Wednesday, March 29, 2017

මුහුණක් නැති මුහුණ... (Faceless Face): රොහාන් පෙරේරා

කොළඹ දී සාමාන්‍යයෙන් පවත් වන සාහිත්‍ය-දේශපාලන සමාජවල කතිකා අවකාශයට මම අලුත්. ඒ නිසා ඒවායේ කතාවෙන දේවල් වලටත් මම අලුත්. මෑතකදී මට ඇහුන බොහෝ කතාබහ ඇතුලේ මට දැනුනු එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ පරම්පරාව ට (විශේෂයෙන් 70 දශකයේ ඉපදුන සහ 88-89 කැරළි අත්දුටුව) මොනවා හරි 'නුතනත්වයට පසු' දැනුමක් ලැබුණානම් ඒ ලැබීම පිටුපස රොහාන් පෙරේරා කියල (මම ඇත්තට ම නොදන්නා) චරිතයක් ඉදල තියෙනව කියන එක. බටහිර තියෙන්නේ සමාජ ව්‍යාපාර සහ ඒ ඔස්සේ එන ගුරුකුල. ඒ ඔස්සේ සුවිශේෂ බිහිවෙනවා. එම සුවිශේෂ විසින් ඔවුන්ව නිෂ්පාදනය කල සමාජ ව්‍යාපාරය එක්කෝ පොහොසත් කරනවා නැත්නම් එය ම අභියෝගයට ලක්කරනවා. නමුත් රොහාන් කියන්නේ සමාජ ව්‍යාපාර (විශේෂයෙන් ජ. වි. පෙ.) මියගියාට පසු ආපු කෙනෙක්. සියලු සමාජීය බලාපොරොත්තු 'අහිමි' (loss) වුනාට පස්සේ ආපු කෙනෙක්. නමුත් ඔහු එම දැවැන්ත අහිමි විම ඇතුලෙ ම යමක් කරන එක අත් ඇරියේ නැහැ කියල තේරෙනවා ඔහු නිෂ්පාදනය කරපු පුද්ගල චරිත දිහා බලපුවම. එම මියයාමෙන් පසු පැමිණෙන ඔහු සුවිශේෂ චරිතයක් වැඩිය එලියට නොඑන. ටිකක් ගුප්ත (mysterious) බවක් තියෙනවා ඔහුගේ අභිනය ඇතුලේ. සමහර විට එම ලාංකික 'අහිමි වීම' ඔහුට බලපාපු හැටි වෙන්න ඇති. නමුත් වැදගත් වෙන්නේ එම සංහාරයට පසු (after the Event) ඔහු කරපු දේ. එලියට ආවේ නැති වුනාට ඔහු විසින් ලංකාවේ සුවිශේෂ ගොඩක් මිනිස්සු මේ විදියට (ගුප්ත) අඳුර ඇතුලෙ ම බිහිකරලා තියෙනවා. ඒ අය සමාජයේ ලොකු සංකේතිය බලයක් එක්ක අද දවසේ වැඩකරනවා. ඒ හුගක් අය ජාතිවාදයට විරුද්ධව වැඩ කරන චරිත. ඒ කියන්නේ අඩු තරමේ යන්තම් හරි ඒ අයට සමාජීය වෙන්න පාර කියල දීල තියෙනවා රොහාන් විසින්. ඒක ඉතාම වැදගත් දෙයක් අද අපි කියල යමක් බිහිවෙන්න සහ අපේ පරම්පරාව ට ජාතිවාදයෙන් ගොඩ එන්න. ඔහුගේ බලපෑම අපේ පරම්පරාව ට අතිශයින් වැදගත් වෙලා තියෙනවා බටහිර ට ගිහින් ඉංග්‍රීසියෙන් දර්ශන වාද හදාරලා ආව අයට වඩා. සමාජ ව්‍යාපාර පැත්තෙන් ඒක ටිකක් අමුතු දෙයක්. ගවේෂණය කලයුතු දෙයක් සහ අපේ පරම්පරාව අමතක නොකළ යුතු දෙයක් හැටියටයි මම දකින්නේ. 

