බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන එතරම් විශ්වාසයක් නොතිබ්බ ලී ක්වාන් යූ ගේ තවත් සිහිනයක් සැබෑ කරමින් ලෝකේ හොඳම ගුවන් සේවය හැටියට 2019 වසර සඳහා සිංගප්පුරු ගුවන් සේවය තේරිලා. සිංගප්පුරුව වෙන්න ගිය අපි බල්ලට ගිහිල්ලා. අපේ ගුවන් සේවය පාඩු පිට පාඩු ලබනවා. ගුවන් සේවා කෙසේ වෙතත් ගුවන් තොටුපොලින් එළියට එන්න පැයක් දෙකක් යනවා. මොකද පාස් පෝට් එක බලල එක්කෙනෙක් එළියට දාන්න එතන ඉන්න විගමණ සේවකයකුට විනාඩි විස්සක් විතර යනවා. නාකි බල්ලෝ කොළඹ යනවා වගේ. කාටවත් ගානක් නැහැ මේ රටට එන මිනිහෙකුට මුලින්ම මේ රට ගැන හොඳ හැඟීමක් දෙන්න ඕනි (first impression is the last impression) කියන එක ගැන. ආයෙත් මේ රට ට එන්න ආශා කරවන්න. ස්කෑනර් එකක් ගෙන්න ගන්න බැරි එවුන් කොහෙද තව ඉතින් සංචාරක ව්‍යාපාරේ දියුණු කරන්නේ. තමන්ගේ ලාභයට හැර හිනාවෙන්න දන්නේ නැති රටකට සංචාරකයෝ එයි ද?
කොහොම හරි හැබැයි ඉතින් අමාරුවෙන් ආගමන විගමණ පෝලිම් වල ඉඳල මේ රටට ආවම අම්මට උඩු දාර්ශනිකයෝ පිරිලා. ෆේස් බුක් පුරෝලා දර්ශනය කතා කරනවා. දර්ශනය ඇකඩමික් එකෙන් ෆේස් බුක් එකට මාරු වෙලා. පොඩි දේවල් නෙවේ කතා කරන්නේ. ප්ලේටෝ දුවන ජාතියේ මාතෘකා. මේ මොහොතේ අපි රටක් හැටියට කරන්න ඕනි මොකක් ද කියන එක කවුරුත් කතා කරන්නේ නැහැ (here and now). හැමෝම ආසයි මේ ඉන්න විදියට ම කෝපි කඩේ අත්තප්පල වගේ කතා පොජ්ජ දම දමා ඉන්න නිෂ්ක්‍රීය ෆේස් බුක් අවකාශයක. මොකද කතා කරන වැඩේ ලේසියිනෙ වැඩ කරනවට වඩා...
ඇකඩමික් කතිකාවක් ගෙනියන්න ඕනි විශ්ව විද්‍යාල සමස්ත රටේ වැඩ පිළිවෙලින් විගලිතයි (රටට වැඩ පිළිවෙලක් නැහැ අනෙක් අතට). ඒක නිසා කතා කරන දෙය සහ කරන දෙය අතර තියෙන්නේ සමහන් කරන්න බැරි දුරක්. මේ දුරස්ථ බව පටන් ගත්තේ විවෘත ආර්ථික වැඩේ පටන් ගත්ත කාලේ ජේ. ආර්. විසින්. ඒ දක්වා දර්ශන දෙපාර්තමේන්තු (විශේෂයෙන් පේරාදෙණිය) හිටියේ සමස්ත වැඩේ ඇතුලේ. හිටපු මහාචාර්ය (දැන් ආචාර්ය) තිරු කන්දයියා පසුගිය දවසක කිව්ව විදියට එයාල කරමින් හිටියේ විජිත කරණයෙන් පස්සේ 'අපි කවුද?' (who we are?) කියන 'අහිමි අනන්‍යතා ප්‍රශ්නයට' (lost identity crisis) පිළිතුරු හොයමින්. සරච්චන්ද්‍ර තමයි ඒ වැඩේ පුරෝගාමියා. නමුත් සරච්චන්ද්‍ර ට පොළු පාර දීල ජේ. ආර්. වෙන දිසාවක ගියාට පස්සේ අපි කාටවත් යන්න තැනක් තිබුනේ නැහැ (චින්තන දේශපාලනය කියන්නේ පොලු පාරක් කන වැඩක්). ඊට පස්සේ සිදුවුණේ අරමුණක් නැතිව එහෙ මෙහෙ යන එක (අද දක්වා ම මෙය සත්‍යයක්). රාජ්‍යයත් එහෙමයි. පුද්ගලයොත් එහෙමයි. දේශපාලන පක්ෂත් එහෙමයි. හැමෝම බලන්නේ තමන්ගේ වැඩේ විතරයි (මොකද වෙන වැඩක් නැති නිසා). මේක පුද්ගල ප්‍රශ්නයක් නෙවෙයි.
