'මම' නම් තත්වය කුඩා ළමයෙක් මුල්වරට හඳුනා ගන්නේ කණ්නාඩිය හරහා බව ෆ්‍රොයිඩ් ගේ නිරීක්ෂණය යි. සෞඛ්‍ය සම්පන්න පෞරුෂ වර්ධනයක් සඳහා 'මම' යන්න හඳුනා ගැනීම අවශ්‍ය බව ෆ්‍රොයිඩ් පෙන්වා දෙයි. මන්ද මම යන්න ස්ථාවර ලෙස හඳුනා නොගත් කෙනෙක් තුළ දැකගත හැක්කේ ඉඩ් සංස්කාරය පමණක් වන නිසාය (සත්ව සහජය). වෙනත් විදියකින් කිවහොත් 'මම' යන්න ස්වයං ආරක්ෂණ විධි විධානයක් ලෙස පුද්ගලයෙක් නොදන්නේ නම් ඔහු යන්නේ මරණය දෙසට ය යන්න ෆ්‍රොයිඩ් ගේ ඉගැන්වීමයි. එනයින් මට යම් කරදරයක් මම කරන දෙය නිසා සිදුවෙයිද යන තිගැස්ම යම් කෙනෙකුට සෞඛ්‍ය සම්පන්න ලෙස මතුවන්නේ ඉහත මම යන්න ස්ථාපිත වි තිබීමේ කොන්දේසියක් ලෙසිනි. මෙතැනදී උපරි අහම කන්නාඩියක් ලෙස ක්‍රියාත්මක වී තමා කල යුත්ත නොකළ යුත්ත පිළිබදව මාලිමාවක් සපයයි. තම කලිසම පොදු ස්ථානයකදී පහත් කිරීම වැනි කටයුත්තක දී සිදුවන නීතිමය ප්‍රශ්න ගැන නොසිතන්නේ 'මම' යන්න නිවැරදි ලෙස ආරක්ෂණ ආවරණයක් (self-preservation) ලෙස පුද්ගලයා තුළ ගොඩ නැගී නොතිබීමේ ප්‍රශ්නයක් නිසාය. මම මාව ආරක්ෂා කරගත යුතුය යන හැඟීමෙන් එවන් සංකේතීය පිළිගැනීම් එවැන්නෙක් උල්ලංඝනය කරන්නේ නැත. නමුත් ඇතැම් තැන් වලදී මිනිසා ආරක්ෂණ ආවරණයෙන් සහ සංකේතනයෙන් ඔබ්බට ගමන් කරමින් වීරයින් බිහි කරයි. උදාහරණයක් ලෙස විප්ලවීය සන්දර්භයක දී මිනිසා සංකේතනය උල්ලංඝනය කරන්නේ වෙනත් උසස් සංකේතීය පිළිවෙලක් ගොඩ නගා ගැනීමේ අභිලාෂයෙනි (Mother Courage and Her Children නම් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය යේ කැතරින් නම් ගොළු දියණිය කතෝලික සොල්දාදු වන්ගෙන් ගම්මානය බේරා ගැනීම වෙනුවෙන් කරන ජීවිත කැපකිරීම ගැන සිතන්න). නමුත් මේ වනවිට උල්ලංඝනය සිදුවන්නේ උසස් අරමුණු වෙනුවෙන් නොව හුදු පුද්ගලික අභිලාෂයන් සඳහා ය. ජනප්‍රියතාව ය සඳහා ය. සෙල්ෆි ගැනීම වෙනුවෙන් මියයන ස්වරූපරාගී රෝගීන්ගේ ස්වයං විනාශකාරී මරණ ආශය (thanatos) කුළුගන් වන්නේ පශ්චාත් නුතන උල්ලංඝන විනෝද තත්වය විසින්ය. බ්‍රෙෂ්ට් ගේ කැත්රින් සමාජයක් බේරා ගැනීම වෙනුවෙන් ජීවිතය පූජා කරද්දී පිදුරංගල යුගය තුළ මරණ ආශය ක්‍රියාත්මක වන්නේ සෙල්ෆි චායාරුප ගැනීමට ගොස් ගල පල්ලේ වැටී මියයාම වශයෙනි. එසේ නොමැතිව ගැඹුරු සමාජ වෙනසක් සඳහා ජීවිතය