Friday, August 17, 2018

මාක්ස්වාදයේ මියගිය අධ්‍යාත්මය හෙළිදරව් කිරීම...



(න්‍යායික ප්‍රතිචාරයක් නොව න්‍යායට එරෙහි වේගාත්මක සටහනකි
මාක්ස් ලෙනින් වාදය ගැන එතරම් උනන්දු නැති කෙනෙක් උනත් 'ගුරු ගීතය' කියන කෙටි විප්ලවීය නවකතාව ගැන දන්නවා. එහෙම දැනගන්න හේතුව තමයි ඒ නවකතාවේ ඉන්න  දුයිෂෙන් කියන චරිතය විසින් සිදු කරන විප්ලවීය ක්‍රියාව ලොව පුරා ගෞරවාදරයට ලක්වීම. දුයිෂෙන් කරන දෙය තමයි කිසිවෙක් නොසිතුව නොවැදගත් චරිතයක් තම ජාතියට සහ සමාජයට ඉතාම වැදගත් කෙනෙක් බවට පත් කිරීම. ඒ කියන්නේ තමන්ට මුණගැසුණු අල්තිනායි නම් කුඩා දියණිය රටේ වැදගත් මහාචාර්ය වරියක් දක්වා පරිණාමය වීමට උදව් කිරීම නම් ක්‍රියාව සිදු කිරීම. අධ්‍යාපනයේ විශ්වීය බව ලෝකයට පෙන්වීම සහ අධ්‍යාපනය සඳහා විප්ලවීය දේශපාලනය දෙන අද්විතීය ස්ථානය සලකුණු කිරීම තමයි එම නවකතාවේ සාර්වත්‍රික හරය. දුයිෂෙන් කරන්නේ යම් නිශ්ශබ්ද විප්ලවයක්. පාසල් යන දුවණියක් එක් අඩියකින් තව අඩියකට ඔහු ඔසවා තබනවා. එච්චරයි. එහෙම තමන්ගේ වැඩේ කරලා දුයිෂෙන් සද්ද නැතුව ඉන්නවා. 'මම තමයි කෙරුවේ' කියල තමන්ගේ අහම අධිනිශ්චය කර ගන්නේ නැහැ (තියෙන්නේ පරාර්ථකාමය). හුගක් අය සත්ගුරු මුණි විසින් ලෝක ගෝලය පුරා සිදුකරමින් යන චින්තන විප්ලවය හඳුන් වන්නේත් නිශ්ශබ්ද අරගලයක් කියල (silent revolution). එම අරගලය ප්‍රචණ්ඩ නැහැ. බලහත්කාරකම් කරන්නේ නැහැ. මතවාදය බලෙන් පටවන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මිනිසා වෙනස් කරන්න යොදන ජිජැක් ගේ 'ක්‍රිස්තියානි ආදරයේ ප්‍රචණ්ඩ බව' වත් එහි දැක ගන්න ලැබෙන්නේ නැහැ. මොකද එහෙම බලය සහ ප්‍රචණ්ඩ බව ඔස්සේ මිනිස්සු වෙනස් කරන්න බැහැ. මිනිස්සු වෙනස් කල හැකි එකම ක්‍රමය ස්වයං අවබෝධය පමණයි. මාවෝ චීනයේ බෞද්ධ පදනම් විනාශ කළාට මොකද යම්කිසි අධ්‍යාත්මික බවක් අවශ්‍යයෙන්ම තියෙන්න ඕනි අපේ විප්ලවීය මොඩලය තුල. ඒක තමයි ආසියාතික විප්ලවීය මොඩලය. මාවෝ විසින් සංස්කෘතික විප්ලවය නාමයෙන් මිලියන තුනක් මිනිස්සු මරනවා අතීතය මරා දමන්න ඕනි නිසා. නමුත් ඩෙන් ෂියාවෝ පෙන් විසින් නැවතත් ආගම රැගෙන එනවා. ඒ කියන්නේ රටේ ඉතිහාසයේ අධ්‍යාත්මය මරා දමන්න මාක්ස්වාදයට බැරි වෙනවා. ගාන්ධි, සත්ගුරු සහ ඕෂෝ වගේ අය ගැන බටහිර උනන්දු වන්නේ ඔවුන්ගේ සද්භාවී අනෙකා අප වන නිසා. අපත් ඔවුන් වගේ වුනොත් කෝ එතකොට අපි කියල දෙයක්? අපි අපි බවට පත් වෙන්න ඕනි මිසක් අපි ඒ ගොල්ල වගේ වෙන්න ඕනි නැහැ. ඉතින් මේ හැදින්වීම කලේ වෙනත් කරුණක් ගැන කියන්න. 