සරච්චන්ද්‍ර කාණුව ට දැම්ම තැන ඉඳන් අද වෙනකල් ජේ. ආර්. කරපු වැඩේට අපේ පරණ පරම්පරාව එකඟ වුණේ නැහැ. අපි එකඟ වුනෙත් නැහැ. ඒ නිසා මෙතෙක් ජාතික වැඩ පිළිවෙල සහ දැනුම නිෂ්පාදනය අතර තිබ්බ යම් ආකාරයක සමාන්තර බව අහිමි වෙනවා. ඔක්ස්ෆර්ඩ් ඉදන් ආපු රජීව විජේසිංහ වගේ කෙනෙක් පේරාදෙණියෙන් ඉවත් වෙනවා සිරිමා බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය අහිමි කළා ට විරුද්ධව (අද බොරු ශ්‍රී ලංකා කාරයෝ මේවා දන්නේ නැහැ. මහින්ද ගේ ආණ්ඩුවෙන් මුලින්ම යන්නෙත් ඔහු. රනිල් ගේ ආණ්ඩුවේ බැඳුම්කර ප්‍රශ්නෙ ගැන මුලින් විරුද්ධ වෙන්නෙත් ඔහු). අනූව දශකයෙන් පස්සේ X කණ්ඩායම විශ්ව විද්‍යාල පතුරු ගැහුවට ඒ පරණ අයත් ඒ වෙලාවේ යමක් කරන්න උත්සාහ කළා. දර්ශන දෙපාර්තමේන්තු වලින් උත්සාහ කළා අපි කවුද යන ප්‍රශ්නයට උත්තර හොයන්න (ඒ වෙලාවේ තිබ්බ වැඩේ ඒක නිසා). පිට රටට පවා ගිහිල්ල බුදු දහම වගේ දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කළා තිබ්බ තත්වයන් එක්ක. නමුත් පාලකයෝ යන යන අතට දැනුම නිෂ්පාදනය කළේ නැහැ ඔවුන් (X එක දැනුම නිෂ්පාදනය කියන එකෙන් අදහස් කරන්නේ ඒක නම්).
අනිත් වැදගත් දෙය තමයි බටහිර විශ්ව විද්‍යාල වලින් දියුණු කරන දැනුම අපේ ලෝකය දියුණු කරන්න එක එල්ලේ ම ගැලපෙන්නේ නැහැ කියන එක. ඔවුන් ගොඩක් දියුණු වෙලා ඉන්නේ. අපි තාම මාර්ගයක් හොයමින් ඉන්නේ. ඉතින් අපි බටහිර කරන කරන විදියට නටලා හරියන්නේ නැහැ. අපි අපේ මොඩලයක් හදා ගන්න වුවමනා යි. බොරුවට තියරි පොවලා හරියන්නේ නැහැ අපේ ශිෂ්‍යයින්ට දියණු ලෝකයේ වගේ. යථාර්තය තියෙනවා ද නැද්ද වගේ දේවල් වලට වඩා උගන්වන්න දේවල් තියෙනවා අපේ ළමයින්ට (දැනුම දියණු කරන්න ඕනි නැහැ කියල නෙවේ මේ කියන්නේ).
උදාහරණ හැටියට ලී ක්වාන් යූ කියනවා ඔහුගේ එක අරමුණක් වුණේ සමස්ත සිංගප්පුරු ජාතිකයින් එක පරම්පරාවක් යනකොට ප්‍රථම බස හැටියට ඉංග්‍රීසි (English as the first language) කතා කරන්න ඕනි කියන එක කියල. ඒ කියන්නේ ඔහුට අනුව ජාතීන් ගණනාවක් ඉන්න සිංගප්පුරුවේ යුරෝපීය අර්ථයෙන් මෙල්ටින් පොට් (melting pot) එකක් නැති නිසා භාෂාව තමයි හැමෝම බැඳ තබන හුය ලෙස ගත්තේ (එතකොට අපේ අරමුණු දියුණු ලෝකයෙන් වෙනස් කියන්නේ ඒකයි). නමුත් අවාසනාවට අපි කරේ පුර්ණ ඛණ්ඩනය වෙනුවට ඉංග්‍රීසි පැත්තකින් තියල ආපහු සිංහල වලට ගිය එක! අද සිංගප්පුරුව ගෝලීය වෙනකොට අපි ගොඩක් පසුගාමී යි. ආගම්වාදී යි. ජාතිවාදී යි. ප්‍රාදේශීයවාදී යි. මෙතැනින් රට ගොඩට ගන්න පුළුවන් පාලකයෙකුත් නැහැ අපිට.
