Tuesday, August 21, 2018

රස්තියාදු සිමියුලේක්‍රමය සහ බුදුන්ගේ රස්තියාදුව

'බුදුන් යනු... ක්‍රිස්තු පුර්ව හයවන ශත වර්ෂය අග හා පස්වන ශත වර්ෂය මුල හරියේ දී කෂාය වස්ත්‍රධාරී ශ්‍රාවකයන් සමුහයක් ඇති කළ, බුද්ධත්වය ලැබූ හෙයින් බුදුන් යැයි හඳුන්වනු ලැබූ පුද්ගලයා ය. එතුමන්ගේ ධර්මය සත්දෘෂ්ටික ධර්මය හා සමහන් නොවිය. උන්වහන්සේ ගේ පරිනිර්වාණ යෙන් පසු බාහිර ලෝකය කෙරෙහි ඇති වූ බලපෑම පමණක් සලකා බැලූ කල්හි ද ඉන්දියාවේ පහල වූ ශ්‍රේෂ්ඨතම  පුද්ගලයා උන්වහන්සේ බව ඉඳුරා කිව හැකිය...ඇෆ්ගනිස්ථානය ට නැගෙනහිර දිගින් පිහිටි, මුළු මහත් ආසියාවේ ම කෝටි සංඛ්‍යාත ජනකායක ගේ ජිවිත කෙරෙහි උන්වහන්සේ ගේ චරිතාපදානය බල පැවැත් වූ හෙයින් අප සඳහන් කළාට වඩා ඒ ජිවිතයේ තොරතුරු අතිශයින් වැදගත්ය (ඒ. එල්. බෂාම්. අසිරිමත් ඉන්දියාව 1965: 330-1 (නන්ද දේව විජේසේකර පරිවර්තනය). බෂාම් එහෙම කියන්නේ බුදුන් වදාල දෙය ටත් වඩා එතුමන්ගේ චරිතය පමණක් කෝටි සංඛ්‍යාත මිනිසුන් පිරිසකගේ අධ්‍යාත්මය සකස් කිරීමෙහි ලා වැදගත් වූ නිසා. ඒ කියන්නේ පුද්ගල සංකේතනය (චරිතවත් බව) විසින් අනෙක් මිනිසුන් තුළ පරමාදර්ශී ගතිකයක් දල්වනවා කියන එක ගැන බෂාම් දැනුවත්. ඒ නිසා බුදුන් වහන්සේ වෙත ප්‍රධානය කළ යුතු ගෞරවය නොපිරිහෙලා ලබා දීමට ඔහු මැලි වෙන්නේ නැහැ. බටහිර අයෙක් වුවත් බෂාම් පෙරදිග ඉතිහාසයේ අධ්‍යාත්මික සංකේතනය ඉතාම වැදගත් කොට සලකා තිබෙනවා තමන්ගේ ලියවිලි වල. ඒ වගේම ඉන්දියානු වේදය (Indology) ගැන විශාල බුද්ධිමතුන් පිරිසක් බිහිකරලා තියෙනවා ඔහු. ඒ කියන්නේ ඔහු වෙනම ම ආසියානු වේදයක් ඇතිකරන්න පුරෝගාමී වෙලා තියෙනවා එක්තරා කාලයක. ඕනිනම් ජිජැක් ට කියන්න පුළුවන් ඔන්න බටහිර ස්වාමියා ඇවිල්ලා පෙරදිග අයගේ ජීවන ලෝකයේ නිෂ්ක්‍රිය බව නැවතත් ස්වභාවිකකරණය කරනවා කියල. නමුත් මෙතන ප්‍රවේශය තරමක් වෙනස් සහ සිත් ඇද ගන්නා සුළුයි. බෂාම් කියන්නේ ඉන්දියාවේ මුස්ලිම් ආක්‍රමණ වලට පෙර පැවති  බුද්ධාගම ඇතුළු බොහෝ ආගම් සහ ඉගැන්වීම් මිනිසා මෝක්ෂය කරා ගෙන යාමට පොහොසත් වූ බවයි. ඒ නිසා ඔහු අවධාරණය කරන්නේ එවකට පැවති සියලු ඉන්දීය ආගම් මිනිසා ගේ ගෞරවයට හා බුහුමනට පාත්‍ර විය යුතු බවයි (පිටුව 344). ඔහු පනහේ දශකයේ එහෙම කියන කොට අද වනවිට විශ්ව විද්‍යාල වලට අනෙකාට ගරු කරන්නේ කොහොමද කියල උගන්වන්න විශේෂ පාඨමාලා ඇවිල්ල තියෙනවා මෘදු දක්ෂතා (Soft Skills) යනුවෙන්. කලාව කියන්නේ මේ ගරු කිරීම ගැන විශේෂයෙන් කියල දෙන්න ඕනි ක්ෂේත්‍රයක් නෙවෙයි. 

නමුත් මේ දවස් වල ලංකාවේ සාහිත්‍ය කරුවන්ට නම් ඉස්පාසුවක් නැති හැඩයි. මොකද පුවත් පත් සාකච්චා, මාධ්‍ය සාකච්චා, විවරණ වලින් මාධ්‍ය අවකාශය පිරිලා ගිහිල්ල. රැවුල වවා ගත්ත, කොන්ඩේ වවා ගත්ත, කොන්ඩේ පාට කරපු, තට්ටේ ගාපු, තට්ටේ ටැටූ ගහපු කලාකාරයෝ කෑ කොස්සන් ගහනවා 'නිදහස' ඉල්ලලා. අපිට ඕනි දෙයක් ලියන්න නිදහස දියව්. මම ලියන්නේ මට උවමනා දේ. ඕනිනම් කියවපල්ලා. නැත්නම් මක බෑවියල්ලා. මයි කාර් මයි පැට්‍රල්. මගේ පරිකල්පනය අශ්ලීල තමයි. මගේ චිත්‍රපටි වල තියෙන්නේ මට ඕනි දේවල්. ඉතින් පුළුවන් දෙයක් කරපියව්. පොත් මාසේ ළඟ නිසා ගෝෂාව තව වැඩි වෙනවා. ඔවුන් කියන්නේ වෙළඳ පොළ සමග තමන්ගේ ආත්මයට නිදහසේ විකසිත වෙන්න දෙන්න කියන එක. 'මට' මේ වෙළඳ පොළ තුල මැරෙන්න දීපියව් කියන එක තමයි හරය. හැමෝම අවධාරණය කරන්නේ 'මම', 'මම', 'මම' කියන එක විතරයි. ඉතින් මේ ඔක්කොම ආත්මය ඉස් පොල්ලේ ගිය බමුණෝ. ආත්මවාදීන්. ඔවුන් ඔවුන්ගේ පරිකල්පනය සහ ස්මෘතිය සමග අධි-අනන්‍ය වුවන් (එහෙම කියන්නේ සත්ගුරු මුණි). තමා යනු පොතක් බවට ඌනනය වුනාම වෙන දේ බලාගන්න ඕනි නම් මේ දවස්වල මේ කලා කරුවන්ගේ මුහුණු පොත් අවකාශයට යන්න. ඔවුන්ට අනුව 'මම' යනු මගේ පරිකල්පනය යි (නමුත් විමුක්තිය තියෙන්නේ ස්මෘති (මතකය = memory) සහ ස්වප්න (ෆැන්ටසි = fantasy) අවධිය පසු කලාම එළඹෙන හිස් බව (emptiness) ඇතුලේ. ඒ කියන්නේ අභිඥා අවධියේ). ඉතින් බෂාම් මෙහෙම කියනවා. 'සත්දෘෂ්ටික ධර්මයේ ඉගැන්වීම අනුව මේ තණ්හාවට හේතුව වනුයේ "මමත්වය"  යි හෙවත් ජිවත් වන සෑම සත්වයා තුල ම දක්නට ලැබෙන තමන් තුල නිත්‍ය හරයක් "අහං භාවයක්" හෙවත් ආත්මයක් ඇතැ යි යන හැඟීමයි. මේ හැඟීම ජිවත් වන සෑම සත්වයා තුල ම සහජයෙන් ඇති වන්නක් වුවත්, එය වැරදි හැඟීමකි' (පිටුව 346). ඔහු තවදුරටත් මෙහෙම කියනව. 'බුදුන් ගේ ජිවන කතාව පිළිබද පුරාවෘත්ත කෙරෙහි කිසියම් විශ්වාසයක් තැබිය හැකි නම්, බෝධි මුලය යට දී උන්වහන්සේ ලැබූ සම්බෝධි ඥාණයෙන් ප්‍රකාශ වන්නේ මේ තෙක් නො ඇසු, නො සිතූ විරූ නව ධර්මතාවකි. උන්වහන්සේ කළේ උපනිෂද් මුණිවරුන් දෙසු ධර්මය ගෙන එය අල්ප මාත්‍රයක් වෙනස් කොට අමුතු සංස්කරණයක් සේ ලෝකයාට දීම නොවේ' (පිටුව 347).     
             