පරිත්‍යාග කිරීමක් වශයෙන් නොවේය. එයට හේතුව මෙම තරුණ පරම්පරාවේ පුද්ගලික ප්‍රශ්නයක් නොව තම නිර්මාණ ශක්තිය (libidinal energy) සමාජ වෙනසක් සඳහා සංවිධානය කර දීම වෙනුවෙන් වූ සමාජ දේශපාලන ව්‍යාපාරයන් නොමැති වීමේ සන්දර්භයයි. මම යන්න ආරක්ෂණ ව්‍යුහයක පවත්වා ගනිමින් ම (ෆ්‍රොයිඩ්) පුද්ගල නිර්මාණ ශක්තිය උසස් සමාජ කටයුත්තක් වෙනුවෙන් ප්‍රති සංවිධානය කරන්නේ කෙසේද යන්න (ලෙනින්, මාවෝ සහ චේ) රූපකයක් ලෙස නිර්-නෛතික වීම ජ. වි. පෙ. මර්ධනයෙන් පසු ආරම්භ වීමත් සමග ම ගොඩ නැගෙන අරාජක රාජ්‍යයේ කොටි සංවිධානය අවසන් වීමත් සමග ආවා කල්ලිය නැවත ඉස්මතු වන්නේ කෙසේද යන්න පැහැදිළි කලයුතු නැතැයි සිතමු. බුර්ෂුවා නීතිය ක්‍රියාත්මක කීරීම ඔස්සේ හෝ තරුණ 'හස්ථ කර්මාන්ත' සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ණය ලබා දීම ඔස්සේ මේ දේවල් නතර කළ හැකි යැයි කල්පනා කිරීම යනු දේශපාලන මනෝ විශ්ලේෂණය නොදැනීම පිළිබද ගැටළුවක් පමණ ය. මිනිසාගේ නිර්මාණ ශක්‌තිය දේශපාලනික කිරීම යනු හුදු ත්‍රී රෝද රථ එළවීමට හෝ චුයින්ගම් කෑමට ලඝු කළ හැකි දෙයක් නොවන බව ලාංකික රෝයල් බුර්ෂුවා කල්ලිය තේරුම් ගත යුතුය. කළ යුත්තේ එකතැන පල්වෙන තරුණ පාර්ලිමේන්තු නොව තරුණයින්ගේ 'මම' නම් ලිබිඩෝ නිර්මාණ ශක්තිය අර්ථවත් දේශපාලන ව්‍යුහයක් වෙත පොලා පැන්නවිමයි. ඒ සඳහා ධනේශ්වර දේශපාලනය පොහොසත් නැත. නමුත් අපට දිය හැකි විකල්පයක් ද නැත. එසේ වුවද විකල්පයක් සෙවීම අප නතර කර ද නැත.
ඉදින් ප්‍රචණ්ඩ (දිව්‍යමය වෙනස යනුවෙන් ජිජැක් හඳුන්වන දෙය) සමාජ වෙනසක් සඳහා පැවති සමාජ අන්තර්ගතය ගැඹුරු පරිවර්තනීය වෙනසක් සඳහා දිශානත කරවීම පිළිබද කතිකාව සහ වැඩ පිළිවෙල හැත්තෑ එකෙන් ආරම්භ වී අසූ නවයෙන් ඉවර වූ අතර එහි දකුණේ ප්‍රකාශකයා වූ විජේවිර සහෝදරයා මහපාරේ පුළුස්සා දැමීම එහි සංකේතිය අවසානය සනිටුහන් කළේය. එවකට ලෝක ගෝලය පුරා පැවති රැඩිකල් සමාජවාදයේ රැල්ල (චේ ඇතුළු රෝමාන්තික රැඩිකල් වාදීන් මෙන්ම මාවෝ වාදී අධිරාජ්‍ය විරෝධය) මේ මනෝ රාජිකය තවත් ශක්තිමත් කළේය. ඉදින් ලාංකික සන්දර්භයක මම යන්න නුතනත්වය වෙත නිර්මාණශීලිව පොළා පැන්නවිම පිණිස වූ 'නිෂ්පාදනය' මුල් කරගත් අත්හදා බැලීම් ගණනාවක් පසුකරනු අපට නිදහසෙන් පසුව දැකගත හැකිය. ප්‍රධාන