Saturday, November 24, 2018

මුගාබේ නොවී මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කිරීම...

ජනප්‍රිය දේශපාලන විශ්ලේෂකයෙක් ලෙස ලොව පුරා ප්‍රකට ස්ලාවෝයි ජිජැක් විසින් 2017 වසරේ Beyond Mandela without becoming Mugabe නමින් දේශනයක් කළේය. එම දේශනයේ උප-පථිතය නම් කර තිබුණේ 'කැරළි ගසන්නේ කෙසේද' (How to rebel?) ලෙස ය. මා සිතන අයුරින් මාතෘකාව ට වඩා එම උප-පථිතය (sub-title) වඩා වැදගත් වන්නේ සහ ජිජැක් විසින් එය යම් පමණකින් අධිනිශ්චය කර තිබුනේ කැරළි ගැසීමට ගොස් අප අනිවාර්ය ලෙස විශ්වීයත්වයෙන් ඛණ්ඩනය වී අවසානයේ මුගාබේකරණය වන බව ඔහු අත්දැකීමෙන් දැන සිටි නිසාවෙන් විය හැකිය. කැරළි ගැසීම තුළ අප බුර්ෂුවා සදාචාරයේ ගොදුරු නොවිය යුතු වුවත් විශ්වීය වටිනාකම් වලින් මෑත් විය යුතු නොවේ. ස්පීල්බර්ග් ගේ Amistad (1997) චිත්‍රපටයේ කළු ජාතිකයින්ට කැරළි ගැසීමට ඇති අයිතිය ඇමෙරිකානු අධිකරණය විසින් ම පිළිගනු ලබයි. නමුත් මැල්කම් X එම අරගලය දියත් කලේ විශ්වීය ඛණ්ඩාංක යටතේ ය. ඔහුගේ අරගලය ප්‍රචණ්ඩ වුවද (ෆැනොන් ගේ අභාෂය නිසා) ඔහු කිසිම විටක ආසියාතික අත්තනෝමතික බව ට ඉස්මතු වීමට ඉඩ දුන්නේ නැත. එම අරගලයේ මාවත කෙලවර ඔවුන්ට රස්පුටින්, මොබුටු, ඉඩි අමින් නොව බැරක් ඔබාමා කෙනෙක් නිෂ්පාදනය කරගත හැකි විය. නමුත් එයට වසර සිය ගණනක් ගතවිය. ලංකික 'ඔක්තෝබර් විප්ලවයේ' උමතු කැරළිකරුවන්ට තිබුණේ බලය පිළිබද හදිසියකි. ඔවුන් වහාම සිදුවූ දෙය 'විප්ලවයක්' ලෙස නම් කරන ලදී. නමුත් ඊට පසුදා පහන් වනවිට මිනිසුන්ගේ ජිවිතයට කිසිවක් සිදුවුයේ නැත. සිදුවූවේ යම්තාක් වත් තිබු මතුපිට (බුර්ෂුවා යැයි කියන) නිශ්චල බව සොලවා දමා සමස්ත ය බොර වීම පමණය. එම බොර වීම මගින් නිශ්චල (සංකේතනය) බව ට යටින් ඇති යථාර්තය කොතරම් අවුල් ද (යථ) යන්න පැහැදිලි වීම මෙම 'ඔක්තෝබර් විප්ලවයේ' එක් වැදගත් මානයකි. සුදු ඇඳුම් වලට යටින් තිබු මතුපිට ට මෙතෙක් නොපැමිණි පරස්පරතා රාක්ෂ ස්වරූපයෙන් ඉස්මතු විය. පසුව එම පරස්පරතා පුපුරා ගියේය. කෙසේ වුවද අප එම පරස්පරතා පැවති බව දැන සිටියේය. එසේ තිබියදී මෙම පරස්පර බලවේග වලට චන්දය ලබා දුන්නේ වෙනත් ඓතිහාසික කටයුත්තක් සිදු කරනු පිණිසය. එනම් පැවති දුෂිත ඒකාධිකාරී බල ව්‍යුහය හි මුලය වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු පිණිස ය. එම පොරොන්දුව සහිත ව එතනට ගිය ජනාධිපති වරයෙකු ලෙස මෛත්‍රීපාල කරන්නේ තමා දුන් පොරොන්දුව ඉටුකර ඉන් පසු හමුවන ශුන්‍යතාව (කිසිවක් නැති බව) ධෛර්ය සම්පන්නව වැලඳ ගැනීම නොව චන්ද්‍රිකා කුමාරතුංග ගිය මාවතේ ම ගමන් කිරීම ය. ඊටත් අමතරව ඔහු විසින් හදිසි 'විප්ලවයක්' ද සිදුකර ඇත. මෙම සමස්ත ක්‍රියාව තුළ සිදුවන අප නොමඟ යවන සුළු දෘෂ්ටිමය පාර්ශවය එයයි. එනම් යම් කුමන්ත්‍රණකාරී බල ක්‍රීඩාවක් විය හැකි දෙයක් විප්ලවයක් ලෙස රූපාන්තරණය කිරීමේ ක්‍රියාවලියයි.  අද දවස වනවිට මෙතෙක් මෛත්‍රී විසින් හඳුනාගෙන නොතිබූ පරස්පරතා ප්‍රමාණයක් මහින්ද පාර්ශවයෙන් එලියට එමින් ඇත. විශේෂයෙන් පැරණි රෙජීමයේ කුප්‍රසිද්ධ අයවලුන් නැවත ඉහල තනතුරු ලබමින් සිටීම ඉහත විප්ලවය කණපිට හැරීමකි. මේ සිදුවූ විප්ලවය දෘෂ්ටිවාදී එකක් යයි කියන්නේ එම අරුතිනි.        

