Sunday, August 21, 2016

අතීතකාමය වෙනුවට නිර්-ඓතිහාසිකකරණය: ටැරන්ටිනෝගේ Inglourious Basterds කියවීමක්

ෂෙල් සිල්වෙර්ස්ටින් (Shel Silverstein) නම් අතිශය ජනප්‍රිය ඇමෙරිකානු කාටුන් ශිල්පියාගේ Light in the Attic (1981) නම් කාටුන් කවි එකතුවේ එන කාටූනයකින් උපුටා ගන්නා ලදී . 
          
'යමක් විසින් උවමනාවට වඩා  ක්ෂිතියක් ජනනය කරයි හෝ ප්‍රචණ්ඩ වේ නම් එය අපගේ යථාර්තයේ ඛණ්ඩාංක සොලවනු ලබයි. එමනිසා අප එම ක්ෂිතිමය යථාර්තය ප්‍රබන්ධ කළ යුතු වෙමු' (ස්ලෙවොයි ජිජැක්- The Pervert's Guide to Cinema).  

පසුගිය කාලයේ ලාංකික සිනමාව තුල සිදු වූ එක් වැදගත් නැඹුරුවක් වුයේ ගෝත්‍රික වැඩවසම් රජුන්ගේ ඉතිහාසය උත්කර්ෂයට නැගීමයි.  එම ඓතිහාසිකමය බව තුලින් අද දවස නම් පසු-ධනවාදී පියා මියගිය ලෝකයේ සැඟවුනු පීතෘ වරයෙක් (වැඩවසම් රජෙක්) සොයා ගිය සිනමාකරුවන්ට එම පීතෘ රූපය මැදමුලනෙන් සොයා ගැනීමට හැකිවිය (සම්ප්‍රදාය සහ පසු නුතන ලෝකය අතර රෝගී සම්භන්දය).  එම උත්කර්ෂික පීතෘවරයා පෙරළා අදාල සිනමාකරුවන් විසින් සහ තවත් බොහෝ අය විසින් ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට දැන් කටයුතු කරන සමයයි මේ.  කෙසේ වුවද නුතනත්වය තුල විද්‍යාවේ හා හේතුවේ (reason) ආධිපත්‍යයන්ට එරෙහිව කේන්ද්‍රයේ මෙන්ම පරිධියේ රාජ්‍යයන් වලත් මතු වන එක් ප්‍රධානතම ප්‍රපංචයක් ලෙස පුර්ව-නුතන, ශුද්ධ, දේශීය ඥාණය හා ඉතිහාසය බල සම්බන්දයක් ලෙස නැවත සකස්විම මතුව එමින් තිබේ. මෙයට ආගමික මුහුණුවරක්ද එකතු වෙමින් අද දවසේ මුලධර්මාදය ලෙස අප ඉදිරියේ ඇත.  ඉක්මගිය මහින්ද රාජපක්ෂ ජනප්‍රිය දේශපාලනය යනු මෙම දෘෂ්ඨිමය ලෙස නුතනත්ව විරෝධී නිර්-හේතුක මුලධාර්මික අතීතකාමී ආගමනයේ කූටප්‍රාප්ත්‍රිය වේ.  90 දශකයේ නලින් ද සිල්වා හා අමරසේකර දේශපාලනය විසින් ලාංකීක පොලොව මත ඇති කරන ලද මෙම මුලධාර්මික න්‍යායගත කිරීමේ ප්‍රධාන කතිකයින් දෙදෙනෙක් වු වීරවංශ හා චම්පික අද මහින්ද රාජපක්ෂ විසින් වරප්‍රසාධක තත්වයට පත් කරන ලැබ ඇත.  අතීතකාමී වැඩවසම් ලාංකීකයින් අද දවසේ තමා පෙළන ධනේශ්වර දේශපාලනය එසේම පවතින්නට හැරීම (දුක) හෝ එය දිශාවකින් තොරව ඔහේ වෙනස් කිරීමෙන් ලබන විපරිත  'සතුට' සත්‍ය පැවැත්මේ නිර්මාණශීලි බව වෙනුවට තෝරා ගෙන ඇත.

