Monday, December 31, 2018

සමපේක්ෂණය කරනු වෙනුවට යථාර්තය වෙනස් කරමු...


බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන එතරම් විශ්වාසයක් නොතිබ්බ ලී ක්වාන් යූ ගේ තවත් සිහිනයක් සැබෑ කරමින් ලෝකේ හොඳම ගුවන් සේවය හැටියට 2019 වසර සඳහා සිංගප්පුරු ගුවන් සේවය තේරිලා. සිංගප්පුරුව වෙන්න ගිය අපි බල්ලට ගිහිල්ලා. අපේ ගුවන් සේවය පාඩු පිට පාඩු ලබනවා. ගුවන් සේවා කෙසේ වෙතත් ගුවන් තොටුපොලින් එළියට එන්න පැයක් දෙකක් යනවා. මොකද පාස් පෝට් එක බලල එක්කෙනෙක් එළියට දාන්න එතන ඉන්න විගමණ සේවකයකුට විනාඩි විස්සක් විතර යනවා. නාකි බල්ලෝ කොළඹ යනවා වගේ. කාටවත් ගානක් නැහැ මේ රටට එන මිනිහෙකුට මුලින්ම මේ රට ගැන හොඳ හැඟීමක් දෙන්න ඕනි (first impression is the last impression) කියන එක ගැනආයෙත් මේ රට ට එන්න ආශා කරවන්න. ස්කෑනර් එකක් ගෙන්න ගන්න බැරි එවුන් කොහෙද තව ඉතින් සංචාරක ව්‍යාපාරේ දියුණු කරන්නේ. තමන්ගේ ලාභයට හැර හිනාවෙන්න දන්නේ නැති රටකට සංචාරකයෝ එයි ද?

කොහොම හරි හැබැයි ඉතින් අමාරුවෙන් ආගමන විගමණ පෝලිම් වල ඉඳල මේ රටට ආවම අම්මට උඩු දාර්ශනිකයෝ පිරිලා. ෆේස් බුක් පුරෝලා දර්ශනය කතා කරනවා. දර්ශනය ඇකඩමික් එකෙන් ෆේස් බුක් එකට මාරු වෙලා. පොඩි දේවල් නෙවේ කතා කරන්නේ. ප්ලේටෝ දුවන ජාතියේ මාතෘකා. මේ මොහොතේ අපි රටක් හැටියට කරන්න ඕනි මොකක් ද කියන එක කවුරුත් කතා කරන්නේ නැහැ (here and now). හැමෝම ආසයි මේ ඉන්න විදියට ම කෝපි කඩේ අත්තප්පල වගේ කතා පොජ්ජ දම දමා ඉන්න නිෂ්ක්‍රීය ෆේස් බුක් අවකාශයක. මොකද කතා කරන වැඩේ ලේසියිනෙ වැඩ කරනවට වඩා... 

ඇකඩමික් කතිකාවක් ගෙනියන්න ඕනි විශ්ව විද්‍යාල සමස්ත රටේ වැඩ පිළිවෙලින් විගලිතයි (රටට වැඩ පිළිවෙලක් නැහැ අනෙක් අතට). ඒක නිසා කතා කරන දෙය සහ කරන දෙය අතර තියෙන්නේ සමහන් කරන්න බැරි දුරක්. මේ දුරස්ථ බව පටන් ගත්තේ විවෘත ආර්ථික වැඩේ පටන් ගත්ත කාලේ ජේ. ආර්. විසින්. ඒ දක්වා දර්ශන දෙපාර්තමේන්තු (විශේෂයෙන් පේරාදෙණිය) හිටියේ සමස්ත වැඩේ ඇතුලේ. හිටපු මහාචාර්ය (දැන් ආචාර්ය) තිරු කන්දයියා පසුගිය දවසක කිව්ව විදියට එයාල කරමින් හිටියේ විජිත කරණයෙන් පස්සේ 'අපි කවුද?' (who we are?) කියන 'අහිමි අනන්‍යතා ප්‍රශ්නයට' (lost identity crisis) පිළිතුරු හොයමින්. සරච්චන්ද්‍ර තමයි ඒ වැඩේ පුරෝගාමියා. නමුත් සරච්චන්ද්‍ර ට පොළු පාර දීල ජේ. ආර්. වෙන දිසාවක ගියාට පස්සේ  අපි කාටවත් යන්න තැනක් තිබුනේ නැහැ (චින්තන දේශපාලනය කියන්නේ පොලු පාරක් කන වැඩක්). ඊට පස්සේ සිදුවුණේ අරමුණක් නැතිව එහෙ මෙහෙ යන එක (අද දක්වා ම මෙය සත්‍යයක්). රාජ්‍යයත් එහෙමයි. පුද්ගලයොත් එහෙමයි. දේශපාලන පක්ෂත් එහෙමයි. හැමෝම බලන්නේ තමන්ගේ වැඩේ විතරයි (මොකද වෙන වැඩක් නැති නිසා). මේක පුද්ගල ප්‍රශ්නයක් නෙවෙයි.  

සරච්චන්ද්‍ර කාණුව ට දැම්ම තැන ඉඳන් අද වෙනකල් ජේ. ආර්. කරපු වැඩේට අපේ පරණ පරම්පරාව එකඟ වුණේ නැහැ. අපි එකඟ වුනෙත් නැහැ. ඒ නිසා මෙතෙක් ජාතික වැඩ පිළිවෙල සහ දැනුම නිෂ්පාදනය අතර තිබ්බ යම් ආකාරයක සමාන්තර බව අහිමි වෙනවා. ඔක්ස්ෆර්ඩ් ඉදන් ආපු රජීව විජේසිංහ වගේ කෙනෙක් පේරාදෙණියෙන් ඉවත් වෙනවා සිරිමා බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය අහිමි කළා ට විරුද්ධව (අද බොරු ශ්‍රී ලංකා කාරයෝ මේවා දන්නේ නැහැ. මහින්ද ගේ ආණ්ඩුවෙන් මුලින්ම යන්නෙත් ඔහු. රනිල් ගේ ආණ්ඩුවේ බැඳුම්කර ප්‍රශ්නෙ ගැන මුලින් විරුද්ධ වෙන්නෙත් ඔහු). අනූව දශකයෙන් පස්සේ X කණ්ඩායම විශ්ව විද්‍යාල පතුරු ගැහුවට ඒ පරණ අයත් ඒ වෙලාවේ යමක් කරන්න උත්සාහ කළා. දර්ශන දෙපාර්තමේන්තු වලින් උත්සාහ කළා අපි කවුද යන ප්‍රශ්නයට උත්තර හොයන්න (ඒ වෙලාවේ තිබ්බ වැඩේ ඒක නිසා). පිට රටට පවා ගිහිල්ල බුදු දහම වගේ දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කළා තිබ්බ තත්වයන් එක්ක. නමුත් පාලකයෝ යන යන අතට දැනුම නිෂ්පාදනය කළේ නැහැ ඔවුන් (X එක දැනුම නිෂ්පාදනය කියන එකෙන් අදහස් කරන්නේ ඒක නම්). 

අනිත්‍ වැදගත් දෙය තමයි බටහිර විශ්ව විද්‍යාල වලින් දියුණු කරන දැනුම අපේ ලෝකය දියුණු කරන්න එක එල්ලේ ම ගැලපෙන්නේ නැහැ කියන එක. ඔවුන් ගොඩක් දියුණු වෙලා ඉන්නේ. අපි තාම මාර්ගයක් හොයමින් ඉන්නේ. ඉතින් අපි බටහිර කරන කරන විදියට නටලා හරියන්නේ නැහැ. අපි අපේ මොඩලයක් හදා ගන්න වුවමනා යි. බොරුවට තියරි පොවලා හරියන්නේ නැහැ අපේ ශිෂ්‍යයින්ට දියණු ලෝකයේ වගේ. යථාර්තය තියෙනවා ද නැද්ද වගේ දේවල් වලට වඩා උගන්වන්න දේවල් තියෙනවා අපේ ළමයින්ට (දැනුම දියණු කරන්න ඕනි නැහැ කියල නෙවේ මේ කියන්නේ). 

උදාහරණ හැටියට ලී ක්වාන් යූ කියනවා ඔහුගේ එක අරමුණක් වුණේ සමස්ත සිංගප්පුරු ජාතිකයින් එක පරම්පරාවක් යනකොට ප්‍රථම බස හැටියට ඉංග්‍රීසි (English as the first language) කතා කරන්න ඕනි කියන එක කියල. ඒ කියන්නේ ඔහුට අනුව ජාතීන් ගණනාවක් ඉන්න සිංගප්පුරුවේ යුරෝපීය අර්ථයෙන් මෙල්ටින් පොට් (melting pot) එකක් නැති නිසා භාෂාව තමයි හැමෝම බැඳ තබන හුය ලෙස ගත්තේ (එතකොට අපේ අරමුණු දියුණු ලෝකයෙන් වෙනස් කියන්නේ ඒකයි). නමුත් අවාසනාවට අපි කරේ පුර්ණ ඛණ්ඩනය වෙනුවට ඉංග්‍රීසි පැත්තකින් තියල ආපහු සිංහල වලට ගිය එක! අද සිංගප්පුරුව ගෝලීය වෙනකොට අපි ගොඩක් පසුගාමී යි. ආගම්වාදී යි. ජාතිවාදී යි. ප්‍රාදේශීයවාදී යි. මෙතැනින් රට ගොඩට ගන්න පුළුවන් පාලකයෙකුත් නැහැ අපිට.       

මට මතකයි එක සම්මුඛ සාකච්චාවකදී ලී ක්වාන් යූ ඇමෙරිකානු මාධ්‍ය වේදියෝ තොගයකට දෙනවා දුවන්න ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න ඇවිල්ලා (බලන්න Lee Kuan Yew Interview). ඔහු කීවේ යටත් විජිත තත්වයෙන් මිදිලා බටහිරට වෙනස් භෞතික තත්වයන් එක්ක අරගල කරන සිංගප්පුරු ජාතිය ට ඔය කියන බටහිර මොඩලය ඒ විදියට ම පිළිපදින්න බැහැ කියන එක (මේක ජිජැක් ට නම් අමිහිරි ඇති!). අපිට එහෙම කොන්ද තියෙන පාලකයෙක් හිටියේ නැහැ කෙළින් බටහිර ඉස්සරහ කකුල් වෙව්ලන්නේ නැතුව කතා කරන්න. 1968 වගේ ඈත කාලයක ලී ක්වාන් යූ කියනවා පෙරදිග ලෝකය කවදාහරි ඔලුව උස්සන බව බටහිරට අභියෝගයක් වෙන විදියට. දැන් ඒක ඇත්ත වෙමින් තමයි පවතින්නේ. 

තව එක දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන කතා කරපු සහ කතා කරන අය (මමත් ඇතුළුව) උත්තර දෙන්න ඕනි ප්‍රජාතන්ත්‍ර වාදයේ තියෙන ඇත්ත ප්‍රතිවිරෝධතා ගැන. රටක් විනෝදය පැත්තට යන එක වලක්වන්න එය අපොහොසත් කියන එකටත් ඇත්ත ම උත්තරයක් ඔවුන් නිපදවන්න ඕනි ලී ක්වාන් යූ වගේ අය ඇත්තට ම ප්‍රායෝගික විදියට කළේ මොකක් ද කියන එක සැලකිල්ලට අරන් (මාවෝ වගේම ඩෙන් ෂියාවෝ පෙන් වුනත් බටහිර අර්ථයෙන් ප්‍රජාතන්ත්‍ර වාදී අය නෙවෙයි). ඔවුන්ට තිබුණේ ඊට එහා ගිය විශ්වීය අරමුණු.  

ලී ක්වාන් යූ කියන්නේ තීක්‍ෂණ පාලකයෙක්. තාර්කික මිනිහෙක්. ඔහු කියන්නේ මගේ රටට ඇමෙරිකාවේ වගේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන ජාතියක් බිහි කරන්න ඕනි නැහැ කියල. පොඩ්ඩක් ඇත්නම් තුවක්කු ගන්න මිනිස්සු ඕනි නැහැ කියල. අපි පෙරදිග මිනිස්සු කියන එක කට ඇරලා කියනවා ඔහු. සිංගප්පුරුව ඇතුළේ චුයින්ගම් හපන්න දෙන්නේ නැහැ ඔහු ඇමෙරිකාවේ වගේ වෛද්‍ය සහතිකයක් නැත්නම්. ඇමෙරිකාව කරන කරන දේ ඔහු කරන්න ගියේ නැහැ. අවශ්‍ය දේ විතරක් කළා. ඒ නිසා විනෝද ජාතියක් හැදුවේ නැහැ ඔහු ධනවාදය ඇතුලේ (Pulp Fiction ඒකේ පෙන්නනවා වගේ). ඒ මොට්ට වැඩේ ජපානය කලෙත් නැහැ. මැලේසියාව කලෙත් නැහැ. චීනය කරන එකකුත් නැහැ (පුදුමේ කියන්නේ ජිජැක් ට ඒවා පේන්නේ නැති එක!).  

ඕනිනම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ලී ක්වාන් යූ වගේ අය උත්සාහ කලේ නුතනත්වයේ දුෂ්ට අන්තර්ගතය (evil content) නැති නුතනත්වයක් නිපදවන්න කියල. ඒ කියන්නේ නිකොටින් නැති සිගරට් හෝ මේද රහිත බටර් හෝ ඇල්කොහොල් නැති බියර් වගේ 'සාරය' අහිමි කරන ලද නුතනත්වයක් කියල. එතකොට තියෙන්නේ දුෂ්ට අන්තර්ගතය නැති (මරණීය අන්තර්ගතය නැති) නුතනත්වයක් කියල ජිජැක් තර්ක කරයි. එහෙම කරන්න ගිහින් ඔවුන් ලිබරල් ආකෘතිය ඇතුලෙන් ම සමස්තතා පාලකයින් වුණා කියලත් ඔහු කියයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලී ක්වාන් වගේ අයට එතැනදී තර්කයක් තිබුණා එම දුෂ්ට අන්තර්ගතය මඟ හරින්න. මොකද බටහිර මිනිස්සු නරක දෙය දැන දැන ම කරනවා කියන්නේ ඒක නරුම බවක් (disavowal). අනික අතාර්කික බවක්. අනික ඒක ආසියාතික අත්තනෝමතික බවක් ඔවුන්ගේ ම තර්කය හරවලා කිව්වොත්. ජිජැක් මොකද ඒකට කියන්නේ? අතාර්කික බව කියන්නේ පශ්චාත් නුතන බවක් නෙවෙයි ද ජිජැක් මහත්තයෝ? 

ලී ක්වාන් වගේම මාවෝ කියන්නෙත් මහා දර්ශනිකයෝ නෙවෙයි. තමන් ජීවත් වුන ලෝකයේ ප්‍රායෝගික තත්වයන් එක්ක වැඩ කරපු අය. තිබ්බ දුෂ්කර තත්වයෙන් උඩට එන්න හදපු අය. පරමාණු බෝම්බ දෙකක් වැටිලා පොළොවට ම සමතලා වුණාට පස්සේ ජපන්නු කලෙත් එහෙම දෙයක්. ඔවුන්ගේ ප්‍රායෝගික බවෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනි.  

ධනවාදී සමාජවාදී වෙනසක් නැතුව මේ ඔක්කම ල වෙච්ච මහන්සියේ ප්‍රථිපලයක් විදියට තමයි අද යෝධයෙක් වගේ ආසියාව ඉස්මතු වෙමින් ඉන්නේ. අපි ඔවුන්ගේ මහන්සියට ගරු කරන්න ඕනි (ඒ රටකට ගියාට පස්සේ ඔවුන් හදල තියෙන දෙයකට පොඩිවත් නිගරුවක් කරන්න හොඳ නැහැ!). ඔවුන් කළේ අමාරුවෙන් පැවති යථාර්තය වෙනස් කරපු එක. ඔවුන් අපට පෙන්නුවා බුදු දහම හරි කොන්ෆියුසිස් හරි ෂින්ටෝ හරි කියන්නේ භෞතික සංවර්ධනයට අකුල් හෙලන ආගම් නෙවෙයි කියන එක. ආගම බාධාවක් නෙවෙයි දියුණු වෙන්න. එකම දෙය බුද්ධිය පාවිච්චි කරන්න ඕනි. 