මට මතකයි එක සම්මුඛ සාකච්චාවකදී ලී ක්වාන් යූ ඇමෙරිකානු මාධ්‍ය වේදියෝ තොගයකට දෙනවා දුවන්න ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න ඇවිල්ලා (බලන්න Lee Kuan Yew Interview). ඔහු කීවේ යටත් විජිත තත්වයෙන් මිදිලා බටහිරට වෙනස් භෞතික තත්වයන් එක්ක අරගල කරන සිංගප්පුරු ජාතිය ට ඔය කියන බටහිර මොඩලය ඒ විදියට ම පිළිපදින්න බැහැ කියන එක (මේක ජිජැක් ට නම් අමිහිරි ඇති!). අපිට එහෙම කොන්ද තියෙන පාලකයෙක් හිටියේ නැහැ කෙළින් බටහිර ඉස්සරහ කකුල් වෙව්ලන්නේ නැතුව කතා කරන්න. 1968 වගේ ඈත කාලයක ලී ක්වාන් යූ කියනවා පෙරදිග ලෝකය කවදාහරි ඔලුව උස්සන බව බටහිරට අභියෝගයක් වෙන විදියට. දැන් ඒක ඇත්ත වෙමින් තමයි පවතින්නේ.
තව එක දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන කතා කරපු සහ කතා කරන අය (මමත් ඇතුළුව) උත්තර දෙන්න ඕනි ප්‍රජාතන්ත්‍ර වාදයේ තියෙන ඇත්ත ප්‍රතිවිරෝධතා ගැන. රටක් විනෝදය පැත්තට යන එක වලක්වන්න එය අපොහොසත් කියන එකටත් ඇත්ත ම උත්තරයක් ඔවුන් නිපදවන්න ඕනි ලී ක්වාන් යූ වගේ අය ඇත්තට ම ප්‍රායෝගික විදියට කළේ මොකක් ද කියන එක සැලකිල්ලට අරන් (මාවෝ වගේම ඩෙන් ෂියාවෝ පෙන් වුනත් බටහිර අර්ථයෙන් ප්‍රජාතන්ත්‍ර වාදී අය නෙවෙයි). ඔවුන්ට තිබුණේ ඊට එහා ගිය විශ්වීය අරමුණු.
ලී ක්වාන් යූ කියන්නේ තීක්‍ෂණ පාලකයෙක්. තාර්කික මිනිහෙක්. ඔහු කියන්නේ මගේ රටට ඇමෙරිකාවේ වගේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන ජාතියක් බිහි කරන්න ඕනි නැහැ කියල. පොඩ්ඩක් ඇත්නම් තුවක්කු ගන්න මිනිස්සු ඕනි නැහැ කියල. අපි පෙරදිග මිනිස්සු කියන එක කට ඇරලා කියනවා ඔහු. සිංගප්පුරුව ඇතුළේ චුයින්ගම් හපන්න දෙන්නේ නැහැ ඔහු ඇමෙරිකාවේ වගේ වෛද්‍ය සහතිකයක් නැත්නම්. ඇමෙරිකාව කරන කරන දේ ඔහු කරන්න ගියේ නැහැ. අවශ්‍ය දේ විතරක් කළා. ඒ නිසා විනෝද ජාතියක් හැදුවේ නැහැ ඔහු ධනවාදය ඇතුලේ (Pulp Fiction ඒකේ පෙන්නනවා වගේ). ඒ මොට්ට වැඩේ ජපානය කලෙත් නැහැ. මැලේසියාව කලෙත් නැහැ. චීනය කරන එකකුත් නැහැ (පුදුමේ කියන්නේ ජිජැක් ට ඒවා පේන්නේ නැති එක!).
