Tuesday, January 1, 2019

පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නෙවේ...

'Think of nothing things: Think of wind' (Truman Capote) 
වසර දෙදහස් පන්සිය ගණනක් ලංකාද්වීපයේ  පැවතුණා යැයි කියන බුද්ධාගම අප ඉදිරියේ තිබියදීත් බුද්ධ දර්ශනයේ සැබෑ අරුත් සොයා අද අපට කියවීමට සිදුව ඇත්තේ ජපන් දාර්ශනිකයින් ය. ජර්මන් දාර්ශනිකයින් ය. ෂොපන්හවර් ය. තවත් අය ය. උදේ හවස ගාථා කිව්වත්, මල් පූජා කලත්, මහා හයියෙන් පිරිත් දැම්මත්, කථින පූජා තිබ්බත් අප මෙතරම් මෝඩ ජාතියක් වුවේ ඇයි යන්නට ඓතිහාසික පිළිතුරක් මෙම ලිපියේ ගැබ්ව තිබේ දැයි මා නොදනිමි. අද අධිනිශ්චය වී ඇති සද්ද පූජා සහිත ඝෝෂා කාරී 'හින්දු-බුද්ධාගම' විසින් නුතන මිනිසෙක් මේ වනතෙක් මේ භූමියේ නිපදවා නැත. නුතන මිනිසෙක් යනු තාර්කික මිනිසෙකි. අනුන්ට කරදරයක් නොකරන මිනිසෙකි. අනෙකා ගැන නිරන්තරයෙන් සිතන මිනිසෙකි. මානව දයාවෙන් පිරුණ මිනිසෙකි. කොටින්ම තමා ගැන මෙන්ම අනෙකා ගැනත් ගැඹුරු අවබෝධයක් සහිත මිනිසෙකි. ඉදින් අවන්ත ආටිගල ගේ කාටුනයෙන් පෙන්වන පරිද්දෙන් ම පශ්චාත් නුතන ලාංකික දේශපාලනයට පශ්චාත් නුතනවාදයෙන් ම (මල් වට්ටි දේශපාලනයට මල් වට්ටි යෙන්ම) පිළිතුරු දීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉටා ගෙන සිටින වටපිටාවක පහත ළිපිය උපුටා දක්වමි.   

'මාපිටක සම්පදා' - 'පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නෙවේ' යැයි එහිම සඳහන් කර තිබියදීත්, එය උරුමයක් කර ගැනීම බුද්ධ වචනයට ප්‍රසිද්ධියේ කරන අගෞරවයකි.
වර්ෂ 2019 ජනවාරි මුලදී ලක්දිව ජනාධිපතිතුමා උත්සවාකාරයෙන් ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. ත්‍රිපිටකය ලියූදා සිට කවුරුත් එය කියවා නිවන් දැක නැති බවත්, එහි ලියැවී ඇත්තේ හින්දු, ජෛන ආගම් කලවම් වූ නිවන් නොදකින බුද්ධඝෝෂ ආගම බවත්, එහි නිවන් දකින පිරිසිදු බුදු පණිවුඩයේ ඇති කරුණු සූක්ෂ්ම ලෙස විකෘති කොට ඇති බවත් එතුමා නොදන්නවා විය හැකිය.
මෙම ශතවර්ෂයේ ලක්දිව දේශපාලනඥයන් කරන ලද ලොකුම මෝඩකම ලෙස ඉදිරියට මෙය ඉතිහාසගත වනු නොඅනුමානය.
ත්‍රිපිටකය ගැන පහත සඳහන් කරුණු බොහෝ මහජනතාව නොදනිති.