ඉතින් අපිට බාහිරින් යථාර්තයක් තියෙනවද කියන ෆේස්බුක් දාර්ශනික ප්‍රශ්නය (Facebook philosophy) වෙනුවට දැන් අලුත් ප්‍රශ්නයක් ඇවිල්ල සමකාලීන ලංකාවේ. මම හිතන්නේ තියෙන යථාර්තය පට්ට ම අවුල් හින්ද වෙන්න ඇති මේ වගේ මෝස්‌තරකාරී ප්‍රශ්න දැන් දැන් මතුවෙන්නේ.  

ඒ නිසා මේ දවස් වල කතා කරන අළුත්ම දාර්ශනික මාතෘකාව තමා යථාර්තවාදය. වඩාත් පැහැදිළිව කිව්වොත් සමපේක්ෂණ යථාර්තවාදය (speculative realism). සංකල්පය හඳුන්වා දුන්නා යයි සැලකෙන්නේ ක්වන්ටින් මියාසෝ (හෝ ඊට මදකට පෙර ග්‍රැහැම් හාමන්). එයින් කියන්නේ ද්‍රව්‍යමය ලෝකයේ ප්‍රපංචයන් එකිනෙකට වෙන්ව පවතිනවා යන්න සහ ඒවා අපේ පංචේන්ද්‍රියන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් ද වෙන්ව පවතී යන්න. ඉතින් මේ සමපේක්ෂණ කණ්ඩායම ප්‍රශ්න කරන්නේ සිතාගත හැකි පරිදිම භෞතිකවාදය; ද්‍රව්‍යවාදය. හැබැයි මේක ටිකක් අලුත් වගේ පෙනුනට අලුත් ම නැහැ. දයලෙක්තික භෞතිකවාදය (dialectic materialism) ප්‍රශ්න කලේ අද ඊයෙක නෙවෙයි.  අනිත් අතට මේ ගොල්ලෝ ප්‍රශ්න කරන්නේ කාන්ට්; කාන්ට් ගේ ඉන්ද්‍රිය සංජානනයේ සීමාව පිළිබද සංකල්පය (finitude). ඒකත් අලුත් දෙයක් නෙවෙයි. නලින් ඉතින් හැමදාම කියන්නේ ඕකනේ. 

ඉන්ද්‍රිය සංජානනයේ සීමාවන් තිබුණත් නැතත් අපි මේ ඉන්න යථාර්තය වෙනස් කරගන්න වෙනවා ම නේ (හැමදාම මදුරුවෝ තල තලා ගල් ගෙවල් වල ඉන්න බැහැනේ). කොහොම ගත්තත් අන්තිමට අවසන් මනෝ රාජිකය (ultimate utopia) පිළිබද අදහස විසි වෙනි සියවසේ මැද ඉඳලම ප්‍රශ්න කරමින් තමා පැවතුනේ. ඒ අනුව ගත්ත ම දයලේක්තික භෞතික වාදය පදනම් වන හේගල් ගේ තීසිසය වගේම ඒ මත පදනම් වුන කොමියුනිස්ට් මනෝ රාජිකය යන දෙකම බටහිර දර්ශනය ඇතුලේ ප්‍රශ්න කෙරෙනවා. ඒකට පසුබිම හැදුණේ පෙරදිගින්. අනෙක් අතට හේගල්ට ත් පෙරදිග දර්ශනයේ ආභාෂය තිබිල තියෙනවා (ද්වයිතයන් නැති තැන එන්නේ බුදු දහමින්).  

කෙසේ වුනත් ඉන්ද්‍රිය සංජානනයේ සීමාව දර්ශනය ඇතුලේ සලකුණු වන්නේ පැරණි ඉන්දීය දර්ශනයේ ඉඳල. විශේෂයෙන් බුදුන් වහන්සේ කියන දෙයක් තමයි විශ්වය කියන්නේ අපේ සංජානනයෙන් ගොඩක් ඔබ්බෙන් තියෙන දෙයක් කියන එක වගේම ඒක හොයල වැඩකුත් නැහැ කියන එක (දුක නැති කරන දුරින්). මොකද දුක නැති කිරීමේ ව්‍යාපෘතියක ට විශ්වයේ අග මුල හොයල වැඩක් නැති නිසා. වැඩිමනත් කිව්වොත් ඒ ලබා ගන්න දැනුම තුලින් පවා මමත්වය විශාල වෙනවා, උපාදානයක් ඇතිවෙනවා සහ දුක තවත් වැඩි වෙනවා හැර වෙන දෙයක් වෙන්නේ නැහැ.  ඉතින් සමපේෂණ යථාර්තවාදය වගේ අලුත් කියල කියන දෙයක් වුනත් ඉහත බුද්ධිවාදයේ සෝබන ගොදුරක් වෙන එක කෙසේ වෙතත් අපි බලමු මේ මොකක් ද කියන එක. 

බුදුන් වහන්සේ යථාර්තය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒ තුළ පැලපදියම් වෙන්නෙත් නැහැ. මේක ගොඩක් දියුණු කරනවා නාගර්ජුන පාදයන් විසින් සහ පසුව මහායාන බුද්ධාගම විසින්. සෙන් දර්ශනය පවා මෙය ඉදිරියට ගෙනියනවා. යථාර්තය වෙනස් වෙනවා වගේම අපේ සවිඥාණයත් වෙනස් වෙනවා. අන්තිමට මුණ ගැහෙන්නේ ශුන්‍ය බවක්. ඒක තමයි මුලික අවබෝධය. 

බුදුන් වහන්සේ ගේ මෙම අදහස සහ ඉන්දියානු දාර්ශනික ප්‍රවේශය පෙරදිග විතරක් නෙවෙයි බටහිර පවා හොල්මන් කරන එක තවම නතර වෙලා නැහැ. සහ නතර වෙන්නෙත් නැහැ. මොකද ඒක මනුෂ්‍යත්වය ගැන කතා කරපු දියුණු දහමක්.  

හැබැයි බුදුන් වහන්සේ ගත්තම එතුමා හුදු බුද්ධි වාදියෙක් නෙවෙයි. තමන් කරපු දෙය ඉතාම ප්‍රයෝගික විදියට කරපු කෙනෙක්. ඒ නිසා එතුමා මනස ද ශරීරය ද නැත්නම් මනස ද මනසෙන් පිට යථාර්තය ද වගේ බොරු බුද්ධිවාදී ප්‍රශ්න නොසලකා හැරියා. මොකද ඒ වගේ ප්‍රශ්න වල පැටලිලා හිටියොත් තමන්ගේ වැඩේ වෙනත් පැත්තක ට යන නිසා.

ඒ වගේම මේ වගේ බොරු ප්‍රශ්න වලට කාලය මිඩංගු කරන්නේ නැති අතිශයින් බුද්ධිමත් ජාතියක් තමයි ජපන්නු කියන්නේ. ඔවුන් මෑත කාලයේ ආකර්ෂණය වුණා නම් ආකර්ෂණය වුන එකම දාර්ශනික ප්‍රවාහය වෙන්නේ ඇමෙරිකානු ප්‍රයෝජ්‍යතාවාදය (American Pragmatism). අපි බලන්න ඕනි අපි කරන වැඩේ තියෙන පොදු ප්‍රයෝජනවත් බව (public utility). Seven Days in Entebbe (2018) කියන චිත්‍රපටියේ විමුක්ති සටන් කාමීන්ට මැදිවුන ගුවන් නියමුවා කියනවා විප්ලවවාදීන් දහ දෙනෙකුට වඩා වතුර පයිප්පයක් හදා ගන්න පුළුවන් එක ඉංජිනේරුවෙක් වටිනවා කියල.  

මේකෙන් අදහස් කරන්නේ නැහැ ගැඹුරු බුද්ධිමය ප්‍රශ්න නැති බවක් හෝ ඒවා සාකච්චා නොකළ යුතු බවක්. හැබැයි කතා පෙට්ටි වෙනවට වඩා එක දෙයක් වත් අපි හරියට කරලා පෙන්නමු ලෝකයට මේ අලුත් අවුරුද්දේ වත්. මතක තියාගන්න ලෝකේ හොල්ලපු අය පෙරදිගින් බිහි වෙලා තියෙනවා. අපර දිගින් බිහිවෙච්ච අයටත් හුඟක් වෙලාවට පෙරදිග අභාෂය තිබිල තියෙනවා.  

'Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment' (Buddha). 

(Oprah Winfrey is talking to Nobel Prize Winning Peace Activist and a Vietnamese Buddhist Monk Thich Nhat Hanh). 

ඉහත සම්මුඛ සාකච්චාවේ තික් නට් හන් විසින් අවධාරණය කරන්නේ සෙන් බුද්ධාගම තුළ තියෙන නිශ්ශබ්ද බව සහ ගැඹුරු සවන් දීම නම් ගුණාංගය ගැන (අනෙකා ගේ වේදනාවේ බර හිස් කරන්න උදව් කරන එක යේසුස් කළා වගේ). අපි ඉතින් හදන්නේ මයික් එකක් දුන්නොත් කතා කරන්න නේ. හැබැයි කිසිම ඇත්ත සන්නිවේදනයක් වෙන්නේ නැහැ එහෙම කතා කරා කියල. පශ්චාත් නූතන හාමුදුරුවරු කොච්චර හුස්ම අල්ලන්නේ නැතුව බණ කිව්වත් වැඩක් නැහැ. මම සහ බණ කියන හාමුදුරුවෝ කියන දෙන්න වෙන වෙන ම ප්‍රපංචීය යථාර්තයන් දෙකක් හැටියට පවතිනවා හැරෙන්නේ වෙන දෙයක් වෙන්නේ නැහැ (වුණොත් වෙන්නේ වැරදි සන්නිවේදනයක් විතරයි). ඒ කියන්නේ අපි කොච්චර කතා කළත් අනෙකා වෙනස් වෙන්නේ නැහැ. මොකද අනෙකා දන්නවා එයාගේ වේදනාව සවන් දීම ඔස්සේ ගන්න අපි සුදානම් නැහැ කියල.   

එච්චරයි. සුබ නව වසරක්!   

Saturday, December 22, 2018

මනමේ නූතනවාදී නාට්‍යයක් ද?

ලාර්ස් වොන් ට්‍රියර් ගේ  Nymphomaniac (2013) චිත්‍රපටයේ අනුරාගික දර්ශනයක් 
යර්ගන් හබමාස් කියන නූතන චින්තකයා කියන දෙයක් තමයි යම් සමාජයක් ව්‍යූහාත්මක විපරිණාමයක ට පත් වෙන කොට එම සමාජයේ ක්ෂිතිජය තුලින් සන්නිවේදන ක්‍රියාවන් වෙනස් ලෙස විකසිත වීමට පටන් ගන්නවාය කියන එක. ඒ නිසා ඔහු වැඩි බරක් තබනවා ප්‍රපංචවේදී අර්ථකථන වේදයට (phenomenological hermeneutics). මොකද ඉදිරියට එන නව තත්වයන් එක්ක සමාජ සංස්කෘතික අර්ථයන් වෙනස් වෙන්න ගන්නවා. විශේෂයෙන් විද්‍යාවේ මැදිහත් වීම මෙතනදි හරිම බලපෑම් සහගතයි. උදාහරණ හැටියට පෘතුවි කේන්ද්‍රවාදය වෙනුවට සූර්ය කේන්ද්‍රවාදය ආවට පස්සේ දේවල් තේරුම් ගන්න වුනේ පැරණි විදියෙන් ඉඳුරා ම වෙනස් ආකාරයකට (සිදු වුණේ චින්තන පැරඩයිම වෙනසක්). ප්‍රජාතන්ත්‍ර වාදයට විතරක් නෙවෙයි බුදු දහමට පවා වෙලා තියෙන්නේ මේ වෙනස් වීමේ සන්තෑසිය. අපේ සෞඛ්‍යය, පිරිසිදු කම, කෑම බීම වල ප්‍රමිතිය, ලිංගිකත්වය, ජිවත් වෙන හැටි, පාරේ යන හැටි වගේ ජීවන ලෝකයේ හැම දෙයක්ම තීරණය කරනවා විද්‍යාවේ නව සොයා ගැනීම්, අර්ථකතන සහ උපකරණ එක්ක (පිටරටින් එන මිනිහෙකුට යන්න ඉහල සනීපාරක්ෂක ප්‍රමිතියේ වැසිකිලියක් නැහැ මේ රටේ ගුවන් තොටුපොලින් පස්සේ. ඒ වුනාට කතා කරන්නේ සංචාරක කර්මාන්තය ගැන සහ ථේරවාද බුද්ධාගම ගැන). අපේ අය යම් යම් සංචාර වලට පිටරට ගියාම ඒ රටවල සංකීර්ණ වැසිකිළි පාවිච්චි කරන්න දන්නේ නැහැ කියල ඒ රටවල හෝටල් කළමණාකරුවෝ චෝදනා කරනවා. ඔවුන් කියන්නේ මෙහෙදී පොඩි පුහුණුවක් දීල එවන්න කියන එක (පුහුණු කරන්න මෙහෙ ඒ වගේ වැසිකිළි තියෙන්න එපායැ!). ලොකු දර්ශන වාද ගැන උගන්වන්න ඉස්සෙල්ලා අළුත් ජීවන ලෝකයේ අළුත් දේවල් අපි ඉගෙන ගන්න ඕනි පාසල් මට්ටමේ ඉඳල (ශිෂ්‍යත්ව විභාග වලට දඟලනවා වගේම මේ ප්‍රායෝගික දේවලුත් ඉගෙන ගන්න ඕනි). ටැබ් දෙන්න දඟලනවා වගේම වැසිකිළි ටිකත් උසස් ප්‍රමිතියෙන් හදන්න කියල කියන්න ඕනි අකිල විරාජ් ට. ව්‍යූහාත්මකව එකෙනෙකින් වෙනස් ලෝක අතර (ඒ කියන්නේ සම්ප්‍රදාය සහ නූතනත්වය) දෝලනය වෙමින් ගමන් කරන අපි වගේ රටවල් වලට සිද්ධ වෙනවා සම්ප්‍රදායික ලෝකයේ සමහර අන්තර්ගතය නැවත සබුද්ධික කරණය කරන්න. අන්තර් පුද්ගල සම්බන්ධතා කලාපය නැවත නෛතිකකරණය කරන්න. එහෙම නැත්නම් ඒ දේවල් නිර්-නෛතික වෙලා යනවා. විශේෂයෙන් නව ඩිජිටල් පරම්පරාව ඉදිරියේ අතීතය ට අරුතක් නැති වෙලා යනවා (අතීතය නැවත ප්‍රති -ස්ථාපනය කරන්න හදන දේශපාලනයකුත් මේ අතරේ ම දිග හැරෙනවා). තර්කය සහ හේතුව වගේම සබුද්ධික බව නූතන ලෝකයේ ගාමක බලවේගයන් වෙනකොට ජාතක කතාවක් පදනම් කරගත් කලා කෘතියක් ඒ වකවානුවේ තිබුණ චින්තන ආකෘතියෙන් (යති සංස්කෘතික දෘෂ්ටිය වශයෙන් හඳුන්වන) වෙන් කරලා මේ යුගයේ චින්තනය සමග ගලපාගන්න වෙනවා. ඒ කියන්නේ නව සප්‍රමානතා හිමිකම් (validity claims = වලංගුතා හිමිකම්) අවශ්‍ය වෙනවා පැරණි වගේම නව දේවල් වුනත් මේ යුගයේ පැවතීමට (හබමාස් 1987, පිටු 120-1). මේ පසුබිම ඔලුවේ තියාගෙන බලමු අපි ලංකාවේ උසස් පෙළ විභාගය නිසා ම වගේ (ස්ත්‍රිය නිසා නොවේ නම්) ජනප්‍රිය 'මනමේ' (1956) නාට්‍යය නව යුගයේ නැවත නෛතිකකරණය කරන්න පුළුවන්ද කියන එක.   
   