වශයෙන් ගත් විට එකක් ප්‍රචණ්ඩ ලෙස සමාජවාදය මුණ ගැසීමේ ක්‍රමය වූ (විජේවීර) අතර අනෙක ප්‍රචණ්ඩ ලෙස ධනවාදය මුණ ගැසීමේ ක්‍රමය විය (ජේ. ආර්.). මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැද මාවතක් ද හඳුන්වා දෙන ලදී. එය දේශීයත්වය හරහා නුතනත්වය මුණ ගැසීමේ ක්‍රමය විය (සරච්චන්ද්‍ර විසින් ජපන් කතිකාව හරහා පේරාදෙණිය ගුරු කුලය ඔස්සේ නෛතික කරණය කළ දෙය. මෙය මෙතෙක් ලංකාව තුළ බිහිවූ වඩාත්ම වැදගත් සංකල්පීය ප්‍රවේශය වූ අතර මෙය විවිධ ආකෘතියෙන් අද දවසේ අමරසේකර නලින් දක්වාම ගමන් කරයි). ඩී. එස්. සේනානායක යුගය තුළ ගල්ඔය ව්‍යාපෘතිය මුල් කරගත් ගොවි ජනපද හරහා කෘෂි කර්මාන්තය මෙම දේශීයත්වයේ ආරම්භයයි. මෙම කෘෂි ව්‍යාපෘතිය නුතන කරණය කිරීමට උත්සාහ කිරීම ඩඩ්ලි යුගය තුළ සිදුකෙරුණු අතර තවත් දේශීය නිෂ්පාදන මෙහිදී හදුන්වා දෙන ලදී. සිරිමා බණ්ඩාරනායක යුගය යනු මෙම දේශීය නිෂ්පාදනය හරහා නුතන සංවර්ධනය වෙත ගමන් කිරීමේ මොඩලයේ උත්කෘෂ්ට යුගයයි (මෙම යුගය අදටත් අපේ පරම්පරාවේ අයට නොස්ටැල්ජියාවකි). පිටරටින් මොනවා පැමිණියත් අදටත් අපේ මිනිස්සු සොයන්නේ සංස්ථා අරක්කු ය. සංස්ථා සිමෙන්ති ය. සංස්ථා කම්බි ය. සංස්ථා ටයර් ය. මේ යුගයේ යම් ආකාරයකට විදේශ විනිමය කළමනා කරණය වූ අතර විදේශ සංචිත අතිරික්තයක් මේ යුගය තුළ දැකගත හැකිවිය. අද දවසේ පවා ඩොලරය වැටීම නවත්වා ගැනීම පිණිස නැවත අපට සිතා බැලීමට සිදුව ඇත්තේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ ක්‍රම වේදයන් පිළිබදව ය. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉහත මොඩලය (චින්තන සහ භෞතික) කුඩු සම්බෝල කර දැමුවද, හාල් පොළු නිසා මිනිසුන් විශාල වශයෙන් පීඩාවට පත් වුවද, බණ්ඩාරනායක පවුල බාස්මතී සහල් අනුභව කළා වුවද, මේ මොඩලය වනාහී බොහෝ ජාතින් විසින් එවකට අත්හදා බැලු ක්‍රමවේදයකි. මැලේසියාව පවා තම සංවර්ධන ක්‍රමෝපායන් සකස් කර ගත්තේ අප දෙස බලා බව නොයෙක් තැන්හි කියවේ (අද අපට ඔවුන් දෙස බැලීමට සිදුව ඇත). එදා උපාලි විජේවර්ධන අපේ රටේ කාර් නිෂ්පාදනය කල අතර අද අප ජපන්, කොරියන්, ඉන්දියානු කාර් හම්බන්තොට වරායෙන් පැමිණෙන තුරු බලා සිටිමු. වේයන්ගොඩ තුල්හිරිය වසා දමා ඇඳුම් පිටරටින් ගෙන් වමු. පාඩු ලබන සියල්ල විකුණා දැමිය