පළමුවෙන්ම,
බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500 කට පමණ පසු (දැනට අවුරුදු 2100 කට පමණ පෙර) ත්‍රිපිටකය ලියූ අවදිය රහතුන් වහන්සේලා නැති කාලයකි. මහාචාර්ය විජේරත්න මහතාගේ කැණීම් හා විශ්ලේෂණ අනුව අන්තිම රහතන් වහන්සේ වන මලියදේව හිමි වැඩසිටියේ දුටුගැමුණු රජුගේ අවධියේදීය. දුටුගැමුණු රජු අභාවප්‍රාප්ත වනවිට මලියදේව රහතන් වහන්සේ මහලු වියේ පසුවූ බව සෙල්ලිපිවල සඳහන් බව ඔහු සඳහන් කරයි.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූයේ දුටුගැමුණු රජු මියගොස් වසර 48 කට පමණ පසු වළගම්බා රජුගේ කාලයේදීය. එහිදී සංගායනාවක් කොට හරි වැරදි තීරණය කිරීමට රහතන් වහන්සේලා වැඩ නොසිටියහ. එනිසා සංගායනාවක් නොකොට එක එක්කෙනා දන්නා හැටියට ලියාගෙන ආ ගාථා ගොනු කිරීම (දිග සූත්‍ර, කොට සූත්‍ර - දීඝ නිකාය, සංයුක්ත නිකාය) ආදී වශයෙන් සිදු කරන ලදී. මෙය පොඩි ළමයින් සෙල්ලම් කරන විට මාබල් බෝල ලොකු මාබල්, පොඩි මාබල්, මධ්‍යස්ථ ප්‍රමාණයේ මාබල් වශයෙන් වෙන් කිරීම වැනි දෙයකි.
බුද්ධිමතුන් මෙවැනි වැදගත් පොතක් සංස්කරණය කරන විට එහි තේරුම පහසුවෙන් අධ්‍යයනය කළහැකි ලෙස ලියනු ඔබ අසා ඇත. එනිසා එවැන්නන් පොත් ලියන විට මේ කොටස පළමුවැනි පන්තියටත්, මේ කොටස දෙවැනි පන්තියටත්, මේ කොටස සාමාන්‍ය පෙළ පන්තියටත් මේ කොටස උසස් පෙළ පන්තියටත් ආදී වශයෙන් බුද්ධිමත්ව සංස්කරණය කරන බව ඔබට කිවයුතු නොවේ.
එනමුදු ත්‍රිපිටකය ලියූ හාමුදුරුවරු එවැනි බුද්ධිමතුන් නොවන බව පෙනේ. බුද්ධිමතුන් (රහතුන්) ත්‍රිපිටකය ලියුවා නම් එහි පළමු කොටස සෝවාන් වීමටය, දෙවැනි කොටස සකෘදාගාමී වීමටය, තුන්වැනි කොටස අනාගාමී වීමටය, හතරවැනි කොටස රහත් වීමටය ආදී වශයෙන් වෙන්කළ යුතු බව ප්‍රාථමික පාසලක ඉගෙන ගන්නා ළමයි පවා දනිති. ප්‍රාථමික පාසල් සිසුන් උසස් පෙළ සඳහා ලියූ පොත් මිලදී නොගන්නේ ඒ නිසාය. නමුන් ත්‍රිපිටකය ලියූ අයට සාමාන්‍ය දැනීමවත් (Common Sense) නැති බව මෙයින් සනාථ වේ. ත්‍රිපිටකයේ මේ කොටස සෝවාන් වීමටය, මේ කොසට රහත් වීමටය යන්න පැහැදිලි නැති නිසා එය කියවීමෙන්, නෙමග ගිය නිවන් නොදකින හාමුදුරුවරු මහජනයාට සෝවාන් වීමට පෙර රහත් වීමට අදාල දේවල් නොදැනුවත්වම දේශනා කරති.
මෙවැනි දේශනා කරන අයවත්, මේ දේශනා අහන අයවත් කවුරුත් ත්‍රිපිටකය ලියූ පසු නිවන් දැක නැති බව කීම අවශ්‍ය නොවේ. ඔවුන් විසින්ම එවැන්නක් සනාථ කොට ඇති බව ඔවුන්ටම නොතේරේ. වර්තමාන දේශපාලකයින්ටද එවැනි දෙයක් නොතේරෙන බව උත්සව පවත්වා ලෝකයාට පෙන්වාදීමට තැත් කිරීම අනුවණකමකි.