බල ක්‍රීඩාව නොහොත් ගේම් තියරියක් විප්ලවයක් ලෙස නම් කිරීමට යමෙකුට අවශ්‍ය වන්නේ ඇයි? එකක් නම් දෘෂ්ටිමය නරුම වාදයයි. නපුර යනු නපුර ලෙස දැකීම ප්‍රතික්ෂේප කිරීමයි. අශ්ලීල බල ක්‍රීඩාව තුල ම සිටිමින් ඒ සමග දුරස්ථ භාවයක් පවත්වා ගැනීමේ ආකෘතිය මෙහි උච්චතම අවස්ථාවයි (නාසි සෙබළුන් භගවත් ගීතාව භාවිතා කල අයුරින් අවශ්‍ය නම් බුදු වදන මෙහිදී අතර මැදියෙක් ලෙස පාවිච්චි කල හැකිය). අනෙක නම් සත්‍ය විප්ලවයක් සිදුවනු දැකීමට තරම් ජීවිත කාලයක් තමාට ශේෂව නොතිබීමයි (panic යනුවෙන් ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වයි). ජිජැක් ට අනුව මෙම රෝග ලක්ෂණය මතු වන්නේ එක්තරා නිශ්චිත හදිසියකිනි. එම හදිසිය නම් අපගේ ජීවිත කාලය කෙටි වීමත් එම කෙටි කාලය තුල විප්ලවය අත්දැකීමට නොහැකි වීමත් නිසාය. එමනිසා සිදුවන ඕනෑම විපරීත සිද්ධියකට ඔවුන් විප්ලවයක් ලෙස නම්නීකරණය කරනු ලබයි. ඉහත දේශනය තුළ ජිජැක් සඳහන් කරන්නේ අප ජිවත් වන්නේ පශ්චාත් දේශපාලන යුගයක බවයි. බල ක්‍රීඩාව යනු යනු සීමාවන් පිළිබද නුතන කතිකාවෙන් ඔබ්බට ගොස් එය පසු නුතන සිමාවන් රහිත බවේ මායිම් අත්හදා බලමින් සිටින බවයි. ඒ සෑම තැනක ම ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ අපේක්ෂා භංගත්වයයි. මෙහිදී ජිජැක් පෙන්වා දෙන්නේ අප නොයෙක් ආකාරයට ධනවාදී ක්‍රමය සෙලවීමට උත්සාහ කරන නමුත් ඒ සියල්ලක් ම අවසානයේ අසාර්ථක බවින් කෙලවර වන බවයි. පාර්ලිමේන්තු ක්‍රමය ට විරුද්ධ වීම, සුභ සාධක රාජ්‍ය ට එරෙහිව කැරළි ගැසීම, ඊජිප්තු අරගල යන මේ සියල්ල අවසානයේ අප ජිවිත කාලය තුලම අසමත් වන බව අප අපගේ ඇස් ඉදිරියේම ප්‍රත්‍යක්ෂ කරගමු. මේ සියලු දේ අප කරන්නේ සත්‍ය විප්ලවයක් සිදු නොවන බවට අප ප්‍රත්‍යක්ෂ ලෙස දන්නා නිසයි. අප කෙසේ හෝ පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ විය යුතු බව මේ යුගයේ අපේක්ෂා භංග සමාජවාදීන්ගේ මතයයි. පන්ති අරගලය පිළිබද ආර්ථික අදහස වෙනුවට වෙනත් පරස්පරතා අධි නිශ්චය වෙමින් යන මේ මොහොතේ මහින්ද මෛත්‍රී පරස්පරතාවය මෙන්ම රනිල් මෛත්‍රී පරස්පරතාව වැනි අදහස් ඉස්මත්තට පැමිණෙන්නේ මෙම අපේක්ෂා භංග බවේ වදන්කේන්ද්‍රීය බව ඔස්සේ ය. ප්‍රගතිශීලි සියළු පාර්ශවයන් එක්කෝ රනිල් වෙනුවෙන් හිටගන්නා අතර නැත්නම් මහින්ද මෛත්‍රී පාර්ශවය වෙනුවෙන් සිටගනී. ඒ කිසිදු පාර්ශවයකට එදිනෙදා සටන් පාඨ වලින් ඔබ්බට ගිය නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති අතර සියල්ලෝම එකම චක්‍රයක කැරකෙමින් ඇත. සත්‍ය සමාජ වෙනසක් වෙනුවෙන් කැපකළ යුතු සියළු මිනිස් ශක්තිය මෙම විපරීත සිද්ධිය සඳහා මාධ්‍ය විසින් උකහා ගනු ලබමින් ඇත. මෙයින් අදහස් කරන්නේ මෙම නිශ්චිත මොහොතේ ඉස්මතු වෙමින් යන ඒකාධිකාරී වැඩ පිළිවෙල පරාජය නොකළ යුතුය නොවේ. සමස්තතා අධිකාරක ඉස්මතු වීම ට එරෙහි අරගලය විසින් ඇතැම් විට පන්ති අරගලය පිළිබද  සටන පසුපසට යවයි. එය අවබෝධ කරගත හැකි දෙයකි.

