Friday, May 18, 2018

හැරී දෙස බලා සිටින ඔබ ඇත්තටම නිදහස්ද?

ලෝකය පුරාම විශේෂයෙන් පශ්චාත් යටත්විජිත ලෝකය මුළුල්ලේ ගොඩක් අය හැරී සහ මිගන් ගේ 'රාජකීය විවාහය' ගොඩක් ආශාවෙන් බැලුව. බ්‍රිතාන්‍ය වැසියන් මෙතරම් රජ පවුලට අප ආශා කරන්නේ ඇයි? තවමත් වැඩවසම් නෂ්ටාවශේෂ තුල ජිවත් වීමට ආශා කරමින් අප පවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට 'රජෙක්' පතන්නේ ඇයි? ආශාව සහ දේශපාලනය පැත්තෙන් ගත්තම ඒක වැදගත් ප්‍රපංචයක් සාකච්චා කලයුතු. කෙසේ වුවත් මිගන් සහ හැරීගේ ඉහත විවාහය ගැන ලෝකයේ අවධානය යොමු වුනේ ටිකක් වෙනස් විදියට. මොකද හැමෝම මේ විවාහය දැක්කේ ටිකක් රැඩිකල් එකක් කියල. නමුත් මට හිතෙනවා එයාල දේවල් වෙනස් කරන්න උත්සාහ කරන කොටම ඒක නැවතත් පරණ දෙයම බවට පත්වුණා කියල (the more you try to change, the more it remains the same). හරියටම ලංකාවේ දේවල් වෙනස් කරන්න හදනකොට වෙනවා වගේ. මෙතැනදී රජ පවුල නැති වෙනවා වෙනුවට වෙන්නේ වෙනස් වෙමින් එයම ප්‍රති-ජීවනය ලබන එක.  

මිනිස්සුන්ට අතීත වටිනාකම් වලින් ඛණ්ඩනය වෙන්න බැහැ කියන එකට හොඳම උදාහරණය තමයි ඉහත රාජකීය කසාදය. ඒ කියන්නේ සමාජවාදයටත් ධනවාදයටත් යම් යම් ශිෂ්ටාචාර ලක්ෂණ (ගෝත්‍රික, එඬේර, වැඩවසම් ව්‍යුත්පන්නයන්) වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා සමාජ මොනතරම් පරිණාමය වුනත්. ඇත්තටම නුතනත්වය තුල පරිණාමය වෙන්න වෙන්න වෙලා තියෙන්නේ අර පරණ සංකේත 'ප්‍රති-ජීවනය' වෙන එක මිසක් අහෝසි වෙන එක නෙවෙයි. හැරීගේ සහ මර්කල් ගේ විවාහය බහු සංස්කෘතික ලක්ෂණ අරගෙන, අලුත් රූපක ඇතුලේ, අලුත් ආගමික චාරිත්‍ර ඇතුලේ, වඩා ජනතාවාදී වෙලා අර පරණ ආකෘතියම නැවත අප වෙත ඇවිල්ල තියෙනවා මිසක් පරණ අතීත කාමය අහෝසි වෙලා නැහැ. ඒ කියන්නේ ඉතිහාසය සහ එහි අඛණ්ඩතාවය දිගටම ගලා යනවා සියලු සමාජ ක්‍රම අතරෙන්. දෙමව්පිය සම්බන්දය සහ විවාහය වගේ දේවල් වැඩවසම් යුගවලටත් කලින් ඉඳන් අද දක්වාම එනවා පොඩි පොඩි වෙනස්කම් වෙමින්. අහෝසි වෙන්න ඕනි වුනත් අහෝසි නොවී අවතාරයක් වගේ බ්‍රිතාන්‍ය රජ පවුලත් දිගටම යනවා (තව නුතන කියලත් කියනවා). කිසිවක් නොපවතින තැන තියෙන යම් දෙයක් වගේ මේ රෝයල් කට්ටිය ඓතිහාසික රෝග ලක්ෂණයක්. ඉතින් පට්ට වැඩවසම් සංකේතයක් වන බ්‍රිතාන්‍ය රජ පවුලේ කැත කුණු උණු කැවුම් වගේ ව්කිනෙනවා ඒ 'නුතනවාදී රටේ' මිනිස්සු අතර. ඒකට හේතුව තමයි බ්‍රිතාන්‍ය අනන්‍යතාවය කියන එක තාම වැඩවසම් සංකේත එක්ක බැඳී පැවතීම. මේක දියණු නොදියුණු සියලු රටවලට පොදුයි. වැඩවසම් අනුරාධපුර, සිගිරිය, පොලොන්නරුව, පත්තිරිප්පුව අපේ අනන්‍යතාවය වෙනකොට බ්‍රිතාන්‍ය රජ පවුල ඔවුන්ගේ අර්චන අනන්‍යතාවය එක්ක බැඳෙනවා. අනන්‍යතාවයෙන් ගැලවීම නම් පුතෝ සෙල්ලම් දෙයක් නෙවි. ඒක නැති වෙච්ච ගමන් ඉතුරු වෙන්නේ ශුන්‍යතාවය (nothingness). අපි හැමෝම හිස් බවට බයයි. ලක්ෂ ගණන් පෝලිම් වල හැරී එනකල් නොකා නොබී ඉන්නේ එකයි. 

