Thursday, November 15, 2018

ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට යමු....


ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු සටනක් පටන් අරගෙන තියෙන මේ වෙලාවේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය ගැන දයලෙක්තිකව බලමු නේද කියන ජනප්‍රිය නොවන ඉල්ලීම කරන්නයි මේ ලිපිය ලියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කවුරුන් වෙනුවෙන් ද වගේ ප්‍රශ්නයක් ගෙනල්ල මේ සටන දියාරු කරන්න හදනවා වෙනුවට හෝ මේ ඇවිලෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සටන අව තක්සේරු කරන්න හදනවා වෙනුවට ඒක ඇත්තටම අර්ථවත් කරන්නේ කොහොමද කියන එකයි මෙතනදී හොයලා බලන්නේ. හොඳට අපි මතක් කරලා බැලුවොත් 2015 දිත් පටන් ගත්තේ මේ සටන ම තමයි. සටන දිනලා මහින්ද පරද්දලා ඔන්න යහපාලන මහත්තුරු ටිකක් ගෙනාවා. මාසයක් ගියේ නැහැ මහ බැංකු ප්‍රශ්නය පටන් ගත්තා. මුදල බිලියන ගණනක්. තව තවත් ප්‍රශ්න ආවා ඔබලාට මතක ඇති. මිනිස්සු අපේක්ෂා භංග වුණා. යහපාලන කට්ටිය පළාත් පාලන චන්දය අම්බානකට පැරදුණා. මෛත්‍රී විසින් ඊයේ පෙරේදා කරන ලද 'අනපේක්ෂිත හැරවුම' විසින් නැවත වාරයක් අර පරණ කථිකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්න අවස්ථාවක් දීල තියෙනවා. 2015 දි වගේම මෙවරත් ඔවුන් 'කවදා හෝ යම් දවසකදී සාක්ෂාත් විය හැකි' ප්‍රජාතන්ත්‍රවාදයක් (democracy to come) වෙනුවෙන් සටන් කරන්න පටන් ගෙන තියෙනවා (කියවන්න ජිජැක් ගේ Did Somebody Say Totalitarianism කෘතියේ  156 පිටුව). හැබැයි ලිප්ටන් වට රවුමේ වේදිකාවේ ඉන්නේ අර පරණ කට්ටිය ම තමයි. කොමිස් වලට, මහ බැංකු වැඩේට, අත යට මුදල් වලට, මෙට්රෝ දුම්රියේ කොමිස් වැඩේට, ගෑනු ප්‍රශ්න වලට සෙට් වෙච්ච කට්ටිය ම තමයි. අලුත් කියල කවුරුත් නැහැ ('දිදුළන හදවත' වගේ අලුත් නම් කීපයක් නම් ඇවිල්ලා තියෙනවා). අලුත් කියල කිසි දෙයක් වෙන්න ඉඩකුත් නැහැ. ඒ අය නැවතත් වග බලා ගන්නවා කිසිදු අලුත් දෙයක් මේ පොලවේ නොවෙන බවට. මෙන්න මේ නව පසු නුතන සමස්තතා තත්වය මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ නිරීක්‍ෂණයෙන් බැහැර වීම දෘෂ්ටිමය තත්වයක්. මොකද මේ උගුලෙන් ගැලවෙන්න නම් 'පෙර නොවූ විරූ දෙයක්' කරන්න (do the impossible) වෙනවා කියන ජිජැක් ගේ වචනය අපි හොඳින් මතක තියාගන්න ඕනි. මොකද මේ නව පසු නුතන යුගයේ කිසිවෙක් අනතුරු දායක දෙයක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම ගත්තම 'සත්‍ය දේශපාලනය යනු පුර්ණ වශයෙන් අනතුරට නිරාවරණය වීමයි' (ඉහත පිටුව 156) කියන ජිජැක් ගේ වචනය ගත්තොත් මෛත්‍රී කරලා තියෙන්නේ සදාචාරය ට හසු නොවන එහෙත් ආපතික දෙයක් (නිකම් ඉන්නවා වෙනුවට අනතුරු දායක දෙයක්). කිසි දෙයක් නොවෙන වෙලාවක මොනවා හරි දෙයක් ඒ වැඩේ නිසා වෙන්නත් පුළුවන් නිකම් බකන් නිලාගෙන ඉන්නවට වඩා (මම මේ කියන්නේ ඩෙරීඩාගේ තර්කයේ විලෝමය). ඒ වගේ නිරීක්ෂනයක් කොළඹ ඇකඩමික් එක ඇතුලේ දේශපාලන විද්‍යාව උගන්වන ආචාර්ය වරුන් දෙදෙනෙකුට එකවර මඟ හැරීම සැළකිය යුතු තත්වයක්. විශේෂයෙන් ජයදේව කියන්නේ පශ්චාත් ව්‍යුහවාදය ලංකාවේ සමාජගත කරන්න හදපු කෙනෙක්. සදාචාරය අප තුළ අවතාරයක් ලෙස හොල්මන් කරන තුරු ම අපගේ ක්‍රියාව ධනාත්මක සමාජ මැදිහත් වීමක් කරා පර්වර්තනය (translate into a positive intervention) කළ නොහැකි බව ජිජැක් ගේ මතය යි. 'දේශපාලනයෙන් තොර සදාචාරය හිස් දෙයක් බවත් සදාචාරය නොමැති දේශපාලනය අන්ධ දෙයක්' බවටත් වන කාන්ටියානු අලංකාරිකය තුළ අප සිරගත වීම මහා අනෙකාගේ වචනය තුළ සිරගත වීමක් ලෙස සලකන ජිජැක් මහා අනෙකා මියගිය ලොවක (ක්‍රිස්තියානි) මහා අනෙකෙකු සිටිතැයි සිතීම මේ යුගයේ මහත්  අසමත් භාවය ලෙස හඳුනා ගන්නවා (ඉහත පිටුව 157). ඉතින් ජයදේව මහාචාර්ය තුමා වගේම නිර්මාල් ආචාර්ය තුමත් තමන්ගේ ස්ථාවරයන් තුළ ඇති තමා දෙස බලා සිටින වගට පරිකල්පනය කරන පතුලක් නැති මහා අනෙකත්වයෙන්  (abyssal otherness) මිදෙන්න ඕනි රැඩිකල් යමක් කරන්න හිතනවා නම්   

