Friday, March 16, 2018

'යදමින් මිදුණු ජැන්ගෝ' (Django Unchained) හරහා රන්ජන්ට ඌන පූරණයක් ....


පහත උපුටනය රන්ජන් රාමනායක දුන් සම්මුඛ සාකච්චාවකි... 
කාන්තාවන් සහ පුරුෂයන් නිත්‍ය වඳ භාවයට පත් කළ හැකි බෙහෙත් පෙති නොමැති බව ජාතියට ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සිදුවීම ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ දැනුම මනාව තහවුරුකරන්නක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියයි.
පවුල් සෞඛ්‍යය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන ඔබ උපහාසයෙන් කතා කරන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ පවුල් සංවිධාන ව්‍යාපාරය ආරම්භ කළේ 1970 මුල් භාගයේ දීයි. එදා මෙදා තුර උපත්පාලනය කිරීම සඳහා කාන්තාවන් සහ පිරිමින් අනුගමනය කළ යුතු උපත්පාලන ක්‍රම ගැන ජනතාවට ‘ටොකු අනිමින්’ කියා දුන්නා. එහිදී පිරිමින් සඳහා කොන්ඩම් භාවිතයත්, කාන්තාවන් සඳහා ගිලින පෙති භාවිතයත් තුළින් තාවකාලිකව උපත්පාලනය කළ හැකි බව ජාතික මට්ටමින් කියා දුන්නා ඒ වගේම කාන්තාවක නිත්‍ය වඳ භාවයට පත්කළ හැක්කේ ‘ටියුබෙක්ටමි’ සැත්කමින් පමණක් බවත්, පිරිමින් නිත්‍ය වඳ භාවයට පත් කළ හැක්කේ ‘වාසෙට්ටමි’ නම් සැත්කමින් බවත් ‘උස්මුරුත්තාවට’ එන තුරුම ජනතාවට කියා දුන්නා.
ඒවගේම කාන්තාවන් හා පිරිමින් නිත්‍ය වඳ භාවයට පත් කළ හැකි පෙති, කරල් හෝ ඖෂධ නොමැති බව ලෝකයම පිළිගත් කරුණක්. එවත් තත්ත්වයක් තුළ අපේ රටේ ජනතාවට ඒ කරුණ කියාදීම සඳහා මාධ්‍ය හමු පැවැත්වීම ජාතික අවාසනාවක්.
එතකොට ඔබ කියන්නේ එය රාජ්‍ය අංශයේ මෝඩකමක් කියාද?
මෝඩකම ඇත්තේ කා තුළද යන්න පසුගිය කාලයේ අපේ රටේ වූ සිදුවීම් තුළින් ඉතාම පැහැදිලි වෙනවා. ඒඩ්ස් රෝගයට මුල්වන HI වෛරසය සුළඟෙන් බෝවන බව පිළිගන්නා ජනතාවක් වගේම; මස් හොද්දකට පෙත්තක් දැමීමෙන්; නැතිනම් යට ඇඳුමක කිසිවක් ආලේප කිරීමෙන් කාන්තාවන් හා පිරිමින් වඳ කළ හැකි යැයි සිතන ජනතාවක් ගෝත්‍රික සමාජයක හැර දියුණු සමාජයක දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අතින් අපටත් වඩා ගෝත්‍රික සමාජද දියුණු බව කිව හැකියි.
ඔබ එසේ කියන්නේ ඇයි?
ගෝත්‍රික සමාජ වල බොහෝ විට පිළිගන්නේත්; පිළිපදින්නේත්; ඔවුන්ගේ සාම්ප්‍රදායික මතවාද පමණයි. නමුත් අපේ රටේ සාම්ප්‍රදායික නොවූ යම් යම් පුද්ගලයන්ගේ සිත් තුළ මැවෙන මනස්ගාත ශීඝ්‍රයෙන් සමාජගත වෙනවා විතරක් නෙවෙයි; ජාතික මට්ටමිනුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවගේ රටක් සංවර්ධනය වෙනවා බලා සිටීම ‘කොකා වෙලේ වතුර හිදෙන තෙක් බලා ඉන්නවා වගේ’ වැඩක්.
මෙවැනි තත්ත්වයක් තුළ අපේ රට ජාත්‍යන්තරය හමුවේ අපකිර්තියට ලක්විය හැකියි නේද?
නමුත් මම හිතනවා මේ වගේ ජනතා සිතුම් පැතුම් මුල්කොට අපේ රටේ සංචාරක ව්‍යාපාරය තවත් ප්‍රවර්ධනය කරන්න පුළුවන් කියා.
ඒ කොහොමද?
සුළඟින් ඒඩ්ස් බෝවෙන බව; මස් හොද්දකට පෙත්තක් දැමීමෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් වඳ භාවයට පත් කළ හැකි බව මේ රටේ ජනතාවගෙන් වැඩි කොටසක් විශ්වාස කරන පුවත ජාත්‍යන්තරව ප්‍රචාරය කළ හොත් අපේ රටට සංචාරකයන් වඩ වඩා අද්දවාගන්නත් බැරිවෙන එකක් නැහැ.
ඔබ සිතන අන්දමට ඔවුන් එසේ පැමිණෙන්නේ කුමක් සඳහාද?
මේ වගේ ලෝකයම මවිත කරන ‘උසුළු විසුළු’ නිර්මාණය කරන ‘අපේ අයියලගේ’ මුහුණු දැක බලා ගැනීමට තමයි.
(උපුටා ගැනීම ලංකා සී නිව්ස්)