      
රුහුණු විශ්ව විද්‍යාලයේ කරන ලද කතාවක් පාදක කරගත් ඉහත වීඩියෝව මගින් උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ උසස් අධ්‍යාපනයේ දැන් පවතින තිත්ත ඇත්ත. මීට කලින් මේ අඳුරු අශ්ලීල සත්‍යය සමාජයට හෙළිදරව් කළේ අපි වැඩිය කැමති නැති එස්. බි. දිසානායක. දැන් නම් ඒක නිරාවරණය කරන්නේ මෙතුමා. ඇමතිවරයා විසින් කරන්න හදන නවක වධය කියන ප්‍රපංචය මුලිනුපුටා දැමීම නම් කරුණ ගැන ඉතාම සතුටුයි. ඉතිහාසය දිහා බලපුවම ඒක කරන්න ගොඩක් අමාරු දෙයක්. මොකද වේදනා විදින්න ආශා චරිත තමයි මේ යුගයේ එලියට එමින් පවතින්නේ. නිදහස් වෙන්න කැමති අය මේ කාලේ හුගක් අඩුයි. කොහොම වුනත් එතුමා කරන්න හදන වැඩේ සාර්ථක වුනොත් විතරයි ලංකාවේ දරුවන්ට අනාගතයක් තියෙන්නේ. විශ්ව විද්‍යාල ගුරුවරු කොච්චර නවක වධයට විරුද්ධයි කියල කිව්වත් එක වචනයක් ප්‍රසිද්ධියේ ලියන්නේ කියන්නේ නැහැ වමේ කියන දේශපාලන ප්‍රපංචය ට තියෙන බිය නිසා. වම විවෙච්චනය කලොත් පව් සිද්ධ වෙනවා වගේ හැඟීමක් තමයි හැමෝට ම තියෙන්නේ. අනික් අතට වමේ දේශපාලනය තමාගේ අනන්‍යතාවය පවත්වා ගැනීමටත් මේ ගුරුවරු පාවිච්චි කරනවා. ළමයි අතර ජනප්‍රිය වෙන්න ඔවුන් වමේ ලේබලය බලෙන් තමන්ගේ ඇඟේ එල්ලා ගන්නවා.  කතා පවත්වනවා. මොකද දකුණේ (ධනේශ්වර) නම් ප්‍රතිගාමි කියල ලේබලයක් කොහොමත් තියෙන නිසා. එයා 'ලෙෆ්ට් එකේ' කෙනෙක් කියල ඇහෙනකොට හරි ආඩම්බරයක් ඔවුන්ට එනවා හරියට 'සියල්ල දත්' වගේ. වමේ දයලෙක්තිකයෙන් සියල්ල විසංයෝජනය කළ හැකි 'ප්‍රගතිශිලි' චණ්ඩියෙක් වගේ තමයි ඔවුන් විශ්ව විද්‍යාල කොරිඩෝවල ගමන් කරන්නේ. නමුත් ගෙවල් වලට ගිහිල්ල බලපුවම තේරෙනවා කොතරම් පාරිභෝගික භාණ්ඩ ගොඩ ගසා ගන්න ඔවුන් මහන්සි වෙනවද කියල.  

