Thursday, January 26, 2017

රන්ජන් නම් වූ 'උත්කෘෂ්ඨ වස්තුව'

මාත්‍ය රන්ජන් රාමනායක මහතා නැවතත් රාජ්‍ය නිලධාරීන් යැයි කියනු ලබන පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන. සාමාන්‍යයෙන් යහපාලන ආණ්ඩුවේ ශරීර දේශපාලනයේ යෙදෙන දෙදෙනාගෙන් කෙනෙක් තමයි රන්ජන් නියෝජ්‍ය ඇමති. අනෙත් කෙනා පාලිත තෙවරප්පෙරුම. එක්කෙනෙක් නැත්නම් අනෙකා හැටියට මේ දෙදෙනා මාධ්‍ය වල පුවත් මවනවා.  මිනිස්සුත් මේ දෙදෙනාව අල්ලගෙන තමන්ගේ ප්‍රශ්න ඉස්සරහ ට ගේන්න ආසයි. මොකද ප්‍රශ්නේ විසදුනේ නැතත් 'මොනවා හරි දෙයක්' විය හැකි නිසා (anything can happen). මේ 'මොනවා හරි කියන දෙයට' ඕනිම ආපතික දෙයක් (anything contingent) ඔට්ටුයි. ප්‍රශ්නේ විසදන්න බැරි වුනත් අඩු ගන්නේ බල්ටියක් හරි ගහල මිනිස්සුන්ට ආතල් එකක් මේ දෙන්නා දෙනවා. දේශපාලන විචාරකයෝ එතරම් අවධානයක් නොදුන්නත් මේ දෙදෙනා අඩු තරමින් මිනිස්සුන්ට කන්න තිබුණ වී ටිකට කෙලිය දේශපාලුවන්ට වඩා ගෞරවනීයයි කියල හිතෙනවා. හැමෝම කියන විදියට ගත්තහම සාමාන්‍ය මිනිස්සු මේ දෙදෙනාට කැමතියි. මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කියන්න ඇත්තට ම කතා කරන්නේ බුර්ෂුවා පඩංගු මියගිය දේශපාලඥයින්ට නොවීම තුල ම අඩුම තරමින් තමන්ගේ ප්‍රශ්නය ට අවශ්‍ය අවධානය (attention) ලබා ගැනීමටවත් ඔවුන්ට රන්ජන් ලා, පාලිත ල අවශ්‍ය කරනවා.  මිනිස්සුන්ගේ අවධානය යොමු කර ගැනීමට සමත් වීම රැඩිකල් ජීව දේශපාලනයේ (radical bio-politics) අත්‍යවශ්‍ය ලක්ෂණයක්. මොකද රන්ජන්ගේ මාමා කෙනෙකු වූ විජය කුමාරනතුංග ලංකාවේ රැඩිකල් වමේ දේශපාලනයට දුන්නේ තම ශරීරය. රිදී තිරයේ පමණක් නොවෙයි තමන්ට පන්ති ලක්ෂණ වලින් ලංවෙන්න බැරි බණ්ඩාරනායක පවුලේ දියණිකගේ අවධානය දිනා ගන්න, ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අවදානය සහ විශ්වාසය  දිනා ගන්න, නව වමක් පිළිබද බලාපොරොත්තු ගොඩ නගන්න, එනිසා ම ජ. වි. පෙ. ඉරිසියාව ට පාත්‍ර වීමටත් බලපෑවේ ඉහත ආකර්ශනීය ජීව දේශපාලනය මයි.  ඔහුගේ ශරීරය ලංකාව ඉල්ලා සිටිය මොහොතක් ඒක. ඔහු ඒක නිර්ලෝභීව දුන්නා. මොකද විජය දැනගෙන හිටියා එහෙම නැතුව ආපතික දේවල් කරන්න බැහැ කියල සහ යම් 'ඓතිහාසික හිරවිමකින්' (විශේෂයෙන් ජාතිවාදය දෙසට ඇදී ගිය වමේ) ගොඩ එන්න බැහැ කියල... ඒ අර්ථයෙන් විජය කියන්නේ අසුව දශකයේ රැඩිකල් වමේ උත්කෘෂ්ට වස්තුව (sublime object of 80's radical left) විය හැකි නේද?  
  