යුතුය යන මතවාදයේ සිටින රනිල් වික්‍රමසිංහ නම් ජේ. ආර්. ගේ මුණුපුරා බලන්නේ දේශීය කර්මාන්ත දියුණු කිරීම ගැන නොව දේශිය දේට වඩා මිළ අඩුවෙන් මොකක් හරි මල දානයක් පිටරටින් ගෙන්විය හැකි නම් එසේ ගේනවා වෙළඳ පොළට තල්ලු කිරීමට ය. ඔහු ලංකික මිනිසුන්ගේ වෛරයට පාත්‍ර වී ඇත්තේ මෙම අදූරදර්ශී බටහිර දැක්ම නිසාය. අද අපට ණය වීමට සිදුව ඇත්තේ මේ පුළුල් ජේ. ආර්. සන්දර්භය යටතේ මිස මහින්ද රාජපක්ෂ විසින් ගත් ණය වලින් යම් යම් 'දේශීය වටිනාකම් එකතුකිරිම' නිසා නොවේ (local value addition). මිනිසුන් මහින්ද ට ආදරය කරන්නේ මෙම දේශීය දැක්ම නිසා ය. අපේ දෙය නැති වුව හොත් අප ද නැතිවන නිසාය (මෙහිදී අප විසින් කෙරෙන්නේ යම් ප්‍රපංචයක් පෙන්වා දීම මිස මහින්ද සාධාරණී කරණය කිරීම නොවේ). මේ අන්තවාදී ධනපති ක්‍රමයේ ගැටළුව සජිත් ප්‍රේමදාස වැන්නෙක් යම් තරමකට තේරුම් ගෙන තිබීම වැදගත් ලක්ෂණය කි. පුද්ගලයින් එහේ මෙහේ කිරීම පවත්නා අර්බුදයට විසඳුමක් නොවුනත් ඉහත අර්ථයෙන් ගත්විට මෛත්‍රී මහින්ද සහ සජිත් ප්‍රේමදාස යන පාර්ශවයන් එක් වී යම් දේශීය වටිනාකම් ප්‍රමාණයක් ආර්ථිකයට එකතු කරන්නේ නම් එය පවත්නා අර්බුදය තුළ වැදගත් විය හැකිය (වටිනාකම් එකතු කිරීම සඳහා හොද උදාහරණයක් වන්නේ මයික්‍රෝ කාර් සමාගමයි. පිටින් වාහන අමතර කොටස් ගෙනවිත් ඔවුන් කරන්නේ දේශීය ව එකලස් කිරීමයි. අප විසින් එකතු කරන ශ්‍රමය සහ නිර්මාණශීලි බව වටිනාකම් එකතු කිරීමයි. නිමි ඇඳුම් කර්මාන්තය ඇතුළු මේ සඳහා තව උදාහරණ ඕනෑ තරම් ඇත. අපිට පසුව පටන්ගත් වියට්නාමය විසින් සිදුකරමින් ඇත්තේ මෙය වන අතර ඔවුන් වේගයෙන් ඉදිරියට යමින් ඇත). ගෙඩි පිටින් පිටරටින් ලේලන්ඩ් බස් ගෙනෙනවා වෙනුවට අප විසින් බස් නිපදවීම පටන් ගත යුත්තේ මේ ආකාරයට ය (වේරහැර සිදු වුනේ මෙයයි). එමෙන්ම වාහන බලපත්‍ර සඳහා මෙම දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට පෙළඹවිය යුතුය. අපිට පටි තද කරගන්න කියා මුලින්ම වාහන ගෙන්වූ අපූරු ඇමතිවරුන්ට මෙම දේශීය වාහන ගැනීමට සැලැස්විය යුතුය. කෙසේ වුවද මේ සියලු දේ සඳහා අවශ්‍ය වන්නේ නව සවිඥාණික බවකි. සත්ගුරු කියන ආකාරයට වෙළඳ පොළට වුවමනා විදියට හැසිරෙනවා වෙනුවට (රනිල් මොඩලය) අපට අවශ්‍ය ආකාරයට වෙළඳ පොළ හැසිරවීම ට අප ඉටා ගත යුතුය.
