Thursday, January 19, 2017

යහපාලකයිනි, සමරිසි අයිතීන් සුරකිනු!

ලාංකිකයන් වශයෙන් අප ශිෂ්ඨ සම්පන්න ජාතියක් නැත්නම් ප්‍රබුද්ධ මනුෂ්‍යයින් පිරිසක් බව පෙන්වීමට නැවතත් අවස්තාවක් උදාවී ඇත. ඇත්ත වශයෙන් සිදුවිය යුත්තේ අවස්ථාව එලබීමට පෙරම එය විදහා දැක්වීමය. එතරම් මානසික පොහොසත් කමක් නැති අප බටහිර විසින් කවදා හෝ කූද්දන තෙක් බලා සිටිමු. එය පශ්චාත් යටත්විජිත වහල් මානසිකත්වයේ ගති ලක්ෂණයකි. සමලිංගික සම්භන්දතා දඩුවම් ලැබිය හැකි වරදක් නොවන බව හෝ ඒවා නිත්‍යානුකුල මනුෂ්‍ය සම්භන්දතා බවට පිළිගැනීමට බටහිර විසින් අපට මුල්‍ය ආධාර දීමේ කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇත. විය යුත්තේ බටහිර ඔවුන් පෙන්වා දීමටත් කලින් අප 'දේවල් වල' ඇති මානුෂික බව ඒත්තු ගැනීමයි. ඒවා අපගේ නෛතික රාමුවට ඇතුලත් කර ගැනීමයි. නමුත් අපගේ දුප්පත්කම තුල සිදු කෙරෙන මුල්‍ය ආධාර සිඟා කෑම නිසා දැන් සිදුවෙමින් පවතින්නේ බටහිර විසින් අපගේ ආත්මීය ඌන සංවර්දනය අපට ම පෙන්වා දීමයි. එසේ වුවාට පසුව ද අන්ත ජාතිවාදයේ ගීලි සිටි පාටලී චම්පික නැමති කාලකන්ණි යහපාලන ඇමතිවරයකු ඇතුළු අන්ත පසුගාමී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නඩයක් එයට විරුද්ධ වී ඇත. පසුව පැවති  අදහස් දැක්වීමකදී යන්තම් හෝ වාමාංශික උරුමය බේරා දී ඇත්තේ වික්‍රමබාහු සහෝදරයා විසිනි.  අවම වශයෙන් ඔහුගේ ස්ථාවරය වට වංගු ගසන්නේ නැතිව පැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇත. මේ රටේ තවමත් ප්‍රබුද්ධ කොටස් වාමාංශික දේශපාලනය තුල සිටින බව ඔහුගේ අදහස් දැක්වීම මගින් අපට පෙනීයයි. ජාතිවාදය දෙස බලා අවස්තාවාදි වනවාට අමතරව ජ. වි. පෙ. ට මනුෂ්‍යත්වය ගැන මතයක් කවදාවත් තිබුනේ නැත. පෙරටුගාමින්ට වෙන වැඩ ඇත. අවසානයේ එම සටන් පාඨ පවා තමන්ගේ ඇඟේ තවරා ගන්නේ ඉරාජ් වැනි තක්කඩියන් ය. උසස්  ප්‍රබුද්ධ පාලනයක් වෙනුවෙන් යහපාලන ලොක්කන් හඬගෑවේ සමලිංගිකත්වය වැනි විකල්පීය මනෝ ලිංගික අවස්තා පාලනය කිරීමටද? අපේක්ෂා භංග එම සමාජ කොටස් ද ජාතිවාදය-අන්තවාදය  දෙසට තල්ලු කිරීමටද?

අමන බුර්ෂුවා පාලකයිනි, සියළු සමරිසි සහ පාර-ලිංගික සබදතා වහා පිලිගනිව්!



The Danish Girl (2015)  සමලිංගිකයින් මෙන්ම සංක්‍රාන්ති ලිංගිකත්වය සහිත වුවන්ද තම ආශාව හඹා යන්නේ විෂම ලිංගිකයින් සේමය. එකම වෙනස නම් ආශා වස්තුව යි (object desire). මේ සඳහා සම්භාව්‍ය උදාහරණය 2015 වසරේ තිරගත වූ The Danish Girl නම් සිනමා පටය විසින් සපයයි.   එහිදී ලිලි එලබේ (Lili Elbe) නම් මුල්ම ලිංගික වෙනස්කම් ක්‍රියාවට සායනික සහ ශල්‍යමය  (sex reassignment surgery) ලෙස මුහුණදුන් සංක්‍රාන්ති ලිංගිකයා කෙතරම් තම නව අනන්‍යතාවයට ආශා කරනවද යන්න මැනවින් විදහා දක්වයි. ඇය තම නව අනන්‍යතාව වැළඳ ගන්නේ මහත් භක්තියෙන් වන අතර එම භක්තිමත් බව වෙනුවෙන් ඇය මරණය දක්වාම ගමන් කරයි.  කිසිවිටක ඇය ඒ වෙනුවෙන් පසුබාන්නේ නැත. කිසිවෙක් වෙනුවෙන් පොරොත්තු වන්නේද නැත. ඒ අර්ථයෙන් එම ආදරය Romeo and Juliet ගෙන් වෙනස්  වන්නේ කෙසේද?  වික්‍රමබාහු සහෝදරයා මතු කරන මනුෂ්‍යත්වය පිළිබද කරුණ මෙතනදී ඉතා වැදගත් බව පෙනීයයි. ලාංකික සන්දර්භයකදී මනුෂ්‍යත්වය තුල එවන් තහනමක් ක්‍රියාත්මක නොකරන බව අප ලෝකයට පෙන්වා දිය යුතුය. අප ඩොනල්ඩ් ට්‍රුම්ප් මාදිලියේ ලිබරල්වාදීන් නොවන බව ලෝකයට ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්විය යුතුය. චම්පිකලා ට ඔලුව නොනැමිය යුතුය.   

No comments:

Post a Comment