මේ හැම දෙනාගේම ජීව දේශපාලනයේ ලස්සන තුල ම තියෙන දෙයක් තමයි එම ආකර්ශනීය බව දරා සිටින ලද නැත්නම් නඩත්තු කරන ලද අඳුරු අශ්ශීල පෞද්ගලික අන්තර්ගතයක් (obscene private content) තියෙනවා කියන එක. විජය දිහා බලපුවම, එතකොට ඔහුගේ සිනමා ජීවිතය ගැන නිරීක්ෂණය කලොත් ඒක හොඳින් පෙනෙන්න තිබුන. එතකොට අර මම කියන උත්කෘෂ්ට බව කාන්ටියානු ලස්සන සමඟ ගමන් ගන්නවාද කියන ප්‍රශ්නය දැන් මතුවෙන්න පුළුවන්. වෙනත් විදියකට කිව්වොත් ශරීරයට දෙන අප්‍රමාණ වේදනාව තුළන් පමණක් ජනතාව ට තම ශරීරය හරහා ප්‍රකාශ වීමට ඉඩ ලබා දෙන පාලිත වගේ චරිත 'කාන්ටියානු යහපතෙ හි උත්කෘෂ්ට සංකේත' (Kantian symbols of sublime Good) නොවෙයි.  එසේනම් මේ වර්ගීකරණ අපිට වෙන්කර ගන්න වෙන්නේ කොහොමද? ජිජැක් The Sublime Object of Ideology ග්‍රන්ථයේ සඳහන් කරන විදියට ගත්තම උත්කෘෂ්ට වස්තුව විසින් පරිකල්පනය සහ වේදනාව යන දෙකම එකවිට දරා සිටිනවා. ඒ අර්ථයෙන් විජය, රන්ජන් සහ විශේෂයෙන් පාලිත මෙම වේදනා වර්ගීකරණයට අයිති වෙනවා. චේ කියන්නේ මෙයට හොඳම උදාහරණයක්. බොහෝ වමේ නායකයින් පවා ගෝලීය වශයෙන් මේ කුලකයට අයිති වෙනවා (ඒකයි ලංකාවේ වම්මු එකම කමිසය ජිවිත කාලය පුරාම අඳින්නේ). ඉතින් මේ උත්කෘෂ්ට වස්තුව කාන්ටියානු ආකාරයකට ඛණ්ඩනය වෙද්දී තව දුරටත් මේක මේ ඉහත ජීව දේශපාලනයෙන් වෙනස් වෙන්වා. ඒ තමයි එතනට පරිකල්පනය එන එක. ඒ අනුව මෙම දෙවන කුලකය අයත් වෙන්නේ වේදනාවේ පරිකල්පනය කියන වර්ගීකරණයට. අනන්ත වූ වේදනාව තුලින් තමයි ආත්මය උත්කෘෂ්ට වෙන්නේ කියන එක අපිට කියල දුන්නේ යේසුස් වහන්සේ වගේම දුෂ්කර ක්‍රියා කරපු බුදුන් වහන්සේ. ඒ වගේම මට සමීප උදාහරනයක් තුළින් පෙන්නුවොත් ගොඩක් අමාරුවෙන් අදත් සමාජය දැනුවත් කරන්න අප්‍රමාණ වෙහෙසක් ගන්නා දීප්ති සහෝදරයා. මේ කියන්නේ විජේවීර සහෝදරයා වගේ අය අමතක කරනවා කියන එක නෙවෙයි. නමුත් දීප්ති වගේ කෙනෙක්ගේ කැපකිරීම සහ මහන්සිය තේරුම් ගත යුත්තේ වෙනම උත්කෘෂ්ට තලයක. මන්ද ලංකාවේ දීප්ති විතරයි වේදනාව සහ පරිකල්පනය එකට විදපු (හෝ විදවපු) එකම එක්කෙනා. මෙම වේදනාවට යමක් තේරුම් ගැනීම සහ කියාදීම යන දෙකම අයිතියි.  තව ආසියානු චරිතයක් තියෙනවා මෙම බුද්ධ වේදනා ආකෘතියට සමීප. ඒ තමයි මහත්මා ගාන්ධි. ඔවුන් කෙලින්ම වේදනාව ට ශරීරය නිර්ලෝභීව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි වේදනාවෙන් එලියට එන හැටිත් එම චරිත අනෙක් අයට කියල දුන්න (අර මුලින් කියන රන්ජන් විජය වගේ අයට සාපේක්ෂව). සත්‍ය උත්කෘෂ්ට බව කියන්නේ එම අමාරු 'කොගිටෝ' සහ 'ලිබිඩෝ' කාර්යයන් දෙකම ඉටු කරන එකට... ලෙනින් සහ මාවෝ අයිති වෙන්නේ මේ කොටසට. ඒකයි අපි කියන්නේ විමුක්ති දේශපාලනය ලේසි නෑ කියල... 

