Friday, October 16, 2020

පෘතුවි සෙල්ෆිය...

අනන්ත වූ විශ්වයේ තොරතුරු සොයන අටියෙන් 1977 සැප්තැම්බර් 5 කෙනෙඩි තුඩුවෙන් අභ්යවකාශ ගත කළ වොයේජර් 1 අභ්යවකාශ යානය මේ මොහොත වෙනකොටත් අනන්තය දක්වා ගමන් කරමින් ඉන්නවා කියල දැන් අපි දන්නවා. අනතුරක් නොවුණොත් තව වසර මිලියන ගණනක් වුනත් එයා මේ මන්දාකිණිය වටේ කරක් ගහයි. පවතින්න පුළුවන් උනොත් ඉනුත් ඔබ්බට යයි.

අපේ සෞරග්රහ මණ්ඩලයේ තොරතුරු සොයන එක තමයි එයාගේ මූලික අරමුණ උනේ. ඊට අමතරව එයා යන ගමන් මාර්ගයේ එයාට හමු වුණ බ්රහස්පති වගේම සෙනසුරුත්, සෙනසුරු ගේ චන්ද්රයෙක් වෙච්ච ටයිටන් ගැනත් එයා ඡායාරූප වගේම තවත් තොරතුරුත් අපිට එව්වා. මේ මිහිතලයේ වෙන කිසිම කෙනෙක් නොගිය අසහාය ගමනක් (grand journey) යන්න එයා හරියටම පටන් ගත්තේ අපේ සෞර ග්රහ මණ්ඩලය පහු කරන්න පටන් ගන්නකොට. සූර්ය සුනාමි වගේම තවත් බාධක ගොඩක් පහුකරගෙන එයා එක මොහොතක අපෙන් සදහටම වෙන් වෙනවා කියල නාසා එකේ මේ සමස්ත වොයේජර් ව්යාපෘතිය සැළසුම් කල තාරකා භෞතික විද්යාඥ කාල් සේගන් දැන සිටියා.
ක්ෂිරපථ මන්දාකිණියේ එක තරුවක් අසබඩ පෘතුවිය කියල තැනක මිනිස්සු කියල පිරිසක් හිටිය කියල අපි මේ ලෝකෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා ගිහිල්ල (final human exodus) තව වසර මිළියන හෝ බිලියන ගණනකට පස්සේ හරි එයා මේ විශ්වයේ කොහේ හෝ සටහන් කරලා තියයි කියල නාසා එකේ ප්රධානියා වෙච්ච සේගන් හිතුවා. න්යෂ්ටික අවි එක්ක සීතල යුද්දෙක හිටපු බටහිර ජාතීන්ට ශිෂ්ටාචාර අවසානයක් ගැන ඒ වගේ ෆැන්ටසි එකක් ඔළුවට එන එක මට නම් අරුමයක් නැහැ. විද්යාව ඔස්සේ ම ලෝක විනාශයකුත් එනවා කියල එයාලට හිතෙන්න ඇති.
සෙනසුරුගේ ඡායාරූප එව්වට පස්සේ එයාගේ ප්රාථමික මෙහෙවර (primary mission) ඉවර නිසා එයාගේ බල ශක්තිය ඉතුරු කරගන්න නාසා එක වොයේජර් යානයේ කැමරා අක්රීය කරනවා (switched off). දැන් එයා අපේ සෞර ග්රහ මණ්ඩලයේ සීමාවෙන් ඉවත් වෙන්න ලඟයි. නමුත් එකවරම නොසිතූ දෙයක් කාල් සේගන්ගේ හිතට ඇවිල්ලා එයා කියනවා අන්තිම එකම එක වතාවකට කැමරා නැවත ක්රියාත්මක කරන්න කියල. එකම එක වතාවක්. ඔව්.
ඒ කරලා ඒ පොඩි වෙලාවේ සේගන් කියනවා දැන් කැමරාව අපේ පැත්තට හරවන්න කියල. ඊට පස්සේ වොයෙජර් අපේ පැත්තට හැරෙනවා එකම එක වතාවකට. කවදාවත් ආපසු නොබලන්න ඉටාගෙන ගමන් ආරම්භ කරපු වොයේජර්. අපි ගැන සමුගැනීමේ දුකක් නොතිබ්බ වොයේජර්. යකඩ හිතක් තිබ්බ වොයේජර්. හැතපුම් බිලියන හතරක් ඈත ඉඳන් ආපසු හැරෙනවා. හැරිලා අවසන් වතාවට අපේ දිහා බලල අපේ සෙල්ෆියක් ගහල අපිට එවනවා. මෙන්න බලා ගනිල්ලා. මට උඹල පෙනෙන හැටි. 'මගේ ඇස තුළ ඔබ කවුද' කියල 1990 පෙබරවාරි මාසේ දවසක එයා අපිට පෙන්නනවා. ඇත්තටම ගත්තොත් ඡායාරූප ගණනාවක් එයා එක දිගට ගන්නවා. ඒ ඓතිහාසික ඡායාරූප පෙලට කියන්නේ 'සෞර ග්රහ මණ්ඩලයේ පවුලේ ඡායාරූපය' (solar system's family portrait) කියල. එයිනුත් එකම එක ඡායාරූපයක් මිනිස් ශිෂ්ටාචාරයේ අද්විතීයම ඡායාරූපය ලෙස හැඳින්වෙනවා.