මෙහෙම දිගින් දිගට ලියන්න කියන්න වෙලා තියෙන්නේ බුද්ධ දර්ශනය කියන්නේ හෝ බුදුන්ගේ චරිතය තුල රස්තියාදු ලක්ෂණ බෂාම් පෙන්වල දෙන්නේ නැති නිසා පමණක් නොවෙයි ඔහු එම ධර්මයට අවශ්‍ය ගෞරවය දෙනවා කියන එක කියන්න. අනික් අතට හුදු රස්තියාදු කාරයකුගේ දෙපතුළ ළඟ මිනිස්සු මිලියන ගාණක් වැඳ වැටෙයි කියල කොහොමටවත් හිතන්න බැහැ. හුදු රස්තියාදු කාරයකුට මිනිස් පැවැත්ම ගැන මෙතරම් ගැඹුරු සත්‍යයක් දේශනා කරන්න පුළුවන් වෙයි කියල හිතන්නත් බැහැ. නේරංජනා වෙන් එතෙර වූ තැන ඉඳල උදක රාමපුත්‍ර, ආලාර කාලාම, පස්වග මහණුන් වගේ අය එක්ක බුදුන් රස්තියාදු ගැහුවා වෙනුවට කළේ සත්‍ය සොයා ගන්න උත්සාහ කරපු එක. 'සත්‍යය සොයා යන්නෙක්' (seeker of truth)  සහ 'රස්තියාදු කාරයෙක්' (loiterer) කියන්නේ පැහැදිළිව දෙන්නෙක්. Wanderer (තැනින් තැන යන්නා හෝ පරිව්‍රාජකයා) කියන වචනයේ රස්තියාදු අර්ථයක් නැහැ. මෙන්න මෙතන තමයි සිංහල ඉංග්‍රීසි වචන සෙල්ලම තියෙන්නේ. මේක දැනුවත් ව කරන වචන සෙල්ලමක් සහ විකෘති කිරීමක්. ඉතින් ජිජැක් කියන්නෙත් මුල් අර්ථය විකෘති වන තුරු (අලුත් එකක් මතුවන තුරු) නැවත නැවත අර්ථ කථනය කරන්න කියල (ඉතින් මේ ඉන්නේ ජිජැක් ගේ උල්ලංඝන මුනුබුරා ල).  කොහොම වුණත් 'බුදුන්ගේ රස්තියාදුව' (wanderings of Buddha කියන එකේ විකෘතිය) ගැන දිගට ලියනවා කියන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ගේ මාකටින් උගුලේ අපි අහුවෙනවා කියන එක. ඔහු අප වෙනුවෙන් අටවලා තියෙන්නේ උගුලක්. ශුද්ධ වූ යැයි අප සිතන දෙයකට භාෂාව ඔස්සේ පොඩි සෙල්ලමක් දාල ඔහු බලාන ඉන්නවා ඔහුව විවේචනය කරන කල්. බුද්ධ භාෂිතය අනුව ගත්තොත් ගහන්න යනවා වෙනුවට අප පතුරුවන්න ඕනි මහා කරුණාව යම් අයෙක් ස්වයං අවබෝධය කරා (self-realization) ළඟාවෙන තුරු. දොස්තවුස්කි ගේ වචනයෙන් කිව්වොත් හැමෝම අවබෝධ කරගන්න ඕනි ඇහැට පෙනෙන යථාර්තය නෙවෙයි අධ්‍යාත්මික යථාර්තය (spiritual realism). ඒ වුනාට අපේ අය දුවන්නේ මායා යථාර්තවාදය හොයාගෙන. ඉතින් කේ. කේ. ශ්‍රීනාත් සහ උපුල් ගේ හිස්ටරික බොරු වලේ (hysteric pit fall) වැටෙනවද නැද්ද කියන එක අපිට බාරයි. ඒ කියන්නේ මේ සටහන එක් අතකට නොලිව්ව ලිවීමක් (බුදල් ගේ සීගිරි කවිය වගේ). ඒ අර්ථයෙන් මේ ලිපියත් වැටෙන්නේ ඉහත මාකට් එකටම යි. නමුත් දේවල් පැහැදිළි කරගන්න නොලියත් බැහැ. එතකොට කියවන කෙනා (decoding) අතේ තමයි වැඩේ තියෙන්නේ. මොකද නිශිටනි ට අනුව 'නපුර නපුර ලෙස තේරුම් ගැනීම යනු නපුරක් නොවන නිසා' (branding evil as evil implies a standpoint of goodness) (බලන්න නිශිටනි ගේ The Self-Overcoming of Nihilism,  පිටුව 139). ඉතින් ගොඩක් අය කැමති නැති වුණාට අපේ දේශපාලනයෙන් විශාල කාලයක් ගත වුණේ ගෝලීය ලංකාව තුළ ඉස්මතු වුණ 'තනි පුද්ගල හේතුවේ' නපුර (the private use of reason) පෙන්වා දෙන්න. දැන් මේ කරන්නෙත් ඒක (කියවන්න 'ජිජැක් අධ්‍යයනය' (2017) කෘතිය වෙනුවෙන් දීප්ති සහෝදරයා ලියු පෙරවදන).  
   
'ධ්‍යාන' යන්න නිරූපණය කරන සෙන් චායාරූපයක්. සිදුවූ දෙය පිළබද අතීත මතකය යනු අපගේ මේ මොහොත විකෘති කර දමන්නක් යන්න මෙහි අර්ථයයි (memories of the past distort the present moment of our existence).  'අතීත මතකයේ මංමුලා නොවී මේ මොහොත කරා පැමිණෙන්න' යනු මෙම චායාරූපයේ ආයාචනයයි. ඉතින් අපි අතීතයෙන් මිදෙමු. 

මේ 'රස්තියාදුව' යන යෙදුම මෙච්චර සාහිත්‍ය අවශ්‍යතාවයක් වෙන්නේ කොහොමද බුදුන් වගේ කෙනෙක් එක්ක යම් ක්‍රියාවක් සම්බන්ද කරන කොට? 'බුදුන්ගේ සත්‍ය ගවේෂණය' වගේ එකක් මොවුන් පාවිච්චි නොකළේ ඇයි? මොකද එහෙම කරලා බැහැ වෙළඳ පොළ බලවේග එක්ක. ලාභ ගන්න ඕනි නම් හෝ මේ ක්‍රමය ඇතුලේ පවතින්න ඕනි නම් තියෙන පිළිවෙල උල්ලංඝනය කරන්න ඕනි (තියෙන දේ හරි කියල නෙවෙයි කියන්නේ). අනිත් අතට වෙළඳ පොළ කියන්නෙත් අපේම මිනිසුන්ට (මොකද පිටින් එන්නේ නැහැනේ සිංහල පොත් කියවන්න). අපේ මිනිස්සු කියන්නේ කොටුවේ දුම්රිය මඟීන්ට. ඉතින් මේ රැඩිකල් ලේඛකයින් ලියන්නේ ඉහත දුම්රිය මඟීන් වගේ වෙළඳ පල බලවේග වලට (ගමේ පැය දහ හතරයි, කෝච්චියේ පැය දෙකයි, කොළඹ පැය අටයි). මොකද සමස්ත මාකට් එකම ගොඩ නැගුණේ මෙම වචනය හරහා. මේ වචනය අයින් කලානම් මුකුත් වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ ශුන්‍යතාවයක්. නමුත් අපේ පැරණි ලේඛකයෝ ඉහත මාකට් එකට ලිව්වේ නැහැ. උදාහරණ වශයෙන් මාටින් වික්‍රමසිංහ පාවිච්චි කරන්නේ 'බව තරණය' වගේ වචනයක්. හර්මන් හෙස ගේ වචනය 'සිද්ධාර්ථ'. නමුත් සන්නස්ගල සංජිව ජෝඩුව තෝරන වචනය රස්තියාදුව. මොකද ඒ අය එම වචනය එක්ක තමන්ගේ ජීවිතයෙන් අනන්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් එහෙම වෙන්න ආසයි. නිකම් සිගරට් එකක් පත්තු කරගෙන බියර් එකක් බිබී ඉන්න චායාරුප තමයි ඔවුන්ගේ අනන්‍යතා රුපරාමු. මුහුණු පොතේ දාන්නේ ඒවගේ 'නිදහස්' චායාරුප. ඉතින් ඉන්දියානු දර්ශනය අනුව ගත්තොත් ඔවුන්ගේ 'නිදහස' අහිමි කරන එකම දෙයත් ඔවුන් දැන් විඳින නිදහස ම තමයි. චන්දය පරාජය වීම ඔස්සේ තමන්ගේ අහම තුවාල කරගත්තට පස්සේ විශේෂයෙන් සන්නස්ගල කියන කෙනා දැන් කරන්නේ සමාජයට ප්‍රතිචාර දක්වන එක. සල්ලිත් තියෙන නිසා නව අනන්‍යතා රූපකයක් වෙත ඔහු විතැන් වෙනවා. දැන් ඔහු බොහීමියානු රස්තියාදු කාරයෙක් වගේ තමා අර තමාව ප්‍රතික්ෂේප කරපු 'සමාජයට' නැවත තමාගේ 'නව රූපය' (rebirth) ප්‍රක්ෂේපනය කරන්නේ. පැහැදිළිව කියන්න ඕනි දෙය තමයි මෙතනත් ඔහුට තෘප්තියක් නැහැ කියන එක. මොකද ඔවුන් අනන්‍ය වෙලා ඉන්න රස්තියාදු රූපකය ඔස්සේ නැවත සාධනය වෙන්නේ 'මම' කියන ප්‍රපංචය යම තමයි (රස්තියාදු ගහන මම). ඉතින් 'මම' යන්න තවත් උපාදානයක් එක්ක (රස්තියාදු) පවතින තුරු සත්‍ය නිදහසක් උදා වෙන්නේ නැහැ. ඉතින් හරවලා ගත්තම අයෙත් එන්නේ කාටේසියානු කොගිටෝවේ ප්‍රශ්නය. ඒ කියන්නේ 'මම' සහ 'රස්තියාදු කාරයා' අතර ඇත්තේ පරස්පර බවක් කියන එක (බුදුන් සහ රස්තියාදු කාරයා අතර ඇත්තෙත් මේකමයි. හැබැයි විපරීත ආකාරයකට). ඉතින් ඔවුන් ඇත්තටම රස්තියාදු කාරයොත් නෙවෙයි (හුගක් වෙලාවට ඔවුන් හොඳ වෙළෙන්දන්). හොඳට පුද්ගලික දේපළ තියෙන රස්තියාදු සිමියුලේක්‍රමයන් (simulacrum = an image without the substance = සාරය අහිමි රූප). රස්තියාදු රූපය මාකට් කරන එහෙත් සත්‍ය රස්තියාදු කාරයන් නොවන නරුමයන් පිරිසක් (cynics). ඒ කියන්නේ ඔවුන් දන්නවා ඔවුන් කරන දෙය. ඔවුන් දන්නවා 'රස්තියාදු' කියන්නේ යම් නිර්ධන පංති (බුර්ෂුවා නොවන) කොටසක් නියෝජනය කරන හැඟවුමක් කියල. ඒ නිසා ඒකට 'නාගරික මාකට් එකක්' තියෙනවා කියල. එතකොට තියෙන්නේ මාකට් එකට අවශ්‍ය විදියට රූපාන්තරණය වුනු 'රස්තියාදු රූපයක්' (image) පමණයි. එකම දෙය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා කරුවන් නරුමවාදය කියන එක නොදන්නා එක.      