මා පාසැල් යන සමයේ පටන් කියවූ ලාංකික සන්දර්භය තුල වැදගත් දේශපාලන විශ්ලේෂකයකු වූ වික්ටර් අයිවන් විසින් ලියන ලද ඒ මහතා ගේ ගේ ජිවිත කාලයේ ලියන ලද තීරණාත්මක යැයි කියහැකි මෙවර දේශපාලන විචාරයේ (කියවන්න අර්බුදය කෙළවර වනු ඇත්තේ මහා විනාශයකිනි - වික්ටර් අයිවන්) පවා පෙන්වා දෙන පරිදි මෙම අර්බුදයත් සමග සමස්ත ලාංකික දේශපාලනයේ මෙතෙක් පැවති පැරණි ව්‍යුහය සම්පුර්ණයෙන් වෙනස් කර දැමීමේ අවශ්‍යතාවයක් ඉස්මතුව ඇත. මදකට මා ඔහුව උපුටා දක්වමි, "අවසානය ජනාධිපතිගේ මරාගෙන මැරෙන දේශපාලන ක‍්‍රියාන්විතය දුරගොස් තිබෙන තරම අනුව එම වැඩසටහන පරාජය කිරීමේ හැකියාවක් නැත. ඔහු විසින් රට මත හෙළන ලද පරමාණු බෝම්බය එහි අවසානය දක්වාම පුපුරනු ඇත. ඉන් රටට සිදුවනු ඇති විනාශය ද අතිවිශාලය. එය එක යුගයක් මුළුමනින් අවසන් කිරීමට හේතුවනු ඇත. රනිල් වික‍්‍රමසිංහමහින්ද රාජපක්ෂ පමණක් නොව පරණ යුගයේ සියලුම නායකයන්දකුණුවී තිබෙන රාජ්‍ය හා සියලූ ආයතන ක‍්‍රමද ආණ්ඩු ක‍්‍රමය හා ව්‍යවස්ථාවද මුළුමනින් නැති භංග කිරීමට හේතුවනු ඇත. රටේ සමස්ත ආර්ථිකයද විනාශ කිරීමට හේතුවී රට පූර්ණ බංකොළොත් තත්ත්වයකට පත්කිරීමට හේතුවී රටේ මහජනතාවද නොමරා මරණ තත්ත්වයකට පත්කිරීමට හේතුවනු ඇත. ඊළඟ යුගය ආරම්භ කරීිමට සිදුවනු ඇත්තේ මහා විනාශයකින් පසු එහි  ඉතිරි කරන අළු දුවිලි හා සුන්බුන් මත්තෙහිය. සෑම දෙයක්ම අලුතෙන් ගොඩ නගා ගන්නා තැනකින් කටයුතු ආරම්භ කිරීමට රටට සිදුවනු ඇත. ජනතාවට ප්‍රඥාව තිබේ නම් ජපනුන්ට හා ජර්මනුන්ට මෙන් ඇතිවූ මහා විපත සැපතක් බවට හරවා ගැනීමේ පුළුවන්කමක්ද ඇත්තේය." (අවධාරණය මගේවික්ටර් අයිවන් 2018). අප ජපනුන් හෝ ජර්මානුවන් නොවන හෙයින් ඔහුගේ අවසන් ශුභවාදය ගැන කිසිවක් කිව නොහැකි වුවත් පවත්නා සියලු සංස්ථා සහ ඒවායෙහි පැරණි නායකයින් විනාශ වී යන්නේ (deconstruction) නම් එය ප්‍රගතිශීලි දෙයක් යැයි පිළිගැනීමට මම නොපැකිලෙමි. අපේ පරම්පරාව විනාශ වී හෝ මේ රට ලෝකයේ උතුම් රටක් වන්නේ නම් මා එයට එකපයින් එකඟ ය. මෛත්‍රීපාල හැරවුම තුල සිදුව තිබෙන්නේ නුතන වටිනාකම් වලින් උසස් නුතනත්වය වෙතට ගමන් කරනවා වෙනුවට ස්වදේශිකත්වය වෙතට ගමන කිරීමේදී සිදුවන සාමාන්‍ය අපගමනයකි. එනම් අත්තනෝමතික බවක් වෙත ගමන් කිරීමකි. ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ බොහෝ තැන්වල සිදුව තිබෙන්නේ මෙම තත්වය ය (මැන්ඩෙලා ගෙන් ඔබ්බට යනවා වෙනුවට මුගාබේ දෙසට ගමන් කිරීමය). මේ හේතුව මත දේශීයත්වය ගැන වඩා විශ්වාස කල ජාතියක් වන ජපනුන් කලේ එදෝ යුගයේ (Edo period) හුදකලා භාවය අතහැර දමා මෙයිජි අධිරාජ්‍යයාගේ යුගය වනවිට නුතන ලෝකය සහ එහි වටිනාකම් සමග ගැට ගැසීමයි (පසුව විසි වන සියවසේ කියෝතෝ ගුරු කුලය වැදගත් වන්නේ මේ සන්දර්භය තුලය. එම චින්තන ප්‍රවේශය මා විසින් 'මේ සිංහල අපගේ රටයි' ළිපි මාලාව තුල ඉස්මතු කළේ එබැවිණි). නමුත් සිදුවෙමින් පවතින්නේ අප කිසිවෙක් නොසිතුව දෙයකි (මෛත්‍රීපාල ජනාධිපති වරයා මරාගෙන මැරෙන්නට  සුදානම් වන්නේ තම අහම රිදවන ලද ඉංග්‍රීසි කතා කරන කොළඹ මධ්‍යම පන්තියේ හාමුලා ). මෙය කිසිසේත් ම ගාන්ධියානු සටන් ආකෘතියක් නොවන්නේ ය (තමාට රිදවූ අයට ආපසු රිදවන්නට ගාන්ධි ගියේ නැති අතර තම අහම ට වන්දි වශයෙන් එතුමා රටෙන් පළි ගත්තේද නැත (කළ යුත්තේ තම මවටත් වඩා තම සුළු මවට ආදරය කිරීම මිස රිදවීම නොවේ. රිදවීම ඔස්සේ එවැන්නෙක් ලබන්නේ කාලකන්ණි සතුටකි). මේ සුව නොවන ලාංකික අහමේ ශුද්ධ ප්‍රකාශනය කි. භූමියේ ගතිකය පිළිබද ප්‍රකාශනය කි.  
ගාන්ධි චිත්‍රපටයේ රඟපාන ඩැනියෙල් ඩේ ලුවිස් ගේ චායාරූපයක් 

සත්‍ය වශයෙන් ගාන්ධි ප්‍රති ජීවනය කරන්නේ බයිබලයේ එන අනේකත්වය පිළිබද අදහසයි. චිත්‍රපටයේ මුල් කොටසේ ගාන්ධි දකුණු අප්‍රිකාවේ වීදියක් දිගේ ඇවිද යන විට හමුවන සුදු ජාතික කොලු ගැටව් අතරින් යන දසුනේ දී ඔහු බව චාර්ලි ට පවසයි. ඔහු කියන්නේ බයිබලයෙන් බොහෝ දේ හින්දුන්ට ඉගෙන ගත හැකි බවයි. පාදිලි වරයෙක් වන චාර්ලි පවා බයිබලයේ එන "එක් කණකට ගැසුවොත් අනෙක් කණත් ගෙනහැර පාන්න" යන වැකිය ඇත්තටම කළ හැකි දෙයක් ද යන්න සැක කරද්දී ගාන්ධි කරන්නේ එය ප්‍රයෝගික කර පෙන්වීමයි. එවන් විශ්වීය යහපත ගැන විශ්වාස කරන්නෙක් වෙත ඔහුට පාලනය කළ නොහැකි (beyond his control) අනෙකුත් සාධක පවා ධනාත්මකව බලපායි. අහංකාර ගණන්කාරයින් ලෙස වීදියේ සිටි සුදු කොළු රෑන දැක චාර්ලි විසින් 'අප වෙනත් පාරකින් යමු ද' යනුවෙන් ගාන්ධි ගෙන් විමසන විට ගාන්ධි කළේ දිගට ම කොළු ගැටයින් සිටි මාවත දිගේම ගමන් කිරීමයි. යම් ගුප්ත අදෘශ්‍යමාන (mystery) බලපෑමකින් මෙන් ඉහල මාලයේ සිටි කාන්තාව කොළු ගැටව් වෙත කෑ ගැසීමට පටන් ගත් වහාම එම මුරණ්ඩු දඟයින් පසුපසට යෑම අප සැලකිල්ල ට ලක්විය යුතුය. යහපත වෙත අනෙක් සාධක ආපතික ලෙස බලපානු ලබයි. අප දන්නා ඉතිහාසය තුල විමුක්ති කොටි සංවිධානය, ජ. වි. පෙ., රන්ජන් විජේරත්න, සුචරිත ගම්ලත් සහ X කණ්ඩායම යන සියල්ලෝ ම කළේ ඉහත ගාන්ධියානු ප්‍රවේශයේ විලෝමයයි (වඩාත් තදින් පහර දීමයි. අවශ්‍ය