ඒකට කියන්නේ 'සුදුමැළි නිල් තිත' (pale blue dot) කියල. 'අවපැහැ ගැහුණ ශෝකී තිලකය' කියලත් මේ වචන ටික පරිවර්තනය කරන්න පුළුවන්. කොහොම කරත් කියවෙන්නේ එකම දෙයක් තමයි. ඒ තමයි සමස්ත විශ්වය ඇතුලේ අපි කොයි තරම් කුඩා අංශුවක් ද කියන එක. අපි කොච්චර පොඩිද කියන එක මේ අනන්ත විශ්වය එක්ක ගත්තම.
ආලෝක ධාරාවක් ඇතුලේ සැඟවිලා තිබෙන පොඩිම පොඩි අංශුවක් වගේ තිබ්බ මේ පෘතුවි සෙල්ෆිය දැක්ක කාල් සේගන් මවිත වෙනවා. ඊට පස්සේ ඔහු තමන් ගැනම අවලෝකනය කරනවා. දර්පණ අවධිය. දර්පණය ඉස්සරහා ඉන්න මම. ඔබේ ඇස තුළ මම කවුද? ඔබ...ඔව් ඔබ දූවිල්ලක්... ඇසට නොපෙනෙන දූවිලි අංශුවක්...එච්චරයි... (spec caught in a magnificent beam of light). ඕක තමයි අපි දිහා අහම්බෙන් හැරිලා බලපු වොයේජර් යානාවේ අවසන් ක්ෂිතිමය පණිවිඩය.
ඊට පස්සේ කාල් සේගන් ලෝක ප්රසිද්ධ පොතක් ලියනවා. ඒකෙ නමත් 'සුදුමැළි නිල් තිත' (Pale Blue Dot). ඒ පොතේ ඔහු මෙහෙම කියනවා. 'සියළු කඳුළු සහ සියලු සිනහවන්, සියළු සාමාන්ය මිනිසුන් සහ සියළු ධන කුවේරයන්, සියළු කුමාරවරුන් සහ සියළු කුමාරිකාවන්, සියළු අම්මාවරුන් සහ සියළු පියවරුන්, උපදින්නට ඉන්න සියළු කිරිකැටියන්, ගලාගිය සියළු ලේ සහ සියළු ජලය, මහත් වෙහෙසින් ගොඩ නැගූ සියළු අධිරාජ්යන්, සියළු සත්ය සහ සියළු අසත්යයන්, සියළු හොඳ සහ සියළු නරක පාලකයින්, පුපුරා ගිය සියළු ගිණි අවි සහ සියළු බෝම්බ, සියළු විද්යාවන් සහ සියළු ආගම්, සියළු දන්නා සහ සියළු නොදන්නා දේ යන සියල්ල තියෙන්නේ මේ පුංචි තිත තුළ. දූවිලි වළාවක් අතර හැංගිලා තියෙන මේ දූවිලි අංශුව තුළ'.
තව වසර හතළිස් දාහකින් මෙපිට වොයේජර් යානයට වෙන කිසිම අභ්යාවකාශ වස්තුවක් හමු වෙන්න නියමිත නැහැ. ඒ කියන්නේ බලංගොඩ මානවයාගේ කාලේ ඉඳන් අද දක්වා කාලයක් තව බලන් හිටියත් තවත් නිවසක් අපිට මෑත අනාගතයේ හමු වෙන්නේ නැහැ. 'උඹලට තියෙන්නේ මේ අබ ඇටේ විතරයි. ඒක රැක ගනිල්ලා'. ඒක තමයි ආපසු කිසිදා නොඑන වොයේජර් යානාවේ පණිවිඩය.
සේගන් මෙහෙම ලියනවා. 'මහා අහමක් (ego) දරාගෙන ඉන්න තරම් කිසිවක් අපි ළඟ නැහැ. විශ්වය පැත්තෙන් ගත්තොත් සියළු මහා අධිරාජ්යයන් යනු තත්පරෙන් අලුක්කාලක අංශු පැවැත්මක් පමණයි. අපි දන්නේ කොපමණ පොඩ්ඩක් ද? ඒ දන්නා පොඩි දේ වෙනුවෙන් අප කොතරම් එකිනෙකා මරා ගන්නවද? අප ඉන්නේ කිසිසේත් අනෙක් අයට වඩා වරප්රසාදිත තැනක නොවෙයි. අප දන්නා අනාගතය තුළ කිසිවෙක් අපේ උදව්වට නොඑනු ඇති'.
'අප මේ ලෝකයට පැමිණ ඇත්ද? ඔව්, නිසැකවම. අප මේ ලෝකයේ සංහිදියාවෙන් පදිංචි වී ඇත්ද? එය සැක සහිතයි. ඒ නිසා අපිට ජීවය දී ඇති මේ පුංචිම පුංචි විශ්ව අංශුව ආදරයෙන් රැක ගනිමු. පෝෂණය කරමු. වගකීම් සහගත වෙමු. අප දන්නා එකම නිවස ඒ කුඩා මළානික නීල තිලකයයි'.
වොයේජර් 1 එවපු අනපේක්ෂිත පෘතුවි සෙල්ෆියෙන් පස්සේ කාල් සේගන්ට ලියවුණේ එහෙමයි.
('ඒ මළානික නීල තිලකය' කියල ටයිටල් එක දාන්න හදල පස්සේ 'පෘතුවි සෙල්ෆිය' කියල දැම්මා. ඔයාලට කැමති එකක් ඔයාල දාගන්න).
Image@NASA



No comments:

Post a Comment