විශිෂ්ට ජපන් දාර්ශනිකයෙක් සහ විචාරකයෙක් ලෙස ගෝලීය පිළිගැනීමක් ඇති කොජින් කරතානි සම්බන්දයෙන් විවේචනයක් එකතු කරන ජිජැක් මෙහෙම කියනවා. 'අපිට අපේ සංස්කෘතීන් සහ ජාතික අනන්‍යතා ගැන සතුටු වෙන්න පුළුවන් වගේම ඒ ගැන ආඩම්බර වෙන්නත් පුළුවන්. නමුත් ගැටලුව ඒක නෙවෙයි. එකම දෙය අප ඉන්නේ පුද්ගලික හේතුව (private use of reason) තුලද නැත්නම් විශ්වීය හේතුව තුලද (universal use of reason) කියන එකයි. මොකද විශ්වීය හේතුව ඇතුලේ ගත්තම අවසානයේ ග්‍රීකයෙක් වත් යුදෙව්වෙක් වත් නැහැ (there is neither Greek nor Jew). තියෙන්නේ මේ දෙක අතර පරස්පර තාවයක් පමණයි' (Parallax View 2006: 9). ඒ කියන්නේ අපේ සන්දර්භය ඇතුලේ ගත්තම දෙමළෙක් වත් සිංහලයෙක් වත් නැහැ. තියෙන්නේ මේ දෙක අතර වූ පරස්පර තාවය පමණයි (මාවෝ). ඔහු මෙහෙමත් කියනවා 'ඇත්තටම ගත්තම අපි දෙගොල්ලොම ඉන්නේ පාර-පරිණාමීය අවස්ථාවක. අපි ඔක්කොම ගමන් කරමින් ඉන්නේ ගෝලීය සිවිල් සමාජයක් දෙසට. එවන් සමාජයක ඓන්ද්‍රීය සාරයක් ගැන හිතන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නය' (9). නමුත් ජිජැක් ගේ මෙම නිරීක්ෂණය ට පිළිතුරු නිෂිටනි විසින් බොහෝ කාලයකට පෙර මෙසේ ලබා දෙනවා. ගෝලීය සිවිල් සමාජය වෙතට පෙරදිග මිනිසාට යාමට ඇති එකම මාර්ගය බටහිර ශුන්‍යතාවය වැළඳ ගැනීම වෙනුවට එය අතික්‍රමණය කිරීම. ඒ කියන්නේ තමන්ගේ උරුමය නැවත සබුද්ධික කරණය කරන එක. මිනිස් අවබෝධය කියන්නේ තනිකර පුද්ගලික දෙයක්. බටහිර සාංකාව (යථ) වෙනුවට විමුක්තිය ලබා ගත යුත්තේ සාංකාවට හේතුව අවබෝධ කර ගැනීම ඔස්සේ (සංකේතනය). ජීවිතය කෙරෙහි දක්වන ආශාව වෙනුවට ජිවිතයේ ශුන්‍යතාව අප අවබෝධ කරගත යුතුයි.  ජිවිතයට ආශා කරන සෑම මොහොතක්ම අතෘප්තියේ මොහොතක් (The Self-Overcoming of Nihilism, පිටුව. 14). ඉතින් මේ මේ අතෘප්තියේ බටහිර රෝග ලක්ෂණය තමයි කලකිරීම (boredom). ඒ රෝග ලක්ෂණය මැනවින් පෙන්නුම් කරන චිත්‍රපටයක් තමයි The Great Gatsby (2013) කියන්නේ. බමුණෙක් ලෙස රූපාන්තරණය වෙන්න තරම් අනන්‍යතාව අවුල් කරගත්තේ නැති වුනාට ගැ(ට්)ස්බි කියන්නෙත් බටහිර ඇමෙරිකානු සිහිනය තරණය කරන්න ගිය අතෘප්තිකර මිනිසෙක්. ඔහු අරගල කරන්නේ සහ අවසානයේ මිය යන්නේ තමාගේ ස්මෘතියෙන් (ඩේසි සමග වූ මතකය) ගොඩ එන්න බැරිව. කන්දක් තරම් සල්ලි තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ ආත්ම අවබෝධය ඔහු කරා පැමිනෙන්නේ නැති නිසා (මතකයන් ඔබේ සිතේ දරා ගෙන.. දුක්විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා....). භෞතික ලෝකයේ සියල්ල යම් පරිණාමීය ක්‍රියාවලියක් ඇතුලේ වෙනස් වෙමින් පවතිනවා කියන එක සහ ඩේසි කියන්නේ එම පරිණාමීය ක්‍රියාවලිය ට හසුවූ එක් ගැහැණියක් පමණයි යන්න ඔහු ගැඹුරින් තේරුම් ගත යුතුයි. මතකය නොවෙනස් ලෙස (fixed) නැවත නැවත අප කරා පැමිණියත් සිහිනය සහ යථාර්තය කියන්නේ දෙකක් (මේ ගැන හොඳින් චිත්‍රණය කරන නවකතාවක් තමයි 'එමා බෝවාරි' කියන්නේ). බාහිර ලෝකය ගතිකයක් (dynamic) වනවිට මතකය කියන්නේ සාමාන්‍යයෙන් යම් කාලයක් සාපේක්ෂව නොවෙනස්ව පවතින (fixed) දෙයක්. මෙතන තමයි ගැටළුව තියෙන්නේ. ස්ථිර ස්මෘතියක් තියාගෙන අපි වෙනස් වන ලෝකයක අරගල කරනවා. එච්චරයි. 

වඩාත් ම දේශපාලනික වනුයේ ෆැන්ටසිය යනුවෙන් තමයි සාමාන්‍යයෙන් මනෝ විශ්ලේෂණය තුළ ඉගැන්වෙන්නේ. ඉතින් මේ සාහිත්‍ය කරුවන්ට ඉහත වැකිය හොඳ අවියක්. තමන්ගේ 'පරිකල්පනය' වෙනුවෙන් මරාගෙන මැරෙන්න යන ඉහත කලා කරුවන් කියන අයගේ සාහිත්‍ය ප්‍රචණ්ඩ බව දිහා බලපුවාම මතක් වෙන්නේ නීට්ෂේ ගේ වචන (නිෂිටනි උපුටා දක්වන විදියට). 'වධ බන්ධනයෙන් ආතතිගත අපගේ සමස්ත බටහිර සංස්කෘතිය ම දීර්ඝ කාලයක් තිස්සේ අප බලාසිටි මහා විනාශය දෙසට නොඉවසිල්ලෙන් මෙන්ම ප්‍රචණ්ඩ ව දිව යමින් සිටියිහරියටම නදියක් අවසානයට ගමන් කරන විට එයට ප්‍රතිබිම්බයක් නැතුවා වැනිය. තමාව පරාවර්තනය නොකිරීමට තරම් හරියට ම නදිය තමාට ම බිය වුවා මෙනි' ('සරතුස්තා මෙසේ කීය' උපුටමින් ඉහත නිෂිටනි, පිටුව 30).  

කියවීම්:
බෂාම්, ඒ. එල්. (1965). අසිරිමත් ඉන්දියාව (නන්ද දේව විජේසේකර පරිවර්තනය). රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. කොළඹ.

Baudrillard, J. (1994). Simulacra and Simulation. (trans. Sheila Glaser). USA. University of Michigan Press. 

Nishitani, K. (1990). The Self-Overcoming of Nihilism. (trans. Graham Parkes & Setsuko Aihara). USA. State University of New York Press.