අනික් අතට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ද උරුමය ට අවුරුදු අසුවක් ගත වෙනවා කියල. යටත් විජිතයෙන් ශේෂ වෙච්ච දෙයක් හැටියට ගත්තොත් ඔහු කියන එක ඇත්ත. සද්ගුරු වුනත් කියන්නේ මේ දේම තමයි. පරණ නැක්සලයිට් කාරයෙක් වෙච්ච සද්ගුරු කියන්නේ චීනය අමාරු පාරකින් ඇවිත් අද ගෝලීය ලෝකය සමග බද්ධ වෙනකොට ඉන්දියාව ඊට වඩා පහසු මාවතක් තෝරා ගෙන තියනවා කියල ලෝකය එක්ක සම්බන්ද වෙන්න සහ සංවර්ධනය කරා යන්න (සද්ගුරු නොකීවට මේ සම්බන්දයෙන් පැරණිම සහ හොඳම උදාහරණය වෙන්නේ 'ශුන්‍යතාවයේ ජපානය'). කොහොම වුනත් අපේ පැත්තෙන් ගත්තම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සුද්දගෙන් අපට ආපු උරුමයක්. ඒ උරුමය අපෙන් විගලිත කරන්න බැහැ. අපි පිටරටක ට ගිහිල්ල ඉංග්‍රීසියෙන් කතාකරන වචනයක් පාස අපි සුදු ස්වාමියාට ණය ගැතියි වගේම ප්‍රජාතන්ත්‍රවාදය වගේ උතුම් සංකල්පයක් ගෙනාවටත් අපි එයාලට ණය ගැතියි. ඉංග්‍රීසි සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන තත්වයන් දෙක නිසා පමණක් මත් අපි විශ්වීය ලෙස ගෝලීය අනේකත්වය සමග ආඩම්බර ලෙස ගැට ගැසෙනවා. සමහර දියුණු ජාතීන් ඉංග්‍රීසි භාෂාව සමග අරගල කරද්දී සහ අපේ අය අපුරුවට ඉංග්‍රීසි භාෂාව හසුරුවන කොට දැනෙනවා අපි මේ දුපතෙන් එළියට ගිහිල්ල ගෝලීය ව අනික් මිනිස්සුත් එක්ක ගැටගැහෙනවා කියන එක (ඉංග්‍රීසි කතා කරපු පමණින් යමෙක් විශ්වීය වෙනවා කියල නෙවෙයි මේ කියන්නේ. ඉංග්‍රීසි කතා නොකරපු පමණින් යමෙක් ගැමියෙක් වෙන්නෙත් නැහැ). ඒ වගේම සුද්දාගෙන් පස්සේ අපි සන්නද්ධ අරගලයට වඩා සර්වජන චන්ද බලය කෙරෙහි විශ්වාස කරනවා අපිට ඕනි පාලනයක් ගේන්න (ඒකෙ බරපතල සීමාකම් ඇති). සන්නද්ධ අරගල පැරදුනාට අපේ මිනිස්සු තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ආශාව තවම මිය ගිහිල්ල නැහැ (පාර්ලිමේන්තුව තුළ තියෙන පිස්සු නිසා මිනිස්සුන්ට ඒක එපා උනාට). ඉතින් ඒ උරුමය වෙනුවෙන් මිනිස්සු පාරට බැහැල තියෙන හැටි දැකීම ධනාත්මක දෙයක් වුනාට ඒ මිනිස්සු නිවැරදි දිශාවකට යොමු කරන්න මේ යන බලවේගයට පුළුවන් වෙයිද කියන එක ලොකු ගැටළුවක් අප ඉදිරියේ තියෙන. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් දෘෂ්ටිමය උගුලක් මොනවහරි අලුත් දෙයක් වෙන එක නවත්වන. ඒ වගේම අපි සිතන්න හොඳ නැහැ අපට සර්වජන චන්ද බලය දුන්න සුදු ස්වාමියා අප දෙස බලා සිටිනවා කියල. එහෙම සිතීම තවත් උගුලක්. හරියට Shawshank Redemption  (1994) එකේ උගුල වගේ. ඒ කියන්නේ ඇන්ඩි සිතුවානම් තමන් දිහා මහා අනෙකා බලා ඉන්නවා කියල එහෙනම් කවදාවත් අර මහා හිරගෙදරින් එයාට එළියට යන්න වෙන්නේ නැහැ (මේක ගැන දීර්ඝ ලෙස 'මගේ ලෝකයෙන් පසු ලෝකය' තුළ කතා කරලා තියෙනවා). ඒ නිසා ඉහත චිත්‍රපටිය නැවත බලන්න කියල ජයදේව මහාචාර්ය තුමාට ආරාධනා කරන අතරේ මෙහෙමත් අපට කියන්න පුළුවන්. ඒ තමයි ඉහත චිත්‍රපටිය බටහිර ලෝකය පුරා ජනප්‍රිය වෙන්නේ එහි තියෙන ක්‍රිස්තියානි සහ නීට්ෂයානු අන්තර්ගතය නිසා. ඒ කියන්නේ නීට්ෂේ කියන විදියට අපි සදාචාර වරදකාරිත්වය තුළ සිටින තාක් කල් අපිට සත්‍ය ලෙස නිදහස් වෙන්න බැහැ කියන එක. හොඳ සහ නරක ඉක්මවා යන ගතිකයක් තුලින් මිනිසාට සත්‍ය ලෙස නිදහස් විය හැකියි කියලා තමයි නීට්ෂෙ කියන්නේ එයාගේ Thus Spoke Zarathustra පොතේ. ඒ නිසා ජිජැක් තරයේ කියනව ලකාන්ගේ ඇන්ටිගනී විචාරය කියවනවා නම් ඒක කාන්ටියානු ආකාරයකට කියවන්න එපා කියල (පිටුව 158). මොකද ඔහුට එතැනදී අවශ්‍ය වන්නේ අපිව කාන්ටියානු දේශපාලන උගුලෙන් ගලවා ගන්න එක (සදාචාරය අප දිහා බලාගෙන නැති බව). 