'යදමින් මිදුණු ජැන්ගෝ' (Django Unchained) හරහා රන්ජන්ට ඌන පූරණයක් ....
රන්ජන් රාමනායක කියනවා පිටරටින් සංචාරකයෝ එනවලු අපේ රටේ ඉන්න 'අරුම පුදුම' ජාතිවාදී ජීවින් විශේෂයක් බලන්න. එම තර්කයට අනුව මම හිතන්නේ අපිත් යන්න ඕනි නේද ඩොනල්ඩ් ට්‍රුම්ප් වගේ අය බලන්න මෙහෙ ඉඳන්...පිස්සු තියෙන්නේ අපිට විතරක් නෙවි රන්ජන් අපේ ස්වාමිවරුන්ටත් එම පිස්සුව ම තදට තියෙනවා. ඒ වගේ ඔයාගේ නායකය වුනත් නැවත විශ්ලේෂණය කරන්න වෙයි කියන එකයි මගේ මතය. එයත් පශ්චාත් යටත් විජිත ස්වාමි පැලැන්තියේ කෙනෙක්නෙ. උන් හදන්න හෝ මකන්න වෙන්නේ අපි මත යොදපු ප්‍රචණ්ඩත්වයම නැවත උන් මත යෙදුවොත් නේද කියල හිතෙනවා වෙලාවකට ටැරන්ටිනෝ ගේ Django Unchained (2012) වගේ චිත්‍රපටි බලපුවම. ඔයත් චිත්‍රපටි කාරයෙක් නිසා බලල ඇතිනේ කුවොන්ටින් ටැරන්ටිනෝ. දැන් විමුක්ති සටන තුළ අපට තියෙන එක අභියෝගයක් තමයි ජැන්ගෝ වගේ ෆයිටර් කෙනෙක් හොයාගන්න එක අපිව සූරාගෙන කාපු වුන්ව බල්ලෝ වගේ මරල දාන්න. ජැන්ගෝ කරන්නේ අපිව වහල්ලු කරපු උන් වහල්ලු වගේ මරල දාන එක. එම ප්‍රචණ්ඩ බව වනාහි අපගේ 'නො -සුවපත් අහමේ' (unhealed hurt ego) වෛරය පිරිමැසීමේ සායනික ප්‍රති ක්‍රියාවක් (therapeutic reactionary violence) ලෙස අර්ථකථනය කළ හැකියි. ජැන්ගෝ අතට තුවක්කු ලැබුනම මොහොතක් පරක්කු වෙන්නේ නැහැ. පිස්සු සුදු ස්වාමි ඉලක්ක කරලා පටස් ගාල වෙඩිල්ල තියෙනවා. එහෙම කරන්න තමයි එයාගේ ජර්මන් ස්වාමියා එයාව 'රැඩිකල්කරණය' කරලා තියෙන්නේ. උන්ට කලින් අපි වෙඩිල්ල තියන්න ඕනි ඔලුවටම. කන්ද උඩ ඉදල වෙඩි තියන දර්ශනය ඇතුලේ ජැන්ගෝ තමන්ගේ පළමු ගොදුරට වෙඩි තියන්න මදක් මැළි වෙනවා. ෆැනොන් ට සහ බබා ට අනුව පශ්චාත් යටත් විජිත විෂයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි 'අතීරණාත්මක බව' (undecidability). එයාගේ ජර්මන් ස්වාමියා එම 'කුකුස් සහගත බව' (ethico-political doubt) ඔහුගෙන් සායනිකව ඉවත් කරනවා කතාබහ ඇතුලේ. කුකුස නැති වුනාට පස්සේ ඔහු නියම විමුක්ති විෂයක් (subject of liberation) වෙනවා. සටනේදී හිත හිත ඉන්න වෙලාවක් නැහැ.  