හැරී වගේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කෙනෙක් එයාගේ වැඩිමහල් සහෝදරයා වගේ උසස් වංශවත් පවුලක කෙනෙක් විවාහ කර නොගැනීම ගැන එක්තරා පුද්ගලයෙක් මෙගෙන් ඇහුව එකක් තමයි 'කිසිදෙයක් බලන්නේ නැතුව මීගන් වගේ කෙනෙක් තෝරා ගැනිම නිසා හැරී ඇත්තටම රැඩිකල් නේද' කියන එක. ඔව්, මමත් හිතනවා එතන යම් දෙයක් තියෙනවා කියල. නමුත් ඔහු ආශා කරන්නේ තමන්ගේ වංශවත් කියන කුලකයට පිටින් ඉන්න ඉහල පවුල් පසුබිමක් නැති, අම්ම තාත්ත ඉහල පන්තියෙන් නොපැමිණෙන, කළු ජාතික පසුබිමක් තියෙන, පෙම්වතුන් ගොඩක් හිටිය සාමාන්‍ය ගැහැණියක්. ටොඩ් මැගෝවන් ට අනුව ගත්තොත් ඔහුගේ ආශාවේ පදනම 'වෙනස' කියන සාධකය (තමා නොවන දෙය). ඔහුගේ වැඩිමහල් සහෝදරයා වගේ නොවෙයි හැරීගේ ආශාව ෆැන්ටසියකට වඩා වැඩි දෙයක්. තමන් යටත් කරගෙන හිටිය ජාතියකගෙන් ව්‍යුත්පන්න වුන ඓතිහාසික ස්වාමි වහල් සම්බන්දයක නෂ්ටාවශේෂ වලට ආශා කිරීමක් හෙවත් ඔහුගේම ඉතිහාසයට අවිඥාණික වන්දි ගෙවීමක් කියලත් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුගේ ආශාව ඔහුටත් නොතේරෙන ගුප්ත ෆැන්ටස්මතිකයක්. එහෙනම් එතැනදී වැදගත් වෙන්නේ හේගල්. විලියම් එයාගේ සංකේත පිළිවෙල ඇතුලේ ආශාවේ සිමාව සලකුණු කරන කොට දොලර් ට Mladen Dolar අනුව ගත්තොත් හැරී කරන්නේ ප්‍රමෝදය සොයා යාමක්. ඒ කියන්නේ මේ විවාහයට තියෙනවා සංකේතනයට ඔබ්බෙන් පවතින විනෝද ආර්ථිකයක් (economy of enjoyment). ඒ කියන්නේ අතිරික්ත විනෝදයක් (මාක්ස් ගේ අතිරික්ත වටිනාකම වගේ). බලා ඉන්න අයටත් මේක සම්ප්‍රේෂණය වෙනවා.  ඔවුනුත් එය විඳිනවා. රාජකීය පවුලේ සංකේතනය මෙතැනදී අසමත් වෙනවා. ඔවුන්ට පුළුවන් වෙන්නේ හැරීගේ විනෝදය වෙනුවෙන් කැපකරන්න පමණයි (ළමයින්ගේ ගේ හිතුවක්කාර විවාහ වෙනුවෙන් කැපකරන දෙමාපියන් ගැන සිතන්න!). 