ලංකාවේ ගොඩක් ජනප්‍රිය දේශපාලනික සහ සංස්කෘතික බ්ලොග් අඩවි කිහිපයක් තිබුණත් (සාමාන්‍යයෙන් දවසකට එම අඩවි කියවන අය දාහට වැඩියි) ඒ කිසිම කෙනෙක් නවක වධයට විරුද්ධව කිසිම දෙයක් ලියන්නේ නැහැ. මොකද ඒ හැමෝම හිතනවා මොකක් හරි අපි නොදන්න 'වාමාංශික හොඳක්' නවක වධය ආශ්‍රිතව සම්ප්‍රේෂණය වෙනවා කියල. මේඝන් ම(ර්)කල් ගේ පෑන්ටිය ගැන පණ දාගෙන එක හුස්මට ලියන අය රටේ අනාගතය තීරණය කරන දරුවන්ගේ සුභ සිද්ධිය ළඟට එනකොට මීයට පිඹපු සද්දයක් නැහැ. සත්‍යයෙන් අපිව ඈත් කරලා තියෙන ඇත්ත පිස්සු තත්වය මේක නෙවෙයි ද කියලත් හිතෙනවා වෙලාවකට. මම කියන්නේ මෙච්චරයි. අපේ අනාගත පරපුර මේ විපරීත 'මාක්ස්වාදීන්' (මේ අය ඇත්ත මාක්ස්වාදීන් නෙවෙයි) ගෙන් බේරා දෙන්න ඇමතිතුමණි. ඔබට පින් සිදු වෙනවා පළමු වසර ළමයි විඳින වධ වේදනා දැක්කම. ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ. කෑමක් කන්න දෙන්නේ නැහැ. පුස්තකාලය ට යන්න දෙන්නේ නැහැ. ඉංගිසි කතා කරන්න තහනම්. විදෙස් භාෂා කතා කරන්න තහනම්. පෝලිමට යන්න ඕනි. කුණුහරප කියන්න ඕනි. ඔන්න තත්වය. ඉගෙනීම එපා කරවනවා. ඒ වෙනුවට මුලධර්ම වාදයක් පතුරුවනවා. අපේ රටේ දක්ෂයෝ ඉන්නවා. එකම දේ අවස්ථාව දෙන්නේ නැහැ. ඉගෙනීමට තියෙන ආශාව සම්පුර්ණයෙන් විනාශ කරන්නේ ශිෂ්‍ය දේශපාලනය සහ ඒ පිටුපස ඉන්න එක්තරා මාක්ස්වාදය ජිරණය කරගන්න බැරි වුන පක්ෂයක් (හැබැයි උන්ගේ දරුවෝ ඉන්නේ පිටරට වල). වෛරය පමණයි ඔවුන් පතුරුවන්නේ. ලංකාවේ ඇත්ත සතුරා රාජපක්ෂ ල නෙවෙයි. ධනවාදයත් නෙවෙයි. ධම්මික පෙරේරා ත් නෙවෙයි. අන්න ඒ කියන ගුප්ත "බිම්ගත පක්ෂය" (පරිකල්පනීය සතුරෙක් නෙවෙයිඅනුභූතිකව ඇත්තට පවතින පිළලයක්). අපේ රටට අනාගතයක් ඕනි නම් මුලින්ම කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. එයින් එකක් තමයි රටේ මතවාදය හදන එක. රටේ අධ්‍යාත්මය හදන එක. අපේ අතීත උරුමය රැඩිකල් ලෙස නුතනත්වය ට පරිවර්තනය කරන එක (මෙහෙම කිව්වේ ඊයේ පෙරේදා අපි අතරින් වියෝ වුන විශිෂ්ට මාක්ස්වාදියෙක් වෙච්ච සමීර් අමීන් - radically transforming the historical heritage into modernity). ඇත්තටම ජපානය කලේ අමින් කියපු දෙයම තමයි. ඉස්සරහට යනවා නම් ඉතින් බිංදුවෙන් පටන් ගන්න වෙනවා. ලංකාවේ ආචාර්ය උපාධියක් තියෙන ඔබතුමාට වඩාත් හොදට තේරෙනවා ඇති ඉහත කරුණ. මොකද පිටරට ගිය හුගක් අය එන්නේ බටහිර සද්භාවය දේව වාක්‍ය කියල හිතාගෙන. ඉංග්‍රීසි ඉගෙන ගන්න එහෙම ඇමෙරිකාවට ගිහිල්ල ආපහු ආපු අයෙක් මේ මෑතක කිව්ව දෙයක් තමයි බටහිර තියෙන සෞන්දර්ය පිළිබද 'උසස් සාන්දෘස්ටික දැක්ම' අපිට කවදාවත් තේරුම් ගන්න බැහැ කියන එක (ජෙම්සන් ගේ මතය පුනරුච්චාරණ කිරීම). මම එයාට කියන්නේ 'අමාවතුර' නැත්නම් 'කව් සිළුමිණ' කියවන්න කියල. තමාගේ සංස්කෘතියේ අධ්‍යාත්මය උකහා ගන්නේ නැතුව කිසි විටක එවැනි අයට විශ්වීය වෙන්න බැහැ. කරන්න පුළුවන් බටහිර කොපි කරන එක විතරයි.     


