සමන් ඔයා ගොඩක් ලේඛනයේ යෙදෙන කෙනෙක් නේ. ලිඛිත දේවල් මියගිය සන්නිවේදනයක් (written communication as dead and unresponsive) ලෙසත් මුහුණට මුහුණ කරන සංවාදය (face to face interaction) වඩාත් සජීවී දෙයක් හැටියටත් එමානුවෙල් ලෙවිනා හිතුවට ඩෙරීඩා හිතුවේ ලිඛිත සන්නිවේදනය කියන්නේ වඩාත් පුළුල් අවකාශයක් සහ නිදහස් වේදිකාවක් කියල. කථනය අනුභූතික අවශ්‍යතා මත පිහිටියත් ලේඛනය ආචාර ධාර්මික තැනක පිහිටුවිය හැකියි කියලයි ඩෙරීඩා තමන්ගේ Writing and Difference පොතේ කිව්වේ. ලෙවිනාගේ අදහස උනේ අපි අනෙකාට විවුර්ත වෙන්නේ (openness to the Other) මුහුණ බලාගෙන කතා කරනකොට ඇතිවෙන සදාචාර අන්තර්ගතය (සවිඥානිකත්වය) එක්ක කියන එක සහ 'අනෙකා වෙනුවෙන් ජිවත් වීම' ලෝකයේ තියෙන්න පුළුවන් උසස්ම සදාචාරය කියන එක. මම ඒකට එකඟයි (මොකද ලංකාවේ හුගක් අය මුහුණ බලන්නේ නැහැ කතා කරනකොට. හිතේ තියෙන මොකක්දෝ අවුලක් එක්ක එයාල අහක බලාගෙන ඉන්නේ). ඒ වගේම ෆුකෝ ල ඩෙරීඩා ල මට ඇහැ ගැහෙන්නේ ඔයාලගේ පරම්පරාව එක්ක කියලත් මම මෙහිදී කියන්න ඕනි.
සමන් කියන කෙනා මම මුලින්ම දැනගන්නේ අනූව දශකයේ අග විතර 'ප්‍රවාද' සඟරාවේ තිබුන ඔහුගේ ලිපියක් සහ 'එසඳ මම බලා සිටියෙමි' පොතේ දැන්වීමක් දැකල. ඒ නමත් එක්ක මම තවත් නම් කිහිපයක් දන ගත්ත. ඔවුන් යම් යම් දාර්ශනිකයින්ගේ නම් කියල තිබෙනවත් මම දැක්ක. අද මම කරමින් ඉන්න දෙය කියන්නේ එම නම් ඔස්සේ ලැබුණ හෝඩුවාවල් තරණය කරන්න මම පෙළඹ වීම එක්ක ආපු උත්තේජනයක්. සමහර විට මම වෙන්න ඇති 'ප්‍රවාද' සඟරාව සහ පසුව X මතවාදය ඔස්සේ ලැබුණ 'ආශාව' තරණය කරන්න හදන අවසාන කෙනා. මොකද අද පරම්පරාවට එම දාර්ශනික නම් දැනගන්න 'ප්‍රවාද' ඕනි නැහැ. ගූගල් කරන්න විතරයි තියෙන්නේ. උන්ට ඕනි එක උන් හොයාගන්නවා අපිට අර 'නම් කියුව අය' සංකේතීය වෙන කොට දැන් අයට සිම්බොලික් එක වෙන්නේ ගූගල් එක (මම කියන්නේ අරගල කරපු උන් සංකේතීය නැහැ කියල නෙවෙයි. අරගලයෙන් පසු මිණී කඳු දැකල තිබුන අපිට අර දර්ශනිකයෝ ලොකු ආශ්වාදයක් වුණා යථාව සංකේතනය කරගන්න). මනුෂ්‍යයා විතැන් කරලා තියෙනවා තත්‍යසමාන අවකාශයේ බලය විසින්. නමුත් ගූගල් එක විසින් ආයෙත් ඔවුන්ව අර සංකේතීය මිනිසුන් වෙතම ගෙනියනවා. කොහොම වුනත් සමන්ගේ වචන දැක්ක ගමන් මට හිතුන දේ ගැන දැන් බලමු.
