Sunday, May 13, 2018

ගාන්ධි, අමරසේකර සහ අපි

'දීප්ති: අපේ යුගයේ ගුරු ගීතය' ග්‍රන්ථයේ අවසන් කොටස. 

දීප්ති ගේ දේශපාලනය අද වනවිට දිගු ගමනකින් පසුව එහි නිෂ්ටාවන් සහ අභිප්‍රායන් වෙත ගමන් කරමින් තිබෙනු දැකීම සතුටක්. විසි වන සියවසේ අධිනිශ්චය වී තිබුණ බොහෝ මායිම් විසංයෝජනය වන මේ මොහොතේ මේ සටහනත් සමගම එම ලිපි පෙළ අවසන් කිරීමට මම හිතුවා.  

වැඩ කිරීම (work) ගැන අපි පොඩි උපමා කතාවක් එක්ක මේ ලිපිය පටන්ගමු. ඒ තමයි ඇල්බයා කමු ගේ 'සිසිපස් ගේ මිත්‍යා කතාව' (The Myth of Sisyphus). ඒක සාන්දෘස්ථික සාහිත්‍යය ඇතුලේ ඉතා වටිනා කෘතියක්. ඒකෙන් කියවෙන්නේ සිසිපස් කියලා කෙනෙක් තේරුමක් නැතුව ගලක් කන්ද උඩට තල්ලු කරන එක, ගල කන්ද පාමුලට ආපසු පෙරළෙන බව ඉන්තේරුවෙන් ම දැනගෙන. කිසිම අර්ථයක් නැතුව වුනත් සිසිපස් දිගින් දිගටම ගල කන්ද මුදුණට ම තල්ලු කළා. එහෙම තල්ලු කිරීම නම් 'වැඩේ' ඇතුලේ තමයි එයා තෘප්තිමත් වුනේ. කිසි තේරුමක් නැති දෙයක් කියල මුළු ලෝකෙම කීවත් ඔහුගේ ජීවිතය අර්ථවත් වුනේ අර අර්ථයක් නැති ක්‍රියාව ඔස්සේමයි (මේක ඒ කතාව ලියපු කමු ට වත් ඒ මොහොතේ තේරුනේ නැහැ). අපි සිසිපස් ගැන දැන් කතා කරන්නෙත් එම 'වැඩකට නැති වැඩේ' ඔහු කළ නිසාමයි කියලයි අපි කියන්නේ. දීප්තිත් ගොඩක් කාලයක් වැඩ කළා. හුගක් අය කිවේ 'මොනවටද ඔච්චර කියවන්නේ ලියන්නේ' කියල . 'ඉන්නකෝ මේ අපි වගේ වැඩිය දේවල් ඇඟට ගන්නේ නැතුව ආතල් එකේ'. නමුත් අපි හැමදාම උත්සාහ කළා ගල කන්ද මුදුනට ගෙනියන්න ආපහු පහලට පෙරළෙන වග දැනදැනම. ඇත්තටම 2005 සහ 2015 වගේ අවස්ථා දෙකකදී ගල පහලට පෙරලුනා. එත් දීප්ති අත හැරියේ නැහැ. එයා තාම ගල කන්ද උඩට ගෙනියන්න හදනවා. ලංකාව කියන අප ඉපදිච්ච රටට මොනවහරි ගෞරවයක් ගේන්න ඔහු විශාල චින්තන වපසරියක වැඩ කරනවා. තුම්මුල්ලේ ඉඳන් කොටුවට යන්න විශාල මිනිස් පෝලිම් අපිට නැති උනාට අපි අපේ වැඩේ අත්හැරලා නැහැ. මේ තමයි ඒ න්‍යායික දේවල් වලට අසීමිත ලෙස ගෞරව කරන ලංකාවේ සිසිපස්ට අපිට කරන්න පුළුවන් උපහාරය.  

