Monday, October 19, 2020

මචු පිචූ හි අවසන් සංචාරකයා...

සංචරණ විද්යාව නැත්නම් සංචාරක විද්යාවේ (tourism science) අළුත් වචන ගොඩට වැටෙන තාක්ෂණික වචනයක් තමයි 'හුදකලා සංචාරකයින්' (solo travelers) කියන එක. එක තනි පුද්ගලයෙක් විදියට මුල් කාලේ ගෙදරින් පිටවෙලා ලෝකෙ වටේ ගියේ පිරිමි සංචාරකයින්. අද වෙනකොට ගැහැණු හුදකලා සංචාරකයින් ගණන සංඛ්යාත්මකව ගොඩක් වැඩිවෙමින් පවතිනවා. ඒ අනුව සංචාරක කර්මාන්තයේ පහසුකම් ඒ අයට උවමනා විදියට වෙනස් වෙලා තියෙනවා. දැන් මම ලියන්න යන්නෙත් ඒ වගේ හුදකලා සංචාරකයෙක් ගැන. කරුණු දෙකක් නිසා මේ ප්රවෘතිය මට වැදගත්. එක තමයි කේවල පුද්ගල බව. අනික තමයි ජපානය. දෙකම මම කැමති ප්රපංච දෙකක්.