ඉතිහාසය හා එයට අප දක්වන පරිකල්පනීය ආශක්ත බව වෙනුවට ඉතිහාසයයෙන් ඛන්ඩනය වීම නැතහොත් ඉතිහාසය නැවත ෆැන්ටසිමය (ෆැන්ටස්මික) ආකාරයකින් ඉස්මතු කරන චිත්‍රපටියක් ලෙස ක්වන්ටින් ටැරන්ටිනෝගේ Inglourious Basterds (2009) අපට හඳුන්වා දිය හැකිය.  ඉතිහාසය ප්‍රතික්ෂේප කරමින් ඒ සමඟ ෆැන්ටසි සෙල්ලමක යෙදෙන ටැරුන්ටිනෝගේ මෙම චිත්‍රපටය ජර්මානුවා ට එරෙහිව යුදෙව් වෛරය අශ්ශීල අයුරකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන පශ්චාත්-නුතන ඔම්ලටයකි (omelet). ප්ලාස්ටික් ඉතිහාසයක් වෙත නැවත යන ටරන්ටිනෝ එම ප්ලාස්ටික් ඉතිහාසය ගිනිතබා පුර්ණ වශයෙන් විනාශ කරන්නේ එම ඉතිහාසය නැවත ප්‍රති නිර්මාණය කරමින් සහ එම ප්‍රති නිර්මනය ම නැවත අර්ථකතනය කරමින් වීම විශේෂයකි.  එම අර්ථ කතනයද සමග සියලු සමස්තය ඔහු පුර්ණ වශයෙන් දවා හළුකර දමනු ලබන්නේ නව අනාගතයකට ඉඩකඩ විදාරණය කරමින් වීම විශේෂයකි. ක්ෂිතිමය සත්‍ය ඉතිහාසය වෙනුවට විකල්ප ඉතිහාසයක් (alternative history) ගොඩනගන ටරන්ටිනෝ එම විකල්ප ඉතිහාසය තුළ සත්‍ය ඉතිහාසයේ පිඩකයා ක්ෂිතියට පත් කරයි. එම අව්‍යාජ පලිගැනීම තුල ඉතිහාසයේ සත්‍ය මර්ධනයට ලක්වූ ජන කොටස හෝ පුද්ගලයින් තම වෛරය පිරිමසා ගනිමින් අනාගතය වෙත පියමන් කරයි. එම පලිගැනීම නොමැතිව ඔවුනට අනාගතයක් නැතිවාක් මෙන් එම පිඩිත කොටසද පලිගැනීම සඳහා 'ව්‍යාජ වරදකරිත්වයකින්' තොරව එම ක්‍රියාවට හවුල් වේ. ස්පිල්බර්ග් ගේ Munich (2005) චිත්‍රපටයේ තත්වය මෙයට වෙනස් බව ජිජැක් සිය In Defense of Lost Causes කෘතියේ පෙන්වා දෙයි.         

ජර්මාණු සෙබලුන් විසින් ප්‍රංශයේ (1941) ගොවිපලක කරන සෝදිසි මෙහෙයුමකින් යුදෙව් පවුලක් මරා දමයි.  එම සාමුහික ඝාතනයෙන් පැනයන ෂොෂානා පසුව පැරිසියේ සිනමාහලක හිමිකාරිණියක් වේ.  මේ අතර නාසි ජර්මනියේ දෙවැනියා වු ගේබල්ස් තම නාසි ප්‍රචාරක චිත්‍රපටියක් වු The Nation’s Pride ප්‍රංශයේ  ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් බලමින් සිටින විට ෂොෂානාගේ චිත්‍රපට ශාලාව හමුවේ.  තම පවුල ඝාතනය කරන ලද නාසීන්ගේ පලිගැනීමට අවස්ථාවක් ලැබු ෂොෂානා සියලු නාසි ඉහල නිලධාරීන්ද, ගේබල්ස්, බාමන් හා හිටිලර් ද ඇතුලු සියල්ලෝම චිත්‍රපට ශාලාව තුල සිරකර- අඟුඵ දමා තමා ද ස්වයං-ඝාතනයකට ලක්වීමට කුමන්ත්‍රණය කරයි.  මේ අතරම අමෙරිකානු යුදෙව්වන් කණ්ඩායමක් වන Bearer Jew නම් පිරිසක් ප්‍රංශයට විත් නාසීන් කුඩා කණ්ඩායම් වශයෙන් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු විකෘති කරමින් හණ ගසමින් යුදෙව් වෛරය හා පළිගැනීම කුඵගන්වමින් නාසීන් භීතියට හා ත්‍රාසයට පත් කරයි.  දෛව ස්ත්‍රී ෂොෂානාගේ සැලසුම සාර්ථක වන අතර ඊට සමාන්තරව මෙම යුදෙව් කණ්ඩායමද සිනමා ශාලාව පුපුරුවා දැමීමට උදව් වේ.  ෂොෂානාගේ පවුල මරා දැමීමට උපකාරී වු යුදෙව් දඩයක්කරුවකු වු ලන්ඩා නම් නාසි නිලධාරියා අමෙරිකාවට පලා යෑමට පෙර නාසි ස්වස්ථික ලකුණ නලලේ හණ ගසා අත්හරිනු ලබයි.  මෙම ක්වන්ටිනියානු ප්‍රති-ඓතිහාසික ෆැන්ටස්මික චිත්‍රපටය, වෛරය, ත්‍රාසය, ක්ෂිතිය මෙන්ම 'ප්ලාස්ටික සෞන්දර්ය' (aesthetic plasticity) දෙවැනි ලෝක යුධ සිනමා ෂොනරය තුල පශ්චාත් නුතන අයුරකින් ඉස්මතු කර ඇත. ටැරන්ටිනෝගේ ම Django Unchanged (2012) යනු ද මෙයට සමාන ෆැන්ටස්මික චිත්‍රපටයකි.