ලාංකික අප හැට වසරක නිදහසෙන් පසුව ඉතාම වැදගත් මතවාදී කඩයිමකට පැමිණ ඇතැයි හිතන්න පුළුවන් මේ වෙනකොට දේශපාලන දර්ශනය ඇවිල්ලා තියෙන දුර බලපුවම. සමහර විට ඉන්දියාව වුනත් දේශපාලන මතවාදය දියුණු කිරීම මේ තරම් කරලා නැතුව ඇති නව ගෝලීය තත්වයන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට. ඕනිනම් කියන්න පුළුවන් දැන් තමයි ඇත්ත චින්තන (නිදහස්) අරගලය සිදුවෙමින් පවතින්නේ කියලත්. හුඟක් අය අහයි මොකටද ඔච්චර මතවාද ගැන කතා කරන්නේ කියල. අපේ උත්තරය තමයි අපිට සිදුවුන විනාශයන් එක්ක ප්‍රබුද්ධ ව්‍යාපාරයක් නැතුව ඉදිරියට යන්න බැහැ කියන එක. මොකද වම දකුණ භේදයක් නැතුව අවුරුදු හැටම අපි ඇවිල්ලා තියෙන්නේ නිශ්චිත මතවාදයක ආලෝකය නැතුව. උතුරේත් දකුණේත් මෙච්චර මිණී කඳු ගොඩ ගැහුනේ තමන් ඇයි මැරෙන්නේ කියලවත් නොදැන (ආයේ එහෙම වෙන්න දෙන්න බැහැ මේ රටට). අර්ථය කියන්නේ සැමවිටම සොයාගත යුතු දෙයකට වඩා භුමිය විසින් ගොඩනගන දෙයක් කියලයි ලකාන් කියන්නේ (meaning is never a truth that can be found; it is rather always entity constructed). එසේ නම් අපගේ භුමියේ සත්‍යය භුමිය විසින්ම ගොඩනගා තිබෙනවා කියන එක අප හඳුනා ගත යුතුයි. දකුණු අප්‍රිකාවේ ඉදන් ඉන්දියාවට ආපු ගාන්ධිට මහාචාර්ය ගෝකල් කියන්නේ 'ඉන්දියාව සොයාගන්න' කියල (go and find India). ඉන්දියාව කියන්නේ නව දිල්ලි වල ඉන්න නීතිඥයෝ කිහිප දෙනෙක් නොවෙයි කියන එකයි ඒකෙන් කියන්නේ. ඈත දුප්පත් ගම්වලට ගිහිල්ල 'භුමියේ සත්‍යය' (යථ වෙත ගොස්) අවබෝධ කරගන්න කියන එක.  බරපතල ලෙස පහලට ඇදවැටෙමින් තිබෙන මෙම භූමිය ඉල්ලා සිටින්නේ ස්වාමි හැඟවුමක් කියලයි මට හිතෙන්නේ ගෝඨාභය ගේ දේශපාලන ආගමනය දැක්කම. සම්පුර්ණයෙන් අවුල් වෙලා තියෙන සමස්ත ක්‍රමය ගොඩදාන්න 'ඒකාධිපතියෙක්' (ගාන්ධි කෙනෙක් නෙවි)  මේ දුප්පත් රට දැන් ඉල්ලනවා (මිනිස්සු දහ දෙනෙකුට කතා කලොත් මේ සත්‍යය දැන ගන්න පුළුවන්). හරි වැරදි කියල නෙවි මම කියන්නේ එයයි භුමියේ සත්‍යය කියන එකයි. මේක අමතක කරලා මුකුත් කරන්න බැරිවෙයි. සදාචාර හරි වැරදි එක්ක මෙම යථාව පටලවා ගන්න එපා. අපි කොච්චර මතවාද දියුණු කලත් වැඩක් නැහැ එය භුමිය (ground) එක්ක සම්භන්ද වෙන්නේ නැත්නම්. 

මේ සටහන ලියාගෙන යනකොටම ඇහුන ඔන්න ලාල් කාන්ත මහතා කියනවා ගෝඨා කියන්නේ දුර්වලම කෙනා කියල. ඒ නිසා එයාට බය වෙන්න ඕනි නැහැ කියල. යමෙක් දුර්වලයි කියල හිතීම කොතරම් දේශපාලනික අඥාණ කමක්ද? දුර්වලම අය බලයට ගේන්න ගිහින් කොටි සංවිධානය මිහිපිටින් අතු ගැවිලා ගියා කියන එක ඔහුට අමතක වෙන්නේ කොහොමද? මම හිතන විදියට ඔහු සෝඩා නැතුව අඩියක් ගහල ඉන්න ඇති ප්‍රේමදාස මහතා වුනත් දුර්වලයෙක් කියල ඒ කාලේ හිතපු එකේ දේශපාලන වරද අමතක වෙන්න. දැන් අවශ්‍ය වෙන්නේ වම දකුණ දයලෙක්තිකය ට වඩා මේ තීරණාත්මක මොහොතේ මේ රට ඉදිරියට ගන්න එක කියල අපි කියන්න ඕනි. අපි මොනවද කරන්න ඕනි කියල කියන්න ආයේ මාක්ස් වලෙන් නැගිටලා එන්නේ නැහැ. අපිම තීරණය කරන්න ඕනි මේ සියවසේ කරන්න ඕනි මොකක්ද කියල. ඒකට තමයි පක්ෂයකට න්‍යායික අංශයක් තියෙන්න ඕනි. අනුරලා ලාල් කාන්ත ල හිතට එන එන විදියට කතා කරන්නේ මේ න්‍යායික අභාෂය නැතුව. ජ. වි. පෙ. කට්ටිය මාධ්‍ය අහන ඕනි බෝලෙකට දමලා ගහනවා. අනික් කට්ටිය කුමාර මහත්තය විප්ලවේ කරනකල් බලාන ඉන්නවා රට ගොඩ ගන්න. මොකද්ද කරන්න ඕනි කියල කාටවත් තේරෙන්නේ නැහැ. භුමිය වෙනස් කරන්න හැදුවට ගොවියෝ ශිෂ්‍යයෝ එක්ක පරණ ආකෘතියක් ඇතුලේ (ශිෂ්‍යයෝ නම් වැඩි දෙනෙක් රටින්ම යනවා යන්න මේ වෙද්දී) ඒ ගොල්ලන්ට මතවාදී ආකෘතියක් නැහැ. තියෙන්නේ ජනප්‍රියවාදය විතරයි. විසි එක්වන සියවසට යන්න බැහැ පරණ මතවාද කරේ තියාගෙන. වමේ මෙලන්කොලික අහිමිවීමෙන් අපි හැමෝම ගැලවෙන්න ඕනි. සමාජවාදය පිළිබද අදහසට නිසි ඓතිහාසික ගෞරවය දෙන ගමන්ම අපි මතක තියා ගන්න ඕනි රුසියාව වුනත් ලෙනින්ගේ පිළිම ඉවත් කළා කියල.  