නම් පුද්ගලික ජිවිත වලට පවා ගහලා දැමීම යි. ගහලා ඉවරකර දැමීමයි). අදටත් ලොව පුරා අප ගාන්ධි ගැන කතා කලත් කිසිවෙක් වැරදිලාවත් සුචරිත ගම්ලත් ගැන කතා කරන්නේ නැත. සිදුවිය යුතු පරිදි ම සංකේතීය ඉතිහාසය තුල ඔහු අමතකය. අපගේ හදවත් තුළ ඔහු අමරණිය නැත. තවත් බොහෝ අයට අයිති වන්නේ ද ඉහත ඉතිහාසය ම මිස අන් යමක් නොවේ. අයිවන් මහතා කියන පරිදි ම (ඔහු ගාන්ධි ගැන ධනාත්මක අයෙකි) මේ රට ට පවා ඉහත විශ්වීය දේශපාලන මොඩලයක් අවශ්‍ය ය. එවන් සාර්වත්‍රික මිනිසුන් බිහිවෙනවා වෙනුවට අද ඇත්තේ රිදවා ගත් අහම මතින් සමස්ත ලංකාව යම් අකාරයකින් 'මුගාබේ කරණයක්' දෙසට ගෙන යන්නාවූ මිනිසුන් පිරිසක් බිහි වෙමින් ය (අයිවන් මහතා එම වචනය පාවිච්චි කරන්නේ නැත). පුද්ගලික අහමේ ගැටළුව නිසා මේ වන විට රට පත්ව තිබෙන්නේ අන් කිසි දිනක නොවූ විරු අරාජක තත්වයක ය යන්න අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. ජනාධිපති වරයා මේ මොහොත වන විට කුමන ප්‍රකශ කරමින් තිබුණ ද රට තුල ඇතිවෙමින් පවතින අසහනකාරී තත්වය ඉතාම පැහැදිළි ලෙස සිවිල් දේශපාලන අරගලයක් දක්වා වර්ධනය වනු ඇත්ද යන්න බටහිර තානාපති කාර්යාල වල සැකයට තුඩු දී ඇත. එසේ වුවොත් එම විනාශයට මෙම අර්බුදය ඇතිකළ මහා මොළකරුවන් වගකිව යුතුය යන්න මගේ හැඟීමයි. කුමන තත්වයක් මත වුව ද රටේ පාලන බලය හුවමාරු විය යුතු ප්‍රධාන චරිත තුන් දෙනාම ඇතිවූ අර්බුදය තුළ සම්පුර්ණයෙන් නිර්-නෛතිකකරණය වී ඇත. ඇතිවෙමින් තත්වය මත රාජපක්ෂ කඳවුරේ ජනප්‍රියතාව අන් කවරදාකටත් වඩා වේගයෙන් පහල බසිමින් ඇත. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ තවමත් තමාගේ නෛතික බව පෙන්වා නැත. ඔහුට යම් ජනතා ආකර්ශනයක් තිබුණා වුව ද, ප්‍රාදේශීය සභා බලය අත්පත් කර ගත්තද, සමස්ත දේශපාලන බලවේග සමඟ තරඟකාරී ලෙස මහ මැතිවරණයක් ඔස්සේ තම ශක්තිය අග්‍රාමාත්‍ය තනතුර හෙබවීමට සුදුසුයි යන්න තවමත් ඔහු ජාතික තලයේ ඔප්පු කළ යුතුව ඇත. අනෙක් අතට ඔහු අගමැති තනතුර කරා නැවත ආගමනය වන්නේ ද යම් ගැටළුකාරී සහ කුමන්ත්‍රණ කාරී ස්වභාවයක් ඔස්සේ ය (problematic and conspiratory). එය විසින් පවා ඔප්පු කරන්නේ ඔහු තවමත් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන කඳවුරේ කතිකාව තුල නොවේය යන්න ය. වෙනත් වචනයකින් කිවහොත් ඔහු පරණ මහින්ද ම ය යන්න ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරමින් ඇත. ඒ අරුතින් ඔහු අයිති වන්නේ ඉහත අයිවන් මහතා කියන විනාශ වෙමින් යන ගොඩටය.  