මෑත කාලයේ මනමේ නාට්‍ය ට වගේම මනමේ කුමාරි ගේ චරිතයටත් යම් විචාරක අවධානයක් යොමු වුණා. එහෙම වෙන්න හේතුව තමයි ලාංකික දේශපාලන භූමිය තුළ එක්වරම යම් ප්‍රෙහේලිකාමය තත්වයක් ඉස්මතු වීම සහ එම ප්‍රෙහේලිකාමය සද්භාවී පසුබිම මනමේ කුමරියගේ ක්‍රියාව සමග සම්බන්ධ වීම. මනමේ කුමරිය කළා වගේම ඉහත දේශපාලන සිද්ධිය තුලිනුත් අපිව එක්වරම උස්සලා පොළොවේ ගැහුවා වගේ ක්ෂිතියක් ඇති කළා. අවන්ත ආටිගල නම් කාටුන් ශිල්පියා විසින් ජනප්‍රිය කාටුනයක් පවා ඇන්දා මේ ගැන. ඒ කියන්නේ වරණය (choice) නම් ක්‍රියාව තුල දක්නට ලැබෙන එකවරම තේරුම් නොයන තත්වය දේශපාලන ප්‍රෙහේලිකාවක් වීම සහ අවසානයේ අතාර්කික බව සමග සම්බන්ද වෙන තැන අපේ අරගලය ඇතුලේ දේශපාලනික වෙනවා කියන එක. එතකොට අපි ඒකට කියන්නේ අත්තනෝමතික බව කියල (Asiatic despotism කියල දොලර් කියනවා). බ්‍රෙෂ්ට් නම් උසස් නුතනත්වය (higher modernity) නිරූපණය කරන නාට්‍ය වේදියා විසින් පවා ජන නාට්‍ය කියන එක යොදා ගන්නවා බුර්ෂුවා සම්ප්‍රදායට එරෙහිව සම්භාව්‍ය මාක්ස්වාදී අරුතෙන්. නමුත් ඔහු කරන්නේ අවසන් නිමේෂයේ තේමාවේ වෙනසක්  (twist in the final moment). ඒ කියන්නේ වඩා තාර්කික දෙයක්. නුතන බව කියන්නේ තාර්කික බවට නම් බ්‍රෙෂ්ට් කරන්නේ තිබුණාටත් වඩා තාර්කික දෙයක් කරන එක. ඔහු කරන්නේ ඇත්ත අම්මා වෙන්නේ භෞතික මව ම විය නොහැකි බව පෙන්වන එක. ඒ කියන්නේ නුතන ලෝකය ඇතුලේ දරුවන් බලා කියා ගන්නා කෙනෙක් ට (maid) මවට වඩා සංකේතීය බවක් එක් කරන එක. මවගේ ලෝකයෙන් කැඩීම කියන ෆ්‍රොයිඩියානු අදහසට වඩාත් සංස්කෘතික දේශපාලනයක් එකතු කරන එක. ස්වභාවික දේ වඩාත් සංස්කෘතික කරන එක (මම කියන්න යන්නේ Maid in Manhattan හරි My Fair Lady හරි වගේ දෙයක් ගැන නෙවෙයි). වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ආදරෙන් බලා ගන්න කෙනෙක් සංකේතීය වෙනවා බොරුවට වැඩිහිටි ආදරය ගැන ෂෝක් පෙන්වන දරුවෙකුට වඩා ('පිටස්තරයා' නවකතාවේ මේ බව කියනවා). දෙයක් වේ නම් සුදුස්සාට ම අයිති විය යුතුය කියන අදහස වඩා පංති අරුතකින් ගෘෂා වෙතට ප්‍රති ජීවනය කරන එක අපිට එකඟ වෙන්න පුළුවන් දෙයක්. නමුත් තමන්ගේ ආදරය තඩි වැදි නාම්බෙක් (ජෝන් සීන වගේ කියමුකෝ) ඉස්සරහ පාවා දෙන එක  අපි මනමේ හරහා සාධාරණව තේරුම් ගන්නේ කොහොමද? මෙච්චර වෙලා ප්‍රේමයෙන්  මන රංජිත වේ නන්දිත වේ කියා කියා දඟල දඟල ඉඳල කඩුව දෙන්නේ කාටද කියන හරියට ම නිශ්චිත තැනට (දේශපාලනික තැන) එනකොට විතරක් ඒක ප්‍රෙහේලිකාවක් වන ගැහැණියක් (හෝ පිරිමියෙක්) චපල බව ඇතුලේ මිසක් වෙන කොහොම තේරුම් ගන්න ද? ආශාවේ පෙරළුම (twist in desire) තුල තියෙන අතාර්කික බව වෙන කොහොමද අපි තේරුම් ගන්නේ? අනික් නියම ප්‍රශ්නේ තමා උසස් පෙළ විෂය මාලාවෙන් බ්‍රෙෂ්ට් ගේ 'හුණුවටය' (උසස් නුතනත්වය) අයින් වෙලා 'මනමේ' (පසු නුතනත්වය) නැවත ආගමනය වෙන දේශපාලනය තේරුම් ගන්නේ කොහොමද කියන එක? මම හිතන හැටියට මනමේ නැවත එන්නේ රාජපක්ෂ ජාතිකත්ව ආගමනයත් එක්ක.

එහෙම වුනොත් ඒක කිසිසේත්  ම පුදුමයට කරුණක් නෙවෙයි. මොකද අතාර්කික බව සහ ආසියාතික බව ඇතුලේ තියෙන පසු නුතන දේශපාලනය හොදින් ම ප්‍රායෝගික කලේ රාජපක්ෂ ලා (සබුද්ධික බව වෙනුවට විනෝදය දේශපාලනය ට ගෙන ඒම). එතකොට ඒ වගේ ව්‍යාපෘතියක ට මනමේ හොඳින් ගැලපෙනවා. මොකද 'රාජපක්ෂ කියන්නේ දැන් ටිකක් වෙනස් කෙනෙක්' කියල ඔප්පු කරන්න හදන අයට රාජපක්ෂ විසින් ම ඔප්පු කළා ඔහු තවමත් අතාර්කික විනෝද පාලකයෙක් කියල. හොඳම උදාහරණය තමයි ඔහුගේ දින පනහේ මුදල් ඇමති කාලයේ කරපු ප්‍රධාන දෙයක් තමයි සීනි බද්ද අඩු කිරීම. ලංකාවේ කෑම වල සීනි ප්‍රතිශතය ඉතා ඉහලයි කියන්න මේ රටේ ගුවන් තොටුපලෙන් එහාට ගිය කෙනෙක් දන්නවා (කෑමේ නියම රසය අහිමි නිසා රස කරන්න සීනි දානවා). අපේ  අය බත් ගජරාමෙට ගිලින නිසා ශරීරයට අවශ්‍ය ග්ලුකෝස් ප්‍රමාණය බත් වලින් ම එනවා. අමුතුවෙන් සිනි කන්න ඕනි නැහැ . අනික අපේ රටේ දියවැඩියා රෝගීන් විශාල වශයෙන් ඉහල ගිහිල්ල තියෙන්නේ මේ කොකා කෝල වගේ ශුන්‍යතා පැණි බීම නිසා (ප්‍රමිතියක් නැහැ). නමුත් කප්පාදුව වෙනුවට මිනිස්සු ඉල්ලන්නේ අපිට සීනි ම දියව් කියල (අපිට මැරෙන්න දියව්). නමුත් පසුගිය ආණ්ඩුව සීනි පරිභෝජනය පාලනය කරන්න හුඟක් මහන්සි උනා. ඒ කියන්නේ මිනිසුන්ගේ මරණීය විනෝදය ඔවුන් විසින් පාලනය කළා. මිනිස්සු කැමති වුනත් නැතත් නීතියක් ගෙනාවා සීනි පාලනය කරලා. ඒක තමා සත්‍ය පීතෘත්වය කියන්නේ (මම යනවා ආචිච් ලා දිහා. ඔයත් ලැහැස්ති වෙන්න කියන පීතෘ විධානය. එතන තියෙන තර්කය තමයි අපි අද මෙතන ඉන්නේ ඔයාගේ ආච්චි ගොඩක් මහන්සි වෙච්ච හින්ද කියන එක). පීතෘත්වය කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන එකට නෙවෙයි. නීතිය ඇතුලෙම ඉඳලා මිනිස්සු වඩාත් ශිෂ්ට තැනකට ගේන එකට (ඔවුනුත් නොසිතුව ගමනාන්තයකට ගෙනියන එකට). එහෙම කරන්න මහන්සි වෙන එකට. එහෙම නැතුව ඔන්න ඕනි තරම් සීනි කාපල්ලා කියල කියන එකට නෙවෙයි (ළමයි සීනි කන්න ආසයි. ඒත් දෙමව්පියෝ එහෙම කන්න දෙන්නේ නැහැ). ස්වභාවික ආශාව සීමා කරලා ළමයි හදන්නේ එහෙමයි ඇත්ත තාත්තලා (මෙයින් හදන්නේ පිතෘ දේශපාලනය උඩ දමන්න නෙවෙයි). 'ජනතාව', 'ජනතාව' කියා කියා උදේ හවා මැතිරුවට ඇත්තටම ජනතාවට ඔහු ආදරේ නැති බව මේ සිද්ධිය ඇතුලේවත් අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනි. ඔහුගේ ජනතා මන්ත්‍රය තියෙන්නේ ඔහුට නෙවෙයි. ජනතාවටත් නෙවෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ ඔහුටත් නොවන ජනතාවටත් නොවන යාඥා චක්‍රයක් (prayer wheel) ලෙසට (කාටත් වැඩක් නැහැ. යන්ත්‍රය ඔහේ මතුරනවා උදේ පහට හැමෝම පිරිත් දාල තියෙනවා වගේ). නමුත් පොහොට්ටු කාරයෝ විශ්වාස කරනවා මේ 'ජනතාව' කියල කියන්නේ තමන්ට වෙන්න ඇති කියල. නමුත් රාජපක්ෂ පැත්තෙන් ගත්තම මේ ඉන්නේ මරණය දක්වා සීනී ඉල්ලන තකතිරුවන් පිරිසක් (මේ තත්වය මුගාබේ වගේ කෙනෙක් ගෙන් වෙනස්. වරුෆාකිස් ට අනුව මේ විනෝද ගිවිසුම ඇතිවූ එක් තැනක් නම් ඉතාලියේ මුසෝලිනි පාලනයයි). නමුත් මේ වෙනකොට ඉහත 'ජනතා' කුලකයට වැටෙන එක අපේ සමාජයේ සෑහෙන පිරිසක් ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඔවුන් ඊට වඩා ප්‍රබුද්ධ සමාජයක් ගැන සිහින දකිනවා. ඒක සතුට ට කරුණක්.   
  
ජිජැක් සඳහන් කරන අයුරින් බලය ප්‍රාථමික අරුතෙන් ම ගත්තම සංකේතීය නම් එවිට මනමේ කුමරිය වසඟ වන්නේ (හෝ එසේ පෙන්වන්නේ) බලය සමඟ ද? උදාහරණ වශයෙන් අමෙර්කානු වන් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ අධිකාරික බලයට තම කැමැත්ත ලබා දුන්නේ ඉහත සංකේතනයේ වසඟය නිසාද යන්න මෙහිදී සැලකිල්ලට ලක් කල යුතු වෙනවා. එසේ නම් මෛත්‍රීපාල වසඟ වුණේ ප්‍රාදේශීය සභා වල බලය රාජපක්ෂ වරුන් විසින් දිනා ගත්ත හින්ද ද කියල අපිට හිතන්න වෙනවා. අනෙක් අතට මෛත්‍රීපාල නම් පුද්ගලයා පිටුපස තිබෙන 'විධායක ජනාධිපති' කියන තනතුරේ බලය කියන 'මහා අනේකත්වය' (ජිජැක් ගේ  For They Know Not What They Do හි කියවෙන විදියට) වෙතට මහින්ද ආකර්ෂණය වුණා කියලත් ඕනිනම් තර්ක කරන්න පුළුවන්. නමුත් ජිජැක් ඉහත කෘතියේ පැහැදිළිව කියනවා මහා අනෙකෙක් ඔස්සේ විශ්වාස කිරීම කියන්නේ මුලාවක් කියල (ඒ කියන්නේ බලය නම් මහා අනේකත්වය ඔස්සේ මේ දෙදෙනා විසින් මේ දෙදෙනා විශ්වාස කරන්නේ නම් එය මුලාවක් වීමට නියමිතයි). ජාතක කතාවේ මොනවා තිබුනත් මේ තත්වය ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයක් නෙවෙයි. පිරිමි ත්‍රිකෝණයක් වගේම ස්ත්‍රී ත්‍රිකෝණයක් ඇතුලෙත් මේක වෙන්න පුළුවන්. හුඟක් අය කියන්නේ මනමේ කුමරිය තම අසරණ බව ඇතුලේ අධිකාරී බව තිබුණ පැත්ත ගන්නවා කියන එක. නිශ්ශංක දිද්දෙණිය නම් කියන්නේ සරච්චන්ද්‍ර මේ ගැන විනිශ්චයක් දුන්නේ නැහැ කියන එක. චරිතය නිරූපණය කරලා තමන් නිශ්ශබ්ද වුණා කියල සමහර විචාරකයෝ කියනවා (කියවන්න  ඉසුරු කවිරත්න Maname: A Tale of Destiny). කොහොම වුනත් බලය නම් මහා අනේකත්වය ඔස්සේ තමා වෙතට එන මේ ගැහැණිය විශ්වාස කරන්න වැදි රජ පෙළඹෙන්නේ නැහැ. මොකද එයාටත් ඇයගේ ආශාවේ පෙරළුම තේරුම් ගන්න තාක්ෂණයක් නැහැ. කැලේ ඉන්න වැදි රජෙක් හැටියට එයාට තේරෙන එකම විදිය තමා මනමේ ට දුන්න බැස්ටිය ම තමා මටත් කවද හරි උඹ දෙන්නේ කියන එක. අනිත් පැත්තට ගත්තම ස්ත්‍රිය ගේ ආශාවේ 'කළු කුහරය' වෙතට යන්න පිරිමියා දක්වන බිය ඔස්සේ ගත්තමත් පිරිමියාට ඇය හරහා ඇසෙන්නේ විශ්වය බිහිවීමේ ප්‍රාරම්භක ශබ්දය විතරයි (big bang noise) කියලයි ජිජැක් කියන්නේ (කියවන්න ඔහුගේ ජනප්‍රිය Metastases of Enjoyment: Six Essays on Women and Causality හි ඩේවිඩ් ලින්ච් සම්බන්ධ පරිච්චේදය)ඉතින් විශ්වය බිහිවීමේ මහා පිපුරුම විසින් පිටකරන ලද කන් බිහිරි කරවන තරම් වූ මහා ශබ්දය තමයි ඇය තම කළු කුහරය විසින් උකහා ගන්නේ (ඉතින් ලින්ච් ලොකු තැනක් දෙනවා හඬට). ඒ තරම් ශක්තියක් සහ ආකර්ෂණයක් තිබෙනවා ඇයට (ඇගේ හිස් බවට). ඉතින් පුරුෂ ලෝකයට ඒ වගේ මහා පිපුරුමක් ඇති කරන්න බැරි වුනොත් ඇය විෂාදයට ලක් වෙනවා. මම හිතන්නේ මනමේ කුමරු එතරම් ඇයගේ විෂාදය ගැන සිතුවේ නැහැ කියල. නමුත් මනමේ කුමරිය වැදි රජුගෙන් ඉල්ලනවා එවැනි මහා පිපුරුමක්. අපි හිතමු 'ඔක්තෝබර් විප්ලවය' වගේ දෙයක් කියල. මම හිතන්නේ ඇය ලෙනින් ට කියයි මට ඕනි මීටත් වඩා ලොකු පිපුරුමක් කියල. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඇය මේ වැදි රජු ගෙන් ඉල්ලන්නේ සෙක්ස් නෙවෙයි කියන එක. ජිජැක් ගේ වචනයෙන් කිව්වොත් ඇය ඉල්ලන්නේ චර්මය විණිවිද යන ශබ්දයක් (a voice that skins the body). මහා පිපුරුම නම් දේශපාලන ක්‍රියාව විසින් ගෙනෙන ශබ්දයේ ප්‍රථිපලයක් තමයි එහෙනම් සෙක්ස් කියන්නේ (හේතුව සහ ඵලය). 