Zizek, S. (2006). The Parallax View. USA. MIT Press.  
   
                          

Friday, August 17, 2018

මාක්ස්වාදයේ මියගිය අධ්‍යාත්මය හෙළිදරව් කිරීම...



(න්‍යායික ප්‍රතිචාරයක් නොව න්‍යායට එරෙහි වේගාත්මක සටහනකි
මාක්ස් ලෙනින් වාදය ගැන එතරම් උනන්දු නැති කෙනෙක් උනත් 'ගුරු ගීතය' කියන කෙටි විප්ලවීය නවකතාව ගැන දන්නවා. එහෙම දැනගන්න හේතුව තමයි ඒ නවකතාවේ ඉන්න  දුයිෂෙන් කියන චරිතය විසින් සිදු කරන විප්ලවීය ක්‍රියාව ලොව පුරා ගෞරවාදරයට ලක්වීම. දුයිෂෙන් කරන දෙය තමයි කිසිවෙක් නොසිතුව නොවැදගත් චරිතයක් තම ජාතියට සහ සමාජයට ඉතාම වැදගත් කෙනෙක් බවට පත් කිරීම. ඒ කියන්නේ තමන්ට මුණගැසුණු අල්තිනායි නම් කුඩා දියණිය රටේ වැදගත් මහාචාර්ය වරියක් දක්වා පරිණාමය වීමට උදව් කිරීම නම් ක්‍රියාව සිදු කිරීම. අධ්‍යාපනයේ විශ්වීය බව ලෝකයට පෙන්වීම සහ අධ්‍යාපනය සඳහා විප්ලවීය දේශපාලනය දෙන අද්විතීය ස්ථානය සලකුණු කිරීම තමයි එම නවකතාවේ සාර්වත්‍රික හරය. දුයිෂෙන් කරන්නේ යම් නිශ්ශබ්ද විප්ලවයක්. පාසල් යන දුවණියක් එක් අඩියකින් තව අඩියකට ඔහු ඔසවා තබනවා. එච්චරයි. එහෙම තමන්ගේ වැඩේ කරලා දුයිෂෙන් සද්ද නැතුව ඉන්නවා. 'මම තමයි කෙරුවේ' කියල තමන්ගේ අහම අධිනිශ්චය කර ගන්නේ නැහැ (තියෙන්නේ පරාර්ථකාමය). හුගක් අය සත්ගුරු මුණි විසින් ලෝක ගෝලය පුරා සිදුකරමින් යන චින්තන විප්ලවය හඳුන් වන්නේත් නිශ්ශබ්ද අරගලයක් කියල (silent revolution). එම අරගලය ප්‍රචණ්ඩ නැහැ. බලහත්කාරකම් කරන්නේ නැහැ. මතවාදය බලෙන් පටවන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මිනිසා වෙනස් කරන්න යොදන ජිජැක් ගේ 'ක්‍රිස්තියානි ආදරයේ ප්‍රචණ්ඩ බව' වත් එහි දැක ගන්න ලැබෙන්නේ නැහැ. මොකද එහෙම බලය සහ ප්‍රචණ්ඩ බව ඔස්සේ මිනිස්සු වෙනස් කරන්න බැහැ. මිනිස්සු වෙනස් කල හැකි එකම ක්‍රමය ස්වයං අවබෝධය පමණයි. මාවෝ චීනයේ බෞද්ධ පදනම් විනාශ කළාට මොකද යම්කිසි අධ්‍යාත්මික බවක් අවශ්‍යයෙන්ම තියෙන්න ඕනි අපේ විප්ලවීය මොඩලය තුල. ඒක තමයි ආසියාතික විප්ලවීය මොඩලය. මාවෝ විසින් සංස්කෘතික විප්ලවය නාමයෙන් මිලියන තුනක් මිනිස්සු මරනවා අතීතය මරා දමන්න ඕනි නිසා. නමුත් ඩෙන් ෂියාවෝ පෙන් විසින් නැවතත් ආගම රැගෙන එනවා. ඒ කියන්නේ රටේ ඉතිහාසයේ අධ්‍යාත්මය මරා දමන්න මාක්ස්වාදයට බැරි වෙනවා. ගාන්ධි, සත්ගුරු සහ ඕෂෝ වගේ අය ගැන බටහිර උනන්දු වන්නේ ඔවුන්ගේ සද්භාවී අනෙකා අප වන නිසා. අපත් ඔවුන් වගේ වුනොත් කෝ එතකොට අපි කියල දෙයක්? අපි අපි බවට පත් වෙන්න ඕනි මිසක් අපි ඒ ගොල්ල වගේ වෙන්න ඕනි නැහැ. ඉතින් මේ හැදින්වීම කලේ වෙනත් කරුණක් ගැන කියන්න. 
      
රුහුණු විශ්ව විද්‍යාලයේ කරන ලද කතාවක් පාදක කරගත් ඉහත වීඩියෝව මගින් උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ උසස් අධ්‍යාපනයේ දැන් පවතින තිත්ත ඇත්ත. මීට කලින් මේ අඳුරු අශ්ලීල සත්‍යය සමාජයට හෙළිදරව් කළේ අපි වැඩිය කැමති නැති එස්. බි. දිසානායක. දැන් නම් ඒක නිරාවරණය කරන්නේ මෙතුමා. ඇමතිවරයා විසින් කරන්න හදන නවක වධය කියන ප්‍රපංචය මුලිනුපුටා දැමීම නම් කරුණ ගැන ඉතාම සතුටුයි. ඉතිහාසය දිහා බලපුවම ඒක කරන්න ගොඩක් අමාරු දෙයක්. මොකද වේදනා විදින්න ආශා චරිත තමයි මේ යුගයේ එලියට එමින් පවතින්නේ. නිදහස් වෙන්න කැමති අය මේ කාලේ හුගක් අඩුයි. කොහොම වුනත් එතුමා කරන්න හදන වැඩේ සාර්ථක වුනොත් විතරයි ලංකාවේ දරුවන්ට අනාගතයක් තියෙන්නේ. විශ්ව විද්‍යාල ගුරුවරු කොච්චර නවක වධයට විරුද්ධයි කියල කිව්වත් එක වචනයක් ප්‍රසිද්ධියේ ලියන්නේ කියන්නේ නැහැ වමේ කියන දේශපාලන ප්‍රපංචය ට තියෙන බිය නිසා. වම විවෙච්චනය කලොත් පව් සිද්ධ වෙනවා වගේ හැඟීමක් තමයි හැමෝට ම තියෙන්නේ. අනික් අතට වමේ දේශපාලනය තමාගේ අනන්‍යතාවය පවත්වා ගැනීමටත් මේ ගුරුවරු පාවිච්චි කරනවා. ළමයි අතර ජනප්‍රිය වෙන්න ඔවුන් වමේ ලේබලය බලෙන් තමන්ගේ ඇඟේ එල්ලා ගන්නවා.  කතා පවත්වනවා. මොකද දකුණේ (ධනේශ්වර) නම් ප්‍රතිගාමි කියල ලේබලයක් කොහොමත් තියෙන නිසා. එයා 'ලෙෆ්ට් එකේ' කෙනෙක් කියල ඇහෙනකොට හරි ආඩම්බරයක් ඔවුන්ට එනවා හරියට 'සියල්ල දත්' වගේ. වමේ දයලෙක්තිකයෙන් සියල්ල විසංයෝජනය කළ හැකි 'ප්‍රගතිශිලි' චණ්ඩියෙක් වගේ තමයි ඔවුන් විශ්ව විද්‍යාල කොරිඩෝවල ගමන් කරන්නේ. නමුත් ගෙවල් වලට ගිහිල්ල බලපුවම තේරෙනවා කොතරම් පාරිභෝගික භාණ්ඩ ගොඩ ගසා ගන්න ඔවුන් මහන්සි වෙනවද කියල.  