කිසිදු දෙයක් සිදු නොවන භූමියක බොහෝ දේ සිදුවෙමින් ඇත කියල තමයි මුලින්ම මට හිතුනේ ඔයාගේ මුහුණු පොත් දැන්වීම දැකල. කිසිවක් නොමැති තැනක පවතින 'යම් දෙය' වනාහි රෝග ලක්ෂණයක් හැටියට තමයි සමහර විචාරකයෝ මේ 'නැති තැන ඇති දෙය' හඳුන් වන්නේ. Something that is there instead of nothing is always a symptom! අප අවට ඇත්තේ මියගිය වමේ ශුන්‍යතාවයයි (nothingness) කියල ගත්තොත් සත්තකින්ම තිබිය යුතු ශුන්‍යතාවය වෙනුවට සමන් මේ ගෙනෙන්නේ කුමක්ද? මට හිතෙන හැටියට ඔහු ගෙනෙන්නේ මියගිය මාක්ස් ගේ අවතාරය (මලමිණිය නැගිට්ටවීම). ඒ කියන්නේ ශුන්‍යතාවයට තියෙන බිය නිසා එම බිය වසාගන්න කරන උපක්‍රමයක් මේක. අප ශුන්‍යතාවයට බිය වෙන්න ඕනි නැහැ කියලයි මට හිතෙන්නේ. සමන් ඔබ එයට බියපත් ද කියල මට අහන්න හිතෙනවා. ඔබගේ සාහිත්‍ය යනු එම ග්‍රස්තික බියහි ප්‍රතිඵලයක් ද? යටත් විජිත වර්ණ භේද වාදය තුල කල්ලාගේ (blacks) මානසික ව්‍යුහය ගැන ලියමින් Derek Hook (2012, 2013) කියන්නේ පශ්චාත් යටත් විජිත ආත්මය වහල්භාවයේ දේශපාලන ක්ෂිතිය නිසා නියුරෝසික වී ඇති බවයි. කුමක් කරන්න දැයි ඔහුට තීරණය කල නොහැකි ලෙස බෙදී පවතින බවයි (ambivalent or split subject) ඔහු කියන්නේ (මේ 'අතීරාණාත්මක බව' නිසා රනිල් ගැන ලියන ලිපි වලට ලොකු ඉල්ලුමක් තියෙනවා මේ දවස් වල). ඔබ ජීවිතය පුරා කරමින් සිටින 'වික්ටෝරියානුහරණය' ගැන ඔබ දැනුවත්ද සමන්?
බලන්න සමන් අපිට විජිතකරණය නිසා වෙලා තියෙන අබග්ගය. එක පැත්තකින් අපි වික්ටෝරියානු උගුලේ හිරවෙලා අනිත් පැත්තෙන් අපි උන්ගේම ලිංගික සංස්කෘතියේ හිරවෙලා. අපි මේ දෙකේම වහල්ලු කියලයි මම කියන්නේ. දෙකම ගේන්නේ මෝඩ සුදු ස්වාමියා කියන එක අපේ එවුන්ට තේරෙන්නේ නැති හැටි!
සමන් මේ කියමින් ඉන්නේ ලාස් වේගාස් නම් ධනවාදයේ අර්චන නගරයේ මරණිය වසඟය (Lethal seduction) අබිසය මාක්ස් මාර පරාජය ලැබූ බවද? නැත්නම් මාක්ස් එම මරණිය වසඟය නිසා ධනවාදය නම් සමාජ ප්‍රගමනයේ අවදිය දෙස අපුලෙන් බැලු බවද? ඔහුගේ ඔක්කාරය කුමක් නිසා හටගෙන ඇත්ද? එය නියුරෝසික පසුබෑමක් ද? මාක්ස් එළියට විසිකිරීම සංකේතීයව ධනවාදයේ විජයග්‍රහණ යද? නැත්නම් ධනවාදයටම පාලනය කරගත නොහැකි එහි විපරිත සංවර්ධනයද? එසේත් නැත්නම් සමන් යනුම මෙම සාර්වත්‍රික විපරීත බව (universalized perversion) තුළ මියගිය පියාගේ (මාක්ස්) අවතාරමය වෙළඳපළ උත්ථානය ද? ටිකක් හිතන්න සමන්....