ඉතින් මනමේ කුමාරිගේ ඉල්ලීම තේරුම් ගන්න එක දැන් අපහසු නැති වුණත් ඒ ඉල්ලීම ඉටු කරන එක තමයි ඇත්ත වැඩේ (මොකද ලෙනින් කියන්නේ හයර් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි නේ). ඉතින් යහපාලන ආණ්ඩුවට බැරි වුනේ මේ දේ ම තමයි. මොකද ස්ත්‍රී ආශාව කියන්නේ තර්කය ට අසු වෙන දෙයක් නොවෙන නිසා බටහිර තර්කය සහ හේතුව මෙතැනදී අසමත් වෙනවා. එක වෙලාවකට මොන ලිංගික සෙල්ලම් දැම්මත් ඇහැරෙන්නේ නැති ඇය සමහර වෙලාවට පිටට තට්ටුවක් දැම්මත් ඇහැරෙනවා. මේ නිසා ලින්ච් ගේ Wild at Heart එකේ නිකොලස් කේජ් ට කියවෙනවා 'දෙයියෝ තමයි දන්නේ ඔයාගේ හිතේ තියෙනේ දේ' කියල. කොහොම වුනත් වරින් වර ඇයගේ ලෝකය ට බෝම්බයක් හෙළා ඇය අවදි කල යුතුව තිබෙනවා කියන එක තමා ජිජැක් ගේ මතය. එහෙම නැති වුනොත් වෙන්නේ ඇය සදාකාලික නින්දකට යන එක (මීට කලින් මේක අපි ලියල තියෙනවා). ඒ නිසා ඇය පිස්සුවෙන් වගේ ශබ්දයක් නිර්මාණය කළ හැකි කෙනෙක් සොයා යනවා (ඇය හදන්නේ සදාකාලික නින්දෙන් වලකින්න). මෙන්න මෙතැනදී තමයි විචාරකයෝ කියන්නේ සරච්චන්ද්‍ර මනමේ කුමරිය ගැන සානුකම්පිත වුණා කියල. මේකට උදාහරණයක් හැටියට අපිට ඕනිනම් ලාර්ස් වොන් ට්‍රියර් ගේ Nymphomaniac (2013) කියන චිත්‍රපටිය ගන්න පුළුවන්. එතනත් තියෙන්නේ ස්ත්‍රී විෂාදය ඔස්සේ සදාකාලික මෙලන්කොලියාවට වැටෙන එක වලක්වා ගන්න ගැහැණිය ගන්නා උත්සාහය. ඉතින් තමන්ගේ ආත්මය ඇහැරවා ගෙන තියාගන්න ඇය එක එක පිරිමි (වගේම ගැහැණු) පස්සේ යනවා. එක එක ලිංගික ආකෘති අත්හදා බලනවා. නමුත් එකකින් වත් තෘප්තිය ලඟා වෙන්නේ නැහැ.  බටහිර ආත්මය ට අනෙකා අවශ්‍ය වෙනවා තමන්ගේ විෂාදයෙන් බේරෙන්න පෙරදිග අපිට වඩා (අපිට පුළුවන් තනියම ඉන්න. නමුත් උන්ට බැහැ). Nymphomaniac චිත්‍රපටියේ ජෝ කියන චරිතය තමන්ට හමුවන භෞතික පිරිමියා තුළ නැති පිරිමි කමේ ගැටළුව දිගින් දිගටම කතා කරනවා. අවසානයේ යේසුස් වහන්සේගේ වේදනාවේ අභිනය පවා සිහනවට ලක් කරනවා තමාට (නො)පැමිණෙන සුරතාන්තය හමුවේ (මොකද ජෝ ට තෘප්තිය කරා ළඟා වීමට යේසුස් වහන්සේ ට ත් වඩා වේදනාවක් අවශ්‍ය නිසා). මිනිස් ශිෂ්ටාචාරය තුළ නිසගයෙන් තිබුණ පර පීඩා කාමුකත්වය තුල යේසුස් වහන්සේ  දෙවියන් නොමැති බව අවබෝධ කර ගත්තා සේම ජෝ තම අතෘප්තිය සහ හෙලා දැකීම තුළ අවබෝධ කර ගන්නවා ඇය මේ ලෝකයට අයිති නැති බව. ඉතින් මෙන්න මේ දිශාවේ අපි තව දුරට ගියොත් මනමේ කුමාරිය කළේ මොකක් ද කියන එක තව අවබෝද කර ගන්න පුළුවන් වෙයි. නමුත් ආදරය කියන්නේ අනෙකා තුල නැති දෙය (අනෙකා දුර්වල තැන) නැවත නැවත ඉල්ලා සිටීමද නැත්නම් අනෙකා ඔහුගේ හෝ ඇයගේ දුර්වල බව සමග ම පිළිගන්නා එක ද කියන නුතන (කාන්ටියානු) ප්‍රශ්නය අපි බටහිර ජෝ ගෙන් වගේම පෙරදිග මනමේ කුමරිය ගෙනුත් අහන්න ඕනි. 

ඒ වුනාට කවබත යසුනරි ගේ 'ජලයෙහි ගිලුණ සඳ මඩල' හි කියෝකෝ කරන්නේ ජෝ සහ මනමේ කුමාරි කරපු දේට වඩා හාත්පසින් වෙනස් දෙයක්. එයා තමන්ගේ රෝගී වෙලා ඇඳට ම හිරවෙලා ඉන්න තමන්ගේ සැමියා ට කණ්නාඩියක් ඔස්සේ ලෝකය පෙන්වනවා. කෙලින් ම ලෝකය බලන්න එන්න ඇවිදින්න බැරි හින්ද බිරිඳ හැටියට තමා ඇතුළු ලෝකය සහ එළවලු කොරටුව කණ්නාඩියක් ඔස්සේ තමයි සැමියාට පෙන්වන්නේ. කිසිදු විදියකින් විෂාදයේ ලකුණක් කවබත පෙන්වන්නේ නැහැ ඇය විසින් විඳවන. සැමියා දර්පණයේ රූපයෙන් (mirrored image) සන්තෝෂ වෙනවා දකින ඇය එයින් තෘප්තිමත් වෙනවා (අනේකත්වය). නමුත් ඒ හැම වෙලාවකම තමන් ලස්සනයි කියල දකින ලෝකය වෙනස් වෙන හැටි, කණ්නාඩිය දුර්වර්ණ වෙන හැටි, හඳේ කාන්තිය අඩුවෙන හැටි මතක් කරන්න කියෝකෝ අමතක කරන්නේ නැහැ. මෙන්න මේ ලෝකයේ වෙනස් වෙන අනියත ස්වරූපය සමග ජිවත් වීම කියන එක ජපන් ජාතිය විසින් ගොඩ නැගුව සංවර්ධන මොඩලයේ විශ්වීය කොටසක්. ඔවුන් කිසිවක් තදින් අල්ලා ගන්නේ නැහැ (ජපානයේ ඉන්න ලාංකික තරුණයෙක් මට කිවේ ජපන්නු තරම් දේවල් අත් හරින්න පුරුදු කරපු මිනිස්සු කොටසක් මම කවදාවත් දැකල නැහැ කියල). ඔවුන් භෞතික තෘප්තිය වගේ දේවල් එක් අධි අනන්‍ය වෙන්නේ නැහැ. ඉතාම කුඩා දෙයින් සන්තෝෂ වෙන්න ඔවුන් අමතක කරන්නේ නැහැ. කියෝකෝ ට සන්තෝෂ වෙන්න ජලය මත වැටී තිබෙන සඳ මඩලේ පරාවර්තනය විතරක් වුනත් ඇති. නමුත් ඊට වඩා වැඩි දෙයකුත් ඇය නිරීක්ෂණය කරනවා. ඒ තමා සඳ ජලය මත වැටී හැදෙන පරාවර්තනය තම ස්වාමියාට බලන්න බැරි නිසා ඇය කැඩපත ගෙනත්  කැඩපත ඔස්සේ ජලය මත තිබෙන සඳ මඬලේ පරාවර්තනය පෙන්වනවා. ඒ කියන්නේ ස්වභාවික ලෝකයේ ලස්සන ඇයගේ ස්වාමි පුරුෂයා බලන්නේ ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බයක් හැටියට. සතුටු වීමට ඒකත් ඇති. සියල්ල අල්පේච්ච බවකින් පාලනය වෙනවා. ආශාව කරා යන අහම (මම සහ මගේ තෘප්තිය) ස්වභාව ධර්මය ඇතුලේ දියකර හරිනවා කවබතා විසින්. වොන් ට්‍රියර් ගේ ජෝ ප්‍රමෝද ආර්ථිකය කරා (economy of jouissance) ශරීරය දමනකොට කියෝකෝ දමන්නේ තමාගේ පරිකල්පනය. ඉවසීම. කැප කිරීම.  'මම පවතිමි' කියන කාටේසියානු ස්ථාවරය වෙනුවට ඇයට තියෙන්නේ සියල්ල සමග එකට පැවැතීම (රෝගී ස්වාමියා, ජලය, සඳ, කණ්නාඩිය මේ එකකින් එකක් වෙනස් කරන්න බැහැ). අවිඥාණයේ විධානයට (ඔය රෝගී මනුස්සයා පැත්තකට දාල ගිහිල්ල හොඳ නිරෝගී කෙනෙක් හොයාගන්න) නතු නොවන නිසා ඕනිනම් ඇලන් මිලර් ට කියන්න පුළුවන් කියෝකෝ කියන්නේ සින්තෝමය ක් කියල. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.  නමුත් එහෙම කලානම් අපි අද කියෝකෝ ගැන කතා කරන්නේ නැහැ . කවබත ගැන කතා කරන්නෙත් නැහැ. අඩු තරමින් ජපානය ගැන ප්‍රශංසාවෙන් කතා කරන්නෙත් නැහැ. පරමාණු බෝම්බ දෙකකුයි ටොයෝටා කාර් එකකුයි හැර අපිට මතක හිටින්න තරම් විශ්වීය දෙයක් එහෙනම් ඉතුරු වෙන්නෙත් නැතිවෙයි.  

ඒ වගේම මතක් කරන්න ඕනි දෙය තමයි කවබතා කියන්නේ වික්ටෝරියානු ලෝකයක ගොදුරක් ද නෙවෙයි කියන එක. ඒ කියන්නේ කියෝකෝ ගේ රෝගී සැමියා මිය ගියාට පස්සේ කියෝකෝ ටික කාලෙකින් අළුත් විවාහයකට ඇතුල් වෙනවා. අළුත් සැමියා එයා වගේම නිරෝගී කෙනෙක්. ඉන්දියාවේ සති පූජා වගේ විකාරයක් වෙන්නේ නැහැ ප්‍රථම සැමියා මිය ගියාට පස්සේ. මෙතන දී තමයි නුතනත්වය කියන සමාජ රාමුවට ජපන් සමාජය නැවුම් විදියකට අනුගත වෙන්නේ. එතැනදී තම රෝගී සැමියා අත් හරින්නේ නැති කියෝකෝ එම සැමියා වෙනුවෙන් කරන්න ඕනි යුතුකම් කරනවා. නමුත් එයා මිය ගියාට පස්සේ ඒ මතකයන් ඔස්සේ තැවි තැවී ජිවත් වෙන්නෙත් නැහැ. අළුත් ජීවිතයකට යනවා අතීතය අමතක කරලා. බොරු වික්ටෝරියන් සදාචාර බැඳීම් වලින් තම පුද්ගලික ජීවිතය සීමා කරගන්නේ නැහැ. නමුත් ඉතාම වැදගත් දෙය නම් ප්‍රථම සැමියා මැරෙන කල් ම එම බැඳීම තුළ ජිවත් වෙනවා තෘප්තිය හඹා යන්නේ නැතුව (සත්ව ආශය). ඒ කියන්නේ යම් මිනිස් වටිනාකම් ප්‍රමාණයක් නඩත්තු කරනවා ඇය යම් යම් දුෂ්කරතා ඇතුලේ වුනත්. පති වෘත්තාව කියල ගිණි ගොඩකට පැනලා මැරෙන්න තරම් බොරු විශ්වීය බවක් කවබතා පෙන්නන්නේ නැතුවා වගේම මිනිහෙක් දුර්වල වුණා කියල දමල යන්න තරම් සත්ව ගනයට වැටෙන්නෙත් නැහැ. ඒ වගේම මනමේ වර්ගයේ ප්‍රෙහේලිකා විසඳන්න හදන්නෙත් නැහැ කවබතා සම්ප්‍රදායික සාහිත්‍යයෙන් ශික්ෂණය වුණාට. සමස්ත කතාව ම සන්දර්භ ගත කරන්නේ යථාර්තවාදය ඇතුලේ. මිනිස් සන්තානය තුළ සාමාන්‍යයෙන්  ඇතිවන කුකුස් කියෝකෝ තුළත් ඇති වෙනවා. උදාහරණ වශයෙන් මම තාමත් තරුණයි නේද, මේ වෙනකොට ලොකු විපර්යාසයක් සිදුවෙලා තියෙනවා නේද, නවතාවයක් පිළිබද ආශාව වගේ හැගීම් ඇය වෙතට එන එක නතර වුනේ නැහැ. පළමු සැමියා කියන 'ජිවත් වෙනකම් මොනවා හරි පේන දේකට ඇලුම් කර කර ඉන්න ආසයි ' (රාජකරුණා, පිටුව 168) වගේ යෙදුම් හුඟක් ගැලපෙනවා ඔවුන් ජීවත් වෙන යථාර්තවාදයට. බාහිර ලෝකය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඔවුන්. බාහිර ලෝකය මිත්‍යාවක් ලෙස සිතන්නෙත් නැහැ ථේරවාදය වගේ. ඔවුන් කරන්නේ බාහිර ලෝකය තව තවත් ලස්සන කරන එක සහ පිළිවෙල කරන එක (ඒ පිළිවෙල ඊළඟ මොහොතේ විනාශ වෙන බව දැන දැනම). කැඩපතක් ඔස්සේ හරි ලෝකයේ ක්ෂය වෙන ලස්සනට (deteriorating beauty) ඔවුන් සම්බන්ද වෙනවා. මොකද ක්ෂය වෙනවා කියල තේරෙන්නෙත් ලෝකය පේන්න තියෙන නිසා (නාගර්ජුන ඉගැන්වීම). ඒ නිසා දාර්ශනිකව ගත්තොත් ජිවත් වෙන්න වෙන්නේ ලෝකය වෙනස් වන ප්‍රවාහයක් කියන එක දැනගෙන එම අවබෝදය ඇතුලේ මිසක් වෙන කරන්න දෙයක් නැහැ (පැවැත්ම සහ නොපැවැත්ම අතර). මේ වෙනකොට ජපනුන් බටහිරටත් වඩා අනාගමික (atheists) වන්නේ මේ නිසයි. ඔවුන්ට පන්සල් කියන්නේ හුදු පශ්චාත් නුතන සංචාරක අවකාශයක් විතරයි (tourism space) මේ වෙනකොට. අපිට වගේ මහා සද්ද පුජා පවත්වන ඇත්ත ජීවිතයට කිසිදු සම්බන්දයක් නැති යාඥා චක්‍ර අවකාශයක් නෙවෙයි. රාජපක්ෂ වගේ අයට නම් ඒක වැදගත් තමන්ගේ පසු නුතන සීනි දේශපාලන ව්‍යාපෘතිය ඒකට ගැට ගැහිලා තියෙන නිසා (postmodern sugar politics). 