ලංකාවේ ගොඩක් ජනප්‍රිය දේශපාලනික සහ සංස්කෘතික බ්ලොග් අඩවි කිහිපයක් තිබුණත් (සාමාන්‍යයෙන් දවසකට එම අඩවි කියවන අය දාහට වැඩියි) ඒ කිසිම කෙනෙක් නවක වධයට විරුද්ධව කිසිම දෙයක් ලියන්නේ නැහැ. මොකද ඒ හැමෝම හිතනවා මොකක් හරි අපි නොදන්න 'වාමාංශික හොඳක්' නවක වධය ආශ්‍රිතව සම්ප්‍රේෂණය වෙනවා කියල. මේඝන් ම(ර්)කල් ගේ පෑන්ටිය ගැන පණ දාගෙන එක හුස්මට ලියන අය රටේ අනාගතය තීරණය කරන දරුවන්ගේ සුභ සිද්ධිය ළඟට එනකොට මීයට පිඹපු සද්දයක් නැහැ. සත්‍යයෙන් අපිව ඈත් කරලා තියෙන ඇත්ත පිස්සු තත්වය මේක නෙවෙයි ද කියලත් හිතෙනවා වෙලාවකට. මම කියන්නේ මෙච්චරයි. අපේ අනාගත පරපුර මේ විපරීත 'මාක්ස්වාදීන්' (මේ අය ඇත්ත මාක්ස්වාදීන් නෙවෙයි) ගෙන් බේරා දෙන්න ඇමතිතුමණි. ඔබට පින් සිදු වෙනවා පළමු වසර ළමයි විඳින වධ වේදනා දැක්කම. ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ. කෑමක් කන්න දෙන්නේ නැහැ. පුස්තකාලය ට යන්න දෙන්නේ නැහැ. ඉංගිසි කතා කරන්න තහනම්. විදෙස් භාෂා කතා කරන්න තහනම්. පෝලිමට යන්න ඕනි. කුණුහරප කියන්න ඕනි. ඔන්න තත්වය. ඉගෙනීම එපා කරවනවා. ඒ වෙනුවට මුලධර්ම වාදයක් පතුරුවනවා. අපේ රටේ දක්ෂයෝ ඉන්නවා. එකම දේ අවස්ථාව දෙන්නේ නැහැ. ඉගෙනීමට තියෙන ආශාව සම්පුර්ණයෙන් විනාශ කරන්නේ ශිෂ්‍ය දේශපාලනය සහ ඒ පිටුපස ඉන්න එක්තරා මාක්ස්වාදය ජිරණය කරගන්න බැරි වුන පක්ෂයක් (හැබැයි උන්ගේ දරුවෝ ඉන්නේ පිටරට වල). වෛරය පමණයි ඔවුන් පතුරුවන්නේ. ලංකාවේ ඇත්ත සතුරා රාජපක්ෂ ල නෙවෙයි. ධනවාදයත් නෙවෙයි. ධම්මික පෙරේරා ත් නෙවෙයි. අන්න ඒ කියන ගුප්ත "බිම්ගත පක්ෂය" (පරිකල්පනීය සතුරෙක් නෙවෙයිඅනුභූතිකව ඇත්තට පවතින පිළලයක්). අපේ රටට අනාගතයක් ඕනි නම් මුලින්ම කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. එයින් එකක් තමයි රටේ මතවාදය හදන එක. රටේ අධ්‍යාත්මය හදන එක. අපේ අතීත උරුමය රැඩිකල් ලෙස නුතනත්වය ට පරිවර්තනය කරන එක (මෙහෙම කිව්වේ ඊයේ පෙරේදා අපි අතරින් වියෝ වුන විශිෂ්ට මාක්ස්වාදියෙක් වෙච්ච සමීර් අමීන් - radically transforming the historical heritage into modernity). ඇත්තටම ජපානය කලේ අමින් කියපු දෙයම තමයි. ඉස්සරහට යනවා නම් ඉතින් බිංදුවෙන් පටන් ගන්න වෙනවා. ලංකාවේ ආචාර්ය උපාධියක් තියෙන ඔබතුමාට වඩාත් හොදට තේරෙනවා ඇති ඉහත කරුණ. මොකද පිටරට ගිය හුගක් අය එන්නේ බටහිර සද්භාවය දේව වාක්‍ය කියල හිතාගෙන. ඉංග්‍රීසි ඉගෙන ගන්න එහෙම ඇමෙරිකාවට ගිහිල්ල ආපහු ආපු අයෙක් මේ මෑතක කිව්ව දෙයක් තමයි බටහිර තියෙන සෞන්දර්ය පිළිබද 'උසස් සාන්දෘස්ටික දැක්ම' අපිට කවදාවත් තේරුම් ගන්න බැහැ කියන එක (ජෙම්සන් ගේ මතය පුනරුච්චාරණ කිරීම). මම එයාට කියන්නේ 'අමාවතුර' නැත්නම් 'කව් සිළුමිණ' කියවන්න කියල. තමාගේ සංස්කෘතියේ අධ්‍යාත්මය උකහා ගන්නේ නැතුව කිසි විටක එවැනි අයට විශ්වීය වෙන්න බැහැ. කරන්න පුළුවන් බටහිර කොපි කරන එක විතරයි.     


ඊයේ හවස (17) මෙම බ්ලොග් සටහන ලියන්න පටන් ගත්තම මම පාවිච්චි කළ වචනය තමයි 'බිම්ගත දේශපාලන පක්ෂය' (the party underground) කියන එක. පුදුමයකට වගේ අද උදේ බලද්දී ඇමතිතුමා කියල තියෙන වචනය තමයි 'වාමාංශික පාතාලය' කියන එක. මට හිතුන මගේ වචනයට වඩා කොච්චර හරිද කියල ඇමති තුමාගේ වචනය. මේ පාතාලය තුළ සිද්ධ වෙන්නේ 'රැඩිකල්කරණය' (radicalize) කියන දේශපාලන ක්‍රියාව. ඒ සඳහා වෙනම පන්ති පැවැත් වෙනවා හරියට බෝකෝ හරාම්, අල් කයිඩා, තලේබාන් මට්ටමේ. එක පොතක හැර අන් කිසිම පොතක සත්‍යය නැහැ කියන මුලධර්මයේ ඉඳගෙන තමයි ඔවුන් තම සටන සංවිධානය කරන්නේ. ඒ එකම පොත ශුද්ධ වූ 'කුරාණය'. අපේ රැඩිකල් වම්මුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය තමයි 'කොමියුනිස්ට් ප්‍රකාශනය'. ඔවුන් හැම අයෙක්ම කොහොමත් යටි බිම් ගතයි මොකද එහි මනෝ විශ්ලේෂණ ආකෘතිය සයිකෝටික නිසා (දේශපාලන ප්‍රේරණයක් නැති තැනක  සතුරෙක් නිර්මාණය කිරීම ඇතුලේ නව දේශපාලන-මානසික ආකෘතියක් නිර්මාණය කිරීම තමයි එහි අර්ථය). වම කොහොමත් ධනේශ්වර සතුරෙක් (රාක්ෂයෙක්) නිර්මාණය කරනවා. විජේවීර නම් අධිරාජ්‍යවාදයට අමතරව ඉන්දියන් සතුරෙක් පවා නිර්මාණය කළා.  ඉතින් පරිකල්පනීය බටහිර සතුරා මුල් කරගත් සයිකෝසියාව අවසන් වෙන්නේ භ්‍රාන්තියකින් (hallucination). ඒ කියන්න පරිකල්පනීය සතුරා සෑමවිටම තමන්ට පේන්න ගන්නවා. තමන් ළඟට ඇවිල්ල කරදර කරනවා වගේ පේනවා. තමාගේ සංගත භාවය අසමතුලිත කරනවා වගේ පේනවා. මේකෙන් ගැළවෙන්න නම් ගොඩක් සිගරට්, අරක්කු, ගංජා බොන්න වෙනවා (වමේ අය මෙච්චර බොන්නේ ඇයි කියල දැන් තේරෙන්න ඕනි). Psychotic disorders are severe mental disorders that cause abnormal thinking and perceptions. People with psychoses lose touch with reality. Two of the main symptoms are delusions and hallucinations. Delusions are false beliefs, such as thinking that someone is plotting against you or that the TV is sending you secret messages. Hallucinations are false perceptions, such as hearing, seeing, or feeling something that is not there. ඔවුන්ට ඇත්ත ලෝකයේ නැති දේවල් පෙනෙන්න ගන්නවා. රූපවාහිනිය රහස් පණිවුඩ එවනවා වගේ තේරෙනවා වුනාට එය සත්‍යය නෙවෙයි. කවුරුහරි තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියල මේ රෝගීන් හිතනවා. ඒ නිසා ඒ අය ඉන්නේ හැංගිලා (කළුවර කාමර වලට මේ අය ආසයි). ඉතින් විශ්ව විද්‍යාල ගුරුවරු, උපකුලපති වරු, දේශපාලන නායකයෝ වගේ අය ධනේශ්වර බටහිර ගැති සතුරන් හැටියට තමයි ඔවුන්ට උගන් වන්නේ. ඉතින් සමහර තනතුරු දරන අයට දේශපාලන පත්වීම් ලැබුණට මේ මිනිස්සු සතුරෝ නෙවෙයි. සාමාන්‍ය පවුල් වලින් ආපු ඒ මිනිස්සු මාර උත්සාහයක් දරනවා තමන්ගේ විශ්ව විද්යාල උසස් තැනකට ගන්න. ඇත්තටම සමහර උප කුලපති වරුන්ට නිදාගන්න වත් වෙලාව නැහැ. ඒ තරමට ඔවුන්ට වැඩ. මේවා ශිෂ්‍යයෝ දන්නේ නැතුවා නොවෙයි. දන්නවා. එත් නොදන්නවා වගේ ඉන්නවා. මේ වනවිට විශ්ව විද්යාල වලට පුදුම තරම් සම්පත් ගොඩක් ලැබිල තියෙනවා (අරගල නිසා නෙවෙයි). නමුත් ශිෂ්‍ය ප්‍රජාව ඒවා පාවිච්චි කරන්නේ නැතුව තව තව ඉල්ලනවා හිස්ටරික ලෙස (හිස්ටිරියාව කියන්නේ සයිකෝසියාවේ ආතතිය සුව කරගන්න බැරි වීම නිසා ඇතිවන විමෝචක තත්වය. 'සිංහල පරිකල්පනීය  සතුරා' ඉදිරියේ ශරීරය පුපුරවා ගෙන මැරුණු කළු කොටි ගැන සිතන්න). 