සාමය-සහජිවනය යන්න සිවිල් බුර්ෂුවා කතිකාව තුල අධිනිශ්චය වී තිබුණ ද නුතන ශිෂ්ටාචාර ගොඩනැංවීම තුල සැබෑ ලෙස බලපවත්නේ වෛරය හා පසමිතුරුතාව බව මෙම චිත්‍රපටය නැවතත් අපට සිහිපත් කර දෙයි.  සාමය යන්න බුර්ෂුවා මාධ්‍ය, අධ්‍යාපනය හා වෙනත් කතිකා තුල පුනර්වාචී වුව ද මිනිසා මෙහෙයවනු ලබන්නේ සැබෑ ලෙසම අශ්ශිල බව විසින් හා වෛරය විසිනි.  අද දවසේ ලාංකීක දේශපානය සිවිල් බවෙන් ශිෂ්ට සම්බන්න බවෙන් සම්පුර්ණයෙන් මිදී නිරුවත් ලෙස වෛරී අශ්ශිල බව ඉස්මත්තට ගෙන ඇත.  විරුද්ධවාදීන්ට මඩ ගැසීමේ සිට ඔවුන් අත්අඩංගුවට ගෙන චෝදනා හෝ නඩු නැතුව දිර්ඝ කාලීනව සිර ගත කිරීම දක්වා ඇත්තේ මෙම වෛරය නොවේදචිත්‍රපටය තුල ද යුදෙව්වන් ක්‍රියාකරන්නේ තනිකරම වෛරය හා පලිගැනීම හරහායි.  මල සිරුරු විකෘති කිරිම, ඔවුන් හණ ගැසීමල සාමුහික ඝාතනය හරහා නාසි යුධ යාන්ත්‍රණය ක්ෂිතිමය බවකට රැගෙන යාමට යුදෙව්වන් උත්සාහ කරයි.  පසුගමනය තුල මේ සඳහා ඔවුන් උපයෝගී කර ගන්නේ පැරණි තෙස්තමේන්තුවේ ඇති දතට දත-ඇහැට ඇහැ නම් ආගමික මුලධාර්මික වෛරී ආදර්ශනයයි.