දෙවනුව,
බුදු පණිවුඩය යනු නිවන් මග ගමන් කිරීමේදී අනුගමනය කළයුතු උපක්‍රමයි. ඒවාට 'සූත්‍ර'යැයි කියනු ලැබේ. කලින් කලට වෙනස් දේවල් ඇතුළත්ව තිබුණත් සූත්‍ර (උපක්‍රම) ඇත්තේ සූත්‍ර පිටකයේ පමණි. විනය පිටකය පසුකාලීනව හාමුදුරුවරු හදාගත් 'හැසිරීමේ නීති සංග්‍රහයක්' වී ඇති බව කිවයුතු නොවේ. කෙනෙකු කියා 'මම' තුළ නැති බව අවුරුදු 45 ක්ම දෙසුවත් කෙනෙක් හැසිරවීමට නීති සංග්‍රහයක් නිර්මාණය කොට එහි 'කෙනෙක්' වශයෙන් හැසිරීම බුදු පණිවුඩයට අවමානයකි, නිවන් මග අවහිර කර ගැනීමකි.
බුදුන් වහන්සේ දේශනා කළ විනය නම් පුහුණුවයි. එය මාර්ග ඵල ගමනේදී ඵලයක් ලැබීමට මාර්ගයේ පුහුණු වන ආකාරයයි. පළමු සංගායනාවේදී උපාලි රහතන් වහන්සේ පහදා දුන්නේ මෙම මාර්ගවලදී ඵල ලැබීමට (සෝවාන්, සකෘදාගාමී ආදී) පුහුණු වන පිළිවෙලයි. විනය යන වචනයෙහි බුදුන් වහන්සේ කළ තේරුම පුහුණුවයි. එය හැසිරීම වශයෙන් හාමුදුරුවරු වෙනස් කරගෙන ඇත. අභාග්‍යයකට මෙන් කාලයාගේ ඇවෑමෙන් අද සමාජයෙහි විනය යන වචනයේ තේරුම හැසිරීම වශයෙන් අර්ථකථනය වේ.
තුන්වෙනුව,
අභිධර්මය බුද්ධ දේශනය නොවේ. 'ධම්ම' වල ඊට වැඩිය ගැඹුරු ධර්මයක් වැනි දෙයක් නැත. ධම්ම දැකීමේදී මෙය සනාථ වූ නිසා එසේ ලියමි. අභිධර්මය, පළමුවැනි, දෙවැනි සංගායනාවල සඳහන් කිරීමක් නැත. ඒවායේ සංගායනා වූයේ සූත්‍ර (උපක්‍රම) හා විනය (පුහුණුව) පමණි. අභිධර්මය මතුවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුද 250 කට පමණ පසුවය. එය ලිවූයේ සංගායනාවලින් නෙරපන ලද අය විසිනි. එහි ලියා ඇත්තේ තනිකර හින්දු හා ජෛන සංකල්පය. එය කියවා කවුරුත් නිවන් දැක නැති බව පුදුමයක් නොවේ. එය ප්‍රඥාවලින් ලියන ලද්දක් නොවන බවත් මනසෙන් සිතීමෙන් ලියන ලද්දක් බවත් ප්‍රඥා ඇස පහළ වූ අයෙකුට පහසුවෙන්ම දැනගත හැකි කරුණකි.
උදාහරණයකට බුදුන් වහන්සේ බුදු දහමේ කිසිම පැවතීමක් නැති බව කෙතරම් අවස්ථාවල පැවසුවත්, එහි හින්දු ජෛන සංකල්ප ඨිථි (උප්පාද, ඨිථි, භංග) පැහැදිලිවම සඳහන් වේ. මෙම ඨිථි (පැවතීම) සංකල්පයෙන් බුදු පණිවුඩය වූ අනිත්‍ය (පැවතීමක් නැත) යන්න සුණු විසුණු කර ඇත. මෙවැනි තවත් බුදු වචන විකෘති කර දමා ඇති සංකල්ප අභිධර්ම පිටකයේ බොහෝය.
චින්තනයෙන් මිදීම (චේතෝ විමුක්ති) නිවනට මග යැයි බුදු වචනය වුවද මේ චින්තන (සිතිවිලි) යන කුණුගොඩ අවුස්ස අවුස්සා බැලීම චින්ත වර්ගීකරණය කිරීම අභිධර්මයෙන් මනාවට සිදු වේ.