මේ තරම් සම්පත් නොතිබුණු කාලයක පවා මිට වඩා හොඳ ප්‍රතිපල අපේ විශ්ව විද්‍යාල පෙන්වල තියෙනවා. එතකොට මේ අරගල ආකෘතිය 'රැඩිකල් කරණය' වෙලා තිබුණේ නැහැ. මේක පටන් ගන්නේ බොහොම මෑතක ඉඳල. මෙම තත්වය සඳහා මුලික පදනම සකසන්නේ මනෝ විශ්ලේෂණය විසින් මයි. ඒ කියන්නේ පවත්නා සිර ගත වීමෙන් (deadlock) එළියට එන්න බැරිනම් පවත්නා සංකේත පිළිවෙල උල්ලංඝනය කරන්න කියල කියන සමකාලින රැඩිකල් සිතුවිල්ලෙන් තමයි මේක පටන් ගන්නේ (ඒ කියන්නේ ලෙනින් කළ දෙයම අප නැවත කරමු කියන තැනින්). එම සංකල්පය විසින් රැඩිකල් ඉස්ලාමීය සටන් ආකෘතිය සාධාරණීකරණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරි දනේශ්වර විරෝධී සටන් ප්‍රවාහය එන්නේ ඉස්ලාමය තුළින් වියහැකි බවට පවා ඔවුන් පුරෝකථනය කරනවා. ඒ කියන්නේ වෙන කිසි දෙයක් නැති වෙලාවක ඉන්නේ ඉස්ලාමීය සටන් කරුවන් පමණක් වන වෙලාවක එම ඉස්ලාමීය අරගල ආකෘතිය සාධාරණ යැයි කියා සිතෙන එකේ වැරැද්දකුත් එක අතකට නැහැ තමයි. නමුත් මේකට තමයි අපේක්ෂා භංග චින්තනය කියන්නේ.  ඉතින් මෙම අපේක්ෂා භංග චින්තනයෙන් අපි වහාම ඉවත් වෙන්න ඕනි. ඉවත් වෙලා නව විදියකට හිතන්න පුරුදු වෙන්න ඕනි. මොකද මිනිසා තුළ තිබෙන පැවැත්ම (survival) හෙවත් ප්‍රවර්තනය පිළිබද භුමියේ කොන්දේසිය මේ වනවිට තාක්ෂනය විසින් ඉවත් කරමින් තිබෙනවා යන්න තමයි සත්ගුරු මුණිගේ නිරීක්ෂණය. ඒ කියන්නේ ෂෙලින් කිව්ව් දෙය උඩු යටිකුරු වෙනවා.  ඒ කියන්නේ මිනිසා පැවැත්ම සඳහා භුමිය තුළ 'නපුර' (evil) පවත්වා ගත යුතුයි මොකද අනෙකාට වඩා තමන් ආහාර ලබා ගන්න ඕනි නිසා. නමුත් තාක්ෂනය විසින් මෙම 'භුමියේ සත්‍යය' වෙනස් කරමින් තිබෙනවා. මේ වනවිට ආහාර කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි (ඇමෙරිකාවේ ගන්න කෙටි කෑම වල මුදලින් ලෝකයට ම කන්න දෙන්න පුළුවන්. මාක්ස් වාදීන්ට කියන්න පුළුවන් අන්න අසමාන තාවය කියල). තොරතුරු කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ගණිතය කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. රුසියාවේ කාළගුණය අපේ රටේ ඉඳල බලාගන්න කෙනෙකුට වැය වෙන්නේ විනාඩියයි. විදේශ භාෂා උගන්වන්න ඕනි වෙන එකක් නැහැ ඉස්සරහට මොකද කුඩා උපකරණයකට ඕනිම භාෂාවක් දැන් පරිවර්තනය කරන්න පුළුවන් විනාඩියෙන්. ඉතින් මිනිසා භෞතික බරින් ක්‍රමානුකුලව නිදහස් වෙමින් පවතිනවා යන්න තමයි සත්ගුරු ගේ නිරීක්ෂණය. එහෙම වුණොත් මිනිසාට පුළුවන් තමාගේ මුලික අවශ්‍යතා සහ දැනුම සහ තොරතුරු ගැන වද වෙන්නේ නැතුව තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය ගැන නිර්මාණශීලි ලෙස සිතන්න. මිනිසාට ඇත්තටම විශ්වීය වෙන්න (cosmic) පුළුවන් වෙනවා. එහෙම වුණොත් මිනිසා සත්‍ය ලෙස නිදහස් වෙනවා කියල සත්ගුරු කියනවා.        
                 

ඒ කියන්නේ ඉදිරි අනාගතය අයිති වෙනස්ම මිනිසුන් කොටසකට. බටහිර මේ තරම් සත්ගුරු, ඕෂෝ වගේ ඉන්දියානු අධ්‍යාත්මික මුණි වරුන් ජනප්‍රිය වෙන්නේ ඔවුන්ට දැන් ඔවුන්ගේ චින්තනයේ සීමාකම අවබෝධ වෙමින් පවතින නිසයි. 'බිඳ වැටෙන සුළු එකම දෙය මිනිසා පමණක් නොවේ. මිනිසා විසින් ගොඩනගන ලද සියල්ලමත් බිඳ වැටෙන සුළුයි. එසේම එය විය යුතුයි. ඇයි අපි මිනිස්සු ගැන විතරක් කතා කරන්නේ? ඇයි සත්තු සිපාවෝ? එයාලත් මේ ලෝකයට අයිතියි. අපි හිතන්නේ පවතින්නේ මිනිස්සු විතරක් කියල. නමුත් සත්තු පවා සාන්දෘස්ටික ලෙස පවතිනවා. අපි පවතින්නේ අපේ පැවැත්ම සහතික කර ඇති නිසා. මිනිස් ඉතිහාසය කියන්නේ අපේ පැවැත්මේ අරගල ඉතිහාසය (struggle for survival). නමුත් අපේ පැවැත්ම පිළිබද බල අරගලය නිමා වීමට ඉතා ලඟයි. එවිට පමණක් ඇත්ත මිනිසා මතුවනු ඇති. පැවැත්මේ ප්‍රශ්නය මිනිසා විසඳා ගත්ත දවසට ඇත්ත මිනිසා එලියට එනවා. අපේ තොරතුරු ප්‍රශ්නය ස්මාර්ට් දුරකථනය ඉතා නුදුරේ විසඳා දීමට නියමිතයි. තාක්ෂනය තව තවත් වේගවත් වෙන්න ඕනි මොකද අපේ මේ තියෙන කුඩා ප්‍රශ්න රාශියක් එය විසින් විසඳලා දෙනවා'. සත්ගුරු තවදුරටත් මෙහෙම කියනවා 'සියලු ශිෂ්ටාචාර මිනිසා යටත් කිරීම ගැන සිතන විට ලොව පැරැණිම ශිෂ්ටාචාරය වන ඉන්දියානුවන් සිතුවේ මිනිසා නිදහස් කරන්නේ කෙසේද යනුවෙන්'. ඉතින් විමුක්තිය කියන්නේ ද්‍රව්‍යමය ලෝකය ජයගැනීම විතරක් නෙවේ. දුප්පත් කම නැති කිරීම විතරක් නෙවෙයි. දුප්පත් කම කියන්නේ ලෝක බැංකුවෙන් පෙන්වා දෙන සංඛ්‍යා ලේඛන වලින් කියන දෙයත් නෙවෙයි. අපේ රටේ මිනිස්සු කොච්චර ඉන්නවද ඇමෙරිකාවේ ඒක පුද්ගල වියදම් මට්ටමට ලං නොවන. ඉතින් දියුණුයි කියල කියන්න අපිත් ඒ මිනිස්සු වගේ පරිභෝජනය කරන්න ඕනිද? සංවර්ධනය කියන්නේ ඒකද? උන් ඩොලර් තුන් සීයක් දවසකට කඩ චෝරු කන්න වියදම් කරනවා නම් අපිත් එහෙම කරන්න ඕනිද? ඉතින් ජිජැක් විසින් ආසියාතික නිෂ්ක්‍රිය (Asiatic inertia) බව කියන්නේ ඉහත පරිදි 'ගෝලීය නොවන' මිනිසුන් වන අපටද? මම හිතන්නේ අපි විශේෂයෙන් ආසියානු වන් හැටියට හිතන විදිය වෙනස්. 'අපි බටහිරට වඩා බටහිර' වෙන්න ඕනි ඒ අයගේ පාරේ ගිහිල්ල නෙවෙයි. ජිජැක් විසින් මාවෝ ගොඩක් වර්ණනා කරන්නේ මාවෝ එයාලගේ පාරේ යන්න ගිය කෙනෙක් නිසා. ප්‍රචණ්ඩ බව තමා ඔහුගේ මාර්ගය වුණේ. නමුත් ඉතිහාසය පුරා ආසියාතික අපේ මාර්ගය වුණේ අවබෝධය ඔස්සේ මිනිස් ආත්මය වෙනස් කරන එක. අපි හිතන්නේ ද්‍රව්‍යය (substance) සිසාරා යන්නේ කොහොමද කියල නෙවෙයි. ද්‍රව්‍යය කුඩා කුඩා අංශු වලට කඩල නැත්නම් ගෙම්බෙක් කපල බලල අපිට අනෙකාගේ ආත්මය තේරුම් ගන්න බැහැ (කැමරා ශරීරය ඇතුලට දැමීම වගේ දෙයක්). අපි කරන්නේ අනෙකාගේ ආත්මය අප තුලට උකහා ගැනීම කියලයි සත්ගුරු කියන්නේ. විනාශ කිරීම නෙවෙයි. මාවෝ විසින් එහෙම කළා කියල ඇහෙන කොටත් අපිට යම් දෙයක් වැරදුණා කියල ආත්මීය ව තේරෙනවා. සමහර විට බුද්ධිය එසේ නොවෙයි කියල කියන්න පුළුවන්. කොහොම වුනත් ඉතින් අපි අපේ පුර්වගාමින්ට වැරදුන තැන් නිවැරදි කරගෙන ඉදිරියට යමු.    