මීට ටික කලකට කලින් මහාචාර්ය ආරිය රාජකරුණා සඳහන් කරලා තියෙනවා මනමේ නාට්‍යය 1995 වර්ෂයේ ගොඩගේ සංස්කරණය තුළ සෑහෙන වෙනසකට ලක් වෙලා තියෙනවා කියල. එතැනදී මනමේ කුමරිය වැදි රජු කෙරේ අනුරාග උපදවා ගන්නවා කියන මෙතෙක් ජාතක කතාවේ සිට පැවති ප්‍රවේශය වැදි රජු විසින් මනමේ කුමරිය කෙරේ අනුරාග උපදවා ගන්නවා කියන තැන දක්වා තේමාත්මක පෙරළියකට ගමන් කරනවා. 'එකුමරිය දැක වැදි රජු ඇයට අනුරාගෙනා' කියන ගීත ඛණ්ඩය තමයි එහෙම වෙනස් කරලා තියෙන්නේ (උපුටා ගැනීම 'කතිකා' බ්ලොග් අඩවිය). මෙතැනදී සරච්චන්ද්‍ර ට අවශ්‍ය කරලා තිබිල තියෙනවා සම්ප්‍රදායික මනමේ බිසව ම නිරූපණය වෙන එක වලක්වන්න. ඒ කියන්නේ අප මෙතෙක් දන්නා මනමේ බිසවගේ ආශා පෙරළුම (අවිනිශ්චිත බව) මහාචාර්ය සරච්චන්ද්‍ර තේමාවෙන් තමයි වෙනස් කරන්න හදලා තියෙන්නේ (ව්‍යුහය වෙනස් කිරීම ඇතුලේ). නමුත් නාට්‍ය යේ ඇත්ත ම ගැඹුර තියෙන්නේ එහි මුල් ස්වරූපය වන ස්ත්‍රිය ගේ වෙනස් වීම කියන තැන කියලයි මට හිතෙන්නේ. පිරිමියෙක් විසින් ආශා කිරීම වගේම ස්ත්‍රියක් විසින් ආශා කිරීම කියන එක පුරුෂ සදාචාරය ඇතුලේ බලන්නේ නැතුව තවමත් අර්ථකතනය වී නැති ස්ත්‍රියගේ ආශාව කියන තැන තවදුරටත් මනමේ තබා ගැනීම වඩා දේශපාලනිකයි වැදි රජු කරා ආශාව විතැන් කරලා නාට්‍යයේ ඇත්ත ලින්චියානු හැඟවූම (feminine depression කියන දේශපාලනික තැන) තනුක කරනවට වඩා (වොන් ට්‍රියර් වුණත් ඉන්නේ ස්ත්‍රී විෂාදය කියන එතරම් සුව පහසු නැති තැන). ඒ අර්ථයෙන් ගත්තම මේ ව්‍යූහාත්මක වෙනස කියන්නේ පරිණත වීමක් නෙවෙයි තනුක වීමක්. ඉතින් පහත වෙනස් කම දෙසත් බලන්න, 

 “දිරියෙන් යුද කළ – ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා – පිරුණයි ආලේ
නැතිමුත් රජකම – ඔබමයි පතන්නේ
ඇත මට හිමගිර – ඔබ සමඟින්නේ”
(1965 – මුද්‍රණය)

“දිරියෙන් යුද කළ – ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා – පිරුණයි ආලේ
වනයේ නෙක බිය – පහව යමින්නේ
චංචල වූ සිත – සැනසුම දෙන්නේ
නැතිමුත් රජකම – ඔබමයි පතන්නේ
ඇත මට හිමගිර – ඔබ සමඟින්නේ”
(1995 මුද්‍රණය) 
මෙතැනදී දෙවැනි සංස්කරණය ට ඇතුල් වෙනවා වැදි රජු නිසා වනයේ බිය පහව යන බව ට වන අදහසත් ඒ නිසාම චංචල සිත ට සැනසුමක් එන වගත්. නමුත් කිසි විටක ඇය කියන්නේ නැහැ (මේක පිරිමියාටත් අදාලයි) මම මැරුණත් මගේ ආදරය පාවා දෙන්නේ නැහැ කියල කියන දුෂ්කර වරණය (difficult choice) කියන එක. ඒ කියන්නේ ඇය තෝරා ගන්නේ 'කෙසේ හෝ මම පවතින්න ඕනි' යනුවෙන් ෂෙලින් (1997) හඳුන්වන අප භූමියට සම්බන්ද කරන ස්ථිතිය නැත්නම් ප්‍රවර්තනය (survival) කියන එක (ඇපල් ගෙඩියක් තිබ්බා. ඉතින් ඒක කාල දැම්මා). එතැනදී ඇය තෝරා ගන්නේ දෙන ලද භූමියේ තත්වයන් තුල බලය සහ වසඟය ට අවනත වීම (එය දරා සිටින පුරුෂ රූපය පුර්ව නූතන වුනත්). නමුත් රෝමියෝ සහ ජුලියට් (ස්ත්‍රී පුරුෂ) එකේ දෙදෙනාම අවනත වීම (කෙසේ හෝ පැවතීම) වෙනුවට මරණය තෝරා ගන්නා විට සහ ටයිටැනික් එකේ ජැක් (පුරුෂ) සීතල වතුරේ මරණය තෝරා ගන්නා විට මනමේ කුමාරි තෝරන්නේ ස්ථිතිය (ඔන්න ඔහේ කැලේ හරි කමක් නැහැ. කැලෙත් ලස්සනයි නේ. ජීවත් වෙන්න කොහේ මොකද කියන යටත් වීම). දන්නා උදාරණයක් හැටියට චේ වුණත් තෝරා ගන්නේ මරණය මිසක් යටත් වීම නෙවෙයි (බලන්න කරුණා අම්මාන් කුණු වෙලා තියෙන හැටි). කොහොම වුනත් මෙවර නත්තල් පණිවිඩයේ දි කරු ජයසුරිය කතානායක වරයා කියනවා යේසුස් කිසි විටක තම මුලධර්ම කොතරම් වධ වේදනා ඉදිරියේ වුනත් පාවා දුන්නේ නැහැ කියල. ප්‍රෙහේලිකා විසඳනවා හෝ යටත් වෙනවා වෙනුවට ඔහු මරණය තෝරා ගන්නවා (මේක තමයි පෙරදිග සහ බටහිර අතර වෙනස).  
  
ඉතින් මහාචාර්ය සරච්චන්ද්‍ර සෑහෙන වෙහෙසක් අරගෙන තියෙනවා ජාතක කතාවේ එන ගැහැණිය පිලිබඳ මතය තමන්ගේ නාට්‍යය ඇතුලේ වෙනස් කරන්න. නමුත් මනමේ කුමරිය ගේ ආශා පෙරළුම ලිහලා දෙන්න තරම් මනෝ විශ්ලේෂණය ඒ වෙනකොට දියුණු වෙලා තිබුනේ නැහැ. ආශාවේ ප්‍රභවය (origin of desire) වැදි රජු වෙතට විතැන් කළත් සැළකිය යුතු වෙනසක් වුණේ නැහැ මොකද මනමේ කුමරිය කියන කොටම අපේ හිතට එන්නේ පරණ කෙනා නිසා. දැන් ගොඩක් දේවල් දියුණු වෙලා තියෙන නිසා අද විචාරකයින් ට බැහැ සමකාලීන දැනුම මඟ හැරලා තමන්ට ඕනි විදියට ඒක අර්ථ කතනය කරන්න. මනමේ නැවත කියවනවා කියන්නේ ම පවත්නා සාහිත්‍ය විචාරය තව තවත් මුවහත් වෙනවා කියන එකට. 'නොදනිමි කාගේ දෝසා' කියල නිදහස් වෙන්න බැහැ මොකද තමන්ගේ ක්‍රියාවට තමන් වග කියන්න ඕනි නිසා. හබමාස් (1987) කියන ජීවන ලෝකය සබුද්ධික කරණය ඇතුලේ තියෙන විදියටම තිබ්බොත් මනමේ කියන්නේ තව දුරටත් පශ්චාත් නුතන නාට්‍යයක්. නමුත් මනමේ කුමරියගේ ආශාව නුතන සන්දර්භය ඇතුලේ සාධාරණී කරණය කලොත් ඇතැම් විට එය නුතන නාට්‍යයක් විය හැකියි. පූර්ව නුතන යථාව (වැදි රජ) වෙතට යමෙක් අනුරාගික වෙන්නේ ඇයි කියන එක මනමේ කුමරියට වගේම අද දවසේ දේශපාලනය ඇතුලේ පවා විසඳා ගත යුතු ප්‍රශ්නයක් මේ වෙනකොට. නුතන වටිනාකම් හැටියට ගැනෙන ප්‍රජාතන්ත්‍ර වාදයේ විශ්වීය බව වෙනුවෙන් හුස්ම අල්ලන්නේ නැතුව කතා කරපු මිනිහෙක් ආපහු ගිහිල්ල රාජපක්ෂ ගේ කරේ අත දා ගන්න කොට අපට මනමේ කුමරිය සිහි වෙන එක අරුමයක් නෙවෙයි. කොහොම වුනත් අවසාන වශයෙන් මෙහෙම කියමු. බලයේ වසඟය කියන එක ඔස්සේ ගියොත් එතකොට ඒ වසඟය පසු නුතන යි (බ්‍රෝදිලා ට අනුව). එතකොට මනමේ කුමරියත් පසු නුතන යි. කෙසේ හෝ පැවැත්ම ගැන හිතුවත් ඇය පසු නූතන යි. ආශා පෙරළුම සහ ප්‍රෙහේලිකාව ඔස්සේ ගියත් මනමේ කුමරිය පසු නූතන යි. පිරිමි ලෝකයේ සීමාව ප්‍රශ්න කිරීම කියන හිස්ටරික තැනදී විතරක් මනමේ කුමරිය අමානුෂික වුනත් එතැනදී යමක් සිදුවීමට නියමිත නිසා එම ප්‍රචණ්ඩ බව නූතන යි කියන්න පුළුවන් ජිජැක් ට අනුව (රනිල් ට වෙනස් වෙන්න බලකරපු දේශපාලනික තැන). නමුත් බටහිර නිල් චිත්‍රපට වල දැන් ටිකක් කල් ඉඳල තියෙන Cuckold කියන නිවට සැමියා ෂානරය (තම සැමියා බලා ඉන්නකොට වෙනත් ආගන්තුක කෙනක් එක්ක සෙක්ස් කරන එක සහ සැමියා ගේ පුරුෂ ලිංගයට නින්දා කරන එක) මම කියන්නේ ප්‍රචණ්ඩ බවකට වඩා විපරීත බවක් කියල. මේ වෙනකොට 2015 මෛත්‍රී පාලනය ට චන්දෙ දුන්න අයට මම හිතන හැටියට වෙලා තියෙන්නේ අර නිල් චිත්‍රපටයේ නිෂ්ක්‍රීයව බලා සිටින නිවට සැමියා ට වෙලා තියෙන එක. 

මහේෂ් හපුගොඩ      

කියවීම්        
රාජකරුණා, ආරිය (2016). කවබත යසුනරි ගේ කෙටි කතා. සරසවි. නුගේගොඩ.

කවිරත්න, ඉසුරු (2016). Maname: A Tale of Destiny. Sunday Observer. Colombo. Lake House. 

කතිකා බ්ලොග් අඩවිය (2014). මනමේ පරිණත වීම. https://kathika.wordpress.com/2014/04/12. 

Baudrillard, J. (1990). Seduction. (trans. Brian Singer). New York. St. Martin's Press. 

Dolar, M. (1998). The Sultan's Court: European Fantasies of the East (Alan Grosrichard). London. Verso. 

Habermas, J. (1987). The Theory of Communicative Action (vol.2). Lifeworld and System: A Critique of Functionalist Reason. Boston. Beacon Press. 

Zizek, S. & Shelling, F.W.J. Von (1997). The Abyss of Freedom/Ages of the World. USA. The University of Michigan Press. 

Zizek, S. (1998). Metastases of Enjoyment: Six Essays on Women and Causality. London. Verso. 

Zizek, S. (2002). For They Know Not What They Do: Enjoyment as a Political Factor. London. Verso. 


Tuesday, December 11, 2018

ඉතිහාසයේ ආපතික ආක්‍රමණය සහ නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය



2015 වසරේ සිදුවූ රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩු පෙරළිය සහ යහපාලන බලවේගයේ නැගීම එක් සිද්ධියක් (බදියුයානු අයුරින්) ලෙස ගතහොත් සහ 2018 නොවැම්බරයේ සිදුවූ 'ඔක්තෝබර් විප්ලවය' යනුවෙන් හැඳින්වෙන විපරීත තත්වය තවත් සිද්ධියක් ලෙස ගතහොත් දෙවන සිද්ධියෙන් පළමු සිද්ධිය සදහටම නිශේදනය වන අකාරය අපට දකින්නට පුළුවන්. 2015 ජනතා බලාපොරොත්තු ලෙස හඳුනා ගන්න පුළුවන් ලාංකික දේශපාලන දේහය ප්‍රජාතන්ත්‍රීය කරණය නම් ක්‍රියාව (democratizing the Sri Lankan political body) කෙරෙහි අප සමකාලීන දේශපාලනය කොතරම් භක්තිමත් නොවුනාද යන කාරණාව ඒ ආණ්ඩුව බලයට පත්වෙච්චි දවසේ ඉඳලම දකින්නට තිබුණා. ඒ කියන්නේ අපට ජේ. ආර්. ගේ ලෝකයෙන් ගැලවෙන්න උවමනාවක් තිබුනෙම නැහැ වගේ තමා අපි හැසිරුණේ. බැඳුම්කර ප්‍රශ්නයේ ඉඳල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම වගේ ව්‍යාපෘති වලින් අර මුල් සිද්ධියේ ප්‍රභාව (සංකේතනය කියමුකෝ) දිගින් දිගටම මැකෙමින් තමයි තිබුණේ. මේ නොවැම්බරේ සිදුවුණේ 2015 ප්‍රවේශය සම්පුර්ණයෙන් අමතක කරලා (එහි ආතතිය සහ අපේක්ෂා භංගත්වය මතින්) නැවත පැරණි අත්තනෝමතික ව්‍යුහය වෙත භක්තිමත් වීම (මේකට නොයෙක් කරුණු ගේන්න පුළුවන් කරපු වැඩේ සාධාරණී කරණය කරලා). රනිල් ල මෛත්‍රී ල වෙන වෙන ව්‍යාපෘති වලට මාරු වෙද්දී සහ අනෙක් අය මේ සමස්ත ක්‍රියාව සැක කරද්දී (යහපාලන ජන රැල්ල යනු මාක්ස්වාදී විප්ලවයක් නොවෙයි කියන තැන ඉඳල) එක් දේශපාලන පක්ෂයක් විතරක් ඉහත 2015 ජනතා බලාපොරොත්තු වෙනුවෙන් හැමදාම කතා කළා වගේම පෙනී සිටියා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන්ගේ ජාතිකවාදී ඉතිහාසය පිළිබද නොවිසඳුනු ගැටළු බොහොමයක් තිබුණත් ඉහත ප්‍රස්තුතයේදී ඔවුන්ගේ මහන්සිය අපි අගය කරන්න ඕනි. කේ. ඩී. ලාල් කාන්ත සහෝදරයා මෑතකදී පෙනී සිටිය දෙරණ වැඩ සටහනකදී පවා අවධාරණය කළේ ඔවුන් තව දුරටත් 2015 ජනතා බලාපොරොත්තු වෙනුවෙන් පෙනී සිටින බවයි. මට අනුව එය විශ්වීය තත්වයක් කියල කියන්නයි මේ හදන්නේ. ඒ කියන්නේ ඔවුන් බලයට පැමිණි දේශපාලන සිද්ධිය ට ඔවුන් තවමත් භක්තිමත් කියන බදියු (2015) සඳහන් කරන කරුණ අපේ පැත්තෙන් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින මිනිස්සු පැත්තෙන් ගත්තම ඉතාම වැදගත්. බදියු සඳහන් කරන පරිදි බිඳ වැටුන විප්ලවීය ව්‍යාපෘතිය නැවත පුනර්ජීවනය කර ගත යුතු නම් අප මුලින් කරන්න ඕනි ඉවසීම ප්‍රගුණ කරන එක. ව්‍යවස්ථාවට වෙට්ටු දාල බොරු නොවැම්බර් විප්ලව කරන එක නෙවෙයි. එතැනදී දර්ශනය විශාල කාර්යක් කරනවා ඉවසීමෙන් අපට කරුණු තේරුම් කර ගන්න (දර්ශනය කියන්නේ විශිෂ්ට මාලිමාවක් කියන එක මම හැමදාම අවධාරණය කළේ ඒකයි. අපි ඒක වැරදි විදියට භාවිතා කලොත් එහි වන්දිය අපේ පරම්පරාවට ගෙවල ඉවර කරන්න බැරි වෙයි). බදියු ට අනුව මේ සිදුවී තිබෙන්නේ සැමදාම සිදුවන ආකාරයේ දර්ශනයේ සහ ඉතිහාසයේ ආක්‍රමණයක් (ආර්ථික සිරගත වීමෙන් එලියට එන්න ජර්මනියේ සිදු වුණා වගේ). එතකොට අපි කරන්න ඕනි එකම දෙය තමයි දර්ශනය වෙතට ම පසු බහින එක. එවිට දර්ශනය විසින් ම සිතීම ආරම්භ කරනු ඇත කියන එක තමා බදියු ගේ මතය. එවිට අපට ඇතැම් විට සත්‍ය ය හමුවෙන්න පුළුවන්.        
  