සත්ගුරු ගේ මතවාදය වැදගත් වන තවත් මානයක් ඇත. එනම් නුතන පැවැත්මට විකල්පව ඇති තවත් පැවැත්මේ මානයක් ඔහු විසින් හදුන්වා දීමයි. ධනවාදය තුළ මිනිසා තම ශ්‍රමය විකිණිය යුතුම ය. මාක්ස් ගේ නුතන මිනිසා ද අවශ්‍යයෙන්ම ශ්‍රමය යන්න සමග බැඳී ඇත. එනම් 'වැඩ කිරීම' (මානසික හෝ කායික) සහ හුවමාරු වටිනාකම (මුදල් සහ වේතනය) තුළ හැර මිනිස් පැවැත්මට වෙනත් මානයක් එකතු කිරීමට මාක්ස් ට හැකිවුයේ නැත. නිෂ්පාදනයට සම්බන්ද වීම හැර වෙනත් පැවැත්මේ නිර්මාණශීලි මානයන් දැන ගැනීමට ඔහුට අවශ්‍ය වුවේ නැත. ඔහු ඉන්දියාව ගැන නොසැලකිලිමත් වන්නේ ඇතැම් විට ඒ නිසා විය හැකිය. නමුත් සත්ගුරු දක්වන්නේ නුතන මුල්‍ය වටිනාකම ගැන සිතන්නේ නැතිව යම් ගැහැණියක් තම නිවස සහ දරුවන් වෙනුවෙන් තම නිර්මාණ ශීලි පැවැත්ම කැප කරන්නේ නම් එය අපගේ ඊළඟ පරම්පරාව යහපත් වීමට බලපෑ හැකි කරුණක් බවයි. තමා කෝච්චියේ නිදා ගැනීමට පෙර හිස් සුදු කොට්ට උරයක පමණක් නිදා ගැනීම මදිකමක් ලෙස දුටු සත්ගුරු ගේ මව මිනිත්තු පහක් ඇතුලත මසා දුන් කොට්ට උරයේ ගිරවා ගේ රූපය තවමත් ඔහුගේ මනසේ රැව් දෙනබව සත්ගුරු එක්සත් ජාතීන්ගේ දේශනයකදී පවසයි. මව යනු එවන් නිර්මාණශීලි අවකාශයක් මිස අනිවාර්යයෙන් 'වැඩට' යා යුතු අයෙක් නොවේය යන්න ඔහුගේ මතයයි (ස්වජ්න්දතාවය නොවේ නම්). එනයින් අනාගත පරම්පරාව ගොඩ නැගීම වෙනුවෙන් තීරණාත්මක වන එවන් නිර්මාණශීලි ස්ත්‍රී අවකාශයක් හුදු 'බත් තම්බන අම්මා' කෙනෙකුට ඌනනය කිරීම අමානුෂික ක්‍රියාවකි. බොහෝ පිරිමි අද මහා සමාජය ඉදිරියේ කෙළින් හිටගෙන ඉන්නේ එවන් බත් අම්මලා නිසා බව පිරිමි ලෙස අප තේරුම් ගත යුතුය. ඉදින් නිෂ්පාදන නොවන අර්ථයකින් වඩාත් නිර්මාණශීලී වියහැකි එවන් ස්ත්‍රී අවකාශයක් අප බටහිර ඩෙරීඩා හමුවේ විසංයෝජනය කළ යුත්තේ ඇයිදැයි නොතේරේ. රෙද්ද හැට්ටය ඇදීම හෝ නො ඇඳීම ඇයගේ අයිතියක් වන අතර මවක් වීම යනු හෙළා දැකිය යුතු 'නිකම් සිටීමක්' නොවේ. නුතනත්වය තුල අප ගැහැණිය ඇද දමා ඇත්තේ අර්ථ ශුන්‍ය අවකාශයකට බව සත්ගුරු ප්‍රකාශ කරයි. ඇමෙරිකාවේ සමාජ ශාලාවක වයස හතලිහක් පමණ වූ ගැහැණු කෙනෙක් කව්රු හෝ පිරිමි කෙනෙක් අවුත් තමාට බීම වීදුරුවක් මිළ දී කොහේ හෝ නන්නාදුනනා තැනකට රැගෙන යන තුරු ඔහේ බලා සිටීම කුමන කාලකන්ණි කමක් දැයි ප්‍රශ්න කරන සද්ගුරු අප ගැහැණිය දමා ඇති ස්ථානය ගැන කම්පා වෙයි. හැත්තෑව දශකයේ චේ ගේ ටී ෂර්ට් ඇඳ ගෙන ඉන්දියාව පුරා මෝටර් සයිකලයෙන් රවුම් ගැසූ සත්ගුරු තම නැක්සලයිට් භාවිතාව