යටත්විජිතකරණයේ මුලික අදහස (ශිෂ්ට නොවූ) මිනිසා ශිෂ්ටකරණය කිරීමේ අතිමුලික අදහස (fundamental idea) හා බැඳී පවතී. අතිශය මතභේදාත්මක අදහසක් වන මෙම 'ශිෂ්ටත්ව උපන්‍යාසය' පශ්චාත් යටත්විජිත චින්තකයින් බොහෝ ගණනක් විසින් අභියෝගයට ලක්කර ඇති නුතන අදහසකි. ඔවුන් (බටහිර) අපට වඩා ශිෂ්ට වන්නේ කෙසේද යන්න විශිෂ්ට පෙරදිග සංස්කෘතියක් ගැන උපුටා දක්වන ඉහත පශ්චාත් යටත්විජිත සහ පශ්චාත් නුතනවාදී චින්තකයින්ගේ ප්‍රතිචාරයයි. එහෙට වඩා මෙහේ නරකයිද මෙහෙට වඩා එහේ හොඳද වැනි ප්‍රශ්න මාලාවක් මෙම විචාරකයින් විසින් අසනු ලබයි. අපට කීමට ඇත්තේ මෙයයි. නුතනත්වය යනු අප ලෝකය දෙස බලන එක්තරා ආකාරයකි. ලෝක දෘෂ්ටියකි (world view). බ්‍රිගේඩියර් ප්‍රියන්ත විසින් එක්තරා අයුරකින් උල්ලංඝනය වන්නේ තමාගේ ආත්ම මුලික අත්දැකීම (subjective experience) බාහිරට ප්‍රක්ෂේපනය කිරීමේ ආකාරය තුළ තිබිය යුතු වූ විශ්වීය ආකල්පයයි (attitude). කිසිම ලාංකික විචාරකයෙක් විසින් මෙම අදහස පැහැදිළි කරදීමට ඉදිරිපත් නොවීම අභාග්‍යයකි. ප්‍රියන්ත විසින් 'නිෂ්පාදනය කරන මෙම සංඥාව' අතිශයින් වැදගත් බෙදුම් කඩනයක් සලකුණු (ප්‍රථමික / නුතන) කරමින් තිබියදී එය සාකච්චා නොකිරීම නුතන අර්ථයෙන් දේශපාලනික වරදකි. එය කුමන දේශපාලන කඳවුරට සේවය කරත් (රනිල්ට හෝ මෛත්‍රී ට හෝ රාජපක්ෂ වරුන්ට යන කුමන පාර්ශවයකට හෝ) නුතනවාදියෙකු හට සංඥාවේ දේශපාලනික ආර්ථිකය මඟ හරිය නොහැකිය. බොහෝ විට ප්‍රියන්ත විවේචනය කිරීම ලාංකික ජාතිවාදය තුල අතිශයින් විවේචනයට භාජනය වීමට සහ ජනප්‍රිය නොවීමට ඉඩ ඇති වුවත් 'විවේචක වගකීම' යනු ජනප්‍රියත්වය ඉක්මවා යන සාර්වත්‍රික වගකීමකි. එය ජාතිය යන්න ඉකමවා යයි. කෙටියෙන් කිවහොත් සමාජීය පරස්පරතා ඇති අවකාශයක තිබිය යුතු ඉවසීම ප්‍රියන්ත විසින් සඥා නිෂ්පාදනයක් තුල උල්ලංඝනය කර ඇත. ප්‍රශ්නය දෙස බැලීම පටන් ගත යුත්තේ එතැනිනි.
No comments:
Post a Comment