මුහුණු පොත කියන්නේ කොතරම් විපරීත තැනක් උනත් එය මිනිසුන්ගේ කෝපය මුදාහැරෙන එක විමෝචක කවුළුවක් (cathartic window) හැටියටත් අපිට තේරම් ගන්න පුළුවන්. හුගක් අය බයවෙලා ඉන්නේ ඒක ප්‍රචණ්ඩ නිසා. නමුත් වේදනාවේ ප්‍රතික්‍රියාව ප්‍රචණ්ඩ තමයි කොහොමත්. වෙඩි කාපු ඌර වගේ කියල කියන්නේ කට කහනවට නෙවෙයි නේ. මිනිස්සුන්ට තම වේදනාව මුදාහරින්න වෙන මොන බුර්ෂුවා මාධ්‍යයද ඉඩ හැරලා තියෙන්නේ. විකල්ප අවකාශය කියල වෙන මොකක්වත් නැහැනේ. වෙබ් අඩවි ගත්තොත් හැමෝම ඉන්නේ තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර වල. දේශපාලන නායකයෝ කැමති නැහැ තමයි තමන්ගේ සායම යනවට. නමුත් උන්ගේ සායම් ආරක්ෂා කරන්න නෙවිනේ මිනිස්සු ඉන්නේ. (එක අතකට මුහුණු පොතේ මෙම විමෝචක ප්‍රවණතාවයට දේශපාලකයෝ කැමතිත් ඇති. බැනලා අකුරු ටිකක් කෙටුවා. ඉතින් වැඩේ ඉවරයි. මොකද එම කෝපය සහ ගාමක බලය භෞතික එකමුතුවක් වන්නේ නැති නිසා).  
   
