෙන් අප සැමදා මහ පාරේදී මතුරන දෙය ඔහු විසින් ආපතික ලෙස අසත්‍ය කළ හැක. නැත්නම් අප නොසිතු ලෙස ඔහු මේ රට හදා පෙන්විය ද හැක. එසේ කළ හැකි වන්නේ ඔහුට යථාව වෙතට ගමන් කිරීමට ඇති ධෛර්යය නිසයි. අනෙක් අය තමා දෙස බලා නොසිටින වග ඔහු දන්නා නිසයි. බටහිර ජාතීන් කුමක් කියයිද යනුවෙන් ඔහු ලත වෙමින් සිටියේ නම් ඔහුට කිසිවක් කරගත නොහැකිවනු ඇත. එසේ නම් අද පවා අප අත්විදින්නේ යුද්ධය යි. කිසි විටක අප දියුණු ජාතියක් වනු දැකීමට බටහිර ට අවශ්‍ය නැත. ඒ ඔවුන්ගේ ෆැන්ටසියේ සීමාව අප වන නිසාය. පෙරදිග මිනිසුන් ලෙස එය අප තේරුම් ගත යුතුය.