තවද අභිධර්මයේ සූත්‍ර (නිවන් මගේ උපක්‍රම) නැත. එහි ඇත්තේ නොයෙකුත් 'අදහස් දැක්වීමක්' (Commenteries) පමණි. එය පසුකාලීනව නිවන් නොදැකපු අයගේ මනසින් මවා ලියූ රචනා වැනිය. මනෝමයා 'මන (අසත්‍යය)මවයි' යන්න මනාව මනසෙන් ප්‍රදර්ශනය කරන කෘතියකි.
මේ නිසා විනය හා අභිධර්ම පිටක කොහෙත්ම බුද්ධ දේශනය නොවේ. සූත්‍ර පිටකය ද බොහෝ තැන්වල බුද්ධඝෝෂ හිමිගේ ජෛන අදහස්වලින් පෝෂණය වූවකි.
හතරවෙනුව,
සූත්‍ර පිටකය තමා නිවන් නොදැක්ක බව පැවසූ බුද්ධඝෝෂ හිමිගේ මනසෙන් මවාගත් නිවන් මග වන ශීල, සමාධි, ප්‍රඥා අනුකරණයෙන් සන්තෘප්ත වී ඇත. බුද්ධඝෝෂ හිමියන් බුදු පණිවුඩයට ගැසූ සිල් ඇණය (ආණි සූත්‍රය) මෙහි මනාව පැහැදිලි වේ. සෝවන් වූවිට සීලබ්බත (සීල+වෘත) නැතිවන බුදුන් වහන්සේ කෙතරම් පැවසුවද 'සීලයෙන් ප්‍රඥාව ලැබේ' යන්න ඔහුගේ විශුද්ධි මාර්ග කෘතියෙන් 'සීලේහි පටික්කාය නරෝ සපඤ්ඤෝ' වශයෙන් ඉදිරියට ගෙන බුද්ධඝෝෂ සංකල්පය සූත්‍ර පිටකයේ පැහැදිලිවම ග්‍රන්ථාරූඪ කොට තිබේ. නිවන් මග ගමන් කරන්නේ 'සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණ'යි. 'දිට්ඨිංච අනුපගම්ම සීලවා' යැයි බුදුන් වහන්සේ කෙතරම් පැහැදිලිව කියා තිබියදීත් බුද්ධඝෝෂ හිමිගේ සිල් ඇණයෙන් බුදුන් වහන්සේගේ දහම් බෙරය පළුදු කර තිබේ.
අද හාමුදුරුවරු ඇතුළුව සිල් ගන්නා අය කිසිදා නිවන් නොදකින බව (සීලබ්බත නැති නොවන බව) මම පවසන්නේ ප්‍රඥා ඇසින් දැක වගකීමක් සහිතවය. වෛද්‍යවරුන් වශයෙන්, හාමුදුරුවරු මෙන් නොව දන්නා දෙයක් පමණක් ප්‍රකාශ කිරීම උචිත බව දන්නා නිසාය. නොදන්නා දෙයක් ප්‍රකාශ කිරීම වෛද්‍යවරු නොකරති.
පස්වනුව,
දේශපාලනඥයන් උත්සවාකාරයෙන් උරුමයක් කොට ආරක්ෂා කරන්න යන වර්තමාන ත්‍රිපිටකය පළමුවෙන්ම බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500 කට පසු ලියන ලද පොත නොවේ. හාමුදුරුවරු ත්‍රිපිටකය ආරක්ෂා කළායැයි කියමින් මහජනතාව කෙතරම් මුළා කිරීමට තැත් කළත් මුලින් ලිවූ ත්‍රිපිටකය දැන් නැත. එය අතුරුදන් වී ඇත. එසේ නම් මුල් ත්‍රිපිටකය හාමුදුරුවරු ආරක්ෂා කර නැත. බුද්ධඝෝෂ හිමි එය පිච්චුවාද නැද්ද යන්න ඉතිහාසයෙනුත් නිශ්චිතව සොයාගත නොහැක. එනමුදු බුද්ධඝෝෂ හිමි ඇතුන් තුන් දෙනෙකු උසට ගොඩැගසූ පොත් කන්දක් පිළිස්සූ බව සඳහන් වේ. ශීල, සමාධි ඇණය ගසා පිරිසිදු බුදු පණිවුඩය පළුදු කළ බුද්ධඝෝෂ හිමි මුල් ත්‍රිපිටකය එම පොත් කන්දටම දැමුවා විය හැකිය.