ඔය මෙහෙ ඉන්න ප්‍රාථමික (fantasmatic) අය බලන්න පිටරටින් එන අය අනිවාර්යයෙන්ම රන්ජන්ගේ මුහුණ බලන්නත් නියමිතයි. ටෙනී බන්දු එක්ක නටපු රන්ජන්ගේ විසුළු මුහුණත් එහෙම තමයි. පිටරටින් ඇවිත් බලන්න වටිනවා. රන්ජන් නැටුවේ ඔය කියන ඔරන් ඔටන් වගේ ඉන්න මිනිස්සුන්ගේ දැක්ම වෙනුවෙන් කියන එක රන්ජන්ට දැන් අමතක වෙලා. ඒ මිනිස්සු ම තමයි වඳ පෙති පස්සේ ගිහිල්ල ජාතිවාදය අවුස්සන්නේ. ටෙනිය කපටිය නිසා හිනාවෙලා හිටියට රන්ජන් ලොකු කතා කියන නිසා එයාට තමන්ගේ මුල මතක නැහැ. තමනුත් නටල මිනිස්සුත් නටවල කරපු දේකුත් නැතුව ඔක්කොමල දැන් බකන් නිලාගෙන ඉන්නවා මේ දවස් ටික ඉවරවෙලා  ඊළඟ මැතිවරණයෙන් මහින්දලා දිනනකම්. ජනප්‍රියවාදයේ තියෙන ආපතික අනතුර ගැන හුගක් අය ලියල තියෙනවා. රටක් වෙනස් කරන්න නම් දීර්ඝ කාලයක් බරපතල වැඩක් අඛණ්ඩව කරන්න වෙනවා. එහෙම නැතුව කෙටි පාරවල් නැහැ ජයග්‍රහණය උදෙසා. එහෙම ව්‍යාපෘතියක් තියෙනවද මේ වෙලාවේ යු. එන්. පී. එකට? අර්ජුන් මහේන්ද්‍රන්ල එයිද දැන් වැඩේ ගොඩ දාල දෙන්න? රනිල් අඩු තරමේ ලංකාවේ ආචාර්ය උපාධියක් තියෙන මුල්‍ය අංශයක මිනිහෙකුට ඔය වැඩේ දුන්න නම් ඔයිට වඩා වැඩේ ගොඩ දාල දීලා. ඇයි අපේ දක්ෂයෝ නැද්ද ඔයිට වඩා හොඳ? දක්ෂයෝ වෙන්න ඉංග්‍රීසි ම කතා කරන්න ඕනිද? රනිල් කියන්නේ මාර මෝඩයෙක් කියන ඒකෙන්ම පැහැදිලි වුණා. අපේ එවුන් කී දෙනෙක් නම් ලෝක බැංකුවේ ව්‍යාපෘති වල වැඩ කරනවද? කොච්චර හොඳ ව්‍යාපාරික අය ඉන්නවද අපේ රටේ.. පිටරටවල එවුන් එක්ක කරට කර වැඩ කරන. උගත් අයගෙන් වැඩක් ගන්නවා වෙනුවට රනිල් වැඩේ පටන් ගත්තෙම විශ්ව විද්‍යාල වල අයගේ වාහන පර්මිට් එකට කෙළලා. මම දන්නා හැටියට රනිලව විශ්ව විද්‍යාල ප්‍රජාවට පෙන්නන්න බැරි වෙලා තියෙන්නේ තියෙන අලුගුත්තේරු වැඩ නිසා. අහන ඕනිම කෙනෙක් එයාගේ අම්ම තමයි මතක් කරන්නේ. ඉතින් එහෙම බණින එකේ කිසි වරදක් නැහැ ...අවුරුදු ගනනක් තිබ්බ වරප්‍රසාදයක් කැපුවම එම රැකියා සඳහා තිබුන ඉල්ලුම අඩු වෙනවා. ඉතින් අපේ එවුන් පිටරට යන එක අහන්න දෙයක් යැ. බැසිල් තමයි විශ්ව විද්‍යාල අයගේ වැටුප් මේ ගානට වැඩි කළේ කියල මතක තියා ගන්න රන්ජන්...එයාලා දන්නවා රටක මිනිසුන්ගේ වැදගත් කම. 