1990 දශකයේ හරියට ම අගදී මම එතකොට උයන්ගොඩ ල කරපු 'ප්‍රවාද' කියවනවා. ඒ කියවන කොට මට මිෂෙල් ෆුකෝ ගැන කියවන්න ලැබෙනවා. මම ඒ කාලේ මගේ ගුරවරයෙකු ගෙන් ෆුකෝ කියවනවද කියල අහපුවම මට ලැබුන පිළිතුර 'නැහැ' කියන එක. එතකොට පිටරට ගිය අයගේ තත්වය ඕක. ඒ අයට අපිට ඇත්තටම 'උසස් දැනුම' දෙන්න ඕනි උනේ නැහැ. තියෙන තැනක් වත් කිව්වේ නැහැ.  මෙම සන්ධර්භය තුල රොහාන් කියන්නේ ෆුකෝ කියවල අනෙක් අයටත් ඒක කියවන්න කියල කිව්ව කෙනෙක්. ඒක වෙනස් 'ආසියාතික' තත්වයක්. ආසියාතික ආත්මය ප්‍රති-ජීවනය කිරීමක්. එම ආත්මය උසස් තත්වයට ගෙන ඒමක්. එකෙන් තමයි අද දවසේ අපේ පරම්පරාවේ සද්භාවය (ontology) උපදින්නේ කියල මට හිතෙන්නේ. නමුත් අද ස්ත්‍රීවාදය ගැන එක එක 'අඩවි' වල ලියන කිසිවෙක් රොහාන් ගේ නම කියන්නේ නැහැ. ඔහුගේ "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරිඩාව විසංයෝජනය කළ විට..." (ප්‍රවාද 1995: පිටු 97-118) මඟ හැරලා ලංකාවේ ස්ත්‍රීවාදය ප්‍රවාද ගත කරන්න බැහැ අදටත් (ඔහුගේ ලිපියෙන් අවධාරණය කරන බරපතල දෙය නම් 'මානුෂික වෙන්න' කියන එක). ඕනිම කෙනෙකුට බැලූ බැල්මට කියන්න පුළුවන් දෙයක් තමයි රොහාන්ගේ ඉහත 'ස්ත්‍රී පාරභෞතිකය' නම් ලියමන ලංකාවේ මුල් කෘතියක් (original) කියන එක. ඒක කොපියක් නෙවි. විප්ලවවාදීන් විදියට අප පුරුදු වෙන්න ඕනි එවන් දේවලට ගරු කරන්න. ඒවා නැවත නිර්වචනය කරන්න සහ ඒවාට හිමි ගෞරවය දෙන්න. ඒක විප්ලවීය ආචාර ධර්මයක් (කොහොමත් ජුඩිත් බට්ලර් රොහාන් ගැන ලියන එකක් නැති හින්ද හුගක් ලංකාවේ 'අලුත් ස්ත්‍රීවාදීන්ට' රොහාන්ව කවදාවත් මුණ ගැසෙන එකක් නැහැ. පරණ අයටත් ඕනි රොහාන්ව අමතක කරලා දමන්න නිසා මේ අලුත් ස්ත්‍රීවාදී පරම්පරාවට පරණ අය විසින් රොහාන් කියල කෙනෙක් ගැන ඇත්තටම උගන්වන්නේ නැහැ). අමානුෂික විදියට අපි රොහාන් අමතක කරන්නේ අද දවසේ අපේ ගේමට ඔහු අවශ්‍ය නැති නිසා. රොහාන් මේ සියලු දේවල් වෙද්දී නිශ්ශබ්දව ඉන්නවා. ඒ 'නිශ්ශබ්ද බව' වඩාත් විප්ලවීයයි (හරියට එක් වරක් ගාන්ධි කළා වගේ). නමුත් අපි බලන්නේ ජුඩිත් බට්ලර් හරි ජිජැක් හරි මාට්ටු කරගෙන මොනවා හරි ටිකක් කියල ඉස්සරහට යන්න. මේ වැඩේට ආයුෂ නැහැ.  මොකද අපි එතකොට ඉන්නේ සත්‍යයට විරුද්ධ දිශාවේ. ඉතිහාසය අපිට කියල දෙනවා ඇත්ත මනුෂ්‍ය ගුණධර්ම නැතුව මොන දේශපාලනයක් කලත් වැඩක් වෙන්නේ නැහැ කියන ටික. ලංකාවේ මුල්වතාවට බටහිර ෆ්‍රොයිඩියානු උපගමනය ට ප්‍රතිපක්ෂව ස්ත්‍රිය සම්බන්දයෙන් වූ ඒ 'මනුෂ්‍ය බව' ගැන කතාකරපු, ස්ත්‍රිය තුලින් 'ආසියාතික බව' නැවත තේරුම් ගන්න හදපු, ආසියාතික අධ්‍යාත්මය නැවත අලුත් අර්ථයකින් තේරුම් ගන්න හදපු රොහාන් පෙරේරා ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඔහු ක්ෂිතියක්. අද දවසේ ලාබ ස්ත්‍රීවාදයට ඔහුව තරණය කරන්න බැහැ. ඒකයි... 