ජිජැක් ඉහත පොතේ ඉහත පිටුවෙ ම මෙහෙමත් කියනවා. ඒ තමයි පාලකයෙක් යම් ගැටළුවක් විසඳීම සඳහා යෝජනා කරන 'සිතාගත නොහැකි අධි ප්‍රයෝගික බව' සහ සමසත්තා සංකල්පය පටලා ගන්න එපා කියල. බහුතර මිනිසුන්ගේ යහපත සහ සිවිල් සාමය උදෙසා පාලකයෙකුට සමස්තතා අභිනයේ මුලික ලක්ෂණ (elementary gestures of totalitarianism) කරා පවා ගමන් කිරීමට සිදුවිය හැකියි කියල ජිජැක් කියනවා (එතැනදී තමයි ඔහු ස්ටාලින් වෙත ගමන් කරනවා වගේ ලෝකයට පෙන්නේ). නමුත් ලංකාවේ සිදුවූ ඉහත හැරවුම විසින් දාර්ශනික මතවාද දෙකක් ගැන නැවත සිතා බැලීමට බල කරනවා. එකක් නම් අප විශ්වීය ලෙස අනේකත්වයට ගරු කල යුතුද (යහපාලනය ට චන්දය දුන් මිනිසුන්ගේ දැක්ම තුළ අප සිරවිය යුතුද යන්න) නැත්නම් එසේ නොසිතා (ඔවුන්ගේ ආශාව බවට පත් වීම ප්‍රතික්ෂේපනය කර = disavowal) තමාට චන්දය දුන් මිනිසුන් ඔවුන්වත් නොසිතු දිශාවකට ගෙන යනවාද යන මතවාද දෙක ගැන අප විප්ලවීය අරුතින් සිතන්නේ කෙසේද යන ස්ථාවර දෙක යි. මෙයින් පළමු වැන්න හබමාස් විසින් ඉදිරිපත් කරන කාන්ටියානු ප්‍රවේශය වන අතර දෙවැන්න ඩෙරීඩා විසින් ගෙන එන අදහසයි. ජිජැක් පවසන්නේ මේ දෙකම නිවැරදි බවයි. නමුත් මිනිසුන් නොසිතු දිශාවකට ඔවුන් ගෙන යන්නේ නම් එය කල යුත්තේ කෙසේද යන්න පිළිබදව මෛත්‍රිපාල ජනාධිපති වරයාට අදහසක් තිබුණා ද යන්න මෙතැනදී පැහැදිලි නැහැ. මතුපිටින් බැලු බැල්මට තවමත් ඇත්තේ යම් හිතුවක්කාර බවක් විතරයි. එම හිතුවක්කාර බව ඔස්සේ අත්තනෝමතික ලෙස පාර්ශවයන් මාරු කිරීමකින් ඔබ්බට ගිය විශ්වීය සන්නිවේදනයක් ඔහු විසින් ස්ථාපිත කරන්නේ නැහැ. මහින්ද වෙතින් ඔහුට එය බලාපොරොත්තු වෙන්නත් බැහැ. මොකද ඔහු කිසිම වෙලාවක දේශීය හුදකලා භාවයෙන් ඔබ්බට යන්න උත්සාහ නොකරපු ස්වාසිලන්ත ජාතිකයෙක්. අද අවශ්‍යව ඇත්තේ හුදු රනිල් විරෝධයෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක් (රනිල්ගේ වැඩේට වඩා ඉදිරියට ගිය වැඩ පිළිවෙලක්). පවත්නා ලිබරල් ආකෘතිය ඇතුලේ එවැන්නක් පෙනෙන්නට නැතුවා වගේම රට විශාල වශයෙන් පහලට වැටෙමින් තිබෙන බව නම් ඇත්ත ය. ප්‍රතිරූපය සැදීම පවා සිදු විය යුත්තේ යම් විශ්වීය සන්නිවේදනක් ඔස්සේ කියල මෙතැනදි කියන්න ඕනි. නැත්නම් වෙන්නේ හිතුවක්කාර බව ඔස්සේ නව සමස්තතාවාදී රූපයක් ගොඩ නැගෙන එක විතරයි. දැනටත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්. මොන විදියට බහුතරය පෙන්නුවත් මොන දේවල් තාර්කික ලෙස කීවත් දැන් ඔහු ඉන්නේ මුරණ්ඩු තත්වයක. ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි තමන්ට කියල විකල්ප වැඩ පිලිවෙලකුත් නැති වෙලාවක (ඒ නිසාම ප්‍රායෝගික බවකුත් නැහැ). දැන් තියෙන්නේ තිබුනාටත් වඩා සිරගත වීමක් හැම පැත්තෙන් ම. මෙතනින් තමයි මෛත්‍රී එළියට එන්න ඕනි. මෙතනින් තමයි රට ඉදිරියට ගන්න ඕනි.
            