මේ අනුව වේදනාව ස්ථාන ගත වෙන්නේ ෆ්‍රොයිඩියානු තෘප්ත මුලධර්මයට ඔබ්බෙන්. ඒ කියන්නේ නායකත්වයේ විෂය වේදනාවෙන්ම සතුට ලබනවා කියන එක. ඒකයි මැන්ඩෙලා වගේ නායකයෝ හිරේ ගියා කියල අඬන්නේ නැත්තේ. ලැකානියානු අර්ථයෙන් මිනිසා වේදනාව ට ගැඹුරින් ආශා කරනවා. එයට එක් හේතුවක් ලෙස ආශාව හරහා මිනිසා නිර්මාණය වීම නම් කරුණේදී වේදනාව මිනිස් විෂයට කරන බලපෑම දක්වන්න පුළුවන්. උදාහරණ ලෙස බුදුන් වහන්සේ නම් ආත්මය නිර්මාණය වන්නේ ම සාරා සංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීම සහ එම පෙරුම් පිරිම තුළ පාරමිතා වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ දන්දීම යන වේදනා අභිනයන් ඔස්සේ. බුදුන් වහන්සේ දුකින් මිදීම් අප වෙනුවෙන් දේශනා කලත් ඇත්ත වශයෙන් මිනිස් ආත්මය නිර්මාණය වන්නේ වේදනාව හරහා වීම බුදුදහමේ විරුද්ධාභාෂයක්. අපි බුදුන් වඳින කොටම; යේසුස් වහන්සේ අබියස සිටින විට ම හිතට එන දෙයක් තමයි ඒ අය විදපු වේදනාව. අපි ඒ අය ඉදිරියේ දන නමන්නේ ඒ වේදනාව වෙනුවෙන් කරන වන්දියක් හැටියට.  බුදුන් වහන්සේ ගේ 'බුද්ධ අවබෝධය' (මානසික) පිණිස එතුමා ට කැපකරන්න වෙන්නේ ශරීරය, සහ එම කැපකිරීමට අමතරව බුද්ධ ශරීරය නිරාවරණය කරන අතිමහත්, අසංඛ්‍ය වේදනාව ('බෞද්ධ ප්‍රමෝදයේ අතිරික්තය' කියලත් කියන්න පුළුවන් ). වෙනත් ප්‍රපංචයක උදාහණයක් ගෙනාවොත් රොක් සංගීතය තුළ ඉන්න අය වුනත් විවිධ මත්ද්‍රව්‍ය ඔස්සේ ආත්මගත කරගන්න හදන්නේ ශිෂ්ටාචාරය සතු මේ වේදනා අභිනය (gesture of pain) නේද? රන්ජන් ට එච්චර තේරුනේ නැති වුනත් මම අහන්නේ විමුක්ති දේශපාලනය තුළ ඉන්න කෙනෙකුටත් මේ වගේ වේදනා දුරක් යන්න වෙනවා නේද කියන එක. එවිට නේද අර 'උත්කෘෂ්ට වස්තුව' බිහිවෙන්නේ? ඉතින් රන්ජන් මේක පහසු නෑ නේද මල පැනල ප්‍රාදේශීය ලේකම්ට බනිනවා වගේ? උදේ නැගිටලා බලද්දී පැවති ලෝකයටත් වඩා නරක ලෝකයක් නේද තියෙන්නේ රන්ජන්?