ස්ත්‍රී පාරභෞතික බව නම් රොහාන් පෙරේරා ගේ 'ප්‍රවාද' 1995 ලිපිය කියවන්න 

පසුව ලියමි : මා මේ සදහන් කරන්නේ පුදුම දෙයක්. ඒ පුදුම දෙය නම් මෙච්චර ස්ත්‍රීවාදීන් වැහි වැහැල ඉන්න රටේ රොහාන් පෙරේරා විසින් ලියන ලද "ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරිඩාව විසංයෝජනය කළ විට..." නම් ලියවිල්ල අන්තර්ජාලයේ කිසිම තැනක උපුටා දක්වල නැහැ (ගූගල් සෙවුම් යන්ත්‍රයට අනුව) මෙම බ්ලොග් අඩවිය විසින් එය සදහන් කරන තෙක්ම (නමුත් එවකට 'මාතොට' සඟරාව නම් බොහෝ අවස්ථාවල එම ලිපිය උපුටා දක්වල තියෙනව මම දැකල තියෙනව). සිංහල භාෂාවෙන් අන්තර් ජාලය පුරා ඇත්තේ රොහාන් පෙරේරා කියන නම ඔහේ කියලා දාල විතරයි. ඔහුගේ කතිකාව කවුරුවත් බරපතලව විචාරය කරලා නැහැ (එහෙම නැති තාක් කල් අපිට ඔහුගෙන් ගැලවීමක් නැහැ). ඒ හැම තැනකම තියෙන්නේ ඔහුගේ දේශපාලනය පරණයි, ඒක දැන් ඉවරයි වගේ දේවල්. මෑත කාලයේ කේ. කේ. සමන් කුමාර විසින් කිහිප තැනකදී ඔහු ට හිමි ඓතිහාසික තැන සදහන් කළා පොදු අවකාශය ඇතුලේ. මට පවා ඔහු ගැන නැවත හිතන්න බල කරේ එය විසින්. මට තිබුණ තොරතුරු මත මමත් හිතුවේ ඔහු ඉවර ඇති කියල. නමුත් ඔහු විසින් මෙපමණ චරිත ගණනක් සෘජු ව හෝ වක්‍ර ව නිෂ්පාදනය කළා කියල මම දැනගෙන හිටියේ නැහැ. නමුත් දේශපාලනයෙදී මට ඒ ගැන හොයල බලන්න තිබුණා. මම උනත් හොයල නැත්තේ නරුම තැනකින්. ඒ කියන්නේ අපි දන්නවා එත් නොදන්නවා වගේ ඉන්නවා. 