කෙසේ වුනත් ඉහත සන්දර්භය යටතේ මෙම ලිපිය ලියන්නේ කේ. ඩී. ලාල් කාන්ත සහෝදරයා කරපු 'හිඟන' වාක්‍යය ගැන වුනාට ඇත්තටම ලියවෙන්නේ එම වාක්‍යය  ම ගැන නොවේ කීවොත් එය සත්‍යයක්. ලාල් නියෝජනය කරන්නෙත් ඉතිහාසයේ ආක්‍රමණික පක්ෂයක් (දිල්කා තේරුම් ගන්න විදියට නොවේ). ඒ නිසාම ඔවුන් ඒ ආක්‍රමණය වෙනුවෙන් ගෙවිය යුතු මිළ ගැනත් හොඳින් දන්නවා හාන්සිපුටු විචාරකයින්ට වඩා. කොහොම වුනත් කරුණු දෙකක් නිසා මේ දවස් වල කේ. ඩී. ලාල් කාන්ත වැදගත්. එකක් ඔහු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටන්කාමී නුතන අදහස් දැක්වීම. අනෙක තමන්ගේ දුවගේ අධ්‍යාපනය සම්බන්ධව කරන විවේචන වලට දෙන පසු නුතන පිළිතුර. බැලු බැල්මට ඔහුගේ දේශපාලන ජීවිතය සහ පුද්ගලික ජීවිතය අතර පරස්පරාත්මක දයලෙක්තිකයක් ලෙස පෙනෙන මෙම නොගැලපීම අප තේරුම් ගත යුත්තේ කෙසේද කියන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි එක අතකට මෙම ලිපිය ලියන්නේ. විශේෂයෙන් පුද්ගලික දේ දේශපාලනික වන බවට වන ස්ත්‍රීවාදී මතය ජයදේව උයන්ගොඩ විසින් මෑතදී නැවත ඉස්මතු කිරිමත් සමග ඉහත තත්වයට නව අර්ථකතනයක් පවා ලැබීමට ඇති මේ මොහොතේ එය සලකා බැලීම වැදගත් කියල හිතුණා. විශේෂයෙන් දුවක් කියන්නේ ස්ත්‍රියක් කියන තත්වය තුල (පුද්ගලික දේ දේශපාලන වන තැන) සහ ලාල් කාන්ත සහෝදරයා කියන 'අපි දේපළ තියෙන මිනිස්සු. හිඟන්නෝ නෙවෙයි' (පුද්ගලික දේපළ සහ පවුල කියන එංගල්ස් ගේ මතය අරබයා ඔහුගේ අහමේ උත්තරය) කියන සුළු ධනේශ්වර තත්වය (හෝ මැද පාන්තික ආස්ථානය) වගේම අනුර සහෝදරයා පවා දැන් ඉන්න කිසියම් වූ සමාජ තත්වය යන සියලු සාධක ගත්තම ජ. වි. පෙ. සෑහෙන පමණින් පවත්නා තත්වය තුල වෙනස් ගමනක් යන්න හදන බව පැහැදිළියි. හිඟන්නන් ට මිනිස්සු ආශා නැති නිසා ඇත්තටම මිනිස්සු ආශා කරන දේශපාලඥයෝ බවට පත්වෙන්න ඔවුන් උත්සාහ ගන්නවා. ඒ නිසාම ඔවුන්ගේ චින්තනයත් වෙනස් වී තිබෙනවා. ටයි කෝට් අඳිනවා, කාර් වල යනවා, ඉංග්‍රීසි කතා කරනවා (පෙරටුගාමී එකේ වගේ හපුටු විදියට ඉන්නේ නැහැ), ළමයි විදේශ ගත කරනවා, තමනුත් විදේශ සංචාර යනවා, වෙන දියුණු රටවල මිනිස්සු වැඩ කරන හැටි දකිනවා. ටිකක් දියුණු විශ්ව විද්‍යාල වලට යන ඒ ළමයි උනත් තාත්තල ට කියනවා ඇති ලෝකය යන අලුත් පිළිවෙල. ඒ නිසාම ඉස්සරට වඩා හොඳින් ඔවුන් දිල්කා වගේ බොරු පොෂ් ප්‍රශ්න අහන අයට කවුන්ටර් ඇටෑක් එකක් දෙනවා. සියල්ල අස්සේ බුර්ෂුවා පවුල ඉදිරියට යනවා. බුර්ෂුවා දේශපාලනයත් ඉදිරියට යනවා. සියල්ල පසු නුතන වෙද්දී විය යුතු පරිදිම රොහාන් පෙරේරා ගේ ප්‍රාරම්භක මතවාදය කෙමෙන් කෙමෙන් කාටත් අමතක වෙනවා කියල කියන්නත් කෙනෙකුට පුළුවන්. නමුත් මට පෙනෙන හැටියට නව පශ්චාත් නුතන ජ. වි. පෙ. බුර්ෂුවා දේශපාලනයට වෛර කරනවා වෙනුවට එහි හොඳ ලක්ෂණ උකහා ගන්න හදනවා තමන්ගේ දේශපාලන ජීවිතයට (සමහර විට රනිල් ට වඩා රනිල් වීම කියන ප්‍රවාදය අනුව යාම කියන්න පුළුවන් - කියවන්න රනිල් රැකගත යුතුද? සහ රනිල්ටත් වඩා රනිල් විය හැකිද? ලිපි දෙක). ඒක නිසයි අනුර කියන්නේ 'රනිල් ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරුවා' කියල (සත්‍ය මුරකරුවා තමන් විය හැකි බැවින්). මේ නව තත්වය නිසා අනිවාර්ය වශයෙන් සම්ප්‍රදායික මාක්ස්වාදයෙන් ඔවුන්ට වියෝ වීමට සිදු වනවා විතරක් නොවෙයි (විමුක්ති දේශපාලනයෙන් ප්‍රජාත්‍රන්ත්‍ර වාදයේ මුරකරුවන් බවට පොළා පැනීම) බර්නි සැන්ඩර්ස් පන්නයේ නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් වෙතත් ඔවුන් පියමන් කරනවා (ලිබරල් ආකෘතිය ඇතුලෙ ම විකසිත වෙමින්). ඉතින් මේක ගොඩක් ම අලුත් තත්වයක් හෝ නරක තත්වයක් නොවුනත් අපේ පැත්තෙන් සලකා බැලිය යුතු දෙයක් (මොකද ජිජැක් පැහැදිලිව කියනවා සැන්ඩර්ස් සහ ට්‍රුම්ප් හිතවාදීන් දෙපිරිස එකතු වීම යනු ම නව පන්ති අරගලයක ඇරඹුමක් විදියට - කියවන්න The Independent හි පළවූ Alt-right Trump supporters and left-wing Bernie Sanders fans should join together to defeat capitalism). මෛත්‍රී, රනිල් සහ මහින්ද යන ධනේශ්වර බලවේග තුනම නිර්-නෛතික වී ඇති මේ මොහොතේ ජ. වි. පෙ. ප්‍රමුඛ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ඉස්මතු වන්නේ නම් එයට නව ගෝලීය නෛතික භාවයක් ඉබේම ඇතිවෙමින් යනවා. නමුත් එය පරණ විප්ලව ආකෘතියත් නොවිය හැකි බව නම් ඇත්තයි. මේ නව තත්වය සිහියේ තබාගෙන සහ ලංකාවේ භුමිය කියන්නේ ඇමෙරිකාව නොවන බවත් සිහියේ තබාගෙන මුලින් බලමු ලාල් සහෝදරයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අදහස් දැක්වීම. 

එක එක විදියට මුලික නීතියට වෙට්ටු දමපු වාහෙලා ට සහ පිස්සන්ට නියම පිළිතුරු දෙනවා ඔහු දෙරණේ දිල්කා සමන්මලී අහන ප්‍රශ්න අරභයා. ගොඩක් වෙලාවට දෙරණ වගේ පට්ට පසු නුතන නාලිකා හදන්නේ කේ. ඩී. සහෝදරයව අන්නන්න නිකම් බොරු විමුක්ති ප්‍රශ්න දාල (pseudo revolutionary issues). නමුත් ඒ සහෝදරයා නියමෙට ප්‍රතිචාර දක්වනවා දිල්කගේ වහල් මනස හිරි වැටෙන්න (එහෙම කියන්නේ කිසිදු ස්ත්‍රී විරෝධයක් නිසා නොවේ. මේ අය ස්ත්‍රීන් නොවන නිසා. යහපත ගැන විශ්වීය අදහසක් නැති වහල්ලු නිසා). හරිම තාර්කික විදියට ඔහු උත්තර දෙනවා. ලාල් සොහෝදරයා දෙරණේ පසු නුතනත්වයට මුහුණ දෙන හැටි දැක්කම ඇත්තටම ඔහු ගැන ආඩම්බරයි. දේශපාලනය කියන්නේ මිනිස්සු දිනා ගන්න එකට. ඔහු එය නියමෙට කරමින් ඉන්නවා. අනිත් නියම වැඩේ තමයි දිල්ක අහනවා විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද කියල. හරියට මේ අය විප්ලවයක් කළා වගේ. ලෙනින් ල කරපු වැඩේ සහ දිල්ක කරන වැඩේ හරියට එකක් වගේ තමයි සමාන්තර ගත කරන්නේ. රජ්ජුරුවන්ට කඩේ යන ගමන් නිකම් ගහල දානවා විප්ලවය වගේ යෙදුම් වලින් අමාරු දේශපාලනයක් කරන මිනිස්සු වෙතට. නමුත් මාර ඉවසීමෙන් ලාල් කාන්ත සහෝදරයා ඒවාට උත්තර දෙනවා. ඒක හොඳ සම්ප්‍රදායක්. විනය කියන එක ඔහු පෙන්නනවා පිරිමි දේශපාලන සංකේතනය ඇතුලේ ඉන්න ගමන් ම. ගොඩක් දේවල් අපට ඉගෙන ගන්න ඔහු ඉතුරු කරනවා. රනිල් ල පවා ඔහුගෙන් ඉගෙන ගන්න ඕනි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ ඉන්නේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. සදාචාරය සහ දේශපාලන කියන්නේ දෙකක් නොවේ. සදාචාරය ම තමයි දේශපාලනය. එම විශ්වීය යහපත ඔවුන් නියෝජනය කරන නිසා තමයි මේක ලියන්නේ (මගේ දේශපාලනය වෙනස් වුනත්). මිනිස් නිදහස යන සමස්ත සන්දර්භය තුල සමස්ත අරගලය ඇතුලේ මම ජ. වි. පෙ. සහ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේ වෙලාවේ ඉන්න තැන හිට ගන්නවා. ලාල් සහෝදරයට වගේ අයට හුඟක් වාසි දායක දේවල් කරන්න පුළුවන් උනාට ආත්මය පාවල දීලා ඔවුන් එහෙම කලේ නැහැ. ඒක තමයි සදාචාරය. ඒක තමයි විශ්වීය බව. අමරණීය වෙන්නේ එහෙම අය. මම හිතන්නේ 'ශිෂ්ට' කියන්න පුළුවන් ඒ වගේ සහෝදරවරුන්ට. ඒත් කෝ ඔය මනෝ විශේෂණය උඩ දාන මහා පොරවල් තමන්ගේ වදන් කේන්ද්‍රීය බව (ශිෂ්ට බව) ඔස්සේ මේ ශිෂ්ටත්වය අත්පත් කර ගන්නවා? කෝ ඔය කියන මාලිමාව? හැබයි හොඳට හිතට ගන්න ඕනි දෙයක් තමයි මේ සමස්ත වැඩේ ඇතුලේ බැසිල් වැඩිය සද්ද කලේ නැත්තේ ඇයි කියන එක (කතා කරන වචන අඩුයි). ළමයි ඇමෙරිකාවේ ඉන්න, ලංකාව ගැන හොඳ රීඩින් එකක් තියෙන ඔහු දැනගෙන හිටියා වැඩේ අවුල් වෙනවා කියල (නලින් ට ඔහු පාවා දෙන්නෙක් හැටියට පෙනුනට ඔහු කළේ නලින් ල කරනවා වගේ සිංහල බෞද්ධ තකතීරු කමක් නෙවේ). මුලින් කරන්න කලින් හිතන්න ඕනි තමන් කරන වැඩේ මේ භුමියේ පැල වෙයිද කියන එක. අවසාන වසර හාර සීය ඇතුලේ මේ භුමිය සකස් කලේ සුද්දා. උගේ 'නුතන අවතාරය' මේ භුමියේ තියෙනවා. ඒ කියන්නේ අපේ පුර්ව නුතන ආසියාතික ලෝකය නැවත යම් විදියකින් ප්‍රාදුර්භුත වුනොත් නුතන විශ්වීය වටිනාකම් වලින් එය කප්පාදු වෙනවා කියල අපි දැනගන්න ඕනි (කනේ අපිට නිතර කියවෙන්නේ 'අනේ සුද්දවත් ආවනම් හොඳයි' කියල. මේ ගැන ඕනිනම් ඇතිවෙන්න සංවාද කරමු). ඒ කියන්නේ රජ්ජුරුවෝ පරදිනවා රෝම ලන්දේසි නීතිය ඉදිරියේ (ඒ නිසා මෛත්‍රී පිස්සු කෙළිනකොට රනිල් දිගටම උසාවිය විශ්වාස කලා. මහින්ද සරම කඩා ගන්න කල් බැසිල් සද්ද නැතුව හිටියා). සරලයි.  