මාක්ස්වාදය කියන්නේ අනෙක් සෑම දෙයක් වගේම සීමාසහිත අනන්‍ය තාවයක්. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ඒ වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම  මුග්ධ කමක්. ආගම මිණී මරල තියෙනවා කියල අපි දන්නවා. ඒ නිසා මාක්ස්වාදය ආගමක් කරන්න එපා. හැමෝම මේ විශ්වයේ පවතින්න ඕනි ඒ අයගේ වෙනස්කම් එක්කම. හැමෝම කියන කොට මිනිස්සු වගේම සතා සීපාවා පවා එයට අයිතියි. වෙනස් කම් එක්කම අපි විශ්වයේ අන්තරීක්ෂව ගමන් කරනවා. නැවතීමක් ගැන කියන්න බැහැ.                
   
සරසවි නවකවදයෙන් සිසුහු 14ක් මිය ගිහින්      

Saturday, August 11, 2018

ලෝකය සෑම විට ම චලනය වෙමින් ඇත...


විශිෂ්ට පශ්චාත් යටත් විජිත ලේඛකයෙක් වූ වී. එස්. නයිපෝල් (1932 - 2018) වසර අසූ පහක් ආයු වළඳා අද (11) අප අතරින් වියෝවී ඇත. අපගේ ලෝකය සම්බන්ධයෙන් ඔහු වඩාත් වැදගත් වන්නේ නිර්-යටත්විජිත අසමත් භාවය විසින් යටත් විජිත ලෝකයේ සර්වාධිකාරී පාලකයින් ඉස්මතු වීමේ රෝග ලක්ෂණය නිරික්ෂණය කරන නිසාවෙනි. විශේෂයෙන් ඔහුගේ A Bend in the  River (1979) සහ Among the Believers (1981) යන කෘති තුළ මේ ලක්ෂණය මොනවට පැහැදිළි කර ඇත. මීට දශක කිහිපයකට පෙර ලියවුන ද ඔහුගේ කෘති බොහොමයක් විසින් පශ්චාත් යටත් විජිත ලෝකයේ ගැඹුරු දේශපාලන ප්‍රවණතා සහ පරස්පරතා නිරීක්ෂණ කර ඇත. නුතනත්වයේ ක්ෂිතිය සහ බටහිර ලෞකිකකරණය සඳහා ඇති ඉර්ෂ්‍යා ව විසින් පෙරදිග ආත්මය භින්නෝන්මාදි කර ඇති අතර බටහිරට වෛර කරන ගමන් ම ටොයෝටා වාහනවල යමින්, ජී-ෂොක් අත් ඔරලෝසු බඳිමින්, KFC කමින්, ඇපල් ෆෝන් කණේ ගසා ගෙන ආඩම්බරයෙන් යන දෙකට බෙදුණු  පශ්චාත් යටත් විජිත මිනිසා (hybrid subject) නයිපෝල් ගේ දැක්මට හසුවේ. මේ තත්වය ලංකාවට බෙහෙවින් අදාලය. බටහිරට බැන බැන පර්මිට් වලින් හයිලෑන්ඩර් වල යන ගමන් අපේ ලාංකික විෂය කල්පනා කරන්නේ නැවතත් ඒකාධිපතියෙක් රජ කරවන්නේ කෙසේද යනුවෙනි. ගමෙන් කොළඹ අවුත් නැවත ගමට යන සාමාන්‍ය ජනයාගේ සිහිනය ද ඒකාධිපතියෙකි. දුම්රිය වර්ජනය දා හවස කොටුවේ දක්නට ලැබුණේ අපේක්ෂා භංග ඉහත විෂය හමුදා පාලනයක් ඉල්ලන අයුරුය. සුද්දට හරි ආයේ මේක දීපල්ලා...හමුදාව දාපල්ලා...වරෙව් චන්දෙ ඉල්ලන්න ගමට...බලාගම්මු අපි... මට කැවුතු කන්න දීපල්ලා... (මිණි කන සිංහල බෞද්ධ ආත්මය) යනුවෙන් බැණ අඬ ගසන මෙම හිස්ටරික විෂය පෙන්වුවේ 'ඊජිප්තු අරගල' මොඩලයක ආරම්භයයි (සුද්දට හරි අයේ දෙන්න කියන්නේ අපගේ අසමත් බව වගේම අප සුද්දාට අවිඥානික ලෙස තවමත් ප්‍රේම කරන නිසාය (වේදනාවේ ප්‍රේමය)). නමුත් ඉහත කැවුතු කන්න ඉල්ලා සිටියේ කාගේද? එදා දිනයේ හැර අන් සෑම දිනක ම තමාව කොළඹ ගෙනා දුම්රිය සේවකයින්ගේ ය. මෙයින් අදහස් කරන්නේ දුම්රිය වර්ජනය නිවැරදි බව නොවේ (මේ වනවිට හැමෝ ම තම අයිතීන් ගැන කියනවා විනා තම යුතුකම කරන්නේ නැත). නමුත් අප ආපතික මොහොතක ක්‍රියාකරන සිංහල බෞද්ධ ක්‍රමය මෙයද යන්න ගැටළුවක් නොවේද? යම් හදිසි තත්වයකදී පෙන්විය යුතු තැන්පත් බව වෙනුවට අප කළේ කුමක්ද? කැමරා ඉදිරියේ ප්‍රචණ්ඩ ෆේස් බුක් වීරයින් බිහිවීමය. ඔවුන්ගේ ඉල්ලීම සරලය. ඔවුන් කිවේ එකම එක දෙයකි. "අපට ඉක්මනට ගෙදර යන්න දීපල්ලා. අපේ අඹු දරුවෝ බලා ඉන්නවා" (මේ මිනිසුන් ගෙදර යාමට නොහැකි වුනොත් මිණී මැරීමට වුවද සුදානම්ය)  ඉතින් ප්‍රයෝගික වාම වාදීන් මෙසේ කියනු ඇත. අන්න බලන්න අරගලය ඇතුලෙ ම නායකයෝ බිහිවෙන හැටි. එදා කැමරා ඉදිරියේ කෑ ගැසූ එක් තරුණයෙක් කියා සිටියේ 'මට දීපල්ලා ජනාධිපති කම. මම කරලා පෙන්නන්න' යනුවෙණි. ජනාධිපති පත් කරන්නේ මහජන චන්දයෙනි. නමුත් ඒ තරුණයා එම වරය ඉල්ලා සිටියේ ජනාධිපති ගෙන් හෝ වෙනයම් නිර්නාමික ඒජන්තයෙක් ගෙනි (ඔහු කිසිවිටක තමා ඉදිරිපිට සිටි ජනතාව ට 'මාව පත්කරන්න' යනුවෙන් කිවේ නැත). ඇසිය යුතු ප්‍රශ්නය නම් ඔහු මරහඬ දුන් ඔහු ඉදිරිපිට සිටි මහජනතාව ඔහුව ජනාධිපති ලෙස පත්කරනු ඇත්ද යන්නය. අප ඒ තරුණයාට මතක් කර දෙන්නේ ඔහු ඉදිරිපිට සිටි ඔහුට විසිල් ගැසූ ජනතාව විසින් පත් කරන්නේ ඔහු නොව වෙනත් පිරිසක් බවය. මන්ද මීට වඩා විසිල් ලාල් කාන්ත ට ගසන බව අප දැක ඇත. නමුත් කිසිම විටක ලාල් කාන්ත ජනාධිපති වුවේ නැත. 'ජනතාවට' එසේ අවශ්‍ය වුවේ ද නැත. සත්‍ය පරස්පරය එය ය.  
           
