Friday, October 23, 2020

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිනිස්කම විනා...

ජනාධිපතිතුමා හැඟුම්බර වෙලා. ඒ හැඟුම් දැකපු මන්ත්රිලිලා කීප දෙනෙක් ජනාධිපතිතුමාටත් වඩා හැඟුම්බර වෙලා. ඒක දැකපු හැමෝම දැන් හැඟුම්බර වෙලා. විස්ස සම්මත කරගන්න දැන් රටම හැඟුම්බරයි. හොටු, කඳුළු, කබ දැක්කම හිත උණුවෙනවා. කොරෝනා ඉස්පොල්ලේ ගියත් දැන් ගණනක් නැහැ. වෛරස් වලට වඩා හැඟීම් ප්රභලයි. මොකද අපි මිනිස්සු...මිනිස්සු හැඟීම් බරයි.

තර්කය අනුව ගත්තොත් කොරෝනා මාරාන්තිකයි තමයි. නමුත් මිනිස් හැඟීම් අපිට බලකරනවා තර්ක බුද්ධිය වෙනුවට හැඟීම් වලට අවනත වෙන්න කියල. මිනිස් ඉතිහාසය තර්ක බුද්ධියට දීල තියන තැනට වඩා ලොකු තැනක් හැඟීම් වලට දීල තියනවා. කොරෝනා අමතක කරලා මිනිස්සු සිප වැළඳ ගන්නවා. හැඟුම් බරයි ඔබේ කැළුම් උනාම ඉතිං දේදුනු කියන්නේ නැහැ සුපෙම් හැඟුම් ඔබෙන් එපා කියල.....නමුත් ප්රශ්නේ තියෙන්නේ 'ඉතින් ඊට පස්සේ' උනාම. ඒ කියන්නේ හැඟුම් බර වෙලා විස්ස සම්මත කර ගත්තට පස්සේ මොකක් වෙයිද මේ ප්රේම වෘත්තාන්තයට. මේකද මිලේනියම් නැත්නම් සහශ්රක පරම්පරාවට කලින් පරම්පරාවේ දේදුණු කැලුම්ලා දෙන තිළිණය?
අද හැගුම් බර උනා. හෙට සම්මත කළා. අනිද්දා දවසේ අපේ අනාගතය තීරණය වෙන්නේ කොහොමද කියන එක මේ ආණ්ඩුවට චන්දය දුන්න සහශ්රක පරම්පරාව අහන්න ඕනි ප්රශ්නයක්. ඒ කියන්නේ ඩේ ආෆ්ටර් ටුමෝරෝ (The Day After Tomorrow) වෙනකොට අපේ දෛවය මොන වගේ වෙයිද කියන අපි අද අහන්න ඕනි ප්රශ්නයක්.
විසි වෙනි සියවසේ අපි ඒ ප්රශ්නේ ඇහුවේ නැති නිසා වෙච්ච විනාශයන් මෙතකැයි කියන්න බැහැ. තනි මිනිසා කියන්නේ වැදගත් ප්රපංචයක් තමයි. හැබැයි තනි මිනිසෙක් වටා සංවරණය සහ තුලනය නැතුව බලය කේන්ද්රගත වෙලා සිදුවෙච්ච විනාශයන් අපි දන්නවා. ඒ ඒ අවස්ථාවල තනි මිනිස්සු කිසිම දෙවන සිතිවිල්ලක් නැතුව තමන්ට කැමති කැමති විදියට ලෝකය අරන් ගිය සාහසික අන්තයන් ගැන අපිට අමතක වෙන්න හේතුවක් නැහැ. මට තියන ගැටළුව ඉතිහාසය නව ස්වරූප වලින් පුනර්වාචී වීම. ඇත්තටම සිදු වෙන්නේ ඉතිහාසය නැවත නැවත ඒ ලෙසින් ම සිදුවීම නෙවෙයි. මිනිස්සු ඒ දන්නා ඉතිහාසය ම නැවත නැවත ගෙන්වා ගැනීම.
කේන්ද්රීය බලයක් ලෝකයේ පාලකයෝ හැමවිටම ඉල්ලුවේ ලෝකය 'පිළිවෙල' (order) කරන්න. මේක තමයි එයාලගේ ප්රධාන වචනය. අරාජක බව - අපිළිවෙල - විසිරුණ බව නැති කරන්න. අද ලෝකයේ වම සහ දකුණ කියන කඳවුරු දෙක දෙපැත්තට කැඩෙන ප්රධාන වචනයත් මේක. 'ලෝකය පිළිවෙල කරන්නේ කොහොමද? ඒකට තියෙන ක්රමවේදය මොකක්ද?' කියන ප්රශ්න දෙකට දෙන උත්තර දෙක තීරණාත්මක ලෙස වෙනස් වෙන්නේ මෙතනින්. ඒ අනුව වම සහ දකුණ වෙන් වෙනවා.