විසි වන සියවසේ අහිමි වූ මාක්ස් ගේ මෙලන්කොලියාවෙන් මිදිලා අපි විසි එක්වන සියවසට යන්න හිත හදාගෙන තියෙන හින්ද මාක්ස් ගැන අපිට පිපිරෙන්න තරම් ලොකු 'අර්චනමය අහමක්' නැහැ. සමහරු එතැනම පල්වුණාට අපි එතැනින් ගිහිල්ලත් ඉවරයි. එයාගෙන් ගන්න ඕනි දේ අරගෙන එයාගෙන් මිදිලා අපි ඉස්සරහට යනවා. ඔයත් එන්න අපිත් එක්ක. පරක්කු නෑ.
ඔයා ඔය ලාස් වේගාස් වල ඉන්න ගැහැණුන්ගේ ඔඩොක්කුවේ අර ඉන්න ට්‍රම්ප් කියන වාහේ ව තියන්න සමන්. ඒ යකා ඉන්නෙම ඔයවගේ තැන් වලනේ. එයා ඔයාගේ වික්ටෝරියානු විරෝධයටත් හුගක් ගැලපෙනවනේ ... ඔයාගේ මාකට් වැඩේට ගැලපුණා ට කමක් නෑ මාක්ස් ව අල්ලලා දමන්න සමන්. අපි එයාට තියෙන සිම්බොලික් එක එහෙම ම තියමු. ඔයා හුගක් බුදු හාමුදුරුවෝ ගැන උනත් මේ විදියටම 'පරිකල්පනය' කරනවා අපි දැකල තියෙනවා. ඔයා ඉන්නේ ස්ත්‍රියගේ පැත්තේ විමුක්තිය වෙනුවෙන් වෙන්න ඇති. නමුත් අර පිරිමි අයට අයිති සංකේතිය බවට අපි හානි කරන්න ඕනිද? පිරිමියා කියන්නෙත් අනේකත්වයක් නේද සමහර විට වැරදි වුනත්. සමහර විට මම සම්ප්‍රදායික ලෙස ඔයාට පෙනෙනවා ඇති පිරිමි ලෝකය ස්වභාවික කරන. ඒකට කමක් නෑ සමන්...
ස්ත්‍රියගේ නිදහසට මම විරුද්ධ නැහැ. මම කියන්නේ පිරිමි ආශාව ස්ත්‍රියගේ නිදහසට තියෙන එකම බාධාව නම් අපේ ආශාව විනාශ කරලා හරි එයාලට නිදහස් වෙන්න කියල ('මා මත පය තබා ඔබ නිදහස් වෙන්න' කියල තමයි යේසුස් වහන්සේ කොඳුරන්නේ Silence (2016) කියන චිත්‍රපටියේ).