වෙනුවට මනුෂ්‍ය සවිඥාණය වෙනස් කරනු වස් වෙහෙසෙන්නේ මිනිසා වෙනස් නොකර අන් කුමන දෙයක් වෙනස් කලත් පලක් නොවන බැවිණි. උදාහරණ වශයෙන් ගත්විට මනුෂ්‍ය බුද්ධිය සහ තර්ක ඥානය හොදින් පිහිටා ඇති සහ වෘත්තීය ආචාර ධර්ම හොදින් දන්නා වෛද්‍යවරියක් වැරදි ලෙස ධාවනය කළ තම රථයට මිනිසෙක් යට වී මිය ගිය විට එය යටපත් කර තමාගේ ම වෘත්තියේ ගෝත්‍රික සගයන් විසින් වැරදි වෛද්‍ය සහතික දෙන්නේ නම් එම මනුෂ්‍ය බුද්ධියෙන් ඇති වැඩය කුමක්ද? තවත් අයෙකුගේ ජීවිතයේ අයිතිය දරා සිටින අති උතුම් වෘත්තියක් මෙලෙස ගෝත්‍රිකකරණය කළෝ කවරහුද? තම පැවැත්ම වෙනුවෙන් මිනිසා ඕනෑම දහදුරා වැඩක් කරන්නේ ඇයි? තමා ලෙසම අනෙකා ද තමාගේ ම පැවැත්මේ දිගුවක් ලෙස තේරුම් ගත්තේ නම් හිට්ලර් කෙනෙක් බිහිවේද? තමා මෙන්ම තමා ඉදිරිපිට ඇති ගස යනු තමාගේම පෙණහැල්ලෙන් තුනෙන් දෙකක් දරා සිටින අයෙක් (දෙයක් නොව) යනුවෙන් තේරුම් ගන්නෙක් ගසක් කපා දමනු ඇත්ද? මේ මිනිස් සවිඥාණය පිළිබදව සද්ගුරු අසන ප්‍රශ්න වලින් කිහිපයක් පමණ ය.
ඉදින් ඉහත මනුෂ්‍ය ස්වභාවය නැවත අර්ථකතනය කළ යුතු යැයි කියවෙන අධ්‍යාත්මික සද්භාවයක් නුතන නොවන්නේ කෙසේද (පසු නුතන යැයි කියන්නේ කෙසේද)? ආගම යනු මිනිසා කුඩා කාලයේ අත්දකින ලද අසරණ බව පිළිබද මතකයෙන් ගැලවීමේ හුදු මනෝ විශ්ලේෂී උපක්‍රමයක් පමණක් ද? 'ශිෂ්ටාචාරය සහ එහි ආතතීන්' (Civilization and Its Discontents: 1930) හි කියවෙන පරිදි මිනිසා 'ශිෂ්ට වීම' යනු අපගේ පුර්වජයා නැත්නම් මුතුන් මිත්තන් ගෙන් සහ ස්වාභාව ධර්මයෙන් වෙන්වීමට කරන ලද ප්‍රචණ්ඩ උත්සාහයක් නම් සහ මිනිස් බුද්ධියේ උත්කෘෂ්ට බව විසින් ස්වභාව ධර්මය ද්විතීයික කිරීමේ උත්සාහයක් නම් ඉදින් ඉන්දීය වෛදික දර්ශනය සහ යෝගී සංස්කෘතිය යනු ස්වාභාව ධර්මය සමග නැවත ආත්මීය ලෙස සම්බන්ද වීම ලෙස ගත හැක (සෙන් දර්ශනයේ පසුබිම පවා මෙය වේ). මේ සලකුණු කලේ ඉස්මතු වෙමින් ඇති පෙරදිග සහ අපරදිග අතර මුලික ඛණ්ඩනයකි. නමුත් බටහිර ට අප කියන දෙය ඇසීමට දැන් සිදුව ඇත. බටහිර සද්භාවයට අනුව ස්වභාව ධර්මයෙන් (යථ) ආරක්ෂා වීම සහ මිනිසා නැවත ව්‍යුහගත වීම (පිටුව, 278) මිනිස් පැවැත්මේ කොන්දේසියක් විය (condition for survival). ඉතින් යටපත් කරන ලද දෙය උත්කෘෂ්ට වන්නේ යම් සේද ස්වභාව ධර්මය උත්කෘෂ්ට යමක් බවට පත්විය (දෙවියන්). උත්කෘෂ්ට බව යනු සහජ ශක්තීන් සහජ නොවන ශක්තියක් බවට පරිවර්තනය වීමය (ලිංගික ශක්තිය සරස්වතිය වෙත පර්වර්තන කර සංගීතය ලෙස