කේන්ද්රීය බලයක් සහිත ඒකාධිපතියන් ඔබට ආයෝජන පොරොන්දුවක් දෙනවා ලෝකයේ අවුල් නැති කරලා - විසිරුණ බව කම්බස් කරලා දාල - පරිපුර්ණ ලෝකයක් හදල දෙනවා කියල (වමේ ඒකාධිකාරය ඇතුලේ පවා මේ ආයෝජන පොරොන්දුව තිබුණා). ඔබගේ ලෝකයේ අපිළිවෙල ඇති කරලා තියන 'සතුරා' විනාශ කරනවා කියල. ඒ කියන්නේ ඔබට ඒකාධිකාරී ක්රමයක් ඇතුලේ 'පරිපුර්ණ ලෝකයක්' වෙනුවෙන් ලොකු ෆැන්ටසි ආයෝජනයක් කරන්න පුළුවන්. නමුත් අනික් කඳවුර -ඒ කියන්නේ ප්රජාතන්ත්රවාදී කඳවුර - එහෙම ලොකු දෘෂ්ටිවාදී පොරොන්දුවක් දෙන්නේ නැහැ. ඒ නිසා ආයෝජනයක් නැහැ. ඒ නිසා පොරොන්දු රහිත ඒ හිස් බව ඇතුලේ මිනිස්සු ඉන්න කැමතිත් නැහැ.
එහෙම මිනිස්සු නොසිටින්න විශේෂම හේතුව තමයි ඕනෑම ෆැන්ටසි එකක් පරිපුර්ණ බව ඉල්ලන එක. මිනිස්සු ඒක හඹා ගෙන යනවා. ෆැන්ටසි එකක් කියන්නේ කවුරුහරි දෙන ලද දෙයක් නෙවෙයි. අපි එකලස් කර ගන්නා දෙයක් (fantasy is not something that is given but assembled). ගැහැණියක් දැක්කම පොඩි භෞතික දේවල් ටිකක් හිතාගන්න පුළුවන්. නොදෙන ලද ඉතුරු ටික හිතෙන් හදා ගන්නවා. එසෙම්බල් කර ගන්නවා. එයා එහෙම ඇති මෙහෙම ඇති කියල. විස්සෙන් පස්සේ තමයි තේරෙන්නේ එයා එහෙමත් නැහැ මෙහෙමත් නැහැ කියල. තියෙන්නේ අපි කවුරුත් නොහිතපු වෙනම එකක් කියල. ඒක තමයි සමකාලීන ඉතිහාසයේ පාඩම. මං කියන්නේ ඉගෙන ගන්නවා නම් ඒක තමයි පාඩම. මම එහෙම කියන්නේ නොසිතුව ම ගමනාන්තයක් වෙත යන්න තියන මිනිස් බය (fear) නිසා නම් නෙවෙයි.
ලෝකය පිළිවෙල වෙන එක නම් හොඳයි. මමත් ඒකට කැමතියි. සාධාරණ වෙනවා නම් තවත් කැමතියි. හැබැයි ඒ 'පිළිවෙල ෆැන්ටසි' එක අත්පත් කරගන්න මිනිස් ශිෂ්ටාචාර ගෙවපු 'හදිසි මිල' දැක්කම ඒ පිළිවෙල ලෝකය ගැන අපිට ගොඩක් හිතන්න වෙනවා. ඒ නිසා හැඟීම් කොච්චර තිබුණත් ඉමෝෂනල් වෙලා හරියන්නේ නැහැ. හදිස්සි වෙලා හරියන්නෙත් නැහැ. අවබෝධාත්මක වෙන්න වෙනවා.
ඒ නිසා සුපෙම් හැඟුම් වෙනුවට මනුෂ්ය බුද්ධිය මෙහෙයවල ලෝකය ප්රජාතන්ත්රවාදී තැනක් කරමු. පුළුල් අවකාශයක් බවට පත් කරමු.
'සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිනිස්කම විනා...නෞකාවකි මා ඈත ගණදුරේ....'
ඔබේ හැඟුම් මා සැක කරමි. ඒ නිසා මා පවතිමි. තනි මිනිසෙක් ලෙස විසි වෙනි ව්යස්ථා සංශෝධනය වෙනුවෙන් මගේ අකමැත්ත සහ විරෝධය මෙසේ සටහන් කොට තබමි.
මීට දේදුණු...



No comments:

Post a Comment