ඕනිනම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ලී ක්වාන් යූ වගේ අය උත්සාහ කලේ නුතනත්වයේ දුෂ්ට අන්තර්ගතය (evil content) නැති නුතනත්වයක් නිපදවන්න කියල. ඒ කියන්නේ නිකොටින් නැති සිගරට් හෝ මේද රහිත බටර් හෝ ඇල්කොහොල් නැති බියර් වගේ 'සාරය' අහිමි කරන ලද නුතනත්වයක් කියල. එතකොට තියෙන්නේ දුෂ්ට අන්තර්ගතය නැති (මරණීය අන්තර්ගතය නැති) නුතනත්වයක් කියල ජිජැක් තර්ක කරයි. එහෙම කරන්න ගිහින් ඔවුන් ලිබරල් ආකෘතිය ඇතුලෙන් ම සමස්තතා පාලකයින් වුණා කියලත් ඔහු කියයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලී ක්වාන් වගේ අයට එතැනදී තර්කයක් තිබුණා එම දුෂ්ට අන්තර්ගතය මඟ හරින්න. මොකද බටහිර මිනිස්සු නරක දෙය දැන දැන ම කරනවා කියන්නේ ඒක නරුම බවක් (disavowal). අනික අතාර්කික බවක්. අනික ඒක ආසියාතික අත්තනෝමතික බවක් ඔවුන්ගේ ම තර්කය හරවලා කිව්වොත්. ජිජැක් මොකද ඒකට කියන්නේ? අතාර්කික බව කියන්නේ පශ්චාත් නුතන බවක් නෙවෙයි ද ජිජැක් මහත්තයෝ?
ලී ක්වාන් වගේම මාවෝ කියන්නෙත් මහා දර්ශනිකයෝ නෙවෙයි. තමන් ජීවත් වුන ලෝකයේ ප්‍රායෝගික තත්වයන් එක්ක වැඩ කරපු අය. තිබ්බ දුෂ්කර තත්වයෙන් උඩට එන්න හදපු අය. පරමාණු බෝම්බ දෙකක් වැටිලා පොළොවට ම සමතලා වුණාට පස්සේ ජපන්නු කලෙත් එහෙම දෙයක්. ඔවුන්ගේ ප්‍රායෝගික බවෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනි.
ධනවාදී සමාජවාදී වෙනසක් නැතුව මේ ඔක්කම ල වෙච්ච මහන්සියේ ප්‍රථිපලයක් විදියට තමයි අද යෝධයෙක් වගේ ආසියාව ඉස්මතු වෙමින් ඉන්නේ. අපි ඔවුන්ගේ මහන්සියට ගරු කරන්න ඕනි (ඒ රටකට ගියාට පස්සේ ඔවුන් හදල තියෙන දෙයකට පොඩිවත් නිගරුවක් කරන්න හොඳ නැහැ!). ඔවුන් කළේ අමාරුවෙන් පැවති යථාර්තය වෙනස් කරපු එක. ඔවුන් අපට පෙන්නුවා බුදු දහම හරි කොන්ෆියුසිස් හරි ෂින්ටෝ හරි කියන්නේ භෞතික සංවර්ධනයට අකුල් හෙලන ආගම් නෙවෙයි කියන එක. ආගම බාධාවක් නෙවෙයි දියුණු වෙන්න. එකම දෙය බුද්ධිය පාවිච්චි කරන්න ඕනි.
ඉතින් අපිට බාහිරින් යථාර්තයක් තියෙනවද කියන ෆේස්බුක් දාර්ශනික ප්‍රශ්නය (Facebook philosophy) වෙනුවට දැන් අලුත් ප්‍රශ්නයක් ඇවිල්ල සමකාලීන ලංකාවේ. මම හිතන්නේ තියෙන යථාර්තය පට්ට ම අවුල් හින්ද වෙන්න ඇති මේ වගේ මෝස්‌තරකාරී ප්‍රශ්න දැන් දැන් මතුවෙන්නේ.