මේ භුමිය පිළිබද කරුණ ගැන ලංකාවේ දේශපාලනඥයෝ හොදටම දැනුවත්. ඒක නිසා මැතිවරණ කිට්ටු වෙනකොට ගමට යන්න ඕනි කියල එයාල දන්නවා. මැතිවරණ අතර අවුරුදු තුන හතරක් නගරයේ සහ පිටරට ඉන්න එයාල චන්ද කිට්ටු වෙනකොට ගම හොයාගෙන 'ගමට යනවා'. ඔවුන්ට 'සත්‍යය' මතක් වෙනවා (ගමේ තමයි විශාලම පිරිසක් ඉන්නේ කියන එක). නමුත් ඒ අතරමැද කාලය ඇතුලේ ගමේ පාරට තාර ටිකක් විදුලි බුබුලක් දාන්නේ නැහැ. ගමේ අය මෝඩයෝ හැටියට තමයි එයාල හිතාගෙන ඉන්නේ මොනවා හරි කියල රවටන්න පුළුවන් මිනිස්සු ඉන්න. ඒ මිනිස්සුන්ගේ ජිවිත ඇත්තට වෙනස් කරන්න ඕනි අනුරාගයක් ඔවුන්ට නැහැ. නමුත් ඉන්දියාව හරහා ගාන්ධි යන ගමනේදී එයා තේරුම් ගන්නවා දුප්පත් කම අහෝසි නොකර කිසිදෙයක් ඉන්දියාවේ කරන්න බැහැ කියල. ගාන්ධි කියන්නේ 'ලොකුම ප්‍රචණ්ඩත්වය දුප්පත් කම කියල'. ඉතින් බිම් මට්ටම ගැන කතා කරන සජිත් වගේ කෙනෙක්ගේ ග්‍රාමීය ආකර්ෂණය නොසලකා හැරිය නොහැකි දෙයක් බවට එ. ජා. ප. යට තේරුම් ගන්න වෙනවා (කියවන්න සජිත් අගමැති ලෙස නම් කරන්න). අවුල් සහගත සංකේතිය ජාලය (chaotic symbolic network) තුලින්ම යථාවක් ලෙස පුද්ගල අනන්‍යතාවය (personal identity) මතුවීම අර්බුදයට ලක්වූ සමාජයක නියත රෝග ලක්ෂණයක් කියන එක තමයි මෙහි අර්ථය (හුණුවටයේ කතාවේ අසඩක්, ඉන්දියාවේ ගාන්ධි, ඇමෙරිකාවේ ට්‍රුම්ප්, ලංකාවේ ප්‍රේමදාස වගේ උදාහරණ ඕනි තරම් තියෙන නිසා තමයි අපි ගෝඨා ප්‍රපංචය නොසලකා නොහැරිය යුත්තේ). භුමියේ අර්ථය මිනිස් විෂයට වුවමනා විදියට වෙනස් කරන්න බැහැ (The truth is out there! කියන එක තමයි සාමාන්‍ය ලැකානියානු ඉගැන්වීම). මන්ද සත්‍යය මිනිසාට වඩා විශාල නිසා (පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද පාර්ශවය මතුවන්නේ භුමියේ යථාව විදියට කියල මම කිව්වේ ඒකයි (කියවන්න යථාවේ පුනරාගමනය). තනි පුද්ගලයාට වඩා වැඩි සමාජ ව්‍යාපාර අවශ්‍ය ඒකයි භුමිය වෙනස් කරන්න. මේක තේරුම් ගත්ත ගාන්ධි කිලෝ මීටර් දහස් ගණනක් පයින් යනවා මිනිස්සු දිනා ගන්න.  