කෙසේ වෙතත් හාමුදුරුවරු කෙතරම් උදම් ඇනුවත් මුල් ත්‍රිපිටකය ආරක්ෂා කොට නැත. මුල් ත්‍රිපිටකය ආරක්ෂා කර ඇති බව පැවසීම අමූලික බොරුවක් බව පාසැල් යන ළමයෙකුට වුවද මෙම කරුණු ඉදිරිපත් කළහොත් වටහා ගත හැක.
අතුරුදන්වීමෙන් පසු අවුරුදු 100 - 150 කට පමණ පෙර වනතෙක් ලංකාවේ ත්‍රිපිටකය නොතිබූ නිසා එකළ සිටි හාමුදුරුවරු බුරුමයට හා සියමට (තායිලන්තය) ගොස් එහි එකඟ වන කොටස් පමණක් ලියාගෙන විත් වර්තමාන ත්‍රිපිටකය සකස් කර තිබේ. බුරුමය හ තායිලන්තය මුල් ත්‍රිපිටකය ලියා අවුරුදු 500 ක් හා 700 ක් පමණ පසු කාලයේදී ලංකාවෙන් කොපි කරගත් ඒවාය.
මුල් ත්‍රිපිටකය ලියූ සිංහල අකුරු ඉරි කෑලිවලින් සංයුක්ත අකුරුය. එවැනි දෙයක් මෙකළ කියවිය හැක්කේ මුල් ඉරි කෑලි අධ්‍යයනය කළ කෙනෙකුට පමණි. ක්‍රමයෙන් අවුරුද දහස් ගණනක් වෙනස් වෙමින් රවුම් සිංහල අකුරු වර්ධනය වෙත්ම කවුරු හෝ මෙය නැවත නැවත ලියන්නට වුණි. එසේ ලියන විට ත්‍රිපිටකය වෙනස් කරන්නට හා අලුත් සූත්‍ර ඇතුළත් කරන්නට (ඇණ ගසන්නට) ඉඩක් ලැබිණි.
මධ්‍යම නිකායේ උපරි පන්ණාසකය (අන්තිම සූත්‍ර 50) මෙයට කදිම නිදසුනකි. මුලින් සූත්‍ර 50 ක් තිබූ එහි දැන් සූත්‍ර 52 ක් ඇත්තේ ඇයිදැයි ඔබට නිගමනය කළහැකි විය යුතුය.
හයවනුව,
බුද්ධ දර්ශනය (නිවන් දැකීම), බුද්ධ යන නමක් ඈඳාගත් බුද්ධ ආගමක් (ඇදහිලි ක්‍රමයක්) බවට පත්වීමත් සමග ලියූ ත්‍රිපිටකය කියවීමෙන් හෝ එය අනුගමනය කොට කවුරුත් අවුරුදු 2100 කට නිවන් දැක නැත. සම්පූර්ණයෙන්ම බුද්ධඝෝෂ ආගමක් වූ ත්‍රිපිටකය දැන් හාමුදුරුවරු ආරක්ෂා කරනුයේ බුද්ධඝෝෂ හිමි විසින් බුදු වචනය වෙනස් කිරීම නිසා හාමුදුරුවරුන්ට අමුතු, නිවන් නොදකින, නමුත් අනුන්ගෙන් ජීවත් වන ජීවන ක්‍රමයක් සකසා දුන් නිසාය. දැන් පිරිසිදු නිවන් මග විකෘති වී ඇති නිසාත් ලංකාවේ පමණක් නිවන් දැකපු අය 500 කට අධික පිරිසක් සිටින නිසාත් (හාමුදුරුවරුන් හෝ ඔවුන්ගෙන් බණ අහපු අය නොවේ) හාමුදුරුවරුන් විසින් ආරක්ෂා කරන බුද්ධඝෝෂ ආගම තවදුරටත් පැතිරවීම සත්‍යය ඉදිරියේ පසුබසිනු ඇත. ඒ සත්‍යය සමග අසත්‍යයට සටන් කිරීමට බැරි නිසාය. එය විශ්වයේ ස්වභාවයයි.