ඒ නිසා මේ දවස් වල කතා කරන අළුත්ම දාර්ශනික මාතෘකාව තමා යථාර්තවාදය. වඩාත් පැහැදිළිව කිව්වොත් සමපේක්ෂණ යථාර්තවාදය (speculative realism). සංකල්පය හඳුන්වා දුන්නා යයි සැලකෙන්නේ ක්වන්ටින් මියාසෝ (හෝ ඊට මදකට පෙර ග්‍රැහැම් හාමන්). එයින් කියන්නේ ද්‍රව්‍යමය ලෝකයේ ප්‍රපංචයන් එකිනෙකට වෙන්ව පවතිනවා යන්න සහ ඒවා අපේ පංචේන්ද්‍රියන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් ද වෙන්ව පවතී යන්න. ඉතින් මේ සමපේක්ෂණ කණ්ඩායම ප්‍රශ්න කරන්නේ සිතාගත හැකි පරිදිම භෞතිකවාදය; ද්‍රව්‍යවාදය. හැබැයි මේක ටිකක් අලුත් වගේ පෙනුනට අලුත් ම නැහැ. දයලෙක්තික භෞතිකවාදය (dialectic materialism) ප්‍රශ්න කලේ අද ඊයෙක නෙවෙයි. අනිත් අතට මේ ගොල්ලෝ ප්‍රශ්න කරන්නේ කාන්ට්; කාන්ට් ගේ ඉන්ද්‍රිය සංජානනයේ සීමාව පිළිබද සංකල්පය (finitude). ඒකත් අලුත් දෙයක් නෙවෙයි. නලින් ඉතින් හැමදාම කියන්නේ ඕකනේ.
ඉන්ද්‍රිය සංජානනයේ සීමාවන් තිබුණත් නැතත් අපි මේ ඉන්න යථාර්තය වෙනස් කරගන්න වෙනවා ම නේ (හැමදාම මදුරුවෝ තල තලා ගල් ගෙවල් වල ඉන්න බැහැනේ). කොහොම ගත්තත් අන්තිමට අවසන් මනෝ රාජිකය (ultimate utopia) පිළිබද අදහස විසි වෙනි සියවසේ මැද ඉඳලම ප්‍රශ්න කරමින් තමා පැවතුනේ. ඒ අනුව ගත්ත ම දයලේක්තික භෞතික වාදය පදනම් වන හේගල් ගේ තීසිසය වගේම ඒ මත පදනම් වුන කොමියුනිස්ට් මනෝ රාජිකය යන දෙකම බටහිර දර්ශනය ඇතුලේ ප්‍රශ්න කෙරෙනවා. ඒකට පසුබිම හැදුණේ පෙරදිගින්. අනෙක් අතට හේගල්ට ත් පෙරදිග දර්ශනයේ ආභාෂය තිබිල තියෙනවා (ද්වයිතයන් නැති තැන එන්නේ බුදු දහමින්).
කෙසේ වුනත් ඉන්ද්‍රිය සංජානනයේ සීමාව දර්ශනය ඇතුලේ සලකුණු වන්නේ පැරණි ඉන්දීය දර්ශනයේ ඉඳල. විශේෂයෙන් බුදුන් වහන්සේ කියන දෙයක් තමයි විශ්වය කියන්නේ අපේ සංජානනයෙන් ගොඩක් ඔබ්බෙන් තියෙන දෙයක් කියන එක වගේම ඒක හොයල වැඩකුත් නැහැ කියන එක (දුක නැති කරන දුරින්). මොකද දුක නැති කිරීමේ ව්‍යාපෘතියක ට විශ්වයේ අග මුල හොයල වැඩක් නැති නිසා. වැඩිමනත් කිව්වොත් ඒ ලබා ගන්න දැනුම තුලින් පවා මමත්වය විශාල වෙනවා, උපාදානයක් ඇතිවෙනවා සහ දුක තවත් වැඩි වෙනවා හැර වෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් සමපේෂණ යථාර්තවාදය වගේ අලුත් කියල කියන දෙයක් වුනත් ඉහත බුද්ධිවාදයේ සෝබන ගොදුරක් වෙන එක කෙසේ වෙතත් අපි බලමු මේ මොකක් ද කියන එක.
බුදුන් වහන්සේ යථාර්තය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒ තුළ පැලපදියම් වෙන්නෙත් නැහැ. මේක ගොඩක් දියුණු කරනවා නාගර්ජුන පාදයන් විසින් සහ පසුව මහායාන බුද්ධාගම විසින්. සෙන් දර්ශනය පවා මෙය ඉදිරියට ගෙනියනවා. යථාර්තය වෙනස් වෙනවා වගේම අපේ සවිඥාණයත් වෙනස් වෙනවා. අන්තිමට මුණ ගැහෙන්නේ ශුන්‍ය බවක්. ඒක තමයි මුලික අවබෝධය.
බුදුන් වහන්සේ ගේ මෙම අදහස සහ ඉන්දියානු දාර්ශනික ප්‍රවේශය පෙරදිග විතරක් නෙවෙයි බටහිර පවා හොල්මන් කරන එක තවම නතර වෙලා නැහැ. සහ නතර වෙන්නෙත් නැහැ. මොකද ඒක මනුෂ්‍යත්වය ගැන කතා කරපු දියුණු දහමක්.