මාක්ස්, බුදු හාමුදුරුවෝ, යේසුස්, ගාන්ධි (ස්ත්‍රීවාදීන්ට පෙන්නන්න බැහැ), ලෙනින්, මැන්ඩෙලා (ඔක්කොම පිරිමි තමයි. ඔයාට අප්පිරියත් ඇති) වගේ අය හැදුවේ එක කුලකයකට පමණක් විමුක්තිය උදා කරන්න නෙවෙයි. සමස්ත මිනිස් වර්ගයාට ම යමක් කරන්න. ඒ තැන් වලදී ඔවුන් අධානග්‍රාහී ඇති. ඕනිම ව්‍යාපෘතියක සීමාකම් තියෙනවා සමන් (ව්‍යාපෘතිය හැදෙන්නෙ ම සීමාව පාදක කරගෙන සහ හැම දෙයක්ම නො-අවසන් නේද?) නමුත් හැමෝම අර පිරිමි චරිත වලට ගරු කරනවා ඔවුන්ගේ විශ්වීය බව නිසා. එයාල ජිවත් වුනේ අනෙකා වෙනුවෙන්. ඒක පහසු දෙයක් නෙවෙයි සමන්. ඔයා කරන්නේ අර සංකේතිය කියල ගන්න පුළුවන් චරිත වලට ගහල දාන එක (iconoclasm). මොකද අර සංකේතීය පිරිමින්ට ගැහුවම තමයි ඔයාගේ මාකට් එක හැදෙන්නේ (එතැනදී ඔයා හිස්ටරිකයි). එහෙම පිරිමින්ට ගහනකොට තමයි ඔයා ගේ ළඟ ඉන්න ස්ත්‍රීවාදී කට්ටිය විසිල් ගහන්නේ. ඒ අයගේ ගේස් පොයින්ට් එකේ (විශාදයේ) වස්තුව වෙනවා කියන්නේ ආයිත් විපරිත බවක් (මම කියන්නේ ලෙඩක් ගැන හෙම නෙවෙයි, දේශපාලන ස්ථාවරයක් ගැන). නමුත් ඔයා එතරම් සංකේතිය නැති අර ෆැන්ටස්මතික විපරීත ට්‍රම්ප් වගේ අයට ගහන්නේ නැහැ. මොකද ඒ යෝදය ගැන ලියන පොත් වත් කවුරුත් සීරියස් විදියට ගන්නේ නැහැ. නමුත් මිනිහ තමයි නියම වුමනයිසර් (සමහර විට ඔයා එතැනදී ග්‍රස්තික ඇති).
පොහොට්ටුවේ උන්ගේත් වීරයා ට්‍රම්ප්. මොකද උන්ට ට්‍රම්ප් පෙන්නේ 'අපේ එකෙක්' විදියට. ඔබාමා ගෙන් ගාන්ධි ගෙන් උන්ට වැඩක් නෑ. උන්ට ඕනි පිස්සු වාහෙලා බටහිරත් පිස්සු කරනවා දකින්න. එතකොට මෙහෙ උන්ට පිස්සු නටන එක පහසුයි නේ. මුස්ලිම් උන්ට එන්න බැරිවෙන්න තාප්ප බඳින එකයි නිල් චිත්‍රපට නිලියෝ කලිසම් ගලවන එකයි තමයි අපේ එවුන්ගෙත් අශ්ලීල සිහිනය. එතැනදී නම් උන් ලිංගික පුලන්නෝ තමයි...
මට හිතෙන්නේ ඔය වික්ටෝරියානු පිස්සුවයි බටහිර ලිංගික හඹා යෑමයි අතරින් අපි 'අපේ දේ' (වෙනස, විසම්මුතිය) හොයාගන්න ඕනි (මම ඒක ඉගෙන ගන්නේ ටොඩ් මැගොවන් ගෙන්). විජිතකරණයට පෙර සිංහල අපිට ඔය වික්ටෝරියානු ප්‍රශ්න තිබුනෙත් නැහැ, අදිවේගී ආශා හඹා යාම තිබුනෙත් නැහැ. ඔයාලා සිංහල සාහිත්‍යය හොදින් දන්න අය හැටියට මිට වඩා වගකිව යුතු වෙනවා ලංකාවේ අනාගතයට. අධිරාජ්‍යවාදයේ වික්ටෝරියානු කුහකකම සහ ආශා හඹා යාමේ මර උගුල අතරින් 'තුන්වැනි විකල්ප