හත්වෙනුව,
ආණි හා සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය එම වෙනස් කරන ලද ත්‍රිපිටකයේම ඇති සූත්‍ර දෙකකි. ආණී සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ උන්වහන්සේ මතුකර දුන් 'දහම් බෙරය' පළුදු කරමින් පිටතින් යම් යම් දේවල් ඇතුලු කොට (ඇණගසා) එය ඉදිරි කාලයේදී වෙනස් කරන බවය. සූත්‍ර අන්‍යයන් විසින් වෙනස් කරන බව උන්වහන්සේ එහි දේශනා කර ඇත. වත්මන් දේශපාලනඥයන් හා හාමුදුරුවරුන් කරන්න හදන්නේ මහජනයා මුලා කොට මෙම නිවන් නොදකින, බුදුන් වහන්සේ විසින් ඉදිරියට පළුදු කරන බව පෙන්වා දුන් මේ පළුදු කරන ලද පොත ජාතික උරුමයක් කොට ජාතියටද අඥානවන්ත යැයි ලේබලයක් ගැසීමටයි.
සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බුදු පණිවුඩය නැති කරන්නේ 'සසුන තුළම මතුවන හිස් මිනිසුන්' බවය. එයින් අදහස් කරන්නේ ගිහියන් නොව හාමුදුරුවරු විසින්ම බුදු පණිවුඩය විනාශ කරන බවය.
ඉහත සඳහන් කරුණු මහජනතාව බුද්ධිමත්ව සලකා බැලිය යුතුය. මෙකළ පිරිසිදු බුදු පණිවුඩය (නිවන් දැකීම) මතු නොවී නම්, හාමුදුරුවරු තවත් අවුරුදු 2100 ක් මහජනතාව රවටනු නොඅනුමානය. මේ බමුණු දැලෙන් (බ්‍රහ්මජාලයෙන්) මිදිය හැකිකේ ඔබටම පමණි.
අඥානවන්ත දේශපාලනඥයන් රවටාගෙන හාමුදුරුවරු නටන මේ නාඩගම මහජනයා දැනගත යුතුය. එවැන්නකට අතදීම, ප්‍රතික්ෂේප නොකිරීම බුදුන් වහන්සේට කරන අපහාසයකි.
'මා පිටක සම්පදාය' - 'පොත් කියවීමෙන් (නිවන) සාර්ථක නොවේ'ය යන්න නිකමටවත් දේශපාලනඥයන්ගේ ඔළුවලට වදී නම් නිවන අවහිර කරන, බුදුන් වහන්සේ කියවන්න එපා කියූ පසුකාලීනව ඇණ ගසන ලද කෘතියක් ජාතික උරුමයක් කිරීම නොකරනු ඇත. එය ජාතික උරුමයක් ලෙස නම් කළේ නම් එය 21 වැනි ශතවර්ෂයේ සිදු වූ ලොකුම මෝඩකම ලෙස ඉතිහාසගත වනු ඇත. එවැන්නකට අනුබල දුන් සහභාගි වූ දේශපාලනඥයන්ගේ නම් ද මේ සමග අඥානවන්තයින් ලෙස ඉතිහාසගත වනු ඇත. තවද නිවන් මග අවහිර කරන කිසිවක් ජාතික උරුමයක් කළ දේශපාලනඥයන් ජනතාව විසින් නැවත පත් නොකරනු ඇත.
මෙම ලිපියේ ඇති කරුණු වැරදි යැයි ඔප්පු කළහැකි හාමුදුරු කෙනෙක් හෝ දේශපාලනඥයෙක් ඇත්නම් ඔවුන් සමග ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍යවල සාකච්ඡාවකට එන ලෙස මෙයින් ඇරයුම් කරමි.
- වෛද්‍ය ගාමිනී අභය | www.buddhaintelligence.org
උපුටා ගැනීම: lankanewsweb 

No comments:

Post a Comment