ඇතිවූ අර්බුදය නිර්මාණය කිරීමේ මහත් වගකීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් නිදහස් කළ නොහැක. ආචාර ධාර්මික තලයේ මුලින් ම නිර්-නෛතික වුවේ ඔහුගේ පැවැත්ම යි. යහපත් දෙයක් කිරීමට අවුත් ඔහු සිදුකලේ අප කිසිවෙකුට පිළිගත හැකි දෙයක් නොවේය. ජනතාව ඔහු ගේ අත්තනෝමතික තීරණ වලට එකඟ වුවේ නැති අතර පසුගිය පළාත් පාලන චන්දය ඔස්සේ එය මැනවින් පිළිබිඹු විය. කරුණු රාශියක් මත අද වනවිට විධායකය විසින් රනිල් නොපිළිගන්නා තත්වය තුළ රනිල් ගේ දේශපාලන නෛතික බව (political legitimacy) විශාල යම් දුරකට අස්ථාවර වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ව මතුවූ මෑත කතිකාව තුල ඔහු යම් පමණකින් ඉස්මත්තට පැමිණිය ද ඔහුගේ පොරොන්දු කඩකිරීම සහ උද්දච්ච බව පිළිබද දේශපාලන ගැටලුව කිසිසේත් විසඳි තිබුණේ නැත. ඔහුගේ විශ්වීය දේශපාලන සදාචාරය බැඳුම්කර ගැටලුවේ සිට ම අභියෝගයට ලක් වෙමින් පැවති ය. ආර්ථික අවපාතය පවා අවසානයේ වැටුණේ ඔහුගේ කර පිට ය. ඔහු විසින් කළ යුතු බොහෝ දේ ඔහු විසන් ම අතපසු කරමින් පැවතියේය යන්න ඔහුට එරෙහිව නැගුන ප්‍රභල විවේචනයකි. නමුත් ලාංකික සුළු ජාතික පක්ෂ විසින් සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින කණ්ඩායම් විසින් මෙන්ම අන්තර් ජාතික ප්‍රජාව විසින් පවා තවමත් ඔහු විශ්වාස කරන තත්වයක් තුළ ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරය අහෝසි කිරීම බරපතල දේශපාලන කරුණකි. නමුත් ඔහුට පවා අද දවස වන විට ඔහුගේ අනාගතය පැහැදිලි නැත. හේතුව නම් පැරණි පරම්පරාවේ දේශපාලන අගතීන් ගෙන් ඔහු තවමත් නිදහස් වී නොතිබීමයි. නමුත් කොල්ලුපිටියේ පවුල් කිහිපයක ජිවිත තුළ ඇති අගතීන් වෙතින් සහ ලාංකික සාමාන්‍ය ජීවිත වෙතින් ඔවුන් දක්වන විගලිත බව වෙතින් (කිසිදු භූමියකට අයිති නැති බවට ඔවුන් හඟවන ශරීර දේශපාලනය - body politics) වෙතින් අප අපගේ ආත්මය රිදවා ගත යුතු නැති බව මෙහිදී පැහැදිළිව සඳහන් කල යුතුව ඇත. මන්ද අපට ඔවුන්ට වඩා පොහොසත් සංස්කෘතික ජිවිතයක් ඇති බැවිණි. උදාහරණ ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හින්දි චිත්‍රපට බලන විට අප අවම වශයෙන් ඩරන් ඇරනොෆ්න්ස්කි, ලාස් වොන් ට්‍රියර් හෝ ඩේවිඩ් ක්‍රොනැන්බග් ගේ චිත්‍රපට වත් බලන බැවිණි.       