විශ්වීය සන්නිවේදනයක් වෙනුවට අද වනවිට මෛත්‍රිපාල ජනාධිපති වරයා විශ්වාස කරනවා මාධ්‍ය ඔස්සේ ගොඩ නගන රූපය බලවත් කියල. මෙහෙම තමා මහින්ද හිතුවෙත්. ස්වරූපරාගය කියන්නේ මේකට තමයි. මේක පසු නුතන මාකටින් තත්වයක්. මොන රූපය ගොඩ නැගුවත් මිනිස්සු මහින්ද ගෙදර යැව්වා. චම්පික හරියට ම ඒක ලිප්ටන් රැළියේදී කිව්වා 'ඒ යුගය ඉවරයි කියල'මේක අලුත් යුගයක්. අලුත් සද්භාවයක් එක්ක අලුතින් හිතන පරමපරාවක් තමයි ඇතිවෙමින් ඉන්නේ. මහරජ වගේ පැරණි රූපක එක්ක නැවත දුවන්න බැහැ (එහෙම ටිකක් මොඩ් පරම්පරාවක් තමයි මෛත්‍රීට චන්දය දුන්නේ). සියලු මාධ්‍ය වාරණය කරලා රාජ්‍ය මාධ්‍ය අතට අරගෙන තිබුනත් මිනිස් සද්භාවයේ මාලිමාව හරවන්න බැහැ. ඇත්තටම මිනිස්සු විශ්වීය ලෙස සම්බන්ද වෙන්න කැමතියි. ගුප්ත ලෙස හැංගෙන්න අසා නැහැ. අරවින්ද ල ට ආයේ මේ රටේ තැනක් නැහැ. ඒ නිසා මෛත්‍රීපාල හිතන විදියට ඒකාධිකාරී හුදකලා භාවයකට හෝ පැරණි ලෝකයේ රූපක වලට ආයේ මේ රටේ ඉඩක් නැහැ. ගොඩ නැගෙමින් යන දළ සිතියම තුල (මේක අවම වශයෙන් බැසිල් ට වත් තේරෙනවා ඇති) බලන්න චම්පික වගේ කෙනෙක් කොච්චර වෙනස් වෙමින් යනවද කියල. ජාතිකවාදී තැනක හිටපු ඔහු අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සටනේ ඉදිරියෙන් ම ඉන්නවා. අද ඉන්නේ ෆේස් බුක් ජෙනරේෂන් එකක්. ගතින් කහටගස් දිගිලියේ හිටියට උන් තත්‍ය සමාන ලෝකයේ සැරිසරන්නේ ලස් වේගාස් වල (ෆැන්ටසිය). එහෙම ජෙනරේෂන් එකක් තමාගේ පාලකයා සමලිංගික ද විෂම ලිංගිකද කියල හිතන්නේ නැහැ මහා ලොකුවට. බලන්නේ තමාගේ පාලකයා විශ්වීය ලෙස ලෝකය එක්ක සම්බන්ද වෙනව ද නැද්ද කියන එක. එතැනදී රනිල්, මංගල, චම්පික, අනුර වගේ අය ගෝලීය තැනක ඉන්න එක සතුටට කරුණක් මොන ප්‍රශ්න තිබුනත් ඒ අයගේ දේශපාලන-පුද්ගලික ජීවිත වල. පුද්ගලික දේ දේශපාලනික තමයි. ඒ වුනාට අපිට ආයේ ගෝත්‍රික සමස්තතා පාලනයකට යන්න බැහැ. එහෙම දේට ආයුෂත් නැහැ. විප්ලවය කියන්නේ එහෙම අපගමනයකට නෙවෙයි. විශ්වීය දෙයකට. පක්ෂ පාට භේද බලන්නේ නැතුව මේ බැලූ බැල්මට පේන සමස්තතා අපගමන යට විරුද්ධව නැඟී සිටින ජනකාය ලංකාවේ අනාගතය පැත්තෙන් ගත්තම ගොඩක් වැදගත්. විශේෂයෙන් නිශ්ශබ්ද තරුණ කොටස මේ වෙච්ච විපර්යාසයට කැමති නැහැ (ඒක වෙන්න ඇති හරින් ප්‍රනාන්දු ල, අජිත් පෙරේරා ල, චම්පික ල බය නැතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන සටන් පාඨය බැහැල ඉන්නේ). මම මෙතෙක් කතා කරුපු නිශ්ශබ්ද තරුණ නියැදිය ඔක්කොමල ඉන්නේ මේ අපගමනය ට විරුද්ධ දිශාවක. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා සටන් කරපු එහෙත් වැඩ පිළිවෙලක් නොතිබ්බ ඊජිප්තු අරගල වගේ ඒවා මේ වෙනකොට අත්පත් කර ගනිමින් යන අපගමනය දිහා බලපුවාම ඇත්තටම මේ ගොල්ල මේ සටන් කරන්නේ දැනුවත් භාවයකින් ද කියන ප්‍රශ්නය නිතැතින්ම එනවා. පුළුල් ආර්ථික නිදහසක් නැති තැනක, තියෙන්නේ ලිබරල් මොඩලය පමණක් වන තැනක මොකක්ද අප ගෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය? විශේෂයෙන් දඹර අමිල හාමුදුරුවෝ කෑ කොස්සන් ගහල කට්ටිය අප් කලාට අන්තිමට මේ අන්තයේ තියෙන්නේ මොනවද කියල එතුමා හිතන්නේ නැත්තේ ඇයි? පවත්නා චක්‍රය ඇතුලේ හමුවන්නේ පරණ දෙයම නම් එවිට? අපි එකතු වන්නේ හුදෙක් මෛත්‍රී එළවා දැමීම සඳහා පමණක් නම් එවිට අප ගමන් කරන්නේ පරණ වෘත්තයේම නේද? යම් විදියකින් මෛත්‍රී ඉතිහාසය ඇතුලේ නිවැරදි වුණොත් එතකොට මොකද වෙන්නේ? 