ඊයේ හවස (17) මෙම බ්ලොග් සටහන ලියන්න පටන් ගත්තම මම පාවිච්චි කළ වචනය තමයි 'බිම්ගත දේශපාලන පක්ෂය' (the party underground) කියන එක. පුදුමයකට වගේ අද උදේ බලද්දී ඇමතිතුමා කියල තියෙන වචනය තමයි 'වාමාංශික පාතාලය' කියන එක. මට හිතුන මගේ වචනයට වඩා කොච්චර හරිද කියල ඇමති තුමාගේ වචනය. මේ පාතාලය තුළ සිද්ධ වෙන්නේ 'රැඩිකල්කරණය' (radicalize) කියන දේශපාලන ක්‍රියාව. ඒ සඳහා වෙනම පන්ති පැවැත් වෙනවා හරියට බෝකෝ හරාම්, අල් කයිඩා, තලේබාන් මට්ටමේ. එක පොතක හැර අන් කිසිම පොතක සත්‍යය නැහැ කියන මුලධර්මයේ ඉඳගෙන තමයි ඔවුන් තම සටන සංවිධානය කරන්නේ. ඒ එකම පොත ශුද්ධ වූ 'කුරාණය'. අපේ රැඩිකල් වම්මුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය තමයි 'කොමියුනිස්ට් ප්‍රකාශනය'. ඔවුන් හැම අයෙක්ම කොහොමත් යටි බිම් ගතයි මොකද එහි මනෝ විශ්ලේෂණ ආකෘතිය සයිකෝටික නිසා (දේශපාලන ප්‍රේරණයක් නැති තැනක  සතුරෙක් නිර්මාණය කිරීම ඇතුලේ නව දේශපාලන-මානසික ආකෘතියක් නිර්මාණය කිරීම තමයි එහි අර්ථය). වම කොහොමත් ධනේශ්වර සතුරෙක් (රාක්ෂයෙක්) නිර්මාණය කරනවා. විජේවීර නම් අධිරාජ්‍යවාදයට අමතරව ඉන්දියන් සතුරෙක් පවා නිර්මාණය කළා.  ඉතින් පරිකල්පනීය බටහිර සතුරා මුල් කරගත් සයිකෝසියාව අවසන් වෙන්නේ භ්‍රාන්තියකින් (hallucination). ඒ කියන්න පරිකල්පනීය සතුරා සෑමවිටම තමන්ට පේන්න ගන්නවා. තමන් ළඟට ඇවිල්ල කරදර කරනවා වගේ පේනවා. තමාගේ සංගත භාවය අසමතුලිත කරනවා වගේ පේනවා. මේකෙන් ගැළවෙන්න නම් ගොඩක් සිගරට්, අරක්කු, ගංජා බොන්න වෙනවා (වමේ අය මෙච්චර බොන්නේ ඇයි කියල දැන් තේරෙන්න ඕනි). Psychotic disorders are severe mental disorders that cause abnormal thinking and perceptions. People with psychoses lose touch with reality. Two of the main symptoms are delusions and hallucinations. Delusions are false beliefs, such as thinking that someone is plotting against you or that the TV is sending you secret messages. Hallucinations are false perceptions, such as hearing, seeing, or feeling something that is not there. ඔවුන්ට ඇත්ත ලෝකයේ නැති දේවල් පෙනෙන්න ගන්නවා. රූපවාහිනිය රහස් පණිවුඩ එවනවා වගේ තේරෙනවා වුනාට එය සත්‍යය නෙවෙයි. කවුරුහරි තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියල මේ රෝගීන් හිතනවා. ඒ නිසා ඒ අය ඉන්නේ හැංගිලා (කළුවර කාමර වලට මේ අය ආසයි). ඉතින් විශ්ව විද්‍යාල ගුරුවරු, උපකුලපති වරු, දේශපාලන නායකයෝ වගේ අය ධනේශ්වර බටහිර ගැති සතුරන් හැටියට තමයි ඔවුන්ට උගන් වන්නේ. ඉතින් සමහර තනතුරු දරන අයට දේශපාලන පත්වීම් ලැබුණට මේ මිනිස්සු සතුරෝ නෙවෙයි. සාමාන්‍ය පවුල් වලින් ආපු ඒ මිනිස්සු මාර උත්සාහයක් දරනවා තමන්ගේ විශ්ව විද්යාල උසස් තැනකට ගන්න. ඇත්තටම සමහර උප කුලපති වරුන්ට නිදාගන්න වත් වෙලාව නැහැ. ඒ තරමට ඔවුන්ට වැඩ. මේවා ශිෂ්‍යයෝ දන්නේ නැතුවා නොවෙයි. දන්නවා. එත් නොදන්නවා වගේ ඉන්නවා. මේ වනවිට විශ්ව විද්යාල වලට පුදුම තරම් සම්පත් ගොඩක් ලැබිල තියෙනවා (අරගල නිසා නෙවෙයි). නමුත් ශිෂ්‍ය ප්‍රජාව ඒවා පාවිච්චි කරන්නේ නැතුව තව තව ඉල්ලනවා හිස්ටරික ලෙස (හිස්ටිරියාව කියන්නේ සයිකෝසියාවේ ආතතිය සුව කරගන්න බැරි වීම නිසා ඇතිවන විමෝචක තත්වය. 'සිංහල පරිකල්පනීය  සතුරා' ඉදිරියේ ශරීරය පුපුරවා ගෙන මැරුණු කළු කොටි ගැන සිතන්න). 

මේ තරම් සම්පත් නොතිබුණු කාලයක පවා මිට වඩා හොඳ ප්‍රතිපල අපේ විශ්ව විද්‍යාල පෙන්වල තියෙනවා. එතකොට මේ අරගල ආකෘතිය 'රැඩිකල් කරණය' වෙලා තිබුණේ නැහැ. මේක පටන් ගන්නේ බොහොම මෑතක ඉඳල. මෙම තත්වය සඳහා මුලික පදනම සකසන්නේ මනෝ විශ්ලේෂණය විසින් මයි. ඒ කියන්නේ පවත්නා සිර ගත වීමෙන් (deadlock) එළියට එන්න බැරිනම් පවත්නා සංකේත පිළිවෙල උල්ලංඝනය කරන්න කියල කියන සමකාලින රැඩිකල් සිතුවිල්ලෙන් තමයි මේක පටන් ගන්නේ (ඒ කියන්නේ ලෙනින් කළ දෙයම අප නැවත කරමු කියන තැනින්). එම සංකල්පය විසින් රැඩිකල් ඉස්ලාමීය සටන් ආකෘතිය සාධාරණීකරණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරි දනේශ්වර විරෝධී සටන් ප්‍රවාහය එන්නේ ඉස්ලාමය තුළින් වියහැකි බවට පවා ඔවුන් පුරෝකථනය කරනවා. ඒ කියන්නේ වෙන කිසි දෙයක් නැති වෙලාවක ඉන්නේ ඉස්ලාමීය සටන් කරුවන් පමණක් වන වෙලාවක එම ඉස්ලාමීය අරගල ආකෘතිය සාධාරණ යැයි කියා සිතෙන එකේ වැරැද්දකුත් එක අතකට නැහැ තමයි. නමුත් මේකට තමයි අපේක්ෂා භංග චින්තනය කියන්නේ.  ඉතින් මෙම අපේක්ෂා භංග චින්තනයෙන් අපි වහාම ඉවත් වෙන්න ඕනි. ඉවත් වෙලා නව විදියකට හිතන්න පුරුදු වෙන්න ඕනි. මොකද මිනිසා තුළ තිබෙන පැවැත්ම (survival) හෙවත් ප්‍රවර්තනය පිළිබද භුමියේ කොන්දේසිය මේ වනවිට තාක්ෂනය විසින් ඉවත් කරමින් තිබෙනවා යන්න තමයි සත්ගුරු මුණිගේ නිරීක්ෂණය. ඒ කියන්නේ ෂෙලින් කිව්ව් දෙය උඩු යටිකුරු වෙනවා.  