අයිවන් මහතා සඳහන් කරන අයුරින් පැරණි පරම්පරාව සම්පුර්ණයෙන් නිර් නෛතික වීමේ අවසන් ක්‍රියාව සිදුකළ මෛත්‍රීපාල නම් අප මෙතෙක් කිසිදින නුදුටු චරිතය මේ වන විටත් ඔහුට චන්දය දුන් ජනතා පදනම වෙතින් පුර්ණ වශයෙන් විගලිත වෙමින් ඇත. ජනාධිපති වරයා විසින්  ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටී යයි සාතිශය බහුතරය (අවම වශයෙන් ඔහුට චන්දය දුන්) සිතමින් සිටින නිසා ඔහුට ඔහුගේ ජනතා පසුබිම තුළ නෛතික බවක් නැත. කතානායක වරයා විසින් ම මේ තත්වය තහවුරු කරමින් ඇත. කවුරුන් හෝ සමඟ ඇති තමාගේ පුද්ගලික තරහ මරහ රටේ මහජනතාවගෙන් ගැනීම සහගහන අපරාධය කි. අවසානයේ සිදුවිය හැකි භයානක දෙය නම් සියල්ලෝම එකිනෙකා විසින් නර්-නෛතික කරගනිමින් සිටින වේලාවේ යුධ හමුදාව මේ අර්බුදයට මැදිහත් වීමට ඇති ආසන්න ඉඩ කඩයි. සැළකිලිමත් විය යුතු තැන එතැනයි. අප ගමන් කරන්නේ පැරණි පකිස්ථානය දෙසට ද යන්න මගේ ආසන්න ප්‍රශ්නය යි. මන්ද අසමත් බව විසින් එවන් තත්වයන් මෙම කලාපයේ නිර්මාණය කර ඇති නිසාවෙනි. 

මේ සියල්ල අතරින් විශේෂයෙන් ඇතිවූ ව්‍යවස්ථා අර්බුදය අතරින් විශාල වශයෙන් ඉදිරියට පැමිණි චරිතය නම් අනුර කුමාර දිසානායක චරිතය යි (සහ පොදුවේ ජනතා විමුක්ති පෙරමුණයි). එම පක්ෂය මේ වනවිට තමන් තුල තිබූ පැරණි අගතීන් විශාල ප්‍රමාණයකින් එළියට අවුත් ඇත. වමේ සටන් දේශපාලනය විසංයෝජනය වීම මේ වන විට ඔවුන් මැනවින් අවබෝධ කර ගෙන ඇත. පාර්ලිමේන්තු දේශපාලනය ඔවුන් මැනවින් ප්‍රගුණ කරමින් ඇත. මුදලට ඔවුන් ගොදුරු වන්නේ නැත. දුෂණයට එරෙහිව ඔවුන් විනයගත ය. සියල්ල සර්ව සම්පුර්ණ නොවුනත් ගෝලීය දේශපාලනය සහ කාන්ටියානු විශ්වීය බව ඔවුන් අවබෝධ කරගෙන ඇති බව ට හොඳම උදාහරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තේ සිටගනිමින් ව්‍යාවස්ථා උල්ලංඝන යට විරුද්ධ වෙමින් ම රාජපක්ෂ අගතියට එරෙහිව දිගින් දිගටම සටන් කිරීමයි (ඔවුන් කරන්නේ සැබවින්ම අමාරු දෙයකි). පුදුම සහගත පරිදි කථිකත්වයක් පල කරන අනුර සහෝදරයා කතා කරන විට අනෙක් අයට ඇත්තේ අසාගෙන සිටීමට පමණි. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ මේ රටේ වැඩියෙන් ම බැට කෑ පක්ෂය තමන් බැවින් ඒ වෙනුවෙන් ඔවුන් කොන්දේසි විරහිත ලෙස පෙනී සිටින බව ඔහු පාර්ලිමේන්තුවේ පවසන විට අපේ පරම්පරාව ලෙස සත්‍ය ලෙසම ඔහු ගැන ආඩම්බර විය හැකිය. මෑතක සිදුවූ දේවල් ඔස්සේ ගත්විට ඔවුන්ගේ මාලිමාව ඉතාම තියුණු බැවින් ඔහු වටකර ගෙන ඉතාම හොද බුද්ධිමත් උපදේශකයින් ප්‍රමාණයක් සිටිනවා විය හැකිය (ඇතැම් විට මධ්‍යම කාරක සභාව විය හැකිය). මා ඔහු සිටින තැන නොසිටියත් ඔහු වෙත එක දෙයක් කියමි. එනම් අනුර සහෝදරයා ඔහොම ම යන්න ඉතිහාසය ඔබව නියමිත තැනට ගෙනයනු ඇත යන්න එම ශුභාශිංසනය යි.          