ඉහත සන්දර්භය ඇතුලේ ඇත්ත ප්‍රශ්නය නම් 2015 වෙච්ච වැරද්දම නැවත සිදුවීමට ඇති හැකියාව දඹර අමිල හාමුදුරුවෝ කතා නොකරන එක. ඒ හිමියන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාරාන්තික උපවාස කරන වෙලාවක මම මේ කියන්න යන්නේ එච්චර ජනප්‍රිය නැති දෙයක්. 2015 වෙදිත් අපි කළේ ඒකාධිපති කියල කියපු මහින්ද ඉවත් කරන්න පමණක් එකතු වෙච්ච එක. මේ පාර කරන්නේ මෛත්‍රී නම් සතුරෙක් ට එරෙහිව පෙළ ගැසෙන එක. 2015 දී දීර්ඝ කාලීන තිරසාර වැඩ පිළිවෙලක් තිබ්බේ නැති නිසා යහපාලනය රෝයල් ගැන්සියක් විසින් පික් පොකට් ගැහුවා වගේම මේ පාර වෙන්න නියමිත ත් ඒ වගේම සෙට් එකක් අතට පාලනය යන එක විතරයි. 'යහපාලනය' කිරීම කෙසේ වෙතත් වටේ ඉන්න පිරිසක් පොහොසත් වෙනවා (මිලියන වලින් නෙවෙයි බිලියන වලින්). ඒ වගේම බලය තියෙන නිසා තම තමන්ගේ පුද්ගලික ආශාවල් වල ඇරියස් ඇර ගන්නවා විතරයි අපිට බලන්න වෙන්නේ. හුගක් අයට කේන්ති ගියාට යහපාලනය 'සමනල' ක්‍රීඩාවක් වුණේ මේ විදියට (ඒක හුදු සමලිංගික විරෝධයක් නෙවෙයි). මෛත්‍රී කලේ මෙම 'විනෝද සමය' (orgy) පොඩ්ඩක් හොල්ලල දමපු එක එයාගෙ ම ආකාරයකට (සමහර විට ඒක හරි කියල කියන්න බැරි වුනත් ඉතාම ගැඹුරෙන් ගත්තොත් එම ක්‍රියාවේ පවා රැඩිකල් අන්තර්ගතයක් ඉහත අශ්ලීල වපසරිය තුළ දකින්න නැතුවා නොවෙයි). විනෝදෙන් පමණක් හිටපු කට්ටියක් මේ වැඩේ ඇතුලේ අවුල් වෙලා තියෙනවා. ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරන කතා පිටිපස්සේ ගියොත් අපි එතැනදී ගඟේ යනවා. මොකද ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදය කියල තේරෙන්නේ විනෝද ක්‍රීඩාවකට කියන තවත් නමක් විදියට. නැතුව පුළුල් මානව නිදහසක් පිළිබද විශ්වීය කොන්දේසියක් හැටියට නෙවෙයි. අමාරු දෙයක් හැටියට නෙවෙයි. මෙතැනදී අපිට කියන්න ඕනි මෙච්චරයි. වැඩ පිළිවෙලක් නැතුව ගියොත් වෙන්නේ ආයෙත් පාරක් නිකම්ම ජනප්‍රියවාදයක් එන එක විතරයි. ඒ වැඩේ ඇතුලේ කවුරු බලයට ආවත් වෙන්න නියමිත පරණ වැඩේම තමයි (අමිල හාමුදුරුවෝ තම හඬ දෙන්නේ මේ ජනප්‍රිය වාදයට). එතකොට ආයෙත් වෙන්නේ මෛත්‍රී වෙනුවට අපි සතුරෙක් නිර්මාණය කරන එක (චම්පික හරි බැසිල් හරි කවුරු හරි). පරණ චක්කරේ ම ආපහු වටයක් කැරකෙනවා. අපේ ජීවිත සහ ලංකාවේ අනාගතය එතනම යි. මෙන්න මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය විසින් හැම විටම අලුත් අත්හදා බැලීමක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකක්දෝ නිදහසක් අහිමි වෙයි කියල අපිව බය බීත කරනවා (ඒ වුනාට ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ හම්බු වෙච්ච මහා ලොකු කෙමනකුත් නැහැ).       


'ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීමට නම් ඒ තුළ සිටින මිනිසුන් වෙනස් කල යුතුව ඇත' යන ඇලන් බදිව් ගේ කියමන ට අනුව ගතහොත් මුලින් ම වෙනස් කළ යුතුව ඇත්තේ මහින්ද ගේ අය තමයි (මිරිස් කුඩු සෙට් එක). ඒත් එයින් අදහස් කරන්නේ නැහැ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගොඩක් හයියෙන් කතා කරන අය තමන්ගේ පුද්ගලික ජීවිත ඇතුලේ ඒ කියන වටිනාකම් ආරක්ෂා කරනවා කියන එක. බොහොමයක් අය තමන්ගේ ඇත්ත ජිවිත ඇතුලේ ඒවා රකින්නේ නැහැ කියන එක මම පිලිගන්නවා. එහෙම උනාට කිසිම කෙනෙකුට අත්තනෝමතික විදියට වැඩ කරන්න දෙන්න බැහැ. තමන්ට වුවමනා වුවමනා විදියට (තනි වුවමනා වට) මිනිස්සුන්ගේ චන්දයෙන් තෝරා පත් කර ගත් යම් පාලනයක් පෙරලා දමන්න බැහැ විතරක් නෙවෙයි යම් ජන මතයකට එරෙහිව සිටගත් පුද්ගලයකුට තමා බලයට පත් කල මිනිසුන්ගේ සිතුම් පැතුම් පාවා දෙන එකත් සදාචාර සම්පන්න නැහැ ඉන්න තත්වයෙන් ඉහලට ඔවුන් ඔසවා තබන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම්. කොහොමත් දැන් සදාචාර කතා වලින් කාටවත් වැඩක් නැති නිසා ඒක කතා නොකර ඉමු. අනික් අතට 2015 මැතිවරණය වෙනකොට ඇත්ත පරස්පරතාවය තිබුණේ රනිල් මෛත්‍රී අතරේ නෙවෙයි. මහින්ද ජාතිකත්ව කඳවුර සහ මෛත්‍රී නියෝජනය කළ විශ්වීය වටිනාකම් පිළිබද කඳවුර අතර (ඒක නිසා තමයි සුනන්ද දේශප්‍රිය කියන්නේ තමන්ගේ ළිපි එකතුව පළ කරන්න මෛත්‍රීට ඕනි වුණා කියන එක. බටහිර ලෝකය මෛත්‍රී වැළඳ ගත්තෙත් ඒකයි). ඒ අනුව ගත්තම මේ තියෙන්නේ විපරීත අපගමනයක් (ස්වයං නිශේධනයක්). මොකද ඉහත පරස්පරතාවය තවමත් ලාංකික පොළොවේ නොවිසඳී තියෙන නිසා. සිදුවී තිබෙන එකම දෙය මෛත්‍රී තමා නියෝජනය කරපු වටිනාකම් සහ පාර්ශවය මාරු කරලා තිබීම පමණයි (පරස්පරතාවය එහෙමම යි). වැදී රජු තවමත් එහෙමම යි. මනමේ කුමාරයත් එහෙමම යි (ඒ කියන්නේ රනිල් නෙවෙයි). නමුත් මනමේ කුමරිය වෙනස් වෙලා තියෙනවා. මේක තමයි සද්භාවය ඇතුලේ තේරුම් ගන්න බැරි දෙය (මනමේ නාටකය මෙතරම් ප්‍රේහේලිකාවක් වෙන්නේ මෙම අතාර්කික සද්භාවී පෙරළුම නිසා - ontological twist). මේ ගුප්ත බව විසින් තමයි අප බටහිර මිනිසාගේ ආශා වස්තුව බවට පෙරළෙන්නේ. අපි ඒ බටහිර දැක්මෙන් මිදෙන්න ඕනි. නමුත් අපි රටක් හැටියට දියුණු වෙන්නත් ඕනි. එතැනදී තමයි ජිජැක් යෝජනා කරන්නේ සබුද්ධික බවේ ගොදුරක් වෙන්න එපා කියල. ඒ කියන්නේ මනමේ කියල හංවඩු ගැහුවට කමක් නැහැ වැඩේ දිගටම කරගෙන යන්න කියන එක. ආපහු හැරෙන්න ඕනි නැහැ කියන එක. දැන් මෛත්‍රී කරපු දෙය ඔහුටවත් නැවත හැරවිය නොහැකි තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒකට කමක් නැහැ. මනමේ භුමියේ සත්‍යයේ සමස්තය ඇතුලේ තියෙනවා යම් තේරුම් ගන්න බැරි ගුප්ත දෙයක්. ජිජැක් ගෙන් මාධ්‍ය කාරයෝ අහනකොට ඇයි රුසියානු විප්ලවය අසාර්ථක වුනේ කියල ඔහු දෙන උත්තරය තමයි 'ඒ තුළ තිබෙනවා මට පැහැදිලි කරන්න බැරි ගුප්ත අන්තර්ගතයක්' කියන එක. ඒ කියන්නේ වැඩක් ඇතුලේ ඔක්කොම දේවල් තාර්කිකව පැහැදිලි කරන්න බැහැ. මෙයින් අදහස් කරන්නේ 'තාර්කික බටහිර' වැරදි කියලත් නෙවෙයි. බටහිර විසින් තමන් ගැනම සවිඥානික බවක් අත්පත් කර ගනිමින් යන නිසා අපි පිස්සු කෙළිනකොට ඔවුන් වහාම සබුද්ධික වෙලා අපිට කියනවා ඔන්න දැන් උඹල පරණ පිස්සුව පටන් ගත්ත කියල. ඒ නිසා බුරුමයේ අවුන් සන් සු කී විශ්වීය මානව වටිනාකම් වලින් විගලිත වෙන කොට බටහිර විසින් අයට තරවටු කරනවා (මෙයින් අදහස් කරන්නේ නැහැ බටහිර පිස්සු කෙලින්නේ නැහැ කියන එක. බටහිර කියන්නේ බටහිර අර්ධ ගෝලයේ ඉන්නවා කියන එකට නෙවෙයි. චින්තන ආකෘතියකට. ඒ නිසා ජපන් පාර්ලිමේන්තුවේ පිස්සු කෙළින වීඩියෝ සහ මෙහෙ වීඩියෝ කියන්නේ එකක් නෙවෙයි දෙකක්). විශ්වීය තැනකදී සමහර විට අපිත් හරි සමහර විට ඔවුනුත් හරි.    