මම පුරෝකථනය කරපු දේ ම ලාල් සහෝදරයත් අනුමාන කරනවා. ඒ තමයි විනාශ වූ සංකේතනය ඇතුලේ හමුදා ආණ්ඩුවක් එන්න පුළුවන් කියන එක. එක අතකට ඒක තමයි වෙන්න ඕනි කියල හිතෙනවා මේ වෙලාවේ (මධ්‍යස්ථ විදියට වෙනවා නම්). තියෙන හිරවීමෙන් එලියට එන්න වෙන විදියක් නැහැ වගේ. මොකද මෛත්‍රිපාල විසින් අපිව ඉවරෙටම ඉවර කළා. මොන මාලිමාවක් වත් ආයේ ඔහු ඉතුරු කළේ නැහැ අපිට ගමන් කරන්න මඟ පෙන්වන්න. මහා බුද්ධිමතෙක් නොවුනට ලාල් සහෝදරයා වගේ අය තමන් දන්න සීමාව ඇතුලේ විශ්වීය ලෙස වැඩ කරනවා. එයාගේ දුව යන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට වෙන්න පුළුවන්. ලෝකේ මේ වෙනකොට වැඩියෙන් ම තියෙන්නේ පුද්ගලීක විශ්ව විද්‍යාල (හුගක් ඒවා ගොඩක් ජනප්‍රියයි ලංකාවේ සුළු ධනේශ්වර කියල කලාපය ඇතුලේ). අනික එතන තියෙන්නේ සාංදෘස්ටික ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔහුගේ දුව ට බැහැ ලාල් කාන්ත වගේ වෙන්න. ඒ වගේ දේශපාලනික වෙන්න (එහෙම වෙන්න ඕනිත් නැහැ). දුවගේ ජීවිතය ගොඩක් වෙනස් ඇති මේ නව ජිවන ලෝකය (life-world) ඇතුලේ. ලාල් ජිවත් වුනේ රෝහණ සහෝදරයාගේ සංකේත ලෝකයේ වුනාට එයාගේ දුව බටහිරට ගියොත් ඇයගේ ජීවන ලෝකයේ වීරයා වෙනු ඇත්තේ එන්රිකේ වෙන්න පුළුවන්. හුඩ් එක තියෙන කළු ජැකට් එක දාල හෙඩ් ෆෝන් කණේ ගහගෙන බිම බලාගෙන යන අලුත් පරම්පරාවක් තමා එහෙ ඉන්නේ මෙහෙ මේ පට්ට ගොඩයෝ හිටියට. එයාලට වැඩක් නැහැ මේ අපි හැමදාම කතා කරන දේශපාලන බම්බු කතා. කණේ ඇබ ගහගෙන එදිනෙදා ලෝකයෙන් ඛණ්ඩනය වෙලා තත්‍ය සමාන ලෝකයක ඉන්න උන්ට වෙන 'වැඩ' තියෙනවා කරන්න. උන්ට සිංදුවක් ඇහුවත් ඇති මේ පිස්සු දේශපාලන කතා අහනවා වෙනුවට. (අලුත් පරම්පරාව කියන පරණ Chicago ලා ගේ You are my inspiration කියන ගීතය අහන්න). උන්ගේ හීන වෙනස්. ඒකයි මම කියන්නේ ඔය රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල කරන කියන දේවල් වලට වඩා හුඟක් වෙනස් විදියට බලන කොටසක් අද ඉන්නේ. රනිල්, මෛත්‍රී, ලාල්, අනුර, අපි හැමෝම දැන් එක අතකට පරණයි. නව ප්‍රවේශයක් ඕනි ලාල් ගේ දුව නියෝජනය කරන පෝස්ට් මොඩන් පරම්පරාවට කතා කරන්න. ඒක වෙන්න ඇති හර්ෂ ද සිල්වා, හරින් ප්‍රනාන්දු වගේ අය ඉස්මතු කරන්න එ. ජා. පෙ. හදන්නේ (සාර්ථක අසාර්ථක බව තව මනින්න බැහැ). ෆෝන් එකෙන් ඇස් දෙක ගන්නේ නැති මෙම පරම්පරාව ට නිශ්චිත භූමියක් නැහැ අපි මෙහෙ පණ දාගෙන භූ දේශපාලනය කළාට. සයිබර්-ඩිජිටල් භූමිය තමා ඔවුන්ගේ දේශපාලන අඩවිය. නිර්නාමික අවධියක් ලෙස හැඳින්වෙන මෙම නව යුගය එක් අතකට හෛඩගර් හදුන්වන්නේ ආත්ම මුලිකත්වය සහ වාස්තවික බව ඉක්මවූ අවධියක් හැටියට. ඒ කියන්නේ අපිට තිබුන බාහිර ලෝකය සහ මම අතර ගැටුම ඔවුන්ට නැහැ (මේ තත්වය හරියටම සුත්‍ර ගත කරන්නේ විසි වන සියවසේ අද්විතීය චින්තකයෙක් වුන හෛඩගර්). ඔවුන් ඔවුන්ගේ සයිබර් ලෝකය එක්ක පුර්ණ වශයෙන් අනන්‍ය යි (දුරක් නැහැ). ඒ නිසා රෝහණ විජේවීර සහෝදරයා වෙනස් කරන්න ගිය බාහිර ලෝකය තවදුරටත් ලාල් ගේ දියණියට (හෝ වෙන ඕනෑම දියණියකට) ප්‍රපංචයීය නැහැ කියන එක අප පිළිගත යුතු සත්‍යයක්. ෆෝන් එක දිහා බලාගෙන හිටියට ඔවුන්ට හරි වැරැද්ද තේරෙන්නේ නැතුවත් නෙවෙයි (අපි පිස්සු කෙළිනකොට ඔවුන් ෆේස් බුක් විප්ලව කරනවා). ඉතින් ලාල් කාන්ත සහෝදරයා ගේ දියණිය ඇයගේ තාත්තා ගැන පොතක් ලිව්වොත් එය කෙසේ වනු ඇත්ද? 

තව දුරටත් ධනවාදයට එරෙහිව මිනිසුන් එක්රැස් නොවන්නේ නම් කල යුත්තේ කුමක්ද යන්න තමා ජිජැක් මේ වෙනකොට පිළිතුරු හොයන ප්‍රශ්නය. ඉතින් අපි වුනත් අරගල කරන්නේ මේ මිනිසුන් ඒකරාශී නොවන තත්වය එක්ක. කෙසේ වුවත් මේ ඊයේ පෙරේදා සිදුවුන සිදුවීම් වලට එරෙහිව යම් ප්‍රමාණයකින් මිනිස්සු එක්රැස් වුණා නමුත් ඒ එකක් වත් ධනේශ්වර විරෝධී අරගල හෝ එක්රැස් වීම් නොවෙයි. කණේ ෆෝන් ඇබ දෙක ගහගෙන අඟල් හතරක ඩිජිටල් තිරයක් එක්ක ගණුදෙනු කරන පරම්පරාවක් එක අරමුණකට එකතු කරන්න බැරි වුනත් (පරණ අර්ථයෙන්) ඔවුන් වෙතට අපේ පණිවුඩය ගෙනියන්න ඕනි. එතැනදී වැදගත් දෙය තමා මෙම ඩිජිටල් පරම්පරාව අපි මෑතක දැක්ක 'ඔක්තෝබර් විප්ලවය' කියන විපරීත තත්වය එක්ක හිටගත්තේ නැති එක. ඔවුන් රනිල් ගැන එතරම් හිතුවෙත් නැහැ, මහින්ද රජෙක් කියල ගත්තෙත් නැහැ, මෛත්‍රී කරන්නේ විප්ලවයක් කියල පිළිගත්තෙත් නැහැ. ඊජිප්තු අරගලයෙදී තරුණ තරුණියන් එකතු වුණේ ඒකාධිපති වැඩ පිළිවෙලක් පරද්දන්න (පසුව සිදුවූ දෙය ගැන නොවේ මම කියන්නේ). ඒ වගේම රැල්ලක් මේ වතාවෙත් ලංකාවේ ඉස්මතු වුණා (යහපාලන වැඩේට එකතු වුණා වගේ) අවම වශයෙන් සමාජ ජාලා අතරේ. ඒ නිසා මම අනුමාන කරන දෙය තමා උසස් ප්‍රජාතන්ත්‍රවාදී බල වේගයකට හැර නැවත රටේ බලය ගන්න බැරි තත්වයක් (නිර්නාමික ගාමක බලයක්) රටේ තවම තියෙනවා කියන එක (මෛත්‍රී ගේ වැඩේ නිසා වුණේ ඒක නැවත ඔප්පු වෙච්ච එක).  මේ බලවේගයේ විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් (ඒ කියන්නේ සමනලී ෆොන්සේකා පරම්පරාව). තරමක් නාගරික උගත් වගේම විවේචනාත්මක කොටසක් ලෙස ගන්න පුළුවන් මේ තරුණ බලවේගය විසින් සෑහෙන පමණ පීඩනයක් දෙනවා අධිපති ව්‍යුහය වෙතට. ඔවුන් කරන කියන දේ විසින් මොඩ් වෙන්න හදන ග්‍රාමීය කොටස් වලින් නගරයට එන සංක්‍රමණික කොටසේ චින්තනය සකස් වෙනවා. දිදුළන හදවත, නව පරපුර, අලුත් පරපුර වගේ නම් වලින් කලඑළි බැහැපු මේ පරම්පරාව විසින් පරණ අය පිස්සු නටන බව ඔවුන්ට බාල පරම්පරාවට සම්ප්‍රේෂණය කළා (ඇත්තටම වුණේ පරණ අය පිස්සු නටපු එක තමයි). මම හිතන්නේ ඒ වැඩේ සෑහෙන්න සාර්ථක වුණා ඊජිප්තු අරගලයට වඩා (සටනේ ප්‍රථිපලය රනිල් ගේ ආගමනය වුනත්). ඇත්තටම දිනුවේ රනිල් නෙවෙයි අර පරම්පරාවේ සටන (ඒක රනිල් නිහතමානීව පිළිඅරන් තියෙනවා. මම හිතන්නේ රනිල් පවා ගැඹුරු ලෙස සෙලවීමකට ලක් වුවා මෙම සිදුවීම මතින්). ඒ කියන්නේ නැවත වරක් දිනුවේ මිනිස් නිදහස ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය (රජ පවුලේ රැස් වළල්ලට එරෙහි බලවේගය). වැඩවසම් ව්‍යුහයට එරෙහි බලවේගය (ඇත්තටම මෛත්‍රී මේ බලවේගය පාවලා දුන්නේ කොහොමද කියන එක අපි දන්නා මනෝ විශ්ලේෂණය ඇතුලේ පැහැදිළි කර ගන්න බැහැ ඇත්තටම ඔහුට මානසික අබාධයක් නැත්නම්). අයිවන් මහතා ඒකයි කියන්නේ පරණ පරම්පරාව ඉවරයි කියල. ඒකෙන් අදහස් කරන්නේ පරණ පරම්පරාව මේ නව ධනවාදයේ ආතතිය තුළ මානසික ලෙඩ්ඩු කියන එක. ඒ නිසා කොහොමත් අපේ පරම්පරාවේ ඊළඟ චන්ද අපේක්ෂකයින් ජෝන් හොප්කින්ස්, මැසචුසෙට් හෝ බල්ටිමෝර් වගේ සායනයකට යවල සායනික වාර්තාවක් ගන්නම වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ). ඒ සඳහා කරන ආයෝජනය රට පැත්තෙන් ඉතාම වැදගත්. මගේ පරම්පරාව මෙවන් මානසික සෞඛ්‍ය සායනයකට යන්න ලජ්ජා නම් ඒ සඳහා ස්වේච්චා වෙන් මම ඉදිරිපත් වෙනවා පළමු වැන්නා හැටියට. ටෙස්ට් එක ෆේල් වුනොත් මෙහෙම හරි කරන ලිවීමත් නතර කරලා දමනවා. ස්ථිරයි. 

කොහොම වුනත් අපිට බැරිවුණා 'විප්ලවීය ක්‍රියාව කියන්නේ කොන්දේසි විරහිතව සියලු නෛතික සීමා නොතකමින් විමුක්ති අවසානයක් දක්වා යන එක' කියන ජිජැකියානු වැකිය (කියවන්න ඇලන් ජොන්සන් ගේ Slavoj Žižek’s Theory of Revolution: A Critique) හරියට අර්ථකතනය කර ගන්න අපේ සන්දර්භය ඇතුලේ. 19 වන සංශෝදනය හරහා මේ වනවිට අපි යම් සමාජ වෙනසක් කරලා තිබුනේ. මෛත්‍රීට තිබ්බේ ඒක අවසානය දක්වා ගෙනයන්න විතරයි. ඒක කරනවා වෙනුවට ඔහු කළේ වෙන දේවල්. අන්තිමට විධායක ජනාධිපති ධුරය සම්පුර්ණ යෙන් වෙනස් කරමු කියලා යෝජනාවක් වත් ගෙනාවේ ජේ. වී. පී. එක විතරයි. ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවයේ සිදු වුණා පරිදි පවත්නා නීතිය උල්ලංඝනය කරන්න ගිහිල්ලා පවත්නා යථාර්තය ත්‍රස්තකරණය කරන්න තමයි මෙම දේශපාලන කුමන්ත්‍රණයේ මොළ කාරයින් තැත් කළේ.  එවිට ඇතිවන නව තත්වය විසින් සිදුකරන ලද උල්ලංඝනය සාධාරණී කරණය කරනු ඇත කියන එක තමා ඔවුන්ගේ සුත්‍රය වුණේ. නමුත් සිදුවුනේ වෙනත් දෙයක්. ඒ කියන්නේ සිදුවුනේ පැවති නීතිය දිනපු එක. මේ අනුව අපේ පරම්පරාව ඉතිහාස ගත වෙන්න නියමිත පසු ධනවාදය ඉදිරියේ සම්පුර්ණයෙන් අවුල් වෙච්ච පිස්සන් පිරිසක් හැටියට නම් අපේ දෛවය ඉතාම සරදම්කාරීයි. නමුත් යම් ආකාරයකට ලාල් අනුර වගේ අය කිහිප දෙනෙක් නිසා ඉදිරි පරම්පරාවට අපි කියන්න පුළුවන් 'අපිට මාක්ස් වාදයේ විමුක්ති අරගලය සාක්ෂාත් කරලා දෙන්න බැරිවුණා තමයි. එත් අපි පිස්සන් පිරිසකට එරෙහිව වත් අඩුගානේ සටන් කළා' කියන එක. ඉතින් පශ්චාත් නුතන මේ නව පරම්පරාව ඉදිරියේ අප මීට වඩා වගකීමෙන් හැසිරෙන්න ඕනි. ඔවුන්ගේ ෆැෂන් විතරක් නොවෙයි චින්තනය පවා වේගයෙන් වෙනස් වෙනවා. වේගයෙන් වෙනස් වෙන තාක්ෂණික ලෝකය එක්ක අපේ චින්තනය වෙනස් වෙන්නේ බොහොම හෙමින්. චින්තනය කෙසේ වෙතත් චර්යාව (behavior) හැටියට ගත්තොත් ජ. වි. පෙ. මේ නව පරම්පරාවේ සිතුම් පැතුම් එක්ක හිටිය මේ මොහොතේ. ඔවුන් හැම බලවේගයක් එක්කම වැඩ කළා පොදු සතුරාට එරෙහිව (නමුත් පෙරටුගාමී එක නිකම් එහාට මෙහාට ගේම් එක ගැහුවා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අපට වැඩක් නැහැ වගේ තියරි එකක ඉඳගෙන). එහෙම වැඩ කරන කොට තමයි ලාල් කාන්ත සහෝදරයට මඩක් එන්නේ. ඒ පශ්චාත් නුතන මඩට තමයි ඔහු ඉහත පරිදි පශ්චාත් නුතන විදියට උත්තර බඳින්නේ (සම්භාව්‍ය මාක්ස්වාදී විදියට නොවේ). එකම දේ තමයි ඔවුන් මුල් 2015 සිද්ධියට භක්තිමත්. ඒ මත ඉඳගෙන තමයි සියල්ල කතා කරන්නේ. ඒ වගේම ලාල් සහෝදරයා පෙනී සිටිනවා ජනතා පරමාධිපත්‍ය යේ තියෙන සංවරණය සහ තුලනය වෙනුවෙන්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ තෘප්තිය බලා පොරොත්තු වීම හැටියට තමයි ඉහත ඇලන් ජොන්සන් එය අර්ථකතනය කරන්නේ. තවත් තෘප්ත ආකෘතියක් දේශපාලන ය ඇතුලේ ජොන්සන් හඳුනා ගන්නවා. ඒ තමයි සමස්තතා ආකෘතිය. ඉතින් මේ දෙකෙන් කුමක් තෝරා ගන්නවාද කියන එක ඇතුලේ තමයි වමේ අරගලයේ අනාගතය තීරණය වන්නේ. ශ්‍රේෂ්ට ගත්  කතුවර ඇල්බයා කමු උපුටා දක්වමින් තම ශාස්ත්‍රීය ලිපිය අවසන් කරන ජොන්සන් පවසන්නේ 'විප්ලවීය ව්‍යාපාරය විසින් විසි වන සියවසේ කරන ලද ලොකුම අතපසු කිරීම වනාහී මිනිස් නිදහස පිළිබද වටිනාකම් අව තක්සේරු කිරීම' බවයි. මෛත්‍රිපාල විසින් අමතක කර දැමුවේද මෙම උත්කෘෂ්ට මිනිස් වටිනාකමයි. කුමන ප්‍රශ්න ඔහු ඉදිරියේ තිබුණා උනත් මිනිස් නිදහස වෙනුවෙන් ඔහුට චන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ උතුම් අභිලාෂය නැවත මහින්ද රාජපක්ෂ නම් මිනිස් නිදහස නොව කිසිදු විශ්වීය වටිනාකමක් ගරු නොකරන මිනිසෙක්ගේ දේශපාලනය ඉදිරියේ පාවා දීම සුළු පටු වරදක් නොවෙයිමොකද අප ඔහුට චන්දය දුන්නේ පාරවල් කාපට් කිරීමට නෙවෙයි. ඊට වඩා උතුම් දෙයකට. ඉතිහාසයේ අපට නොතිබිච්ච දෙයක් අත්පත් කර දෙන්න කියන හැඟීමෙන්. 