ඒ කියන්නේ මිනිසා පැවැත්ම සඳහා භුමිය තුළ 'නපුර' (evil) පවත්වා ගත යුතුයි මොකද අනෙකාට වඩා තමන් ආහාර ලබා ගන්න ඕනි නිසා. නමුත් තාක්ෂනය විසින් මෙම 'භුමියේ සත්‍යය' වෙනස් කරමින් තිබෙනවා. මේ වනවිට ආහාර කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි (ඇමෙරිකාවේ ගන්න කෙටි කෑම වල මුදලින් ලෝකයට ම කන්න දෙන්න පුළුවන්. මාක්ස් වාදීන්ට කියන්න පුළුවන් අන්න අසමාන තාවය කියල). තොරතුරු කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ගණිතය කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. රුසියාවේ කාළගුණය අපේ රටේ ඉඳල බලාගන්න කෙනෙකුට වැය වෙන්නේ විනාඩියයි. විදේශ භාෂා උගන්වන්න ඕනි වෙන එකක් නැහැ ඉස්සරහට මොකද කුඩා උපකරණයකට ඕනිම භාෂාවක් දැන් පරිවර්තනය කරන්න පුළුවන් විනාඩියෙන්. ඉතින් මිනිසා භෞතික බරින් ක්‍රමානුකුලව නිදහස් වෙමින් පවතිනවා යන්න තමයි සත්ගුරු ගේ නිරීක්ෂණය. එහෙම වුණොත් මිනිසාට පුළුවන් තමාගේ මුලික අවශ්‍යතා සහ දැනුම සහ තොරතුරු ගැන වද වෙන්නේ නැතුව තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය ගැන නිර්මාණශීලි ලෙස සිතන්න. මිනිසාට ඇත්තටම විශ්වීය වෙන්න (cosmic) පුළුවන් වෙනවා. එහෙම වුණොත් මිනිසා සත්‍ය ලෙස නිදහස් වෙනවා කියල සත්ගුරු කියනවා.        
                 

ඒ කියන්නේ ඉදිරි අනාගතය අයිති වෙනස්ම මිනිසුන් කොටසකට. බටහිර මේ තරම් සත්ගුරු, ඕෂෝ වගේ ඉන්දියානු අධ්‍යාත්මික මුණි වරුන් ජනප්‍රිය වෙන්නේ ඔවුන්ට දැන් ඔවුන්ගේ චින්තනයේ සීමාකම අවබෝධ වෙමින් පවතින නිසයි. 'බිඳ වැටෙන සුළු එකම දෙය මිනිසා පමණක් නොවේ. මිනිසා විසින් ගොඩනගන ලද සියල්ලමත් බිඳ වැටෙන සුළුයි. එසේම එය විය යුතුයි. ඇයි අපි මිනිස්සු ගැන විතරක් කතා කරන්නේ? ඇයි සත්තු සිපාවෝ? එයාලත් මේ ලෝකයට අයිතියි. අපි හිතන්නේ පවතින්නේ මිනිස්සු විතරක් කියල. නමුත් සත්තු පවා සාන්දෘස්ටික ලෙස පවතිනවා. අපි පවතින්නේ අපේ පැවැත්ම සහතික කර ඇති නිසා. මිනිස් ඉතිහාසය කියන්නේ අපේ පැවැත්මේ අරගල ඉතිහාසය (struggle for survival). නමුත් අපේ පැවැත්ම පිළිබද බල අරගලය නිමා වීමට ඉතා ලඟයි. එවිට පමණක් ඇත්ත මිනිසා මතුවනු ඇති. පැවැත්මේ ප්‍රශ්නය මිනිසා විසඳා ගත්ත දවසට ඇත්ත මිනිසා එලියට එනවා. අපේ තොරතුරු ප්‍රශ්නය ස්මාර්ට් දුරකථනය ඉතා නුදුරේ විසඳා දීමට නියමිතයි. තාක්ෂනය තව තවත් වේගවත් වෙන්න ඕනි මොකද අපේ මේ තියෙන කුඩා ප්‍රශ්න රාශියක් එය විසින් විසඳලා දෙනවා'. සත්ගුරු තවදුරටත් මෙහෙම කියනවා 'සියලු ශිෂ්ටාචාර මිනිසා යටත් කිරීම