ජිජැක් කියනවා අප විසින් ම විශ්වීය වටිනාකම් උල්ලංඝනය කරන්නේ නම් මිනිසුන්ට ඉතිරි වෙන්නේ අතීතකාමය විතරයි කියල. ඉතින් මිනිස්සු අන්තවාදී සංවිධාන වලට යන එකට අපි දොස් කියල වැඩක් නැහැ අපි විසින් ම මිනිස්සුන්ට දුන්න පොරොන්දු කඩනවා නම් (නේටෝ එකෙන්ම බෝම්බ දානවා නම් එතකොට මොකද කරන්නේ?). මේක මෛත්‍රීට ත් සෑහෙන දුරකට අදාලයි. එයා විසින් ම ගෙනාපු විශ්වීය වටිනාකම් වලට එයා පස්ස හරවනවා නම් එතකොට මිනිස්සු මොකද කරන්නේ (මිනිස්සු මුහුණු පොතේ කියන දේවල් දිහා බලන්න). හැබැයි තවත් දෙයක් කියන්න ඕනි. ඒ කියන්නේ න්‍යාය කියන්නේ අතිශයින් භයානක දෙයක් වුනාට අපි සමහර විට කරලා තියෙන්නේ හරිම දේ වෙන්නත් පුළුවන් මේ වනවිට. මොකද අපි අපේ න්‍යාය හරහා පවත්නා ගිණි වළලු උඩින් පියාඹන්න පුළුවන් රාක්ෂයෙක් නිර්මාණය කළා වෙන්නත් පුළුවන් (Shrek චිත්‍රපටියේ ඩ්‍රැගන් වගේ නැත්නම් Terminator වගේ). න්‍යාය කියන්නේ ඕනිම අතකට පාවිච්චි කරන්න පුළුවන් අවියක් වැරදි හස්තයක් අතට ගියොත්. සමහර විට අපි විසින් ම තනපු පිතෘත්ව රූපක එකවරම යක්ෂයෙක් ලෙස අපව ම කා දමන්න එනවා වෙන්නත් පුළුවන්. සමහර විට මුලින්ම විනාශ වෙන්නේ අපිව ම වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අත්හදා බැලීම් කියන්නේ අනතුරු දායක දේවල් තමයි. අනතුරු දායක දේවල් කරන්නේ නැතුව මාරාන්තික සිර කඳවුරෙන් නිදහස් වෙන්නත් බැහැ (Shawshank Redemption එකේ ඇන්ඩි කළා වගේ). නිකම් හිටියොත් වෙන්නේ සිර කඳවුර ඇතුලෙම මැරෙන්න යි. නැත්නම් ඇන්ඩි ට වුණා වගේ බන්ධනාගාර ප්‍රධානියාගේ වහල් වැඩ ටික කර කර ඉන්න විතරයි. ඒ කියන්නේ ඇන්ඩි ට වෙන්නේ සදාකාලික සිරගත භාවයක් අත්විඳින්න විතරයි (eternal imprisonment). ඒ නිසා අනතුර ගන්නම වෙනවා (පවත්නා ආර්ථික සිරගත වීමෙන් මිදීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙලන්නම වෙනවා). කොහොම වුනත් අද වනවිට ජනාධිපති තාත්තලා (පියාගේ නම වර නැගීම), අප්පච්චි ලා ('අප්පච්චි ඇවිත්' වගේ නවකතා), බාප්පලා, පුංචි තාත්තලා අප විසින් ම ගොඩනැගූ මතවාද ඔස්සේ අත්තනෝමතික තත්වයන් අත්පත් කරගනිමින් ඇත්නම් සහ දේවල් ආපසු හැරවිය නොහැකි වුවොත් එවිට අපිට මැරෙන්න වෙන්නේ හෛඩගර් මැරුණාටත් වඩා අන්ත විදියට තමයි. හැබැයි කරන්න දෙයක් නැහැ. මොකද වරදින්නේ වැඩ කරන අයට තමයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ඉන්න නාගරික ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පන්තියේ අය විසින් ම ඒකෙ මුලධර්ම පාවල දුන්නට පස්සේ සහ බලය ලැබුණ ට පස්සේ ඔය කියන අයම ඒ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා (රටත් විනාශ කරලා) ඒ තුලින් අශ්ලීල විනෝදයක් ලබනවා නම් ඊට පස්සේ කරන්නේ මොකක් ද කියන එකට පිළිතුරක් අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන අය සොයන්න ඕනි. ඒ අය මොනවද නැත්නම්  මිනිස්සු ඉස්සරහට ගිහින් කියන්නේ? මෙවන් රටක මතවාද නිෂ්පාදන කිරීම අතිශයින් භයානක වුවත් එවකට පැවති පසුගාමිත්වයෙන් ඔබ්බට යන්න නව චින්තනයක් අවශ්‍ය වෙලයි තිබුණේ. අපි අපේ වැඩේ කළාට ඔවුන් ඔවුන්ගේ වැඩේ කළාද කියන සරල ප්‍රශ්නය තමා අපිට හැමොගෙන් ම අහන්න වෙලා තියෙන්නේ. පැවති මතවාදයට එරෙහිව අප අලුත් මතයක් වැඩි දියුණු කිරීමට ඒ වනවිට අදිටන් කරගෙන සිටි නිසා විශ්වීය බව පිළිබද කතිකාව සහ නව වම පිළිබද සංවාදය ඉදිරියට ගන්න ශ්‍රමය ලබා දීමට මැළි වුවේ නැහැ (යහපාලන ආණ්ඩුවේ මුල් කාලයේ ජිජැක් පිළිබද අධ්‍යනය එන්නේ මෙතනින්). කොහොම වුනත් අප සමාජ ගත කිරීමට උත්සාහ කල ක්‍රිස්තියානි ආදරයේ සිට කිසිවෙක් අප දෙස බලා නොසිටි යන ප්‍රස්තුතයන් විශ්වීය වටිනාකම් වලින් ඛණ්ඩනය වී සමස්තතා වැඩ පිළිවෙලක් ඉස්මතු කිරීම වෙනුවෙන් භාවිතා වෙමින් ඇත්නම් අප පස්සට යනවා වෙනුවට කරන්නේ එය පරාජය කිරීම සඳහා නව මතවාදී ප්‍රවේශයකට පොළා පැනීමයි (එයටත් පරණ දෙයම විය හැකි නොවේද යනුවෙන් ද යමෙකුට තර්ක කළ හැකිය). 