දොලර් මෙහිදී මෙහෙම කියනවා. 'තනි පුද්ගල බද්ධ ආත්ම මුලිකත්වයේ ආශාව හෙවත් ආත්මාර්ථය සහ බලය අතර ඝට්ටනය විසින් දෘෂ්ටිවාදයේ අධිනිශ්චය පිළිබදව ග්‍රාම්ස්චි විසින් ගෙන එන හෙජමොනිය සම්බන්ද මතය මෙහිදී පසුපසට යනු ලබනව' (පිටුව xviii). මෙතනදී වෙන්නේ දෘෂ්ටිවාදය තමන්ගේ ස්ථානය වෙනුවෙන් (අධිනිශ්චය) සටන් වදිනවා වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් බාධාවක් (constrain) සොයන එක (රජ පවුලේ සංකේතනය). ඒ කියන්නේ තමාගේ ආත්මයේ ෆැන්ටස්මතික මදය (phantasmic kernel) වෙනුවෙන් සටන් කරන විෂය (විනෝද වීමට අපේක්ෂා කරන විෂය = subject supposed to enjoy) කෙසේ හෝ සොයන්නේ තමාගේ විනෝදයේ පංගුව පමණයි. ඒ නිසා කොලම්බස් මෙන් යන්නේ කොහේදැයි එවැන්නෙක් නොදනින අතර ඔවුන්ට ඇත්තේ කොහේ හෝ යන බවට ඇති විශ්වාසයක් (belief) පමණයි කියල දොලර් කියනවා. කොලොම්බස් කොහේ හෝ රටකට ගොඩ වැදුන නමුත් ඔහුට අවශ්‍ය වූ දිහාවට ගියේ නැහැ. මේක තමයි විලියම් සහ හැරීගේ 'වෙනස'. කොහොම වුනත් කොලොම්බස් තියරියට අනුව විලියම්ට හමු නොවූ දෙයක් හැරීට හමුවන්න පුළුවන් ආපතික විදියට. කොහොමත් බටහිර ආත්මය හැමදාම ගියේ ආපතික විදියට දේවල් සොයාගෙන වෙනත් අය පය නොතියපු ලෝකයේ අන්ධකාර අහුමුළු හොයාගෙන.  ඒකයි එයාල හැමදාම අපිට  අඩියක් ඉස්සරහින් ඉන්නේ.    
       
නමුත් ඩේලි මේල් එකේ ප්‍රශ්නය වෙන එකක්.  තාමත් මේගන් ල හැරී ල ගේ දෙමව්පියෝ කසාදෙට එනවද නැද්ද කියන එක ගැන මේ වෙබ් එක විස්සෝප වෙන හැටි දැක්කම හිතෙනවා මේ අය නේද නුතනත්වය සහ නිදහස ගැන තුන්වැනි ලෝකයට පාරම් බාන්නේ කියල.. විශේෂයෙන් ඩේලි මේල් එක හැසිරෙන්නේ හරියට පිස්සු වැටුන වගේ රජ පවුල ගැන (එයාලට අනුව මේක නුතන විවාහයක්). 'කෝ මේගන් ඔයාල කතා කරන නිදහස ඔයාලගේ ජිවිත වල වත් නැහැනේ මේ සම්ප්‍රදායික සංඥා තුලට ඔය විදියට ආසාවෙන් රිංගනවානම්'...කියල එයාල අහන්නේ නැහැ. ඒ වෙනුවට බ්‍රිතාන්‍ය කාරයාගේ සම්ප්‍රදායික ආත්මයේ පතුලටම කතාකරනවා ඩේලි මේල් එක. ඉතින් කොහොමද ඔය 'උසස්' කියන බටහිර අය කියන්නේ පර්දා දාන, මුහුණ වහන, බුර්කා අඳින ඇෆ්ගන් කාරයෝ අන්තගාමී කියල. මම හිතන්නේ අපි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ.  අඩුම තරමින් යටත් විජිත රුෂ්ඩි ගේ දුව නටාෂා නම් කියනවා දෙමව්පියෝ නැතුව කසාද බඳින්න පල්ලියට යන්නත් හයියක් තියෙන්න ඕනි කියල රෝයල් කටිටිය දුක් වෙද්දී. ඉතින් කවුද ඇත්තටම නුතන? ඇත්තම ප්‍රශ්නය නම් හැරී නිදහස්ද කියන එක නෙවි හැරී දෙස බලා සිටින අප නිදහස්ද කියන එකයි.  

අපේ අයත් ගිහිල්ලද මඟුල් ගෙදර? ගියේ නැත්නම් පුදුමයි... කොහොම හරි වීඩියෝ එකක් වත් බලනවා ඇති. 



No comments:

Post a Comment