අවකාශයක්' (third-space) සොයාගන්න ඕනි. දැනට අපිට එහෙම කරන්න බැරි වෙලා තියෙනවා. නුතනවාදීන්ගේ මෙම දේශපාලන 'අසමත් භාවයේ' සම්පුර්ණ වාසිය යන්නේ ජාතිවාදී කොටස් වලට. ඒ කියන්නේ ජාතිකත්වයේ හිමිකම උන්ට පොල්මඃකාර වෙලා. තුවාල වූ ජාතික සවිඥානිකත්වයේ අහම නිතරම සොයායන්නේ ජාතිකවාදය. මොකද ඒකෙන් විතරයි තුවාලය සුවපත් වෙන්නේ (නුතන කියන සිනමාකරුවෝ වුනත් ඉහත ආත්මීය සම්භන්දය මිනිස්සු එක්ක ගොඩ නැගුවේ නැහැ. ඒක කරන්නෙත් සිංහල වීරත්වය ගැන කතා කරන දුටුගැමුණු පරම්පරාවේ අය). මොකද නුතන කොටස් වලට බැරිවෙලා තියෙනවා එම නියුරෝසික ආත්මයට කතා කරන්න. ඒ අයට රනිල්, මංගල වගේ අය පෙනෙන්නේ තනිකරම සතුරෝ විදියට. නමුත් ඇමෙරිකාවේ පදිංචිය තියෙන උන් ඇවිල්ල අර අහමේ තුවාලය අවුස්සනවා. උන් පටස් ගාල ජනප්‍රිය වෙලා බලයට එනවා. රනිල්ට පිටරට ගෙවල් නැහැ. ලෙඩක් වුනොත් හැරෙන්න මනුස්සයා පිටරට යන්නෙත් නැහැ. නමුත් ඔහුට බැහැ අර සිංහල ආත්මයට කතා කරන්න (මම මේ කියන්නේ ජනප්‍රියවාදයක් ගැන නෙවෙයි).
අපිට තියෙනවා කතිකාමය නොහැකියාවක් ජාතික අධ්‍යාත්මයේ පෑරුණු තුවාලයට කතා කිරීමට නොහැකි. ඒක අපි හදාගන්න කලින් පොහොට්ටුව දකුණේ දිනනවා. ඕක තමයි පශ්චාත් යටත් විජිත තත්වය ලංකාවේ. ස්ත්‍රීවාදීන්ට නෙවෙයි කාටවත් ගොඩ එන්න බැහැ ඔතන මඟ හැරලා. බලන්න මේ ලඟදි මෛත්‍රී වික්‍රමසිංහ මොකක්දෝ එකකට පාරේ බෝඩ් අල්ලාගෙන ගිය විගලිත හුදකලා අභිනය. නුතනවාදීන් හැටියට අපි මේ රටට ඇත්තටම සම්භන්ද නැහැ කියල අපි අවංකව පිළිගන්න ඕනි (sense of disconnection).
ඔන්න ඔතන තමයි අපි අසමත් සමන්... ඒකට මාක්ස්වත් බුදු හාමුදුරුවෝවත් පළි නැහැ. එයාලට ගැහුවට මුකුත්ම වෙන්නේ නැහැ අපි තව තවත් වලපල්ලට යනවා මිසක්. තව පොඩ්ඩක් දුරට අපි අමරසේකර කිව්ව දේ ඇහුවනම් සහ අහල ඒක නුතන ව්‍යාපෘතිය එක්ක බද්ධ කළා නම් අපිට මේ සන්තෑසිය වෙන්නේ නැහැ. අපිට කවබතා කෙනෙක් හිටියේ නැහැ අපේ සම්ප්‍රදාය සබුද්ධික කරන්න (ජිජැක් මොනවා කිව්වත් ඒක මම ඉගෙන ගත්තේ මේ යුගයේ අවසාන දාර්ශනිකයා යැයි කියනු ලබන හබමාස් ගෙන්). ඔයාට බැරිවුණා සමන් ලංකාවේ කවබතා වෙන්න. අමරසේකර ට්‍රයි කළාට එයාටත් බැරිවුණා. එයා නතර වුනේ මුල්ලි වයික්කාල් වලින්. කවබතා නතර වුනේ නොබෙල් දිනලා. අන්තිමට අපිට අපේ කරුමෙට දර්ශනය කියල දෙන්න හිටියේ නලින් ද සිල්වා.
