Tuesday, February 21, 2017

සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවුන පේරාදෙණි නවක සිසුන්ට වධ දීලා...

ලංකා ඊ නිව්ස් විසින් පළකර ඇති පහත ප්‍රවුර්තිය මගින් ජිජැක් සඳහන් කරන 'නව මෘගකරණය' (new brutalization) නම් පසු ධනවාදී තත්වය පිළිබද අදහසක් ලබාදේ. පොදු අවකාශය අර්බුදයට යවමින් ඩිජිටල් අවකාශය තුළ අපට නිතර පෙනෙන මෙම 'නව වහල්භාවය' (new servitude) තුළ පීඩා කිරීම (torture) සහ වේදනාවට (pain) භාජනය වීම මානසික තත්වයක් ලෙස ලොව පුරා මුලධාර්මික දේශපාලනය තුළ ඉස්මතුව ඇත.  මෙය ශිෂ්‍ය දේශපාලනය නොවේ. මේ අප අත්දුටු 1988-89 කෙමෙර්රූජ් පාලනය මෘග ලෙස නැවත ඉස්මතු වීමකි. මේ 'නව මෘගකරණීය සමාජානුයෝජනය' (brutal socialization) සඳහා අන්තරය යනුවෙන් හඳුන්වන ශිෂ්‍ය පිරිස සෘජුවම මැදිහත් වන අතර අන්තරය පාලනය වන්නේ පෙරටුගාමී සමාජවාදීන් ගේ අනුදැනුම ඇතිවය. විශ්ව විද්‍යාල වල ගුරුවරුන් බහුතරය මේ තත්වය ගැන ඉන්නේ දැඩි කලකිරීමෙන් වන අතර ඉහත තත්වය නිසා අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන් බිඳවැටී ඇත. ජිජැක් සඳහන් කරන 'අවම මතුපිට සදාචාරය' (appearance) හෝ මෙම සිසුන් ආරක්ෂා කරන්නේ නැත.  කණගාටුවට කරුණ නම් පෙරටුගාමීන් සහ අන්තරය එකතුව නිර්මාණය කරන දේශපාලන වේදිකාවල ට යම් ප්‍රබුද්ධ පසුබිමක් ඇති දේශපාලන සංවිධාන වල නියෝජිතයින් සහභාගී වීමයි. එම සහභාගී වීම මගින් ඔවුන්ගේ අරගලය නෛතිකරණය කිරීමයි.  ජ. වී. පෙ. විසින් 'ද්‍රෝහීන්' ලෙස අතීතයේ (1988-89) කළ නම්කිරීමට අප මේ වර්තමානයේ බියවන්නේ ඇයි? ප්‍රබුද්ධ බව තුළ ද්‍රෝහීන් වුවත් ඇති වරද කුමක්ද? අප දෙස අතීතය බලා සිටින්නේ නැත!  
-----------------------------------

සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට සහභාගී නොවුනැයි පේරාදෙනිය සරසවියේ නවක සිසුන් 8 දෙනෙකු බලහත්කාරයෙන් සරසවි භූමියෙන් පැහැරගෙන තාවකාලික කුලී නිවසකට ගෙන ගොස් රාත්‍රියක් පුරා වධ දෙමින් සිටියදී පේරාදෙණිය පොලිසිය කරන ලද වැටලීමකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වධකයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
ඒ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය දුන් නියෝගයක් අනුව ය.
වධයට ලක්වූ සිසුන් සිසුන් 8 දෙනා පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ  සිසුන් වන අතර  වධ දුන් වධක සිසුන් දෙවැනි වසරේ සිසුන් යැයි කියන නමුත් පිට පුද්ගලයන් ද ඒ අතර වෙතැයි පොලිසිය සැක කරන බැවින් ඔවුන් නිසැකවම සරසවි සිසුන් දැයි දැන ගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් සහතිකයක් ඉල්ලා තිබේ. 
සයිටම් විරෝධතා වලට අඩුවෙන්ම සහභාගී ඇත්තේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් වන අතර අන්තරේ වධකයන් සිසුන් 20 ක් පමණ දෙනා සොයමින් සිට ඇත.  
මෙම සිසුන් පැහැරගෙන ගොස් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පේරාදෙණිය පොලිසිය වැටලීම කරද්දී පාන්දර 2 ට පමණ වන අතර ඒ වන විටත් අන්තරේ ජ්‍යෙෂ්ඨයෝ නවක සිසුන් 8 දෙනා වධ බන්ධනයට ලක් කරමින් සිටියහ.
පේරාදෙණිය හිඳගල මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම නිවස කුලියට ගෙන ඇත්තේ ද මාස දෙකකට පමණි. සරසවි සිසුන් නිවසක් කුලියට ගන්නවා නම් අඩුම වශයෙන් වසරක කාලයකට කුලියට ගන්නා බැවින් මෙම ස්ථානය  සරසවි සිසුන්ගේ නවාතැනක් විය නොහැකි යයිද මෙය අන්තරේ නීති විරෝධී මාෆියා ක්‍රියා සඳහාම තාවකාලිකව කුලියට ගත් ස්ථානයක් බව පෙනී යන්නේ යයි පොලිසිය පවසයි.  
වධයට ලක්වූ සිසුන්ට අමානුෂික ලෙස පහර දී තිබෙන අතර ඔවුන් රෝහල් ගත කර ඇත. දෙදෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. 
මෙය නවක වධ සිද්ධියක් යැයි කියා යටපත් කිරීමට උත්සාහ කළද සරසවි ආරම්භ කර මේ වන විට මාස 2 ක් පමණ වී ඇති බැවින් මෙය නවක වධය දීමක් නොව පළිගැනීමක් බව පෙනී යන නමුත් වධයට ලක්වූ සිසුන් බියට ඒ බව පොලිසියට පවසා නැතැයි පොලිසිය කියයි. 
මෙදිනම සිසුවියන් දෙදෙනෙකු ද වධයට ලක් කර ඇති අතර ඔවුන් දණහිසෙන් ඇවිද්දවීම හේතුවෙන් දණහිස් තුවාල වී තිබේ. එම සිසුවියන් හෝ දෙමාපියන් හෝ බියට පොලිසියට පැමිණිලි නොකරති.
මේ අතර උද්ඝෝෂන වලදී අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් වන අන්තරේ සිසුන් වෙනුවෙන් රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ගෙවන බවත්, සිසුවියන්ට වැඩියෙන් ගෙවන බවත් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අන්තරේ කැඳවුම්කරුවාට එක් රිමාන්ඩ් වීමක් සඳහා රුපියල් ලක්ෂ 10 ක් ගෙවා තිබෙන බවත් ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කෙළේය.

Lankaenews

No comments:

Post a Comment