Saturday, November 3, 2018

SAY NO TO TOTALITARIANISM!!

Image from Hanna Arendt's The Origin of Totalitarianism 

අපේක්ෂා කළ පරිදි ම යක්ෂයා නැවත පැමිණ ඇත. ඉතින් විමල් වීරවංශ ගේ වෙබ් කඩමාල්ල වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ පවුලේ රජ තුන් කට්ටුව නැවත වැඩ පටන් ගෙන ඇති බවයි. නැවතත් රජවරු ලාංකික දේශපාලනය තුළට රිංගමින් වැඩ පෙන්වමින් ඇත ඇත. ඉදින් රජවරු නැවත කරළියට එන්නේ නම් 2015 දී අප පැතූ විශ්වීය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතිකාව අව-හෙජමොනික වීම වැළක්විය නොහැකිය. 19 වන සංශෝදනය ආපිට හරවන බවට මේ වන විටත් රාජපක්ෂ කඳවුර වහසි බස් කියයි. මොණර කොල විසිකරන්නේ නම් ඕනෑම එකකට අත නොව පුරුෂ ලිංගය පවා ඔසවා පෙන්වීමට සමත් කොන්ද බිඳගත් අධ්‍යාත්මයක් නැති හිඟන්නන් රැළක් මේ වනවිට පාර්ලිමේන්තුව ට අප පත්කර ඇත. සටන්කාමීන් කිහිප දෙනෙක් ඇතුවා වුවද ඔවුන් පවා දෝරේ ගලා යන මුදල් ඉදිරියේ අසරණය. කෝටි පනහක් විසින් මිනිස් නිදහස මංකොල්ල කමින් පවතී. ඒ තැනට මෛත්‍රීපාල විසින් අපගේ දෛවය නිර්ලජ්ජිත ලෙස හෙළා දැක ඇත (condemned) යන්න මෙහි අරුත යි. ඒ ඔහු මරණය ට මුහුණ දුන් සැටියි. ටයිටැනික් චිත්‍රපටයේ රෝස් ට ජීවය දී ජැක් සීතල වතුරේ මිය ගියේ ය. නමුත් මරණය විසින් ඔහු අමරණීය කළේ ය. මොකක් හෝ උප්පරවැට්ටියක් යොදා ඒ අවසාන මොහොතේ රෝස් මුහුදු පතුළට යවා ජැක් ජීවිතය බේරා ගත්තේ නම් අප ජැක් යනුවෙන් කෙනෙක් මතක තබා ගන්නේ නැත (ජිජැක් මොන පිස්සුවක් ප්‍රකාශ කළද ජැක් යනු පිරිමි කමට ආඩම්බරයකි = sublimation). සත්‍ය මරණය යනු සංකේතීය මරණය බව ඔහුට කියා දීමට තරම් කොන්ද පණ ඇති උපදේශකයෙක් මෛත්‍රිපාල ගේ උපදේශකයින් රැළේ සිටියේ නැත (මරණය කරා යන ටයිටැනික් ප්‍රේමයට මිනිස්සු ඇත්තට ම ආශා නොකරන්නේ මන්ද යන්න කවුරුන් හෝ මට පැහැදිළි කර දෙන්නේ නම් කෘතඥ වෙමි. ඒ බුදු දහම නිසා ද?). මෛත්‍රිපාල විසින් විවර කළ මාවත තුළ අධි වේගයෙන් ඉස්මතු වන මේ ඒකාධිපති ගමන නවතමු. මිනිස් නිදහස වෙනුවෙන් එකා වන්ව නැඟී සිටිමු. මහින්ද මෛත්‍රී අශුද්ධ සන්ධානය වෙනුවෙන් මතවාදය සපයන අයගේ පථිතයන් තුළ ඇත්තේ තර්කය හෝ දේශපාලන ලෙස පෙනී ගියත් ඇත්ත වශයෙන් ඇත්තේ අහේතුව සහ අදේශපාලනය වේ (irrationality and apolitics). මේ ගමන තුළ මුලින්ම වන්දි ගෙවීමට සිදුවන්නේ මතවාදය සපයන එවුන්ට බව මතක තබා ගතහොත් යෙහෙකි. සත්‍ය ය දකිමින් එය නොදැක්කා සේ සිටීම නරුමවාදය යි. සමස්තතාවාදයේ ආරම්භක රෝග ලක්ෂණය එයවේ. මේ වනාහී රනිල් ගේ පිස්සු වලට පක්ෂ වීමක් ලෙස වටහා නොගන්න. ඇතිවෙමින් යන ආරාජක බව ට ඔහුද වගකිව යුතුය. වසර හතරක හිස් ශේෂ පත්‍රය තුළින් ආගමනය වූ යක්ෂයා පිළිබදව ඔහුට අත සෝදා ගත නොහැක. එහෙත් මෛත්‍රී කලේ ඒ සියල්ලටම වඩා වැඩි පාවා දීමකි.  එයට එරෙහි වෙමු.   

සමස්තතාවාදයේ ඉස්මතු වීමට එරෙහි වෙමු!!     

No comments:

Post a Comment