'හලෝ මචං' කියල එක එල්ලේ මුහුණ බලාගෙන (ලෙවිනා) කියන්න පුළුවන් ලොකු හදවතක් තියෙන කෙනෙක් නිසයි උඹට මේ ටිකවත් ලිව්වේ.
ජය
මහේෂ්
මිය ගිය මාක්ස් සජිවීකරණයට පෙර
http://sis.lk/novel/item/422-miya-giya-marks
මේ මාක්ස් කියන්නේ ඒ මාක්ස් නෙමේ නේ . එහෙම නම් ලියන්නාට මාක්ස් කියල වෙන කෙනක් ගැන ලියන්න බැරිද නුතන් මාක්ස් කෙනෙක් ගැන. පොත කියවල නැහැ එහෙම හිතුන
ReplyDeleteඔව් අජිත් මම පොත කියෙව්වේ නැහැ . නමුත් මාක්ස් ගේ ෆොටෝ එක දාලනේ එයා වැඩේ මාකට් කරන්නේ. ඉතින් මම එයාට කිව්වේ මාක්ස් ගේ සංකේතනය (අපේ රෙස්පෙක්ට් එක) නිකම් පාන්කඩ ගානට දන්න එපා කියල. මොකද හුගක් අය මට කිව්වා සමන් ගැන මොනවා හරි ලියන්න කියල එයාව 'හරි පාරට ගත්තොත්' හොඳ ලේඛකයෙක් වෙන්න පුළුවන් නිසා . එයා දක්ෂයි නමුත්......'හරි පාර' කියන එක නම් ටිකක් ගැටළු සහගතයි
Deleteමහේෂ් ඔයා සර්පයාව අරගෙන තියෙන්නෙ උඩින්. ඔයා පොත කියවන්ඩ. මේ පොත පිරිමින්ගේ ඔයා ඔය කියන සම්ප්‍රදායික දේශපාලනයට මාර අත්වැලක් වෙයි.( ලංකාවේ )පිරිමින්ගේ ආශාවට සහ ඔයගොල්ලො පටන් අරන් කියන ඔය ගමනට සර්පයාත් අයිතියි. ස්ත්‍රිවාදීන් කියන්නෙ ස්ත්‍රිත්වයට එරෙහිව ස්ත්‍රිය හීතිම කියන තැනින් ගත්තොත් ස්ත්‍රිවාදීන් ට සර්පයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ. අන්තයන් දෙකකට කැඩිලා යනවා. හරියටම සර්පයා ඔයගොල්ල කියන තැනට එනවා. එයා මාර ආදරෙයි පිරිමින්ට සහ මාර වැඩක් කරපු පිරිමින්ට. මාර වැඩ කරපු පිරිමින්ට ස්ත්‍රින් විරුද්ධ වුනා කියලා ඇති වැඬේ මොකද්ද ? මේ ලොකේ පිරිමින්ගේ ලෝකයක්. මම ඔයාට යෝජනා කරනවා ආටික් රහම් ගේ උහුලන ගල් කියවන්ඩ. ආටික් රහම් වගේ පිරිමි ලේඛකයෙක් ඉස්සරහ මට නම් සර්පයා තුට්ටුවක් වටින්නෙ නෑ. (මම කියන්නෙ සාහිත්‍ය දක්ෂතාවය ගැන නෙමෙයි. ) මම හිතන්නෙ නෑ පුරුෂවාදී පුරුෂ කේන්ද්‍රීය පුරුෂ ආශාවට සර්පයා අලුත් දොරක් ඇරලා තියෙනවා. ඔයා බය වෙන්ඩ එපා. ගැහැනියගේ නිදහස ඔයා පරිකල්පනය කරන එක නෙමෙයි. ස්ත්‍රි දේශපාලනයට සහ පුරුෂ දේශපාලනයට එකතු වෙලා යන්ඩ ගමනක් නැති තැනට ලංකාවේ දේශපාලනය