වඳ පෙති යනුවෙන් යමක් නැති බව මිනිසුන් නොදන්නවා නොවේ. ඔවුන් දන්නවා එහෙම නැහැ කියල නමුත් ඔවුන් විශ්වාස කරනවා එහෙම තියෙනවා කියල මුස්ලිම් කෑම කඩ වල. නිකම් හන්දියක ත්‍රි රෝද රථ ගාලක පොඩ්ඩක් වෙලා කතා කලොත් ඔබට මෙය අවබෝධ කරගන්න පුළුවන්. (There is no rat in my room but I believe that there is one). මෙතන තියෙන්නේ දැනුම පිළිබද ප්‍රශ්නයක් නොවේ. සමස්තතා විෂයේ ප්‍රශ්නයක් (subject of totalitarianism). රස පරීක්ෂක ලා වෛද්‍යවරු ප්‍රවුත්ති සාකච්චා තිබ්බට වැඩක් නැත්තේ එකයි. එවන් විෂයක් බලන්න සංචාරකයෝ එන්න පුළුවන් තමයි. නමුත් මේ යුගයේ ප්‍රශ්නය ම ඒක තමයි. මිනිස්සු දනනවා ඒත් දන්නේ නැහැ වගේ ඉන්නවා. කොච්චර ගමේ අයට කිව්වත් එයාල රනිල්ට දෙන්නේ නැහැ කියන්න යු. එන්. පී. එක තේරුම් ගන්න ඕනි. මිනිස් චින්තනය වෙනස් කරන්න නවරියන්, දොළොස්රියන් වගේ චිත්‍රපට කර බැහැ රන්ජන්. ඒක ඉතාම අමාරු වැඩක් මේ ප්‍රතික්ෂේපන යුගයේ (age of disavowal). ටෙනිසන් එක්ක බන්දු එක්ක දැන් අවුරුදු ගානක් නැටුවට මොකුත් වෙනස් වුනේ නැහැනේ රන්ජන්.  කබලෙන් ලිපට වැටුන මිසක්. ඔයාගෙම නායකයා දැන් කියනව එයාගේ පොඩි කාලේ සිංගප්පුරුවේ අය මෙහෙ ආවලු වැඩ කරන්න. දැන් අපි යනවලු එහෙ වැඩ කරන්න. එයාලගේ පන්තිය ම නේද රට පාලනය කලේ කියල අහන්න රන්ජන්. වෙන රටකින් ආවේ නැහැනේ මේ රට පාලනය කරන්න. අපි ආපු ගමනේ කොහෙද වැරදුනේ කියල හිතල බලන්න රන්ජන්... කාය වර්ධනය කරන ගමන්ම පශ්චාත් යටත්විජිත රාජ්‍ය වල මධ්‍යම පන්තිය අසමත් ඇයි කියල බලන්න ෆැනොන් වත් කියවමු නේද ..