ඒ කියන්නේ පුද්ගල පරිකල්පනය (හෙවත් පරිකල්පිත මනෝරාජික ලෝකය) මහපොළොවේ ගොඩ නගන්න භුමිය හා සම්බන්ද වෙන්න ඕනි. එතැනදී ගාන්ධි කියන පුද්ගලයා තම අනන්‍යතාවය ගොඩ නගන්නේ තම පරිසරයට සාපේක්ෂව (ලෙනින් සහ මාවෝ වගේම). ඒ කියන්නේ පුද්ගල අනන්‍යතාවය සහ බාහිර පරිසරය අතර සම්බන්දය කියන්නේ ගොඩනගන කතිකාවක් නොහොත් ප්‍රබන්ධයක් (narrative construction. කියවන්න Sarah Kruse's article on Camus' Fall). එනයින් 'ප්‍රත්‍යක්ෂය කියන්නේ පැවැත්ම ව්‍යුහගත කරන නිර්මාණශීලි මුලධර්මයක් ' (perception becomes a creative principle that, in fact, structures existence - මෙතැනදී තමයි සාහිත්‍යකරුවෝ අවශ්‍ය වෙන්නේ. නමුත් ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්ණායක තියෙන්නේ වෙන කෙහෙල්මල් උරගා බලන්න මිසක් රටකට අවශ්‍ය මතවාදය හදන්න නෙවි). බුර්ෂුවා 'ශිෂ්ට සිහිනය' කුඩු පට්ටම් කළාට කමක් නැති වුනත් කේ. කේ. වගේ සාහිත්‍ය කරුවෙක් ස්ත්‍රිය පිළිබද රෝහානියානු රෝග ලක්ෂණයෙන් ඔබ්බට ගිහිල්ලා රටකට ඕනි සංකේතීය සාහිත්‍යක් ගොඩනගන්න ඕනි කියන එක තමයි මගේ හැමදාම ආරෝව ඔහු සමඟ තියෙන. පැරණි සාහිත්‍ය ඔහු දන්න නිසා නිර්මාණකරණයේදී ඔහු සරච්චන්ද්‍ර ඉක්මවා යන්න ඕනි. කවබතා වගේ ශිෂ්ට අන්තර්ගතයක් එක්ක අපේ ලාංකික අනන්‍යතාවය ඉස්මතු කරන්න ඕනි අනන්‍යතා දේශපාලනයට නොයමින්. මීට දශක හතරකට කලින් සරච්චන්ද්‍ර කළේ දේශීය සාහිත්‍යක් ගොඩනගන්න හදපු එක. ඒකෙ කිසිම වරදක් මම දකින්නේ නැහැ ජාතක කතා පසුබිම් කරගත් 'ගුප්තකරණය' හැරුනම (නමුත් එම ගුප්තකරණය අපි ලකානියානු විශ්ලේෂණය හරහා අර්ථකථනය කරලා දෙන්න ඕනි අපේ පැවැත්මේ ගැඹුරු නිශේධනීය කොටසක් හැටියට සහ ප්‍රෙහේලිකාමය පරස්පරයක් හැටියට. ස්ත්‍රිය නම් යථාව හා ගැටීමේ අතිමුලික පුරුෂ නොහැකියාවක් ලෙස. ඒක ඉතින් එමා බෝවාරි දක්වාම විශ්වීය සත්‍යයක් නේ. ඒ සංකීර්ණ බව ඉස්මතු කරදීම තමයි විචාරකයාගේ කාර්යය. තාගෝර් ල සරෝජිනී නායිදු ල ගාන්ධි එක්ක එකට හිටගත්තේ තමාගේ රටේ අනන්‍යතාවය වෙනුවෙන්). 'සිසිපස් ගේ මිත්‍යා කතාවේ' සිසිපස් ට අර්ථයක් නැත්නම් භාෂාවක් වුවමනා වෙන්නේ ඒකයි. අපි සංවිධානයක් හැටියට ලංකාවට භාෂාවක් නිර්මාණය කරන්න හදන්නේ ඒකයි තියෙන අවුල තේරුම් ගන්න පුළුවන් විදියට. එම කතිකාව අනිවාර්යය ලෙස විශ්වීය කතිකාව සමඟ බද්ධ වෙන්නත් ඕනි. නැත්නම් අපි ප්‍රාදේශීය වාදයකට යනවා. අනෙකා මරණ ජාතිවාදයට යනවා. ඒ නිසා ජාතිකත්වය පිළිබද අමරසේකර කතිකාවේදී අපි ඉතාම ප්‍රවේශම් වෙනවා. දැන් තේරෙන්න ඕනි මේ අවුල ඇතුලේ අපි කරන්නේ කොච්චර අමාරු වැඩක්ද කියන එක.  