ඇවිත් තියෙනවා. මහේෂ් සර්පයා මාක්ස්ව මිනී වළෙන් නැගිටලා ගෙනල්ලා ගෑනු දරුවෝ හිටපු නැති මාක්ස්ට සර්පයා පිරිමි දරුවෙක් දෙනවා. ( දරුවෝ කවුද කියන එක ගැන මට ගැටලුවක් නෑ. ස්ත්‍රින්ගේ නිදහස ගැන ඔයාට ගැටලුවක් නෑ වගේම) මම පොත කියෙව්වා. මට පොත කියවන්ඩ දෙන්නෙ මට කියලා විරෝධය සටහන් කර ගන්ඩ . ඒකත් අවශ්‍යනේ. ප්‍රජාතන්ත්‍රවාදී වෙන්ඩ. මම ඒකත් දන්නවා. හැබයි මාක්ස්වාදී පක්ෂ කාඩර්වරියක් ලවා පක්ෂනායකයාගේ අංගජාතිය සිදින මේ ලේඛකයා අවසානයේ මාක්සට පිරිමි දරුවෙක් ලබලා දෙනවා. මම හිතන්නෙ ඔයාට සුත්‍රය පැහැදිලි ඇති. සර්පයාගේ මුලු පොතම සංකේතාත්මකයි. ඔහු ලියන්නෙ සංකේත වලින්. එතකොට පිරිමි දරුවා කියන්නෙ සංකේතයක්. ඒ කියන්නෙ ලේඛකයා අලුත් මාර පුරුෂ නායකත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ මාක්ස්වාදීන් හෝ වාමාශික දේශපාලනය ගැන අලුත් නායකත්වයක් ගැන ඇති බලාපොරොත්තු ඔහු වාංමාශික පුත්තුන්ට දෙනවා. ඉතින් ඔයාට පැහැදිලි ඇති පුරුෂ දේශපාලනය තුල ස්ත්‍රි කාර්්‍ය භාරය ගැන සර්පයාගේ පරික්ලපනය ...... පොත පටන් ගන්න කොටම එක පුරුෂ ලිංගයක් සිඳින සර්පයා අවසානයේ පොත නිර්මාණය කරන්නෙ පුරුෂ ලිංගයක් රෝපණය කරලා. ඒ පුරුෂ ලිංගය පැවත ගෙන එන්නෙ මාක්ස්ගේන්. ඉතින් ඇයි ඔයා අඬන්නෙ? සර්පයාට ඔයා තවත් මොනවද කරන්ඩ කියන්නෙ ? ඒ වගේම තවත් ගොඩාක් දේවල් ඔයාල පරිකල්පනය කරන දේශපාලනයට හුරේ දමන දේවල් මේකේ තියෙනවා. මහේෂ් ඔයා කියන ඔයගොල්ලො පටන් අරන් තියෙන දේශපාලන ගමනට සහ ඒකට සම්පුර්ණ සහයෝගය දෙන සර්පයාට මගෙන් සුභපැතුම්.... හැබයි මම එකක් කියනවා ලොව පුරා බොරුවට නිදාගෙන ඉන්න ස්ත්‍රි සාමුහික අවිඥානය අවදි වෙමින් තියෙනවා. අපිට මුක්කු ඕන නෑ. අපි අපේ කකුල් වලින් හිට ගන්නවා.
ReplyDeleteනදීකා බණ්ඩාර
ස්තුති නදීකා. ඔයා අන්තිමට කියල තියෙන 'අපි කකුල් දෙකෙන් හිට්ගන්නවා' කියන එක මම කවදා හෝ කියල තියෙන දෙයක් එක්ක පරස්පර වෙනවද? ඔයාලගේ නිදහස වෙනුවෙන් කරන අරගලයට මටත් පුළුවන් දෙයක් කරන්නම්. ඇයි මම ඔයා එක්ක තර්ක කරන්නේ ඔයා කියන දේට මම එකඟ වෙන කොට..
Delete