නිෂ්පාදනය කිරීම). නමුත් යෝගී සංස්කෘතිය තුළ සිදුවන්නේ ස්වභාව ධර්මය තම පුද්ගල ආරක්ෂණය වෙනුවෙන් යටපත් කිරීම වෙනුවට ඒ සමග ඉස්මතු වීමයි (rising). බෞද්ධ දර්ශනයේ මෙන්ම සද්ගුරු ක්‍රමය තුළ ද කියවෙන්නේ මිනිස් බුද්ධිය හෙවත් සවිඥානික බව යනු ස්වභාව ධර්මය හෙවත් සමස්ත විශ්වය සමග සමපාත වුවකි (cosmic coexistence) යන්න ය. සවිඥාණය යනු ස්වභාව ධර්මයෙන් වියුක්ත වුවක් නොවේ. එනයින් එවන් තත්වයකදී දෙවියෙක් ගේ අවශ්‍යතාවය පැන නොනගී. පටිච්ච සමුප්පාදයක් (dependent rising) තුළ පමණක් ඔහු හෝ ඇය පැවතීමට පටන් ගනී. එවැන්නෙක් විශ්වීය අනන්‍යතාවක් ලබා ගනී. ඉදින් ඉහත කොස්මික අනන්‍යතාව තුළ මිනිසකුට දින සති මාස ගණනාවක් එක දිගට ඔහේ ආහාර නැතිව පවා සිටිය හැක (මනෝ විද්‍යාවේ මෙයට කියන නම කෝමා තත්වය යන්නය. එය නිවැරදි නොවේ). එවැන්නෙක් කිසිවක් නිෂ්පාදනය නොකරයි. අවම වශයෙන් අදහසක් පවා ස්මෘතියක් පවා නිෂ්පාදනය නොකරයි. ඒ අර්ථයෙන් ගත්විට (ශිෂ්ටාචාර) ෆ්‍රොයිඩ් ට සහ (නිෂ්පාදන) මාක්ස් යන දෙදෙනාට ම ඉහත තත්වය සංකල්ප කරගත හැකි වන්නේ නැත (එස්. බී. ඩි. ද සිල්වා ඒ ගැන කතා කර ඇත්ද යන්න නොදන්නෙමු). එනයින් නුතන ව්‍යාපෘතිය ට ඉහත යෝගී ශිෂ්ටාචාරය පිළිබද කිසිදු අදහසක් තිබුණේ නැත. එනම් එම සංස්කෘතිය පැවතුනේ නුතනත්වයට ඔබ්බෙනි. පැවැත්ම සඳහා අවශ්‍ය වන බුද්ධිය (survival intellect) ඉක්මවා යන මානසික මානයක් ගැන යෝගී සංස්කෘතිය අරමුණු කළේය. මිනිස් පැවැත්ම (survival) තුළ සිරගත වුන නුතනත්වය ට ඉහත ප්‍රපංචය වැදගත් වුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වුවේ තම විගලිත භාවයට විසදුමක් ලෙස ඉස්මතුව පැමිණි බටහිර බුද්ධාගම සහ වෙනත් ආගම් පමණි. එයින් ඇතිවුවේ තාවකාලික සහනයක් පමණක් වන අතර සමස්තයක් ලෙස සමුහ මානව ඝාතන සංවිධානය කරන හිට්ලර් වැනි චරිත බිහිවීමේ සමාජ සංස්කෘතික අවධානම මෙයින් පහවුවේ නැත. ආගමික තත්වයන් බිහිවීම වනාහි මානව ශිෂ්ටාචාරයේ ළදරු අවධියක් ලෙස අර්ථකතනය කල ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ට (ෆ්‍රොයිඩ් 1927) පවා මෙම දියුණු මානවවාදී මිනිසා නිර්මාණය කර ගැනීමට හැකි වුවේ නැත. ලෝක යුද්ධ දෙකකට පසු සහ සීතල යුද්ධයට පසු තත්වය පවා ලෝකය මෙම මානව විරෝධී ඉස්මතු වීම් වලින් ගහන කලාපයක් වුවා විනා එකිනෙකාට ආදරය කරන ලෝකයක් වුවේ නැත. ලියෝතා ආරම්භ කල දැනුම තාක්ෂණිකකරණය වීම සහ මහා ආඛ්‍යනයන්ගේ අවසානය පිළිබද කතිකාව මෙන්ම ඩැනියෙල් බෙල් ගේ පශ්චාත් කාර්මික සමාජ සහ දැනුම පාරිභෝගිකකරණය වීම පිළිබද තත්වය හෝ සිග්මන් බවුමන් ගේ ද්‍රවශීල නුතනත්වය පිළිබද කතිකාව හෝ ඇන්තනි ගිඩන්ස් ගේ පරාවර්තිත නුතනත්වය හෝ අල්රිච් බෙක් ගේ ද්විත්ව නුතනත්වය පිළිබද උපන්‍යාසය හෝ වේවා ඉහත පුද්ගල දැනුමේ සීමාව සහ එම සීමාව විසින් ඉස්මතු කරන ශිෂ්ටාචාර නපුර පිළිබද තත්වයට කුමක් කළ යුතුද යන්න නොපවසයි. මනෝ විශ්ලේෂණය මේ දක්වා ගොස් ඇති උපරිම දුර නම් ඉහත ශිෂ්ටාචාර නපුර 'විනෝදය' නම් අවිඥාණික සාධකය සමග සම්බන්ද කිරීමයි. එය පැවති අන් සියලු කතිකාවන්ට වඩා යථාර්තවාදී එකක් වන නමුදු අවිඥාණය කුමක් වුවත් අප සවිඥාණික ලෝකයේ කුමක් කළ යුතු ද යන අධ්‍යාත්මික ප්‍රශ්නයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද යන්න තවමත් නොවිසඳි ඇති ගැටළුවකි. මෙම ප්‍රශ්නය පවා ශිෂ්ටත්වයේ ළදරු අවස්ථාවක් ලෙස ෆ්‍රොයිඩ් වර්ගීකරණය කරන්නේ දැයි නොදන්නා නමුත් නුතනත්වයේ ක්ෂිතියෙන් මිදෙනු වස් නව සවිඥානික බවක් නුතනත්වය හෝ පශ්චාත් නුතනත්වය විසින් ප්‍රායෝගික ලෙස ඉස්මතු කරනු ලබන්නේ නැත. එනයින් මිනිස් ස්වභාවය පිළිබද කරුණේදී අප තවමත් සිටින්නේ නුතනත්වයේ විරුද්ධාභාෂය (හේතුව ඔස්සේ ම සිදුවන අතාර්කික මිණී මැරීම) සහ පශ්චාත් නුතනත්වය (අත්වල ලේ තැවරුණ මහා ආඛ්‍යානයන්ට එරෙහි ප්‍රතිචාරාත්මක වෙන්වීම) අතර සිරගත තත්වයකය යන්න සත්‍ය නම් එම සිරගත භාවයෙන් මිදීමේ යතුර ඇත්තේ නුතනත්වයෙන් බහිස්කරණය කරන ලද පෙරදිග විය හැකිය යන්න සත්‍යයක් විය හැකි නොවේද?
අසු අට අසූ නමය ගැන සදහන් කලත් අප අත්දුටු මුල්ලි වයික්කාල් ක්ෂිතිය මෙම ලියවිල්ල තුළ සඳහන් කලේ නැත. එසේ සඳහන් නොකලා වුවත් එය අපගේ ස්මෘතියෙන් පහව යන්නේ නැත. කර්මය යනු ස්මෘතිය යි (සද්ගුරු).
ආශ්‍රිත ග්‍රන්ථ:
Freud, S. (1927). The Future of an Illusion. New York. Norton and Company.
Freud, S. (1930). Civilization and Its Discontents. USA. Indie Books.
Kalupahana, D. (1976). Buddhist Philosophy: A Historical Analysis. Hawaii. University of Hawaii Press.
Sadhguru (2009). Himalayan Lust. Mumbai. Jaico Publishing House.
Sadhguru (2013). Enlightenment: What It Is? Singanallur. Isha Foundation.
Thurschwell, P. (2000). Sigmund Freud (Routledge Critical Thinkers). USA. Routledge.
සැබැ නුතනත්වය සහ විසංයෝජනයේ ව්‍යාජ නිර්මිතය පිලිබද කාලින වැදලත් ලිපියක්
ReplyDelete