අපි කුඩා උදාහරණයකට යොමුවෙමු මෙම අනන්‍යතාව කොහොමද පසුගාමී ලෙස අසුව දශකයේ ඉස්මතු වුනේ කියල බලාගන්න. මේ බටහිර ආශාව ප්‍රතික්ෂේප කරපු (භාවගීත) අමරසේකරගේ වචන,

'යමන් කලුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනව 
උඹට වගේ මගේ ඇඟටත් හරිම මාන්සියි දැනෙනව... 

උදේ ඉඳන් අව් කට්ටේ උඹව තියන් මැඬේව්වාට
උඹේ හිතට අමාරුදැයි කියපන්කො දැන්වත් මට...(අඳුර අපේ දුක නිවාවි)

යන පද තුල අපගේ ජාතික අනන්‍යතාවය සහ මනුස්සකම ගැබ්ව ඇතිවා වුවත් ගවයාට දක්වන මනුස්සකම ඔහු දෙමලාට මුසල්මානුවට නොදක්වන්නේ ඇයි යන ප්‍රතික්ෂේපන ගැටලුව (question of disavowal) ඔහුගේම සාහිත්‍ය තුළ නොවිසඳී තියෙනවා. එතන තමයි නුතනත්ව ගැටලුව එන්නේ. ඔහුගේ අනෙකා ගවයෙක් මිස මිනිස් විෂයක් නෙවෙයි. දුක සැප පිළිබද බෞද්ධ උපේක්ෂාව මැනවින් ඔහුගේ මෙම කවිය තුල කැටි වුනත් ඔහු ගමන් කරන දිශාව මොකක්ද කියන එක තවම මානවවාදය ඇතුලේ ලොකු ප්‍රශ්නයක්. 

'අඳුර තමයි දුක නිවන්න අපහට දෙවියෝ එව්වේ 
යමන් යන්න දිගාවෙන්න පිදුරු ගොඩේ ගේ මුල්ලේ...'

යනුවෙන් ඔහු තෙරක් නැති අඳුර වෙතට රිංගා ගැනීමට ප්‍රිය කරනවා. සම්ප්‍රදාය ප්‍රතිජීවනය තුල සිටි කවබතා ආලෝකය සහ නුතන බව වෙත ජපන් අධ්‍යාත්මය ඔසවා තබන විට අමරසේකර ගුප්ත අඳුර තුලට රිංගනවා. එම රිංගීම අවසන් වන්නේ අනෙකා විනාශ කිරීම දක්වා ගමන් කිරීමෙන්. නුතනත්වය තුලට වන සංක්‍රමනිය බවක් ඔහු තුළ පල කරන්නේ නැහැ. අප ගමනයක් තමයි තියෙන්නේ. නමුත් බලන්න සියවස් ගණනකට පෙර ලියවුනු පහත සීගිරි ගිය දිහා. 

'බුදල්මි 
සියොව ආමි 
සිහිගිරි බැලීමි 
බැලු බැලු බොහොජනා ලියා ලු හෙයින් නොලීමි.'