හැබැයි බුදුන් වහන්සේ ගත්තම එතුමා හුදු බුද්ධි වාදියෙක් නෙවෙයි. තමන් කරපු දෙය ඉතාම ප්‍රයෝගික විදියට කරපු කෙනෙක්. ඒ නිසා එතුමා මනස ද ශරීරය ද නැත්නම් මනස ද මනසෙන් පිට යථාර්තය ද වගේ බොරු බුද්ධිවාදී ප්‍රශ්න නොසලකා හැරියා. මොකද ඒ වගේ ප්‍රශ්න වල පැටලිලා හිටියොත් තමන්ගේ වැඩේ වෙනත් පැත්තක ට යන නිසා.
ඒ වගේම මේ වගේ බොරු ප්‍රශ්න වලට කාලය මිඩංගු කරන්නේ නැති අතිශයින් බුද්ධිමත් ජාතියක් තමයි ජපන්නු කියන්නේ. ඔවුන් මෑත කාලයේ ආකර්ෂණය වුණා නම් ආකර්ෂණය වුන එකම දාර්ශනික ප්‍රවාහය වෙන්නේ ඇමෙරිකානු ප්‍රයෝජ්‍යතාවාදය (American Pragmatism). අපි බලන්න ඕනි අපි කරන වැඩේ තියෙන පොදු ප්‍රයෝජනවත් බව (public utility). Seven Days in Entebbe (2018) කියන චිත්‍රපටියේ විමුක්ති සටන් කාමීන්ට මැදිවුන ගුවන් නියමුවා කියනවා විප්ලවවාදීන් දහ දෙනෙකුට වඩා වතුර පයිප්පයක් හදා ගන්න පුළුවන් එක ඉංජිනේරුවෙක් වටිනවා කියල.
මේකෙන් අදහස් කරන්නේ නැහැ ගැඹුරු බුද්ධිමය ප්‍රශ්න නැති බවක් හෝ ඒවා සාකච්චා නොකළ යුතු බවක්. හැබැයි කතා පෙට්ටි වෙනවට වඩා එක දෙයක් වත් අපි හරියට කරලා පෙන්නමු ලෝකයට මේ අලුත් අවුරුද්දේ වත්. මතක තියාගන්න ලෝකේ හොල්ලපු අය පෙරදිගින් බිහි වෙලා තියෙනවා. අපර දිගින් බිහිවෙච්ච අයටත් හුඟක් වෙලාවට පෙරදිග අභාෂය තිබිල තියෙනවා.
'Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment' (Buddha).
(Oprah Winfrey is talking to Nobel Prize Winning Peace Activist and a Vietnamese Buddhist Monk Thich Nhat Hanh).
ඉහත සම්මුඛ සාකච්චාවේ තික් නට් හන් විසින් අවධාරණය කරන්නේ සෙන් බුද්ධාගම තුළ තියෙන නිශ්ශබ්ද බව සහ ගැඹුරු සවන් දීම නම් ගුණාංගය ගැන (අනෙකා ගේ වේදනාවේ බර හිස් කරන්න උදව් කරන එක යේසුස් කළා වගේ). අපි ඉතින් හදන්නේ මයික් එකක් දුන්නොත් කතා කරන්න නේ. හැබැයි කිසිම ඇත්ත සන්නිවේදනයක් වෙන්නේ නැහැ එහෙම කතා කරා කියල. පශ්චාත් නූතන හාමුදුරුවරු කොච්චර හුස්ම අල්ලන්නේ නැතුව බණ කිව්වත් වැඩක් නැහැ. මම සහ බණ කියන හාමුදුරුවෝ කියන දෙන්න වෙන වෙන ම ප්‍රපංචීය යථාර්තයන් දෙකක් හැටියට පවතිනවා හැරෙන්නේ වෙන දෙයක් වෙන්නේ නැහැ (වුණොත් වෙන්නේ වැරදි සන්නිවේදනයක් විතරයි). ඒ කියන්නේ අපි කොච්චර කතා කළත් අනෙකා වෙනස් වෙන්නේ නැහැ. මොකද අනෙකා දන්නවා එයාගේ වේදනාව සවන් දීම ඔස්සේ ගන්න අපි සුදානම් නැහැ කියල.
එච්චරයි. සුබ නව වසරක්!
No comments:
Post a Comment