ශිෂ්ටත්වය, විද්‍යාව හා හේතුව පෙරදැරි කර ගත් නුතන ව්‍යාපෘතිය(modern project) තුල මෙතරම් නිර්-හේතුක මුලධාර්මික වෛරයක් බල පවත්නේ කෙසේ දමෙම ප්‍රශ්නයට උත්තර දීමට ෆැන්ක්ෆර්ට් ගුරුකුලය උත්සාහ කල අතර ඔවුන් තේරුම් ගත්තේ මෙය නුතන ව්‍යාපෘතියේ ම ඇති විරුද්ධාභාෂයක් නැත්නම් අර්බුදයක් ලෙසයි.  නමුත් යර්ගන් හබර්මාස් ගේ මතය වන්නේ මෙය විරුද්ධාභාෂයකට වඩා නුතන ව්‍යාපෘතිය තවමක් නො-අවසන්' (modernity as an unfinished project)  නිසා හටගත් තත්වයක් බවයි.  එනිසා එයට තවමත් නුතනත්වයේ ආතතිය සමහන් කිරීමට පුර්ණ වශයෙන් නොහැකිව ඇත.  නුතනත්වය හා ලෞකිකත්වය විසින් මිනිසා අතීතයෙන් හා සම්ප්‍රදායික සමාජයෙන් කඩා දමයි.  එම ඛන්ඩණයෙන් හට ගන්නා ආතතිය සමනය කිරීමට අවශ්‍ය ශිෂ්ටත්වයේ ආයතන පරිධියේ රටවල ස්ථාපනය වී නැත.  නුතනත්වයේ ලෞකික බවට එරෙහි වීමට ඇති එකම දෘෂ්ඨිමය අන්තය ඇත්තේ පුර්ව-නුතන, අතීතකාමී මුලධාර්මික, නිර්-හේතුක, නිර්-භාෂණය තුලයි.  එනම් මුලධාර්මික මතයක් පිටුදැකීම සඳහා නුතන භාෂාවක් නැත.  ඇත්තේ භාෂාවකින් තොර ත්‍රස්තය හෝ වෛරී අශිෂ්ට භාෂණයයි.  චිත්‍රපටය පුරාවට දක්නට ඇත්තේ ද මෙම වෛරී ත්‍රස්තයයි. ජර්මානුවන් පැත්තෙන් ගත්විට කර්නල් න්දා ඒ වෙනුවෙන් මිනීමැරීම දාර්ශනික කරණය කරයි (ජාතිවාදය සහ පුර්ව-නුතන පිතෘමුලිකය දාර්ශනික සහ නෛතිකකරණය කරන ලාංකික බුද්ධිමතුන් මෙන්). භාෂා ක්‍රීඩාව තුළ කරන එම දාර්ශනිකකරණය ඔස්සේ අනෙකාගේ ආචාර ධාර්මික විශ්වය අසමතුලිත (නැත්නම් සංශයට භාජනය) කරයි. ඔහු අසන්නේ ලේනා සහ මීයා එක සමාන ලක්ෂණ විද්‍යමාන කලත් අප මීයාට වඩාත් වෛර කරන්නේ ඇයිද යන සරළ ප්‍රශ්නයයි. ඔහු කියන්නේ එසේ වන්නේ ඇයිද යන්න අපම නොදන්නා බවයි. ඉතින් 'අප මීයන් අනුකම්පා විරහිතව මරා දමමු'.  

ඉතිහාසය සම්භන්ද ටැරන්ටිනෝ ගේ මතය තරමක් රැඩිකල් එකකි. මිනිසා ඉතිහාසයට දක්වන පරිකල්පනීය සම්බන්ධය වෙනුවට ටැරුන්ටිනෝ ගෙන එන්නේ ඉතිහාසය නැවත ෆැන්ටසිකරණය යි (ෆැන්ටසි ප්‍රන්ධකරණයයි).  සැබෑ නාසි ඉතිහාසය හා හිට්ලර්ගේ මරණය වෙනුවට ඔවුන්ගේ අවසානය සත්‍යයෙන් විනර්මුක්ත ෆැන්ටසියක් පමණක් බවට රූපාන්තරණය කිරීමයි.  Inglourious Basterds හිදී පමණක් නොව Django Unchanged චිත්‍රපටය තුලදීද ඉතිහාසය සමඟ ටැරන්ටිනෝ කරන්නාවූ මෙම හිතුවක්කාරී ෆැන්ටසි සෙල්ලම නිර්වචනය සඳහා අවශ්‍ය නම් එය 'ටැරන්ටිනියානු සින්තෝමය' (Tarantinyan sinthome) ලෙස  හැඳින්විය හැක. එවිට ද්‍රව්‍යමය ඉතිහාසයක ට මිනිසා දක්වන ආශාව හා එය වෙනස් කිරීම  මත අනාගතය තීරණය කිරීම මේ නිසා විඥානවාදී අයුරකින් අභියෝගයට ලක් වේ.  ඇත්ත වශයෙන් අවශ්‍ය අනාගතය මිස අප නැවත සොයායෑමට වලිකන අතීතය නොවන බැවින් එක්තරා දුරකට ටැරුන්ටිනෝ නිවැරදි යැයි කිව හැකිය.  නමුත් මෙම නිර්-ඓතිහාසික ෆැන්ටසිය සෞන්දර්යකරණයෙන් පමණක් අනාගතය පිලිබඳ සුභ සිහින දැකිය හැකි ද?