(බුදල් නම් වන මම තනිව සිගිරිය බැලීමට ආ නමුත් බොහෝ අය බොහෝ දේ ලියා තිබෙන අයුරු දැක කිසිවක් නොලීමට ඉටා ගතිමි. මන්ද ලිවිය නොහැකි දෙයක් ලිවීමට ගොස් විකෘතියක් ඇතිකරන වාට වඩා කිසිවක් නොලිවීම වඩා හොඳය). කවියා කරන්නේ තමාගේ විද්‍යමාන වීම ප්‍රතික්ෂේප කරන එක. ඔහුගේ පැමිණීම නොපැමිණීමක් කරන එක. සීගිරි සිතුවම් වල ඉන්න සුර ලියන් බඳු කාන්තාවන්ගේ ශෝභාව අබියස ඔහු විසින්ම ඔහුව දියකරලා හරින එක. කවියා මෙහිදී පාවිච්චි කරන ස්වයං නිශේදනය (self-negation) කොතරම් දාර්ශනික දැයි බලන්න.  ඔහු නො-ලිවීමට සිතුවත් ගීයක් ලියා තිබෙනවා. එනයින් එය ව්‍යුහාත්මකව නොලියු ලියු ගීයකි (written poem that is unwritten). ගැහැණිය සංකේතනය  කරගැනීමට දක්වන අති මුලික පුරුෂ නොහැකියාව හරහා ඔහු අප වෙත ගෙන එන්නේ හිස් බවක්. ශුන්‍යතාවයක් (පුරුෂ සංකේතන නොහැකියාවේ උත්කෘෂ්ට අත්දැකීම කියල කියන්න පුළුවන් 'මනමේ' ලියු සරච්චන්ද්‍රටත් වඩා නුතනත්වයක් අත්පත් කර ගැනීම). බුදල් අනික් අතින් 'පිටස්තරයා' නවකතාවේ මර්සෝ වගේම පවත්නා සංකේතිය පිළිවෙලට අභියෝග කරනවා. ඒ කියන්නේ හැමෝම ගැහැණිය ගැන ලියනකොට එයා නොලියා ඉන්න තීරණය කරනවා විතරක් නෙවෙයි මෙතෙක් ලියල ලියල (බැලු බැලු බොහො ජනා ලියාලු හෙයින්) අසමත් වෙච්ච සංකේතනයේ යථාව අපිට පෙන්නලා දීල එයා විසින්ම කවියක් ලියල නැවත සංකේතනයට ඇතුල් වෙනවා (re-enter the symbolic order). එහෙම වුණාට බුදල්ගේ ස්වයං නිශේදනය හරහා එයා මෙතෙක් ලියා ඇති ඇති සියලු අනෙත් ගී විසංයෝජනය කරනවා. මන්ද වචනයට නැගිය නොහැකි තරම් ලස්සන කාන්තාවන් (යථ) වචනයට ගෙන ඒමට (සංකේතනය) කරන සෑම උත්සාහයක්ම නිරර්ථක උත්සාහයන් වන බැවින් (එනයින් කවි නොවන බැවින්). බුදල් ඉස්මතු කරන්න හදන්නේ යථාව සහ සංකේතනය අතර පැල්ම. අනිත් කවි (තමාගේ අසාර්ථක කවියත් සමඟ ම) සහ සීගිරි චිත්‍රය අතර ඇති සමහන් කළ නොහැකි පැල්ම (පරතරය) තමයි ඔහුගේ මාතෘකාව (කියවන්න දීප්ති කුමාර ගුණරත්න 'කලාව සහ විසංයෝජනය' 2002: පිටු 10-12). ඉතින් ඩෙරීඩා ල වගේම ලකාන් කරන්න හැදුවෙත් ඕකම තමයි. බුදල් කියන්නේ විද්‍යමාන වීම ඇතුලෙම තියෙන අතුරුදහන් වීම ගැන (absence in the presence). නැති බව ඇතුලෙම තියෙන ඇති බව සහ ඇති බව ඇතුලේ තියෙන නැති බවට. කොතරම් කිව්වත් කියන්න බැරි ඉතුරුවෙන මන්ඩි ටික තමයි ඔහුගේ ප්‍රශ්නය (ඒ කියන්නේ 'මේ අඹ ගස හැර තව අඹ ගස් තිබේද' යන මිහිඳු හිමියන්ගේ මනෝ විශ්ලේෂී ප්‍රශ්නය ම වෙනත් විදියකට ඇසීමක්). නොලිවීම ඇතුලේ තියෙන ඇත්ත ලිවිම ගැන එතරම් ඈත කාලෙක ඔහු දැනගෙන ඉඳල තියෙනවා. ඉතින් මේ තත්වය ඇතුලේ අපේ දේවල් පුනර්ජීවය කරන්න ලංකාවේ කට්ටියට බැරිනම් පිටරටකට හරි දීල කරගන්න ඕනි කියන දීප්තිගේ ප්‍රකාශය ප්‍රතිගාමී වෙන්නේ කොහොමද? මම කියන්නේ අපේ රටට ඕනි උගතුන් ටිකක් ඇති කර ගන්න අපට ලෝක බැංකුවෙන් හරි සල්ලි දෙනවා නම් මොන පරායත්තතාවය තුළ උනත් කමක් නැහැ මම ඒ වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවක් (project report) ලියනවා මොන ප්‍රතිපත්ති ප්‍රශ්න තිබුනත්! 
  