මේ ප්රවෘත්තියේ කතා නායකයා වෙන්නේ බටහිර දිග ජපානයේ නාරා ප්රදේශයේ පදිංචි කරුවෙක් වෙච්ච විසි හය හැවිදිරි (26) ජෙසී කතයාමා (Jesse Katayama). ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් තියෙන පේරූහි මචු පිචූ (Machu Picchu) පුරාවිද්යා බිම් කඩ නරඹන්න හිතාගෙන කතයාමා පේරු වල ඕගස් කැලින්ටාස් වලට එන්නේ මාර්තු 14. හැබැයි මාර්තු 16 වෙනිදා පේරු රාජ්යය කෝවිඩ් නිසා මචු පිචූ යුනෙස්කෝ බිම් කඩ වසා දමනවා. එතකොටත් මචු පිචූ වලට ඇතුල් වෙන ටිකට් එක කතයාමාගේ අතේ. එතනදී කතයාමාට කරන්න දෙයක් නැතුව මචු පිචූ පෙනි පෙනී මේ නගරයේ හිර වෙන්න වෙනවා.
ඕගස් කැලින්ටාස් වල පුංචි කාමරයක් කුළියට ගන්න කතයාමා එදා ඉඳල ඒ නගරයේ තාවකාලික පුරවැසියෙක් වෙනවා. අළුත් තැන තමන්ගේ තැනක් කර ගන්නවා. රටේ දේශසීමා වහල නිසා රටෙන් එළියට යන්නත් බැහැ. දකුණු ඇමෙරිකාවේ වෙනත් සංචාරක ආකර්ෂණයක් බලන්න යන්නත් බැහැ. ඉතිං එයා කළේ පේරූ වල වසා දැම්මේ නැති වෙනත් සංචාරක ගමනාන්ත වල (tourist destinations) කරක් ගහපු එක. වනාන්තර, කඳු, දිය ඇලි වගේ ගොඩක් දේවල් එයා දැක්කත් කතයාමාගේ ප්රාථමික අරමුණ වෙච්ච මචු පිචූ නම් මේ සම්ම ජාතියේ අරින පාටක් තිබ්බේ නැහැ.
'මම හැමදාම උදේට රවුමක් දුවනවා. ඒ දුවනකොට මට මචු පිචූ අර වාගේ මේ වගේ ඇස් ඉස්සරහා පෙනෙනවා. හැබැයි මේ අවුරුද්දේ කීයටවත් ඒක අරින්නේ නැති නිසා මම හිතුවා මට ඒක ළඟට යන්න කවදාවත් හම්බ වෙන්නේ නැති වෙයි කියල'. කැලින්ටාස් නගරයේ අලුත් ජපන් පදිංචිකාරය එහෙම කියනවා. 'හැබැයි මට මචු පිචූ නොදැක්කා කියල පොඩ්ඩක්වත් දුකක් දැනුනේ නැත්තේ මේ නගරයේ තිබ්බ ආගන්තුක සත්කාරය නිසා'.
දැන් මාස හතක් ගිහිල්ල කතයාමා අතේ තිබ්බ සල්ලිත් ඉවර නිසා එයා තීරණය කරනවා මේ ටවුමට සමු දීලා ආපහු ජපන් යන්න. හැබැයි එයාගේ අතේ තාමත් තියනවා අර පාවිච්චි නොකරපු මචු පිචූ ටිකට් එක. එතකොට තමයි පේරු වල ප්රාදේශීය සංචාරක මඟ පෙන්වන සමාගමක් එයාලගේ සංචාරක ඇමතිවරයට කතා කරලා මේ ගැන කියන්නේ. පේරු රාජ්යයේ සංචාරක ඇමතිවරයා එකඟ වෙනවා එකම එක දිනකට ඉන්කා වරුන්ගේ මේ සුවිශේෂී ශිෂ්ටාචාරයේ නටබුන් බලන්න යන්න කතයාමාට ඉඩ දෙන්න.
මේ විශේෂ ප්රවේශ අවසරය දැකපු කතයාමා පුදුම වෙනවා. 'පේරු රටේ ඔබලා ගොඩක් කරුණාවන්ත මිනිස්සු. මේක මහ අපූරු අවසරයක්. සුපිරි අවසරයක්'.
කතයාමා එක්ක මේ විශේෂ ගමන යන්න කැමරාකරුවෝ දෙන්නෙක් සහ මචු පිචූ පුරාවිද්යා භූමියේ ප්රධානියාත් එක් වෙනවා. ඒ ගෞරවයක් විදියට. වෙනදට ලක්ෂ ගණනක් ඉන්න මචු පිචූ අද කතයාමා නරඹන්නේ එකම එක හුදකලා සංචාරකයා හැටියට. ඉතින් මේ අද්විතීය ශිෂ්ටාචාරයේ නටබුන් දැකල එහෙම ආපසු ජපානෙට යන්න ලැහැස්ති වෙලා කතයාමා කියනවා 'වැදගත් දේ මචු පිචූ දැකපු එක නෙවෙයි. මම තුළ හිටිය ඒත් මටත් හොයා ගන්න බැරිවුන කෙනෙක් මට මේ නගරයෙන් හමු වෙච්ච එක. මේ කඳුළු එන්නේ ඒ නිසා...'
මාස හතක් මේ නගරයේ ඉඳල යන්න හදනකොට නගරයේ එයාගේ අළුත් යාළුවෝ කතයාමා වෙනුවෙන් එයාගේ රූපෙ තියෙන බෝනික්කෝ හදල. චිත්ර ඇඳලා. සිහිවටන විදියට.
'අප මේ අමුත්තාට ඒ විශේෂ අවසරය දුන්නේ ඔහුගේ ඉවසීමට කරන ලද ගෞරවයක් හැටියට. ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නේ රණ්ඩු දබර කරගෙන එයාලගේ අවශ්යතාව වෙනුවෙන් කෑ කෝ ගහන එක. හැබැයි මේ තරුණ අමුත්තා මාස හතක් තිස්සේ පෙන්නුව ඉවසීම පුදුම එළවන සුළුයි. ඒ කියන්නේ එයා මේ ශිෂ්ටාචාරය බලන්න ඇත්ත උරුමයක් තියෙන කෙනෙක්...' එහෙම කියන්නේ ඒ රටේ සංචාරක ඇමතිවරයා.
මට අනුව කතයාමා වගේම පේරු රජයත් පෙන්නුවේ එක දෙයක් විතරයි. සංචාරකයෙක් කියන්නේ නිකම්ම නිකම් පාරිභෝගිකයෙක් විතරක් නෙවෙයි. ශිෂ්ටාචාරයක නියෝජිතයෙක්. ඒ ශිෂ්ටාචාරයේ වටිනාකම් වල නියෝජිතයෙක්.
එහෙම ගත්තම තනි පුද්ගලයෙක් කියන්නේ කොච්චර හයිය දෙයක් ද? 'හොඳම දේ ලැබෙන්නේ ඒ වෙනුවෙන් පොරොත්තු වෙන මිනිසුන්ට'. එහෙම කියන්නේ හිටපු ඇමෙරිකන් ජනාධිපති වරයෙක් වෙච්ච ඒබ්රහම් ලින්කන්.



No comments:

Post a Comment