ඉතින් ඉහත මයික් එකට කෑ ගැසූ තරුණයා යනු අප ජිවත් වන මෙම අපේක්ෂා භංග සමාජයේ ම එක් හඬකි. ඉතින් නයිපෝල් පෙන්වන්නේ ඉහත අරාජක තත්වය හැර අන් යමක් නොවේය. එකම දෙය නම් ඊජිප්තු අරගල පැමිණීමට පෙර සිට සිදුවූ සියලු පශ්චාත් යටත් විජිත අරගල (මතු නොව රුසියානු චීන රතු අරගල පවා) දැවැන්ත අසමත් බවක් දක්වා ගමන් කිරීමය. ඉරාන විප්ලවය, පකිස්තානය බිහිවීම, අප්‍රිකානු අරගල, ලතින් ඇමෙරිකානු යන මේ සියළු අරගල අවසානයේ ධනවාදය වැළඳ ගෙන ඇත. එසේ වන විට ම එම ලිබරල් ධනේශ්වර ව්‍යුහය විසින්ම ඒකාධිපතියන් බිහිකරමින් ඇත. ඉහත තරුණයා කෑ කෝ ගසද්දී අමතක කරන කරුණ නම් ඔහුගේ 'හඬ' පවා ඉහත ප්‍රපංචය විසින් මිලදී ගන්නා බවයි. ඔහු ඉදිරිපිට තිබු රූපවාහිනි මයික් විසින් කරනු ලබන්නේ එයයි. ඔහු ඉදිරිපිට සිටි ජනතාව ඉල්ලුවේ හමුදාව දමා හෝ මේ සියල්ල ක්‍රියාත්මක කළ යුතු බවයි. අපේක්ෂා භංග වීම යනු එයයි. ජිජැක් පවා කියා සිටින්නේ සංකේත පිළිවෙල උල්ලංඝනය කරන්න යනුවෙනි. මේ වනවිට හැමෝම කරමින් සිටින්නේද එයයි. නමුත් ජිජැක් කතා නොකරන දෙය නම් එම උල්ලංඝනයේ වාසිය යන්නේ කාටද යන්නය. කලයුතු දෙය වන්නේ උල්ලංඝනය කිරීම නොව ආපතික නිමේෂයක වඩාත් ආත්ම සංයමයෙන් වැඩ කිරීමයි (ගාන්ධි කල දෙය). එයින් කියන්නේ තමාගේ ක්‍රියාව විසින් අතිරික්ත වාසියක් වෙනත් කෙනෙකුට (සතුරාට) ලබා නොදීමය. අන් හැමෝම මෙන් ඉහත තරුණයා ද  කෑ ගැසුවේ ගෙදර 'උණුසුම' (මව) වෙත යාමට තිබු හදිසියෙන් විය යුතුය. ඔහුගේ හඬ ඉස්මතු කලේ ලාංකික අපේක්ෂාභංගත්වයේ ප්‍රකාශනය විය හැකිය. ඔහුගේ 'හඬ' විසින් ඉස්මතු කළ සත්‍යය එය වුවත් එම හඬින් ප්‍රයෝජන ගන්නේ ඒකාධිපතියන්ය යන්න ඔහුට මතක් කර දිය යුතුය. තරුණ පරම්පරාවේ ඉහත අපේක්ෂාභංග බව විසින් සහ හදිසි කුලප්පුව විසින් නිර්මාණය කරනු ලබන්නේ එම තරුණ පරම්පරාවේ ම මරණය බව ලංකාව කිහිප වරක් උදාහරණ සහිතව ඔප්පු කර ඇත. එතැනදී 'අසමත් බව' යනු එම තරුණයා කරන ක්‍රියාවම ය. එම හිස්ටරික ක්‍රියාව (රැඩිකල්) විසින්ම ඔහුටත් නොදැනීම ඔහුගේ ම මරණය ට අත වැනීමය (මෙය ඇන්ටිගනි ගේ ක්‍රියාව ලෙස ජිජැක් හඳුන්වා දෙන දෙයයි. ඔහුට බිරිඳක් සිටීනම් ඔහු ගෙදර ගිය පසු බිරිඳ හෝ මව විසින් ඔහුට තේරුම් කර දෙන දෙය පහත පරිදිය. 'කෝචිචිය නැති වුනාට අනේ ඔය බස් කොච්චර තියෙනවද. අපරාදේ ඔයා බොරුවට කෑ ගැහුවේ. බලන්නකෝ ටී. වී. එකෙත් ගියා. හැමෝටම නෝට් වුණා. ඔයා කෑ ගැහුවට මොකද පරිස්සම් වෙන්න. දන්නවනේ දේශපාලනය කියන්නේ මොකක්ද කියල' යනුවෙන් ගැහැණිය විසින් ඔහුට භුමියේ සත්‍යය මුණ ගස්වනු ලබයි). Among the Believers වැනි කෘතීන් වල එන චරිත හරහා නයිපෝල් කරනු ලැබුවේ ඉහත තරුණයින්ගේ චින්තන අසමත් කම පෙන්වා දීමය. බොළඳ බව පෙන්වා දීමය. බොළඳ බව විසින් නිපදවන සමස්තතා වාදය (totalitarianism) ගැන පෙන්වා දීමය. ඔහු වැදගත් වන්නේ ඒ නිසාය. 
      
කෙසේ වුවද ඔහුගේ දෘඪ විචාරකයින් (විශේෂයෙන් එඩ්වඩ් සයිද්) පෙන්වා දෙන්නේ නයිපෝල් විසින් පෙරදිග ලෝකයේ, විශේෂයෙන් ඉන්දියානු, ලතින් ඇමෙරිකානු, ඉස්ලාමික සහ අප්‍රිකානු ලෝකයේ, තිබුණ සහ තිබෙන විශිෂ්ට සාහිත්‍ය සහ සංස්කෘතික සන්දර්භයන් අමතක කර දමා ඇති බවය. විශේෂයෙන් යුරෝපීය ජාතින් විසින් හඳුන්වා දුන් චින්තනය සහ ජිවන ලෝකයේ උසස් බව පමණක් ඔහු විසින් උත්කර්ෂයට නඟා ඇති බව ඔහුට එරෙහිව ඇති ප්‍රධාන විචාරක චෝදනාවකි. ඉහත තරුණ පරම්පරාවට නුතන ලෝකයට එකපැහැර එළඹිය නොහැක්කේ නුතන යැයි ඔවුන් අත්දුටු යටත් විජිත ලෝකයේ බටහිර වටිනාකම් වලට වඩා උත්කෘෂ්ට වටිනාකම් යුරෝපීය ආගමනයට පෙර ලෝකයේ සනිටුහන් වී තිබීම හේතුවෙනි. විශේෂයෙන් ඉන්දීය පැරණි ලෝකයේ තිබු අහිංසාවාදය (non-violence) වැනි සංකල්පයක් මේ වනවිට විශ්වීය මානව වටිනාකමක් ලෙස පිළිගන්නා විට එවකට යටත් විජිත පාලකයන් එය තේරුම් ගත්තේ ගුප්ත බවක් නැත්නම් නපුංසක ගතියක් ලෙසය. නමුත් එය පෙරදිග ලෝකයේ ගැඹුරු ස්වයං අවබෝධයක් ලෙස තේරුම් ගන්නා විට බටහිර ජාතීන් මිළියන ගණනක් මිනිසුන් මරා දමා අවසානය. උදාහරණයක් ලෙස ඉන්දියානු සන්දර්භය තුළ තිබු විවිධත්වය සහ විවාදත්මක බව බටහිර ජාතීන්ට තේරුම් ගත නොහැකි විය. 'ඔබ යනු ඔබගේ ක්‍රියාවේ ප්‍රථිපල' (කර්ම) යන්න ඉන්දියානු සභ්‍යත්වයේ මුලය විය. ඉදින් තමන් කළ ක්‍රියාවේ 'කර්මය' යනු බටහිර වරදකාරිත්වය යි. අද ඔවුන් කුමක් කීවද, කුමක් කළද, කුමන තර්කය ඉදිරිපත් කළද, කුමන විද්‍යාව ඉදිරිපත් කලද ලෝකයේ අනියත, අනිත්‍ය ස්වභාවය සහ නිමාවක් නැති ශුන්‍ය බව ඔවුන්ටත් තරණය කල නොහැකිය. බටහිර වරදකාරිත්වය පිළිබද නයිපෝල් ලියා නැත්තේ නැත. නමුත් එයට අවශ්‍ය බර නයිපොල් විසින් පාවිච්චි කර ඇත්තේ ද යන්න කෙසේ වුවද සැක සහිත ය. අනෙක් අතට බටහිර චින්තනයේ සහ ප්‍රායෝගිකත්වයේ සීමාකම ඔහු මැනවින් සාකච්චා කර ඇත්තේද යන්න පවා තරමක් සැක සහිත ය. මන්ද අද වනවිට විද්‍යාවේ බටහිරට නැවත පෙරදිග දර්ශනයේ පිහිට පැතීමට සිදුව තිබීම හාස්‍යයකි. ඒ කෙසේ වුවද විචාරකයින් කුමක් කියන්නේ ද යන්න ඔහුට කිසිවිටක විශාල ගැටළුවක් වුවේ නැත. පෙරදිග ලෝකයේ දේශපාලන මුග්ධ කම චිත්‍රණය කිරීමේදී ඔහු ඉතාම වැදගත් විචාරකයෙක් පමණක් බව මෙහිදී සදහන් කරමි. එතැනදී ඔහු බටහිර කේන්ද්‍රීය ද යන්න එතරම් වැදගත් ප්‍රශ්නයක් නොවේ. ඔහු අපට කැඩපතක් වුවා පමණ ය.         
 

"ලෝකය සෑම විටම චලනය වෙමින් ඇත" යන්න නයිපෝල් ගේ වැකියකි. එම චලනය වන ලෝකයේ අප ද, අපගේ සවිඥානය ද, අනෙකා ද, යන සියල්ල ම චලනය වේ. ඉදින් සියල්ල වෙනස් වෙමින් චලනය වන විට මතවාදයක් පමණක් වෙනස් නොවී තිබිය නොහැක. පැරණි ලෙස තවදුරටත් සිතිය නොහැක. පැරණි ලෝකය අවසන්ය.     

අප ඔහුගෙන් ඉගෙණ ගනිමු...