අපේ ඉතිහාසයේ සහ අධ්‍යාත්මයේ තිබෙන ගැඹුරු දේ අපි ලෝකයට ප්‍රතිජීවනය කරන්න ඕනි. සරච්චන්ද්‍ර හැදුවේ ඒක කරන්න තමයි. වඩාත් න්‍යායිකව සුත්‍ර ගත කලොත් ධනවාදය සහ සමාජවාදය කියන සමාජ මොඩලයන් දෙකින් කුමක් අප අපේ රටට ගලපා ගත්තත් අපේ කියල වටිනාකම් සහ අර්ථයන් සමුදායන් අපිට තියෙන්න ඕනි. ඒවා නොවෙනස් දේවල් නොවුනත් අපේ කියල දෙයක් ලෝකයට දෙන්න පුළුවන් උනොත් තමයි නුතන ශුන්‍යතාවය වෙත අපිට යමක් ප්‍රධානය කරන්න පුළුවන් (ජිජැක් වෙනත් විදියකට අර්ථකතනය කලොත්). සමහරක් විට දාර්ශනික මොඩලයක් හැටියට අපිට මෙහෙම කියන්නත් පුළුවන්. ඒ තමයි ධනවාදයේ 'විනෝදය' (jouissance) සහ සමාජවාදයේ 'ප්‍රමෝදය' (ecstasy) යන දෙකම කප්පාදු කිරීමේ පිතෘ ඒජන්තයෙක් (paternal agent) ලෙස අපිට උවමනා නම් සම්ප්‍රදාය පාවිච්චි කරන්න පුළුවන් (චීනය සහ ජපානය කරමින් සිටින දෙය). පුර්ව නුතන යුගයට පෙර පැවති වටිනාකම් (අල්පේච්ඡ බව, සරළ බව, අසල් වැසියාට ප්‍රේම කිරීම, ආගන්තුක සත්කාරය, උපේක්ෂාව) නුතන යුගයේ අව-මානුෂික බව වෙනුවට අපට නැවත සලකා බලන්න පුළුවන්. එවිට ධනවාදය (හෝ සමාජවාදය)  ඉතිහාස පරිණාමයේ ඉහල අවධියක් කියන මාක්ස්වාදී උපන්‍යාසය ගැන නැවත හිතන්න වෙනවා. මොකද අපි දන්නා හැටියට පුර්ව නුතන වටිනාකම් තියෙනවා ඔය අවධි දෙකේදීම නොවෙනස්ව පැවති සහ මිනිස්සු තම පැවැත්ම තුල ගරු කරපු (ක්‍රිස්තියානිය කිසිම විටක ඉහත ක්‍රම දෙකේදීම නැති වුනේ නැහැ). ජේ. ආර්. පටන් ගත්ත ධනවාදයේ විනෝදයට පසමිතුරැ ලෙස ලාංකික සම්ප්‍රදාය උත්කර්ෂ කරන්න හැදුවා සරච්චන්ද්‍ර. ඒ වගේම විජේවීර ඉදිරියට ගෙනාව සමාජවාදයට පසමිතුරු ලෙස සම්ප්‍රදාය ඉදිරියට අරන් ආවා නලින් සහ අමරසේකර (කියවන්න 'මගේ ලෝකය' වගේම 'ගල් පිළිමය සහ බොල් පිළිමය'. නමුත් අපේ උත්සාහය ඒ දෙකෙන්ම වෙනස්. අපිට ඕනි වැඩවසම් ඉතිහාසයෙන් අපගේ ඛණ්ඩනය සලකුණු කරලා සහ අධිරාජ්‍යවාදී යටත් විජිත මනසින් මිදිලා අපගේ ශිෂ්ටාචාරයේ වැදගත් දෙය නැවත වරනගන්න (ඒ සඳහා ප්‍රභල සාහිත්‍ය කරුවෙක් වුවමනායි). මොකද 'මනමේ' නැවත ලියල වැඩක් නැහැ. කොහොම වුනත් මේ බොහෝ දේ කරන්න ඇකඩමියාව මැදිහත් වෙන්න ඕනි උනත් ඒ අය කුසීතයි. 
   