පරණ යු. එන්. පී. කාරයන්ගේ බලාපොරොත්තු සහ අලුත් පරම්පරාව ඉන්න සිහින වෙනස්. රනිල් ට මෙහෙම හරි චන්දෙ දෙන්නේ පරණම අය. ඒ අය දැන් ගොඩක් වයසයි. ඒ කාලේ ජේ. ආර්.  චන්දෙ දුන්න අද වනවිට අවුරුදු හැත්තෑව අසූව වගේ වයස අය තමයි තාම විවුර්ත ආර්ථික සිහිනය තුල ඉන්නේ. ඒ වයසක අය රනිල් ට චන්දෙ දෙන්නේ ජේ. ආර්. සිහිනය තුල ඉඳල. රනිල් ජේ. ආර්. වගේ කියල හිතල රනිල්ට චන්දෙ දෙන්නේ. එයාලගේ දෙවෙනි පරම්පරාව ඒ සිහින පහුකරලා ගිහිල්ල ගොඩක් දුර. එයාල ඇත්තටම ජේ. ආර්.ගේ දරුවෝ. අද ගම්වල හුගක් කොල්ලෝ ඉන්නේ කොරියාවේ නැත්නම් ඉතාලියේ. මම ඉන්න ගමේම සැහෙන පිරිසක් ඉන්නවා ජපානේ. උන් දන්නවා ඒ රටවල මිනිස්සු ඉන්න විදිය. උන් එයාලගේ අම්මලා තාත්තල වගේ නෙවේ. දියුණු රටවල් දැකපු අය. නිල් චිත්‍රපටි බලපු අය. පිටරට ගැනු එක්ක බුදියපු අය. මේ තත්වය තේරුම් ගන්නේ නැතුව ඔයාලට අනාගතයක් නැහැ රන්ජන්. රනිල් එක්තරා දුරකට නුතන වාදියෙක් (modernist) ලෙස මම පිලිගන්නවා. නමුත් මම හිතන්නේ ඔයාලට වෙනස් වෙන්න බැරිවුණා ඒ පශ්චාත් නුතන (postmodern) පරම්පරාව වෙනස් උන වේගයට. චුවින්ගම්, බ්‍රේස්ලට්, වයි ෆයි, වගේ කතා වලින් රනිල් නාස්ති වුණා කියලයි මම හිතන්නේ. ඒ මට්ටම අද හරියන්නේ නැහැ. ජේ. ආර්. ගේ වැඩේ අද හොදටම කරන්න පුළුවන් කෙනා සජිත් වත්, රනිල් වත්, මෛත්‍රී වත්, හරින් වත්, නෙවේ. ඔයාලගේ සම්ප්‍රදායේ ඇත්තම අනුප්‍රාප්තිකයා බැසිල්. මොන ප්‍රශ්න තිබුනත් එයාගෙන් ඉගෙන ගන්න. දැන් ඉන්න ගොඩ පෙරකදෝරු උපදේශකයෝ ටික එලවල ඉන්න බැසිල් පරාජය කරන්න ඕනි නම්. මොනවා වුනත් මහින්ද බැසිල් අතාරින්නෙ නැත්තේ ඇයි කියල නිකම් හිතන්න රන්ජන්. මහින්දගේ වුනත් වීරයා ගෝඨා නෙවෙයි. එයා ඔයාල වගේ ඕනි එකටයි එපා එකටයි එක එක ප්‍රකාශ දෙන්නේ නැහැනේ. බලන්න එයාගේ මාධ්‍ය සාකච්චා කොච්චර විනය ගතද කියල. ඔය වඳ පෙති වගේ පිස්සු කේස් වලට කට දාල නාගන්නේ නැහැනේ. පාලකයෝ කියන්නේ එහෙමයි රන්ජන්. උන් උපතින්ම කපටියි. ජේ. ආර්. කියන්නෙම කපටියෙක්.  

මොනවා වුනත් අපි මේ අධි තාක්ෂණික සහ විද්‍යාත්මක ලෝකය ගැන අවධානයෙන් ඉම්මු. සිදු වෙමින් පවතින දේවල් වලින් ඉගෙන ගමු. අද ඔයාලට වැඩ කරන්න වෙලා තියෙන්නේ පාර-ගෝලීය වගේම අධි තාක්ෂණික යුගයක කියන එක මොහොතක ටවත් අමතක කරන්න එපා. ඒ තාක්ෂනය පස්චාත් නුතන බව සමග බැඳී පවතිනවා. මුහුණු පොත වගේ දේවල් ගොඩක් ප්‍රබල ඒකයි. වාරණය කරන්න උනත් මේ අධි තාක්ෂණ යුගයේ බැහැ. විශ්වය නම් අප නොදන්නා යථාවක් සංකේතනය කිරීමට උරදුන් අපේ යුගයේ අයින්ස්ටයින් විය හැකි ස්ටීවන් හෝකින්ස් අභ්‍යාවකාශය, කාලය, විශ්වය, තරණය කිරීමට සිතන සමයක වඳ පෙති ගැන ත්‍රි රෝද රථ පාක් කරන තැන්වල පැය ගණන් කතා කරන තරුණ කොටසකුත් ඉහත තාක්ෂණ යුගය තුලම ඉන්නේ ඉහත නරුම බව (cynical) නිසා මිසක් ඔවුන් දන්නේ නැති නිසා නෙවෙයි.  අනන්‍යතා දේශපාලනය ඉතාම ප්‍රබලයි ධනවාදයේ මේ කාර්තුව තුල. ධනවාදයෙන් අවුල් වෙච්චි මිනිසාට එල්ලෙන්න තියෙන එකම වැල තමයි 'ජාතිය' කියන්නේ. ඒක සුළු කොට තකන්න එපා.