මේ වනවිට දිගහැරෙන දේශපාලන චිත්‍රය ඇතුලේ අපේ චායාව තියෙනවද කියන ප්‍රශ්නය මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් (මම දැක්ක විදියට සිරිමල් විජේසිංහ මේක මතු කරනවා තමන්ගේ මුහුණු පොතේ). අප මේ යුගයේ මුහුණ දෙන මහත් ම ගැටළුව නම් ප්‍රජාතන්ත්‍රවාදයේ නරුම එකඟතාවය බිඳ දමන්නේ කොහොමද කියන එක තමයි ජිජැක් තම 'කිසිවෙක් සමස්තතාවාදය යයි කීවේද?' නම් ග්‍රන්ථයේ මතු කරන්නේ. සියලු දේ සබුද්ධික බවට පරිවර්තනය කරන්න හදන ලිබරල් කට්ටියට ඉතින් වෙනිසියුලාවේ චාවේස් වගේ කෙනෙක්  පෙන්නේ සමස්තතා අර්ථයකින් කියලයි ජිජැක් කියන්නේමෛත්‍රී කරන දේත් අපේ කට්ටියට සබුද්ධිකව (තාර්කික ව) තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. නැත්නම් ඉන්තේරුවෙන් ම ඒකාධිපති වෙනවා. ඉතිං ව්‍යවස්ථාව පෙරළලා බලනවා. අර නීති තර්ක ගේනවා. මේ නීති තර්ක ගේනවා. ස්ථාවර නියෝග ගේනවා. එක සෙල්ලමයි. කවුරුත් කියන්නේ නැහැ යහපාලන වැඩේ ඉවරෙට ම ඉවර වෙලා නේද තිබ්බේ කියල. නමුත් නායකයා කියන්නේ 'කළ නොහැකි දේ කරලා' (ඉහත පිටුව 247) පවත්නා සිරගත වීමෙන් රටක් එලියට ගන්න ඕනි කෙනෙක් කියලා ඇයි මේ ප්‍රජාතන්ත්‍රවාදී මහත්තුරු කල්පනා කරන්නේ නැත්තේ? මේ දේම නේද මහින්ද විසින් පවා කළේ තිස් වසරක යුද්ධය ඉවර කරන්න? සදාචාරය ඇතුලේ හිටියනම් ඔහු ඒ දේ කරන්නේ කොහොමද? නායකයා කරන්නේ අනෙකා (මා) සතුවිය හැකි වරද ඔහු වෙත ගන්න කෙනාට ('මම අද ආච්චි බලන්න යනවා. ඔයත් ලැහැස්ති වෙන්න' කියන නියෝගය දෙන කෙනා තමයි ඇත්ත පියා). යුද්ධය වෙලාවේ මහින්ද වගකීම ගත්තා. වෙන කෙනෙකුට වරදකාරීත්වය  යන්න තිබ්බේ නැහැ. ඉතින් මේ වෙලාවේ මෛත්‍රී විසින් වගකීම තමන් වෙත අරගෙන තියෙන්නේ. අපේ වැඩේ ඇතුලෙත් අපි වගකීම අරගෙන තියෙන්නේ. අරමුණ තමයි මේ රට තව අඩියක් ගොඩ ගන්න එක.     