ඉතින් ඉහත දේශපාලන තෘප්ත ආකෘති දෙක තුලින් මෛත්‍රිපාල විසින් තෝරා ගෙන ඇති තෘප්ත ආකෘතිය මොකක්ද? ගාමිණී වියන්ගොඩ වගේ කෙනෙක් නම් යෝජනා කරන්නේ මේ රෝග ලක්ෂණය පර පීඩා තෘප්තිය වගේ එකක් විය හැකියි කියල. ජොන්සන් ගේ මතය තමයි බදියු කොතරම් සිද්ධියට (විප්ලවයට) භක්තිමත් වෙන්න කියල කිව්වත් එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කරන ලද විප්ලවයක් (සිද්ධියක්) නම් එයට භක්තිමත් වී වැඩක් නැති බවයි. ඒ අරුතින් ඔහු බදියු සහ ජිජැක් යන දෙදෙනා ගේම විමුක්ති අරගල මොඩලයන් (ප්‍රචණ්ඩ බව) ප්‍රතික්ෂේප කරනවා. මේ කරුණ නිසා පමණක් ගත්තත් තරුණ පරම්පරාව (විශේෂයෙන් ඩිජිටල් නිදහස අත්විඳින පරම්පරාව) මේ පරපීඩා සමස්තතා ආකෘතියට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සැන්ඩර්ස් වගේ අය ඉහල නිදහසක් ගැන කතා කරන්නේ. විශේෂයෙන් ඔහුට ස්ත්‍රීවාදී සංක්‍රාන්ති ලිංගික කව වලින් ගොඩක් ආරාධනා ලැබෙනවා ඔවුන්ගේ උත්සව වල කතා කරන්න. ඒ වගේම සැන්ඩර්ස් පිළිගන්නවා එම නව අනන්‍යතාවයන් ගේ සාන්දෘස්ටික පැවැත්ම. ඒ කියන්නේ නව මාක්ස්වාදයක් අවශ්‍ය වී තිබෙනවා නව ලෝක තත්වය හමුවේ අප කැමති වුවත් අකමැති වුවත්. ඒක නව ප්‍රජාතාන්ත්‍රික අවකාශයක්. සමානතා අවකාශයක්. ඉතින් මේ ගෝලීය තත්වය මඟ හැරලා වැඩ කිරීමේ හැකියාවක් අපට නැහැ මේ වෙනකොට. මොකද පන්ති දේශපාලනය තුල මනස සකස් කල අතීත දේශපාලන ස්ථර වෙනුවට වඩාත්ම දේශපාලනික පිරිස් මේ වෙනකොට සිටින්නේ ඉහත අධිපති ව්‍යුහයන්ට විරුද්ධ අනන්‍යතා කණ්ඩායම් ඇතුලේ. වෘත්තීය සමිති කියන්නේ ප්‍රධාන පක්ෂ වල අතකොළු වෙනකොට අධිපති ව්‍යුහයට විරුද්ධව සටන් කරන්න පාරට බහින්නේ ඉහත ආන්තික සමාජ කණ්ඩායම්. එක වෘත්තීය සමිතියක් (වගේම ශිෂ්‍ය දේශපාලනය) ඉහත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සටනට එලියට බැස්සේ නැහැ. ඒ කියන්නේ ඔවුන් විශ්වීය සටන් වලින් එළියට ගිහිල්ලා ඉවරයි (සටන් කරනවා නම් කරන්නේ තමන්ගේ වැටුප්, පොහොර, පුද්ගලික විශ්ව විද්‍යාල හෝ ශිෂ්‍යාධාර වගේ බඩ ගෝස්තර දෙයකට පමණයි. නිදහස් අධ්‍යාපනය වගේ බාහිර ආටෝපයක් දවටා ගත්තත් අවසානයේ සටන තමාගේ ම ආත්මාර්ථය, ස්වාර්ථය පිණිසයි. මේ දෙගොල්ලන්ට ම අමතරව තවත් කොටසක් ඉන්නවා ළඟ ෆෝම් වෙන. ඒ අය තමා අර කෝච්චි නැතිවුනාම ලෝකේ පෙරළන්න හදන අය). නමුත් සමහර ස්ත්‍රී වාදී කොටස්, සමාන ලිංගිකත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කොටස්, සංක්‍රාන්ති ලිංගිකයින්, විකල්ප කලා කරුවන්, විචාරකයින් වගේ කොටස් මෙවර ඉස්මතු වෙමින් ආව සමස්තතා ඒකාධිකාරී ආක්‍රමණයට විරුද්ධ වුණා. ඒ කියන්නේ 'සමනල' කොටස් තමයි වඩාත්ම දේශපාලනික විදියට මෛත්‍රිපාල සහ රාජපක්ෂ නියෝජනය කල නව කොන්සර්වටිව් වාදය ට එරෙහි වුණේ. ඔවුන්ගෙන් බොහොමයක් පීඩිත පන්ති කොටස්. නමුත් යම් පමණකින් රනිල් ඇතුළු මධ්‍යම පන්ති කොටස් විසින් නියෝජනය කල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද හැඟවුම සමඟ සහ ජ. වි. පෙ. විසින් නියෝජනය කරන ලද දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ හැඟවුම සමඟ මෙම කොටස් සමගාමී වුණා. ඒක යහපත් දෙයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ඉදිරි සටනේදී. 1941 ඉපදිච්ච බර්නි සැන්ඩර්ස් අද පරම්පරාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික සහ ලිංගිකකත්වය පිළිබද ප්‍රශ්න වලට පෙනී සිටින හැටි දැක්කම පුදුම හිතෙනවා 1951 ඉපදිච්ච මෛත්‍රිපාල කුහක විදියට සමනල්ලුන්ට නිග්‍රහ කරන කොට. සමනල්ලුන්ගේ ප්‍රශ්න කොතරම් තිබුණත් මෛත්‍රිපාල බලයට ගෙනාවේ ඒ පරම්පරාව. ඒ නව පරම්පරාව කියන්නේ රනිල් නෙවෙයි කියන එක මෛත්‍රිපාල තේරුම් ගන්න ඕනි. ඒකයි රනිල් කට ඇරලා කිව්වේ ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවෙන් දිනුවේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි කියල. දිනුවේ සමාජ සංස්කෘතික නිදහස පිළිබද නව විශ්වීය හැඟවුමක්. ඒකට අයිතිවාසිකම් කියන්න තරම් කවදාවත් රාජපක්ෂට රූපාන්තරණය වෙන්න බැහැ. ඒ නිසා පට්ට නිවැරදි විදියට රනිල් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හදනවා කීවා (දිනුවේ එක්සත් ජාතික පක්ෂය නොවන නිසා). 

මම දකින විදියට කොතරම් ආර්ථික ප්‍රශ්න තිබුනත් අපේ පරම්පරාවේ කිහිප දෙනෙකුත් මේ සංස්කෘතික - දේශපාලන - ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඇතුලේ ඉන්නවා. එයින් මම දකින ප්‍රමුඛයෙක් තමයි කේ. කේ. සමන් කුමාර. එදා ඉඳල අද දක්වා ඔහු වික්ටෝරියානු කුහක බවට එරෙහිව සටන් වදිනවා. ස්ත්‍රී වාදී සටනේ ඔහු ඉන්නවා. වෙනත් ලිංගිකත්ව අරගල වල ඔහු ඉන්නවා. ඔහුගේ සටන්කාමිත්වය මිය ගිහිල්ලත් නැහැ. හදවතෙන් තමන්ට දැනෙන දෙය කතා කරන්න ඔහු බියත් නැහැ. මෙවරත් ඔහුට පුළුවන් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී අරගලය වෙනුවෙන් ඉදිරිපත් උනා. තව හුඟක් අය ඉන්නවා ඇති නමුත් දීර්ඝ ලේඛන ඉතිහාසයක් සහිතව මේ සටනේ ඉන්න අපේ පරම්පරාවේ කෙනෙක් තමයි සමන්. විශේෂයෙන් අපේ සමාජය වෙළාගෙන සිටින වික්ටෝරියානු කුහක බව තවත් වරක් පැහැදිලි වුණා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලයට ආපු මෛත්‍රිපාල විසින් ම එම අරගලයට එරෙහිව හිටපු රාජපක්ෂ ඉස්සරහ සමනල්ලුන්ට නිග්‍රහ කරන කොට. සම්ප්‍රදාය, පශ්චාත් යටත් විජිත කුහක බව,  නුතන බව සහ පසු නුතන බව අතර අවස්තාවාදී බෙදුම් රේඛාවන් දැන් අතිශයින් පැහැදිළියි (අවම වශයෙන් මුලික දේවල් එක්ක සලකන කොට). තව දුරටත් අපි රැවටෙන්න ඕනි නැහැ. ගඟේ යන්න වුවමනා නැහැ. සද්ගුරු කියනවා නම් ඇමෙරිකන් කාරයා ඩෙනිම ඉරනකොට මුළු ලෝකයෙන් බාගයක් වත් තමන්ගේ ඩෙනිම ඉරල අඳිනවා කියල එහෙනම් අපි සැන්ඩර්ස් ගෙන් ඉගෙන ගත්තට කිසි වරදක් නැහැ (මම කියන්නේ ඊටත් වඩා විශ්වීය විදියට කරමු කියල). සැන්ඩර්ස් සහ වරුෆාකිස් ල වගේ ප්‍රගතිශීලි කොටස් විසින් විවේචනය කරන ගෝලීය කරණයේ නව ගැටළුකාරී තත්වයන් වන ඒකාධිකාරය සහ ධනය බෙදී යාමේ ගැටළුව පවා අපි සැලකිල්ලට ගන්න ඕනි. විශේෂයෙන් අයුතු ධනය හරහා චීනය වගේ රටවල් ලෝකය පුරා තමන්ගේ හෙංචයියන් ඒකාධිකාරී ලෙස ඉස්මතු කරමින් සිටිනවා නව දේශපාලන විජිත කරණයක් ඇතුලේ. ලංකාවෙත් එහෙම වුණා. ඉතින් අපිට ලෝක ප්‍රජාතන්ත්‍රවාදී කොටස් එක්ක අත්වැල් බැඳ ගන්න තියෙනවා (ලාල් කාන්ත සහෝදරයා පවා චීනය ගැන ප්‍රසාදයකින් කතා කරන්නේ නැහැ) එවන් තත්වයන්ට එරෙහිව.             
             
ආපහු අපි මුලට ආවොත් ඇමෙරිකාවේ සැන්ඩර්ස් දේශපාලන කරන්නේ ලාල් කාන්ත ගේ දුව නියෝජනය කරන පරම්පරාවට (නැවතත් කියන්නේ මෙහිදී දුව කියන්නේ රූපකයක් විතරයි කියන එක). එහෙම දේශපාලනය කරන සැන්ඩර්ස් කියන්නේ හිඟන්නෙක් නෙවෙයි. හොඳට ඇඳලා ඉන්න රැඩිකල් උගත් කෙනෙක්. ඒ නිසා ජ. වි. පෙ. කිසිම කෙනෙක් දිල්කා අහන විප්ලවය ගැන ප්‍රශ්න වලින් ගඟේ යන්න උවමනා නැහැ. එයාලගේ ඔලුවේ තියෙන රබර් සෙරෙප්පු දාන, පොඩිවෙච්ච ඇඳුම් අඳින, රතු කමිස කතා වලින් අවුල් වෙන්න ඕනි නැහැ (ඒ කියන්නේ දිල්කා ගේ ගේස් එකට වගේම ගේම් එකට අහුවෙන්න ඕනි නැහැ). ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න ඕනිත් නැහැ. කොටින්ම රනිල් පහු කරගෙන යන්න බය වෙන්න ඕනි නැහැ. ඉතින් ජිජැක් ඉහත ලිපිය අවසන් කරන්නේ මෙහෙම. 'කෙටියෙන් ම කියන්නේ නම් අධිපති සංස්ථාපිත යට එරෙහි බලවේග සමග පුළුල් ලෙස සන්ධාන ගත නොවන්නේ නම් ඉදිරි වමට අනාගතයක් නැත. අපගේ සැබෑ සතුරා ධනවාදය මිස ජනප්‍රියවාදී දක්ෂිණාංශික බලවේග නොවේ. ඉහත බලවේග වනාහි ධනවාදයට ම එරෙහි ප්‍රතිචාරාත්මක අවුල් ජාලා පමණි' (To cut a long story short, there is no victory of the left without the broad alliance of all anti-establishment forces. One should never forget that our true enemy is the global capitalist establishment and not the new populist right which is merely a reaction to its impasses).  

References: 
Badiou, A. (2015). Being and Event. (trans. Oliver Feltham). London. Continuum. 

Zizek, S. (2017)Alt-right Trump supporters and left-wing Bernie Sanders fans should join together to defeat capitalism (in The Independent). Online. 

Johnson, A. (2013). Slavoj Žižek’s Theory of Revolution: A Critique. https://www.tandfonline.com/doi/pdf/10.1080/23269995.2011.10707889.