කොහොම වුනත් රන්ජන් කරන වැඩේ විජයටත් වඩා දෘෂ්ටිවාදී කියලයි මම කියන්නේ. මොකද යහපාලනයේ ඇත්ත අපොහොසත් බව මොවුන් දෙදෙනා (රන්ජන් පාලිත යුගලය)  යම් දුරකට අපට අමතක කරනවා. මොනව වුනත් බලන්න රන්ජන් වගේ කෙනෙක් තාම ෆයිට් එකක් දෙනවනේ මේක හරි පාරේ යවන්න. හොරු අල්ලන්න. දුෂිතයෝ එලවන්න. මින්ස්සුන්ගේ ප්‍රශ්න වලට මොනවා වුනත් ඒ අය ඇවිල්ල පෙනී සිටිනවනේ කියන එක.  රන්ජන් සහ පාලිත කරන්නේ ජනතා ඉල්ලීම (mass demand) කියන එකට තම ශරීරය හරහා 'ඔන්න ඔහේ' යන්න දීල දාන එක. බැලු බැල්මට රැඩිකල් වගේ තමයි පෙන්නේ. නමුත් සමස්තය තියෙන්නේ දෘෂ්ටිමය බවක් ඇතුලේ. ඔහු නොකරන දෙය තමයි මිනිසා වෙනස් කරන්න උත්සහ කරන එක. ඉහත කිවූ වේදනාවේ පරිකල්පනය දෙසට යොමු නොවෙන එක. යම් සාර්වත්‍රික අරමුණකට යන්න මිනිසා පෙළ නොගස්සන එක. මනෝරාජිකයක් (utopia) අත්පත් කරගන්න මිනිසුන්ට කියල නොදෙන එක. කල් යල් බලන්න උගන්වන්නේ නැති එක. කුසීත එකතැන පල්වෙන රජයේ සේවකයෝ එක්ක හැප්පෙන එක හොඳ දෙයක් වුනත් ඒක රැඩිකල් වැඩක් නම් නෙවෙයි. නිකම් පාරේ පොලිස් කාරයෝ එක්ක හැප්පෙන ගෑණු වගේ කිසි දෙයක් එකෙන් වෙන්නේ නෑ. දෙන්නම නිස්සද්ද වෙලා නිකම් ඉන්නවා අන්තිමට. පරණ ක්‍රමය එහෙම ම තියෙනවා හෙට ඉර පායන කොටත්.  නමුත් රන්ජන් ඔයාගේ මාමා කරන්න හැදුවේ ඊට ටිකක් අමාරු වැඩක්. ඒ කියන්නේ ක්‍රමය වෙනස් කරන උත්සාහයක් ඔහුට තිබුණා ඒ ගැන මොන විවේචන තිබුණත්... උත්කෘෂ්ට වස්තුවක් හෛඩගරියානු අර්ථයකින් නිපදවන්න නම් ජිජැක් කියන විදියට රන්ජන් කල යුත්තේ විජය කරපු දේ තියෙන සීමාවන් හඳුනාගෙන, එහි නොහැකියාව හඳුනාගෙන ඔහු කරපු ක්‍රියාවම සාර්ථකත්වයේ දිශාවට නැවත යොමුකරන එක. ලෙනින්ව නැවත පුනර්වාචි කරන එක (repeating Lenin). පරාජයේ සාර්ථකත්වය (success in failure) දකින කෙනා තමයි රන්ජන් ඇත්ත උත්කෘෂ්ට නායකයා වෙන්නේ. ඉහත The Sublime Object of Ideology කියන ජනප්‍රිය පොතේ 43 පිටුවේ ජිජැක් කියනවා එවන් නායකයෙන් දකිනවා 'පරිකල්පනයේ තිබෙන වේදනාත්මක අසාර්ථක බව' (painful failure in imagination) කියල. තමන් කරන්න පරිකල්පනය කරපු දෙයකට කෙළ වුනාම තියෙන සාර්වත්‍රික වේදනාව දන්නේ සහ දරාගත හැක්කේ ඇත්ත නායකයින්ට විතරයි. පටන් ගන්න රන්ජන් පුලුවන්නම් ඒ අමාරු වැඩේ!

මතකද රන්ජන් විජය තමන්ගේ දේශපාලන ජිවිතේ අන්තිම යුගයේ ඉල්ලා සිටියේ මේ වගේ දෙයක්, 

"දඟගෙයි දඬුවම් සියුමැළි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්" 


     

No comments:

Post a Comment