"මිනිස්සු පාරේ නිදාගෙන ඇවිදිනවා ...අවදියෙන් ඇවිදින්න" 
"කුණු කාණුවෙන් කවුරුවත් වතුර බොන්නේ නැහැ වගේ පහත් සදාචාරයක් (ලෙනින්) දේශනාකලා"
"ගෙදර තියෙනකල් ස්ත්‍රී සිතුවිලි සිරිකතක් වගේ යහපත්" 
"ගෙදර සංකීර්ණ ගැහැණු පාරේදී මළමිනී වගේ"
"දර්ශනවාදය පවතින්න පවුල අනිවාර්යයක් නම් දර්ශන වාදය පවතින්න හිස්ටිරියාව අනිවාර්යයක්" (රොහාන් පෙරේරා).

අපි කරන්න ඕනි රොහාන් ව ප්‍රතික්ෂේප කරලා ඉදිරියට යන එක නෙවි. රොහාන්ගේ උරුමයත් අරගෙන ඒක පෝෂණය කරමින් ඉදිරියට යන එක. ඔහුගේ කතිකාව ප්‍රතික්ෂේප කරන්නේ කුමන න්‍යායික කරුණු මතද? ප්‍රතික්ෂේප කරන්න කිසිවක් ඔහු ලියලා නැහැ. විශේෂයෙන් ඔහුගේ උරුමය එක්ක යන විමුක්ති ව්‍යාපාරයක ට ස්ත්‍රීවාදය සම්බන්දයෙන් වරදින්න හේතුවක් නැහැ. ඔහු ඒක රැඩිකල් විදියට කතා කරලා තියෙනවා බටහිර අය කතාකරනවට වඩා අපේ භූමියට අදාල විදියට. ඔහු බටහිර ස්ත්‍රිය සම්බන්ද කතිකාව ඇත්තටම පෙරදිග අර්ථයෙන් විසංයෝජනය කරනවා.  හරියට බැලුවොත් ඒක නව මාවෝ වාදයකට පාර කපනවා ද විය හැකියි.  ඒ සඳහා අර්ථකතනවේදය වෙත නැවත ගැඹුරින් යා යුතු වෙනවා. කරන්න ඕනි ඒ වගේ වැඩ මිසක් නිකම් කවුරුවත් කියන හින්ද ෆ්‍රොයිඩ් ගේ 'මෙලන්කොලියාව' පට්ට ගහන එක නෙවෙයි (එක චැනල් එකක සද්දේ වැඩිනම් තව චැනල් එකක් ටියුන් කරන එක වගේ 'විමුක්ති ක්‍රියාමාර්ග' හොඳයි එදා වේල ගොඩදාගන්න). ඒ වගේ බරපතල වැඩ කරන්නේ නැතුව නිකම් ජුඩිත් බට්ලර් ගේ පස්ස පැත්තේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ 'ඔරිජිනල්' වැඩ කරන එකයි රොහාන් ගේ සත්‍ය උරුමය...  

(මහේෂ් හපුගොඩ)

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මම හිතන්නෙ රොහාන් විතැන් වෙන්නෙත් තමන්ගේ දැණුම බෙදාගන්න හිටපු පිරිස පවා බාගෙට දැනුවත් වෙලා පිස්සු කෙළපු නිසා කියල.

    ReplyDelete
  3. ඔව් සහෝදරයා. ඒක ඇත්ත වෙන්න පුළුවන් බොහෝ දුරටම. මොකද රෝහන්ව කියවන කොට තේරෙනවා එය අලුතින්ම හිතපු කෙනෙක් කියල. කොපිකැට් නෙවි. ඔහු තමයි 'ආසියාතික බව' මුලින්ම හඳුනා ගන්නේ සහ ඒ මත ස්ත්‍රීවාදය රැඩිකල් කරණය කරන්නේ. බොහෝ අයට (මාත් ඇතුළුව) මේක තේරුනේ නැහැ. නමුත් දැන් අපේ වැඩෙත් එක්ක මේක හොඳින් තේරෙනවා...

    ReplyDelete