ලංකාවේ පිරිමි ලෝකය අසාර්ථක භාවයේ පතුලට ම ගමන් කරද්දී මේ දේශපාලන මඩ ගොහොරුවෙන් මදක් ඉසිඹුලන ස්ත්‍රිය ලෝකය දෙසට ගමන් කිරීම සතුටට කරුණකි. එවරස්ට් කන්ද තරණය කිරීමේ සිට අප රටට කිර්ති නාමයන් ගණනාවක් ගෙන ඒමට ලාංකික ස්ත්‍රිය මෑත කාලයේ සමත් විය. මුගාබේ නොවූ සහ මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කල දේශපාලන චරිතයක් වූ ඔබාමා පිටුපස සිටියේ ද ශක්තිමත් ගැහැණියකි. ලාංකික පිරිමියා අමු අමුවේ පිස්සු කෙළින විට යන්තම් හෝ කෙලින් ඉන්නේ ගැහැණිය යි. මැන්ඩෙලා පිටුපස සිටියේ ද එවැනිම ගැහැණියකි. මීට කලකට පෙර මා විසින් මෙසේ ලියනු ලැබුවා, "මැන්ඩෙලාගේ චරිත කතාව ගැන කියවෙන Mandela: Long Walk to Freedom (2013) කියන චිත්‍රපටය බලනකොට පෙනෙන දෙයක් තමයි මැන්ඩෙලාගෙ සහ ANC එකේ අරගලය පිටුපස විනී මැන්ඩෙලා කියන ඉතාමත් ම ශක්තිමත් කාන්තාව සිටියා කියන එක.  ගාන්ධි චිත්‍රපටය දිහා බලපුවමත් එක පැහැදිලි ව පෙනෙන දෙයක්.  ගාන්ධිගෙ බිරිඳ කියන්නෙ අද කාලයේ ස්ත්‍රීවාදින් වගේ නොවෙන බව එයාගෙ පහත ප්‍රකාශයෙන් පෙනෙනව.  එයා කියන්නේ මගේ ගරුත්වය රඳා පවතින්නේ මගේ ස්වාමියාගේ පිටුපසින් යෑම තුලයි' කියල. එම ප්‍රකාශය තුල ඇය කියන්නේ විමුක්තිය තියෙන්නේ පුරුෂ භාවිතාව ඇතුලෙ ම තිබුන සාර්වත්‍රික අරගලය සමග එකගවීම කියල කියන්න පුළුවන්.  ඒ වගේම විනී මැන්ඩෙලා වුනත් නව ස්ත්‍රී අනන්‍යතාවයක්හදනවා වෙනුවට කළේ නෙල්සන් මැන්ඩෙලා සිරගත කළාට පසුව අරගලයේ බර කරට ගන්න එක. මේ දේම ගාන්ධිගේ ආර්යාව (කස්තුර්බා ගාන්ධි) විසිනුත් කළා. ගාන්ධි සිරගත වුණු සෑම අවස්ථාවක ම ඉන්දියානුවන් තම විශ්වාසය ප්‍රක්ෂේපණය කළේ ඔහුගේ ම ශරීරයේ අනෙක් පලුව වුණ ගාන්ධි ආර්යාව වෙත.  විනීටත් සිදුවුනේ නව අනන්‍යතා හොයනවා වෙනුවට මැන්ඩෙලාගේ සාන්දෘෂ්ටික අරගලය තුලට තව තවත් පිය මැනීමට තරම් එඩිතර විම". පිරිමියා විසින් ගැහැණිය ශිෂ්ට කරනවා වෙනුවට ගැහැණිය ට මේ වනවිට සිදුවෙලා තියෙන්නේ ගෙයින් එළියට ඇවිල්ල පිරිමියා ශිෂ්ට කරන්න. මොකද ඒ තරම් උමතු රෝගීන් පිරිසක් තමයි අද දේශපාලනය ඇතුලේ ඉන්නේ (විශේෂයෙන් ලංකාවේ). අනික් අතට ඒ උමතු පිරිමි කරන්නේ බෙල්ල මිරිකලා ගැහැණු මරලා දාන එක, ඒක වීඩියෝ කරලා ෆේස් බුක් දාන එක, සත්‍ය ජිවිතයේ නැති ලිංගිකත්වය ට වන්දි වශයෙන් ලැබෙන හැම මොහොතකම බටහිර දෘඪ නිල් චිත්‍රපට බලන එක, අන්තිමට තම තමනුන් තම තමන් අතින්ම කා කොටගෙන මැරෙන එක. පිරිමි සමාජයට අන්තිමට ඉතුරු වෙන්නේ මරණය පමණයි. ජිවිතයක් නැහැ. 
"මේ යුගයේ වඩාත් ම භයානක වන්නේ ස්ත්‍රීවාදීන් ට විරුද්ධ වන්නන් නොව ස්ත්‍රිය මුරුංගා ඇත්තේ තබන්නන් ය" (ජිජැක්). මා සිතන අයුරින් මෙම ප්‍රකාශය ලංකාවේදී වඩාත් අදාල ස්ත්‍රීවාදයට නොව දේශපාලනය ට ය.   

කෙසේ වුවත් ඉහත මැන්ඩෙලා අදහස තවදුරටත් විදාරණය කර ඇති මුල් ලිපිය සඳහා පහත දිගුව වෙත පිවිසෙන්න.  
මුගාබේ නොවී මැන්ඩෙලා ගෙන් ඔබ්බට ගමන් කිරීම (2017 අප්‍රේල්) 

No comments:

Post a Comment