අපි දන්නවා ක්‍රිස්තියානි උරුමය ගැන. ක්‍රිස්තියානියේ උරුමය ගැන කවුරු කොතරම් පාරම් බෑවත් මනුෂ්‍ය නිදහස, ආදරය සහ ශුන්‍යතාවය ගැන ගොඩනැගී ඇති වර්තමාන මනෝ විශ්ලේෂී කතිකාව සහ දේශපාලන න්‍යාය කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය විසින් ගොඩ නැගූ උතුම් දෙයක්. අප කියන්නේ අප එය පාවිච්චි කරන්නේ මිනිස් නිදහස සඳහා පමණක් ය යන්න ය. එච්චරයි.

දවසෙන් දවස ලංකාව පහතට වැටෙන කොට පසුගිය කාලේ න්‍යාය හදපු කාටවත් නිදහසේ කිසිවකුට නිදා ගන්න බැරුව ඇති කියල හිතල තමයි මේ ලිපිය ලියන්නේ. දේවල් කණපිට ගැහෙන කොට අප කල දෙයෙහි වරදකාරිත්වය නැවත අප කරා අවුදින් අප නින්දෙන් ඇහැරවනවා තමයි. නමුත් අපි Shawshank Redemption එකේ ඇන්ඩි වගේ උත්සාහ කරන්න ඕනි මේ හිරවෙලා ඉන්න වමේ අවුලෙන් වගේම දකුණේ අවුලෙනුත් ගොඩ එන්න මොනවා හරි කරන්න. එතැනදී වරදකාරිත්ව උගුලේ හසුවෙන්න ඕනි නැහැ. සාමාන්‍යයෙන් ඉහත චිත්‍රපටයේ ඇන්ඩි චරිතය බටහිර ලෝකය පුරා කියවන්නේ ක්‍රිස්තියානි අරුතකින් වුනාට (වරදකාරීත්වයෙන් නිදහස් වීම නිසා) පැහැදිළි බෞද්ධ ලක්ෂණ ඒකෙ තියෙනවා. ඒ තමයි අනික් හැමෝම තමන්ගේ සිරගත තත්වය එක්ක අනන්‍ය වුනාට (හිරගෙදර බිත්ති වලට ආදරය කිරීම) ඇන්ඩි කරන්නේ ඒ කිසිවක් සමඟ අනන්‍ය නොවන එක. අවම වශයෙන් රීටා හේවත් ගේ රූපය සමඟ වත් ඔහු අනන්‍ය වන්නේ නැහැ. එතන නවතින්නේ නැහැ. දිගටම යනවා. නිදහස දක්වා ම යනවා. අනන්තය දක්වා ම යනවා. කිසි තැනක නතර වන්නේ නැහැ. කාටවත් කියන්නෙත් නැහැ. කවුරුත් තමා දිහා බලා ඉන්නවා කියල හිතන්නෙත් නැහැ. කාටවත් යටත් වෙන්නෙත් නැහැ (තමාව දුෂණය කරන්න හදපු එවුන්ටවත්). අවම වශයෙන් තමාගේ හොඳම යාළුවා වෙච්ච රෙඩ් ට වත් දැනෙන්න අරින්නේ නැහැ තමන්ගේ අවසන් නිෂ්ටාව. ඉහත ඩෙරිඩා අර්ථයෙන් ඔහු කරන දෙය කාටවත් සන්නිවේදනය කරන්නේ නැහැ (නමුත් යන තැන ගැන විතරක් පොඩි සඥාවක් දෙනවා. තමන් කරන දේ ගැන ඔහු උපරිමෙන් සවිඥානිකයි. කඩුව දෙන්නේ කාටද කියන්න ඔහු හොඳට දන්නවා). නමුත් අවසානයේ රෙඩ් ව ගලවා ගන්නේ නැතුව ඉන්නෙත් නැහැ.  මහා අනෙකා උදේ ඇහැරිලා බලන කොට ඇන්ඩි ඇමෙරිකා දේශ සිමාව පන්නලත් ඉවරයි. සිර කඳවුරේ පාලකයා ගේ කට ඇද වෙන්නේ එතකොට තමයි. අන්තිමට ඔහුට බයිබලය සිහිවෙන කොට උමඟ හාරපු ගල් කටුව තිබුනේ බයිබලයේ ම නික්මයාම (exodus) පරිච්චේදය ඇතුලේ. බන්ධනාගාර යේ තිබුණ ඉහවහා යන දුෂණය සහ අපයෝජනය හෙළිදරව් කිරීම පිණිස සහ සමස්ත ව්‍යුහය සංකේතනය වෙතට නැවත ගේන්න ඇන්ඩි ට උමඟ හාරන්න ම වෙනවා. වෙන දෙයක් කරන්න තිබුනේ නැහැ. පුළුල් අර්ථයෙන් ඒක ශිෂ්ට ක්‍රියාවක්. වැටයි නියරයි දෙකම ගොයම කනකොට කළ යුතුව තිබුණ එකම දේ තමයි ඔහු කළේ නේද? ඉතින් ඉහත හැරවුමේ දී මෛත්‍රී විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය වත්, යූ. එන්. පී. එකේ උරුමය වත්, චන්ද්‍රිකා වත්, වෙන කවුරුත් වත් තමන් දෙස බලා සිටී කියල හිතල නැහැ. ඉතින් සුදු ස්වාමියා සහ එහි දේශීය නියෝජිතයින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කෑ මොර දුන්නට මොකද මෛත්‍රී බැරි බැරි ගාතේ වුනත් කරමින් ඉන්නේ ඇන්ඩි විසින් කරන ලද ක්‍රියාව වත් ද?  

(අවසන් අදහසක් නොවේ. අනුමාන කිරීමක් පමණයි. එනිසා සම්පුර්ණයෙන් ම සංවාදයට විවෘත යි. හැමෝම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තේ ඉන්න නිසා මෙම අදහස් පළ කිරීමට කිසිවෙක් ඉදිරිපත් වේදැයි සැක සහිත වුනත් ඉතිහාසය ඇතුළේ ලියල තියෙනවා කියල හිතුවා)

මහේෂ් හපුගොඩ  

කියවීම්: 
Zizek, S. (2011). Did Somebody Say Totalitarianism? Five Interventions in the (Mis)Use of a Notion. London & New York. Verso. 

No comments:

Post a Comment