ඇකඩමියාව මුකුත් නොකරපු වෙලාවක සහ සරච්චන්ද්‍රලගේ කාර්යය අවසන් වෙලා තිබ්බ වෙලාවක මේ රටට මතවාදයක් නිර්මාණය කරන්න යම් උත්සාහයක් X කණ්ඩායම විසින් දැරුවා තමයි. නමුත් ඔවුන් දීර්ඝ කාලයක් නිශ්චිත ආකෘතියක් ඇතුලේ මිනිස් සිතීම කියන එක ප්‍රගුණ කලේ නැහැ අපේ රටට අවශ්‍ය මොකක්ද කියන එක පාදක කරගෙන (ඇත්තටම කිව්වොත් ඔවුන්ට තමන්ගේ නායකයා හැටියට දීප්ති සහෝදරයා සංකේතනයක් හැටියට අරගෙන රටට ගෞරවයක් දිය හැකි වැඩක් කරන්න තරම් ඉවසීමක් වත්, කැපවීමක් වත්, විනයක් වත්, තිබුනේ නැහැ කියන එක තමයි මෙහි නිරුවත් සත්‍යය). ඛණ්ඩනයෙන් පසුව එම සාමාජිකයන් එක එක දේවල් කරන්න පටන් ගැනීම ඇතුලෙ ම පේනවා ඔවුන් කේන්ද්‍රීය මතවාදයක් වෙනුවෙන් වැඩ නොකරපු බව (එක්කෙනෙක් නුවර යනවා අනිත් කෙනා කොළඹ යනවා. මේ වෙනකල් මුකුත් සිද්ධ වුනේ නැහැ). කොහොම වුනත් ඒ වෙලාවේ තත්වයන්ට සාපේක්ෂව ඔවුන් කරපු දේ ගැන ගෞරවයක් අපිට තියෙන්න ඕනි මොකද අද අපි කරන දේට අවශ්‍ය මූලය සකස් කෙරුණේ එතන නිසා. 

ඇකඩමික් එක නොකරපු දෙයක් තමයි දීප්ති ල කරන්න හැදුවේ අමාරුවෙන් පොත් හොයාගෙන. රටකට මතවාදයක් නිෂ්පාදනය කරදීම තමයි ඇකඩමියාවේ වගකීම. සරච්චන්ද්‍ර, අමරසේකර වගේ අය කරන්න හැදුවේ ඒක (ඒවා තුල යම් කේන්ද්‍රීය බවක් තිබෙනවා). එම ව්‍යාපෘතිය යම් විදියක විපරීත එකක් වුනත් ඉහත තත්වය අතිශයින් වැදගත් රටකට මාලිමාවක් දීමේදී.  පාලකයෝ චන්ද දින්නට වැඩක් නැහැ. මිනිස්සු චන්දෙ දුන්නට වැඩකුත් නැහැ. වමේ වුනත් දකුණේ වුනත් මොකක්ද කරන්න ඕනි කියල දන්නේ නැතුව මොන විප්ලවය කලත් වැඩක් නැහැ. වමේ දකුණේ කවුරු බලයට ආවත් රටකට දර්ශනයක් තියෙන්න ඕනි. අනන්‍යතාවයක් තියෙන්න ඕනි. රටේ දර්ශනය ඉදිරියේ පාලකයෝ ශක්තිමත් වෙන්න ඕනි. 'අපි මෙහෙම ජාතියක්. අපේ විශ්වීය වටිනාකම් මේවා' කියල හයියෙන් කියන්න පුළුවන් වෙන්න ඕනි ඔවුන්ට. රටකට චින්තකයෝ, සාහිත්‍යකරුවෝ ඕනි ලෝකයට අපි කවුරුද කියන එක ගැඹුරින් පෙන්වලා දෙන්න (තාගෝර්, කවබතා). නායකයෝ ඕනි වෙන්නේ ඒ වටිනාකම් වෙතට රට රැගෙන යන්න (භෞතිකවත් අධ්‍යාත්මිකවත්). උදාහරණ හැටියට නිදහස දිනාගන්න සටනේදී ඉන්දියාව අන්තිමට බලා ඉන්නේ ගාන්ධි මොනවද කරන්නේ කියන එක දිහා. එයා තමයි 'පියා' (බාපු). මාලිමාව හදන්නේ එයා. අනිත් අය කරන්නේ එයා පස්සේ යන එක (භක්තිය). ප්‍රශ්න අහන එක නොවෙයි. එයා මුළු ලෝකයටම පෙන්නුවා ඉන්දියානුවා කියන්නේ කාටද කියන එක. මුළු අධිරාජ්‍යවාදී යාන්ත්‍රණයම එකතැන නතර කළා ඔහු. ඔහුගේ එක ප්‍රකාශයක් තමයි "මෙවන් අරගලයක් කරන්න පුළුවන් ඉන්දියානුවෙකුට පමණයි" කියල ඔප්පු කරන එක. ඉතින් එයා ඒක කළා වගේ අපිත් ලංකාව සුවිශේෂයක් බවට පත් කරමු කියල කියන්නයි මේ කුඩා සටහන එකතු කළේ.  

කළ නොහැක්කක් නොමැත!

ගාන්ධි චිත්‍රපටයේ ලුණු පාගමන ඇරඹීමට මොහොතකට පෙර ගාන්ධි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරු සමඟ 

No comments:

Post a Comment