ජර්මාණු විඥාණවාදී දාර්ශනිකයෙකු වු ෂෙලින්ට අනුව අතීතයෙන් ඛන්ඩනය නොවු කිසිවකුට වර්තමානයක් හෝ අනාගතයක් නැතැයි' යන්න සැලකිල්ලට ගත හොත් ටැරුන්ටිනෝගේ මෙම උත්සාහය සාධාරණීකරණය කල හැකිය.  නමුත් රෝගී විපරීත බව හෝ වෛරී හෝ අතීතකාමී මුලධාර්මික බව අප අනාගත ලෝකය ගොඩනැංවීමේ ක්‍රියාව තුල පුර්ණ ලෙස අවලංගු කල යුතු වෙමු.  ඉතිහාසය පුනර්වාචී නොවේ නම් ටැරුන්ටිනෝගේ නිර්-ඓතිහාසිකය තවදුරටත් වලංගු වේ.  ඉතිහාසයේ තිබු සශ්‍රීක, ඒකීය පීතෘමුලික පරම සමාජය පිළිබඳ ශුද්ධ ෆැන්ටසි ස්වර්ග රාජ්‍යය මත සිට වර්තමාන පීඩිත, ආන්තිකල වාර්ගික ජනතාවගේ අයිතීන් තවදුරටත් උදුරා ගන්නේ නම්, එම අයිතින් ලබා දීම නිෂ්ප්‍රභා කරන්නේ නම්, මර්ධනය කරන්නේ නම් එම ඉතිහාසයෙන් අපට වැඩක් නැත.  එම ඉතිහාසය පිළිබඳ බල කතිකාවෙන් වර්තමාන ජනකොටස් බහිස්කරණය කරන්නේ නම් හා ඒ ආධාරයෙන් තව ජනකොටස් අභ්‍යන්තරකරණය කරන්නේ නම් එම ඉතිහාසය නැවත පුනර්වාචීවිමේ තේරුමක් ඇද්ද? කොතරම් ආතතිමය තත්වයක් යටතේ වුව ද අප ඉතිහාසයෙන් ඛන්ඩනය වී (නිර්-ඓතිහාසිකකරණය වී = dehistorize) නුතන ලෞකිකකරණය දෙසට දිශානත විය යුතු වෙමු.  එවිට පමණක් අපට ඉතිහාසයක් ඇති ජාතියක් බවට පත්විය හැකි වේ. 


(රාජපක්ෂ පාලන රෙජීමය උත්කර්ෂයට පත්ව තිබු යුගයේ ලියන ලදී. 'රාවය' පුවත්පත වෙත යොමු කළද පළ කල බවක් මතක නැත). 


මහේෂ් හපුගොඩ
2009. 07. 03.


4 comments:

  1. " නුතනත්වය හා ලෞකිකත්වය විසින් මිනිසා අතීතයෙන් හා සම්ප්‍රදායික සමාජයෙන් කඩා දමයි. එම ඛන්ඩණයෙන් හට ගන්නා ආතතිය සමනය කිරීමට අවශ්‍ය ශිෂ්ටත්වයේ ආයතන පරිධියේ රටවල ස්ථාපනය වී නැත. නුතනත්වයේ ලෞකික බවට එරෙහි වීමට ඇති එකම දෘෂ්ඨිමය අන්තය ඇත්තේ පුර්ව-නුතන, අතීතකාමී මුලධාර්මික, නිර්-හේතුක, නිර්-භාෂණයය තුලයි. එනම් මුලධාර්මික මතයක් සඳහා භාෂාවක් නැත. ඇත්තේ භාෂාවකින් තොර ත්‍රස්තය හෝ වෛරී අශිෂ්ට භාෂණයයි." වර්තමානයටත් ගැලපේ

    ReplyDelete
  2. ප්‍රතික්‍රියාවක් ලෙස වෛරී ත්‍රස්තයෙන් කටයුතු කිරීම වර්තමාන සමාජයේ පුද්ගල සහ පොදු යන දෙයාකරයේම රෝග ලක්ෂනයක් බව අවබෝධ කරගැනීම, නො-අවසන් නූතන ව්‍යාපෘතියක් තුල සිරවී සිටින අප ප්‍රගතිය උදෙසා යන ගමනේ ඵලදායි පියවරක්. මෙය අවබෝද කරවීමට සමත්වීම සතුටට කරුණක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙතනදී තමයි හබමාස් වඩාත් වැදගත් වන්නේ. අපි වගේ තුන්වැනි ලෝකයේ රටකට ජේම්සන් වගේම හබමාස් ද අදටත් වලංගුයි. මොන සමාජ විප්ලව කලත් වැඩක් නෑනේ මිනිස් ආත්මය නිර්මාණය වුනේ නැත්නම්. එකයි ජේම්සන් (1986) කියන්නේ දෙවෙනි ලෝකය (තිබුණ සමාජවාදී කඳවුර) සහ තුන්වැනි ලෝකය අතර වෙනසක් නෑ කියල.

      Delete