ඒ මොනවා වුනත් තාක්ෂනය වේගයෙන් ඉදිරියට යනවා. පසුගිය සියවස මේ යුගයට අදාල නැති තරම්.  බලන්න මිනිසා විසින් මිනිසා පසුකර යන ලෝකයක අප කොතනද? මිනිසා පරිණාමය වන මීළඟ අවදිය කෘතීම බුද්ධිය සහිත හියුමනොයිඩය (humanoid) නම් ආහාර, ඇදුම් පැළදුම්, රැකී රක්ෂා, නිවාස (සමාන පාන් කෑල්ලක්) ප්‍රමුඛ කරගත් සමානතා සමාජය සහ සමාජවාදය පිළිබද අදහසට කුමක් වේද? What will happen to the idea of socialism in a humanoid age? මීළඟ පරිණාමීය අවදියේදී 'මිනිසා' නොපවතිනු ඇත හෝ මිනිසාට වෙනත් ග්‍රහ ලෝකයක් කරා යාමට සිදුවන බව හොකින්ස්ගේ මතයයිමිචියෝ කාකු ට (Michio Kaku) අනුව තව ආලෝක වර්ෂ මිලියන දහයකට වඩා ඇතින් පිහිටි අපට සමාන තාරකාව (earth like planet) වෙත යාම මිනිසෙකුට කල නොහැක. එයට යා හැකි වන්නේ හියුමනොයිඩයකට පමණක් කියල තමයි කාකු කියන්නේ. (බලන්න රන්ජන් මෙවර ඔස්කා තේරුණු The Shape of Water චිත්‍රපටිය). ඒ අර්ථයෙන් මිනිසා විසින්ම නිපදවූ පාර මිනිසෙක්, අධි මිනිසෙක් (නීට්ෂේ ගේ උත්තර මිනිසා) අප දැන් දන්නා මිනිසා ඉක්මවා යාවි. අපට අත්විඳිය නොහැකි එම නොපෙනෙන ලොව තුල ඔහුගේම වූ 'සමාන සමාජයක්' (communist utopia) ඇතැම් විට ඔහු නිපදවන්නත් පුළුවන්. එතකොට ඒ දියුණු කෙනාට අපිව පෙනෙන්නේ නිකම් ඔරන් ඔටන් වගේ වෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් ගොඩනගන ලෝකය මිනිස් චින්තනයේ සහ පරිකල්පනයේ චායාවක් (a shadow of human ontology itself). සමාන සමාජයක් පිළිබද මිනිස් යුතෝපියාවේ අසමත්භාවය තුළ මියයන මිනිසාගේ ශරීරයෙන් සහ මනසින් ශේෂ වන අතිරික්තය (the excess of man) හියුමනොයිඩයක් කියන්නත් පුලවන්. අපි දෙවියන්ගේ චායාවක් අරන් ඇවිල්ල තියෙනවා වගේ ඔවුනුත් අපේ චායාවක් වේවි. හරියටම ඔයාලගේ ඊලග නායකයා රනිල් ගෙන් පුර්ණ ලෙස ඛණ්ඩනය වුනත් ඔහුගේ චායාව දරා සිටිනවා වගේමයි (Ranil's shadow).  අනිවාර්යයක්. ජැන්ගෝ එයාගේ ජර්මන් ස්වාමියාගේ චායාව දරා සිටිනවා ඉදිරියටත්. දෙවියන්ගෙන් වියෝ වූ දා ඉදලා අපගේ පැවැත්ම හැදිලා තියෙන්නේ එහෙම.  
හරි එහෙනම් මම නවතිනවා. 

පුළුවන් වෙලාවක අමාරුවෙන් හරි මේක කියවන්න රන්ජන්...    

https://www.youtube.com/watch?v=_JmJuvXAcwc

No comments:

Post a Comment