ගැන සිතන විට ලොව පැරැණිම ශිෂ්ටාචාරය වන ඉන්දියානුවන් සිතුවේ මිනිසා නිදහස් කරන්නේ කෙසේද යනුවෙන්'. ඉතින් විමුක්තිය කියන්නේ ද්‍රව්‍යමය ලෝකය ජයගැනීම විතරක් නෙවේ. දුප්පත් කම නැති කිරීම විතරක් නෙවෙයි. දුප්පත් කම කියන්නේ ලෝක බැංකුවෙන් පෙන්වා දෙන සංඛ්‍යා ලේඛන වලින් කියන දෙයත් නෙවෙයි. අපේ රටේ මිනිස්සු කොච්චර ඉන්නවද ඇමෙරිකාවේ ඒක පුද්ගල වියදම් මට්ටමට ලං නොවන. ඉතින් දියුණුයි කියල කියන්න අපිත් ඒ මිනිස්සු වගේ පරිභෝජනය කරන්න ඕනිද? සංවර්ධනය කියන්නේ ඒකද? උන් ඩොලර් තුන් සීයක් දවසකට කඩ චෝරු කන්න වියදම් කරනවා නම් අපිත් එහෙම කරන්න ඕනිද? ඉතින් ජිජැක් විසින් ආසියාතික නිෂ්ක්‍රිය (Asiatic inertia) බව කියන්නේ ඉහත පරිදි 'ගෝලීය නොවන' මිනිසුන් වන අපටද? මම හිතන්නේ අපි විශේෂයෙන් ආසියානු වන් හැටියට හිතන විදිය වෙනස්. 'අපි බටහිරට වඩා බටහිර' වෙන්න ඕනි ඒ අයගේ පාරේ ගිහිල්ල නෙවෙයි. ජිජැක් විසින් මාවෝ ගොඩක් වර්ණනා කරන්නේ මාවෝ එයාලගේ පාරේ යන්න ගිය කෙනෙක් නිසා. ප්‍රචණ්ඩ බව තමා ඔහුගේ මාර්ගය වුණේ. නමුත් ඉතිහාසය පුරා ආසියාතික අපේ මාර්ගය වුණේ අවබෝධය ඔස්සේ මිනිස් ආත්මය වෙනස් කරන එක. අපි හිතන්නේ ද්‍රව්‍යය (substance) සිසාරා යන්නේ කොහොමද කියල නෙවෙයි. ද්‍රව්‍යය කුඩා කුඩා අංශු වලට කඩල නැත්නම් ගෙම්බෙක් කපල බලල අපිට අනෙකාගේ ආත්මය තේරුම් ගන්න බැහැ (කැමරා ශරීරය ඇතුලට දැමීම වගේ දෙයක්). අපි කරන්නේ අනෙකාගේ ආත්මය අප තුලට උකහා ගැනීම කියලයි සත්ගුරු කියන්නේ. විනාශ කිරීම නෙවෙයි. මාවෝ විසින් එහෙම කළා කියල ඇහෙන කොටත් අපිට යම් දෙයක් වැරදුණා කියල ආත්මීය ව තේරෙනවා. සමහර විට බුද්ධිය එසේ නොවෙයි කියල කියන්න පුළුවන්. කොහොම වුනත් ඉතින් අපි අපේ පුර්වගාමින්ට වැරදුන තැන් නිවැරදි කරගෙන ඉදිරියට යමු.    

මාක්ස්වාදය කියන්නේ අනෙක් සෑම දෙයක් වගේම සීමාසහිත අනන්‍ය තාවයක්. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ඒ වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම  මුග්ධ කමක්. ආගම මිණී මරල තියෙනවා කියල අපි දන්නවා. ඒ නිසා මාක්ස්වාදය ආගමක් කරන්න එපා. හැමෝම මේ විශ්වයේ පවතින්න ඕනි ඒ අයගේ වෙනස්කම් එක්කම. හැමෝම කියන කොට මිනිස්සු වගේම සතා සීපාවා පවා එයට අයිතියි. වෙනස් කම් එක්කම අපි විශ්වයේ අන්තරීක්ෂව ගමන් කරනවා. නැවතීමක් ගැන කියන්න බැහැ.                
   
සරසවි නවකවදයෙන් සිසුහු 14ක් මිය ගිහින්      

No comments:

Post a Comment